Monday, February 2, 2015

"නිල්" අහස යට







“උර්සුලා තව එක වතාවක් මේ ගැන හිතන්න.” රිචඩ්ගේ කටහඬ උස් බිත්තිවල හැපී දෝංකාර දුන්නා.

“ඔයා  මේ ප්‍රොජෙක්ට් එකට අත්සන් කලේ මාසෙකට කලින්. දැන් ඒක කැන්සල් කරන්න විදියක් නෑ.”


“කරන්න දෙයක් නැහැ රිචඩ්. මම ඉන්න තත්වෙ තේරුම් ගන්න. මේක තවත් එක දර්ශනවාරයක් නෙමෙයි. මාස හයක් තිස්සෙ කැලෑවල් ගානෙ, දිය ඇලි ගානෙ ඇවිදින්න වෙන ලොකු ප්‍රොජෙක්ට් එකක්. මගේ අවසාන තීරණේ මේක.” 
මං අපහසුවෙන් වුනත් රිචඩ්ගේ ඇස් දිහාම බලාගෙන කතා කලේ ඔහු මාව තේරුම් ගනීවියි කියන ලොකු විශ්වාසයක් හිතේ තියාගෙන.


“ඔහේට, ඔහේට තිබුනා පරෙස්සම් වෙන්න.”  රිචඩ් යළිත් වරක් හිස දෙපසට වනමින් කෑ ගැහුවා. 

“ඔහේ මේ නැති කරගන්න හදන්නෙ එක ඩීල් එකක් විතරක් නෙමෙයි. අවුරුදු ගානක් පුරාවට දශමෙන් දශමෙ ගොඩනගා ගත්තු ප්‍රතිරූපය. මං දන්නෑ මීට වඩා ඔහේට කොහොම පැහැදිලි කරන්නද කියලා. ඔහේ මේ තැනට ආවෙ තනියම නෙමෙයි ගෑනියේ! ඒක මගෙත් මහන්සිය. මගෙත් කැපවීම. පොඩ්ඩක් හිතපන්!!”


තවත් ඔහු එක්ක කතා කරල තේරුමක් නැතැයි හිතුන නිසා මම යන්න සූදානම් වුනා. රිචඩ් වහාම නැගිටලා මාත් සමගම විදුලි සෝපානය දෙසට ඇවිදගෙන ආවේ මේ ගැන තව වතාවක් හිතා බලන්නැයි ආයාචනා කරමින්.


මම වාහනයට ගොඩවුනේ රිචඩ් ගැන උපන් තරහත් පිළිකුලත් හදවතේ සමසමව බුබුලනය වෙද්දි. ‘මාව හදන්න මහන්සි වුනාය කියන ඒ මිනිහා මුල් කාලෙදි මට සැලකුවේ මොනතරම් පහත් විදියටද! ඒ වෙනකොටත් සෑහෙන දුරට සුවවෙමින් තිබුන මගේ පැති කුදය ගැන හැමවෙලාවෙම උලුප්පා දක්වමින් ඒ මිනිහා මට මොනතරම් උසුළු විසුළු කලාද!’ තරහත් එක්ක මම කඳුලු එනතුරු යටිතොල තදින් විකාගත්තා. ‘ඒත් ඔවුන්ට උවමනා වෙලා තිබුනේ වෙනසක්. ‍යාන්තම් පැති කුදයක් තියෙන, පෙට්ටි හැඩේ ගැහැණියකගේ නිරුවතට මිනිස්සු ඒ තරම් ආකර්ශනය වෙයි කියලා රිචඩ් හීනෙකින්වත් හිතන්න නැතුව ඇති.’



මට හීනයක් තිබුනා තාරකාවක් වෙන්න. මට වුවමනා වෙලා තිබුනේ සමාජ විද්‍යාව හදාරන්න. 

මාර්ක් මගේ ජීවිතයට ඇතුල් වෙන්නේ උසස් විද්‍යාලයේදි. අපි ආදරය කලා කියන එක ඒ සම්බන්ධය විස්තර කරන්න ගැලපෙන්නෙ නැහැ මම හිතන විදියට.  

අපි එකිනෙකා තුල ජීවත් වුනා.
ඇටමිදුලු පවා හිරිවට්ටන්න පුලුවන් තරමේ ප්‍රභල ආදරයක් ඒක.


මගේ හීනේ දළුලන්න පටන් ගත්තේ උසස් විදුහලේදි මම තොරාගත්තු වාරාවසාන ව්‍යාපෘතියත් එක්ක.

මට උවමනා  වුනේ ඉන් පෙර කිසිම කෙනෙක් නොකල විදියේ සමාජ ගවේෂණ ව්‍යාපෘතියක් සිදු කරන්න. උසස් විදුහලට අලුත්ම ව්‍යාපෘති වාර්තාවක් එකතු කරන්න. 

ඒ නිසයි මම තෝරාගත්තේ කාමෝත්පාදන සිනමා ක්ෂේත්‍රය.


මාර්ක් මුලදි හිතුවේ මං විහිලු කරනවා කියල වුනත් ව්‍යාපෘති යෝජනාව දුටු දවසේ ඉඳන් එයා මට පුදුම තරමක් උදව් කලා. තොරතුරු ගවේෂණය, විශ්ලේෂණය වගේම වාර්තාව සැකසීමත් අපි දෙන්නාම කලේ එකට. 

අන්තිමේදි මට පුලුවන් වුනා ඒ අවුරුද්දේ විශිෂ්ඨම ව්‍යාපෘතිය වෙනුවෙන් සම්මානයක් දිනාගන්න. 
අපි එදා රෑ එළි වෙනකම් සැමරුවා ඒ සතුට.



ඒත් ඒ වෙනකොට මගේ හීනෙ හැඩය 
වෙනස් වෙලා තිබුනා.



හැඩය වෙනස් වුන හීනෙ ගැන මාර්ක්ට නොකියා ඉන්න මට අමාරු වුනා. තමන්ගේ ආදරවන්තිය නිල් චිත්‍රපට නිළියක් වෙන්න යන එක දරාගන්න ටිකක් අමාරු දෙයක් තමයි. එයා මුලින්ම දෙකට නැමීගෙන මහ හයියෙන් හිනා වුනා. විද්‍යාල මාවතේ යන එන මිනිස්සු පවා තිගැස්මෙන් එයා දිහා බලනකොට එයා තව තවත් හයියෙන් හිනා වුනා.



"ඒක හොඳ විහිලුව!"  මාර්ක් බර හුස්මක් ඉහල ඇද්දා.
"විශ්වාස කරන්න ඩාලිං ඒක මම ඔයාගෙන් අහපු හොඳම එක."



ඒත් අන්තිමේ මගේ හීනෙ හැඩය ඇත්තටම වෙනස් වෙලා බව තේරුම් ගත්තු මාර්ක් බොහොම කලබල වුනා. ඔහු කෑගැහුවා. බැන්නා.  රෑ එළිවෙනකම් මාව තුරුළු කරගෙන පැයෙන් පැයට අලුත් තර්ක ගොඩනැගුවා. ආයෙමත් ඇස් වල කඳුලු පුරවගෙන මා දිහා බලන් උන්නා.



