Saturday, January 24, 2015

කැරලි [රස්තියාදුකාර හුළඟකින් බිම වැටුන කවිපදයක්]




 

හුදෙකලා සැරියක අතරමග
හරිම නිදහස් කොළඹ හුළඟක්
එක්වරම ආපස්සටම විත්
උයන් කොන කහ මාර ගහ වට
කැරකුණා වට අටක් දහයක්

 


'කෝ කොහිද ඔය මුවග පෙර රැඳුන හසරැල්ල
බෝ වෙවී නලරැල්ල හා ඇදෙන ගී ඇල්ල
මුළු ඇඟම වැහැරිලා කළුවෙලා හොඳටෝම
ඇත්තමයි නෙත් අදහ ගන්න බෑ මට තාම' 


වෙවුල වෙවුලා කහ මාර ගහ
තුනී මල් පෙති දෙකක් හැලුවා
හොරෙන් වටපිට - බලා හෙමිහිට
කොඳුර කොඳුරා මෙහෙම කිවුවා
 



"මිතුර උඹ දන්නවද ඉස්සර
මමත් කහ පැහැ ඔටුනු බැන්දා
සමනලුන්, වන බිඟුන් රොද බැඳ
රේණු විසිරිය ගී පබන්දා
ගී නදින් මන්මත් වෙලා මම
සියක් මල් පෙති පෙලට රන්දා
ඉරේ පැහැ උඩු වියන වාගෙම
දිස්නෙ දෙන බුමුතුරුණු ඇන්දා
 


කහ පාට ඇතිරියේ කෙලවර
අමර - නයනා තුරුළු වෙන්නේ
පෙති නොබිඳි එක මලක් නයනා
කොණ්ඩ කරලක අමුණගන්නේ
හිනා අන්දර - පෙම් කතන්දර
ඇහෙන ගානේ හිත පිරෙන්නේ
අලුත් හුස්මක් වැටෙන ගානට
අලුත් පුසුඹක මල් පිපෙන්නේ



ඉරත් හැංගුන එක දවාලක
උයනෙ විහඟුන් බිඟුන් පන්නා
කාකි ඇඳගත් ටේප් පටියක්
මගේ උස දිග පළල මැන්නා
මහළු මැයි ගස් ළදරු තණපත්
බැකෝ ඩෝසර් බාහු පෙන්නා
විලාපයකට ඉඩක් නොතබා
ගෙල මුලින් උගුළුවා දැම්මා



අන්න අර කළුපාට දිලිහෙන
යකඩ කණු පේළියට සිටුවා
මගේ බඳවට තුරුළු වෙන්නට
තහනමක් මේ මෙතැන ලිවුවා
පුරුද්දට දින හතක් විතරම
මමත් කහ පාවාඩ එලුවා
සමනලුන්වත් එලව එලවා
ඉදලකින් පාවඩ ගැලෙව්වා



රතු පාට තීරුවේ හවසට
බයිසිකල් පදිනවා නයනා
අතින් අත පටලවා යුවලක්
කාර් ගනිනව උදේ ඇහුනා
සිංදු ඇමුණූ කොල්ලො රෑනක්
දෑස් තදකර දුවනු පෙනුනා
කඳුලු වායුව දුරට වැදිලා
මගේ ඇස් කෙලවරත් තෙමුණා



මගේ කුලගොත ලතින් නාමය
රාමු කර පළඳවා බෙල්ලේ
පාලු හුළඟක් වැදෙන ගානේ
බෙලෙක් කිරිකිරියකින් එල්ලේ
කාටවත් නොකියාපු රහසක්
අසන් නිදහස් පවන් රැල්ලේ
මගේ හද මියැදේවි අද හෙට
සුසුම් ඇඳ අවසාන දල්ලේ" 



ඇහිපියන් පිහදැමූ නලරැළි
කැටිගැහී කම්පිතව සැලුනා
වියරු ඝන සුළි කැරකි කැරකී
යකඩ අත්වැල් කඩා දැම්මා
කඳුළු පෙති වන් ළපටි තුරු පත්
විසුල මහ ගස බඳද නම්මා
දෑත විදහා බදා වා සුලි
පෙරට දිග පිමි දෙකක් පැන්නා



කලබලම හෝරාව අවසන
සියල්ලම සන්සුන්ව තිබුනා
කැඩී විසිරුන උයන් වැට මත
කහ මාර ගහ නිදා උන්නා







Monday, January 19, 2015

ගල් ගහන අත්වලට පුරහඳ හිතනවට වැඩි දුරයි බං









අඩ හඳට ගල් ගහන උන්
පුර හඳට උඩු බුරන උන්
හිතන් උන්නට අහසෙ අයිතිය
කාට කාටත් සමයි බං

අහසෙ වැටවල් ගහන උන්
තරුවලට කෙල හලන උන්
දකින ගානේ හඳේ හාවට
හිනා හිරවෙනවාලු බං

ලබන පෝයට මාධවන්
ෆාතිමාවත් එක්කරන්
එනව කිවුවලු හඳේ හාවට
උඳුපියලි මිටියක් අරං

හීන් හඳ පලුවක් අරන්
තරු තිතක් නැගුනම ඉතින්
අමර නයනා එක්ක ඇවිදින්
හඳේ ඔංචිලි පදිමු බං


අහස සින්නක්කර ලියං
ඔප්පු ගන්නට බෑ ඉතිං
ගල් ගහන අත්වලට පුරහඳ
හිතනවට වැඩි දුරයි බං






Friday, January 16, 2015

රිදී පාට ආදරේ (4) - අවසාන කොටස













හෝරා කිහිපයකට පසු පිරිසිදු කිරීමේ සේවකයෝ කිහිපදෙනෙක් ටැංකිය අසලට ආවා. ඔවුන් මුලින්ම ජල පැලෑටි එකින් එක පරෙස්සමට ඉවත් කලා. අල්යෝශා විගහට සුදු පළිඟු කැබැල්ල මුව තුල රුවා ගත්තා. මලා වගේ පැත්ත වැටිලා උන්නා.


