බස්සි පහුගිය සතියේ සඳුදා උපාධිය ලැබුවේය. මෙතෙක් කල් ග්‍රැජුවේට් වී තිබුනේ අණ්ඩ විතරය (undergraduate). ඉතින් උපාධිය ලැබීම ප්‍රීති ප්‍රීති කරුණක්ය.
අම්මාත් තාත්තාත් නංගීත් පමණක් නොව බස්සාත් තකහනියක් නිවාඩු දමාගෙන බස්සිට සුභ පතන්නට ආවේය. ඒත් උත්සවයට සහභාගි වෙන්නට අවසරපත් තිබුනේ අම්මාටත් තාත්තාටත් පමණක් නිසා බස්සාටත් නංගීටත් සිදුවුනේ එලියේ සිට ටී.වී. එකෙන් උත්සවය බලන්ටය.
උපාධිය ලැබීම හිතට තටු ලැබෙන සිදුවීමකි. බස්සි පහුගිය අවුරුද්දේ CIMA උපාධිය ලැබුවේය. ඉතින් මේ උත්සවය එච්චර ප්‍රීතියක් ගෙනෙන්නේ නැද්ද? මොන බොරුද? එස්.බී. කාරයා කොයිතරම් කෙප්ප කෙලියත්, රාජ්‍ය විශ්ව විද්‍යාලයක උපාධි ප්‍රදානෝත්සවයකදී හිතට දැනෙන අභිමානයෙන් සියයට දහයක්වත් බස්සිට CIMA උපාධිය ලබන විට දැනුනේ නැත.
ඒත් ඒ සතුට අහිමි වූ, වඩාත් නිවැරදිව කියනවානම් අහිමි කරවූ සහෝදරියක්ද එදා ඒ විද්‍යාර්ථීන් අතරට මුහු වී සිටියේය. මේ ඇයගේ කතාවය.
උපාධි ප්‍රදානෝත්සවය ආරම්භ කිරීමට තිවුනේ සුලු වේලාවකි. උපාධිලාභීන්ගේ පෙරහැරද, ආචාර්ය මහාචාර්ය වරුන්ගේ පෙරහැරද උපාධි ශාලාවට ඇතුලු වී අවසන්ය. සක් හඬත් සමග කුලපති ස්වාමීන් වහන්සේගේ පෙරහැර ශාලාවට ඇතුල් වන්නට විය.
ඒ සමගම කලබලයෙන් උපාධි ශාලාවේ දොරටුව වෙත දිව ආ ගැහැණු ළමයෙකි. ඇය පසුපසින් ඇයගේ තරමක් වයස්ගත මවද, පියාද, නෑදෑ කාන්තාවක්ද පැමිණියහ.
දොරටුවට එහායින් සිටි හමුදා නිළධාරීන් දෙදෙනෙකු වහවහා ඉදිරියට පැන ඔවුන්ගේ ගමන අවහිර කලහ.
"කොහේද මේ දුවන්නෙ? ගමේ යනව කියල හිතුවද?" ආමි අංකල්ලා සුපුරුදු ආමන්ත්‍රණය දැක්වූහ.
"අනේ මහත්තයෝ අපි එන්නෙ ගොඩක් දුර ඉඳලා. කොළඹ මෙච්චර රස්තියාදු වෙන්ට වේය කියාල අපි හිතුවෙ නෑ. අපිව ඇතුලට යවන්ට මහත්තයෝ...." අම්මා අයැදින්නට වූවාය.
"දැන් කුලපති හාමුදුරුවන්ගෙ පෙරහැර නම් ඇතුලට ගිහින් ඉවරයි. ඉන් පස්සෙ කිසිම කෙනෙක්ව ඇතුලට ගන්නෙ නැහැ." ගැහැණියගේ අසරණ හඬ ඉදිරියේ ආමි අංකල්ගේ සැර බාල විය.
"අනේ ඒකත් එහෙමද? අපි එලියෙන් ඉඤ්ඤ්ං මහත්තයෝ අනේ මේ කෙල්ලව ඇතුලට යවන්ටකො එහෙනම්. අපිට ඒ ඇති." අම්මා ඔසරි පොටින් නළලත නැගුණු දහදිය පිසලමින් කියන්නට වූවාය.
