Wednesday, April 27, 2016

නිකෝ





‘චොකලට් පානය – උකු – මද උණුසුම’ අම්මා නළල රැලි ගන්වගෙන නිකෝගේ පාලක පද්ධතියට විධාන යොමු කරමින්. නිකෝ මුළුතැන්ගෙයි මේස ලෑල්ල මත උඩුබැල්ලෙන් පතබෑවීගෙන. සිවිලිම දෙසට අයාගත් උගේ හැඟීම් විරහිත දෙඇස අනුකම්පා දනවන සුළුයි. ජනේලය හරහා ඇදී ආ හිරු කැරැල්ලක්, අම්මාගේ අවුල් කෙස්ස මත වැතිරිගෙන.


“සින්ධූප්, මේ රොබෝවා පාලනය කරන හැටි ඉගෙනගන්න ඇත්තටම ඔයාට උවමනාවක් නැත්ද?”  නැහැ තුඩ මත රැඳි උපැස් යුවලට උඩින් මතුවෙන්නෙ අම්මාගෙ නොරිස්සුම්සහගත දෑස.


“ඕකා මහ බූරුවෙක්” 
මම සින්කය පාමුල වූ ස්පොන්ජි බෝලයකට පා පහරක් එල්ලකලේ අම්මා වෙතට හාද්දක් පා කරමින්.


“මම – බූරුවෙක් – නෙමෙයි – මාස්ටර් – සින්ධූප් – මගෙ – නම – නිකෝ” 
බෙලෙක් කටහඬ. මම රොබෝවාට විරිත්තා නානකාමර දොරට දණිස් පහරක් දුන්නා.


නිකෝ මගේ උපන්දින තෑග්ග. ඌ වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම කීකරු සහ හැදිච්ච රොබෝවෙක්. 'සින්ධූප් දැනටමත් අනවශ්‍ය හුරතලය නිසා හොඳටෝම නරක් වෙලා. මේකෙන් එයාට හොඳක් වෙයි කියල මං හිතනවා.' උපන්දින සාදය අවසානයේ තාත්තාගේ කටහඬ නිදන කාමරය තුලින් කාන්දු වුනේ යන්තමට සහ අපැහැදිලිව.


ඉතින් මමත් හිතුවා නිකෝගෙන් හොඳක් වේවි කියලා. ඇත්තටම මං එහෙම හිතුවා. දැනටත්, සමහර වෙලාවට මට එහෙම හිතෙනවා. විශේෂයෙන්ම නිකෝ කියන්නේ අසරණ, හීතල ලෝහ කෑල්ලක් බව මතක් වෙද්දි.


ඒත් මේ බූරුවා තමන් ගැන එහෙම හිතන පාටක් නෑ!






ඊයෙ හවස ක්‍රිශෝර් ආවේ සමාජ අධ්‍යයන පැවරුම ගැන කතා කරන්න. ක්‍රිශෝර් අපේ ගෙවල් පාරට හැරෙනවා මං ඈතදිම දැක්කේ හොඳ වෙලාවට. ඒ වෙද්දි මම බලමින් උන්න ටී වී සීරීස් එකේ ඉතිරි පැය තිස් අටකුත්, ආච්චි ගෙනත් දුන්නු බැදපු අලපෙති ජම්බෝ පැකට්ටුවකුත් තියෙද්දි, සමාජ අධ්‍යයන පැවරුමකින් සති අන්තයේ හිතේ සමාදානය විනාස කරගන්න, රටකජු ඇටයක් තරම්වත් මොළයක් තියෙන කිසිම මනුස්සයෙක් කැමති වෙන්නෙ නැහැ.


ඉතින් මම අපේ මෝඩ යකඩයාට කතා කලා.


"නිකෝ, අර පාර දිගේ පරඬැල්ලක් වගේ වැනි වැනි එන සුදුමැලි කොලුවා පේනවද? ඒ මාස්ටර් ක්‍රිශෝර්. තව මිනිත්තු කීපයකින් එයා අපේ ඉස්සරහ දොරට තුං පාරක් තඩිබානවා. උන්දැට විදුලි සීනුව මතක් වෙන්නෙ ඊගාවට. සීනුව කන් පැලෙන තරම් හයියෙන් එකපාරක් සද්ද කරාවි. සාමාන්‍යයෙන් දේවල් සිද්ධ වෙන්නෙ එහෙම."


