Thursday, August 1, 2019

ඔබේ රහස් සතුටු බුබුළ (Happiness Bubble)



ඔබේ ජීවිතයේ සතුටුදායක නිමේෂයන් (moments of happiness) තියෙනවාදැයි මම ඇහුවොත්, ඕනෑම කෙනෙක් 'ඔව්' යැයි පිළිතුරු දේවි. නමුත් ඔබ කොපමණ කාලයක් ඒ සතුටුදායක නිමේෂයන් නොනැසී පවත්වා ගන්නට සමත් ද? 

සතුටුදායක නිමේෂයන් උදෑසන උඳුපියලි ගොල්ලක වැතිරගත් පිණි බිංදු වාගෙයි. තුනී හිරු රැස් දහරක්, සිහින් සුලං රැල්ලක් හෝ වැනි ඉතා කුඩා බාහිර බලපෑමකින් ඒවා බිඳී, විසිරී යා හැකියි. ඔබේ සතුට බාහිර බලපෑමකට නතුව බිඳී ගිය පසු ඉතිරි වෙන්නේ කුමක් ද? බොහෝ විට ඒ තැන ගන්නේ තරහව/ ශෝකය/ බිය/ සැකය හෝ වෙනත් සෘණාත්මක හැඟීමක් (negative vibes).

ඉහත සඳහන් කල සතුටුදායක නිමේෂයන් බාහිර බලපෑම්වලින් සුරක්ෂිත කරගන්නත්, ඒවායින් නැංවෙන ධනාත්මක කම්පනයන් (positive vibes) නැවත නැවතත් අත්විඳින්නත් ඔබ කැමති ද? එහෙමනම්, 'සතුටු බුබුළ' හෙවත් Happiness Bubble සංකල්පය ඔබටත් වැදගත් වේවි.

දේදුණු වර්ණ පරාවර්තනය කරමින්, සැහැල්ලුවෙන් සුලඟේ පාවිපාවී යන සබන් බුබුළක් හිතේ මවා ගන්න. මම ඔබට කියාදෙන්නට යන සතුටු බුබුළත් ඒ වගේම අලංකාරයි. නමුත්, සබන් බුබුළේ තුනී, බිඳෙන සුළු සබන් පටලය වෙනුවට ඔබේ සතුටු බුබුළේ බාහිර පටලය නිර්මාණය කරගත යුත්තේ වරණ පාරගම්‍ය (selective permeable) පටලයකින්.


වරණ පාරගම්‍යතාවය කියන්නේ මොකක්ද?

වරණ පාරගම්‍යතාවය (selective permeability) කියන්නේ සෛල විද්‍යාව හා සබැඳුන සංකල්පයක්. සෛල පටල වරණ පාරගම්‍ය ගුණයෙන් යුක්තයි. ඒ කියන්නේ ඒ පටළ හරහා එහා මෙහා ගමන් කල හැක්කේ තෝරාගත් අණු හා අයනවලට පමණයි.



සතුටු බුබුළ තනාගැනීමෙන් පසුව, ඒ තුල පරාවර්තනය වෙන ධනාත්මක කම්පනයන් (positive vibes) උපරිමයෙන් අත්විඳින්න නම් ඔබ වැඩි කාලයක් සතුටු බුබුළ ඇතුලේ ජීවත් වෙන්න ඕනෙ. ඒ වගේම ඒ වටා ඇති වරණ පාරගම්‍ය පටලය (selective permeable membrane) හරහා ඇතුල් වෙන්නට ඉඩ නොදිය යුතු, සෘණාත්මක බාහිර බලපෑම් මොනවාදැයි ඔබ දැනුවත් විය යුතුමයි.

අපේ සතුටු බුබුලට පරිබාහිරව තබාගන්නට පරෙස්සම් විය යුතු දේවල් මොනවාද?

1. විසකුරු මිනිසුන් (Toxic people)



ගෝනුස්සන්, සර්පයන් වගේ සත්තුන්ට පමණක් නොවෙයි, ඇතැම් මිනිස්සුන්ටත් විෂ එන්නත් කිරීමේ හැකියාව පවතිනවා. මොවුන් ඔබට විස එන්නත් කරන්නේ සෘජු කායික හෝ වාචික අපහරණ මගින්, මානසික හිංසනයට ලක් කිරීමෙන්, එහෙමත් නැත්නම් ඔවුන්ගේ අභව්‍ය රංගනයකට ඔබව ඈඳා ගැනීමෙන් විය හැකියි. 

