Wednesday, December 11, 2013

රතු මල් කුඩෙන් කල පොලිස් රාජකාරි


නත්තල් කාලෙත් ලඟ ලඟ එනවා. අපේ අම්මලාගෙ ඔපීසියෙ හැම අවුරුද්දකම තියෙනවා අපූරු නත්තල් උත්සවයක්. නත්තල් කැරොල්, විනෝද ක්‍රීඩා, නැටුම් ගැයුම්, නැති දෙයක් නෑ ඒකෙ. අපිත් බෞද්ධ වුනාට හැම අවුරුද්දකම යනවා ඒකට.





උත්සවයේ හොඳම හරිය තමයි ඔපීසියේම ඉන්න බඩ තඩි ජොලි අංකල් කෙනෙක් නත්තල් සීයාට ඇඳගෙන ලොකූ ගෝනියකට ටොෆි චොකලට් පුරවාගෙන පිට්ටනිය මැදින් එකපාරටම මතු වෙලා වේදිකාවට එන එක. එහෙම ඇවිදින් අවුරුදු දොළහෙන් පහල හැම ළමයාටම තෑගි දෙනවා දෝත පිරෙන්න.


අපේ නගා පොඩ්ඩ චූටි බබා කාලෙ (තුන වසරෙද කොහෙද,) උන්දෑට එක නත්තලකදි ඔය නත්තල් සියාගෙන් හම්බුනා අපූරු තෑග්ගක්. ඒ ලස්සන රතු පාට කුඩයක්. කුඩේ රෙද්ද ලස්සන ඩිස්නි රූප වලින් හැඩවෙලා. මිට හදලා තියෙන්නෙ අර විනිවිද පේන රෝස පාට ප්ලාස්ටික් වලින්. ඒකෙ වතුර වාගෙ දියරයක් පුරවලා. දිලිසෙන තරු කෑලි, මාලු පැටවු වගේ සුකුරුත්තම් ඒ වතුරේ පාවෙනවා.





ඔය ඔක්කෝටම වඩා වටින මේ භාණ්ඩෙ තිවුනෙ කුඩ මිටේ එල්ලලා.





නගා පොඩ්ඩ ඉතින් ඉතාම ආඩම්බරෙන් ඔය කුඩේ ඉහලගෙන ඉක්කෝලෙ යන්ට පටන් ගත්තා.


හවසට අපේ ස්කූල් බස් එක නවත්තන්නේ සහෝදර පාසල ඉස්සරහින්. ඕක ඉතින් අපිට කෙසේ වෙතත් සහෝදර පාසලේ ඇත්තන්ගේ නම් අමන්දානන්දයට හේතු වෙන සිද්දියක්. අපේ ඉස්කෝලෙ ඉඳන් සහෝදර පාසලට තියෙන විනාඩි පහළොවක විතර දුර බස්සිට යන්ට වෙන්න අපේ චූටි හුරතලාවත් දක්කාගෙන.


දවල් ගිනි කාස්ටක අවුවෙ පාර පනින එක තමයි එපාම කොරපු වැඩේ. ඕන් ඉතින් එදාත් බස්සි නගා පොඩ්ඩ එක්ක සහෝදර පාසල ඉදිරිපිට කහ ඉර ගාව බලන් ඉන්නවා. පොලිස් මාමා අත් දෙක හතර අතේ කරකව කරකවා වාහන හසුරවනව.





අපේ නගා පොඩ්ඩ රතු කුඩේ යට. මූ ඒක තනියම බුක්ති විඳින රඟ කිවුවොත් මාව මලාට ගන්නෙ නෑ ඒ කුඩේ යටට නම්.


පොලිස් මාමා හෝ ගාලා වාහනත් එක්ක ඔට්ටු වෙනවා මිස එදා එයාට අසරණ අපිව පාර පන්නන්ට අමතක වෙලාද කොහෙද.


නගා පොඩ්ඩ කට තාරා හොටයක් බවට පත් කරගෙන බලන් හිටියා ටික වෙලාවක්. ඔන්න එකපාරටම පොලිස් මාමා නලාව පිම්බ. හැබැයි වෙනදාට වඩා හෙමිහිට!


