Showing posts with label බස්සිගේ විස්මලන්තය. Show all posts
Showing posts with label බස්සිගේ විස්මලන්තය. Show all posts

Saturday, January 28, 2017

සුදු පසුබිමේ හඬලන උදාරම් නිල් කුකුළා - GLF2017



සුදු පසුබිමක උදාරම් ලීලාවෙන් නැගී සිටින්නේ නිල් පැහැ කුකුළෙක්. ඒ තමයි අපි ගාලු කොටුවට ඇතුල් වූ තැන. කුකුළත් අතෙන් අරගෙන හතටත් කලින් අපි පාදුර්භූත වී තිබුනේ ගාලු සාහිත්‍ය උළෙලට.


පාර දෙපැත්තේ ඉහළ නැගුණු විසිතුරු කොඩි. ඒ අතරේ ගුම් නගන්නේ නිල් පැහැ ටී ෂර්ට්වලින් සැරසී උදැහැනැක්කේම වැඩ ඇල්ලූ, ගැටවර පොදි. ගාලු සාහිත්‍ය උළෙලට ඇදෙන රසවතුන් එන්න එන්නම ගණනින් වැඩි. ඒ නොදැක්කා වගේ මනාල යුවල් කැමරාවලට හිනාවෙන්නේ හිතට ගෙන එඩි.


අපි ඇදෙන්නේ කොටු පවුර පැත්තට. උදා  හිරු කිරණින් නැහැවුණු පඩි එකින් එක තරණය කරමින් ඉහළටම නැඟ පහල ඇත්තේ මොනවාදැයි බලන්නයි අදිටන. ඔන්න, එක්වරම එතන පහලව ඇත්තේ සුරපුරය!


ලා නිලෙන් දිදුලන සුපැහැදිලි මුහුදු දිය. ඒ මැදින් තැනින් තැන සුපුෂ්පිත කොරල් මල් ය. නො එක් පැහැ මාළු ඒ අතර ලලිත ගමනින් සක්මනක. සුරපුරට හිස පොවන්නට කැමැත්තෝ, ස්නෝර්ක්ලින් ආම්පන්න ඇඳ පැළැඳ විසල් ආඳා මාළුවන් මෙන් පිහිනුම් රස්තියාදුවක.


ඒ සෙනසුරාදාවක්. ගාලු සාහිත්‍ය උළෙලට අළුතෙන්ම එක්වුණු ‘සිංහල සාහිත්‍ය වැඩසටහන්’ යෙදී තිබුණේ එදාට. ඉතින් අපි දැන් චර්ච් ස්ට්‍රීට් පසු කර ‘හෝල් ඩි ගෝල්’ වෙත එලැඹෙන්නේ රෙජිස්තර වෙන්න. ඒ ඉදිරිපිට සිනා පපා මග බලා උන්නේ ‘අමිලානිය’. 



මිල ගෙවා ඇතුල් විය හැකි වැඩසටහන් ද, නොමිලේම සහභාගි විය හැකි රස කැටිතිද, සමෝසමේ ලැයිස්තුගත කල පොත් පිංච අතට ලැබෙන්නේ ‘ඒ චීස් කනවද – මේ චීස් කනවද’ හිත හිත තාවර වෙන තැනට අපිව ඇද දමමින්. සිහිල් තුරු හෙවන යට, වෛවර්ණ බීන් බෑග මත වැතිරගත් රසවතුන්ගේ සාහිත්‍ය සංවාද මණ්ඩප පහු කරගෙන අපි ඇදෙන්නේ ‘මැරිටයිම් මියුසියම’ වෙත.


ජස්ට් ඉන් ටයිම් – ‘නූතන කවියේ හරස්කඩක්’ සංවාදයට.

සුනන්ද කරුණාරත්න, කල්පනා ඇම්බ්‍රෝස්, ඉසුරු චාමර සෝමවීර, ලියනගේ අමරකීර්තිගේ සංවාද මෙහෙයවීම මැද තම තමන්ගේ කවි රෙසිටේෂන් ඉදිරිපත් කරමින්, ප්‍රශ්ණවලට අව්‍යාජ පිළිතුරු ලබාදෙමින්, අසන්නන්ගේ පැනවලට හයේ හතරේ පහර එල්ල කරමින්.




ඉන් පස්සේ සිංහල දිනයේ යෂ්ඨිය බාර ගන්නේ අනෝමා රාජකරුණා. ‘සිංහල නවකතාව සහ කාන්තාව’ ගැන කතාකරන්න ඈ එක්ක එකතු වෙන්නේ සුනේත්‍රා රාජකරුණානායක සහ සේපාලි මායාදුන්නේ.

සුනේත්‍රා ඇගේ ‘කෘත්‍රිම දූපත්’ නවකතාවේ කොටස් කදිමට හඬ නඟා කියවනවා. මට මතක් වෙන්නේ ගුවන්විදුලි හඬ නළුවක්. “ගෑණු කියලා තමන් ඇතුලෙම හිරවෙන්න එපා. ලියන්න – ලියන්න – නිදහසේ ලියන්න. ඔය හිරවෙලා ඉන්න තැනින් එළියට එන්න.” කියන සුනේත්‍රාට මම පාවෙන හාද්දක් යවනවා.




ඒත් එක්කම ඇරඹෙන්නේ ෆෙයාවේ සාහිත්‍ය සම්මානයට නිර්දේශිත නවකතාවල කතුවරුන් සමඟ කෙරෙන සංවාදය. අධික කුසගින්න නිසා අපි මැරිටයිම් මියුසියමෙන් එළියට බැහින්නේ කෑම සුවඳට නාසා සුසර කරගෙන. මෙන්න! කොළඹ ඉඳන් ගාල්ලට ඇවිත් ‘ගුඩ් මාරකැට්ටුව’! 


“හැමදාම කන ජාති නැතුව අද වෙනස්ම වෙනස් දෙයක් කමුද?” පුංචිම පුංචි කූඹිත්තෙක් සයිස් වුනාට කල්පනා ඇම්බ්‍රෝස්ට තියෙන්නේ ලොකූම ලොකු බඩගින්නක්. පේලියට හිටගෙන අපි දිහාට විරිත්තන වෙස් මූණු එක්ක වුනත් හිනාවෙන්නේ ඉසුරු. ‘ටින්ටස් ඇණ සමග බෝල සබන්’ වර්ගයේ කෑමක් හොයාගෙන ගියත් අන්තිමට අපිට කන්න වෙන්නේ පොල් සම්බෝල එක්ක චීස් පුරවපු රෝස්ට් පාන් සැන්ඩ්විච්. රොමෑන්ටික් පාට ස්ට්‍රෝබෙරි-දෙහි කැලතුමකින් රෝස්ට් පාන් ගලනාලය දිගේ පහලට තල්ලු වෙලා යනවා.





