Monday, September 30, 2013

ඔයාගෙ සතුට තමයි මගෙත් සතුට???





"ඔයාගෙ සතුට තමයි මගෙත් සතුට. ඔයාගෙ සතුට වෙනුවෙන්, ඕනෙම දේකට මම කැමති වෙනවා." කාලෙකට ඉහතදි බස්සි බස්සාට දීපු පණ්ඩිත ටෝක්ස් තමයි මේ.


අහෝ අද උදෑසන වූ විපතක මහත! ඒ පඬි ටෝක්ස් සියල්ල හිරු දුටු පිණි මෙන් වියැකී ගියේය.

 
ජොබ් කටුව වෙනස් වුනාට පස්සෙ බස්සිට උදේ රැයින් පිටත් වෙන්ට සිද්ද වෙච්චි හැටි කලින් පෝස්ටුවක සටහන් කලා නෙව. එහෙමයි කියලා තනියම යන්ට පුලුවන්ය? වෙනදා දහයට ඔපීසි යන බස්සාවත් කොහොමහරි උදෙන් ඇහැරවාගෙන එක්කන් යන්නෙ තනියට.


ඕන් ඉතින් අදත් උදේ අපි ඩබල බස් එකක එල්ලුනා කියමුකො. (එල්ලෙන්නෙ වවුල්ලු තමයි. ඒත් ලංකාවෙ උදේට බස් වල යන හැම කුරුල්ලෙක්ටම වවුල් ක්‍රමේට තමයි ගමන යන්න වෙන්නෙ.)  බස් එකේ පොල් පටෝල වාගෙ සෙනග. ඔය සෙනග ගොඩ අස්සෙ කොහොමින් කොහොම හරි මට අපේ බස්සව මග ඇරුන.





වටයක් බෙල්ල කරකෝලා බලද්දි මෙන්න බස්ස ඉන්නව මට පස්ස හරෝගෙන. සෙනග ගොඩේ එහා පැත්තට හැරෙනව කියන එක මෙලෝ ජගතෙකුට කොරන්ට පුලුවන් දෙයක් නෙමෙයි. ඉතින් බස්සිත් හෝල්ට් පහයිනෙ කියලා ඉවසා වදාරන්න හිතුවා කියමුකෝ.


ඊගාව හෝල්ට් එකෙන් නැග්ගෙ නැතැයි සුදු ලස්සන කිරිටිස් කෑල්ලක්. සෙනග ගොඩේ දුෂ්කරක්‍රියා කොරද්දිත් ඇහැ කොනට අහු වුනා ඒ තරමට ලස්සනයි. හීනියි, සුදුයි, කොණ්ඩෙ ලොකු රවුම් කැරලි, ලාවට මේක් අප් පාරක් හෙම දාල, නිල් ඩෙනිම් කලිසමකුයි, සුදු ටී ෂර්ට් එකකුයි ඇඳලා. හිතේ මවාගන්ට පුලුවනි නෙව?


මෙන්න මේ වාගෙ ටිකක්. 





 
පස්ස හරෝගෙන හිටියත් සැරෙන් සැරේ බස්ස ඉන්න දිහාවට ඇහැ යන්නෙ මටත් හොරෙන්. මෙන්න බොලේ අර  සුදු ලස්සන කිරිටිස් කෑල්ල සෙනග පීරාගෙන ඇවිත් බස්ස ගාව ලෑන්ඩ් කොරලා. බස්සගෙ මූණ දිහා කන්න වගේ බලාගෙන ඉන්නව.


බස්සගෙ උපවිඥානයට දැනෙන්න ඇති නෙව කෙල්ලො දෙන්නෙක්ම එකපාර බලන් ඉන්න බව. (බස්සි සහ සුදු කෙල්ල) බස්ස හැරුන අර කෙල්ල පැත්තට. ඕන් ඒකි බබා වගේ බිම බලා ගත්ත.


බස්ස ආපහු ජනේලෙන් එළිය බලාගෙන යනව. අරකි ආපහු ඔලුව උස්සල බස්සගෙ මූණ රූපගත කොරන්ට පටන් ගත්තෙ නැතැයි.


බස්සිගේ ඉරිසියාවේ රතු කට්ට පැන්න. ජන ගංගාව පීරාගෙන නොසැලී කෙල්ල සහ බස්සා අතරට යාත්‍රා කලා. කෙල්ලව හෙමීට එහාට තල්ලුවක් දාල බස්ස ගාව ඉඩක් හදා ගත්තා. බස්සා බස්සිගෙ ඉන වටේ අතක් යවලා වැටෙන්න නොදී අල්ලා ගත්තා. බස්සි අර කෙල්ල දිහාවට හීන් රැවුමකුත් පාස් කලා.





බස් එකෙන් බැස්ස විතරයි බස්සා මගෙ දිහා බලබල හිනා වෙනව. කාල හමාරයි. වැඩේ නෝන්ඩි වෙලා. ඒ අවස්ථාවේ පටන් මේ දක්වාම අති සාර්ථක ලෙස මා බස්සාගේ හිනාවට ලක්වෙනවා. අර කියාපු පණ්ඩිත කතාව බැදල කාල අභාවප්‍රාප්ත වෙන්න වෙලා බස්සිට.


මං අහන්නෙ මේක මට විතරක් තියෙන දෝසයක්ද? ආදරේ ඇත්තටම ඔය කියන තරම් පරිත්‍යාගශීලීද? පරාර්ථකාමීද?


"ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එලිය සේ අචින්ත්‍යයි" කියල කියන්නනම් ලේසි ඇති. එහෙනම් බස්සිගෙ හිතේ බස්ස ගැන තියෙන්නෙ ප්‍රේමයක් නෙමෙයිද? ඇයි හත්දෙයියනේ එහෙම නෙමෙයි කියන්නෙ කොහොමද?


බස්සිට හිතෙන විදියට නම් මෙතනදි ප්‍රේමයයි රාගයයි කියන්නෙ එකම ගෙත්තමක් වියන පාට දෙකක නූල් පොටවල් දෙකක්. ඔව්, දාරක ප්‍රේමය, මාතෲ ප්‍රේමය, සහෝදර ප්‍රේමය වාගෙ ප්‍රේමයේ එක එක කැටගරි තියනවා නෙව. ඒවයෙදි තත්වය වෙනස්.


