Showing posts with label කෙටිකතාද මන්දා. Show all posts
Showing posts with label කෙටිකතාද මන්දා. Show all posts

Saturday, March 17, 2018

විරාම ලකුණු




"රායා, ඔයාට තේරෙනවද මම කියන දේ?" මම එකපාරටම පොළොවට වැටුනා. පොළව තිබුනේ බිම් මට්ටමට තට්ටු විසි එකක් උඩින්, කලබල නගරයක හදවත මත. වීදුරු බිත්ති හරහා ඔෆිස් එක ඇතුලට ගලාගෙන එන්න තතනන වැහි කළුවර, දීප්තිමත් විදුලි බුබුළු තුන්සිය ගණනක එළිය හමුවේ පැරදිලා, වීදුරු මත ඇතිල්ලි ඇතිල්ලි තාවර වෙමින් උන්නා.


"ම්හ්" 


"රායා?" ජේසන්, අංශ ප්‍රධානියා මගේ මුහුණට එබුනා. මගේ ඇස් නැවතුනේ ඔහුගේ කඩවසම් මුහුණට ඉහළින් පලින් පල නැගීගත් අළු පැහැති කෙස් ගස් කිහිපයක් අසල. "හැමදේම හොඳින් නේද?"


"මම හිතන්නේ." පිටත වැහි වැටෙන්නට අරන්. මට මේ මොනව වෙලාද? "සමාවෙන්න ජේසන්, මේ වෙලාවේ මගේ ෆෝකස් එක අවුල්. අපි හෙට කතා කරමුද? ප්ලීස්!" 


ජේසන් හිස වැනුවා. "ඔයාගේ ඔළුවට අවශ්‍ය විවේකය - ඒක දෙන්න" ඔහු යටිතොලේ කෙලවරක් හපාගෙන සුපුරුදු මද සිනහව පෑවා. "යන්න. මේ වැඩේ දවසක් පමා වීම ඒතරම් ප්‍රශ්ණයක් නෙමෙයි."


හකුලාගත් අත් පරිඝනකය මත සටහන් පොතත්, ජංගම දුරකතනයත්, පෑනත් අඩුක් කරගෙන, වතුර බෝතලය වැලමිටට හිර කරගෙන මම වැඩ මේසයට ගෑටුවා. "කුංෆු පැන්ඩා" සිනමාපටයේ "ටයිග්‍රස්" මේසය කෙලවරක හිටගෙන, ආත්මාරක්ෂක කුංෆු ඉරියව්වක් දක්වමින්, වමත මා වෙත දිගුකරගෙන උන්නා. ඊට මදක් ඔබ්බෙන්, පුළුන් පිරැවූ, වටකුරු හැම්ස්ටර් මීයා උගේ දොඹ ගෙඩි වගේ ඇස්වලින් මා දිහා බලනවා.


ජංගම දුරකතනයේ ටැක්සි ඇප් එක "අධික ඉල්ලුම්" තත්වයක් පෙන්වා වෙනදා වගේ තුන් ගුණයක ගාස්තුවක් ගෙනහැර දක්වමින් වුව, එකදු ටැක්සි රථයක්වත් අසලක නොමැති බව දැක්වුවා. මම 'දඩස්' ගා ජංගමය මේසය මතට අතහැරියා. එහි ගැටුනු 'කුංෆු ටයිග්‍රස්' උඩුබැලි අතට වැටුනා. ඈ මදක් වම් පසට ඇලවී, අසරණව වැතිර ඉන්නවා. දැන්, ඉහලට දිගුවී ඇති වමත සමග, ඈ දිසෙන්නේ 'අත දී මා නැගිටුවන්නැයි' අයැදින අහිංසකයෙක්ව මිස ආත්මාරක්ෂක කුංෆු සටන් කාරියක් විදියට නොවෙයි.


"I'll be late" අකුරු දහයකට අඩු කෙටි පණිවුඩයක් කුසේ රුවාගෙන ජංගමය වයිබ්‍රේට් වෙනවා.


"Its raining here. I'll be late too." කාලයත් එක්ක මම ඇහැට ඇහැක් - කනට කනක් තියරියට වැඩ කරන කෙනෙක් බවට පත්වෙමින් හිටියා. ඒත්, අකුරු දහයකට අඩුවෙන් එස්.එම්.එස්. ලියන එක මට තවම පුරුදු නැහැ.


"K"


වැස්සෙන් හේදිලා ගිය නගරයේ බොඳ වුණු විදුලි එළි, තරු වගේ ගැහි ගැහී දිලුනා. කදෝකිමි, රෑ බදුළු එළි වගේ ගිනිපෙට්ටි වාහන, පේලියකට හය ගණනේ සීරුවට ඇහිරිලා, ඉබි ගමනින් ඉදිරියට ඇදුනා.


මිනිත්තු අටක දුරින් ටැක්සියක් ඇති බව දන්වමින් ජංගමය කම්පනය වුනේ ඒ වෙලාවෙදියි. ගිලෙමින් පවතින වෙලාවක, පිදුරු ගහක එල්ලෙන තරම් කලබලෙන් මම රයිඩ් එක තහවුරු කලා. හවස හයහමාරට - ආපහු ගෙදර යන වෙලාවේ - 'මේක් අප්' කරන්නේ කාට පේන්නද කියලා අහන තැනට අඟලෙන් අඟල තල්ලු වෙමින් හිටියත් මම වෙට් ටිෂූ කොලයකට මහන්සිය එක්කාසු කරගත්තා. ඒ මහන්සි පොදිය, මේසය මත විසිරිලා තිබුණ ස්ටිකි නෝට්ස්, කුරුටු කරදාසි සහ මාර්ස් දවටනයක් එක්ක කුණු බක්කියට හලමින් ඉන්න අතරේ, ජේසන්, මදක්වත් අඩු නොවුන මදහසකින් යුක්තව සංවාද කාමරයෙන් පිටතට ආවා.


"ඔහ් රායා! ඔයා තවම මෙහෙ?" ඔහු මා දිහා බැලුවේ නළල රැලි ගන්වමින්. "ඔයාට වුවමනා හොඳ ඩීටොක්ස් ට්‍රීට්මන්ට් එකක්. ඒ ගැන පොඩ්ඩක් හිතා බලන්න. සමහර වෙලාවට අපි පිටතින් දිදුලමින් හිටියත් ඇතුලතින් දිරාපත්වෙන්න, වැහැරෙන්න පුළුවනි. ඒ නිසා නිතරෝම මෙතනින් (ඔහු තම පපුවේ වම් පැත්තට දෙවරක් හෙමින් තට්ටු කරගත්තා) කියන දේට ඇහුම්කන් දෙන්න."


"මං යන්න හදන්නේ ජේසන්" මම ලට්ට ලොට්ට පොදි කරලා බෑග් මල්ලට ඔබා ගනිමින් කිව්වා. "ගුඩ් නයිට්! සී යූ ටුමෝරෝ" එලවේටරය වෙත දුවන අතරේ මං ජේසන්ට අත වැනුවා.


**********


දෙවරක් දුරකථනයත්, වාහන අංක තහඩුවත් පිරික්සා බැලුවේ වම් අත ඉදිරියට දිගු කරගෙන ඉන්නා ආත්මාරක්ෂක කුංෆු සටන්කාරිය. "යමු." මම පැති දොර තදින් වසමින් කිව්වා.


වාහනය වැස්ස, අඳුර සහ තෙත එකට කැලතුන ප්‍රධාන මාර්ගයට එකතු වුනායින් පස්සේ මම අත් දෙක පොරවගෙන, කවුළුවෙන් එපිට කලබලය දෙස නෙත් යොමමින්, අලසව, ආසනය මත ගුලිගැහුනා. මම ඇතුලතින් බිඳෙන්නට පටන්ගෙන. මේ මොහොතේ බටර් ඇඟිලි අතරින් ලිස්සා වැටෙන වීදුරු බඳුනක් වගේ මා පොළව මත පතිතව, කැබලි දහස් ගණනකට කැඩී බිඳී යනු ඇතැයි මට බය හිතෙන්නට ගත්තා. යලිත් එකකට එකක් පුරුද්දන්නට හිතන්නවත් බැරි, සිහින් වීදුරු පතුරු දහසක්. ඒ සිතිවිල්ලත් එක්ක වෙවුළුමක් ගත පුරා දිවයද්දි මම කර වටා ඔතාගෙන හිටි සාළුව උරහිස් වැහෙන පරිදි දවටාගත්තේ, බිඳීමෙන් ආරක්ෂා වෙන්න තතනමින්. අනපේක්ෂිත සිහින් ඉකියක්, යටි උගුර පාදන හඬක්ව, වලකා ගත නොහැකිව, පිටතට පැන්නේ එවිටයි.


"ඔයාට අපහසු නම් ඒ.සී. ඕෆ් කරන්න පුලුවනි."

එකම හැන්දෑ වරුවක, දෙවන වතාවටත් මම අහසින් පොළවට වැටුනා. බිඳක්වත් පොඩි වී නැති ලා නිල් පැහැ කමිසයකුත්, හෙයා ක්‍රීම් තවරා මනාව සැකසූ කොණ්ඩයකුත් මගේ නෙත ගැටුනා. ඔන්න ඔහු මා දිහා බලලා හිනා වෙනවා. මනාව කැපූ රැවුල් කොට අතරින් ඔහුගේ පුළුල් හකුපාඩා එකිනෙක තදව, එක්වරම සිනහව නවතිනවා.


"ඔයාට හොඳින් නේද? මෑම්, මම අහන්නේ, ඔයාට මොකක් හරි අසනීපයක්වත් ද?"


"ඇ.... ඇයි?" 


"ඔයා කරදාසියක් වගේ සුදුමැලි වෙලා." කොල එලිය වැටෙන තුරු ඔහු අංශක එකසිය හැටක්ම පිටුපසට කැරකිලා මා දිහා බලනවා. ඔන්න ඉතින් මට ආයෙමත් 'මදසිනහ-වෙස්මුහුණ' ඇඳගන්න සිද්ධවෙනවා. ඒ මුහුණත්, ඒ කටහඬත් හුරුපුරුදු බවක් දැනෙන්නේ ඇයි? මම පසු බැලුම් කන්ණාඩියට එබෙන්නේ, හුරුපුරුදු හැඟීමට සාක්කියක් හොයාගන්න.


"ඇයි හොරෙන් බලන්නේ?"


මොන ජාතියක පිස්සෙක්ද මේ මිනිහා? දෙකන්පෙති පිටුපසින් පැන නැංග ලැජ්ජාවේ රත් පැහැය දෙකොපුල් හරහා පැතිර යන අයුරු මට දැනෙන්නා වාගේ. ඔහු පසු බැලුම් කණ්නාඩිය ඇතුලේ - යටි තොලේ කෙලවරක් විකාගෙන - අඩැස් බැල්මන් දෙනවා. ඔන්න, සුළු මොහොතකට කලියෙන් බිඳෙන්නට ආසන්නව, ඇතුලතින් දිර දිරා වුන් බව මට සහමුලින්ම අමතක වෙනවා.