“අනේ අසරණ දුප්පතා.” එකෙක් අනෙකාට කිවුවා.


නිල් අත්වැසුම් දැමූ අතකින් අල්යෝශාව ඉහළට එසවුනා.


“ඌ මැරිල. හොඳටෝම මැරිල.” අනිත් සේවකයා හිස දෙපසට වනමින් කිවුවා.


ඉන් පස්සෙ ඒ විසාල පිරිසිදු කිරීම් සේවකයා අල්යෝශාව පුනීලාකාර නලයක් තුල බොහොම මෘදු ලෙස තැන්පත් කලා.


පුනීලාකාර නළය තුල කළු පැහැ වතුර වේගයෙන් පහළට ගලා ගියා. අල්යෝශා ඇස් ඇරියා. හාත්පස මහ අන්ධකාරයි. අල්යෝශාට  සිහින් බියක් දැනුනා. ඒත් ඔහු පළිඟු කැටය ඉවත දැම්මේ නැහැ.


ලොකු ඉටි කොල කැබලි, කෑලි කැඩුනු ප්ලාස්ටික් බඳුන් සහ ඉරුනු රබර් අත්වැසුම් තමා පසු කර පහළට පාවී යනු අල්යෝශාට දැනුනා. දිගින් දිගටම පහළට, තව තවත් පහළට ගමන් කිරීම නිසා ඔහුගේ හිස බමන්නට වුනා.


කල්පයක් තරම් දිග කාලාන්තරයකින් පසු අල්යෝශාට ලා කහ පැහැ එළියක් පෙනෙන්නට වුනා. නළය තුල ජල ගලනයේ වේගය වැඩිවී එක්වරම ඔහුව පිටත අවකාශයට විසි කර දැමුණා.


අල්යෝශා සෑහෙන දුරක් ඈතට විසිවී ගියා. මහත දිය රැලි ඔහු පසුකර ඇදෙනවිට තමන් මේ ඉන්නේ පරණ දොළ පහරේම තවත් අපර දෙසට වන්නට බව ඔහුට වැටහුනා.


ඉතින් අල්යෝශා උඩහට පීනන්න ගත්තා. දවස් කීපයක් ගතවෙනකොට වතුරේ තිබුන පල් ගතිය, මඩ ගතිය පහව යනබව ඔහුට දැනෙන්න වුනා. කුණු වතුර එහා මෙහා යාම නිසා තුවාල වී තිබුන කරමල්වල අලුත් වතුර වැදෙනකොට ඔහුට දැනුනේ සියුම් රිදුමක් එක්ක එන පුදුමාකාර සැහැල්ලුවක්.


ආපහු ගමනේදි අල්යෝශාට දින ගනින්නත් අමතක වුනා. ඔහු ඒ තරමටම හෙම්බත් වෙලා. කොහොමත් විඩාබර වරල් සලමින් අමාරුවෙන් දොළපාර උඩහට එන්න අල්යෝශාට සෑහෙන කලක් ගත වෙන්න ඇති. 


අන්තිමේදී අල්යෝශා අර ඉරත් එක්ක හාදකම් පවත්වන පරණ තැනිතලාව පහුකරමින් උන්නා. දොළ පාර දෙපස පිපුන කුඩා දම් පැහැ මල් වතුරට හිස ඔබාගෙන මුහුණු දොවනවා. පළාතම සුවඳයි. ඉතින් අල්යෝශාට විඩාව අමතක වෙලා මහ ප්‍රීතියක් දැනුනා. ඔහු මල් වලට හාදු දෙමින් එහෙ මෙහෙ පාවුනා.


ඉර පහළට බැහැලා අල්යෝශා දිහා බලන් උන්නා. ඔහු පළිඟු කැටය ඉහළට ඔසවලා ඉර එළියට ඇල්ලුවා. එක්වරම ඉර එළිය දහසක් එළි කිණිති වලට බිඳී ගියා. පලාතම එළියයි. දොළට නැමීගෙන හිටි මල්, මුහුණු ඔසවලා ඒ දිහා බලාගෙන උන්නා.


පළිඟුවෙන් පරාවර්ථනය වුන අලුත් හිරු රැස් අල්යෝශාගේ වරල් කෙලවර අමුතු දිලිසීමක් ඇති කලා. එයින් ඔහුට අමුතු ජවයක් ඇතිවුනා. ඒ විතරක්ද! පළිඟුව හරහා වැටුන හිරු කිරණ වැදිලා ඔහුගේ වරල් දැල්වෙන උල්කාපාතයක් තරමටම එළියක් විහිදෙවුවා. 


ඉතින් අල්යෝශා වේගයෙන්, වඩවඩාත් වේගයෙන් පිහිනන්නට වුනා. අන්තිමේදි එක උදෑසනක ඔහු ආයෙමත් මානිල් ලන්දට ඇවිත් හිටියා.


“අල්යෝශා ඇවිත්! අපේ වීරයා ආයෙමත් ඇවිත්” තිත්ත පැටව් මග දෙපස එහා මෙහා පනිමින් මුලු මානිල් ලන්දම ඇහැරෙවුවා.


“අල්යෝශෙන්කා උඹ තමා මිනිහා”


“උඹ නම් හැබෑ වීරයෙක් කොල්ලෝ!”


හැම අතින්ම පැසසුම් ගලා ගියා. අල්යෝශා උද්දාමයෙන් යුතුව වටපිට බැලුවේ මාරියා පෙනෙන මානයක ඉන්නවාදැයි දැකගන්න.


“මානෙච්කා කොහෙද? හැඩකාර මානෙච්කා කොහේද?” අල්යෝශා මිතුරන්ගෙන් ඇහැවුවා.


“හොඳ කොල්ලෝ මේ අහපන්. මාරියා දැන් පදිංචිය මානිල් ලන්ද කෙලවරේ තිරිවාණ කන්ද පාමුල.”


