මම බැල්කනියෙන් පල්ලෙහාට නැමිලා පෙණහළු පිරෙන්න දිග හුස්මක් ගත්තා. පහළ පිච්ච වැලේ අලුතෙන් පිපෙන සමන්පිච්ච මල්වල සිහින් සුවඳ පෙණහළු පහු කරගෙන ගිහින් හදවතට තට්ටු කරනවා. හදවතේ දොරගුළු විවර වෙලා දෝරෙ ගලන්නෙ පිච්ච සුවඳ මුහු වුන සුවඳ මතකයක්.
අ ම් මා
අම්මා වැඩිහරියක් ඇන්දෙ ලා නිල් පාට. මේ වගේ හැන්දෑ වෙලාවට අම්ම අඳින ලා නිල් පාට කිමෝනාවෙ තිවුනෙ සුදු පාට චූටි මල් මෝස්තරයක්. අම්මගෙ ළඟින් ඉද්දි දැනුනෙම පිච්ච මල් සුවඳ. ජැස්මින් විලවුන් නිසාම නෙමෙයි, අම්මා හිනාවෙනකොටත් මට අම්මව පෙනුනෙ අහිංසක පිච්ච මලක් වගේ.
ඒ කොයිතරම් කාලෙකර ඉස්සරද ?
මට පිච්ච වැල යට මැලවිලා, බිම වැටිල තියෙන ලා දුඹුරු පැහැයට හැරවුනු පිච්ච මල් දිහා බලන්න බෑ. ගර්භාෂයේ පිළිකාවකින් මාස එකොළහක්ම පීඩා විඳපු අම්මගෙ සුදු මූණ අන්තිම කාලෙ මැලවිච්ච සමන්පිච්ච මලක් වගේ රැලි වැටුනා. ඒත්, අර ජැස්මින් සුවඳ අම්මව බලන්න ගිය හැම වතාවකම මට දැනුනා.
බේත් ගඳ උතුරන වාට්ටුවක කොයින්ද ජැස්මින් විලවුන් සුවඳ !
සමහරවිට ඒ මගෙ හිතට දැනෙන සුවඳක් වෙන්න ඇති.
අම්මගෙ මළගෙදර වැඩ බොහොම සාරෙට කෙරුන. ඒ දවස් හතරෙ අපේ ගෙදර පත්තර කාරයො, ටී.වී. කාරයො වැහි වැහැලා. අප්පච්චිගෙ මෙගා නාට්‍යවල රඟපාන රෝස පාට නළු නිළියන්ගෙන් අපේ මිදුල පිරිල ඉතිරිලා ගිහින් තිබුන. අම්ම ලෙඩ උනාට පස්සෙ ටෙලි නාට්‍යයක්වත් බලන්න ඉස්පාසුවක් නොතිබුන නිසාම මම ඒ අයගෙන් බොහොමයක්ව අඳුන ගත්තෙත් නැහැ. එයාල නම් පේලියට ඇවිදින් බොහොම සීරුවට මගේ කම්මුලට කම්මුල තියන ගමන් අහකට හරවාපු තොල් දෙක අතරින් තොත්තුවක හඬ පිටකලා. දවස ඉවරවෙනකොට ඒ කම්මුල් ඇතිල්ලිල්ලයි, තොත්තු හඬයි මට තිත්ත වෙලා තිවුනෙ.
මං පුංචි කාලෙ තාත්තව හැබැහින් දැක්කෙ සති කීපයකට සැරයක්. හැබැයි තාත්ත නිතරෝම රූප පෙට්ටිය ඇතුලෙ ඉඳන් අපිත් එක්ක හිනා වුනා. ඉස්කෝලෙදි උනත් තාත්තා නිසා මම හිටියෙ තරමක් ආඩම්බරෙන්. ඒත් තාත්ත කොයිම වෙලාවකවත් ගෙදර නැති එකයි, ඉඳහිට නන්නාඳුනන අංක වලින් කෙරෙන දුරකතන ඇමතුම් ගැනයි, ඒ දීර්ඝ දුරකතන සංවාද අවසානයේ ඔසරිපොටෙන් හංගාගන්න හදන අම්මගෙ හීන් ඉකිබිඳුමයි මගෙ පුංචි හිතට මහා බරක් වගේ දැනුනා.
“ටාරා ගර්ල් . . . . . . . මගෙ අලුත් කමර්ෂල් එක ශෙයාර් කලා යූ ටියුබ් එකේ. . .
බලන්න හොඳද කියලා. . . .”
හිමාෂි අක්කාගෙ කෑගැහිල්ලත් එක්ක තිගැස්සුනු මම පියවි ලෝකෙට වැටුන. දම් පාට ගොම්මන් අන්දකාර ඇතිරිය හාත්පස වසාගෙන පැතිරිලා. මම හැඟීම් දැනීම් නැති එකෙක් වාගේ ටැබ් එක ඕන් කලා.
ලා කොල පාට තණකොල පිට්ටනියක එරමිණිය ගොතාගෙන සීරුවට බොඩිලෝෂන් තවරන හිමාෂි අක්ක ඇත්තටම ලස්සනයි. එයා ඇඳන් ඉන්න සුදු පාට පුන්චි තුවාය නිසා සිරුර පුලුවන් තරම් නිරාවරණය වෙන්නෙ මේක බොඩි ලෝෂන් වෙළඳ දැන්වීමක් වීම නිසාම වෙන්නත් බෑ. ත්‍රිමාණ සජීවීකරණය කල පාට පාට සමනල්ලු ඈ වටේ කැරකෙනව.
*******
තත්පර කිහිපයක් ඇතුලේ සිත මෑත අතීතයට දිව ගියේ මටත් හොරෙන්.
“උත්තරා. . . . . . .”
“උත්තරා. . . . . . .”
තාත්තගෙ කටහඬ අමුතුයි.
