Saturday, March 17, 2018

විරාම ලකුණු




"රායා, ඔයාට තේරෙනවද මම කියන දේ?" මම එකපාරටම පොළොවට වැටුනා. පොළව තිබුනේ බිම් මට්ටමට තට්ටු විසි එකක් උඩින්, කලබල නගරයක හදවත මත. වීදුරු බිත්ති හරහා ඔෆිස් එක ඇතුලට ගලාගෙන එන්න තතනන වැහි කළුවර, දීප්තිමත් විදුලි බුබුළු තුන්සිය ගණනක එළිය හමුවේ පැරදිලා, වීදුරු මත ඇතිල්ලි ඇතිල්ලි තාවර වෙමින් උන්නා.


"ම්හ්" 


"රායා?" ජේසන්, අංශ ප්‍රධානියා මගේ මුහුණට එබුනා. මගේ ඇස් නැවතුනේ ඔහුගේ කඩවසම් මුහුණට ඉහළින් පලින් පල නැගීගත් අළු පැහැති කෙස් ගස් කිහිපයක් අසල. "හැමදේම හොඳින් නේද?"


"මම හිතන්නේ." පිටත වැහි වැටෙන්නට අරන්. මට මේ මොනව වෙලාද? "සමාවෙන්න ජේසන්, මේ වෙලාවේ මගේ ෆෝකස් එක අවුල්. අපි හෙට කතා කරමුද? ප්ලීස්!" 


ජේසන් හිස වැනුවා. "ඔයාගේ ඔළුවට අවශ්‍ය විවේකය - ඒක දෙන්න" ඔහු යටිතොලේ කෙලවරක් හපාගෙන සුපුරුදු මද සිනහව පෑවා. "යන්න. මේ වැඩේ දවසක් පමා වීම ඒතරම් ප්‍රශ්ණයක් නෙමෙයි."


හකුලාගත් අත් පරිඝනකය මත සටහන් පොතත්, ජංගම දුරකතනයත්, පෑනත් අඩුක් කරගෙන, වතුර බෝතලය වැලමිටට හිර කරගෙන මම වැඩ මේසයට ගෑටුවා. "කුංෆු පැන්ඩා" සිනමාපටයේ "ටයිග්‍රස්" මේසය කෙලවරක හිටගෙන, ආත්මාරක්ෂක කුංෆු ඉරියව්වක් දක්වමින්, වමත මා වෙත දිගුකරගෙන උන්නා. ඊට මදක් ඔබ්බෙන්, පුළුන් පිරැවූ, වටකුරු හැම්ස්ටර් මීයා උගේ දොඹ ගෙඩි වගේ ඇස්වලින් මා දිහා බලනවා.


ජංගම දුරකතනයේ ටැක්සි ඇප් එක "අධික ඉල්ලුම්" තත්වයක් පෙන්වා වෙනදා වගේ තුන් ගුණයක ගාස්තුවක් ගෙනහැර දක්වමින් වුව, එකදු ටැක්සි රථයක්වත් අසලක නොමැති බව දැක්වුවා. මම 'දඩස්' ගා ජංගමය මේසය මතට අතහැරියා. එහි ගැටුනු 'කුංෆු ටයිග්‍රස්' උඩුබැලි අතට වැටුනා. ඈ මදක් වම් පසට ඇලවී, අසරණව වැතිර ඉන්නවා. දැන්, ඉහලට දිගුවී ඇති වමත සමග, ඈ දිසෙන්නේ 'අත දී මා නැගිටුවන්නැයි' අයැදින අහිංසකයෙක්ව මිස ආත්මාරක්ෂක කුංෆු සටන් කාරියක් විදියට නොවෙයි.


"I'll be late" අකුරු දහයකට අඩු කෙටි පණිවුඩයක් කුසේ රුවාගෙන ජංගමය වයිබ්‍රේට් වෙනවා.