"පොඩ්ඩක් ඔතනම ඉන්න. අපි විශ්ව විද්‍යාල ආරක්ෂක අංශයේ කට්ටියට කියලා බලන්නම්." ආමි අංකල්ලා දෙදෙන වහා නික්ම ගියෝය.
අම්මා සැනසුම් සුසුමක් හෙලුවාය. තාත්තාගේ රැළි වැටුනු මුහුනේ ඇත්තේ විස්මපත් බැල්මකි. අපේ සහෝදර විද්‍යාර්ථියා උපාධි ලෝගුවත්, කරමාලයත් පැළඳ ගත්තේ ඇතුලට යන්නට සූදානම් සිතිනි. දෙමවුපියන් එලියේ තනිකර දමා යන්නට සිදුවීම ගැන ඇයගේ සිතේ රැඳි අවිනිශ්චිත භාවය දෙනෙතින් දෝරේ ගලයි.
හැඩි දැඩි ආරක්ශක නිළධාරියෙක් ශාලාවෙන් පිටතට පැමිණියේය.
"මේ සර්. ඔබතුමාලා ආමි එකේ බව ඇත්ත. ඒත් එක එකා කියන කියන ගානෙ හැම කොල්ලයි බල්ලයිම මේක ඇතුලට රිංගවන්න මට බෑ."
මග බලා වුන් පිරිස තිගැස්සුනේ ඔහුගේ ගොරහැඩි කටහඬත්, නොතෙත් ඇමතුමත් කන වැකීමෙනි.
"කෝ කව්ද? මේ ගොල්ලොද?"
"අනේ මහත්තයෝ, අපි එලියෙන් ඉන්නම් මහත්තයෝ. මේ කෙලි පැටියව ඇතුලට දාන්න. මේකි අවුරුදු ගානක් තිස්සෙ මාන්සි වුනේ මේකට නෙව." අම්මා ගොතගසමින් වදන් අමුනන්නට විය.
"කතා කරන්න එපා. වෙලාවට වැඩකරන්න ඉගෙන ගන්නවලා. දුර ඉඳන් එනවානම් වාහනයක් අරගෙන එන එකනෙ." ආරක්ෂක නිළධාරියා තමන්ගේ රැස් පෙන්නා ආඩම්බරයෙන් යන්නට හැරුනේ තමන්ගේ තනතුරේ ගෞරවය රටටම පෙන්නූ හැටි ගැන අභිමානයෙන්ය.
අම්මාගේ පපු කැවුත්තේ හැංගුන වේදනාව වාන් දමන්නට වූයේ එවිටය.
"අපි දුප්පත් මිනිස්සු නිසාද සර් අපිට මෙහෙම කරන්නෙ? අපි බස් එකට නැග්ගෙ පාන්දර දෙකට. කෑමක් බීමක් වත් නැතුව පැය හතක් අටක් ඇවිත් තමයි මෙතෙන්ට ආවෙ. පාන්දර දෙකට කලින් බස් නෑ සර්. අපිට කියන්නෙ කලින් දවසෙ බස් එකේ ඇවිත් රෑ මෙතන නිදාගෙන ඉන්ට කියලද? සල්ලිය බාගෙ තිවුනනම් අපිටත් වාහන අරන් එන්ට තිවුන මහත්තයෝ..." අම්මා පපුව බදාගෙන කෑ ගසන්නට වූවාය.
"අම්මෙ දැන් කෑ ගහල වැඩක් නෑ අම්මෙ. අපි ගෙදර යමු." දෙනෙත රතු කරගත් සහෝදර විද්‍යාර්ථියා අම්මාගේ දෑතින් අල්ලාගෙන කියන්නට විය.
"අපි උඹ ඉපදුනු දා ඉඳන් දහදුක් විඳලා, බඩට නොකා උඹට ඉගැන්නුවෙ මේකටයි දුවේ. ඉර හඳ දෙයියන්ට පෙනිච්චාවයි මේ අවනඩුව. ඇයි මහත්තයෝ අපේ කෙල්ල අවුරුදු හතරක් දහදුක් විඳල විභාග පාස් කොරල ගත්තු උපාධිය අරන් එන්න ඒකිව ඇතුලට යවන්ට බැරි? ඇයි දුප්පත් අපිටම මෙහෙම වෙන්නෙ?"
