Friday, January 31, 2014

කට හැකර නයනාට…..




 

නයනා,
අපේ සල් ගහ ලෙඩින් වැටුනා......
සාමාටත්, අමරටත්, කමල්ටත් කලින්
මම ඒ ගැන කිවුවෙ උඹට


කමල් මට හොඳටෝම බැන්න
උන්ට කිවුවෙ නැත්තෙ ඇයි අහලා......



උඹ දන්නවාද නයනා?
උන් තුන්දෙනා ආව පහුවදාම අපේ සල් ගහ බලන්න.
උඹ නාවට මම තරහ උනේ නෑ.


මොකද,
මං දන්නව උඹ රිසර්ච් එක නිසා බිසී විත්තිය....

 

සල් ගහේ ලෙඩ බලලා,
සල් මලක් අතින් අරන් හිනැහුනා තමයි.
ඒ කොලුකමට, කෙලි කමට,


පොටෝ පහක් ගත්ත, බුකියෙත් දැම්ම,
පුරුද්දට.....

 

නයනා,
සල් ගහ ලෙඩින් වැටුනාම,
ලෙඩ බලන්න බුලත් දෙන්න ඕනෙ නෑ....
ඒකයි සිංහල සිරිත.....



කෙල්ලෙක් නිසා උඹ,
බිරිඳක්, මවක් වෙයි දවසක,
වචන වල මුවහත,
අඩු කර ගනිං මදකට,


නැත්නම් උඹත් නොදැනම,
අත් දෙක කැපෙයි දවසක......

 

නයනා
අපේ සල් ගහ තාමත් ලෙඩින්,
උඹ නාපු එක ගැන,
බිංදුවක්වත් තරහ නෑ මම,


ඒත් උඹෙ වචනෙට,
හදවත තුවාලයි හොඳටෝම..........


Sunday, January 26, 2014

බස්සි ජංගමයට රිංගයි







"ඒ ගමන මොකද්ද බොලව් අර බස්සි කියන එකී නටන්න හදන නාඩගම?"

මූණු පොතේ යාලුවෝ මෙහෙම අහනවා.

"බස්සි ඊයෙ පෙරේදා ලියාපු පෝස්ට් වලට එල්ලාපු ප.ලි. නැට්ට මොකද්ද බං?"

බ්ලොගට එන යාලුවෝ එහෙම අහනවා.



ඔව් කුරුලු යාලුවනේ. බස්සිගේ හිතේ තියෙන  පිස්සු අදහසක් හැබෑ ලෝකේ තුල ගොඩනැගීමේ පළමු පියවර තමයි මේ  CraZy Bassi......





 


Crazy Bassi කියන්නෙ මම ම තමයි. ඔලුව ගහක වැදිලා පොඩ්ඩක් පිස්සු කොර වෙච්චි බස්සියෙක්. ඊයෙ පෙරේදා එයා තමන්ගෙ පිස්සු Talk රටටම කියන්න මූණු පොතේ පිටුවක් පෙරලුවා. මේ තියෙන්නෙ ඒක.

 
දැන් තමයි හොඳම හරිය....

 
බස්සිගේ පිස්සු කතා, මෝඩ කතා, ආදර කතා සහ පඬි වදන් වලට කැමති කුරුලු යාලුවො වෙනුවෙන් බස්සා SMS ඇප්ලිකේශන් එකක් කෙටුවා.  බස්සගෙ උදව්වෙන් කොටාපු ඒ ඇප්  එකේ පිහිටෙන් බස්සි දැන් Dialog සබඳතා සහිත යාලුවන්ගෙ ජංගමයට රිංගන්න පාරක් හදාන ඉන්නවා.





 

බස්සිව ගෙන්නගන්න කැමතිනම් කරන්න තියෙන්නෙ reg<space>Bassi කියලා ටයිප් කරලා 77100 ට කෙටි පණිවුඩයක් යැවීම පමණයි.


එදා ඉඳන් බස්සි හැමදාම ඒවි ඔයාව බලන්න.


ඒ විතරක්යැ, අලුත් කුරුලු රහස් ගොන්නක්ම අරගෙන නෙව එන්නෙ!


දැනට වැඩේ යන්නෙ ඉංගිරිස් වලින්. ළඟදීම වැඩේ හෙළබසට පෙරලේවි.


ඉතින් හොඳ කුරුලු යාලුවො වගේ ඉගිල්ලෙන ගමන් මේ රහස ලෝකෙටම කියනවා නම් බස්සි සතුටුයිලු ඈ......


එටිසලාට් යාලුවො වෙනුවෙන් බස්සිගේ ඇප් එක මග එනවා. බලාන ඉන්න.
 

මේ ඇරඹුම පමණයි. ඇන්ඩ්‍රොයිඩ් යාලුවන්ට හදන අපූරු සුකුරුත්තම් වගයක් ඉදිරියේදී දැකබලාගන්න ලැබේවි හොඳේ.....!!!