තාත්තා කෙල්ලන්ගේ සිහින කුමාරය වුන දවස්වල මිනිස්සුන්ව වශී කරගත්තු කටහඬ, ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් වුනාට පස්සෙ කණ්ඩායම හසුරවා ගත්තු ගැඹුරු කටහඬ, අම්මත් එක්ක රණ්ඩු උන දාට වහලෙ උළු දෙදරන්න බැන අඬගහපු නපුරු කටහඬ, අම්මගෙ මලගෙදරදි කතාවක් පවත්වනකොට සිහින් වෙවුලුමක් රැඳුනු දුබල කටහඬ. . .
ඒත් අද තාත්තගේ කටහඬ ඒ හැම දවසකටම වඩා අමුතුයි.
“ඇයි තාත්තා ?”
“මෙහෙන් ඉඳගන්න.”
අපිට මීට කලින් ඉඳගෙන කතාකරන්න දේවල් තිබුනෙ නෑ මට මතක තරමින්. අම්මගෙ රිපෝට්ස් පොසිටිව් බව පවා මම තාත්තට දැනුම් දුන්නෙ දුරකථනයෙන්. ඒ තරමටම රටේ මිනිස්සුන්ගේ සිහින තාරුකාව පායලා තිබුනෙ අපිට ලං වෙන්න බැරි තරම් ඈතින්.
තාත්තා නිහඬවම මගෙ මූණ දිහා බලන් උන්නා. හරියට සම්මුඛ පරීක්ෂණේකට ආපු ආධුනිකයෙක් දිහා බලනවා වාගෙ. තාත්තගෙ ඇස් ලා දුඹුරු පාටයි. පත්තර කාරයෙක් දවසක් ලියලා තිවුනා ඒ ඇස් මන මෝහනීයයි කියල. ඒත් මෙතැන, මේ මොහොතෙදි මට ඒ ඇස් දිහා බලද්දි දැනුනෙ මහ ගුප්ත බවක්.
“මම දන්නවා උත්තරා අම්මා නැතුව සාංකාවෙන් ඉන්න බව.”
දීර්ඝ නිහැඬියාව බිඳිමින් තාත්තා කඩහඬ අවදි කලා.
“හෙට ඉඳන් හිමාෂි ඒවි මෙහෙ නවතින්න.”
හිමාෂි? අහලා පුරුදු නමක්. ඒත් ඒ කොහේදිද කියන්න හරියටම මතකයක් තිබුනෙ නැහැ.
“කවුද හිමාෂි ?”
“අහල නෑ. . . ? පුදුම ළමයෙක්නෙ ! මේ පාර මිස් ශ්‍රී ලංකා වුන කෙල්ල. මතක නැද්ද?
මගෙ අලුත් ඩ්‍රාමා එකේ මේන් කැරැක්ටර් එක කරන්නෙ එයා.”
“හ්ම්ම්. . . . හා.”
හිස වැනීමකින් තාත්තාට පිළිතුරු දෙන අතරෙම මම ගූගල් හරහා හිමාෂිව හඳුනා ගත්තා.
පහුවදා උදේ ආහාර ගන්නා අතරෙ නිකමට අතට ගත්තු ටැබලොයිඩ් පත්තරේක මුල් පිටුවෙ හිටපු හිමාෂිව දුටු සැනෙන් හඳුනාගන්න මට හැකිවුනා.. එයා අඟල් දෙක තුනක ලෙදර් සායකුයි, ඒකට ගැලපෙන ලෙදර් ජැකට් එකකුයි ඇඳලා අහසට වෙඩි තියන්න වගේ අභිනයක් දක්වමින් යටි තොල යාන්තමට හපාගෙන දිලිසෙන ඇස් වලින් බලන් උන්නා. විවර වුනු ජැකට්ටුව අතරින් පේන තද රත් පැහැ තනපටය නිසා ඇගේ පිරුණු ලැම පෙදෙසේ රෝස සුදු පැහැය වඩාත් ඉස්මතු වී පෙනුනා. තද රතු උස බූට්ස් යුගලය ඇගේ හැඩැති දිගු දෙපයට මනාව ගැලපුනා. සැබැවින්ම ඇගේ රුව නෙත් ඇදගන්නා සුළුයි.
‘අවුරුදු විසි එකක් වගේ පොඩි වයසකදි මම ආ ගමන ගැන ඇත්තෙන්ම මම තෘප්තිමත්.’
ඇගේ රූපයට පහලින් විශාල ඝන අකුරෙන් මුද්රණය වී තිවුනා.
“හායි හිමාෂි අක්කා.”
මම ඇගේ රූපය දෙස බලාගෙන මිමිණුවා.
හිමාෂි අපේ ගෙදර නැවතුනා. අමුත්තන් වෙනුවෙන් වෙන් කල කාමර දෙකක්ම තියෙද්දිත් ඇය අම්මාගෙ කාමරේ නවාතැන් ගැනීම ගැන මගෙ හිතේ කොනක පුංචි කහට පැල්ලමක් තැවරිලා තිවුනා. නමුත් වචනෙකින්වත් ඊට එරෙහි නොවුනු තාත්ත ගැන නම් හිතේ ඇතිවුනේ අපුලක්.
හැමදාමත් උදේට තාත්තත් එක්කම ගෙදරින් පිටත් වෙලා දවස් ගණන් අතුරුදහන් වෙන හිමාෂිව ආශ්‍රය කරන්න වෙලාවක් ලැබුනේම නැති තරම්. කොහොමත් මම කැමති වුනේ ගල් පරයකට ඇලුන කාවාටියෙක් වාගෙ කාමරේ ඇතුලට වැදිලා කල්පනා කරකර ඉන්න. විභාග ප්‍රතිඵල නිකුත් වෙනකම් ගොඩක් අය එක එක විදියේ පාඨමාලා හදාරන්න ගියත් ඒ ගැන මට කිසිම උනන්දුවක් තිබුනේ නැහැ. උනන්දු කරවන්න කෙනෙක් හිටියෙත් නැහැ.