ඒ දීර්ඝම සතිය අවසානයේ හවස අපි දෙන්නා ආලින්දයට වෙලා කළුවර අපිව ගිලගන්නකම් උණු කෝපිවල කිමිදෙන්න තීරණය කලා. කෙලවරක් නැති පැහැදිලි කිරීම්, වාද විවාද සහ සිත් තැවුල් නිසා අපි දෙන්නාම සෑහෙන තරම් විඩාපත් වෙලයි උන්නෙ.



"මාර්ක්, මේ අහන්න. ඒක හිතන තරම් නරක දෙයක් නෙමෙයි." 
මං වෙනදාට වඩා පරෙස්සමට, හඬ නොනැගෙන්න කෝපි කෝප්පය හැඳි ගාමින් කිවුවා.



මාර්ක්ගේ ඇස් රතුපාට වෙලා තිබුනෙ. 
එයා බර හුස්මක් පිටකලා. 

"ඔයා හිතනවද මේක ලේසි දෙයක් කියලා? අනික ඔය කොඳු ඇට පෙලේ ඇදයත් එක්ක. එයාල ඔයාව කොන් කරාවි. තේරුම් ගන්න ඩාලිං.  මේක නෙමෙයි ඔයාට තාරකාවක් වෙන්න ගැලපෙන තැන. ඔයාට පායන්න තවත් අහසවල් ඕන තරම් තියෙනවා, ඔයාට නොපෙනුනාට."



"එකම එක ඉන්ටර්විව් එකක් මාර්ක්. එකම එක වතාවක්!" 

දෙවරක් නොහිතාම මං ඔහු ළඟ දණින් වැටුනා. ඔහුගේ බර දණහිසට හිස තියාගෙන මං දිගටම ඇවිටිලි කරන්න වුනා.



"හොඳයි එකම එක වතාවක්!"  මාර්ක් දැඩි හඬකින් අන්තිමේදි කියා හිටියා. 
"හෙට උදේ නවයට, මං ඔයාගෙ ෆොටෝ ෂූට් එක කරනවා. හරිනෙ?"



වාහනයෙන් බැහැගත්තු මම එහා මෙහා ඇවිද්දේ හිතේ නොසන්සුන්කම ටිකක් සමනය කරගන්න. මට සිගරැට්ටුවක් බොන්න ලොකු උවමනාවක් දැනුනා. ඒත් දෙවනි දුම් උගුරත් එක්කම මට මතක් උනේ එයාව. එයා මගේ ලෝකෙ. මගේ පණ. මං විසකුරු සතෙක් දැක්කා වගේ වහාම සිගරැට්ටුව නිවලා බින් එකට දැම්මා.



එක අතකට මගේ පළමු පියවර තියන්න උදව් වුනේ රිචඩ්ම තමයි. ඔහු මගේ පින්තූරවලට හිනාවෙලා ඒවා කාර්යාල බිම පුරාම විසුරුවා හැරියා. ඇත්තටම, මාර්ක්ට වැඩිපුරම කේන්ති යන්නේ තමන් ගත්ත ඡායාරූපවලට අපහාස කරද්දි බව මම දැනගත්තෙත් එදා.



මාර්ක් එතැන, ඒ මොහොතේ පටන් මට පුදුම තරම් උදව් කලා. රිචඩ් වැරදි බව පෙන්වන්න මටත් වඩා මාර්ක්ට වුවමනා වෙලා තිබුනා.



ඔව්. දැන් මගේ හීනෙ හැබෑ වෙලා. ඒ වෙනුවෙන් ගෙවන්න වුන මිල කොතරම් විශාල වුනත් අන්තිමේ මම තාරකාවක් වෙලා.  පළමු හමුවීමෙදි මගේ පින්තූර අහකට විසිකරපු රිචඩ්ගෙ කාර්යාල කාමරේ බිත්තිවල මගේ මැගසින් කවර් රාමු කරලා එල්වා තියෙන හැටි දකිනකොට හිතට දැනෙන්නේම අසීරු ජයග්‍රහණයක උණුහුමක්.



මම ගෙදරට ඇතුල්වෙනකොට මාර්ක් ආලින්දයට වෙලා ඇල්බමයක් පෙරලමින් උන්නා. මම ඔහුගේ ගෙල වටා දෑත් යවන ගමන් ඇල්බමයට එබුනා. අපේ මංගල උත්සවයේ පින්තූර. මම මාර්කේ නළල දෙපස හාද්දකින් පිරිමැද්දා.



“මං අලුත් වැඩේ බාරගන්න බැහැ කීවා.” මම සෝෆාවේ කෙලවරකට බර වුනා. 

“අවුරුද්දක් යනකම් මම විරාමයක් ගන්නයි හිතුවෙ.”



මාර්ක් තදින් ඇල්බමය වහලා මා දිහා බැලුවා.
“ඒ ගමන මොකද? මොකක් හරි ප්‍රශ්ණයක් උනා ද? කියන්න ළමයො! මොකද මගෙ මූණ දිහා අමුතු විදියට බලන්නෙ?”



මම මාර්ක්ගේ  සිහින් දිගු ඇඟිලි මගේ දෙ අත්ල තුල සඟවා ගත්තා. “ලොකුම ලොකු ආරංචියක් කියන්න තියෙනව ඔයාට.” මම හිස පැත්තකට ඇල කරන් ඔහු දිහා බැලුවා. 

“ඔයා, තාත්තා කෙනෙක් වෙන්නයි යන්නෙ!”



“උර්සුලා!” මාර්ක්ගේ ඇස් දෙක බැබලෙන්න පටන් ගත්තා. 

“දන්නවද! මම හීනෙකින්වත් හිතුවෙ නෑ ඔයාගෙ හිත මේ තරම් උණුහුම් කියලා. දන්නවද! ඔයා තමයි මේ ලෝකෙ ඉන්න ආදරණීයම කෙල්ල. අපි මේක සමරන්න ඕනෙ ළමයෝ… අපි මේක ඉහළින්ම සමරන්න ඕනෙ!”



අත්බෑගයේ තිබුන ජංගමය හඬ තලන්න ගත්තේ ඒ වෙලාවෙ. ‘රිචඩ්!’ මම ජංගමය අතට ගත්තේ මූණ පුලුටු කරගෙන.



“ඇයි?” මං කතාකලේ හිතේ තරහ ඔහුට ඒත්තු යන ස්වරයකින්.



“උර්සුලා, මේක ඔයාගෙ අවසාන තීරණේද?” රිචඩ් ආයෙමත් ඇහැවුවා. 
“මේ අහන්න. මම අඳුනන හොඳ ඩොක්ටර් කෙනෙක් ඉන්නවා. ඔයාට කිසිම අපහසුවක් වෙන්න මම ඉඩ තියන්නෙ නෑ. ඔයාට පහසු තැනක, ඔයාට පහසු දවසක.”