Sunday, January 19, 2014

පස්ස වැහෙන්න සාය අඳින හැටි. (Beware, U are what you wear! -they say so-)






ඇඳගන්නා හැටි ගැන බස්සි මීට කලිනුත් පෝස්ටුවක් ලියා තිබුනේය. ඒ ඉන්ටවූ යද්දි ඇඳගන්ට ඕනා විදිහ ය. ඒකට නම් පාඨක ප්‍රතිචාර ඉහටත් උඩින් ලැබුනු බව ටොප් සෙවන් පෝස්ට් ලැයිස්තුව සාක්කි දරන්නේ ය. හැබැයි අද  කියන්නට යන්නේ ඉන්ටවු ඇඳුං ගැන නෙමේය. නිකං ඇඳුං ගැනලු ය.


අපි අඳින ඇඳුමෙන් පැළඳුමෙන් සමාජය අපිව මනින අවස්තා බොහොම ය. බොහෝ වෙලාවට සමාජයේ ඇත්තන්ගේ පා ණ්
නාඩි නිසා අපි මොනවා ඇන්දත් පේන්නේ එක එකාගේ ඇහේ හැටියට ය. ඒකටනම් අපිට කොරන්න දෙයක් නැතිය.


එහෙම සීන් කෝන් එකක් දවසක් බස්සිටත් උනේය.


කැම්පොස් ඉවර වී බස්සයි බස්සියි කඩාගෙන බිඳගෙන දුවගෙන ඇවිත් කෝච්චියේ එල්ලෙන්නේය. කැම්පොස් යන කාලයේ බස්සිට තිවුනේ බැගී අඳින පික්සුවක් ය. ටී - ශර්ට් එක ඇතුලට තව දෙන්නෙක්ට විතර බහින්නට පුලුවන්ය.



 මේ ඔක්කොම මම බැගී අඳින හේතු නෙමෙයි හලි ද?




කෝච්චියේදිත් එක විදියකට ඉන්ට බැරි බස්සි එහෙට මෙහෙට පනිමින් කෝලිත්තම් කොරන්නේය. වැඩි සෙනගකුත් නැතිය.


ඉස්ටේසන් හත අටක්ම පහු උනාට පසු එක මැදි වයසේ ඇන්ටියෙක් නැගිට්ටේය. ඇන්ටිගේ සරීරය අයින් උනාට පසු අපි දෙන්නාටම වාඩි වෙන්නට ඉඩකඩ ඇති නිසා බස්සි බස්සාවත් ඇදගෙන එතනින් වාඩි උනේය.


ටිකක් වෙලා බස්සි දෙස ක්‍රිටිකල් බැල්මක් හෙලූ ඇන්ටි තමන්ගේ කට බස්සිගේ ඔලුවට පාත් කලේය.





"ළමයෝ මම දන්නව ඔය ළමය බැරි කෙනෙක් විත්තිය. මට මේ බෑග් එක උස්සන් හිටගන්න බැරි නිසයි සීට් එක නුදුන්නෙ."


කම්මුල් රතු පාට වෙනවා කියන එකත්, කන් අඩි රත් වෙනවා කියන එකත් මම හොඳින්ම අත්වින්දේ එදාය.





අවට සිටි ගැහැණු ළමෝ කිහිපදෙනෙක්ම ඇන්ටිට මඥ්ඥං බවත්, ගනන් නොගන්නා ලෙසත් ආංගික අභිනයෙන් දැක්වීමම බස්සිට මහමෙරක් විය.


පෙනේද ඇන්ටිගේ කණ්නාඩියේ තරම. පෙන්සිල් කට් කලිසම දැක දැකම, ස්කූල් බෑගය කරේ තියෙද්දීම ඇන්ටිගේ කණ්නාඩිය බබෙක් දැකලා ය. අඩු තරමේ බෑග් එක ඉල්ලාගෙන ඕම කතාවක් කිවුවා නම් හිතට දුක නැතිය.


හොඳා, පස්සට අඟල් දෙකක් පහලට සාය අඳින, ක්ලීවේජ් එක ඉතරක් නොව සේරම එවුවා පෙනෙන ඇඳුම් ඇඳ පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන අක්කලා නංගිලා මේ කණ්නාඩියට අහු උනාම කොහෙන් නවතීදැයි හිතාගන්නට බැරිය.


මේ පෝස්ටුව ලියන්නට හිතුනේ ගෙදර මනුස්සයාට පෙන්නිය යුතු දේවල් මුලු රටටම පෙන්නන කිරිල්ලියෙක් බස්සිට කියූ දුක් ගැනවිල්ලක් නිසාය.




 

එයා කොටට අඳින්නේ ලංකාවේ දේසගුනේට ගැලපෙන්නලු ය. ගමෙන් නගරයට ආ පසුව ලංකාවේ දේසගුනය ඒ අක්කා ඉගෙන ගන්න ඇත්තේ කැම්පුස් එකේ අපිට මග ඇරුනු කෝස්  එකකින් වෙන්නට ඕනෑ ය.


