Tuesday, September 29, 2015

ලුණු රහ ගෑණු






මට උවමනා කරල තිබුනෙ ඉහිල් වෙන්න. 


ඇත්තටම, හදවත කුඩා කැබැලිති දහස් ගානකට කැඩිලා ගියාට පස්සේ ඕනෙම මනුස්සයෙක්ගේ පරම අපේක්ෂාව වෙන්නේ ඉහිල් වීම.  පලමුවත්, දෙවනුවත්, තෙවනුවත් අවශ‍ය වෙන්නේ ඒක. මොකද, බිඳුනු කුඩා හෘද කැබැලිති අසාමාන්‍ය විදියට බරට දැනෙන මනුස්සයෙක්ට වෙනත් අපේක්ෂාවක් ගැන හිත යොමු කරන්න ඔලුව නිදහස් නැහැ.


කොහොමත් එකලස් වීම කියන අවශ්‍යතාවය පැනනගින්නේ සිව්වනුව හෝ ඊටත් පසුව. 


මම දැන් ඉන්නෙ මුහුදු වෙරළෙ. අර හුරුපුරුදු බංකුව මතම තමයි. හැබැයි තනියම. අන්නාසි අච්චාරු සුවඳක් වඩාගෙන ආපු මුහුදු හුළඟක් නහය ඇතුලෙන් රිංගලා ඛේඨ ග්‍රන්ථිවලට තට්ටු කරනවා. මම කෑදරකමෙන් ඉපිලෙමින් අන්නාසි අච්චාරුකාරයා දිහා බලන් ඉන්නවා. අන්නාසි අච්චාරුකාරයා මා දිහා වැරදීමකින්වත් නොබලාම මුහුද අයිනෙ කෙටි සිමෙන්ති බැම්මක් උඩ තුරුල්වෙලා ඉන්න කපල් එකක් ළඟට කිට්ටු කරනවා.


අන්න එතකොට මට ආයෙමත් ඉහිල් වීමේ අවශ්‍යතාවය මහ බරට දැනෙන්න ගන්නවා.


කොහොමත්, අවුරුදු අටක ආදරයක් කියන්නේ ඒකක්ෂණයෙන් ඉරලා කුණු කූඩෙකර දාන්න පුලුවන් තුනී කරදාසියක්වත්, නොදුටු බව අඟවමින් සපත්තුවට අඹරලා දාන්න පුලුවන් දුබල, නීරස කහ අරලියා මලක්වත් නෙමෙයි. ඒක සෞම්‍යයි කිව්වට ඒ තරමටම දැඩියි, සියුම් සහ බොළඳයි කිව්වට ඒ තරමටම ප්‍රභලයි. මං කියන්නේ, ඒ අවුරුදු අටෙන්, අවුරුදු හයහමාරක්ම වැයවුනේ ඒකපාර්ශ්වීය ආදරයකට බව මෙතැනදි ලොකු වැදගත්කමකින් සඳහන් කලයුතු කරුණක් නෙමෙයි.


ලුණු රස හුළඟ කියන්නේ ඇබ්බැහියක්ද? ඈ කියන්නේ එහෙමයි. ඈට ඕනෑ උනේ ලෙක්චර් හෝල් එකේ මුල් පේළියේ වාඩිවෙන්න. ප්‍රොෆාගේ කටෙන් වැටෙන අකුරක් අකුරක් ගානේ පිටපත් ලියන්න. ඉන් පස්සේ අධ්‍යයන කාමරේ මකුළු දැල් බැඳුනු මුල්ලකට වෙලා පුස් ගඳ ගහන විසාල පොතක් ඇතුලෙ කුරුමිණි අඬු වගේ අකුරුවලින් ලියාපු මන්තර වගයක් සිංහලට පෙරලන්න. සසඳන්න, විශ්ලේෂණය කරන්න. වනපොත් කරන්න.


එතකොට මකුළුදැල් තැවරිච්ච පුස් ගඳ කියන්නෙත් ඇබ්බැහියක් ද? චා.. චා...! මට ඒක ඇගෙන් අහලා දැනගන්නයි තිබ්බෙ!


