Saturday, November 30, 2013

හතළිස් අටවෙනි කොටස : ලොකුම වරද


බස්සි බස්සාව අඳුනාගෙන ගෙවෙන පළමු පෙම්වතුන්ගේ දිනය. ඒ කාලෙ බස්සිට ඔය තෑගිබෝග ලස්සනට හදලා ඇඳලා දෙන ඒවා ගැන ලොකු වැටහීමක් තිවුනෙ නෑ. වැලන්ටයින් දිනයට කලින් දවසෙ බස්සා බස්සිව බෝඩිමට ඇරලවලා ගියාට පස්සෙ බස්සි ආපහු ඇවිත් හොරෙන්ම බස් එකක නැගලා කිරිබත්ගොඩ ගියේ තෑග්ගක් තෝරා ගන්න.



 පෙම්වතුන්ගේ දිනය වෙනුවෙන්ම හදාපු රතු පාට, රෝස පාට විසිතුරු හදවත් හැඩේ සුකුරුත්තම් වලින් කඩවල් වල රාක්ක පිරිලා. රෝස මල් දාස් ගණන් පදික වේදිකාව දිගට පවා අලෙවි වෙනවා.

ඒත් බස්සිගේ හිත ගියේ ඒ එකකටවත් නෙමෙයි. වීදුරු වලින් හදාපු ලස්සන ෆ්ලේජ් අස්සයෙකුට. බැටරි දාලා පුංචි බොත්තමක් එබුවාම අස්සයාගෙ ඇතුලෙන් ලස්සන නිල් පාට එලියක් විහිදෙනවා. බස්සි ඉතින් දැක්ක ගමන් හිත වැටුනු නිසා ඒක මිළදීගෙන ආවා,

පහුවෙනිදා උදේම බස්සා එක්ක ජිම් කැන්ටිමට ඇවිත් දෙන්නත් එක්ක සුපුරුදු මේසෙ කෙළවරේ වාඩි වුනා.

"කෝ බස්සියෝ ඇස් දෙක පියාගන්න," බස්සා කිවුවා.

බස්සි අත් දෙකෙන් ඇස් වහගත්තෙ කපටි කමට. එතකොට ඇඟිලි අස්සෙන් හොරෙන් බලන්න පුලුවන් නෙව.

බස්සා බෑග් එකෙන් රෝස පාට පාර්සලයක් එලියට ගත්තා.  හෙමිහිට බස්සිගෙ අත් දෙක මෑත් කරලා වටපිට බලලා නළලට ඉක්මන් හාද්දක් දුන්නා. "හැපි වැලන්ටයින්ස් ඩේ බස්සියෝ!' බස්සා බස්සිගෙ කනට කෙඳිරුවා.

බස්සි හෙමින් සැරේ පාර්සලය දිග ඇරලා බැලුවා. ලස්සන චූටි ටෙඩියෙක් ඉන්න පෙට්ටියකුයි, හුරුබුහුටි සුභපැතුම්පතකුයි ඒකෙ තිවුනා.

දැන් බස්සිගෙ වාරෙ. තැග්ගට අමතරව හැම විශේෂ අවස්ථාවකදිම බස්සා වෙනුවෙන් ලියැවෙන කවි පන්තියකුත් බස්සාට ලැබුනා.

මේ තියෙන්නෙ බස්සා එදා දීපු තෑග්ග.




පහුවදා උදේ බස්සි කැම්පස් යන්න සූදානම් වෙනකොට බස්සාගෙන් කෝල් එකක් ආවා.

"බස්සියෝ... ඔයා එනවා නේද?" බස්සාගෙ කටහඬ හිරවෙලා වාගෙ.

"ඇයි. මොකක් හරි අවුලක්ද?"

බස්සිත් පටස් ගාල ඩෙනිමටයි ටී එකටයි බැහැලා, බාටා දෙකත් දාගෙන ඉගිල්ලුනා. බස්සා බස්සිගේ බෝඩිමේ ගේට්ටුවට චුට්ටක් එහායින් මග බලාන ඉන්නවා.

"මොකක්ද අවුල බස්සෝ?" උත්තරයක් නෑ. බස්සා බිම බලාගෙන කැන්ටිම පැත්තට තටු ගහනවා.

බස්සි කැන්ටිමේ පුටුවක වාඩි වුනා. බස්සා බස්සිගෙ උරහිසට ඔලුව තියා ගත්තා. ලොකුම අවුලක් වගෙයි. ඇස් දෙකේ කඳුලු කැට දිලිසෙන හැටි බස්සිට පෙනුනා. බස්සි හෙමින් හෙමින් බස්සගෙ ඔලුව අතගාන්නට වුනේ බස්සා තවමත් කතා කරන්න සූදානම් නැති බව පෙනුන නිසයි.

"මගෙ අතින් ලොකු වැරැද්දක් වෙලා බස්සියෝ...." බස්සා ඇහෙන නෑහෙන ගානට මිමිනුවා. "ලොකුම ලොකු වැරැද්දක්"

හ්ම්ම්ම්.... හදාගෙන ගිය වෙබ් සයිට් එකක්වත් අවුල් ගිහින්ද? බස්සිට හිතුනා. ෂුවර් එකටම එහෙම දෙයක් වෙන්න ඇති. බස්සා මෙච්චර අවුලෙන් ඉන්නවා බස්සි මීට කලින් දැකලා තිවුනෙ එකම එක වතාවයි. ඒ බස්සගෙ ලැප් එක හොරකම් කරපු දවසෙ.

"මට කියනවද?" බස්සි බස්සාගෙ කෙහෙරැලි අතරින් ඇඟිලි තුඩු දිවෙවුවා. "හිත සැහැල්ලු වෙනවානම් විතරක්...."