"ඔයා කවුද?" 


"මමද? මම ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක්." ඔහු හකහකගෑවිල්ලේ කියනවා. "සැකද? ඔයාට මේ ට්‍රැෆික් එකේ රාජගිරිය හන්දිය පහුකරන්න තව පැයකට වඩා යනව වගේම ඇත්තක් ඒක."


"කෙහෙල්මල! විහිළු කරන්න විතරක් එපා මා එක්ක. මම ඔලමොට්ටල මෝඩ අලගෙඩියක් කියලද හිතාගෙන ඉන්නෙ?" මම පාවහන් මුදා හැර, එරමිණිය ගොතාගෙන, ඉදිරි අසුන වෙත නැමුනා. ඒ මත පිළිවෙලට නමන ලද ටයි පටියත්, ඒ මැද තැබූ මිල අධික, සන්නාමගත අත් ඔරලෝසුවත් මට පෙනෙනවා.


"මේ වෙලාවෙ මාව මොකෙක් විදියටද ඔයාට පේන්නෙ මෑම්? නුවරඑළියේ එළවළු ගොවියෙක් විදියටද? වෙන්නප්පුවේ මාළු බෝට්ටුවක වැඩකරන ධීවරයෙක් විදියටද? නැත්නම් කොල්ලුපිටියේ ඉඳන් රාජගිරියට යන නෝනා කෙනෙක් වෙනුවෙන් වාහනේ එලවන ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් විදියටද?"


මම ආසනය උඩ එරමිණිය ගොතාගෙන, නිකට දෙඅත්ල මත රැඳෙව්වා. සිහින් අර්මානි විලවුන් සුවඳක් මගේ නැහැයේ හැපෙනවා.


"එහෙමත් නැත්නම්..." ඔහු වාහනය මදක් වම් පසට ගනිමින්, පසුපසින් නලා හඬ නංවමින් පැමිණි ජීප් රථයට ඉස්සර වෙන්නට ඉඩ දුන්නා. "එහෙමත් නැත්නම්, ඔයාට මාව පේන්නෙ නැද්ද මේ වැස්සයි - සීතලයි - තෙතයි - කළුවරයි අමතක වෙන්නත් එක්ක, ඉස්සරහින් තියෙන උණුහුම් ෆැන්සි බාර් එකක නැවතිලා - බීම එකක් බෙදාගන්න කැමත්තෙන් ඉන්න ආගන්තුකයෙක් විදියට?"


**********





බීම හළ පුළුල්, හඬ-වරණ බිත්තිවලින් සමන්විත වූවක්. මම අහස් නිල් පැහැ බීම වීදුරුව රවුමට රවුමට කලතමින්, ආගාර බිත්තිවල එල්ලා ඇති සිතුවම් නරඹමින්, කියවමින්, ඉහිල් වීම ආරම්භ කලා.  ඉලෙක්ට්‍රොනික සංගීතයේ පවා තිබුනේ මනස නිදහස් කරවන තානයක්.


"මට එපා වෙලා හිටියෙ." ඔහු කියමින් උන්නා. "හැමදාම, හැමදේම, එකම විදියට. උදේ ස්කූල් ට්‍රැෆික් එකට කලින් පාරට පැනගන්නවා. හැන්දෑ වෙනකම් ඩිජිටල් ස්ක්‍රීන් එකක් එක්ක, එහෙමත් නැත්නම් නම්බර්ස් වලින් කතාකරන, හැඟීම් දැනීම් නැති මිනිස්සු රොත්තක් එක්ක හැප්පෙනවා. ඇවිදින ගමන් කෝපි බොනවා. කන ගමන් ඊමේල් බලනවා. අහස කළුපාට වුනාට පස්සේ එලියට බැහැලා පැය දෙකක් තිස්සේ කිලෝමීටර දහ අටක් ඩ්‍රයිව් කරනවා. ෆිල්ම් එකක් බලන ගමන් ඩිනර් ගන්නවා. නින්ද යනකම් ෆේස්බුක් වෝල් එකේ පහලට පහලට යනවා. ඇස් ඇරලා බලනකොට ආයෙමත් කළුපාට අහස අළුපාට වෙලා, ස්කූල් ටයිම් ට්‍රැෆික් එකට කලින් පාරට පනින්න කලබලේ පටන් අරගෙන."


"බොරු කියන්න එපා කේෂාන්." මම ඒ වනවිට ඔහුගේ නම දැනගෙන හිටියා. "ඔය සර්කල් එකෙන් පිට පනින එකම දවසක්වත් නැද්ද?"


"මොකෝ නැත්තෙ?" වීදුරුව තුල වූ අයිස් කැට වැරෙන් එකිනෙක හැප්පුනා. "සමහර දාට, ටීවී සීරීස් බලන්න පටන් ගත්තම ඉතින් ඒ සිස්ටම් එක සම්පූර්ණෙන් කණපිට ගැහෙනවා. එහෙම දවසට ගෙදර ආපු වෙලාවෙ ඉඳන් පාන්දර දෙකහමාර, තුන විතර වෙනකම් එක හුස්මට ටීවී සීරීස් බැලිල්ල විතරමයි. පහුවදා පාන්දරට සොම්බි කෙනෙක් වගේ ඔෆිස් යන්නෙ."


"පිස්සෙක්." මම කට ඇද කලා.


"ඔව්. මේ හැම දේම එක්තරා විදියක පිස්සුවක් තමයි. නැද්ද?" ඔහු ඔලිව් ගෙඩියකට දත් ගසා කට ඇඹුල් කරගත්තා. "ඇත්තම කිව්වොත්, මම මටම තරයේ කියා හිටියා මෙහෙම. කේෂාන්, අද නම් දෙනෝදාහක් මැද තනිපංගලමේ උඹට පැය ගානක් ට්‍රැෆික් එකේ තපින්න ඉඩ දෙන්නෙ නැහැ මම. ඊට පස්සෙ මං කල්පනා කලේ වාහනේ ඔෆිස් එකේ පාර්ක් කරලා ටැක්සියක ගෙදර යන්න. ඒත් රායා, බලන්නකෝ, ඒක මේ හැම සොම්බි කෙනෙක්ම කරන බොහොම සාමාන්‍ය දෙයක්නේ. ඒකයි මට හිතුනෙ කාටහරි රයිඩ් එකක් දෙන්න. හැබැයි ඒ වෙලාවෙ මං තුංහිතකින්වත් හිතුවෙ නෑ මගෙ රයිඩ් එක මහ මුස්පේන්තු එරවිල්ලක් තියෙන, ක්‍රේල් කොණ්ඩාකාර චබී කෙල්ලෙක් වෙයි කියලා."


මං අත් ඔරලෝසු මුහුණත වටා දබරැඟිල්ල දුවවමින් ඉවත බලාගත්තා. මොනවද මම මේ කරන්නේ? නමක් ගමක් නොදන්න ආගන්තුකයෙක් එක්ක බීමකට ඇවිත්. මම අහක බලන තත්පරේට මේ මිනිහා මගෙ බීම වීදුරුවට දමාවි රොහිප්නෝල්. ඊට පස්සෙ වෙන දේවල් දෙයියෝ දනියි. 


"අන්න ආයෙමත් පටන් ගත්තා මුස්පේන්තු එරවිල්ලයි, නළල රැලි ගැස්සිල්ලයි. ඔය රැවිලි බැල්ම නැත්නං, ක්‍රේල් කොණ්ඩ තියෙන චබී කෙල්ලො තමයි මගෙ ටේස්ට් එක." ඔහු ඇහැක් පුංචි කරමින් වසාබි ඇටයක් අහුලාගෙන, දබරැඟිල්ලත් මහපටැඟිල්ලත් අතර ඒ මේ අත පෙරලන්න වුනා.


"මම මැරි කරලා අවුරුදු පහක්." මං එකපාරම කියාදැම්මා, අරමුණක් නැතිව, එක එල්ලේ බිත්තියක් දිහා බලාගෙන. මින් පස්සේ කොහෙ ගියත් වෙඩින් රිංග් එක දාගෙන යන්න ඕනෙ බවට කුංෆු ටයිග්‍රස් ලහිලහියේ මෙමෝ සටහනක් ලියාගත්තා.


"හා ඉතිං, මට පාන් ද?" ඒ වතාවේ නම් කන් රත්පැහැ ගැනීම සහ උණුසුම පෙරට වඩා දරුණුවට දැනුනා. "මං බැඳලා අවුරුදු දෙකහමාරයි. ඒ කියන්නේ මං ඔයාට පරාදයි කියන එක ද? නැත්නං ඒකත් වයස වගේ අඩු ඉලක්කම කියන කෙනා ජයග්‍රහණය කරන පරාමිතියක් ද?"


"එහෙනම් අපි මේ මොන මගුලක් ද කරන්නෙ කේෂාන්?" බීම උගුරකට පස්සෙ මම යලිත් සැහැල්ලු වෙමින් උන්නා. වෙස්මුහුණ නැතිව, හැබෑ මන්දස්මිතයක් සමග.


"මනුස්සයෙක් එක්ක ජීවත්වීම කියන එක රසවිඳිනවා. වෙන අහවල් දෙයක් නෙමෙයි." ඔහු හෙමිහිට මගේ පිටි අත්ල පිරිමදිමින් කියන්නට වුනා. "ඔය හෙයා ටයි එක ගලවලා දාන්නකො රායා, ප්ලීස්. ඔයා මේ ඉන්නෙ බිස්නස් ෆෝරම් එකක නෙමෙයිනෙ."


"මෙන්න." මම අත්ල මත ගුලිකරගත් කොණ්ඩ පටිය ඔහු වෙත පෑවා. "මේක ගෙදර අරන් ගිහින්, වයිෆ්ගෙන් ගුටි කනවා. එතකොටවත් පාර්ට් ටයිම් ඩ්‍රයිවින් රස්සාවල් කරන එක නවත්තලා දාන්න හොඳ පාඩමක් ඉගෙන ගනීවි ඔයා."


ඔහු කොණ්ඩා පටිය දිගහැර, බ්‍රේස්ලට් එකක් වගේ දකුණතේ රුවා ගත්තා. මගේ දකුණු කන් පෙත්තේ ගැටෙන නොගැටෙන තරමට ඉදිරියට නැමුණා. "Who needs tomorrow when we have got tonight?" උරහිස හරහා ලිහිල්ව එල්ලා වැටෙන හිසකේ කැරැල්ලක එතෙන ඔහුගේ දිගු අතැඟිලි ගැන තැකීමකින් තොරව මම ගෙල දිගුකර පිටත වීදිය දිහා බැලුවා. මහ වැස්ස, සිහින් හිරිපොදයක් බවට පත්වෙමින් තිබුණා.  'Who cares? who cares about tomorrow?' බීම හලේ මදඳුරත්, පහල කඩවීදියේ දැල්වෙන නියොන් එළිවල දීප්තියත්, බිඳීයාම නතරව ඇති බවට සහතික වශයෙන් හිතේ ඇතිවුන සුරක්ෂිත හැඟුමත් හේතුවෙන් ආධූලනයව මම තොල් මැතිරුවා.