අම්මා ඒ පැනය ඇසුවේ අවට රැස්වී හිටි හැමදෙනාගෙන්මය. ගැහැණු තුන් හතර දෙනෙක් ඈව වත්තම් කරගෙන ගොස් එළියේ තිවුනු කුඩා මඩුවක වාඩි කරවීය. අපේ සහෝදර විද්‍යාර්ථියා අසරණ දෑසින් වටපිට බලා රූපවාහිනී තිරය අසල අසුන් ගත්තේ තම සොයුරු විද්‍යාර්ථීන් උපාධි ලබනවා බලා සැනසෙන්නට විය හැක.
උපාධි ශාලාවේ තමන්ගේ නම කියැවෙන විට ඇයට මොනවා හිතෙන්නට ඇතිද? ඒ අම්මාට මොනතරම් වේදනාවක් දැනෙන්නට ඇතිද? කරකියාගන්නට දෙයක් නොමැතිව, කතා කරගන්නට වචනත් නොමැතිව ඒ තාත්තා හිතෙන් මොන වේදනාවක් උහුලන්නට ඇතිද?
වරද කාගේදැයි, කොතැනදැයි බස්සි අහන්නට යන්නේ නැත. මේ කතාව බස්සිට අකුරක් නෑර කිවුවේ එලියට වී සිටි බස්සාය. ඒ කතාව ඇහුවායින් පසු බස්සිගේ මූණටද වැහි වළාවක් වැටුනේ දෙනෙත බර කරවමිනි. ඒ සහෝදරියගේත්, ඔහුගේ දෙමවුපියන්ගේත් හිතේ බර කොතෙක් වන්නට ඇතිද???
ඇඳුමත්, මුහුණත් බලා සැලකුම් දැක්වීම උපාධි ප්‍රදානෝත්සවය පුරාම දක්නට ලැබුනේය. කාර් වෑන් වලින් බැස, ජය පහට සැරසී එන දෙමවුපියන්ව ශාලාවට ගෙනගොස් වඩා හිඳුවන්නේය. සරොම් බැනියම් ඇඳ එන අසරණ තාත්තලා, පාට වියැකුනු සාරිවලින් සැරසී, වත්සුනු හා නෙතු අඳුනෙන් වියුක්ත අම්මලා ආරක්ශක අංශයේ මනා සෝදිසියට ලක්වෙන්නේය. ඔවුන්ට ජංගම දුරකතනයක්වත් ළඟ තබා ගන්නට ඉඩ දෙන්නේ නැත. බස් එකේ උත්සවයට ආ ඔවුන් ජංගම දුරකතන පඩිපෙළ උඩ දමා යන්නද?
අසරණ ගම්බද පෙනුමින් යුත් දෙමව්පියන්ට එක ළඟ ආසන දෙකක වාඩි වීමටවත් ඉඩ නුදුන් බැව් බස්සිගේ තාත්තා බස්සිට පැවසුවේය. ටයි කෝට් දමාගත් දෙමව්පියන්ට වදනකුදු නොදොඩා, ගමෙන් පැමිණි, කොළඹ රටට ආගන්තුක දෙමාපියන්ව දුරස් අසුන් වලට යොමු කිරීමත්, එමතුද නොව ඔවුන්ගේ ජංගම දුරකතන පවා ඉවත් කරවීමත් කොපමණ සදාචාරයට පටහැනිද?
මේ උපාධියේ රසය මැද බස්සී ඇසූ කතාය. බස්සී දැකපු සහ විඳපු කතා මීළඟ ලිපියෙන් ලියන්නම්ය.
සරසවියෙන් අපි ලැබුවේ විද්‍යා උපාධිය පමණක් නොවේ. ඊට වඩා සිය දහස් ගුණයකින් වටිනා ජීවන උපාධියකි.
ඈ බං ඇත්තටම එහෙම දේවල් උනාද? උපාධි ලෝගු දා ගත්ත කට්ටියටවත් බැරි උනාද අර අසාධාරණයට වචනයක්වත් ඒ වෙලේ කතා කරන්න????
