Monday, June 29, 2015

අප්පගේ පුතා සහ නොට්ටිගේ පුතා


“අප්ප කරපු දේ පුතා නොකලොත් 
ඌ නොට්ටිගෙ පුතා”


මේ කතාව ලංකාවෙ අපිට හොඳට ඇහිල පුරුදු කතාවක්. සමහරුනම් කියන්නේ මේ නොට්ටිගෙ පුතා කියන එකෙන් අදහස් කරන්නෙ ‘නොට් උගේ පුතා’ කියන එක කියලයි. කොහොම වුනත්, අප්ප කරපු දේ කරන්න වගේම, අම්මගේ/ අප්පගේ කපාපු පළුව වගේ කියල කටපුරා කියන්න පුලුවන් වෙන්නත් හේතුවෙන දෙයක් ගැන විස්තර ටිකක්, බොහෝම ටිකක් කියන්නයි අද බස්සි කම්පනා කලේ.


ඔන්න එහෙනම් අදත් කට්ටිය හත් අට පොලකින් ඈඳි ගන්නකො පුතා අප්ප වගේ වුන හැටි අහගන්න.


ට්‍රිලියන පන්සියක් සෛල අපේ සරීරේ ඇත්තේ
ඒ හැම සෛලයක් ගානෙ ලියවෙයි ජීවිත තත්තේ
විස්තර එකටෙක අඹරා ඉනිමං හැඩයක් ගත්තේ
ඩී.එන්.ඒ. අණුව තමයි මේකට වගකිව යුත්තේ


බිංදු බිංදු එකතු වෙලා මහ වැස්සක් හැදෙනවාලු
ඩී.එන්.ඒ. එකතු වෙලා ක්‍රෝමසෝම හැදෙනවාලු
ක්‍රෝමසෝම ජෝඩු දමා සෛල ඇතුලෙ පැක් වෙන්නේ
මිනිස් සෛලයක් ඇතුලේ ජෝඩු විසිතුනක් ඉන්නේ


ඩී.එන්.ඒ. එකතු වෙලා ක්‍රෝමසෝම හැදෙනවාලු


හරියටම එක එක බස් වර්ගෙ ඇතුලෙ ගාල් කරන්න පුලුවන් මගියො ගාන වෙනස් වෙනව වගේ, මේ ක්‍රෝමසෝම යුගල් ගණනත් ජීවී විශේෂයට අනුව වෙනස් වෙනවා පින්වතුනි. 


චිම්පන්සියාට විසිහතරයි
ඌ කන කෙසෙලට එකොලහකුයි
අනේ අහිංසක පළතුරු මැස්සෝ
උඹැහැටනම් ඇත්තේ හතරයි



ජාන

“ජාන”


විවිධ පන්නෙ ඩී. එන්. ඒ. ක්‍රෝමසෝමයේ ඇත්තේ
පේලි පේලි ඩී. එන්. ඒ. උපදෙස් හංගා ගත්තේ
එහෙව් පේලි “ජාන” නමින් දිසෙයි තැනින් තැන මැද්දේ
“ජාන” විධානය දෙනකොට ප්‍රෝටීනයි පණ ලද්දේ


සමාවෙන්ට සුපින්වතුනි. මෙච්චර වෙලා වටේ ඇවිද්දා මිසක “අප්ප කරපු දේ පුතා නොකලොත් ඌ නොට්ටිගෙ පුතා” වෙන හැටි කියා දුන්නෙ නෑ නෙව. ඕන් එහෙනම් අහගන්ට තොරණේ විස්තරේ වර්තමාන කතාව.


මම මුලින්ම කීව නෙව  මිනිස් සෛලයක ක්‍රෝමසෝම යුගල් විසිතුනක් තියෙන බව. ඉතින් සෛල විභාජනයේදි, ඒ කියන්නෙ අලුත් සෛල හැදෙනකොට ඔය ක්‍රෝමසෝම යුගල් ඒ විදියටම අලුත් සෛල වලට පිටපත් වෙනවා. මේකට අපි කියන්නෙ අනූනන විභාජනය කියලා.


අනූනන විභාජනය


ඒත්, ඒත්, ඒත්…..


අපේ ප්‍රජනක සෛල නිෂ්පාදනය වෙන විභාජන ක්‍රියාවලිය මීට වඩා වෙනස්. එතනදි ප්‍රජනක සෛලයකට ඇතුලත් වෙන්නේ අර ක්‍රෝමසෝම 46න් (යුගල් 23න්) 23ක් විතරයි. ඒ කියන්නේ ආත්මීය බැඳීමකින් එකට වෙලිලා උන්නු ක්‍රෝමස්ලා ජෝඩු ටික, අනේ අඬ අඬා සෛල දෙකකට වෙන්වෙලා යනවා.

මෙන්න මේ ක්‍රියාවලියට අපි කියනවා ඌනන විභාජනය කියලා.


ඌනන විභාජනය


ඌනන විභාජනයෙන් හැදුන ඒකගුණ ඩිම්භ සෛලයක් මෙන්න මේ විදියට එතැන් සිට සිද්ධිය විස්තර කරනවා පින්වතුනි.