"ඔයාට මම මේක කොහොම කියන්නද......" බස්සාගෙ කටහඬ ඇඬුම්බරයි. "මම කොහොමද කියන්නෙ නංගියෝ..."

බස්සිට හිතාගන්න බැරි විදියේ ලොකු බයක් දැනුනා. බස්සට මොකක් හරි කරදරයක්ද.... මොනවා කීවත් කළබල නොවී ඉන්න ඕනෙ බව බස්සි හිතාගත්තා.

"කියන්නකෝ ඉතින්?"

"ඔයා මට දුන්නු තෑග්ග මගෙ අතින් බිම වැටිලා කුඩු වුනා. පැය විසිහතරක් යන්නත් කලින්... මම මහා මැට්ටෙක්..."

අනේ බස්සිගෙ හිතට ඒ වෙලාවෙ දැනුන සැනසිල්ලක මහත!!!

Tuesday, November 26, 2013

ජීවිතයට පාට දෙන්න - COLOUR



"ජීවිතය පුරා පිරී ඇත්තේ හිස් බවකි,
මට අප පෙම් කල සමය සිහිවෙයි,
මා පෙ
ම් කලේ නුඹටම පමණකි,
එය යථා සමාජය තුළ සිදුවිය හැක්කක්දැයි නොදනිතත්,
මා අදටත් නුඹ ගැන බලා සිටිමි.
දහසක් බලාපොරොත්තු තවමත් මගේ සිත තුළ ඇත.
හිමිදිරිය නම් ගෙවී අවසන්ය.
ඉතිරිව ඇත්තේ සැඳෑ සමයයි.
එහෙත් හිමිදිරිය සේ පිබිදෙන්නට,
මා අදත් බලා සිටිමි.
ඒ නුඹ එන තුරුය.
මන්ද,
මට යළිත් හිමිදිරිය ගෙන එන්නේ,
නුඹ නිසා පමණක්ම බැවිනි......"





විඩාපත් සිරුරේ හදගැස්ම මොහොතකට නවතා දමා, රිදුම් දෙන දෙනෙත කඳුලින් සෝදා පිරිසිදු කල මේ මහා සිනමා නිර්මාණය පිළිබඳ සටහනක් තබා බ්ලොග් අවකාශයේ සහෘදයන් සමග ඒ රසය බෙදා නොගන්නට තරම් ආත්මාර්තයෙන් මඩනා සිතක් නොලද්දෙක් වූ නිසාවෙන්, ඒ වගත් මෙසේම සටහන් තබන්නට අවසර......

 
ඉසුරු වීරසිංහ මුදලි, මින් පෙර සවනත රැඳි නමක්ද නොවේ. ඔහු අංකුර සිනමා අධ්‍යක්ෂකවරයෙක්. මේ ඔහුගේ පළමු සිනමා නිර්මාණය? අංකුර සිනමා ශිල්පියෙකු වුව, ඉසුරුගේ පළමු සිනමා කෘතියෙහි පරිණත භාවය සිනමා ලොව ඔහුගේ ගමන පැහැදිලි බවත් ශක්තිමත් බවත් මොනවට පහදා දෙයි.






මුදලට අලෙවි නොවූ කලාකරුවෙක්, ඒ සිත්තරෙක්. ඔහුගේ ශෝචනීය ප්‍රේම වෘතාන්තය සිනමා පටය පුරා හද හඬවමින් ගලා යයි.  හිස් කැන්වසය මත වදින හැම පින්සල් පහරකින්ම ඔහු කැන්වසයට මුහු කරන්නේ තමාගේම හදවතේ කැබැලි ය. කැන්වසය මත වර්ණ ගැන්වෙන්නේ ඔහුගේම හැඟීම්ය. කලර් චංචල රූපරාමු වලටත් වඩා ප්‍රේක්ෂකයා අමතන්නේ නිසල සිතුවම් වලිනි.






 
ජීවිතේ පාට පිරුණු සිත්තමකි. පාට පාටින් පාට ගන්වා ඉසුරු සහෘද හදවතට කරන සියුම් ආමන්ත්‍රනය අපූරුය. සිනමා පටය පුරාවට තැනින් තැන මහා කතාවක් තත්පර දෙක තුනකින් මනා සංයමයකින් යුතුව කැටි කර දක්වන සංකේතාත්මක රූප රාමු කිහිපය අති විශිෂ්ඨය.







තැන තැන විසිරෙච්ච විසි වෙච්ච වැහි බිංදුවේ...
මට හැකිනම් ගුලි වෙන්න නුඹ එක්ක මේ සීතලේ...
නුඹ එක්ක ගුලි වෙන්න මේ සීතලේ..
සිසිලස විදගන්න මේ ජීවිතේ....

 
බිඳ බිඳ වැටී දසත හා යාවෙලා..
දුක් සෝ සුසුම් දැන් යයි පාවෙලා...
බිඳ බිඳ වැටී දසත හා යාවෙලා..
දුක් සෝ සුසුම් දැන් යයි පාවෙලා...


නුඹ එක්ක ගුලිවෙන්න...//


රහසින් ඇවිත් රහසෙම ලංවෙලා...
ලෝකය මගේ නුඹ නමින් වෙන්වෙලා...
රහසින් ඇවිත් රහසෙම ලංවෙලා...
ලෝකය මගේ නුඹ නමින් වෙන්වෙලා...


නුඹ එක්ක ගුලිවෙන්න...//


 
මීනා ප්‍රසාදිනීගේ කිංකිණි හඬින් ගැයෙන ගී රාවය සිනමා පටයේ ඇමිනූ මරකත මැණිකක් වැන්න. සංඛ දිනෙත්ගේ තනු නිර්මාණ රස විඳින කල්හි හෙළ සිනමාවේ අනාගතය ගැන ඇතැම් විද්වතුන් පළ කරන අසුබ අනාගත වාක්‍ය පුස්සක්ම පමණක් බව පසක් වෙයි.