අර ඉන්නේ ‘දමිත්’. ‘තෙමි තෙමිම මම’ ලියපු දමිත් උදයංග දහනායක! ඉන් පස්සේ හැමෝම කලාතුරකින් අල්ලාගන්න ලැබෙන මේ කවියා එක්ක සල්ලාපයක. ලියනගේ අමරකීර්ති, අනුරසිරි හෙට්ටිගේ, ටෙනිසන් පෙරේරා, එරික් ඉලෙයප්පාරච්චි, කමල් පෙරේරා, දේ.වි. ගාල්ලගේ, භූපති, සුනේත්‍රා, පියසීලි විජේමාන්න, ප්‍රභාත් ජයසිංහ, දිලීප අබේසේකර, ශෙහාන්, පියල් කාරියවසම් ආදී මෙකී නොකී ලේඛක ලේඛිකාවන් වටා රොද බැඳගත් සාහිත්‍යලෝලීන්.


කාංචනාව දකින දකින වාරයක් ගානේ සැලියුට් ගහන්නේ ශ්‍යාම් සෙල්වදොරෙයි! ඒ කියන්නේ අර හැමෝම එක්ක හිනාවෙමින්, පිටට තට්ටු කරමින් සැහැල්ලුවක් කරේ ලාගෙන ඇවිදින කෙට්ටු මනුස්සයා ශ්‍යාම්ද!


‘නූතන සිංහල කෙටිකතාවේ තේමා ප්‍රවේශයන්’ ගැන කතාකරන්නේ ප්‍රභාත් ජයසිංහ සමඟ පියසීලි විජේමාන්න. සාකච්ඡාව මෙහෙයවීම පියල් කාරියවසම්. “මකර තොරණ කෙටිකතා එකතුව මා විස්මපත් කලා.” මම ප්‍රභාත් හොයාගෙන යන්නේ ඒ ගැන කියන්නයි. “මේ බස්සිද?” තමන්ගේ ප්‍රියතම ලේඛ්හකයෙක් බොහොම සාමාන්‍ය විදියට එහෙම අහනකොට අමන්දානන්දයට පත් නොවී ඉන්නට පුළුවන් අයත් ඇතිද?




සිංහල දිනය හමාර වෙන්නේ ‘චයිනමන් නවකතාව සහ එහි පරිවර්තනය’ මැයෙන් හර්ෂණ රඹුක්වැල්ල මෙහෙයවන සංවාදයෙන්. ශෙහාන් කරුණාතිලක සමග දිලීප අබේසේකර පන්දුවෙන් පන්දුවට නොබිඳෙන සබඳතාවයක් පවත්වා ගනිමින් ප්‍රේක්ෂකාගාරය රස ගුලාවක ගිල්වමින්. ඒ හැර යන්නට සිත් නොදෙයි. තව ඇබින්දක්, ඇබිති විනාඩි පහක්, අනේ තව තත්පර දෙකක් ශෙහාන්ගේ කතා අහගෙන මැරිටයිම් මියුසියම් පොළොවේ මුල් අදින්නම හිතෙයි.




ලිප්ටන් තේ කාමරය එන්න එන්නැයි අතවනයි. තේ පුසුඹ දාහය තවාලයි. ලා කොළ පැහැ උණු උණු තේ ය. වීදුරු තේ බඳුන් තුළ ගිලී දියවී මැරෙන්නට හිත හදාගත් අයිස් කැබැලි ය. අඹ, අන්නාසි, දොඩම් රසයෙන් රසකල සීත තේ ය. එහෙව් තේ බඳුන් මැද පාට පැන්සල්වලින් සහන් කසීරගේ ආලේඛ්ය සිතුවමක් අඳින මයන්ත පෙරේරා ය. චිත්‍රයකට වුනත් හැඩට ඉන්නට ඕනෑ බව කියමින් කොලරය සකසා විලවුන් තවරන සහන් කසීර ය.


ඔය සේරෝම කලබල අතරේ තේ කාමරයෙන් පැනනගින්නේ උමාරියා සිංහවංශ. අත්පොළසන්ද, ඔල්වරසන්ද මැදින් තේ සුවඳ හා කැලතී ගලන්නේ ගිටාරෙක තත් පිරිමැදෙන මුදු සුමුදු හඬ. උමාරියාගේ මනබඳින රන්ස්වර. යලියලිත් ගිගුම් දෙන ඔල්වර හඬ.




ඉතින් ඒ තමා ‘ගාලු සාහිත්‍ය උළෙල’. කොළඹ කේන්ද්‍රීයයි කියා බැණුම් අහන සිංහල සාහිත්‍ය ගාල්ලට ගිය දුලබ අවස්ථාව. සාහිත්‍යයට නියම ‘මිලක්’ ඇති බව දැනගන්නත්, ඒ ‘මිල’ ගෙවන්නට තරම් උනන්දු රසවතුන් පොදි පිටින් කොළඹින් පමණක් නොවෙයි ඉන්දියාවෙනුත්, ලෝකයේ තවත් බොහෝ අහුමුළුවලිනුත් ගාල්ලට එක් රැස් වූ හැටි දැකගත් දවස. ලබන වසරෙදිත් එලැඹෙන තුරා, පුල පුලා බලා ඉන්නා දවස!



(සේයාරූ සඳහා සාදර අනුග්‍රහය, කාංචනා අමිලානි කරුණාමුනි මෙනෙවිය විසිනි.)


Thursday, March 24, 2016

රන් මාළු




රන් මාළු පීනන්න පටන් ගත්තෙ කොයි වෙලාවෙද කියන එක ගැන මට පැහැදිලි ගනිච්චියක් තිබුනෙ නැහැ. කොහොමත් මම ඒ කාලෙ ඇහැ කන පියාගෙන පාඩුවේ ජීවත් වුන, කුසීත ළමේක්. ඉස්කෝලෙදි, සටහන් පිටපත් කිරිල්ලයි, ද්‍රව්‍ය බලා ඇඳීමයි, අසා ලිවීමයි ඇරෙන්න කිසිම ප්‍රබෝධයක් දැනෙන දෙයක් කෙරුනේ නැහැ.  ඒකෙන් වෙන්නේ ඕනෙම ළමේක් අනුන් තමන්ගෙ කර උඩ බලෙන් පටවන රාමුවකට හිරවෙච්ච බිත්ති සැරසිල්ලක්, එහෙමත් නැතිනම් මැටි මල් පෝච්චියක් වෙන එක.