"Its raining here. I'll be late too." කාලයත් එක්ක මම ඇහැට ඇහැක් - කනට කනක් තියරියට වැඩ කරන කෙනෙක් බවට පත්වෙමින් හිටියා. ඒත්, අකුරු දහයකට අඩුවෙන් එස්.එම්.එස්. ලියන එක මට තවම පුරුදු නැහැ.


"K"


වැස්සෙන් හේදිලා ගිය නගරයේ බොඳ වුණු විදුලි එළි, තරු වගේ ගැහි ගැහී දිලුනා. කදෝකිමි, රෑ බදුළු එළි වගේ ගිනිපෙට්ටි වාහන, පේලියකට හය ගණනේ සීරුවට ඇහිරිලා, ඉබි ගමනින් ඉදිරියට ඇදුනා.


මිනිත්තු අටක දුරින් ටැක්සියක් ඇති බව දන්වමින් ජංගමය කම්පනය වුනේ ඒ වෙලාවෙදියි. ගිලෙමින් පවතින වෙලාවක, පිදුරු ගහක එල්ලෙන තරම් කලබලෙන් මම රයිඩ් එක තහවුරු කලා. හවස හයහමාරට - ආපහු ගෙදර යන වෙලාවේ - 'මේක් අප්' කරන්නේ කාට පේන්නද කියලා අහන තැනට අඟලෙන් අඟල තල්ලු වෙමින් හිටියත් මම වෙට් ටිෂූ කොලයකට මහන්සිය එක්කාසු කරගත්තා. ඒ මහන්සි පොදිය, මේසය මත විසිරිලා තිබුණ ස්ටිකි නෝට්ස්, කුරුටු කරදාසි සහ මාර්ස් දවටනයක් එක්ක කුණු බක්කියට හලමින් ඉන්න අතරේ, ජේසන්, මදක්වත් අඩු නොවුන මදහසකින් යුක්තව සංවාද කාමරයෙන් පිටතට ආවා.


"ඔහ් රායා! ඔයා තවම මෙහෙ?" ඔහු මා දිහා බැලුවේ නළල රැලි ගන්වමින්. "ඔයාට වුවමනා හොඳ ඩීටොක්ස් ට්‍රීට්මන්ට් එකක්. ඒ ගැන පොඩ්ඩක් හිතා බලන්න. සමහර වෙලාවට අපි පිටතින් දිදුලමින් හිටියත් ඇතුලතින් දිරාපත්වෙන්න, වැහැරෙන්න පුළුවනි. ඒ නිසා නිතරෝම මෙතනින් (ඔහු තම පපුවේ වම් පැත්තට දෙවරක් හෙමින් තට්ටු කරගත්තා) කියන දේට ඇහුම්කන් දෙන්න."


"මං යන්න හදන්නේ ජේසන්" මම ලට්ට ලොට්ට පොදි කරලා බෑග් මල්ලට ඔබා ගනිමින් කිව්වා. "ගුඩ් නයිට්! සී යූ ටුමෝරෝ" එලවේටරය වෙත දුවන අතරේ මං ජේසන්ට අත වැනුවා.


**********


දෙවරක් දුරකථනයත්, වාහන අංක තහඩුවත් පිරික්සා බැලුවේ වම් අත ඉදිරියට දිගු කරගෙන ඉන්නා ආත්මාරක්ෂක කුංෆු සටන්කාරිය. "යමු." මම පැති දොර තදින් වසමින් කිව්වා.