ඉතින් එදා කියාපු පණ්ඩිත කතාව අදින් පස්සෙ බස්සි මෙන්න මේ විදියට වෙනස් කරනවා.


"ඔයාගෙ සතුට තමයි මගෙත් සතුට. ඔයාට මගෙත් එක්ක සතුටෙන් ඉන්න බැහැයි කියලා හිතෙන දවසට, ඔයාගෙ සතුට වෙනුවෙන්, ඕනෙම දේකට මම කැමති වෙනවා. හැබැයි, ඔයා මගෙත් එක්ක ඉන්න තාක් කල්, ඔයාව මගෙන් උදුරගන්න හිතන ඕනෙම එකෙක්ට වෙන්නෙ මගේ අතින් අභාවප්‍රාප්ත වෙන්න තමයි."





ඕක කිවුවාම අපේ බස්ස කියාපු දේ දන්නවැයි?


"අඩේ.... ඒක නම් මරු. මට තරහ තියන කෙල්ලෙක් ඉන්නවනම් ඒකිව සෙට් කරගන්නයි තියෙන්නෙ. මුන්දෑ ඒකිව මරලා හිරේ යනවා. මට සදා සැනසිල්ලයි."

අනේ මගේ හොට මොකටද?


හතළිස් පස්වෙනි කොටස : සාප්පු සවාරි සහ හිරකූඩු



සාමාන්‍යයෙන් පිරිමි ළමයි සාප්පු සවාරි යන්න අකැමැතීලු. ඒක බස්සිගෙ යාලු කිරිල්ලියො ගොඩාක් දෙනෙක් නිතරම කරන පැමිණිල්ලක්. මේ හේතුව නිසාම බස්සිටත් නිතරම යාලුවන්ගෙ තනියට සාප්පු සවාරි යන්න ආරාධනා ලැබෙනවා නිතරම. බස්සිලාගෙ කැම්පස් එක තියෙන්නෙ රෙදිපිලි සාප්පු වලට ප්‍රසිද්ධ පලාතක නිසා මේ ගමන් බිමන් වලට ඒ තරම් කාලයක් ගතවෙන්නෙත් නෑ.

පිරිමින්ගේ සාප්පු සවාරි ගැන කවුරු කොහොම කතා කිවුවත් බස්සා නම් බස්සිත් එක්ක ඇඳුම් පැළඳුම් තෝරන්න යන්නත්, කඩවල් ගානෙ ඇවිදින්නත් කවදාවත් අකැමැත්තක් පෙන්වලා නැහැ. ඇඳුම් සීයක් විතර තෝරලා බලලත් බස්සිගේ හිතට හරියන ඇඳුමක් හොයාගන්න බැරිවෙන වෙලාවට බස්සාම තමයි වෙනත් ටවුන් එකකට ගිහින් හරි ගැලපෙන ඇඳුමක් හොයලා දෙන්න උනන්දු වෙන්නෙ.

බස්සාටත් අනිත් කුරුල්ලන්ට වගේම සාප්පු සවාරි යාම එපා කරපු සබ්ජෙක්ට් එකක් වෙන්න ඇති. ඒත් බස්සි වෙනුවෙන් බස්සා කිසිම අවලාදයක් නොනඟා ඒ කැපකිරීම කරනවා.

බස්සා කිසිම දවසක බස්සි අඳින පළඳින විදිය ගැන අනවශ්‍ය තහංචි දාලත් නැහැ.

"බස්සෝ ඔයාට බැරිද මටත් නිකමට වාගෙ නීතියක් දෙකක් දාන්න?" බස්සි සමහර වෙලාවට අහනවා.

"මොන නීතියක්ද?" බස්සා නළල රැලි ගන්වමින් මා දිහා බැලුවා.

"හ්ම්ම්ම්.... කොටට අඳින්න එපා කියන්න."

"ඉතින් බස්සියෝ ඔයා අඳින්නෙ ඩෙනිම් කලිසම්නෙ."

"ඒකත් ඇත්ත තමයි නේද..... එහෙනම් වෙන මොකක් හරි එකක් කියන්න."

"ඒත්...... ඇයි?"

"නිකම්, ආසාවට වගේ."

"නංගියෝ, කුරුල්ලෙක්ගෙ, සමනලයෙක්ගෙ ලස්සන පේන්නෙ කූඩුවක හිරකරගෙන ඉඳිද්දි නෙමෙයි. ඒගොල්ලො නිදහසේ ඉගිල්ලෙනකොට. ඔයාට නීතිරීති දාල කොටුකරලා තියාගන්න මට කිසිම වුවමනාවක් නෑ. ඔයාගෙ ආදරේ මට උපරිමයෙන් විඳින්න පුලුවන් වෙන්නෙ ඔයා නිදහසේ ඉන්නකොට."

"බස්සෝ...... එතකොට ඔයාට බය හිතෙන්නෙ නැද්ද මම ඔයාව දාලා යාවි කියලා?" බස්සි පරිස්සමින් වචන ගැටගැහුවා.

"මම දන්න එක දෙයක් තියෙනවා. ඔයා මට ආදරේ කරන තාක් කල් ඔයා මාව දාලා යන්නෙ නෑ." බස්සා මගේ කෙස් රොදක් ඇඟිලි දෙකක පටලවමින් ඈත බැලුවා. "දවසක ඒ ආදරේ නැති වුනොත්, ඔයා අසතුටෙන් මගේ ළඟ ඉන්නවාට මම කැමතිත් නෑ."

"හ්ම්ම්ම්......." ඒ කතාව බස්සිගෙ හිතට බර වැඩියි.

"නීති රීති එන්නෙ අවිශ්වාසයත් එක්ක. ආදරේ පදනම් වෙන්නෙ විශ්වාසය මත. එතකොට නීතිරීති වලින් බැඳලා දාපු කිරිල්ලියෙක්ගෙ හිතේ ආදරේකට ඉඩක් තියේවිද?" බස්සා මගෙන් ඇහුවා.

බස්සිට දෙන්න උත්තරයක් තිවුනෙ නෑ.

"ඔයා ඒ විශ්වාසය කඩ කරන්නෙ නෑ කියලා මට විශ්වාසයි. එහෙනම් මම නීති දාලා ඔයාව හිර කරන්නෙ මොකටද?"



Sunday, September 29, 2013

තව දුරයි මාවත



නිමිත්ත : ලියුකේමියා රෝගයෙන්, සහෝදර පාසලක සමවයසේ සිසුවෙක් මරණයට පත්වේ.





