Saturday, August 31, 2013

හිම රෝස මල





මගේ සැමියා පරිඝනක ඉංජිනේරුවෙක්. මම එයාගෙ නොසැලෙන පෞරුෂත්වයට ගොඩක් ආදරය කලා. එයාගෙ පුළුල් උරහිසට හේත්තු වෙලා ඉන්නකොට දැනෙන උණුසුම් හැඟීම මගේ ජීවිතයට ගෙනාවෙ වචනයෙන් විස්තර කරන්න බැරි තරමේ මිහිරියාවක්.


අපි අවුරුදු තුනක් පුරාවට පෙම්වතුන් වෙලා හිටියා. අවුරුදු දෙකකට කලින් අපි විවාහ වුනා.

 

මම මේක කියන්නෙ හරිම කනස්සල්ලෙන්. ඒත් මම දැන් ඉන්නෙ ඒ තීරණය ගැන කලකිරීමෙන්. හොඳටම කලකිරීමෙන්. මම එයාට ආදරේ කරපු හේතු සේරම දැන් මාව නොසන්සුන් කරවනව.


මම ගොඩක් සංවේදී කෙල්ලෙක්. මම කැමති බොළඳ ආදර කතා වලට. පොඩි එකෙක් සීනිබෝල ඉල්ලනවා වාගෙ මගේ හිතත් ඒ බොළඳ ආදරේ ඉල්ලනවා.

 

මගේ සැමියා, එයා ගැන තවත් මොනවද මට කියන්න ඉතුරු වෙලා තියෙන්නෙ. එයාගෙ ජීවිතෙත් හරියට තවත් එක පරිඝනක වැඩසටහනක් වගෙයි. ආදරේ.... හ්ම්ම්ම්... එයා මොනවද දන්නෙ ආදරේ ගැන.




මට මේක තවත් දරාගෙන ඉන්න බැරිවුනා. මම දික්කසාද වෙනවා. ආදරේ ගැන නොදන්න රොබෝ කෙනෙක් වගේ හැසිරෙන මේ මනුස්සයාගෙන් වෙන් වෙලා මට මගේම ලෝකයක් ගොඩනගා ගන්න තවත් කල් තියෙනවා. මට තවම විසි අටයි. ප්‍රමාද වෙන්න හොඳ නෑ.

"මට ඔයාගෙන් දික්කසාද වෙන්න ඕනෙ." එදා රෑ කෑම වෙලාවෙදි මම එයාට කියලා දැම්මෙ හරිම සැහැල්ලුවෙන්.

එයා කන්න ගත්තු බත් කට ආපහු පිඟානට වැටුනා. පුදුමෙන් වගේ මා දිහා බලාන ඉඳපු එයා අමාරුවෙන් වචනයක් පිටකරගත්තා.

"ඇයි?"

"මට මේක ඇතිවෙලා. ඔයා හිතන්නෙ ඔයාගෙ සොෆ්ට්වෙයාර් වලට වගේ මේ ලෝකෙ හැම දේටම හේතු තියෙනවා කියලද? හේතුවක් නෑ. මට ඔයාව එපා වෙලා. මට මේ ජීවිතේ තිත්ත වෙලා. එච්චරයි."



එයා මුලු රෑම ඇහැරිලා ඉන්න ඇති. මට ඒ පැය දෙකතුනට එයාව තවත් එපා වුනා. තීරණයක් ගන්න කොන්ද පණ නැති මිනිහෙක්. මම රෑ එකොළහට විතර නිදාගන්න ඇඳට ගොඩ වුනේ හරිම කළකිරීමෙන්.



"ඔයාගෙ තීරණේ වෙනස් කරන්න මම මොනවද බබා කරන්න ඕනෙ?" එයා ඇහුවා. ඇස් දෙක රතු පාට වෙලා. එයා මේ තරම් දුර්වලද?

"හොඳයි. මෙන්න ඔයාගෙ අන්තිම අවස්ථාව. මම ප්‍රශ්ණයක් අහන්නම්. ඔයාගෙ පිළිතුර මත හැමදේම තීරණය වෙනවා." මං කිවුවා.



"මෙහෙම හිතමු. මම ආසම කරන හිම රෝස මලක් පිපිල තියෙනවා කඳු ප්‍රපාතෙක. එතනට යන ඕනෙම කෙනෙක් පහලට වැටිල මැරෙන්න වුනත් පුලුවන්. ගමන අවදානම්. මම ඔයාගෙන් ඉල්ලනවා ඒ හිම රෝස මල. ඔයා මොකද කරන්නෙ?"



එයා ඇහිපිය නොගහා මගෙ මූණ දිහා බලන් හිටියෙ හරියට පොඩි දරුවෙක් වගේ.

"මම ඔයාට හෙට උත්තරයක් දෙන්නම්." එයා මිමිනුවා.






ඒ වචනත් එක්ක මගේ අන්තිම බලාපොරොත්තුවත් කඩාගෙන වැටුනා. අපේ ආදරේ ගැටගහලා තිවුන අන්තිම නූල් පටත් බිඳිලා ගියා වගෙයි මට දැනුනෙ.

පහුවෙනිදා උදේ මම ඇහැරෙනකොට එයා ගෙදර හිටියෙ නෑ. මේසෙ උඩ කිරි වීදුරුවකට යට කරලා මගේ නම ලියපු කඩදාසියක් තිවුනා. මම කලබලෙන් ඒක දිග ඇරියා.