ගීත හා බැඳුනු රූපරාමු හදවතේ සියුම්ම තැන් පිරිමදිමින් හද නිවයි. ඉසුරු ආදරය දිගහරින්නේ සුන්දර දියඇලි පසුබිමක හෝ කඳුරට මල් යායවල් මැද නොවේ. දෙනෝදාහක් දෙනාගේ ජීවිත බද්ධ වී ඇති කොළොම්පුරේ ගෙන්දගම් පොළව මතය. ඔවුන් අත් පටලාගෙන ගමන් කරන්නේ කසල පිරුණු, වාහන වල කටුක දුම් වලාවන්ගෙන් වැසී ගිය අලු පාට නගරය මැදිනි. ඒ ආදරය හද කම්පිත කරන්නේ එය සින්තටික් සිහිනයක් නොව, පෙනෙන, දැනෙන, විඳින යතාර්ථයම බැවිනි.







ඒ ආදරය හදවත කොතරම් තදින් වෙළා ගත්තේද යත්, ගිනි ගහන අවුවේ වාහන දුමෙන් නැහැවෙමින් කොළඹ පාරවල් වල අතිනත පටලා ඇවිදින විට, සෙනග පිරුනු දුම්රියේ ඒ අතැඟිලි වල වාරුවෙන් නොවැටී තෙරපෙමින් ගමන් ගන්නා විට මගේ මුවින් මේ පදවැල් ගිලිහෙන්නේ නිරායාසයෙනි.



හීනයේ තටු ඇවිත් පාව යයි ජීවිතේ....
හීනයක් නම් නෙවේ ඒ තමයි ආදරේ...


ජීවිතේ ජීවිතේ.... පාව යයි ජීවිතේ....
ආදරේ ආදරේ..... මේ තමයි ආදරේ....


නුඹ මගේ ලඟ ඉඳන් දුක නිවයි ජීවිතේ...
නුඹ වගේ වෙන කෙනෙක් නෑ මගේ ජීවිතේ...
කිසි දිනක වෙන් නොවී...
මියෙන තුරු ලග රැදී...


ජීවිතේ ජීවිතේ.... නුඹ මගේ ජීවිතේ....
ආදරේ ආදරේ..... නුඹ මගේ ආදරේ...





 


සිනමාපටය ගොතන්නේ ඉතා අල්ප වූ චරිත සංඛ්‍යාවක් වටාය. ඒ අල්ප වූ චරිත වලට පණ පොවන්නෝ සිනමා ලොව සැබෑ හපන්නු බව නොකිව මනාය. සිත්තරාගේ භූමිකාවට පණ පොවන කමල් අද්දරාරච්චි වසර තිහක පමණ දීර්ඝ කාල රාමුවක විහිදෙන සිත්තරාගේ ජීවිතයට හුස්ම දෙන ආකාරය අපූරුය. ඔහුගේ රංගනය මට විරාගයේ අරවින්දව සිහි ගන්වයි.







සඳනි සුළක්ඛනා රිදී තිරයට අවතීරණය වන්නේ කලර් සිනමා පටයෙන් බැව් මා දැන ගත්තේ සිනමා පටය දෙවන වරට නරඹන කල්හි ය. ඇගේ දොරට වැඩුම විය යුතු පරිද්දෙන්ම සුභ මුහුර්තයකින්, අනාගත සුභ ලකුණු රැසකින් සමන්විතව සිදුව ඇති බැව් සිනමා පටය පුරාවට මොනවට පැහැදිලි වෙයි.





 
කිව යුතු දේ බොහෝය. නමුත් සිනමා පටය මගේ වදන් සොරා ගෙන ඇත. මම "කලර්" පළමු වරට රස වින්දේ මීට වසරකට පෙරාතුවය. එදා මෙදාතුර මම "කලර්" ගැන පසසන්නට වදන් අමුණනු නොහැකිව ගොළු වී සිටියෙමි. මට මගේ වදන් ගලපා ගත හැකි වූයේ තෙවන වරටත් "කලර්" මා හැඬවූ පසුය.


Thursday, November 21, 2013

ගෑණු ඉව?



"බස්සෝ.... අනේ මට ඔය ටී ෂර්ට් එක දෙන්නකෝ......"

"ඒ මොකටද? මේ මම ගෙදරට අඳින එකක්නෙ. ඔයාට මොකටද මේ පරණ ටී ෂර්ට් එක?"


"මොනාද අනේ... ආස හින්දනෙ ඉල්ලන්නෙ..."
 

"මේකෙ දාඩිය මැට්ටියේ. මම හෝදල ගෙනත් දෙන්නම්."


"හෝදන්න එපා මැට්ටෝ. මට ඕනෙ ඔය විදියටමයි. සර්ෆ් එක්සෙල් සුවඳට නෙමෙයි."







කාලෙකින් බ්ලොග කුරුටු ගාන්නත් අතපසු වුනා. කොහෙද ඉතින්, මක්කාවත් ලියන්න අතටවත් හිතටවත් නිස්කාංසුවක් නෑ නෙව මේ ටිකේ. වැඩ ගොඩයි නෙ.



අදනම් ලියන්න යන්නෙ ගැහැණු ළමුන් විසින් සංවාදයට බඳුන් කල යුතු, ඕපාදූපමය මාතෘකාවක් ගැන.

 

මම අහන්නෙ අක්කලා, නංගිලාගෙන්, ඔයාලටත් කවදා හරි මෙහෙම වෙලා තියෙනවද?



එතකොට අයියලා, මල්ලිලාට, මෙහෙම පිස්සු කෙල්ලොන්ගෙ පිස්සු ඉල්ලීම් අහන්න ලැබිලා තියෙනවද?



