Tuesday, September 29, 2015

ලුණු රහ ගෑණු






මට උවමනා කරල තිබුනෙ ඉහිල් වෙන්න. 


ඇත්තටම, හදවත කුඩා කැබැලිති දහස් ගානකට කැඩිලා ගියාට පස්සේ ඕනෙම මනුස්සයෙක්ගේ පරම අපේක්ෂාව වෙන්නේ ඉහිල් වීම.  පලමුවත්, දෙවනුවත්, තෙවනුවත් අවශ‍ය වෙන්නේ ඒක. මොකද, බිඳුනු කුඩා හෘද කැබැලිති අසාමාන්‍ය විදියට බරට දැනෙන මනුස්සයෙක්ට වෙනත් අපේක්ෂාවක් ගැන හිත යොමු කරන්න ඔලුව නිදහස් නැහැ.


කොහොමත් එකලස් වීම කියන අවශ්‍යතාවය පැනනගින්නේ සිව්වනුව හෝ ඊටත් පසුව. 


මම දැන් ඉන්නෙ මුහුදු වෙරළෙ. අර හුරුපුරුදු බංකුව මතම තමයි. හැබැයි තනියම. අන්නාසි අච්චාරු සුවඳක් වඩාගෙන ආපු මුහුදු හුළඟක් නහය ඇතුලෙන් රිංගලා ඛේඨ ග්‍රන්ථිවලට තට්ටු කරනවා. මම කෑදරකමෙන් ඉපිලෙමින් අන්නාසි අච්චාරුකාරයා දිහා බලන් ඉන්නවා. අන්නාසි අච්චාරුකාරයා මා දිහා වැරදීමකින්වත් නොබලාම මුහුද අයිනෙ කෙටි සිමෙන්ති බැම්මක් උඩ තුරුල්වෙලා ඉන්න කපල් එකක් ළඟට කිට්ටු කරනවා.


අන්න එතකොට මට ආයෙමත් ඉහිල් වීමේ අවශ්‍යතාවය මහ බරට දැනෙන්න ගන්නවා.


කොහොමත්, අවුරුදු අටක ආදරයක් කියන්නේ ඒකක්ෂණයෙන් ඉරලා කුණු කූඩෙකර දාන්න පුලුවන් තුනී කරදාසියක්වත්, නොදුටු බව අඟවමින් සපත්තුවට අඹරලා දාන්න පුලුවන් දුබල, නීරස කහ අරලියා මලක්වත් නෙමෙයි. ඒක සෞම්‍යයි කිව්වට ඒ තරමටම දැඩියි, සියුම් සහ බොළඳයි කිව්වට ඒ තරමටම ප්‍රභලයි. මං කියන්නේ, ඒ අවුරුදු අටෙන්, අවුරුදු හයහමාරක්ම වැයවුනේ ඒකපාර්ශ්වීය ආදරයකට බව මෙතැනදි ලොකු වැදගත්කමකින් සඳහන් කලයුතු කරුණක් නෙමෙයි.


ලුණු රස හුළඟ කියන්නේ ඇබ්බැහියක්ද? ඈ කියන්නේ එහෙමයි. ඈට ඕනෑ උනේ ලෙක්චර් හෝල් එකේ මුල් පේළියේ වාඩිවෙන්න. ප්‍රොෆාගේ කටෙන් වැටෙන අකුරක් අකුරක් ගානේ පිටපත් ලියන්න. ඉන් පස්සේ අධ්‍යයන කාමරේ මකුළු දැල් බැඳුනු මුල්ලකට වෙලා පුස් ගඳ ගහන විසාල පොතක් ඇතුලෙ කුරුමිණි අඬු වගේ අකුරුවලින් ලියාපු මන්තර වගයක් සිංහලට පෙරලන්න. සසඳන්න, විශ්ලේෂණය කරන්න. වනපොත් කරන්න.


එතකොට මකුළුදැල් තැවරිච්ච පුස් ගඳ කියන්නෙත් ඇබ්බැහියක් ද? චා.. චා...! මට ඒක ඇගෙන් අහලා දැනගන්නයි තිබ්බෙ!


අන්තිම අවුරුද්ද ගතවුනේ මහා හැලහැප්පීම් ගොඩක් එක්ක. ආං අර මුහුදු රළ ඇවිත් බුදියගෙන ඉන්න කළු ගලේ හැප්පිලා බිඳිලා විසිරෙනවා වගේ ඒ හැම ඝට්ටනයකින් පස්සෙම පෙණ කැටිති දාස් ගානක් ඉපදිලා බිඳිලා විසිරිලා ගියා. නෑ, නෑ ප්‍රහර්ෂයේ පෙණ බිඳිති නෙමෙයි. පාළු වීදි කෙලවරවල්වල, තැබෑරුම්වල බීර වීදුරු ඇතුලෙන් ඉපදිච්ච පෙණ කැටිති. ඒ හැම වෙලාවෙමත් මම උන්නෙ මේ වගේම තනියෙන් තමයි. හැබැයි, දන්න අඳුනන උන් කරවටේ අතක් දාගෙන ඇයි මචන් කියල අහනකොට මට උන්ට කියන්න සාඩම්බර උත්තරයක් තිබ්බා.


"අපේ ගෑණි එක්ක වලියක් ගියා බං! ගෑණි එක්ක!"



ගෑණි, මගේ ගෑණි! ඒක බොහොම ආඩම්බරෙන් බර තියලා කියන්න පුලුවන් වචනයක්. පුලුවන්නං මම ඒ වචනෙ අකුරු සේරම මහාප්‍රාණ කරලයි උච්චාරණය කරන්නෙ. ඒ වෙලාවට මම අනිත් උන් දිහා බෙල්ල කරකවල බලන්නෙ ඇතා පිටේ යන දියවඩන නිලමේ ටී වී කැමරාව දිහා බලන බැල්මෙන්. මම ඒ බැල්ම හොඳට මතක තියාගත්තා වගේම දහ දොළොස් වතාවක් කණ්නාඩිය එක්ක පෙර පුහුණුවීම් කරලයි හරියටම ඔළුව ඉස්සෙන්න ඕනෙ අංශක ගාන, බෙල්ල හැරවෙන්න ඕනෙ සීඝ්‍රතාවය නිවැරදිවම අනුකරණය කරන්න හැකියාව ලබාගත්තෙ. ඈ ඒකට කිව්වෙ පරිචය කියලයි. එහෙම කියපු වෙලාවෙ මම කිව්වෙ මටනම් ඒ වචනෙ ඇහෙන්නෙ කුණුහරුපයක් වගේ බවයි. අහ්, ඒ වගේ කුණුහරුපමය උච්චාරණයක් ඇති වචන ඈ වගේ ගැහැණුන්ට නොහොබිනා බවත් මම කිව්වා වගේ මතකයි.


කොහොමහරි, මට උවමනා කරල තිබුනෙ ඉහිල් වෙන්න.


මුහුද අද්දර සිමෙන්ති බැම්ම උඩ වාඩිවෙලා උන්නු කොල්ලා කෙල්ලව උස්සලා අරගෙන බිමින් තියනවා. පොන්නයෙක්! මම ඌට හිතෙන් දන්න කුණුහරුප සේරම එක්කාසු කරලා බනිනවා. ගෑණු කියන්නෙ සර්පයො වගේ ජාතියක් යකෝ. උඹ ඒකිගෙ පිරුණු දෙතොලට පහත් වෙන ඇසිල්ලෙන් ඒකිට පුලුවනි අත කරකවලා උඹේ පිටට පිහියෙන් අනින්න. ඒකිට පුලුවන් උඹේ අන්නාසි යුෂ වීදුරුවට ආසනික් දාන්න, උඹව සෙන්ටිමීටරේ කෑලි වලට කපලා මරන්න. ඔව්. ඒකිට පුලුවන්. ගෑණු එහෙමයි මෝඩයෝ. ගෑණු එහෙමයි. මම මේ අත්දැකීමෙන් කියන්නෙ.


ඒ වචන ශබ්ද තරංග විදියට මූදු හුළඟ එක්ක හැප්පුනේ නැති එක ඇත්ත. හැබැයි මම නළල රැලි කරගෙන, බෙල්ල දෙපැත්තෙ නහර පුම්බගෙන, පුලුවං තරම් වීරිය අරං බොහොම බලවත් චිත්ත තරංගයක් යැව්වා ඌට දැනෙන්න. ඌ දිහාවට එල්ල වෙලා තිබුන මගෙ ඇස් දෙක ලොවි ගෙඩි දෙකක් වගේ රතු වෙලා තිබුනෙ. නළල දෙපැත්තෙන් බේරෙන්නෙ හුළඟටවත් අතුරුදහන් කරන්න බැරි දාඩිය බිංදු. 


කොල්ලා එකපාරම මගෙ දිහා ගැස්සිලා හැරිල බැලුව. එකත් එකටම මගෙ චිත්ත තරංගය උගෙ අහවල් එකේ වදින්න ඇති. මම රතු පාට ගිනි පිටවෙන ඇස් වලින් ඌ දිහා දිගටම බලාගෙන උන්න. "මොකදෝයි?" ඌ ඇහුවා. 