තනිවී සිටින්නයි මා අදහස් කලේ
ශුක්‍රාණුවක් ඇවිදින් එය වෙනස් කලේ
ඒකගුණ වෙමු කිව්වත් නෑ – සවන් යොමු කලේ
ද්විගුණ යුක්තානුවක් එයයි බිහිකලේ


යුක්තානුවා බෙදුනේ අනූනනයෙනී
ජෝඩු වී දැන් මගේ තනි මතේ බැරි වුනී
නිලීන වු ඇලීලේ හද විසකටු ඇනී
ප්‍රභලම ඇලීලේ නිති ඉස්මතු වුනී


මේ විදියට ප්‍රභල ඇලීලයි – දුබල ඇලීලයි ගැන ඩිම්භයක් ගායනා කලාට, මම දන්නව ඔය පින්වතුන්ට ඒ කොටස පැහැදිලි මදියි කියල. ඒ නිසා මම පොඩි උදා (eg:) එකක් කියල දෙන්නම්.


මේ උදාහරණෙ ප්‍රැක්ටිකලි කරලා පෙන්වලා සමස්ත ලෝකයාගේම ඇස් කන් නාසා ඇරවීමේ ගෞරවය යන්න ඕනෙ පූජ්‍ය ග්‍රෙගරි මෙන්ඩල් උත්තමයාට. එතුමාව අපි ප්‍රවේණි විද්‍යාවේ පියා ලෙසට හඳුන්වනවා.





අපි මේ කතාව පටන් ගන්නේ පුංචිම පුංචි මෑ ඇටේකින්.

මෑ ඇටේට පාට දෙකයි. සමහර මෑ ඇට කොල පාටයි. සමහර මෑ ඇට කහපාටයි.

අපේ ග්‍රෙගරි පූජකතුමා දවසක් මේ කොල මෑ ඇට තියෙන ගහක්, කහ මෑ ඇට තියෙන ගහක් එක්ක මුහුම් කරනවා. 



ඕං බලන්ට වෙච්චි වැඩේ! මෑ දරුවො සේරගෙම ඇට කහපාටයි.


අපේ පූජකතුමා එහෙම ලේසියෙන් සරෙන්ඩර් වෙන මනුස්සයෙක් නෙමෙයි. උන්නැහේ ආයෙමත් ඒ දරු පරම්පරාව මුහුම්කරණයට ලක් කරනවා.





අහෝ! මේ කුමන ප්‍රාතිහාර්යයක්ද! මෙන්න කොල පාට ඇට ඇති දරුවෝ දෙවෙනි පරම්පරාවේ ඉන්නවා. මේක අනුපාතයක් විදියට දැක්වුවොත්,

    කහ ඇට : කොල ඇට
3 : 1





ඉතින් ග්‍රෙගරි මෙන්ඩල් තුමා මේ අසිරිමත් සිදුවීම දිහා බලල කියනවා මෙහෙම.

“අහෝ සර්වබලධාරී දෙවියන්ගේ මහිමය! මාගේ නොවක් යැදුම් සහ ස්තෝත්‍ර වලට සවන් යොමු කල දෙවියන් වහන්සේ විසින්, දෙවෙනි දරු පරම්පරාවේ මෑ ඇට කොල පැහැයෙන් වර්ණ ගන්වා. . . . . .”


නෑ නෑ! උන්නාන්සෙ එහෙම කියල පූජාවක් තියල වැඩේ ක්ලෝස් කලානම් අද ප්‍රවේණි විද්‍යාවක් කොයින්ද? ග්‍රෙගරි තුමා ඔය සිදුවීම විශ්ලේෂණය කරනවා මෙන්න මේ විදියට.





මේ රූපසටහනේ තියෙන විදියට ‍Y කියන්නේ ප්‍රමුඛ ඇලීලය. G කියන්නේ නිලීන ඇලීලය. ප්‍රමුඛ ඇලීලයක් එක්ක ඉන්නකොට නිලීන ඇලීලයෙන් කියවෙන රූපානුදර්ශය ඉස්මතු වෙන්නේ නැහැ. කොලපාට මෑ ඇට බිහිවෙන්නේ නිලීන G ඇලීල දෙකක එකතුවෙන්.


ඔය සීන් කෝන් එක පැහැදිලි කලාට පස්සේ මෙන්ඩල් මේ විදියට නියමයන් තුනක් ඉදිරිපත් කරනවා. ඒවා මම ඔබ-තමුන්නාන්සේලාට තේරෙන බාසාවෙන් මෙහෙම කියන්නම්කෝ.

1.
ජීවියෙක් තුල ඇලීල යුගලයක් පවතින අතර ඌනන විභාජනයේදී ඒවා අහඹු ලෙස බෙදීමට ලක්වේ.

2.
එම ඇලීල සංසේචනයේ ප්‍රතිඵලයක් ලෙස අහඹු ලෙස එක්වේ.






3.
සමහර ඇලීල ප්‍රමුඛ ය. සමහර ඇලීල නිලීන ය. ප්‍රමුඛ ඇලීලයක් සහ නිලීන ඇලීලයක් යුගලනය වී ඇති අවස්ථාවන්හිදී ප්‍රමුඛ ඇලීලය නියෝජනය කරන රූපානුදර්ශය ඉස්මතු වී පෙනේ.



