Thursday, June 26, 2014

හුදෙකලා මියැසිය (අවසාන කොටස) - විචාරයට ඇරයුම්....



පළමු කොටස මෙතනින් 

දෙවැනි කොටස මෙතනින්

තුන්වැනි කොටස මෙතනින්

 




මම  හෙමින් ඇස් ඇරලා අවට බැලුවා.

 

කුස්සියේ දඟලාපු හොල්මන සාලයට ඇවිත් නැහැ. එහෙනම් මං යන්නෝන කුස්සියට, ඌව හොයාගෙන.
මං බය නෑ. සෝෆාවෙන් නැගිටින්න වාරු ගත්තේ හිතේ දෙගිඩියාවෙන්.



පුළුන් කැටියක් මගේ ඇඟට පැන්නා. 

මං යටිගිරියෙන් කෑ ගැහුවා.



කිරි සුදු ලොම් බෝලයක්.
හිම කැටයක් වගේ 

සුදු පූසියෙක්.


 




මං වගේම එයත් බයවෙලා.

ඔහ්! 

එයා මටත් වඩා බයවෙලා.


පවු අහිංසකයා. එයා මගෙ උකුළට ඇදුනෙ මා දිහා සැකමුසු බැල්මක් හෙලමින්. මොහොතකට කලින් හමුවූ මගේ ආගන්තුක පහසේ තැවරෙන්නෙ පුරුදු කාරියක් වගෙයි.


"උඹත් මං වගේමයි."

මං ඒ ලොම් පිරුණු ගෙල  ඉහළ-පහළ පිරිමදිමින් පැවසුවා.  සිහින් පුරුපුරු හඬින් උගේ පෙණහළු කම්පනය වන අයුරු මගේ අත්ලට දැනෙනවා.


ගමන් මල්ල පසෙකින් තියලා මම සුදු පූසිව උකුළට ගත්තා. ඌ හරිබරි ගැහිලා මගේ උකුළ උඩ වකුටු වෙලා උන්නා. සීතලට උගේ මවිල් පිම්බිලා. සුදු වලාකුළකින් වැටුන පුළුන් කැටියක් වගෙයි.


මං අහස දිහා බැලුවා. අහස පුරා විසිරුනු අලු පාට වළාකුළු. හීන් හිරිපොදයක් වැටෙනවා ආයෙමත්.

 
“ඔයාටත් පාළුද?”

සුදු පූසි කන් දෙක ගස්සා මා දිහා බැලුවා. අඳුර නිසා විශාල වෙච්ච උගේ කළු ඉංගිරියාව මූණට ගෙනාවෙ පුදුම හිතෙන තරමේ අහිංසකකමක්. ඒ මැද කහපාටින් දිලිසෙන හීන් එළිය ඉරි දෙකක්.

 
“මං අද සතුටෙන්. ඒ වුනාට ටිකක් බයයි හිතට."


"නෑ නෑ ඒ නිසා නෙමෙයි. මේ වැස්සයි, කළුවරයි හින්දයි බය දැනෙන්නෙ. දැන් හිතට හොඳයි. උඹ ඉන්නවනේ…..”


ඌ වරින් වර මගේ කලවා මත හිස අතුල්ලනවා.

“දන්නවද? ඒ ඇස් තද දුඹුරු පාටයි, උණුහුම්. උඹේ වගේ ගුප්ත බළල් ඇස් නෙමෙයි. මගේ වගේ බොළඳ නිල්පාට ඇසුත් නෙමෙයි.”






“ඔව් ඉතින් නපුරුයි නේන්නම්. මේ බලපන් මෙතන. ඇයි තව මෙතන.”

මම සීරුවට ගෙල වටා අතැඟිලි දිවෙවුවා.


“ඒ වෙලාවෙ මට දැනුනෙ මං වීදුරු බෝනික්කෙක් කියලයි. හොඳයි. කාටද කියන්න පුලුවන් ඒක වැරදියි කියල. වීදුරු බෝනික්කෙක් නිතරම බයෙන් ඉන්නෙ කොයි වෙලාවෙ කැඩිල බිඳිල යාවිද කියල. මටත් හිතුන එහෙම. අකුණක් වැදුන වගේ හදවත නතර වේවි කියල.”


 “ඒ වෙනුවෙන් ජීවිතේ පරදුවට තියන්න බැරිනම් අපි හුස්ම ගන්න එකේ ප්‍රයෝජනේ මොකක්ද? අපේක්ෂාවන් මගින් ඇතිවෙන උත්තේජනය තමයි මගෙ පෙණහළු විස්තාරණය කරන්නෙ."
 
"ඔව් ඉතින් හදවත ගැහෙන්නෙත් ඒ හින්දම තමයි.”


“එතකොට ඇයි ඇඟිලි තුඩු හීතල වෙන්නෙ? එක් පරම අපේක්ෂාවක් මුදුන්පත් වෙනකොට අනිත් දාහක් අපේක්ශාවන්ගෙන් ඇතිවෙන උත්තේජන නොදැනී යනවා. අන්න ඒ වෙලාවට රුධිර ගලනය නවතිනව. ඇඟිලි තුඩු හීතල වෙලා හදගැස්ම නතර වෙනව. ඔහ්! ඒක උනේ එහෙමයි!”


