Sunday, October 16, 2016

ප්‍රීති චිකිත්සා




සුපිරිසිදු සුදු ටයිල් පොළොව, මොහොතකට පෙර විශබීජ නාශක දියරයෙන් පොඟවන ලදුව, දීප්තියෙන් බැබලෙමින් තිබිණ. නැහැතුඩග හැපෙන සිඟිති විලවුන් බිඳිති ලැවැන්දර සුවඳකින් කර-පාන් පෙති සුවඳකටද, උණු කෝපි සුවඳකින් අළුත කැපූ තණ බිස්සක සුවඳකටද වේශාන්තරණය වෙමින් පැවතිණ. හොලොග්‍රැෆික සමනල්ලු සහ නන් පැහැ තුරු පත් එක්වනම පැනනැඟ, හිස් අවකාශය සිසාරා ඔබමොබ ගමන් කර, ඇසිල්ලකදී කොහේ හෝ තැනෙකින් අතුරුදන් වන්නට යෙදිණ.


සිහින් සරින් සායනය වසාගත් මනමෝහනීය සංගීත රාවය සැබෑවටම පවතින්නේද, නැතහොත් නොපවතින මනඃකල්පිතයක්දැයි තෝරාබේරාගන්නට පහසු නොවීය. කෙසේ වෙතත්, චිකිත්සකාගාරයේ හඬවරන වීදුරු බිත්ති විනිවිදින්නට සංගීත රාවය අපොහොසත් වූයෙන් එ'තුල වූයේ කෑලි කැපිය හැකි නිහඬතාවයකි.


"දොස්තර"

රෝගියා, (සමාවන්න, පාරිභෝගිකයා) සිය කටහඬ අවදි කලේය. නිදිවර්ජිත රාත්‍රීන් ගණනාවක අඳුරු පැල්ලම් ඔහුගේ රත් දෙඇස යට සටහන්ව තිබිණි.


"මට මේක තවත් දරාගන්න බෑ!" ඔහු සිය නොපීරූ කෙස්ස දෙඅත්ලෙන් හිස පිටුපසට තල්ලු කරමින් කීය. දෙකම්මුල් වසා ඝනකමට වැවීගත් රවුල් කොට අපිළිවෙලට කැපූ තණ පිටියක් වැන්න. ඔහු දෙ අත් අඹරවාගනිමින් විශේෂඥ වෛද්‍යවරයා වෙත වියවුල් බැල්මක් හෙලීය.


“මම අහගෙනයි ඉන්නෙ.”

වෛද්‍ය විශේෂඥයා, පළමු වරට සිය නිවුණු හඬ අවදි කලේය. උපැස් යුවල විනිවිදින ඔහුගේ තියුණු දෙඇස ලා නිල් පැහැතිය. සිවිකාච? නැතිනම් ඒ ජාන සැත්කමක ප්‍රතිඵලයක්ද?


“සේරම කනපිට ගැහෙන්න ගත්තේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියා මාරුවෙලා ගියාට පස්සේ.”

වෛද්‍යවරයාගේ නිවුනු ඇවතුම් පැවතුම් පාරිභෝගිකයා තුලටද විසරණය වූවාක් මෙනි. “අලුත් බොසාට තියෙන්නෙ ඒ මූණමයි. ඒ නහයමයි, නොපිට පෙරලිච්ච තොල්, ඒ විතරක්ද නළල හරහට තියෙන තුවාල කැළල!”


“ඔබට මේ කතාව වචනවලට පෙරැලීම අපහසුනම් අපි චිත්ත පණිවුඩ රිසීවරයක් සවි කරන්නම්?” වෛද්‍යවරයාගේ ස්වරය කාරුණිකය.


“එපා – එපා. මම මුල ඉඳලා කතාව කියන්නම්” ඔහු මේසය මත වූ වතුර ඩිකැන්ටරයෙන් හරි අඩක් උගුරට හලාගෙන නැවත සන්සුන් විය.




“උසස් විද්‍යාලයෙදි, මට ඔවුන් කීවේ පොත් ගුල්ලා කියලයි. කණ්නාඩි පොළඟා, ගුරු හුරතලා, කෙසඟයා, පාන්කඩයා වගේ තවත් නම් දාස් ගානක්!. ඉස්සරහ පේළියේ වාඩිවෙන එක, ගුරුවරයා ප්‍රශ්ණයක් ඇහුවාම මුලින්ම අත ඔසවන එක, වාර විභාගෙට ලකුණු සියේට එකසිය හැත්තෑ අටක් ගන්න එක වගේ ආශාවන් අසාධාරණ වෙන්නෙ කොහොමද? මම අදටත් හිතන්නේ ඒක ෆුට්බෝල් කැප්ටන් වීමත්, හොඳම පන්දු රකින්නා වීමත් තරමටම සාධාරණයි කියලයි. 


ඒත් අවාසනාවට මගේ පංති සගයෝ එහෙම හිතුවෙ නැහැ. 


ෆුට්බෝල් කැප්ටන්; ඌ තමයි එතැනින් දරුණුම එකා. ඝනකම ඇහිබැම, නොපිට පෙරළුණු තොල්! ෆුට්බෝල් කැප්ටන් විතරක් නෙමෙයි, හොකී කැප්ටනුත් ඌ. නළල හරහා වැටිච්ච කැත තුවාල කැළල හැදුනේ පළාත් තරඟෙකදි හොකී පිත්තක් වැදීමෙන් කියලයි හැමෝම කිව්වේ. අත් දෙක බුල්ඩෝසර් වගේ. හිතෙන ඕනෙම වෙලාවක මාව ඒ අත්දෙකෙන් අහසට උස්සාගෙන කරකව කරකවා පිට්ටනිය වටේ සංදර්ශණ පවත්වන එකයි උගේ විනෝදාංශේ. දවල් කෑම විවේකය ඉවරවෙනකම් උන්ගේ විහිළු තහළු මැද්දේ බඹර කැරකෙන මම, කෙලින් හිටගන්න පුළුවන් වෙන පළවෙනි තත්පරේදිම ගාට ගාටා මුල්ලකට ගිහින් වමනේ කරනවා ඔළුව නිදහස් වෙනකම්.


අන්තිමේදි තාක්ශණ ඇකැඩමියට තේරුණාම මම හිතුවේ ඒ දහජරා අතීතෙ සදහටම වැළලුනා කියලයි. ඒත් මෙන්න, ඒ වළස් මූණා ආපහු ඇවිත්. මට නින්ද යන්නෙ නැහැ දොස්තර! මට නින්ද යන්නෙ නෑ!”


වෛද්‍යවරයා සිය දිගැටි ඇඟිලි විහිදා ඔහුගේ අත තරයේ අල්ලාගෙන ඉදිරියට නැඹුරු විය. “අපි ඉන්නේ උදව් කරන්න” ඔහු තිර හඬින් කීය.


“මම කියල ඉවර නෑ දොස්තර.” ඔහු හිස සැලීය. 
“මගේ අවාසනාව එතනින් ඉවර වුනේ නැහැ.”