“ඒත්, ඊට කලින් උඹට බලන්න වටින බටර් පාට අලුත් කෙල්ලෙක් ඉන්නවා.” කටකාර ඉලන්දාරියෙක් උස් හඬින් කීවා.


අල්යෝශාගේ එක කනකටවත් ඒ කතාව ඇහුනෙ නැහැ. ඔහු තිරිවාන කන්ද බලා පීනුවේ රිදී ඉරක් වගේ.





තිරිවාණා කන්ද පාමුල මාරියා හිනාවෙවී මග බලාගෙන ඉන්නවා. අල්යෝශාට බොහොම සතුටු හිතුනා. ඔහු ළඟට එනකම් මාරියා ඔහුව අඳුනාගත්ත බවක් පෙනෙන්නට තිබුනේ නැහැ. ඉතින් අල්යෝශා ඈ ළඟටම ඇවිදින් සුදු පළිඟු කැටය ඈ වෙත පෑවා.


“මානෙච්කා මේ බලපන්! මම උඹ වෙනුවෙන් පළිඟු කැටයක් අරන් ආවා. උද්‍යානයේ දම් පාට පළිඟු කැට නැහැ. මේ අහපන්, මම නිර්භය විප්ලවවාදියෙක්. ඒක එහෙම නේද?”


අල්යෝශා ඈ වටා රවුමට රවුමට පිහිනමින් එක හුස්මට කියාගෙන යන්න වුනා.


“උඹ මේ මොනවද කියන්නේ අල්යෝශා!” ඈ පුදුමෙන් වගේ ඇහැවුවා. “සුදු පළිඟු මට මොන වුවමනාවකටද!” 


තෘණ පත්‍ර අතරින් අළු පැහැ රැවුල්කාර මාළුවෙක් වරල් නටවමින් ඔවුන් අසලට ආවා.


“අහා මේ අර තරුණ අල්යෝශා නෙවෙද? උඹ මෙහෙ කරන්නේ මොනවාද?” ඌ ඇහුවා.


“මට සමාවෙන්න. උඹ කවුදැයි මට මතකයක් නැහැ?” අල්යෝශා  හිස පැත්තකට ඇල කලා. 


“මම මීෂා. මේ මගේ බිරින්දෑ මාරියා.” 


අල්යෝශා ඇස් කැරකෙවුවා. රැවුල නැටෙවුවා. ඌට දැනුනෙ මහා හිස් බවක්. ඒ අතරේ අළු පාට මහත මාළුවා අල්යෝශා දිහා පුදුමයෙන් බලා උන්නා.


අන්තිමේ අල්යෝශා මුකුත් නොකියාම ආපහු හැරුනා. 


“කලු කෙල්ලේ මානෙච්කා. පොඩියකට මෙහෙ වරෙන්” ඔහු නැවතී මාරියාට හිස සැලුවා. “අර ඉන්න අළු පාට තරබාරුවාගේ එක හොඳ විශේෂත්වයක් මට පෙන්නා දියන්.”


මාරියාගේ ඇස් ආඩම්බරෙන් සිහින් වුනා. “එයාගෙ වරල්වල තියෙන රතු තිත් රටාව හරිම හැඩයි, නැද්ද?” ඈ ඇහුවා.

 “ඇරත් මේ තිරිවානා කන්දම එයාගෙ.”




~ ඉවරයි ~





Wednesday, January 14, 2015

රිදී පාට ආදරේ (3)












“මහ බක පණ්ඩිත ආඩම්බරකාරියක්. ඇසුත් ලොකුයි.” අල්යෝෂා මුහුණ අකුලාගෙන කල්පනා කලා.


එක්වරම නිසලව තිබුන ජල තලය මහත රැළි නැංවෙන්න වුනා. දොළ පාරේ මෙන් නොව ඒ මහත දිය රැළි හැම අතටම ගලායන්න වුනේ අල්යෝශාව මවිත කරවමින්.


හරියටම ඊට විනාඩියකට පසුව අල්යෝශා ඒ කළබල දියරැලි වලට හේතුව වටහා ගත්තා. සිහින් සිදුරු ඇති කේතු ආකාර කොළ පැහැ දැලක් පොකුණේ ඒ මේ අත පාවෙනකොට අල්යෝශා නුහුරු ලෙස වරල් ගසමින් පසුපසට පිහිනා ගියා.


ඔන්න. දැන් ඔහු ආරක්ෂාකාරී ලෙස සරුවට වැඩුනු ජලජ පැලෑටි ගොන්නක් තුල සැඟවිලා. අල්යෝශා සැනසුම් සුසුමක් හෙළමින් වටපිට බැලුවා


ආයෙමත් අර විසාල ඇස්! අල්යෝශා තිගැස්සී ආපස්සට පැන්නා.


“අල්යෝශෙන්කා මගෙ හොඳ කොල්ලෝ තව ඇතුලට වරෙන්. මගේ ළඟට වරෙන්. ඔය කොළපාට දැලට අහු වුනොත් උඹට ජීවිත කාලයක්ම හිරේ ලගින්නට වේවි.”


“ඔහේට නමක් තියෙනවද කහපාට ළමිස්සියේ?” අල්යෝශා ඇහැවුවා.


“මගේ නම උඹට වැදගත් නෑ. නමක් කියන්නේ කොහොමත් වැදගැම්මකට නැති දෙයක්. උඹ කැමතිනම් මට සාරා කියාපන්.”


‘ඈට පිස්සු. හොඳටෝම පිස්සු.’ අල්යෝශා කල්පනා කලා.


පොකුණ මැද්දේ රහස් තිප්පොලට වෙලා ඒ දෙන්නා බොහොම දේවල් කතාබහ කලා. දවල් වරු අටකටත්, රෑ වරු හතකටත් දුරින් තියෙන අහසේ පාට පැහැදිලි දොළපාර ගැනත්, එහි ඉන්න සුන්දර කළු කෙල්ල මාරියා ගැනත් අල්යෝශා බොහොම උනන්දුවෙන් විස්තර කලා.


