Sunday, July 27, 2014

මැරුනත් සැපයි








ඔව් ඕයි
පට්ට ලස්සනයි

හැබැයි
දුර ඉඳන් බලන්න වෙයි
මොකද, ඔලුවෙ නයි

ඒකට කමක් නෑ ඕයි
කන නයෙක් කයි
ඒ තොල් මාර හැඩයි
ඉඹින්නම හිතයි
ඉන් පස්සෙ

මැ
රු
ත්

සැ
යි
...
..
.
.



Thursday, July 24, 2014

ටීන් බුක් සහ කවි ඉහෙන සපත්තුව



අහල තියෙනවද ටීන් බුක් (teen book) කියල ජාතියක්? ඒව ඉස්සර කෙල්ලො අතරෙ පැතිරිච්ච වසංගතයක් වගේ. ටීන් බුක් එකක තියෙන්නෙ ප්රශ්න ලැයිස්තුවක්. අවුරුදු දහතුනේ ඉඳන් දහනමය වෙනකම් (teens) තමයි ටීන් බුක් හදන්නෙ.





සමහර ඉස්කෝලවල ඕකට ටීම් බුක් (team book) කිවුව කියලත් පස්සෙ කාලෙක කැම්පස් යාලුවො එක්ක වල්පල් කියවද්දි දැනගන්න ලැබුනා. ඔව් ඉතින් ඒකත් නරකම නෑ නේද? ටීන් බුක් ලියන්න වයස් සීමාවක් තිබුනට ටීම් බුක් ලියන්න එහෙම බාධාවක් නෑ නෙව.


ඔය ටීන් බුක් වල තිබුන ප්රශ්ණ බහුතරයක් එකම සෑම්පලේ එවුව. හැම ටීන් බුක් එකේම එකම උත්තර ටික කොපි පේස්ට් කරන්නත් පුලුවනි ඕනෙනම්. බස්සිට ඉතින් ඒ කාලෙ ඉඳන් සොල්දරේ අප්සැට් නිසා අධ්යාපන කටයුතු කවදා කොරන්න බැරිද කියල හිතල පට්ට උනන්දුවෙන් ඔය ටීන් බුක් වලට අමුතු අමුතු නිර්මාණශීලී සහ කොරවෙන ප්රශ්ණ අහනව ඒ කාලෙ.


ඔය ටීන් බුක් වල ප්රශ්ණ බොහෝවිට ගොඩනගන්නෙ “කැමති සහ අකැමති දේ කියන රාමුව උඩ. ඔය හැම ටීන් බුක් එකකම ලියවෙන කොමන් ප්රශ්ණ කිහිපයක් තමයි;


කැමතිම කෑම?
කැමතිම බීම?
කැමතිම සිංදුව?
කැමතිම සබ්ජෙක්ට් එක? අකැමතිම සබ්ජෙක්ට් එක?

ඔන්නොය වගේ පිස්සු ප්රශ්ණ.


හැබැයි ඉතින් ඕවට පිස්සු ප්රශ්ණ කියන්නත් බෑ මොකද තමන්ගෙ මිතුරු කවයේ රුචි අරුචිකම් දැනගෙන ඉන්න එකම කොයිතරම් වටිනවද!


පඳුරු තැලීමට තිත! 
මොනාද මම මේ ලියන මල-සමයන්-විගඩම්-විකාර !  


මම කියන්න හැදුවෙ මගේ ප්රියතම බ්ලොග් අඩවිය ගැන.





මලමගුලයි! මම ප්රිය කරන බොලොග් අඩවි හැටහුටහමාරක් තියෙනෝ නෙව. කෝමද මේ අතරෙන් එකක් තෝරගන්නෙ!

බලමු . . . . .


මම කැමතිම සිංදුව මගේ ඕනෑම අවුල් මූඩ් එකක් ෆික්ස් කරනවා.

මම කැමතිම නවකතාවෙ ඕනෙම පිටුවකින් පටන් අරන් ඕනෙ තරම් වෙලාවක් ඒ ඇතුලෙ අතරමං වෙන්න මම පට්ට ආසයි.

මම කැමතිම ෆිල්ම් එකේ ඕනෙම කොටසක්, ඕනෙම තැනක ඉඳන්, ඕනෙම ඩිවයිස් එකකින් බලන්න මම ආසයි.


අන්න ටිකැට් එක! 
මට හමු උනා ඒක!

රසී, එයා කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියන්නවත් මම දන්නෙ නෑ. ඒ වර්චුවල් කවිකාරිය (හෝ කවිකාරයා.) මාව මෝහනය කරල තියෙන්නෙ. මගේ මොබයිල් එකේ බුක් මාර්ක් කරගෙන ඉන්න එකම බ්ලොග් එක, “සින්ඩරෙල්ලාගේ සපත්තුව”

ඔව්.  ඒ කවි පට්ට රහයි.


රසීගේ බොහෝ කවි කෙටියි. වදන් සරලයි. හැබැයි සමහර දාට රසී ලියන පේළි තුනහතරක් ගැන මම මුලු උදේ වරුවම වරින් වර කල්පනා කරනවා.