ගෙවී ගොස් ඇත වසන්තය
තුරු හිසක රත් කුසුම් පිබිදුන
සරු කෙතක හිරු කැළුම් ඉහිරුන
නිමා විය විහඟ ගීතය
හදවතට මල් හැඟුම් කැන්දන


දවාලයි ගත නැගෙන දාහය
හමා එයි වියලුන සුළo රැල්
රෝහලේ කවුළුවෙන් හෙමිහිට එකතු වී සේලයින් සුවඳට
යොමමි නෙතු කවුළුවෙන් එපිටට
සරත් හිරු රැස් පෙලයි නයනත


ඇට මිදුළු කකියවන සියුම් වේදනාවක්
රුධිරයට මුසුව පැතිරී ඇදෙයි, ගත වෙලෙයි
නියුරෝන කම්පිතව දුබල හද වෙවුළුවයි
ඇදුම් කන ළය මඬළ සුසුමකින් සසළ වෙයි


බලාපොරොත්තුව…… යළිදු මා පුබුදුවයි
ගගනත වළා කැටි මත
තරු අමුණලා පා කල
බලාපොරොත්තුව……


රෝහල් ඇඳට රහසේ ජීවය ගෙනා පෙරසේ
දිනිඳු රැස් දිසිසේ මුවට හසකැන් වළා පිවිසේ


උදා විය සොඳුරු ගිම්හානය
හරිත තුරු වියමන් සරසා රක්ත පැහැයෙන්
දසත අතුරා නිසoසල බව පළවා හරියි විහඟුන්
තවත් වියලෙයි සුසුමන්
තවත් උණුසුම් වේය කඳුළැල්


හැලෙයි රත් පැහැ කොල එකින් එක
නග්න තුරු අත් පියකරුයි, විළිබරයි
අහස වැලපෙයි කළු වළා විසිරෙයි
සුළඟ සසලයි කවුළු දොර හඬ දෙයි


සීතළ…. ලේ නහර කකියවන
ඇස් කෙවෙනි බොර පාට කරවන
කොපුල් තල කඳුළෙන් තෙමාලන

මද පවන සීතලයි
කඳුළු ඊටත් වඩා වැඩියෙන් සීතලයි


යළි නැගෙයි ගත වේදනා
ගයත් සැම දිවි රැක දෙනුව ආයාචනා
කැටි කරන් හද සීතළ
හෙලමි හදවත නිසල වූ වා තලයට


එද සියල්ලෙහි අවසානය?
විඳි වේදනා අවසානය.
මා තව බොහෝ දුර යා යුතුය………..



ප.ලි.

බස්සිගේ "මාරාන්තික නිල් චිත්‍රපටය" ලිපිය කියෙවුවායින් පසු ඉස්සර ලියූ කවි ඉතුරු වී නැද්දැයි බොහෝ දෙනා විමසූහ. මේ ඒ කුරුලු යාලුවන් වෙනුවෙන් පෝස්ට් කල වසර හයක් හතක් පැරණි කවියකි. හොයාගත්තේ පරණ Physics ටියුට් එකක අන්තිම කොළයේ තිබිලාය. හොඳ වෙලාවට බස්සිගේ නංගීගේ අධ්‍යාපනික උනන්දුව නිසා ටියුට් එක ගිනි දෙවියාට බිලි නොවී තිවුනේය.


Saturday, September 28, 2013

වෙනස


අතීත කතාව


මේක බස්සිට ඇහුන කතාවක්ය.

හිරු හිනැහෙන්නේය. හිරු රැසින් කහ පැහැ ගැන්වුන වෙරළ දිගේ ඇවිද යන්නේ තරුණ ගැටවු පිරිසක්ය. පෙනෙන නොපෙනෙන මානයේ ඈත එක් පුද්ගලයෙක් වෙරළත් මුහුදු රැළි බිඳෙන මානයත් අතරතුර හදිසියෙන් මෙන් සක්මන් කරන්නේය.

වෙරළේ මද දුරක් ඉදිරියට යන ගැටවු පිරිසට දිස්වන්නේ වෙරළ තීරය දිගේ පැතිර ගිය තාරකා මාලුවෝ රෑනක්ය. කලින් දවසේ රෑ වඩදියත් සමග වෙරළට ඇදී ආ තාරකා මාලුන්ට යන එන මං නැතිවී ඇති හැඩය.


පෙරකී පුද්ගලයා මැදි වියේ අංකල් කෙනෙක්ය. ඔහු වෙරළත් මුහුදත් අතර සක්මනේ යෙදෙමින් තාරකා මාලු එකා බැගින් මුහුදට මුදා හරින්නේය.

තාරකා මාලු දස දහස් ගණනකි. අංකල් තනියෙන් වැඩය. කාර්යක්ෂමතාවය ගණනය කර බැලූ ගැටවු පිරිසට හිනාය.

"අංකල් බර වැඩ වගේ....." එකෙක් ඇහුවේ කිචේටය.

"ඔවු පුතා." අංකල් තවත් තාරකා මාලුවෙක් ඇහිඳින්නට නැවුනේය.

"පිස්සු පීකුදු වැඩක්නෙ අංකල් ඕක! තාරකා මාලු දාස් ගාණක් නෙව. එකා දෙන්න මූදට දැම්මය කියල මොකක්ද ඇතිවෙන වෙනස?" තව එකෙක් ඇහුවේය.

අංකල් අතේ හිටි තාරකා මාලුවාව මූදට අතඇර කොල්ලා දිහාව බැලුවේය.




"ඒ තාරකා මාලුවාගෙ ජීවිතේ මේ මොහොතෙ ඉඳන් වෙනස් වෙනවා...." ඔහු තවත් මාලුවෙක් ළඟ නැවෙමින් කිවුවේය.


වර්තමාන කතාව

මේක බස්සි දැකපු කතාවක්ය.

බස්සි රාගම සිට කොටුවට යන කෝච්චියේ ගමන් ගන්නේය. කෝච්චියේ දොර ගාව කණුවේ වැහුවාම සුපිරි හුළංඟක් වැදෙන්නේය. දෙමටගොඩට යන විට සෙනඟ මදක් තුනී වෙන්නේ ඔපීසි යන උදවිය බොහොමයක් දෙමටගොඩින් බහින නිසාය.

