Friday, May 27, 2016

ගංවතුරෙන් පස්සේ


ගංවතුරෙන් පස්සේ ඊගාවට මොකද වෙන්නෙ කියන එක ගැන හැමෝටම තියෙන්නෙ අවිනිශ්චිතභාවයක්. ඒ ගැන වටින දැනමුතුකම් රාශියක් ෆ්බී එකේ හුවමාරු වෙනවා දැක්කා. ඒවායින් වැදගත්‍ යැයි හිතුන සමහරක් බ්ලොග් එකේ පල කරන්න හිතුනා.





කරන්ට් එක




ගංවතුරෙන් පස්සේ ගෙවල් තියෙන විදුලි පද්දතියට අත තියන්න යන්නේ බලාගෙන. විදුලි බල මණ්ඩලෙන් ඔබගේ පලාතට ලයිට් කපල ඇති. වතුර බැහැලා ගියහම ඔවුන් සැපයුම දමාවි. එතකොට ඔබේ නිවසට කරන්ට් එක ඒවි. නමුත් ගෙදර ප්‍රධාන ස්විචය (මඉන් ස්විට්ච්) හෝ වෙනත් කිසිම විදුලි උපාංගයක් අල්ලනවත් යන්න එපා!


ලයිට් දාන ස්විච්, ප්ලග් පොයින්ට් ඇතුලට වතුර/මඩ ගිහින් තියෙන්නේ. බිමත් බිත්තියත් ඔක්කොම හොඳටම තෙත නිසා විදුලි කාන්දු වෙන්න තියෙන ඉඩ හොඳටම වැඩියි! හොඳම දේ තමයි මුළු පද්ධතියම විදුලි කාර්මිකයෙක් ලවා පරීක්ෂා කරවා ගැනීම!


හැම ස්විච් එකක්ම, ප්ලග් එකක්ම ගලවල එකින් එක චෙක් කරන්නම ඕනේ. ඇතුලේ තියෙන වතුර සම්පුර්ණයෙන්ම යවල සුද්ද කරලා වේලෙන්න අරින්න ඕනේ. ඊට පස්සේ තමයි, එකින් එක පරිපථ චෙක් කරගන්න ඕනේ! විදුලිය එක්ක වැඩ පුරුදු නැත්තම් තනියෙන් කරන්න එනම් යන්න එපා! මේක සුළුවට ගන්න එපා, හදිස්සි වෙන්න යන්නත් එපා! විදුලියත් සුළු වැරැද්දකට උනත් කිසිම සමාවක් නැහැ!


විදුලි කාන්දුව නිසා ජීවිත අනතුරු වීමට ඇති ඉඩ බොහෝයි. එක් විපතකින් තවත් විපතකට වැටුණොත් ඒක් කොයිතරම් වේදනාකාරී දෙයක් ද?



පොත් පුතේ - නෙත් වගේ


(විස්තර ලබාගත්තේ රුවන් චින්තක ගමගේ ඉදිරිපත්කල සටහනකින්.)




පොත්පත් සහ වෙනත් ලිපි ලේඛ්හන තෙමී පැය 36කින් පසු පුස් ඇතිවෙනවා. ඊට පෙර වියළා ගන්න. එසේ නොහැකි නම් හිරු එළිය හොඳින් වැටෙනතුරු පොලිතින්වල ඔතා ශීතකරණයක තබන්න.


පොත් වියළීම සඳහා ම ඇති උපකරණයක් භාවිතය හොඳ ම උපක්‍රමය වුවත් ලංකාවේ දැනට එවැනි උපකැණයක් නැහැ. ජාතික ලේඛනාගාරයේ එවැන්නක් තිබුණත් එයින් පොත් කිහිපයකට වඩා වරකට වේළා ගන්නට බැහැ.


කෙසේ නමුත් කරවල වේලනවා වගේ පොත් වේලන්න බැහැ. එසේ කිරීමෙන් තත්ත්වය තවත් බරපතල විය හැකියි. විදුලි පංකාවකින් වියළීමයි පහසු ක්ක්‍රමය. එසේම වායු සමීකරණය කළ කාමරයක පොත් පත් අතුරා තැබීමද සුදුසුයි.


වියළා ගත් පසු පුස් බැඳීම වැළැක්වීමට තයිමෝල් ප්‍රතිකාරය කර ගත යුතු යි. මෙය ජාතික පුස්තකාලයෙන් සුළු මුදලකට කිරීමට පුළුවන්. 