ReplyDeleteඋපාධි ලෝගු දාගත්තු කට්ටිය ඒ වෙලාවෙ ඇතුලෙ නෙව. අඩුම තරමේ සර්ලා මැඩම්ලා කට්ටියවත් හිටියානම් ඒ ළමයව ඇතුලට ගන්නවා. කොහෙද ඉතින් මෝඩයෙක්නෙ එතන ආරක්ෂාව ගැන වගකීම භාරව ඉඳලා තිවුනෙ.
Deleteඒ කස්ටියම සැට් එක පිටින් එලියට ආවනම් ඉවරනේ අපිටත් එපා කියලා අපි නම් එහෙමයි
ReplyDeleteඇතුලට දාලා දොරවල් වහලනෙ තිවුනෙ. එලියට ආවමනෙ සීන් එක දන්නෙ. අර සෙකියුරිටි තඩියානම් ළඟදිම කොල්ලන්ගෙන් කන්නයි යන්නෙ.
Deleteඇඳුම දෙස බලා සැලකීම, හෙලා දැකීම ලංකාවේ රජ වරුන් ගේ කාලයේ සිට පැවත එන හුරුවකි. එය වෙනස් කිරීමට කාලය මෙය යැයි දශකයක පමණ පෙර සිට මිනිසුන් වදාරති. සමහර විටෙක එම මිනිසුන් ජේත්තුවට ඇඳ පැළඳ සිටියා නම් අද මේ පෝස්ටය ඔබට ලිවීමට අවශ්‍යතාවයක් ඇති නොවන්න්නට ද ඉඩ තිබිණි.
ReplyDeleteජේත්තුවට ඇඳ සිටියානම්, නැත්තම් මොණරෙක් දෙන්නෙක් අත මිට මෙළවීමට හැකියාව තිබුනානම්, ඔවුන්ට එසේ බාල්දු වීමට සිදුවන්නේ නැත. එසේ වීනම් උත්සවයේ නීති අකුරට පිලිපදින කස්ටිය අපූරුවට දෙකට නැමෙන හැටි බලන්නට පුලුවන්ය. අඩු තරමේ නම්බු දී කතා කලානම්, එසේ කර ළමයාව පමණක් හෝ ඇතුලට යැවුවානම් ඒකත් ලොකු දෙයක්ය.
Deleteඅඩේ ලංකාවට ඇවිල්ල අර ගොන්පාට් සිකියුරිටියට දෙකක් ඇනල යන්න හිතුන....... උ ඉතින් උගේ උගත් කම තමයි ඔය පෙන්නලා තියෙන්නේ
ReplyDeleteඒක නෙවෙන්නම්. යුනිෆෝම් ඇන්දම හිතන් ඉන්නෙ තමුන් මහ ඒජන්තලා කියල නෙ. ඔයා ලංකාවට එන්ට කලියෙන් මෙහෙ කස්ටිය ඒකාට වැඩේ බේරයි.
Deleteමේක පත්තරේකට තමයි වටින්නෙ... හැබැයි වි වි එකේ නමත් එක්කම.. මොකද මේ වගේ මොලේ නැති හරක් ඔය හැමතැනම වගේ ඉන්නවනේ... ජොබ් ඉන්ටවිවු වලදි නං සිකුරුටිකමටත් ඒලෙවල් ඉල්ලනවා... හැබැයි එකකවත් මනුස්සකම තියෙනවද කියලා අහන්නේ නෑ...
ReplyDeleteමනුස්සකම තියෙනවද කියල හෙවුවොත් ඒකටත් සෙටිෆිකට් අරන් ඒවි අපේ කස්ටිය.
Deleteවිශ්ව විද්‍යාලෙ නම නං බස්සිගෙ පෝස්ට් වල තියෙනව. අර කලුගලක් උඩ පිහිටි, පිනට දහමට නැඹුරු කට්ටිය ඉන්න කැම්පස් එක.
පිස්සු මිනිස්සු පන්දම්වලින් ඕවට රිංග ගත්තම ඔහොම තමා. මේව රටට කෑ ගහල කියන්න ඕනෙ කතා.