ඕං එහෙනම් අදට සෑන්ස් පාඩම ඉවරයි. බස්සි ගොඩක්ම ආස කරන සහ කැම්පුස් ගිහින් ඉගෙනගත්තු සබ්ජෙට්ටුව තමයි මේ. ඒත් මේක ගොඩක් දෙනාට නීරසයි – කලින් සෑන්ස් පාඩම් වගේ නෙමෙයි. ඒත් ඔයාල කැමතියිනම්, අණුක ජීව විද්‍යාව සහ ජාන තාක්ෂණය ගැන කියාදෙන්න බස්සි එවරෙඩි!







Wednesday, June 24, 2015

බස්සි නැවතත් කරළියේ!






හරියටම මීට අවුරුදු හතර හමාරකට කලියෙන් බස්සි කැළණිය විශ්වවිද්‍යාලයේ ෆ්‍රෙශියෙක්. ඔය කාලේ සෑන්ස් එවුන්ගෙත් ආර්ට් සර්කල් එකක් තියෙනබව දැනගැනීමෙන් උද්දාමයට පත්වෙන බස්සි කලා කවයට හොට දාන්න යාමේ ප්‍රතිඵලයක් විදියට සෙකන්ඩ් ඉයර් අයියලාගේ ෂෝර්ට් ෆිල්ම් එකක නිළියක් වීමේ මරාලයක් හිස මතට කඩාපාත් කරගන්නවා.


ඔය කැම්පස් එකේම දෙක වසරේ අයියෙක් ඉන්නවා නිතරම කොම්පීටරේ ඇතුලෙ හැංගිලා ඉන්න, පොඩි පොඩි රොබෝ කෑලි ඇටවීමේ උණෙන් පෙලුන, ඉඳහිට කැමරාවක් පිටිපස්සේ හැංගිලා ෆ්‍රෙශර්ස් ඩේ එක වෙනුවෙන් අසරණ ෆස්ට් ඉයර්ස්ලාගේ හැසිරීම් වීඩියෝ කර මඩ වීඩියෝ හදන සහ දවසේ ඉතිරි කාලය ඉලෙක්ට්‍රොනික් ලැබ් එක ඇතුලේ ගැජමැටික්ස් අමුණමින් ගත කරන. එයා කැම්පුස් එකේ ටෙකිටෙකි වැඩ වලට මූලික වුන 'විෂන් ක්ලබ්' එකේ පොරක්.

.
අහම්බෙන්, ඉතාම අහම්බෙන්, ෂෝර්ට් ෆිල්ම් එක කරපු අයියලාට හිතෙනවා ෆිලුම වීඩියෝ කරන්න විශන් ක්ලබ් එකේ සහය ගන්න. අනේ අර අසරණ කැමරා කොලුවා එතෙක් ගතකරපු සුන්දර තනිකඩ ජීවිතය එතෙකින් නිමා වෙනවා.


ඒ ටෙකි පිස්සට පුලුවනි ඉහලම වර්ගයේ සෝෆාවක ඉඳගෙන ඉන්න තරම්ම පහසුවෙන් පාරේ බෝක්කු ගැට්ටක ඉඳගෙන,. තමන්ගෙ කෙල්ලවත් ළඟින් වාඩි කරගෙන, කරට අතකුත් දාගෙන, ආගිය කතා වට්ටෝරුවක්ම කියවන්න.


ඕනෑම මනුස්සයෙක්ගේ හිත සසල කරවන්න පුලුවන් තරමට පැල්ලම් ගැහුන අන්නසි අච්චාරු බේසමකින් ගත්තු අච්චාරු මුලක් ගෝල්ෆේස් එකේ පඩියක් උඩ වාඩිවෙලා කන්න, අන්තිම කෑල්ලට රණ්ඩු කරන්න.


මම ලයිබ්‍රරි යනකොට තනියට එන්න. ඇවිත් ලොකු ප්‍රෝග්‍රැමින් පොතකට ඔලුව තියන් නිදාගන්න. පැයකට සැරයක්වත් මාවත් ඇදගෙන කැන්ටිමට දුවන්න.


අසනීප උන දාට කෑම කවන්න, බොරු නෝක්කඩු කිය කිය ඔරේන්ජ් බාර්ලි හරි චොකලට් හරි එක්ක අමාරුවෙන් බෙහෙත් පොවන්න. බෙහෙත් සේරම බිව්වොත් ඔලුව අතගාන්න.


අමුම අමු විකාරයක් විදියට පේන කෙල්ලෙක්ගේ මෙන්න මේ වගේ ඉල්ලීම් දරාගෙන ඉන්න.

“මට ඕනෙ බර්ත්ඩේ ප්‍රසන්ට් එක පේස්ට්‍රියකුයි, චොක්ලට් මෆින් එකකුයි.”

“වැකේෂන් ඉවරවෙලා එද්දි ඉරි වැටුන දිග සීනිබෝල අරන් එන්න හොඳේ. අර අපි චූටි කාලෙ තිබුනෙ. පාට පාට”

“මට කා එකේ මුලින්ම යන්න ඕනෙ පරණ කොට්ටාව පාරෙ අර එල්.ඊ.ඩී. ඩිස්ප්ලේ එක බලන්න. ඒක ප්ලේ වෙලා ඉවරවෙනකම් කවදාවත් බස් එක නවත්තන් ඉඳලා නෑ.”