රෝද හතර බේරගන්නෙ කොහොමද?


(විස්තර ලබාගත්තේ දසුන් තරංග ඉදිරිපත්කල සටහනකින්)




1. මුලින්ම වාහනේ ස්ටාර්ට් කරන්න නම් එපා. මොකද එන්ජින් එක තුළ වතුර, මඩ වගේම කුණු හිරවෙලා තියන්න පුලුවන්. ඒ නිසා එකපාරට ස්ටාර්ට් කරන්න කලින් චෙක් කළ යුතු දේවල් ටිකක් තියනවා.


2. වාහනේ කොච්චර ගංවතුරෙ ගිලුනද කියලා මුලින්ම පරීක්ෂා කරන්න. වාහනේ ගෑවිලා තියන මඩ හෝ වතුර ලෙවල් එක බලන්න. ගොඩක් වෙලාවට ලෙවල් එක දොරේ යට කොටසින් ඉවරයි නම් ප්‍රශ්ණයක් නෑ. ගොඩක් වෙලාවට රක්ෂණ සමාගම් වලින් වාහනයක් ගංවතුරට අහුවුනා යැයි සළකන්නෙ ඩෑෂ්බෝඩ් එක ළඟට වත් වතුර පිරිලා නම් විතරයි.


3. කෝල් ඉන්ෂුවරන්ස්

ඔයා දාල තියෙන්නෙ ෆුල් ඉන්ෂුවරන්ස් එකක් නම්, ගංවතුර සහ ස්වාභාවික විපත් ආවරණය ලබාගෙන තියෙනවානම් ප්‍රශ්ණයක් නෑ. මොකද ඒකෙ ස්වාභාවික විපත් සඳහා රක්ෂණාවරනය අඩංගු වෙනවානම් ඔයාගේ රෙපෙයාර් එකට යන ගාන ක්ලේම් කරගන්න පුලුවන්. ප්‍රශ්ණයක් නෑ.


4. ඒ වැඩේ ඒ පැත්තෙන් වෙනකොට මේ පැත්තෙන් අපි වාහනේ ගොඩදාගන්නත් එපැයි. මුලින්ම ඇතුලෙන් පටන්ගන්න. වාහනේ ඇතුලට වතුර ගිහින් නම් වාහනේ දොරවල් ඇරලා කාපට් ඔක්කොම අයින් කරලා ඉක්මණින් වතුර ටික අයින් කරන්න. ටවල් දාලා හොඳට වේලගන්න. නැත්තම් ෆුට්බෝඩ් එක පරිස්සම් කරගන්න බැරිවෙනවා.


5. ඔයිල් සහ එයාර් ක්ලීනර් චෙක් කරන්න
ඔයිල් කූරෙ වතුර හෝ ඔයිල් ලෙවල් එක වැඩියෙන් පෙන්වනවා නම් හෝ එයාර් ෆිල්ටර් එකේ වතුර නම් එන්ජිම ස්ටාර්ට් කරන්න යන්න එපා. ෆුල් ක්ලීන් අප් එකක් දෙන්න වෙනවා. ඒ වගේම ස්පාර්ක් ප්ලග් ටිකත් ඒ විදිහටම චෙක් කරගන්න.


6. අනිත් ඔයිල් වර්ග ටිකත් චෙක් කරගන්න
අලුත් වාහන වල නම් සීල්, හැබැ‍යි පරණ වාහන වලට එනකොට බලන්න වෙනවා. බ්‍රේක්, ක්ලච්, පවර් ස්ටියරින් සහන් කූලන්ට් අපවිත්‍ර වෙලාද බලන්න.


7. ඊට පස්සෙ බලන්න ඉලෙක්ට්‍රික් සිස්ටම් ටික. එන්ජින් එකේ වරදක් නැත්නම් වාහනේ ස්ටාර්ට් කරන්න. ඊට පස්සෙ හෙඩ්ලයිට්, සිග්නල් ලයිට්, ඇ/C, රේඩියෝ පවර් ලොක් ෂටර්ස් සහ සීට් වැඩද බලන්න.


8. වාහනේ ටයර් සහ වීල් චෙක් කරන්න. වාහනේ කිසිම වරදක් නැත්නම් සුපුරුදු විදිහට ටයර් ටික චෙක් කරලා බලන්න.