"අනේ අපි යං." කෙල්ල අරූගෙ වැලමිටේ එල්ලෙනව. 


මම කාරල කෙල පාරක් ගහලා අහක බලා ගන්නවා. කොල්ලා කෙල්ලවත් ඇදගෙන යන අතරෙ මගෙ දිහාව සැකෙන් වගේ බලන හැටි මට ඇහැ කොනට පේනව. හීනි වැලිකැටයක් තරමෙ සැකයක් උගේ හිතට ඇතුල්වෙච්ච බවත්, මේ මොහොතේ ඉඳන් හුස්ම ඉහල පහල හෙලන වාරයක් ගානෙ ඒ වැලිකැටේ උගේ පපුව සූරන බවත් මතක් වෙලා ඔන්න මට හයියෙන් හිනාවෙන්න හිතෙනව. හිනාව වෙනුවට මං "හාහ්" ගාල විසාල ඈනුමක් ඇරලා බංකුවෙන් නැගිටිනවා.


මූදු රැල්ල ඇවිත් මගෙ කකුල් දෙකේ හැප්පිලා පෙණ කැටිති පුපුරවමින් ආපහු දුවනවා. මේ වගේ වෙලාවට ඒකි කලේ ගවොම් සාය කලවා පේන තරමට උස්සගෙන උඩ පනින එක. 'ප්‍රදර්ශන කාමය' මම දත්කූරු සපමින් හිතන්නට වුනා. ඒක කියෙව්වෙ මොන පොතෙන්ද කියල මතක නැති වුනත්, දැන් මට පැහැදිලියි ඒකිගෙ හිතේ තිබ්බ දේ. 


"ඔය ගවොම් සාය පහල දා ගනිං." මම පුපුරා හැලුනා.


ඒකි බොහොම හෙමින්, මං කියන්නේ හින්දි චිත්‍රපටියක සිපගැනීමේ දර්ශනයකට කලින් දෙතොල් ලංවීම ස්ලෝ මෝෂන් පෙන්වන්නේ, ඒ තරම් හෙමින් බෙල්ල කරකවල, ඔළුව දකුණට ඇල කරල මා දිහා බැලුවා.


"මම දැක්කා ඔයාගෙ අම්ම කෙල්ල කාලෙ ඉනේ ඉඳන් අඟල් දෙකක් දිග ගවුම් කොට ඇඳන් ඉන්න පුස්කාපු පොටෝ ඇල්බම් එකක්." ඒකි වචනෙන් වචනෙට බර තියමින් කිව්ව.


ඊට පස්සෙ ඔළුව දෙපැත්තට පද්දලා කොස්සන් සද්දෙට හිනාවෙන්න ගත්තා.


අන්න ඒ වෙලාවෙයි මූදු වතුර මට්ටම මගෙ නහයට වඩා ඉහල නගින්න ගත්තෙ. නහයට ඉහලින් වතුර අඟලක් ගියත් එකයි. අඩියක් ගියත් එකයි. විශේෂයෙන්ම මූදු වතුර. 


දණිහට වඩා උඩින් අඟලක් පේන්න ඇන්දත් එකයි, අඩියක් පේන්න ඇන්දත් එකයි. ගෑණු! පට්ට පඳුරු පරට්ට ගෑණු!




~ ඉ ව ර යි ~





Saturday, September 26, 2015

නික්මන





වැහි බිංදු නිය තුඩින්
තට්ටු කරන්නෙය කවුළුවට
ආචාරශීලීය 'චිටිචිටි චිචිටි' නද


මේ වගේ වැසි විය
ඔබ පැමිණ ගිය හැමදාම
ආවොතින් යායුතු බව
නොගොස් එන්නට බැරි බව
'චිටිචිටි චිචිටි' නදින් දොඩමින්

නෑ ඒ ඔබේ කටහඬ!


"
මං කැමති මීදුමට නික්මෙන්න.
පෙනී නොපෙනී ලැගුම්ගෙන
එලි තිතක් මෙන් නිවි නිවී දිදුලන්න.
නත්තල් ගහේ එල්ලූ - පොඩි විදුළි බුබුළු අර නිවෙන්නේ, දිලෙන්නේ
ඒ වගේ!
"


මං ගැයුවෙ නික්මන ගැනයි
ඒ දීර්ඝම සැඳෑ සාදය අවසන
දෙව්දාර රිකිලි අග
ඔංචිලි පැද්දෝහ සිඟිති පිණි බිඳු
ඔබේ ඇස් මරකත මැණික් මෙනි - ඇතුලතිනි දිලෙන්නේ...


ඉනික්බිති සමුගැනීමය.
බලාගෙන යද්දි මාෂා
පළමු හමුවේ, පළමු තත්පරෙත්
හුවමාරු උනේ සමුගැනීමේ හාදු ය.
චෙරි රසැති ඔබේ මුදු දෙතොලගින්
මගේ ගීතයක පුන ගැයුම නික්මෙයි

ඒ කියන්නේ
කවමදාවත්
මං අහන්නේ
කවමදාවත්
අපි අපිව හමුවුනේ නැතුවද?


වැහි මීදුමට එපිටින්
ඔබේ තාරුකා නෙත්‍ යුග දිසෙයි
නත්තල්ගහේ එල්ලූ විදුලි එලි මෙන්
ඔබ නිවෙයි - යලි දිලෙයි
ඒ කමටහන් කරමි
මමද නිවෙමින් දැල්වෙමි.


එන අයට නොගිහින් බැරිය
ගියොත් ආපසු එන්නෙය
මගේ අදිටන
ගිහින්, නෑවිත් ඉන්නය!





Thursday, September 24, 2015

පිරිසිදුකම මාරාන්තිකයි?






අදත් බස්සි කියලා දෙන්න යන්නෙ විද්‍යා විනෝද කතාවක්. හැබැයි, මේක එක්තරා විදියක දැනමුතුකමක් කිව්වත් වැරදි නෑ. 


"ගින්දරයි පුළුනුයි එකට ලං කරන්න හොඳ නෑ!" කියල කතාවක් අහල ඇතිනෙ? හේතුව දන්නවානෙ, ඇවිලෙනවා. ඒ වගේම, අපි නොසැලකිල්ල හෝ නොදැනුවත්කම නිසා එකට මුහු කරන, ගෙදරදොරේ එදිනෙදා භාවිතයට ගන්න පිරිසිදුකාරක මොනවද කියලත්, ඒවා එකිනෙක මිශ්‍ර වුනාම මොකද වෙන්නෙ කියලත් පොඩ්ඩක් හොයා බලන්න තමයි මේ සූදානම.


එහෙනං ඉඩ තියෙන විදියට ඔය හත් අට පොලකින් ඈඳි ගන්නකෝ....



1. විනාකිරි සහ ක්ලෝරීන් අඩංගු පිරිසිදුකාරක





අපි සමහර වෙලාවට කරන දෙයක් තමයි, ගෙදර පිරිසිදු කරන්න ක්ලෝරීන් අඩංගු පිරිසිදුකාරකයක් (Clorox වගේ) යොදාගන්නකොට ඒකට විනාකිරි මිශ්‍ර කරන එක. ඇත්තටම මෙහෙම කරනකොට පිරිසිදුකාරකයේ පිරිසිදු කිරීමේ හැකියාව ඉහල යනවා. හේතුව තමයි, විනාකිරි මගින් පිරිසිදුකාරකයේ pH අගය පහත හෙලනවා. ඒතකොට විනාකිරි සහ පිරිසිදුකාරක මිශ්‍රණයේ විෂබීජනාශක ගුණය වැඩිවෙනවා වගේම තද පැල්ලම් ආදිය පහසුවෙන් ඉවත් වෙනවා.


එහෙනම් මොකක්ද අවුල?

ක්ලෝරීන් අඩංගු පිරිසිදුකාරකවල තියෙන්නේ සෝඩියම් හයිපක්ලෝරයිට් (NaOCl), පිරිසිදුකාරකයේදී සෝඩියම් හයිපක්ලෝරයිට්, ජලයත් එක්ක මිශ්‍ර වුනාම මෙන්න මේ වගේ සීන් එකක් වෙනවා. ඒකෙ ප්‍රතිඵලයක් විදියට, හයිපක්ලෝරික් අම්ලය (HOCL) නිෂ්පාදනය වෙනවා.


NaOCl + H2O ↔ HOCl + Na+ + OH-


හයිපක්ලෝරික් අම්ලය (HOCl) කියන්නේ හොඳ ඔක්සිකාරකයක් නිසා ඒකෙ පිරිසිදුකාරක හැකියාව බොහොම ඉහලයි. 


විනාකිරිවල ප්‍රධාන සංඝටකය වෙන්නේ ඇසිටික් ඇසිඩ් (CH3CO2H).