පිළිකුලත් කේන්තියත් නිසා ගෙල දෙපස ගිනියම් වේගෙන යනවා මට දැනුනා. 
“තමුසෙට මොළේ විකාරද මිනිහෝ? මේ මගේ පෞද්ගලික ජීවිතේ. මං අහන්නේ තමුසෙට කොහෙන් ආපු හයියක්ද ඒකට ඇඟිලි ගහන්න. තව එක වතාවක්, ඔව් එකම එක වතාවක් ඔය පාහර කතාව කිවුවොත් මම ඒ මොහොතෙම යනවා පොලීසි. අන්න ඒක මතක තියා ගන්නව!”



රිචඩ් එවැනි ප්‍රතිචාරයක් බලාපොරොත්තු නොවෙන්න ඇති. ඔහු වරක් දෙවරක් උගුර පාදන හඬ ඇහුනා. මවාගත් ඉතා මෘදු කටහඬකින් ඔහු පරෙස්සමින් වචන ගලපන්නට වුනා.



“හොඳයි. එහෙනම් ඒක එහෙමයි. හෙට අපි පොඩි සාකච්ඡාවක් තියලා ඔය ගිවිසුම අවලංගු කරල දාමු. ඔයාට පුලුවනිනේ හෙට උදේ අටහමාර වෙනකොට මායා රෙසිඩෙන්සීස් එකේ විසි තුන්වැනි ෆ්ලෝ එකට එන්න. අපි එතනදි හමුවෙමු. වෙලාවට එතැනට එන්න, මැඩම්” ඔහු කතාව අවසන් කලේ මද උපහාසයක් තැවරුනු ස්වරයකින්. කොහොමත් ඒ රිචඩ්ගේ හැටි.



හවස කෙටි නින්දකට පස්සෙ මම අවදි වෙනකොට  මාර්ක් විශේෂ රෑ කෑමක් ගෙන්වලා තිබුනා. බැල්කනිය පුරාම ඇපල් සුවඳ හමන ඉටිපන්දම් දල්වලා. විශාල දේදුණු රෝස පොකුරක් කෑම මේසය මත තබා තිබුනා. ඇත්තටම මට මීට වැඩියෙන් කිසිම දෙයක් වුවමනා වුනේ නැහැ.



මම මුලින්ම කලේ ගෙදර තිවුනු සිගරැට් පැකට්ටු සියල්ලම කුණු බඳුනට විසි කරන එක. මාර්ක් කට කොණකින් සිනහවෙමින් ඒ දිහා බලා උන්නා. ඉන් පස්සේ අපි අවසාන ඉටිපන්දමත් දැල්වී අහවර  වෙනකල් බැල්කනියට වෙලා තරු දිහා බලාගෙන කතා කරමින් උන්නා. 







එලාම් ඔරලෝසුවේ හඬත් නෑහෙන තරම් ගැබුරු නින්දෙන් මම අවදි වුනේ සෑහෙන තරමක ප්‍රමාදයක් එක්ක. තවමත් නින්දේ උන්න මාර්ක්ව ඇහැරවන්නවත් පමා නොවී මම ඉක්මනින්ම ගෙදරින් පිටත් වුනේ මේ ගිවිසුම තද හිසරදයක් තරමටම බරට හිසත් හිතත් අඩපණ කරමින් තිබුන හින්දයි.


විදුලි සෝපානය තුලදී අපිළිවෙල හිසකේ පිළිවෙලක් කරගන්න අතරේ මගෙ හිතට දැනුනේ පුදුමාකාර සැහැල්ලුවක්. මම  විසිතුන්වැනි මහලට පා තැබුවේ පුලුවන් තරම් ඉක්මනින් මේ කරදරකාර අත්සනින් ගැලවිලා මගේ ලෝකෙට ඇතුල් වෙන්න හිතාගෙන.


කාර්යාලයේ දොර ළඟ මදක් නතර වුන මම දීර්ඝ හුස්මකින් පසු හිනා මුහුනක් පැළඳ ගත්තා. ඔව්. අර නරුමයා ඉස්සරහදි ව්‍යාජ හිනා මුහුණක් නැතුවම බැහැ.


“එන්න උර්සුලා. වාඩිවෙන්න.” රිචඩ් දොර වසා දමන අතරේ පැවසුවා. “මේ ජෙෆ්රි.”


මට වචනයක්වත් කියන්නට ඉඩක් නොතියා ජෙෆ්රි තමන්ගේ කතාව පටන් ගත්තා. “මේ අහන්න මැඩම්. ගිවිසුම අවලංගු කරන්න බැහැ, නමුත් අපිට ඔය කළලය අවලංගු කරන්න පුලුවන් පහසුවෙන්ම”


මාව පුටුවෙන් ඉවතට විසි වුනා. මිනිහෙකුට මේ තරම් අමනුස්ස කතා කියන්න පුලුවන්ද? මම වචනයක්වත් නොකියාම දොර දෙසට හැරුනේ ආපහු මේ මිනිස්සුන්ගේ මුහුණවත් නොබලන්න හිතාගෙන.


“ඔහෝ! ඔයා ඉක්මනින්ම යන්නද හදන්නෙ උර්සුලා? මේ බීම වීදුරුවක්වත් නොබී?” රිචඩ්ගේ මුහුණේ තිබුනේ විසුළු සිනහවක්. 

“ජෙෆ්රි හරි විහිළුකාරයා. ඔයා දන්නෙ නැද්ද ඒක! පුදුමයි!” රිචඩ් මහ හඬින් හිනා වුනා. ඒ සිනහව කාමරය තුල දෝංකාර දෙද්දි උස් වීදුරු කවුළුවෙන් පිටත බලාගෙන මම සීතල මිදි යුෂ බඳුන උගුරෙන් උගුර හිස් කරන්නට ගත්තා.



***************
  



වීදුරු කවුළුව තුලින් පෙරී එන හිරු එළියෙන් උරහිස් පිළිස්සෙනවා දැනෙනකොට මම ඇස් ඇරියා. තියුණු ඉඳිකටු තුඩු දහසකින් අනින්නා වාගේ වේදනාවක් යටි බඩ දෙසින් දැනෙනකොට මම අමාරුවෙන් වකුටු වුනා. හිස බමන්නට වුනත් මට වුවමනා වුනේ කොහොමහරි මෙතැනින් පලා යන්න. ඒත් මගේ සිරුර පිඟන් මැටියෙන් කල බෝනිකි සිරුරක් බවත්, එය දැන් කුඩා කැබලි දහසකට ටිකක් වැඩි ගණනකට බිඳී ගොස් ඇති බවත් මට සිහිනයෙන් මෙන් අවබෝධ වුනා. ඇද ගැහුනු සර්පයෙක් මෙන් සිහින් ලේ පාරක් මේස කෙලවරක සිට බිත්තිය දෙසට ගලා යමින් තිබුනා.