අන්තිම අවුරුද්ද ගතවුනේ මහා හැලහැප්පීම් ගොඩක් එක්ක. ආං අර මුහුදු රළ ඇවිත් බුදියගෙන ඉන්න කළු ගලේ හැප්පිලා බිඳිලා විසිරෙනවා වගේ ඒ හැම ඝට්ටනයකින් පස්සෙම පෙණ කැටිති දාස් ගානක් ඉපදිලා බිඳිලා විසිරිලා ගියා. නෑ, නෑ ප්‍රහර්ෂයේ පෙණ බිඳිති නෙමෙයි. පාළු වීදි කෙලවරවල්වල, තැබෑරුම්වල බීර වීදුරු ඇතුලෙන් ඉපදිච්ච පෙණ කැටිති. ඒ හැම වෙලාවෙමත් මම උන්නෙ මේ වගේම තනියෙන් තමයි. හැබැයි, දන්න අඳුනන උන් කරවටේ අතක් දාගෙන ඇයි මචන් කියල අහනකොට මට උන්ට කියන්න සාඩම්බර උත්තරයක් තිබ්බා.


"අපේ ගෑණි එක්ක වලියක් ගියා බං! ගෑණි එක්ක!"



ගෑණි, මගේ ගෑණි! ඒක බොහොම ආඩම්බරෙන් බර තියලා කියන්න පුලුවන් වචනයක්. පුලුවන්නං මම ඒ වචනෙ අකුරු සේරම මහාප්‍රාණ කරලයි උච්චාරණය කරන්නෙ. ඒ වෙලාවට මම අනිත් උන් දිහා බෙල්ල කරකවල බලන්නෙ ඇතා පිටේ යන දියවඩන නිලමේ ටී වී කැමරාව දිහා බලන බැල්මෙන්. මම ඒ බැල්ම හොඳට මතක තියාගත්තා වගේම දහ දොළොස් වතාවක් කණ්නාඩිය එක්ක පෙර පුහුණුවීම් කරලයි හරියටම ඔළුව ඉස්සෙන්න ඕනෙ අංශක ගාන, බෙල්ල හැරවෙන්න ඕනෙ සීඝ්‍රතාවය නිවැරදිවම අනුකරණය කරන්න හැකියාව ලබාගත්තෙ. ඈ ඒකට කිව්වෙ පරිචය කියලයි. එහෙම කියපු වෙලාවෙ මම කිව්වෙ මටනම් ඒ වචනෙ ඇහෙන්නෙ කුණුහරුපයක් වගේ බවයි. අහ්, ඒ වගේ කුණුහරුපමය උච්චාරණයක් ඇති වචන ඈ වගේ ගැහැණුන්ට නොහොබිනා බවත් මම කිව්වා වගේ මතකයි.


කොහොමහරි, මට උවමනා කරල තිබුනෙ ඉහිල් වෙන්න.


මුහුද අද්දර සිමෙන්ති බැම්ම උඩ වාඩිවෙලා උන්නු කොල්ලා කෙල්ලව උස්සලා අරගෙන බිමින් තියනවා. පොන්නයෙක්! මම ඌට හිතෙන් දන්න කුණුහරුප සේරම එක්කාසු කරලා බනිනවා. ගෑණු කියන්නෙ සර්පයො වගේ ජාතියක් යකෝ. උඹ ඒකිගෙ පිරුණු දෙතොලට පහත් වෙන ඇසිල්ලෙන් ඒකිට පුලුවනි අත කරකවලා උඹේ පිටට පිහියෙන් අනින්න. ඒකිට පුලුවන් උඹේ අන්නාසි යුෂ වීදුරුවට ආසනික් දාන්න, උඹව සෙන්ටිමීටරේ කෑලි වලට කපලා මරන්න. ඔව්. ඒකිට පුලුවන්. ගෑණු එහෙමයි මෝඩයෝ. ගෑණු එහෙමයි. මම මේ අත්දැකීමෙන් කියන්නෙ.


ඒ වචන ශබ්ද තරංග විදියට මූදු හුළඟ එක්ක හැප්පුනේ නැති එක ඇත්ත. හැබැයි මම නළල රැලි කරගෙන, බෙල්ල දෙපැත්තෙ නහර පුම්බගෙන, පුලුවං තරම් වීරිය අරං බොහොම බලවත් චිත්ත තරංගයක් යැව්වා ඌට දැනෙන්න. ඌ දිහාවට එල්ල වෙලා තිබුන මගෙ ඇස් දෙක ලොවි ගෙඩි දෙකක් වගේ රතු වෙලා තිබුනෙ. නළල දෙපැත්තෙන් බේරෙන්නෙ හුළඟටවත් අතුරුදහන් කරන්න බැරි දාඩිය බිංදු. 


කොල්ලා එකපාරම මගෙ දිහා ගැස්සිලා හැරිල බැලුව. එකත් එකටම මගෙ චිත්ත තරංගය උගෙ අහවල් එකේ වදින්න ඇති. මම රතු පාට ගිනි පිටවෙන ඇස් වලින් ඌ දිහා දිගටම බලාගෙන උන්න. "මොකදෝයි?" ඌ ඇහුවා. 