වාහනය වැස්ස, අඳුර සහ තෙත එකට කැලතුන ප්‍රධාන මාර්ගයට එකතු වුනායින් පස්සේ මම අත් දෙක පොරවගෙන, කවුළුවෙන් එපිට කලබලය දෙස නෙත් යොමමින්, අලසව, ආසනය මත ගුලිගැහුනා. මම ඇතුලතින් බිඳෙන්නට පටන්ගෙන. මේ මොහොතේ බටර් ඇඟිලි අතරින් ලිස්සා වැටෙන වීදුරු බඳුනක් වගේ මා පොළව මත පතිතව, කැබලි දහස් ගණනකට කැඩී බිඳී යනු ඇතැයි මට බය හිතෙන්නට ගත්තා. යලිත් එකකට එකක් පුරුද්දන්නට හිතන්නවත් බැරි, සිහින් වීදුරු පතුරු දහසක්. ඒ සිතිවිල්ලත් එක්ක වෙවුළුමක් ගත පුරා දිවයද්දි මම කර වටා ඔතාගෙන හිටි සාළුව උරහිස් වැහෙන පරිදි දවටාගත්තේ, බිඳීමෙන් ආරක්ෂා වෙන්න තතනමින්. අනපේක්ෂිත සිහින් ඉකියක්, යටි උගුර පාදන හඬක්ව, වලකා ගත නොහැකිව, පිටතට පැන්නේ එවිටයි.


"ඔයාට අපහසු නම් ඒ.සී. ඕෆ් කරන්න පුලුවනි."

එකම හැන්දෑ වරුවක, දෙවන වතාවටත් මම අහසින් පොළවට වැටුනා. බිඳක්වත් පොඩි වී නැති ලා නිල් පැහැ කමිසයකුත්, හෙයා ක්‍රීම් තවරා මනාව සැකසූ කොණ්ඩයකුත් මගේ නෙත ගැටුනා. ඔන්න ඔහු මා දිහා බලලා හිනා වෙනවා. මනාව කැපූ රැවුල් කොට අතරින් ඔහුගේ පුළුල් හකුපාඩා එකිනෙක තදව, එක්වරම සිනහව නවතිනවා.


"ඔයාට හොඳින් නේද? මෑම්, මම අහන්නේ, ඔයාට මොකක් හරි අසනීපයක්වත් ද?"


"ඇ.... ඇයි?" 


"ඔයා කරදාසියක් වගේ සුදුමැලි වෙලා." කොල එලිය වැටෙන තුරු ඔහු අංශක එකසිය හැටක්ම පිටුපසට කැරකිලා මා දිහා බලනවා. ඔන්න ඉතින් මට ආයෙමත් 'මදසිනහ-වෙස්මුහුණ' ඇඳගන්න සිද්ධවෙනවා. ඒ මුහුණත්, ඒ කටහඬත් හුරුපුරුදු බවක් දැනෙන්නේ ඇයි? මම පසු බැලුම් කන්ණාඩියට එබෙන්නේ, හුරුපුරුදු හැඟීමට සාක්කියක් හොයාගන්න.


"ඇයි හොරෙන් බලන්නේ?"


මොන ජාතියක පිස්සෙක්ද මේ මිනිහා? දෙකන්පෙති පිටුපසින් පැන නැංග ලැජ්ජාවේ රත් පැහැය දෙකොපුල් හරහා පැතිර යන අයුරු මට දැනෙන්නා වාගේ. ඔහු පසු බැලුම් කණ්නාඩිය ඇතුලේ - යටි තොලේ කෙලවරක් විකාගෙන - අඩැස් බැල්මන් දෙනවා. ඔන්න, සුළු මොහොතකට කලියෙන් බිඳෙන්නට ආසන්නව, ඇතුලතින් දිර දිරා වුන් බව මට සහමුලින්ම අමතක වෙනවා.


"ඔයා කවුද?" 


"මමද? මම ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක්." ඔහු හකහකගෑවිල්ලේ කියනවා. "සැකද? ඔයාට මේ ට්‍රැෆික් එකේ රාජගිරිය හන්දිය පහුකරන්න තව පැයකට වඩා යනව වගේම ඇත්තක් ඒක."


"කෙහෙල්මල! විහිළු කරන්න විතරක් එපා මා එක්ක. මම ඔලමොට්ටල මෝඩ අලගෙඩියක් කියලද හිතාගෙන ඉන්නෙ?" මම පාවහන් මුදා හැර, එරමිණිය ගොතාගෙන, ඉදිරි අසුන වෙත නැමුනා. ඒ මත පිළිවෙලට නමන ලද ටයි පටියත්, ඒ මැද තැබූ මිල අධික, සන්නාමගත අත් ඔරලෝසුවත් මට පෙනෙනවා.