කම්මැලි ටෙකි ටෙකි දේශණයක් අතරෙදි මම නිදා වැටෙන විදියටම, කවි ගැන, සාහිත්‍ය ගැන කරන දේශණේකදි එයත් නිදා වැටෙනව. ඒත්, කාලයත් එක්කම ආස්‍රැතියෙන් උරාගෙන වගේ හිටපු ගමන් මම අලුත් ඇන්ඩ්‍රොයිඩ් ඔපරේටින් සිස්ටම් එකක් ගැන පණ්ඩිත අදහසක් කියනවා, එයා රුසියන් කතාවක උපුටනයක් ගැන විස්තර කරනවා. 


කොහොමින් කොහොම හරි බස්සි පහුගිය සති දෙකේ අතුරුදහන් වෙන්න හේතු උනේ ඔන්න ඔය බසු පිස්සා එක්ක බසු මගුලක් ගත්තු නිසයි.


දැන් තියෙන්නේ පහුගිය දවස්වල බස්සි බිසී වීමට අදාල නිදහසට කාරණා දැක්වීම. බසුමගුලට අදාල කේක් පෙට්ටි නිර්මාණය, මංගල ආරාධනා පත්‍ර නිර්මාණය, පුංචි පුංචි සැරසිලි කටයුතු වගේම හෝම් කමින් සාරිය වර්ක් කලෙත් මම තුමිය තමයි. අන්න ඒ නිසයි පහුගිය කාලෙ කමෙන්ට් වලට රිප්ලයි වැටෙන්න පමා වීම් වගේ අතපසුවීම් සිදු වුනේ.


හෝම් මේඩ් කේක් සහ ඇසුරුම්

වර්ක් ඉන් ප්‍රෝග්‍රෙස්

ඉන්විටේශම සහ කේක් ඇසුරුම - day 01

මේ කෙහෙම්මල් සාරිය වර්ක් කරලා ඉවරවෙලා ගත්තු පොටෝව 
නෑ නෙව. හොයාගෙන දාන්නං හොඳේ?


ඉතින් ඒ අතපසුවීම් ඉවසා වදාරගෙන බස්සි එක්ක මේ තරම් දුර ආපු ඔයාල හැමෝටම ගොඩක් ස්තූතියි.





ප. ලි.

හෝම්කමින් කාර්ඩ්, කේක් ඇසුරුම් සහ සාරියේ වර්ක් එක නිර්මාණය කරන අතරතුරේ ෆොටෝ ඇල්ලුවත් ඒවා මේ මොහොතේ අස්ථාන ගතවී ඇති බැවින් අද සෑට ගෙදර ගිහින් ඒ පොටෝ ටිකත් අප්ලෝඩ් කරන්නම් ය.








Thursday, June 4, 2015

විසදෘශ | Unparalleled







නිර්මලා කෑලි හතරෙන් මහතට ගොතාපු කොණ්ඩ කරල් දෙක බෙල්ල පිටිපස්සට දාල හැඩ බැලුවා. ආයෙමත් අත් දෙක කරකවලා කෙහෙ කැරලි අවුල් නොවෙන්න සීරුවට කොණ්ඩා කරල් දෙක අරන් පපුව උඩින් පහළට වැටෙන විදියට දමාගෙන පැත්තට හැරිලා බැලුවා. නළලට වැටෙන අකීකරු කෙහෙමුදුවක් කීකරු කරපු කොණ්ඩ කටුව හෙමින් ඇදලා ගලවලා දැම්මේ කුඩා කෙහෙමුදුවක් දෙකක් හුළඟේ යනකොට ලස්සන බව ඇයට ඇහිලා තිබුන නිසා. ආයෙමත් ඈ දකුණු කොණ්ඩා කරල මද ගැස්සීමක් සහිතව පිට මැදට තල්ලු කලේ ගණන් අච්චු පොතේ තිවුනු අසමමිතික රූප, සමමිතික රූපවලට වඩා ලස්සන බව හදිසියේම මතක් වුන නිසයි.


“තේ බොන්න වරෙල්ලා ළමයිනේ…!” මද විඩාපත් ගතියක් තිබුනත් අම්මගෙ කටහඬේ ආදරේ උතුරනවා. මල්ලි කලබලේට කුස්සියට  දුවගෙන ගියේ සාලෙ තිවුන ප්ලාස්ටික් පුටු දෙකේම හැප්පීගෙන. මැටි කහ පාට පුටු හතර ගෙදර ගෙනාපු දවසෙම තාත්තා මහ උජාරුවෙන් එයින් එකක් නිර්මලාගෙ කාමරෙනුත්, අනික මල්ලිගෙ කාමරෙනුත් ගෙනිහින් තිබ්බෙ “ඔන්න දැන් මයෙ කෙල්ල අඹ ලෑලි බංකුවෙ ඉඳන් පාඩම් කරපු කාලෙ අහවරයි.” කියමින්. 