"අනේ අපි යං." කෙල්ල අරූගෙ වැලමිටේ එල්ලෙනව. 


මම කාරල කෙල පාරක් ගහලා අහක බලා ගන්නවා. කොල්ලා කෙල්ලවත් ඇදගෙන යන අතරෙ මගෙ දිහාව සැකෙන් වගේ බලන හැටි මට ඇහැ කොනට පේනව. හීනි වැලිකැටයක් තරමෙ සැකයක් උගේ හිතට ඇතුල්වෙච්ච බවත්, මේ මොහොතේ ඉඳන් හුස්ම ඉහල පහල හෙලන වාරයක් ගානෙ ඒ වැලිකැටේ උගේ පපුව සූරන බවත් මතක් වෙලා ඔන්න මට හයියෙන් හිනාවෙන්න හිතෙනව. හිනාව වෙනුවට මං "හාහ්" ගාල විසාල ඈනුමක් ඇරලා බංකුවෙන් නැගිටිනවා.


මූදු රැල්ල ඇවිත් මගෙ කකුල් දෙකේ හැප්පිලා පෙණ කැටිති පුපුරවමින් ආපහු දුවනවා. මේ වගේ වෙලාවට ඒකි කලේ ගවොම් සාය කලවා පේන තරමට උස්සගෙන උඩ පනින එක. 'ප්‍රදර්ශන කාමය' මම දත්කූරු සපමින් හිතන්නට වුනා. ඒක කියෙව්වෙ මොන පොතෙන්ද කියල මතක නැති වුනත්, දැන් මට පැහැදිලියි ඒකිගෙ හිතේ තිබ්බ දේ. 


"ඔය ගවොම් සාය පහල දා ගනිං." මම පුපුරා හැලුනා.


ඒකි බොහොම හෙමින්, මං කියන්නේ හින්දි චිත්‍රපටියක සිපගැනීමේ දර්ශනයකට කලින් දෙතොල් ලංවීම ස්ලෝ මෝෂන් පෙන්වන්නේ, ඒ තරම් හෙමින් බෙල්ල කරකවල, ඔළුව දකුණට ඇල කරල මා දිහා බැලුවා.


"මම දැක්කා ඔයාගෙ අම්ම කෙල්ල කාලෙ ඉනේ ඉඳන් අඟල් දෙකක් දිග ගවුම් කොට ඇඳන් ඉන්න පුස්කාපු පොටෝ ඇල්බම් එකක්." ඒකි වචනෙන් වචනෙට බර තියමින් කිව්ව.


ඊට පස්සෙ ඔළුව දෙපැත්තට පද්දලා කොස්සන් සද්දෙට හිනාවෙන්න ගත්තා.


අන්න ඒ වෙලාවෙයි මූදු වතුර මට්ටම මගෙ නහයට වඩා ඉහල නගින්න ගත්තෙ. නහයට ඉහලින් වතුර අඟලක් ගියත් එකයි. අඩියක් ගියත් එකයි. විශේෂයෙන්ම මූදු වතුර. 


දණිහට වඩා උඩින් අඟලක් පේන්න ඇන්දත් එකයි, අඩියක් පේන්න ඇන්දත් එකයි. ගෑණු! පට්ට පඳුරු පරට්ට ගෑණු!




~ ඉ ව ර යි ~





77 comments:

  1. වෛරය විදිහට එළියට දැම්මේ හදවතේ තියෙන අසීමිත අ‍ාදරයද? මට දැනුනේ එහෙමයි අක්කේ...

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්නත් පුලුවනි. සමහරුන්ට, සමහරවිට.

      Delete
  2. හත්වලාමයි....

    මම... අනේ බස්සියෝ... මේක මගේ ඔලුවන් හය්යෙන් හුලන් හමාපු වෙලාවට ගහගෙන ආපු එකක්දෝ කියල හිතුන. හෙහ්.. මගෙත් තියනවා මේ ජාතියේ එව්වා වල මෙව්වා එකක්.. හෙහ්... ලියල තියෙනවා නියමෙටම.

    ලයික් ලයික්

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ උපයෝ!

      අපි කාගෙත් ඔළුගෙඩිවල මේවගෙ එව්වා තියෙනව නේද? සම්පූර්ණයෙන්ම නැතත් ටික ටික හරි?