ඌ පුරු පුරු හඬින් දිගටම මට හූමිටි තිවුවා.





“ඇයි? ඇයි අහන්නෙ? හේතුවක් ඕනෙමද උඹට?"

"මං එයාට ආදරෙයි. ඔව්. මං දන්නෙ එච්චරයි."






ඉදිරිපස දොර දඩස් ගා ඇරුන.


"ඇලෙක්සී! උඹ රස්තියාදුකාර චපල කෙල්ල."
ඔහු මගේ උකුළෙ උන් පූසිගේ කර මුලින් අල්ලා සෝෆාව මතට අතහැරියා.







"මියෑවෝහ්"

ඌ නොරිස්සුම් බැල්මක් හෙලමින් නෝක්කාඩු කියන්නට වුනා.


"මේ ඉන්නෙ ඇලෙක්සැන්ඩ්‍රියා. මගේ සුන්දර හවුල්කාරිය. මම හිතන්නෙ ඔයාල දෙන්න මට කලින් එකිනෙකා හඳුනා ගන්න ඇති. මං කිවුවනෙ ඔයාට. ඈ හොඳයි. සාමකාමියි. ලෙන්ගතුයි."


ඔහු ගමන් මල්ලේ වූ දෑ එකිනෙක මේසය මත තබන්නට වුනා.

 


“ඉඳා….”

ඔහු චොකලට්ටුවක දවටනය ගලවා පෙති කිහිපයක් ඈ ඉදිරියට දැම්මා.


“උඹ මගේ ආගන්තුකයව හැපුවෙ, සීරුවෙ නැහැනෙ.?"

 
"අපොයි නෑ. එයා හොඳයි. ලෙන්ගතුයි. ඒත්......"

“ඒත්......?"

“මං හිතුවෙ." මම වචන ඇහිඳින්න අසාර්තක උත්සාහයක.
 

ඔහු ටී ෂර්ටය ගලවා සෝෆාව මතට විසිකර දැමුවා.  මගේ උකුළ මත හිස තියාගත්තා. මං ඒ බොකුටු කෙහෙරැලි අතරේ ඇඟිලි  තුඩු  දිවෙවුවේ ආදරෙන්.

 





“තෙමිල.”

“වැස්සට අහුවුනා.”


“අපරාදෙ”

“ඇයි?”


“මටත් එන්නයි තිවුනෙ.”

“කුඩේ අල්ලන්නද?”


“නැහැ, මං ආසයි වැස්සට.”


“තෙමෙන්න?”

“හ්ම්ම්ම්….”





"බයක් නෑ?"

"ම්හ් හුම්"

“ඇත්තමද?”

“හ්ම්ම්ම්….”

 
කොපුල් තල මත ලා රත් පැහැයෙන් මතුවෙලා තිවුනු සිහින් සීරුම් පාරවල් අලුතෙන් පෑරෙන සියුම් වේදනාව මම ඇස් පියාගෙන විඳගත්තා.






ලද අවසරයෙන් කාටත් හොරා  මුදු අඩි තබමින් සෝෆාවෙන් බහින්න තැත් කරන ඇලෙක්සි ඔහුගේ රළු ග්‍රහණයට හසු වුනා. ඇය ගැලවෙන්නට තැත් නොකරම වේදනාත්මක බැල්මෙන් මා දිහා බලනව.


"මේ අපේ අලුත් හවුල්කාරිය. උඹට තේරුනාද? කතාබහ කරලා අඳුනගනින්.”


ඔහු නොදන්නවා වුනාට අපි කොයිතරම් දේවල් කතා කලාද… මටත් හොරෙන් හිනාවක් දෙතොලින් පිටට පැන්න.


"වොෂ් දාගෙන එන්න."
ඔහු හිස කෙලින් කලා.


දහදියෙන් පෙඟුණු සිරුරට වැටෙන දිය බිඳුවල සිහිල සිරුර විනිවිදිමින් ඇටමිදුළු දක්වාම කාවදිනවා. හිතට දැනෙන සැහැල්ලුවත් එක්ක මම වතුරමල යට මෘදු වෝල්ට්ස් නැටුමක.






කණ්නාඩිය ඇතුලේ ඉඳන් මා දිහා බලන් ඉන්නෙ සුදුමැලි පාට කෙල්ලෙක්. ඒත් ඇගේ දෑස් බබලනවා.


මම ඈට වි
රිත්තනවා.
ඇයත් මට විරිත්තනවා.



මම ඇයත් එක්ක හිනාවෙනවා.
ඈ මා එක්ක හිනාවෙද්දි ඇස් දෙක පුංචි වෙනවා.



මම කණ්නාඩිය ඇතුලෙන් පෙනෙන ඇගේ පිරුණු දෙතොල් 

සිප ගන්නවා.