**********


"මොබයිල් නම්බර් එක." මම ගිමන්හලේ කුරුමේසයක් මත වූ දෙකට නමන ලද ටිෂූ කොලයක්, පෑනක් සමග ඔහු වෙත පෑවා.


"මොකටද?" ඔහු නළල රැලි ගන්වා විමසමින්, කර වටේ අතලා මා තවද ලංකර ගත්තා. ටිෂූ කඩදාසිය ගුලිකොට, ඇඳ අසල වූ කසල බඳුනට අත හැරියා. "හැම කෙනෙක්ටම, තමන්ගෙම ගමනක් තියෙනවා. ඒත් කාලයක් ගතවෙනකොට අපිට අමතක වෙනවා ඒක අපි විසින්ම නිර්ණය කරගත්තු ගමනාන්තයකට ළඟාවෙන්න, අපි විසින්ම නිර්මාණය කරගත්තු ගමනක් බව. ශෝචනීයම දේ තමයි, අන්තිමේ අපි හිතන්න පෙළඹෙනව මේ වෙන කෙනෙක් විසින් අපේ උරහිස මත පටවාපු කුරුසියක් කියලා. අපි අපෙන්ම ගැලවෙන්න ක්‍රම හොයනවා. විකාරයි නේද?"


"විකාරයක් තමයි." මම ඇස් පියාගෙන, ඔහුගේ පපුව මත හිසකේ අතුල්ලමින්, කෙටි හිස සැලීමක් සමග එකඟ වුනා.


"ඉතින්, මේක අත්‍යාවශ්‍යව තිබුණු ඩීටොක්ස් ට්‍රීට්මන්ට් එකක්. අදින් පස්සේ අපිට බිඳෙන්නේ, විසිරෙන්නේ නැතුව, තව ටික කාලයක් ගෙවාගන්න පුලුවන් වේවි කියල හිතෙන්නෙ නැද්ද? බොහෝවිට, අනාගතේදිත් අන්තිම වෙහෙසකර දවසකට පස්සේ මට ආයෙම වතාවක් ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න හිතේවි. ඒක සහතිකයි."


කුංෆු ටයිග්‍රස් පොළවට සමාන්තරව, අනන්තය තෙක් පැතිර ඇති ආකාශය දෙස බලමින්, වමත ඉහලට දිගු කරගෙන ඉන්න බව මට දැනෙනවා. ඒ තවදුරටත් ආත්මාරක්ෂක සටන් ඉරියව්වක් හෝ, තමාව ඉහලට ඇදගන්නැයි කරන ඉල්ලීමක් නොවෙයි. ගැඹුරු සිපගැනීමකට පෙර එළැඹෙන සුළු විරාමයක්. තව මොහොතකින් ඇය කවුරුන් හෝ තවත් මනුෂ්‍යයෙක්ව බිඳවැටීමකින් ගලවා ගනීවි. 




Sunday, July 9, 2017

කුරුළු පිහාටුව




ඒකි තනිකරම විකාර කවිකාර වකාරයක්. අපාර සංසාරෙ පුරාම මගෙ පස්සෙන් පන්නගෙන පන්නගෙන ආවයි කියල හිතවන්න පුලුහං විදියෙ පුදුමාකාර සැහැල්ලු කුරුලු පිහාටුවක්. හීනියි සුදුයි ඇබිතිල්ලං කෝලමකට බෙල්ලෙන් අල්ලලා ඉසකුඩිච්චියක් දාන්න වෙන තරමේ දඟකාරකමකුත් එක්කහු උනාම කොහොමද සනීපේ? ඒ තමයි මං ඔය කියපු කුරුළු පිහාටුව. මගෙ කුරුලු පිහාටුව.


මං මෙහෙම ‘පපු කුහර කුස්තුර’ පිරෙන්න දිග හුස්මක් කාරිය අරගෙන ‘මගේ කුරුලු පිහාටුව’ කිව්වට මොකද, ඇත්තටම එයා කාගෙද කියල එයාවත් දැනගෙන හිටියෙ නෑ. කාටවත් අයිති නැති වීමම එක්තරා විදියක සෞන්දර්යක් නෙව. ඇරත්, වෙන කාගෙ වුනත් මේ මගේ වේවි කියලනම් එයැයිට හීනෙක අන්තරා කොටසෙ අන්තිම තත්පර කාලෙදිවත් හැඟෙන එකක් නෑ. මං රඟපෑවෙ ඇගේ හොඳම රසිකයාගෙ චරිතෙ.


වෙන එකක් තියා ‘පපු කුහර කුස්තුර’ කියන්නෙත් මං ඔය වෙන කාගෙහරි කවියකින් කියවලා කටපාඩමේ තියාගත්තු වාක්‍යාංශයක්. මට තිබුනා සුපිරි මතකයක්. බැරිවෙලාවත් එහෙම මම මාවල් හරි ඩී.සී. හරි කොමික් එකක චරිතයක් වුනානම් මගෙ සුපර් පවර් එක විදියට කිසි ගින්නක් නැතුව මේ අසාමාන්‍ය මතක ශක්තිය පාවිච්චි කරන්න තිබුණා. ඒත් ඉතින් අවාසනාවට මම කොමික් කැරැක්ටර් එකක් නෙමෙයි. මගෙ කුරුලු පිහාටුවේ හොඳම රසිකයා.


කුරුලු පිහාටුවට තිබුනා සිල්ක් වගේ සිනිඳු, එක ගානට ට්‍රිම් කරපු කෙස්සක්. ඒ වගේම හයිය දිග නාරටියක්. නාරටිය දිගේ මහත දොළපාරක් වගේ වචන ගලාගෙන ගලාගෙන ආවා. උල්පත තිබුනෙ කොහෙද කියලනම් මම දැනගෙන හිටියෙ නෑ. හැබැයි මම ඒක දන්නව වගේ හැසිරුනා. වචන දියවෙලා හදාපු උකු තීන්තයකින් තමයි ඈ කවි ලිව්වේ. ඒ කවිවල තිබුනේ එක එක විදියේ සුවඳවල්, රසවල් සහ ස්පර්ශයන්. එක්ස්ටසි ගැහැව්වා වගේ කණිනිකාව විසාල වෙලා මුළු ලෝකෙම ඇස් දෙකෙන් උරාගෙන, රැයක් එලිවෙනකම් ඒ වචනවල රිද්මයට නටන්න හැකියාව ලැබෙන මහ පුදුමාකාර පිබිදීමක් එයින් ලැබුනා. හොඳම රසිකයා චරිතය රඟපාමින් උන්නු මම ජීවිතේ වැඩිකාලයක් ගතකලේ අඩසිහියෙන් මත්වෙලා නටමින් බව අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ? ඒ කවි ආඝ්‍රාණයෙන් පස්සේ මම උද්දීපණය වෙන්නේ රොකට් එකක් වගේ. දිඩි දිඩි ගාලා රක්තාණුයි ස්වේතාණුයි ලේ නහර දිගේ රේස් දුවන්නෙ කන් අඩි පුපුරන තරම් මහ සද්දෙට. ඒ වෙලාවට මට ඕනෙ වුනේ මගේ කුරුලු පිහාටුව වෙනුවෙන් මරාගෙන මැරෙන්න.


ඔව් ඔව්. මරාගෙන මැරෙන්න තමයි. හැමෝම කුරුලු පිහාටුවට ආදරේ එක ඇත්ත තමයි මනුස්සයෝ. ඒ හින්ද තමයි මම හන්දියක් හන්දියක් ගානෙ සරම කැහැපොට ගන්නාගෙන කවුරුහරි එනකම් බලාගෙන උන්නෙ. මක් කිව්වා? හාංකවිසියක් නොදන්න අසරණයො? අනෙ මේහ් තමුෂෙගෙ මමීගෙ ඉස්කර්ට් එක තමයි. ඕකුන් සේරම කුරුමානං අල්ලන්නෙ මගෙ කුරුළු පිහාටුවට කෙලින්ඩ!


මම දැන් කියකියා උන්නෙ මගේ රසවින්දන කර්තව්‍ය ගැනනෙ. මත් ගතිය අඩුවෙනකොට මට ඕනෑ වුනේ මීයෙක් වෙලා ඈ කවි ලියන කරදාසි කපාගෙන කපාගෙන යන්න. එව්වා නූඩ්ල්ස් රැලි ගානට තීරු කරලා, උණුවතුරෙ දාල තම්බලා, වතුර බේරෙන්න ඇරල, ලූනුයි මුද්දරප්පලනුයි එක්ක තෙම්පරාදු කරල කන්න. පරණ තාලෙ මිනිස්සු පිහාටු පෑනෙන් කවි ලිව්වෙ කරදාසිවල වුනාට මගේ කුරුලු පිහාටුව මොඩර්න් පැටර්න් දන්න හැට ආච්චම්මෙක්. ඒකි ලියන තරමක් දේවල් ලිව්වෙ වලාකුළුවල. සිංදුවකුත් සිවුරුහන් කරගෙන කේතු හැඩේ පයිනස් අතු අගිසිවල හැප්පි හැප්පි, මීදුම් සේලෙ අස්සෙන් වැටෙන හිරු කිණිතිවල දැවටි දැවටි පියාඹන ගමන් ඈ කවි ලිව්වෙම වලාකුළුවල.


තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙනව. මමත් ඈට ලිව්වනෙ. ඒ කවිවලට බොහොම දෙනා පිලිතුරුත් ලිව්වා.


හද කෙමිය
වියලී මියෙන්නෙය කනාටුව
සුහදිනිය
සුළඟේ පාව යන පිහාටුව
පුබුදුවන් ඔය හිනා මුව


අපි දෙන්නා තකට තක කැපෙන කවිකාර යාළුවෝ ජෝඩුවක් කියපු සමහරුන්ට කවිකාර කරකාර බන්ධනයක් දැකබලා ගැනීමේ වුවමනාවකුත් ඇතිබවට යන්තමින් ඉඟි බිඟි පවා ලැබෙන තත්වයකුයි පැවතුනේ. ඒ වුනත් සුදෝසුදු පිහාටුවේ පරම පිවිතුරු රසිකයා විදියට මම ශෘංගාර ස්වප්න සේරම අංගාර ආගරයක අගුල්ලලා හිරකරලා මත්වීම පවත්වාගෙන ගියා. ආගාර ද්වාරය දෙදරුම්කන වෙලාවන් නොතිබුනාම නෙමෙයි. ඒ වෙලාවට “හිතූ හිතූ ගාතේ පාරක් පාරක් ගානේ ආදරේ ප්‍රකාස කරකර යන්ඩ මේක ප්‍රංසෙද?” කියලා මගෙ සාම්ප්‍රදායික සාන්තදාන්ත ලාංකික යටිහිත ලිබරල් වෙස්තට්ටුව ඇඳපු උඩුහිතෙන් බොහොම දරුණු විදියට ප්‍රස්න කලා - දෙදරීම ඒකක්ෂණයෙන් නතර කලා.