ඉතින්, හයිපක්ලෝරික් අම්ලය (HOCl), විනාකිරිවල ඇති ඇසිටික් අම්ලය සමග මිශ්‍ර වුනාම මෙන්න මෙහෙම ප්‍රතික්‍රියාවක් සිද්ධවෙනවා.


2HOCl + 2CH3CO2H ↔ Cl2 + 2H2O + 2CH3CO2


පේනවනෙ, ඉහත ප්‍රතික්‍රියාවෙ ප්‍රතිඵලයක් විදියට ක්ලෝරින් වායුව (Cl2) නිෂ්පාදනය වෙනවා. ක්ලෝරින් වායුව අපේ සිරුරට අහිතකරයි, එය කටුක ගන්ධයකින්ද යුක්තයි. ක්ලෝරින් මගින් අපේ ශරීරයේ ශ්ලේෂ්මල පටල වලට ඵරාර එල්ල කරනව, උදාහරණයක් විදියට ඇස්, උගුර සහ ශ්වසන පද්ධතිය දක්වන්න පුලුවන්. ක්ලෝරින් වායුවට අධිකව නිරාවරණය වීමෙන් හුස්ම ගැනීමේ අපහසුතා, ඇස් රතුවීම සහ කඳුළු ගැලීම, ක්ලාන්තය විතරක් නොවෙයි මරණය පවා ඇතිවෙන්න පුලුවනි.



2. ඇමෝනියා අඩංගු පිරිසිදුකාරක සහ ක්ලෝරීන් අඩංගු පිරිසිදුකාරක





කලිනුත් කිව්වා වගේම ක්ලෝරීන් අඩංගු පිරිසිදුකාරකවල තියෙන සෝඩියම් හයිපොක්ලෝරයිට් (NaOCl) ජලයත් එක්ක මිශ්‍ර වීමෙන් හයිපක්ලෝරික් අම්ලය නිෂ්පාදනය වෙනවා. 

NaOCl + H2O ↔ HOCl + Na+ + OH-


ඇමෝනියා සහිත මාධ්‍යයකදී මේ හයිපක්ලෝරික් අම්ලය (HOCl) තවදුරටත් ජලය සමග ප්‍රතික්‍රියා කිරීමෙන් හයිඩ්‍රොක්ලෝරික් අම්ලය (HCl) හැදෙනවා.

2HOCl → 2HCl + O2

ඇමෝනියා සහිත මාධ්‍යයෙදී මේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලයෙන් ක්ලෝරින් වායුව නිපදවෙනවා. ඒ ක්ලෝරින් වායුව ඇමෝනියා (NH3) සමග ප්‍රතික්‍රියාවෙන් ක්ලෝරැමයින් වාෂ්පය (NH2Cl) හැදෙනවා. 


NaOCl + 2HCl → Cl2 + NaCl + H2O

2NH3 + Cl2 → 2NH2Cl


මේ මිශ්‍රණයේ තවදුරටත් ඇමෝනියා ඉතුරුවෙලා තිබුනොත් තමයි මල හත්තිලව්වට ගහපු කලාබරයක් වෙන්නෙ! ඒ ඇමෝනියා ටික, අර නිෂ්පාදනය වුන ක්ලෝරැමයින් (NH2Cl) එක්ක ප්‍රතික්‍රියා කරලා හයිඩ්‍රසීන් (N2H4) හදනවා.

2NH3 + NaOCl → N2H4 + NaCl + H2O


හයිඩ්‍රසීන් කියන්නේ අධික විෂ සහිත, පිපිරෙන සුළු සංයෝගයක්. ඉතින්, අන්තිමේදි ගේ හෝදන්න ගත්තු භාජනේ ඇතුලේ බෝම්බයක් පිපිරෙන්න පුලුවන්! (බොහෝවිට මේ හයිඩ්‍රසීන් සියයට සියයක්ම පිරිසිදු නැති නිසා පිපුරුම් ඇතිවෙන්නෙ නෑ)


මේ වගේ පිරිසිදුකාරක කිහිපයක් එකට මිශ්‍ර කරන්න ගිහින් සිදුවුන අවාසනාවන්ත මරණ බොහොමයි. මේ එවැනි එක සිදුවීමක්.



3. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සහ විනාකිරි





හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්, බොහොමයක් නිවෙස්වල විශබීජ නාශක සහ පිරිසිදුකාරක දියරයක් විදියට පාවිච්චි කරනවා. හැබැයි, මේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්, විනාකිරි අක්ක මුහු වුනොත්, විනාකිරිවල තියෙන ඇසිටික් ඇසිඩ් නිසා මෙන්න මේ ප්‍රතික්‍රියාව ඇතිවෙනවා.

H2O2 + CH3CO2  CH3CO3H + H2O


මෙහි ප්‍රතිඵලයක් විදියට නිෂ්පාදනය වෙන්නේ විෂ සහිත පෙරසිටික් අම්ලය (CH3CO3H). මේ අම්ලය, මහා පරිමාණයෙන් සිදුකෙරෙන පිරිසිදුකිරීම් වලදී, ආරක්ෂක තත්ව යටතේ පාවිච්චි කලත්, අපි, ගෙදරට අඳින ගවුම් කොටයක් හරි කලිසං කෑල්ලක් හැරුණුකොට වෙන කිසිම ආවරණයක් නැතුව මේකට නිරාවරණය වීම බොහොම අනතුරුදායකයි.


මේ නිසා ඇසේ, සමේ, නාසයේ, උගුරේ සහ පෙණහළුවල අපහසුතා ඇතිවෙන්න පුලුවනි. ඒ වගේම, දිගුකාලීන නිරාවරණයෙන් සමට, ඇසේ ස්වච්ඡ මණ්ඩලයට වගේම ශ්වසන පද්ධතිය හානි වෙන්න පුලුවනි.



4. ඇල්කොහොල් අඩංගු පිරිසිදුකාරක සහ ක්ලෝරීන් අඩංගු පිරිසිදුකාරක





ඇල්කොහොල් සහිත පිරිසිදුකාරක (Rubbing alcohol) එතනෝල් (C2H6O) හෝ අයිසොප්‍රොපනෝල් (C3H8O) වලින් සමන්විතයි. ක්ලෝරීන් අඩංගු පිරිසිදුකාරකවල තියෙන්නේ සෝඩියම් හයිපක්ලෝරයිට් (NaOCl) කියන එක අපි දැන් දන්නවා.


ඇල්කොහොල් අඩංගු පිරිසිදුකාරක සහ ක්ලෝරීන් අඩංගු පිරිසිදුකාරක දෙවර්ගය එකට මිශ්‍ර කිරීමෙන් පහත ප්‍රතික්‍රියාව සිදුවෙනවා. එහි ප්‍රතිඵලයක් විදියට ක්ලෝරොෆෝම් නිෂ්පාදනය වෙනවා.

3NaClO + C3H6O → CHCl3 + 2NaOH + NaOCOCH3


ක්ලෝරොෆෝම් කියන්නෙත් විෂ සහිත වායුවක්. ක්ලෝරෆෝම්වලට නිරාවරණය නිසා ඇස් දැවිල්ල, හුස්ම ගැනීමේ අපහසුතා, උගුර අමාරුව සහ ක්ලාන්තය ඇතිවෙන්න පුලුවනි. ක්ලෝරෆෝම් අධි මාත්‍රාවන්ට නිරාවරණය වීමෙන් ශ්වසන පද්ධතියට, ස්නායු පද්ධතියට, ඇස්වලට සහ වකුගඩුවලට හානි සිදුවෙනවා. ඒ විතරක් නෙමෙයි, ක්ලෝරෆෝම් කියන්නේ පිළිකාකාරකයක් බවත් හොයාගෙන තියෙනවා.




5. ක්ලෝරීන් අඩංගු පිරිසිදුකාරක සහ වැසිකිලි බඳුන් පිරිසිදුකාරක


මේ පිරිසිදුකාරක වර්ග දෙකනම් එකට භාවිතා වෙන අවස්ථා බොහොම විරලයි. එහෙම දෙයක් වෙනවානම්, අනිවාර්යයෙන්ම නොදැනුවත්කම මතම වෙන්න ඕනෙ.


වැසිකිලි බඳුන් පිරිසිදුකාරක, උදාහරණයක් විදියට ගත්තොත් හාපික් වගේ දේවල්වල ප්‍රධාන සංඝටකය වෙන්නේ ප්‍රබල ක්‍රියාකාරීත්වයකින් යුතු අම්ලයක් වෙන හයිඩ්‍රොක්ලෝරික් ඇසිඩ් (HCl)


හාපික් සහ ක්ලෝරොක්ස් එකට එකතු වුනාම, ඒවායේ ඇති හයිපක්ලෝරික් අම්ලය සහ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය පහත ආකාරයට ප්‍රතික්‍රියා කරලා ක්ලෝරින් වායුව නිදහස් කරනවා.