හුස්මත් එක්ක පිටවුන මීදුම් පටලයකින් ඇගේ රුව බොඳවෙලා අපැහැදිලි වෙනව.

 

ඔහුගෙ ලොකු ටී ෂර්ටය ඇඟලාගෙන මම කණ්නාඩිය පිසදමලා හැඩ බලනවා. බාච්චු ගවුමක් ඇන්දා වාගෙයි. එයින් හමන සුවඳ මගේ නැහැතුඩ කිතිකවනවා.


ඔහු බැල්කනියට වෙලා තනිවම ගිටාරය වාදනය කරනවා. ඒ ගීතයේ තාලයට දෙපා තබමින් මම ක්ෂණික නූඩ්ල්ස් කෝප්පයට උණුවතුර වත්කරනව.




ඉර හඳට වඩා
අපි ඈත බව
දන්නවා

ඒ උනත් අහම්බෙන්
එකම එක මොහොතකට
ඔබට මා හමුවෙලා


දැන් ඉතිං වෙන කුමක් කරන්නද
ආදරය කරනු මිස



පැය කටුව කුමකටද
ඔරලෝසු මුණකට
කල්පයක් කියන්නේ
තත්පරෙන් බිඳක් නම්

සාරසංඛ්‍ය කල්ප ලක්ෂයක්
මා ඔබට තුරුළු වී
නිදිබරව උන්නා


ඔබේ තොල් පෙති වැදී
මගේ නළලේ කොණක
කේෂ නාලිකාවක් පිපිරුණා


දැන් ඉතිං වෙන කුමක් කරන්නද
ආදරය කරනු මිස



 



"කෑම ලෑස්තියි.!"


“ඕ…අපූරුයි!”

ඔහුගෙ දෑත මගේ බඳ වටා එතෙනවා.






 
"ඔයාගෙ නම මොකද්ද?"

“ඒක වැදගත් ද?”

“නැහැ නේන්නම්.”


දුම් දාන ක්ෂණික නූඩ්ල්ස් කෝප්ප දෙක ටීපෝව උඩින් තියලා මං ඔහුට තුරුළු වෙනව.






~ සමාප්තයි ~






සිංදුව  අහල නැති අයට මෙතනින් ගිහින් අහන්න  පුලුවනි.   ;)












ප.ලි.


මේක කෙටිකතාවක්ද මන්දා.  එහෙම නෙමෙයිදත් මන්දා.
මොකද මෙතන ඇත්තටම "කතාවක්" නැහැ.

මට වුවමනා වුනේ නෑ අනවශ්‍ය Twists  දාලා ඔයාලව impress කරන්න. මට ඕනෙ උනේ ලස්සන හීනයක්
අඳින්න. ඒ හීනෙට අකුරුවලින් පණ පොවන්න. පණ ලබල හුස්ම ගන්න  ඒ හීනෙ රහ බලන්න. 
තනියම නෙමෙයි. මගෙ වටේ ඉන්න ඔයාලත් එක්ක.

මට වුවමනා උනේ ඔයාලට අකුරු වලින් වර්ණ, මියැසි, සුවඳ, රස සහ ස්පර්ශ  කියන හැඟීම් සේරම දැනෙන්න දෙන්න.


මං පළමු උත්සහයෙදි මගෙ උපරිමය කලා.....
ඉතින් කියාපල්ලා.

උඹලා ඒක වින්දද?

මං සාර්ථකද?