වයස අවුරුදු විසිපහක විතර තරුණයෙක් කෝච්චි සීට් එක උඩ පොතක් තියාගෙන මොන මොනවාදෝ ඉතා උවමනාවෙන් ලියන්නේය. බස්සි නම් ඕපාදූප බලන්නට කිසිම ආසාවක් නැත්තේය. ඇඟිලි තුඩු වලින් ඉස්සී පොතට එබී බැලුවේ ඒ නිසාය.

ඩබල් රූල් පොතක පැන්සලයකින් ලස්සනට පේලියට අකුරු/ ඉලක්කම් ලියලාය. අලුත් පිටුවක තවත් අකුරක් බොහොම උනන්දුවෙන් ලියවෙන්නේය.



දැන් අකුරු ලියා අහවරය. කෝච්චි පෙට්ටියේ එහා කෙළවරේ සිට මෙහා කෙළවරට එයා පොත රැගෙන එන්නේය. සීට් එකේ පෝලිමට ඉඳගෙන ඉන්නා හැමෝටම පොත පෙන්වන්නේය. හැම කෙනෙක් ළඟම විනාඩියක් විතර නවතින්නේ පිටු පෙරළා පෙන්නන්නය.

අංකල්ලා කොල්ලාට ඔරවන්නේය. අක්කලා කොල්ලාගේ අත වැදී සාරිය කිලිටි වෙතැයි බයේ එහාට ලිස්සා යන්නේය. ඒ වයසේ දරු මුනුපුරන් ඉන්නා ඇන්ටිලා කොල්ලාගේ පොත බලා ගස්සන්නේය. කොල්ලාගේ මූණ මැළවෙන්නේය.

කොල්ලා පොත වසන්නේය. සීට් එකේ අන්තිම කෙළවරේ තව එක අයියා කෙනෙක් ඉතුරුය. කොල්ලා බයෙන් බයෙන් අයියාටද පොත පෙන්වන්නේය.

"කෝ බලන්න." අයියා පොත අතට ඉල්ලා ගන්නේය. පිටුවෙන් පිටුව පෙරළා උනන්දුවෙන් කියවන්නේය.

"හරිම ලස්සනට ලියලා නෙ!" අයියා කියන්නේය. "හරිම හොඳ ළමයෙක්නෙ ඔයා... ලස්සන අත් අකුරු"

අයියා පොත අතට දී කොල්ලාගේ පිටට තට්ටුවක් දමන්නේය.

කොල්ලාගේ මූණ හැටේ බල්බ් එක වාගේ එලිය වැටෙන්නේය. හදවතේ සතුට ඇස් දෙකෙන් වාන් දමන්නේය. අයියා ළඟ හිටගෙන ගමනේ ඉතුරු කොටස අයියාගේ මූණ දිහාම බලාන ඉන්නේය.

පොත පපුවට තුරුලු කරගෙන ඔහු මරදානෙන් බහින්නේය.


අනාගත කතාව

මේක බස්සි අහලාත් නැත. දැකලාත් නැත. අතීත කතාවත්, වර්තමාන කතාවත් අසා සිත පහදවාගෙන අනාගත කතාව ගොඩනැගීම නවාතැනට ගොඩවදින කුරුල්ලන්ට බාරය.



ප.ලි.

කෝච්චියේ අකුරු ලියන කොල්ලාව බස්සි එදායින් පස්සේ දැක්කේ නැත. අයියාව නම් නිතරම දකින්නේය. අයියා ඉඳහිට බස්සිගේ නවාතැනටද ගොඩවදින්නේය. අයියාගේ නම නොකීවේ එතකොට අගේ වැඩිවෙන නිසාය.

Wednesday, September 25, 2013

මාරාන්තික නිල් චිත්‍රපටය

කාලෙකට පස්සේ ගොසිපාගේ සයිට් එකට ගොඩවැදුනේ රටේ තොටේ ඕපාදූප ටිකක් කියවීමේ දොළදුකක් හටගත් නිසාය. පුවත් පෙළගැස්ම කියවාගෙන යද්දි එක්වරම බස්සිගේ ඇස් දෙක නැවතුනේ හදවත කීරි ගැහිලා යන ලිපියක් ළඟය.

මුල්ම බ්ලූ ෆිල්ම් එක බලා ගෙදරට මාට්ටු වී ගෙදර උදවියගේ බැණුම් දරාගත නොහැකිව සියදිවි නසාගත් උසස් පෙළ සිසුවෙක් ගැන ඒ පුවතේ සටහන්ව තිබුනේය.



පෝස්ටුවේ කියැවෙන අන්දමට පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයාද ඔහුය. මවගේත් පියාගේත් රැකියාව තේ වත්තක දළු කැඩීමයි. ගෙදර කොම්ප්යුටරයක් නැති නිසා ඔහු ෆිල්ම් එක බලා ඇත්තේ සාලයේ තිවුන ඩී.වී.ඩී. ප්ලේයර් එකෙනි.

"ඔහේලාගේ ගොංකං නිසා පුතා මරාගත්තා නේද මීහරක් දෙන..", "දෙමාපියන්ගේ හිස් මොළ පෑදේවා! ", "යකෝ තාත්ත වත් පුතාගේ පැත්ත ගත්තේ නැද්ද???" යනාදී වශයෙන් කස්ටිය දෙමවුපියන්ගේ පට්ට පතුරු අරින හැටි කියවලාම බස්සිට මහන්සිය. ආයෙත් වතාවක් හිතන්න. ඒ තේ වත්තක දළු කඩන නූගත් මවුපියන් දෙදෙනෙකි.

බස්සිට හිතෙන විදියට නම් පාසලක ප්‍රධාන ශිෂ්‍ය නායකයා විදියට ඒ මලයාට මීට වඩා ඉවසීමකුත්, දරාගැනීමේ ශක්තියකුත්, දෙමවුපියන්ගේ බුද්ධි මට්ටම ගැන අවබෝධයකුත් තිවුනානම් අද මෙහෙම හිත කම්පා කරවන පුවතක් දකින්නට වෙන්නේ නැතිය.