“අනේ මන්දන්නෙ නෑ මේ කොලුවට තියෙන හදිස්සිය. තාත්ත නැහිල නැහිලා ගෙනත් දෙන බඩු මූට්ටු ටික පෙරළලා කඩාදාපං පුලුවන්නම්.” අම්ම කිව්වේ බොරු තරහවක් මවාගෙන. සුදු ගවොමේ රැළි ටික නොඉහිරෙන්න අත් දෙකෙන්ම තද කරලා ඉනේ හිට පහළට දෙවරක් පිරිමැදගත්තු නිර්මලා කුස්සියෙ දොරෙන් ඇතුළු උනේ පැත්තට හැරිලා. සමහරවිට බිත්තිවල තියෙන දැලි පාට සුදු ගවුමේ ගෑවෙන්න පුලුවනි.


මේසෙ උඩ බෙලෙක් කෝප්ප දෙකක තේ කහට පුරවල තිබුන. ඊට ටිකක් එහායින් නිර්මලාට ගිය අවුරුද්දෙ සාහිත්‍ය උත්සවේදි තෑගි ලැබුනු නිල් පාට පෝසිලේන් මග් එක. මග් එක සීරුවට අතට ගන්නකොටම මල්ලි ඇවිත් දඩස් ගාල හිස් බෙලෙක් කෝප්පෙ මේසෙ උඩට අතෑරලා පිටි අල්ලෙන් කිරි රැවුල පිහදාල හිනා වුනා.


“දාංගලේ විතරක්! තව පොඩ්ඩෙන් සුදුගවුමෙත්තෙක්ක කිරි ඉහෙනව.” නිර්මලා මූණ හපුටු කරගෙන මල්ලිට එරෙව්වා.


*************



 “ආන්න බස්සෙක එනව. පරෙස්සමින් ගෙහින් එන්න මයෙ අම්ම.” සිරිදාස නිර්මලාගෙ හිස අතගාලා පිටට තට්ටුවක් දැම්මා. ප්‍රති ආචාරයක් නොලැබෙන බව දැන දැනම බස් එකට අත වැනුවා. ළමයි දෙන්නට හොඳින් උගන්නලා තැනකට ගන්න හීනෙ සිරිදාසගේ පපුව පුරාම මුල් ඇදලා තිබුන. නිර්මලා ඒ හයක් එක්ක සාමාන්‍ය පෙල පාස් වෙච්ච එකෙන් ඒ හීනෙ මල් පොකුරක්ම පිපුන නිසා සිරිදාස උන්නේ බොහොම ආඩම්බරෙන්.


“උඹත් අක්ක වගේ විබහගෙ පාස් උනොත් ටවුමෙ ඉස්කෝලෙට ගිහුන් ලොකු මහත්තේක් උනෑකි. අපේ කොම්පැණියට අලුතෙන් ලොකු මහත්තයෙක් ආව පොඩි එකෝ, හිනාවෙනකොට උඹේ මූණ වගේම කම්බුල් පිම්බෙනව.” පොඩි පුතාගේ කුඩා අත්ල වැරෙන් අල්ලාගෙන, ඉස්කෝලෙ පාරට හැරෙන අතරෙ සිරිදාස කියවන්නට උනා.


ළමයි දෙන්නව ඉස්කෝලවලට ඇරලවලා ආපහු දුවන ගමනින් බස්ටෑන්ඩ් එකට එනකොට සිරිදාසට කොළඹ බස් එකේ එල්ලෙන්න වෙලාව හරි.



*************




“අනේයිය! මටනං බෑ.” නිර්මලා කට උල් කරගත්තා.


කසුන් නළල රැළි කලා. යටැසින් බලාගෙන ඉන්නකොට ඒ මූණ මහ නපුරු පාටයි. නිර්මලා බිම බලාගෙන උල් සපත්තුවෙන් පොළව හාරන්න වුනා. සිහින් පස් කැටිතිවලින් සුදු සපත්තුවල දුඹුරු පැහැ කුඩා පැල්ලමක් දෙකක් තැවරුනා.


“මොනාද හලෝ, මම දැන් සතියක් තිස්සෙ චාටර් වෙනවා. අනික, ඔයාමනෙ එදා කීවෙ මේ ටවුම එපා වෙලා කියල.”


“හරි ඉතින් මම කියල ආවෙ අද හවස ඉකෝන් පංති කියල.” නිර්මලා සපත්තු දෙකත් එක්ක හීනියට හිනා වෙමින් යටැසින් බැලුවා. 


“මොට්ට මෝඩි. ආව මෙතන මට බොරු කියන්න.” කසුන් නිර්මලාගෙ කන්පෙත්ත මිරිකන්න අඩියක් ඉස්සරහට පනිනකොටමයි උදේ පන්සිල් ගන්න රැස්වීමට බෙල් එක වැදුනෙ.



*************




“තමුසෙ අද සෑහෙන්න පරක්කුයි නෙව සිරිදාස.” කලමනාකාර තැන මූණ අකුලගත්ත. “අපේ කට්ටියව යවලත් ඉවරයි.”


සිරිදාස බෙල්ල වම් පැත්තට ඇල කරලා බයාදු ඇස් දෙක බිමට හරවගත්තා. වරක් දෙවරක් ඔලුව කැසුව. “බස් පරක්කුයි සර්” ඇහෙන නෑහෙන හඬින් කිව්වා.