මල හත්තිලව්වයි. නළා සද්දෙට වැඩිපුරම බය වුනේ පොලිස් මාමා. මොකද ඒ සද්දෙ ඇහුනෙ අපිටයි. එතනින් ගිය බයිසිකල් කාරයො දෙතුන් දෙනෙකුටයි විතරමයි.


පොලිස් මාමා අන්ද මන්ද වෙලා වගේ බලන් ඉඳලා ආයෙම පාරක් නළාව පිම්බා.


අපි කස්ටියම පාර මාරු උනා.

අපේ එකා මොකද දන්නවාද කලේ? පාරෙ මෙහා පැත්තට ඇවිත් ආයෙම අර කුඩේ විසිල් එක පිම්බා නෙව.


පොලිස් මාමා ආපි අඩියට දෙකට අපේ ළඟට. දැන් ඉතින් කාපන්කො කන පිරෙන්න.





"මෙයා ඔයාගෙ නංගිද?" පොලිස් මාමා අහපි.


"ඔව් අංකල්." පොර ටෝක්ස් දුන්නට මම දියෙන් ගොඩ දාපු මාලුව වගේ.


"පොඩි ළමයින්ට අතට දෙන දේවල් ගැන මීට වඩ සැලකිලිමත් වෙන්න ඕනෙ ළමයෝ. මෙතන සම්පූර්ණ වැරැද්ද ඔයාගෙ. මේ ළමයට තමන් කරන දේවල් වල බරක් පතලක් තේරෙන්නෙ නෑ. ඒත් ඔයා අක්කා. යමක් කමක් තේරෙනවා."


මට ලුණු ඇඹුල් ඇතුව තව ටිකක් වෙලා දෙසලා ඊගාවට පොලිස් මාමා හැරුනා අපේ නගා පොඩ්ඩ පැත්තට. පොර තාරා මූණක් හදාගෙන බලන් ඉන්නවා.





"හරි ලස්සන කුඩයක්නෙ බබාට තියෙන්නෙ. ඔය විසිල් එක ගලවලා ඒකෙන් ගෙදරදි සෙල්ලම් කරන්න හොඳද බබා." පොලිස් මාමා අපේ නගාගෙ ඔලුව අතගාන ගමන් කියාපි!


කාට කියන්නද මේ අවනඩු?


ඒකත් එහෙමයි කියමු. මගේ රතු කට්ට පැන්නෙ එන ගමන් අපේ එකා මෙහෙම කියද්දි.


"හලී... හොඳ පොලිත් අංකල් නේද අක්කියෝ? ඔයාත සැර වුනාත මගේ ඔලුවත් අතගෑව නේ.... යාලුවො දැක්කෙ නෑනෙ. හෙත ගිහින් කියන්ත ඕනෙ."


කටපියාගෙන ඉන්න නොදන්න කමට හොඳ වැඩේ.  ගෙදර ගිය ගමන් මම විසිල් එක ගලවලා කුණු වල ඇතුලෙ මිහිදන් කලේ තරහටමයි.



55 comments:

  1. හි හි හී :D

    ReplyDelete
  2. පොලිස් නිලධාරීන්ද මනුස්සයෝ ය. මට මතක් වුනේ සිරාගේ අන්තිම පෝස්ටුව. බස්සි ගෝතමිද ආනන්ද බාලිකාද

    ReplyDelete
    Replies
    1. නෑ නලින් අයියේ බස්සි හෝලි ෆැමිලි කොන්වන්ට් එකක නෙව. ඒකත් බම්බලපිටියෙ හෙම නෙමෙයි, වෙන්නප්පුවෙ. :)

      Delete
    2. ehnm e sahodara paasala thamai ape eka :D JVC :P

      Delete
  3. නගා පොඩ්ඩ ඔයාට වඩා කීයක් බාල්ද බස්සි ...? නංගි ඇඬුවේ නැද්ද ඉතින් කෑ ගගහා .......