 

මගේ පුංචි කෙල්ල,

මට ඔයාට ඒ හිම රෝස මල කඩලා දෙන්න වෙන්නෙ නෑ. අනේ දැන්මම මේක ඉරලා විසි කරන්න එපා. මට ඒ ඇයි කියලා පැහැදිලි කරන්න අවස්ථාවක් දෙන්න.


 

පළවෙනි පේලිය කියෙවුව ගමන් මට හිතුනෙම ඒක ගුලි කරලා ලිපට දාන්න. ඒත් මම දිගටම ලියුම කියවාගෙන ගියා.


ඔයා ලැප් එකේ වැඩක් කලොත් සොෆ්ට්වෙයාර් ටික ඩවුන් කරගෙන තමයි නවතින්නෙ. ඊට පස්සෙ පුංචි බබෙක් වගේ ලැප් එකට ගගහා අඬනවා. මට මගේ ඇඟිලි ටික පරෙස්සම් කරගන්න වෙනවා ඒ සොෆ්ට්වෙයාර් ටික රිස්ටෝර් කරලා ඔයාව සනසවන්න.

ඔයා පහුගිය අවුරුදු දෙකට කී පාරක් ගෙදර යතුරු අමතක කරලා ගියාද කෙල්ලෙ. ඔයා එන්න කලින් දුවගෙන ඇවිත් දොර ඇරලා දෙන්න මට මගෙ කකුල් දෙක පරෙස්සම් කරගන්න වෙනවා නේද?

මාසෙකට සැරයක් ඔයා බංඩිය රිදෙනවා කියලා කෙඳිරි ගානකොට, ඇඳේ පෙරළිලා කඳුලු පුරෝගෙන බලන් ඉන්නකොට, ඔයාගෙ බංඩිය මසාජ් කරලා වේදනාව අඩු කරන්න මට මගේ අත් දෙක පරෙස්සම් කරගන්න වෙනවා.

මම කොච්චරවත් ඔයාට කියනවා මුලු දවසෙම ටී.වී. එකටයි ලැප් එකටයි එබීගෙන ඉන්න එපා කියල. ඔයා අහන්නෙම නෑ නෙ. ඒ හින්දා මට මගෙ ඇස් දෙක පරෙස්සම් කරගන්න වෙනවා ඔයා වෙනුවෙන්. එතකොට අපි වයසට ගිය දවසට මට පුලුවන් නෙ ඔයාගෙ නියපොතු කපලා දෙන්න. සුදු කෙස් ගස් එහෙන් මෙහෙන් මතුවෙන කාලෙට ඒව ගලවලා දාන්න. 

ඔයාගෙ අතින් අල්ලගෙන ඇවිදින්න එක්කන් යන්න වෙන කාලෙක ඔයාට පාර දෙපැත්තෙ පිපිලා තියෙන මල්වල පාට කියාදෙන්න. ඒ මල් පෙති ඔයා තරුණ කාලෙ ඔයාගෙ කම්මුල් වල පාට වගේ ලස්සනයි, සිනිඳුයි කියලා ඔයාව හිනා ගස්සන්න..........





ඒ නිසා ඔයාට මම තරමටම ආදරේ කරන තවත් කෙනෙක් ඉන්නව කියලා තහවුරු කරගන්න තාක්කල් මට බැහැ ඒ හිම රෝස මල කඩන්න යන්න. ගිහින් කන්ද පල්ලෙ මැරිල වැටිලා ඔයාව මේ ලෝකෙ තනි කරල දාන්න.
 

මගෙ කඳුලු කැට වැටුන තැන්වල එයාගෙ කුරුමිණි අඬු වාගෙ දිගටි අත් අකුරු බොඳ වෙලා තිවුනා. මම දිගටම කියවාගෙන ගියා.



ඔයා මගේ උත්තරේ කියවලා ඉවරනම්, ඔයා සතුටුනම් ඇවිත් ඉස්සරහා දොර අරින්න. මම හැමදාමත් වගේ ඔයාට කිරි බෝතලේකුයි, පත්තරෙයි අරන් ඇවිත් ඉස්තෝප්පුවට වෙලා ඉන්නවා.

 

මම දුවගෙන ගියා දොර ළඟට. එයා සැකෙන් වගේ මගෙ මූණ දිහා බැලුවා. මම ඉස්සර වගේ ආයෙමත් එයාගෙ පපුවට තුරුලු වෙලා ඇස් දෙක පියාගත්තා. මගේ ඇස් දෙකෙන් ගලාගෙන ගිය කඳුලු කැට එයාගෙ කමිසෙට වැටිලා පැල්ලම් ගැහුනා.




මට හිම රෝසමල වෙනුවට ආදරයත්, ජීවිතයත් ලැබුනා............



Thursday, August 29, 2013

හතළිස් තුන්වෙනි කොටස : හෙටින් පස්සෙ නිවාඩු කාලේ


ඉස්කෝලෙ කාලෙ ඉඳන්ම බස්සි පුරුදු වෙලා හිටියෙ නිවාඩු කාලය එනකම් ඇඟිලි ගනින්නයි. හැමදාම උදේ පාන්දර නැගිටලා, ලෑස්ති වෙලා, ඉස්කෝලෙ යන එකයි, උදේ ඉඳන් හවස් වෙනකම් ඉස්කෝලෙයි, ක්ලාස් වලයි පුටු රත් කරකර ඉගෙනගන්න එකයි මොන දුකක්ද කියලයි බස්සි හිතුවෙ. ඒ කාලෙ කවුරු හරි එකෙක් බස්සිට මෙන්න මෙහෙම පචයක් කියාල තිවුන.

