Showing posts with label බස්සිගේ ආදර අන්දරය. Show all posts
Showing posts with label බස්සිගේ ආදර අන්දරය. Show all posts

Wednesday, June 24, 2015

බස්සි නැවතත් කරළියේ!






හරියටම මීට අවුරුදු හතර හමාරකට කලියෙන් බස්සි කැළණිය විශ්වවිද්‍යාලයේ ෆ්‍රෙශියෙක්. ඔය කාලේ සෑන්ස් එවුන්ගෙත් ආර්ට් සර්කල් එකක් තියෙනබව දැනගැනීමෙන් උද්දාමයට පත්වෙන බස්සි කලා කවයට හොට දාන්න යාමේ ප්‍රතිඵලයක් විදියට සෙකන්ඩ් ඉයර් අයියලාගේ ෂෝර්ට් ෆිල්ම් එකක නිළියක් වීමේ මරාලයක් හිස මතට කඩාපාත් කරගන්නවා.


ඔය කැම්පස් එකේම දෙක වසරේ අයියෙක් ඉන්නවා නිතරම කොම්පීටරේ ඇතුලෙ හැංගිලා ඉන්න, පොඩි පොඩි රොබෝ කෑලි ඇටවීමේ උණෙන් පෙලුන, ඉඳහිට කැමරාවක් පිටිපස්සේ හැංගිලා ෆ්‍රෙශර්ස් ඩේ එක වෙනුවෙන් අසරණ ෆස්ට් ඉයර්ස්ලාගේ හැසිරීම් වීඩියෝ කර මඩ වීඩියෝ හදන සහ දවසේ ඉතිරි කාලය ඉලෙක්ට්‍රොනික් ලැබ් එක ඇතුලේ ගැජමැටික්ස් අමුණමින් ගත කරන. එයා කැම්පුස් එකේ ටෙකිටෙකි වැඩ වලට මූලික වුන 'විෂන් ක්ලබ්' එකේ පොරක්.

.
අහම්බෙන්, ඉතාම අහම්බෙන්, ෂෝර්ට් ෆිල්ම් එක කරපු අයියලාට හිතෙනවා ෆිලුම වීඩියෝ කරන්න විශන් ක්ලබ් එකේ සහය ගන්න. අනේ අර අසරණ කැමරා කොලුවා එතෙක් ගතකරපු සුන්දර තනිකඩ ජීවිතය එතෙකින් නිමා වෙනවා.


ඒ ටෙකි පිස්සට පුලුවනි ඉහලම වර්ගයේ සෝෆාවක ඉඳගෙන ඉන්න තරම්ම පහසුවෙන් පාරේ බෝක්කු ගැට්ටක ඉඳගෙන,. තමන්ගෙ කෙල්ලවත් ළඟින් වාඩි කරගෙන, කරට අතකුත් දාගෙන, ආගිය කතා වට්ටෝරුවක්ම කියවන්න.


ඕනෑම මනුස්සයෙක්ගේ හිත සසල කරවන්න පුලුවන් තරමට පැල්ලම් ගැහුන අන්නසි අච්චාරු බේසමකින් ගත්තු අච්චාරු මුලක් ගෝල්ෆේස් එකේ පඩියක් උඩ වාඩිවෙලා කන්න, අන්තිම කෑල්ලට රණ්ඩු කරන්න.


මම ලයිබ්‍රරි යනකොට තනියට එන්න. ඇවිත් ලොකු ප්‍රෝග්‍රැමින් පොතකට ඔලුව තියන් නිදාගන්න. පැයකට සැරයක්වත් මාවත් ඇදගෙන කැන්ටිමට දුවන්න.


අසනීප උන දාට කෑම කවන්න, බොරු නෝක්කඩු කිය කිය ඔරේන්ජ් බාර්ලි හරි චොකලට් හරි එක්ක අමාරුවෙන් බෙහෙත් පොවන්න. බෙහෙත් සේරම බිව්වොත් ඔලුව අතගාන්න.


අමුම අමු විකාරයක් විදියට පේන කෙල්ලෙක්ගේ මෙන්න මේ වගේ ඉල්ලීම් දරාගෙන ඉන්න.

“මට ඕනෙ බර්ත්ඩේ ප්‍රසන්ට් එක පේස්ට්‍රියකුයි, චොක්ලට් මෆින් එකකුයි.”