      (ඒක නෙමෙයි මගෙන් ගුටි නොකා අර මලගෙදර සීන් එක දානවද නැද්ද ඈ. රතු කට්ට පැනල ඉන්නෙ දැන්)

      Delete
  3. හම්මේ........මේක නම් පිස්සු! දෙපාරක් කියවන්ඩ වුනා!! පට්ට!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි රූපේ!

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. හප්පා මුලින්ම මේක දැක්කෙ බුකියෙ. දෙවනුව බ්ලොග් එකේ ඉතිරිය සමග එන බව දනන් උන්නා. ඉහිල්විමකින් කෙලවර වුනු වෛ රයක්ද වෛරයෙන් කෙලවර උන තමාගෙන්ම පළිගෙන ඉහිල් වීමක්ද කියන දේක අතරේ මගෙ හිත තවම දෝලනය වෙනවා. සුපිරියි බස්සියේ .

    ReplyDelete
    Replies
    1. අන්න එහෙම වෙනවනම් මමත් සෑහෙන්න දුරට හිතේ තිබ්බ දේ ලියල තියෙනව කියල සතුටු වෙන්න පුලුවනි. තැන්කූ දිලා!

      Delete
  6. ප්‍රදර්ශණ කාමය? මේ බස්සි නොදන්නෙ මොනවද?
    කිරිහොදි හදන විදිහ විතරද?
    CIMA ත් කරා කිව්ව නේද. ඒකෙනුත් එකක් ලියමුකො.
    දුවගෙන ගිහිල්ල මුහුදට පනින්න හිතුනෙ නැත්තෙ මොකද කතා නායකයට.

    ReplyDelete
    Replies
    1. ඒක නොදැන ඉන්න විදියක් නෑනෙ. ඩෙස්මන්ඩ් මොරිස්ගෙ පොත්වලට මං හරි ආසයිනෙ.

      සිමාවල ඒව ලියන්න? ආපෝ ඒක හොඳ රස්සාවට විතරයි ඉයන්. මං ලියන්නෙ රිලැක්ස් වෙන්නනෙ. හිහී! කල්පනා කරල බලන්නංකො දිරවාගත හැකි විදියට පත අට එකට හින්දන්න පුලුවන්ද කියල.

      කතා නායකය කලේ ඒක තමයි.
      //අන්න ඒ වෙලාවෙයි මූදු වතුර මට්ටම මගෙ නහයට වඩා ඉහල නගින්න ගත්තෙ. නහයට ඉහලින් වතුර අඟලක් ගියත් එකයි. අඩියක් ගියත් එකයි. විශේෂයෙන්ම මූදු වතුර.//

      Delete
    2. බලපල්ලකො ඒකෙත් හැටි 'ප්‍රදර්ශණ කාමය' කෑල්ල දැක්කට අර අහිංසකය මූදෙ පණිනව දැක්කෙ නැහැනෙ. වයසයි කියල බිමින් යන හිත් නෙමෙයිනෙ අපිට තියෙන්නෙ. හැක්

      Delete
    3. ඒකනෙ ඒකනෙ. ඇහැ පුරුදු වෙලා තියෙන හැටි තමා. :P

      Delete
  7. හෑ? මේ මොකද බස්සියේ?
    මේ ආදරය වෛරය එකට එකතුවුනු තැනක් වගේ මට දැනුනෙ.

    නියමෙටම ලියවිලා. එල එල.

    ReplyDelete
  8. උඔගේ ලියවිල්ල නම් ඉතිං හැමදාම වගේ එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ මට වගේම තොටත් මේක කියෙව්වට පස්සේ කොයිල් වගේ උනාද...

      Delete
    2. හරියට හරි...
      තේරැනා නම් දිග කමෙන්ට් එකක් දානවා

      Delete
    3. ස්තූතියි මෙන්ඩා!
      ස්තූතියි ලොකුපුතා!

      Delete
    4. වැඩියෙ හිතන්න එපා. මහලොකු දෙයක් නෑ බසු මනෝවිකාර මිසක්.

      Delete
  9. ඇට ලේ මස්වලට කැවිච්ච- අම්ම අප්ප එක්කවත් ඒ තරම් කුටු කුටු නොගෑව- ආදරයක් නතර කරන්න වුනාම ගෙවෙන හැම නිමේෂයක්ම අමාරු බව ඇත්ත.. හදවත වැළි කොළයකින් අතුල්ලනවා වගේ දැනෙන බවත් හැබෑව...බඩ පපුව දැවෙන බවත් හැබෑව... මළානිකව ඉන්න කොට නයා නැති වෙච්ච අහිකුණ්ඨකයා වගේ අන් අයට පේන විත්තියත් හැබෑව....ඉඩෝරෙට අහුවෙච්ච පරඬලැක් ගිනිගන්න ගාණට මුළු ඇතුළාන්තයම පිච්චෙනවා වගේ දැනෙන බවත් හැබෑව... එහෙම වුනත් ලව් බ්රේක් වුනාම මේ කතාවෙ වගේ මැරෙන්න නම් ඕන නෑ ඕං... තවත් අලුත් එකකට යනවා මිසක්....