'ඔහොම කට්ට කාගෙන ඉගෙන ගන්න වෙන්නෙ ඉස්කෝලෙ යනකම් විතරයි. මොන ගේමක් හරි දීලා ඒ-ලෙවල් ගොඩ දාගෙන කැම්පස් එකට රිංග ගත්තාට පස්සෙ කිසි අවුලක් නෑ. කැම්පස් වල නෑ නෙ හෝම් වර්ක්, ක්ලාස් වර්ක්. ෆන් එකේ හිටියෑකි අවුරුදු තුන හතරක්. මරු ජීවිතේ ඒකනම්....'

අනෙ අම්මප ඕක කියාපු එකාව මට දැන් අහු වුනානම් එහෙම බලාගන්න තිවුන!

කැම්පස් එකේ හෝම් වර්ක්, ක්ලාස් වර්ක් නෑ. ඇත්ත, ඒකෙ තියෙන්නෙ එසයින්මන්ට්, ලෙක්චර්ස් සහ ලැබ් වර්ක්. ඒ අතින් බැලුවම අර කතාව තරමක් දුරට සාධාරණයි.


කොහොමින් කොහොම හරි බස්සිට පොඩි කාලෙ ඉඳන් අධ්‍යාපනය කෙරෙහි පැවතුන නොනැසෙන උනන්දුව නිසා බස්සි කැම්පස් ජීවිතේ පළවෙනි අවුරුද්ද ගෙවන්නෙත් නිවාඩු කාලෙ එනකම් දවස් ගැනගැන.

ඒත් දැන් තත්වය වෙනස්. කාලය වෙනස් - තාලය අලුත්.

මෙච්චර කාලයක් නිවාඩුවට කැම්පස් එකේ දාලා යන්න අමාරු වුන එකම දේ මිතුරු බැඳීම්. ඒත් දැන් ඊට හාත්පසින්ම වෙනස් පුදුමකාර විදියට බලගතු බැඳීමක් බස්සිව කැම්පස් එකට හිර කරනවා.

ඒ බැඳීමෙන් දුරස් වෙලා ගවු ගානක් ඈතට යන්න හිත හදාගන්න එක ලේසි නෑ. වෙනදා අන්තිම පේපර් එක ලියලා එක්සෑම් හෝල් එකෙන් එලියට බහිද්දි ඇතිවෙන සැහැල්ලුව එදා හිතේ අහලකවත් තිවුනෙ නෑ.

බස්සත් එක්ක බේස් කැන්ටිමේ වාඩිවෙලා ඉන්නකොට බස්සිගෙ මූණෙන් පුරුදු හිනාව අතුරුදහන් වෙලා ගිහින් තිවුනා.

"ඇයි බස්සියෝ...?" බස්සා ඇහුවෙ හේතුව නොදැන නෙමෙයි.

"මුකුත් නෑ."

"මම හැමදාම කතා කවුලුව ලඟට එන්නම්." බස්සා මගේ අත්ලෙ රටාවකට ඇඟිලි තුඩු දුවවමින් කිවුවා.

"කටහඬ අහන්නවත් වෙන එකක් නෑ...."

"අනේ මැට්ටියේ! ඇයි ගෙදර ගියාම ඔයාගෙ කන් බීරි වෙනවද? මම කෝල් කරල කතා කරන්නම්, ඔයා අහගෙන ඉන්න."



 ඒ අදහස නම් හොඳයි වගේ.

"මට දිගම දිග මැසේජ් එවන්නත් ඕනෙ." බස්සි තවත් ඉල්ලීමක් ඉදිරිපත් කලා. ඒකනම් කරයි කියලා තමයි බය!!

"එවන්නම්කො. ඕකත් වැඩක්ද?"

"ඉරිදට මාව බලන්න ක්ලාස් එක ළඟටත් එනවද?" ඒ ඉල්ලීම නම් ඕනෑවට වඩා වැඩියි කියල බස්සිට හිතුනෙ ප්‍රමාද වෙලා. ඇයි හත්දෙයියනේ පැය පහක් හයක් රස්තියාදු වෙලා ඇවිත්, ක්ලාස් එකේ ඉන්ටවල් වෙලාවට විනාඩි පහළොවක් කතාකරලා යන එක කොරන්න පුලුවන් කාරියක් නෙවෙයි නෙ.

"බලමුකො." බස්සා ඒකටත් බෑ කීවෙනම් නැහැ.


බස්සි මූණට එළියක් කාන්දු වුනා. තාත්තා ගේට්ටුව ගාවට ආවාම බස්සා බස්සිට යන්න දීල ඈතට වෙලා බලාන හිටියා. අතවනලා සමුගන්න අවසරයක් නොලබාම බස්සි බස්සාගෙන් ඈතට ඉගිල්ලිලා ගියා.

Wednesday, August 28, 2013

බොරු කියන්නෙ පරෙස්සමෙන්



සිරිපාල වැඩට ගිහින් එනකොට සතියකට දෙතුන් සැරයක්වත් පිටකොටුවෙ ඉන්න වෙළෙන්දන්ට ඇන්දෙනවා. සිරිපාලගෙ ගෑණි සුමනාවතීට මේක හරිම හිසරදයක්. ඇයි දෙයියනේ මේ මිනිහා පේව්මන්ට් එකේ අයියලාගෙ ටෝක්ස් වලට අහුවෙලා පලක් නැති බඩු මුට්ටු ගෙදරට උස්සාගෙන එන්නෙ මාසෙ කන්න තියෙන තුට්ටු දෙක පූජා කරලා නෙව.