“ඒ ග්‍රීෂ්ම නිවාඩුවට දවසකට කලින්. එතකොටත් හිරු රැස් මං වගේ පොත්ගුල්ලෙකුට උහුලන්න බැරි තරම් සැරයි. එදා හරියටම පැයක් පිට්ටනිය මැද්දෑවේ අඬන්තේට්ටම්වලට මූණ දීලා මම කඩදාසියක් වගේ සුදුමැලි වෙලයි උන්නේ.


"මෙන්න මම ඉස්සුවා කෙසඟයාගෙ ගණන් පොත."

ඒකි යටි උගුරෙන් කෑගැහැව්වෙ එතකොට. ආන්නා; ඔල්වරසන් කෙල්ලන්ගේ නායිකාව, තමන්ගෙ රත්තරන් පාට කොණ්ඩා කැරලි පද්ද පද්දා මට ඔච්චම් කරන්න ගත්තා. ඊගාවට ඈ ඒක කීතු කීතුවලට ඉරන්න ගත්තේ බොහොම පරෙස්සමින්. 


"අද බලාගමු ගුරු-හුරතලාට පස්ස රත්වෙන්න සබ්බුව ලැබෙන හැටි!” ඈ කෙකර සද්දෙන් හිනාවෙනකොට උන් හැමෝම ඔල්වරසන් දුන්නා. නොසණ්ඩාල පුංචි ඌරු පට්ටිය” ඔහු අත්මිටිකරගෙන දත්කූරු සපන්නට විය.


“දැන් මගේ භාර්යාව උච්ච ස්වරයෙන් කතා කරන වාරයක් ගානේ මගෙ ඇඟේ හීගඩු පිපෙනවා. ඈ හිනාවෙන හඬ ඇහෙන ගානේ මට අත් දෙකෙන් කන් තදකරගෙන මේසයක් අස්සෙ හැංගෙන්න හිතෙනවා. මේ මතක සේරම ඇවිස්සුනේ අලුත් පත්වීම ලැබුණ අර වළස් මූණා නිසයි.” ඔහු වමතේ පිටිඅල්ලට හිස බර කර දීර්ඝ සුසුමක් හෙලීය.


මේසය මත වූ කොළ කැබැල්ලේ “ෆුට්බෝල් කැප්ටන්’, ‘වීරයා’ සහ තවත් අපැහැදිලි සංකේත කිහිපයක් සටහන්ව තිබිණි. ඒ යටින් ‘ඔල්වරසන් කෙල්ලන්ගේ නායිකාව’ යනුවෙන් කුරුටු ගෑ වෛද්‍යවරයා හිස එසවීය.


“අපි මතක බද්ධයක් කරමු. විසවෙච්ච ලේවලට වඩා භයානකයි කුණුවෙච්ච අත්දැකීම්වල මතක! ජීවිතේ ගලායෑම තීරණය කරන්න මතකවලට ඇති බලය අසීමාන්තිකයි” වෛද්‍යවරයාගේ මුහුණේ වූයේ මන්දස්මිතයකි. ඊළඟට ඔහු සිය හිස පිටුපස අතගා ඇමතුම් චිපය පණ ගැන්වීය; “අර පුහුණුවට ආපු ගෑණුළමයට එන්න කියන්න” 


දණහිස දක්වා දිගැති ඝනකම සුදු කබායකින් එතීගත් නූස් තරුණිය අත්පරිඝණකයක් සමඟ එහි පහල විය.”ෆුට්බෝල් කණ්ඩායමේ නායකයා ජය ඵලක ලබා ගන්නා මොහොත, ඔල්වරසන් කෙල්ලන්ගේ පාවෙන හාදු, මිතුරු කව, සිනහ සහ උණුසුම” වෛද්‍යවරයා ප්‍රතිකාර සටහන ඈ වෙතට තල්ලු කරමින් කීය.


“ඔක්කෝමත් හරි. රස්සාව එපාවෙන්නේ මේ දොස්තරලාගේ ගැටගැහිච්ච අකුරු ලෙහෙන්න සිද්ද වෙනකොටයි.” ඈ ටිකි ටිකි හඬින් චිකිත්සක මැසිමට මත්කයන් ඇතුලත් කරන අතර තොල් මතුරන්නට වූවාය. “අකුරුවල කැත! ඔල්වරසන් කෙල්ල කියන වචනෙ වෙන කෙනෙක්නම් ඔරංඔටන් කියලා කියවාවි. මං හින්දාම හොඳයි!”


*******************


පැය කිහිපයකට පසු, නළල වටා ප්ලාස්ටික් ආවරණයක් පැළැඳි රෝගියා (මට ආයෙමත් වැරදුනා. සමාවන්න! පාරිභෝගිකයා) විමසුම් මැදිරිය වෙත ඇවිද එනු දක්නට ලැබිණි. නිතඹ නළවමින්ද, දිගු පියවර තබමින්ද පැමිණෙන ඔහුගේ ගමන් විලාශය අසාමාන්‍ය ස්වරූපයක් ඉසිලීය.


“නළල් ආවරණය අද හවස් වෙද්දී ඉවත් කරන්නට පුළුවනි. හිසට අපහසුවක් නැහැනේ.” වෛද්‍යවරයා විමසීය.


ඔහු වමතින් මුව වසාගත්තේ, උරහිස් පද්දමින් හිකිහිකිගෑවිල්ලේ සිනහ වන්නට විය. “නෑ ඩොක්. මේ තරම් ප්‍රබෝධයක් මට කවරදාවත් දැනිලා නැහැ!” වෙනස් තානයකින්, සවන් හිරිවැටෙන උච්ච ස්වරයෙන් දොඩන ඔහුගේ දෙනෙතෙහි වූයේ නොගැලැපෙන දිලිසුමකි.


වෛද්‍යවරයා ඔහුගේ කේශාන්තයේ සිට පාදාන්තය තෙක් විනිවිදින බැල්මක් හෙලීය. කලබලයෙන් මඬනා ලද ඔහුගේ අතැඟිලිවලට ඇමතුම් චිපය හසු වීමට තරමක් වේලා ගතවිණි.


“මතක ප්‍රතිකාර සටහන ගේනවා ගෑණියේ! ඔය විධාන කේත ටික පරිවර්තනය කරනවා. ඉක්මනට!” 


තරුණිය වෙව්ලන ඇඟිලි තුඩු වලින් යතුරු පුවරුවට පහර දුන්නාය. ඒ හා ම පැතැලි පරිඝනක තිරය මත ප්‍රතිකාර සටහන දිගහැරෙන්නට විය.


“කතා නායකයා ඔල්වරසන් කෙල්ලන්ගේ කණ්ඩායම හසුරුවන සුරූපී තරුණියයි. ෆුට්බෝල් කණ්ඩායමේ නායකයා ජය ඵලක ලබා ගන්නා මොහොත. ඈ ලලිත ගමනින් ක්‍රීඩකයා වෙත පියමනින්නීය. ඉනික්බිති දිගු දෙතොල් හාදුවකි. ඒ සා ප්‍රීතියක්…. ඒ සා උණුසුමක්…..”