“ඔහෝ! මං හිතුවා හරි. උඹ මහ ආඩම්බරකාරයා. විප්ලවවාදියෙක්ය කියනවා. හැබැයි නොමේරූ ඉක්මන්කාරයෙක්.” සාරා ඔලොක්කුවට හිනා වුනා.


“එහෙම කියන්ට එපා සාරොෂ්කා. මේ බලාපන් ඈව මතක් වෙනකොට මගේ පපුව උණුහුම් වෙන හැටි. මානිල් ලන්දටම ඉන්න එකම හැඩකාරිය තමයි මාරියා. ඈ වෙනුවෙන් මට කරන්නට බැරි දෙයක් නෑ.”


සාරා ඇස් බාගෙට හකුලුවාගෙන ඔහු දිහා බැලුවා. කරමල් පෙති නටවමින් විනාඩියක් දෙකක් එක එල්ලේම බලා උන්නා.


“එතකොට උඹ හොයන්නේ දම් පාට පළිඟුවක්?”


“ඔව්. ඈ කියන්නේ එහෙම”


“අල්යෝශෙන්කා” සාරා බොහොම හෙමින්, නමුත් දැඩි හඬකින් කියන්නට වුනා. “මෙහෙ තියන පළිඟු කැට දම්පාට නැහැ. ඒවා සුදු පාටයි.”


අල්යෝශා වරක් දෙවරක් තදින් හිස ගැසුවා. ඈ කියන්නේ බොරුවක් වෙන්නත් බැහැ. නමුත්, කොහොම නමුත් මාරියා පළිඟුවල පාට ගැන දන්නේ නැතුව ඇති. උතුරු කෙළවර ඉඳන් නිවාඩුවට මානිල් ලන්දට එන කටකාර මී මැස්සෙක්ගේ ඕපාදූපයක් ඈ ඕනෑවට වඩා හිතට ගත්තා වෙන්නත් පුලුවනි.


සාරා තවත් ලං වුනා. පොකුණ පතුලේ වූ විසිතුරු තිරිවාණ තට්ටුව එහෙ මෙහෙ කර ඈ අල්යෝශාව එතැනට ඇදගෙන ගියා.


ඒ ගලෙන් තැනූ ආභරණ පෙට්ටියක් වගේ තැනක්. එහි හැම අතරම සිහින් එළි කිණිති විසුරවන සුදු පැහැ ස්ඵටික පිරිලා තිබුනා.


“මේ මොනවද?” අල්යෝශා පුදුමයෙන් ඇහුවා.


“උඹ නම් හැබෑ මෝඩයෙක්!  මම නොහිටියානම් උඹ පළිඟු අඳුනාගන්නේ කොහොමද?”








යලිත් වරක් නොහිතූ විදියට පොකුණේ ජලතලය කැලඹෙන්නට වුනා. අල්යෝශා කලබලෙන් එහෙ මෙහෙ බැලුවා. ඔහුගේ රිදී පැහැ වරලක් යමක පැටලෙනවා වාගේ දැනෙනකොට ඔහු හිටියේ කේතු ආකාර දැලක් ඇතුලෙ.


අල්යෝශාට ජීවිතේ කිසි දවසක නොදැනුන විදියේ මහ බයක් දැනුනා. ඔහු පිස්සුවෙන් වාගෙ දැලේ සිදුරුවලට පහාර දුන්නා. එතකොටම ඔහුට ඇහුනෙ සාරාගෙ කටහඬ.


“අල්යෝශා මගෙ හොඳ කොල්ලෝ, මේ අහපන්. දැලත් එක්ක පොරබදන්න එපා. උඹේ රිදී වරල් තුවාල වෙයි. පරෙස්සමට ඉඳපන්. මැරුනා වාගෙ ඉඳපන්.”


ඒ එක්කම වතුරෙන් උඩට ලොකු පිම්මක් පැන්න සාරා සුදු පැහැ පළිඟුවක් දැලේ සිදුරකින් ඇතුලට තල්ලු කලා. අල්යෝශා වහ වහා ඒ පළිඟු කැබැල්ල වරලක් යට සඟවා ගත්තා.


“සුභ ගමන් අල්යෝශා! උඹ වීරයෙක් නොවුනත් ඒ කිට්ටුවටම ආපු විප්ලවකාරයෙක්!” ඒත් එක්කම ඔහුට හුස්ම හිරකරන ගතියක් දැනුනා.


*********************


සිහිය එනකොට ඔහු උන්නේ කවාකාර වීදුරු ටැංකියක් ඇතුලේ. අපූරු රතු දුඹුරු පැහැ ඇට වර්ගයක් ටැංකිය පුරා පාවෙනවත්, එහි උන් අනිත් මාළුවෝ පොරකමින් ඒ ඇට අහුරු පිටින් මුවෙහි රුවා ගන්නවත් ඔහු දැක්කා.


ඉහල පාවෙමින් උන් බඩගිනි හමුදාවට මගහැරුණු රතු දුඹුරු ඇට කිහිපයක් අල්යෝශා හිටි තැනට හෙමින් ලං වුනා. යාන්තම් තොල් විවර කල ඔහු ඉන් එකක් හපා බැලුවා. 


‘මහ පල් රහයි.’ 


දොළපාරට වඩා පොකුණ භයානක බවත්, පොකුණටත් වඩා මේ කුඩා වීදුරු ටැංකිය භයානක බවත් අල්යෝශාට හෙමින් හෙමින් වැටහෙන්න වුනා. 


එතකොටම ඔහුට සිහි වුනා සාරොෂ්කාගේ අවවාදය. 


“මලා වගේ ඉන්න!”