    ReplyDelete
    Replies
    1. නගා බස්සිට වඩා අවුරුදු හතක්ම බාලයි සහන් අයියේ. ඒක නෙ උන්දෑ හුරතල් වෙන්ට යන්නෙ ඔහොම.

      ආයෙත් අහලා,,, කුඩේ කැඩුවෝ කියලා සයිරන් එක පිම්බා ගමටම ඇහෙන්න.

      Delete
  4. බිග් මැච් කාලෙටත් ඔය විසිල් වලින් හොඳ ප්‍රයෝජන ගන්න පුළුවන්! :D අපරාදේ නලාව!

    ReplyDelete
    Replies
    1. නලාව නම් අපරාදෙ කියලා මටත් පස්සෙ හිතුන නාඩියෝ...

      Delete
  5. අනේ බස්C.....මට අපේ නංගිලා පොඩි කාලේ සෙල්ලම් කරනවා මතක් උනා..ඔයා හරියටම හිත අතීතයට යන විදිහට ලියලා තියෙනවා.

    ReplyDelete
  6. හි හි නියමයි ඉදගෙන ඈ :)

    ReplyDelete
  7. පවු අෆ්ෆා පොඩි එකා.. මෙයා නලාව මිහිදන් කරලත් එක්ක.. අම්මපා මෙහෙමත් අක්කලා..

    ReplyDelete
    Replies
    1. ඈ දිනේශ් අයියේ ඌ විතරද පවු!!! ;)

      Delete
    2. නැතුව ඉතින්.. බොලාලා අක්කලා හැටියට පොඩි එවුන්ට පාට් එක දාන එකනේ කරන්නේ..

      Delete
    3. ඉහත කමෙන්ටුවෙන් එළඹිය හැකි සාධාරණම නිගමනය වන්නේ දිනේශ් අයියාද බඩපිස්සෙක් වෙන්නට හැකි බවයි... :P

      Delete
  8. අනේ පව් නලාව ... නංගි නලාව හෙව්වේ නැද්ද ඊට පස්සේ .

    ReplyDelete
    Replies
    1. චමීව දැක්ක කල්!!! හොයන්න දෙයක් නෑ උන්දැ දැනගත්තා නලාවට වෙච්චි සන්තෑසිය...

      Delete
    2. මම ටිකක් බිසී වෙලා අනේ :(

      Delete
    3. එහෙමද? අයියෝ හොල්මන් කතාවක් කියෙව්වෙත් නෑ කාලෙකින්... :(

      Delete
  9. පව්, අෆ්‍ෆා! අර අහිංසක කෙලි පොඩ්ඩ (සහ එයාගේ අක්කා) :) කතාව නං මරු! මට මතක් වුණේ "බීසස් සහ රමෝනා" කතාව!

    ReplyDelete
    Replies
    1. මටත් බීසස් සහ රමෝනා කියවද්දි හිතෙනවා අපේ නගා නම් ඒ කාලෙ තවත් රමෝනා කෙනෙක්ම තමයි කියලා ධාරා. හැබැයි බස්සි නම් බීසස් තරමටම අහිංසකත් නෑ ඒ කාලෙ. :)

      Delete
  10. //ඕක ඉතින් අපිට කෙසේ වෙතත් සහෝදර පාසලේ ඇත්තන්ගේ නම් අමන්දානන්දයට හේතු වෙන සිද්දියක්//
    අනෙ ඉතින් මොකටද මගෙ කට

    ReplyDelete
    Replies
    1. //අනෙ ඉතින් මොකටද මගෙ කට//

      කන්න
      බොන්න
      …කතාකොරන්න
      සින්දු කියන්න

      හි හී..... :D

      Delete
  11. නගාට දුන්න දඩුවම නම් ලොකු වැඩි නැත්ද බස්සියො.

    ReplyDelete
    Replies
    1. අපෙ අප්පෝ අපේ නගා එක්ක උන්නා නම් ප්‍රියා ජීවිතේට ඔහොම කියන්නෙ නෑ...