අන් සියලු හැඟීම් තුනී වෙලා යනකොට මට වුවමනා වුනේ මෙතැනින් පලා යන්න. ඒ අරමුණ ඝන දුමාරයක් වගේ අවකාශය පුරා පැතිරී යන්නට වුනා. පලා යාමේ අරමුණේ අන්තිම නූල් පටත් මගහැරේවියැයි බියෙන් මම දෑස තදින් පියාගත්තා.








~~~~@~~~~







81 comments:

  1. අකුරක් නෑර කියෙව්වේ.. මම පිලිගන්නේ නැති උනාට කළා හැකියාව කියන දේ සංසාරගතව එනවා කියලා මිනිස්සු කියනවා. තවත් අමහරු කියන්නේ ඒක දෙවියන් වහන්සේ දෙනවා කියලා.. මම හිතන්නෙ නම් හැම එකෙක් තුලම මේ වගේ නිර්මාණ කරුවෙක් ඉන්නවා.. ඒත් අපේ අජ්ජාපන ක්‍රමය ඒ නිර්මාණ හැකියාව නැති කරනවා. ඒත් ඒවා මයිම් නොකරන එකා වෙනස්ම දේවල් කරනවා.. මේ ඒකට උදාහරණයක්.. මේ හැකියාව වැඩි දියුණු කර ගන්නවා මිසක් කවදාවත් නවත්තන්න නම් එපා.. ඒක ජාතික අපරාධයක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මාතලන්!!

      අර කොන්ක්‍රීට් රාමු ගහන අජ්ජාපන ක්‍රමය වෙනුවට ඕනෙම වෙලාවක නිදහසේ වෙනස් කරගන්න පුලුවන් චෝක් කෑල්ලකින් නිදහස් රාමුවක් ඇන්ද අජ්ජාපන ක්‍රමයක් බිහිවෙනවානම් නේද?

      Delete
  2. කියවන්න හිත හරිබරි ගැහෙද්දිම අමානුශීය විදිහට කතාව ඇතුලේ අතරමං කරපු නපුරු බස්සි! :) ආඩම්බරයි හොඳම යෙහෙලිය වුණු එකට මගේ! ^_^ <3 <3

    ReplyDelete
    Replies
    1. හිහිහි... මං හෙන අමානුෂිකයි ඈ!
      අවසානෙ එඩිට් පාරක් දාන්න ඕන. දුන්නු කන්ස්ට්‍රක්ටිව් ක්‍රිටිසිසම් මෙව්වා එකට තැන්කූ ඥාව්!! <3 :)

      Delete
  3. ඒ පාර පරිවර්තන සාහිත්‍යයට බැස්සද?
    කතාව හොඳයි වගේ, තාම කියෙව්වෙ නෑ.

    ReplyDelete
    Replies
    1. කියවලා හොඳ නරක කියන්නකෝ හෙනහුරෝ.
      මේක පරිවර්තනයක් නෙමෙයි. :)

      Delete
  4. කොයි විදිහට කතාව ඉවර වෙයිද කියලා හරිම බයෙන් කතාව කියෙව්වේ! කියන්න මොකුත් නෑ! ඒ කියන්නේ වචන අමතක වෙලා!

    ReplyDelete
    Replies
    1. හී! මං හිතුවෙ ලේසියෙන් කතාවෙ අවසානෙ ප්‍රෙඩික්ට් කරයි කියලා. තැන්කූ තැන්කූ නාඩි මලයා!!

      වචන මතක් වෙච්චි වෙලාවක පොඩ්ඩක් කතාව අවුල්ද නැද්ද කියලා මැසේජ් පාරක් දාන්ට හොඳේ... :D

      Delete
  5. හැම දා ම වගේ නිර්මාණශීලීත්වය අතින් උපරිම යි බස්සි... අන්තිමට කතාව එක පාරට ඉවර වුණා දෝ කියලත් හිතුණා. බටහිර නම් යොදා ගත්තේ විශේෂ අරමුණක් ඇතුවද?

    ReplyDelete
    Replies
    1. කුරුට්ටියෝ, දැන් අර අලුත් සර් කතාව ස්ලෝ වෙලානෙ අනේ.....

      බොහොම තැන්කූ වේවා හොඳේ.... කතාව දිග්ගස්සන්නෙ නැත්තෙ ඉතින් මං කම්මැලියානෙ. මේ වගේ ප්ලොට් එකකට ලංකාවෙ නම් ගැලපෙන්නෙ නෑනෙ, මේක අපේ රටේ තහනම් ඉන්ඩස්ට්‍රි එකක්නෙ.

      Delete
  6. බස්සි ...
    පරිකල්පනය යනු කුමක්ද කියලා කවුරු හරි ඇහුවොත් මම කියන්නේ 'ගිහිං බස්සිගේ නවාතැන කියවපන්" කියලා .

    එපමණයි .... !

    ReplyDelete
    Replies
    1. අනේ... තැන්කූ වේවා මචෝ...!!!
      :) :)

      Delete
  7. Excellent ...!

    එක හුස්මට කියවගෙන ගියා. මොනවා කියන්නද කියලා හිතාගන්න බැහැ. ඉවාන් කියනවා වගේ, ඔබගේ පරිකල්පන ශක්තිය නම් අද්විතීයයි බස්සී. ඔබගේ හැකියාව, මං දකින විදිහ කලින් පෝස්ට් එකේදි කිව්ව නේ.
    මාතලන් බොස් කියනවා වගේ, තව තවත් ඉස්සරහටම යං ... !!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! බොහොම ස්තූතියි සඳරූ..... :)

      Delete
  8. බ්ලොග් වලින් ඈත් වෙලා බුකියේ ලොග් වෙද්දි දැකපු මැසේජ් එකේ ලින්ක් එක ක්ලික් කළා.
    එක හුස්මට කියවීගෙන යද්දි, උබට වෙලාව නැහැ කියලා, උබ හේතු හදාගෙන අත් ඇරලා, ඈත් වෙලා ඉන්නෙ බ්ලොග් ලෝකේ කොච්චර ලස්සන දේවල් ලියැවෙනවද කියල මටම හිතුනා.
    පළමුව අපුරු කතාවක ලින්ක් එක දැම්මාට ස්තුතියි බැෂ්ෂී.
    දෙවනුව මම මග හැරපු, මට මග හැරුනු ඒ සුන්දර බ්ලොග් ලෝකය නැවත සිහි කළාට නැවතත් ස්තුතියි.

    බොට ජය !

    ReplyDelete
    Replies
    1. අනේ පල බොරු නොකියා ...අර බ්ලොග් එක වේලෙනවා .උඹට බුකියේ ඉන්න වෙලා තියනවා .එන්න එපා අයෙත් බ්ලොග් ලියන්න හරිය ....(මුන්ට එපා කිව්වම ඒකමනේ කරන්නේ ..හැක් )

      Delete