“වැකේෂන් ඉවරවෙලා එද්දි ඉරි වැටුන දිග සීනිබෝල අරන් එන්න හොඳේ. අර අපි චූටි කාලෙ තිබුනෙ. පාට පාට”

“මට කා එකේ මුලින්ම යන්න ඕනෙ පරණ කොට්ටාව පාරෙ අර එල්.ඊ.ඩී. ඩිස්ප්ලේ එක බලන්න. ඒක ප්ලේ වෙලා ඉවරවෙනකම් කවදාවත් බස් එක නවත්තන් ඉඳලා නෑ.”


කම්මැලි ටෙකි ටෙකි දේශණයක් අතරෙදි මම නිදා වැටෙන විදියටම, කවි ගැන, සාහිත්‍ය ගැන කරන දේශණේකදි එයත් නිදා වැටෙනව. ඒත්, කාලයත් එක්කම ආස්‍රැතියෙන් උරාගෙන වගේ හිටපු ගමන් මම අලුත් ඇන්ඩ්‍රොයිඩ් ඔපරේටින් සිස්ටම් එකක් ගැන පණ්ඩිත අදහසක් කියනවා, එයා රුසියන් කතාවක උපුටනයක් ගැන විස්තර කරනවා. 


කොහොමින් කොහොම හරි බස්සි පහුගිය සති දෙකේ අතුරුදහන් වෙන්න හේතු උනේ ඔන්න ඔය බසු පිස්සා එක්ක බසු මගුලක් ගත්තු නිසයි.


දැන් තියෙන්නේ පහුගිය දවස්වල බස්සි බිසී වීමට අදාල නිදහසට කාරණා දැක්වීම. බසුමගුලට අදාල කේක් පෙට්ටි නිර්මාණය, මංගල ආරාධනා පත්‍ර නිර්මාණය, පුංචි පුංචි සැරසිලි කටයුතු වගේම හෝම් කමින් සාරිය වර්ක් කලෙත් මම තුමිය තමයි. අන්න ඒ නිසයි පහුගිය කාලෙ කමෙන්ට් වලට රිප්ලයි වැටෙන්න පමා වීම් වගේ අතපසුවීම් සිදු වුනේ.


හෝම් මේඩ් කේක් සහ ඇසුරුම්

වර්ක් ඉන් ප්‍රෝග්‍රෙස්

ඉන්විටේශම සහ කේක් ඇසුරුම - day 01

මේ කෙහෙම්මල් සාරිය වර්ක් කරලා ඉවරවෙලා ගත්තු පොටෝව 
නෑ නෙව. හොයාගෙන දාන්නං හොඳේ?


ඉතින් ඒ අතපසුවීම් ඉවසා වදාරගෙන බස්සි එක්ක මේ තරම් දුර ආපු ඔයාල හැමෝටම ගොඩක් ස්තූතියි.





ප. ලි.

හෝම්කමින් කාර්ඩ්, කේක් ඇසුරුම් සහ සාරියේ වර්ක් එක නිර්මාණය කරන අතරතුරේ ෆොටෝ ඇල්ලුවත් ඒවා මේ මොහොතේ අස්ථාන ගතවී ඇති බැවින් අද සෑට ගෙදර ගිහින් ඒ පොටෝ ටිකත් අප්ලෝඩ් කරන්නම් ය.








Tuesday, February 10, 2015

කාර්ඩ්, වැලන්ටයින් සහ පඳුරු තැලීම්





මේ උදා වෙලා තියෙන්නෙ අවුරුද්දේ බොහොම වැදගත් කාලයක්. ඉස්කෝලෙ යන කාලෙනම් මගේ ඩිමාන්ඩ් එක ඉහල යන කාලෙ. කොහොමත් ඒ කාලෙ මං වැලන්ටයින් දවසට සතියකට විතර කලින් ඉඳන් හද්ද බිසී. එකා එකාගේ කාඩ් වලට මැසිම වගේ කවි ලියනවා, හද කම්පා වෙන පඬිවදන් ලියනවා එක විජ්ජුම්බරයයි . මගේ පූරුවේ වාසනාවට වෙන්නැති මගේ කවි බිසිනොස් හැකියාව යුනි එකේ කාටවත් මෙව්වා උනේ නෑ. 