වෛද්‍යවරයාගේ නළල පසෙකින් බේරී ආ දහදිය බිඳක් සායන සටහන් පත මතට පතිත විය. 
දැන් එතැන තීන්ත බොඳ කල තෙත ලපයකි.





Monday, October 10, 2016

රට්ටු කියන කතා




පහුගිය දවසක, උදේ පාන්දරම මගේ ඉන්බොක්ස් එකට ලින්ක් එකක් එනවා. ඒ එවන්නේ, සෞම්‍ය සඳරුවන් ලියනගේ. එච්චරයි. වෙන මොකුත්ම කියලාවත් නැහැ. ඉතින් මම ලින්ක් එකට ගිහින් බලනවා.


මගේ පොත ගැන ලියැවුනු, මා මෙතෙක් කියැවූ හෘදයාංගම බවෙන් ඉහලම ලිපිය ඒක.


"මම මේක බ්ලොග් එකේ ශෙයාර් කරගත්තට කමක් නැද්ද?"


"ඕනෙ තැනක ෂෙයා කරගන්න ඉතින්. ඒකට තමා ලින්ක් එක එව්වෙ."


ඉතින්, පහලින් තියෙන්නේ 2014 රාජ්‍ය සාහිත්‍ය සම්මානලාභී කිවියර, සෞම්‍ය සඳරුවන් ලියනගේ ලියූ ඒ ලිපිය. 


මේ මුල් පෝස්ට් එකේ ලින්ක් එක. කැමති අයට එතැනින් කියවන්නත් පුලුවනි. ඒ සයිට් එකේ layout එක මගේ බ්ලොග් එකට වඩා ඇහැට ප්‍රියයි. ;)




මගහැරුණු ජීවිතය මුණගැසෙන, ‘ඉතා කෙටි කලබල සිහින’෴


බලහත්කාරයෙන් ගොඩක් දේවල් අහිමි කරපු සමාජයක; ඒ නැතිවුණු දේවල් වෙනුවෙන් කරන අරගල එක්ක කාර්ය බහුල වුණු  අපේ රටේ මිනිස්සුන්ගෙ ‘ඇත්ත ජීවිත’ සාහිත්‍යය ඇතුළෙ තේරුම් ගැනීම ගොඩාක් අයට මගහැරෙන මොහොතක, එහෙම තේරුම් ගැනීම් ගොඩක් එක්තැන් කරපු කවි පොතක් පහුගිය අවුරුද්දෙ එළිදැක්වුණා. පොත ලියල තිබුණෙ යශෝධා සම්මානි. අවුරුදු කීපයක ඉඳලා තමුන්ගෙ සයිබර් ලිවීම කරගෙන යන යශෝධාගෙ කවි, කෙටිකතා සිංහල බ්ලොග් අඩවි එක්ක ගනුදෙණු කරන ගොඩක් අයට හුරු පුරුදුයි. ඉතා කෙටි කලබල සිහින විදියට නම් කරල තිබුණු යශෝධගෙ පොත ඇතුළෙ දිගටම මුණගැහෙන්නෙ එදිනෙදා කනබොන, නාන, අඳින පළඳින, පාරෙ ඇවිදින අතරෙ නිතර දෙවේලේ මුණගැහෙන දේවල්. ගාලුපාර, හයිලෙවල් පාර වගේ ම ට්‍රැෆික් වෙච්ච අපේ ජීවිත ඇතුළෙ සිද්ධ වෙන නා නා ප්‍රකාර හැලහැප්පීම්.

මනුස්ස සම්බන්ධතාවල තියෙන බර සහ ගැඹුර දවසින් දවස අහෝසි වෙන, අපි අපේ ඇතුලටම හිර වෙවී, දවසින් දවස සංකෝචනය වෙමින් යන මොහොතක, ඒ හිරවුණු ජීවිතේ කවියක් ඇතුළෙ අල්ලන්න හදන එක ලේසි වැඩක් නෙමෙයි. ඇත්තටම කවි ලියනවට, කියවනවට වැඩිය ගොඩාක් වැඩ තියෙන මිනිස්සුන්ගෙන් පිරුණු සමාජයක අපි ජීවත් වෙන්නෙ. එන්න එන්නම පේන්නෙ නැති තරම් පුංචි වෙමින් යන අපේ ඇත්ත ජීවිතේ අපිටම මාර වෙන තරමේ අතථ්‍ය (virtual) සමාජ ජීවිතයක් අපි ගත කරමින් ඉන්නවා කාලෙක ඉඳල. ලස්සනම දේ, අපිට ඒ ජීවිතේ සංස්කරණය කරන්න පුලුවන් වීම.


නීරස මීටිමක,
උණුසුම් වාද පිටියක,
විඩාබර දෙසුමක,
නෙත් පියන් බරවෙන ඇසිල්ලක,
පිටු අගිස්සක කුරුටු ගෑවෙයි,
ඉතා කලබල සිහින.

හැල්මේ දුවන නගරෙක,
අධිවේගයේ දුවන බසයෙක,
ජනේලයකට කොපුල තදකර,
හිත ඈත ඇවිදින විරාමෙක,

ජංගමය තුල බිහිවෙයි,
ඉතා කෙටි
කම්මැලි සිහින.


දවස තිස්සෙම වැඩ කරලා රොඩු බවට පත්වුණු ජීවිත ආයෙමත් පහුවදාට සූදානම් කිරීම වෙනුවෙන් විතරක් කලාව පාවිච්චි වෙන තැනක, ක්‍රමයේ පැවැත්ම වෙනුවෙන් සංස්කෘතිය කර්මාන්තයක් විදියට වැඩ කරන මොහොතක ඒ ජීවිත රොඩු ගැන කෙරෙන ඇත්ත කතාබහක් සාහිත්‍යය ඇතුළෙ මුණගැහෙන්නෙ කලාතුරකින්. යශෝධා වගේම අපේ පරපුරේ නූතන කවි කිවිඳයො ගොඩක් අය වැඩකරමින් ඉන්නෙ ඒ වගේ පසුබිමක, ඒ වගේ ජීවිත එක්ක. මේ මොහොතෙ අපි පහුකරමින් ඉන්න සයිබර්කරණය වුණු සමාජ, සංස්කෘතික වටපිටාව ගැන තේරුම් නොගත්තොත්, හරියටම යශෝධගෙ කවිය අහු නොවෙන්නත් ඉඩ තියෙනවා. මුද්‍රිත පොතක් විදියට එළියට එන්න කළින් ඒ කවි පලවෙන්නෙ අන්තර්ජාලයේ. ෆේස්බුක් වගේ සමාජ වෙබ් අඩවිවල. ගොඩක් වෙලාවට කවිය කියන දේ අපි පොදුවෙ සාහිත්‍යය ඇතුළෙ අල්ලගන්න උත්සාහ කරන උපකරණ කිහිපයට විතරක් සයිබර් කවිය හරියටම අහුවෙන්නෙ නැහැ. මොකද ඒක ඊට වඩා වෙනස් හැඩයකින්, වෙනස් තත්ත්වයන් යටතේ වැඩ කරන දෙයක්. පොදුවෙ සාහිත්‍යය ඇතුළෙ ‘කවි’ කියන නමින් අපි අඳුනගන්න ඒවත් සයිබර් අවකාශයේ නැතුව නෙමෙයි,  ඒත් එහෙම අඳුනගන්න බැරි කවියි වැඩි.


