Saturday, August 31, 2013

හිම රෝස මල





මගේ සැමියා පරිඝනක ඉංජිනේරුවෙක්. මම එයාගෙ නොසැලෙන පෞරුෂත්වයට ගොඩක් ආදරය කලා. එයාගෙ පුළුල් උරහිසට හේත්තු වෙලා ඉන්නකොට දැනෙන උණුසුම් හැඟීම මගේ ජීවිතයට ගෙනාවෙ වචනයෙන් විස්තර කරන්න බැරි තරමේ මිහිරියාවක්.


අපි අවුරුදු තුනක් පුරාවට පෙම්වතුන් වෙලා හිටියා. අවුරුදු දෙකකට කලින් අපි විවාහ වුනා.

 

මම මේක කියන්නෙ හරිම කනස්සල්ලෙන්. ඒත් මම දැන් ඉන්නෙ ඒ තීරණය ගැන කලකිරීමෙන්. හොඳටම කලකිරීමෙන්. මම එයාට ආදරේ කරපු හේතු සේරම දැන් මාව නොසන්සුන් කරවනව.


මම ගොඩක් සංවේදී කෙල්ලෙක්. මම කැමති බොළඳ ආදර කතා වලට. පොඩි එකෙක් සීනිබෝල ඉල්ලනවා වාගෙ මගේ හිතත් ඒ බොළඳ ආදරේ ඉල්ලනවා.

 

මගේ සැමියා, එයා ගැන තවත් මොනවද මට කියන්න ඉතුරු වෙලා තියෙන්නෙ. එයාගෙ ජීවිතෙත් හරියට තවත් එක පරිඝනක වැඩසටහනක් වගෙයි. ආදරේ.... හ්ම්ම්ම්... එයා මොනවද දන්නෙ ආදරේ ගැන.




මට මේක තවත් දරාගෙන ඉන්න බැරිවුනා. මම දික්කසාද වෙනවා. ආදරේ ගැන නොදන්න රොබෝ කෙනෙක් වගේ හැසිරෙන මේ මනුස්සයාගෙන් වෙන් වෙලා මට මගේම ලෝකයක් ගොඩනගා ගන්න තවත් කල් තියෙනවා. මට තවම විසි අටයි. ප්‍රමාද වෙන්න හොඳ නෑ.

"මට ඔයාගෙන් දික්කසාද වෙන්න ඕනෙ." එදා රෑ කෑම වෙලාවෙදි මම එයාට කියලා දැම්මෙ හරිම සැහැල්ලුවෙන්.

එයා කන්න ගත්තු බත් කට ආපහු පිඟානට වැටුනා. පුදුමෙන් වගේ මා දිහා බලාන ඉඳපු එයා අමාරුවෙන් වචනයක් පිටකරගත්තා.

"ඇයි?"

"මට මේක ඇතිවෙලා. ඔයා හිතන්නෙ ඔයාගෙ සොෆ්ට්වෙයාර් වලට වගේ මේ ලෝකෙ හැම දේටම හේතු තියෙනවා කියලද? හේතුවක් නෑ. මට ඔයාව එපා වෙලා. මට මේ ජීවිතේ තිත්ත වෙලා. එච්චරයි."



එයා මුලු රෑම ඇහැරිලා ඉන්න ඇති. මට ඒ පැය දෙකතුනට එයාව තවත් එපා වුනා. තීරණයක් ගන්න කොන්ද පණ නැති මිනිහෙක්. මම රෑ එකොළහට විතර නිදාගන්න ඇඳට ගොඩ වුනේ හරිම කළකිරීමෙන්.



"ඔයාගෙ තීරණේ වෙනස් කරන්න මම මොනවද බබා කරන්න ඕනෙ?" එයා ඇහුවා. ඇස් දෙක රතු පාට වෙලා. එයා මේ තරම් දුර්වලද?

"හොඳයි. මෙන්න ඔයාගෙ අන්තිම අවස්ථාව. මම ප්‍රශ්ණයක් අහන්නම්. ඔයාගෙ පිළිතුර මත හැමදේම තීරණය වෙනවා." මං කිවුවා.



"මෙහෙම හිතමු. මම ආසම කරන හිම රෝස මලක් පිපිල තියෙනවා කඳු ප්‍රපාතෙක. එතනට යන ඕනෙම කෙනෙක් පහලට වැටිල මැරෙන්න වුනත් පුලුවන්. ගමන අවදානම්. මම ඔයාගෙන් ඉල්ලනවා ඒ හිම රෝස මල. ඔයා මොකද කරන්නෙ?"



එයා ඇහිපිය නොගහා මගෙ මූණ දිහා බලන් හිටියෙ හරියට පොඩි දරුවෙක් වගේ.

"මම ඔයාට හෙට උත්තරයක් දෙන්නම්." එයා මිමිනුවා.






ඒ වචනත් එක්ක මගේ අන්තිම බලාපොරොත්තුවත් කඩාගෙන වැටුනා. අපේ ආදරේ ගැටගහලා තිවුන අන්තිම නූල් පටත් බිඳිලා ගියා වගෙයි මට දැනුනෙ.