ක්ලෝරීන් බ්ලීච්


(විස්තර ලබාගත්තේ රන්සිරිමල් ප්‍රනාන්දු ඉදිරිපත්කල සටහනකින්)




මේක සුනාමි කාලේ ලිං වල ජීවානුහරණය සදහා ක්ලෝරීන් බ්ලීච් සාදා ගන්න අපි යෝජනා කරපු සරල උපක්‍රමයක්. රසායන විද්‍යාව පිළිබදව යම් තරමක දැනීමක් අැති අයට අත්හදාබලන්නට පුළුවනි. මට දැනගන්න ලැබුණු තරමින් වෙළදපල පරිමාණයෙන් ක්ලෝරින් බ්ලීච් නිපදවන අායතන කීපයක් දැන් ලංකාවේ තිබෙනවා. එ් නිසා ප්‍රථම පියවර එවැනි නිෂ්පාදනයක් ලබාගත හැකිද යන්න සොයා බැලීම විය යුතුයි.


සාමාන්‍ය ලුණු ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේදනයෙන් සෝඩියම් හයිපක්ලෝරයිට් ද්‍රාවණයක් සාදා ගන්නට පුළුවන්. සාන්ද්‍රණය වෙනත් ක්‍රමවලින් නිපදවන වෙළද පලේ අැති ක්ලෝරින් ද්‍රාවණ තරම්ම නූනත්, විශබීජ නාශකයක් ලෙස ප්‍රමාණවත් ක්ලෝරින් ප්‍රමාණයක් අඩංගු ද්‍රාවණයක් වැඩි කරදරයකින් තොරව සාදා ගත හැකියි. මේ ක්‍රියාවලියේ දී නිපදවෙන ක්ලෝරීන් 'වායුව' කෙලින්ම අාශ්වාස කිරීම මාරාන්තික විය හැකියි. එ් නිසා, අසල වාතයට මුදා හැරෙන ක්ලෝරීන් ප්‍රමාණය ගැන සැලකිලිමත් වන්න. විදුලි පංකාවක් අහලක තියාගෙන වායු සංසරණය වැඩි කිරීම යොදාගත හැකි එක් අාරක්ෂක උපක්‍රමයක්. නිපදවෙන අනිත් වායුව හයිඩ්‍රජන්. ගිනි ගැනීම වාගේම ස්ඵෝටනය  වන වායුවක්. කිසි අාකාරයක ගිනි පුලිඟු අැතිවන කාර්යයක්, කරන්නට එපා. විදුලි පංකාව මෙහිදීත් ප්‍රයෝජනවත්.


ලුණු ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේදනයේ දී, එක් ඉලෙක්ට්‍රෝඩයක් (අැනෝඩය) මත ක්ලෝරීන් නිපදවෙන අතර, අනික් ඉලෙක්ට්‍රෝඩය (කැතෝඩය) මත හයිඩ්‍රජන් හා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිපදවෙනවා. ක්ලෝරින් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග ප්‍රතික්‍රියාවෙන් සෝඩියම් හයිපක්ලෝරයිට් හා හයිප ක්ලෝරස් අම්ලය හැදෙනවා.


අපේ සරල උපකරණය, විදුලි පන්දම් කෝෂයක කාබන් කූරු දෙකක් ඉලෙක්ට්‍රෝඩ ලෙස යොදාගන්නවා. මේ පින්තූර වල අැත්තේ එවැනි කාබන් කූරු දෙකක් ප්ලාස්ටික් පිහියක දෙපැත්තේ සෙලෝටේප් වලින් අවුණලා හදා ගත්ත සරල මෙවලමක්. 


ලුණු ද්‍රාවණය හදන්නේ වතුර මිලි ලීටර 100 කට ලුණු ග්‍රෑම් 25ක් දියකරලා. ලුණු සාන්ද්‍රනය 25% පමණ වීම වැදගත්.


වෝල්ට් 9 බැටරියක් පාවිච්චි කර විනාඩි 15 පමණ විද්‍යුත් විච්ඡේදනය කල පසු ලැබෙන ද්‍රාවණය මිලි ලීටර 500කට තනුක කලවිට එහි ක්ලෝරීන් සාන්ද්‍රණය ලීටරයට මිලිග්‍රෑම් 300 පමණ වෙනවා. අාහාර පිසින උපකරණවල විෂබීජ නාශනයට නිර්දේශ කරන්නේ ලීටරයට මිලිග්‍රෑම් 200 පමණ සාන්ද්‍රනයක්.