මම උගුර රැල් බුරුල් ඇරලා නිකෝ දිහා බද්දි උගේ හීතල ඇස් දෙකේ තිබුන අහිංසක පෙනුමට මං රැවටුනා වෙන්නැති. ඔව්, සමහරවිට.


"ආන්න ඒ වෙලාවෙදි, දොර ඇරලා, 'මාස්ටර් සින්ධූප් ගෙදර නැහැ, ආයෙමත් මාස්ටර් සින්ධූප්ව දකින්න ලැබෙන්නේ සඳුදා උදේට.' කියල කියනවා. තේරුනාද ඔහේට?"


නිකෝ සිහින් ගෙරවිලි හඬක් එක්ක කොන්දෙ රුදාවක් හැදිලා වගේ අපහසුවෙන් රවුමක් කැරකුනා. නළල මැද්දේ තියෙන අධි ආලෝක තීව්‍රතා ලාම්පුව පත්තු කරගෙන, බයෙන් වගේ මගෙ දිහා බැලුවේ ඇස් දෙකේ වර්ගඵලය සිව්ගුණේකින් වැඩි කරගෙන.


"මාස්ටර්, මාස්ටර් සින්ධූප් නෙමෙයිද? මාස්ටර් සින්ධූප්ට සම-නිවුන් සොයුරෙක් ඉන්නව - නැහැ එහෙමෙකක් දත්ත ගබඩාවෙ නැහැ. ක්ලෝනකරණය. ගර්ර්ර්ර්! ක්ලෝනකරණය. මාස්ටර්, මාස්ටර් සින්ධූප් නෙමෙයිද?"


ඒ වෙලාවෙයි ක්‍රිශෝර් පුරුදු විදියට හරියටම තුං පාරක් ඉස්සරහ දොරට තඩිබෑවෙ.


"යමං මෝඩයෝ! බොරුවක්වත් කියාගන්න බැරි මහලොකු පණ්ඩිතයා. ක්ලෝනකරණය. පුහ්!" මම නිකෝව පඩිපෙලට තල්ලු කරලා කාමරේ දොර වහගත්තා.


නිකෝ උගේ උරහිසේ හයි කරපු දුරස්ථපාලකයෙ බොත්තම ඔබලා දොර ඇරියා. "ආයුබෝවන් මාස්ටර් ක්‍රිශෝර්!"  
අපරාදෙ කියන්න බෑ අමුත්තො ඉස්සරහදි ඌ බොහොම ආචාරශීලීයි.


"මාස්ටර් සින්ධූප් ගෙදර නැහැ. පාඩම් කාමරේ ඉන්න මාස්ටර් සින්ධූප්ගේ සම-නිවුන්නා, එහෙම නැත්නම් ක්ලෝනය කියන විදියටනම් එයාව ආයෙමත් දකින්න ලැබෙන්නේ සඳුදා උදේ, පාසලේදි."


ඉතින් මගේ රෙදි ගැලවුනා. සායම හේදුනා. ක්‍රිශෝර් අද ඉස්කෝලෙ ගිනි තියන බව සහසුද්දෙන්ම දන්න නිසා මම හොර ලෙඩක් අරන් ගෙදර නැවතුනා. මේ සේරටම වගකියන්න ඕනෙ අපේ මේ මරිමෝඩ යකඩයා.


ඔන්න, අදත් ඉස්සරහ දොරේ සීනුව නාද වෙනවා. බොහොම මෘදුව, කෙටි විරාමයකින් පස්සෙ තවත් සීනු නාද දෙකක්.


අපූර්වා!






ගිය සතියේ ආලියා බාද් සිනමා සඟරාවකට කියල තිබුන විදියටනම් ඒකපාර්ශ්වික ආදරයක් කියන්නෙ, 'ආදර සබඳතාවක්' නෙමෙයි. සිනමා නිළියො එහෙමයි. තමන් කියන්නෙ මොනවද කියල තමන්වත් දන්නෙ නෑ. ඒකපාර්ශ්වික ආදරේ දොර ගාව රස්තියාදු වෙන්න ඇරලා බිත්තියේ අලවාපු ආලියා බාද් දිහා බලන් ඉන්න මටනම් පිස්සු වෙන්න ඕනැ.


"ආයුබෝවන්-මිස්-අපූර්වා" බෙලෙක් හඬ, ආචාරශීලීව.


"මට, සින්ධූප්ව මුණගැහෙන්න පුළුවන්ද? එයා අසනීපෙන්ද? මම...."