ඉස්සර ඉඳන් බ්ලොග් ලියන අය සින්ඩරෙල්ලාගේ සපත්තුව හඳුනනවා, ඔවුන්ගේ අදහස් අතරින් පතර කවියක් හමාර වන තැන් වල සටහන් වෙලා තියෙනවා.

මේ බ්ලොග් අඩවිය මූණු පොතේ share වෙනවා මම දැක නැහැ. අහම්බෙන් දවසක් දේශා මූණු පොතේ අලවාපු link එකකිනුයි මම ඒ කාව්‍යාරණ්‍යයට පාර හොයා ගත්තෙ.



ඊයෙ රසී කියනවා මෙහෙම.


සුමිතුර,
සපැමිනෙන්න
පිටදී මල් හලන ගසකට
ඇහුම්කන් දෙනු පිණිස
මම මා කියවන අයුරු .

මෙතෙක් නොකියවූ ඡේද
තරමක් ඉහළ ස්වරයෙන්ද
සෘංගාරාත්මක කොටස්
ඉතා රහස් හඬකින්ද
මා කියනයුරු අහගන්න.

ප්රකාශයට පත්කර ඇති
ප්රසිද්ධ පරිච්ඡේද
නොකියවමි නැවත.
විනිශ්චය කර ඇති හෙයින්
මීට පෙර.

වෙහෙසක් දැනේනම් ඔබට
නැගිට යා හැක නොකියාම.
අදහස් දක්වණු පිණිස
හිස් පිටු කීපයක් ඇත ඉතිරිව.



ඉතින් මං ලියල ආවා මෙහෙම;


සුමිතුර
ඔබ ඔබව පබඳින්න
පිටදී මල් හලන ගසකට
මම අසා සිටිතැයි නොසිතාම

නොයා ඉන්නට බැරි නම්
නැගිට යන්නෙමි නොදොඩාම
ඔබේ කවිකම් දැහැනට
හුස්මකින්වත්
අකුල් නොහෙලාම

ඉසිඹුවක් ලද ඇසිල්ලේ
යලිදු එන්නෙමි පෙරසේම
පිටදී මල් හලන ගසකට
ඇහුම්කන් දෙනු පිණිස
ඔබ ඔබව කියවනයුරු

ඔබේ කවි පේලියක් ඇතුලෙන්
මම මාව දකිනා ඇසිල්ලක
හිස් පිටක සටහන් තබන්නෙමි
මුවින් වදනක් නොදොඩාම

සුමිතුර
ඔබ ඔබව පබඳින්න
පිටදී මල් හලන ගසකට
මම අසා සිටිතැයි නොසිතාම



රසීගේ බොහෝ කවි වලට මාතෘකාවක් නැහැ. මාතෘකාවක් දෙන්නත් බැහැ.


එකල එතරම් වැසි තිබුනෙ නැත.
මල් කුඩයක් යට තුරුළුව
ඉඟවටා අත යවා ඇවිදින්න
මඟ බලා සිටිමුත්
එකල එතරම් වැසි තිබුනෙ නැත

------------------------------------------------

නාඳුනන
කෙස් ගසකි
කබා කර මත.
හෙට උදෙත්
බත් බඳිමි
පුරුදු වූ ලෙස.

------------------------------------------------

සුළඟ පොල් අතු මෑත් කර නොදී
ගෙට එනු බැරිය
සඳ එලියට

------------------------------------------------

ලෝකයම පාට කල හෙයින්
දෙවියන්ට පාට මදිවිය.
එහෙයින්ම එතුමා අවර්ණය.
දැනෙනවා පමණි.
නොපෙනේ!

------------------------------------------------

පාළු ගොම්මන
ළදැල්ලක් සැලෙන හඬ.

 නින්ද ගිය හාන්සි පුටුව
ඉස්තෝප්පුවක කෙලවර.

------------------------------------------------



------------------------------------------------


උස කුඩයක් යයි
දකුණු පැත්තට
වැඩිපුර ඇලවී!




මගේ ටේස්ට් එක ඔබේ ටේස්ට් එකට වඩා වෙනස් වෙන්න පුලුවන්. ඒත් මම ආයෙමත් කියනවා, මේ කවි ඇතුලට මදක් එබී බලන්න. මිනිත්තුවක් කියවා වරුවක් හිතන්න දේවල් ඇය ඇයටම ආවේණික රටාවකින් ලියනවා.






Monday, July 21, 2014

~ අරුන්දතී ~









අරුන්දතී,

ඔව්.
උඹ කෙල්ලෙක්. 
ගමෙන් නගරෙට ආපු කෙල්ලෙක්.
කැම්පස් ආපු කෙල්ලෙක්.


මාස තුන හතරක වෙලේ හිට,
නිතර නුඹ මා ඇමතුවා.
කඳුලු හිරවුනු පෙම් කතාවක්,
උඹට ඇති බව පැවසුවා.

මගෙ බැචෙක් ඌ – උඹත් එහෙමයි
මෙතෙක් කල් මං ඉවසුවා
සද්ද නොකරම – මැද්දෙ ඉඳගෙන
හිත හැදන්නට තැතනුවා....