"මේ වෙලාවෙ මාව මොකෙක් විදියටද ඔයාට පේන්නෙ මෑම්? නුවරඑළියේ එළවළු ගොවියෙක් විදියටද? වෙන්නප්පුවේ මාළු බෝට්ටුවක වැඩකරන ධීවරයෙක් විදියටද? නැත්නම් කොල්ලුපිටියේ ඉඳන් රාජගිරියට යන නෝනා කෙනෙක් වෙනුවෙන් වාහනේ එලවන ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් විදියටද?"


මම ආසනය උඩ එරමිණිය ගොතාගෙන, නිකට දෙඅත්ල මත රැඳෙව්වා. සිහින් අර්මානි විලවුන් සුවඳක් මගේ නැහැයේ හැපෙනවා.


"එහෙමත් නැත්නම්..." ඔහු වාහනය මදක් වම් පසට ගනිමින්, පසුපසින් නලා හඬ නංවමින් පැමිණි ජීප් රථයට ඉස්සර වෙන්නට ඉඩ දුන්නා. "එහෙමත් නැත්නම්, ඔයාට මාව පේන්නෙ නැද්ද මේ වැස්සයි - සීතලයි - තෙතයි - කළුවරයි අමතක වෙන්නත් එක්ක, ඉස්සරහින් තියෙන උණුහුම් ෆැන්සි බාර් එකක නැවතිලා - බීම එකක් බෙදාගන්න කැමත්තෙන් ඉන්න ආගන්තුකයෙක් විදියට?"


**********





බීම හළ පුළුල්, හඬ-වරණ බිත්තිවලින් සමන්විත වූවක්. මම අහස් නිල් පැහැ බීම වීදුරුව රවුමට රවුමට කලතමින්, ආගාර බිත්තිවල එල්ලා ඇති සිතුවම් නරඹමින්, කියවමින්, ඉහිල් වීම ආරම්භ කලා.  ඉලෙක්ට්‍රොනික සංගීතයේ පවා තිබුනේ මනස නිදහස් කරවන තානයක්.


"මට එපා වෙලා හිටියෙ." ඔහු කියමින් උන්නා. "හැමදාම, හැමදේම, එකම විදියට. උදේ ස්කූල් ට්‍රැෆික් එකට කලින් පාරට පැනගන්නවා. හැන්දෑ වෙනකම් ඩිජිටල් ස්ක්‍රීන් එකක් එක්ක, එහෙමත් නැත්නම් නම්බර්ස් වලින් කතාකරන, හැඟීම් දැනීම් නැති මිනිස්සු රොත්තක් එක්ක හැප්පෙනවා. ඇවිදින ගමන් කෝපි බොනවා. කන ගමන් ඊමේල් බලනවා. අහස කළුපාට වුනාට පස්සේ එලියට බැහැලා පැය දෙකක් තිස්සේ කිලෝමීටර දහ අටක් ඩ්‍රයිව් කරනවා. ෆිල්ම් එකක් බලන ගමන් ඩිනර් ගන්නවා. නින්ද යනකම් ෆේස්බුක් වෝල් එකේ පහලට පහලට යනවා. ඇස් ඇරලා බලනකොට ආයෙමත් කළුපාට අහස අළුපාට වෙලා, ස්කූල් ටයිම් ට්‍රැෆික් එකට කලින් පාරට පනින්න කලබලේ පටන් අරගෙන."


"බොරු කියන්න එපා කේෂාන්." මම ඒ වනවිට ඔහුගේ නම දැනගෙන හිටියා. "ඔය සර්කල් එකෙන් පිට පනින එකම දවසක්වත් නැද්ද?"