පහුවෙනිදා උදේ මම ඇහැරෙනකොට එයා ගෙදර හිටියෙ නෑ. මේසෙ උඩ කිරි වීදුරුවකට යට කරලා මගේ නම ලියපු කඩදාසියක් තිවුනා. මම කලබලෙන් ඒක දිග ඇරියා.

 

මගේ පුංචි කෙල්ල,

මට ඔයාට ඒ හිම රෝස මල කඩලා දෙන්න වෙන්නෙ නෑ. අනේ දැන්මම මේක ඉරලා විසි කරන්න එපා. මට ඒ ඇයි කියලා පැහැදිලි කරන්න අවස්ථාවක් දෙන්න.


 

පළවෙනි පේලිය කියෙවුව ගමන් මට හිතුනෙම ඒක ගුලි කරලා ලිපට දාන්න. ඒත් මම දිගටම ලියුම කියවාගෙන ගියා.


ඔයා ලැප් එකේ වැඩක් කලොත් සොෆ්ට්වෙයාර් ටික ඩවුන් කරගෙන තමයි නවතින්නෙ. ඊට පස්සෙ පුංචි බබෙක් වගේ ලැප් එකට ගගහා අඬනවා. මට මගේ ඇඟිලි ටික පරෙස්සම් කරගන්න වෙනවා ඒ සොෆ්ට්වෙයාර් ටික රිස්ටෝර් කරලා ඔයාව සනසවන්න.

ඔයා පහුගිය අවුරුදු දෙකට කී පාරක් ගෙදර යතුරු අමතක කරලා ගියාද කෙල්ලෙ. ඔයා එන්න කලින් දුවගෙන ඇවිත් දොර ඇරලා දෙන්න මට මගෙ කකුල් දෙක පරෙස්සම් කරගන්න වෙනවා නේද?

මාසෙකට සැරයක් ඔයා බංඩිය රිදෙනවා කියලා කෙඳිරි ගානකොට, ඇඳේ පෙරළිලා කඳුලු පුරෝගෙන බලන් ඉන්නකොට, ඔයාගෙ බංඩිය මසාජ් කරලා වේදනාව අඩු කරන්න මට මගේ අත් දෙක පරෙස්සම් කරගන්න වෙනවා.

මම කොච්චරවත් ඔයාට කියනවා මුලු දවසෙම ටී.වී. එකටයි ලැප් එකටයි එබීගෙන ඉන්න එපා කියල. ඔයා අහන්නෙම නෑ නෙ. ඒ හින්දා මට මගෙ ඇස් දෙක පරෙස්සම් කරගන්න වෙනවා ඔයා වෙනුවෙන්. එතකොට අපි වයසට ගිය දවසට මට පුලුවන් නෙ ඔයාගෙ නියපොතු කපලා දෙන්න. සුදු කෙස් ගස් එහෙන් මෙහෙන් මතුවෙන කාලෙට ඒව ගලවලා දාන්න. 

ඔයාගෙ අතින් අල්ලගෙන ඇවිදින්න එක්කන් යන්න වෙන කාලෙක ඔයාට පාර දෙපැත්තෙ පිපිලා තියෙන මල්වල පාට කියාදෙන්න. ඒ මල් පෙති ඔයා තරුණ කාලෙ ඔයාගෙ කම්මුල් වල පාට වගේ ලස්සනයි, සිනිඳුයි කියලා ඔයාව හිනා ගස්සන්න..........





ඒ නිසා ඔයාට මම තරමටම ආදරේ කරන තවත් කෙනෙක් ඉන්නව කියලා තහවුරු කරගන්න තාක්කල් මට බැහැ ඒ හිම රෝස මල කඩන්න යන්න. ගිහින් කන්ද පල්ලෙ මැරිල වැටිලා ඔයාව මේ ලෝකෙ තනි කරල දාන්න.
 

මගෙ කඳුලු කැට වැටුන තැන්වල එයාගෙ කුරුමිණි අඬු වාගෙ දිගටි අත් අකුරු බොඳ වෙලා තිවුනා. මම දිගටම කියවාගෙන ගියා.



ඔයා මගේ උත්තරේ කියවලා ඉවරනම්, ඔයා සතුටුනම් ඇවිත් ඉස්සරහා දොර අරින්න. මම හැමදාමත් වගේ ඔයාට කිරි බෝතලේකුයි, පත්තරෙයි අරන් ඇවිත් ඉස්තෝප්පුවට වෙලා ඉන්නවා.

 

මම දුවගෙන ගියා දොර ළඟට. එයා සැකෙන් වගේ මගෙ මූණ දිහා බැලුවා. මම ඉස්සර වගේ ආයෙමත් එයාගෙ පපුවට තුරුලු වෙලා ඇස් දෙක පියාගත්තා. මගේ ඇස් දෙකෙන් ගලාගෙන ගිය කඳුලු කැට එයාගෙ කමිසෙට වැටිලා පැල්ලම් ගැහුනා.