කොටට අඳිනවානම් වැහෙන තැන් වැහෙන්නට යටට ශෝට් එකක් ඇඳපල්ලාය. එතකොට අර ප්‍රියා අයියා කිවුවා වගේ එක එකා සාය යටින් පොටෝ අල්ලන්න එන එකක් නැතිය.

 
තැනට සුදුසු ලෙස ඇඳීම අගේ කල යුතු පුරුද්දක්ය. මගේ හිත පන්සලක් කිවුවාට, කොට බයිලා ගහගෙන පන්සල් යාම සුදුසු නැත්තේ වටේ පිටේ ඉන්නා උපාසකයන්ගේ සිල් කැඩීමේ සම්භාවිතාවක් ඇති බැවින්ය.

 
අපේ පන්සලේ නම් හාමුදුරුවෝ ගෑනු ලමයි සැහැල්ලු සුදු දිග කලිසමක් ඇඳගෙන සිල් ගන්න එන එකටත් අවසර දී ඇත්තේය.  ආච්චිලාගෙ ඇහේ කලිසමේ කටු ඇනුනත්, ඇත්තටම සමහර ඇන්ටිලා බඩයි, පිටයි දෙකම නැතුව, ටයර් පේන්නට අඳින සාරිවලට වඩා ඒ ඇඳුම සංවරය.

 
මූදු වෙරළට තට්ටු හත අටක දිග ගවුමක් ඇඳන් රැල්ල පාගන්ට ගියොත් ඔබ හිනාවට ලක්වෙනවා නිසැකය.





 
කොයි හැටි වෙතත් මම නම් කියන්නේ ඇඳුමින් පුද්ගලයා මනින්නට බෑම කියලා නෙමේය. ඇඳුමින් උනත් මනුස්සයෙක්ගේ ස්තානෝචිතව හැසිරෙන්නට ඇති හැකියාව ගැන යම් අදහසක් ගන්නට පූලුවන්ය. ඒක අපි හිතලා කරන දෙයක් නෙමේය, නිකම්ම ඒක ඔලුවට වැටෙනවාය.

 
ලිපිය දිග වැඩි උනත් තව දෙයක් කියන්නට ඕනේය. ගෑනු ළමයි කොටට අඳිනවා දැක්ක ගමන් කුලප්පු වෙන අපේ රටේ සමහර පිරිමි නම් ඇත්තෙන්ම හිරිකිතය. පොදු ප්‍රවාහන සේවා භාවිතය ගැන මේ උපදෙස් ලියන්න වෙන්නේද ඒ වාගේ උන්දලා හින්දාමය.

 
ඔහොම ගියොත් යම් දවසක ලංකාවේ පිරිමි මෙහෙම කියන්නත් බැරිකමක් නැතිය.


 

ඇඳුමක් අඳිද් දී මේ පස් මහ බැලුම් බලනවානම් කාට කාටත් හොඳ ය.

 

1. පෙනී සිටින ස්ථානය
 
2. වයස
 
3. සිරුරේ හැඩය
 
4. වේලාව සහ කාලගුණය
 
5. සුදුසු යට ඇඳුම් භාවිතය.


 


ප.ලි.

එදායින් පසුව බස්සි බැගී ඇඳන් බස් වල, කෝච්චි වල යන්න අම්බානක බය උනේ ය.


Thursday, January 16, 2014

මගේ පුංචි බස්සෝ......







මගේ පුංචි බස්සෝ......,



ඔයා මගෙත් එක්ක සමරන හතරවැනි උපන්දිනය හෙට උදා වෙන්නෙ. බස්සාට අවුරුදු විසි හයක්! හෆො
යි සෑහෙන්න  වයසට ගිහින්!


මතකද අපි දෙන්නා සමරපු පළවෙනි උපන්දිනය. අතිශය රස්තියාදුකාර විදියට කැම්පස් එකේ බැමි උඩ හාල් වෙවී...... එදා අර චිත්‍ර උගන්නන ලෙක්චරර්ගෙන්  බැනුං  අහපු ටික මම ආදර අන්දරයේ ලිවුවෙ නෑ ඒකෙ රොමැන්ටික් ගතිය නැති වෙන නිසා.


හැම උපන්දිනයකදිම මම ඔයාව සර්ප්‍රයිස් කලා.  ඒවා  මම ප්ලෑන්  කරේ මාසෙකටත් කලින් ඉඳන්.






අවුරුද්දෙ දවස් 365ම කියවන්න හදාපු Love pills, දන්න ගැජමැටික්ස් සේරම දාල හදාපු  අපේ ආදර කතාවෙ වීඩියෝ එක,
ස්ක්‍රැප් බුක්,
පාන්දර Fab එකට දුවලා ඔයා ඇහැරෙන්න කලින් උස්සන්  ආපු බර්ත් ඩේ කේක් එක.


 
ඔයා කල්පනා කරනවා ඇති මම මේ අවුරුද්දෙ ඔයාට මොනාද දෙන සර්ප්‍රයිස් එක  කියල.