ReplyDeleteඋගත්කම හෑල්ලු කරල ඒක තමන්ගෙ ලොකුකම පෙන්වීම කියලා හිතන අය නිසා තමයි මෙහෙම දේවල් අහන්න දකින්න ලැබෙන්නෙ.
Deleteබස්සී මේ කතාව මගේ ඇස් දෙකට කඳුලුත් හිතට කේන්තියකුත් ගෙනාවා.මම ඒ නිසා ඒ ගැන නොලිය ඉන්නම්.
ReplyDeleteබස්සිට ජයෙන් ජය!!!රැකවරණ දුන් දෙමව්පියන්ට දීර්ඝායුෂත්, නිදහස් අධ්‍යාපණයට දීර්ඝායුෂත් පතමි.
ස්තූතියි අරූ.
Deleteඇත්තටම හිත බරවෙන කතාවක්. ඕක අහපු ගමන් උපාධිය අරන් එනකොට මගෙ හිතේ ඇතිවුන සතුටත් වාෂ්ප වෙලා ගියා.
මේ කතාව ගෙනාව දුක සහ තරහව මොන වචනවලින් ගොනුකලයුතුද කියල මට ඇත්තටම නිනව් නෑ.ඔය වගේ අධම කාලකණ්ණි සහ සිදුවීම් මේ සමාජයේ අනන්තයි අප්‍රමාණයි. ලොකු කමක් ලඟ වැඳ වැටෙන උන් පොඩි මිනිහෙක් දැක්කම ඔලුවත් පාගාගන්නටයි බලන්නේ.මම ඔවැනි කතා අනෙකුත් දැක තියෙනවා වාගේම තරහව ඉහ මුදුනටම නැග්ගම ඔවැනි උන් එක්ක පැටලිලා හෝ අදාළ තැනකට දැන්වීම හෝ කරල තියෙනවා.අවාසනාවකට වගේ ඔය අවස්ථාවේ ඔය වගේ දේකට මැදිහත්වෙන්න බැරුවත් ඇති මොකද ඔය සික්කො ඉන්නේ නිකන් රජ්ජුරුවන්ටත් ඉහළින්නේ.
Deleteමිනිස්සු හිතනවා පොඩි මිනිහව පාගන්නේ ලොකු එකා විතරය කියල.නමුත් ඒ මතය නිතරම සත්‍යක්වෙන්නේ නැහැ.හේතුව ලොක්කොන්ටත් වඩා පුස්පාට් තියෙන්නෙ උන්ගේ රස්නෙන් ඉහමොළ උදුම්මවගත්තු සොක්කොන්ට නිසා.අඩුමගාණේ තමන්ගේ පංතියේම එකෙක් කියලාවත් උන්ට අනුකම්පාවක් නැති හැටි.නීතිය කාටත් එක බව ඇත්ත.ඒත් ඒ නීතිය හමෝටම ඇත්තම එක වගේද?ඒ නීතිය තුළ මනුෂ්‍යත්වකට ඉඩක් නැත්නම් පුස්තකාල කෝටිගාණක් පිරෙනතරම් පොත්වලට කොයිතරම් නීති හැදුණත් වැඩක් නෑ.
අපේ සමාජයට සානුකම්පිතවීම සහ මනුෂ්‍යත්වයේ මහ භයානක තත්වයේ ඌණතාවක් ඇතිවේගෙන යන හැඩයි බස්සි.අපිට සමාජය වෙනස් කරන්න බැරිවෙයි නමුත් අවශ්‍ය තැනකදී අපි ඉදිරිපත් විය හැකි හා යුතු තැනකදී අපට හැකි පමණ ඒ වෙනසට දායකවියයුතුයි කියල මම හිතනවා.සැහැල්ලුවෙන් ආව මගේ හිතට මහ වේදනාවක් එකතු වුණා.ඒ අහිංසක සහෝදරීට සහ දෙමව්පියන්ට කොහොම දැනෙන්න ඇතිද. :(
තනි තරුව කියන කතාව ඇත්ත. එදා උත්සවයට ඈත ගම්වලින් ආපු අහිංසක දෙමවුපියන්ට පුස් පාට් දැම්මෙ ලොකු තනතුරු දරන මිනිස්සු නෙමෙයි. එහෙම බොරු ෂෝ දැම්මෙ අපේ VC ගෙ සික්කො සෙට් එක. ආමි එකේ, පොලීසියෙ නිළධාරීන් සේරම ඒ වෙලාවෙ වැදගත් විදියට හැසිරුනා. අර ආමි අංකල්ලා දෙන්නත් ට්‍රයි කලේ ළමයාව ඇතුලට යවන්ටමයි කොහොමහරි. ඒත් ඒ ගැන අවසාන තීරණය තිබුනෙ කැම්පස් එකට සම්බන්ධ සික්කාගෙ අතේ නිසා හැමෝම අසරණ වෙලා තිවුනා ඒ වෙලාවෙ.