“උදේට ටිකක් කලින් එනව අයිසේ, මොනවද තමුසෙට ඔච්චරටම තියෙන වැඩ රාජකාරි?”


“ළමයින්ව ඉස්කෝලෙට ඇරලන්. . . . .”


“අයිසේ උන්ට තනියම බස්වල ගමන පුරුදු කරනවා. ලමයි කියන ජාතිය මල්පෙති වගේ උස්මහත් කරන්න යන්න එපා ඕයි. මම තමුසෙට දවසකුත් කිව්ව මතකද? උන්ට පොඩ්ඩක් පොලවෙ පය ගහල ජීවත් වෙන්න ඉඩ අරිනවා.”


සිරිදාස මුකුත්ම නොකියා මේසෙ කෙලවටක තිබුනු ඇපල් හැඩැති වීදුරු බරණිය දිහා බලාගෙන උන්නා. ඒ ඇතුලෙ පුරවාපු ලා රෝස පාට දියරයක වෛවර්ණ සරුව පිත්තල කෑලි ඒ මේ අත පාවෙනවා.


‘මේ මිනිහගෙ ඉරිසියාව. එකත් එකටම පුතන්ඩියා විබහගෙ පේල් ඇති.’ සිරිදාස තනියම කල්පනා කලා.


“තමුසෙ පරක්කු නිසා මම රිසර්ච් ඉන්ස්ටිටියුට් එක සුද්ද කරන වැඩේට පියසේනව යැව්වා. අද ඉතින් තමුසෙට තමයි පියසේනගේ තැනට යන්න වෙන්නෙ.”


“අනේ සර් ඔපිස් වල මුකුත් වැඩ නැද්ද?”


“පිස්සුද අයිසේ, තමුසෙට සෙනග ඉන්න තැන්වලට යන්නත් බෑ. උදේ පාන්දරින් එන්නත් බෑ. තමුසෙ හිතුවෙ හැමෝම කියන කියන විදියට වැඩකරන්න දෙන්න මේක මොන්ටිසෝරියක් කියලද!”


“ගමේ කවුරුවත්, බැරිවෙලාවත්” සිරිදාස බෙල්ල පිටුපස කහමින් තාවර වුනා.


“යනව යනව ඕයි. තවත් මෙතන කාලෙ කන්නෙ නැතුව. තමුසෙට මම බුරුල දෙනව වැඩියි. හා, හා අදට යනවකො. හෙට උදෙන්ම එනව. හෙට ඉඳන් පරණ තැනටම යවන්නම්.”



*************




“මේ ෆිල්ම් එක ඇවිත් දැන් අවුරුදු තුනකටත් වැඩියිනෙ අනේ.” නිර්මලා තොඳොල් වෙවී ඇහුවා. “මට මතකයි මේක ගමේ හෝල් එකේ පෙන්නුව අපි නමයෙ පන්තියෙ ඉන්න කාලෙ.”


“ෆිල්ම් එක මොකක් උනාම මොකෝ. මම නම් ආවෙ ෆිල්ම් බලන්න නෙවි.” කසුන් නිර්මලාගේ නිකටින් අල්ලලා තමා දෙසට ඇදගනිමින් කිවුවා. නුහුරු සීතලක් දැනෙන්න උන නිසා ඈ තවත් තදින් කසුන්ගේ පපුවට තුරුලු උනා. කොල පාට ටයි පටිය පොත් බෑග් එක ගාව බිම වැටිල තිබුනා.


සුදු ගවුමේ බුරුලට අල්ලාපු බොත්තමක් ගැලවිලා බිම වැටෙන සද්දෙ නිර්මලාට ඇහුනෙ නෑ. තිරය මත එක එක ගෑනු මිනිස්සු නොතේරෙන භාෂාවකින් මොනවාදෝ කියනව කරනවා ඈට හීනෙන් වගේ වරින් වර ඇසී නෑසී ගියා විතරයි.




*************




“අපේ කෙල්ල මේ ලඟදි ගායනා තරඟෙකිනුත් පළවෙනියා උනා ඔන්න.” සිරිදාස ගොඩනැගිල්ලේ පිටුපසට වෙන්න ඇනතියාගෙන හතරවැනි වතාවටත් කියවනකොට අනුර වෙනසක් නොපෙන්වාම අහගෙන උන්නා.


“මෙතෙන්ට එන එවුන්ට සල්ලි වැඩිවෙලාද කොහෙද! දැක දැකම ඇස් කන් පියාගෙන ඇති අම්මල අප්පලත්.” සිරිදාස තමන්ටම කොඳුරගත්තා.


“යමන් සුද්ධයක් දාල එන්න. බැල් එක වැදුනා.” අනුර බිත්ති කණ්ඩිය උඩින් ටකස් ගාල බිමට පනින අතරේ සිරිදාස තුනටියට අත තියාගෙන හෙමින් කෙලින් වුනා.



*************




“එනවකෝ ඉක්මනට ටැග් ගැහෙන්නෙ නැතුව.” කසුන් නොයිවසිලිමත් ‘චක්’ හඬක් නැගුවා.