පෞද්ගලිකව මගේ වැඩි කැමැත්ත තිබුනේ බිත්ති සැරසිල්ලක් වෙන්න. එකම ඇණයක එල්ලිලා, තනි පාට බිත්තියක් උඩ වැතිරිලා ඉන්න එක හිතට වගේම ගතටත් සැනසිල්ලාවයි. මල් පෝච්චියක් වුනාම එහෙම බෑ. බර උහුලන්න පුරුදු වෙන්න ඕනෙ. බූව තියෙන මල් නටු, නහය හකුළුවන තණකොළ, මාරු කරන්න අමතක වෙච්ච පල් වතුර වගේ කාරණාවලින් හිත නොරිද්දාගෙන සීරුවට, විනීතව, තනි කෙලින් හිටගෙන ඉන්න ඕනෙ. සේරටමත් වඩා අමාරු දරාගන්නට බැරි තරම් බරක් පැටවුනාම, එහෙමත් නැත්නම් දැනුවත්ව හෝ නොදැනුවත්ව පා පහරක් වැදුනම ඇතිවෙන ඉරිතැලුම්. සමහර ඉරිතැලුම් කවදාවත් පිටට පේන්නෙත් නෑ. ඒවා මල්කම් ලියකම් කැටයමක කොටසක් වගේ පෙනිලා ඇහැ රවටන සුළුයි. ඒ ගැන හිතද්දිත් කොන්ද දිගේ සීතලක් ඇදීගෙන එනවා වගේ හැඟීමක් දැනෙන්න ගන්නවා.


ගෙදරදි වුනත් මට කරන්න එහෙමකට වැඩක් තිබුනෙ නෑ. ඒ නිසා මුළු වෙලාවෙම මම කලේ කෝඩීලියා ආර්යාවගේ දිග කොණ්ඩෙ මාරුවෙන් මාරුවට, තනි කරලට සහ කරල් දෙකට ගොතන එකයි, ලිහන එකයි. කෝඩිලියා ආර්යාවගෙ අතපය රෙදි. කොණ්ඩෙ තද කළුපාට කැටිනූල්. ඇස් දෙක අහස් නිල් පාට බොත්තම් දෙකක්. රතු ප්ලැනල් රෙදි කෑල්ලකින් චූටි කටක් මහල තිබුනා. කොයිවෙලාවෙත් හිනාවෙන චූටි කටක්.


කෝඩිලියා ආර්යාව ඇස් ඇරියේ පුදුම තරම් සාමාන්ය දවසක. එයා බොත්තම් ඇස් දෙක ඉහලට උස්සනකොට ෆ්ලැනල් රෙදි නළලේ හරස් අතට ඉරි හතරක් ඇඳුනා. ඉන් පස්සේ එයා අර චූටි කට පොඩිත්ත පළල් කරලා අපූරුවට හිනා වුනා.


ලස්සන වසිලිස්සා බෝනික්කාගෙන් උදව් ගත්තේ පාන් කවලා, වතුර බොන්න දීලා බව මට මතක් වුනේ ඒ වෙලාවෙ. බෝනික්කෙක් වුනත් නිකම් උදව් කරන්න කැමති නැහැ. නිකම් උදව් කරනවා කියල හැමතැනම කියකියා යන අය තමයි භයානක. එයාලට ඕනෙ අතපත ගෑමක්, හාද්දක්, අඩුම තරමේ තුරුල් වෙලා කම්මුලට කම්මුල තියාපු සෙල්ෆියක්. ඉතින් මම තීරණය කලා කෝඩිලියා ආර්යාවට ඉස්ඉස්සෙල්ලාම කේක් කෑල්ලක් දෙන්න. පස්සෙ ඕනෙමයි කිව්වොත් සෙල්ෆියක් ගන්න උනත් බැරිකමක් නෑ.


ඉස්කෝලෙ නොයන නිසා බෝනික්කන්ගේ ආහාර පුරුදු ගැන එයාලට චෝදනා කරන එක නරකයි. චොකලට් කේක් කුඩු මූණ පුරාම තැවරිලා බටර් පාට ෆ්ලැනල් රෙදි ලා දුඹුරු පාටක් ගහලා තිබුනා.


“රඩ්මාළු පීඩඩ්ඩයි යඩ්ඩෙ”

කෝඩිලියා හකු අතරේ එහාමෙහාවෙන විසාල කේක් කෑල්ලක් අතරෙන් කිව්වා. මට මුකුත් කියන්ට එපා. මෙහෙම හැසිරෙනවද ආර්යාවො? කට පියාගෙන ඉන්නකම් කෝඩිලියා කියන්නෙත් ආර්යාවක් තමයි. ඒත් දැන් ඈ කතා කරන්න පටන් අරගෙන!


ඊළඟ සතියේ සඳුදා ඉස්කෝලෙ පරණ ළිඳ ගාවදි මට රන් මාළු මුණගැහුනා. ජ්‍යෙෂ්ඨ පංතියේ ඇලෙක්ස් විකාර විදියට වම් ඇහැ පුංචි කරලා මගේ උරහිසෙන් ඇද්දා. හරියටම ඒ මොහොතේ රන්මාළු අහිනක් මගේ බඩ ඇතුලේ එහාට මෙහාට දඟලන්න වුනා. ඔක්කාරෙට ආවත් ඒක දරාගන්න සිද්ධවුනේ පරණ ළිඳක් කියන්නේ ප්‍රේමණීය තැනක් නිසයි. ඇරත් මම හිටගෙන උන්නේ විනිවිද පේන කිරිකවඩි වගාව උඩ!


එදායින් පස්සේ චිත්‍ර පාඩමේ ද්‍රව්‍ය බලා ඇඳීමට හැමදාම තිබුනේ රෝස මල්. ඉඳහිට තේ පෝච්චි තරම් විසාල සූරියකාන්ත මලුත් නොතිබුනා නෙමෙයි. රතු පෑනෙං හරි දාලා ලකුණු දුන්නේ ඇලෙක්ස්. මුලදි මුලදි මම ලකුණු එකතුකරලා ගණන් තියාගන්න පුරුදු වෙලා උන්නත් කාලයක් යද්දි මට ගණන් වැරදෙන්න පටන් ගත්තා.


"ගඬන් වරඩ්ඩඬ එක ගෑඬුළමයෙකුට ජීවිත අවදාඩමක්!" කෝඩිලියා කට දෙපැත්තෙන් බටර් විස්කෝත්තු කුඩු විසුරුවමින් කිව්වා.