ඕං ඉතින් ගිය සඳුදත් සිරිපාල ගෙදර එනකොට තඩි පාර්සලයක් අමාරුවෙන් කුදලාගෙන ආපි.

"මොකක්ද මනුස්සයෝ ඔය අටමගල?" සුමනාවතී ගත් කටටම ඇහුවෙ වෙනදාට වඩා බරපතල විදියට සිරිපාල ගොනාට ඇඳගෙන ඇති බව පෙනුන නිසයි.

"මේකෙ ඉන්නෙ සුදෝ රොබෝ ටික්කෙක්. මූට පුලුවනි බොරුවක් කියාපු ගමන් ඒක අඳුනාගන්න."

සුමනාවතී ඉතින් 'අනේ මගෙ කට මොකටද' කියලා නොකියාම ගස්සාගෙන ගෙට ගියෙ මොනවා වුනත් මහන්සි වෙලා ආපු මනුස්සයාගෙ ඇඟට කඩා පනින්න බැරි නිසයි.

"කෝ තවම පුතණ්ඩිය ගෙදර ආවෙ නැද්ද?" සිරිපාල රොබෝ ටික්කගෙ කෑලි බෑලි ටික අටවන ගමන් ඇහුවා.

සිරිපාලගෙ කොලුවා නලින්ද පොත් මල්ලත් වනවනා ගෙදෙට්ට ගොඩවුනේ  ඒ වෙලාවෙයි. රොබෝ ටික්කාව දැකපු ගමන ඌ පොත් මල්ල පුටුවක් උඩට විසික්කා කොරලා අත් දෙකත් ඉනේ ගහගෙන සිරිපාල ළඟට කිට්ටු වුනා.

"මොකෑ උඹ අද පරක්කු?" සිරිපාල කොලුවාගෙන් ඇහුවෙ රොබෝ ටික්කාව අටවලා සුවිච් එක ඔන් කරන ගමන්.

"රිවිශන් ක්ලාස් එකක් තිවුනනෙ තාත්තෙ."

රොබෝ ටික්කා බෲම් ගාල තත්පර දෙකට නලින්දයා ගාවට ගියා. යකඩ අතක් එලියට ඇවිත් දුන්න පටාර් ගාලා එකක් කනට. හොඳ වෙලාවට නලින්දයාව විසිවෙල ගිහින් වැටුනෙ සැටි පුටුව උඩට.

"හෙහ් හෙහ් හෙහ්. ඇත්ත කියාපන්. උඹ කොහෙද ගියෙ?" සිරිපාලයා ආයෙත් ඇහුවෙ අදනම් තමන් මොලේ කල්පනා කරලා ගෙනාපු බඩුවෙ වටිනාකම තේරුනු නිසයි.

"අපි සිරි පැරකුම් බලන්න ගියා තාත්තෙ." කොලුවා කන අතගගා නැගිටින ගමන් කිවුවා.

පටාර්! රොබෝ ටික්කා ඒ ගමන දුන්නු ශොට් එකට නලින්දයා බිමටම ඇදගෙන වැටුනා.

"වැඩිහිටියන්ට පමණයි එකක් බැලුවෙ."  නලින්දයා බිම ඉඳගෙනම කෙඳිරි ගෑව.

"අනේ අම්මප දැන් කාලෙ හැදෙන එවුන්. යකෝ මම ඒ කාලෙ ඔය වල් චිත්තරපටි බලනව තියා අහලාවත් නෑ දැනගං. ඒකට......" සිරිපාල වාක්‍ය ඉවර කරන්නත් කලියෙන් රොබෝ ටික්කාගෙන් පටාර් ගාලා කන රත් වෙන්න පාරක් වැදුනා.

කුස්සියේ හිටපු සුමනාවතී හිකි හිකි ගාලා සිරික්කිය දානවා සාලෙට ඇහුනා. "දෙන්නටම හොඳ වැඩේ.... අනේ සාදු!"  සුමනාවතී හිනාව අස්සෙන් කිවුවා. "කොලුවට බැනලා වැඩක් තියේද? ඔහෙගෙම පුතා නෙව."

රොබෝ ටික්කා බෲම් කියාගෙන ගේ ඇතුලට ඇදිලා ගියා. කුස්සියෙන් ගේ හෙල්ලෙන්න පටාර් සද්දයක් ආවා.


Monday, August 26, 2013

කුමුදු මල සහ පුරහඳ





නිශා අහසේ - නැගී තරු වැල්
සිනා සැලුවත් කොයිතරම්,
වලා සළු මැද - දිලෙන පුරහඳ
කෙසේ උන් හා සමකරම්,

අනේ පුරහඳ - වනේ විල මැද
විකසිතවු කුමුදිනිය මං,
ඔබේ දසුනෙන් සැනහුනෙම්,
කෙසේ ගගනත පියමනිම්,
සෙනේ සඳකැන් විදාලන් විල් දිය මතින්,
සිහිල විඳගමි හදවතින්,

අමාවකනම් එපා මොහොතක්වත් ඉතින්.....!


Saturday, August 24, 2013

ක්‍රෑම දැමීම


කැම්පස් එකේ මාස හයකට සැරයක් අනිවාර්යෙන්ම අහන්න දකින්න ලැබෙන දෙයක් තමයි "ක්‍රෑම". මේක හැදිලා තියෙන්න Cramming කියන ඉංගිරිසි වචනෙන්. Cramming කියන්නෙ පාඩම් කිරීම කියන එකම නෙමෙයි. මේකෙන් අදහස් කරන්නෙ සියලු ලෞකික ආශා අතහැර අධ්‍යාපනය සමග සමාධිගත වීම වගේ බරපතල සීන් එකක්!!