ලෝකයේ අනිත් රටවල් වලට සාපේක්ෂව ලංකාවේ ලිංගික අධ්‍යාපනය ඇත්තේ හරිම අසරණ තත්වයකය. ලිංගිකත්වය සහ ප්‍රජනනය ගැන ලංකාවේ ළමයි මුලින්ම ඉගෙන ගන්නේ නමය වසර සෞඛ්‍ය පාඩමෙන්ය. ඒ වෙද්දී ගැහැණු ළමයි වැඩිවිය පැමිණ අවුරුදු දෙක තුනක්ම ගෙවී ගොස්ය. නොදැනුවත්කම නිසා ඕනෑ එකෙක් ඕනෑ දෙයක් කරගන්නට ඒ කාලය හොඳටම ප්‍රමාණවත්ය. (නමය වසරේදී බස්සිලාගේ සෞඛ්‍ය ටීචර් ඒ පාඩම ගෙදරදී හෙමින් කියෝගන්න කියා ලිස්සා ගියේය. බස්සිනම් අම්මා බෝතල් පත්තර කාරයාට දෙන්නට ගොඩ ගසා තිබුන පරණ සිරිකත පත්තර ගොඩකට පින්සිදු වන්නට දැනුම සම්පූර්ණ කර ගත්තේය.)





දෙමවුපියෝ ළමයින් ගැන මීට වඩා ඉවසිලිවන්තව කටයුතු කරනවානම් හොඳ තමාය. ඒත් අපේ රටේ සමාජ ක්‍රමය අනුව දැන උගත් දෙමාපියන් වුනත් එහෙම මොලේ කල්පනාවෙන් හැසිරෙන්නේ කලාතුරකින්ය.

බස්සි බබා කාලේ සිද්දවුන ස්ටෝරියක් මතකෙට නැගෙයි.

ඒ කාලේ බස්සි අටේ නැත්නම් නමයේ පංතියේය. බස්සි ඒ කාලේ ඉස්කෝලෙ ප්‍රසිද්දව හිටියේ කවිකාරියක් විදියටය. ඉතින් වැලන්ටයින් ඩේ එකට බස්සිට කොන්ත්‍රාත්තු ගලාගෙන එන්නේය. කොල්ලන්ට දෙන්නට කවි ලියවා ගන්නට ටොපි චොකලට් පගාව සමග අක්කලා එනවාට බස්සි බොහොම කැමතිය.





ඔහොම කවි ලියන කාලේ බස්සිට කරුම අදහසක් පහළ වුනේය. ඒ ලියන ලියන කවියේ කොපියක් පොතක සටහන් කර තබා ගැනීමය. බස්සිගේ අම්මාගේ සැර දන්නවානම් හොඳ සිහියෙන් ඉන්න මෙලෝ යකෙක් එහෙම දෙයක් කරන්නට එඩිතර වෙන්නේද නැතිය.

බස්සි කුරුටු ගාන ආදර කවි, විරහ ගී, පෙම් හසුන් වලින් දවසින් දවස පොතේ පිටු පිරෙන්නට විය, පිටු තුන්සිය විස්සක්ම....

දවසක් බස්සි ගෙදර එන විට කරුමෙට අම්මා සී.අයි.ඩී. පාරක් දාලාය. කාමරය පුරා මල් වැස්සක් මෙන් කවි පොතේ පිටු ඉහිරිලාය.





"උඹ ඉස්කෝලෙ යනවා කියල මේවද කරන්නෙ?" අම්මා යකා ආරූඪ වී බස්සි සොයා ආවාය. ඒ අර අම්මා, අර මලයාට කියූ වචනමය. ඒ ඇරෙන්නට බස්සිට පස්ස රත් වෙන්නට ගුටි මුරයකුත් ලැබුනේය. කවි පොතේ ඉතුරු වූයේ අළු පමණකි. අම්මාත් තාත්තාත් සති දෙකක් පුරා බස්සිට සයිලන්ට් ට්‍රීට්මන්ට් දුන්නාය. සයිලන්ට් ට්‍රීට්මන්ට් එක බිඳෙන්නේ කන පුරා බැනුමක් දිග අරින වෙලාවටය. බ්ලූ ෆිල්ම් එකක් බලා අහුවෙනවාටත් වඩා අන්ත විදියට එදා බස්සිගේ ගෙදර ඇත්තෝ කලබල වී සිටියේය.

බස්සි මලාද? නැත. කවි ලිවීම නැවැත්තුවාද? ඒත් නැත. කවි පිටපත් කිරීම නම් කෙටි කාලයකට නැවැත්තූ බව ඇත්තය. එදා පෑන අත හැරියානම් අද බස්සිගේ නවාතැනක් නැත.

හැබැයි එදා අම්මාට දෙන්නං බැටේ කියා බස්සිත් කොල්ලෙක් සෙට් කරගෙන රෝන්දේ ගසා, තව තව ඒවාත් කර එක්සෑම්ද ඇණ ගත්තානම් බස්සි අද ජීවිතෙන් පරාදය.

මැද මාවතේ ගමන නිතරම ඇඟට ගුණය. අද බස්සිගේ කවි කතන්දර වල මුල්ම පාඨකයෝ දෙන්නා බස්සිගේ අම්මාත් තාත්තාත්ය.

බස්සි ඉක්කෝලෙ යන කාලෙත් මුලින්ම බ්ලූ ෆිල්ම් බලන වයස ලෙස සම්මත වී තිවුනේ අවුරුදු දහසයය. දැං කාලේ එවුවො අඩු තරමේ ඒ සම්මතය අවුරුදු දහතුන දක්වාවත් අඩු කරගෙන ඇතුවාට සැක නැත.





කොල්ලො නම් විශේෂයෙන්ම ඔවුවා එකක් දෙකක් බැලුවාට ඒකේ ඇති වරදක් නැත. කෙල්ලොත් ඉතින් බැලුවාට කිසි ප්‍රස්නයක් නැතත් ලංකාවේ කෙල්ලො මේ කාරණයේදී ලැජ්ජා බය දෙක නිසා බ්‍රේක් ගහනවාය. ඒකටත් කමක් නැත. ඒත් අනේ කෙල්ලොත් ඉතින් ඔවුවා ටිකක් දැනගෙන ඉන්න එක කාගෙ කාගෙත් අනාගතයට වටින්නේය.


හැබැයි ඉතින් ඔවුවාට ඇබ්බැහි වුනොත් නම් අහෝ දුකකි. ඉරකි, තිතකි තමාය.
 

