බස්සි බස්සාව අඳුනාගෙන ගෙවෙන පළමු පෙම්වතුන්ගේ දිනය. ඒ කාලෙ බස්සිට ඔය තෑගිබෝග ලස්සනට හදලා ඇඳලා දෙන ඒවා ගැන ලොකු වැටහීමක් තිවුනෙ නෑ. වැලන්ටයින් දිනයට කලින් දවසෙ බස්සා බස්සිව බෝඩිමට ඇරලවලා ගියාට පස්සෙ බස්සි ආපහු ඇවිත් හොරෙන්ම බස් එකක නැගලා කිරිබත්ගොඩ ගියේ තෑග්ගක් තෝරා ගන්න.
පෙම්වතුන්ගේ දිනය වෙනුවෙන්ම හදාපු රතු පාට, රෝස පාට විසිතුරු හදවත් හැඩේ සුකුරුත්තම් වලින් කඩවල් වල රාක්ක පිරිලා. රෝස මල් දාස් ගණන් පදික වේදිකාව දිගට පවා අලෙවි වෙනවා.
ඒත් බස්සිගේ හිත ගියේ ඒ එකකටවත් නෙමෙයි. වීදුරු වලින් හදාපු ලස්සන ෆ්ලේජ් අස්සයෙකුට. බැටරි දාලා පුංචි බොත්තමක් එබුවාම අස්සයාගෙ ඇතුලෙන් ලස්සන නිල් පාට එලියක් විහිදෙනවා. බස්සි ඉතින් දැක්ක ගමන් හිත වැටුනු නිසා ඒක මිළදීගෙන ආවා,
පහුවෙනිදා උදේම බස්සා එක්ක ජිම් කැන්ටිමට ඇවිත් දෙන්නත් එක්ක සුපුරුදු මේසෙ කෙළවරේ වාඩි වුනා.
"කෝ බස්සියෝ ඇස් දෙක පියාගන්න," බස්සා කිවුවා.
බස්සි අත් දෙකෙන් ඇස් වහගත්තෙ කපටි කමට. එතකොට ඇඟිලි අස්සෙන් හොරෙන් බලන්න පුලුවන් නෙව.
බස්සා බෑග් එකෙන් රෝස පාට පාර්සලයක් එලියට ගත්තා. හෙමිහිට බස්සිගෙ අත් දෙක මෑත් කරලා වටපිට බලලා නළලට ඉක්මන් හාද්දක් දුන්නා. "හැපි වැලන්ටයින්ස් ඩේ බස්සියෝ!' බස්සා බස්සිගෙ කනට කෙඳිරුවා.
බස්සි හෙමින් සැරේ පාර්සලය දිග ඇරලා බැලුවා. ලස්සන චූටි ටෙඩියෙක් ඉන්න පෙට්ටියකුයි, හුරුබුහුටි සුභපැතුම්පතකුයි ඒකෙ තිවුනා.
දැන් බස්සිගෙ වාරෙ. තැග්ගට අමතරව හැම විශේෂ අවස්ථාවකදිම බස්සා වෙනුවෙන් ලියැවෙන කවි පන්තියකුත් බස්සාට ලැබුනා.
මේ තියෙන්නෙ බස්සා එදා දීපු තෑග්ග.
පහුවදා උදේ බස්සි කැම්පස් යන්න සූදානම් වෙනකොට බස්සාගෙන් කෝල් එකක් ආවා.
"බස්සියෝ... ඔයා එනවා නේද?" බස්සාගෙ කටහඬ හිරවෙලා වාගෙ.
"ඇයි. මොකක් හරි අවුලක්ද?"
බස්සිත් පටස් ගාල ඩෙනිමටයි ටී එකටයි බැහැලා, බාටා දෙකත් දාගෙන ඉගිල්ලුනා. බස්සා බස්සිගේ බෝඩිමේ ගේට්ටුවට චුට්ටක් එහායින් මග බලාන ඉන්නවා.
"මොකක්ද අවුල බස්සෝ?" උත්තරයක් නෑ. බස්සා බිම බලාගෙන කැන්ටිම පැත්තට තටු ගහනවා.
බස්සි කැන්ටිමේ පුටුවක වාඩි වුනා. බස්සා බස්සිගෙ උරහිසට ඔලුව තියා ගත්තා. ලොකුම අවුලක් වගෙයි. ඇස් දෙකේ කඳුලු කැට දිලිසෙන හැටි බස්සිට පෙනුනා. බස්සි හෙමින් හෙමින් බස්සගෙ ඔලුව අතගාන්නට වුනේ බස්සා තවමත් කතා කරන්න සූදානම් නැති බව පෙනුන නිසයි.
"මගෙ අතින් ලොකු වැරැද්දක් වෙලා බස්සියෝ...." බස්සා ඇහෙන නෑහෙන ගානට මිමිනුවා. "ලොකුම ලොකු වැරැද්දක්"
හ්ම්ම්ම්.... හදාගෙන ගිය වෙබ් සයිට් එකක්වත් අවුල් ගිහින්ද? බස්සිට හිතුනා. ෂුවර් එකටම එහෙම දෙයක් වෙන්න ඇති. බස්සා මෙච්චර අවුලෙන් ඉන්නවා බස්සි මීට කලින් දැකලා තිවුනෙ එකම එක වතාවයි. ඒ බස්සගෙ ලැප් එක හොරකම් කරපු දවසෙ.
"මට කියනවද?" බස්සි බස්සාගෙ කෙහෙරැලි අතරින් ඇඟිලි තුඩු දිවෙවුවා. "හිත සැහැල්ලු වෙනවානම් විතරක්...."
"ඔයාට මම මේක කොහොම කියන්නද......" බස්සාගෙ කටහඬ ඇඬුම්බරයි. "මම කොහොමද කියන්නෙ නංගියෝ..."
බස්සිට හිතාගන්න බැරි විදියේ ලොකු බයක් දැනුනා. බස්සට මොකක් හරි කරදරයක්ද.... මොනවා කීවත් කළබල නොවී ඉන්න ඕනෙ බව බස්සි හිතාගත්තා.
"කියන්නකෝ ඉතින්?"
"ඔයා මට දුන්නු තෑග්ග මගෙ අතින් බිම වැටිලා කුඩු වුනා. පැය විසිහතරක් යන්නත් කලින්... මම මහා මැට්ටෙක්..."
අනේ බස්සිගෙ හිතට ඒ වෙලාවෙ දැනුන සැනසිල්ලක මහත!!!