අරුන්දතී,

උපාධියකින්,
විෂය දැනුමෙන්,
ඔලුගෙඩිය බර වුන පමණකින්,
හතර වරිගෙම
එතෙර කරන්න
බෑ මචං.

පොළවෙ දෙපයම තියල බලපං
හොඳට ඇහිපිය ඇරල බලපං
මම කියාපුව උඹම දැකපං


මලට බඹරුන් ඇදී ආවට – උන්ගෙ වරදක් නෑනෙ බං
උඹෙත් වරදක් නෑ මචං.
මාස ගානක් එකම මල වට
රැඳුන එකමත් මදිද බං
අපිත් ඉඳගෙන – එපා වෙනකම්
ඌව මැඩවෙව්වා මචං
උඹත් දන්නව – ඒව ඉවසං
කට්ට කෑවා ඇති තරං


අන්තිමේ උඹ අවුට් වෙන්නට 
ඔන්න මෙන්නැයි උන් වෙලාවේ
අහපු ගමනින්, නොහිතු විලසට, 
ආදරේ දුන්නලු මචං

නෝක්කාඩුත්, නීති රීතිත්, 
සති දෙකෙන් පැනවුන වෙලාවේ
හුස්ම හිරවෙන්නට කලින් ඌ 
උඹෙන් සමුගත්තලු මචං


අනිත් අයටත් පේන්නට මෙය ලියන්නම උඹ කියනවා
ඉතින් මං මේ ලියනවා
ලියල අහවර උන නිසා මම තව කතාවක් කියනවා
උඹට අහගෙන ඉන්න හැකිනම්
මේ ටිකත් හරි වටිනවා


උඹ දැකලවත් තියෙනවද අරුන්දතී,
ප්‍රොජෙක්ට් එක මැද,
පුංචි පැටියෙක්,
කුසේ දැරුවා අපේ එකියක්!

වෙන එකෙක්ගේ අඩුව කාලා
ඉතිරියට ටැප් වතුර බොන උන්!
මහපොළෙන් මව්පියො රකින උන්!
ඒ අපේ උන්!

ඉගෙන ගන්නට කාසි නැති තැන
එකම කුඹුරත් තියා උගසට
සින්න උන කුඹුරේම අඳයට
වැඩ කලා ඉස්සර එකෙක්! 
අපේ එකෙක්!


පියෙක් නොමැතිව පුතෙක් රකිමින්
ලෙක්චර්ස් යන එන ගමන්
ඒත් අපේ උන්!



සමාසිකයක් අගේ පෙන්නා
හද විවර කර සති දෙකෙන්
මෝඩ බඹරා යන්න ගිහිනුත්
වසරකට කිට්ටුයිනෙ දැන්


පොළවෙ දෙපයම තියල බලපං
හොඳට ඇහිපිය ඇරල බලපං
උඹම විඳපං - උඹම දැකපං





""කඳුලු තියෙන්නෙ පරිස්සමට ඇහේ තියාගෙන ඉන්න නෙමෙයි.
කඳුලට ඇස් කෙවෙනි වලින් එලියට 
කාන්දු වෙන්න ඉඩදෙන්න.
දූවිලි, විශබීජ සේරම එලියට ගලාගෙන ගියාම
උඹට පාර පෙනේවි ලස්සනට.
මේ වංගුවක් විතරයි අරුන්දතී
අවසානය තව බොහොම දුරයි.""



Thursday, July 17, 2014

මැන්ටල් ද? (Are you craZy???)



මැන්ටල් ද???


ඒක මට නුපුරුදු ප්රශ්ණයක් නෙමෙයි. ඇත්තම කිවුවොත්, මගෙ නමටත් වඩා අහල පුරුදුයි. ඔය ප්රශ්ණෙට මම හැමදාම දෙන්නෙත් එකම පිළිතුරක්.

ඔව්. මැන්ටල්!

එහෙම කියල මෙහෙමත් අහනව.
අද ද දන්නෙ? අයියූ..”






මැන්ටලේ කියන්නෙ මොකද්ද කියල ඇහුවම ගූගලය කියන්නෙ “දුම් කවුලුව කියලයි. “උඳුන් හිස කියලත් කිවුව. හැබැයි අපි ජෛව විවිධත්වය ප්රැක්ටිකල් එකකදි අර ජරා ගඳ ගහන බෙල්ලො වගයක් ඇඳල උන්ගෙ කවච ලකුණු කලෙත් මැන්ටල් කියල.

ඒ කියන්නෙ බෙල්ලන්ටත් මට වගේම මැන්ටල්ද?
වෙන්ඩ බෑ.




කම්මැලිම කම්මැලි බයෝජියෝග්‍රැෆි පාඩමක් වෙලාවෙ යන්තමට ඇහුන මතකයි පොළව වටවෙලා තියෙන්නෙත් මැන්ටල් එකකින්ය කියල කවුදෝ මන්ද ප්රොෆෙක් වයිට් බෝඩ් එකට උගන්නනව 

අර්ත් මැන්ටල්? 

යකෝ ඒ කියන්නෙ පෘතුවියටත් පිස්සුද? එහෙනම් මට පිස්සු හැදෙන එක අහන්නත් දෙයක්ද.