ඉතින් බස්සි හිතුවා ඇත්තටම ඇයි ගෑනු ළමයි තමන්ගෙ ජීවිතේට වඩාත්ම සමීප පිරිමි කෙනාගෙ ඇඳුම් අඳින්න මෙච්චරම මනාප කියල.



බස්සි කියවාපු කරුණු අනුව කාන්තාවන්ගේ ආඝ්‍රාණ ඉන්ද්‍රිය හරිම තියුනුයිලු.  මේ නිසාම කාන්තාවන් ආකර්ශනය වෙනවා පිරිමින්ගෙන් නිකුත් වෙන ෆෙරමෝන වලට.




මොනාද බොලව් මේ ෆෙරමෝන?



මෙවුවා නිකුත් කිරීම ගැන අපූරු සහ විස්මිත කතන්දර තියෙනවා කෘමි විද්‍යාව වාගෙ විෂයයන් වලදි නම්. ෆෙරමෝන කියන්නෙ ජීවියෙක්ගේ ඇඟෙන් බාහිරට ස්‍රාවය වන රසායනික ද්‍රව්‍යයක්. මේ රසායනයට පුලුවනි තවත් ජීවියෙක්ගේ ශරීරයේ යම්කිසි ජෛව රසායනික ප්‍රතික්‍රියාවක් සඳහා උත්තේජනයක් ලබා දෙන්න.



කාන්තාවන්ට සුවිශේෂී හැකියාවක් තියෙනවා පිරිමින්ගෙන් ස්‍රාවය වෙන ෆෙරමෝන හඳුනා ගන්න. මේ කාරියට උදව් වෙන්න ඉස්තිරියාවන්ගෙ "ජේකොබ්සන් ඉන්ද්‍රියෙ"  (නාහෙ ඇතුලෙ තියෙන එකක්.) තියෙන ස්නායු අග්‍ර සංවේදීතාවයෙන් වැඩිවෙන විදියට පිහිටලා තියෙනවාලු. 




ඉතින් දිගින් දිගටම ළඟින් ඇසුරු කරද්දී කාන්තාවට මොකද්දෝ බැඳීමක් වාගෙ මෙවුවා එකක් ඇති වෙනවා අදාළ පිරිමියාට ආවේණික සුවඳත් එක්ක.



හැබැයි මෙතනදි ෆෙරමෝන් වල සුවඳයි, දාඩිය සුවඳයි පටලවා ගන්න එපා. ෆෙරමෝන වැඩිම ඵලදායිතාවක් දක්වන්නේ ඔයා දාඩිය නාගෙන ඉන්නකොට නම් නෙමෙයි. ඒක වැරදි මතයක්.  ෆෙරමෝන් ක්‍රියාකාරිත්වය උපරිම වෙන්නෙ මද වශයෙන් දහදිය පිටවෙනකොට.



උදාහරණෙකට ගනිමු  ඇන්ඩ්‍රොස්ටෙනෝල්, මේ රසායනික ෆෙරමෝනය නිපදවෙන්නෙ පිරිමින්ගේ දහදිය එක්ක නිකුත් වෙන රසායන ද්‍රව්‍යක් ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කිරීමෙන්. ඇන්ඩ්‍රොස්ටෙනෝල් ආඝ්‍රාණයට පුලුවනි කාන්තාවන්ගේ හයිපොතැලමසයේ ලිංගික හැඟීම් උද්දීපනයට අදාල මධ්‍යස්ථාන වලට යම් උද්දීපනයක් ලබා දෙන්න.


 



නමුත් මේ ෆෙරමෝනය දහදියත් එක්ක මුහු වෙලා සම මත රැඳෙමින් උණුසුම් වෙද්දි ඒක ඇන්ඩ්‍රොස්ටෙනෝන් බවට පත් වෙනවා. ඇන්ඩ්‍රොස්ටෙනෝන් කියන්නෙ කාන්තාවන් විකර්ෂනය වෙන රසායනික සංයෝගයක්. දුක තමයි රංජනී. දෙපැත්ත කැපෙන ෆෙරමෝන.


 





ඉතින් දැන් සම්බන්ධ කරගනිමුකො මේ පොටවල් දෙක. එතකොට තේරෙනවා ඇතිනෙ ඇයි ගෑණු ළමයි පඹයි වගේ පෙනෙද්දිත් තමන්ගෙ ජීවිතේට සමීපතම පිරිමියාගෙ ලොකු ටී ෂර්ට් අඳින්නෙ කියාල.



එහෙම ලොකු ටී ෂර්ට් එකක් ඇතුලට වෙලා ඉඳිද්දි දැනෙනවා ඒ සුවඳත් එක්ක මතක වලාවක පාවෙන බව. මොකද ඒ සුවඳ නිසා අතීත සැමරුම් ඉබේම සිහියට නැගීමත් සිදුවෙනවා බොහෝවිට. අනිත් එක තමයි එතකොට ඒ සුවඳේ හිමිකාරයා තමන්ගෙ වටේම ඉන්නවා වගෙයි දැනෙන්නෙ. ඒ සුවඳ විඳිනකොට හිතට සනීපයි.





මේක මම දන්නා තරමින් ගැහැණු ළමයින්ට ආවේනික හැඟීමක්. ඒ නිසා අයියලා, මල්ලිලාට තමන්ගෙ ජීවිතේට සමීප කාන්තාවකගෙන් මෙහෙම ඉල්ලීමක් ආවොත් ඔලුව කහ කහ කල්පනා කරන්න එපා "මේකිට පිස්සුද? නැත්නම් මට පිස්සුද?" කියලා. බස්සි හිතන විදියට නම් ඒ ඉල්ලීම ගැන ඔයාල ආඩම්බර වෙන්න ඕනෙ.