කාර්‍යාලයේ, අධ්‍යාපන ආයතනයේ, මිතුරු කවයන්හි, සමාජ මාධ්‍යවල පමණක් නොවෙයි, ඔබේම නිවස තුල පවා මෙවන් විසකුරු මිනිසුන් ජීවත්වෙන්න පුලුවන්. ඒ ඔබේ ආදරවන්තිය, සැමියා, වැඩිමහල් දරුවා හෝ ඔබේම මව වෙන්නත් ඕනෑතරම් ඉඩකඩ තිබෙනවා. ඒ නිසා වැදගත්ම දේ, කිසියම් සබඳතාවයක් හරහා ඔබට විස එන්නත් වෙන බව වැටහුණු වහාම, අදාල විස සහිත පුද්ගලයාව ඔබේ සතුටු බුබුලෙන් පිටතට පලවා හැරීමයි.

විස සහිත පුද්ගලයන්ට හොඳම උදාහරණයක් තමයි බුලීස්ලා (Bullies). ඔබත් අධ්‍යාපන ආයතනයේ හෝ කාර්‍යාලයේ දී බුලීස්ලා අතින් හිංසනයට ලක්වෙනවා නම් පැහැදිලිවම ඔවුන්ට විරුද්ධ වෙන්න. ඔබේ විරෝධතාවයෙන් පලක් නොවන බව හැඟෙනවානම් වගකිවයුතු ඉහල නිලධාරියෙක්/ ගුරුවරයෙක්/ පාලනාධිකාරිය දැනුවත් කර ඔවුන්ගේ උපකාර ඉල්ලා සිටින්න. සමාජ ජාලා ඔස්සේ ඔබට අයුතු බලපෑම් කරන්නට එන අය ඉන්නවානම් සරලවම ඔවුන්ව බ්ලොක් කර දමන්න.


2. කරුමක්කාරයෝ (Unlucky Bastards)



දුක් කරදර සහිත කාලවලට ඕනෑම කෙනෙකුට මුහුණ දෙන්න සිදුවෙනවා. හැබැයි මේ කාණ්ඩයට වැටෙන කරුමක්කාරයන් ඔබට හඟවන්නේ ඔවුන් තරම් අසාධාරණයට ලක් වුන, පීඩා විඳින, සදාකල් දුකෙහිම පවතින වෙනත් කෙනෙක් නැති බවයි. ඔවුන් ඔබ සමග කතාකරන හැම මොහොතකම "මේ ලෝකය කොතරම් කුරිරු දැ'යි" සිහිපත් කරවා ඔබේ ඇඟේ හීගඩු නංවන්නට සමත්. 

සෑම මොහොතකම, සෑම දෙයක් ගැනම සෘණාත්මක ආකල්ප පමණක්ම දරන මේ කරුමක්කාරයෝ ඔබ වෙත එළඹෙන්නේ බොහෝ සාමාන්‍ය මිනිසුන් කරන්නාක් මෙන්ම තමන්ගේ ගැටළුවක් ඔබ සමග බෙදාගෙන, ඒ සම්බන්ධයෙන් ඔබේ අදහස් සහ උපදෙස් ලබාගන්නට අවශ්‍ය බව හඟවමින්. නමුත් ඔබ සාමාන්‍ය මිනිසුන්ට ගැලපෙන විසඳුම් කීයක් ඉදිරිපත් කලත් කරුමක්කාරයන් ඒවායින් තෘප්තියට පත්වෙන්නේ නැහැ. සෑමවිටම, සෑම විසඳුමකම යම් ඇදයක් දකින ඔවුන් ඇළුම් කරන්නේ දිගින් දිගටම තමන්ගේ පීඩාවන් ගැන කතා කරන්නට පමණයි. 

ඔබ අඳුරු ආගාධයක මුවවිටට වී ආගාධය ඇතුලේ හඬමින් ඉන්නා කෙනෙක්ව එලියට අදින්නට උත්සාහ ගනිමින් ඉන්නවායැයි හිතන්න. එවැනි අවස්තාවක ආගාධයට වැටුණු පුද්ගලයා ඔබේ උදව්වෙන් එලියට එන්නේ නැතිව, එතුල ඇති අඳුරත්, සීතලත්, භයංකාරබවත් දිගින් දිගටම පණ පිහිටුවමින් විස්තර කරනවානම්, අවසානයේ ඔබේ හිස තුලත් ඒ සෘණාත්මක කම්පනයන් රාව ප්‍රතිරාව නැංවෙන්නට පුළුවන්. ඊටත් වඩා දරුණු අවදානම තමයි, සමබරතාවය ගිලිහී ඔබත් පෙර කී ආගාධයට ඇදවැටීමේ අවදානම.