විභාගයක් අත උඩට එනකම් බලන් ඉඳල කලින් දවසෙ රෑ එලි වෙනකම් පස්ස උඩ තියන් පාඩම් කරද්දි අපේ අම්ම අහනව මැන්ටල්ද කියල. එතකොට තාත්ත කියනව මැන්ටල් නේන්නම් ඔය පිට්ටනි හොයනව කියල.


හැබැයි ගස් යටයි බැමි උඩයි ඉඳගෙන ස්ට්රයික් කාලවලට දවස් ගණන් කාලෙ කන්න අකමැත්ත ප්රකාශ කලාම යාලුවොත් අහනව මැන්ටල්ද කියල. කැම්පස් ජීවිතේ ආතල් එක ගන්න නොදන්න තොට මැන්ටල් කියනව. ඕනෑවට වඩා මොලේ වෙහෙසවල මැන්ටලයක් වෙයි කියනව. 


එහෙම කියන උන්ම ලෙක්චර්ස් කට් කරල පනින දවසටත් බනිනව තොට මැන්ටල් කියල. ඩිග්රිය අල වෙයි කියනව. එක්සෑම් ඇන වෙයි කියනව. ආයෙම අහනවා තොට මැන්ටල්ද කියල.

අද්ද දන්නෙ? අයියූ..”
මං සුපුරුදු විදියට අහනව.







ඔය මැන්ටල් කියන වචනෙ වෙනුවට සමහර යාලුවො කියනව පිස්සා කියල. බස්ස නම් කියන්නෙ පිස්සි කියල. ගිය සතියෙ අපි රෑ වෙනකම් ෂොපින් රස්තියාදුවක් ගැහුව. ගෙදර යන්න බස්සෙකට නැග්ගම මම ම සීට් එකක් තෝරල ඉඳගත්ත. මොකද බස්සෙකේ සෙනග සූ ගාල දෙතුන්දෙනෙක් ඉන්නැති වැඩිම උනොත්. ඔන්න ටික වෙලාවකින් සෙනග පිරුණ. බස්සෙක පිටත් උනා.

ඒ එක්කම මහ වැස්සක් කඩාහැලෙන්න ගත්ත.


එතකොට තමයි අවබෝධ උනේ මම පස්මහ බැලුම් බලල බස්සවත් ඇදගෙන වාඩිවෙච්ච සීට් එක ගාව ශටර් එකට උඩින් තියන කෑල්ලෙ වීදුරුව රහත් වෙලා බව. 

ඔව්, ඔව් ඒ වීදුරුව රහත් සැටිපිකේට් එක ගන්න හාමුදුරු සර් කෙනෙක් ගාව බාවනා ක්ලාස් යන්ඩ ඇති. ඛොහොමින් කොහොම හරි වීදුරුව නැති නිසා සීට් හතරක විතර පලාතක් තෙමෙනව.


තෙමෙන කොල්ලො කැප් දාගන්නව

තෙමෙන කෙල්ලො 
ලේන්සු, ස්කාෆ් ඔලුවෙ ඔතාගන 
අර රහත් උනු වීදුරුවට රවනව.

ඊට පස්සෙ විනාඩියෙන් විනාඩියට 
වයිපරේ ඔන් කලා වගේ අතපය හතරම හිටු කියල පිහදානව. 
ඒ මදිවට එකාවන්ව අර වීදුරුව ගැලවිච්ච තැන 
දවා හළුවෙන බැල්මන් හෙලනව. 
මෙන්න මේම;





ඔය අව්අස්සෙ මං මොනා කලා කියලද හිතන්නෙ සුපින්වතුනි?


මන් අපේ බසු මනුස්සයගෙ අත කොනහ කොනහ පෙන්නුව, පාරෙ වාහන වල ලයිට් එළියට වැහි බින්දු දිලිසෙනව. පට්ට ලස්සනයි. 
ඒ දිහා බලන් ඉන්නකොට අර වැහි පොදේ වදිද්දි මාම ජොලි. 

මමත් ඉතින් සැරෙන් සැරේ රහත් උනු වීදුරුවට ඉස්කෝතුයි කියන්නැහෙ උඩ බලනව මේම මේම;




ඔන්නොය වෙලාවෙ බස්සත් හෙමීට කනට කරල අහනව මගෙන්

ඇත්තටම මැන්ටල්ද?”




ඔන්න දවසක් අපේ කිරිහාමියයි, ජෙස්මියයි මායි ෆිසික්ස් ක්ලාස් යන්ඩ කලින් අපේ ජනප්රිය කූල් ස්පොට් එකකට ගොඩවැදුන බීම බොන්න. ඔය කාලෙ අලුත් ට්රෙන්ඩ් එකක් තිවුන ඉක්කෝලෙ අරන් යන්නෙ චුට්ටිත්තන් සයිඩ් බෑග් මල්ලක්. 

එතකොට පොත්? 
. එව්ව අතේ. 
පොත් වලට පට්ට ගති පිටකවර එහෙම දාල ශෝ එකට අතේ අරන් යනව.


ඔන්න බීම බීල අපි තුන්දෙනා කඩෙන් එලියට බැස්ස. හැබෑට මොකද මේ මිනිස්සු මගෙ දිහා අමුතු විදියට බලන්නෙ? කින්ඩි හිනාවකුත් දානව කොල්ලො එහෙම.