අසා ලිවීමේ තිබුනෙම සමනල්ලු ගැන. පිටපත් ලියද්දි අකුරු වෙනුවට සංඥා භාෂාවල් පාවිච්චි වුනා නිතරම. හැම පිටුවක්ම පටන් ගත්තේ ‘සදාකල් ආදරෙනි’ කියන හෙඩිමත් එක්ක. කලාකාමී ගතියක් පේන්න මම අමාරුවෙන් වැල් අකුරු ලියන්නත් පුරුදු උනා. කප්පරක් වැඩ රාජකාරි මැද්දෑවෙ කෝඩිලියාගෙ කොණ්ඩෙ පීරන එක අමතකම වෙලා ගියා. හැඩපළු ගෙතුන කොණ්ඩෙකුත් එක්ක ඈ දවසින් දවස මහත් වෙන්න පටන් ගත්තා. මම 'මාළු සහ සලාද කොල සමග පළතුරු යුෂ' ඩයට් එකට මාරු වුනා. ඉක්මනින්ම ග්‍රීවාස්ථි ඉල්පිලා බෙල්ල දෙපැත්තෙ නොගැඹුරු පොකුණු දෙකක් හැදුනා. දිලිසෙන රන් මාළු කීපදෙනෙක් පොකුණුවල පදිංචි වෙන්න කැමැත්ත පලකලා, කුලී ගෙවීමේ පදනමට.


දැන් හඳ පායන්නෙ රෝස පාටට. ඒක නියමයක්. නියමයක් බිඳෙනව කියන්නෙ බය වෙන්න ඕනෙ දෙයක්. ඒ නිසා මම බය වෙනවා. අත්ල සීතල කරගෙන ටිකක් ගොතගහනවා. රන්මාළු පීනන්න ගත්තට පස්සේ හැමතිස්සේම ජීවත් වෙන්න වෙලා තියෙන්නෙ අවදානමක් අතේ දරාගෙන.


මාළු මැරෙන්නත් බෑ, ටැංකිය බිඳෙන්නත් බෑ, පොකුණු ගොඩවෙන්නත් බෑ. අඩුම තරමෙ වතුර බිංදුවක් හැලෙන්නවත් බෑ. අලි කෙලියක්නෙ යකෝ මේක!


Saturday, March 12, 2016

නෙළුම් පිපෙන්නලු යන්නෙ!






නෙළුම් මල් පිපෙන්නලු යන්නෙ! එහෙමයි හැමතැනම කතාව පැතිරුනේ.


“නෙළුම් පිපෙන්නේ මඩේ නේද? ඉයැහ්!” තඩි හිමවළහෙක් මූණ හපුටු කරන් ඇහැව්වා. “ඇරත් මේ අයිස් කඳු දියවෙන අව්අස්සේ ඔය ජෝගි නටන්ඩ පුළුවන්යැ අපිට”


නාකි පෙන්ගුයිනයෙක් හැරමිටියෙන් හිම වළහගෙ ඇලපතට දෙපාරක් ඇන්නා. තුං පාරක් අහක තිබුනු හිම කුට්ටියකටත් ඇන්නා. ඉන් පස්සේ ටිකක් සැරට උගුර පෑදුවා.


“ඕයි. නෙළුම් කියන්නේ මඩේ මුල් ඇදලා හීන් දිග නැට්ටකින් උඩ ඇවිල්ලා වතුරකවත් නොගෑවි පිපිලා හුළඟෙ නටන මහ විස්වකර්ම මල් ජාතියක්.”


බ්ලොගර්, වර්ඩ්ප්‍රෙස් ජනතාව කලබලෙන්! පීසීවල, ලැප්ටොප්වල විතරක් නෙමෙයි ටැබ්වල, ස්මර්ට් ෆෝන්වල පවා නෙළුම් පිපෙන්ඩ අරං.


“මේ මොන මල උලව්වක්ද?!” උකුසු හොට කැබුසුවෙක් මූණ නොරොක් කරගෙන කියනවා. “ඔෆිස් ලැප් එකේ නෙළුං පිපුනොත් හෙම මගේ බ්ලොක්ගල් කරුමාන්තේ මුළු ඔපීසියටම නෝණ්ඩි වෙයි.”


ඒ අස්සෙ නාට්ටි. සංවාද, කොමඩි, ස්පීච් වගේ සුකුරුත්තං ගොඩක් ගැන තැන තැන කතා බතා ඇහෙනවා. බ්ලොක්ගල් කරුමාන්තේ කරන එව්වන්ගේ පොත් සල්පිලකුත් තියෙනවලු. බ්ලොගාලට තමන් ලිව්ව පොත් එතන විකුණන්න තියන්ඩත් කිසි තහංචියක් නැහැලු.


නිවේදක තැන ගෙන්නුවේ රුසියාවෙන්. ඌට කවුරුත් කිව්වේ ලව් පූසා කියල. වැඩේ වැඩි බර ඇද්දේ අජිත් ධර්මා. තව විසාල බැටෑලියන් එකක් උන්නා උන්දැගෙ පිටිපස්සෙන්. එයින් සියේට අනූවක්ම බ්ලොගාල.


නෙළුම් පූජාව මාර්තු විසිහයවෙනිදට දමාගත්තේ එදා සෙනසුරාදාවක් නිසා. මීඩියා මිනිස්ට්‍රියේලු වැඩේ සිද්ධ වෙන්නේ. දවල් දෙක වෙද්දි එතනට එන අයට බුල්ටෝ එක ගානේ දෙනව කියලත් කියනව. දෙකහමාරෙන් පස්සේ බුල්ටෝ බෙදන්නෙ නැති නිසා මමත් හිතන් ඉන්නෙ හරියට වෙලාවට එතෙන්ට යන්න.


ලැප්ටොප්වල මල් පිපෙන එක අවුල්ද? ඒ වුනාට මල් පිපුනම බ්ලොක් ගල් පැක්ටේරියම සුවඳයි. ඒ හින්දා අපිත් යං. ගිහිං බුල්ටෝ කාල ප්ලේන්ටි බීල එමු. වැඩි විස්තර මෙතනින් බලාගන්ට.


පින්තූරෙ උඩ කෙටුවොත් ෆේස්බුක් ඉවෙන්ටුවට යතෑකි.




Monday, December 28, 2015

බිසිනොස් කතා, පොටෝ කතා සහ තවත් කතා






ඉතා කලබල බසු සිහින ගැන පසුවදනක් සටහන් කරන්න හිතාගෙන හිටියත් වැඩේ දවසින් දවස කල් ගියා. අන්තිමේ මටත් කලින් ෆේස්බුකේ, බ්ලොග් අවකාශයේ සහ පුවත්පත්වල ඉතා කෙටි කලබල සිහින ගැන පසුවදන් තුඩින් තුඩ විසිරෙන්න අරගෙන තිබුනා.