    2. හිහි තැන්කූ වේවා සෑමෝ...!!

      මට හිතෙන විදියට, බුකිය සහ බ්ලොග් කියන්නෙ එකිනෙකට වෙනස්, එක වගේම "ෆන් ගන්න" පාවිච්චි කල හැකි හොඳ මාධ්‍ය දෙකක්. බුකියේ අපිට ක්ෂණිකව හිතෙන දේ ලේසියෙන් පල කරලා ඉක්මන් ෆීඩ්බෑක් එකක් ගන්න පහසුයි. ඒත් බ්ලොග් ලිපි කියන්නේ ඊට වඩා මහන්සියක් අරන් පල කරන්න ඕනෙ දෙයක්.

      මගේ අදහසට අනුව නම්, කවි, හයිකු වගේ දේවල් වලට බුකිය වඩාත් ගැලපෙනව. දීර්ඝ කවි (මගෙ කලින් පෝස්ට් එක වගේ), කෙටිකතා, කොටස් කතා, වෙනත් දිගු ලිපි වගේ දේවල් වලට වඩාත් ගැලපෙන්නේ බ්ලොග් අවකාශය.

      Delete
    3. අන්න හරි සින්දු ඇනෝ... අන්න ඒ විදියට තමයි මුංගෙන් දෙයක් කරවගන්න පුලුවන් වෙන්නෙ.

      Delete
  9. කියවන්න ගද්දිම පුතයත් ඇවිත් හේත්තුව දැම්මා. බස්සි සංයමෙන් ලියන බව දන්න නිසා කියවන්න දුන්නා. අන්තිමේ අහනවා තේරුම මොකක්ද අවසානයක් නැහැ නේ කියලා. මම කිව්වා හිතලා බලන්න ඕනේ තව ටිකක් කියලා . ආයෙ ඉතින් තේරුම් කරලා දෙන්න කියල යෑ.

    ReplyDelete
    Replies
    1. මං පොඩි කාලෙත් එහෙමයි. අම්මගෙ පොත් කබඩ් එකේ තියෙන ඒවා අරන් හොරෙන් කියවනව. "වනසරණ", "තිත්ත කෝපි", "තේ දල්ලේ කඳුල", "වනවදුලේ වසන්තය" වගේ පොත් ඔහේ කියෙව්වට තේරුමක් නෑ.

      හැබැයි ඒවයින් මං ආසම පොත් වල සමහර කොටස්වල තේරුම හත අට වසරවලදි නැත්නම් ඊටත් පස්සෙ එකපාරට හෙන ගැහුව වගේ තේරුම් යනව. සමහර ඒව එකපාර ඔලුවට එන්නෙ ස්කූල් බස් එකේ යදිදි එද්දි, නැත්නම් බෝරින් පාඩමක් අහන් ඉද්දි, එහෙමත් නැත්තම් නාද්දි. ටොයින්ක් ගාල එකපාරම ඒක ඔලුවට වැටෙද්දි නිකම් චතුරාර්ය සත්‍ය අවබෝධ උනා වගේ හෙන පණ්ඩිතභාවයක් දැනෙනව. හිහි

      Delete
    2. ස්කූල් බස් එකේ යදිදි එද්දි, නැත්නම් බෝරින් පාඩමක් අහන් ඉද්දි, එහෙමත් නැත්තම් නාද්දි. ටොයින්ක් ගාල එකපාරම ඒක ඔලුවට වැටෙද්දි නිකම් චතුරාර්ය සත්‍ය අවබෝධ උනා වගේ හෙන පණ්ඩිතභාවයක් දැනෙනව. හිහි///

      ආයිත් අහලා.. එතකොට නිකං අම්මට සිරි මට මාර මොළයක්නෙ තියෙන්නෙ කියල මටම හිතෙන්නෙ... හි හි

      Delete
    3. මේ ඉන්නෙ අත්දැකීම් සහිත කස්ටිය. ආයෙත් අහලා හිරූ අක්කේ එතකොට කෙලින්ම ආත්මාභිමානයේ පීක් පොයින්ට් එකට නගිනවා නේද?

      Delete
    4. මේ... අර බස් එකේ යද්දී කියද්දී මගේ කට කනේ තිබ්බේ!! මට නම් බාගෙට බාගයක් සර්වර් හිට් වදින්නේ ඔය බස් වල සැපට යද්දී... එතකොට මම කරන විකාරරුපි අංගචලන දිහා බලන් ඉන්න නැහැදිච්ච උන් තමයි මට පේන්න බැරි!

      Delete
    5. ආයෙත් අහලා උපයෝ. අපි වගේ ප්‍රාඥයො තවත් ඉන්නව කියලා දැනගත්තු එකම හිතට ලොකු සහනයක් අෆ්ෆා.

      Delete
  10. වස්තු විශය හා ඒක ගොඩ නගපු රාමුව ඉතාමත් විශිෂ්ටයි. විශේෂයෙන්ම මේ තරම් කෙටියෙන් සම්පූර්ණ කතාවක් ගොඩ නගන එක ලේසියෙන් කෙනෙකුට කරන්න බෑ. බස්සීගේ හකියාවේ මං දකින විශෙෂත්වයත් ඒකයි.
    කතාව පටන් ගන්නකොට මට මතක් උනේ අනෝමා ජනාදරී!.. රිචඩ් ගේ කෝල් එකේ අන්තිමට 'මැඩම්' කියල කියන තැනදි අවසානය මේ වගෙ එකක් වෙයි කියලා හිතුනා.. (මේ කරුණු දෙක කියුවේ ඒ ගැන විශේෂයෙන් හිතන්න.)
    ලියන තරමට හැඩ වැඩිවෙනවා. දිගටම ලියන්න. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. //මේ තරම් කෙටියෙන් සම්පූර්ණ කතාවක් ගොඩ නගන එක ලේසියෙන් කෙනෙකුට කරන්න බෑ.//
      මං වගේ කම්මැලියො බොහොම දුර්ලභයි කලෝ... :P

      තැන්කූ වේවා ඈ... අනිවා! දිගටම ලියමි.

      Delete
  11. නගා, හැමදාම කියන්නා වාගේ උඹ වෙනස් දෙයක් වෙනස්ම විදියකට දැකලා වෙනස්ම විදියකට ලියන්න උපන් හැකියාවක් තියෙන එකෙක්..මිනිස්සුන්ට තමන්ගේ වාසියක් වෙනුවෙන් තවකෙක්ගේ හුස්මක් උදුරගන්න එක සුළුදෙයක්..විශේෂයෙන්ම තරඟකාරී ක්ෂෙත්‍රයක..ඒක උඹ ලිව්ව හැටි බොහොම අපූරුයි..:)

    ReplyDelete
    Replies
    1. හිහිහි.... බොහොම තැන්කූ වේවා තනියා අක්කෝ!!!
      ඔව් අෆ්ෆා මිනිස්සුන්ගේ ආත්මාර්තකාමී වැඩ නම් පීචං ක්‍යාහේ තමා. මේ වගේ ඉන්ඩස්ට්‍රිවල ඒක වැඩියි.

      Delete