බස්සෝ, බස්සි වෙනදා වගේම ලස්සන තෑග්ගක් ගැන ප්ලෑනක් ඇන්දා. ඒත් නපුරු හෙම්බෙකුයි, ඒ උඩට ආපු උණකුයි බස්සිගෙ ප්ලෑන විනාස කලා
මගෙ පුංචි බස්සෝ....


මට කියාගන්න බැරිතරම් ලොකූ දුකක් දැනෙනවා ඒ ගැන.


ඒ නිසාමයි, මේ පෝස්ට් එක ලියන්නෙ ඔයා වෙනුවෙන්ම.


මගේ බස්සාට, පිස්සාට, මැටි කොට්ටෙට, සුදු අයියාට සුභම සුභ උපන්දිනයක් වේවා......!!!





සුදු අයියා  අලුත් අවුරුද්දෙ කරන්න බලාපොරොත්තු වෙන ලොකුම ලොකු වෙනස සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.......!!!






Wednesday, January 15, 2014

පැටලිල්ල






හිරුගෙ උනුසුම හදම පුබුදා
සදා සොම්නස් සුවය දුන්නේ

හිරු රැසින් මිදෙනා ඇසිල්ලෙහි
නෙත් කොනින් තරු රුව සොයන්නේ.....


මහරු මිණියෙන් දිවිය හැඩකර
රනින්  කිරුලක් පළන්දන්නේ

අඳවු  දෙනෙතින් - කිරුලු නොතකා
තිරිවාන කැටයක් සොයන්නේ......


වරද කොතැනද?
සැලෙන හදකද?
කෙලෙස පැටලුම
ලෙහා ගන්නේ?

 
මෙයද නිවරද?
නොවෙන මන නඳ
එයද මනුසත්
ගතිය වෙන්නේ?

 
නෙතු පියන් තදකර වසන්නේ
සවන්පත් දොරගුළු දමන්නේ
හදට තරවටුවක් කරන්නේ
හිරු රැසිනි මම ලොව දකින්නේ

 
අනේ සඳ සිසිලක් දියන්නේ..........!



Sunday, January 12, 2014

කටකාර කෙල්ලෝ සහ ගණන්කාර කොල්ලෝ...



"කෙල්ලො කියන දේවල් තේරුම් ගන්න වෙනම ඩිග්රි එකක් කරන්න වෙනවා බං."




මගේ බැචෙක් දවසක් මගෙත් එක්ක කියනවා එයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක වලියක් දා ගත්තු කතාවක්. ඌ කියන කියන වචනයක් ගානෙ මට බොහොම පැහැදිලිව තේරෙනව කෙල්ල මොනවද අදහස් කරල තියෙන්නෙ කියන එක. ඒත් මේ මැට්ටාට ඒ ගැන වගේ වගක් නෑ.








කෙල්ල මෙහෙම කෙරුවෙ මේකයි, අරම කිවුවෙ මේ නිසයි, කියලා මම ඌට තේරුම් කරලා දෙද්දි තමයි බැචා ඔය උඩින්ම තියෙන වාක්‍ය ප්‍රකාශ කලේ.





ඇත්තටම ඇයි ගැහැණු කියන දේවල් තේරුම් ගන්න  එක පිරිමින්ට මෙච්චර අමාරු???




***********************************






අපේ කැම්පස් එකේ ආර්ට් ෆැකල්ටි එකේ ළමයි ලෙක්චර්ස් වලට එන්නෙ සයන්ස් එක ඇතුලෙ තියෙන ධර්මාලෝක හෝල් එකට. ගොඩක් සයන්ස් කොල්ලො ෆර්ස්ට් ඉයර් එකේදිම යනවා ඔය ආර්ට්ස් එකේ කෙල්ලන්ට බැල්ම හෙලන්න. මොකද ලැබ් ඇතුලෙ කරවෙච්ච, කවකටු, අඩිකෝදු වගේ ඉන්න සයන්ස් කෙල්ලන්ට වඩා බහුතරයක් ආර්ට් කරන කෙල්ලො හරිම ලස්සනයි.




හවස තිවුන biochem ලෙක්චර් එක කට් කරලා මමයි, කෙබරියි, කළේයි කයියක් ගහගෙන ඉන්නව නෙල්ලි ගහ යට.




ලෙක්චර් එකක් ඉවර වෙලා ආර්ට් එකේ කට්ටිය පේලියට එනවා.




කෙල්ලො තිස් දෙකයි - කොල්ලො දෙන්නයි

කෙල්ලො විසි හතයි - කොල්ලො එකයි

කෙල්ලො හතලිස් අටයි - කොල්ලො හතරයි

කෙල්ලො දහඅටයි - කොල්ලො නෑ




ඔන්න ඔහොම තමයි පේලියෙ ගිය කෙල්ලොන්ගෙයි කොල්ලන්ගෙයි සංඛ්‍යා දත්ත වාර්තාව.



***********************************





මෙහෙම වෙන්නෙ ඇයි? බස්සි කල්පනා කොලා.