(මේ පෝස්ටුවට ඇනෝ ඇරිය. අවංක අදහස් දැනගන්න.)



~~~~~~~~~~~~~~~~~~






Monday, June 23, 2014

හුදෙකලා මියැසිය (part three)






ඔහු එකපාරම මගෙ දිහාට හැරුනා. මගේ වම් කම්මුල දිගේ ඉහලට දබරැගිල්ලෙන් ඉරක් අඳිමින්. ඒ ස්පර්ශය රළුයි.


ඔහු තමන්ගේ ඇඟිලි තුඩු දිහාත්, මගේ ඇස් දිහාත් මාරුවෙන් මාරුවට බලන්නට වුනා.
 

“කඳුළු?”

“වෙන්නැති.”
 

“හවස ලෙක්චර්ස් තියෙනව කිවුව.”
 
“හ්ම්ම්ම්… දැන් පරක්කු වැඩියි.” මම ඔහුට පෙන්නුව දුරකතන තිරය.
 

“මං යනව.”
ඔහු එක්වරම කිවුව
 

මං බලන් උන්නා.

හීන් වැහි පොදක් වැටෙන්න අරන් ආයෙමත්. පිට්ටනිය වටා තියෙන උද්‍යාන බංකු එකක් නෑර පිරිල තියෙන්නෙ හවස දේශණ අහවර වෙලා එලියට බහින පෙම්වතුන්ගෙන්. ඔවුන්ටත් මේ හිරිපොදය ගානක් නැහැ වගෙයි.







 
“යමු.”

ඔහු මගේ උරහිසට අතක් තබමින් කිවුව.


කලු ගල් ඇතිරූ මාවත දිගේ හෙමින් හෙමින් ඉදිරියට ඇදුනෙ මේ මොහොත ගැන හිතේ හටගත්තු අසීමාන්තික ලෝබකම නිසාමයි. මගේ ගමන් වේගය ගැන මැසිවිලි නොකිවුවත් ඔහු ඉඳ හිට පාර දෙපස කළු ගල් කැබලිති වලට පහර ගසමින් නොයිවසිලිමත් බැල්මක් හෙලුවා.


 



 

අතුපතර විහිදුන විසාල මාර ගහක් හෙවනෙ අපි නතර උනා. එයා කිවුවෙත් නෑ ඉන්න ඕනෙ බව. මම කිවුවෙත් නෑ යන්න ඕනෙ බව.


ගහට පිට දුන් ඔහු තවත් සිගරැට්ටුවක් දල්වා ගත්තා. මා දිහා බලලා හිනා උනා.


“එනවා, කියල දෙන්න.”

"මොනාද?"

"ම්ම්...." ඔහු  සිගරැට්ටුව මා වෙත පෑවා.


 
“එයත් සිගරැට් බොනවද?”
 
“කවුද?”
 
“ඇලෙක්සි?”
 
“එයා බොනව කිරි.” 
ඔහු මගේ කෙහෙරැල්ලක් ඇඟිලි තුඩු අතර 
පටලවා ගනිමින් කිවුවා.

 

“එයා කැම්පස් ද?”
 
“කවුද?”
 
“ඇලෙක්සි?”
 
“ම්හ් හුම්.”

මුහුන වටා කැරකෙන දුම් වළලු මම ආඝ්‍රාණය කලේ ආසාවෙන්. එතුලින් මට දැනුනෙ ඔහුගේම සුවඳ.

 
ඒත්…..

ඔහුට ඉන්නව හවුල්කාරියක්.
මට ඔහුව හිමි නැහැ.


පුළුන් කැටියක් වගේ….. සැහැල්ලුයි…. 
ඔහ්! ඒ වාසනාවන්ත හැතිරිය.


මගෙ සිතුවිලි ගිනියම් වෙලා දුම් රොටු ඉහල නැගෙන්න අරන්.
හදවත පිච්චෙන සැරට කම්මුල් රතු වුනා.

 
ඒත්….
මේ මොහොත මගෙයි.





කන් පෙත්තෙන් පටන් අරන් සිරුර දිගේ දුවන මේ විදුලි රේඛා මට පුරුදු නෑ.
පොත් මල්ල අතෙන් ගිලිහුනේ නොදැනුවත්වම.

ජීවිත කාලයකට වඩා දිග මිනිත්තු දොළහක්.


මම ඇස් ඇරියා.

ඔහු බිම වැටිල තිවුන හිස්වැසුම ගසා දමා මගේ හිසට දැම්මෙ ඕනෑවට එපාවට වගේ.

 
“ඔයා එන්න.”
 
“කොහේද?”
 
“අපේ ඇනෙක්සියට.”
 
“ඔයාගෙ හවුල්කාරි මාව මරයි.”
 
“ඔව්. සමහරවිට.” 
ඔහු අහස දිහා බලාගෙන කියන්නට උනා.
 


“ඒකි කෑ ගහයි. සූරයි. හපයි. මහ දරුණු කේන්තිකාරියක්!” 
මගෙ මුහුනේ ඇඳුනු විස්මය දුටු ඔහු යටිතොල විකාගෙන දඟකාර හිනාවක් නැගුවා.

 
"බයවෙන්න එපා. එයා හොඳයි. ලෙන්ගතුයි." ඔහු ආයෙම කිවුවා.


 
"අපි යමු."  