    කතාව නියමයි... කෙල්ලෙක් බූට් කාපු කොල්ලෙක්ගෙ ඔළුවට බැහැලා මුළු ගෑණු සංහතිය ගැනම ඔහු දරණ ආකල්පය ඉදිරිපත් කරන නිසා තවත් නියමයි... හැමෝම නොවුනත් බොහෝ පිරිමි බූට් කෑවම සහ කියන දේ නාහා පිරිමියට උඩින් යන්න ගියාම ඔය විදිහට ගෑණු ගැන ආකල්ප දරනවා කියලයි මගේ අදහස... එහෙම වෙන්නෙ හිත සනසගන්න ද වෛරය පිරිමහගන්න ද ආධිපත්‍යය පතුරුවා ගන්න ද මමත්වය නිසා ද කියළා මම දන්නෑ...

    ඒත් කෙල්ලො බූට් එක තියපු කොල්ලො ගැන ඔය විදිහට පට්ට-පරට්ට ගාණට හිතනව ද? ඉස්සර කැලණියෙ කෙල්ලන්ගෙ හොස්ටල් එකේ නම් බිත්තියක බූට් එක තියපු කොල්ලෙක් ගැන වස් කවියක් ලියලා තිබුණා කියලා අහලා තියෙනවා. දැන් මතක නෑ... හත් කඩකට පැලීයන් බ්ලාහ් බ්ලාහ් ඔන්න ඔහොම කවියක්...

    ReplyDelete
    Replies
    1. //එහෙම වුනත් ලව් බ්රේක් වුනාම මේ කතාවෙ වගේ මැරෙන්න නම් ඕන නෑ ඕං//

      ප්‍රබන්ධයක්, ජීවිතාදර්ශයක් කරගන්න තරම් මෝඩ මිනිස්සු ඉන්නවනම් ඉතින්.... (අනේ මන්ද. ටිකක් දරුණු කියමනක් කියල හිතෙයි.) ඒත් ප්‍රබන්ධයකින් ආදර්ශ අරන් මූදට පනින්න තරම් මෝඩ අය, මූදට පනින එකමයි හොඳ කියල හිතෙන්නැද්ද?

      බොහොම ස්තූතියි දමයන්ත! කැම්පස් කුරුටු ගී අතරෙ දෙපාර්ශවය ගැනම ඔයවගේ බූට් කුරුටු ලියැවිලා තියෙනව නේද?

      මේ ලව් කුරුටු ගී ගැන මම කාලෙකට කලින් ලිව්ව ලිපියක්.
      කැම්පස් කුරුටු ගී

      Delete
  10. //ලුණු රහ ගෑණු //
    මාතෘකාව දැක්කගමන් මතක්වුනේ ටෙකීලා Tequila

    www.urbandictionary.com/define.php?term=body+shot
    http://www.drinksmixer.com/drink2322.html
    https://www.youtube.com/watch?v=Nfy8Piy41Wo

    ReplyDelete
    Replies
    1. ඉන්නකෝ ගෙදර ගොහින් ලින්ක් ටික බලල ඉන්න ඕනෙ ඉස්සෙල්ලම.

      Delete
  11. ඇඳුම් ගැන නම් කොහොමද දන්නෙ නෑ. ලව්පූස් මහත්තය එකදවසක් කිව්ව සපත්තු අඩිවලනම් අඩියෙයි අඟල් හයෙයි වෙනස.
    එයා දන්න සම්බාව්ය එක්කෙනෙක් විසිබල්ද ඉන්විසිබල්ද තීරණයවෙන්නෙ ඒකෙන්ලු

    ReplyDelete
    Replies
    1. මට දැන් මතක් උනේ. ඔන්න එදා විජිතයාපා ස්ටෝල් එකේදි බසුෆෑන් නංගෙක් ආවා.
      "බස්සි අක්කි නේද ඔයා? හායි! හොඳ වෙලාවට බස්සා අයිය පේන්නෙ හිටියෙ. ඒකෙන් තමයි ඔයා ඉන්න තැන හොයාගත්තෙ."