උත්සවය අවසන් වෙනවාත් එක්කම හැමෝම අහපු ප්‍රශ්නයක් තමයි පොත මිලදී ගන්න තියෙන්නෙ කොහෙන්ද කියන එක. ඔන්න, ඉතා කෙටි කලබල සිහින දැන් දිවයින පුරා සරසවි පොත් හල් වලින් මිලදී ගන්න පුළුවනි. ඔබේ නගරයේ සරසවි පොත් හලට ඉතා කෙටි කලබල සිහින තවමත් ඇවිත් නැත්නම්, නුගේගොඩ සරසවි ප්‍රධාන කාර්යාලයෙන් පොත ගෙන්වා දෙන්නැයි අදාල ශාඛාවේ කලමනාකාරතුමාගෙන් ඉල්ලන්න.




පොත් සාප්පු ගානේ රස්තියාදු වෙන්න කාලය හිඟ උදවිය වෙනුවෙනුයි මේ සේවාව. ඔබට පුළුවනි 1010 5323 4403 දරණ සම්පත් බැංකු ගිණුම් අංකයට රුපියල් තුන්සියයක් තැන්පත් කරලා අදාල රෙෆරන්ස් නම්බර් එක sammani.premaratne@gmail.com යන ඊමේල් ලිපිනයට හෝ බස්සිගේ ෆේස්බුක් ඉන්බොක්සුවට එවන්න. බස්සිට පුළුවනි ඔබට පොත තැපැල් කරන්න.


එහෙම එවද්දී

1. මුදල් තැන්පත් කිරීමේ කුවිතාන්සියට අදාල අංකය 
(reference number)

2. කුවිතාන්සියේ ඡායාරූපයක් (හැකිනම්)

3. ඔබේ ලිපිනය

4. බසු සමරු සටහනක් අවැසිනම්, ඔබේ මුල් නම.

සටහන් කර එවන්න අමතක කරන්න එපා.


postage ගෙවලා අත්සන් සහිතව කෙටි කලබලයක් ලබාගන්න කැමැති, සයුරෙන් එතෙර රටවල මිතුරෝ වෙත්නම්, sammani.premaratne@gmail.com යන ඊමේල් ලිපිනයට හෝ බස්සිගේ ෆේස්බුක් ඉන්බොක්සුවට මැසේජයක් තියන්න. පොත එවන ක්‍රමයක් බලමු.


(පෝස්ටුව ශෙයාර් කරන්න. නොදන්නා අයටත් දැනගන්න.)



ඉතා කෙටි කලබල දෙසුම්


උත්සවයේදී පැවැත්වුන ඉතා කෙටි කලබල දෙසුම් තුන අන්තර්ජාලයට මුදාහැරියේ එය ඔබට ප්‍රයෝජනවත් වේවියැයි හිතුන නිසයි.


හෂිත අබේවර්ධනගේ දෙසුම - මෙතැනින්





අනුරසිරි හෙට්ටිගේගේ දෙසුම - මෙතැනින්




සෞම්‍ය සඳරුවන් ලියනගේගේ දෙසුම -  මෙතැනින්







ඉතා කෙටි කලබල ෆොටෝ කෑලි




මේපල් පත්, බසු වෙස්මුහුණු සමග කලබල කතා


පොත් වෙළෙන්දෝ බසු නංගි සහ බසු මල්ලි


සභාවට ලුණු ඇඹුල් ඇතුව දෙසන ලව්පූසා


වමේ සිට; බණ්ඩිරිප්පුවේ විනීත තිස්ස හාමුදුරුවෝ, බස්සි, හෂිත අයියා,
සුනිල් මාධව ප්‍රේමතිලක සහ අනුරසිරි හෙට්ටිගේ


වසරේ හොඳම බ්ලොග්කරු බ්ලොග් මහාචාර්ය මාතලන්


 වසරේ ජනප්‍රියම බ්ලොග් අඩවිය 'හිතනලන්තය' ලියන කාංචනා අමිලානි


 කෙලවරේම ගයාන් ඉන්දුල, 
ඊට එහායින් වසරේ කොමෙන්ට්කරු ප්‍රා ජේ


දිලාගේ ලෝකය ලියන දිලිනි නිමන්තිකා
ඊට පසුපසින් ඉන්නේ shimmering thoughts ලියන ලිෂාන් පුවක්ඕවිට



ඩොමිනික් චන්ද්‍රසාලි, මාලතී කල්පනා ඇම්බ්‍රෝස් සහ බසුදෙපල


 සජානි සහ බස්සි


මේපල් පත් ගෙනා රන්සිරි අංකල්


 ඉන්දික ගුණවර්ධන (හිතේ කෙටූ ටැටූ) සහ අමායා මැණික්


කැමීලියා මලක් - බස්සියෙක් - පූසෙක්





Monday, November 30, 2015

සිහිනයක පියාසැරියට පෙර - බ්ලොග් සභාවෙන් අවසර !



බත ඉදෙන තුරු හනික
වර්ණ ගැන්වෙන සිහින
ගවොම් කොලරය මදින අතරෙත්
සෙමින් මිමිණෙයි
අමුතු තනුවක සිහින






මම කුඩා කාලෙ ඉඳන් බොහොම කැමතියි සිහින දකින්න. සිහින දැකීම ගැනත්, කාලෙන් කාලෙට මම දැකපු විවිධාකාරයේ සිහින ගැනත් මම වරින් වර බ්ලොග් පෝස්ටු කිහිපයක්ම ලියලත් තියෙනවා.


මගේ අමුතු සිහිනමය සටහන්, බසු ස්ටයිල් එකෙන් ලියලා “බස්සිගේ විස්මලන්තය” ලේබලය අලවලයි බ්ලොග් එකේ එල්ලන්නෙ. ඒ වගේම, “අමුතු කවි” කැටගරියෙත්, “කවි ලොසින්ජර” පිටුවෙත් බසු සිහින කවි විදියට ලියැවෙනවා.


මම ඉස්කෝලෙ යන කාලෙ කවි ලියනවා, ඒවා පත්තරවලට යවනවා. ඒත් ඉඳහිට ‘රිවිර අරුණැල්ලේ’ පලවුන කවියක් දෙකක් හැර වෙන කිසිම කවියක් හෝ කෙටිකතාවක් කවමදාවත් පළවෙන්නේ නැහැ.