එහෙවු එකේ අර මලයා වැඩ පටන් අරන් තිවුනේ බොහොම ප්‍රමාද වෙලාය. අහිංසක මල්ලි කෙනෙක් වෙන්නට ඇතිය. අම්මාගේ බැනුමකට හිත කඩා ගන්නා කොල්ලෙක් ගැන බස්සිට නම් කියන්නට වචනත් නැතිය.

මම ඔබට නිවන් සුව පතන්නේ නැත. මතු සසරේදී මෙවන් අකල් මරණයක් හිමි නොවේවායැයි පතන්නේද නැත. ඔබෙ වෙනුවෙන් එවන් පැතුම් දහස් ගනන් වා තලයට මුසුවන්නට ඇත. මතු උපදින භවයක් භවයක් පාසා ඉවසීමත්, දරාගැනීමේ ශක්තියත්, මනා ජීවිතාවබෝධයකුත් ඔබට හිමි වේවා!!!



ප. ලි.

"ඒත් අනේ කෙල්ලොත් ඉතින් ඔවුවා ටිකක් දැනගෙන ඉන්න එක කාගෙ කාගෙත් අනාගතයට වටින්නේය." කියන වාක්‍ය ගැන බොහෝ කුරුලු යාලුවන් වැරදි වැටහීමක් ඇති කරගෙන බව පෙනුන නිසා පැහැදිලි කිරීමක් ලෙස මෙසේ ලියමි.

"ඔවුවා එකක් දෙකක් බැලුවාට ඒකේ ඇති වරදක් නැත" බස්සි මේ කියන්නේ බ්ලූ වලට ඇබ්බැහි වෙන්න කියලා නෙමේය. ඒත් මෙහෙම කරුමාන්තයකුත් තියෙන වග සහ එහි ඇති නරුම යථාර්තය දැනගෙන සිටීම නොවටින්නේද? බ්ලූ ෆිල්ම් වලට ආවඩන්නේයැයි වැරදි වැටහීමක් ඇතිකරගත් අයෙක් වෙතොත් මේ ලින්කුවේ ඇති ලිපිය කියවා සත්‍යාවබෝධය ලබත්වා!!

කෙල්ලෝ සෙක්ස් ගැන දැනගැනීමට බ්ලූ බැලීමට අවශ්‍ය නැති එක හැබෑය. "කෙල්ලොත් ඉතින් ඔවුවා ටිකක් දැනගෙන ඉන්න එක" සෙක්ස් එඩියුකේශන් වීඩියෝ හරහා අනිවාර්යයෙන්ම සිදු කර ගත හැක. ඒවා මනා පැහැදිලි කිරීම්ද සහිතව සෑහෙන දුරට ලිංගික අධ්‍යාපනයක් ලබාදෙන්නේය. මේ කියන්නේ අත්දැකීමෙන්ය.



Tuesday, September 24, 2013

ඔබ නිදන්න ඔබ නිදන්න - සුවෙන් සැතපිලා




කැම්පස් යන කාලේ බස්සි සාමාන්‍යයෙන් ඇහැරෙන්නේ පාන්දර අටට නමයටය. එහෙම ඇහැරිලාද ලෙක්චර්ස් යන්නට කම්මැලි හිතුනොත් අනිත් පැත්තට හැරී තව පැයක් දෙකක් නිදියනවාය. බස්සා බැම්මක් හෝ බෝක්කුවක් උඩ හාල් වෙන්නට * යෝජනා කලොත් නම් (හාල් වෙනවා කියන්නේ රස්තියාදු වෙනවා කියන එක කැම්පස් භාෂාවෙන් ය.) බොහොම කැමැත්තෙන් යනවාය.

ඒ ගිහිල්ලාත් දවල් ආහාරයෙන් පසු නිදිමත වුනොත් බෝඩිමේ ඇඳ උඩට වාර්තා කරනවාය. නැත්තම් ගිරා ගහ යට බංකුවේ බස්සාගේ ඇකයෙන් හිස තබා සැපට නිදියනවාය.

ඉතින් දවල් දවසේ වැඩි කොටසක් නින්දේ ගතකරන බස්සීට මල පාන්දර වන තෙක් ඇහැරගෙන සිටීම කජුය. බස්සා සමග මුකුලු කරමින් හිඳ කතා කවුලුවෙන් නික්මෙන්නේ පාන්දර තුනට විතරය.

අනේ අසරණ බස්සිට දැන් ඒ සෙල්ලම් දාන්නට බැරිය.  පාසල් කාලයේදිත් කාලසටහනේ කොටු වල හිර නොවී හැකි හැම වෙලාවකම කට්ටි පැන්න බස්සිගේ ජීවිතය නොදැනුවත්වම කාල සටහනකට ප්‍රෝග්‍රෑම් වී ඇත. ඒ අන් කිසිවක් නිසා නොව මේ කෙහෙම්මල් ජොබ් කටු කොරන්නට පටන් ගත් දා පටන්ය.

අලුත් ජොබට නම් යන්නට නිසි වෙලාවක් නැත. ඕනෑ වෙලාවක ඇවිත් පැය අටහමාරක් වැඩ කල යුතුය. ඒත් team එකේ සේරෝම උදෙන් එන නිසා බස්සිටත් ගැලවීමක් නැතිය.

උදේට විනාඩි තිහෙන් යන ගමනට හවස ආපහු එද්දී පැය දෙකක් ගතවෙන්නේය. පාර හවසට ප්‍රසාරණය වෙනවා විය යුතුය.

ඒ ආ කල බෝඩිමේ අල්ලපු කාමර වල උන් පාඩම් කරනවාය. උන් සේරම තාමත් කැම්පස්ය. ඔක්කොටම අක්කා වට්ටක්කාට හතර වටෙන් නැගෙන ලයිට් එළිත්, උන්ගේ කිචිබිචියත් නිසා සැපට නින්ද යන්නේය.

එකෙක් එකම සිංදුව දැන් මාසයක් තිස්සේ එකම තාලෙට වයලින් එකෙන් කුරුටු ගාන්නේය. තව එකෙක් වන්නමක් පුරුදු වෙන්න පටන් ගන්නේ රෑ දහයමාරටය. දෙන්නාම ඉන්නේ අල්ලපු කාමරයේය. අධ්‍යාපනික ඩයල් නිසා බස්සිට කට අරින්ටත් බැරිය.