ඇමතුමක් ආ බව දන්වමින් ජංගමය නිකුත් කරන කම්පනයන් ඇඳේ හාන්සි වෙලා හිමාෂි අක්කා රඟපාන අලුත් වෙළඳ දැන්වීම නරඹන මගෙ මුලු සිරුරටම සම්ප්‍රේශණය වෙන්න ගත්තා. මම ඉක්මනින්ම ඇමතුමට පිළිතුරු දුන්නේ ජංගමයේ කම්පනයන් සිරුරේ ඇදෙන එක දරාගෙන ඉන්න අපහසු වූ නිසයි.
“හායි ටාරා,”
ජානුගේ කිංකිණි ස්වරය ඇහුනේ කාලෙකින්.
“ඔන්න රිසාල්ට්ස් එනවලු. උඹ හෙට කීයටද එන්නෙ?”
“ඕක එස්.එම්.එස්. එකකින් ගෙන්න ගත්තැකිනේ ජානු. පිස්සුවටද නිකම් පෙට්රෝල් පුච්චගෙන කොලේජ් යන්නෙ?”
“මොට්ට මෝඩි ! උඹව බලන්නත් ආසයි කෙල්ලේ ඒකයි එන්න කිවුවෙ. ඔන්න අනිවා වරෙන් හොඳද!” ජානුගේ උච්ච ස්වරය සීනුවක් වගේ.
“බලන්නම්කෝ.”
“බලල බෑ. උඹ කොයිවෙලාවකවත් ඔන්ලයින් ඇත්තෙත් නෑ. මැට්ටි. අපි තිබ්බා එහෙනම්. ටේක් කෙයාර්. බායියා. . . .!”
*******
පහුවදා ඉස්කෝලෙ ගිහින් එනකොට මගෙ හිත බරවෙලා තිවුනෙ ප්‍රතිඵල සටහනේ තිවුන සී එකයි, එස් දෙක දැකලා නෙමෙයි. අල්ලපු පන්තියේ මාධවීයි, දේදුනුයි ළඟට ඇවිත් අහපු උත්තර නැති ප්‍රශ්ණයක් නිසා;
“ඇත්තද මචන් උඹලගෙ තාත්තයි අර මිස් ශ්‍රී ලංකා වෙච්ච හිමාෂියි ලිවින් ටුගෙදර් කියන්නෙ? පෙරේදා ගොසිප් සයිට් එකක තියෙනව දැක්ක.” දේදුනුගෙ කට කොනක ඇඳුනෙ උපහාසය මුසු වුන සිනහවක්.
“වට්?? හව් ඩෙයාර් යූ?”
මට කියාගන්න දෙයක් මතක් වුනේ නෑ.
“වරෙන් උත්තරා අපි යමු. මම උඹව ගේ ගාවින් ඩ්‍රොප් කරන්නම්.”
ජානු හැමදාමත් වගේ මගෙ හිත කියෙවුව. කෙල්ලන් රංචුව අතරින් හිනාවක් පුපුරා යන හඬ ඇහිලා මාව ගේට්ටුව ගාවට ඇදගෙන යන අතරෙ ජානු පසුපස හැරී ඔරවලා බැලුවා.
*******
ගේට්ටුවෙන් ඇතුල්වෙනකොටම බැල්කනියට රැස්වෙලා උන්නු තාත්තගෙ මිතුරු මිතුරියන්ගේ සිනා හඬ මුහුවෙච්ච කතා බහ ඇසෙන්නට වුනා. විසිතුරු රිබන් සැරසිල්ලකින් අලංකාර කර තිවුනු තරප්පු පෙල දිගේ මම ලහිලහියේ ඉහළ මාලයට දිව ගියේ කුතුහලයෙන්.
“මෙන්න එනවා මගෙ ලිට්ල් ඒන්ජල් !”
තාත්තා වම් අතෙහි වූ අයිස් දියවීගෙන යන බීර වීදුරුව ඉහලට ඔසවමින් කිවුවා. සිය දකුණත හිමාෂිගේ බඳ වටා යැවූ ඔහු සැනෙන් ඇයව තමා දෙසට ඇද ගත්තා.
තාත්තා මගේ විභාග ප්‍රතිඵල වෙනුවෙන් සාදයක් සූදානම් කරලා. ඒත් තාත්තට ආඩම්බර වෙන්න පුලුවන් විදියෙ විභාග ප්‍රතිඵලයක් මට නැහැ නේද කියල හිතෙනකොට මගෙ උගුර හිරවෙනවා වගේ දැනුනා.මට කියාගන්න දෙයක් හිතාගන්න බැරි වුනා.
“අ. . . අ සර්ප්‍රයිස් පාර්ටි ?”
වදන් පටලැවුනේ නොදැනුවත්වම.
“ම්හ් හ්ම්ම්. . . . අ බිග් සර්ප්‍රයිස් ෆෝ යූ ඩාලිං”
තාත්තා මගේ පිටට තට්ටුවක් දමමින් මිතුරන් දෙදෙනෙකුට මාව හඳුන්වා දුන්නා.
තාත්තා. . .
“උත්තරා, වයි ඩෝන්ට් යූ කෝල් අන්ඩ් ආස්ක් යුවර් කියුට් ෆ්‍රෙන්ඩ් ටු ජොයින්. මොකද්ද එයාගෙ නම. . . . චානු. . . නෑ නෑ ජානු නේද?” තාත්තා ඉදිරියට බරවෙලා දෙදණ මත අත් තබාගෙන කතා කලේ කවදාවත් නැති සැහැල්ලුවකින්.
තාත්ත මට මෙච්චර ආදරෙයි කියලා මම කවදාවත් හිතුවෙ නැහැ.