ජාලයේ සැරිසරද්දි තමයි දැක්කෙ යකෝ ඒකත් දැන් ට්‍රෙන්ඩ් එකක් වෙලාය කියල. මේං බලන්ටකෝ ගැහැණු ළමයි පිරිමි ඇඳුම් වලින් කොරන විලාසිතා.





























Monday, November 18, 2013

හොකී ගහන ගෑනු


අදනං බස්සි හදන්නෙ යාලුවො කස්ටියට පොඩි පහේ දැනමුතුකමක් දෙන කතාවක් කියන්ට. මේක වැඩිපුරම වැදගත් වෙන්නෙ පෞද්ගලික අංශයේ රැකියා කරන සහ කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්න කස්ටියට තමයි ඕන්.




"සන්නිවේදන කුසලතාවය" ඔන්න ඕක හරියට නොතිබුනොත් බොහොමයක් පෞද්ගලික ආයතන වල ජොබ ගැටගහගෙන ඉඳීම බොරු. රාජ්‍ය අංශයේ ජොබ රැක ගැනීමට මේක ඒ තරම් වැදගත් හැකියාවක් නූනත් ඕනෑම තැනකදි ඉහලට යන්න බලාපොරොත්තු වෙනවානම් කට පාවිච්චි කරන්ට ඕනෙ කොහොමද කියන එක බොහෝම වැදගත් වෙනවා.


මේ සිද්ධිය වුනේ එක්තරා සුපිරි වෙළඳසැලක. ඔවුවාට යන එන පාරිභෝගිකයන්ටත් බොහෝවිට සුපිරි සැලකිලි ලැබෙනවා නෙව. (සුපිරි විදියට පොකැට්ටුවටත් තට්ටු කරන ගමන්!)


දවසක් එක මනුස්සයෙක් මේ සුපර් සෙන්ටර් එකට ඇවිත් කඩේ සේවකයෙක්ගෙන් අහනවාලු මට රටලූණු ගෙඩියකින් බාගයක් ගන්න පුලුවන්ද කියලා.




සුපිරි වෙළඳසැල් වල එහෙම බාග විකුනන සිරිතක් නැහැ නෙව. පාරිභෝගිකයාව අසතුටු කොරන්ටත් බෑ. ඒ නිසා සේවකයා ගියාලු මැනේජර් මහත්තයා හොයාගෙන මේ ප්‍රස්නෙට විසඳුමක් බලාපොරොත්තුවෙන්.

 
මැනේජර්ගෙ කාමරේ දොර ඇරගෙන ඇතුලට යන ගමන්ම පොර මැනේජර්ට අවනඩුව කියාගෙනලු ගියෙ;

"සර් බලන්න සර් කවුද මන්දා ස්$%@$# ක් ඇවිත් ලූණු බෑවක් විකුණනවද අහුවා නෙව."

මැනේජර් ඇස් දෙක නළලට ගන්නවා දැක්ක සේවකයා පිටිපස්ස බැලුවලු. එතකොටයි පොර දැක්කෙ අර මනුස්සයත් මැනේජර්ගෙ කාමරේට එනකම් පස්සෙන්ම ඇවිත් ඉන්න බව.

"හොඳ වෙලාවට මේ මහත්තයා කැමති වුනා ඒ ලූණු ගෙඩියෙ ඉතුරු බාගෙ ගන්න." සේවකයා ඇඟට පතට නොදැනි කියලා දැම්මලු.

මැනේජර්ට ඉතින් මාරම හැපි. ඇයි දෙයියනේ අපහාස නඩුවක් වැටෙන්න තිබුන කේස් එකක් අපේ මෑන් ගොඩින් බේරුවානෙ අපූරුවට.

එදා හවස මැනේජර් බොහොම සතුටෙන් අර මෑන් වැඩ කරන තැනට ගිහින් පිටට තටුවක් දාලා කතා කරාලු.

"පුතා අර වෙලාවෙ කස්ටමර් එක්ක ඩීල් කරපු විදිය ගැන මට ඇත්තටම සන්තෝසයි. අපිට මෙතන වැඩ කරන්න ඕනෙ ඔයා වාගෙ හිතලා බලලා වැඩ කරන උදවිය. පුතාගෙ ගම කොහෙද කිවුවෙ?"

"මම ඉපදුනේ කැනඩාවෙ සර්." පොර ආඩම්බරෙන් උත්තර දුන්නාලු.

"කැනඩාවෙ? අපි කොහොම හරි ලංකාවෙන් කැනඩාවට පනින්න ට්‍රයි කරනවා. ඔයා මොකද එහෙ ඉපදිලත් මෙහාට ආවෙ?" මැනේජර් පුදුමෙන් වගේ ඇහුවලු.

"වැඩක් නෑ සර්. එහෙ ඉන්නෙ ඔක්කොම ව්@&#@% ගෑනුයි, හොකී ගහන උනුයි විතරයි."

මැනේජර්ගෙ මූණ කලු වුනාලු. "ඇත්තද? මගේ වයිෆ් කැනේඩියන් ජාතිකයෙක්."

"සිරාවට? එයා මොන හොකී ටීම් එකටද සර් සෙල්ලම් කරලා තියෙන්නෙ?"



Sunday, November 17, 2013

කළ නොහැක්කක් නොමැත මේ සුජාතාවන්ට


බස්සි පහුගිය දවස් ටිකේ වැඩ ඇරිලා කෙලින්ම දුවන්නෙ බස්සි ඩැඩාව බලන්න හොප්පිටල් එකට.  අපේ බස්සත් ඒ හැමදාකම මාත් එක්ක ආවා විතරක් නෙමෙයි තාත්තගෙ තනි රකින්න බස්සිත් එක්ක රෑ එලිවෙනකම් තාත්තාගෙ ළඟටම වෙලා උන්නා. බස්සි ඩැඩා පුතෙක් නැති නිසා දුකින් නෙව හිටියෙ. ඔන්න පිනට ලැබෙන පුත්තු.