ඔය වගේම ඩිමාන්ඩ් තිබුනා මගේ අතිජාත මිත්තර මලියාගේ මනරම් වැල් අකුරු ලිවීමේ හැකියාවට. කොහොමත් කොම්ප්ලිමෙන්ටරි සර්විසස් දෙකක් නිසා අපි දෙන්න ඉඳන් ඉන්නෙත් යාබද ඩෙස්ක් දෙකේ. මගෙ කඩෙන් කවිය ලියෝගෙන, මලියගෙ කඩෙන් අත් අකුරු හැඩගැන්වීම තමා සාමාන්‍යයෙන් සිද්ධ උනේ.


ඔය අතරෙ මාත් ලිව්වා කියාංකො එකෙක්ට කවියක්. මගේ අර වෙන්ඩකවියා ප්‍රතිභාව තව දුරුමිරිස් දාල අඹරලා  අතිවියත් ලෙස ව්‍යංගාර්ථ, උත්ප්‍රාස, අනුප්‍රාස දාල ලුණු වැඩිවෙච්ච හොද්දක් වගේ කවියක් ලිව්වා සාහිත්‍ය පංතියෙ උන්නු අහිංසකම කොල්ලට. උගේ වාසනාවට හා බස්සාගේ අවාසනාවට ඌට එදා ඒ  කවිය තේරුනේ නෑ. කොහෙ තේරුං යන්නද මටත් තාම තේරෙන්නෑ මං ඒකෙන් මොනාද කියන්න හැදුවෙ කියල.



ඒ කාලෙ ඔය DIY කන්සෙප්ට් එක කිසි වැදගැම්මකට නෑ. Handmade කිව්වම අපි "ඉතිං අපිට පාන්දෑ?" කියල අහන තත්වයක් තමා තිබුනෙ. කෝකටත් තෛලය වගේ කඩෙන් ගන්න තොරොම්බල් සුකුරුත්තම් කාඩ් අපිට හෙන වටිනව ඒ කාලෙ.


කියන්ඩ ගියේ DIY සහ හෑන්ඩ්මේඩ් ගැනනේ. මං හිතන්නේ කාර්ඩ් එකක වටිනාකම ආරෝහණ පටිපාටියට දැක්වුවොත් මෙන්න මේ වගේ,

කඩේ තොරොම්බල් > හෑන්ඩ්මේඩ් > DIY


ඔන්න ඔය සූත්තරේට දාලා කිරලා මැනල බලලා මාත් කාටහරි තෑග්ගක් දෙනකොට ඒකට DIY සුකුරුත්තමක් එකතු කරන්න අමතක කරන්නෙ නෑ.



ඉතින් මං හොඳටම දන්නවා එහෙම තෑග්ගක වටිනාකම. මට එහෙම තෑගි - මං කිව්වෙ කාර්ඩ් ලැබිල තියෙන්නෙත් අතේ ඇඟිලි ගානටත් වඩා අඩුවෙන්.



ආන්න ඒකයි මට අද මෙච්චර සතුටු. මේ බ්ලොග් එක හරහාම මාව අඳුනගත්තු නිසුපා අක්කා මට වැලන්ටයින්ස් ඩේ එක වෙනුවෙන් බසු කාර්ඩ් එකක් එවලා.  ඒ මදිවාට ඒක swing card එකක්. මං දෙවැනිවට ආසම කාඩ් ජාතිය. (මුලින්ම ආස බොක්ස් කාර්ඩ් වලට)







ඉතින් නිසුපා අක්කියා ඔයාට බොහොම ස්තූතියි. ඕං කාර්ඩ් හදෝගන්න උවමනා අය ඉන්නවනම් දැන් දන්නවනේ කාටද බිසිනොස් එක බාරදෙන්න ඕන කියලා.



මේ තියෙන්නෙ බසු ඇනිවසරියකට මං බස්සට හදා දුන්නු කාර්ඩ් එකක්. සිම්පල් pop - up card එකක් මේක නම්. නිසු අක්කා මේ වගේ පස් ගුණයක්වත් මහන්සි වෙන්න ඇති swing card එක වෙනුවෙන් නම්.








වැලන්ටයින් වෙනුවෙන් වැදගත් වෙයි කියල හිතෙනවා මං කලින් ලියාපු මේ ලිපි. පොඩ්ඩක් හොස්ස පොව්වලා බලාගෙනම ගියානං.




Friday, August 1, 2014

Mission බෙහෙත් hiding !!








මට බේත් බොන්න වෙලා…

ආයෙමත් මට ඒ හද කිලිපොලායන, බඩවැල් ඇඹරිලායන, අති ඛේදනීය, දුක්ඛදායක, ගුජුප්සාජනක අත්දැකීමට මූණ දෙන්න වෙලා.