යශෝධගෙ කවිය ඇතුළෙ මුණගැහෙන්නෙත් එදිනෙදා අපි ගතකරන, පහුකරන අපේම ජීවිත. ඒව හරිම තදබදයි. හරියට පොතේ නම වගේ, ඉතාමත් කෙටි, කලබල ගතියකින් පිරුණු ජීවිත. ඒ අතට අහුනොවෙන අවකාශයන් ඇතුළෙ අපි ගොඩක් දේවල් බෙදා හදා ගන්නවා. කොටින්ම ෆෙස්බුක්, ට්විටර් වගේ සමාජ අවකාශ අපේ ගෙදර දොර චාරිත්‍රවලට පවා මැදිහත් වෙන්න පටන් අරගෙන මේ වෙනකොටත්. මේ හැම දෙයක්ම ෆේස්බුක් කවිය එක්ක තියලා තේරුම් ගත්තොත් ගොඩක් දේවල් පැහැදිලි කරගන්න ලේසියි. කවියක් ලියලා කරන දේම ඊට වඩා පුළුල් තේරුමකින් ක්‍රියාත්මක වීමයි එතනදි සිද්ධ වෙන්නෙ. කවි ලියන, නොලියන හැමෝම තමුන්ගෙ ජීවිතේ එදිනෙදා දැනීම්, විඳීම්, විඳවීම් සහ සැමරීම් ප්‍රකාශ කරනවා ඒ ඉඩ ඇතුළෙ.


නිදහස්වීම කියන්නෙ මිනිස්සුන්ට කොයි තරම් වැදගත් දෙයක් ද කියන කාරණය හොඳටම තේරුම් ගන්න පුළුවන් තැනක් සයිබර් අවකාශය. හැම සංවේදනාවක්ම අතට අහුවෙන්නෙ නැති අවකාශයකට කියල නිදහස් වීම ඇතුළෙ හොඳටම ඔප්පු වෙනවා, අපි කොයිතරම් දුරට අපිව නිදහස් කරගැනීමේ ඕනකමින් පෙළෙනවද කියන කාරණය. අපි අපේම අභ්‍යන්තරය නිදහස් කරගන්න කොයි තරම් උත්සාහ කරනවද..? ෆෙස්බුක් ඇතුළු සයිබර් කවියේ බරපතලම තැන තියෙන්නෙ අන්න එතන. එකිනෙකා අතරෙ සංවාදය අහිමි වීමේ සහ දවසින් දවස හුදෙකලා වීමේ වේදනාව අපි සමරන්නෙ ෆේස්බුක් එකේ. එළියෙ සමාජ ජීවිතයෙ දවසින් දවස ‘සමාජ අවකාශ’ අහෝසි වෙමින් යද්දි ඒ වෙනුවට virtual සමාජ අවකාශයක් අපේ ජීවිත බාරගන්නවා.


අපේ රටේ සමාජ අවකාශ (public spheres) ආයතනගත වෙලා තියෙන විදිය දියුණු සංස්කෘතික ජීවිතයක් තියෙන රටක සමාජ අවකාශ තියෙන තැනත් එක්ක සංසන්දනය කරල බැලුවොත් මේ ගැටළුවේ සෑහෙන කොටසක් විසඳගන්න හැකියාව ලැබෙනවා. අපට තියෙන්නෙ ‘කෑම කඩ’ මිසක් ‘සමාජ අවකාශ’ නෙමෙයි. අපි ඒවට යන්නෙත් කන්න බොන්න මිස සංවාද කරන්න නෙමෙයි. මේ වගේ පසුබිමක ඒ හිස්කම පුරවන්නෙ සමාජ ජාල වෙබ් අඩවි. එතනදි ඇත්ත මුණගැහීමක් වෙනුවට අතට අහුනොවෙන virtual පැවැත්මකට අපි කොන්දේසි විරහිතව එකඟ වෙනවා.




 පිටත වැසි
රිය ඇතුලතද සීතය
සමකාසන්න නගරවලදී
සීතල කියන්නේ සැපයටය.

ටයි ගැටය
හරස් ඉරි ඇඳි කරපටිය
හුස්ම සිරකරවන
වහල් බව සිහිකැඳවන
වැයෙන්නේ ඉංගිරිසි ගීයකි සිහින් ස්වරයෙන්
‘සිහිල් සුළඟේ පාව යන්නයි‘ ඇරයුම්


පොත පුරාම මුණගැහෙන්නෙ පුදුමාකාර රූපක (metaphors). දේවල් වෙනුවට තවත් දේවල් ඉදිරිපත් කිරීම කියන කාරණයෙදි ඒ වගේ සුවිශේෂී ලිවීම් අපේ පරම්පරාව ඇතුළෙ මුණගැහෙන්නෙ හරි අඩුවෙන්.


ඇත්තටම ඒක ඕනම කෙනෙකුට ඕනම තැනකින් අල්ලගන්න පුලුවන්කම තියෙන, කියවන්න ආස හිතෙන විදියෙ ලිවීමක්. ඉතා කෙටි කලබල සිහින එක්ක ජීවත් වෙන කෙනෙකුට මතුපිට තේරුමක් නිර්මාණය කරන අතරෙම එතනට යටින් තව ගැඹුරට කිමිදෙන්න ඉඩකඩත් යශෝධගෙ කවිය ඇතුළෙ තියෙනව. සරල, අනුභූතික වටහාගැනීමකින් එහාට යන්න ඕන කෙනෙකුට ඒ ඉඩකඩ පාවිච්චි කරන්න පුලුවන්.


තදබදය!
රිදුම් දෙන ගෙල හරවමි
වමට – දකුණට – පසුපසට
ටයි ඇඳි බැටළුවෝ
සැපපහසු කුඩා රථවල ගාල්ව
හෙම්බත්ව
ලොම් අහිමිව
රථය තුල සීතලෙන්, යන්තම් ගැහෙමින්

සමකාසන්න නගරවල
සීතල කියන්නේ සැපටය!