එහෙම කරන්නට හිතිවිල්ලක් නැතිවම මං ඔහුගේ අතින් අල්ලා ගත්තා.

 
"සිනිඳුයි." ඔහු මගේ අත්ල පරෙස්සමින් පිරිමැද්දා. 
ඒ අත් රළුයි. රේඛා බහුලයි.

 
ඔහුගේ හුස්ම වැදිලා මගෙ නළලෙ කෙස්  රොදවල් සෙමෙන් ඈත් මෑත් උනා. නළල් තලයෙන් ඇරඹිලා ඇස් පියන් තෙමාගෙන දෙකොපුල් කරා ඇදෙන ඔහුනේ දඟකාර දෙතොලේ ස්පර්ශය මම ආසාවෙන් විඳගත්තා.

 

 
එතැන ඒ ඇසිල්ලේ හදගැස්ම දෙතොල් වල රිද්මයත් සමග අනුනාද වුනා.

ක්‍රමික, රිද්මයානුකූල හදගැස්ම. 
හිටි ගමන් රිද්මය අඩු වැඩි වෙන දඟකාර හදගැස්ම.
ඉන්පස්සෙ දෙසවන් පුපුරා යන තරමේ ජවයකින්,  වේගවත් වුන හදගැස්ම......
 

පොත්මල්ල උඩට වැටුන  ජර්සියත්, හිස්වැසුමත් දුන්නු උණුහුම හොයාගෙන මම තව තවත් ඔහුගේ පපුවට තුරුලු උනා.


තත්පර කටුව නැවතුනා. පෘතුවිය ආපස්සට කැරකෙන්න ගත්තෙ හිතාගන්නවත් බැරි තරම් වේගයෙන්.......




දීර්ඝ කාලතරණයකින් පස්සෙ මං හීන්සීරුවේ ඇස් ඇරලා වට පිට බැලුවා.

හාත්පස අඳුරුයි.
මම කළුවරට වෛර කලා…. පැය ගානකට කලින්.


ඒත් මේ මොහොතේ ඒ කළුවර ගැන හිතේ හටගත්තෙ අමුතුම බැඳීමක්. හීගඩු නංවන සීතල, පොඩිවුන තණබිස්සෙන් නැගෙන නැවුම් සුවඳ, සිහින් මදනළක ගමන් තාලයට නැළැවෙන තුරුපත්….


ජර්සියේ බොත්තම් පියවන ඔහුගේ ඇඟිලි තුඩු කලබලයි.


මම හොරෙන්ම ඔහුගේ පුළුල් හිස්වැසුම දාගෙන බැලුවෙ ආසාවට. මගෙ නහය වෙනකම් ඒ ඇතුලෙ. මොහොතකට කලින් විඳපු ඔහුගෙ හිසකේ වල සුවඳ මට දැනෙනව.


“හෙර! මගෙ හැට් එක උස්සලා” 
ආයෙමත් කන් පෙත්තෙන් පටන් අරන් සිරුර දිගේ දුවන කෙටි විදුලි රේඛාවක්.


ඔහුගේ රළු අත්ලෙන් වටවුනු ඇඟිලි තුඩු වලට වෙනදා වගේ හීතල කාන්දු වෙන්න ඉඩක් තිවුනෙ නෑ.







අඳුරත්, නිහඬතාවයත් එක්ක තනියෙන් සංවාදයක නියැලෙමින් උන්නු මම අවදි වුනේ ඔහුගේ ඇනෙක්සියේ ගේට්ටුව ඇරෙන හඬින්.


“මට බයයි! මාව ආපහු ඇරලවන්න.”

“ඇයි?”


“ඇලෙක්සැන්ඩ්‍රියා ඉන්නෙ මෙහෙ නෙමෙයිද?”

ඔහු මගේ කරවටේ අතක් දමා ගත්තා. හෙමෙන් උරහිසට තට්ටුවක් දැම්මේ හැමදෙයක්ම හරියාවි කියන්නා වාගේ…


“ඇලෙක්සී….” ඔහු හඬනගා කතාකලා.

කවුරුත් ආවේ නැහැ.


“කොහෙහරි රස්තියාදුවක ගිහින් ඇති..”


“ම්හ්…”


“සාදරයෙන් පිළිගන්නවා මගෙ දුප්පත් රජදහනට”
පටු පියගැටපෙළ නැගලා නවාතැනේ දොර විවර කල ඔහු විසුලු ලීලාවක් පාමින් කියද්දි මට තවදුරටත් බයේ ගැහෙන්න අමතක වුනා.


“උයන්න වෙනව.”

“කඩෙන් කමු”

“කමක් නැද්ද?”

මං හිනා උනා. “මං උයන්න දන්නෑ…”

“මං දන්නවනෙ.”

“කොත්තුමී අරන් එන්නා……ම්”


ඔහු එහෙමම දොර වහගෙන පියගැට පෙළ දිගේ පහළට දුවන ගමන් කෑ ගැහුව. ඉදිරිපස දොර වැහෙන හඬට මගෙ හිත ගැස්සුනා.


ආයෙමත් අඳුර. මම අඳුරට ඇස් හුරුවෙනකම් බලා උන්නා.