අන්න එවෙලෙ තමයි දැනගත්තෙ මං අතේ අරන් ගිය පොත් දෙක කඩේ තියල බීම බෝතලේ තුරුල් කරන් පාරෙ ඇවිදන් යන බව.







අනේ ඉතින් මෙව්වා කියල මොකට නානවද!


අම්මා ළඟදි දවසක් තාත්තගෙ බත් එක බෙදල කිවුව මේක කෑම මේසෙ උඩින් තියල වහල තියන්න, මේ පොල් එක ෆ්රිජ් එකට දාන්න කියල. තාත්ත කන්න ඇවිත් බලද්දි පොල් බෑවක් තියෙනවලු මේසෙ උඩ ලස්සනට වහල, වතුර වීදුරුවකුත් ළඟට කරල.
එතකොට කෑම එක?


ඒක ෆ්රිජ් එකේ තිබිල අරන් විසික්කා කොලා නෙව.



හොඳ විස්වාසෙට ගන්ඩ ආයිබෝං, අද උදේ අයි ඩී එක බෙල්ලෙ එල්ලන් හිටු කියල ෆෝන් එක අතුල්ලනව ඔෆිස් එකේ දොරක් ඇරගන්න. ඇන්තිමට මා කෙරෙහි අනුකම්පාවෙන් එතනින් ගිය සිකුරුට්ටියෙක් ඇහැවුව මිස් ඔය අතුල්ලන්නෙ අයි.ඩී. එක නෙමෙයි නේද කියල.






ගෙයින් එළියට යනකොට දොර ඇරල යතුර හංගල යන මිනිස්සුත් ඉන්නව හරිය? මීට කලින් දැකල නැත්තං හොඳට බලාගන්න.



එතකොට බස් එකට නුගේගොඩින් නැගල නුගේගොඩට ටිකට් ඉල්ලන මිනිස්සුන්ව මීට කලින් දැකල නෑ නේද?

කොන්ද කට ඇරන් බලන් ඉඳල ‘නුගේගොඩට??” කියල අහද්දිත් ඌට රවල “ඔව් ඔව් නුගේගොඩට තමයි” කියල අවධාරනය කරන මිනිස්සුන්ව? 

දැකල නැත්තං මෙන්න ඉන්නව හොඳට බලාගන්න ඈ….



ඉතින් මට මැන්ටල්ද???


පිස්සුද?

මං බෙල්ලෙක්වත්, ග්‍රහලෝකයක්වත් නෙමෙයිනෙ.
ඉතින් මට කොහෙද මැන්ටල්?


මටත් හිතෙන්නෙ ඒකමයි. 
උඹල ඔක්කොටම 
මැන්ටල්!









Tuesday, July 15, 2014

ඔක්කොම එකයි!







වෙනස් වාගේ පෙනුනට
උඩින් තවරා ඇත්තේ
එකෙක හැඩයට
එකම සායම


අහා...! වෙනසද?
එකෙක් මොට්ටයි
එකෙක් පට්ටයි
එකෙක් තියුණුයි, බෝම කට්ටයි


ඔක්කොම එකයි
හැබැයි
වෙනස්ම වෙනස්!






Friday, July 11, 2014

පෙරමුණේ රාලගේ කළගෙඩි නැටුම (ඉක්කෝලෙ කතා)



ඔන්න අදත් පෙරලන්න යන්නෙ ඉක්කෝලෙ කාලෙ මතක පොතේ සොඳුරු පිටු කිහිපයක්.




ඔය ඉක්කෝලෙ කාලෙ කියන්නෙ ඉතින් ආය ජීවිතේ සැහැල්ලුම කාලෙ නෙව. ‍යාලුවො ඕනෙ තරම්, අනික ඒ කාලෙ ඉන්න යාලුවො කියන ජාතියෙ හිත්වල කිසි කහටක් නෑ. කාලයත් එක්ක ඔවුනුත් වෙනස් වෙනව තමයි නොවැලැක්විය හැකි විදියට. මුත් ඒ මතකයන්ගේ සුන්දරත්වය නම් චුට්ටිත්තක්වත් අඩු වෙලා නෑ.  මතකයන් කවදාවත් වෙනස් වෙන එකකුත් නෑ.


ඒ කාලෙ බස්සිට හිටපු යාලුවො සෙට් එකේ දෙන්නෙක් ගැන දැනටමත් පෝස්ට් දෙකක් ලිවුවනෙ. 
නොබලපු අයට මෙතනින් ගිහින් කියෙවුවැකි.





ඔය යාලුවො සැට් එකේම උන්නු තවත් පොරක් තමයි මලියා කියන්නෙ. ඕනෙ දේකට උඩ පැනගෙන ඉස්සරහට යන නිසා (අධ්‍යාපනය හැර අනිත් සියලුම නසරානි වැඩ සඳහා.) 
අපි මූට පෙරමුණේ රාළ කියලත් කිවුවා.


