Saturday, January 24, 2015

කැරලි [රස්තියාදුකාර හුළඟකින් බිම වැටුන කවිපදයක්]




 

හුදෙකලා සැරියක අතරමග
හරිම නිදහස් කොළඹ හුළඟක්
එක්වරම ආපස්සටම විත්
උයන් කොන කහ මාර ගහ වට
කැරකුණා වට අටක් දහයක්

 


'කෝ කොහිද ඔය මුවග පෙර රැඳුන හසරැල්ල
බෝ වෙවී නලරැල්ල හා ඇදෙන ගී ඇල්ල
මුළු ඇඟම වැහැරිලා කළුවෙලා හොඳටෝම
ඇත්තමයි නෙත් අදහ ගන්න බෑ මට තාම' 


වෙවුල වෙවුලා කහ මාර ගහ
තුනී මල් පෙති දෙකක් හැලුවා
හොරෙන් වටපිට - බලා හෙමිහිට
කොඳුර කොඳුරා මෙහෙම කිවුවා
 



"මිතුර උඹ දන්නවද ඉස්සර
මමත් කහ පැහැ ඔටුනු බැන්දා
සමනලුන්, වන බිඟුන් රොද බැඳ
රේණු විසිරිය ගී පබන්දා
ගී නදින් මන්මත් වෙලා මම
සියක් මල් පෙති පෙලට රන්දා
ඉරේ පැහැ උඩු වියන වාගෙම
දිස්නෙ දෙන බුමුතුරුණු ඇන්දා
 


කහ පාට ඇතිරියේ කෙලවර
අමර - නයනා තුරුළු වෙන්නේ
පෙති නොබිඳි එක මලක් නයනා
කොණ්ඩ කරලක අමුණගන්නේ
හිනා අන්දර - පෙම් කතන්දර
ඇහෙන ගානේ හිත පිරෙන්නේ
අලුත් හුස්මක් වැටෙන ගානට
අලුත් පුසුඹක මල් පිපෙන්නේ



ඉරත් හැංගුන එක දවාලක
උයනෙ විහඟුන් බිඟුන් පන්නා
කාකි ඇඳගත් ටේප් පටියක්
මගේ උස දිග පළල මැන්නා
මහළු මැයි ගස් ළදරු තණපත්
බැකෝ ඩෝසර් බාහු පෙන්නා
විලාපයකට ඉඩක් නොතබා
ගෙල මුලින් උගුළුවා දැම්මා



අන්න අර කළුපාට දිලිහෙන
යකඩ කණු පේළියට සිටුවා
මගේ බඳවට තුරුළු වෙන්නට
තහනමක් මේ මෙතැන ලිවුවා
පුරුද්දට දින හතක් විතරම
මමත් කහ පාවාඩ එලුවා
සමනලුන්වත් එලව එලවා
ඉදලකින් පාවඩ ගැලෙව්වා



රතු පාට තීරුවේ හවසට
බයිසිකල් පදිනවා නයනා
අතින් අත පටලවා යුවලක්
කාර් ගනිනව උදේ ඇහුනා
සිංදු ඇමුණූ කොල්ලො රෑනක්
දෑස් තදකර දුවනු පෙනුනා
කඳුලු වායුව දුරට වැදිලා
මගේ ඇස් කෙලවරත් තෙමුණා



මගේ කුලගොත ලතින් නාමය
රාමු කර පළඳවා බෙල්ලේ
පාලු හුළඟක් වැදෙන ගානේ
බෙලෙක් කිරිකිරියකින් එල්ලේ
කාටවත් නොකියාපු රහසක්
අසන් නිදහස් පවන් රැල්ලේ
මගේ හද මියැදේවි අද හෙට
සුසුම් ඇඳ අවසාන දල්ලේ" 



ඇහිපියන් පිහදැමූ නලරැළි
කැටිගැහී කම්පිතව සැලුනා
වියරු ඝන සුළි කැරකි කැරකී
යකඩ අත්වැල් කඩා දැම්මා
කඳුළු පෙති වන් ළපටි තුරු පත්
විසුල මහ ගස බඳද නම්මා
දෑත විදහා බදා වා සුලි
පෙරට දිග පිමි දෙකක් පැන්නා



කලබලම හෝරාව අවසන
සියල්ලම සන්සුන්ව තිබුනා
කැඩී විසිරුන උයන් වැට මත
කහ මාර ගහ නිදා උන්නා







53 comments:

  1. අපූරුයි බස්සියෙ...
    මේ දවස් වල කුරුණැගල පැත්තෙ පාර දෙපැත්ත අයිනෙ තියෙන සද්දන්ත ගස්- ඔව් ඔව් ඒව හිටෙව්වෙ කව්ද කියල වත දන්නෙ නෑ..- ඒව ටික කපල දාානව... කාන්තාරයක් වගේ බං දුකේ බෑ.... ඒවට මොනව වෙනවද දෙවියොත් දන්නවද දන්නෙ නැ...
    ඕ යේස්...
    .