ජනේලයක් විවරවෙන සිහින්  කිරිකිරි හඬක් එක්ක මගේ දෙපතුල් සීතල වෙලා ගියා. මම ළඟම තිවුනු සෝෆාවේ වාඩිවුනේ නොදැනුවත්වම. එක්වරම කුස්සියෙන් ඇහුනෙ ඇලුමිනියම්  භාජන කිහිපයක් පෙරැලෙන හඬ. තිගැස්සුන හිතත් එක්ක හුස්ම වැටෙන වේගය ඉහල යද්දි වේගයෙන් ගැහෙන හදවතේ ලබ්ඩබ් ලබ්ඩබ් හඬ දෙසවන් තුල නින්නාද වුනා.




මට බයයි.
ඉක්මනට එන්න.
අනේ ඉක්මනට එන්න.

මං ඇස් වහගෙන මිමිණුවා.



හදවත ගැහෙන වේගය ටිකෙන් ටික ටිකෙන් ටික අඩු උනා. මම  හෙමින් ඇස් ඇරලා අවට බැලුවා.

 
කුස්සියේ දඟලාපු හොල්මන සාලයට ඇවිත් නැහැ. එහෙනම් මං යන්නෝන කුස්සියට, ඌව හොයාගෙන.






 ~ මතු සබැඳි ~



අවසාන කොටස ලබන සතියේ බලාපොරොත්තුවන්න.





 

Friday, June 20, 2014

හුදෙකලා මියැසිය (part two)












ඔහු වාදනය නවත්වලා මා දිහා හොඳට බැලුවා. ඔහ්! ඒ ඇස් ගුප්තයි. ඒ ඇස් ඇතුලට වැටුනොත් මං අතරමං වේවි. සදහටම.


“අමුතු කෙල්ලෙක්.”



ඔහු දුම් වළලු කිහිපයක් ඉහළට පා කලා.

මං හිස පැත්තකට ඇල කරලා හිනා උනා.


“ඕනෙද?"

ඔහු අඩක් දැල්වී හමාර වුන සිගරැට්ටුව මා වෙත පෑවේ පෙර නොවූ සුහද බවකින්.



දෙවරක් නොසිතාම මම දුම්වැටිය අතට ගත්තා.

පුංචි කාලෙ කඩදාසි රෝල් කරලා සෙල්ලමට දුම් ඉරුවා වගේ මම එක්වරම උණුහුම් දුමාරය ඉහලට ඇද්දා.


ඇස් දෙක නිලංකාර උනා. ඔලුවට දැනුන ලොකුම ලොකු බරකුත් එක්ක පෙණහලු දෙක පුපුරන්න යනවා වගේ දැනුනා. පෙණහලු වලින් ඒ කටුක දුමාරය ඉවත් කරගන්න මම කැස්සා. නොනවත්වාම කැස්සා බංකුව උඩ දෙකට නැමීගෙන.


ඔහු හිනා උනා.මහ හඬින් හිනා උනා.




 

තණ බිස්සට නැමීගෙන ඉන්න මට පෙනුනේ ඔහුගේ සපත්තුවට පෑගෙන සිගරැට්ටුව.



ඊට තත්පර කාලකට පස්සෙ මට දැනුනේ මගේ පිට දිගේ එහා මෙහා යන ඔහුගෙ අත්ලෙ රළු ස්පර්ශය.


ඒ තත්පර කිහිපය බදලා අල්ලගෙන, පුංචි කාලෙ මල් පෙති, බෝ කොල ප්‍රෙස් කරනවා වගේ මතක පොත ඇතුලට දාලා තද කරලා සදාකාලයටම  ලඟ තියා ගන්න ඇත්නම්.



“පිස්සි”  එයා කිවුව.

මං ඇහැරුනා.
මගෙ දවල් හීනෙන් ඇහැරුනා.

ඔව්. එයා බලනව ඇස් දිහා.



“ඇයි තනියම ඉන්නෙ?” මං ඇහුව එයාගෙන්.

“කවුද?”

“ඔයා.”

“මම?”

“හුම්..”



එයා ආයෙත් හිනා වුනා. බොකුටු කොණ්ඩය අතරින් දිගු ඇඟිලි තුඩු එහා මෙහා දිවෙවුවා. ආයෙමත් හිනා වුනා.






“ඔයා නම් ඉන්නෙ තනියෙන්.” ඔහු එක්වරම කිවුව.

“තනියෙන් විතරක් නෙමෙයි මළපාලුවෙන්.”

“මට නම් ඉන්නව හවුල්කාරියක්.”


පතුලක් නොපෙනෙන අඳුරු අගාධයකට මගේ හදවත කඩාගෙන වැටෙනව මට දැනුන. ඇස් බොඳවුනා. මම ඈත අහසෙ ගොඩගැහිච්ච අඳුරු වළාකුලු දිහා බලන් උන්න.


“එයා ඇලෙක්සැන්ඩ්‍රියා. ආදරේට මම කියන්නෙ ඇලෙක්සි”


ඔහු යලිත් වරක් ගීයක් වාදනය කරන්න වුනා. හදවත ස්පර්ශ කරන සියුම් රිද්මයක්. මම මූන බිමට බර කරගෙන අහන් උන්නා.


 

එක දවසක් හැන්දෑවක
කණාමැදිරි එළි පාරක
මං හෙව්වා තරු කැටයක්

නිල් පාටින් පායා දිලෙන

සිහිනයක ගිලී මා සිටියා
කවුරුදෝ විත් දොර බිදිනා විට
සුළං පොදක් වත්
ඇරුණු දොර පියනින් ආවා නම්