HOCl + HCl ↔ H2O + Cl2


ඉතින්, මින් පස්සේ නාන කාමරය ක්ලෝරොක්ස්වලින් පිරිසිදු කරලා, වැසිකිලි බඳුන හාපික්වලින් පිරිසිදු කරද්දි, ඒවා එකම බඳුනක මුහු වෙන්න ඉඩ තියන්න එපා. මොකද, බාත් රූම් එක සුද්ද කරන්න ගිහින් මලා කියල කිව්වම, විලිලැජ්ජාවයි කියල අපායෙනුත් ආපහු හරවලා යවයි ෂුවර් එකටම!



පිරිසිදුකම බොහොම වටින පුරුද්දක්. හැබැයි, නියමාකාරයෙන් දැනුවත්ව පිරිසිදුකාරක පාවිච්චි කරන එක තමයි ඇඟට ගුණ! 




Monday, September 21, 2015

පුංචි දිය බිංදුවේ සුවිසැරිය






මට හිරු එළිය නාන්නෙ නැතුව ඉන්න බැරි වුනා. කොයිතරම් අන්තරාදායකයි කියලා කසුකුසු කනට වැටිලා තිබුනත්, මට හිතුනෙම ඉර කියන්නෙ හොඳ ආදරණීය, උණුහුම් ගෝලයක් කියලයි. එහෙම හිතෙන්න වැඩියෙන්ම හේතු වුනේ මේ ජරා, ලිස්සන සුළු පාසි. ඒවා හැම විනාඩි බාගයකට වරක්ම මගේ ඇඟේ ඇතිල්ලි ඇතිල්ලී ආල ලීලා පාන්න ගත්තු නිසා මම උන්නේ මහ නොසන්සුන්කමකින්.


ඉතින් මම තීරණය කලා හිරු රැස් නාන්න. එහෙමත් නැත්නම් අව්ව තපින්න. රබර් තාරාවෙක්, ප්ලාස්ටික් වලලු කිහිපයක්, කළු ඉටිරෙදි කැබැල්ලක් එක්ක මුහුදට පාවෙලා ආපු අව්ව තපින පුංචි ගැහැණු ළමයෙක්ගේ පින්තූරයක් සහිත සඟරා පිටුව (ඒක සෑහෙන දුරට දියබත්ව තිබුණත්) මට අලුත් බලාපොරොත්තුවක් ගෙනාවා.


ඔන්න ඉතින් මම මුහුදු දිය තලයේ, ඉහළම පෘෂ්ඨයේ පාවෙමින් ඉන්නවා. 


හිරු කිණිත්තක් අහසේ ඉඳන් මට අත වනනවා පේනවා. හිරු කිණිති තියුණුයි, ප්‍රබෝධමත්. ඒ දිහා බලාගෙන ඉන්නකොට මාව නුපුරුදු උණුහුමකින් වෙලෙන්න ගන්නවා. හිරු කිණිත්ත අහසේ ඉඳන් පහළට අතක් දිගු කරණවා. මම දෙවරක් නොහිතාම උඩ පැනලා ඒ උණුහුමැති, සිහින් ඇඟිල්ලක එල්ලෙනවා.





පුදුම සැහැල්ලුවක් දැනෙන්නේ! මාව කුඩා බිඳිති දහස් ගාණකට විච්ඡේදනය වෙලා වගේ. ඇත්තටම ඒක මහ අපූරු හැඟීමක්. මම ටිකෙන් ටික, හිරු කිණිත්ත දිගේ ඉහළට පාවෙන්න පටන් ගන්නවා.


"එයා අතුරුදහන් වෙලා." පහළ දිය තලයෙන් මුණුමුණුවක් ඇහෙනවා.


"අනේ අපේ පුංචි දිය බිංදුව. ගිනියම්, දුෂ්ඨ ඉර එයාව පැහැරගෙන ගිහින්!" ගලගල සද්දෙට මුහුදු රැලි පෙරලි පෙරලි විස්සෝප වෙනවා.


හීන් දුකකුත් දැනෙනවා. ඒත් මම අඩියෙන් අඩිය, හෙමි හෙමින් ඉහළටම නගිනවා.


එකපාරම තරුණ සුළං රැල්ලක් එයාගේ ශක්තිමත් අත්දෙකෙන් මාව බොහොම දුරක් ඉහළට ඉහළට කැන්දාගෙන යනවා. වක් හොටැති උකුසු පැටියෙක්, පියාසැරිය අතරෙදි මා දිහා බලලා ඇහැක් ඉඟිමරනවා.


"හමුවීම සතුටක් පුංචි වාෂ්ප පැංචෝ!"

එයා හිස දකුණට නමලා ආචාර කරලා රවුමට රවුමට ඉගිල්ලෙනවා.


රත්වෙච්ච පොළවේ ඉඳන් උඩු දඟර වායු ධාරා සර්කස්කාරයො වගේ වේගෙන් ඉහළ නගිනවා. හුළං ඉලන්දාරියා එයාගෙ පරෙස්සම් සහගත දිගු ඇඟිලිතුඩු කරකවලා මාව ජවසම්පන්න වායුධාරාවක උරහිස මතින් තැන්පත් කරනවා. ඒක වේගවත් ගමනක්. ඔන්න සැනකෙලියක වේගයෙන් කරකැවෙන සතුටු බමනයකදී (Merry-go-round) වගේ ආශ්වාදජනක හිස කරකැවිල්ලක් එක්ක මම ඉහලට, ඉහලට, තව තවත් ඉහළට යනවා.


වළාකුළු කැටිති, ඇඟේ ගෑවී නොගෑවී යනකොට පුළුන් ගොඩකට, වැටුනා වගේ සනීපයක් දැනෙන්නේ. ඒත් සීතලට මාව දරුණු විදියට වෙව්ලන්න ගන්නවා. කරුණාවන්ත පෙනුමැති ලොකු වළාකුළක් මට ඝනකම් කබායක් අන්දවනවා. ඒ කබාය ඇතුලට කිඳිලා, මිදිලා, මම කුඩා අයිස් කැටයක් බවට පත්වෙනවා. දැන් මම පුංචි අයිස් කැටියක්.


කුඩා අයිස් කැට පෙල ගැසේන්!
සීරුවේන් සිටින්!
එකට එකතු වේන්!


අපි හැමෝම ලහිලහියේ ඉහළින් ලැබෙන විධානයන්ට අනුව එකට එකතුවෙනවා. අපි, කුඩා අයිස් බිංදු දහස් ගාණක් එක්ක එකතුවෙලා ලොකු 'කෙඳි වලාකුළක්' හදනවා. මම ඉන්නේ කෙඳි වලාකුළේ වම් ඇහිපිල්ලමේ කෙලවරට වෙන්න.





අහස අළුපාට වැහි කබාය ඇඟලා ගන්නවා. ඈතින් අකුණු පුපුරනවා. විදුළි රේඛා අහස පුරා ඒ මේ අත දුවනවා. කෙඳි වළාකුළ හොඳටෝම බයවෙලා ගැස්සි ගැස්සී අඬන්න ගන්නවා.


ඇහිපිල්ලමක් උඩ හිටපු මං, වැහි බිංදුවක් වෙලා පහළට වැටෙනවා. 


පහළ ලස්සන කොළ පාටින් වැහුනු උද්‍යානයක් මට ඈතට පේනවා. පොළෝ අම්මගෙ ආදරේ, අපිව එන්න එන්නම තව තවත් වේගෙන් පහළට අදින හැටි දැන් මට දැනෙන්න ගන්නවා. පොළෝ අම්මගෙ ආදරේට කියන්නේ ගුරුත්වාකර්ෂණේ කියලා. ඒකෙන් තමයි ඔයාවත්, ඔයාගේ අම්මවත්, තාත්තලාවත්, ගහකොළ, මල් පඳුරු, ලස්සන හොඳ පුංචි සත්තු සේරමත් අහසට පාවෙන්න නොදී, පොළෝ අම්මගෙ හදවතට බැඳලා තියාගන්නෙ,


"ස්ප්ලොෂ්! ස්ප්ලොෂ්!"

පෙලක් වැහි බිංදු තද දුඹුරුපාට මඩ කඩිතිවල හැපෙනවා. ඒවා පස් අතර තියෙන සිහින් උමං පාරවල් ඇතුලෙන් පොළව ඇතුලට ගලාගෙන යනවා. ඒක මහ දිග ගමනක්. අවුරුදු ගණනාවක් තිස්සේ එයාල පස් තට්ටුව යටින් වැටුනු උමං දිගේ සැරිසරනවා, දිය උල්පතකින් එයාලව ඉහලට ඇදගන්නකම්.


"ත්ලහ්! ත්ලහ්!"

පෙලක් වැහි බිංදු උද්‍යානයේ විවිධ හැඩේ තුරුපත්, ලස්සනම ලස්සන මල් පෙති උඩට වැටෙනවා. එතනින් පහළට, ඒ කියන්නේ මඩ කඩිත්තක් උඩට "ස්ප්ලොෂ්!" සද්දෙන් ඇද වැටීමේ අවදානමකුත් තියෙනවා. හැබැයි, බිම නොවැටී තුරු පත් උඩ නැවතෙන වැහි බිංදු, වැස්ස අහවර වෙලා පායන උණුහුම් හිරු කෙඳිතිවලින් ඉක්මනින්ම අහසට ඇදලා ගන්නවා.