අහෝ මාගේ නින්ද? බස්සි මේ ප්‍රශ්ණයට විසඳුමක් හොයන්නට බස්සි ස්කොට්ලන්ඩ්යාඩ් එකට බාර දුන්නේය.

මේ තියෙන්නේ ස්කොට්ලන්ඩ්යාඩ් එකෙන් ඊයේ හවස එවන ලද විසඳුමය.






වැඩේ කොපමණ සාර්ථකද යත් බස්සි අද වැඩට යද්දි වෙනදාට වඩා පැයක් පරක්කුය. ගැජමැටික්ස් එකේ කොලිටිය ගැන තව කවර කතාද!! එකම ප්‍රශ්ණය ඔය කනට ගහන ඇබ දෙක නිසා alarm එක ඇහෙනවා හොර වීමය.

ස්කොට්ලන්ඩ්යාඩ් ආරංචි මාරග පවසන පරිදි ගැජමැටික්ස් එක ඉල්ලාගත යුත්තේ සිතූ පැතූ සම්පත් දෙන E-Bay දෙයියාගෙන්ය. දෙයියාගේ පඬුරු ගාස්තුව ඩොලර් දෙකක් තරමේ (රුපියල් දෙසීයක් විතර) සුලු මුදලකි.

ඕං මං දැන්මම එකක් කියන්නම්ය. මේ පෝස්ටුව දැම්මේ ගැජමැටික්ස් එක ගැන නොදන්නා, නින්ද පිළිබඳ මට වාගේ ප්‍රශ්ණ තියෙන කුරුල්ලන් වෙනුවෙන්ය. සියල්ල දත් පඬිවරුන් මා හා උදහස් නොවෙත්වා
ය!!!




ඇඳේම දිගාවී අමාරුවෙන් පෝස්ටුව කෙටුවෙමිය. දැන් නින්දට කාලය උදා වී ඇත. හැමෝටම ගුඩ් නයිට් ය!!!




ප. ලි.

අහස පොළව ඉර හඳ දෙයියන්ට පෙනිච්චාවයි..... බ්ලොගේ දැමීමට සුදුසු "නිදියන කෙල්ලෙක්ගේ" ඇනිමේ රූපයක් ගූගල් කිරීමට මා වි
න්ඳ දුක!!! ඇයි යකෝ මේ ඇනිමේ කෙල්ලන්ට සංවරව දොයියන්න බැරි?


Sunday, September 22, 2013

කොකු ලිපියට පසුවදනක්


මේ පෝස්ට් එක ලියන්න හිතුනෙ බස්සි කාලෙකට කලින් කොකු ගැන ලියාපු පෝස්ට් එකකට පසුවදනක් විදියට. ඒ පෝස්ට් එක අපේ ලොකු මස්සිනා කියවලා ඊයෙ පෙරේදා ඒකට එයා දන්න, කොකු ගැන ලියැවුන කැම්පස් කුරුටු ගී තොගයක්ම කමෙන්ට් කරලා තිවුනා. ඉතිං බස්සි හිතුවා හුදී ජන පහන් සංවේගය උදෙසා ඒ කවි ටික සහ බස්සි විසින් සොයාගත් තවත් කවි කිහිපයක් මෙහෙම පල කරන්න.


මේක කොක්කක් දාගන්න යන කෙනෙක්ව දිරි ගන්වන්න කියන කවියක්ලු,




දහසක් බුදුන් බුදුවන මල් පිපි                යාමේ
යනවා මචං පීනස් තෙල්                 වෙළදාමේ
අද බැරි වුනත් හෙට ලැබ ගමි නුඹ        ප්‍රේමේ
එක් දිනයකින් ගොඩ නැගුවේ නැත     රෝමේ




කොක්කක් ගහනකොට සාමාන්‍යයෙන් පෙරමුණ ගන්නෙ පිරිමි පාර්ශවය නෙව. ඒ ධර්මතාවය හුඟාක් දුරට සරසවි ජීවිතේටත් වලංගුයි. ඉතිං කොක්කක් ගැන හීන දකින ගැහැණු ළමයෙක් කියනවාලු මෙන්න මෙහෙම.





ගණදුර කැටිකර හදවත් කුටියේ
බලා හිඳින්නෙමි තනිය දරා......
ගණදුර දුරලන සඳරැල්ලක් වී
මගේ ලොවට ඔබ වඩින තුරා.....





එහෙම කොකු දාගන්න ට්‍රයි කරලා කරලා හරි නොගිය තැන මෙන්න මෙහෙම කියනවාලු.

ගත ඇත සිත නැත
සිත ඇත ගත නැත
ගත සිත ඇති ළද

මට කැමති නැත

විභාගය අත ලග
අත පොත ලග
පොත හිත ලග
හිත ඈ ලග
ඈ ඌ ලග



ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය
මෙය කිවු එකාගේ කට කෑවත් මදිය
ඉක්මන් වුන එවුන් ළඟ බඩු හත අටය
ඉවසපු එකා මම තාමත් තනිකඩය

 


ඔහොම කට්ට කාලා දාගන්න කොකු වුනත් එක එක හේතු නිසා මගදි බ්‍රේක් ඩවුන් වෙන්න පුලුවන්ලු. මේක ඒ වාගෙ  කැඩිච්ච කොක්කක් ගැන ලියැවුන කුරුටු ගී කිහිපයක්,


හොදයි නුඹ ගිය එක,
නැවතීමේ තිතක්වත් නොතබාම....
තියා එතනට ලොකු කොමාවක්,
ලිය ලියා මකමි,
මක මකා ලියමි ,
කෙදිනකවත් සැබෑ නොවන 
සුරඟන කතාවක අවසානයක්...


නුඹේ සිත - මගේ සිත
යෙදී සංසර්ගයක
ගැබ් අරන් මගේ හිත
පැතුම් කලළය නුඹෙන් ලද
මෝරා වැඩුනු පසු
ගබ්සා කලා නුඹ

 




නොකියා බැරි මළගම කාටත්           කීවා
හරියට මාසයක් ඔත්පල වී            උන්නා
කඳුලින් පැන් වඩා පින් පෙත් පැමිණෙව්වා
අපේ පෙම් පුවත ඊයේ මිහිදන්      කෙරුවා




මේක නම් සෑහෙන පරණ කවියක්.....