මතු සබැඳි ~





බස්සි ලියූ වෙනත් 'සත්තු - කතා'











Monday, January 12, 2015

රිදී පාට ආදරේ (2)






දොළ පාර කෙළවර ඇත්තේ කොහේදැයි කිසිවෙකුත් දැන හිටියේ නැහැ. ඉතින් අල්යෝශාට පාර අහගන්න කෙනෙකුත් නැහැ. ශාලියා ආච්චි අම්මාගේ පරණ මාලිමාව ඉල්ලාගෙන ආවානම් යන අතවත් තීරණය කරගන්නට තිබුණා නොවේදැයි අල්යෝශාට පසුතැවිල්ලක් ඇතිවුනා. ඒත් ඔහු ගමනට නම් විරාමයක් තිබ්බේ නැහැ.


හෝරා කිහිපයක් ගෙවුනට පස්සෙ අල්යෝශා දැක්කේ මින් පෙර කවදාවත් නොදුටු පුදුමාකාර දර්ශනයක්.


ඉර හෙමිහිට දොළ පාරට පහත් වෙනවා. පුංචි කාලෙ කතන්දර වල අසා තිබුන විදියට ඉර ගිනිබෝලයක් නම් තමන්ව දැන් දැන් දැවී යාවි නේදැයි අලොයෝශාට ලොකු බයක් දැනුනා. සිහින් වෙවුලුමක් සිරුර පුරා පැතිරී යනකොට ඔහු තෘණ පත්‍ර කැටියක් තුලට වැදුනේ වරල්වල රිදී පාට මැකී යාවියැයි බයෙන්.




ඒත් අල්යෝශා බලාපොරොත්තු වුන ආකාරයට දොළපහර ගිනියම් වුනේ නෑ. ඒ වෙනුවට අමුතුම සිසිලසක් දැනෙන්නට වුනා. ඈත ඈත ඈත කෙළවරෙන් ඉර තත්පරෙන් තත්පරේ වතුරට මුහුවෙමින් තිබුනා.




ඒ එක්කම තද දම්පැහැ කළුවරක් හාත්පස වෙලා ගත්තා.


“සමහරවිට, ඔව්. සමහරවිට මේ පලාතේ රාජකාරි සිද්ද වෙන්නෙ ඒ විදියට වෙන්න ඕනෙ.” අල්යෝශා තමන්ටම කියා ගත්තා.


ඔය විදියට අල්යෝශා දහවල් වරු අටකුත්, රෑ වරු හතකුත් ගමන් ගත්තා.

ගමන අතරතුරේ ඔහු බොහොම දේවල් ඉගෙන ගත්තා.


ඉර කියන්නේ වතුරේ දිය නොවෙන බෝලයක් බවත්. එය කරන්නේ මහන්සි දැනුන වෙලාවට ලෝකෙ කෙලවරකින් සැඟවී යාම පමණක් බවත් ඔහු අවබෝධ කරගත්තා. නිල් පාට දොළ පාර කෙළවරෙන් වගේම ස්ටෙප්ස් බිමේ කොල පාට තණ ඇතිරිය අතරිනුත් ඉර අතුරුදහන් වෙන්න පුලුවන්. ඉර හැංගෙන තැන තියෙන පුංචි දම්පාට තණකොල මල්වලට සීරීමක්වත් වෙලා නැති බවත් ඔහු දැක්කා.එහෙම වෙන්නේ ඉර ඔය කියන විදියේ ගිනි බෝලයක් වෙන්න බැරි නිසා යැයි ඔහු හිතා ගත්තා.


දොළ පාර කෙළවරට යන්න යන්න වතුරේ නිල අඩුවෙන බවත්, ගමන අසීරු බවත් ඔහු තේරුම් ගත්තා. තෘණ පත්‍ර තරම්ම සිහින් වුනත්, වතුරත් එක්ක ඇදී එන පාරදෘශ්‍ය කරදාසි ආහාරයට නුසුදුසු බවත්, තොල් වල සියුම් සීරුම් පහරවල් ඇතිකරන බවත් ඔහු වටහා ගත්තෙ අත්දැකීමෙන්මයි.


ඒ වගේම කකුළුවන් කියන්නේ මහා මාන්නක්කාර ජාතියක් බවත්. මී මැස්සන් කඩිසර ඕපාදූප කාරයන් බවත්, සමනළයන් පාට පාට පුයර තවරාගෙන ඔහේ ඇවිදින රස්තියාදුකාරයන් බවත් අල්යෝශා වටහා ගත්තා


මානිල් ලන්දෙන් රැගෙන ආ අන්තිම පෙඳ පාසි කැටියත් අහවර වුනාට පස්සෙ අල්යෝෂා ගල් පොත්තක දිගා වෙලා කල්පනා කරන්න ගත්තා. ඔහුට තරමක් වෙහෙසයි. ඒත් හැඩකාර මාරියා ගැන සිහිවෙනකොට ඒ විඩාව කොහේ ගියාදැයි හිතා ගන්න බැරි වුනා. ඉතින් ඔහු එක්වරම ඉදිරි පිම්මක් පැන වේගයෙන් අඩි ගණනක් ඉදිරියට පිහිනා ගියා.


එක්වරම හිතාගන්නත් බැරි වේගයෙන් පටු විවරයක් තුලින් තමන්ව පහළට ඇදී  යන බව අල්යෝශාට දැනුනා. තත්පර ගණනකදී ඔහුව වඩ වඩාත් පහළට ඇදී ගියා. ලොකු රවුම් දිය කැටිති වේගයෙන් ඔහුගේ කම්මුල්වල මාරුවෙන් මාරුවට වැදෙමින් ඈත්වෙමින් ඔහුත් එක්කම පහළ ඇදුනා.


අන්තිමේ සේරම නිශ්චල වුනා.


ඒ නිසංසල දිය කටාරයක්. එහි තැනින් තැන කුඩා කහ පැහැ පස්පෙති මල් පිපී සෙලැවෙමින් තිබුනා. මේ කොහොම තැනක්දැයි අල්යෝශා දැන හිටියේ නැහැ. ඉතින් ඌ පැහැදිලි දියතලය දෙබෑ කරමින් කුඩා මෝටර් බෝට්ටුවක් මෙන් ඉහා මෙහා පීනුවා.