කැම්පස්වල විභාග කාලෙට කරන ක්‍රෑම් වර්ග හතරක් තියෙනවා.

නේචර් ක්‍රෑම :

මේ ක්‍රෑමට පරිසරයෙන් ලොකූ බලපෑමක් තියෙන බව නම අහපු ගමන් තේරෙනවා. අහලා දැකලා ඇතිනෙ සමහර පොරවල් ඉන්නවා උන්ට ගහක් යට ඉඳ ගත්තෙ නැත්තම් පොතක අකුරක්වත් මතක තියාගන්න පට්ට අමාරුයි. ඉතින් අවුවට තෙමි තෙමි, වැස්සට වේලි වේලි එලිමහනේම ඉඳගෙන ක්‍රෑම දාන එක තමයි නේචර් ක්‍රෑමට අයිති වෙන්නෙ.



 ගරිල්ලා ක්‍රෑම :

මේ ජාතියෙ පොරවල් ඉස්සරත් ඉඳලා තියෙන වග බස්සි දැනගත්තෙ කාලාන්තරයක් තිස්සෙ කැම්පස් සංස්කෘතියෙ පැවතීගෙන එන 'ගරිල්ලා ක්‍රෑම' කියන වචනෙත් එක්කයි. ගරිල්ලා සටන් ක්‍රමයේ පදනම 'සැඟවී සිට පහරදීම'. මේ ක්‍රෑම පදනම් වෙලා තියෙන්නෙත් ඊට සමාන 'සැඟවී සිට නෝට් සොරකම් කර පාඩම් කිරීම' කියන තියරිය මත. 'ගරිල්ලා ක්‍රෑම අද වෙනකොට ඒ ලෙවල් පන්ති දක්වාම අති සාර්ථකව ව්‍යාප්ත වෙලා තියෙන ක්‍රෑමක්.

බොග ක්‍රෑම :

නම ඇහුවම නම් 'චීයා... ජරායි' කියල කියන අයත් ඇති. ඒත් මේකත් ඉතා ප්‍රසිද්ද ක්‍රෑම් වර්ගයක්. එක්සෑම් එකේ රස්නෙ දැනෙන කොට සටහන් මිටිය තුරුලු කරගෙන කනබොන එකත් නිදියන එකත් කරන එක සාමාන්‍යයයි නෙව. මේ ක්‍රෑමට අනුව වැසිකිලි යනකොටත් සටහන් මිටිය කරේ තියාගෙන යන්න ඕනෑලු.

බස්සිත් රසවත් කතන්දර පොතක් අතට අහු වුන වෙලාවට නම් මේ ක්‍රෑම අත්හදා බලලා තියෙනවා.

මෙන්ඩිස් ක්‍රෑම :

මේ ක්‍රෑමට නම වැටිලා තියෙන්නෙ සරසවියක ඇත්තටම සිදුවුන සිදුවීමක් මත;

රෝහණ වීරසූරිය කියන්නෙ ඒ කාලෙ පේරාදෙනිය සරසවියෙ ඉගෙනගත්තු වෛද්‍ය ශිෂ්‍යයෙක්. මෙයාගෙ රූමා තමයි මෙන්ඩිස්. රෝහණ වීරසූරිය සහෝදරයා ඒ කාලෙ ආණ්ඩුවත් එක්ක ඇතිවුන සරසවි අරගල වලදී මුල් තැන අරගෙන වැඩ කරපු ශිෂ්‍ය නායකයෙක්.

ඒ පේරාදෙනිය සරසවියෙ වෛද්‍ය පීඨයෙ වර්ෂ අවසාන විභාගෙ කාලෙ. මෙන්ඩිස් කාමරේට වෙලා ක්‍රෑම දානවා. එක පාරටම හොස්ටල් එකේ කොරිඩෝව දිගේ දුවගෙන ආපු ශිෂ්‍යයෙක් දඩාස් ගාලා දොර ඇරගෙන මෙන්ඩිස් පාඩම් කරමින් හිටපු කාමරේට එබුනා.

"මචං රෝහණව මරා දාලලු." ඔහු හති දමමින් මෙන්ඩිස්ට කිවුවා.

මෙන්ඩිස් හෙමින් සීරුවේ පොතේ තවත් පිටුවක් පෙරලුවා.

"පොඩ්ඩක් හිටපන් බං. මම මේ අන්තිම පිටු දෙකත් ගොඩ දාලම එන්නම්......"

එදා රෝහණ වීරසූරියගෙ නම ශිෂ්‍ය වීරයෙක් විදියට ඉතිහාසගත වුනා වගේම මෙන්ඩිස්ගෙ නමත් සරසවි ඉතිහාසයට එකතු වුනා.

ප.ලි.

රෝහණ වීරසූරිය සොහොයුරාට උපහාරයක් විදියට එයාගෙ පින්තූරයක් මේ පෝස්ට් එකට එකතු කරන්න හිතාගෙන හෙවුවත් ගූගල් දෙයියන්ටවත් බැරිවුනානෙ එකක් හොයාල දෙන්න. පින්තූරයක් තියෙන කුරුල්ලෙක්/කිරිල්ලියෙක් ඉන්නවානම් ලින්කුවක් එවුවොත් බොහෝම පින්!!!