ඒම කල්පනා කොරල, ජාලයේ සැරිසරලා, e book වගයක් හෙම කියෝලා හොයාගත්තු විස්තර ටිකක් තමයි මේ.







1. ගෑනු මොලේ තේ හැන්දෙ මිට වගේ - පිරිමි මොලේ පොල්කටු හැන්දෙ මිට වගේ











පිරිමින්ගේ මොලය ගැහැණු මොලයට සාපේක්ශව 10% ක් පමණ විශාලත්වයෙන් වැඩියි. ඔව්, මේ අමතර ස්කන්ධය නිසා පිරිමින්ගේ ක්‍රියා සන්තති වේගයත් ගැහැනුන්ට සාපේක්ෂව වැඩියි. නමුත් මේ තියරියත් හරියටම පිලිගන්න අමාරුයි. මොකද එහෙනම් අලි ඇත්තු, නිල් තල්මහ වගේ සත්තු අපිට වඩා පට්ට බුද්ධිමත් වෙන්ට එපායැ ;)







2. මස්තිෂ්ක අර්ධගෝල දෙක දෙවිදියක්





බොහොමයක් පිරිමින්ගේ වම් මස්තිෂ්ක අර්ධගෝලය ක්‍රියාකාරිත්වයෙන් වැඩියි. මේ නිසාම පිරිමින් ගණිතමය හැකියාවන් අතින් ඉදිරියෙන් ඉන්නා අතරම ඔවුන් කාර්යයන් සඳහා දිශානත වූ චින්තකයන් ලෙස හැසිරෙනවා.









නමුත් කාන්තාවන්ගේ වම් සහ දකුණු මස්තිෂ්ක අර්ධගෝල දෙකම බොහෝවිට සහප්‍රමුඛ ලෙස ක්‍රියාත්මක වෙනවා. එවැනි කාන්තාවන් සහඥානය අතින් පිරිමින්ට වඩා ඉදිරියෙන් ඉන්නව. 





ඒ වගේම සමහර කාන්තාවන්ගේ දකුණු මස්තිෂ්ක අර්ධගෝලය ප්‍රමුඛ වීම නිසා ඔවුන් අපූරු හීන මවන්නියන් බවට පත් වෙනවා.






3. කොල්ලො ගණන්කාරයෝ





පිරිමින්ගේ මස්තිෂ්කයේ අධර පාර්ශ්වික අනුඛණ්ඩිකාව ගැහැණු මස්තිශ්කයට සාපේක්ෂව ප්‍රමාණයෙන් විශාලයි. මේ නිසා, පිරිමි ළමයි ප්‍රාමාණික දත්ත සැකසීම අතින් ඉදිරියෙන් ඉන්නවා. මේ නිසයි පිරිමින් සිතියම් අවබෝධ කරගැනීම අතින් ඉදිරියෙන් ඉන්නෙ. ඒ වගේම පිරිමි හොඳ ගණන් කාරයෝ.








මස්තිෂ්කයේ පාර්ශ්වික බාහිකය විශාල වීම නිසා පිරිමින් කාලය හා අවකාශ භාවිතය අතිනුත් සූරයො. ඒක තමයි කාන්තා සහ පිරිමි රියැදුරන් අතර තියෙන වෙනසට හේතුව.









හැබැයි පජාත පිරිමි රියැදුරෝ වගේම, අති දක්ශ කාන්තා රියැදුරුවරියොත් ඉන්න බව මතක තියා ගන්ට. මේ කියන්නෙ බහුතරය ගැන.







4. කෙල්ලන්ගේ චැටර් බොක්ස්




කාන්තාවන්ගේ මස්තිෂ්කයේ වැඩි වශයෙන් තියෙන්නේ ශ්වේත ද්‍රව්‍ය. නමුත් පිරිමින්ගෙ මස්තිෂ්කයේ ධූසර ද්‍රව්‍යයි වැඩි. ශ්වේත ද්‍රව්‍ය වලින් ස්නායු සන්නිවේදන සම්ප්‍රේශණය වේගවත් කරනවා. මේ නිසයි කෙල්ලො ඔලුවෙ තියන දාහක් දේ චට පට ගාලා සංස්කරණය කරලා, වචන විදියට එලියට දාන චැටර් බොක්ස් වෙලා තියෙන්නෙ.










5. ලේන්සු




කාන්තාවන්ගේ පූර්ව මස්තිෂ්ක  අනුඛණ්ඩිකාව පිරිමින්ට සාපේක්ෂව විශාලයි.  ඒ නිසා කාන්තාවන්ට හැඟීම් එක්ක ගනුදෙනු කිරීමේ හැකියාවත් වැඩියි. මේ හේතුව හින්දාම කාන්තාවන් මූඩ් ගහල ඉන්න අවස්ථාවන් සාපෙක්ශව ඉහලයි.











ඉතින් මේ වෙනස්කම් නිසාම සමහරු කියනවාලු පිරිමි මොලෙයි, ගැහැණු මොලෙයි මෙන්න මේ විදියයි කියලා.