සිහිනයේ සුව අරං

 නන්නාදුනා දෑසක්
නිවී නිවී දිළිසුනා මොහොතක්

සුහද ආරාධනාවක්
අරන් ඈ ඇවිත් දොරකඩට
පවන් පොදකටවත්
ඉඩක් නෑ නොවෙද
අවකාශයම වසාගෙන
ඈ සිටිනා විට මා අසළ

මා අසළ ලැගුම් ගනු පෙරතුව
මා තුලට
මොහොතකට
එබුනා නම්
පැහැදිලිව දකින්නට තිබුණා


මා තුලම
මා නොවන
පිටස්තරයෙකු සිටිනා වග

ඔබේ පෙම  මා හටද
මා නොවන ඒ අමුත්තා වෙතද





තත් හැඬවෙන වාරයක් වාරයක් පාසා, ඔහුගේ රළු පිරිමි හඬින් ගැයෙන වචනයක් වචනයක් පාසා මගේ හිත යලිත් අර නුහුරු උණුහුමෙන් පිරෙන්නට වුනා. ඇඟිලිතුඩුවලට දැනෙන නුපුරුදු සීතලෙන් ගැලවෙන්න මම අත්දෙක ජර්සියේ සාක්කු අතරට රිංගෙවුව.


ඔහු මා වෙනුවෙන් ගැයුවා. බොහෝ වෙලාවක්.


මට හාංකවිසියක් මතක නැති එක් නිමේෂයක මම අර අහස අල්ලන්න උස ගිය විලෝ ගහ අතෑරල ඔහුගේ පිටට හේත්තු වෙලා උන්නා.








“එයා වාසනාවන්තයි.”

“කවුද?”

“ඇලෙක්සි”

“හා හා හාහ්….. වෝව්!"

එයාගෙ හිනාවෙන් තිගැස්සුන මම වහ වහා මදක් ඈතට උනා.



“එයාට පුලුවනි හැමදාම ඔයාගෙ සින්දු අහන් ඉන්න. තරු පිරුනු රෑ අහස දිහා බලාගෙන. අතරින් පතර ඇහෙන රැහැයි නාදයත් එක්කම.”



“එයා ආස නෑ සින්දු අහන්න.”

“ම්හ්?”

“එයා ආස මගෙ දණහිසට ඔලුව තියාන ළඟින් ඉඳන් ඉන්න.”

“හ්ම්ම්ම්…..”



“එයා සුදුයි. හිම කැටියක් වගේ සැහැල්ලුයි. මූණ පිරිල. ආදරේ හිතෙනව.”


මට ඕන උනේ එතනින් පලා යන්න. එයාගෙ කටහඬ නෑහෙන ඈතකට.



ඒත්…… මම බංකුවට ඇලවිලා වාගේ උන්නා.


~ මතු සබැඳි ~




සිංදුව  අහල නැති අයට මෙතනින් ගිහින් අහල පිස්සු හදාගන්න  පුලුවනි. ඒ තරම් ලස්සනයි.  ;)






 බස්සිගේ අවවාදය : දුම්බීම සිරුරට ඉතා අහිතකරයි හොඳේ!






 

Tuesday, June 17, 2014

ගඩොල් බාග වලින් ඇන්ත්‍රැක්ස් මර්ධනය





වන් ෂොට් වන් තිරගත උනා කාලෙකට කලින්.



සමහරුන්ගෙ ලෝකයේ වීරයා, වන් ෂොට්.  උඹලා අපි කිහිපදෙනෙක් එහෙම නොහිතපු එක ඇත්ත. ඒ වුනාට අපේ මතය සමස්ත ස්‍රී ලාංකිකයන්ගෙ මතය නෙමෙයි. එක සමාජ තලයකදී වන්-ෂොට් සුපිරි වීරයෙක්. මිනිස්සු වන්-ෂොට් එනකොට හුරේ දානවා. විසිල් ගහනවා. කරේ තියන් පාරක් පාරක් ගානෙ ඇවිදින්න, පණ දෙන්න සැරසුන අපේ අයියලා ඕනෙ තරම්.



සමහරු කිවුවේ මේක ගොන් ජෝක් එකක් කියල.
සමහරු ඒක නිර්වචනය කලා සිනමා කර්මාන්තයේ කඩා වැටීම කියල.


තවත් සමහරු ඇහැවුවා කවුද වන් ෂොට් කියන්නෙ කියල.


කාලයත් එක්ක අපිට වන් ෂොට් වන් අමතක වෙලා ගියා.



ඊයෙ පෙරේදා සෑහෙන පබ්ලිසිටියක් දීගෙන එලියට දැම්ම වන් ෂොට් පාර්ට් ටූ. හැබැයි මාර්කට් කරන්නෙ වන් ෂොට් ටූ කියල නෙමෙයි, “රතුපස්වල රන්ජා” කියල.



ඔව්. නම වෙනස්. හැබැයි මේක වන් ෂොට් සීරීස් එකේ දෙවෙනි කොටස බව ඉතාම අතළොස්සකට මතක තිවුනා.  අනික නම විතරයි වෙනස්. ප්ලොට් දෙකම එකම අච්චුවේ.