දොළ පහරේදි දැනුන ප්‍රතිරෝධය මේ නිසල දිය කඩිත්ත තුල අතුරුදහන් වෙලා. ඒ නිසා අල්යෝශාට තමන්ගේ පිහිනුම් වේගය පාලනය කරගන්න අපහසු වුනා. ඉබාගාතේ වරල් ගසමින් අවිනිශ්චිත ලෙස ලිස්සා ගිය ඔහු දිය මත පාවෙමින් තිවුනු ජලජ ශාක ගොන්නක හිස පටලවාගෙන නැවතුනා.


කිහිප වරක් තදින් හිස ගස්සා ඉන් මිදුන අල්යෝශා දැක්කේ තමන් දිහා පුදුමයෙන් බලා ඉන්න පීරිසි වැනි විශාල විස්මිත දෑසක්.


“ඔහ්! ඔහොම බලන්න එපා!” ඔහුට කියැවුනා.


අධි තාරතාවයෙන් යුත් සිනා හඬක් වෘත්තාකාර කළුගල් බැම්මේ හැපෙමින් මහා දෝංකාරයක් ඇති කලා. ඒ හිනාව බෝවෙන සුලුයි. ඉතින් අල්යෝශාටත් ඉබේම මුවගට සිහින් සිනහවක් නැගුනා.


“ඒ මගේ ඇස්වල හැටි.” 

ඈ ඇහැක් ගසමින් කිවුවා.


“අලුත් ඉලන්දාරියා මේ අහපන්. ඔබේ වේගය බොහොම වැඩියි. උඹ දන්නවාද ඒක?” ඈ තවත් හිනාවක් අතරින් ඇහුවා.

අල්යෝශාට ආඩම්බර හිතුනා.


“ඒ මගේ විදිහ. ශක්තිමත්, තරුණ සහ වේගවත්. 
මම වෙනස්!” 

ඔහු වරල් ගස්සමින් ඈ ඉදිරියේ කුඩා කරණම් පිමි පැන්නා.


“මේ පොකුණ වටේටම ඇත්තේ කළුගලින් කල දැඩි තාප්පයක්. උඹේ ඔය ශක්තිමත් ආඩම්බරකාර ඔළුව එහි වැදුනොත් කුඩු වේවි.” 

ඈ ඇස් දෙක තවත් විශාල කරමින් කිවුවා.


“පරෙස්සම් වෙයන් ඉලන්දාරියා. උස් තාප්ප තිබුනට, කහපාට පස් පෙති මල් පිපුණට, වතුර නිසලව තිබුනට, පොකුණක්  කියන්නේ දොළක් තරම් සුන්දර තැනක් නෙමෙයි.”





මතු සබැඳි ~






බස්සි ලියූ වෙනත් 'සත්තු - කතා'


1. කෝ බොලව් මගෙ චීස්?

2. බළලෙකුගේ පරමාධිපත්‍යය










Friday, January 9, 2015

එක්වෙමු - වෙනසක් කරමු!






සියල්ල සිදුවී හමාරය. මහින්ද ජනාධිපතිවරණයෙන් පරාද ය. 


ඔව්. මම මෛත්‍රීපාල ජයග්‍රහණය කලා යැයි කියන්නට ඉක්මන් නොවෙමි. මන්දයත්, මගේ මානයන්ට අනුව මෛත්‍රීට ඇති සැබෑ අභියෝගය ජයගත යුත්තේ ඉදිරියටය.


මහින්ද රාජපක්ෂ පළමුවර ජනාධිපති වන සමයේ මට ඡන්ද අයිතිය නොතිබුනි. නමුත් එකල අපි ඔහු වෙනුවෙන් මහත් ආඩම්බරයෙන් 'කඩේ ගියෙමු'. කඩේ ගිය අපි ගෙදර ආවේ හිස් අතින් නොවේ. වසර තිහකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාව තුල ඇවිලි ඇවිලී තිබූ යුධ ගිනි හමාර වූවේ එතුමාගේ ධූර කාලය තුලදීය. ඉතින් මහින්ද රාජපක්ෂ එදා මෙදා තුර ශ්‍රී  ලංකාව තුල බිහිවූ සුවිශේෂී නායකයෙකි.  එය අවිවාදිතය. 


මහින්දගේ දෙවැනි ධූර  කාලය ඇරඹීම වෙනුවෙන් මමත් මගේ පළමු ඡන්දය මහත් ආඩම්බරයෙන් පාවිච්චි කලෙමි. මහින්දගේ 'සුරක්ෂිත රට' තුල ජෙනරල් සරත් ෆොන්සේකාගේ අනාගතය ගැන බිය විය යුතු නැතැයි සිතන්නට තරම් එකල මම නොමේරු දේශපාලන දැනුමකින් යුතු වූයෙමි. කලකිරීමේ සමය ආරම්භ වූයේ ඉන් පසුවය.


මහින්ද බොහෝ හොඳ දේවල් කලේය. බොහෝ නරක දේවල්ද කලේය. මගේ මානයට අනුව ආකේඩ් එකේ රුපියල් දෙසියයට ආප්පයක් අලෙවි වීම හොඳය. හැබැයි, ගමේ මිනිහාට රුපියල් විස්සට ආප්පයක්වත් කන්නට බැරුව වස බොන්න සිදුවීම නරකය. පෞද්ගලික විශ්වවිද්‍යාල ඇතිකිරීම හොඳය. නමුත් ගමේ ඉස්කෝලෙට යන්න සපත්තු ගන්න වත්කමක් නැති අවුරුදු දහයේ දොළහේ දැරිවියන්ට ගෙල වැලලා ගන්නට සිදුවීම  නරක ය. අධිවේගී මාර්ග හැදීම හොඳය. නමුත් ඇස්තමේන්තුගත මුදලින් සියයට දෙදහසක්ම කොමිස් ගැසීම බොහොම නරකය. කැරට් පෙන්නා  අහිංසක මිනිස්සු රැවටීම නරකය. ජාතිවාදී රූකඩ නැටුම් නරකය. සුදුවෑන් නරකය. ආගම්වාදය බොහොම නරකය. තම අයිතීන් ඉල්ලා පාරට බහින මිනිසුන් අබ්බගාතයන් කරවන අවම බලය බොහොම නරකය. 