මත්වීම් දෙකක් අතර කාල අන්තරය ගෙවාදමන එක කොයිතරම් සීරු මාරුවට කලමනාකරණය කරගන්න උත්සාහ කලත් එන්න එන්නම අසීරු වුනා. බලන බලන අත පෙනුනේ කුරුලු පිහාටුව විතරමයි. සංසාර චක්කරේකට එකක් බැගින් හටගන්න මේ වගේ විරල බැඳීමක් සරලව හිතලා අමතක කරල දාන්න පුලුවන්යැ. ආයෙමත් ආයෙමත් වචන ඇබින්දක් ඉල්ලලා කෙඳිරිගාන එක විතරමයි කරන්න ඉතිරිවෙලා තිබුනෙ. අසමසම හොඳම රසිකයා කියන පට්ටම නිසා ඒ ඉල්ලීම කරන්න නිසඟ අයිතියක් ලැබීම උරුමයක්. නිදහසේ මගේ මාවතක හමායන්න ඉඩ ඇති කුඩා විවර සියල්ලම අහුරන මේ හඹායාම, කරුමයක් කියලා එක මොහොතකටවත් නොහිතුනේ ඒ උරුමය නිසාම වෙන්නැති.


ඇබ්බැහිය උත්සන්න වෙච්ච පාන්දරක මම බොහොම තනුක කවි ද්‍රාවණවල ගිලෙමින්, යලි යලිත් ඉල්පෙමින් වෙව්ලීම නවත්වාගන්න යත්න දරමින් උන්නා. බොලේ! ඒ ද්‍රාවණ හැමෙකකම පුරවලා තිබුණේ ඇගේ පියාසැරිය අතරමැද්දේ බිම හැළුණු පිච්කාංග. නොදෝමකින්! ඇල්කොහොල් සැර ඇල්වතුර ගානට තනුක වේගෙන යනකොට ඒවා මගේ ඇඟේ ඇනෙන්න ගත්තේ ඇල්පෙනෙත්ති මිටියක් වගේ.


“දුෂ්ඨ පාහර කොල්ලකාරයා!” මං පාන්දර දෙකයි හතලිස්පහට හිස් අවකාශය පුරා කුරුටුගාමින් උන්නා. 

“පාපිෂ්ඨ අසම්මජ්ජාතියා!” ඇත්තම කිව්වොත් ඇගේ පිච්කාංග කොල්ලකාපු කල්ලතෝනියෙක් අමතන්න මං පාවිච්චි කරපු වචන හොඳ වැඩියි.


“අපි දෙන්නා හිතන්නේ පතන්නේ එකම විදියට.” පහුවෙනිදා උදේ පාන්දරම කුරුලු පිහාටුව මට ලියමනක් එවලා තිබුනා. කිව්වට විශ්වාස කරන එකකුත් නෑ, ඒ වචන ටික දැකලා මට ඉගිල්ලෙන්න හිතුනා. ප්‍රංසෙට යංද අහන්නත් හිතුනා.


“අපි දෙන්නා හිතන්නේ පතන්නේ එකම විදියට.” ඈ ආයෙමත් කියනවා. “ඔයා මගේ හොඳම රසිකයා වගේම විශ්වාසවන්තම යාලුවා. දන්නවද? එයාටයි මටයි තියෙන්නේ එකම අදහස්, එකම රිද්මය, එකම තානය, තාලය. මං හුඟ දවසක ඉඳන් එයාට යටි හිතෙන් පෙම් කරමින් හිටියේ. ඔයා දන්නවද දන්නෙ නෑ කිටිකිටියෙ සරීරෙම වෙලාගෙන පෙලාගෙන හිටිහැටියෙ යටිහිතෙන් පැනනඟින අප්‍රකාශිත ප්‍රේමයන් ගැන. ජාති ජාතිත්, හතුරෙක්ටවත් වෙන්න එපා ඒ වගේ පජාති විඳවිල්ලක්.”


“මොකක්?” සර්පිලාකාර කළු කුහරයක කල්ල කටුක අන්ධකාරෙට ඇදීගෙන යන අතරෙ මං අමාරුවෙන් අකුරු තුනක් ගැටගහගත්තා.


“මීටපස්සෙ එහෙම එයාට බනින්න ලෑස්තිවෙන්න එපා, තේරුණාද? අද මහ පාන්දර සමයමේ ඔයාගෙ පරුස වචන ඇඟේ වැදිල ඇහැරිච්ච වෙලාවේ තමයි අපි දෙන්නට දෙන්නා එකට වලාකුළුවලට නගින්න තීරණේ කලේ. ඔයා වගේ රසිකයෝ ලේසියෙන් කාටවත් මුණගැහෙන්නෙ නෑ රත්තරනේ! ඒකනෙ මං ඔයාට මෙච්චර ලෙන්ගතු.”


හෝස් ගාල හිත හිස්වෙන්න තත්පර දෙකක්වත් ගියෙ නෑ. වඩා ඉක්මන් කෝච්චියට බෙල්ල තියන එකද, කුරේටර් කන එකද කියලා කල්පනා කරලා කරලා බැරිම තැන මම කාසියක් උඩ දැම්මා. පුල් හන්තර් වෙලා ලෙල්ලටම සාටර් වෙලා හිටපු මගෙන් සම්භාවිතාවයත් ආතල් ගන්න හිතපු නිසා වෙන්නැති කාසිය පෙරලෙන්නෙ නැතුව කෙලින් හිටගත්තේ. ඒ ගමන මම තීරණය කලා ආකාසෙන් බිමට පනින්න.


මම අත්දෙක මිටිකරගෙන තුං හතර වතාවක් දෙපැත්තට පද්දලා පද්දලා පහලට පැන්න. වළාකුළුවල හැප්පෙනකොට සිඟිති මල්වැහි බිංදු චිරි චිරිස් සද්දෙට මගේ කම්මුල් උඩ හැප්පිලා පහල බේරුණා. හුලං රැල්ලකට අහුවෙලා හතර අතේ විසික්කා වෙවී සෑහෙන දුරක් තිරස් අතට ගමන් ගත්තට පස්සෙයි එකපාරටම මට ඒක තේරුං ගියේ.


මමත් කුරුළු පිහාටුවක් වෙලා!



Tuesday, April 25, 2017

චරපුරුෂයෝ




හාත්පස වසාගත් අළු අඳුරය. රෑසියන්ගේ ගුරුගුරුවත්, නින්දට වැටෙන්නට පමා වූ ගෙම්බෙකුගේ  සිහින් බකබකයත් හැරුණුකොට නිහඬතාවය ඝනකම වූල් පොරෝණාවක් බඳුව පරිසරය වෙලාගෙනය. ලැරීගේ සුපැහැදිලි නීල වර්ණ දෙඇස මත කළු ඉංගිරියා පිපී එමින් තිබුණි. ඇය ඉතා උපේක්ෂා සහගතව සුදු පැහැ තාප්පය මත වාඩිගෙන දකුණුදිග අහස දෙස ඇහිපිය නොහෙලා බලා ඉන්නට විය.

එක්වනම දුඹුරු පැහැ ලොම් ගුලි දෙකක් තාප්පය මත ප්‍රාදුර්භූත වූහ. ලැරී තිගැස්මෙන් අට ඉස්බක් උඩ පැන යලිදු තාප්පය මතටම පතිත වූවේ, කුලෑටි මුහුණක් මවාගෙන වටපිට බලා ලහිලහියේ සිය පාද කොට්ටා පිරිසිදු කරන්නට විය.


“අපි ක්ලියෝපැට්‍රාට හාද්දක් දීලා එන්නයි ගියේ. අනික අපි හරිම මිනිත්තුවට ආපහු දෙදාස් දාහතට ආව නෙව. මොකද මේ කලබල වෙලා?”

ග්ලැඩ්ස්ටෝන් දුඹුරු පැහැ කන්පෙති නටවමින් ඇසූයේ සමච්චල් හඬිනි. ලැරී බුම්මාගත්වනම වම් පාදයෙන් දකුණු පාදයට මාරු වූවාය.

===============================
===============================


Palmerstone; the resident Chief Mouser of the Foreign & Commonwealth Office (FCO) at Whitehall, London

Larry; the Chief Mouser to the Cabinet Office.

Gladstone; the resident Chief Mouser of HM Treasury at Whitehall, London.

Grumpy; media personality and actress

===============================
===============================



“ගණං ගන්න එපා” පැල්මර්ස්ටෝන් සිය වල්ගා කෙලවරෙන් ලැරීගේ පිටට තට්ටු කරමින් කීවේය. “ඇරත්, මෙහෙයුමේ අවසාන භාගයට ඇවිත් ඉන්න වෙලාවෙ, පොඩි විහිළුතහළුවක් කලාය කියලා ඇඟේ වදින්නෙ නැහැ නෙවද? අනික, ක්ලියෝපැට්‍රා වගේ බළල්ලුන්ට නිසි සැලකිලි දෙන රාජ්‍ය නායකයො බෙහෙතකටවත් හොයාගන්න නැති කාලෙක පැයක් දෙකක් ඉන්න එකත් වස කම්මැලි වැඩක්.”


“මේ තමයි අන්තිම බිංදුව වෙනකම් අවධානෙ යොදවන්න ඕනෙ වෙලාව!” ලැරී සිහින් බළල් ගෙරවිල්ලක් (ඔව් එය පුරුපුරුවකට සමානයි, නමුත් භයංකාරයි.) නඟමින් පුපුරාහැලුනාය. “කාලතරණ යන්ත්‍රය අවභාවිතා කිරීමට දඬුවම විදියට මම උඹලාගෙ කන්ගැටියි, රැවුල් කෙඳියි වැහෙන්න හෙල්මෙට් අන්දලා පිට්ටනිය වටේ රවුං පන්සිය අසූ හතරහමාරක් ඇවිද්දවනවා, සත්තකින්ම!”


පැල්මර්ස්ටෝන් ලැරීගේ වචන ගණනකට නොගන්නා බවක් අඟවමින් සිය ත්රිකෝණාකාර කන්පෙති ඔසවා තාප්පය මත වූ මල් පෙත්තකට කුරුමාණම් අල්ලන්නට වූවේය. ඔහු ඉතා කඩිසර, බුහුටි බළල් නාම්බෙකි. කොහොමටත් බකිංහැම් මාලිගාවෙන් අවශ්ය තොරතුරු සියල්ල එකතු කරගන්නට ලැරීටත් අනෙක් බුද්ධි අංශ නිලධාරීන්ටත් අවකාශ ලැබුනේ තමන්ගේ හැකියාව නිසා බැව් ඔහු හොඳාකාරවම දැන උන්නේය.