Deleteඅපේ ලෙක්චරර්ස්ලා හිටියානම් අනිවා එයාව ඇතුලට ගනීවි. පැමිණිලි කලාට පලක් නැහැ. ඉහළ තැන්වල රස්නෙ වැදිලා දඟලන සොක්කොන්ට විරුද්ධව කරන පැමිණිලි විභාග වෙන්නෙත් ඒ ඉහල තැන හරහාම නෙව.
ගමේ ඉඳන් කොළඹ එන්න වාහනයක් ගන්න බැරි ඒ මිනිස්සු දරුවට උගන්නන්න මොන දහදුකක් විඳින්න ඇතිද? මොන්ටිසෝරියෙ ඉඳන් ළමයා අවුරුද්දෙන් අවුරුද්ද ඉහළට යන හැටි දැකලා සැනසුන දෙමවුපියන්ගෙ සතුටෙ අග්‍රඵලය විදියට මම දකින්නෙ තමන්ගෙ දරුවා උපාධිය දෝතට ගන්න අවස්ථාව. ඒ සතුට කාබාසිනියා කරපු එක නම් අර මනුස්සයාට බරපතල විපාක විඳින්න වෙන කර්මයක්.
ඒකත් ඇත්ත. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කිව්වලු! :-/
Deleteමෙවැනි රාජ්‍ය විශ්ව විද්‍යාලයක උපාධි ප්‍රදානෝත්සවයකදී උපාධිලාභීන් උපාධි ශාලාවට ඇතුලු කිරීමෙ සම්පූර්න වගකීම උපාධියක වටිනාකම නොදන්න සෙකියුරිටි කෙනෙකුට පැවරුවෙ කවුද? පව් :(
ReplyDeleteබලයලත් නිලධාරීන් සේරම උපාධිලාභීන්ගේ පෙරහැර සමග ශාලාවට ඇතුල් වෙලා අසුන් ගන්නවනෙ අක්කා. වගකිවයුත්තෙක් එළියෙ රැඳුනා නම් මේ වාගෙ සිදුවීමක් නොවෙන්නට තිවුනා.
Deletehmmm eka nam duka thama. Eth mage yaluwek nam upaadi peraharata passe wadi una. Habai dial ekata athulata enna labenna puluwan una eka gana mata sathutui. Matanam eda ennath adi madi kara. Moko ape amma okata enna sariyakuth gatta eth eeta issella dawase ape thathtage amma nathi una. Achchita karana garu keeramak widihata e denna gedara nawathuna. Math enna neme hitiye. Eth mala gedara okkoma balenma mawai malliwai seeyai three wheel kattaka dala ewwa. Iwara wechcha gaman photo gattet na awasan katayuthu walata duwala awa. :-)
ReplyDeleteලෝලිත අයියා කාලෙකින් මේ පැත්තෙ ඇවිත් වාගෙ. our deepest sympathy අයියා. අයියා උපාධිය ගන්න එක ආච්චිගෙත් හිතේ තිවුන හීනයක් වෙන්න ඇති නෙව. ඒ නිසා එහෙම හරි එතනට ඇවිත් ගිය එකත් හොඳයි.
Deleteහාමුදුරුවන්ගෙ පෙරහැරත් එක්කම ආපු තුන්දෙනෙක් ඇතුලට ගිහින් තිවුනා. අයියගෙ යාලුවත් එයින් එක්කෙනෙක් වෙන්න ඇති.