3. ඔයාගේ හොඳටයි අපි මෙහෙම කරන්නේ (Well-meaning ill-minded people)

ඔබට අකැමති ආහාර, අකැමති ප්‍රමාණවලින් ගන්නට බල කරන වැඩිහිටියෝ, ඔබේ ඇඳුම්වල වර්ණ නොගැලපීම ගැන දිනපතා විහිළු කරන කාර්යාල මිතුරෝ, ඔබ ආසාවෙන් කියවන මනෝවිද්‍යා සඟරාව ගැන දිනපතා උපහාසාත්මක විහිළු කරන ඤාති සොහොයුරෝ, ඔබත් ඔබේ සැමියාත් හොඳින් සිතා බැලීමෙන් පසු දරුවන් හදන්නේ නැතිව ඉන්නට ගත් තීරණයට දිනපතා පරිභව කරන අසල්වැසියෝ.... මේ කවුරුත් ඔබේ හිත රිදවීමෙන් අනතුරුව කියන පොදු වාක්‍ය ඛණ්ඩයක් ඇති බව දන්නවාද? "ඔයාගේ හොඳටයි අපි මෙහෙම කරන්නේ". 

මගේ පෞද්ගලික අදහස නම්, අපේ රටේ මිනිසුන් "මට සමාවෙන්න/ සොරි" කියන වාක්‍ය ඛණ්ඩය තරමටම "ඔයාගේ හොඳටනෙ අපි මෙහෙම කරන්නේ" කියන වාක්‍ය ඛණ්ඩයත් අවභාවිතා කරනවා.

මේ ඝණයටම අයත්වෙන තවත් පිරිසක් තමයි, ඔබට ජීවිතයේ ප්‍රමුඛතා ලැයිස්තුවක් (priority list) ඇති බව නොපිළිගන්නා අය/ ඔබේ ප්‍රමුඛතා ලැයිස්තුවට ගරු කරන්නට අකැමති අය. ඔබ මිතුරු හමුවක් මගහැර විශ්වවිද්‍යාලයේ දේශණයකට සහභාගි වූ නිසා මාස ගණනක් මැසිවිලි නගන, ඔබ හදිසි වෘත්තීමය කටයුත්තක් හේතුවෙන් සහභාගි වෙන්නට නොහැකියැයි දැනුම් දුන් දුර ඤාතියෙකුගේ තුන් මාසේ දානමය පිංකම ගැන තවත් තුන් අවුරුද්දක් යනකම් චෝදනා කරන උදවිය මීට හොඳම උදාහරණයි.

මේ කාණ්ඩයේ සම්බන්ධතා අපේ ජීවිතයෙන් මුළුමුනින්ම බැහැර කිරීම ඉතා අපහසුයි. බොහෝ විට මෙවැනි මානසික පීඩාවන් ඇතිකරන සමීපතමයන් එහෙම කරන්නේ ඔවුන්ගේ නොදැනුවත්කම නිසාමයි. ඒ වගේම මින් පෙර මා සඳහන් කල "කරුමක්කාරයෝ"ත් ඔවුන් විසින්ම තනාගත් අඳුරු ආගාධයේ හිරවී ඉන්නේ හුදෙක් නොදැනුවත්කම නිසාමයි.


මුලිනුදුරා දමන්නට බැරි කටු-පොකුරු ආශ්‍රය කලයුත්තේ කොහොමද?

ඔවුන් කටු-පොකුරු බවට හොඳ අවබෝධයක් ඔබට තිබිය යුතුයි. මේ කාණ්ඩ දෙකේ පුද්ගලයන් නොදැනුවත්ව වුනත් ඔබේ ජීවිතයට ගෙන එන්නේ සෘණාත්මක කම්පන (negative vibes). ඒ නිසා ඔබ ධනාත්මක ශක්තීන්ගෙන් හැකි උපරිමයෙන් සන්නද්ධව ඉන්නා විට පමණක් ඔවුන්ව ආශ්‍රය කරන්න. ඔවුන්ගේ සෘණාත්මක කම්පනවල බලපෑම නිසා ඔබේ සතුටු නිමේෂයන් බිංදුවටම හිඳී යන්නට පෙර වහ වහා ඔවුන්ගෙන් ඈත්වෙන්න. විරාමයක් ගන්න. ඔවුන්ව එළියේ අතහැර දමා, ඔබේ සතුටු බුබුළ තුලට වැදී ධනාත්මක ශක්තීන්ගෙන් නැහැවෙමින් නැවතත් ප්‍රාණවත් වෙන්න (Re-energize and Re-vitalize).