ලැරී ස්වභාවයෙන්ම උඩඟු ගති ඇත්තියකි. ඈට මීයන් පෙන්නන්නට බැරිය. “අපිට පෘථිවි වාසීන්ගේ විශ්වාසය දිනාගන්නට ප්‍රගුණ කලයුත්තේ ප්රධාන හැකියාවන් දෙකක් පමණයි. එක; මීයන්, කැරපොත්තන්, හූනන් ආදී කරදරකාර සත්තු අල්ලා මරා දැමීම. දෙක; හුරතලය ප්‍රගුණ කිරීම.” සාධ්යතා අධ්යයන කණ්ඩායම පෘථිවියට මුදාහැරීමට පළමුව පැවති සැසියත්, එහිදී මීයන්ගේ නම කියැවුණු සැණින් ලැරී සිය මුව ඇඹුල් කරගෙන රැවුල් කෙඳි පවා හකුළුවාගත් හැටිත් පැල්මර්ස්ටෝන්ට මතකය. හෝමෝ සේපියන්ලා අහලක නොගැවසෙන හැම අවස්ථාවකදීම ලැරී මීයන් මරා දැම්මේ සිය ධූලක විෂ පිස්තෝලයෙනි. ප්‍රධාන මූසික ඝාතකයා ලෙස සේවා පත්වීම ලැබීමෙන් පසුව වුව මීයන් කෙරෙහි ලැරී තුල වූ අපුල පහව ගොස් තිබුනේ නැත. අන්තිමේදි බ්රිතාන්ය අග්රාමාත්යවරයා ගෑරුප්පුවක් අතැතිව මීයන් පස්සේ පන්නන්නට වෙන තැනට තත්වය දරුණු වූවාට පසුවයි ලැරී ඇඟමැලි කඩා පැරණි බළල් කුරුමාණම් ඉගෙනගනිමින් හිත කරදරයෙන් සිටි මාලිගයේ කාර්ය මණ්ඩලය සනසන්නට පටන් ගත්තේ.


“ඇයි ග්‍රම්පි ප්‍රමාද?” හැකි වැර යොදා කන කසමින් හුන් ග්ලැඩිස්ටෝන්ගෙන් වචන පිටවූයේ කඩින් කඩය. “මිනිහා ලෝක සවාරිය ඉවරවෙලා ඊයේ මෙහෙ එනවා කියල නේද කීවෙ?”


“මට තවමත් හිතාගන්න බැරි, ග්රම්පිගේ ලොරි-මූණට මේ තරම් මිනිස්සු වහ වැටුනෙ කොහොමද කියන එකයි.” ලැරී සමච්චල් සහගත හඬකින් කියන අතර, වරින් වර බළල් කැස්සක් කැස්සාය. “මිනිහා ඉන්නෙ හෝමෝ සේපියන්ලාව දිරවාගන්න බැරුව. හැබැයි පෘථිවියේ මෝඩ ඇට්ටිම්බන්ට ග්‍රම්පි කියන්නේ ලෝක ප්රසිද්ධ සෙලිබ්රිටි කෙනෙක්!


“ඔන්න ඉතින් මැඩම්ටත් හෝමෝ සේපියන්ස්ලාගෙන් ඉරිසියාව පුරුදු වෙලා.” පැල්මර්ස්ටෝන් එක් ඇසක් ඉඟිමරමින් ලැරී දෙසට විසුළු බැල්මක් හෙලීය. “බළල්ලු අතරෙන් බිහිවෙච්ච සෙලිබ්රිටිලා නිසා තමයි අපිට මේ තරම් ඉක්මනින් සාධ්යතා අධ්යයනය සම්පූර්ණ කරගන්න පුළුවන් උනේ. නැත්නම් අපි තව අවුරුදු කීයක් එක එක නම්වලින්, වෙස්මාරු කරගනිමින්, මවිල් කෙලින්වෙනතුරා කාලය හරහා අතීතයටයි, අනාගතයටයි මාරුවෙමින්, දහජරා මීයො පස්සෙ පන්නමින් මේ ලෝකෙට වෙලා නාකි වෙන්නද? ඒ මදිවට බල්ලො!”


“ස්.. ස්..” ලැරී විසුළු සහගත ලෙස හිස දෙපසට පද්දන්නට වූවාය.

“දඩාවතේ යන බල්ලෙක්වත් එනවද?” ග්ලැඩිස්ටෝන් ලේසර් ප්‍රහාරකය එකලස් කරන්නට වී.

“එහෙම නැතිනම් කැලෑ නරියෙක්?” ඒ පැල්මර්ස්ටෝන් ය.

“සංඥාව මෝඩයිනේ! සංඥාව!”

ලැරීගේ කරපටියේ ගැටගසා තිබූ වෘත්තාකාර ගැජට්ටුව මාරුවෙන් මාරුවට රතු සහ කොල එළි දල්වන්නට පටන් ගෙන ඇති බව බළලුන් දෙපල දුටුවේ එවිටය. දකුණුදිග අහසේ පායා එමින් තිබුණේ බළල් කන් යුගලයක හැඩය ගත් තාරකා රාශියකි. එය තරු අහුරක් බඳුව මොහොතකට ඇස රවටා අභ්‍යාවකාශ යානා සමූහයක් බවට වියෝජනය වී වඩාත් පහළට එමින්, රවුමෙන් රවුමට කරකැවෙමින්, පෘථිවිය වෙත ලඟාවෙමින් පැවතුණි.


ග්ලැඩ්ස්ටෝන් සිය කරපටිය අතට ගෙන ස්විච්චි කිහිපයක් ඔබා එක්සත් රාජධානියේ සිතියම හොලොග්රැෆික තිරයක් මතට ප්රක්ෂේපණය කලේය. ඉනික්බිති සිය වල්ගා කෙලවරින් තිරයට ඇන ඇන සිතියමේ විශේෂ ස්ථාන මත කෙටි සටහන් (ඔහුගේ රැලි ගැන්වුණු නළල කියාපෑවේ ඒ සටහන් බොහොම වැදගත් ඒවා බවයි.) කුරුටු ගාන්නට පටන් ගත්තේය. ඉබාගාතේ පියාඹන හෝහපුටුවෙක් දෙන්නෙක් ඔහුගේ මුහුණේ වැදී නොවැදී ගමන් ගත්තද ග්ලැඩ්ස්ටෝන්ගේ අචල අවධානය තිරය වෙතටම යොමුව තිබිණි.


අභ්යවකාශ යානය තාප්පය අසලට පහත් වූයේ කිසිදු හඬක් නොනඟා, බොහොම සීරුමාරුවට ය. පෘථිවි වාසීන්ගේ අවධානයෙන් මගහැරෙනු පිණිස එහි වූ සියළුම විදුලි බල්බ නිවා දමා තිබූ අතර, බළල් කොට්ටා පාදයක ලාංඡනයක් පමණක්, යානයේ ඉදිරි දොර මත්තේ කණාමැදිරියෙකුගේ ලා කහ පැහැයෙන් නිවිනිවී දැල්විණි.


ලැරී සිහින් ඤාව් හඬක් නගමින් කරපටියේ වූ බොත්තමක් තද කරන්නාහාම, යානයේ ඉදිරි දොර පියන ඉහලට එසැවෙන්නට විය. එතුලින් පිටතට ආවේ අළු පැහැ නිලඇඳුම් හැඳ, දීප්තිමත් කොල පැහැ තරුපටි පැළැඳි කැලෑ බළලුන් දෙපලකි.


“ප්‍රධාන අණ දෙන නිලධාරීතුමිය සමග බුද්ධි අංශ නිලධාරීන් දෙපළක් මෙතන ඉන්නවා.” ග්ලැඩ්ස්ටෝන් සිය ඉදිරි පාදය කැලෑ බළලුන් දෙදෙනාගෙන් එකෙකු අත වූ පරිලෝකණ මැසිම මත තබමින් කීය.


“ඔහ්! මේ බකිංහැම් මාලිගාවේ කණ්ඩායම නේද?” තරමක් කළු පැහැයට හුරු කැලෑ බළලා ආදරබර පුරුපුරුවක් නැංවීය. “ඔබලා මේ අවුරුදු කිහිපයේ කල කැපවීම විස්මිතයි! ධවල මන්දිරයේ හිටපු බළල්ලුමදැයි හිතාගන්නවත් බැරි විදියට අති සූක්ෂම වෙස් මාරුවක් කරගනිමින් කාලතරණය කිරීම ඔක්කෝටම හපන්, අමෙරිකානු ජනාධිපතිවරයා බකිංහැම් මාලිගයේ සංචාරයකට ආ වෙලාවේ ඔහුට ඔබලාගේ එක මවිල් ගහක්වත් හඳුනාගන්න බැරිවුනා නොවැ.”




“හෝමෝ සේපියන් සේපියන්ස්ලා පුතා. මේ ග්‍රහලෝකෙ ඉන්න ප්‍රධානම සත්ව විශේෂය හෝමෝ සේපියන් සේපියන්ස්ලා.” පැල්මර්ස්ටෝන් විසුළු සිනහවක් පෑවේය. “උන් කවම කවරදාකවත් බළලෙක්ගේ මූණක් දිහා උනන්දුවෙන් බලන ජාතියක් නෙමෙයි. කලු පුල්ලි එකා, තනි සුදු එකා, දොඩං පාට එකා, අළු වයිරම් එකා. . . උන්දැලා දන්න තරම එච්චරයි. අපේ කාල යන්ත්‍රය නිසා පාට වෙනස් කරගනිමින් අවුරුදු සීයක් වුනත් එක එක නම්වලින් පෘතිවිය වටේ සවාරි යන්න පුළුවනි. ඒ අතින් බැලුවාම මිනිස්සුන්ට මතක හිටින මූණක් තියෙන්නේ ග්‍රම්පි කැට්ට විතරක්ම වෙන්න ඕනෑ.”


“ඔහ්! තව පොඩ්ඩෙන් අමතක වෙනවා. කෝ ග්‍රම්පි?” ග්ලැඩ්ස්ටෝන් ඇසීය.


“අවසාන මොහොතේ සැලසුම වෙනස් වුනා. ග්‍රම්පි ප්‍රංශ සංචාරය ඉවරවෙලා ආපහු අමෙරිකාවට යන්න තීරණය කලා. කොහොමටත්, වැඩේ අහවර වෙන්න ඕනෑ කාටවත්, බළල් මවිලකවත් සැකයක් ඉතිරි නොවෙන විදියටයි.” ඒ මොහොතේ යානයෙන් එළියට පිනූ හුරුබුහුටි පර්සියන් බළල් නාම්බෙක් යටි උගුරෙන් මතුලේය.


හිසට හිස හප්පාගනිමින් පැවැත්වූ රහස් ආචාර විධියකින් අනතුරුව, බකිංහැම් මාලිගයේ මූසික ඝාතකයන් තිදෙනා වල්ගා සහ රැවුල් කෙඳිති ගස්සමින් එකා පසුපස එකා බැගින් යානය තුලට ඇතුළු වූහ. සිහින් ‘තඩ්’ හඬක් නගමින් යානයේ දොර වැසී ගියේය. පොල් කුරුමිණියෙකුගේ බඳු ‘කරකර’ හඬක් සමඟ පණගැන්වුණු අභ්‍යවකාශ යානය කෙමෙන් කෙමෙන් ඉහල නැගෙන්නට වූයේ, මුලින් තුරුපෙලද, දෙවනුව උස් මැදුරුද, තෙවනුව වලාකුළුද පසුකරගෙන තවද ඉහලට ගොස්, තාරුකා අතර නොපෙනී ගියේය.