“පොඩ්ඩක් ඉන්න අනේ. හැම එකටම හදිස්සියනෙ ඉතින් මෙයාට. මෙහෙම යතෑකිද බස්සෙකේ?” නිර්මලා කොණ්ඩේ අවුල් හරිමින් ටයි පටිය ගැටගහගත්තා.


“දැන්වත් ඉවරද හැඩවෙලා.”


“හරි හරි යමු ඉතින්.” නිර්මලා කුඩා ලෑලි කුටියෙන් පිටත කොරිඩෝවට පය තිබ්බා.


කොස්සකුත්, කසල බඳුනත් අතින් ගත්තු සිරිදාස එතැන එහෙමම ගල් ගැහිලා බලාගෙන උන්නා.  කසුන්ගේ පයේ හැපී ඉදිරියට විසිවුනු සුදු පැහැති බොත්තමක් සිරිදාසගේ දෙපා ලඟ නතර වී කැරකි කැරකී තිබුනා.





Wednesday, June 3, 2015

තිස්ස නවතින්න! (කවියක් සහ සහෘද සටහනක්)






තිස්ස නවතින්න!

එක්ස්ට්‍රීම්ලී සොරී - නවතින්න නම් බැරී
මෙන්න මගෙ කාර්ඩ් එක, අටෙන් පසු අමතන්න!


සැරිසරත් මෙ'වනයෙහි යොවුන් මුව පොව්වෝ
කළුදියෙත් කිමිද උන් සිප් කිරිම සෙව්වෝ
බැනර්-කටවුට්-පෝස්ටර්-හෑන්ඩ් බිල් විදිමි
නොපිට පෙරැලූ වදන් ඇමිණු දුනු දිය අදිමි


එහෙ තිබුන අඹ ගසුත් කැපුවා
මෙහෙ තිබුන අඹ ගසුත් කැපුවා
අඹ ලෑලි ඩෙස් බංකු තනවා  -හෝල් ඇතුලට ගාල් කෙරුවා
වනමලින් පිරි - සමනලුන් සැරි  - හරිත සිතුවම් එඩිට් කරවා
ලැමිනේට් පිටකවර තනවා - ටියුට් බෙදුවා


ඔව් මේ ඉතිරි අඹගස මට මහත් අගී
මගෙ නම් පුවරු එල්ලා ඕ හිඳිත් නැගී


ෆ්‍රී කාර්ඩ් දෙනවදැයි විමසන
නොනෑයොත් නෑකම්ම පවසන
මෙ'වන පෙදෙසෙහි මොණරු නැත්නම්
නෑයෝද නැත - නොනෑයොත් නැත


යශෝධා සම්මානි ප්‍රේමරත්න 
28 - මැයි - 2015




යශෝධාගේ මේ අපූරු කවිය මා තදින්ම සිත් ඇද ගත්තක්. ඇත්තටම ඈ උපහාසාත්මකව කවි පද ගැලපීමෙහි මනා නිපුනතාවයක් දක්වන්නියක්. මේ පොසොන් සමයේ "තිස්ස" ලෙසින් අමතමින් ඈ සිය කාව්‍යයකරණය තුලන් කියන්න යන්නේ කුමක්ද?

" තිස්ස නවතින්න! " 

නූතන වාණීජ කරණයේ රැල්ලට හසුවී මුදල් පසුපස නොනිත් ගමනක හතිහලමින් දුවන ටියුෂන් ගුරුවරු වූ තිස්සලාටම නොවේද? නවතින්න යැයි ඇය ආමන්ත්‍රණය කරනුයේ. ඒ ඇයි?


ඇය ඊට පසුව මෙසේ නූතන තිස්සයන්ගේ පිළිතුර ඉදිරිපත් කරනවා.

"එක්ස්ට්‍රීම්ලි සොරී - නවතින්න නම් බැරී
මෙන්න මගේ කාර්ඩ් එක - අටෙන් පසු අමතන්න!"


චුට්ටක් වත් නැවතිය නොහැකි ලෙස ජීවිත යාන්ත්‍රීකරණය වී ඇති මොවුනගේ ජීවිත වල සැබෑ තත්වය නොවේද? දෛනික කාල සටහනේ සුළු ඉසිබුවක විරමයක් ගත නොහැකි ලෙස මොවුන් මේ දුවන්නේ කුමක් සඳහාද? ආදරණීය අරමුණින් දරුවන්ට සිප් කිරි පෙවීමේ පරම පවිත්‍ර චේතනාවටද?


"සැරිසරත් මේ වනයෙහි යොවුන් මුව පොව්වෝ
කළු දියෙත් කිමිද උන් සිප් කිරිම සෙව්වෝ" 


මේ අද අධ්‍යාපනයේ මං මුලා වූ තත්ත්වයයි. මේ තිස්සලා දුවන්නේ මේ අහිංසක යොවුන් දරුවන්ගේ අධ්‍යාපන සිහිනය පස්සේ නොවේද? ඔවුන් අනාගත සිහින හැබෑ කර ගැනීමට උපරිම වටිනාකම් වගා කර ගැනීමට සුදුසු ඉහලම මට්ටමේ රැකියාවක් ලබා ජීවිතය ජය ගැනීමට දැනුමෙන් සන්නද්ද වීමට අධ්‍යාපන පිපාසාව සංසිදුවා ලීම සදහා නිරන්තරව යෙදෙන අරගලය නෙවෙද ඈ මේ කියන්න උත්සාහ ගනුයේ.