සතුටු බුබුලෙන් පරිබාහිරව පවත්වාගත යුතු පුද්ගල සම්බන්ධතා ගැන අපි ඉහතින් කතා කලා. දැන් බලමු සතුටු බුබුල ඇතුලේ පුරවාගත යුතු සතුටු-වර්ධක (Happiness Enhancers/ Energy boosters) ගැන.

ඔබේ ජීවිතයේ ධනාත්මක ශක්තීන් වර්ධනය කරන පුරුදු මොනවාදැයි ඔබම හඳුනා ගත යුතුයි. මගේ සතුටු බුබුල තුලට මා පුරවා ගන්නා හැම දෙයක්ම ඔබටත් එලෙසින්ම ධනාත්මකව බලපාවියැ'යි මට කොහෙත්ම සහතික වෙන්න බැහැ. නමුත්, මම කියන්නම් මගේ සතුටු බුබුලේ, සතුටු නිමේෂයන් උත්පාදනය කරන්නත්, මානසික ඉහිල් බව පවත්වාගන්නත් නිතර භාවිතා වෙන පුරුදු කිහිපයක්;



1. පොත්පත් කියවීම
2. සුරතල් සතුන් සමග ගත කරන කාලය. (මගේ සුරතල් පූසාගේ පුරුපුරුව මැජික් එකක් වගේ ක්ෂණයකින් මනස ඉහිල් කරන්නට දායක වෙනවා.)
3. Adult coloring books/ coloring apps, Hand crafts
4. Sudoku ප්‍රහේලිකා, Scrabble games
5. පෙඩිකියු සත්කාරයක් හෝ සමට detox ප්‍රතිකාරයක් ලබා ගැනීම
6. වැහි වැටෙන දවසක උණුසුම් කෝපි කෝප්පයක් පානය කිරීම
7. මගේ ආදරවන්තයා අසල වැතිරගෙන වල්පල් කතා කියමින් කාලය ගත කිරීම
8. ආදරවන්තයා  හෝ ළඟම මිතුරෙක් ගිටාරය වයන අතරේ ගී ගැයීම
9. අලුත් විෂයයන් ඉගෙනීම
10. අලුත් ආහාර වට්ටෝරු අත්හදා බැලීම
11. නිවසින් බැහැර පලාතක නිවාඩුවක් ගත කිරීම
12. දවසේ Step-target එක සම්පූර්ණ කිරීම
13. මම ඇළුම් කරන TV series, cookery shows එහෙමත් නැත්නම් movies නැරඹීම
14. මගේ සතුටු වර්ධක මිතුරන් අතළොස්ස මුණගැසීම, ඔවුන් සමග කාලය ගත කිරීම.
15. සමාජ මාධ්‍ය තුළින් හඳුනාගත් සතුට-ජනනය කල හැකි මිතුරන් අතළොස්ස සමග දොඩමළු වීම
16. වෘත්තියට අදාළ නව සොයාගැනීම්, උපකාරක වැඩසටහන් ආදිය පිළිබඳව හැදෑරීම

නමුත් මම යලිත් අවධාරණය කරන්න ඕනේ, පූසෙක්ගේ පුරුපුරුව අවුරුදු දෙකේ ඉඳන් පූස් සුරතලුන් ඇති දැඩි කරන මගේ සතුට වර්ධනය කලත්, ඒ කාරණයම පූස්-ලෝමවලට අසාත්මික ඔබේ සතුට නිශේධනය කරන්නට හේතු විය හැකියි.


ඕනෑම දෙයක් ඕනැවට වඩා ඕනෑ වීමේන් ඇතිවිය හැකි ඛේදවාචක

"ඕනෑම දෙයක් ඕනැවට වඩා ඕනෑම නෑ." මේ මගේ පාසැලේ ගුරුවරියක් විසින් නිතර කියන්නට යෙදුනු, මට අදටත් අමතක නොවෙන කතාවක්. සතුටු බුබුල තුලට පුරවාගන්නා සතුටු-වර්ධකවලට වුවත් ඒ ප්‍රකාශය ඒ ආකාරයෙන්ම වලංගුයි.

උදෑසන කෝපි කෝප්පය (ලංකාවේ බහුතරයකට නම් උදෑසන කිරි වීදුරුව) අතපසු වුනොත් මුළු දවසම මුහුණ අඳුරු කරගෙන ගෙවා දමන මිතුරන් ඔබටත් ඉන්නවාද? අද මූඩ් එක අප්සට් මොකද කියා ඇහුවොත් Ugh! I missed my morning caffeine fix යැ'යි මැසිවිලි නගන මිතුරන් මටත් ඕනෑතරම් ඉන්නවා. මේ තමයි, සතුටු වර්ධකයක්, ඇබ්බැහියක් බවට පත් කර ගැනීමේ ප්‍රතිඵලය. ඔබේ සතුට දල්වන උණුසුම් කෝපි කෝප්පයම ඔබේ සතුට නිශේධනය කරන්නට දායක වීම මොනතරම් ඛේදවාචකයක්දැ'යි මදක් නැවතිල්ලේ හිතා බලන්න.