. ඒත්. . . ......................
“වී ගොට් එන්ගේජ්ඩ් ඩාලිං. හිමාෂි ඇන්ඩ් ඩැඩී ගොට් එන්ගේජ්ඩ්.” සිය දකුණත හිමාෂිගේ බඳ වටා යැවූ ඔහු සැනෙන් ඇයව තමා දෙසට ඇදගනිමින් කිව්වා .
දෙවියනේ ...අම්මගේ රූපේ ඇස දෙකේ ඇඳිලා බොඳ වෙද්දී , මගේ ඇස් ඉදිරියේ අසෙනි අකුණු එළි දිවයනකොට ඇස් දෙකෙන් වැස්ස කඩාහැලෙන්න කලින් මම කාමරේට දිවුවා.
තාත්තා මගේ විභාග ප්‍රතිඵල වෙනුවෙන් සාදයක් සූදානම් කරලා. ඒත් තාත්තට ආඩම්බර වෙන්න පුලුවන් විදියෙ විභාග ප්‍රතිඵලයක් මට නැහැ නේද කියල හිතෙනකොට මගෙ උගුර හිරවෙනවා වගේ දැනුනා.මට කියාගන්න දෙයක් හිතාගන්න බැරි වුනා.
“අ. . . අ සර්ප්‍රයිස් පාර්ටි ?”
වදන් පටලැවුනේ නොදැනුවත්වම.
“ම්හ් හ්ම්ම්. . . . අ බිග් සර්ප්‍රයිස් ෆෝ යූ ඩාලිං”
තාත්තා මගේ පිටට තට්ටුවක් දමමින් මිතුරන් දෙදෙනෙකුට මාව හඳුන්වා දුන්නා.
තාත්තා. . .
“උත්තරා, වයි ඩෝන්ට් යූ කෝල් අන්ඩ් ආස්ක් යුවර් කියුට් ෆ්‍රෙන්ඩ් ටු ජොයින්. මොකද්ද එයාගෙ නම. . . . චානු. . . නෑ නෑ ජානු නේද?” තාත්තා ඉදිරියට බරවෙලා දෙදණ මත අත් තබාගෙන කතා කලේ කවදාවත් නැති සැහැල්ලුවකින්.
තාත්ත මට මෙච්චර ආදරෙයි කියලා මම කවදාවත් හිතුවෙ නැහැ.
. ඒත්. . . ......................
“වී ගොට් එන්ගේජ්ඩ් ඩාලිං. හිමාෂි ඇන්ඩ් ඩැඩී ගොට් එන්ගේජ්ඩ්.” සිය දකුණත හිමාෂිගේ බඳ වටා යැවූ ඔහු සැනෙන් ඇයව තමා දෙසට ඇදගනිමින් කිව්වා .
දෙවියනේ ...අම්මගේ රූපේ ඇස දෙකේ ඇඳිලා බොඳ වෙද්දී , මගේ ඇස් ඉදිරියේ අසෙනි අකුණු එළි දිවයනකොට ඇස් දෙකෙන් වැස්ස කඩාහැලෙන්න කලින් මම කාමරේට දිවුවා.
බස්සි ලියූ වෙනත් කතා :
1. අළු සහ ගිනිපුපුරු
2. යුනිකෝඩ් සිහින
3. හුදෙකලා මියැසිය
4. ඉරයි - මමයි
මොනාද මැට්ටියෝ කියන්නේ.. කතාව හොදයි..
ReplyDeleteතැන්කූ දේශෝ.... ^_^
Deleteමේ කතාව අභව්‍යයි.. මම හිතන්නේ රෙබෙකාගේ මරණය ප්‍රශ්තුතය කරගෙන වෙන්න ඇති ලියන්න ඇත්තේ.. ඒත් අද කාළේ ඒ ලෙවල් රිසල්ස් එනකන් බලාගෙන ඉන්න කෙල්ලෙක් කියන්නේ බබෙක් නෙමෙයි. අනික අම්මත් ඉන්ඩස්ට්‍රී එකේ ඉන්න ළමයි පොඩි කාළෙම ඔක්කෝම කතන්දර දන්නවා.. ඒක නිසා අවසානය දැනෙන්නේ නෑ.. ඉන්ඩස්ට්‍රිය ගැන නොදන්න කෙනෙකුට හොඳ කතාවක් වෙන්න පුළුවන්..
ReplyDeleteමම ආස උඹේ පිස්සු කතා වලට.. ඒවා මීට වඩා සෑහෙන ඉදිරියෙන් තියෙනවා..
//""අද කාළේ ඒ ලෙවල් රිසල්ස් එනකන් බලාගෙන ඉන්න කෙල්ලෙක් කියන්නේ බබෙක් නෙමෙයි"// වෙන්න පුළුවන්, හැබැයි මේ වගේ වටපිටාවක් තියෙන පවුලක එහෙම කෙනෙක් ඉන්නත් පුළුවන්, මොකද මම පෞද්ගලිකව දන්න මේ ක්ෂේත්‍රයට සම්බන්ධ පවුලක අම්මා කිසිසේත්ම කැමැත්තක් දැක්වුවේ නෑ ,දරුවන් මේ පැතිකඩ දකිනවට , ඇය ඔවුන්ව හංගගෙන වගේ හැදුවේ . ඇත්තෙන්ම ඒ කාලේ හැටියට අපිත් හිතුවේ මුන් පව්ඩර් බබාලා වගේ කොහොම ඉඳියි ද දන්නේ නෑ කියලා . ඇත්තටම ඒ ක්ෂේත්‍රය ගැන අපි තරම් දෙයක් වත් උන් දැනගෙන හිටියේ නෑ .