අපේ බස්සනම් කියන්නෙ බැන්ද දවසක මෙන්න මේවායින් එකක් ගන්න ඔනෙ කියලා. වීඩියෝ එකත් බලලාම යන්ටකෝ.....











Wednesday, January 8, 2014

කොමාගේ Com



ඉක්කෝලෙ කාලෙ කතා ලියන්ඩ ගත්තට බස්සිට ලියන්න ලැබුනෙ දුකාගෙ කතාව විතරයි නෙව. ඉතිං ඕං බස්සි අද කියන්න යන්නෙ අපේ ඉක්කෝලෙ හිටපු කොමා ගැන.




කොමා යනු කවරහු ද? කොමා තමයි අපිට දහය, එකොළහ වසරවලදි කොමස් ඉගැන්නුව සෑර් තුමා. තරමක් උසින් අඩු, කැරලි කොණ්ඩයක් තියෙන, පාං බාගෙයක් වාගෙ වෑන් එකක එන අපේ කොමාව ශානු අක්කා එහෙමනම් සජීවීව දැකලා ඇති.


ඔය කොමස් කියන සබ්ජෙට්ටුව අපිට සැට් වෙන්නෙ දහය වසරෙ අතිරේක තාක්ශන විශයයන් තෝරා ගන්නකොට. අපේ සූටි හුරතල් නගා
ලා එහෙම දැං සැපට තොරතුරු තාස්සනේ කොලාට ඒ කාලෙ අපිට තෝරගන්න තිවුනෙ කොමස් සහ ගෘහ විජ්ජාව කියන සබ්ජෙට්ටු දෙකෙන් එකක්.

 
මගේ ගෘහ විජ්ජා පෙන්නලා ඉක්කෝලෙ ගෘහ විජ්ජා ලැබ් එක ගිනි තියන්නෙ මොකටදෑ කියල මං ගියාලු කොමස් කොරන්න. තනියෙං නෙවෙයි, මගෙ ලෝකෙ කාලා වතුර බීපු යාලුවො සැට් එකත් එක්කම.







 

කොන්වන්ට් වල කොල්ලන්ගේ අඩුව පුරවන්නෙත් කෙල්ලො නෙව (මම කිවුවෙ දඟකාරකම් වලින් හරිද?) ඉතිං අපිට කොමා පංතියට ආපු මුල් දවසෙම ඉව වැටුනා මුන්දෑ නම් අපිට හොඳහැටි හිනාවෙන්න දේවල් ඉතිරි කරලා යන සෑර් තුමෙක් විත්තිය.

 
සික්, මටත් බෝවෙලාද මන්දා අර පඳුර වටේ තැලිල්ල. එවුවා කොහෙද? බහිමු ඉට්ටෝරියට.

 
අපේ කොමා කැමතිම වැඩේ තමයි එයැයිගෙ පතරංග ජාතකයක් වාගෙ තඩි C.R. පොතක් බලාගෙන අපිට ලියන්න සටහන් කියවන එක. කියවන විට ලිවීම දෙක වසරෙ ඉඳන් පුරුදු වෙලා තිවුන නිසා අපි යාලුවො සැට් එක ඒ වෙලාවට කරන්න පුරුදු වෙලා හිටියෙ කොමා කියන එක අපි කැමති භාශාවට පරිවර්තනය කරන එක. (ඉංග්‍රීසියෙන් විතරක් නෙමෙයි අපේ එකෙක් හිටියා කොමාගෙ පාඩම හින්දියෙන් ලියාගෙන යන)





 

කොයිහැටි වෙතත් කොමාගෙ මේ සටහන් කියවිල්ල නිසා අපිට ඒ කාලෙ මොනා නැතත් ලියන්නෙක් හරි භාශා පරිවර්තකයෙක් හරි වෙන්ට තිවුනා ලේසියෙන්ම.

 
ඉගැන්වීමේ කාලයෙන් සීයට අනූ නමයක්ම සටහන් කියවිල්ලට වැය කරන අපේ කොමා ඉතිරි සීයට එක වියදම් කරන්නෙ එයැයි අකමැතිම වැඩේට. ඒ අවස්තාව උදා වෙනකොට කොමාගෙ මූණ දුක්ඛිත භාවයේ උච්චතම අවස්තාවට එළඹීම හේතුවෙන් කලු වෙලා ඇඹරිලා යනව. ඉතාම මන්දගාමී ස්වරූපයෙන් තමන්ගෙ පශ්චාත් භාගය පුටුවෙන් ඉහලට උස්සන කොමා වයිට් බෝඩ් එක දිහාට දෙපා අද්දනවා.


මොකටද? අපිට ගිණුමක් ගහලා පෙන්නන්න.






 

ඔය ගහන ගිණුම් වලින් සීයට අනූ අටක්ම හර බැර තුලනය කරගන්න බැරුව අපේ කොමාව ඉමහත් භීතියට පත්කරනවා. ඒ වෙලාවටනම් කොමා තුංමුනින් දාඩිය දාගෙන, අර කැරලි කොණ්ඩෙ ඇද ඇද හර පැත්තෙ එවුවා බැර පැත්තෙ ලියලා. ගානෙ දීල තියෙන අගයන් එහා මෙහා කරලා ගිණුම තුලනය කරගන්න සිරාම ෆයිට් එකක් දෙනවා.