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මහියෝ!
      ඒක ඇත්ත. ඒ ගස් වලට මොනව හිතෙනව ඇද්ද...

      Delete
  2. පට්ටා පට පට... මිනිසුන්ගේ ඉඩම් කොල්ලය, පරිසර විනාශය, වන විනාශය, කැළේ සතා සීපාවාට කළ විනාශය සියල්ල වහ ගත්තේ මේ සුන්දර ටයිල් කරපු ඇස් බැන්දුම් පෙන්නලා.. මම දැක්කා තැනක කව්ද කියනවා රජ පාළණය තුල අහිමි වූ කැළෑ ප්‍රමාණවල ප්‍රතිශතය විශාළ එකක් කියලා.

    අපිත් මේ සමහර දේ අගය කළා නමුත් විවේචන සහිතව. ඒත් මට දුක අදටත් ගිනි කන වැටිලා, වශීවෙලා, දපනේ වැටිලා ඉන්න උන් ගැන..

    එක්සලන්ට් පොයට්‍රි බස්සි..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මාතලන්!
      මටත් හිතාගන්න බැරි තවමත් කොන්ක්‍රීට් තීරුවකට, යකඩ වැටකට දෙකකට මහා ආශ්චර්යයක් කියලා කියන මිනිස්සු ඉන්න එක.

      ඇත්ත, නගර අලංකරණය බොහොම හොඳ දෙයක්. ඒත් ඒකෙන් හැමදේම හරි ගියා කියල කියවෙන්නෙ නැහැ නෙ.

      Delete
  3. 'පිළිවෙලට' හැදෙන රුකක් නොව
    වැඩුනේ මම නිදහසේ
    නිසයි මේ ගැට කඩොලු ඇඟ වට
    සෙවන ගත් දන කොනිති ගැසුසේ

    නවොමු ගසකට හැකිය ලන්නට
    අවැසි ලෙස ලණු පොට රිසිසේ
    ඇහැකි මට තව දරා ඉන්නට
    තුරුණු වී එනතුරු උන් තොසේ

    ReplyDelete
  4. කහ ඉරි හැකිලී දියවූ මාවත
    පැළුණු වලා වියනට ඉහළින්
    දිලෙනා සැඩ හිරු රැසින් තැවෙද්දී
    රෝස මල් යහන් කොතැන සැදේවි ද
    සිමෙන්තියෙන් කල මල් පිපුණාවේ


    පවනක් නොහමන මහ නගරය මැද
    කළු දුම් රොටු විත් පෙණහැලි හිර කර
    දමනා වේලෙක හුස්ම පොද සොයා
    පලා යන්ට වන වදුළු තියේවිද
    කුළුණු සෙවණ යට සිසිල සදාවා


    වසන්තයට පීදිලා නටා එන
    එරබදු මල් වැල් කොහේ සොයන්න ද
    කොවුල් ගීත හඬ වදුළු පුරාවට
    පිළි රැවු පතුරා කෙදින ඇසේවි ද
    කාක නාදයෙන් කන් පිරුණාවේ

    ගත්තේ මෙතැනින් http://malyaaya.blogspot.com/2009/03/blog-post_6330.html

    ReplyDelete
    Replies
    1. ඒකනම් බොහොම ඉහළයි!
      ස්තූතියි සින්දු ඇනෝ අලුත් බ්ලොග් එකකට පාර කීවට!

      Delete
  5. සීරුවේ..න් සිටින්..
    දකුණට... හැරෙන්..
    ඒයි.. බූරුවෝ
    ඔය කොහෙද යන්නේ..
    තියාගනින් අනිත් එකත් එක්ක
    පේලිය..
    උඹ මොකද පස්ස කරකවකව
    කරුංකා ගෙඩියක්ද
    තට්ටම් දෙක මැද්දේ..
    බලාපං ඔය යන ගමනෙ කැත
    කොරවක්කෙක් යන්නැහේ
    නෙළුං කොල උඩින්
    පැන පැන..
    තේරෙන්න නැතුවැති මේවා
    කහ මාර ගහට
    ඉතින් කපලා දානවා ඇර
    කොහොම ගෙනියන්නද
    වැදගතුන් ඉස්සරහට
    කරන්න දෙයක් නෑ
    එහෙම තමයිලු
    සොබාව සෞන්දර්යේ පවා
    යටත් උන කල
    මිලිටරි අණසකට..