මැරෙන්න ඔන්න මෙන්න වගේ ඇඳේ දපලා ඉන්නකොට අම්මයි තාත්තයි දෙන්න මාරුවෙන් මාරුවට කන ළඟ ඉඳන් කෑ ගහනව බෙහෙත් ගන්න යන්න ලෑස්ති වෙන්න කියල. ඒත් මම නෙමෙයි ඔය තර්ජන ගර්ජන වලින් සැලෙන්නෙ. කොහොමත් මම ඔය ලෙඩ කියන ජාතියට පොඩ්ඩක්වත් බයක් ඇති මනුස්සයෙක් නෙමෙයි.  

පුරසාරම් කියනව කියල හිතන්න එපා. ඒ මගෙ නිර්භීතකම.


ඔය නිර්භීත කමට අමතරව මට උපතින්ම උරුම වෙලා තියන රංගන ප්‍රතිභාව මගෙ පිහිටට එන්නෙ මේ වෙලාවට තමයි. ගෙම්බ පොලේ ගැහුව වගේ පොළවට සමාන්තරව පතබෑවිලා ඉඳගෙන ස්ථිරසාර, ප්‍රබෝධමත් හඬකින් “මට පුදුම තරම් සනීපයි. බෙහෙත් උවමනා නෑ මං හිතන්නෙ.” කියලා බොහොම සංවාදශීලී විදියට අදහස් ප්‍රකාශ කරන්න ලේසි පාසු නළුවෙකුට ඇහැකිය.


ඒ වුනාට අපේ තාත්තගෙ ඉවසීමේ සීමාව මගේ නිර්භීතකමයි, රංග ප්‍රතිභාවයි දෙකම අතික්‍රමණය කරලා නැගී සිටින වෙලාවට මාව ගෙඩි පිටින් කුදලාගෙන ගිහින් වාහනේට අතෑරලා අනුකම්පා විරහිතව ඇන්න යනව දොස්තරෙක් හොයාගෙන.


හැබැයි බේත් අරන් එනකොට ලැබෙනව අල්ලස් විදියට පෝර්ටෙලෝ බෝතලයක් හරි ඔරේන්ජන් බාර්ලි බෝතලයක් හරි. (මාතලන් බොස්ගෙ ඔරෙන්ජන් බාර්ලි කතාව තාම වේටින් ලිස්ට් එකේ වෙන්ටැ නේද? :P)
හැබැයි මම නෙමෙයි ඔය ඔරෙන්ජන් බාර්ලි බෝතලේකට යටවෙලා මගෙ ප්‍රතිපත්ති පාවා දෙන්නෙ. හූහ්…! හිතුව මදි මාව අල්ලසට යට කරන්න!







“හා. කතා ඇති, දැන් ඔය බේත් පෙති ටික බීල ඉන්න.”

මෙච්චර වැදගත් අතීතාවර්ජනයකට බාධා කරන්න මේ බස්සට කොහෙන් ආපු හයියක්ද මන් අහන්නෙ! ඒ මදිවට ලොකු බේත් පෙති මගෙනුත් නාහ දෙකට කඩලා. මගෙ පෞද්ගලික බේත් පෙති එහෙම කඩන්න බිඳින්න පුලුවන්ද?!


“පැනඩෝල් පෙති ඕන නෑ.”

“දැන් ඔයාද දොස්තර? මං හිතන් උන්නෙ දොස්තර කියන්නෙ අර ස්ටෙත් එක දාගෙන ලෙඩ බලපු මනුස්සය කියල”



ආහ්…! මගේ අල්ලස් වලට නොනැමෙන නිර්භීත රණකාමීත්වය නිසාම මම ලෙඩ ඇඳේ ඉඳන්ම පටන් ගන්නවා මගේ විප්ලවය. ඔව්, ඔයා හිතන එක හරි. මම උපතින්ම අරන් ඇවිත් තියනව අසාධාරණයට එරෙහිව නැගී සිටීමේ ගුණාංගය.


අන්තිමේදි අපේ අම්මටයි තාත්තටයි සිද්ධ වෙනව මාව මැඩපවත්වන්න අවම බලය පාවිච්චි කරන්න. ඔය මිෂන් එකට මාව බලාගන්න එන පේමා නැන්දත් හෙලුප් කරන එක තමයි මට ඉවස ගන්ඩ බැරි.

