“අප්ප කරපු දේ පුතා නොකලොත්
ඌ නොට්ටිගෙ පුතා”
මේ කතාව ලංකාවෙ අපිට හොඳට ඇහිල පුරුදු කතාවක්. සමහරුනම් කියන්නේ මේ නොට්ටිගෙ පුතා කියන එකෙන් අදහස් කරන්නෙ ‘නොට් උගේ පුතා’ කියන එක කියලයි. කොහොම වුනත්, අප්ප කරපු දේ කරන්න වගේම, අම්මගේ/ අප්පගේ කපාපු පළුව වගේ කියල කටපුරා කියන්න පුලුවන් වෙන්නත් හේතුවෙන දෙයක් ගැන විස්තර ටිකක්, බොහෝම ටිකක් කියන්නයි අද බස්සි කම්පනා කලේ.
ඔන්න එහෙනම් අදත් කට්ටිය හත් අට පොලකින් ඈඳි ගන්නකො පුතා අප්ප වගේ වුන හැටි අහගන්න.
ට්‍රිලියන පන්සියක් සෛල අපේ සරීරේ ඇත්තේ
ඒ හැම සෛලයක් ගානෙ ලියවෙයි ජීවිත තත්තේ
විස්තර එකටෙක අඹරා ඉනිමං හැඩයක් ගත්තේ
ඩී.එන්.ඒ. අණුව තමයි මේකට වගකිව යුත්තේ
බිංදු බිංදු එකතු වෙලා මහ වැස්සක් හැදෙනවාලු
ඩී.එන්.ඒ. එකතු වෙලා ක්‍රෝමසෝම හැදෙනවාලු
ක්‍රෝමසෝම ජෝඩු දමා සෛල ඇතුලෙ පැක් වෙන්නේ
මිනිස් සෛලයක් ඇතුලේ ජෝඩු විසිතුනක් ඉන්නේ
ඩී.එන්.ඒ. එකතු වෙලා ක්‍රෝමසෝම හැදෙනවාලු
හරියටම එක එක බස් වර්ගෙ ඇතුලෙ ගාල් කරන්න පුලුවන් මගියො ගාන වෙනස් වෙනව වගේ, මේ ක්‍රෝමසෝම යුගල් ගණනත් ජීවී විශේෂයට අනුව වෙනස් වෙනවා පින්වතුනි.
චිම්පන්සියාට විසිහතරයි
ඌ කන කෙසෙලට එකොලහකුයි
අනේ අහිංසක පළතුරු මැස්සෝ
උඹැහැටනම් ඇත්තේ හතරයි
ජාන
“ජාන”
විවිධ පන්නෙ ඩී. එන්. ඒ. ක්‍රෝමසෝමයේ ඇත්තේ
පේලි පේලි ඩී. එන්. ඒ. උපදෙස් හංගා ගත්තේ
එහෙව් පේලි “ජාන” නමින් දිසෙයි තැනින් තැන මැද්දේ
“ජාන” විධානය දෙනකොට ප්‍රෝටීනයි පණ ලද්දේ
සමාවෙන්ට සුපින්වතුනි. මෙච්චර වෙලා වටේ ඇවිද්දා මිසක “අප්ප කරපු දේ පුතා නොකලොත් ඌ නොට්ටිගෙ පුතා” වෙන හැටි කියා දුන්නෙ නෑ නෙව. ඕන් එහෙනම් අහගන්ට තොරණේ විස්තරේ වර්තමාන කතාව.
මම මුලින්ම කීව නෙව මිනිස් සෛලයක ක්‍රෝමසෝම යුගල් විසිතුනක් තියෙන බව. ඉතින් සෛල විභාජනයේදි, ඒ කියන්නෙ අලුත් සෛල හැදෙනකොට ඔය ක්‍රෝමසෝම යුගල් ඒ විදියටම අලුත් සෛල වලට පිටපත් වෙනවා. මේකට අපි කියන්නෙ අනූනන විභාජනය කියලා.
අනූනන විභාජනය
ඒත්, ඒත්, ඒත්…..
අපේ ප්‍රජනක සෛල නිෂ්පාදනය වෙන විභාජන ක්‍රියාවලිය මීට වඩා වෙනස්. එතනදි ප්‍රජනක සෛලයකට ඇතුලත් වෙන්නේ අර ක්‍රෝමසෝම 46න් (යුගල් 23න්) 23ක් විතරයි. ඒ කියන්නේ ආත්මීය බැඳීමකින් එකට වෙලිලා උන්නු ක්‍රෝමස්ලා ජෝඩු ටික, අනේ අඬ අඬා සෛල දෙකකට වෙන්වෙලා යනවා.
මෙන්න මේ ක්‍රියාවලියට අපි කියනවා ඌනන විභාජනය කියලා.
ඌනන විභාජනය
ඌනන විභාජනයෙන් හැදුන ඒකගුණ ඩිම්භ සෛලයක් මෙන්න මේ විදියට එතැන් සිට සිද්ධිය විස්තර කරනවා පින්වතුනි.