න්න ඔය වෙලාවට තමයි අපි පෑල දොරින් අන්තරස්ධාන වෙන්නෙ.


කොමා එක පාරට සද්දයක් ඇහිලා පිටිපස්ස බලනවා. ඇස් දෙක පුංචි කරන් අපි උන්නු පේළිය ගාවට එනවා.


"කොයි දැං මෙතන හිටපු එකා?" කොමා තද උනාම අහන්නෙ එහෙමයි.





"මෙතන?" අපි අහිංසක තාලෙන් ඇස් ගෙඩි තඩි කරගෙන අහනවා.


කොමා ඉන් එහාට මුකුත් කියන්නෙ නෑ. කටුකුටු ගගා හෙමිහෙමින් බැන බැනා යනවා ගුරු මේසෙ ගාවට.

 
ඒ යන ටිකට තවත් එකෙක් දොරෙන් එලියට දුවනවා.

 
කොමා පස්ස හැරුනට ඉන්නෙ කන් දෙක දික් කරගෙන. "අන්න පැන්නා! අන්න පැන්නා!!" කොමා අත් දෙකෙන් කලිසම උස්ස උස්ස පස්සෙන් දුවගෙන එනවා කොරිඩෝ එක ගාවට යනකම්.


ඒත් ඒ වෙනකොට කොරිඩෝව හිස්.


"මෙතන. මේං මෙතන හිටපු එකී පැන්නා. ආදෙන්කො." කොමා සද්දයක් දානව.


"කවුද සර්?" කස්ටියම යලිත් වරක් අහන්නෙ බොහොම ලයාන්විතව.


කොමා එලෙවුවෙ කාගෙ පස්සෙන්ද කියල මමනම් කියන්නෙ නෑ ඕං!


එහෙම පනින්න වෙන්නෙ කොමා අපිට පස්ස හරවන දාට ඉතරයි. කොමා ලේසියෙන් අපිට පස්ස හරවන කෙනෙක් නෙමෙයි.


කොමාගෙ පස්ස නිසා වෙන වෙන දේවල් නම් සෑහෙන්න පීඩා විඳලා තියෙනවා.

 
අපේ ක්ලාස් රූම් එකේ ඉස්සරහ දකුණු පැත්තට වෙන්න තියෙනවා සුවිච් පේලියක්. මොනාහරි ප්ලග් කරන්න ඕනෙ වුනොත් කියලයි තියෙන්නෙ. කොමා අපිට සටහන් කියවන ගමන් ඒ සුවිච් පේලිය උඩ පශ්චාත් භාගය විවේක ගන්වනවා.

 
කොමා සටහන කියවලා පුටුවට එද්දි සුවිච් පේලියම ඕන් වෙලා තියෙනවා දකින අපිට මාර ජොලි. මම හිතන්නෙ අපේ ඉක්කෝලෙන් මෙතුවක් කාලෙකට බිහිවුන, පස්සෙන් සුවිච් දැමීමේ හැකියාව ඇති එකම පුද්ගලයා අපේ කොමා තුමා වෙන්ට ඕනෙ.








 
එක්කො පස්ස තියනවා ගුරු මේසෙ තියෙන මල් පෝච්චියක් උඩ. පෝච්චිය කෑලි දහ අටයි.






 
කලු ලෑලි තියෙන ක්ලාස් රූම් එකකට ගියොත් අනිවාර්යෙන් පස්ස තියනවාමයි හුණු කොට්ටෙට.

 
එක්කො වාඩි වෙනවා පුටුඇන්දෙ. පුටුවෙ පැත්තක් උඩ ගිහින් අනූ නමයෙන් වැටෙන්නැතුව බේරෙනවා.

 
අපිට හොඳටම කම්මැලි උනාම අපි ඩීසන්ට් පිටම එලියට යන තවත් ක්‍රමයක් තියෙනවා.


ඒ තමයි,  "අපිව එලියට ගනිල්ලා" කියලා ලියලා යටින් අපේ නම් ලියාපු කොලගුලි අල්ලපු පංතියට වීසි කරන එක. අපිට කොමස් වෙලාවට අල්ලපු ක්ලාස් එකේ උන් මොනාට හරි (subject එක මතක නැත) එලියට යනවා. ඒක කට් කරලා පංතියෙ ඉන්න පින්වත්තු තමයි අපිව ඒ වෙලාවට එලියට ගන්න උදවු වෙන්නෙ.






"සර්, මෙයාට මේ club එකේ මේ වැඩේට එන්න කිවුවා. සර් අරයට අර event එකේ practice එන්න කිවුවා" කියලා එන උන්ව අපිට පේන්නෙ අපේ ගැලවීමේ සුරදූතයො වගේ.


අර බයිට් වලට දස්ස කිරිහාමියා එහෙම ඔය පින්කමට ඉත සිතින් දායක වෙච්චි එකෙක්.