“ප්‍රේමා…. මෙන්න මේ කෙල්ලගෙ අත් දෙක අල්ලගන්න” අපේ අම්මගෙ ඕඩර් එක ලැබුන ගමන් බැටෑලියන් එකම මගෙ ඇඳ වටේට. ඔන්න අල්ලගත්තා අත් දෙකෙන්. ඌයි යකෝ…. නිකම් හතරවෙනි තට්ටුවට ගෙනිච්ච වගේ. හැබැයි මම සැලෙන්නෙ නෑ. මගෙ කට අගුලු දාල යතුර හංගල තියෙන්නෙ.

“තාත්තා අල්ලගන්න ඔය ලමයගෙ කටෙන්.
බේත් ගඳ ආපු ගමන් ඔය ළමය වමනෙ කරනව ඒ නිසා නහයත් වහන්න.”

අසරණ මම. හැත්තැ එකේ කැරැල්ලෙ විත්තිකාරයෙක් වගේ දස අතේ දෙපා ගසනවා. ටික ටික කටෙන් විතරක් හුස්ම ගන්න අමාරු වේගෙන එනකොටම;

අම්මගෙ විසාල පිත්තල හැන්ද කට කපලා පුරවාපු අප්පිරිය හිතෙන බේත් මිශ්‍රණයක් එක්ක වේගයෙන් මගේ මුව වෙත ළඟා වෙනව.







පිත්තල හැන්ද උගුරෙ ඇනෙනව. ඒ එක්කම අඬු දඬුවක් වගේ අතකින් මගෙ කට වැහෙනව.


ඇස් නිලංකාර වෙලා කලු පාට, රතු පාට බෝල බෝල පාවෙන්න ගන්නව. ඇන්න එතකොට මට ඇහෙනව වටේ ඉන්න බැටෑලියන් එකේ රණකාහල නාදය;

“ගිලින්න”

“ගිලින්න”

“ගිලින්න”

“ගිලින්න”




“මේ කරල් බොන්න බෑ බස්සෝ… ඔය ප්ලාස්ටික් කවර දිරවන්නැතුව බඩේ එකතු උනොත් එහෙම මොකද කරන්නෙ?”

මොන. බස්ස නෙමෙයි කනකටවත් ගන්නෙ.

“ආ… ඉස්සරවෙලා මේ චූටි පෙති ටික ගිලින්න.” චූටි පෙති හැටහුටහමාරක් අත උඩ. ඔව් හතරයි තමයි, ඒත් හතර කිවුවම මොකද හැටහුටහමාර කිවුවම මොකද! බේත් පෙති වලට ප්‍රමාණය වැදගත් කිවුවෙ කවුද?



මට සුපුරුදු ඇනිමල් ප්‍රෝටීන් ඇලජික් එක ආවම නම් මං කැමැත්තෙන්ම දොස්තර ගාවට යන්න ඉදිරිපත් වෙනව. මොකද මගේ දේහ පරිමාව සීග්‍රයෙන් ඉහළ යාම පාලනය කරන්න පෙති වලට බැරි බවත්, ඉන්ජෙස්සොන් එකක්ම විදින්න ඕන බවත් දොස්තර කියල තිබුන නිසා. ඔව් මම බය නෑ ඉන්ජෙස්සොන් වලට.  

දහසක් උල් ඉන්ජෙස්සොන්  හී තුඩු වලින් මගේ සම සිදුරු කරාපල්ලා,  
ඒත් බේත් වලට මගේ අසරණ උගුර තෙමන්න ඉඩදෙන්න එපා!


එදා කරුමෙට මගේ දේහ පරිමාව ඉහළ යන්න ගත්තෙ රෑ කෑමෙන් පස්සෙ. යනකොට සුපුරුදු දොස්තර මාමා දොයි. වෙන ආධුනික දොස්තර කෙනෙක් ඉන්නවා දොස්තරාසනාරූඪ වෙලා. 

“මේ මේ මේ…. එකපාරම ඉන්ජෙක්සන් එකට යන්නෙ නැතුව අපි පෙති දෙකක් බීල බලමුද?”

“බෑ ඩොක්ටර් මට අනිත් ඩොක්ටර් මේකට දෙන්නෙ ඉන්ජෙක්සන් එක.”

“අමාරු උනොත් අපි ඉන්ජෙක්සන් එකකට යමු. දැනට බේත් පෙති දෙකක්…..බ්ලාහ් බ්ලාහ් බ්ලාහ්”

මගෙ ස්ට්‍රෝබෙරි ගෙඩියක පාටට රතු වෙලා තිබිච්ච කන් දෙක තව රතු පාට වෙන්න ඉඩක් තිබුනෙ නෑ, නැත්නම් ඔය දොස්තරය දැන ගන්නව මගෙ හැටි.