අහසෙ පලක් බැඳගෙන වැඩවාසය කරමින් කවි ලියන්න පුලුවන් විදියෙ වටපිටාවක්වත්, එහෙම කවි රස විඳින්න නිදහස තියෙන සංස්කෘතික ජීවිතයක්වත් තව දුරටත් අපට ඉතිරි නොවෙද්දි, දවස තිස්සෙ පාරවල් ගාණෙ, කාර්යාලවල සහ ගෙවල් ඇතුළෙ ඇඹරි ඇඹරි රොඩු ගැහෙන ජීවිත අයිතිකාරයො එක්ක කරන ගනුදෙණුවක්, සංවිධානගත සාහිත්‍ය රසිකයො පිරිසක් එක්ක කරන ගනුදෙනුවට වඩා වෙනස්. හුරුපුරුදු ව්‍යුහයන් දවසින් දවසම වෙනස් වෙද්දි කවිය වගේ සාහිත්‍යාංගයකට සිද්ධ වෙනවා ඒ හිඩැස් අතරෙ, ඒ වෙනස ඇතුළෙ වැඩ කරන්න. යශෝධා සටහන් කරන්නෙත් එහෙම සමාජ ජීවිතයක අත්දැකීම් ගොන්නක්. එතනදි ඒ සමාජ ජීවිතය එක්ක බැඳිච්ච ක්ෂුද්‍ර දේශපාලනය  අහුවෙන්නෙ නොහිතන තැන්වලින්. දේශපාලනය ගැන කියනව, ඒත් දේශපාලනය පෙන්නන්නෙ නෑ. කියල තියෙන්නෙ හරිම සාමාන්‍ය, ගෙදරදොරේ ජීවිතයක් ගැන. ඒත් ඊට යටින් තියෙන්නෙ, බැලු බැල්මට නොපෙනෙන බරපතල කතාවක්.


බත ඉදෙන තුරු හනික,
වර්ණ ගැන්වෙන සිහින…
ගවුම් කොලරය මදින අතරෙත්,
සෙමින් මිමිණෙයි,
අමුතු තනුවක සිහින…

විටින් විට උඳුනේ පියන හැර,
බේක් කල නීරස,
කේක් ගෙඩියක් වැන්න,
තැනින් තැන කඩතොලූ වුන,
මම ලියන – මගෙ සිහින

සීත සෘතුව එලඹි කාලෙක,
මටත් මවතැකි දිග සිහින.
ගෙලෙහි මෆ්ලරයක් බැඳ,
කිමිදෙමින් උණු කෝපි බඳුනක,
එතකොට මම දකින්නෙමි,
පියෙවි කඩතොලූ නැති සිහින…


කොහොම වුණත් ‘ඉතා කෙටි කලබල සිහින’ ඇතුළෙ නිතර මුණගැහෙන අනවශ්‍ය සමබර කිරීම නම් විකාරයක්. අපේ පරම්පරාවේ ගොඩක් අය ඒක කරන්නෙ හැම වේදිකාවක්ම එක පුංචි කවිපොතක් ඇතුළෙ බේරගැනීමේ වුවමනාවෙන්. ඒත් එහෙම සිද්ධවෙන ගොඩාක් වැඩවල අවසානයෙදි කියවන්න ඉතුරු වෙන්නෙ දෙමළ දුක, සිංහල දුක, දුප්පත්කම, ආදරය, විරහව, සමාජ අසාධාරණය වගේ ගොඩාක් දේවල් කලවම් කරපු වට්ටෝරුවක් මිස කවිපොතක් නෙමෙයි. පොත ප්‍රතික්ෂේප වෙයිද කියන සැකය නිසාම ඒ වගේ වට්ටෝරුවක් ගැන විශ්වාසය තියන්න පෙළඹුණත්, එතනදි අවංකකම සහ හෘද සාක්ෂිය ගැන ගැටලුවක් ඇතිවෙන එක නවත්තන්න බැහැ. මේ සටහන කවිපොත ගැන විචාරයක් නොවුණත් ඒ අදහස එකතු නොවුණොත් ඒක අඩුවක්.


වැදගත්ම දේ, අර එපා කරපු පිස්සු ජීවිතේට කොන්දේසි විරහිතව එකඟ වෙනව වෙනුවට වෙනස් හිතීමක් සහ පැවැත්මක් වෙනුවෙන් සමහර දේවල් යශෝධාගෙ කවි ඇතුළෙ යෝජනා වීම. ඉතා කෙටි කලබල සිහින හරහා නිතරම එළියට පනින්නෙ, අපි හැමෝම හිරවෙලා ඉන්න ජීවිතයෙන් එහා ඇත්ත මනුස්ස සම්බන්ධකම් ගැන තියෙන විශ්වාසය. ඒක ධනාත්මක තැනකින් අපිට අල්ලගන්න සහ භාරගන්න වෙනව මේ වෙලාවෙ. මොකද ඒ කවි ඇතුළෙ නැවත නැවතත් අපිට මුණගැහෙන්නෙ අපේම ඇහිරුණු ජීවිතේ. භාර ගත්තත් නොගත්තත් ඒකෙ වෙනසක් වෙන්නෙ නෑ. මේ මොහොතෙ ලිවීම සංවිධානය වෙන්නෙ මේ මොහොතෙ සිද්ධ වෙන දේවල්වලට සාපේක්ෂව.

සෞම්‍ය සඳරුවන් ලියනගේ




Monday, September 26, 2016

මොනවාද ඔබ මොනවාද ඔය කියන්නේ?




ලවණ බිඳු ඇහිපිය අතර තවරා දුවන තෙත් මුහුදු සුළඟකි
ඔබේ කෙහෙ කැරැල්ලක අගිස්සෙන් මගේ ගෙල සෙමෙන් කිතිකැවෙන්නේ
රළුම රළු අත්ලතක මුදු රෝස පෙති ඇඟිලි තිය තියා
මොනවාද ඔබ මොනවාද ඔය කියන්නේ?


"ඔව් ඉතින් ඔයා කවි ලියන්නේ නෑ තමයි
කිව්වාම මොකද අර රතු වළාකුලත් කවියක් වගෙයි
කැන්වසය මත ඇඳෙන හැම ඉරක තිතකමත්
පින්සලෙන් වෑස්සෙන වර්ණ තලියක වුනත්
හැංගිලා තියෙන්නේ නොලියාපු කවියක අපැහැදිලි හෙවනැලියි"


රළ නැගෙන - යළි බිඳෙන'යුරු දැක පොල් කරටි කම්පාවෙනි
එයින් කමටහන් ගත් මුහුදු ළිහිණින් බවුන් වඩන්නේ
දල කටුක අමිහිරක කිරි සිනා පුබුදුවන්නෙමි කියා
තනියෙන්ම ඔරු බඳක් දියඹට ඇදෙන්නේ....


“අපි කැමති පාටත් – කෑම බීමත් එකමයි
රැවුල නැත්නම් හැබැයි මං චේට, ෆිදෙල්ට අකමැතියි

පොඩි ගෙයක් හදාගමු, සඳැල්ලට මූද පේන මානේ අපී
මමත් පර්මනන්ට් දැන් – ලෝන් ඇප්ලයි කරන්නත් හැකී
ඉන් පස්සෙ හැමදාම අතින් අත පටලාන උන්නැකී”


කෙසඟ කළු පොඩි කොලුවෙක් – හිම වළස් සුරතක ඇඟිල්ලක එතෙයි
තුරුණු යුවළක් සෙවණැලි අතර සැඟැවේ 
නළලතට අත තියා මුහුදට ඔරවා, ධීවරියකද අර පෑල දොර අඩවල් කරන්නේ
තරුණියක් මද අඳුර අතරින් මතුවේ – ලාබ විලවුන් ගඳක් වැදිවැදී, නැහැ තුඩග කෙවෙන්නේ....