Friday, August 23, 2013

පාළම උඩ



උදේට
කොළඹට දෙපෙළට
කොළඹින් තනිපෙළට

හවසට
කොළඹින් දෙපෙළට
කොළඹට තනිපෙළට

දෙපෙළට නෙමේ පේළි එකහමාරට

වාහන ගොඩ - නළා හඬ
පැය බාගයක් - පාළම උඩ

"කෝ කෝ පස්සෙන් සල්ලි ගන්න."
"පස්සෙන් සල්ලි ගන්න පුලුවන්නම් අපි බස්වල යනවද මල්ලි?"

හිනා......

හතර අත තෙරපිල්ල
දාඩියට මුසුව එන දුහුවිල්ල
ගිනියම් සුළං රැල්ල

"අධිවේගේ හදාපුවම,
ඇහැකිලු මේ බස් දාන්න"
"හ්ම්ම්ම්.....
තව මාස දෙකලු නේද මෙයා?"

චීන්නු
පාළමේ වැට ගලෝනව නේද!
එහායින් තව පස්දෙනෙක්
පේළියට පොළව කනිනව වේද!

මල කෙළියයි!
FINAL DESTINATION - 5!!

Thursday, August 22, 2013

කොකු



කොක්ක/ කොක්කක් ගහනවා කියන වචන දෙක කැම්පස් සංස්කෘතියෙ විශේෂ කොටසක්. අද බස්සි කතාකරන්න යන්නෙ කැම්පස් කොකු ගැන.

කොක්ක කියන්නෙ කැම්පස් භාෂාවෙන් ආදරවන්තයාට. කුරුල්ලාට කොක්ක කියනවනම් කිරිල්ලිට කියන්නෙ කොක්කි කියලද? නෑ නෑ දෙගොල්ලන්ටම කියන්නෙ කොක්ක කියලම තමයි.

කොක්ක කියන වචනෙ තේරුම දන්නවානම් කොක්ක ගහනවා කියන එකේ තේරුම හිතාගන්න පුලුවන් නෙව. ඒ කියන්නෙ ආදර සම්බන්ධයක් පටන් ගන්නවා කියන එකයි. කැම්පස් එන සමහරුන්ගෙ බලාපොරොත්තු ලැයිස්තුවෙ ඩිග්‍රිය ගැනීමටත් ඉහලින් තියෙන්නෙ කොක්කක් ගැසීමලු. ඒව ගැන වැඩි විස්තර නම් බස්සි දන්නෙ නෑලු ඕං.

කැම්පස් කොකු වර්ග පහක් තියෙනවා.

පළවෙනි එක තමයි 'බත් කොක්ක'. ගොඩක් වෙලාවට 'බත් කොක්ක' බවට පත්වෙන්නෙ කිරිල්ලියො. බත් කොක්කක් ගැසීමේ පරමාර්ථය තමයි ඒ කුරුල්ලා හරි කිරිල්ලි හරි ගෙදරින් අරන් එන බත් එකට තට්ටු කරන එක. මේ නිසා අනිවාර්යෙන්ම බත් කොකු වෙන්නෙ ගෙදර ඉඳන් කැම්පස් එන කිරිල්ලියො තමයි. කැම්පස් එකේ කෑම වල සුපිරි කොලිටිය නිසා බත් කොකු කියන්නෙ ගොඩක් සුලභ දෙයක්.

දෙවනි කොක්ක 'නෝට් කොක්ක'. මේ කරදරේට අහු වෙන්න අයගෙනුත් බහුතරය කිරිල්ලියො. ඒත් අධ්‍යාපනික උණ තියන කුරුල්ලොත් කිරිල්ලියන්ගෙ 'නෝට් කොක්ක' වෙන අවස්ථා නැතුවාම නෙමෙයි. 'නෝට් කොක්කක්' ගහන්නෙ තමන්ට යන්න බැරිවෙන ලෙක්චර්ස් වල නෝට් ඉල්ලගන්න විතරක් නම් නෙමෙයි. ටියුට් ලියාගන්න, ලැබ් රිපෝට් හදාගන්න. එසයින්මන්ට් කරවගන්න යනාදී නානාප්‍රකාර වැඩ තොගයක් කරල දෙන්න 'නෝට් කොක්කට' සිද්ධ වෙනව.

තුන්වෙනි කොක්ක නම් කැම්පස් එකේ දකින්න ලැබෙන්නෙ ටිකක් කලාතුරකින්. ඒ තමයි 'ලැම්බට් කොක්ක'. අනිත් කොකු වගේ නෙමෙයි 'ලැම්බට් කොක්ක' බවට පත්වෙන්නෙ කිරිල්ලියො විතරමයි. පහල බැච් එකක කුරුල්ලෙක්, ඉහළ බැච් එකක කිරිල්ලියෙක් එක්ක ගොඩ යනවට තමයි 'ලැම්බට් කොක්කක් ගහනවා' කියන්නෙ. මේක සමහර වෙලාවට කුරුල්ලන්ට හිනාවට කාරණයක්. ඒත් එකම බැච් එකේ වුනත් වයසින් බාල කුරුල්ලො තමන්ගෙ බැච් එකේම වයසින් වැඩිමල් කිරිල්ලියො එක්ක කොකු ගහනවා ඕනෙ තරම්. 'ලැම්බට් කොකු'වලදී ගොඩක් වෙලාවට කුරුල්ලා පහල බැච් එකේ වුනාට, කිරිල්ලි කුරුල්ලට වඩා වයසින් අඩුයි, නැත්තම් සම වයසෙ. (කිරිල්ලි ෆස්ට් ටයිම් ආවත්, කුරුල්ලා තුන් පාරක් ඒ ලෙවල් ලියල ආපු කෙනෙක් නම් එහෙම.)