"මොකෝ නැත්තෙ?" වීදුරුව තුල වූ අයිස් කැට වැරෙන් එකිනෙක හැප්පුනා. "සමහර දාට, ටීවී සීරීස් බලන්න පටන් ගත්තම ඉතින් ඒ සිස්ටම් එක සම්පූර්ණෙන් කණපිට ගැහෙනවා. එහෙම දවසට ගෙදර ආපු වෙලාවෙ ඉඳන් පාන්දර දෙකහමාර, තුන විතර වෙනකම් එක හුස්මට ටීවී සීරීස් බැලිල්ල විතරමයි. පහුවදා පාන්දරට සොම්බි කෙනෙක් වගේ ඔෆිස් යන්නෙ."


"පිස්සෙක්." මම කට ඇද කලා.


"ඔව්. මේ හැම දේම එක්තරා විදියක පිස්සුවක් තමයි. නැද්ද?" ඔහු ඔලිව් ගෙඩියකට දත් ගසා කට ඇඹුල් කරගත්තා. "ඇත්තම කිව්වොත්, මම මටම තරයේ කියා හිටියා මෙහෙම. කේෂාන්, අද නම් දෙනෝදාහක් මැද තනිපංගලමේ උඹට පැය ගානක් ට්‍රැෆික් එකේ තපින්න ඉඩ දෙන්නෙ නැහැ මම. ඊට පස්සෙ මං කල්පනා කලේ වාහනේ ඔෆිස් එකේ පාර්ක් කරලා ටැක්සියක ගෙදර යන්න. ඒත් රායා, බලන්නකෝ, ඒක මේ හැම සොම්බි කෙනෙක්ම කරන බොහොම සාමාන්‍ය දෙයක්නේ. ඒකයි මට හිතුනෙ කාටහරි රයිඩ් එකක් දෙන්න. හැබැයි ඒ වෙලාවෙ මං තුංහිතකින්වත් හිතුවෙ නෑ මගෙ රයිඩ් එක මහ මුස්පේන්තු එරවිල්ලක් තියෙන, ක්‍රේල් කොණ්ඩාකාර චබී කෙල්ලෙක් වෙයි කියලා."


මං අත් ඔරලෝසු මුහුණත වටා දබරැඟිල්ල දුවවමින් ඉවත බලාගත්තා. මොනවද මම මේ කරන්නේ? නමක් ගමක් නොදන්න ආගන්තුකයෙක් එක්ක බීමකට ඇවිත්. මම අහක බලන තත්පරේට මේ මිනිහා මගෙ බීම වීදුරුවට දමාවි රොහිප්නෝල්. ඊට පස්සෙ වෙන දේවල් දෙයියෝ දනියි. 


"අන්න ආයෙමත් පටන් ගත්තා මුස්පේන්තු එරවිල්ලයි, නළල රැලි ගැස්සිල්ලයි. ඔය රැවිලි බැල්ම නැත්නං, ක්‍රේල් කොණ්ඩ තියෙන චබී කෙල්ලො තමයි මගෙ ටේස්ට් එක." ඔහු ඇහැක් පුංචි කරමින් වසාබි ඇටයක් අහුලාගෙන, දබරැඟිල්ලත් මහපටැඟිල්ලත් අතර ඒ මේ අත පෙරලන්න වුනා.


"මම මැරි කරලා අවුරුදු පහක්." මං එකපාරම කියාදැම්මා, අරමුණක් නැතිව, එක එල්ලේ බිත්තියක් දිහා බලාගෙන. මින් පස්සේ කොහෙ ගියත් වෙඩින් රිංග් එක දාගෙන යන්න ඕනෙ බවට කුංෆු ටයිග්‍රස් ලහිලහියේ මෙමෝ සටහනක් ලියාගත්තා.


"හා ඉතිං, මට පාන් ද?" ඒ වතාවේ නම් කන් රත්පැහැ ගැනීම සහ උණුසුම පෙරට වඩා දරුණුවට දැනුනා. "මං බැඳලා අවුරුදු දෙකහමාරයි. ඒ කියන්නේ මං ඔයාට පරාදයි කියන එක ද? නැත්නං ඒකත් වයස වගේ අඩු ඉලක්කම කියන කෙනා ජයග්‍රහණය කරන පරාමිතියක් ද?"