  12. මහා දරුණුම දරුණු කතාවක් බස්සි. හේ හේ නැහැ හොඳයි කතාව. මන් දන්නා රුසියානු තරුණියක් හිටිය. හරිම ලස්සනයි. අපේ බැච් එකට වඩා අවුරුදු 4ක් විතර පහල. 91 අග ඇමෙරිකාවේ ඒජන්සියකින් ගත්ත මොඩලින් වලට. ඕක තමා කලේ. කොල්ල ඇඬුව සෑහෙන්න. පස්සේ දෙන්න වෙන්වුනා. ඒකී ඇමෙරිකාවේ ගියා.

    ReplyDelete
    Replies
    1. දරුණුම දරුණුයි කියලා දැක්ක ගමන් බය උනා මං. තැන්කූ හොඳේ... :D

      හ්ම්ම්ම්.... ප්‍රශ්ණෙ ඉන්ඩස්ට්‍රි එක නෙමේ. ඒකෙන් ඒ මිනිස්සුන්ගෙ පෞද්ගලික ජීවිතේට එන හිට් එක.

      Delete
    2. http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/15588-2015-01-31-17-12-01
      බස්සි ඔයාලට ඕනේ නම් ඇත්ත නම දාන්න පුළුවන් - ලිපියේ/කෙටි කතාවේ අගට , එහෙම නැත්නම් තමන්ගේ පුංචි ෆොටෝ එකක් දාන්න පුළුවන් ලින්ක් එක ගාව. (දේශකයාගේ බ්ලොගයේ වගේ පොඩි පින්තුරයක් ) කොපි රයිට් ප්‍රශ්න මග හැරෙන්න. අදහසක් විතරයි.

      Delete
    3. බොහොම ස්තූතියි. ලිපියක් ලංකා නිවුස් වෙබ් එකේ පළ වෙන එක ලොකු සතුටක්.
      :) :)

      Delete
  13. කතාවේ සැකැස්මට මම වැඩියෙන්ම කැමතියි.. මම කොහොමත් කැමති අතර මැදකින් පටන් අරගෙන අග මුල සම්බන්ද වෙන කතා වලටනේ.. ඒ හන්දා මේ සැකැස්ම හොදයි..

    කතාවටම ගැලපෙන පින්තූර ටිකක් සෙට් වෙලා තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. මං බයේ උන්නෙ කතාව අනුභව කරගත්තවත්ද කියලා ෆ්ලෑශ්බැක් දාන්න ගිහින්. තැන්කූ හොඳේ ඉඳිකට්ටා අයියේ...

      මං ඉතින් පින්තූර හෙවිල්ල විතරයි හරියට කොරන්නේ. අර ගෙඹි ඉවානයගෙ "නිල කෙටිකතා පින්තූර සැපයුම්කරු" වෙලා ඉන්නෙ දැන්. :D

      Delete
  14. ලියලා තියෙන විදිහ නිසා කතාව ඇතුලටම කිඳාබැහැලා කතාව ඇතුලේ ජීවත් වුනා වගේ දැනුනා හරිම අපූරුයි.......

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි තුශානි නංගා!!

      Delete
  15. බස්සි.. අක්කෝ.. උබ කොහොමද මේවා ලියන්නේ.. කොහොමද... ඔයා නම් මාරයි.. පුදුමයි.. ඒ තරම් දක්ෂයි..

    මගේ හිත තදින් කම්පනය කරන්න ඔය අකුරු වලට පුළුවන් උනා.. තාම හිතා ගන්න බැහැ.. කතාවේ අන්තිමට මොකක්ද උනේ කියලා..

    ඔයා නම් මාරයි බස්සි.. ඔයාගේ අකුරු කවදාහරි ලෝකේ වෙනස් කරාවි.

    ReplyDelete
    Replies
    1. හම්මෝ ඇති ඇති යකූ! මේ මුරුංගා අතු හයියත් නෑ... :P

      බොහොම තැන්කූ වේවා මොණරි නංගා! :*

      Delete
  16. ෆැෂන් මතක් උනේ... ‌මේ මාතෘකාව සම්බන්ධ කතා කීපයක් බලල තියෙන නිසා මාතෘකාව එච්චර විශේෂයක් නෑ... ඒත් බස්සිගෙ මේ අකෘතිය හොඳයි.. අනිත් එක වචන වල වේගය... ස්ලෝ වෙන්න ඕනෙ තැනදිත්, ස්පීඩ් වෙන්න ඕනෙ තැනදිත් ඒක ගානට තියෙනව... . හැබැයි දෙබස් වල පොඩි මවාපාන ගතියක් මට දැනුනෙ... ඒකත් හරියට බ්ලූ වගේම තමා... සමහර විට මේ නම් අපිට හුරු නැති හින්ද වෙන්නැති... හි හි

    මම මුලින්ම කලේ ගෙදර තිවුනු සිගරැට් පැකට්ටු සියල්ලම කුණු බඳුනට විසි කරන එක. මාර්ක් කට කොණකින් සිනහවෙමින් ඒ දිහා බලා උන්නා.//

    මට කතාවෙ ලස්සනම, බස්සි කියන්න හදන දේ හරියටම වදින තැන මෙන්න මේක... නිල් චිත්‍රපට තාරකාවක් දරුවෙක් වෙනුවෙන් කරන්න ලෑස්ති වෙන කැපකිරීම... ඒ වචන ටිකෙන් දැනෙන හැඟීම විස්තර කරන්න කමෙන්ට් එකක් මදි.. පොතක් ලියන්න වෙනව... හි හි

    ReplyDelete
    Replies
    1. දෙබස් වල ප්‍රශ්ණෙ හිරූ අක්කෝ මේක පොඩි බටහිර ආරක් තියෙන එක. ලංකාවෙ ආරට දෙබස් දාන්නත් පොඩ්ඩක් අවුල්නෙ එතකොට.

      තැන්කූ වේවා හොඳේ. ඇත්තටම අම්ම කෙනෙක් දරුවෙක් වෙනුවෙන් කරන කැපවීම ගැන පොතක් ලියලත් විස්තර කරලා ඉවර කරන්න අමාරුයි නේන්නම්!!

      Delete
  17. මචං පරිවර්ථන කියවන්න මම කම්මැලි නම් මතක හිටින්නෙ නැති නිසා උඔ ලියලා තියන මේ කතාව එල ද බ්‍රා..
    පට්ටයි ඇඩෙනවා තනි ඇහැට.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මෙන්ඩියෝ....!!

      Delete
  18. Replies
    1. ඒ විස්මය සාර්ථකත්වය අරභයා පැන නැගුනක්ද, අසාර්ථකත්වය නිසා නැගුන දුක නිරූපනය කරන්නක්දැයි සිතාගත නොහී ලතැවිල්ලේ හිඳිමි. හික්ස්!

      Delete
    2. ඒ විස්මය මෙතරම් literary සාර්ථක නිර්මාණයක් මා වැන්නෙකුටත් ටිකක් තේරුන එක ගැනය