හිරු ගිලී අවසන්ය. 
දැන් මුහුදු දිය ගොජ දදා උණු වෙනවද?
නැතිනම් ඉරත් නිවුනිද?
පපුව තුල උණු රුහිරු පැහෙන්නේ
දහසකුත් එකක් පැන බුබුලනය වෙවී ඉහලට ඇදෙන්නේ....


“අනේ ළමයෝ කතා නැතුවම ඉඳල ගොළුවෙයි
ඔයාටත් එක්ක මම කතා කරනවනෙ ඒකත් මදැයි

කාරෙකයි – පොඩි ගේකුයි
පොඩි පැටව් තුන්දෙනෙකුයි

මේක මහ පුදුමයක්! නැද්ද මං අහන්නේ?
අපි හිතන – අපි පතන හැමදේම එක වගෙයි!”


ලවණ බිඳු ඇහිපිය අතර තවරා දුවන තෙත් මුහුදු සුළඟකි
ඔබේ කෙහෙ කැරැල්ලක අගිස්සෙන් මගේ ගෙල සෙමෙන් කිතිකැවෙන්නේ
රළුම රළු අත්ලතක මුදු රෝස පෙති ඇඟිලි තිය තියා
මොනවාද ඔබ මොනවාද ඔය කියන්නේ?





Wednesday, September 21, 2016

තොරණෙන් බැස සිල්ගන්නා මකරු – "මකර තොරණ"





සාහිත්‍ය මාසය සහ කියවීමේ මාසය වෙනුවෙන්, අලුත් පොත් ගැන පෝස්ට් කිහිපයක් එකතු කරන්නයි බලාපොරොත්තුව.


“2016 වසරේ නිකුත්වුන හොඳ කෙටිකතා පොත් මොනවද?” මම පහුගිය දවසක ‘පොත් කියවන අය’ FB සමූහයෙන් ප්‍රශ්ණයක් ඇහුවා. ප්‍රභාත් ජයසිංහගේ මකර තොරණ කෙටිකතා පොත ගැන මම මුලින්ම දැනගන්නේ එවිටයි.


‘මකර තොරණ පොත කියවන්න. මම ඒකෙන් අදහස් කරන්නේ එහෙව් කෙටිකතා නොකියවන ඇස් මොකටද වගේ දෙයක්’ කාංචනා අමිලානි කියද්දි, ‘මකර තොරණට තරු පහක්’ දෙන්නට පුළුවන් බව කීවේ සිතුවිලි සිතූගේ පොත්කාවා.


මකර තොරණ කෙටිකතා හතකින් සමන්විතයි. කෙටිකතා රචනයට අදාළ සම්මත රාමු සහ ආකෘති නවා අඹරා නව්‍ය හැඩයක් දෙන්නට ප්‍රභාත් ගෙන ඇති උත්සාහය ප්‍රශංසනීයයි. එකම ආකෘතියක සිර නොවී කතා හත ඒවාට ගැලපෙනම, එකිනෙකට වෙනස් ආකෘතීන් ඔස්සේ ගෙනහැර පෑම නිසා පොත අතින් බිම තියන්නට නොහිතෙන එක සාධාරණයි.


මගේ ප්‍රියතම කෙටිකතාව ‘හොකී විතවුට් ස්ටික්ස්’. සිවිල් වැසියන් ඉලක්ක කර පුපුරුවාහරින ලද ත්‍රස්ත බෝම්බ ප්‍රහාරයකින් මරුමුවට පත්, සිංහල, දමිල සහ මුස්ලිම් හොකී ක්‍රීඩකයන් පිරිසක් වසර විසිපහකට පසු මරණයෙන් අවදි කරවන්නට සිතීමම ඔහුගේ විස්මිත පරිකල්පන හැකියාවට සාක්කි!


වස්තු බීජ හතම එකකට එකක් නොපරදින සුළුයි. වෙන කිසිම කෙටිකතාකරුවෙකුට හසු නොවුණු බැවින් පිළුණු සුවඳින් විනිර්මුක්තයි. නැවුම් සහ ආශා දනවන සුළුයි.


අතිශය නූතන ආකෘතීන් ඇතුලත හරඹ පාන අතරේම, පැරණි ජාතක කතා ආකෘතියෙන් කෙටිකතාවක් දිගහරිමින් ප්‍රභාත් කියන්නේ ‘ගණන් නම් ගණන් – ඉලක්කම් නම් ඉලක්කම් – ඔය කොයිකත් මට ටොයිස්’ කියලාවත් දැයි මට හිතුනා.

මගේ රේටින්ග් එක තරු පහෙන් පහයි!


පොතේ නම – මකර තොරණ
කතෲ – ප්‍රභාත් ජයසිංහ
ප්‍රවර්ගය – කෙටිකතා
ප්‍රකාශකයෝ - සරසවි


ප.ලි.

2016 වසරේ හොඳම නවක නිර්මාණකරණය වෙනුවෙන් ගොඩගේ සාහිත්‍ය සම්මානය දිනූ මගේ ඉතා කෙටි කලබලය, කවිපොත් සල්පිලෙන්, සම පොත් කුටියෙන්, සයුර කුටියෙන්, ප්‍රභා කුටියෙන් සහ ගොඩගේ කුටියෙන් ලබාගන්නට පුළුවනි.




Friday, September 16, 2016

පම්පෝරි සහ කයිවාරු




ඇත්තටම නම් මේක ස්තූතියක්, දැනුවත් කිරීමක් සහ සතුට බෙදාහදාගැනීමක්. හැබැයි ඒ වගේ අරමුණකින් ලියැවෙන ලිපියක් වුනත් සිරිලංකන් ස්ටැයිල් එක ඇතුලේ “පම්පෝරි සහ කයිවාරු” විදියට හඳුනා ගන්න ඇති ඉඩකඩ වැඩියි.


පසුගිය අගෝස්තු නමවැනිදා 2016 වසරේ ගොඩගේ සාහිත්‍ය සම්මාන උළෙලේ අවසාන වටයට නිර්දේශිත ග්‍රන්ථ නාම ප්‍රකාශයට පත් කලා. එහි කාව්‍ය කැටගරිය යටතේ මගේ පළමු කෘතිය දක්නට ලැබීමම මට මහත් සතුට දනවන කාරණයක් වුනා.




ගොඩගේ සාහිත්‍ය සම්මාන උළෙල පසුගිය නමවැනිදා, ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වුනා. එහිදී මගේ ප්‍රහර්ෂය දෙගුණ කරවමින්, “වසරේ නිර්මාණශීලීම නවක දායකත්වය – කාව්‍ය” සම්මානය හිමිකරගන්නට ‘ඉතා කෙටි කලබල සිහින’ සමත්වී තිබුනා.