Deleteඋත්තරා මෙච්චරම බොළඳ නොකලානම් මාතේ විසින් ක්ලැසිපයි කරපු අභව්‍ය ගතියෙන් මේ කථාව බේරාගන්න තිබුනා කියලාය මට නම් හිතෙන්නේ. බොළඳ නොවෙන්න, ඉන්ඩස්ට්‍රියේ ඉන්නම ඕන නෑ. අද තරුන පරම්පරාව මීට ඇඩ්වාන්ස් නේද? අම්මාට තියෙන ආදරය වගේම ගෙදර සිදුවෙන අනිත් දේවල්වලත් ස්වභාවය උත්තරාට මීට වඩා තේරෙනවා කියන සාධාරනය ඉෂ්ට කරන්න තිබුනා කියාය මටනම් හිතෙන්නේ...
Delete@ මාතලන්
Deleteකතාවේ මොකද්දෝ අඩුවක් වගේ දෙයක් මටත් දැනෙනවා. හැබැයි කතාව අභව්‍යයි කියන එක මට පිළිගන්න අමාරුයි. මොකද ඔය ඇඩ්වාන්ස් කියන පරම්පරාවේ මේ වගේ බොළඳ කුලකයක් දැකලා, ආශ්‍රය කරලා තියෙන නිසා. හැබැයි මේ වගේ විචාර තමයි මට වටින්නේ. කියෙවුවා - හිතෙන දේ කෙලින්ම කිවුවා. එල!
@ පවුලූශා
Deleteමගේ අත්දැකීම් අනුවත් යොවුන් පරම්පරාවෙ ඉස්සරට වඩා පරිණත අය වගේම මේ වගේ කාමරේ ඇතුලෙ ජීවිතේ හොයන "බබා ටයිප්" ළමයිනුත් ඕනෑ තරම්.
@ චෙෆාකි
Deleteවර්තමාන යොවුන් පරම්පරාවෙ කාමර ඇතුලට කොටු වෙලා, එෆ්.බී. එකෙන්, ගොසිප් සයිට් වලින් ලෝකෙ දකින ළමයි නැතුවාමත් නෙමෙයි චෙෆාකි. චරිතය ගොඩනගනකොට අඩුපාඩු සිදු වෙන්න ඇති, මොකද මටත් පේනව කතාවේ හිස්තැනක්. ස්තූතියි අදහසට. :)
ඇත්ත සිද්ධියක් දන්නවා මේ හා සමානව යන.
ReplyDeleteලස්සනට ගලපලා තියෙනවා.
ස්තූතියි ස්තූතියි නුවර කුමාරියෝ.....
Deleteහරිම හැගීම් බරයි... ඔවු එක කියන්නම ඕනි :/
ReplyDeleteතැන්කූ මලයා.
Deleteබක්සි ගේ පික්සු කතාවලට වඩා වෙනස් රටාවක්, හැබැයි උඹේ පිස්සු රටාවේ සහ සංවේදී රටාවේ සංකලනයක් තමයි මේ තියෙන්නේ ,
ReplyDeleteමේ ආකෘතියේ කතාවලට උඹ හොඳ ප්‍රවේශයක් මේ අරන් තියෙන්නේ, මොකද එකම රටාවකට කොටු නොවීමත් සුවිශේෂී දක්ෂතාවයක්.
//එකම රටාවකට කොටු නොවීමත් සුවිශේෂී දක්ෂතාවයක්.//
Deleteමමත් ඒ අදහස ගැන විශ්වාසය තියන කෙනෙක්. ඒ නිසයි බැරි බැරියේ උනත් වෙනස් වෙනස් රටාවන්ට ලියන්න උත්සාහ කරන්නෙ. උඹලගෙන් ඒකට ලැබෙන සහය ගොඩක් වටිනවා ඉතින්.
ඉර පායා ඉර අවරට යන්න එපා
ReplyDeleteසඳ පායා සඳ අවරට යන්න එපා
පෑදි දියට බොර දිය එක්වන්න එපා
අම්මා නැති අපට බඩගිනි වෙන්න එපා
කරල් කඩා වෙල් උඩ යන ගිරවු න්නේ
පිපි මල් සොයා වන උඩ යන බමරු න්නේ
පතැස් පොකුණු පැන් නානා සේරු න්නේ
අපෙ අම්මා දැක්කොත් කියව් අනේ
මල්ලියි මමයි අකුරට ගොස් එන කල ට
බඩගින්නක් ආවයි මගෙ කුස තුළ ට
බත් ඉල්ලා ගෙන යන්නේ කා ළග ට
යමන් මලේ අම්මා වැළලූ තැන ට
- ජන කවි -
++++++++++++++++++++++++++
Deleteයකො හිත නතරවුනා
Deleteබිලිඳුනේ දරුවනේ මගේ පැලෙත් රජ මැදුරේ... //
Deleteඅම්මා පෙව් කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැඩවුනේ
හැඩ වෙවී රස පිරීතිරි ලොවක් නළවන සේ
අම්මා පෙව් කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැඩවුනේ
කිරි තොල් හමුවේ ඔබ පෙවු කිරි වල
සිරුරේ ලේ වැල් මල් දැරුවා
ඒ පෙව් කිරි වල පව් අරවන්නට
අම්මේ මදි මම පිං කෙරුවා
ඔබගේම දරුවන් රජුන් කරන්නට
හැඩුවාය සිහිනෙන් පවා
පුර හඳ පායන පුන් පෝ දා
රහසින් රහසින් ඔබ හැඩුවා
ඉන්නා තැනක ඉද පුතුනේ කියා මට
අමතන්න එන්නම් සොයා
පත්තරේ ඒ ගමන ජනකවියෙන් පසුබිම් සංගීතය සපයනව වගේ. තැන්කූ හොඳේ. :))
Deleteසින්දු ඇනෝටත් ස්තූතියි. :))
පත්තර මලයන්ඩි සින්දු ඇනෝ දිපිය පෝටෝ දෙකක් ගෙදර ගහගන්න
Deleteවෙනස් හැඟීම්බර කතාවක්..ලස්සන්ට ලියල තියේ..