    ReplyDelete
    Replies
    1. මරු ඈ!

      ගස් උනත් ඉන්නෝන එක පෙලට
      මල් වැනෙන්නත් තහනම්ලු හුළඟකට

      Delete
    2. කමියා එල ද බ්‍රා

      Delete
  6. මේ මැයි ගහයට
    දවසක්දා..
    වැස්සට අපි උන්නා..
    අද..!!
    හෙට??

    ReplyDelete
    Replies
    1. ඇයි අර චොගම් බස් හෝල්ට් එකේ උන්නැකි කියන්නේ...

      Delete
  7. Excellent ... බස්සී ..!

    ඉතිරිය පසුව. ( දහම් පාසල් යන්න පරක්කු වෙනෝ ....)

    ReplyDelete
    Replies
    1. තැන්කිව් සඳරු!
      හොඳ ළමයෙක් නේ! උගන්නනවද? ඉගෙන ගන්නවද?

      Delete
    2. උගන්නනවා .. ඒත් තාම ළමයෙක් හොඳේ ..

      හිතට දැනෙන හැඟීම් ප්‍රකාශ කරන්න නොයෙක් ක්‍රම තියෙනවානේ, නිකන් ඔහේ කියල දාන්නත් පුළුවන් , නැත්නම් ඒකට තව අයිසින් ටිකක් දාලා ලස්සන කරලා කියන්නත් පුළුවන්. නැත්නම් ඒ හැඟීම කවියක් , නිසඳැසක් කරල කියන්නත් පුළුවන් ....
      ඒ හැඟීම ප්‍රකාශ කරන විදිහත් එක්ක ඒ හැඟිමට ලොකු අර්ථයක් , වටිනාකමක් එකතු වෙනවා. ඒ ඒ හැඟීම් එයට ගැලපෙනම ශෛලීය භාවිතා කරලා ප්‍රකාශ කරන්න ඔබට තියෙන්නෙ අපූරුම හැකියාවක් .. ඒ හැකියාව අපූරුයි , අද්විතීයයි.

      තව තවත් ඉදිරියටම, ඔහොම යං ! කියලා තමා කියන්න තියෙන්නේ ...

      GOOD LUCK බස්සී ..!

      Delete
  8. අනේ මන්ද..

    කියෝගෙන යනකොට චිත්තර පටිය වගේ සීන් ටික පෙනී නොපෙනී ගියා...

    පද පේලි ටික නම් මරේ මරු බස්සියෝ...

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා විභියෝ...

      Delete
  9. අනිච්චාවත සංඛාරා :(

    ReplyDelete
    Replies
    1. උප්පාද වය ධම්මිනෝ

      Delete
  10. අපූරු යි බස්සියේ... කෙටිකතාවක් කියෙව්වෙ නෑ කාලෙකින්!

    ReplyDelete
    Replies
    1. අනිවා.. අපිට කෙටිකතාවක් දීපියෝ...

      Delete
    2. ඈ යකූ! අල්යෝශාගෙ කතාව දිග කෙටි කතාවක් ලු.

      Delete
    3. අනේ බොල ඉඳිකට්ට නෙව මේ කියන්නෙ!
      ඔයා මුලින් කෙටිකතාවක් දෙන්න. මං ඊගාවට කතාවක් ලියන්නන්

      Delete
  11. ලස්සනයි ගොඩක්ම
    සුභ!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි!
      සාදරයෙන් පිළිගන්නවා බස්සිගේ නවාතැනට ඔයාව!!

      Delete
  12. ගති බං.. සමහර වෙලාවට අපේ ජීවිතත් මේ වගේ නේද කියලා හිතුනා..

    ReplyDelete
    Replies
    1. අනිවා බං. අපේ ජීවිත සොබාදහමෙන් ස්වායත්ත වෙන්නෙ නැහැනෙ.

      Delete
  13. Replies
    1. කමෙන්ටුවත් කියුට්!
      තැන්කූ වයලෝ...