"එහෙනම් අපි මේ මොන මගුලක් ද කරන්නෙ කේෂාන්?" බීම උගුරකට පස්සෙ මම යලිත් සැහැල්ලු වෙමින් උන්නා. වෙස්මුහුණ නැතිව, හැබෑ මන්දස්මිතයක් සමග.


"මනුස්සයෙක් එක්ක ජීවත්වීම කියන එක රසවිඳිනවා. වෙන අහවල් දෙයක් නෙමෙයි." ඔහු හෙමිහිට මගේ පිටි අත්ල පිරිමදිමින් කියන්නට වුනා. "ඔය හෙයා ටයි එක ගලවලා දාන්නකො රායා, ප්ලීස්. ඔයා මේ ඉන්නෙ බිස්නස් ෆෝරම් එකක නෙමෙයිනෙ."


"මෙන්න." මම අත්ල මත ගුලිකරගත් කොණ්ඩ පටිය ඔහු වෙත පෑවා. "මේක ගෙදර අරන් ගිහින්, වයිෆ්ගෙන් ගුටි කනවා. එතකොටවත් පාර්ට් ටයිම් ඩ්‍රයිවින් රස්සාවල් කරන එක නවත්තලා දාන්න හොඳ පාඩමක් ඉගෙන ගනීවි ඔයා."


ඔහු කොණ්ඩා පටිය දිගහැර, බ්‍රේස්ලට් එකක් වගේ දකුණතේ රුවා ගත්තා. මගේ දකුණු කන් පෙත්තේ ගැටෙන නොගැටෙන තරමට ඉදිරියට නැමුණා. "Who needs tomorrow when we have got tonight?" උරහිස හරහා ලිහිල්ව එල්ලා වැටෙන හිසකේ කැරැල්ලක එතෙන ඔහුගේ දිගු අතැඟිලි ගැන තැකීමකින් තොරව මම ගෙල දිගුකර පිටත වීදිය දිහා බැලුවා. මහ වැස්ස, සිහින් හිරිපොදයක් බවට පත්වෙමින් තිබුණා.  'Who cares? who cares about tomorrow?' බීම හලේ මදඳුරත්, පහල කඩවීදියේ දැල්වෙන නියොන් එළිවල දීප්තියත්, බිඳීයාම නතරව ඇති බවට සහතික වශයෙන් හිතේ ඇතිවුන සුරක්ෂිත හැඟුමත් හේතුවෙන් ආධූලනයව මම තොල් මැතිරුවා.





**********


"මොබයිල් නම්බර් එක." මම ගිමන්හලේ කුරුමේසයක් මත වූ දෙකට නමන ලද ටිෂූ කොලයක්, පෑනක් සමග ඔහු වෙත පෑවා.


"මොකටද?" ඔහු නළල රැලි ගන්වා විමසමින්, කර වටේ අතලා මා තවද ලංකර ගත්තා. ටිෂූ කඩදාසිය ගුලිකොට, ඇඳ අසල වූ කසල බඳුනට අත හැරියා. "හැම කෙනෙක්ටම, තමන්ගෙම ගමනක් තියෙනවා. ඒත් කාලයක් ගතවෙනකොට අපිට අමතක වෙනවා ඒක අපි විසින්ම නිර්ණය කරගත්තු ගමනාන්තයකට ළඟාවෙන්න, අපි විසින්ම නිර්මාණය කරගත්තු ගමනක් බව. ශෝචනීයම දේ තමයි, අන්තිමේ අපි හිතන්න පෙළඹෙනව මේ වෙන කෙනෙක් විසින් අපේ උරහිස මත පටවාපු කුරුසියක් කියලා. අපි අපෙන්ම ගැලවෙන්න ක්‍රම හොයනවා. විකාරයි නේද?"


"විකාරයක් තමයි." මම ඇස් පියාගෙන, ඔහුගේ පපුව මත හිසකේ අතුල්ලමින්, කෙටි හිස සැලීමක් සමග එකඟ වුනා.