"ස්ලිහ්!"

මම කතාව නවත්වන්නත් කලින් ගහක අත්තක ඉන්න තුන් ඉරි අප්පු කෙනෙකුගේ ජේත්තුකාර ලොම් කබාය උඩට වැටෙනවා. එතැන බොහොම සනීපදායකයි. තුනී දුඹුරු ලෝමවලින් වැසුනු තුන් ඉරි අප්පුගේ පිට සෙල්ලම් ස්ලයිඩයක් (Slide) වගේ. අපි වැහි පැටව් රංචුවම ඒ දිගේ පහලට රූටාගෙන එනවා.


තුන් ඉරි අප්පුට සීතලක් දැනෙනවා. එයා කලබලෙන් එයාගෙ පිම්බුණු වල්ගය ඒ මේ අත ගස්සනවා. මාව උඩින් වීසි වෙලා ගිහින් උද්‍යානය මැද්දෙ තියන මානෙල් පොකුණ මැද්දෑවට වැටෙනවා.


"ස්ප්ලොෂ්!"

මානෙල් පොකුණේ වතුර බිංදු රවුමට රවුමට දිය රැලිති නංවනවා. මම අලුත් යාලුවෝ රොත්තකට මැදිවෙලා පොකුණ පුරා පීනනවා. හැමතැනම මානෙල් මල් සුවඳ. ගැටවර රන්මාළු උන්ගේ වරල් සාය පද්දමින් එහෙ මෙහෙ යනකොට දැනෙන්නේ කිතියක්.





වැස්ස අහවරයි. හිරු කිරණ පොකුණ ඇතුලට වැටෙනවා. මට ආයෙමත් හිරු රැස් නාන්න හිතෙනවා. ඉතින් මම රන්මාළුවෙක් වගේ පොකුණු දිය තලයේ, ඉහළම පෘෂ්ඨයේ පාවෙමින් ඉන්නවා. 


හිරු කිණිත්තක් අහසේ ඉඳන් මට අත වනනවා. ආයෙමත් හිරු කිණිතිවල වෙලෙන්න ආසාවෙන්, මම. උඩ පැනලා උණුහුමැති හිරු කිණිත්තක එල්ලෙනවා.




ප.ලි.


අපේ බ්ලොග් රචක පැපෝ (ගස්ලබ්බ බ්ලොග් අඩවිය) ඉල්ලීමක් කලා අවුරුදු හතර - හය අතරේ දරුවන්ට සුදුසු විදියේ කතාවක් ලියන්න කියල.


අදකාලෙ බහුතරයක් දෙමව්පියන්ට, තමන්ගේ දරුවන් වෙනුවෙන් අරන් දෙන්න වෙන්නේ, පොල්ගෙඩි අකුරෙන් යුතු, වචන විස්සක විසිපහක, විසාල පින්තූර තියෙන, කතාවක් ඇත්තෙත් නැති - නැත්තෙත් නැති, අමුතු ජාතියේ පොත්.


මේ වත්මන් "ළමා කථා සාහිත්‍යය" මට ගෙනෙන්නේ කළකිරීමක්.


මේ ලියපු කතාව, වැස්ස වහින්නෙ කොහොමද? මේ වතුර බිංදු මල් උඩට ආවෙ ඇයි? අර වතුර පාර යන්නෙ කොහෙද? ඒ ඇයි? ඇයි? ඇයි? කියකියා ප්‍රශ්ණ අහන පුංචිත්තන්ට කියාදෙන්න සුදුසු කතාවක් විදියටයි මම දකින්නෙ.


බර වචනවලට බය වෙන්න එපා. අපේ තාත්තා-අම්මා, පුංචි මාව බර වචනවලට බය කලේ නෑ. දැනෙන තරමින් ඒකෙන් මට යහපතක් මිස අවැඩක් වුනේ නෑ.




Friday, September 18, 2015

අම්මා! (කෙටිකතාද මන්දා)






මම පුස් ගඳින් යුත් දැව අල්මාරියේ ලාච්චුව විවෘත කලේ වෙව්ලන දෑතින්. පරණ ෆයිල්කවරයක් ඇතුලේ වූ අවපැහැ ගැණුනු මුදල් නෝට්ටු කීපය දෙතුන් පාරක් ගණන් කලේ ඔහුට තව දවස් කීයක් ඉතිරිව ඇත්දැයි නිසැකවම දැනගන්න. එච්චරයි. ඔව්, එච්චරම තමයි. ඊට වඩා තව පැන්සයක්වත් වැඩිපුර තිබුනේ නැහැ.


හැම සීතල නොවැම්බරයකම මට මතක්වෙන්නේ, දවසෙන් දවස මරණයේ දෙඅත්ල වෙත ලඟා වෙමින් උන්න ජේම්ස්ගේ අපේක්ෂා විරහිත මුහුණ. අහිමිවීමේ වේදනාව හුලඟක් වගේ අපි වටේ වියරුවෙන් කැරකෙනකොට, මමත්, ජේම්සුත්, වියැලී ගිය තුරුපත් දෙකක් වගේ විකල්ලෙන් ජීවිතය බදාගෙන උන්නා.


ජේම්ස්, මගේ ආදරණීය ස්වාමිපුරුෂයා, පොරෝණා තට්ටු තුනක් ඇතුලට කිඳාබැහැලා, බෙහෙත් සැරට වේළිලා ගිය ඇස්වලින්, දිගටම ඉටිපහන් රුකේ මලානික කහ එළිය දිහා බලාගෙන උන්නා.



*****************************



"අම්මේ"


පුතාගෙ කටහඬින් මම පියවි ලෝකෙට කඩාපාත් වුනා. අර සීතලම සීතල නොවැම්බරයටත් වඩා මූසල වර්තමානයේ මට අකැමැත්තෙන් වුනත් ජීවත්වෙන්න සිද්ධවෙලා තිබුනේ, ජේම්ස්ගේ කුඩා ආකෘතිය, මගේ පුතා නිසයි. 


ලිපේ තිබුනු පාස්තා බඳුනේ වතුර උණු වෙලා බාගයක්ම පිටතට උතුරලා ගිහින්, ඒත්, පුතා ලිප නිවා දානකම් ගින්දර නිමිලා ගිහින් තිබුනෙ නෑ.


මට වුවමනා උනා මගේ පුංචි ජේම්ස්ට හැම දෙයක්ම කියන්න. හැම දෙයක්ම කෑ ගහල කියන්න. එයා කෑම මේසෙ පුටුවක වාඩි වෙලා කුතුහලයෙන් දැවෙන ඇස් වලින් මගෙ දිහා බලන් හිටියා. ඒ ඇස් දිහා තවදුරටත් කෙලින් බලන් ඉන්න හයියක් නැති වෙද්දි, හදවතේ වේදනාව ඇස් වලින් වාන් දමන්න කලියෙන් මම අනිත් පසට හැරිලා ලිප පත්තු කලේ අරමුණකින් තොරව.


*****************************



ජේම්ස්ගේ බෙහෙත් ටික අරන් එන්න එදා හැන්දෑවේ නගරයට ගිය ගමනත්, ඒ ගමනෙදි මුණගැහුනු ස්මිත් මහත්තයත්, ගිලිහිලා වැටෙන්න නියමිතව තිබුනු අපේ ජීවිත වලට එළියක් ගෙනාව කියලයි මම විශ්වාස කලේ. ස්මිත් මහත්තයාගෙ සම්බාහන මධ්‍යස්ථානයේ රැකියාවකට යන්න ජේම්ස් අකැමැත්තෙන් කැමැත්ත දුන්නේ, එයා, දේවදූතයෙක් විදියට වළාකුළු අතරට නික්මෙන්න කලින් ඕනෑම සාමාන්‍ය මනුස්සයෙක් වගේ, තව වැඩිපුර දවස් කීපයක් හරි මහපොළව මත ඇවිද යන්න ආසාවෙන් පෙළුන නිසා.


හැම දෙයක්ම හොඳින් සිද්ධ වුනා. රැකියාව අමිහිරි වුනත් ඒ ඇතුලෙන් මතුවුනේ බලාපොරොත්තුවේ උණුහුම. ජේම්ස් දවසෙන් දවස සුව අතට හැරෙමින් හිටියා. 


"මේ ගෙවෙන්නේ අපේ ජීවිතවල දෙසැම්බරය ජේම්ස්" මම කිව්වේ එහෙම. "බලන බලන අත ඔයාට පෙනෙනව ඇත්තෙ දණක් උසට හිම කඳු. සීතලෙන් තොල් පුපුරු ගහනවා තමයි. ඒත්, මේ තමයි නත්තල් මාසය. අහන්න, බලාපොරොත්තුවේ උණුහුමෙන් මගෙ හදවත ගැහෙන හැටි." ජේම්ස් අඩවන් දෙනෙතින් යුතුව මගේ පපුවට හිස තියාගෙන උන්නේ පොඩි දරුවෙක් වගේ.