"ඇත්තෙන්ම පුළුවන්. එයා අසනීපෙන් නෙමෙයි. ඒක සුළු විලිලැජ්ජාවක්." 
හත්වලාමයි. ගම කන්නයි යන්නෙ! මම අඩියට දෙකට ආලින්දයට කඩාපාත් වුනා. මෙන්න ඈ පපුව හරහා පහලට වැක්කෙරෙන කොණ්ඩා කරල අගිස්සේ ගැටගහපු රිබන් සමනලයෙක් කොනහමින්. දාහයෙන් රත්පැහැ ගැන්වුනු ඇපල් හැඩේ පිරුණු කම්මුල්.


"නිකෝ, සීතල ලෙමනේඩ් වීදුරු දෙකක්. වැඩිපුර සීනි එක්ක." 
අපූර්වාගේ ගවුම් කොලරයේ කහට පැල්ලමක්. අච්චාරු වෙන්නැති. ඈ පොත් මල්ල බිමින් තියලා සෝෆාව කෙලවරක වාඩිවුනා. වන දෙව්ලියක් වගේ හැඩට, සකසුරුවමට, ගවුමෙ රැලි නොකැඩෙන්න සීරුවට.


"සින්ධූප්, ඔයා පරිපථ පුවරු ගැන දන්නවා කියල හැමෝම කියනවා." අහා! ඇගේ ඇහිපිහාටුවල දිග! "මට ඕනෙ ඔයාගෙන් ඉලෙක්ට්‍රොනික විද්‍යා පැවරුමට උදව්වක් ගන්න. ඔයා උදව් කරනව නේද?"


හුහ්! උදව් නොකර ඉන්න මේ මම! පවසන්න සොඳුරිය. ඔබේ එක් සිනහවක් වෙනුවෙන් මම හිමාලය තරණය කර යෝධ හිම මිනිහ, යෙටීගේ දතක් ගලවා මාල පෙත්තක් තනාගෙන එන්න වුනත් සූදානම්.


"ඔයා අපි හැමෝටම වඩා දක්ෂයි කියල තමයි පිරිමි ළමයිනම් කියන්නෙ. මං කිව්වෙ හැම විෂයකින්ම. ඉතින් ඒකට ලස්සනත් එකතු වෙනවා කියන්නෙ බෝනස් එකක්." මම අවශ්‍ය තැනදි ආලලීලා පාන්න දන්නවා. සෑහෙන දුරට සාර්ථකව.


"පිස්සු! දන්නවද? ගිය සතියේ ගණිත පරීක්ෂණයට මට ලකුණු පහළොවයි. ඒක මහ නින්දාවක් නේද?" මේ තරම් වැදගත් අවස්ථාවක අනවශ්‍ය මාතෘකා පටලවාගන්න ගෑණුන්ට තියෙන්නෙ පුදුමාකාර හැකියාවක්.


"මට තියන ලොකුම ප්‍රශ්ණෙ ලකුණු මතක නොහිටින එක. ප්‍රශ්ණ පත්තරේ දාපු තැන මතකත් නෑ අවාසනාවට!" මම හිස දෙපසට වනමින් සෑහෙන්න කලකිරුණු මූණක් පෙන්නුවා. "බොන්න අපූර්වා. නිකෝට කුස්සියෙ වැඩත් පුළුවන්. තේ කෝපි, ලෙමනේඩ් හදන්න එහෙම එයා දක්ෂයි."


නිකෝ ඔළුව නමලා 'ස්තූතියි මාස්ටර් සින්ධූප්" කියමින් එතනින් පිටවුනා. 'රොබෝවරු තමන්ව අගයනවා අහන්න කැමතියි. එවිට ඔවුන් තවත් උපකාරශීලී වීම පිණිස දිරිමත් වෙනවා.'  මට රොබෝ පරිශීලක අත්පොතේ කොටසක් සිහියට නැඟුනේ නිරායාසයෙන්.


"ඔයාගේ රොබෝවා මාව පුදුම කරවනවා." දෙවියන්ට ස්තූති වේවා! අපූර්වාට ලකුණු ගැන සංවාදය අමතකවෙලා. 

"ඔයාව විතරක් නෙමෙයි, ඕකා අපිවත් පුදුම කරවනවා." ඒකනම් මම කිව්වා නෙමෙයි, කියැවුනා.


"අපේ මාස්ටර් ඉලෙක්ට්‍රොනික විද්‍යාවට දක්ෂයි. අංක ගණිතයටත් වඩා දක්ෂයි." මෙන්න මූ ආයෙමත් ඇවිත්. "මාස්ටර් වෙනුවෙන් මම ප්‍රශ්ණ පත්තරේ හොයාගත්තා. ඒක වැරදීමකින් කුණු කූඩෙට වැටිලා."