බහුතරයක් දෙනා කැමතියි ෆයිට් බලන්න. මොකද නාගරීකරණය කියන සත්තු වත්ත ඇතුලෙ, සභ්‍යත්වය කියන යකඩ කූඩු වල හිර වෙලා ඉන්නෙ අමුතු ජීවී විශේෂයක් නෙමෙයි. මිලේච්ඡත්වයට සහජ ලැදියාවක් සහිත හෝමෝ සේපියන් සේපියන් මුතුන් මිත්තන්ගෙ ජාන වලින් පැවතෙන මුණුබුරු මිණිබිරියෝ.





අපි ආසයි ලේ සුවඳට. ඒක තමයි ඇත්ත.


වන් ෂොට්ගෙ අතෙන් එකෙක්ගෙ ඔලුවක් පැලෙද්දි අපිට මාර කික්.
සූර්යාගෙන් පයින් පාරක් කන දුෂ්ඨයගෙ ඔළුවෙන් ලේ ගලනව දකිද්දි අපිට මාර ත්‍රිල්.



අපි ගියා කර්ම බලන්න,  හෝල් එකේ හිටියෙ දහදෙනයි.
අපි ගියා වන් ෂොට් බලන්න. විස්වාස කරපල්ලා හවුස් ෆුල්!


වන් ෂොට් ඇයි රන්ජා උනේ? 
පොර රටේ නමගිය චරිතයක්. දේශපාලඥයෙක්. වෙනස් කුලකයකට අයත් එකෙක්. පරණ ෆිල්ම් වල ජීවන් නිතරම චණ්ඩියා වෙන්නෙ. අන්න ඒ වගේ. අනුගාමිකයො නිර්මාණය කරන්න ඕනෙ නෑ. ඉන්න අනුගාමිකයො ස්වාභාවිකවම පිරමීඩ් ක්‍රමයට හිස් ගොඩ වැඩි කරාවි.



සමහරක් පළු අරිනවා වන් ෂොට්ගෙ. අනේ යකෝ! ඌ කරන්නෙත් රස්සාවක්. ඌ රඟපාන්නෙ අධ්‍යක්ෂකගෙ උපදෙස් වලට අනුව.



කෝ හොයාපියව් ඔය කියන අධ්‍යක්ෂකව, භීෂණය වපුරන කාලකණ්ණි හැත්ත!

පිස්සුද උඹලට? අධ්‍යක්ෂක උපදෙස් දෙන්නෙ ස්ක්‍රිප්ට් එකේ හැටියට රඟපාන්න නෙව.



ඇඩෝව් තිර රචකයා! බැහැපිය ඩෝ එළියට! නැත්තම් පුච්චනව උඹව මුළු පවුලම එක්ක කාර් එකක් ඇතුලට දාල!


මෝඩ යක්කු! ගස් නරි!


උඹල වීරයො නම් සටන් කරපල්ලා මේ මිලේච්ඡ චිත්‍රපටිවල නිෂ්පාදකයන්ට විරුද්ධව. චිත්‍රපටියෙ භාෂාව හොයන්න එපා යකෝ. ප්‍රධාන චරිතෙ ඇඳන් ඉන්න ඇඳුමෙ පාට හොයන්නත් එපා.




නිෂ්පාදක උත්තමයගෙ වැරැද්දක් නෑ. ඒ උත්තමය කලේ සල්ලි ටිකක් විසි කරල අපිට ආතල් එකක් දුන්නු එක. ආයුබෝවේවා කියල පිළිගනිල්ල ඒ උත්තමයන්ගෙ හිත් කැඩෙන්න දෙන්නෙ නැතුව.



මිලේච්ඡත්වය ජානගත වෙලා තිවුනට අපි මොළේ දියුණු කරපු හෝමෝ සේපියන් සේපියන්ලා මචන්ලා, එක එකා කුළල් කාගෙන වඳ වෙලා ගිය හෝමෝ සේපියන් නියැන්ඩර්තාල් ලා නෙමෙයි.



ඇන්ත්‍රැක්ස් වලට එරෙහිව සටන් කරන්න ගඩොල් බාගයි පෙට්රල් කෑනුයි අතට ගන්න මෝඩ රිළව්.
කලකිරෙනවා බං.


මට වෙන කියන්න දෙයක් නෑ.




පසුව ලියමි


දුරාවබෝධයෙන් මඩනා ලදුව රන්ජන් රාමනායක නම් නළුවාගේ රෙදි ගැලවීමට යුහුසුළු වූවන් උදෙසා අකැමැත්තෙන් වුවත් පසු ලිවීමක් අමුණමි.


අපි දේශපාලන රංග භූමියේ රඟ දැක්වෙන මෙගා නාටකයක අවශේෂ නළුවන්මය. එක්දහස් නමසිය අසූ තුනේ තිරගත වූ වන් ෂොට් වන් බයිස්කෝප්පයට හුරේ දුන්නවුන්  නිසා අපි වසර තිහක් සාප වින්දෙමු.


නාන සාදුත්, අසාද් සාලිත් වන් ෂොට් ටූ රඟදැක්වූ පමණින් මා අත්වින්ද ඒ ලේ තැවරුනු තැතිගත් ළදරු  විය, ළමා විය සහ නව යොවුන් විය මගේ දරුවන්ට උරුම කර දීමට මා සූදානම් නැත.


මම මගේ ජාතියට ආදරය කරමි. එබැවින්, ගඩොල් බාගයෙන් , පෙට්‍රල් කෑන් එකකින් ඇන්ත්‍රැක්ස් මර්ධනය කල නොහැකි වග යළි යළිත් පවසමි.