හතරවෙනි කොක්කනම් කොච්චර දුරට සදාචාරාත්මකද කියන්න බස්සි දන්නෙ නෑ. ඒ කොක්කට කියන්නෙ 'ආතල් කොක්ක' කියලා. නම ඇහුවම හිතා ගන්න පුලුවන් නෙ සීන් එක. ඒ ගැන වැඩි විස්තර කියන්න බස්සි කැමතිත් නෑ.

පස්වෙනි කොක්ක හෙවත් අවසාන කොක්ක තමයි 'සිරා කොක්ක.' මේ කොක්ක ගහන්නෙ බාහිර ලාභ ප්‍රයෝජන බලාපොරොත්තුවෙන් නෙමෙයි. මගදි ගලවන්න හිතාගෙනත් නෙමෙයි. 'සිරා කොක්ක' ගහන්නෙ සදාකාලිකවම ලඟින් ඉන්න හිතාගෙනයි. සදාකාලිකවම ලඟින් ඉන්න සිරා කොක්කක් ගහලා ඒ සිරා කොක්ක එක්ක අවුරුදු විසි තිස් ගානක් තිස්සේ සතුටින් ජීවිතේ ගෙවන කුරුලු පවුල් වලට උදාහරණ ඕනෑම කැම්පස් එකක ටීචර්ලා (ලෙක්චරර්ස්ලා) අතරින් හොයාගන්න පුලුවන්.

Saturday, August 17, 2013

කුරුල්ලාව/කිරිල්ලීව පුදුම කරන උපන්දින තෑගි




තෑගි බෝග ගැන බස්සිගෙ දැනමුතුකම් ඉදිරි ලිපි පෙලකින් ඔයාලත් එක්ක බෙදා ගන්නම් කියල බස්සි දුන්න පොරොන්දුව මතක ඇතිනෙ? අද බස්සි සූදානම් වෙන්න අන්න ඒ පොරොන්දුව ඉෂ්ඨ කරන්නයි.

කඩසාප්පු ගණනාවක ඇවිදලා, රුපියල් දහස් ගාණක් වියදම් කරලා අරන් දෙන තෑග්ගකට වඩා වටිනාකමක් තමන්ගෙ අතින්, තමන්ගෙ කාලය වැය කරලා, ආදරේ මුහු කරලා හදලා දෙන පුංචි තෑග්ගක ගැබ්වෙලා තියනවා කියලයි බස්සි හිතන්නෙ.

තෑග්ගක්, සිහිවටනයක්, අත්කමක් නිර්මාණය කරන්න යොදවන්න කාලයක් නැති තරමටම කාර්යබහුල කුරුල්ලොත්, කිරිල්ලියොත් ඉන්න පුලුවන්. ඇත්ත. රැකියාවක් කරන, රැකියාවක් කරන ගමන් ඉගෙනගන්න කුරුල්ලෙකුට ඒ වගේ දේකට මිඩංගු කරන්න කාලයක් නැති තරමයි.

යන එන අතරමගදි, බස් එකේදි, දුම්රියපොලේදි නිකරුනේ ගතවෙන තත්පරයක් යොදවන්න පුලුවනි නේද එයාගෙ උපන්දින සුභපැතුම්පතට ගැලපෙන පද පේලියක් අමුණන්න. කඩෙන් අරන් දෙන බර්ත්ඩේ කාඩ් එකේ තියන හුරුබුහුටි අච්චු අකුරුවලට වඩා කාඩ් එකේ පැත්තක ඇදවෙච්ච කුරුමිණි අඬු අකුරෙන් සටහන් කරන සුභපැතුමට ආදරේ හිතෙනවා.


නිර්මාණ හැකියාවක් ඇත්තෙම නැහැ කියලා හිතෙනවානම්, ජාලයේ රවුමක් ඇවිද්දාම සුභපැතුම්පතකට අපූරුවට ගැලපෙන පින්තූර දහස් ගණනක් හොයා ගන්න පුලුවනි නෙව. පරිඝණකයෙන් සුභපැතුම් පතක් නිර්මාණය කරගන්න MS Word දැනුම හොඳටෝම ප්‍රමාණවත්.

එහෙමත් නැතිනම් ඡායාරූපගත මතක සටහනකට ලස්සන පදවැලක් එකතු කරලා ඒක මුද්‍රණය කරලා රාමු කරලා දෙන්න පුළුවන් කිසිම මහන්සියක් නැතුවම. ගතවෙන කාලයත් බොහෝම සීමිතයි.

ඡායාරූපයක් මුද්‍රණය කරපු මග් එකක්, ටී ෂර්ට් එකක්, විසිතුරු පීරිසියක් වගේ දෙයක් එයාව පුදුම කරවයි. වැයවෙන කාලය අල්පයි. මුදල් අතේ ඇති, කාර්යබහුල කුරුල්ලෙකුට/කිරිල්ලියකට කියාපු විසඳුම.



බස්සි මේ ලිපියෙන් සටහන් කලේ ඉතාම සරලව නිර්මාණය කරගන්න පුලුවන් උපන්දින තෑගි කීපයක්. තරමක් කාලය වැයවෙන, ඒත් වටිනාකම මිල කරන්න බැරි නිර්මාණ පෙලක් ගැන විස්තර ඉදිරියෙදි කියන්නම්.