ඔබ හොඳින් තෝරා බලා සතුටු බුබුල තුලට ඇතුළු කරගත් මානව සම්බන්ධතාවලටත් මේ රීතිය, මේ ආකාරයෙන්ම අදාල වෙන බව අමතක කරන්න එපා.

අද ඔබේ සතුට වර්ධනය කරන ආදරවන්තයා, සැමියා, බිරිඳ හෙට ඔබට වඩා ආකර්ශණීය අයෙක් සමග පෙමින් බැඳෙන්නට ඕනෑතරම් ඉඩකඩ තියෙනවා. අද ඔබේ සතුටු බුබුල තුල සුරතල්වෙන නව යොවුන් දියණිය, තව වසරකින් දෙකකින් ඔබෙන් බැහැරව තමන්ගේම සතුටු බුබුලක් ගොඩනංවාගන්නත්, ඇගේ සතුටු බුබුළ තුලට ඔබව වද්දා නොගන්නටත් ඕනෑ තරම් ඉඩකඩ තියෙනවා. අද ඔබේ දෙපා මුල පුරු-පුරු ගෑවිල්ලේ දැවටෙන සුරතල් පූසාත්, ඔබ වැඩ ඇරී නිවසට එන පෙරමග බලන ආදරණීය සුනඛ පෝතකයාත් හෙට අනිද්දාට හදිසි අනතුරකින් ජීවිතය හැර යන්නට පුළුවන්. එයයි ලෝකයේ ස්වභාවය.

ඒ හැමදේටමත් වඩා ඔබ සිහි තබාගත යුතු දෙයක් තිබෙනවා. ඔබ ගොඩනගාගත් සතුටු බුබුල එපරිද්දෙන්ම වෙනස් නොවී පවතිද්දීම, ඔබට ජීවිතයෙන් සමුගන්නට සිදුවිය හැකියි.

ලෝක ස්වභාවය සහ ස්වභාවධර්මයේ මූලික නීති පිළිබඳව මනා අවබෝධයකින් යුතුව ජීවත් වීමත්, නිතරම වෙනස් වීම් දෙස අනියත බියකින්, සැකයයින් හෝ ශෝකයකින් යුතුව විමසිලිමත් වෙමින් අනවශ්‍ය පීඩනයකින් මිරිකි මිරිකී කාලය ගත කිරීමත් කියන්නේ අන්ත දෙකක්. 

අද ඔබේ ආදරවන්තයා, හෙට ඔබට වඩා ආකර්ශණීය අයෙක් සමග පෙමින් බැඳෙන්නට ඕනෑතරම් ඉඩකඩ තියෙන බව අවබෝධ කරගෙන ජීවත් වෙන්න. නමුත් එහෙම දෙයක් සිදුවෙන්නට පෙර ඔබේ සතුටු බුබුල තුලට අනවශ්‍ය සැකයක් ඇතුල්වෙන්නට ඉඩ දීමෙන්, සතුටු බුබුල ඇතුලේ වාතය දූෂණය වෙන්නට ඉඩ දෙන්න එපා. පෙර සතුටු වර්ධකයක්ව පැවතුන යමක්, තවදුරටත් ඔබට සතුට දනවන්නේ නැතිනම්, එය පෙර කී වරණ පාරගම්‍ය පටලයෙන් ඉවතට වීසි කරන්න. 

සතුට යනු සෑමවිටම භෞතික වස්තූන් මත රඳා පවතින යමක් නොවෙයි. අත්දැකීම්, මතක, හැඟීම් හෝ අධ්‍යාත්මික නිමේෂයන් තුලින් සතුට උපදින්නට හැකියි. ඒ වගේම, ඔබේ සතුටු බුබුලේ ආරක්ෂකයා වියයුත්තේ ඔබමයි. සතුටු බුබුලක් උත්පාදනය කරගෙන, පවත්වාගෙන යන්නට පටන් ගත්තාට පසු, ඔබේ සතුටු නිමේෂයන් විනාශ වීම ගැන බාහිර බලපෑම්වලට බැනවැදීම අසාධාරණ බව ඔබටම ඒත්තු ගැන්වේවි.


~~~~~~~~~~