      Delete
    3. සන්තෝසයි සන්තෝසයි....
      අයියෝ මේක බොහොම සරල සිංහලෙන් ලීව එකක්නේ. ඔන්න අර ශීත පිළිස්සුම් වගේ මඥ්ඥං කතාවක් නම් ටැපලෙන එක සාධාරණයි.

      Delete
  19. රිචඩ් වගේ නරුමයෝ අපේ සමාජෙත් ඕනෑ තරම් ඉන්නවා බං,හරිම ඛේදවාචකයක් කෙල්ලට වුණේ.
    කතාව සංවේදීයි,රස උපරිමයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මනෝ... :)

      Delete
  20. සාර්ථක නිර්මාණයක් බස්සියෝ. . . මාත් කාමරේ ඇතුලේ හිටිය වගේ දැනුනේ... :P

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා කොබා!
      කාමරේ ඇතුලෙ? ඔය කිවුවෙ ඉතින්! :P

      Delete
  21. පිස්සු කොර!

    සමහර ජේද මම කියෙව්වේ නැහැ. දන්නවනේ මගේ ජබර කලන්තේ.... අපොයි මගේ දවස් ගානක නින්ද...

    නිර්මාණය හොඳයි... ඇත්තෙන්ම ගැලපුම නම් අනර්ඝයි!

    ReplyDelete
    Replies
    1. හික්ස්! හා හා. තැන්කූ උපයෝ... <3

      Delete
  22. මාරු නිර්මාණයක් නියමෙට ගලපලා අයෙත් කියන්න දෙයක් න ඉතින්

    ReplyDelete
  23. කියන්න දෙකක්නෑ.. ස්තරම්..

    ජ ය වේ වා !!!

    ReplyDelete
  24. මොකක් හරි දෙකයි පණහේ බාල පරිවර්ථනයක් කියන හැඟීම ඇතුව බලන්න ගත්තු කථාව කියවල ඉවර වෙද්දී හක්ක පාත් උනා.
    පිස්සු හැදෙනවා බස්සි. නිර්මාණ හැකියාව උපරිමයි.
    ජය වේවා....!
    ප.ලි.
    කතාවේ ටොපික් එක නොගැලපෙන බවක් මට දැනෙනවා. එත් එක අල්ලලා දාපං. කතාව හොඳයිනේ... :)

    ReplyDelete
    Replies
    1. නිල් දෙපැත්තට "" කෑලි දෙක දැම්මේ ඒක නිසා වෙන්න ඇති මම හිතන්නේ

      Delete
    2. 66 යි 99 දාල තියෙන එක මම දැක්කා. නමුත් නිල් චිත්‍රපටි එසේත් නැතිනම් බස්සි දක්වන විදිහට කාමොත්පාදක සිනමා ක්ෂේත්‍රයයි, කතාවේ එන නිරුවත් පින්තූර ක්ෂේත්‍රය කියන්නේ දෙකක් විදිහට පැහැදිලි වෙනසක් තියෙනවා කියල මම හිතනවා.
      ඒ දෙකේදී එම ශිල්පිනියන් යෙදෙන ක්‍රියාවන් බැලුවම එකම ඝණයේ දා සළකනවානම් සාධාරණ නැහැ.

      Delete
    3. බොහොම ස්තූතියි ලොකූ!! :)

      අහන්නකෝ. එතන මම කියන්න යනදේ එච්චර පැහැදිලිව ලියවෙලා නෑ වගේ. ඒකයි මේ පුරස්නෙ.

      මෙතන කියන්නෙ නිල් චිත්‍රපට නිලියක් ගැනම තමා. එයාලගෙන් ගොඩක්ම ෆේමස් අය රඟපෑම වගේම ඔය පොපියුලර් මැගසින්වල කවර් පේජ් වලට පෙනී සිටීමත් කරනවා.

      අර ෆොටෝ ෂූට් එකේ කේස් එක එන්නෙ මෙයාගෙ ෆස්ට් ඉන්ටර්විව් එකේදි. ඇත්තටම ඒ ක්ෂේත්‍රයට අවතීරණය වීමේ පළමු පියවර විතරයි නියුඩ් ෆොටෝ ෂූට් එකක් කියන්නෙ.

      පස්සෙ එයාට ලොකු කැපවීමක් කරන්න උනා කියන්නෙ එතනින් එහාට තිබුන ඉන්ටර්විව් ගැන, පාස් වෙන්න කරන්න තිවුන දේවල් ගැන. මගේ ලැජ්ජාවයි අරවයි මෙව්වයි නිසා මම ඒව වැඩියෙ විස්තර නොලියා ශේප් උනා අනේ.

      Delete
    4. උපුල්, ඔව් අනේ අර නිල් කියන එක හයිලයිට් කලේ ඒකයි. හැබැයි මම ලොකුපුතාගෙ කතාවට එකඟයි. මට අමාරුම වැඩේ තමා ලියන ඒවට හෙඩිම දාන එක. මේ හෙඩිමත් සාර්ථක නැහැ නේ.

      Delete
  25. පටන් ගත්තෙ කොහෙන්ද ඉවර උනේ කොහෙන්ද ???
    සුපිරියටම ලියලා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සුසී!!

      Delete
  26. උපරිමයි බස්සියෝ. නියමයි. කියන්න වචන නෑ. අනිත් අය හැමෝම කියන්න ඕනේ දේවල් කියල තියෙන නිසා මම වැඩිය මොනාත් කියන්නේ නෑ. හදවතින්ම සුබ පතනවා තව තවත් මේ වගේ නිර්මාන බිහි කරන්න

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා ලක් අක්කෝ... :)

      Delete
  27. කම්මැලි කම සාර්ථකත්වයට මග පාදයි කිව්වාලූ... ඔක්කොම හොරාට කියවලා නිකන් හිටියට අද නම් කොමෙන්‍ටුවක් දාන්නම ඕනේ හිතුවා... පට්ටයි හොදේ... :-)

    ReplyDelete
    Replies
    1. ආ... කියවලා හොරෙන් යනවා කියල හරි දැනගන්න ලැබුන එකම සතුටක්! බොහොම ස්තූතියි දුල්!

      Delete
  28. බ්ලොගක් කියවන්නවත් වෙලාවක් හොයාගන්න බැරි තරම්... වැඩිපුරම කම්මැලි කම.. ඒ උනාට මේක එක දිගට කියෙව්වා බස්සියේ....

    එළකිරිමැ තමයි....

    ReplyDelete