මම හිතන්නේ මගෙ 'ඉවසීම් මීටරේ' රතු කට්ට පැන්නා. ඉස්සරහට පැන්න මම නිකෝගේ පපුවට දණිස් පහරක් ඇන්නා.


සමබරතාවය බිඳීගිය රොබෝවා ග්‍රැනයිට් බිම මත ඇදවැටුනා. දණිස් පහරින්ද, පොළොවේ ගැටීමෙන් ඇතිවූ කම්පනයෙන්දැයි හරියටම කියන්නට නොහැකි වුනත් උගේ පපු කොටසේ වූ සමචතුරස්‍රාකාර ලෝහමය ආවරණය දෙපළු වී ගිහින්. ටීපෝව යටට විසිවුන පරිපථ පුවරුවෙන් අපැහැදිලි හඬක් නැගෙනවා.


"මාස්-ටර්- සින්-ධූප්-ක්ලෝනකරණය - ලකුණු බිංදුවයි - රතු තීන්තෙන් - ලොකු - බිංදුවක්"


මම පරිපථය විසන්ධි කලා.


"මේක ගන්න." මම විස්මයෙන් විශාලවුන අපූර්වාගේ දෑස් දිහා බලාගෙන කිව්වා 

"අපි ඔයාගෙ ඉලෙක්ට්‍රොනික විද්‍යා ව්‍යාපෘතියට මොලේ ඇති 'අලුත්' රොබෝවෙක් හදමු."






Friday, April 15, 2016

කැපුවත් කොල අපිට ඔය ඕනෙ චැලේන්ජ් එකක් ඔට්ටුයි අරී!




සශීන් සිංහල කොල්ලෙක්. ෆර්ෂාන් මුස්ලිම් කොල්ලෙක්. මේ දෙන්නටම තිබුනෙ එකම එක හීනයක්.


ඒ තමයි, කොල පාටින් වැහිච්ච ශ්‍රී ලංකාවක්. ගහකොලෙන් පිරිච්ච හරිත දූපතක්. එතනින් එහාට ගිහින්, නිල්ම නිල් පාටින් බැබලෙන සිහිලැල් ග්‍රහලෝකයක්. හරිත පෘතුවියක්.


අන්න ඒ නිසයි ඒ දෙන්නා Back to Green Challenge එක පටන් ගන්නේ.


මේ වගේ අභියෝග අපිට ආගන්තුක නැහැ. පහුගිය කාලයේ රටවල් ගණනාවක් සහභාගි වුන ALS Ice Bucket Challenge එක වගේම එය ගුරුකොටගෙන නිර්මාණය වුන SL අමුමිරිස් අභියෝගය විනෝදය කැටිවුන සමාජ සත්කාරයන්ට හොඳ උදාහරණ. Ice Bucket Challenge එක අනුසාරයෙන් ඉන්දියානුවන් විසින් නිර්මාණය කරගත් Rice Bucket Challenge එක මා දුටු තවත් අපූරු සද්කාර්‍යයක්.


සයිබර් අවකාශයේ අපි විල්පත්තු වන සංහාරයට විරුද්ධ වුනා. වනසතුන්ට  අමානුෂික වදහිංසා සිදුවුන අවස්ථාවලදී ඒවාට එරෙහිව නීතිමය පියවර ගන්න මැදිහත් වුනා. Back to Green Challenge කියන්නේ එහිම දිගුවක්. ගස් කපනවාට විරුද්ධව හඬනගන අතරේම අපිට පුළුවන්නම් කැලෑ පාළුවන්ට අභියෝගයක් වෙන්න, කපන එක ගහකට ගස් දහයක්වත් අලුතෙන් හිටවන්න. අපි නීතියේ හිදැස් අතරින් රිංගා යන කැලෑපාළුවන්ට සැබෑ අභියෝගයක් එල්ල කලා වෙනවා.


සයිබරයෙන් නියෝජනය වෙන්නේ ශ්‍රී ලාංකිකයන්ගෙන් බොහොම සුලුතරයක මතය බව බොහෝ අය කියනවා. ඒ වගේමයි මේ වගේ දාම-අභියෝගවලින් මහා ලොකු වෙනසක් කරන්නට පුලුවන්ද කියලත් අහන අය දුලබ නෑ. ඉතින් ඒ අයගෙන් අපි ආදරයෙන් ඉල්ලා සිටින්නේ මේ අභියෝගය සයිබර් අවකාශයෙන් මහපොළොවට ගෙනියන්න. අපිත් එක්ක එකතුවෙන්න.