වැදගත් දෙයක් නම් විද්‍යුත් විච්ඡේදනය සිදුවන කාලය පුරාම ද්‍රාවණය කැලතීමයි. නැත්නම් නිපදවෙන ක්ලෝරින් වායුවක් ලෙස පිටවී යන්නට පුළුවනි. එමෙන්ම භාජනයට මුහුණ ලංකිරීමෙන් වලකින්න. ක්ලෝරින් වායුව නිසා.

අවශ්‍ය අවම වෝල්ට් ගනන හතරක් පමණ. සාමාන්‍ය 1.5 කෝෂ තුනක් යොදාගන්නත් පුළුවනි. පවර් පැක් එකක් පාවිච්චි කරන්නත් පුළුවනි, නමුත් කොපමණ විදුලි ධාරාවක් අැදෙනවාද යන්න ගැන පරිස්සම් වෙන්න. උවමනාවට වඩා ප්‍රබල විදුලි ධාරාවක් අැදුනොත් ගිනිගැනීමක් මෙන්ම පවර් පැක් එක පිච්චී යාමත් වෙන්න පුළුවන්.



Saturday, May 21, 2016

අකුරක් ඇහිඳින්න පිහිටක් වෙමුද?




ගංවතුර සහ නාය යාම් එක්ක අසරණභාවයට පත්වෙලා ඉන්න අපේම සහෝදර ජනතාව වෙනුවෙන් මහපොළවට බැහැපු සයිබර් අවකාශයේ සහෝදරත්වය මේ වෙනකොට ඉතාම කැපවීමෙන් ඒ කටයුතුවලට දායක වෙනවා.


ඇත්තටම අපිට කරන්න පුළුවන් තවත් දේ තියෙනවාද? කාටත් අමතක වුන, ඒත් අත්‍යාවශ්‍ය යමක්?


ඔව්. එහෙම පිරිසක් ඉන්නවා.


තමන්ගේ පාසැල් පොත්, සටහන්, ටියුට්, ප්‍රශ්ණ පත්තර දියබත් වුන ළමයි. තව මාස තුනකින් උසස් පෙලට වාඩි වෙන්න හිටපු ළමයි. තව මාස හයකින් සාමාන්‍ය පෙළ ලියන්න බලාගෙන උන්නු ළමයි.


කොටින්ම කිව්වොත් අපේ පාසැල් වයසේ දූ දරුවෝ.


එයාල මුතු ඇට අත් අකුරෙන් සටහන් ලියපු, බ්‍රවුන් පේපර් පිටකවර දාගෙන ආදරෙන් පරෙස්සම් කරපු සටහන් පොත් ඒ විදියටම අපිට ආපහු දෙන්න බැරිවෙයි. ඒත් අපිට පුළුවන් එයාලව බිංදුව මට්ටමේ ඉඳන් ටිකක් හරි ඉහළට ඔසවලා තියන්න.


ඒ වෙනුවෙනුයි athahitha.org වෙබ් අඩවිය පටන් ගත්තේ. මේ වනවිට අපි වෙබ් අඩවිය නිර්මාණය කරමින් ඉන්නෙ.


තමන්ගේ සහෝදර සහෝදරියො එක්ක තමන් විභාගය වෙනුවෙන් සූදානම් කල කෙටි සටහන් ආදිය හුවමාරු කරගන්න කැමැති ආදරණීය නංගිලා මල්ලිලා පිරිසක් එක්කාසු කරගන්න අපිට පුළුවන් වුනා. හෙට අනිද්දා දින දෙක තුල ගුරුවරු කීප දෙනෙක් මුණගැහිලා ඔවුන්ගෙනුත් නෝට්ස් ඉල්ලාගන්න බලාපොරොත්තු වෙනවා.


අපි ඒ සටහන් සේරම ස්කෑන් කරලා pdf විදියට මේ වෙබ් අඩවියට අප්ලෝඩ් කරමු.


නෝට්ස් scan කරලා pdf විදියට එවන්න පුලුවන්නම් ලොකු උදව්වක් ඒක. Scanner එකක් නැත්නම් camscanner කියන android app එක පාවිච්චි කරල ෆෝන් එකෙන් වැඩේ කරගන්න පුලුවනි.
Subject-wise pdf හදලා, විෂයයේ නම email subject එකේ දාලා මට ඊමේල් කරන්න පුලුවන්ද?


sammani.premaratne@gmail.com මගේ ඊමේල් ලිපිනය


“පුහ්! මුන්ගෙ ගොබ්බ මොලේ! හැම ළමයටම ඉන්ටනෙට් තියනව කියලද? මේක තනිකරම ධනේශ්වර පංතියට ආවඩන විසඳුමක්!”