      ඊට පස්සෙ කවිපොත් සල්පිල ඉස්සරහදි මල්ලි කෙනෙක්;
      "අම්මෝ මේ ඉන්නෙ. බස්ස අයියව විතරනෙ ඈතට පේන්නෙ."

      Delete
    2. බස්සි: මේ.... මම මේ කියන්නමයි හිටියේ. මටත් හිතෙනවනෙ බොලේ අර ගුගල් මැප් වල තියෙන ලොකේෂන් එක දක්වන රතුපාට සලකුණ වගේ එකක්දෝ කියා ඔය බස්සා! හෙහ් හෙහ්... ආන්න බලාපන් තියෙන උජාරුව එතකොට. වෙන උන්ට කොහෙද ඒ වගේ තත්තයක්!

      Delete
    3. සිරාවට ඕයි.

      "මං අද නුගේගොඩ හංදියෙදි ඔයාව දැක්කා. බස්සා මල්ලිව දැකලා ස්ලෝ කරල එබිල බලද්දි ඔයත් ඉන්නව ඔන්න."

      කොහොමද ඒක? අද උදේ ආව චැටක්.

      Delete
  12. බුකියේන් පාර අහගෙන දුවලා දුවලා ආවෙ ඉතිරි ටික කියවන්න....ෆට්ටයි අක්කේ.... ^_^

    ReplyDelete
  13. ..///ආං අර මුහුදු රළ ඇවිත් බුදියගෙන ඉන්න කළු ගලේ හැප්පිලා බිඳිලා විසිරෙනවා වගේ ඒ හැම ඝට්ටනයකින් පස්සෙම පෙණ කැටිති දාස් ගානක් ඉපදිලා බිඳිලා විසිරිලා ගියා//..
    උපමා ගැලපිලි යෙදීමනමි ඉතා දක්ෂ ලෙසින් කරලා තියනවා.හිතට සමීප වෙන බවක් තියනවා මෙ උපමා නිසා.ඒ නිසාමයි මෙ කතා සාර්ථක.තවත් කතා ලිවන්න තිස්තුන් කොටියක් ජය

    වෙලාවක් ලැබුනම හොරැගැනත් බලාගෙන යන්න එන්න
    කවුද හොරැ ?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මනෝ!
      අනිවාර්යයෙන්ම එන්නම්.

      Delete
  14. මම මේ ළඟදි ඉවානයා එක්ක කතා උනා උඹ ගංජා ගහනවද කියලා... අර ගම්මිරිස් කිරිල්ලියි..., බස්සියි... ෂුවර් මල් ප්‍රිය කරන්නෝ... නැතෙයි කියන්නත් බෑ නේ... මේවා කියවන කොට මා (මතලන්) නම් හිතෙන්නේ අපි බොන්නේ කිසි හේතුවක් නැතිවෙයි කියලා...

    ඇත්ත කියහන් මේවා ලියන්නේ බීලද....?

    ReplyDelete
    Replies
    1. බස්සි කියන්නේ මොනවගේ එකෙක්ද කියලා නොදැක තිබ්බනම් මමවුනත් හිතන්නේ මේකා ගංජා ගහල කියලා තමා

      Delete

    2. මාතලන් ගෙ කමෙන්ට් එක කියවනකොට මතක් වුනේ මගේ Alltime favourite රොමෑන්ටික් කොමඩි එක When Harry met Sally මූවි එකේ තියෙන මේ සීන් එක. ඒකෙ අන්තිමට කෙනෙක් කියනවා "I willl have what she is having" කියල. මටත් ඔය ජාතිය ගත්තොත් නිර්මාණශීලීත්වය ලබා ගන්න පුළුවන් වෙයිද. මෙම මූවි එක බලල නැත්නම් කොහොම හරි බලන්න.

      Delete
    3. මගෙන් ඕක කීපදෙනෙක්ම ඇහුව අප්පා. ඇයි වදේ!

      හැබැයි, කෝපි බිව්වම කතා ලියවෙනවා. සීතල දවස් නිසා කෝපි වැඩිපුර බොනවා.

      (මේකට පහලින් වැටෙන්න නියමිත කමෙන්ට් වලට උත්තරේ : මට කෝපි බිව්වම හැමෝටම එනවා කියන ශාරීරික වෙනස සිද්දවෙන්නෙ නෑ. ලොල්!)

      හැබැයි යාලුවෙක් කියල තියෙනවා මල් ගැහුවම උගේ කන් දෙකෙනුත් කවි විසිවෙනව කියලා.

      Delete
    4. ඉවානයා නම් ඉතින් බයිට් කාලනෙ කතා ලියන්නෙ. :D

      Delete
    5. ලින්ක් එකට බොහොම ස්තූතියි ඉයන්!