මට හිම රෝසමල වෙනුවට ආදරයත්, ජීවිතයත් ලැබුනා............



25 comments:

  1. ලස්සණ යි! මම ආස යි මේ කතාවට :)

    ReplyDelete
  2. මරු කතාව :D
    මෝඩ කෙල්ල දැනගෙන ඉඳල නෑනෙ ඒ කොල්ල කොච්චර තමන්ට ආදරෙයිද කියල. කොල්ලට පොඩ්ඩක් මොලේ තිබ්බ හින්ද හොඳයි. නැත්නම් දෙන්නට දෙපැත්තට වෙලා විඳවන්නයි වෙන්නෙ.

    ඔන්න මම කතාව share කලා හැමොටම කියවන්න

    ReplyDelete
    Replies
    1. හයි ටෙකි ටෙකි සහකාරයෙක් එක්ක ජීවත් වෙනකොට ඉවසීමයි, අවබෝධයයි උපරිමෙන්ම තියෙන්න ඕනෙ නෙව. (මේ මට වගේ.... නැද්ද බස්සෝ?) ;)

      Delete
  3. ලස්සණ කතාවක් :) එළ (y)

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ නංගෝ.....!!!

      Delete
  4. I Like this :)
    "හයි ටෙකි ටෙකි සහකාරයෙක් එක්ක ජීවත් වෙනකොට ඉවසීමයි, අවබෝධයයි උපරිමෙන්ම තියෙන්න ඕනෙ නෙව" කියන කෑල්ලටත් මම කැමති :)

    ReplyDelete
    Replies
    1. ඒක නම් අත්දැකීමෙන් කරපු ප්‍රකාශයක්. :)

      කොමෙන්ටුවට ස්තූතියි නිශාදි! ඔයාව බස්සිගෙ නවාතැනේ දැකපු පළවෙනි වතාව. ආයෙත් ඇවිත් යන්න එන්න හොඳේ.......

      Delete
    2. සමහරවිට :)

      හැමදාම කියෙව්වට සින්හලෙන් කොමෙන්ට් ලියන්න වෙලාවක් නැහැ නගො. මම කැමතිය් ඔයා ලියන විදිහට. අර ජැක් මැන්ට ගහන්න ගෙනාපු හරනෙල් කට්ට හොයා ගන්න බැරිවුන කතාව තමය් මම කැමතිම එක :D

      Delete
    3. එහෙනම් අක්කා ඉස්සර ඉඳන් නවාතැනට ගොඩවදින කිරිල්ලියක්නෙ. ඉතින් සිංහල ටයිප් කරන්න කම්මැලිනම්, Singlish වලින් කොමෙන්ටු කෙටුවත් අපි තරහා නෑ.

      Delete
  5. අහලා තියනවා කලින්...මගෙත් හිතට වැදිච්ච කතාවක් මේ :)

    ReplyDelete
    Replies
    1. ඔව්. කඩ්ඩෙන් තිවුන කතාවක් නෙව මේක. ලංකාවෙ අපිට ගැලපෙන විදියට සමහර කෑලි කපලා, සමහර කොටස් එකතු කරලා, සිංහලට හැරෙවුවා.

      Delete
  6. ලස්සන කතාවක්. ගොඩක් හිතට වැදුණා. මම නම් මුල්ම වතාවට තමයි ඇහුවේ.

    ReplyDelete
    Replies
    1. මේක වැඩියෙ ප්‍රසිද්ධ කතාවක් නෙමෙයි සිතූ. ඒකයි බස්සි මේක අනුවාදය කලේ.

      Delete
  7. ලක්සනයි බස්සි අක්කා... දිගටම මේ පැත්තෙ එන්නම්කො!

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ වර්ෂා.... ඔයාලගෙ අදහස් මට ගොඩක් වටිනව.

      Delete
  8. ඇඩෙන්නම ලියල තියෙනව... ඇත්තම කියනවනම් මමත් ආසයි මේ වගේ කතා බලන්න

    ReplyDelete
    Replies
    1. තැන්කූ ගාලු කොල්ලා....!!

      Delete
  9. සුපිරියි...වෙන වචන නෑ...++++

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි යාලු.

      Delete
  10. කියවගෙන යද්දී එක පාරටම බය උනා....
    මෙහම කතාවක් මුලින් කියවල තිබුනේ නැනී....
    මේ මොකද 1 පාරටම ලියල තියෙන්නේ කියල බැලුව.....
    ලස්සනට ලියල තියෙනවා අක්කේ......

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ මල්ලී....!!!

      හිහී... අපේ බස්සත් මෙහෙම එක්කෙනෙක් නිසා බය ඩබල් වෙන්න ඇති නේද?

      Delete
  11. ඔයා අපිව අඬවනව බස්සි......

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි යාලු.... :)

      Delete
  12. ලස්සනයි නංගි. මං මේක අදනේ දැක්කේ :)

    ReplyDelete