අන්න ඒ විවේචනය එල්ල කරන්න බලාගෙන ඉන්න මිතුරු මිතුරියනේ. ඔයාල වෙනුවෙනුයි මේ ව්‍යාපෘතියේ දෙවන අදියර නිර්මාණය වෙන්නේ.


සෑම විෂය ඒකකයක් වෙනුවෙන්ම මුද්‍රිත පොත් කට්ටලයක් නිර්මාණය කරමු. 

ඔබට පුළුවන් ඒ සටහන් කට්ටල ඡායාපිටපත්ගත කරන්න උදව් වෙන්න.


ඒ විදියට සකසාගන්න සටහන් කට්ටල අරගෙන අපි ගමෙන් ගමට යමුද? ඔබ මොකද කියන්නේ? අපිත් එක්ක එකතු වෙනවා නේද?

.


Monday, May 9, 2016

බාත්රූම් ගායකයෝ




දහම් පාසලේ සමිතිය වෙලාවට ඉස්සරහට ඇවිත් අච්චු පොතේ තිබ්බ කටපාඩම් කවියක් කියවන්නවත් බෑ කියපු එව්වො, ට්‍රිප් යද්දි, බජව්වකදි සිංදුවල නැට්ට විතරක් අල්ලපු එව්වො, ගෙදර බාත්රූම් එක ඇතුලෙදි පට්ට ගායකයො වෙන හැටි දැකල තියනවද?


නෑ මං මේ අහන්නෙ, තමුන්නාන්සේලාටත් බාත්රූම් එකේ නාමින් ඉන්න අතරේ අසහාය ගායන හැකියාවක් ඉස්මතු කරගත්තු අවස්ථා නැතිවෙන්න බැහැනෙ නේද? ඉතින් බස්සිට හිතුනා මේ බාත්රූම් ගායනාවල හැංගිච්ච අමුතු විජ්ජාව මොකක්ද කියල හොයා බලන්න.


කප්පරක් වැඩ තිබුන පට්ට බිසී දවසක් හමාර කරලා වොශ් එකක් දාගන්න බාත්රූම් එක ඇතුලට රිංගගන්න වෙලාව කියන්නේ දවසේ සුවදායකම පැය කිහිපයෙන් කොටසක්. මද රස්නෙ වතුර, එහෙමත් නැත්නම් ගිනි රස්නෙ දවසක සීතලම සීතල ඇල් වතුර ඇඟ පුරා ගලාගෙන යනකොට දැනෙන්නේ දවස තිස්සෙම අපිත් එක්ක පොරබදපු අටෝරාසියක් ප්‍රශ්ණ, ගැටළු සේරමත් ඒ එක්කම හේදිලා යනවා වගේ.


මේ විදියට ටිකෙන් ටික ඔළුව සැහැල්ලු වෙනකොට අපේ ශරීරයෙන් ‘ඩොෆමයින්’ හෝමෝනය නිදහස් වෙනවා. ‘ඩොෆමයින්’වල බලපෑම යටතේ ඔන්න අපිට අමුතු සතුටක් දැනෙන්න පටන් ගන්නවා.


අන්න ඒ වෙලාවේයි අපි ආතල් එකේ සින්දුවක් පටන් ගන්නෙ.




ඩුං ටුරුටුං ඩුටුං ඩුටුං!


සින්දු මැදින් හුස්ම ගද්දි
ආශ්වාසෙ ගැඹුරු වෙනව
පෙණහළු ප්‍රයිවෙට් බස් එක
ඔක්සිජන්වලින් පිරෙනව

ෆුල් නෝමල් පුදුමාතල් රිලැක්ස් කෙරෙන්නේ
හද පාගල් තව හයියෙන් සිංදු කියන්නේ


අනේ ඉතින් වතුර බිංදුව බිංදුව වැටෙන අතරෙ අර කෝඳුරු මිමිණිල්ල ටිකෙන් ටික සින්දුවක් වෙනව. ශබ්ද තරංග කටෙන් එළියට පැනල බාත්රූම් එකේ බිත්තිවල හැප්පෙනව. බාත්රූම් බිත්ති! අන්න එතනයි පුතේ විජ්ජාව තියෙන්නෙ!