Friday, August 16, 2013

හතළිස්දෙවැනි කොටස : පුස්තකාලයේ දවසක් - 2



දවල්ට බේස් කැන්ටිමෙන් කාලා දෙන්නත් එක්ක ගිහින් අල බැම්මේ වහනවා. එතන ඉඳගෙන ඉන්නකොට ඈතින් පුස්තකාලෙ පේනවා.

"අපේ පොත් ටික ලයිබ්‍රරි එකේ නේද?" බස්සි කම්මැලිකමේ අහනවා.

මේ වතාවෙ බස්සා තමයි බස්සිව පුස්තකාලෙට ඇදගෙන යන්නෙ.

පැයක් විතර යනකොට ඔලුව බරවෙනවා. ඇස් දෙක පියවෙනවා. දවාලෙ උණුසුමත් එක්ක බෑ කියන්න බැරි නිදිමතක් දැනෙනවා. බස්සා ආපහු ලොකූ ඈනුමක් අරිනවා.

"මාව පැයකින් ඇහැරවන්න බස්සියෝ." බස්සා බස්සිගෙ රෙෆරන්ස් පොතකට ඔලුව තියාගෙන ඇස් දෙක පියා ගන්නවා. බස්සා නිදාගත්තාම පොඩි ළමයෙක් වගේ. හරිම අහිංසක පාටයි. අකීකරු කොණ්ඩෙ බස්සගෙ ඇස් වලට වැටෙනවා. බස්සි ඒවා අරගෙන බස්සගෙ කන පිටුපස්සෙ හිර කරනවා.

ඈතින් තියන මේස පේලිවල බස්සගෙ යාලු කුරුල්ලො මේ විදියටම නිදාගෙන ඉන්න හැටි බස්සිට පේනවා. කිරිල්ලියොනම් වෙනසක් නැතුව පාඩම් කරනවා.

බස්සි පැයකින් දෙකකින් බස්සාව ඇහැරවනවා. බස්සා ඇස් පිහදාලා නැගිටිනවා. ටියුට් එක අතට ගන්නවා.

බස්සිට කම්මැලියි. බස්සි කඩදාසියක කුරුටු චිත්‍ර අඳිනවා. බස්සත් ටියුට් එක ලිවීම නවත්තලා බස්සිගේ කඩදාසියට එබෙනවා. බොහොම උනන්දුවෙන් බස්සිගේ බලිකුරුටු රූප දිහා බලාන ඉන්නවා. බස්සත් පෑන අතට අරන් බස්සිගේ කඩදාසිය ලඟට ඇදලා ගන්නවා.

"මේ තියෙන්නෙ කාලයට එදිරිව බස්සිගේ පාඩම් කිරීමේ වක්‍රය." බස්සා ප්‍රස්තාර පාඩමක් පටන් ගන්නවා. වක්‍රය බිංදුවට සමාන්තරව දින ගනනක් ගමන් කරලා හිටි හැටියේ තරමක් ඉහලට ගමන් කරනවා. ආයෙත් ස්ටීප් කර්ව් එකකින් පහල බැහැලා බිංදුවට ටිකක් උඩින් නතර වෙනවා.

"මේ තියෙන්නෙ කාලයට එදිරිව මගේ පාඩම් කිරීමේ වක්‍රය." ඒක කලින් එකට වඩා වෙනස්. බිංදුවේ සිට සමාන්තරව ඇවිත් අවසාන පැය දෙකේ අනන්තයට යන වක්‍රයක්.

බස්සි ඒ ප්‍රස්තාර දෙකට ලකුණු දානවා. රතු පෑනෙන් ලොකු හරියකුත් දානවා.

ටික වෙලාවකින් එදිනෙදා ජීවිතේ එක එක අවස්ථා විස්තර කරන තීරු ප්‍රස්ථාර, වෘත්ත ප්‍රස්ථාර, කාටිසීය ඛණ්ඩාංක සහ බස්සයි බස්සියි නිර්මාණය කරන විවිධාකාර පිස්සු විකාර සමීකරණ වලින් කඩදාසි ගනනාවක් පිරෙනවා.


"දැන් නම් මහන්සියි. හවස තේ බොන වෙලාවත් ඇවිත්. ගිහින් එමුද?" බස්සි අහනවා.

පොත් ටික එහෙමම තියලා දෙන්නත් එක්ක තේ බොන්න යනවා. 'ගිරිපුර ඇත්තෝ', 'කවුද බෝයි' එහෙම ඉවර උනාම කැන්ටිමෙන් එලියට බහිනවා.

හවස හයට, හයහමාරට විතර ආපහු පුස්තකාලෙට ගොඩවදිනවා.

ඒ වෙලාවෙ ඉඳන් හතහමාර වෙනකම් "හ්ම්ම්...." සද්දයක්වත් නොකර උනන්දුවෙන් පාඩම් කරනවා. බස්සා ටියුට් එකත් ලියලා ඉවර කරනවා ගොඩක් වෙලාවට.

හතහමාරට පුස්තකාලෙ වහන්න සීනුව නාද කරනවා. දෙන්නත් එක්ක පොත් ටික එක්කාසු කරගෙන හනිහනිකට පුස්තකාලෙන් පිටවෙන කුරුලු රෑනට එකතු වෙනවා.

පාර අයිනෙ කඩල කරත්තෙන් රුපියල් විස්සක රටකජු අරන් දෙන්නත් එක්ක ඒව කකා හෙමින් හෙමින් බෝඩිමට ඇදෙනවා.