හැමදේම යහපත් අතට හැරෙමින් තිබුනා, ස්මිත් මහත්තයාගෙ බාල පුතා ග්‍රෙගරි  අලුත් ව්‍යාපාරයකට අත ගහනකම්.


ඒ ව්‍යාපාරය අපේ කුඩා නගරයට අළුත්. මටත්, මාෂාටත්, සාරාටත් සම්බාහන මධ්‍යස්ථානයේ රැකියාව අතහැරලා ග්‍රෙගරි මහත්තයාගෙ අළුත් ව්‍යාපාරයේ රැකියාවට සම්බන්ධ වෙන්න අණ ලැබුනෙ නොසිතූ විදියට. ස්මිත් මහල්ලා කිව්වේ කිසි කෙනෙකුට අපේ අනන්‍යතාවය හෙලි නොවෙන බව. අපි ඔහුව විශ්වාස කලා. ඔහු අපේ ස්වාමියා නිසා, අපිට ස්මිත් පවුලෙන් කිසිම අවැඩක් සිද්ධ නොවෙන වග අපි තදින්ම විශ්වාස කලා.


රැකියාව අහිමිවීමත්, අලුත් රැකියාව ගැනත් තොරතුරු, මදින් මද සුව අතට හැරෙමින් සිටි ජේම්ස්ගෙන් වසං කරන්න මම ප්‍රවේසම් උනා. පොඩි දරුවෙක් වගේ සුළු දේකිනුත් සැලෙන ජේම්ස්ගේ මානසික තත්වය ස්ථාවරව තබා ගනිමින් ඔහුව ඉක්මනින් සනීප කරගන්නයි මට වුවමනා වෙලා තිබුනේ



*****************************



මම ගෙදර පිටුපසට වෙන්න පැල කර ඇති ගෙරේනියම් මල් මුහුණු අතගාමින් එතැන බිම වාඩිවුනේ මතක සෙවණැලිවල පීඩාව ඉවසා ගන්න බැරිම තැන.  


"පාහර බැල්ලී!" ජේම්ස්ගේ පා පහරවල්වලින් නිරුවත් කළවා සහ නිතඹ පුරා සීරුම් පහරවල් නැගෙන්නට වැඩි වෙලාවක් ගතවුනේ නැහැ. ඊගාවට ඔහුගේ පය එසවුනේ මගේ උදරයට ඉහලින්.


"දරුවා....! මගෙ දරුවා....! මේ ඔයාගෙම දරුවා.......!!"

මම දෑතින්ම කුස ආවරණය කරගෙන විලාප දුන්නේ පිස්සියෙක් වගේ. ඒ, දැන් මට පිටුපසින් එළිමහන් බංකුව උඩ වාඩිවෙලා වරින්වර මා දිහාවට අමනාප බැල්මන් විසිකරන මගේ පුංචි ජේම්ස් පැටියාව බේරගන්න.


එදා ඉඳන් අද දක්වාම, හැම ස්නානයක් අතරෙම මම වියරුවෙන් වගේ ගෙල පිටුපස සිට පියයුරු හරහා කළවා දක්වාම අතුල්ලන්නේ ඒ අමිහිරි සළකුණ මකා දමන්න. ඒත් අවසානයේ ඉතිරි වෙන්නේ මල් පෙති මත සිහින් සීරුම් රැසකුත්, තැනින් තැන නැගෙන ලේ බින්දු කිහිපයකුත් පමණයි.


මල් අත්තක පැටලුණු දිගු ගවොම් සාය ඉහළ එසවුන සැනෙන් මම සර්පයෙක් දෂ්ඨ කලාක් මෙන් තැතිගැන්මෙන් දෙපා ආවරණය කරගත්තේ පුංචි ජේම්ස් දෙස යටැසින් බලමින්. තදින් හිත රිද්දවාගෙන, ගෙරේනියම් මලක් පෙත්තෙන් පෙත්ත සිඳ දමමින් හුන් මගේ පුංචි පුතා ඒ ගැන තැකීමක් කලේ නෑ.


ඔහු මේ අඳුරු හෙවණැලි නොදැකිය යුතුයි. කවදාවත්ම!



*****************************



මගේ පුංචි පුතා බයිසිකලය තල්ලු කරගෙන ගේ දිහාවට ඇවිදගෙන එනවා. ඔහු මගේ සැමියා වගේමයි. බැස යන හිරුගේ අවසන් කිරණ කිහිපය ඔහුගේ රන්පැහැති හිසකෙස් මත පතිත වෙලා දිස්නෙ දෙනවා. ඔහු තවදුරටත් පුංචි කොලුපැටියෙක් නොවෙන බවත්, තාත්තා වගේම කඩවසම් ගැටවරයෙක් බවට වැඩී ඇති බවත් මට අවබෝධ වුනේ ඒ වෙලාවෙ.


ජේම්ස් පොත් මිටිය සාලයේ ටීපෝව මත තියලා වචනයක්වත් නොදොඩාම නාන කාමරයට වැදුනා. ඒ ඉසිඹුවේදී මම ඔහුගේ පාඩම් පොත් පෙරළමින් එහි වූ වටකුරු අත් අකුරු අතගාන්නට වුනේ මහත් ආශාවෙන්.


එක්වරම පොත් අතර වූ ප්ලාස්ටික් කවරයක් බිම වැටුනා


"සර්ප නළඟන" යනුවෙන් ඇල අකුරෙන් සටහන් වුන ඒ නිල් චිත්‍රපටි තැටියේ කවරය මට හඳුනාගන්න අපහසු වුනේ නැහැ. මම එය අහුලාගෙන නොපිට පෙරලා බැලුවා. "ග්‍රෙගරි ස්මිත් - පෞද්ගලික පිටපත් එකතුව" යනුවෙන් කුඩා වැල් අකුරෙන් එහි පිටුපස සටහන් වී තිබුනා.



*****************************



මම නැවත වරක් සීඩී කවරයේ උන් තරුණ කාන්තාවගේ ගෙල, පියොවුරු සහ නිතඹ වසා පැතිරුණු මල් මෝස්තරයකින් යුතු පච්චය වටා අතැඟිලි දිවෙව්වා. උසැති වීදුරු දර්පණයෙන් දිස්වෙන කාන්තාව තරමක් මහළුව, බොහෝ විඩාපත්ව, මදක් වෙනස්ව දිස්වුනත්, සිරුර වසාගෙන සර්පයෙක් මෙන් එතීගත් පච්ච සළකුණ මදක් හෝ වෙනස් වී තිබුනේ නෑ.


කටුක ගන්ධයෙන් යුත් තෙල් වලින් සිරුර නැහැවෙද්දී මම ඉක්මනින් ලයිටරය දැල්වූවා. විවර කවුළුවෙන් හමා ආ මූසල නොවැම්බර් සුලං රැල්ලකින් පණ ලද ගිනි දළු වහ වහා මගේ නිරුවත් සමට කාවැදුනු පච්චයේ මල්පෙති රටාව ලෙවකමින් ඉහල නගින්නට වුනා.






~ ඉවරයි ~ 




ප. ලි.


මේ කතාව ලිවුවේ දිනේෂ් උමගිලිය අයියා ඊයේ (සැප්තැම්බර් 17 - 2015) වර්ණ බ්ලොග් අඩවියේ පලකල "ඇයද මවකි" කෙටිකතාවෙහි දිගුවක් වශයෙන්. ඒ තරමටම දිනේෂ්ගේ අපූරු ලියැවිල්ල මාව සසල කලා.





Thursday, September 17, 2015

දමනය (දෙවන කොටස)


පළමු කොටස මෙතැනින්





මම දොරත්, බිත්තියත් අතර කෙලවරට ගුලිවෙලා කල්පනා කරමින් හිටියා. අත් සෝදා ගත්තත්, රෝස පාත්තියේ තිබුණු කළු පාට පස්වලින් නියපොතු පිරිලා ගිහින් බව මම දැක්කේ එතකොටයි. කළුපාට නියතුඩුවලින් මම අරමුණක් නැතුව දොර ලෑල්ලට තට්ටු කරන්නට වුනා.



'ඩ්‍රම් පට් පට් ඩ්‍රම් පට් ඩ්‍රම් පට්' 



නොහිතපු විදියට සිහින් කිරි කිරි හඬක් නගමින් දොර පියන විවර වුනා. දොරට හේත්තු වෙලා හිටි මම, මකුළු දැල් පදාසයකුත් ඔළුවේ ඔතාගෙන ඉදිරියට තල්ලු වුනා. ඒ වගේ අනපේක්ෂිත ඉදිරි තල්ලුවක් නිසා වෙන්න පුලුවන් හොඳම දේ විදියට එතනින් පහල තිබුන කෙටි පඩිපෙළකින් මාව පහලට පෙරලිලා ගියේ රෙදි බෝනික්කෙක් වගේ.