“ඉතා කෙටි කලබල සිහින” එලිදැක්වූයේ පහුගිය දෙසැම්බරයේ. කුඩා කාලයේ ඉඳන් ලිවීමට ඇල්මක් දැක්වුවත්, ඒ නිර්මාණ ජනතාව අතරට ගෙනයාම මට මගහැරී තිබුනා. කලා ක්ෂේත්‍රයට සම්පූර්ණයෙන්ම පරිබාහිර අංශයකින් උසස් අධ්‍යාපනය ලැබීම එයට හේතු වෙන්නට ඇති.


එහෙව් නිර්මාණ ජනතාව අතරට ගෙනයන්නට මට උදව් වුනේ මේ බ්ලොග් අඩවිය. තව තවත් ලියන්නට දිරි දුන්නෙත්, බ්ලොග් අවකාශයේ සිට අන්තර්ජාලයේ තව තවත් වේදිකාවන් වෙත මා මෙහෙයවූයේත්, ෆේස්බුක්, ඉන්ස්ටා, ට්විටර අතර සිරවෙනට යන මාව කන්කෙටියෙන් අල්ලාගෙන නැවතත් බ්ලොග් අඩවිය මතට දක්කාගෙන එන්නෙත්, ආදරණීය ඔබ.


ඉතින්, මේ මල් මිට, ඔබට!


‘ඉතා කෙටි කලබල සිහින’ මරදාන ගොඩගේ පොත්මැදුරෙනුත්, නුගේගොඩ සරසවි පොත් හලෙනුත් ලබාගන්නට පුළුවනි.


දුර පලාත්වල වෙසෙන ඔබට, www.bookurbook.lk වෙබ් අඩවිය හරහා පොත ඇනවුම් කර ගෙදරටම ගෙන්වාගන්නටත් පුළුවනි. මීට අමතරව, යුරෝපීය රටවල්වල වාසය කරන ඔබට ‘සත්පොත්’ හරහා පොත ඇනවුම් කර ගෙන්වාගන්නට හැකිවේවි.


සැප්තැම්බර් 16 සිට 22 දක්වා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශණයේත් ‘ඉතා කෙටි කලබල සිහින’ ගැවසෙනවා. සන්ථව ප්‍රකාශකයන් විසින් පවත්වන ‘කවිපොත් සල්පිල’ කුටියෙනුත්, ‘සම’ ප්‍රකාෂකයන් (කුටි අංක: K308), ප්‍රභා ප්‍රකාශකයන් (කුටි අංක: D179), සයුර ප්‍රකාශකයන් (කුටි අංක: L407)  සහ ගොඩගේ කුටි වෙතිනුත් ‘ඉතා කෙටි කලබල සිහින’ මිලදී ගන්නට පුළුවනි.




පොත ගැන ඔබේ අදහස් දැනගන්න ගොඩක් කැමැත්තෙන් ඉන්නේ. පාඨක සම්මානයට අලගු තබන්නට හැකි වෙනත් සම්මානයක් ගැන මම දන්නේ නැහැ.



Wednesday, September 14, 2016

ඇඳට නගින්නට පෙර - 2 කොටස



ඇඳට නගින්නට කලින්, නින්ද වෙනුවෙන් ඔබේ මනස සූදානම් කරවන්නට ගත්හැකි පියවර පහක් ගැන මම කලින් පෝස්ටුවේදී කතා කලා. ඒ වගේම, තවත් පොයින්ට්ස් පහක් ගැන පැය හතලිස් අටක් ඇතුලත පල කරන බවට පොරොන්දුවකුත් වුනා.


අපේ පොරොන්දු ඡන්ද පොරොන්දු වගේ නෙමෙයිනෙ. ඉතින් මම පොරොන්දුව ඉටු කරන්නයි හදන්නේ.


පළවෙනි කොටස නොකියවපු ළමයි ඉන්නවද? යන්න යන්න. මෙතනට ගිහින් කලින් දවසෙ පාඩම කියවගෙන එන්න.


6. පාද සත්කාර




පාද සත්කාර, එහෙමත් නැත්නම් පෙඩිකියු කියන්නේ පුංචි පුංචි ටූල්ස් කිහිපයක් භාවිතයෙන් ඔබට ගෙදරදීම කරගන්නට පුළුවන් දෙයක්. 


මම බැලුවේ ගෙදරදි පෙඩිකියු එකක් කරගන්න විදිය කියලා තව පෝස්ටුවක් තලාගන්න මේක හොඳ චාන්ස් එකක් නේද කියලා. නියම අදහස! පියවරෙන් පියවර පාද සත්කාරයක් කරගන්නා විදිය ඉදිරියේදී ලියන්නම්.



7. අඳුරට ඇස් හුරුකරන්න




නින්දර පෙර තීව්‍රතාවයෙන් වැඩි ආලෝකයන්ට ඇස් නිරාවරණය කිරීම ඒට් හරම් හොඳ පුරුද්දක් නෙමෙයි. අඳුරු නිදන කාමරයේ ඉඳන් ෆෝන් එකේ, ටැබ් එකේ ආලෝකය දිහා එක එල්ලේ බලාගෙන ඉන්න එකෙන් වෙන්නේ ඔබේ නින්ද ප්‍රමාද වෙන එකයි.


ඒ නිසා නිදි මුඩ් එක ගන්න, ඇඳට යන්න මද වෙලාවකට කලින් විදුලි පහන්වල ආලෝකය අඩු කරන්න. 


8. ඉටිපහන්




ඉටිපහන් ආලෝක සත්කාරයටත්, සුවඳ සත්කාරයටත්, එක සේ අදාල කරගන්නට පුළුවනි.


ඉටිපහන් එලිය නිසා මනස ඉහිල් වෙනවා. ඒ වගේම ඉටිපහන් එලියෙන් ඔබේ මනස නින්දට සූදානම් කරවීමකුත් සිදුවෙනවා.


ලැවැන්ඩර් සුවඳ, කුරුඳු සුවඳ, කෝපි සුවඳ ඉටිපන්දම් මිලදී ගතහැකියි. මේවා ගෙදරදී හදාගන්නත් පුළුවනි.


9. සුවඳ සත්කාර




ලැවැන්ඩර් සුවඳ ආතතිය දුරු කරන්නට ඉවහල් වෙන බව විද්‍යාත්මක පර්යේෂණ මගින් අනාවරණය වෙලා තියෙනවා.


නින්දට පෙර ඇඳ ඇතිරිලිවලට අදාල සුවඳ විලවුන් (pillow mist) ස්වල්පයක් යෙදීම හෝ වාෂ්ප ලෙස ‘essential oils’ වාතයට මුදාහැරෙන ‘oil diffuser' එකක් භාවිතා කිරීමෙන් මානසික ආතති තත්වයන් සමහන් කරගත හැකියි.