ඉතින්, මම නරක අඩු පැත්ත තෝරා ගත්තෙමි.


කොහොමත් නරක නැති මිනිස්සු කියා ජාතියක් නැත. ඉන්නේ නරක අඩු මිනිස්සු ය. මෛත්‍රීපාල මහත්මයා මහත්මයෙකු ලෙස අඩු නරකත්, වැඩි හොඳත්  පෙන්නාවියැයි මම උදක්ම බලාපොරොත්තු වෙන්නේ ඒකය.


අනික, පුරවැසි මාධ්‍ය ඇත්තේ ෆන් ගන්න නොවේයැයි අපි ඔප්පු කලෙමු. ඒක මෛත්‍රීපාල මහත්මයාත් සිහි තබා ගන්නවානම් බොහොම හොඳය. මහින්ද රාජපක්ෂ මහත්තයාට පරහට හිටියේ එතුමාගේ වටේ සිටි ජොකියෝ ටිකත්, නාස්තිකාර පුත්‍රයෝත්, මඩ මාධ්‍යකාරයෝත් ය. ඒකත් මෛත්‍රී මහත්තයා පාඩමකට ගන්නවා නම් තවත් හොඳය. 


රජෙක් හදන්නත් හැදූ රජා මකන්නත් පරමාධිපත්‍යය ඇත්තේ පුරවැසියන්ට බව දැන් ඔප්පු වී හමාර ය. ඒ පරමාධිපත්‍ය ඇත්තේ උප්පැන්න සහතිකයේ ඇති ජාතියටවත් ආගමටවත් නොවේය. ඒ හැකියාව ඇත්තේ මිනිස්සුන්ටය. "මිනිස්සු" කියන කුලකය සංඛ්‍යාත්මක වශයෙන් එන්න එන්නම අඩුව යන මෙ කල වෙනසක් කරන්නට කොන්දක් තිබුන "මිනිස්සු" මෙපමණ සංඛ්‍යාවක් ඉතිරිව සිටීම ගැනත් ආඩම්බර ය.


වන්දිභට්ටයන්ගේ ප්‍රශස්තිවලට නොව පුරවැසියන්ගේ හදගැස්මට සුසර සවන්ද, නැකැත් තරුවලට නොව පය ගසා සිටින මහපොළොව වෙත යොමුවූ දෙනෙත් ද, මොණර කොල වලට නොව තැලෙන පෑගෙන ජනතාවගේ දහදියට කඳුලට සැලෙන හදවතක් ද සමගින් වෙනසක් කරන්නට මෛත්‍රීපාල සිරිසේන අභිනව ජනපතිතුමාට හැකිවේයැයි මම උදක්ම බලාපොරොත්තු වෙමි. එකී වෙනස දකින රිසින් නෙත් දල්වා හිඳිමි.


දැනට කියන්නට ඇත්තේ ඔච්චරය. දැන් මම යමින් ගමන් නැකැත් ස්ටාර්ලාගේ වෙඩි සංදර්ශනය සහ මාරක ගිණිකෙලි  සංදර්ශනය නරඹා පවිත්‍රා නෝනා මහජන අයිතියට පත් කරනවායැයි කී ඒ ඇත්තියගේ ගෙදරින් කාමරයක් මටත් ඉල්ලා ගන්න පුලුවන්දැයි හොයා බැලිය යුතුය.



Wednesday, January 7, 2015

රිදී පාට ආදරේ (1)









හිතුවක්කාර දිය රැලි එක්ක දඟකරන දිග තෘණ පත්‍ර ගොන්නක් අතරින් අල්යෝෂා හිස එලියට දැම්මා. වතුරට වැටෙන හිරු කිරණ කණිකා උණුහුමයි. ප්‍රබෝධමත්. 


අල්යෝෂා තෘණ පඳුරු අතරින් ඉදිරියට පිහිනා ගියා. ඔහුගේ වරල්වල පැටලුන තද කොල පැහැ දිගු පත්‍රයක් පීත්ත පටියක් වාගෙ ලෙලදෙමින් ඔහුත් සමගම ඉදිරියට ඇදුනා.


ගල් දෙබුක්කාවක් අතරින් පහළට ගලා හැලෙන දියකඳ පිරිසිදුයි. නැවුම් වා බුබුළු කැලතුන පැහැදිලි වතුර කරමල් හරහා ගලා යනකොට දැනෙන්නේ අමුතුම ප්‍රබෝධයක්. අල්යෝශා වරල් සලමින් නැවුම් වා බුබුලු අතරේ එහා මෙහා පාවුනා.



“අර බලන්න රිදී පාට!”


“ඉර එලියට දිළිහෙනවා…. ඔහ්! ඒ හැඩකාරයා”


ළමිස්සියන්ගේ හිනාව සීනු හඬක් මෙන් ඔහුගේ සවන් මත රැව් දුන්නා. ඒ හඬ ඇහුන නෑහුන ගානට ඔහු තමන්ගේ රිදී පාට වරල් නැටෙව්වෙ ආඩම්බරෙන්!


“ඒ බොරු ආඩම්බරකාරයෙක්!” 

සිහින්, එහෙත් තියුනු හඬක් නැගුනා. අල්යෝශා තිගැස්සී ඒ දිහා බැලුවා.


“කෙල්ලනේ යමල්ලා…. ඇයි උඹලා කාගෙවත් ආඩම්බර බලන්නේ?”


ඈ මාරියා, දිළිසෙන කලු පැහැ වරල් අග රතු සිහින් රේන්ද රටාව.   මන බඳනා සුළු ගමන් ලතාව. දිය පහරට හොරා ඉදිරියට ඇදෙන ලාලිත්‍යය. අල්යෝශා බලන් උන්නේ ආසාවෙන්.