ඉන් පස්සෙ එළඹෙන්නේ සම්පූර්ණයෙන්ම විද්‍යාවේදී උපාධියක් සහ කළමණාකරණ පාඨමාලාවක් සමග සමෝසමේ ඔට්ටුවෙමින් ගතකල, කිසිවක්ම නොලියවෙන තරමේ පට්ට බිසී අවුරුදු හතරක්.


ඒ අවුරුදු හතර ඉවරවෙන්න කිට්ටුව ආයෙමත් මම පොඩි පොඩි දේවල් ලියන්න ගන්නවා. ඒ වෙනකොට “ආයෙනම් පත්තරවලට මුකුත් යවන්නෙ නැහැ!” කියන තරමට මම මුරණ්ඩුයි. ඉතින් මම පටන් ගන්නවා ‘බස්සිගේ නවාතැන’ බ්ලොග් අඩවිය.


දැන් මගේ බ්ලොග් කෙරුවාවට අවුරුදු දෙකක් පහුවෙලා. අවුරුදු දෙකක් අනවරතව ලියන එක අසීරු කාරියක්. ඒ වුනත් අන්තිමේ මේ ලියැවිල්ල සොඳුරු ඇබ්බැහියක් බවට පත්වුනේ මටත් නොදැනීම.


එදාමෙදාතුර බ්ලොග් වියුණුව හරහා මට මුණගැහුණු සොඳුරු හදවත් ඇත්තෝ බොහොමයි. මම කියන්නම ඕන, කුඩා කාලයේ පාසැල් තරඟවලට යමක් ලිව්වාම “මේක ලිව්වේ ඔයා නෙමෙයි!” කියන තරවටුව සහ ප්‍රතික්ෂේපයට වඩා වැඩි යමක් දෙන්න සමත්වුන ගුරුවරු හිටියේ අතලොස්සයි. ඉතින්, මම ලියන්න ඉගෙනගත්තෙ තාත්තා ලියන දේ බලාගෙන සහ පොත් ගුල්ලියක්බවට පත්වීමෙන්.


ඒ ලියැවිලි ඔපවැටුනේ බ්ලොග් වියුණුවෙන් හමුවුණ ආදරණීය මිනිස්සුන්ගේ සොඳුරු ගුරුගරුකම්වලින්. ඔව්, නම් කියන්නට අවැසි නෑ ඒ ඔයාල තමයි.


ඒ හා සමාන්තරවම, ලියැවිලි උඩට ගල් බොරළු විසුරවපු අකල් වැහි, දෙනෙත් රතු කල දුහුවිලි කුණාටු නිසා සිදුවුනේ මට වඩා යහපත් අතට අනුවර්තනය වෙන්නට පන්නරය ලැබුන එකයි.





අන්තිමේදී, මම මේ සිහින පොතකට එකතු කලා. ඒ සිහින නිකම් ‘කවි වගේ’.

“ඉතා කෙටි කලබල සිහින” ඒ තමයි පොතේ නම.


පොත දොරට වැඩුමක් දෙසැම්බර් දොළොස්වැනි සෙනසුරාදා, පස්වරු 3.00 සිට 5.00 දක්වා කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ පැවැත්වෙනවා.


එන්න! වෙනස්ම විදියේ වැඩ කිහිපයක් දැකගන්න ලැබේවි එදාට. කුතුහලයට පුංචි ඉඩක් තියල වැඩි විස්තර ඊගාව පෝස්ටුවෙන් කියන්නම්.



මෙන්න උත්සවය පැවැත්වෙන තැනට යන පාර.



ශ්‍රවණාගාරය තියෙන්නේ මහවැලි කේන්ද්‍රයේ දෙවන මහලේ




Friday, November 20, 2015

මරිමෝඩ වැහි!






මම ඒ වෙලාවෙ හිටියෙ කුස්සියේ. තීරු කපපු කවියක් හෝද හෝද. එයා සාලෙ සෝපාව උඩ, රතු සිමෙන්ති පොළවට සමාන්තරව. 


මගෙ අතේ ඉස්පිල්ලක් මුවාත තියල හදාගත්තු පිහිය. එයාගෙ අතේ ටීවී රිමෝට් එක.


එක පාරටම අකුණක් පිපිරුවා, අනපේක්ෂිතව. අතේ තිබුන  ඉස්පිල්ලත් අට ඉස්බක් උඩ වීසි උනා, අනපේක්ෂිතව.


ඊගාවට පළවෙනි හුළං රැල්ල ඇවිත් ගේ වටේ කැරකෙන්න ගත්තා. දෙවෙනි හුළං රැල්ල කොන්ද නමාගෙන යතුරු හිල අස්සෙන් රිංගුවේ ගේ ඇතුලට.


“මට සීතලයි.” මං කිව්වා.

“ම්හ්!” 


කොණ්ඩෙ දිග කොරියන් කොල්ලෙක් ඇඳන් උන්න ස්වෙටරය ගලවලා හා මූණක් තියෙන කොරියන් කෙල්ලෙක්ට පෙරෙව්වා.  එයා උරහිස් අකුලගෙන තටු පොරවගත්තා.


තුන්වෙනි හුලං රැල්ල ආවේ වැහි ඇල්ලක් වඩාගෙන. ‘සට සට’ ගාල වහළෙට වැහි ඇට වැටෙනකොට මං වට්ටියක් අරන් එලියට පැන්නෙ හොඳ වටකුරු වැහි බිංදු ටිකක් අල්ලගන්න. පට්ට කරුවලයි. එයා කැමති නෑ තෙමි තෙමි ටෝච් එක අල්ලන්න. කකුල ලිස්සලා ගියොත් උළු වහල දිගේ පෙරළිලා බිමට පත බෑවීමේ අවදානම ඉහටත් උඩින්.


ඒ වෙලාවෙයි මට ඇහුනෙ එයාටෙල් අක්ක කියනව 'ගට් එක තියෙන යූත් එකට ඕනෙ දෙයක් කරන්න පුළුවන්ය' කියලා.


"මේ ඇහුනද? ඔයාට කරන්න බැරි දෙයක් නෑ."


"ඔව්. ඔව්." 
එයා ටී වී එකට ඇස් දෙක අලෝගෙන කිව්වා.


"හැබැයි ඔහේට ගට් එක නෑ."


"ම්හ්?"