*********************************


“ලැරී… ලැරී…”
සිඟිති චාලට් කුමරිය රෑ මැද අවදිව හඬන්නට වූවාය.


කේට් මිඩ්ල්ටන් කුමරිය ඈ ඔසවා තදින් තුරුළු කර ගත්තාය. “ලැරී හොඳ පූසා. අපි හෙට එයාව බලන්න යමු.”


“ලැරී නරක පූසා. නරක පූසා තරු අරන් ආපහු එයි. අපිව අල්ලං යුද්ද සෙල්ලං කරයි” මවගේ ලැම මත ගුලිවී යලිත් නින්දට වැටුණු චාලට් කුමරිය සිහිනයෙන් මෙන් තොල් මතුරන්නට වූවාය.






Sunday, March 5, 2017

දොළොස්දාහක්! - Scifi




"දැන් නම් මගෙ ඉවසීමේ රතුකට්ට පැනලා අභී." ආලියා දෙතොල නොපිට පෙරලමින් ස්කයිප තිරය දෙස බැලීය. ඇගේ බාහුවලට කිටිකිටියේ සිරවූ ටෙඩිවළසා ඇස් ගෙඩි ඩොගිත්තාගෙන බලාගත් අත බලාගෙනය. නිල් පැහැ ඇඳ ඇතිරිල්ල තැනින් තැන රැළි නැගී ඇති හෙයින්, ලා රෝස රෑ ඇඳුමකින් සැරසුණු යුවතිය දිස්වන්නේ දියපෙතක පිපි නෙළුමක් ලෙසිනි.


"ඒ ගමන කන්න වගේ බලන් ඉන්නවා. ඇයි අනේ ඔයා විසඳුමක් ගැන නොහිතන්නේ. අපි අන්තිමට මුණගැහිලා දැන් මාස දහයකටත් වැඩියි."


අභිජිත්, නැහැය දිගේ පහලට රූටන උපැස් යුවල දබරැඟිල්ලෙන් ඔසවා, ස්කයිප තිරය වෙත හාද්දක් පා කලේය. "ඉතින් රත්තරනේ ඒකට හේතුව ඔයාගෙ තාත්තයි, අර නසරානි මස්සිනායි නෙමෙයිද? ගෙදරින් එළියට බැහැපු වෙලේ ඉඳන් ඔයාගෙ පස්සෙන් කවුරුහරි බොඩිගාඩ් කෙනෙක්. උන්ට අහුවුනොත් මාව මැස්සෙක් වගේ තලා දාවි. තේරෙනවනේ ඔයාට."


"අභී ඔයා එන්න අපේ ගෙදර. ගෙදර ඉන්නකොට කවුරුවත් මං උන්නද මලාද කියලා හොයන්න එන්නෙ නැහැ. එළියෙදි මුණගැහෙන්නනේ තහංචි. ඔයා එන්න තාප්පෙට උඩින් පියාඹලා මගෙ කාමරේ බැල්කනියට" ටෙඩිවලසාගේ නැහැය රවුමට රවුමට මිරිකමින් ආලියා තිරය වෙත ඉඟිමරයි.


"ඒ තටු තිබුණෙ රෝමියෝට. මං එදාමෙදාතුර එහෙම තටු ලැබුණ කියලා අහල තියෙන්නෙත් මිනිහ ගැන විතරමයි. අයියෝ ආලියා! උන් දෙන්නම මහා ගොං තකතීරුවෝ. ආදරේ ජයගත්තා කියන්නෙ එක ගොඩේ මැරිලා වැටෙන එකටෙයි? මට නං ඕන්නෑ එහෙම තොත්තපූල් ආලකතා."


ආලියා නළල රැලි ගන්වාගත්තාය. "එහෙනං ඉතිං හොයාගන්නවකෝ මොළේ ඇති විසඳුමක්." ඒ සමගම ස්කයිප තිරය කළු පැහැ ගැන්වී අභිජිත්ගේ මුහුණ අතුරුදන් විය. "එච්චර ඉක්මනට මලපැන්නද! කවදාවත් නැතුව!" ආලියා කල්පනා කරන්නට වූයේ ටෙඩිවළසාගේ කනක් සපමිනි.


කොට්ටා පවුර දෙදරවමින් ජංගමය කෙටිපණිවුඩයක් පැමිණ ඇතැයි හඬගෑවේය. "ෆෝන් එකේ බැටරි බැස්සා. මං විනාඩි පහකින් ආපහු ගන්නම්." ආලියා ඇස් කරකවමින් නොරිස්සුම් සුසුමක් හෙලීය. "කබල් ෆෝන් එක!" පහුගිය මාස කිහිපයක සිට අභිජිත්ගේ දුරකථනයත්, පරිගණකයත් සංවාද අතරමැද හිටිවනම නිසොල්මන් වෙයි.


හෝරා දෙකකට පසු ඊළඟ ඇමතුම පැමිණෙන විට ආලියා උන්නේ ගැඹුරු නින්දකය. ඇගේ දුඹුරු කෙස්ස කොට්ටා පුරා විසිරී තිබුණු අතර වම් දණහිසට යටින් මිරිකීගෙන හිටියේ පුළුන් පිරවූ හාවෙකි. ටෙඩි වළසා අසරණ ලීලාවෙන් ඇඳ ඉහත්තාවෙන් බිමට පතබෑවී මුනින්තලාවය. 


"හෙලෝව්" ආලියා ඈනුමක් අතරෙන් ජංගමය කනේ ඔබාගත්තාය.


"ඔන්ලයින් එන්න පැටියෝ ඔන්ලයින් එන්න!" 


"ගුඩ්නයිට්. උදේට හොඳේ."


"අහන්න! කට් කරන්න එපා මේක අහන්න. මං මොළේ ඇති විසඳුමක් හොයාගත්තා."


"ම්හ්" ආලියා නිදිමතෙන් රත් පෑ ගැනුණු දෑස් අත්ලෙන් පොඩිකරමින් ලැප්ටොප් තිරය දිගහැරියාය. කනත් උරහිසත් අතරට වාරු වී උන් ජංගමය 'දඩස්' හඬින් කළාලය මත පතිත වුනි.


"මේක අහන්න. ඔන්න මාස දහයක මහන්සියෙන් පස්සෙ මම විසඳුමක් හොයාගත්තා. මං අපිට අළුත් චැට් ගේට්ටුවක් හැදුවා. මේ ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න. දැන්ම!" එකෙණෙහිම ජනේල අයිකනයක් සහිත ඇප් එකක් සල්ලාප පෙට්ටියෙන් මතුවිය. ආලියා එය විවර කලේ නොරිස්සුම් "චඃ" හඬක් නඟමිනි.


තිරය මත දිගහැරුනේ විවර වූ ජනෙල් කවුළුවකි. ඒ තුලින් එබී බලන කල්හි තිරයේ ඈත කෙළවරේ වූ එවැනිම තවත් කවුළුවකින් මෙපිටට රිංගා එන කුඩා රුවක් දැකගන්නට ලැබිණි.


"අභි!" ආලියාගේ ඇස් මවිතයෙන් විසල්ව මුව මදක් විවර විණි. 

"ඒ ගමන මොකක්ද ඔයා කරන්න හදන විජ්ජාව?" 


"ඇතුලට එන්න ආලියා. ඇතුලට එන්න!" අභිජිත්ගේ කුහුඹු රුව ජනෙල් කවුළුව අසලට විත් අතවනන්නට විය. "දැන් ඉතිං අර නසරානි මස්සිනාකාරයාට බයේ හැංගිමුත්තන් කරපු කාලේ ඉවරයි." ඔහු උදාරම් ලීලාවෙන් බර අඩි තබා ඔබමොබ ඇවිදිනත'ර කීවේය.


"ඒත්... කොහොමද?"


"ඔය ජනෙල් ගැට්ටට පය තියලා මේ පැත්තට බර වෙන්න ළමයෝ. මං ඔයාව පුළුන් රොදක් වගේ උස්සලා අරගෙන, රිතික් රෝෂන් වගේ රවුම් දෙකක් කැරකිලා බිමින් තියන්නම්."


ආලියා තොල්පට හපාගෙන ඇස් කැරකෙව්වාය. බාගදා මේ තමන් දකින ත්‍රාසජනකම සිහිනය වෙන්නට පුළුවන. ඉතින් ඈ හිතට එඩි ගෙන පයක් ලැප්ටොප් තිරය මත තබා ඉදිරියට බර වුනාය. පැන්නාය!


අභිජිත් 'සාවනිකා මෙහිනා' තාලයට සිවුරුහන් කරමින් ඈ වටා රවුම් කැරකෙන්නට විය. "දැන් කියන්න රත්තරනේ, හොඳම ආදරවන්තයා අර මැරී වැටුන අත්තටුකාර රෝමියෝද, නැත්නම් මමද?" ඔහු සිය නළලට දබරැඟිල්ලෙන් දෙවතාවක් තට්ටු කර උදාරම් සිනහවක් පෑය. "සම්පූර්ණ සෙල්ලම තියෙන්නෙ මෙන්න මෙතන. මොළේ ඇතුලේ. මං පුරා මාස දහයක් මාන්සි වුනා මේ චැට් ගේට්ටුව හදන්න. දැන් අපිට ඉස්සර වගේම හැබෑවටම ලං වෙලා කතා කරන්න පුළුවනි."


ආලියා සෙමින් සිය කන්පෙත්ත කොනිත්තා ගත්තාය. එහෙනම් එය සිහිනයක් නොවෙයි. විස්මයෙන් විසල් වූ ඇගේ දෙනෙත බබලන්නට විය. "ඒ කියන්නේ දැන් අපිට හැමදාම මේ විදියට හමුවෙන්න පුළුවන් නේද අභී?"


ඉනික්බිති ඔවුන් අර කවුළු දෙකට මැදිවූ කුඩා ගැලරිය ඇතුලේ ගිම්හාන උද්‍යානයක් මවාගත්හ. උද්‍යාන බංකුවක තුරුළුව ඇතිපදම් පෙම්බස් දෙඩූහ. උයනේ වම් අන්තයට වන්නට වූ සිඟිති විලක හංස බෝට්ටු පැද්දහ. අන්තිමේ විලේ උන් රන්මාළුන්ට පොරි ඇට අහුරු අහුරු විසිකලහ.




"දැන් පාන්දර වෙන්නත් කිට්ටු ඇති." ආලියා නින්දෙන් අවදිවූවක මෙන් එක්වනම හිස ගස්සා අවට බැලුවාය. 

"අභී! අර බලන්න ඔයාගෙ ජනේලය!!"


"රෑ වෙනවා - එළි වෙනවා. ඕක කාටවත් නවත්තන්න බෑනෙ ළමයෝ. මං මේ චැට් ඇප් එක 'ඇප් ස්ටෝර්' දැම්මා. බලන්නකෝ දැනටම ඩවුන්ලෝඩ්ස් දොළොස්දාස් ගානක්. මං එකපාර ජනප්‍රිය වෙන්නයි, පෝසත් වෙන්නයි යන්නෙ." 