ඔබම මාද විය
මා ද ඔබම විය
ඔබ අන්සතු විය
මට කෙලවිය 



සමහරු නම් කොකු එපාමයි කියන ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා අධ්‍යාපනයට බාදා වෙයි කියල. අනේ ඉතිං බස්සිට නම් එහෙම වුනේ නැතිලු. එහෙම ප්‍රතිපත්ති තියන උදවිය මෙන්න මේ වගේ කවි කුරුටු ගානවාලු.

සරුංගලේ අවදිව මම රෑ තිස්සේ
පාඩම් කරද්දී ඔබ ඇයි පොත් අස්සේ
තනිකඩ කම හොඳයි නිදහස හැම තිස්සේ
හිත තව ඉඳුල් නෑ හමුවෙමු අපි පස්සේ






කොකු නිසා මට්ටු වුන සමහරු මෙන්න මේ විදියට මතු පරම්පරාව වෙනුවෙන් ඔවදන් කුරුටු ගී වල ලියා තිවුවාලු.

ආලය සිඟමනකි නොසිඟන අය          හිඟන
ආලය ගිනිගොඩකි නොදැවෙන අය  දැවෙන
ආලය මරණයකි නොමැරෙන අය    මැරෙන
කාලය ගෙවනු මැන සොයුරනි හිතට   ගෙන




ගොඩක් වෙලාවට බැච් එකේ කොල්ලො කැම්පස් ආපු ගමන් බලාපොරොත්තුවෙන් ඉන්නවා තමන්ගෙ බැචියක් එක්ක කොක්කක් ගහන්න. ඒත් ඉතින් බැචී සීනියර් බැච් එකේ අයියා කෙනෙක් එක්ක ගොඩ ගියොතින් දුක තමයි. ඒ වාගෙ වෙලාවට හිතේ දුකට බැචාල මෙහෙම කුරුටු ගීයක් ලීවාලු.

 

දුම්බර කන්ද බැසගෙන ආ ටිකිරි  නගා
අන්දර කැලේ වැට ගාවදි දුටුව     නගා
සිනහ පපා මුකුලු පපා හිටිය        නගා
අපට නොදී සීනියර්ට දීපු             නගා





කීවාට මොකද බස්සිටත් වුනේ ඔය ටිකම තමයි.


 
බස්සි කලින් කොකු වර්ගීකරණයක් ගැන ලියාපු ලිපියේ කීවනෙ බත් කොකු ගැන. මේ බත් කොක්කකට කරපු ආරාධනාවක්.




ආවේ ගෙදර සිට ඩිග්රිය                        අරගන්න
කෑවේ පාන් අප හට නැත බත්                   කන්න
කොක්කක් ගැහුවොතින් හැක මට බත්      කන්න
කවුරුද කැමති මට බත් අම්මා                  වෙන්න

 

බත් කොකු ගැන ඔහොම කීවට. ආතල් කොක්ක ගැන ලියලා තියෙන්නෙ මෙන්න මේ විදියටයි. බැච් එකකට ආතල් කොකු දෙන්නෙක් තුන්දෙනෙක් හරි සෙට් වෙනවා බොහෝවිට.




පළමු වසරෙ ඈ ගියෙ බිම        බලාගෙන
දෙවන සෙමෙස්රේ කොක්කක් දමා ගෙන
දෙක තුන වසර වල හොද හැටි       ***න
ඩිග්රියටත් කලින් පැටියෙක්      හදාගෙන


"ඇතැම් කෙල්ලන් සිග්නල් නැති ෆෝන් එකක් මෙනි, ඒවායෙන් කල හැක්කේ ගේම් ගැසීම පමණි." කියලත් පඬි වදනක් තියෙනවා මෙහෙම ආතල් කොකු ගැන.



මේකනම් කියන්නෙ ඇණ වෙච්ච (දාලා ගිය) නෝට් කොක්කකටද මන්දා....



ශිල්ප කබලෙන්
ලිපට වැටුනා
ඈ මගෙන්
වෙන්වූ දිනේ.........



 
 

කැම්පස් එකේ "කැරට් පාත්ති" කියලා කියන්නෙ පැවිදි ශිෂ්‍යයන්ට. කීවාට මොකද මේ කැරට් පාත්තිවල ඉන්න ගොඩක් කැරට් අල වල කල්කිරියාව ගැන නම් ගිහි ශිෂ්‍යයන්ගේත් වැඩි පැහැදීමක් නෑ. මේ තියෙන්නෙ ඒ වාගෙ කැරට් අලයක් ගැන ලියැවුන කවියක්.

1st year පූජ්‍ය හිමි
2nd year  සිවුර අහිමි
3rd year කොක්කක් හිමි
4th year දරුවෙක් හිමි



 
ඔය හැම කොක්කටම වඩා වෙනස් සිරා කොකුත් කැම්පස් එකේ ඕනෑ තරම් දකින්න ලැබෙනවා.




ඒ වාගෙ සිරා කොක්කකට ලියාපු කුරුටු ගීයකින්ම මේ ලිපිය අවසන් කරන්නම්.

 

නිදිමතට ලග ඉන්න...
බැන බැනා පාඩම් කරවන්න...
ඔලුව අත ගා ගන්න...
නෑ කෙනෙක් ලග පාත...
අතේ වෙළිලා ඉන්න...
මගේ කන මිරිකන්න...
නැහැ ළඟක පෙම්බරිය...
ගිහින් ඇත කුප්පියක...


 

කුප්පියක් කියන්නෙ විභාගෙ ලං වුනාම සබ්ජෙක්ට් එක මුලින් ගොඩදාගත්තු බැචෙක් තමන්ගෙ සහෝදර බැචාලට ඒ විෂය කරුණු ටික කියාදීලා උන් වත් එක්සෑම් එකෙන් ගොඩ දැමීම. කෙල්ල කුප්පියක ගියාම කොල්ලා තනි වුනේ දෙන්නා බැච් දෙකක හෝ වෙනස් සබ්ජෙක්ට් කරන දෙන්නෙක් වීම නිසා වෙන්න ඕනෙ.





ප. ලි.


කවි  වගයක් හොයා දීලා පෝස්ට් එක ලියන්න අදහස දුන්නු ගිහාන් අයියා හෙවත් මගේ ආදරණීය ලොකු මස්සිනාට බොහොම ස්තූතියි!! අයියා හොයා දීපුවා මොරටුවට ආවේණික කුරුටු ගී වෙන්න ඕනෙ. බස්සිත් ඒවා අදමයි දැක්කෙ.