“ඩොක්ටර් ඔයා එක්කො මට අර ඉන්ජෙක්සන් එක ගහන්න, නැත්නම් අම්මෙ අපි යමු ගෙදර, මාව ඉදිමෙච්චාවෙ.”

දොස්තර ටිකකින් පරාජය බාර අරගෙන, මගෙ නිර්භීත භාවයට හිස නමලා (බෙහෙත් පෙති සහ මම ගැන අපේ අම්ම ඩොකාට කටුකුටු ගාල මුකුත් කිවුවෙ එහෙම නෑ හරිද!) මට විජයග්‍රාහී ඉන්ජෙක්සන් එක ලබාදුන්නා.
 


“සුදු අයියෙ අප්පිරියයි.”

“අර වමනෙ පෙත්ත ඉස්සෙල්ලම බිවුවනෙ?  ඒක බිව්වනම් බය වෙන්න දෙයක් නෑ. ඔය ටික සේරම බොන්න හොඳ ළමය වගේ. ”

ඇයි දෙවියනේ බස්ස මේ බේත් පෙති ටිකටම ඇස් දෙක අලෝගෙන ඉන්නෙ? මේ මනුස්සයට බලන්න මොන තරම් සුන්දර දර්ශණ තියනවද වටපිටාවෙ!


වමනෙ පෙත්ත?  

මම හිතන්නෙ ඒකට ඒ නම කියන්නෙ ඒ පෙත්ත දැක්කම වමනෙට එන හින්දා වෙන්ට ඕනෙ. ඒක සුරක්ෂිතව මගෙ ටී-ෂර්ට් එකයි බඩයි අතරෙ තැන්පත් වෙලා තියෙනව. දැන් බස්සට වෙනසක් නොදැනෙන්න පරෙස්සමට වොෂ් රූම් එකට රිංග ගත්තනම් පෙත්ත ගුවන්ගත කරන්න පුලුවන්.


අපේ නංගි පොඩි කාලෙ මහ ඇම්බැට්ට කේලමා. ඕක මම අසනීප උන දාට ස්ව-කැමැත්තෙන්ම මගෙ කාමරේ අතුගාන්න බාරගන්නව විතරක් නෙමෙයි, පට්ට උනන්දුවකින් ඇඳන් යට, කබඩ් යට අතුගාන්නෙ. පෙති කෑලි අහුවුනොත් ආය කතා දෙකක් නෑ කෙලින්ම ඉහළ උසාවියට නඩු භාණ්ඩ විදියට බාර දීලම තමයි පස්ස බලන්නෙ.


අන්න ඒකයි මං ඕගොල්ලන්ටත් කියන්නෙ. සාක්කි අතුරුදහන් කරන්න කොමඩ් එක තරම් හොඳ උපකරණයක් ලොවෙත් නෑ!!!







“බීල ඉවරද?”

“ඉවරයි. මට අර චොකලට් එක දෙනවද?”

“පෙන්නන්න බලන්න සාක්කු.”

යකූ මුන් සේරම නායකත්ව පුහුණුව ලබලද! මම  බය නැතුව සාක්කු කණපිට හරෝල පෙන්නනව. බේත් සාක්කු වල හංගන්න! හැක්! ඒ හරක් විකුණලා ගොඩක් කල්!

මම වොෂ් රූම් එකට දුවලා බේත් ටික ගුවන්ගත කරන්න සූදානම් වෙනවා. කෝ අර වමනෙ පෙත්ත?


ඒක බඩට ඇලිලා….!
කුඩුවෙලා…..!!
චුරුචප්පන් වෙලා…..!!!


මගෙ බඩ ඇතුලෙ බුල්ඩෝසරයක් යනවා….
බුල්ඩෝසරේ ගලනාලෙ දිගේ ඇවිත්…. උගුර ගාවදි ඇංජිම රේස් කරලා….;

“ඕක් !!!”

“අනේ පැටියෝ ඔයා බේත් ටික වමනෙ කලාද?! අපි තව පැය බාගයක් විතර ඉඳලා ආයෙ වමනෙ පෙත්තක් බීල බේත් වේල බොමු.” බස්සා වොෂ් රූම්  එකේ දොරට එපිටින් ඉඳන් කියනවා.