Hi hi man innawa... comment karanna wenne na. :-) Pissuda ape achchita owa gana wadi therumak na. Kotinma kiwwoth mage ahanne thama iskole yanawada kiyala :-p
Deleteඅනේ පවු අනේ එහෙම කියන්න එපා. මම කැම්පස් සිලෙක්ට් වුන ආරංචිය කියන්නවත් අපේ ආච්චි මගේ ළඟ හිටියෙ නෑ. හරියටම ඊට අවුරුද්දකට කලිනුයි එයා නැතිවුනේ
DeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteඒත් මට පුදුම හිතුනේ ඒ උපාධි ධාරි ළමයට කතා කරන්න තිබුනේ නැද්ද එවලේ ,, අම්මලට යන්න නොදුන්නත් එයාව ඇතුලට යවන්න හොදටම ඉඩ තිබුනා ,,වටේ හිටපු අය ඔයාගේ බස්සා ඇතුළු අය එකතුවෙලා කෑගහුවනම , හරි පුදුමයි
ReplyDeleteආමි එකෙනුයි පොලීසියෙනුයි ආරක්ෂාවට දාලා තිවුනු නිලධාරින්ගෙ අණට නොනැමෙන උපකුලපතිගෙ සික්කො සෙට් එක බස්සා ඇතුලු එතන හිටපු සාමාන්‍ය මිනිස්සුන්ගෙ වචනෙට නැමෙන්නෙ නෑ ඔමා. ඒ ළමයත් අවුරුදු හතරක් කැම්පස් ඉඳලා ඒ තත්වය දැනගෙන ඉන්න ඇති. ඔය සික්කො ටික අපේ ලොකු තැනව රකින නිසා උන් හිතන්නෙ මුලු කැම්පස් එකම උන්ගෙ අතේ කියලයි. අනිත් එක ඔච්චර වගකිවයුතු නිළධාරීන් ඉඳලත් එතන සම්පූර්ණ බලතල බාරදීල තිබිල තියෙන්නෙත් සික්කන්ට. නිළධාරියො ටික සේරම හෝල් එක ඇතුලෙ. කාට කියන්නද ඉතින්?
Deleteඇයි මේ වගේ අසාධාරණයක් දිහා මෙතන හිටිය අනිත් අය ඇස් කන් නැති උන් වගේ බලාන හිටියෙ...මම එදා ඔතන හිටියා නම් අනිවාර්යෙන්ම මේ ගැටලුවට මැදිහත් වෙනවා...ඒකෙ දෙකක් නෑ....හරිම කණගාටු දායක සිදුවීමක්...
ReplyDeleteමෙතන හිටිය අනිත් උදවිය කතා කලාට වැඩක් වෙලා නැහැ සහෝ. උඩ කොමෙන්ටු වල මම සිද්ධිය තවදුරටත් විස්තර කරලා ඇති.
Deleteඇසට කදුළු ඉනුවා, අඩුම ගානේ මේ ලමයගාව ලෙක්චර් කෙනෙක්ගේ නම්බර් එකවත් තිබුනේ නැතිද, අනේ මන්ද මේවගේ දේවල් වලට අපි කතා නොකර ඉන්නකන් ඔය වගේ දේවල් වලක්වා ගන්න බැ. කීපදෙනෙක් හරි කතා කරානම් ඔය රෙස්පොට් බහිනවා.කව්රුහරි කඩුව වනුව නම් දොර අරි ඉක්මනට.
ReplyDeleteවී.සී ගෙ සික්කො ගැන කතාකරල වැඩක් නෑ කුමා. අනික ඇතුලට මොබයිල් ෆෝන් ගෙනියන්න තහනම්. රින්ග් උනොත් සොරි තමයි.
Deleteඅයියෝ එතකොට ඒ ළමයට උපාධිය නැද්ද?
ReplyDeleteconvercation නොගියා කියල උපාධිය නැතිවෙන්නේ නැත. නමුත් උපස්ථිතියෙහි උපාධිය ලැබීම බොහෝ විද්‍යාර්ථීන්ගේ සිහිනයකි.
Delete