ඔහොම ඉන්න ගමන් දවසක් මම කොමා ගැන සිංදුවකුත් ලිවුවා. (මේක කියන්නෙ "මා ආදරෙයි නංගියෙ-මා ආදරෙයි" සිංදුවෙ තාලෙට)



මා ආදරෙයි කොමා - මා ආදරෙයි
මගේ ආදරේ - ගිණුමක් සේ ලෙජරයේ
හරවී, බැරවී, නැවතත් හරවී
නවතී හදෙහී ශේෂ වී


කොමස් වෙලේ ලාස්ට් රෝ එකේ ඉන්නට ආසයි
ඉන්න ගමන් පොඩි නැප් එකකුත් දාන්න ආසයි
ගණුදෙණු ඇනිලා - ගිණුමක එරිලා
පිණිජම්බු වගේ ඔබේ මූණ රතු වෙනවට ආසයි

 
ඔබ කියනා බිසිනොස් සටහන් ලියන්න ආසයි
පස්ස හැරුණු ගමන් අතුරුදහන් වෙන්න ආසයි
බී.එස්. කරලා - එකවුන්ට්ස් ගහලා
කවදාහරි මැනෙජ්මන්ට් පොරක් වෙන්නට ආසයි


 




ඔය සිංදුව ඒ කාලෙ අපේ ඕ.ලෙවල් යාලුවො කස්ටිය අතරෙ බොහොම ප්‍රචලිත උනා.

 
කොහොමින් කොහොම හරි අපි ඕ.ලෙවල් ලියලා, ප්‍රතිඵලත් අරන්, බුලත් අතකුත් අරන් ගියා කොමාව හම්බවෙන්න.

 
"කොහොමද තමුසෙ?"

 
"ඒ සර්."


"අනිත්ව?"

 
"බ්ලහ් බ්ලහ් නමයයි බ්ලහ් එකයි සර්"

කොමා කණ්නාඩියට යටින් මා දිහා බැලුව හොඳට.



"ඒ.ලෙවල් වලට මොනාද කරන්නෙ?"

 
"බයෝ"

 
"ලොකු දෙයක්. ලොකූ.... දෙයක්. තමුසෙල සේරම සයන්ස් ද?"

 
"ඔව් සර්."

 
"පැත්ත පලාතෙ එන්න එපා. සයන්ස් කරපල්ල. මම හරිම කල්පනාවෙන් හිටියෙ තමුසෙලා මට තව අවුරුදු දෙකක් පව් දෙන්න එයි කියල." කොමා අපිට සමුදුන්නෙ එහෙම.









 
ඒත් මට කොමාව ඊට මාස දෙකකට විතර පස්සෙ අපිට ඒ ලෙවල් පංති පටන් ගත්තු අලුතම හමු වුනා, ප්‍රින්සිපල්ගෙ ඔෆිස් එක ගාවදි.

 
"ගුඩ් මෝර්නිං සර්!" මම කිවුවා.

 
"ආ... මෝනිං!" කොමා අපිත් එක්ක වැඩියෙ හිනා වෙන්නෙ නෑ.

 
"තමුසෙ බයෝ කරන්න ගියාට මම හිතන්නෙ තමුසෙට මැනේජ්මන්ට් යන්න තිබුනනම් ඊට හොඳයි." කොමා කියාපි. "කමක් නෑ, තමුසෙල ඔක්කොම අන්තිමේ යන්නෙ සයන්ස් වලටනෙ. නොගියත් ගුරුවරුයි, දෙමවුපියොයි තල්ලු කරනවානෙ."

 
මගෙන් ප්‍රතිචාරයක් ලැබෙන්නත් කලින් කොමා ඔලුව වනවනා යන්න ගියා.

 
කොමා ගැන කියන්න තව රස කතා ගොඩක් තිවුනත් පෝස්ටුව දිග වැඩි උනාද මන්ද. අපි ඒ කාලෙ වයසින් අඩුයි. හරි වැරැද්ද ගැන දැනීමක් නැහැ. හරිම දඟයි. ඒ නිසයි ඒ වගේ හැසිරුනේ. ඒ හැසිරීම අද මම අනුමත කරන්නෙ නැහැ කොහෙත්ම.

 

හර බැර තුනය නොකලාට, කොමා සර් ගුරුවරයෙක් විදියට මාව හොඳින් තේරුම් අරන් තිබුනා. බයෝ කරලා, සයන්ස් ඩිග්‍රියකට කැම්පසුත් ගිහින් අන්තිමේ මම අද ඉන්නෙ කොමා සර් කියාපු තැනමයි. මම අද ඉන්නෙ එතන. මගේ විද්‍යා අධ්‍යාපනයෙන් ළඟා වෙන්න බැරි තැනක.  කොමා සර්ට අද මාව මතක නැතුව ඇති. සර් අදත් අපි වගේ පිස්සු නටන ළමයි රංචුවක් එක්ක හර බැර තුලනය කරනවා ඇති.