      Delete
  14. මේක නම් හරිම ලස්සනයි...බොට තියෙන හැකියාව හරිම අපූරුයි..මම කියවන්න යන කිසිම බ්ලොග් එකක මේ රටවට කවුරුවත් ලියන්නෙ නෑ...ඔයාගෙ හැකියාව ඉතාම ඉහළයි...

    ReplyDelete
    Replies
    1. අලේ.... හරි සන්තෝස හිතුනා!
      මොකද දන්නෝද? බොලා වරදක් දැක්කොත් නොකියා යන්නෙ නෑනෙ. ඉතිං මේ කියන්නෙ මූනිච්චාවකටනම් නෙමෙ කියල දන්නවා.
      බොහොම ස්තූතියි සිරා අයියේ!

      Delete
    2. මේ පද පේලි අතරෙ තියෙන උපමා රූපක හරිම නැවුම්...ඒ කිව්වෙ අපිට වෙනත් ප්‍රකාශන තුල නිතර දෙවේලෙ කියවන්න ලැබෙන්නෙ නැති ඒවා...අනිත් කාරණේ පුංචි සිදුවීමකින් උනත් ලස්සන කථාවක් ගොතන්න බොට තියෙන්නෙ උපන් හැකියාවක්..

      Delete
    3. :D :D :D
      හරිම සන්තෝසයි ඒ වචන දැක්කම. තැන්කූ වේවා....

      Delete
  15. රට දැන් එක විදියක්
    කොලොම්තොටත්
    එක පිලිවෙලක්
    සීරුවෙන් සිටවූ
    සාම සමයේ
    කෙලින් සිටගත්
    වැලපෙන විලෝ ගස් වලට
    නැත්නම් අවැසි පිලිවෙලටම අතු ලන
    පිහිඹිය ගස් වලට මිස
    මැයි ගස්වලට කොහෙද ඉඩ?

    ඔබේ කව අපූරුයි බස්සි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි JP!
      ඔයාගෙ කමෙන්ටුව ලස්සනයි!

      Delete
  16. ලස්සනට සීමාවක් නැතුව හැදුණු ගස් වැල් වලටත් සිමා පනවලා සංවර්ධනේ නාමයෙන්,ස්භාවික දේ නැති කරලා කෘතීම ලස්සනකින් අපේ ඇස් රවට්ටලා තියෙන්නේ.හැබැයි ඒවා මේ පොළවට ඔරොත්තු නොදෙන වෙලාවකුත් එනවා.එදාට අර යකඩ වැටවල් පොඩි කරගෙන මහා ගස් කඩාගෙන වැටේවි මේ කියලා තියෙනවා වගේම.නිකන් හරියට
    ("මහින්ද ශ්‍රී ලංකා එකට කඩා වැටුණා වගේ..:D)

    ගල්කිස්සේ ගාලු පාරෙන් "ටෙම්පල්ස් පාරට"හැරෙන තැන ලොකු "රොබරෝසියා ගහක්"තිබ්බා.මල් පිපෙන කාලෙට හරිම ලස්සනයි.එත් දැන් ලස්සන බලන්න ගහ නැහැ.මුලින්ම කපලා දැම්මා.සමහර විට ගහ කපන්න සාධාරණ හේතුවක් තියෙන්නත් ඇති.එත් මුළු ගහම නොකපා අතු ටිකක් විතරවත් කපලා දැම්මා නම් ගහේ ලස්සන තවත් අපිට බලන්න තිබ්බා.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් මනෝ...
      ගහ කවදා හරි මේ සිස්ටම් එක කඩාගෙන යනවා. ඒ පිම්ම ගහේ අවසානය වුනත්!

      ඔයා එතැන නෝට් කරපු එක ගැන මට හරිම සතුටුයි.

      Delete
  17. මේ කවිය කියවද්දී මට මතක් වුනේ රත්නශ්‍රී ලියපු කපුගේ ගායනා කරන වෙල්ලස්සේ ගීතය . (දන්නේ නැත්තම් මනොශයා ගෙන් අහගනින් )
    උඹ විශිෂ්ට කිවිඳියක් වෙලා ඉවරයි. ඒ ගැන කතා දෙකක් නෑ. හැමදාම අපි දකින, අපිට පෙන්නන ලස්සන ඇතුලේ තියෙන්නේ මේ වගේ ඛේදවාචකයක් .
    ස්වාභාවික සුන්දරත්වය පරිසර සමතුලිතතාවය විනාශ කරලා , ගස් වල විද්‍යාත්මක නම් එල්ලලා අපි පෙන්නන්න හදනවා පි හරිම සිස්ටමැටික් කියලා ,අපි හරි ආදර්ශමත කියලා ...