මලියා අපේ දහදෙනාගෙ සැට් එකේ හිටිය, තරමක් වලි බර චරිතයක්. වැඩකිඩ සියල්ලම කොල්ලෙක් වගේ. යාලුවො වෙනුවෙන් පණ  උනත් දෙන, ඕනෑවටත් වඩා හිත හොඳ යාලුවෙක්. ඒත් දැන් නම් පොර අපිට මේල් එකක්, ඇස්.ඇම්.ඇස්. එකක්වත් එවන්නෙනැතුව රුසියාවට වෙලා ඩොට්ටර් කෙනෙක් වෙන්න ඉගෙන ගන්නවාලු ඉතින්. හැබැයි මලියා එහෙ ඉඳන් හොරෙන් හොරෙන් බස්සිගේ නවාතැනට එබෙන බව මම දකිනවා බ්ලොගේ ස්ටැට් වලින්.








මලියා මගේ යාලුවෙක් වුනේ අපේ දහදෙනාගෙ සැට් එක ස්ථාපිත කරන්නත් කලින් ඉඳන්. හරියටම කිවුවොත් දහය වසරෙදි. මලියා  ඒ කාලෙ ආවෙ අපිත් එක්ක එකම ලිට් ක්ලාස් එකට. ක්ලාස් එක තිවුනෙ මලියාගෙ ගෙවල් ගාව නිසා මූ තමයි අපිට ඉඳගන්න තැන් බුක් කරලා තියාගන්නෙ.


ඉතින් ඔන්න ඔය කලාස් එකටම තමයිලු අර පුරාණ ක්‍රෂ් එකත් ලිට් ඉගෙනගන්න ආවෙ. ඒ කේස්  වලට මලියා සහ අනිත් එවුන් දක්වාපු අප්‍රතිහත සහයෝගය ගැන පස්සෙ වෙලාවක කියන්නම්කො. (අප්‍රතිහත සහයෝගය කිවුවට ඉතින් මුන් මාව කාපු එක තමයිදුන්නු සහයෝගෙ. විලිලැජ්ජාවෙ සන්තෝසෙ බැරුවා.)


මලියාටත් තිවුනා මට වඩා දරුණු ක්‍රශ් එකක්. ක්‍රශ් එකක් විදියට ආරම්භ උනාට ඕක හැප්පිලා Crushවෙලා වැඩේ වෙනම මෙවුවා එහෙකට පෙරලුනා. අනේ අම්මෝ ඒ මෙවුවා එක පටන් ගත්තාට පස්සෙ අපේ කන ඩි වලට පුදුම සනීපයක් තිවුනෙ පොරගෙ වරුණාව අහල. කෝල් එකක් එහෙම ආපු දවසට ඉතින් අපි වසලා හමාරයි. මූ ෆෝන් එක ට්‍රීං…ට්‍රීං…. ගාපු තැන ඉඳන්, කෝල් එක කට් වෙලා බීප් බීප් ගාන තැන දක්වා සවිස්තරාත්මක විස්තර ප්‍රකාශයක් නිකුත් කරනවා අපි වෙනුවෙන්.






විස්තර ප්‍රචාරය නම් මදැයි. අපූරුම සීන් එක තමයි ඔය විස්තරේ කිවුවාට පස්සෙ මගෙනුයි, කිරිහාමියගෙනුයි, බැටිස්ටාර්ගෙනුයි මාරුවෙන් මාරුවට ඌ අහන අනිත් ප්‍රශ්ණෙ.

“ඉතිං මේ ගැන ඔයාලට මොකද හිතෙන්නෙ?”


අපේ මල පැනීමේ උච්චතම අවස්තාවට ළඟා වුනත් මලියා එතනින් උත්සාහය අත අරින්නෙ නෑ.

“මට ඒ ගැන හිතෙන්නෙ මෙන්න මෙහෙමයි.” 

කියලා පොර සම්පූර්ණ ෆෝන් කෝල් එකම ගැන සාහිත්‍යමය විචාරයකුත් ඉදිරිපත් කරනවා අපූරුවට.






මලියගෙ කටත් ඒකාගෙ වැඩ වලටම හරියනව. මම හිතන්නෙ මලියගෙ වැඩ වලින් වැඩිපුරම බයිට් වුනේ 10/11 වසරවලදි අපේ පන්තිය භාරව හිටපු මැත්ස් ටීචර්. මලියගෙ තාත්තත් මැත්ස් ටීචර් කෙනෙක් නිසා ඒ මිස්ට මූ කරන නසරානි වැඩ වලට තදින් දඬුවම්කරන්න උවමනාව තිබුනත්, මිස් එහෙම කලේ නෑ.


අපේ මැත්ස් ටීචර් පොඩි පොඩි සිඟිති ආතල් ගන්න හරිම මනාපයි. ඉතින් දවසක් අපි එකොළහ වසරෙ ඉන්නකොට ටීචර් අත්පුඩි ගගහා මෙන්න මේම අහනවා.


“අපි සෙල්ලමක් කරමු ළමයි? කියන්න බලන්න ඔයාලා දන්න ලොකුම ඉලක්කම? ලොකූ….ම ඉලක්කම කියන එක්කෙනා තමයි දිනන්නේ….” මිස් වචනෙන් වචනෙට අත්පුඩි ගගහා කියන්නෙ හරියට තුන වසරට තිවුන පාඩමක් වැරදිලා අපිට උගන්නන ගානට.