පඩි පෙළ කෙලවර වුනේ කුඩා ශාලාවකින්. ඒ දකින්නේ හීනයක්ද, නැත්නම් හැබෑවක්දැයි මට හිතාගන්න බැරි වුනා. මම ඇස් කණ්නාඩිය ගලවලා බැලුවත් වෙනසක් වුනේ නෑ. ඒ කාමරයේ කහ පාට ප්‍රතිදීප්ත විදුලි ආලෝකය යටතේ විශාල පළිඟු ගෝලිකාවක් කැරකෙමින් තිබුනා. ඒ අසල, උස ස්ටූලයකුත්, ඊට සවි කල දිග මේස ලෑල්ලක් හා ස්පර්ශ සංවේදී තිරයකුත්, පිටුපස දිග රාමුවකට සවි කල ස්විච්චි සහ බොත්තම් රැසකුත් ඇහැට අසුවෙන අතරේ මම මාවම කොනිත්තාගෙන බැලුවේ මේක හීනයක්දැයි සැක හිතුන නිසයි.


විශ්වාස කරනවානම් විශ්වාස කරන්න. ඒ ගෝලිකාවෙන් නිරූපණය වුනේ පෘතුවි ගෝලය. මම කවදාවත් භූගෝල විද්‍යාව විෂයට මහලොකු කැමැත්තක් තිබුනෙ නෑ තමයි, ඒත්, කොලපාටින් තිතක් වගේ ලකුණු කරලා තිබුන අපේ නගරය මම එක්වරම අඳුනගත්තා. ඒ සතුටටම මම ඒ ලුමිනස් කොලපාට තිතට ඇඟිල්ලෙන් පොඩි තට්ටුවක් දැම්මා.


එක්වරම තිරය මත දිගහැරුනේ අපේ කුඩා නගරය. හැම ගෙයක්ම, ගහක් කොලක්ම, කුඩා අතුරු පාරක්ම ඒකෙ ඉතා පැහැදිලිව සටහන් වෙලා තිබුනා. ඒත්, ඒ අතරේ කුහුඹුවන්ගෙ ප්‍රමාණයේ මිනිස් රූප රැසක් එහා මෙහා ඇවිදිනවා පෙනුනා. ඉතින්, මම තිරයට ඇහැ ලං කරලා බැලුවා. ඒ හැම රූපයකින්ම නිරූපණය වුනේ අපේ නගරවැසියෝ....!


ටික වෙලාවක් අර ස්විච්චි, බොත්තම් සහ යතුරු එක්ක ගැවසෙනකොට මට හෙමින් හෙමින් අවබෝධ වෙන්න ගත්තා මෙතැනින් මට ඒ අයගේ හැසිරීම් පාලනය කරන්න පුලුවන් බව. යකඩ ඉන්නක් ගිල්ලා වගේ තනි කෙලින් පාරෙ ඇවිදින, මූණෙ හිනා පොදක් නැති අපේ ෂෙරිෆ්ව පරීක්ෂණේකට යොදාගන්න හිතහදාගන්න මට අමාරු උනේ නෑ. 


මම ෂෙරිෆ්ව තැපැල් කන්තෝරුව එහාපැත්තෙ තියෙන මෙගා මාර්ට් එකට යවලා චොකලට් ඩිලයිට් අයිස්ක්‍රීම් දෙකක් මිලදී ගත්තා. සතියක් තිස්සෙම මෙගා මාර්ට් එක ඉස්සරහින් එහා මෙහා ගිහින් තිබුනත් චොකලට් ඩිලයිට් එකක් කන්න තරමට මුදලක් සාක්කුවෙ ඉතුරු වෙලා තිබුනෙ නෑ. කොහොමින් කොහොම හරි ෂෙරිෆ් අයිස්ක්‍රීම් දෙකක් දෑතින් අරන් අපේ ගේට්ටුව ගාවට එනකොටයි මම දැක්කේ තාත්තා ඇස් දෙක නළලට අරන් මිදුල හරහා ගේට්ටුව අරින්න දුවනවා.


"මේ, එන්න ඇතුලට මහත්මයා. ඒත් මොකද මේ අවේලාවෙ?" තාත්තගෙ කටහඬ ඇහෙද්දි මට දෙලෝ රත් වුනා. කලබලේට තාත්තව පාලනය කරන යතුරු හොයන අතරේ ෂෙරිෆ්ගේ කමිසෙ අයිස්ක්‍රීම් තලියක්ම තැවරුනේ මගේ අත්වැරැද්දෙන්.


තාත්තව නිදන කාමරේට පිටත් කරලා, මගේ චොකලට් ඩිලයිට් දෙක කාමරෙන් තියපු ෂෙරිෆ්ව පරෙස්සමට ගේට්ටුවෙන් එළියට යැව්වට පස්සෙ මම ඒ දෙන්නවම මගේ පාලනයෙන් මුදා හැරියා. ෂෙරිෆ් කමිසයේ තැවරුනු අයිස්ක්‍රීම් තලිය දිහාත්, ගුරු පාර අයිනෙ තිබුන ලොකු මැයිමාර ගහේ අතු දිහාත් මාරුවෙන් මාරුවට බලන හැටි දැක්කමනම් මට හොඳටෝම හිනා ගියා.


පහුවදා දවසම මම කල්පනා කලේ මේ අලුත් වාසනාවෙන් ප්‍රයෝජනයක් ගන්නෙ කොහොමද කියලයි. කොයිතරම් බර කල්පනාවක හිටියද කිවුවොත්, රසායන විද්‍යාව පාඩම ඉවරවෙලා මිස්ටර් හන්ටර් මගේ නම කියල තුන් පාරක් කෑ ගහනකම් මට ඇහුනෙත් නෑ. හැබැයි, එයා මගේ ව්‍යාපෘති වාර්තාව මූණට දමා ගහපු එකයි, පහුවදාට අලුතෙන්ම වාර්ථාවක් ලියාගෙන එන්න කියපු එකයි තමයි මට උහුලගන්න බැරි ලැජ්ජාවක් වුනේ.


මම දැක්ක, ලකුණු අනූ හයක් එක්ක රත්තරන් පාට පෑනකින් අති විශිෂ්ඨයි කියල ලියපු වන්යාගෙ වාර්ථාව. ඉතින්, විය යුතු පරිද්දෙන්ම මම කලේ වන්යා ලවා මගේ වාර්තාව ලියවාගෙන ගෙදරටම ගෙන්වා ගන්න එකයි. වාන්යාගෙ උදව්වෙන් මාස තුනක් යනකොට මම ඉස්කෝලෙ දක්ෂම ශිෂ්‍යයා බවටත් පත් වුනා. 


සති කිහිපයක් යද්දි, පෝසත් නාකි ස්මිත් ගැන මට දැනගන්න ලැබුනෙ ඉස්කෝලෙ සගයන්ගෙන්මයි. ස්මිත් කිසිම කෙනෙකුට තමන්ගේ ගේ ඉස්සරහ පාරේ විනාඩි පහක් නැවතිලා ඉන්නවත් ඉඩ නොදෙන බවත්, උන්දෑ උතුරන්න සල්ලි තියෙන නාකි හොල්මනක් බවත් කියකියා ගමේ ගොඩක් දෙනෙක් අවලාද කියනවා මට ඇහිල තිබුනේ වරක් දෙවරක් නෙමෙයි. ඔය අතරේ එක සිකුරාදාවක නාකි ස්මිත් බස්තම ඇන ඇන මහ හදිස්සියකින් ඉස්කෝලෙට එනව මම දැක්කා.


මිනිහ කෙලින්ම ආවෙ ඔයා ගාවට. ඔයාගෙ අතේ තිබුන බාගයක් කාපු ලොකු රතු ඇපල් ගෙඩිය උදුරගෙන ඒ යකා නාකි අත් දෙක ඒ මේ අත විසි කර කර කෑ ගහනවත්, ඔයා කඳුළු පුරෝගෙන පන්ති කාමරේට දුවනවත් මම පිට්ටනිය කෙලවරට වෙලා බලන් හිටියා. ඒ වෙනකොටත් මම දැනගෙන උන්නා ඒ ඇපල් ගෙඩිය ඔයාගෙ ආදරවන්තයා ගිල්බර්ට් හොරකම් කරගෙන ඇවිත් තිබුනේ ස්මිත්ගේ ඇපල් වත්තෙන් බව. මං කියන්නේ, ඌ කොන්ද නැති හාල්පාරුවෙක්. නැද්ද? ඌට තිබුනා නියම පිරිමියෙක් විදියට ඔයා වෙනුවෙන් ඉදිරිපත් වෙන්න. නැද්ද?