    ReplyDelete
    Replies
    1. විශිෂ්ඨ කිවිඳියක්! ඒක තව සෑහෙන දුරයි බං. මං එදත් කිවුවෙ උඹට.

      ඔව් අපි බොරුවට උඩින් වැටවල් ගහලා නම් එල්ලලා, ගස් පවා සීරුවෙන් හිටවලා හදන්න යනව අමුතු සිස්ටම් එකක්. හැබැයි දවසක ඒක කඩාගෙන මේ ගස් හරි ඉස්සරහට පනින එක නම් ඒකාන්තයි.

      Delete
  18. හරිම අපූරුයි........

    // කහ පාට ඇතිරියේ කෙලවර
    අමර - නයනා තුරුළු වෙන්නේ
    පෙති නොබිඳි එක මලක් නයනා
    කොණ්ඩ කරලක අමුණගන්නේ
    හිනා අන්දර - පෙම් කතන්දර
    ඇහෙන ගානේ හිත පිරෙන්නේ
    අලුත් හුස්මක් වැටෙන ගානට
    අලුත් පුසුඹක මල් පිපෙන්නේ// මේ පද පේලි ටිකට වැඩිපුරු හිත ගියා ..

    ReplyDelete
    Replies
    1. ඒ කොටසට ගොඩක් අය ආසයි වගේ...
      තැන්කූ නංගා!!

      Delete
  19. Replies
    1. තැන්කූ!!
      සාදරයෙන් පිළිගන්නවා බස්සිගේ නවාතැනට ඔයාව!

      Delete
  20. කවිය නම් කලින් කියවලා කමෙන්ට් කරානෝ බස්සියෝ.. ඒත් ඉතින් මොනාත් නොලියා යන්න හිතෙන්නේ නෑ.. ඔන්න ලිව්වා
    "නියමයි බස්සියෝ හැමදාම වගේ" :D

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ ලක්!! මට මේ දවස්වල රයිටර්ස් බ්ලොක් ද මොකද්ද ලෙඩේ හැදිලා. :D

      Delete
  21. මට කවි ගැන දැනුමක් නැතත් මම උඔගේ කවි රස විදිනවා මචං..බ්‍රා පැන්ටි අතර හිටපු මට මේ තරම් හරි දෙයක්/ රසවින්දනයක් දුන්නෙ උඔලා හැමෝම ලියන එකකට එකක් වෙනස් ලිපි නිසා.
    එල ද බ්‍රා බස්සි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මෙන්ඩියෝ..

      බ්‍රා/පෑන්ටි විතරයැ අෆ්ෆා අර උඹලගෙ ෆැක්ට්‍රි එකේ ඉන්න මල් වගේ කෙල්ලො ටික? :P

      Delete
  22. මම මුකුත් කියන්නෙම නෑ මයි.කියන්න වචන නෑ බස්සි අක්කේ.ලස්සනයි.හෙනම හෙනම හෙනම හෙන ගොඩාක්......

    ReplyDelete
    Replies
    1. තැන්කූ හන්චි කුචුමියෝ...

      Delete
  23. වින්ටර් එක පටන් ගන්න කලින් ගස්වල කොළ හැලෙන කාලෙට ගස් කොළ එක එක පාට ගන්නවා. බැසයන හිරු එක්ක හරිම චමත්කාරයි. මට ඒක මතක් වුණා.

    ReplyDelete
    Replies
    1. හැලෙයි රත් පැහැ කොල එකින් එක
      නග්න තුරු අත් පියකරුයි - විළිබරයි
      අහස වැලපෙයි - රතු වලා විසිරෙයි
      සුළඟ සසලයි - කවුළු දොර හඬදෙයි

      ^ ගොඩාක් ඉස්සර ලීව කවියක කොටසක්. :)

      Delete
  24. .
    .
    හරි අපූරූ නිර්මාණයක් බස්සි...
    සහෘදයාව වෙනමම ලෝකෙකට රැගෙන යනවා මේ බස් වහර තුළින් මේ සංකල්ප රූප කවියට ආභරණයක් කරගෙන තියෙන බව ඉතා හොඳින් පස්ක් කෙරෙනවා අප හට.. එමෙන්ම මෙහේ ගැබ් වෙලා තියන යටි අරුතත් නියමයි ජයෙන් ජය

    ReplyDelete