ඉතිං තිස්ස රජවරු මොනවද මේ සදහා දුනු දිය ලෙසින් විදිනුයේ.

"බැනර්- කටවුට් - පෝස්ටර්- හෑන්ඩ් බිල් විදිමි
නොපිට පෙරලූ වදන් ඇමිණූ දුනුදිය අදිමි"


ඇය එය අපූරුවට විස්තර කරන අයුරු පැසසුම් කල යුතුමයි. මෙයයි අද ඇතිවත් බැරි නැතිවත් බැරි ලංකාවේ ටියුෂන් අධ්‍යාපනයේ තත්ත්වය.


ඉතිං දැන් තිස්සලාත් මුව පොව්වනුත් ඉන්නවා. ඇය දැන් අඹ ගස් ගැන කතා කරනවා. මේ නිර්මාණය තුල මේ විදිහට.

"එහෙ තියෙන අඹ ගසුත් කැපුවා
මෙහේ තියෙන අඹ ගසුත් කැපුවා
අඹ ලෑලි ඩෙස් බංකු තනවා
හෝල් ඇතුලට ගාල් කෙරුවා"


අඹ වලට එහෙමත් නැත්නම් ගහකට කොලේකට පරිසරයට ආදරයක් නෑනෙ කපනවා නම්. ඉතිං හැම තැනම ඇති අඹගස් ටික කපල දාල ඩෙස් බංකු ටික හදන මේ රජවරු ඊලඟට මොකද කරන්නේ. මේ දරුවන්ව අන්ඳගැනීමට;

"වනමලින් පිරී- සමනලුන් සැරී
හරිත සිතුවම් එඩිට් කරවා
ලැමිනේට් පිටකවර තනවා- ටියුට් බෙදුවා"


මේ මුදල් ගසාකෑමට දරන ප්‍රයත්නය තුල කූට ලෙස ස්වභාවදර්මයා නසා බොරුව පෙන්වා දරුවන්ගේම මුදලින් ඔවුනගේ සිහින හැඟීම් බලාපොරොත්තු සමඟ අනුගත වීමට ප්‍රෝඩාකාරී රැවටීම යොදා ගන්නා ආකාරය නොවේද?


"ඔව් මේ ඉතිරි අඹ ගස මට මහත් අගී
මගෙ නම් පුවරු එල්ලා ඕ හිඳිත් නැගී "


ඇය මේ කීමට තතනන්නේ කුමක්ඳ? පොසොන් මාසයේ මිහිඳු හිමියන් ප්‍රමුඛ සංඝ රත්නය මිහින්තලා පර්වතයට වැඩමවා හිඳ තිස්ස රපුගෙන් විමසූ පැන හා පිළිතුරු වල අදට සරිලන සේ සැකසූ නූතනාරූඩකරණයක්ද? මට එසේ සිතේ. එසේ නම් මෙය මිහිඳු මහරහතන් වහන්සේ වැනි විද්වත් ශ්‍රේෂ්ඨයෙක්ගේ ඇසින් ලියූවක් විය යුතුයි. තිස්ස රජුනට නවතින්න යැයි කීමට සමතෙක් විය යුතුයි. ඒ ගැන සිතීම ඒ ආකාරයෙන් පසෙක තබා .....


නම් පුවරු එල්ලීමට නැගී සිටිනා බැවින් මේ අඹ ගස වටිනවා යැයි කීම හුදු උපහාසයම පමණක් නොව ඔවුනගේ සංකල්පමීය දුර්වල නිර්ලජ්ජීකම, ශාස්ත්‍රීය ඥාණයේ මඳකම හා පරිකල්පනයේ මන්දෝත්සාහී හීනකම ගැනද මට නම් ඉඟිපායි.


"ෆ්‍රී කාඩ් දෙනවදැයි විමසන
නොනෑයොත් නෑකම්ම පවසන
මෙවන පෙදෙසෙහි මොණරු නැත්නම්
නෑයෝද නැත-නොනෑයෝද නැත"


මේ එළිබහින්නේ නූතන තිස්සලාගේ ගුප්ත යතාර්තයයි. ඔවුනගේ සැබෑ අරමුණ වූ මුදල් කේන්ද්‍රයීය කරගත් සමාජමය ගැටලුවක්ව පවතින නිදහස් අධ්‍යාපනයේ කඩා වැටීමෙන් හිස ඔසවා ඇති වාණීජකරණය වූ අධ්‍යාපනයේ පරිහානීය අගතිගාමී තත්ත්වයයි. යශෝධා ඔබේ උපමා ව්‍යනංගාර්ත යොදාගැනීම් , කවිය තුල දක්වන්නාවූ සංයමය හා කුසලතාවය උපරිමයි. මම ඔබට දිගු රසාලිප්ත මෙන්ම අර්තාන්විත කවිකමකට ආසිරි පතනවා.


- මුදු රේඛා | Facebook -




ප.ලි.

මේ සටහන මට වැදගත් නිසාම මැකී යන්නට හෝ මගහැරී යන්නට පෙර වහ වහා බ්ලොග් බිත්තියේ කොපි පේස්ට් කර ගතිමි.