එදා ඔයාගෙ රතු වෙලා ඉදිමිච්ච මූණ දැක්කම මට බොහොම කණගාටු හිතුනා. මේ.... මේ... ඒක ආදරයක් කිව්වත් වැරැද්දක් නෑ. අඳුර වැටුනට පස්සේ මම ස්මිත් ලව්වා එයාගෙ උද්‍යානයෙ තියෙන රතුම රතු, ලොකුම ලොකු ඇපල් ගෙඩි පහක් කඩාගෙන, පෙට්ටියක අහුරලා අපේ ගෙදරට ගෙන්වා ගත්ත. දකිනකොට කටට කෙළ ඉනුවත්, ඒ එකක්වත් නොකා මම පරෙස්සම් කලේ ඔයාට ඇපල් පෙට්ටිය තෑගි කරන්න. හැබැයි ඉතින් ඔයා පහුවදා මගේ ඇඟට කඩාපැනලා ඇපල් පෙට්ටිය පොළවෙ ගහපු හේතුවනම් මට තවමත් හිතාගන්න අමාරුයි.


කොහොමත්, ඒ වගේ සිදුවීමකින් පස්සෙ ඕනෙම කොල්ලෙක්ගේ ආත්ම ගරුත්වය තරමක් සසල වෙන එක පුදුමයක් නෙමෙයි. මම ස්මිත් ලව්වා සල්ලි මිටියක් ගෙන්නවාගත්තෙ ඒ නිසයි. මතක් කරල බලන්න. ඔයාට අයිස්ක්‍රීම් අරන් දෙන්න, බීෆ් බර්ගර් අරන් දෙන්න, පැණි දාපු අල තීරු අරන් දෙන්න මම කොයිතරම් නම් උත්සාහ කලාද! ඔයා ඒ එකකටවත් කැමති වුනේ නෑ නෙව. හිස්ටීරියාව හැදුන බැළලියෙක් වගේ මගේ ඔලුවට කඩන් පැන්න මිසක.


මට වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ. මට සිද්ධ වුනා ඔයාව මගේ පාලනය යටතට ගන්න.


ඔයා යාලුවොත් එක්ක කණ්ඩායම් ඇගැයීම කරමින් හිටපු හැන්දෑවක මම බොහොම සුළුවෙන් වැඩේ පටන් ගත්තා. ඕපදූපකාර රිබේකා විලියම්ස්ව ඔයා ගාවින් වාඩි කරවලා, ඔයාගෙ අතින් පොතේ අන්තිම පිටුව පිරෙන්න ලොකු හදවත් රූපයක් ඇතුලේ 'මම ජෝෂුවා සමග පෙමින්' කියලා ලියෙව්වේ මම. ඒ ගැන හැමෝම විහිළු කරද්දි ඔයා ඒ පිටුව සෙන්ටිමීටරේ කෑලි වලට ඉරලා දැම්මත්, රිබේකාට පින්සිද්ද වෙන්න පහුවදා වෙනකොට ලැව් ගින්නක් වගේ ඒ ආරංචිය මුලු ඉස්කෝලෙ පුරාම පැතිරිලා තිබුණා.


ඔයාව අපේ ගෙදරට ගෙන්න ගන්න සිද්ධ වුනේ ඉන් පස්සේ. ඔහොම ඔරවන්න එපා මෙලීසා. ඒක වුනේ ඔයාගෙ වරදින් නෙව. ඔයා ඒ කාලෙ මට යාලුකමින් සැලකුවෙ නෑ කොයියම්ම දවසකවත්. ඉතින් මම තීරණය කලා ඔයාව අපේ ගෙදරට ගෙන්නවා ගන්න.


පළවෙනිම දවසේ ඔයාට මල් වත්තේ රෝස පඳුරු අතරේ ඇවිදින්න සලස්වලා මම එතැනට ආපු වෙලාවෙ ඔයා මාව අඟුරු වෙලා යන තරමට ඔරවලා ආපහු යන්න ගිය නිසයි ඊගාව වතාවෙ මගෙ පුස්තකාල කාමරේ ඔයා ආසම විද්‍යා ප්‍රබන්ධවලින් පුරවලා ඔයාව එතනට ගෙන්වා ගන්න සිද්ධ වුනේ. පොත් කියවන්න තිබුණු උවමනාවටම ඔයා මගෙ යාලුවෙක් වුනා. මමත්, දවස ගානෙම ඔයාව අපේ ගෙදරට ගෙන්නවා ගත්තා. ඒ කිසිම දවසක, ඔයා අපේ ගේ ඇතුලට ඇතුල් වෙනකල්ම මම පේන්න නොහිටි බව කල්පනා කරල බැලුවොත් ඔයාට මතක් වෙයි.


අද සිද්ධ වුන දේ ගැන කියනවනම්, ගිල්බර්ට් මට දිගින් දිගටම ඇනුම්පද කිව්වා මම ඔයාට අල්ලස් දීලා යාලුකම් පවත්වන බවට. ඇත්ත ආදරයක් හැම වෙලාවෙම ද්වීපාර්ශ්වික විය යුතු බවත්, ඒ නිසා මම දවස ගානෙම ඔයාට අරන් දෙන තෑගිබෝග හිලව්වට ඔයාගෙන් මට ප්‍රසිද්ධියේ හාදුවක්වත්, නැත්නම් අඩුම තරමේ හදවත් හැඩේ චොකලට් පෙට්ටියක්වත් ලැබෙන්න ඕනෙ කියල කීවෙ විලියම්. ඉතින් මට සිද්ධ වුනා ඔයාව කඩේ යවලා චොකලට් පෙට්ටියක් මිලදීගන්න. හැබැයි ඔයා ඒක මට දෙන්න ඕනෙ පියවි සිහිකල්පනාව ඇතුව. එහෙම නොකලානම්, එයාල කියාවි ඔයා දුන්නු තෑග්ගක් කියලා මම බොරු මවාපෑමක් කරන බව.



**********************



"ඕක තමයි කතාව." ජෝෂුවා දෙපා දිගහැර, ටීපෝව මත වූ උස් වතුර වීදුරුව එක හුස්මට හමාර කර මෙලීසා දෙසට විමසුම් බැල්මක් හෙලීය.


මෙලීසාගේ කන්පෙති දෙකත්, දෙකොපුලත් බීට් අලයක් මෙන් රත් පැහැ ගැන්වී තිබිණි. ඈ යටිතොල දත් පේලි අතරේ ඒ මේ අත පෙරළමින් විකන්නට වූවාය. 


"මං කිව්වනෙ. ඔන්න ඔයා මාව අවිශ්වාස කරන්න පටන් අරගෙන." ජෝෂුවා නොපහන් ස්වරයෙන් තෙපලේය. "මේ සිද්ධ වෙච්ච හැමදේකටම පස්සෙ, අවිශ්වාසයක් නිසා ඔයා මගෙත් එක්ක තරහ වෙනව කියන්නෙ නම් ලෝක අපරාදයක්!"


මෙලීසා තවම සිතිවිල්ලෙනි. අවසන, සෝෆාවෙන් බිමට පිනූ ඈ හඬ අවදි කලාය.


"මට ඒක බලන්න ඕනෙ.කරුණාකරලා." ඈ මිහිරි මදහසක් සමග ජෝෂුවා වෙත තවද ළං වූවාය. 


"අනිවාර්යයෙන්ම ආදරිය! ඔයාට නොපෙන්වන රහසක් මගෙ ගාව නෑ."


ඉනික්බිති, අඳුරු බරාඳය කෙලවරින් 'ඩ්‍රම් පට් පට් ඩ්‍රම් පට් ඩ්‍රම් පට්' හඬක්ද, සිහින් කිරි කිරි හඬක්ද නැඟුනි. දීප්තිමත් කහ පැහැ ප්‍රතිදීප්ත පහනේ ආලෝකයෙන් මෙලීසාගේ උරබාහු බටර් පැහැයෙන් දිළිසෙන්නට විය.  පළිඟු ගෝලිකාවෙන් තිරය මතට ඇදගත් කුඩා නගරයේ මිනිස්සු, තැන් තැන්වල විකාරරූපී රංගනයන් දක්වන්නට වීම වැඩි දෙනෙක්ගේ අවධානයට යොමු වූයේද නැත. සිය හිස ඇපල් ගසක තදින් හප්පා ගත් ගිල්බර්ට්, නළලෙහි සීරුම් තුවාල රැසක් සමහ කොරගසමින් නිවසට ඇදෙනු දක්නට ලැබීමත් හුදු අහම්බයක් පමණක්ම විය.


මෙලීසා හිස ගස්සා උස් ස්ටූලය මත හරි බරි ගැහී හිඳගත්තාය.


"එතකොට ජෝෂුවා, මේ මෙතැන ඉන්නේ ඔයාද?"


ජෝෂුවා හිස සැලීය. මෙලීසා ඒ කුඩා රූපයට නියතුඩින් ඇන්නාය.




**********************




"ජෝෂුවා, ඔය උණුවතුර බේසම මෙතනින් තියනවා." මෙලීසා සිය දෙපා ලී බංකුවක් මත රැඳවූයේ යතුරු පුවරුවෙන් දෑත ඉවතට නොගනිමිනි.


"ඔතන දණගහගෙන මගෙ කකුල් දෙක මසාජ් කරනව."


"ආන්න හරි. අන්න එහෙම. යන්තමට. ඔය විළුඹ ගාව රවුමට මසාජ් කරනව. ආන්න හරි!!!"