      මම ෆිල්ම් බලන්න, ටෙලිනාට්‍ය බලන්න වැඩි මනාපයක් නැති ගොඩයාස් කෙනෙක් නිසා හොඳ ෆිල්ම් හරියට මිස් වෙනවා. මේක බලන්නම්.

      Delete
    6. This comment has been removed by the author.

      Delete
    7. This comment has been removed by the author.

      Delete
    8. උඩ දැම්මෙ එක සීන් එකක ලින්ක් එකක්. මෙන්න When Harry Met Sally , full මූවී එකේ ලින්ක් එක. මේක කොහොමහරි බලන්න.

      Delete
    9. එල! තැන්කූ ඉයන්!!

      Delete
  15. මටනම් ලෙසටම වැදුනේ අර සැකය වැලි කැටයක් වගේ හිත පහුරු ගාන කෑල්ල.. මූට ගිලිලා මැරෙන්න දෙන්න එපා.. තව ලස්සන කතන්දර ටිකක් අහගන්න නම් බේරාගන්න වෙනවා.. :)

    ReplyDelete
    Replies
    1. මම මුල ඉඳන්ම ප්ලෑන් කරන් හිටියෙ මූව මරන්න. වෙනස් විදියකට. හැබැයි ලියාගෙන යද්දි මගදිම මූ මුහුදට පැන්නා. මං මක් කරන්නද ඉතිං?

      Delete
    2. මට වෙන්නේ ඕකේ අනිත් එක...

      මරන්නම්ම කියල හිතාගෙන එන එකා අවසානෙදි මෙන්න පොරක් වෙලා යහතින් ඉන්නවා. චෙක් ඉතරක්

      Delete
    3. ඇයි ගහමරාගෙන බ්‍රේක් වෙන්න යන ලව් එෆෙයාර් එකක් ගැන ලියාගෙන යද්දි මෙන්න ඒ යක්කු දෙන්නා පිස්සො වගේ කිස් කරනවා.

      Delete
  16. නියමයි කියන්නෙ නියමෙටම නියමයි.......... වෙන කියන්න දෙයක් නෑ............. ඔය තැන ඔච්චරම සුපිරියට ලියන එක කොහොමටවත් ලේසි දෙයක් නෙවේ............ ආයෙමත් කියන්නෙ නියමයි................ ගොඩ දෙනෙක්ගෙ හිත ඇතුලෙ තිබුණට හරියට ලියන එක කරන්න අමාරුම අවස්ථාවක්................ සුපිරි...........

    ReplyDelete
    Replies
    1. අම්මෝ!
      ගොඩාක්ම ගොඩාආආආඅක්ම ස්තුතියි ආර්යන්!

      Delete
  17. ඌ දුෂ්ටයෙක්.
    ඊට වඩා දෙයක් මං දැක්කෙ නෑ
    හැබැයි අර හිංදි පිච්චර් වල දෙමළ පිච්චර් වල ඉන්න උංට වඩා තාත්වික පොරක්
    අයි ලයික් දැට්
    හිහික්
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. තැන්කූ මහියෝ!
      ඌ දුෂ්ඨ උනාට පව් නැද්ද? ;)

      Delete
  18. ඊර්ෂ්‍යාව සහ ආදරයද?අන්තිමට තමන්ගෙන්ම පලි ගත්තද.දෙපාරක් කියවලායි තේරුම් ගත්තේ අපූරුයි ....ආදරයක ගැඹුර දැනුනා

    ReplyDelete
  19. මිනිස්සු බොහෝ වෙලාවට ලෝකය ගැන , අනික් මිනිස්සු ගැන තීරණ ගන්නේ තමන්ගේ ඇත දැකීම් අනුව, ලෝකයට හෝ ගෑනු සංහතියටම හෝ පිරිමි සංහතියටම වෛර කරන්න ඒ එක අමිහිරි අත්දැකීම ඇති හොඳටම

    ReplyDelete
    Replies
    1. යර්ස් යර්ස්! සහතික ඇත්ත.
      (ප.ලි. : ඉවානයා බිසී වී ඇති බව පෙනේ! අනේ සාදු!!)

      Delete
    2. මගෙත් සාදුව පිළිගන්න... අනේ උගේ බිසී.. හුහ්

      Delete
  20. මම මේ කල්පනා කලේ මේ ගැන මොනවද මම ලියන්නේ කියලා..