"කෙහෙල්මල් ඇප් ඉස්ටෝරුවක් නෙමෙයි මනුස්සයෝ! බලනව අර කවුළුව. ඒක වැහිලා. දැන් ඔයා කොහොමද ගෙදර යන්නෙ?"


"ආ ඒකද? ඒක මට..." 
අභිජිත් වැසීගිය කවුළුව දුටුවේ එවිටය. 

"ඒක මට අරින්න බෑ ආලියා." ඔහු හිස කසමින් කල්පනා කරන්නට විය. "මං හිතන්නෙ ෆෝන් එකේ බැටරි බැහැලා!"


"කබල් ෆෝන් එක" ආලියා හඬ වඩවඩා සිහින් විය. "පැය ගාණක් මේක අස්සේ ඉන්නවානං අඩුම තරමේ ෆෝන් එක චාජරේට ගහන්න ඕනෙ බව ඔය අතිවිශිෂ්ඨ මොළගෙඩියට මතක්වුනේ නැද්ද? දැං ඉතිං මොකද අපි කරන්නේ?"


"එක විසඳුමයි තියෙන්නේ. පනින්න. ඔයාගෙ කවුළුවෙන් එලියට පනින්න." අභිජිත් ආලියාව ජනෙල් පඩිය මත ඔසොවා තබමින් කීය. "කෝ ඔය අත දෙන්න. මටත් මේ අපායෙන් එලියට පැනගන්න!"


ලැප්ටොප් කවුළුවෙන් පිටතට පිනූ යුවල කළාලය මත හිඳ හතිඅරින්නට වූහ. "පුදුම බේරිල්ලක් නෙව බේරුණේ! හත්වලාමයි ආලියා මෙච්චර පුළුං සත්තු තොගයක් එක්ක ඔයාට මේ ඇඳේ නිදාගන්න ඉඩ ඇතිද?"


ආලියා නිකටේ අත රුවාගෙන කල්පනා කරන්නට වූවාය. "දැන් ඒක නෙමෙයි මෙතන ප්‍රධාන ප්‍රශ්ණෙ. ඔයාව තාත්තටයි අයියටයි නොපෙනෙන්න මෙතනින් එළියට යවන එකයි."


"මෙහෙම! පිජාමා කලිසමකුත් ඇඳගෙන?" අභිජිත් උස් කණ්නාඩි මේසය ඉදිරියේ හිටගෙන හිස වනන්නට විය. "මිනිස්සු හිතයි මං පිස්සෙක් කියලා. ඇයි දෙයියනේ ඔයාට අමතකද! මං මේ චැට් ඇප්ලිකේෂන් එක විකුණලා පෝසතෙක් වෙන්න ඉන්නේ. ඒ මදිවාට ප්‍රසිද්ධිය. මං හිතන් ඉන්නෙ වාහනේ පැති වීදුරු හොඳටම කළු කරන්න."


- ටොක් ටොක් ටොක් -


"ඒයි කවුද එනවා!"

ආලියා යතුර අතට ගෙන, අභිජිත් විසාල පණුවෙක් මෙන් ඇඳ යටට බඩගාන තුරු මදක් ලත වුනාය. ඉන් පසු වෙව්ලමින් දොර හැර, එලියට හිස පොවා බැලුවාය. කවුරුත්ම නැත. 


"එලියට එනවා බයගුල්ලෝ. කවුරුත් නෑ!" මකුළු දැල් වැකි හිසෙන් යුතු අභිජිත්ට දිවදික්කර ඇදකරමින් ඈ දොර අගුළු දමන්නට විය.


"ඉක්මනට පැනපං එලියට. කෝ අත දීපං මෙහාට!" ඊළඟ මොහොතේ ලැප්ටොප් තිරය ඇතුලෙන් කාමරයට පැනගත්තේ පිරිමි ළමුන් තිදෙනෙකි. 

"කොරේ පිටට මරේ කිව්වලු! යකෝ මේක කෙල්ලෙක්ගේ කාමරයක්!" එකෙක් චටස් ගා නළලට අත්ල පහරක් ගසාගනිමින් කීය.


"කවුද ඔහෙලා!!"
අභිජිත් පුරුෂ ධෛර්යය නංවාගනිමින් පපුව ඉදිරියට දමා සැර හඬක් මවාගත්තේය. 


"අපි කෙහෙල්මල් චැට් ගේට්ටුවක් දමාගත්තා ෆෝන්වලට. ඒක ජනේලයක් වගේ විකාරයක්. ඔහේ කිව්වට විස්වාස කරන එකක් නෑ, ඒ ජනේලෙන් පැනලා අපිට ඕනෙ තරං වෙලාවක් සෙට් වෙලා කියවකියවා ඉන්න පුළුවං. කොහොමත් ඉස්කෝලෙ හෙඩ්මාස්ටර්ගේ වත්තට අහස්කූරු යවලා මාට්ටුවෙලා අපි පහුගිය සතියෙම හිටියෙ නිවාස අඩස්සියේ."


තරමක් මිටි, මහත කොලුවෙක් ඊළඟට හඬ අවදි කරන්නට විය. "අපි ආපහු යන්න බලනකොට ජනෙල් සේරම වැහිලා. හොඳ ගඩොල් බාගෙකිනුත් පතබාලා බැලුවා ඒත්  ජනේලෙ කඩාගන්න බැරිවුනා. එවුවා යකඩ වගේ හයියයි!"


ඒ කියන්නේ තමන්ගේ සොයාගැනීමෙන් ප්‍රයෝජන ගෙන ඇත්තේ ආදරවන්තයන් විතරක්ම නොවෙයි! අභිජිත්ට ආඩම්බර හිතුනි. ඒත් සමඟම ලැප්ටොප් තිරයට එපිටින් ඇසෙන්නට වූයේ සිහින් ඉකිබිඳුමකි. දැරියකගේ කඳුළු වැකි දෙනෙතද, ජම්බලක් මෙන් රත් පෑ ගැනුණු මුහුණද කාමරය තුලට එබෙන්නට විය.


"අනේ කවුරුහරි ඉන්නවද මට උදව් කරන්න?" පිරිමි ළමුන් තිදෙනා එකිනෙකා පරයමින් ඉදිරියට පිනූහ. ගැහැණු ළමයාගේ හිසකේවලින්, උරබාහුවලින් සහ ඉඟටියෙන් අල්ලාගෙන කාමරය ඇතුලට ගන්නට ඔවුන් තිදෙනාම සමෝසමේ උනන්දු වෙන බව පෙනුණි.


"එයා කිව්වෙ නම් පණ වුනත් දෙනවා කියලා. ඒ වුනාට කවුළුව වැහිලා ගෙදර යාගන්න බැරිවුනාම මට එයාගෙ කාමරේ ඇතුලට එන්න දෙන්න බෑ කියලා දොර වහළ දැම්මා." ඈ අනුනාසික හඬකින් තෙපලාය.


"අභි!" 

ආලියා තමා ද මේ මොහොතේ, මේ කාමරයේ හුස්ම ගන්නා ගෑණු ළමයෙක් බව පෙන්වා දෙමින් දත් කූරු සපන්නට වූවාය. "ඇප් එකට ඩවුන්ලෝඩ් කීයක් තිබුනා කියලද ඔහේ කිව්වේ?"


අභිජිත් දුබල කෙඳිරියක් පිටකලේය.

"දොළොස්දාහක්!"



Monday, December 26, 2016

වීදුරු බුජම




සුදු පැහැ නෙට් පියාපත් පැළැඳගත් දේවදූතයෝ, වෛවර්ණ සරුව පිත්තල සැරසිලි, දිලිසෙන කුඩු තැවරූ කුඩා බෝල, වියළි දොඩම් පෙති සහ රතු ඇපල් ස්ටෙෆනිගේ තුරුණු අතැඟිලි අතරින් මිදී පයිනස් රිකිලි මත සීරුවට ලැගුම් ගනිමින් සිටියහ. උඳුනෙන් බට ඉඟුරු පාන් සුවඳ සාලය නහවමින් ඔබමොබ හමා යන්නට විය. ජනෙල් තිර මෑත් වූ හිදැසක් අතරින් කවුළුවෙන් පිටත හිම පියලි පතිත වනු දිසෙයි. කවුළු පඩිය මත දැල්වෙන රතු මහත ඉටිපහන් යුග්මයේ මන්දාලෝකය වැදීමෙන්, හිම පියලි මොහොතකට රන් පියලි වෙස් ගෙන ඇස් රවටයි.


ස්ටෙෆනි අවසන් දොඩම් පෙත්ත ආයාසයෙන් සොයාගත් නිදහස් රිකිල්ලක් අග රඳවා දෑත් පිස දැමීය. ඈ අසල වැතිරගත් රන් පැහැ වල්ගාතරුවකි. තැනින් තැන දුර්වර්ණව ගිය ඒ රන් තරුව ස්ටෙෆනිට තෑගි ලැබුණේ අත්තම්මාගෙනි.


"ඇටිකිති කෙල්ල, විස්වාස කරන අයට වඩා ප්‍රස්ණ කරන්නයි, අවිස්වාස කරන්නයි ඉපදිච්ච එව්වො එන්න එන්නම වැඩිවෙන බව ඇත්ත. ඒත් නත්තලට කලින් දවසේ රාත්‍රිය කියන්නේ ඉන්ද්‍රජාලික රාත්‍රියක්." අත්තම්මා එහෙම කීවේ මීට අවුරුදු දහයකට ඉහතදීය. එකල කෝටු කකුල් සහ කෙටි කෙස්සකින් යුත් කුඩා කෙල්ලක් වුවද ස්ටෙෆනිට අත්තම්මාගේ වචන කිකලකවත් මතකයෙන් බැහැරලන්නට හැකිවූවේ නැති. සමහරවිට ඉන්ද්‍රජාල කියන්නේ එහෙම දේවල් වෙන්නටත් පුළුවන.


"මේ තරුව එල්ලන්න ඕනේ නත්තල් ගහේ මුදුන් රිකිල්ලේ. නත්තලේ මායා බලයට අතවනන්න පුලුවන් තරුවක් ඒක. පේනවද මේ රිදී මූණත උඩ දුවන රන් තාරකා රාශිය?" ඇගේ වයස්ගත දෑස දිදුලන්නට විය. "ඒක තමයි ජනාවාසේ. මායා මිතුරන්ගේ ජනාවාසේ." ඉනික්බිති ඈ නත්තල් ගම්මානයේ කුරුමිටි මිනිසුන්ගේ සෙල්ලම්බඩු ෆැක්ටේරි ගැනත්, තෑගි රැගෙන දුම් කවුළුවෙන් පහල බසින නත්තල් සීයා ගැනත් කතන්දරය ස්ටෙෆනිට කියා දුන්නාය. 


දැන් ඈ අත තියෙන්නේ, ගිය මාසයේ ආත්තම්මාගේ කුරුමිණි අඬු අත් අකුරෙන් ලියූ ලිපිනය ඔස්සේ පාර්සල් තැපෑලෙන් ලද ඒ ඒ ඉපැරණි වල්ගා තරුවයි.