මොහොතක්වත් පමා නොවුනු අල්යෝශා ඈ පසුපස හඹා ගියා.

“කලු කෙල්ලේ, මානෙච්කා….. ඔහොම නැවතියන්!” ඔහු කෑ ගෑවා.


“මොකට නවතිනවද? උඹ ආඩම්බරකාර ඉලන්දාරියා…. මම උඹේ වරල් වල දිස්නයට රැවටේවි කියලා හිතුවද?” 

මාරියා ඇගේ දිගු වරල් ගස්සමින් අඟර දඟර පෑවා.


“මානෙච්කා උඹේ වචන පිහි පාරවල් වගෙයි! 
උඹ හැඩයි, තරුණයි, ආදරේ හිතෙනව.”


“මේ අහපන් අල්යෝශා, උඹට ලේසියෙන් මගේ හදවතට කිට්ටු වෙන්නට බැහැ. මගේ කැමැත්ත නිර්භය විප්ලවවාදියෙකුටයි. පුහු මාන්නක්කාරයෙක්ට නොවෙයි” 

මාරියාගේ කටහඬ කිංකිණි රාවයක් වාගේ වතුරත් එක්ක මුහු වුනා.


“මාචෙන්කා කියාපන්, කලු කෙල්ලේ කියාපන්, උඹ වෙනුවෙන් මම මූදු හතක් උනත් තරණය කරන්නම්. ඈත මූදේ ඉන්න මහ තල්මසුන් එක්ක හරඹ කරන්නම්. උඹට වුවමනා මොනවාද?” 

අල්යෝශා නොයිවසිල්ලෙන් මාරියා වටා රවුමට රවුමට පිහිනන්නට වුනා.


“හොඳා, මට හිතා බලන්න කාලයක් දීපන්.” 

මාරියා ඇගේ රතු පාට මෝස්තර වැටුන හිස නටවමින් ඈතට පිහිනා ගියා.


අල්යෝශා සතුටින් ඉපිල ගියා. සුවඳ හමන මානිල් ලන්දේ එහා මෙහා පෙරැලෙන අතරේ ඔහු අනිත් යොවුනන් දිහා බැලුවේ ආඩම්බරෙන්. අහංකාර මාරියා සමග වදනක් බිණීම නිසාම ඔහුට මිතුරන්ගෙන් ලැබුන සැලකිල්ල තව තවත් වැඩි වුනා.


“අල්යෝශෙන්කා උඹ හරිම වාසනාවන්තයා!” 

සුභපැතුම් හැම අතින්ම ගලා ගියා.








මේ අතරේ පුංචි තිත්ත පැටියෙක් නුහුරු බැල්මකින් වටපිට බලමින් හෙමින් සැරේ මානිල් ලන්දට කිට්ටු කලා. රෝල් කරපු කහ පාට කොලයක් උගේ අතේ.


“අල්යෝශා ලොකු අයියේ…. මා ගාව තියෙනවා උඹට දෙන්න යමක්.”


අල්යෝශා පැනපු ගමන් උදුරා ගත්තෙ පුංචි එකා අතේ තිවුන ලියමන. එහි පිණි බිංදු වැනි බෝල අකුරෙන් මෙහෙම ලියා තිවුනා.



“ආඩම්බර අල්යෝශා,


මට උඹේ හැඩ වැඩ වලින් පලක් නැහැ. මගේ හදවතේ ඉඩ තියෙන්නේ නියම විප්ලවවාදියෙකුටයි. උඹට පුලුවනිනම් දොළ පාර කෙළවර තියෙන උද්‍යානයේ විසාල තාප්පය තරණය කරලා එහෙ තියනවාය කියන දම්පාට පළිඟු කැටයක් මට ගෙනත් දීපන්. උඹේ හදවත නිර්භයද කියලා මට පෙන්නා දීපන්.


මේ,

හැඩකාර මාරියා."



අල්යෝශා සිහින් හඬින් සිවුරුහම් බාමින් කිහිප වතාවක් ලියමන කියෙව්වා. තීරණයකට එළඹි ආකාරයෙන් දෙනෙත් අඩවන් කරගෙන හිස තාලයට දෙපසට වැනුවා. පරෙස්සමට රෝල් කරගත් ලියමනත්, ප්‍රණීත පෙඳ පාසි ගොන්නකුත් ගමන් පැස තුල බහාගත් ඔහු තමන් වටේ හුන් මිතුරන් ඇමතුවා.


“හොඳ කොල්ලනේ මේ අහපල්ලා, මම පිටත්වෙනවා දොළපාර කෙළවර ඇති උද්‍යානය හොයාගෙන. උද්‍යානය ඇතුලෙ හැංගුන දම්පාට පළිඟු කැටයක් හොයාගෙන, මගේ සුන්දර මාරියාගෙන් මට ලැබුනා අභියෝගයක්.”


ඉන්පසුව ඔහු වරල් නටවමින් එක්වරම ගල් දෙබුක්කාව අතරින් පිටතට පිහිනා ගියා. රිදීපාට ඉරක්, වතුරේ කැළඹිල්ලක් එක්ක ඈතට, තව තවත් ඈතට ඇදෙනවා යාන්තම් පෙනී නොපෙනී ගියා.










බස්සි ලියූ වෙනත් 'සත්තු - කතා'


1. කෝ බොලව් මගෙ චීස්?

2. බළලෙකුගේ පරමාධිපත්‍යය








Tuesday, January 6, 2015

විශ්ව ගම්මානයක්?










අපි
ලෙලි බාටා දෙක ගෙවෙනකම්
ඇවිද යනකොට
හන්දියක් හන්දියක් ගානේ



උන්
පියාපත්වල අලුත් සායම්
පොලිශ් කරනව
දවස ගානේ



බාගවෙලාවට
ලෝකෙ ඔය කියනවා වගේ
විශ්ව ගම්මානයක්
නෙමෙයි වෙන්නැති