මම එක අතකින් ගට් එකයි, අනිත් අතෙන් වැහි පීල්ලයි අල්ලගෙන, වළාකුල මිරික මිරික හොඳ රවුං වැහි වෙන් කරන්න උනා.. දුකක් වගේ මොකද්දෝ එකක් දැනිල වළාකුළු රෝස පාට වෙන්න ගත්තා තමයි. ඒ උනාට වැහි එක්ක කලාමැදිරි එළි තිත් දෙකක් කලවං කරගත්තනම් තේ මේසෙට තියන්න තිබුනා. මොකද එයාගෙ ආහාරජීරණ පද්ධතියෙ 'ගට්' එක තවම කිසිම අවහිරයක් නැතුව වැඩ කරනවා.


ආපහු කුස්සියට එනකොට වට්ටිය කට මට්ටමට පිරිලා. ඇස් දෙකත් පිරිලා. හිතත් තෙතබරියං වෙලා. ඒත් මම පතුල් දෙකේ ගෑවිලා තිබ්බ මඩ තට්ටු පරෙස්සමෙන් දොරකඩ කොහු පාපිස්සෙ පිහදැම්මා. පිටත ගිනි ඇතුලට ගන්න හොඳ නැති තරමටම පිටත මඩ තට්ටු ඇතුලට ගන්නත් හොඳ නෑ. 


එයා ඔළුව උස්සල බැළුවෙ ඇස් දෙක පීරිසි තරමට ලොකු කරගෙන. 


“පිස්සුද ගෑනියේ වැස්සෙ තෙමෙන්නෙ?” ඒ සද්දෙට වහළෙ උළු දෙදරුංකාලා සාලෙ මැද්දට පිණි බෑවා. වැහිවලට තෙමෙනව වගේ නෙමෙයි පිණි කුඩුවලට තෙමෙන එක. මං ගස්සගෙන කුස්සියට යන්න හැරුනා. 


“දිගටම ඔය ගවුම අඳින්ඩකෝ.” එයා ඇදලා පැදලා කියනවා. 


ඒ කියන්නෙ තවම ඇස් පේනව! ඒකත් මදැයි.






Friday, July 24, 2015

උත්තරධ්‍රැවයේ බස් එක සමහ හදවත් පෙති (බස්සිගේ විස්මලන්තයෙන්)





ඒ පාර තමයි පාර. කළුම කළුපාටට මාගලක් වගේ ඒ පාර ඈතට ඈතට, තව තවත් ඈතට ඇදෙනවා. සිහින් දූවිළි අංශු මුහුවෙච්ච හුළඟක් මගේ ඉසකේ  එක දෙක ගලවගෙන ටවුන් එක පැත්තට  පාවෙලා යනවා. අන්න ඒ වෙලාවෙයි සුදුපාට දිග නැවක් වගේ ඉන්ටර්සිටි බස් එකක් කරාස් සද්දෙකින් මගෙ ඉස්සරහ බ්‍රේක් පාරක් ගැහැව්වෙ.


“නගින්න, නගින්න”

කොන්දොස්තරා මහා හදිස්සියකින් කෑ ගැහැව්වා. 
මම දඩිබිඩියේ හෑන්ඩ් බෑග් එක බදාගෙන බස් එකට ගොඩ වුනා..


‘මේක නිකම් උත්තරධ්‍රැවයට ගියා වගෙයිනෙ.’ 


බස් එක ඇතුලෙ තිබුනෙ ලේ මිදෙන තරමේ සීතලක්. කොන්දොස්තරා  මාව පැත්තකට තල්ලු කරලා සවලක් අරන් මී මැස්සෙක් වගේ කඩිමුඩියේ හිම ඉවත් කරන්න පටන් ගත්තා. කහපාට නළල මුදුනෙන් පටන් ගත්තු හීන් දාඩිය බිංදුවක් කම්මුල දිගේ අනවරත ගමනකින් පහළට ගලාගෙන යනවා. ඒ එක්කම නහය මුදුනෙන් පටන් ගත්තු දාඩිය බිංදුවක් එල්ලය බලලා එකපාරටම කම්මුල උඩට පැන්නා. ඒ ඝට්ටනයත් එක්ක දහදිය බින්දු දෙක කුඩා මුතු ඇට එකොළහක්බවට විච්ඡේදනය වෙලා හිම මිදුන පොළවට වැටුනා. අන්න ඒ වෙලාවෙයි සීට් මැද්දෑවෙන් කළුපාට රබර් පාපිස්න පැලවෙන්න පටන් ගත්තෙ.


මම බෑග් එක බදාගෙනම ඉස්සරහට යන්න පටන් ගත්තා. දකුණු පැත්තෙ ඉස්සරහම සීට් එකේ හිටියේ හිමවළස් පවුලක්. අම්මයි, තාත්තයි, ඇට්ටර පාට වළස් කොලුවෙකුයි. අම්මා ක්‍රීම් ක්‍රැකර් එකක් කෑලි කඩ කඩා කොලුවගෙ කටේ ඔබනවා. ඌ හැපිකව් චීස් නැතුව ක්‍රීම් ක්‍රැකර් කන්න බැරියැයි කියමින් මුළු බස් එකටම ඇහෙන්න බෑඟිරි තියනවා.  


දෙවැනි සීට් එකේ ඉඳන් උන්නු ජේත්තුකාර පෙන්ගුයින් ළමිස්සි මූණ හපුටු කරගෙන අයිපොඩ් එකේ ඉයර් ෆෝන් දෙක තව ටිකක් කන ඇතුලට ඔබා ගත්තා. ඉන් පස්සෙ බීට් එක වරද්ද වරද්දා උල් සපත්තුවෙන් පාපිස්නට තඩිබාන්න වුනා.


බස් එක එකපාරටම සැර බ්‍රේක් පාරක් ගැහැව්වා. මාව විසිවෙලා ගිහින් පිටිපස්සෙ සීට් එකේ වෙල්වට් කුෂන් කොට්ටෙක පස්ස ඇනිලා නතර වුනා.


කවුළුව අයිනෙ ඉඳගෙන උන්නු කොල්ලා මා දිහා බෙල්ල කරකවල බැලුව. මුලින්ම කණ්නාඩි කුට්ටම ඇතුලෙන්. මම දත් තිස්දෙකම පෙන්නල හිනා වුනා. ඒ ගමන එයා කණ්නාඩි කුට්ටම නහයට දාගෙන ඊට උඩින් බැලුවා. ආයෙමත් කණ්නාඩි කුට්ටම නළලට දාගෙන ඊට යටිනුත් බැලුවා.


ඉන් පස්සෙ, එයා දණිස් දෙකට හිරකරගෙන ආපු ට්‍රන්ක පෙට්ටියක් අරන් උකුලෙ තියාගත්තා. 


“ඕයි ගෑණු ළමයෝ!”