ඉස්සරහම ඉන්න මුට්ටි ඩයල් ටිකටත් හොඳ පල්ලම. එකා දෙන්නා දැන් පස්ස බාගෙට උස්ස උස්ස උත්තර කියනවා. මලියටත් අපිට වගේම වැඩේ දිරෙවුවෙ නෑ. ඌ ඉතින් සුපුරුදු එරවිලි මුඩ් එකෙන් සීන් එක බලාගෙන ඉන්නවා.

“මිලියනයයි මිස්!”

“මීස්….. බිලියනයයි!!”

“මීස්…මිස්, මිස් ට්‍රිලියනයයි!”


මිස් දැක්කා මලිය සද්ද නැති බව.


“තාත්ත හෙන මැත්ස් කාරය උනාට දුව උත්තර දෙන්න දන්නෙ නෑ වගේ! නේද…?” මිස් ඇදලා පැදලා සැරසුනේ මලියට බයිටක් දෙන්න.. 

“කියමු බලන්න තාත්තගෙ නම්බුව බේරගන්න.”

මලිය නැගිට්ටා.

නහුතෙ

“මොකාක්?”

නහුතෙ! ලෝකෙ තියන ලොකුම ඉලක්කම නහුතෙ.!!”



Largest known prime number




මලියාට තිවුනු තවත් සුවිශේෂ හැකියාවක් තමයි කඩදාසි සුරුට්ටු බීම. ගින්දර එක්ක කරන සෙල්ලම් වලට පරාණ බය මට ඉතින් ඒක සෑහෙන මැජිකක්. ඔය කඩදාසි සුරුට්ටුව හදාගන්නෙ පොතක මැද පිට්ටක් කඩලා ඒක ගානට රෝල් කරගෙන. ඔය වැඩේකරන්නෙත් බොහොම හොරෙන් ටීචර්ලා එනවද කියලා ඔත්තු බලන්නත් කස්ටියව තියලයි.


මලියා වැඩි හරියක් කොරන්නෙම ඉතින් මාත් එක්ක ඇර ගන්න එකම තමයි. මොනා හරි මගුලක් කරලා මාව අවුස්සන එක තමයි ඒ කාලෙ උන්දැගෙ විනෝදාංශෙ. ඌ කියන විදියට එහෙම වෙලාවට මටත් ‘නහුතෙට’ තද වෙනවලු. ඉන් පස්සෙ මම තරහ පිටකරගන්න අඩියක් හප්පල වටයක් දුවනවලු. වටයක් දුවල එද්දි තරහ නිමිලලු. ඔය අඩිය හප්පලා වටයක් දුවල එන පුරුද්ද ජෝජ් එලියට්ගේ “Mill on the floss” කතාවෙ මැගී ටුලිවර්ටත් තිබුන නිසා Lit ක්ලාස් එක ඉවරවෙනකන්ම මාව බයිටට ගන්න එක තමයි මුගේ  සහ අපේ යාලුවො රැලගේ පුරුද්ද.



Tom and Maggie


මලිය ගාව ගොඩක් ප්‍රශ්ණ වලට විසඳුම් තිබුනා, සමහර විසඳුම් කොන්වන්ට් එකක මල් වගේ (පිටසක්වල ජීවීන් වගේ – ශානු අක්ක කියන හැටියට.) ළමයින්ට ගැලපුනේ නෑ. ගුරුවරුන්ට දිරෙවුවෙත් නෑ. හැබැයි වැඩක් කලොත් කලාම තමයි. ආයෙ කතා දෙකක්නෑ.


ඔන්න එක පාරක් අපිට සයන්ස් යූනියන් එකේ උත්සවයකට පුන්කලස් වගයක් හදන්න වුනා. මලියා තමයි සයන්ස් යූනියන් එකේ සභාපති තැන්පත් තුමා. මේ යකා කලින් දවසෙ රෑ හතහමාරට විතර කෝල් කරලා මට පොල් මල් ගේන්න කියලා මාත් අපේ තාත්තගෙන්හොඳවායින් බැනුමුත් අහගෙන කොහොම හරි කුකුළත් අතින් අරන් වත්තෙ වැඩ කොරන මනුස්සයෙක්ව හොයන් ගිහින් පොල් මල් කප්පවාගෙන, ස්කූල් වෑන් එකෙන් බැහැපු අවස්ථාවේ සිට කොලු කුරුට්ටන්ගේ දහසක් අපහාස උපහාස මැද්දේ අභීතව පොල්මලත් කරේ තියාගෙන පන්තියට සම්ප්‍රාප්ත උනා කියමුකෝ.


ගිහින් පුන් කළස් හදන්න යද්දි තමයි දෙලෝ රත් උනේ. 
පුන්කළස් අටවන්න කළගෙඩි නෑ.

වෙලාව හතහමාරට විතර ඇති, 
නවයහමාර වෙද්දි වැඩේ ඉවර වෙන්න ඕන.