පහුගිය බදාද රෑත් තාත්ත ගාව ඉඳලා බස්සයි බස්සියි බ්‍රහස්පතින්දා උදේම සූදානම් උනා ජොබට යන්ට. උදේට තේ එකක් බොන්න කියලා දෙන්නත් එක්ක යමින් ගමන්ම සම්ප්‍රාප්ත උනේ දෙවනි මහලේ තිවුන කැන්ටිමට.

 
එතනට කෙලින්ම පේනවා පහලින් තියෙන සුජාතා බාලිකා විද්‍යාලය. මේ ඉක්කෝලෙ තියෙන්නෙ නාරාහේන්පිට, කිරිමණ්ඩල මාවතේ.







උදේ රැස්වීමට පොඩ්ඩො කස්ටිය පෙළ හැදිලා ඉන්නව කිරි කොක්කු රෑන වාගෙ. ඔන්න ටිකකින් ආවා විදුහල්පතිතුමිය.


එතුමියගෙ කතා විලාශය හරිම ලගන්නා සුලුයි. කොන්වන්ට් එකක දැඩි විනය නීති මැද්දෙ හැදුනු බස්සිට ඒ වෙලාවෙ නම් හිතුනා අනේ මටත් මෙහෙම ඉක්කෝලෙකට යන්න තිවුනානම් කියලා. විදුහල්පති තුමියත්, ගුරුවරුනුත් ළමයින්ට පුදුම ආදරේකින් කතා කලේ. ඒකට සමහර ඉස්කෝලවල විදුහල්පතිවරු, මයික් එකෙන් ගමටම ඇහෙන්න ළමයින්ට බනින එක මහා හපන්කමක් කියල නෙව උන්දැල හිතාන ඉන්නෙ.


එදා සුජාතා විද්‍යාලයෙ අපූරු පින්කමක් සිද්ද උනා. ඒක බලන් හිටපු අපේ ඇස් වලට කඳුලු ආවා. ඒ තරමටම සංවේදියි ඒ මොහොත.


කැන්ටිමේ ඉඳපු අපි දෙන්නා විතරක් නෙමෙයි. ගිලන් ඇඳේ හිටපු තාත්තත් අටවෙනි මහලේ බැල්කනියෙන් ඒ දසුන බලාගෙන ඉඳලා තිවුනා. හවස තාත්තා මට කීවෙ, ඒ දැකලා එයාට අසනීපෙත් අමතක උනා කියලයි.


බස්සයි බස්සියි ඉන් පස්සෙ හදිසියෙන් ඔෆිස් දිවුවට, බස්සි ඩැඩා කලේ ඇඳේ ඉඳන්ම පෑනකුයි කොලේකුයි අරගෙන අර විදුහල්පති තුමියටත්, ඇදුරු මඬුල්ලටත්, චුට්ටි බට්ටො ටිකටත් ප්‍රශංසා කරමින් කවි පෙළක් පබැඳුව එකයි.


බස්සිගේ අතට කවි පෙළ ලැබුනා, ටයිප් කරලා කෙටි ලිපියක් සමග සුජාතා විද්‍යාලයෙ විදුහල්පති තුමිය නමට තැපැල් කරන්නය කියලා.


ඒ පින්කම අපේ තාත්තාගෙ ඇසින් දැකපු විදිය බලන්නකෝ ඔයාලත්......








ගිලන් ඇ මත අවදි විය උදෑසන හතට

සවන් යොමු විය සැණින් නැගෙන දෙසුමක හ

දරුවනේ හරිම වැදගත් දිනක් අද අපට

පනින්නට හදනවද සිතුනි චෝගම් වලට





අමුත්තන් දෙදෙනෙකුත් අද අපේ විදුහලට

ඇවිත් ඇත දුවේ ඔබගේ මුහුණු දැක ගන්ට

මා සිටියෙ ඉදිරිපස රෝහලේ මහලෙ අට

මටත් නොදැනිම දෙපා ඇදුනි එහි සැල්ලට





පිබිදිලා සුදුපාට මල් පිටියෙ පේලියට

බුදු පුතුන් ගුරු මවුන් වෙති පහන් ටැඹ ලෙසට

ඇත්තමයි සිත නිවෙයි නැගෙන පින් බර හ

අමතකව ගියා මට දෙනෙත් පිය හෙලන්නට





තවත් සුළු මොහොතකින් සිසුවියන්  ඉදිරියට

කැවීය අමුත්තන් දෙපල සන්සුන් ලෙසට

පුංචි අත්වලින් අත්පුඩි හක් නැගෙන විට

මවක් සහ පුතෙක් දැක පිරුණි නෙත කුළු කැට





සත පනහ රුපියල ද පුංචි කැටයට දමා

ඒ මුදල බැති සිතින් විදුහලට පිරි නමා

මවක සහ පුතෙකු මරණින් මුදා ඔබ සැමා

සුජාතාවගෙ සැබෑ දියණියන් ඔබ තමා





විජාතික සැකිළි රූ නොවටිනා තුටිටුවට

සුජාත - දියණි වරු ලෙස හදති පුම්බන්ට

අපේ දූ පුතුන් නොපෙනෙති එවන් ගෙම්බන්ට

දුවේ ඔබ යා යුතුය දිනෙන් දින ඉදිරියට





හිස නමමි හිත් හදන උතුම් ගුරු පරපුරට

තුති පුදමි උතුම් පින්කමක් කළ දරුවන්ට

තිළිණයකි මෙය ඔබට ඔබේ විදුහල් මවට

කළ නොහැක්කක් නොමැත මේ සුජාතාවන්ට





මේ කවි පෙළ දැකපු ගමන බස්සි කිවුවෙ මේක අපි තාත්තාගෙ බ්ලොග් එකෙත් අලවමු කියලයි. ඒත් තාත්තාට කවි පෙළ ගැන විස්තරයක් ලියන්න අමාරුයි මේ දවස්වල. ඒ නිසයි කවිය බස්සිගේ නවාතැනේ පල කලේ.