ReplyDeleteස්තූතියි සංචාරකයෝ
Deleteවෙනදා වගේම බස්සිගේ ආවේනික රටාව තියෙනවා ඔක්කොම තේරෙනවයි කියලා හිතනවා එත් බොළඳයි....... මේක තමයි අද සමාජේ....... කතාව එක හුස්මට කියෙව්වකි ..... ඒ කනිසා මම කැමතියි
ReplyDeleteතැන්කූ තැන්කූ මැලේ
Deleteමටනම් ඇත්තටම මඤ්ඤන් වගේ, මුලින්නම ඔබ කිමෝනාවක් ගැන කියලා අපිව ජපානයට එක්කන් යනවා, ඊළඟට සිංහල නම් එක්ක ජපානෙන් ලංකාවට එනවා, ඊළඟට ගෙදර අම්ම නැතිවෙලා තාත්තා පණපිටින් හිටියත්නෑ වගේ දුක සතුට බෙදාගන්නවත් කවුරුත් නැතිව තනිවෙන ගෑනු ළමයෙක් ගැන දිග කතාවක් යනවා, ඔය අස්සේ මේ තාත්තා රටේ ප්‍රසිද්ද නළුවෙක්, ඉතින් මේ තාත්තා අම්මා මලාට පස්සේ තමන්ගේම දුවගේ වයසට පොඩ්ඩක් සමාන ළමයෙක්ව බැඳ ගන්නවා, ඒ ළමයාගේ යාලුවෝ ළමයට විහිළු කරනවා, එකත් දුවගේ විභාගේ ප්‍රතිපල එන දවසේ, දුව ගෙදර එනකොට තාත්තා බැඳලා පාටි දානවා, දුව හිතන්නේ සප්‍රයිස් පාටියක් කියල, එත්........................................
ReplyDeleteඒ සමාජය තුල සිදුවෙමින් වෙමින් ගලා ගෙන යන සරල සිද්දි ටිකක්, අක්කා වර්ණ ගන්වලා. අක්කගේ මනුස්ස චරිතයක් එකිනෙකට වෙනස් සිද්දි දාමයකින් වර්ණ ගන්නපු විදිය හරිම අපුරුයි ඒ කොටස නම් මම රස වින්දා
//තාත්තා කෙල්ලන්ගේ සිහින කුමාරය වුන දවස්වල මිනිස්සුන්ව වශී කරගත්තු කටහඬ, ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් වුනාට පස්සෙ කණ්ඩායම හසුරවා ගත්තු ගැඹුරු කටහඬ, අම්මත් එක්ක රණ්ඩු උන දාට වහලෙ උළු දෙදරන්න බැන අඬගහපු නපුරු කටහඬ, අම්මගෙ මලගෙදරදි කතාවක් පවත්වනකොට සිහින් වෙවුලුමක් රැඳුනු දුබල කටහඬ. . .//
ඇත්තටම මේ කොටස කතාව තුල මට හයිලයිට් වෙනවා, එක කතා ඇරෙන පිට පැනලා කතාවට කවි කලාවක් ගෙනාවා, ඇත්තටම පට්ටම රහයි ඒ කෑල්ල. එකම මනුස්සයාව තමන් බලන විදිය අනුව, බලන්න කලින්ම එළබෙන නිගමනය අනුව ඕනා විදියට හැඩ ගන්වන්න පුළුවන් හරියටම රත් වෙච්ච යකඩයක් වගේ කතාවකට. බලන්නකෝ මේකත්
සුදු සහ කළු
ඊළඟට අක්කා කතාවේ මුල්ම අම්මගේ කිරි සුවඳ මල් සුවන්දකට සමාන කරලා, ඒ මල් සුවඳේ අතරමන් වෙච්ච ළමයෙක් ගැන කතාකරනවා. මට කිමොනාවත් එක්ක ජපානයට ගියේ මම එක්කකරී නිසා වෙන්න පුළුවන්, මොකට කිමෝනාව=ජපානය නේ මට නම්. එක මගේ දුබල කමක් වෙන්න පුළුවන්. අනිත් සිදුවීම් දාරාව මට නම් සරලයි. එත් තනිකර කතාවම අක්ක කියලා, පාටකයට තියෙන්නේ කතාව කියවලා නිගමන වලට එන්න මිසක් මොකුත් අමුතුවෙන් හිතන්න දෙයක් නෑ, ඉතින් තමන් දාගත්ත කන්නාඩියෙන් කතාව කියෙව්වම ඒ කණ්ණාඩියේ පාටට පෙරිලා එන වරනත් එක්ක කතාව අවසානයේ නිගමන වලට එන්න කාටත් පුළුවන්. ඉතින් මගේ කන්නාඩියෙන් දැකපු හැටිය තමා මේ, හැබැයි අක්කගේ යුනිකෝඩ් සිහින කතාව මීට වැඩිය පට්ටම රහයි මට නම්.
කමෙන්ට් නම් සොමියා - සොමියා නම් කමෙන්ට් !!
Deleteඔයා කතාව ඇතුලෙ ජීවත් වෙලා මේ විදියට ඒ ගැන ෆීල් වුන දේ කියනකොට මාරම සතුටක් දැනෙනවා මල්ලි. ඔයාට ප්‍රශ්ණයක් වුන එක පුංචි තැනක් නිරාකරණය කරල දුන්නොත්; කිමෝනාව කියන ඇඳුම සමහර පලාත්වල මැදි වයසේ වගේ ගැහැණු උදවිය ගෙදරට අඳිනවා. ඒක නිකම් හවසට නයිට්ඩ්‍රෙස් එකයි හවුස් කෝට් එකයි අඳින්නෙ, අන්න ඒ විදියට හැන්දෑවට අඳින සැහැල්ලු ඇඳුමක්. පෙනුම එක වගේ උනාට ජපන් කිමෝනාවට වඩා වෙනස් මම හිතන්නෙ.