මලියා මගේ අවලාද මැද ටිකක් වෙලා නළල රැළි ගහගෙන කල්පනා කලා. ඊට පස්සෙ මගෙ අතින් ඇදන් කෙලින්ම දිවුවෙ ඉස්කෝලෙ එක අන්තයක තියන නැටුම් කාමරේට.

ගිහින් මිස්ගෙන් කළගෙඩි ඉල්ලුවාම පෙන්නුව පරණ මැටි කළ වගයක්. වැඩේ හරියන්නෙ නෑ, ඒව ගැලපෙන්නෙ නෑ. ආපහු හැරිල එන්න යද්දි ආවා තව නැටුම් ටීචර් කෙනෙක්, මෙහෙම කියාගන.


“අන්න පළාත් තරඟ වලට ගෙනියන්න සරසපු ඇලුමිනියම් කළගෙඩි ටික තියනව පොඩි නැටුම් කාමරේ. මෙන්න යතුර.”


සරසපු ලොකු ඇලුමිනියම් කළගෙඩි….. මම ඉතින් මිස්ට අහිංසක ඉල්ලීමක් ඉදිරිපත් කරන්න හිතාගෙන ශ්‍රෙක්ගෙ පූසා වගේ බලන් ඉන්නකොට;





මෙන්න 
මූ මගෙ අතෙන් ඇදන් 
දුවපි ඉස්කෝලෙ එහා කෙලවරේ තියෙන 
පොඩි නැටුම් කාමරේට.



දැන් උදේ රැස්වීම පටන් අරගෙන. සැරසිලි වැඩ එතනම. ඒ ගමන මූ මාවත් ඇදගෙන ගියා බොටනිකල් ගාර්ඩ්න් එක පිටිපස්සට. අන්තිම ළමයත් ගියාට පස්සෙ පොර ආව එලියට. නැටුම් කාමරේ ජනේලය පරණයි. මෙන්න මේ යකා ලීයකින් ගහලා, ඇණයක් දාලකරකවලා ජනේලෙ අගුල පන්න ගත්ත.


“ලෑල්ලක් හොයපන්කෝ…”


ලෑලි කෑල්ලක් හොයාගෙන බිත්තියට හේත්තු කරපු පොර ඊගාව මොහොතේ ජනේලය ඇතුලෙන් අතුරුදහන් උනා. විනාඩි දෙකක් ඇතුලත එළියට ආවෙ ලස්සන කැටයම් අලවලා රිදී පාට ගාපු ලොකු කළගෙඩි දෙකක්.




ඉන් පස්සෙ අපි එක හුස්මට නැවතුනේ ලැබ් එක ගාව. එක ජාතියෙ කුරුල්ලො එකට එකතුවෙනෝ කියන්නැහෙ අපේ ජාතියෙ එවුන් තව දොළොස්දෙනෙක් විතරම එසෙම්බ්ලි එක කට් කරලා හිටියා. දඩි බිඩි ගාල සැරසිලි වැඩ සේරම අන්තිම මොහොතට තත්පරයක් කලින් ඉවර කරල වැඩේ ගොඩදැම්මා කියන්නකෝ.


ඊට පස්සෙ තමයි භාරදූරම කාර්යය, ඔය කළගෙඩි දෙක ආපහු තිබ්බ තැනටම වඩම්මවන්න එපැයි.






කළගෙඩි දෙක අතට ගත්තු කිරිහාමියව බිත්ති කොනකට මුවා කොරලා අපි සේප් එකේ රබර් ඇහැ දාල බැලුවා නැටුම් කාමරේ දිහාට. 


නැටුම් මිස් සාරිය කැහැපොට ගහගෙන හිටු කියලා නැටුම් කාමරේ දෙවනත් කරගෙන කළගෙඩි හොයනවා. නැටුම් කණ්ඩායමේඋනුත් මල අතේ අරන් හතර අතේ දඟලනව. ඒ වෙලාවෙ කිරිහාමියව උන්ට අහු වුනානම් ආයෙ දෙකක් නෑ ටොම්ව හෙක්ටර්ට අහු වුනා වගේ මනස්කාන්ත දර්ශනයක් බලාගන්න තිබුනා. කොහෙද ඉතින් මේ ඇස් පින් කරලා මදිලු ඒකට.


පස්සෙ කට්ටියම මං හිතන්නෙ යම් සම්මුතියකට එළඹිලා එකාවන්ව ලොකු නැටුම් කාමරය බලා පිටත් වුනා. මිස් දොර ලොක් කරලා යතුර ඉනේ ගහගත්තත් එක්කම නැට්ටුවො රැළ මිස්ගෙ සාරියෙ එල්ලිලා පේළියට පස්සෙන් වැටුන.


අපි වහාම කළ දෙක සුපුරුදු ජනේළයෙන් දඩාං ගාල බිමට අතෑරලා දිවුවා දිවිල්ලක් උසේන් බෝල්ට් හිටියනම් අම්මප අපෙන් ටියුෂන් ගන්න එනව.


ඕං එහෙනම් ඉක්කෝලෙ කාලෙ කතා ටිකක් ලියන්න කියල කිඹුල් ශානු අක්කා නාහෙන් අඬ අඬා කරපු ඉල්ලීම මම ඉටු කළාලු හොඳේ...