ස්ටෙෆනි ඉතා අරපරෙස්සමට රන් වල්ගා තරුව නත්තල් ගහේ මුදුන් රිකිල්ල මත නැංවූවාය. දැන් එහි වූයේ පරිගණක තාක්ෂණය හදාරන තරුණියක මිස ඉන්ද්‍රජාල විශ්වාස කරන අටහැවිරිදි දැරිය නොවෙයි. ඇරත් ඈ නිරාගමිකය. නත්තල් ගසත්, ගවලෙනත් තවදුරටත් ගෙනාවේ උණුසුම පිරුණු රාත්‍රීන් පිළිබඳ මතක මාත්‍රයන් පමණකි.


දුම් කවුළුවෙන් සිහිනි සරසර හඬක් නැගෙන මොහොතේ ස්ටෙෆනි උන්නේ සෝෆාව මත ගුලිවී පොරෝණා ප්‍රාවරණය තුල සැඟව නින්දත් නොනින්දත් අතරය. රත්දුඹුරු කලාලය මත වැතිරගත් ජංගම දුරකතනයේ නෙට්ෆ්ලික්ස් සිනමාපටයක් නිහඬවම වාදනය වෙමින් පැවතිණි. දුරකතනයට මදක් ඔබ්බෙන් වූ හෙඩ්ෆෝනයෙන් ඉඳහිට සිහින් ගුරුගුරුවක් ඇසී නෑසී යන්නට විය. 


මෙවර සරසරය ඇසුනේ වඩාත් පහතින්, වඩවඩාත් පැහැදිලිවය. ඉනික්බිති කොල පැහැ කෙසඟයෙක් ගිනි උඳුනෙන් මෙපිටට නුහුරු පිම්මක් පැන්නේය.


"හෝ හෝ හෝ! අන්තිමේදී නත්තල් තරුවක්! අංගසම්පූර්ණ ගවලෙනකුත් එක්ක!!" ඔහු සිය හීන්දෑරි අත් පා විසුළු තාලයකට පද්දමින් නත්තල් ගස වටා රවුම් කරකැවෙන්නට විය. සරසරය නැඟෙන්නේ ඔහු කර එල්ලාගෙන සිටි ඔලොගුවෙනි.


ස්ටෙෆනි ඇහැ ඇරියේ හරියටම අන්න ඒ වෙලාවේදීය.

ඉනික්බිති ඈ, එවැනි අවස්තාවක ඕනෑම තරුණියක කරන්නට ඉඩ ඇති දැය ක්‍රියාවට නැංවූවාය. 999 අමතා පොලීසිය ගෙන්වීම වෙනුවට, සිය ජංගම දුරකතනයෙන් හැකි වැර යොදා කෙසඟයාට දමා ගැසුවාය.


"හෝ හෝ හෝ! නත්තල් තෑගි ගෙනාවාට සලකන්නෙ මෙහෙමද?" 


"කවුද තමුසේ?" ස්ටෙෆනි කඩිමුඩියේ සෝෆාවෙන් බිමට බසින්නට තනන්නී, පොරෝණාවේ පැටලී අලගෙඩියක් මෙන් කළාලය මත පෙරැලුනාය.


"කෝ මස් පස්තෑල? අඩුම තරමේ කුකී එකක්, කිරි වීදුරුවක්? ඒ මදිවාට දමා ගහන්නේ වයර් එල්ලෙන කතා පෙට්ටියකින්." කෙසඟයා ඉනට අත තියාගෙන දබරැඟිල්ල ලෙලවන්නට විය. ඔහුගේ නහය ජම්බුවක රත් පැහැයට හැරෙමින් තිබිණි. 


"කවුද තමුසේ?" ස්ටෙෆනි පුනරුච්චාරණය කලේ වඩා දුබල, වෙවුලනසුළු හඬකිනි.


"මම තමයි නිකුලස්. සෙන්ට් නිකුලස්. සැන්ටා ක්ලෝස්." කෙසඟයා කළාලය මත බට්ටා පනිමින් කීය.


"නත්තල් සීයා කියන්නේ අන්න අරයට" දුරකතන තිරයේ වාදනය වෙමින් තිබූ කැරොල් වීඩියෝවක නත්තල් සීයා ළමා ලපටින් පිරිවරාගෙන, සිය රත් පැහැ ලෝගුවද, සුවිසල් උදරයද, පුළුන් රැවුලද නටවමින් උන්නේය.


"ඈ බොල මෝඩ ඇටගෙම්බියේ!" කොල කෙසඟයා අපුල දනවන හඬක් නැංවීය. "අර නාකි බඩතඩියා දුම් කවුළුව අස්සෙන් රිංගනවා කියන එක උඹත් විස්සාස කරනවද? පිණිමුවෝ බැඳපු කරත්තෙයි, උන්දෑ තප්පරේට ගෙවල් දාහකට තෑගි බෙදන කතන්දරෙයි සේරෝම?"


"නත්තල් සීයා කියන්නෙ මිත්‍යා විස්වාසයක්." ස්ටෙෆනි නහයෙන් පිඹිමින් කීවාය. "මම නිරාගමිකයෙක්. මම කියන්නේ, නත්තල් සීයා නමින් හඳුන්වන කෙනාගේ හැඩරුව ඔහේට වඩා ඉන්තේරුවෙන්ම වෙනස් කියන එකයි."


"හෝ හෝ හෝ! ආං කියවනවා ඉටිගෙඩියක්!" එවර කෙසඟයා සන්සුන්ව කලාලය මත එරමිණිය ගොතා වාඩිගත්තේය. "නත්තල් සීයා ඉස්සර, මං මේ කියන්නේ ඉස්සරෝම ඉස්සර, දුම් කවුළු දිගේ බඩගෑවේ කොල පාට ඇඳුමක් ඇඳගෙන. සැන්ටා ක්ලෝස් මිටියි, කෙසඟයි, මීමැස්සෙක් වගේ කඩිසරයි."




"හැබැයි වැදගත්ම දේ!" කෙසඟයා උගුරේ රුල් බුරුල් හැර මදක් එකෙල මෙකෙල වූවේය. "සැන්ටා ක්ලෝස් කියන්නේ තනි මනුස්සයෙක් නෙමෙයි. සැන්ටා ක්ලෝස්ලා ඉන්නවා සියක්දහස් ගානක්!"


ස්ටෙෆනි ආයාසයෙන් කෙල ගුලියක් ගිල්ලාය. තොල කට වියලී ඇති බැව් හැඟුනෙන්, ඈ අඩක් හමාර කර ටීපෝව මත දමා ගිය කෝලා බෝතලයේ පියන හැර, ග්ලග්ග්ලග් හඬින් කෝලා දියර උගුරට වත්කර ගත්තේ කෙසඟයා දෙස යටැසින් බලමිනි.


"ඔන්න ඔය සෝඩා බුබුළු වතුර තමයි මිනිස්සුන්ගේ ඔළු කුරුවල් කලේ. කොල පාට නත්තල රතු පාට කලේ" කෙසඟයා කීවේ බැරෑරුම් හඬිනි.


"ඒ කාලේ හැම ගෙදරකම තිබුනා නත්තල් තරුව. ඒකෙන් නිකුත්වෙන සංඥා කිරණ දිගේ අපිට පහසු වුනා නත්තල් ගෙවල් හඳුනාගන්න. පෘතුවිවාසීන් අපිව බලාපොරොත්තුවෙන් මග බලාගෙන හිටියා. මස් පස්තෑල, කුකීස්, කිරි විතරක් නෙමෙයි, කැරට් අලත් උඳුන් පඩිය උඩ පෙළගස්සලා තිබුණා අපූරුවට. මොකද, ඒ අය දැනගෙන හිටියා මේක වෙහෙසකර ගමනක් විත්තිය."


කෙසඟයා නත්තල් ගහේ රිකිල්ලක එල්ලී උඩ පිම්මක් පැන්නේය. ස්ටෙෆනිට අත්තම්මාගෙන් තෑගි ලැබුණු රන් තරුව දකුණතින් නෙලාගත් ඔහු වට දෙකක් කැරකී බිම පතිත විය.
 

"මේ බලන්න මෝඩ කෙල්ල. මේ තියෙන්නේ අපේ ජනාවාසය. ඔහු රන් තරුවේ රිදී මූණත උඩ දුවන රන් තාරකා රාශිය සෙමින් වමතින් වරක් පිරිමැද්දේය. තාරකා, එල්.ඊ.ඩී. බල්බ රැසක් මෙන් නිවි නිවී දැල්වෙන්නට විය.


දැන් බලන්න කවුළුවෙන් එපිට පේන්නේ මොනවාද කියලා.


කවුළු තිරය සරස් හඬ නංවමින් මෑත් විය. ස්ටෙෆනි, කෙසඟයා අනුව යමින් තද දම්පැහැ ආකාශය වෙත නෙත් යොමු කලාය. රන් තරුවේ සටහන්ව තිබූ තාරුකා රාශිය ආකාශය මත පොබයමින් තිබිණි.


"තෑගි හදන්නෙත්, තෑගි බෙදන්නෙත් අපිමයි." කෙසඟයා කවුළුවෙන් පිටත ගෙමිදුල වසාගත් හිම කැටිවලට මිමිණීය. "අපි එන්නේ දුම් කවුළු දිගේ, මැදියමේ. එන්න එන්නම රන් තාරුකා අත ඇති මිනිස්සු අඩුවෙන එකයි හිතට අමාරු. අන්තිමේ අපි අපේ ජනාවාසයට වෙලා බලාගත් අත බලාගෙන ගෙවාදාන නත්තලක් උදාවේවි. හීතලේ, තනිපංගලේ!"


"සැන්ටා ක්ලෝස්!" ස්ටෙෆනි කෙසඟයාව තමා වෙතට ඇදගෙන, හැකි වැරෙන් තුරුළු කරගත්තීය.


"කොල පාට පිටසක්වල ජීවියෝ එන්නේ පෘතුවිය ආක්‍රමණය කරන්න නෙමෙයි දරුවෝ. එයාල එන්නෙ ආදරයත්, උණුසුමත් බෙදාහදාගන්න." කෙසඟයා ස්ටෙෆනිගේ හිස මෘදුව පිරිමදිමින් කීය. "සුභ නත්තලක්!" ඊළඟ මොහොතේ ඔහු දුම් කවුළුව තුළින් අතුරුදන් විය.


නත්තල් ගස පාමුළ රිදී පැහැ කරදාසියකින් එතූ තෑගි පෙට්ටියක් එක්වනම ස්ටෙෆනිගේ නෙත ගැටුණි. ඈ තෑගි පෙට්ටිය විවර කලේ වෙව්ලන අතැඟිලිවලිනි.


එතුල වූයේ උස් වීදුරු බුජමකි. එහි මුවවිට දක්වා පිරී තිබුණේ අලුත් රන් පැහැ වල්ගාතරුවලිනි.


"සාමයේ පණිවුඩය බෙදාගන්නට ඔබටත් පුළුවනි." වීදුරු බුජම මත ඇල අකුරෙන් ලියැවී තිබුණි.