එයා ඒ කතා කලේ මට. මම ඒක අනුමාන කලේ එයාගෙ බැල්මෙන්. හරියටම නාකි කිකිළියෙක් පොළව හාරනකොට මතුවෙච්ච, එක කටකටවත් නොසෑහෙන පණු පැටියෙක් දිහා බලනව වගෙයි. 


“මොකද?”

මම කඩාපනින ස්වරයකින් ඇහැව්වෙ. කොහොමත් ඒ මනුස්සයගෙ බැල්ම මට ඇල්ලුවෙ නෑ. අනික ඒ කටහඬත් මහ ගොරහැඩියි. තානය වලහැඩියි. ඉතින් මම කඩාපැන්න. මට පුලුවන් උපරිම අසංවර ස්වරයෙන්.

“මොකද??”


“මම යන්නෙ උත්තරධ්‍රැවයට.” 


ඒක ඒ අවස්ථාවට කොහෙත්ම නොගැලපෙන ප්‍රතිචාරයක්නෙ. නැද්ද මං අහන්නෙ? ඉතින් විය යුතු පරිද්දෙන්ම මගෙ කට ටයර් එහෙකට අහුවෙච්ච කෙහෙල් ලෙල්ලක් වගේ ලා චෝරු වුනා. එයා කිසි ගානක් නැතුව අර විසාල ට්‍රන්ක පෙට්ටියේ පියන ඇරගෙන මොනවදෝ හොයනවා.


සෙල්ලං ගිගිරියක්, බාගෙට අලවපු අටපට්ටමක්, ඇකෝඩියන් එකක තත් කීපයක් ට්‍රන්ක පෙට්ටිය ඇතුලෙ එහෙ මෙහෙ වෙනව මට ඇහැ කොනට අහුවුනා.


ඊට පස්සෙ එයා එලියට ඇදල ගත්තෙ සීක්වීන්ස් වලින් වැඩදාපු තද දම්පාට වූල් ස්වෙටරයක්. අන්න ඒ වෙලාවෙ මට තදින්ම සීතල දැනුනා.  මම අත් දෙක පෙරවගෙන අත්ලෙන් වැලමිටි  දෙක මිරිකා ගන්නත්, බාහු යුගල තදින් පිරිමදින්නත් පටන් ගත්තා.


“සීතලද?”


නෑ එයා එහෙම ඇහුවෙ නෑ. එයා ස්වෙටරය අතට අරන් ඒකෙ උස් කර වටේට අල්ලලා තිබිච්ච තාරුකා හැඩේ සීක්වීන්ස් දෙකක් ගලවලා අරන් අහසට විසිකලා.අහසට කිව්වේ අහසටමත් නෙමෙයි, මං කියන්න ඕනෙ වහළෙට කියලා. බස් එකේ වහළට. එතකොටම බස් එකේ වහළෙන් ඇබිත්තං හිම පියළි වැටෙන්න පටන් ගත්තා.





මම තවතවත් තදින් බාහු පිරිමදින්න වුනා. හීන් කෙඳිරියකුත් පිටවුනා. එතකොටයි මම එයාගෙ ඔලිව් පාට මූණයි, ඝන සැරේට වැවුනු ඇහිබැමයි පැහැදිලිව දැක්කෙ. අර පීඩාකාරී සීතල පොඩ්ඩක්වත් අඩු නොවුනත්, මගේ ඇතුලතින් ඇවිලීමක් හටගත්තා. ඇතුලත ඇවිලීම වැඩිවෙන තරමටම පිටත සීතලත් දැඩි වෙන්න වුනා. අන්තිමේ මාව මැලේරියා රෝගියෙක් වගේ සට සට ගාලා වෙව්ලන්නත් පටන් ගත්තා. 


අන්න ඒ වෙලාවෙනම් එයා දැක්ක මට සීතල බව. ස්වෙටරය දිගෑරලා මට අන්දවනකොට මම ප්‍රතික්ෂේප කලේ නැහැ. නිකම් රිතික් රෝෂන් වගේ. ඇත්තෙන්ම, රිතික් රෝෂන් කෙට්ටුවට හිටියනම් ඒ වගේ වෙන්න ඇති. නැත්නම් ශාරුක් ඛාන් වගේ?


වැදගත්ම දේ තමයි මට අර ස්වෙටරය අයිති වුන එක. තියාගන්නම ගන්න කියල කිව්වෙනම් නැහැ තමයි. ඒත් එයා දුන්න විදියෙන් මට ඒක දැනුනා.


ඉන් පස්සෙ එයා ට්‍රන්ක පෙට්ටියෙන් එලියට ගත්තේ හදවත් හැඩේ බෙහෙත් පෙති වගයක්. 


“මොනවටද?”

කට පියාගෙන ඉන්න බැරිකමට මම ඇහැව්වා.


“පපුවෙ අමාරුවට.”


“ම්හ්?”


“සීතලේ වෙව්ලන අතරේ ඇතුලෙන් ගිනිගන්නව කියන්නේම හෘදයාබාධ හැදීමේ අවධානම බොහොම ඉහළයි කියන එකයි.”


එයා පෙති දෙකක් උගුරට හලා ගත්තා. කබා කර උඩට වැටිල තිබුන කැටි හිම ටිකක් එකතු කරගෙන නිල්පාට ප්ලාස්ටික් කෝප්පෙකට දාගත්තා. ඓන් පස්සෙ ඒ කෝප්පෙ පපුවෙ වම් පැත්තට කිට්ටු කලා. හිම ටික දියවෙලා වතුර වුනා.


ඉන් පස්සෙ එයා ගුඩු ගුඩු ගාලා ලොකු වතුර උගුරු බීගෙන බීගෙන ගියා. හදවත් හැඩේ පෙති දෙක දැන් පහළට ගහගෙන යනව ඇති.


පිටිපස්සෙ සීට් එකේ කෙලවරේ උන්නු තරුණ පෙන්ගුවින් ජෝඩුව චොකලට් පෙත්තක් හුවමාරු කරගනිමින් ප්‍රංශ හාදුවක. ඇත්තටුවල හිම වැටුනු තැන් සුදු පුල්ලි වගේ දිලිසෙනවා. 


“දෙන්නද?” 

එයා තව පෙති දෙකක් අතේ තියාගෙන ඇහැව්වා.


මං ටක් ගාලා කෝප්පෙට කැටි හිම ටිකක් එකතු කරගෙන පපුවට තුරුළුකරගත්තා. ටිකක් වම් පැත්තට වෙන්න.




~ මොළේ cRaCk උන පිස්සු බස්සියෙක් ~