      ඒ වැඩේ කොලා කියල ප්‍රයෝජනයක් නම් උනේ නෑ. මොකද අපේ උන්දෑ එහෙමයි කියලා ඔයවාගෙ වැඩ කොරන එක නැවැත්තුවෙ නෑ...

      Delete
  12. පව් බොල පොඩිඑකාගෙ නලාව!

    ReplyDelete
    Replies
    1. පොඩි එකා කුඩේ කැඩුවෝ කියලා ගේ දෙක වෙන්න දුන්නු නලා සද්දෙ ඇහුවම මටත් හිතුන අර නලාව තිබුනා නම් හොඳයි කියලා.

      Delete
  13. අපේ ඒකාව ඉස්කෝලෙ දක්කන්න උන කාලෙ හොඳ වෙලාවට වැදගත් විදියට පාරෙ යන්න තරං මෑන් ලොකු වෙලා හිටියෙ... නැත්තං මටත් ඔය සන්තෑසිය වෙනව.. අපේ එකත් මට වඩා 7ක් බාලයි... හි හි...

    හැබැයි නංගිලා වගේ මල්ලිලා වාත වෙන්නෙ නැද්ද කොහෙද... අපේ මලයා නං මාව ඔය වගේ බාල්දි කේස් වලින් බේර ගත්ත මිසක් බාල්දි දාගත්තෙ අඩුවෙන්....

    ReplyDelete
    Replies
    1. සිරාවට හිරූ අක්කේ නංගිලා තමයි ඔහොම වාත වෙන්නෙ පොඩි කාලෙ. මගේ යාලුවන්ට උනත් නංගිලාගෙන් මිස මල්ලිලාගෙන් ඔහොම බාල්දි වැටෙන අවස්ථා අඩුයි.

      Delete
  14. එයා ඔයාගෙම නංගි කියල sure ද අක්කේ.

    ReplyDelete
    Replies
    1. මේ කතා ටික කියෙවුවාම ඕනෙ එහෙකුට තේරෙනවා නෙව උන්දෑ මගේම නංගි බව. :P

      Delete
  15. //ගෙදර ගිය ගමන් මම විසිල් එක ගලවලා කුණු වල ඇතුලෙ මිහිදන් කලේ තරහටමයි//

    අනේ මේ ලෝකේ කොච්චර කෘෘර ලොකයක් ද කියල ඒ පුංචි එකීට හිතෙන්න ඇති. . .
    මෙහෙමත් අක්කලා ??

    ReplyDelete
    Replies
    1. //අනේ මේ ලෝකේ කොච්චර කෘෘර ලොකයක් ද කියල ඒ පුංචි එකීට හිතෙන්න ඇති. . . //

      ඇත්තටම ඔහොම අසාධාරණයට ලක්වෙන පොඩිඋන්ට හිතෙනවා ඇත්තෙ ඔය ටික තමයි. බස්සිටත් පොඩි කාලෙ ඔහොම හිතුනා අනන්ත වාරයක්...

      Delete
  16. ඔන්න ඕකනෙ පොඩි එකෙක්ටවත් ඉන්න දෙන්නේ නැහැ කියන්නේ..පව් නංගි පොඩ්ඩ..

    ReplyDelete
    Replies
    1. හික්ස්... නගා පොඩ්ඩ පොලිස් මාමෙක්ටවත් ඉන්න දෙන්නෙ නෑ නෙ...

      Delete
  17. මටත් මගෙ නංගිගෙ පොඩි කාලෙ මතක් වෙනව..ඒකි දැන් බැ‍්ල කරල පැත්තකට වෙලා ඉන්නෙ..ඒත් බස්සිගෙ පොස්ටුවෙක් මටම මතක් වුනේ මගෙ නංගිගෙ පොඩි කාලෙ ඒකිටත් ඔහොමම දැගලිල්ල තිබ්බ..මම කණ මිරිකුවාම කට උල්කරගෙන අඩාගෙන අම්ම ලග“ට යන හැටි තාම මතකයි

    ReplyDelete
    Replies
    1. බස්සිගේ කතාවෙන් ඔයාලටත් අතීතය මතක් උනා කියලා අහන්න ලැබීමත් සතුටක් ජෙමා. අද තමයි මුලින්ම බස්සිගෙ නවාතැනේදි දැක්කෙ! සාදරයෙන් පිළිගන්නවා!!