  29. ඊයේ ගුවනතොටුපල ආසන්නයේ දැඩි මාර්ග තදබදයක දකින්න ලැබුනි..සමරැපොත් අතින් ගත් ගැහැනු ළමුන් කිසියම් කෙනෙකුගෙ පැමිනිම බලාපොරෝත්තුවෙන් දැඩි අව් රෂ්මිය පවා නොසලකා රැදි සිටිනු දක්නට ලැබිනි..
    නිලනාලත් ආරංචි වලට අනුව මෙම යෞවනයා පත්තර බෙදිමට සම්භන්ද බවත් යම්කිසි පානයකට සම්භන්ද බලකායක කැදවුම්කරැ බවත් දැන ගන්නට ලැබිනි.
    කිසිම මාධ්‍යකට හෝ පුද්ගලයයෙකුට මුනගැසිමට ඉඩ නොදි ඔහුගේ කායආරක්ෂකයන් මොහුව ගුවන්තොටුපලින් රැගෙන ගොස් ඇත...මෙම යෞවනයාගේ ප්‍රධාන කාය ආරක්ෂක වශයෙන් නිලධාරනියක් සේවය කරන බව දැන ගන්නට ලැබි ඇත..හැකි ඉක්මනින් මධුපාන උත්සවයක් පවත්වන බවටත් බ්‍රෑන්ඩ් එක ගල් ලෙස දැනුම් දෙන ලෙසත් ඔහු විසින් දැනුම් දි ඇත..

    ReplyDelete
    Replies
    1. හැක හැක.
      පත්තරයා!
      කොයි උන්දැගෙ ෆෝන් එහෙම වැඩ නැද්ද?

      Delete
  30. ටික දවසකින් කියවන්න ආවෙ.හැමදාමත් වගෙ කොහෙන් ලැබුන ප්ලොට් එකක්ද මන්ද සුපිරියි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දමිත්....

      Delete
  31. මේක හරියට පරිවර්ථනයක් වගේ...බස්සි ඉස්සරට වඩා සූර ලියන්නියක් වෙලා දැන්...ඔබේ බ්ලොග් අඩවියේ වසන්තය මේ යැයි මම සිතමි.. ජය !

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම තැන්කූ වේවා සිරා අයියේ...

      Delete
  32. වෙනද වගේම සුපිරි කතාවක් බස්සි. හරිම රහට ලියල. බස්සි ඔය ලියන කතා ඇතුලේ ඉන්න චරිත වලට දාන නමුත් අමුතුයි ලස්සනයි. නිල් අහස යට උර්සුලා, රිදී පාට ආදරේ අල්යෝශා. එකෙත් හරි අමුතු ගතියක් තියෙනව අපි හැමදාම අහන නම් වලට වඩා. ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා මනෝ....
      ඒවා එච්චර හිතල මතක දාන නම් නෙමෙයි. බළලෙකුගේ පරමාධිපත්‍ය එකේ "ඩොමිනික්"ට විතරයි හිතල බලලා නමක් දැම්මේ.

      Delete
  33. මොනවා කියන්නද බන් බස්සියේ..
    මේක කියෝගෙන ගියාම මහා පළපුරුදු කෙටිකාතා කාරියක් ලියපු කතාවක් වගේ තමයි දැනෙන්නේ.
    ලිවීමේ හැකියාව බොහොම අපූරුවට තියෙනවා. කලින් පොත් ලියලා තියෙනවද කියල නම් දන්නේ නැහැ. එත් මේ විදියට සයිබර් අවකාශේ ලියන්න පුරුදු වෙච්ච එක නම් බොහොම වටිනවා.

    -----------------

    කතාව ගැන යමක් කිව්වොතින්...

    මම මීට සති කීපෙකට කලිනුත් ආටිකල් එකක කියෙව්වා බ්ලු වල රඟපාන බහුතරේ ඒ වැඩේ කරන්නේ බොහොම අකමැත්තෙන් මහා වේදනා විඳගෙන බව. මේකත් ඒ බව කියාපාන බොහොම සාර්ථක නිර්මානාත්මක කතාවක්.

    අන්තිමේට කියන්න තියෙන්නේ අපි වෙනුවෙන් මේක ලියපු එකට "ස්තුතියි" කියල තමයි.

    ReplyDelete
    Replies
    1. අයියෝ පිස්සුද විභී! මම පොත් ලිවුවොත් ඒ පොත් විකුණන්න වෙන්නෙ බස් ගානෙ අරන් ගිහින් තමා. මං කරන්නෙත් කලාවට කොහෙත්ම සම්බන්ධයක් නැති ජොබක්. මේක මගේ පුංචි විනෝදාංශයක්.
      :)

      හ්ම්ම්ම්.... ඒක ඇත්ත. ඉන්ඩස්ට්‍රි එකේ තියෙන අමානුෂික බව නිසාම හැමෝම හරිම පහසුවෙන් අමතක කරනවා ඒ ඉන්නෙත් "මිනිස්සු" කියලා. බොහොම ස්තූතියි විභියෝ...!!

      Delete
  34. කාලෙකට පස්සෙ මේ හ්ම් සද්දෙ අහන්න ගොඩ වුණේ.වෙස් වෙච්චි හඩක් එක්කයි බස්සිව හම්බ වුණේ.ඒ වෙනසත් රසයි.පට්ටම රසයි.ගැහැණියෙක්ගෙ නිරුවත කියන දේ කොච්චර මාර්කට් ද කියන එක මේ තියෙන මානුෂික අමානුෂික කතා අස්සෙ අපූරුවට මතු වෙනවා.ඒ ගැන බෙදා ගන්න පුළුවන් සමාජයක ඒක සල්ලි කරන්න දීලා ආදරය වස්සන ආදරණිය සැමියෙක් වගේම ඒ නිරුවත දිහා වෙනස් වූ වනචර හැගීමකින් විකුණන ව්‍යාපාරිකයෙක් .....

    අපූරුයි ඒත් අපි හරි අවාසනාවන්තයි බස්සි මේ සිස්ටම් එක ඇතුළෙ අපිට හම්බ වෙන්නෙ රිචඩ් විතරයි.මාර්ක් වගේ පිරිමි ඉද හිට හරි හිටියොත් උට අපි පිම්පියා කියයි.එහෙම නැත්නම් පොන්නය කියයි.උර්සුලා වුණත් මාර්ක් කෙනෙක්ගෙන් ඔය විදිහෙ අවසරයක් ගත්තොත් පහුවදා ඉදලා මාර්ක් එක නිදා ගන්න දරුවො හදන්න හීන මවන එකක් නැහැ.ඔහුව පෞරශයක් නැති කෙනෙක් විදිහට හංවඩු ගහයි.ඒත් සමාජය බස්සිගෙ උර්සුලා සහ මාර්ක් ඉන්න තරමට පොහොසත් වෙනවනම් රිචඩ්ලව ඩිලීට් වෙයි කියලා කියන්නත් බැහැ.කිසි දෙයක් හොදයි කියල වෙන් කරල කියන්නෙ කොහොමද නරක දෙයක් නැතිව....

    වෙනද වගේම රහ ලිවිල්ලක්.

    ReplyDelete