ඔය පේන්නෙ හොප්පිටල් එකයි ඉක්කෝලෙයි මූණට මූණ බලාන ඉන්න හැටි. රතු පාටින් පේන්නෙ ඉක්කෝලෙ. 



Saturday, November 16, 2013

අඩෝ ඒ අපේ බොස්!!!




බස්සි-ඩැඩා ගැන කලින් පෝස්ටුවකත් කියලා තිවුනා මතක ඇතිනෙ. ඕන් ඉතින් මීට මාස කීපෙකට කලින් බස්සි ඩැඩාලගෙ ඔපිස් එකේ කස්ටිය සංවිධානය කලා මහා පරිත්‍රාණ ධර්ම දේශනාවක්. මොකාක්? පිරිතක් මෙයා පිරිතක්.


බස්සි-ඩැඩාත් ඉතින් ඔය වගේ එවුවාට පණ ඇරලා නෙව. බස්සිත් කැම්පොස් එකේ ස්ටඩි ලීව් එකට ගෙදර ගිය ගමනෙ තාත්තාගෙ අතේ එල්ලිලා ගියාලු පිරිත් මණ්ඩපේ හදනවා බලන්න. ඔපීසියෙ පිරිමි නේවාසිකාගාරයෙ කස්ටිය පිරිත් මණ්ඩපේ හදන්න බරටම මහන්සි වෙනවා. කැටයම් කපනවා, පුන්කලස් බඳිනවා, ලයිට් සැරසිලි කොරනවා වැඩ කෝටියයි!!

 
අපි ඔතනට ගිහින් ටික වෙලාවකින් එතනට සැපත් වෙනවා ඔපීසියෙ අංශ ප්‍රධානියෙක්. උන්දැත් ඇවිත් තිවුනෙ කොල්ලො කස්ටිය වැඩ කරන හැටි බලන්න. ඔන්න ඉතින් පොර ඇවිත් බස්සි-ඩැඩා එක්ක කතාවක් දාගෙන අත් දෙකත් පස්සට කොරගෙන කැරකි කැරකි හිටියා.

 
රෑ වෙනකොට ඉතින් ඔතනට හැම තරාතිරමකම උදවිය සැපත් වෙනවා. ලොකු ලොක්කන්ගෙ ඉඳන් වතුවල වැඩට ඉන්න කම්කරුවො දක්වාම.

 
ටික වෙලාවකින් එලියෙ ඇහෙනවා ටිකක් හයියෙන් හයියෙන් කතා කොරන සද්දයක්. බලනකොට ටෙක්නිකල් ගාර්ඩන් එකක වැඩ කොරන කම්කරුවෙක් පොඩි අඩියක් දාගෙන ඇවිල්ලා පිං අතේ වැඩක් කරගන්න. පොඩි අඩියක් කිවුවට ඉතින් සද්දෙ හැටියට වැඩේ පොඩිමත් නෑ වගේ. ඔය වාගෙ වෙලාවට ඔවුවා කවුරුත් ගණන් ගන්නෙ නෑ නෙව. සාමාන්‍ය සිද්දියක් විදියට සලකලා අර ඇවිත් හිටපු ලොක්කාගෙ ඉඳන් සොක්කා දක්වා හැම එකාම තමන්ගෙ පාඩුවෙ හිටියා.

 
ටික වෙලාවකින් පොර කැරකි කැරකි සම්ප්‍රාප්ත වුනා හෝල් එක ඇතුලට. ලොක්කව දැකලා ගැස්සිලා වගේ බැලුවා. අපි හිතුවෙ පොර ලොක්කට බය උනා කියල. සරමත් කැහැපොට ගහන් මෑන් බැස්සා එළියට.




 
"අඩෝව් $#%$#% උඹත් ආවද ඩෝ මෙතන පිරිත් කොටු බලන්න?"

 
මෙන්න බොලේ අර යකා බොස් අංකල්ට ආදරණීය ආමන්ත්‍රණයක් කොරනවා පළාතටම ඇහෙන්න.

 
"වරෙන් පුලුවන්නං දැන් එලියට. දැන්! $#%$# (*S(*&^%$#   $#......!!!"


පොර කන සාක්කුවෙ දාගෙන සද්දෙ දාන විදියට වැඩ කරකර හිටපු කස්ටියත් ටිකක් කලබල උනා. ඔය වෙලාවෙ ප්‍රශ්නෙ විසඳන්න කියලා නෝර්වේ නියෝජිතයෙක් වාගෙ ඉදිරිපත් වුනා ඩැඩානන්ගේ ඔපීසියෙ සපරේ අංකල්. මොකද අර යකා බනින්නෙ සපරේ අංකල්ගෙ බොස්ට.


"සර්  කලබල නොවී ඉන්න. මම ඕකට වැඩේ බේරන්නම්." කියලා සපරේ අංකල් වීරයා වගේ බැස්සා එළියට.


"තමුසෙ කාටද මනුස්සයෝ ඔය කතා කරන්නෙ! කෑවනම් බිවුවනම් ගිහින් බුදියාගනින්."


"මාත්තියා..... සපරේ මාත්තිය ඔයා රන් කඳක්. මට ප්‍රස්නේ තියෙන්න අර ^&%& !@#_) එක්ක විතරයි." පොර සද්දෙ අඩු කරන පාටක් නෑ.


"මේ මාත්තියා රන් කඳක් නම් අරූ..... අර %&^ පොල්පිත්තක්... ඔව්."


සපරේ අංකල්ගෙ රතු කට්ට පැන්නේ ඒ වෙලාවෙයි.