10. සංගීත සත්කාර




ඉහිල්වීමේ සංගීත ප්‍රතිකාර බොහොම ජනප්‍රිය මාතෘකාවක්. වෙහෙසපත් මනසට සහනයක් ලබාදෙන ඉහිල්වීමේ සංගීත ඛණ්ඩ අන්තර්ජාලයෙන් ඔබට නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්නටත් හැකියි.


ටෙම්පෝ එක අඩු සංගීත ඛණ්ඩවලින් අපේ හදගැස්මේ වේගය අඩු කෙරෙන බවත්, ක්‍රමක්‍රමයෙන් නින්දට ගැලපෙන වේගයක් දක්වා හදගැස්ම සුසර කිරීමක් සිදුවෙන බවත් විද්‍යාත්මක පර්යේෂණයන් මගින් අනාවරණය කරගෙන තියෙනවා.



ඕවා තමයි බසු නින්දට ඉවහල් වෙන tips සහ tricks.

ඔයාල ළඟත් මේ වගේ නින්දට උදව් වෙන රහස් වට්ටෝරු තියෙනවද? බෙදාගන්න ළමයෝ බෙදාගන්න! නින්ද කියන්නේ මේ ලෝකෙ තියෙන වටිනාම දේවල්වලින් එකක් නෙව!




Monday, September 12, 2016

ඇඳට නගින්නට පෙර – 1 කොටස



වැදි බණ කියල තියෙනවද? නැත්නම් වැදි බණ අහල තියෙනවද? අද මම කියන්න යන්නෙ බණක් වුනත් වැදි බණක්නම් නෙමෙයි, මමත් පිලිපැදලා, යහපත් ප්‍රතිඵල ලැබෙන බවට ප්‍රත්‍යක්ෂ කරගත් බණක්. නින්දට කලින් ඔළුව ඉහිල් වෙන්න කරන්න පුළුවන් දේවල් කිහිපයක්.


මගේ sleeping habits කියන එව්වා ගැන කතා කරල වැඩක් නැහැ. ඒ තරමටම කුජීතයි. ගොඩක් දවස්වලට ෆෝන් එක උඩ, ෆේස්බුක් යන අතරෙදිත්, ලැප් එක උඩ, ෆිල්ම් එකක් බලන අතරෙදිත් මට නින්ද ගිහින් බව දන්නේ බෙල්ලේ, කොන්දේ අමාරු එක්ක පහුවදා උදේට ඇහැරෙනකොට.


පහුගිය කාර්තුවේ දිගින් දිගටම අබලන් වේගෙන වේගෙන ආපු සෞඛ්‍ය තත්වයත් එක්ක, මටත් නිකමට හිතුනා මේ රටාවෙ වෙනසක් කරන්න. මේ තියෙන්නේ මම අත්හදා බලපු වෙනස්කම් ලැයිස්තුවක්.


1.හෙට දවසට සූදානම




පහුවදාට ඔෆිස් අඳින ඇඳුම් මැදලා, උදේට උයන්න උවමනා අඩුම කුඩුම ලෑස්ති කරලා, වාහනේ ඔයිල්, වතුර චෙක් කරලා අහවර කරලාම බලන්න ඕනෙ එතකොට ඔළුවට දැනෙන සහනය. ඔළුවෙ තියෙන ලොකු බටක් අයින් උනා වගේ හැඟීමක් දැනේවි.


2.ඇඳ අස් කරන්න.




ඔයාගෙ ඇඳ උඩත් ගෙදර තියෙන සබ්බ සකලමනාවම ගබඩා කරලා තියෙනවද? රෑ දෙගොඩහරි ජාමෙ phone/laptop charger බෙල්ල වටේ එතිලා හුස්ම හිරවෙන්න යද්දි ඇහැරිලා තියෙනවද? 


එහෙනම් කරන්න තියෙන හොඳම විසඳුම තමයි මේක. ඇඳ උඩ තියෙන අනිත් ලට්ට ලොට්ට සේරම අස් කරන්න. ඇතිරිලි, පොරෝණා, කොට්ට මෙට්ට ගසලා, රැලි ඇරලා පිලිවෙලක් කරන්න. එතකොට පැනපු ගමන් නිදාගන්න ආසාවක් හරි එනවනෙ.


3.උණු තේ කෝප්පයක්/ පළතුරු බීමක්




නින්දට යන්න සූදානම් වීමේ මුල් පියවරක් විදියට කරන්න පුළුවන් තවත් දෙයක් විදියට, උෂ්ණ දවසකදී නම් පළතුරු බීමක්, සීතල දවසකට උණු තේ කෝප්පයක් පානය කරන එක ශරීරයට ඉහිල් වෙන්න පහසුවක් වේවි.

(මුල් පියවරක් කියන්නේ, නින්දට පැයකට දෙකකට කලින් කල හැකි දෙයක්.)


4. කියවන්න




මුලින්ම කියන්න ඕනෙ, මේ ක්‍රමය ‘පොත් කාවුන්ට’ නම් සුදුසු නැහැ. 

විශේෂයෙන්ම මීට කලින් නොකියවාපු අලුත් පොතක් කියවන්න ගන්නකොට. ඒත්, සාමාන්‍ය කියවන්නන්ටනම් පොතක් එක්ක විනාඩි කීපයක් ගත කරන එක මනස සන්සුන් කරගන්න හොඳ ක්‍රමයක්.


5. උණු වතුරෙන් ඇඟ සෝදාගන්න




නිදිමත දැනෙන්නේ සිරුරේ උෂ්ණත්වය පහළ බැහැලා පරිවෘත්තීය ක්‍රියාවල වේගය අඩු වීමත් සමගයි. නින්දට කලින් මද වෙලාවක් උණු වතුරෙන් ඇඟ සෝදා ගැනීම මේ උෂ්ණත්ව වෙනස ඇතිකරන්න ඉවහල්වෙනවා.


උණුසුම් ජලය මගින් රුධිර නාල විස්තාරණය කිරීමක් සිදුවෙනවා. එහි ප්‍රතිඵලයක් විදියට, දවසේ රාජකාරිවලින් වෙහෙසපත් මාංශපේශි වෙත රුධිර ගලනය වඩා හොඳින් සිදුවෙනවා. එවිට ඔක්සිජන් සැපයුම වේගවත් වෙලා මස්පිඬුවලට සහනයක් දැනෙන්නට ගන්නවා. එයත්, නින්දට වැටීම පහසු කරන්න උපකාර වෙනවා.



ලැයිස්තුව දිගයි. pointsම දහයක් තියෙනවා. දිගට කියවගෙන යන එක කම්මැලි වෙයි කියල හිතුන නිසා මම හිතුවා පෝස්ට් එක මෙතනින් දෙකට කඩන්න.


දෙවැනි කොටස පැය හතලිස් අටක් ඇතුලත පල කරන්නම්.



ප.ලි.

තවත් පොයින්ට්ස් පහක් ගැන පැය හතලිස් අටක් ඇතුලත පල කරන බවට මම පොරොන්දුවක් වුනා. මතකනෙ.


අපේ පොරොන්දු ඡන්ද පොරොන්දු වගේ නෙමෙයි. මෙන්න දෙවෙනි කොටස!