තනිවී සිටින්නයි මා අදහස් කලේ
ශුක්‍රාණුවක් ඇවිදින් එය වෙනස් කලේ
ඒකගුණ වෙමු කිව්වත් නෑ – සවන් යොමු කලේ
ද්විගුණ යුක්තානුවක් එයයි බිහිකලේ
යුක්තානුවා බෙදුනේ අනූනනයෙනී
ජෝඩු වී දැන් මගේ තනි මතේ බැරි වුනී
නිලීන වු ඇලීලේ හද විසකටු ඇනී
ප්‍රභලම ඇලීලේ නිති ඉස්මතු වුනී
මේ විදියට ප්‍රභල ඇලීලයි – දුබල ඇලීලයි ගැන ඩිම්භයක් ගායනා කලාට, මම දන්නව ඔය පින්වතුන්ට ඒ කොටස පැහැදිලි මදියි කියල. ඒ නිසා මම පොඩි උදා (eg:) එකක් කියල දෙන්නම්.
මේ උදාහරණෙ ප්‍රැක්ටිකලි කරලා පෙන්වලා සමස්ත ලෝකයාගේම ඇස් කන් නාසා ඇරවීමේ ගෞරවය යන්න ඕනෙ පූජ්‍ය ග්‍රෙගරි මෙන්ඩල් උත්තමයාට. එතුමාව අපි ප්‍රවේණි විද්‍යාවේ පියා ලෙසට හඳුන්වනවා.
අපි මේ කතාව පටන් ගන්නේ පුංචිම පුංචි මෑ ඇටේකින්.
මෑ ඇටේට පාට දෙකයි. සමහර මෑ ඇට කොල පාටයි. සමහර මෑ ඇට කහපාටයි.
අපේ ග්‍රෙගරි පූජකතුමා දවසක් මේ කොල මෑ ඇට තියෙන ගහක්, කහ මෑ ඇට තියෙන ගහක් එක්ක මුහුම් කරනවා.
ඕං බලන්ට වෙච්චි වැඩේ! මෑ දරුවො සේරගෙම ඇට කහපාටයි.
අපේ පූජකතුමා එහෙම ලේසියෙන් සරෙන්ඩර් වෙන මනුස්සයෙක් නෙමෙයි. උන්නැහේ ආයෙමත් ඒ දරු පරම්පරාව මුහුම්කරණයට ලක් කරනවා.
අහෝ! මේ කුමන ප්‍රාතිහාර්යයක්ද! මෙන්න කොල පාට ඇට ඇති දරුවෝ දෙවෙනි පරම්පරාවේ ඉන්නවා. මේක අනුපාතයක් විදියට දැක්වුවොත්,
කහ ඇට : කොල ඇට
3 : 1
ඉතින් ග්‍රෙගරි මෙන්ඩල් තුමා මේ අසිරිමත් සිදුවීම දිහා බලල කියනවා මෙහෙම.
“අහෝ සර්වබලධාරී දෙවියන්ගේ මහිමය! මාගේ නොවක් යැදුම් සහ ස්තෝත්‍ර වලට සවන් යොමු කල දෙවියන් වහන්සේ විසින්, දෙවෙනි දරු පරම්පරාවේ මෑ ඇට කොල පැහැයෙන් වර්ණ ගන්වා. . . . . .”
නෑ නෑ! උන්නාන්සෙ එහෙම කියල පූජාවක් තියල වැඩේ ක්ලෝස් කලානම් අද ප්‍රවේණි විද්‍යාවක් කොයින්ද? ග්‍රෙගරි තුමා ඔය සිදුවීම විශ්ලේෂණය කරනවා මෙන්න මේ විදියට.
මේ රූපසටහනේ තියෙන විදියට Y කියන්නේ ප්‍රමුඛ ඇලීලය. G කියන්නේ නිලීන ඇලීලය. ප්‍රමුඛ ඇලීලයක් එක්ක ඉන්නකොට නිලීන ඇලීලයෙන් කියවෙන රූපානුදර්ශය ඉස්මතු වෙන්නේ නැහැ. කොලපාට මෑ ඇට බිහිවෙන්නේ නිලීන G ඇලීල දෙකක එකතුවෙන්.
ඔය සීන් කෝන් එක පැහැදිලි කලාට පස්සේ මෙන්ඩල් මේ විදියට නියමයන් තුනක් ඉදිරිපත් කරනවා. ඒවා මම ඔබ-තමුන්නාන්සේලාට තේරෙන බාසාවෙන් මෙහෙම කියන්නම්කෝ.
1.
ජීවියෙක් තුල ඇලීල යුගලයක් පවතින අතර ඌනන විභාජනයේදී ඒවා අහඹු ලෙස බෙදීමට ලක්වේ.
2.
2.
3.
සමහර ඇලීල ප්‍රමුඛ ය. සමහර ඇලීල නිලීන ය. ප්‍රමුඛ ඇලීලයක් සහ නිලීන ඇලීලයක් යුගලනය වී ඇති අවස්ථාවන්හිදී ප්‍රමුඛ ඇලීලය නියෝජනය කරන රූපානුදර්ශය ඉස්මතු වී පෙනේ.
ඕං එහෙනම් අදට සෑන්ස් පාඩම ඉවරයි. බස්සි ගොඩක්ම ආස කරන සහ කැම්පුස් ගිහින් ඉගෙනගත්තු සබ්ජෙට්ටුව තමයි මේ. ඒත් මේක ගොඩක් දෙනාට නීරසයි – කලින් සෑන්ස් පාඩම් වගේ නෙමෙයි. ඒත් ඔයාල කැමතියිනම්, අණුක ජීව විද්‍යාව සහ ජාන තාක්ෂණය ගැන කියාදෙන්න බස්සි එවරෙඩි!
හිනාවෙවී ඉගෙනගන්න, බස්සිගේ Fun with Science ලිපි මාලාව.