"ඉතින්, මේක අත්‍යාවශ්‍යව තිබුණු ඩීටොක්ස් ට්‍රීට්මන්ට් එකක්. අදින් පස්සේ අපිට බිඳෙන්නේ, විසිරෙන්නේ නැතුව, තව ටික කාලයක් ගෙවාගන්න පුලුවන් වේවි කියල හිතෙන්නෙ නැද්ද? බොහෝවිට, අනාගතේදිත් අන්තිම වෙහෙසකර දවසකට පස්සේ මට ආයෙම වතාවක් ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න හිතේවි. ඒක සහතිකයි."


කුංෆු ටයිග්‍රස් පොළවට සමාන්තරව, අනන්තය තෙක් පැතිර ඇති ආකාශය දෙස බලමින්, වමත ඉහලට දිගු කරගෙන ඉන්න බව මට දැනෙනවා. ඒ තවදුරටත් ආත්මාරක්ෂක සටන් ඉරියව්වක් හෝ, තමාව ඉහලට ඇදගන්නැයි කරන ඉල්ලීමක් නොවෙයි. ගැඹුරු සිපගැනීමකට පෙර එළැඹෙන සුළු විරාමයක්. තව මොහොතකින් ඇය කවුරුන් හෝ තවත් මනුෂ්‍යයෙක්ව බිඳවැටීමකින් ගලවා ගනීවි. 




20 comments:

  1. හුඟ කාලෙකින් ...
    කතාව ලස්සනයි ..!

    ReplyDelete
    Replies
    1. අවුරුද්දකින් විතර.
      තැන්කූ සඳරු!

      Delete
  2. අනුන් ඩීටොක්ස් කරන්න යෑමෙන් තමාම ඩීටොක්ස් වේ!

    ReplyDelete
    Replies
    1. විය හැක. විය හැක. :)

      Delete
  3. මාත් හොයන්නේ දවස අවසානයේ අවසාන කළ හැකි පහුවදාට පෙරදා නතර කළ තැන සිට නැවත පටන් ගත යුතු නැති රැකියාවක්.

    ReplyDelete
    Replies
    1. එහෙම ජොබ් හරිම දුලබයි.

      Delete
  4. අනේ වාසනාවන්... මේ බොරුවක් කියනවා නෙමේ... අද උදේ ඔහේවයි.. අපූර්විවයි දෙන්නම මතක් උනා.. ඒ දැණුන වේදනාවෙන් 50% සුව උනා....

    මේවා කතා නෙවෙයි... කවි... බෙනාගේ කවි වගේ... මේවයේ තියෙන්නේ අකුරු නෙමෙයි අගනා සිතුවම්...

    දැන් ඉතින් පිම්බෙන්න හෙම එපා

    තව පිම්බුනොත් කැත වෙයි...

    ReplyDelete
    Replies
    1. අනේ ඉතින් වැඩ වැඩිවෙනකොට ලිවීම් අඩුවෙනවා මාතේ. ඒකට මක්කොරන්නෙයි ඉතින්?

      ඔමාව කාලෙකින් ෆේස්බුකියෙවත් දැක්කෙ නෑ.

      තැන්කූ හොඳේ.

      Delete
  5. මැජික්මය ලියවිල්ලක් වියෙව්වෙමි...

    ස්තූතියි බස්සි.....

    ReplyDelete
  6. අප්පේ.. සිරි වෙයි! මෙන්න ආයේ ඇවිත්!

    ඩිටොක්ස්!! අනිවාර්යෙන්ම!

    ReplyDelete
  7. පැන්ඩා කෝ?

    Welcome back !!!!

    ReplyDelete
  8. නියම ලියවිල්ලක් බස්සියේ. ලස්සනයි. ජය

    ReplyDelete
  9. හ්ම්ම්ම් හ්ම්ම්ම් හ්ම්ම් කාලෙකින් නොවැ වෙලකට බැස්සේ අපේ බස්සි තුමිය! වැඩ බහුල වෙන්ඩෑ...

    ReplyDelete