    ReplyDelete
    Replies
    1. හා එහෙනං ආර්චියට සලාද කොලයක් කවන අතරෙ තව ටිකක් කම්පනා කරල ඇවිත් ලියාන්කො.

      Delete
  21. හප්‍ඕයි...බස්සි...මරු.
    පට්ට පදුරු ගෑනු..හිහි.. :)

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ සයුරී!!

      Delete
  22. මූට ඇලජික් ද ගෑනු? අහෝ ඛෙදයකි! නෑ මං හිතන්නෑ.

    ReplyDelete
    Replies
    1. මං හිතන්නෙ එහෙම නෑ. :D

      Delete
  23. //නහයට ඉහලින් වතුර අඟලක් ගියත් එකයි. අඩියක් ගියත් එකයි. විශේෂයෙන්ම මූදු වතුර. //
    මං ඔයාගේ ලියවිල්ලට පට්ට ආසයි අක්කේ! අද නම් මොලේ විකාර උනේ නෑ ඇති යන්තම්..

    ReplyDelete
    Replies
    1. ඒක හොඳයි.
      තැන්කූ මලියෝ! :)

      Delete
  24. අම්මට සිරි කිව්වලු. ඔය කියලා තියෙන්නේ පිහියෙන් ඇන්නා වගේ. පව් අර අහිංසකයා. මොකක් හරි අවුලක් තියනවා පොරගේ

    ReplyDelete
    Replies
    1. ඔයාට තමා තේරුනේ. මං හිතන්නෙ පොර ඩිප්‍රෙස් වෙලාද කොහෙද. ;)

      Delete
  25. මෙහෙම එව්ව දාන්න එපා බස්සියේ. අපි වගේ ප්‍රාණින්ට අනාගතේ ගැන බය හිතෙන්නෙ එතකොට. විරහව කියන්නෙත් සෞන්දර්යයක් කියලා හිතං හිටියට මේවා දැක්කම හිතෙනවා වයසට ගියාම ඉන්න හැම තරුණ කෙල්ලටම ප්‍රදර්ශන කාමය කියලා කොල්ලොන්ට ඉරිසියා කර කර ඉන්න වෙයි කියලා.

    ReplyDelete
    Replies
    1. අයියෝ එහෙම නෑ රතූ. මිනිස්සු එකාට එකා වෙනස්. හොඳටෝම වෙනස්. :)

      Delete
  26. කියන්න දෙයක් නෑ ස්තරම් !!!

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි විදානේ!

      Delete
  27. ඕකෙ කේස් එක බස්සි "මට බලන්න හොඳයි. (අනික් ගෑනු ) අනිත් එවුන් දැක්කොත් (මගේ ගෑනිව )" . ඕක අනාදිමත් කාලයක් ඉඳන් තියෙන ප්‍රශ්නයක් නේ. මන් දැක්ක ෆේස්බුක් එකේ මේකට තෑග්ගක් ලැබී තියෙනවා. සුබ පැතුම් ඒකටත් .

    ReplyDelete
    Replies
    1. ෆේස්බුක් එකේ තෑග්ගක්? මං නම් දැන් සති දෙක තුනක ඉඳන් ෆේස්බුක් එකේ දකින්නේ මේකට ගල්මුල් සහ බාල්දි විතරමයි.

      ලින්ක් එක එවන්නකො අජිත් අයියේ!

      Delete
  28. http://sinhala.lankanewsweb.net/featured/nelum-yaya/item/988-2015-09-30-21-49-31

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අජිත් අයියේ!

      Delete
  29. එක්තරා පුපිරි ඇඳුම් සාප්පුවක සේල් එකකට රොටියාවත් ඇදගෙන ගියේ ගෑණු ළමයාය. ගෑණු ළමයා තුන්මුනින් දාඩිය දාගෙන තෝරා රෙදි පොට්ටනිය කර ගසා ගෙන උන් රොටියා වෙන වැඩක් නැති නිසා වටේට රබර් ඇහැ දමා බලන කල මෙතැන fit on rooms නැති බව පෙනුනි. මැදිවියේ ස්වාමි පුරුෂයෙක් සිය බිරින්දෑ ඇඟළුමට උඩින් දමා බැලූ බ්ලවුසයක් ගලවන තෙක් යට බ්ලවුසය අල්ලාගෙන සිටියි. (මේ මගේ බඩ. උබලට පෙන්නන්නේ නෑ හූ හූ) එසේ ඉන්නා ගමන් හොර බළලෙකු මෙන් හතර වටේ ඇහැ යවන්නේ අනෙක් ගැහැණුන්ගේ නිරාවරණය වන අග පසග කරාය

    ReplyDelete