බාත්රූම්වල තියෙන්නෙ
සිමෙන්ති – ග්‍රැනයිට් - ටයිල්ය 
තද තද බ්‍රෝ මෙහෙව් බිත්ති
සද්දෙ පොලා පනිනවාය

පොලා පනින හඬ තරංග
ඉස්සරහට ඇදෙනවාය
වැඩියෙ දුරක් යන්න කලින්
බිත්තියෙ ඉහ ඇනෙනවාය


බාත්රූම් එක චූටි කොටුවක්. ටයිල් වගේ දෘඩ මතුපිටකින් මේ කොටුවේ බිත්ති ආවරණය වෙලා තියෙන නිසා ශබ්දය අවශෝසනය කරගන්නේ බොහෝම අඩුවෙන්. ඒ මදිවට බිත්ති අතරෙ දුර බොහොම අඩුයි.


අන්න ඒ නිසයි සුපින්වතුනෙ, බාත්රූම් එක ලෝකෙ තියන පට්ටම රෙකෝඩින් ස්ටුඩියෝවලින් එකක් වෙන්නෙ. 


බිත්ති මත්තෙ හැප්පි හැප්පි
හඬ තරංග පොළා පනියි
වෙනදට වැඩියෙන් තරංග
කන ඇතුලට රිංග ගනියි

සද්දෙ ඩබල් ට්‍රිපල් වෙලා කණට ඇහෙනවා
පට්ට පවර්ෆුල් කටහඬ කියල හිතෙනවා


අන්න ඒකයි පුතේ පළවෙනි රහස. එළිමහනෙ ස්ටේජ් එකක සිංදුවක් කියද්දි කෝඳුරු සද්දයක් වගේ ඇහෙන ඤරු ඤුරු හඬක් වුනත් බාත් රූම් එක ඇතුලෙදි පට්ට පවර්ෆුල් විදියට අපිට ඇහෙන්නෙ කන ඇතුලට ඇතුල්වෙන ශබ්ද තරංග ප්‍රමාණය වැඩි නිසයි. 





හැප්පෙන හඬ තරංගයෙන්
දෝංකාරයකි නැගෙන්නෙ
බිත්ති ළඟින් තියන නිසයි
ළඟ ළඟ නද නිනද වෙන්නෙ


අපි ගුහාවක් ඇතුලෙදි, එහෙමත් නැත්නම් කඳුකර පලාතකදි අත්විඳින දෝංකාරයම ඊට වඩා තරමක් වෙනස් විදියකට බාත්රූම් එකේදිත් අත්විඳින්න ලැබෙනවා. හැබැයි බාත්රූම් දෝංකාරය එනකම් අපිට හැට පැයක් බලාගෙන ඉන්න ඕනෙ නෑ. චට පට ගාලා හඬ තරංග හැප්පි හැප්පි එකෝ එක ඇතිකරනවා. "අඩේ මට සිරා ගායන හැකියාවක් නෙව තියෙන්නෙ" කියල තම තමන්ම විස්මයෙන් විස්මයට පත්වෙනවා.


හැප්පෙන හඬ තරංගයන්
අත් අල්ලන් එක් වෙන්නේ
ගැඹුරු මන්ද්‍ර ස්වරවල හඬ
බරට හැඩට නැග එන්නේ

මල කෙලියයි කෝඳුරුවා බේස් කියනවා
ඔය රාජ්‍ය සම්මානේ මෙහෙට ගේනවා


අනේ ඉතින්, ලේසි පාසු මනුස්සයෙකුට අල්ලන්න බැරි අති මන්ද්‍ර ස්වර අපි කිරි කජු වගේ අල්ලනව. අපේ සින්ගින් එක්ක බලද්දි අමරසිරි පීරිස් කැලේ නේද කියල හිතෙනකොට හිතට දැනෙන්නෙ පොඩි පහේ ආඩම්බරයක් නෙවෙයි මහත්තයො. ඒක උගුර ලේ රහ වෙනකම් කෑ ගගහා සින්දු කියකියා බාත්රූම් එකේ පදිංචි වෙලා ඉන්න හිතෙන තරමේ අභිමානයක්!


ඔන්න දැන් අපි ආතල් කුඩු කරන වෙලාව!


පට්ට වොයිස් එක ඇහෙන්නෙ
ඇතුලට විතරමයි පුතේ
එළියෙ ඉන්න උන්ට කනේ
ඇබ ගහගන්නටම හිතේ

උඹේ ටැලන්ට් පෙන්නන්නට
උන් ඇතුලට ගන්න වෙතේ
ගන්නවාද - නොගන්නවද
ඩිසිෂන් එක උඹේ අතේ





ඩුං ටුරු ටුං ඩු ටුං - ඩු ටුං - ඩුං!!!