මාව Back to Green Challenge එකට නම් කරන්නේ සශීන්. වැඩේ කෙරෙන්නේ මෙහෙමයි. අපි පැල දෙකක් (හෝ කිහිපයක්) හිටවනවා. ඉන් පස්සෙ  මිතුරන් පස් දෙනෙක්ව නම්කරනවා Back to Green දාම අභියෝගය ඉදිරියට ගෙනියන්න.


මෙන්න මගෙන් කොස් පැළයක් සහ පැණිදොඩම් පැළයක්


මම Back to Green අභියෝගයට නම් කරන්නේ මේ අයව;



මේ අවුරුදු නිවාඩු කාලය. අතිධාවනකාරි ජීවනරටාවෙන් මද ඉසිඹුවක් ලබන කාලය. 

Back to Green  අභියෝගයට හොඳම කාලය!






Thursday, April 7, 2016

ගල්වලට සහ මල්වලට සෙට්වෙන්න



සබාවෙන් අවසරයි!


ගිය දෙසැම්බරේ බස්සි බසුබුක් එකක් එළියට දැක්කුව බව ඔබතුමන්ලා/තුමීලා කාට කාටත් මතක ඇතැයි සිතමි. (මතක නැත්තං මතක්කර ගනිල්ලකො. ඇයි වදේ). ඒකෙ තිබුන බසු කවි කියවන්නට ඇතැයිද සිතමි.


සාමාන්‍යයෙන් පොතක් කියවාගෙන යනකොට ඒකෙ කොලිටිය අනුව සහ කියවන එකාගේ මූඩ් එක අනුව එක එක ජාතියේ එව්වා ඔළුවට එන බව රහසක් නෙමේය. සමහරුන්ට බස්සිව අල්ලාගෙන උම්මාවක් දෙන්ටද, තවත් සමහරුන්ට බස්සිගේ ඉස් මුදුනට හොඳවැයින් පොල් ටොක්කක් අනින්නද හිතෙන්නට ඇත. 'ඕකිව උස්සලා පොළවෙ ගහන්ටෝන ගෙම්බෙක් වගේ' කියා සමහරු හිතන අතර තවත් අය "බස්සි ඔයාට කවි ලියන්ඩ බෑ ඔයා දැන් රිටායර් වෙන්ඩ" කියන්න කට මැදගෙන බලා ඉන්නවා වෙන්නටද පුළුවන.


ඉතින් ඒ හැමෝගේම අදහස් උදහස්, විචාර, විවේචන, ගල් මුල් සහ මල්වලට වෙලාවක්, වේදිකාවක් ඕපන් වෙලා තියෙනවාය. ඒ විතරක් නොවෙයි. ඔබට ෆුල් කුජීත ලෙස දැනුන කවි තව එකෙක් රහ කරන හැටිත්, පට්ට මාවලස් කියා හිතපු තැන් තවත් උන් තූ කියා විවේචනය කරන හැටිත් බලා පහන් සංවේග උපදවා ගන්නත් පුලුවන්ය.


දවස හෙට ඒ කියන්නේ අප්‍රේල් අටවැනිදාය. වෙලාව හතරය. තැන; බොරැල්ල කාසල් රෝහලට කෙලින්ම පාරෙ එහාපැත්තේ තියෙන පුවත්පත් මණ්ඩලය හෙවත් ප්‍රෙස් කවුන්සිල් එකය.


(Designed by THE SAHAN)



සාහිත්‍ය කතාබහට පින්සිද්ද වෙන්න නිදිමත උපදවාගන්නා අයගේ පිහිටට එන්නේ අවුළුපත් සමග උණු තේ පැන්ය. ඕනෑම කෙනෙකුට එන්න තහනමක් නැත. වැඩේ ෆුල් ඕපන් සහ ෆුලේ ෆුල් හැපනිං ය. තවම පොතක් ගත්තේ නැති අයට 'එදින දොරටුවෙන්' පොත් මිලදී ගන්නත් පුලුවන් නිසා ඔබ තුමන්ලා/තුමීලා එනවා ඇතැයි මම උදක්ම බලාපොරොත්තු වෙන්නෙමිය.



ඉස්තූතියි,
මෙයට විස්සාසී
බස්සි.