"කට වහපිය කාළකන්නිය. පොල්පිත්තක් උනාට ඒ අපේ බොස්!!!"



Sunday, November 10, 2013

නවාතැනේ සාදයක්!! කන්න බොන්න හිනාවෙන්න :)


එන්න. එන්න. ඇවිත් ඉඳගන්න. ආරංචිය දැනගෙනමද ආවෙ?

 
හරිම සන්තෝසයි. එන්න ඇතුලට. වාඩිවෙන්නකො තියෙන විදියට හත් අට පොළකින්.

 
ඉතින් ඉතින්.... ආ අන්න අරගොල්ලොත් එනවා, මම කතාකරලා එන්නම්.

 
හැමදාම ආවට අද ඉතින් බස්සිට විශේෂ දවසක් නෙ මෙයා.


ගන්න. බලන්නකෝ රහයිද කියලා.


 



මේවනම් මමමයි හැදුවෙ.






 
ආ ඔයා පැණිරසට එච්චර කැමති නෑ නේද? ඔයා එන බව දැනගෙනම මම මේවා ගෙනාව.







 
ඔව් අනේ... මෙයා හොඳ සින්ගර් කෙනෙක්. ලස්සනත් එක්ක නේ.




 
එන්න එන්න. මම ඔයාල වෙනුවෙන් පාර්ටියට ගෙන්නාපු මැජික් ශෝ එක.






 
ඩිනර් එකට නම් පිට්සා ගෙනාවෙ. අයියෝ බඩ පිරිලා කියන්න එපා. චුට්ටක් හරි කමු. කාල බීම එකකුත් බීලාම ඉමු.




එන්නකෝ පොඩ්ඩක් ඩාන්ස් කරන්න. අර කට්ටිය දැනටමත් ඩාන්ස් ෆ්ලෝ එකේ.





ඔව් අනේ. මට හරිම සතුටුයි. බස්සිගෙ නවාතැනේ සියවෙනි පෝස්ටුව දැම්මෙ අද නෙව. ඒකයි නේ පාර්ටිය. කේක් එක අයිසිං කලෙත් මමමයි. ලස්සනයි නේද?






 
එහෙනම් කේක් එකත් කපලා කෑල්ලක් කාලම යමු.

Wednesday, November 6, 2013

ආදරය සහ ඉත්තෑ කූරු


ඒක සීතලම සීතල සීත ඍතුවක්. ගස් වැල් හිම ගොඩවල් අතරෙන් ඉහලට මතුවෙලා තිවුනෙ හරියට ඇටසැකිලි වාගෙ. කෑම හොයාගන්න එලියට බහින්න විදියක් නැතුව සත්තු ගල් ගුහා වලට වෙලා බලාන හිටිය. කුරුල්ලො පිහාටු පුම්බාගෙන ගස් බෙන වලට කොටු වුනා.








සීත ඍතුව ඉවරවෙන දවස අහලකවත් නැතුවා වාගෙ. සත්තු කෑම නැතුව, සීතල උහුලගන්න බැරුව මිය ඇදෙන්න පටන් ගත්තා.


ගුහාවට වෙලා හීතලේ වෙවුල වෙවුලා හිටපු ඉත්තෑවෝ මේකට විසඳුමක් කල්පනා කලා. උන් තීරණය කලා එකට ගුලි වෙලා උණුහුම් වෙන්න.


ටික වෙලාවකින් ඉත්තෑවන්ට තේරුනා එකිනෙකාගෙ ඉත්තෑ කූරු වලින් තමන්ට තුවාල වෙන බව. හැමෝගෙම ඇඟපතේ පුංචි පුංචි තුවාල හැදෙනකොට උන් එකා එකා ඈත් වෙන්න පටන් ගත්තා.


එකිනෙකාගේ උණුහුම නැතුව ඉත්තෑවෝ එකා දෙන්නා ආයෙමත් හීතලේ මියැදෙන්න වුනා.



ඉත්තෑවන්ට තීරණයක් ගන්න සිදුවුනා. එක්කෝ එකිනෙකාගෙ ඉත්තෑ කූරු වලින් තුවාල නොවෙන්න ඈත් වෙලා හීතලේ මියැදෙන්න වෙනවා. නැත්නම් ඒ පුංචි පුංචි තුවාල ඉවසගෙන ජීවිතේ ඉස්සරහට යන්න වෙනවා.






මේක බස්සිට ආපු ඊමේල් එකක තිවුන කතාවක්. බස්සිට හිතුනා ඒක කඩ්ඩ සිංහලට හරවලා බ්ලොගේ අලවන්න ඕනෙ කියලා. කතාවේ කතුවරයා කවුද කියලානම් බස්සි දන්නෙ නෑ.


අපේ ජීවිතත් එක්ක බැඳිලා තියෙන ගොඩාක් සම්බන්ධතාත් මේ වාගෙ. ජීවිතේදි සර්ව සම්පූර්ණ සබඳතාවක් ගොඩනගනවා කියන එකත් ඒකට අයිඩියල් සහකාරයෙක් හොයාගන්නවා කියන එකත් කළුනික හොයන්නා වාගෙ වැඩක්. හැමෝගෙම වැරදි තියෙන්න පුලුවනි. ඒ වෙනස්කම් උහුලගන්න බැරි වුනොත් අපි ජීවිතෙන් පරාදයි.



හොඳම සබැඳියාව කියන්නෙ සියයට සියයක් සර්ව සම්පූර්ණ සබැඳියාවකට නෙමෙයි, එකිනෙකාගේ අඩු ලුහුඬුකම් ඉවසා දරාගෙන එකිනෙකාගෙන් ලැබෙන සහයෝගය අගයමින් ඉදිරියට යන්න පාර කියන සබැඳියාවකටයි.