ඔව් ඔව්. මටත් මේ කතාව ඒ තරම් හිතට වැදුනෙ නෑ, අඩුවක් පේනවා. එක දිගට ලියාගෙන යන්න විවේකයක් නොතිබුන නිසා වෙන්න ඕන.
තැන්කු තැන්කු පර්ශ්නේ විසඳලා දුන්නට :D
Deleteසොමියා කමන්ටුව එල ද බ්‍රා.
Deleteමේ වගේ කතා බටහිර ලෝකෙන් නම් අහන්න ලැබුනා.. ඉන්දියාවේ උනත් තිබ්බ.. නමුත් ලංකාව කොච්චර පිරිහිලද කියල තේරෙනවා දැන් දැන් නිව්ස් වල දකින මේ වගේ මීට සමාන කතා දකිනකොට..
ReplyDeleteලංකාවේ මේ වගේ කතා දැන් දුලබ නෑ අඟහරුවෝ. මාධ්‍ය වලට විතරයි ඒවා මැජික් විදියට පේන්නෙ.
Deleteඋඹ මුලින් ඇද්ද හුස්මේ සමන්පිච්ච මල් සුවද මාත් වින්දා බස්සියෝ , වෙනස්ම ආරෙක කතාවක් ...
ReplyDeleteඇයි මම... හැක්..
Deleteතැන්කූ තැන්කූ ශානු අක්කටයි දේශාටයි දෙන්නටම.
Deleteකතාව කහල තියෙන සමන්‍යකරනය වුන එකක්.එත් උබ එක ලස්සනට ගලපල තියෙනව.සොමිය කියන්න වගෙ තාත්තගෙ කටහඩ ගැන කියපු ටික මිනිස්සුන්ගෙ රගපැම් ගැන හොද විචාරයක්
ReplyDeleteඋත්තරාගෙ තාත්ත විතරක් නෙමෙයි දමිත් අද කාලෙ අපි හැමෝම හිරවෙලා ඉන්නෙ එක්තරා විදියක රෝල් ප්ලේ එකක. ගෙදරදි එක විදියක්, ඔෆිස් එකේ එක විදියක්, මිතුරන් අතරෙදි තව විදියක්. . . හා නැද්ද
Deleteඅහෝ දුකකි ඉරකි තිතකි.
ReplyDelete‘අවුරුදු විසි එකක් වගේ පොඩි වයසකදි මම ආ ගමන ගැන ඇත්තෙන්ම මම තෘප්තිමත්.’ (තෘප්තිමත්වෙන්ඩම එපෑ...)
හැක් හැක්...
කවදත් වගේ අදත් කියන්නේ මරේ මරු බස්සියා....
තැන්කූ තැන්කූ දිලා.
Deleteහම්මේ... හැඟීම් බර කතාවක්.. ලස්සනට ලියවිලා තියනවා...
ReplyDeleteස්තූතියි සිහින සිත්තම්. . . .
Deleteඅපිට කොහෙන්ද ඉතිං බූල් බල්ලෝ තමා.. ;) මරු කතාව....
ReplyDeleteනාඩියෝ, Don't worry, your sweetheart may not be born yet !! :P
Deleteයකෝ කෙටිම කෙටි කිවුවට මම ලියනවටත් වැඩිය දිගයිනේ කතාව.. හෙහ්..
ReplyDeleteකතාව එල.. මුලම කතාව ලියද්දී තිබ්බ අඩුපාඩු දැන් සෑහෙන්න මඟ ඇරිලා ගිහින් තියෙන්නේ.. ඒ ගැන සතුටුයි..
දිනේෂ් අයියා වගේ අත්දැකීම් ඇති කෙනෙක්ගෙන් කෙටිකතාවක් ගැන මේ විදියෙ කමෙන්ට් එකක් ලැබෙනකොට ඇත්තටම මාර සතුටුයි.
Deleteකෙටිම කෙටියෙන් ලිවුවට ආපහු කෑලි එකතු කරද්දි කතාව දිග උනානෙ.
Hemadama vage niyamayi bassi... Ada samajaye sulaba prashnayak. Daruvage drushtiyen liyapu eka hondayi....
ReplyDeleteතැන්කූ තැන්කූ කුරුට්ටියෝ..... දැන් බිසී වෙලාද කාලෙකින් මුකුත් නොලිවුවෙ?
Deleteඔය ක්ෂේත්‍රයට අදාලව මෙහෙම ඒවා නොවෙනවා කියලා හිතන්න බෑ බං!
ReplyDeleteකතාව ලස්සනයි බස්සියො, විශේෂෙන්ම අර තාත්තා මෑන්ගෙ කටහඬේ කතන්දරේ නම් එළටම වැදුනා!!
තැන්කූ තැන්කූ ප්‍රියෝ
Deleteසුපිරි කතාව බස්සි අක්කේ. සුපිරියටම වැදුනා. ඔයාගේ හැකියාව නම් කියල වැඩක් නැහැ. බස්සි අක්කට ඔනම විදියක කතාවන් ලස්සනට නිර්මාණය කිරිමේ හැකියාව තියනවා. මෙක මල් හතයි!!!!!!!!!!!!!!!!!!!!!
ReplyDeleteගොඩක් ස්තූතියි අදහසට. ඔයා නම් ආසම "බස්සිගේ ආදර අන්දරය" කියවන්නනේ නේද... :)
Deleteදූලාගෙ හැඟීම් මමත් දන්නේ එව්වාම 3 ක් ඉන්න නිසාය. එහෙම වුනාම මේවා දැනෙනවා වැඩිය.
ReplyDeleteබස්සිට පළමුවෙනි කමෙන්ට් එක ඈෑෑ. අර Fun with Science Category එකනම් මරැ ඈෑෑ.