      Delete
  18. හොඳ දැනුම් තේරුම් තියෙන අක්කා, අනේද කියන්නේ , නංගී හොඳ ඇති මෙයාට වඩානම් ෂුවර්,

    ReplyDelete
    Replies
    1. අනේ බොල පවුලූශෝ.... අපේ නගා මේ කොමෙන්ටුව දැකලා උඩ ගියොත් මලමගුලක් වෙන්නෙ. මේ අහිංසක akkaata වඩා නගා හොඳ වෙන්නෙ කොහොමෙයි හැබෑට? ;)

      Delete
  19. හෙහ් හෙහ්....මෙයාගෙ නංගි පොඩ්ඩ හලී සෝ............යි වගේ

    ReplyDelete
    Replies
    1. ඔව් රෙහානි අක්කා. ඒ කාලෙ එවුවාට තරහ ගත්තට, දැන් ඒවා මතක් වෙද්දි හිතෙනවා හලී..... සෝ........යි නේ කියල.

      Delete
  20. මේක කියෙව්වම මටත් මතක් වුනේ අපේ අක්ක මූණ පුම්බගෙන මාව පාර දිගේ ඇදගෙන ඉස්කෝලෙ ඇරිල ගෙදර එක්කන් එන විදිය. අපේ අක්ක මට වඩා 5ක් වැඩිමල්. අක්ක ඉස්කෝලෙ ඇරිල එනකන් ඉස්කෝලෙ ඉන්න නසරානි සෙට් එකක් එක්ක එකතු වෙලා මම සුදු ගවුම දුඹුරු පාට වෙනකං නටල නටල එයත් එක්ක ගෙදර යද්දි එයා ගෙදර ඇවිත් කෑ ගහනව මේ ඌරත් එක්ක මට පාරෙ එන්න බෑ කියල... හි හි :)

    ReplyDelete
    Replies
    1. හික්ස්.... නගා නිසා අසරණ වුන තවත් අහිංසක අක්කියෙක්..... අපේ නගාත් පොඩි කාලෙ ඔහොමමයි සිඟිතියෝ... පාරට බැස්සොත් බාල්දියක්.

      Delete
  21. nawathath balayanta erehi prachandathwaya rasakara kara kiyana apooruwa.....

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා මෙයා මොනව කියනවද කියලා. මටනම් මෙතන ප්‍රචණ්ඩත්වයක් පේන්නේ නෑ නෙ.

      Delete
  22. මාර බබා!!! ඔහොම තමයි බස්සියෙ අක්කල වුණා ම. (අත්දැකීමෙන් කියන්නේ :-)

    ReplyDelete
    Replies
    1. නගාලා ඉන්න අක්කෙක්ගේ දුක දන්නේ තවත් එවන් අක්කෙක්ම පමණි...! :D

      Delete
  23. මමත් ඔහොම අසරණ තත්වයට පත් වුණ අක්කා කෙනෙක්...

    ReplyDelete
    Replies
    1. දාන්ට සිතුවෝ පහක්! ඔයාටත් කියන්න වෙන්නෙ දිලිනිට කියාපු දේම තමයි. "නගාලා ඉන්න අක්කෙක්ගේ දුක දන්නේ තවත් එවන් අක්කෙක්ම පමණි...!" :D

      Delete
  24. පව් පොඩි එකා :D මාත් අපේ අක්කට ඔය වගේ වද ඕනේ තරම් දීලා ටිනෝ පොඩි කාලේ..

    ReplyDelete
  25. බස්සිටම කියාපු නංගී පොඩ්ඩ.....අසරණ දෙමවුපියන්ගේ වාසනාවට පවුලේ ඉඳල තියෙන්නේ දෙන්නයිද කොහෙද?

    ReplyDelete