සාදරයෙන් පිළිගන්නවා බස්සිගේ නවාතැනට විසිටර් V !!
DeleteFun with Science ලිපි මාලාවට මොකුත් ලියන්න බැරි වුනා කාලෙකින්. මතක් කල එකත් හොඳයි. ආයෙ ඒකට මොනවහරි ලියන්නෝන.
එල බස්සි එල ද බ්‍රා..නියමයි මචං
ReplyDeleteතැන්කූ මෙන්ඩියා !
Deleteඇත්ත ලෝකේ මේ විදියෙ දේවල් සිදු නොවෙනවාමයි කියන්න බෑ.
ReplyDeleteහ්ම්ම්ම් හ්ම්ම්ම්.... :)
Deleteම්ම්ම්....හොද ඉට්ටෝරිය.......
ReplyDeleteනමුත් ඉක්මන් වෙලාද මන්ද........ නැත්නම් වෙන ආරකට ලියන්න ගත්ත උත්සහයක් වෙන්න ඇති......
නමුත්....... හැමදාම අපට ලියන ආකාරයටම කොටු නොවී ....වෙනස් විදියට කෙටියෙන් ...... පණිවිඩ දෙන එකට ...මම මාර ලයික්.....
එබැවින් මං ....... හෙක්...හෙක්.... මේකට උඹට දෙන්නෙ ............................... 99.999% .... මේ ලකුණු....
වෙනස් ආරකින් ලියන්න උත්සාහ කල නිසා වෙන්නැති. තැන්කූ කෙන්ජයියේ. . .
Delete0.001% කැපුවේ අකුරු කැතයි කියලා නේ කෙන්ජයියේ???
Deleteමට නම් ලස්සනයි යශෝ කතාව.අමාවක පුරහඳ කියන නමත් හරිම ලස්සනයි.
ReplyDeleteඇත්තටම හිමාෂි තාත්තාට හඳක් වුනත් උඹට හඳක් වෙන එකක් නැති වේවිනේ.ඉතින් දැන් උඹට හැමදාම පුරහඳ කළුවර තමයි...:(
උඹ = උත්තරා වෙන්න ඇති නේද?
Deleteතැන්කූ මනෝ....
යේස්,එහෙම තමයි...:)
Deleteකතාව නම් එල බස්සි ..කෙටි කිව්වට හැක් ..
ReplyDeleteතැන්කූ සහෝ. . . .
Deleteහා ඇයි කතාව කෙටි වැඩිද? :P
කතාවත් කියෙව්වා. ප්‍රතිචාරත් කියෙව්වා. මෙන්න මගේ අවංක හැඟීම.
ReplyDeleteබොළඳ බව ගැන කිව්වොත්... ඔව් මීට වඩා බොළඳ ළමයි ඕනෙ තරම් ඉන්නවා. ඒ අය අපිට මුණ ගැහෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.
කතාවේ genre එක. ඔව් ඒක වෙනස්. මමත් කැමති වැඩියෙන්ම බස්සිගේ ජීවන අත්දැකීම් විස්තර කෙරෙන සරල වින්දනයක් ඇති ලිපි වලට. ඒක මගේ පෞද්ගලික කැමැත්ත. නමුත් එයින් අදහස් වෙන්නේ නෑ බස්සි එකම විදියෙ ලිපි රටාවකට කොටුවෙලා ඉන්න ඕනේ කියලා. අපි ඉඳිආප්ප කන්න ආසයි කියලා හැමදාම උදේට ඉඳිආප්ප කන්නේ නෑනේ.
එහෙම කලත් ඒකත් ප්‍රශ්ණයක් වෙනවා. තමන්ට ලේබල් වදිනවා. තමන්ව විනිශ්චය වෙනවා. (I wanted to say we are judged by what we write.) එතකොට අර මල ගෙදර ගිය විකට නළුවට වෙච්ච වැඩේ වෙන්න පුළුවන්.
දැන් මම පරිවර්තනය කරන කතා වලට හුඟ දෙනෙක් කැමතියි කියලා මම හිතනවා. නමුත් පරිවර්තනයට මම එච්චර කැමති නෑ. මම කැමති ස්වනිර්මාණ වලට. ඒ වගේම මම එක එක විදියට ලියන්න කැමතියි විවිධත්වයට කැමතියි. ඒ නිසා මම කිසිම වරදක් දකින්නේ නෑ බ්ලොග් රචකයෙක් විවිධත්වය සොයා යාම ගැන.
රිප්ලයි පමා උනාට සමාවෙන්න ඕන හොඳේ....
Delete// අපි ඉඳිආප්ප කන්න ආසයි කියලා හැමදාම උදේට ඉඳිආප්ප කන්නේ නෑනේ.// සහතික ඇත්ත. එකම විදියේ ලිපි ලියද්දි කොහොමත් කම්මැලි හිතෙනවනේ.
මට අවුල් තැන් දෙකක්.
ReplyDelete1. "ඇය අම්මාගෙ කාමරේ නවාතැන් ගැනීම ගැන"
අම්මා ලෙඩ නිසා වෙන කාමරයක සාත්තු සේවා ලබමින් සිටියා කියමු, නමුත් ඇයි හිමාෂි සහ ඇගේ වියපත් බඹරා කාමර දෙකක නිදා ගන්නේමාස්ටර් බෙඩ් රූම් එකේ නැතුව?
2. "අයිස් දියවීගෙන යන බීර වීදුරුව"
බියර්වලට අයිස් දාලා බොනවාය කියා මං මේ ඇහැව්වාමයි! ඕක පෙන ඉතිරෙන බියර් වීදුරුව කිවා නම් තමයිගැලපෙන්නේ.
//බියර්වලට අයිස් දාලා බොනවාය කියා මං මේ ඇහැව්වාමයි!//
Deleteවරද පෙන්වාදීම ගැන ස්තූතියි කකා. :)