Monday, September 26, 2016

මොනවාද ඔබ මොනවාද ඔය කියන්නේ?




ලවණ බිඳු ඇහිපිය අතර තවරා දුවන තෙත් මුහුදු සුළඟකි
ඔබේ කෙහෙ කැරැල්ලක අගිස්සෙන් මගේ ගෙල සෙමෙන් කිතිකැවෙන්නේ
රළුම රළු අත්ලතක මුදු රෝස පෙති ඇඟිලි තිය තියා
මොනවාද ඔබ මොනවාද ඔය කියන්නේ?


"ඔව් ඉතින් ඔයා කවි ලියන්නේ නෑ තමයි
කිව්වාම මොකද අර රතු වළාකුලත් කවියක් වගෙයි
කැන්වසය මත ඇඳෙන හැම ඉරක තිතකමත්
පින්සලෙන් වෑස්සෙන වර්ණ තලියක වුනත්
හැංගිලා තියෙන්නේ නොලියාපු කවියක අපැහැදිලි හෙවනැලියි"


රළ නැගෙන - යළි බිඳෙන'යුරු දැක පොල් කරටි කම්පාවෙනි
එයින් කමටහන් ගත් මුහුදු ළිහිණින් බවුන් වඩන්නේ
දල කටුක අමිහිරක කිරි සිනා පුබුදුවන්නෙමි කියා
තනියෙන්ම ඔරු බඳක් දියඹට ඇදෙන්නේ....


“අපි කැමති පාටත් – කෑම බීමත් එකමයි
රැවුල නැත්නම් හැබැයි මං චේට, ෆිදෙල්ට අකමැතියි

පොඩි ගෙයක් හදාගමු, සඳැල්ලට මූද පේන මානේ අපී
මමත් පර්මනන්ට් දැන් – ලෝන් ඇප්ලයි කරන්නත් හැකී
ඉන් පස්සෙ හැමදාම අතින් අත පටලාන උන්නැකී”


කෙසඟ කළු පොඩි කොලුවෙක් – හිම වළස් සුරතක ඇඟිල්ලක එතෙයි
තුරුණු යුවළක් සෙවණැලි අතර සැඟැවේ 
නළලතට අත තියා මුහුදට ඔරවා, ධීවරියකද අර පෑල දොර අඩවල් කරන්නේ
තරුණියක් මද අඳුර අතරින් මතුවේ – ලාබ විලවුන් ගඳක් වැදිවැදී, නැහැ තුඩග කෙවෙන්නේ....


හිරු ගිලී අවසන්ය. 
දැන් මුහුදු දිය ගොජ දදා උණු වෙනවද?
නැතිනම් ඉරත් නිවුනිද?
පපුව තුල උණු රුහිරු පැහෙන්නේ
දහසකුත් එකක් පැන බුබුලනය වෙවී ඉහලට ඇදෙන්නේ....


“අනේ ළමයෝ කතා නැතුවම ඉඳල ගොළුවෙයි
ඔයාටත් එක්ක මම කතා කරනවනෙ ඒකත් මදැයි

කාරෙකයි – පොඩි ගේකුයි
පොඩි පැටව් තුන්දෙනෙකුයි

මේක මහ පුදුමයක්! නැද්ද මං අහන්නේ?
අපි හිතන – අපි පතන හැමදේම එක වගෙයි!”


ලවණ බිඳු ඇහිපිය අතර තවරා දුවන තෙත් මුහුදු සුළඟකි
ඔබේ කෙහෙ කැරැල්ලක අගිස්සෙන් මගේ ගෙල සෙමෙන් කිතිකැවෙන්නේ
රළුම රළු අත්ලතක මුදු රෝස පෙති ඇඟිලි තිය තියා
මොනවාද ඔබ මොනවාද ඔය කියන්නේ?





Wednesday, September 21, 2016

තොරණෙන් බැස සිල්ගන්නා මකරු – "මකර තොරණ"





සාහිත්‍ය මාසය සහ කියවීමේ මාසය වෙනුවෙන්, අලුත් පොත් ගැන පෝස්ට් කිහිපයක් එකතු කරන්නයි බලාපොරොත්තුව.


“2016 වසරේ නිකුත්වුන හොඳ කෙටිකතා පොත් මොනවද?” මම පහුගිය දවසක ‘පොත් කියවන අය’ FB සමූහයෙන් ප්‍රශ්ණයක් ඇහුවා. ප්‍රභාත් ජයසිංහගේ මකර තොරණ කෙටිකතා පොත ගැන මම මුලින්ම දැනගන්නේ එවිටයි.


‘මකර තොරණ පොත කියවන්න. මම ඒකෙන් අදහස් කරන්නේ එහෙව් කෙටිකතා නොකියවන ඇස් මොකටද වගේ දෙයක්’ කාංචනා අමිලානි කියද්දි, ‘මකර තොරණට තරු පහක්’ දෙන්නට පුළුවන් බව කීවේ සිතුවිලි සිතූගේ පොත්කාවා.


මකර තොරණ කෙටිකතා හතකින් සමන්විතයි. කෙටිකතා රචනයට අදාළ සම්මත රාමු සහ ආකෘති නවා අඹරා නව්‍ය හැඩයක් දෙන්නට ප්‍රභාත් ගෙන ඇති උත්සාහය ප්‍රශංසනීයයි. එකම ආකෘතියක සිර නොවී කතා හත ඒවාට ගැලපෙනම, එකිනෙකට වෙනස් ආකෘතීන් ඔස්සේ ගෙනහැර පෑම නිසා පොත අතින් බිම තියන්නට නොහිතෙන එක සාධාරණයි.


මගේ ප්‍රියතම කෙටිකතාව ‘හොකී විතවුට් ස්ටික්ස්’. සිවිල් වැසියන් ඉලක්ක කර පුපුරුවාහරින ලද ත්‍රස්ත බෝම්බ ප්‍රහාරයකින් මරුමුවට පත්, සිංහල, දමිල සහ මුස්ලිම් හොකී ක්‍රීඩකයන් පිරිසක් වසර විසිපහකට පසු මරණයෙන් අවදි කරවන්නට සිතීමම ඔහුගේ විස්මිත පරිකල්පන හැකියාවට සාක්කි!


වස්තු බීජ හතම එකකට එකක් නොපරදින සුළුයි. වෙන කිසිම කෙටිකතාකරුවෙකුට හසු නොවුණු බැවින් පිළුණු සුවඳින් විනිර්මුක්තයි. නැවුම් සහ ආශා දනවන සුළුයි.


අතිශය නූතන ආකෘතීන් ඇතුලත හරඹ පාන අතරේම, පැරණි ජාතක කතා ආකෘතියෙන් කෙටිකතාවක් දිගහරිමින් ප්‍රභාත් කියන්නේ ‘ගණන් නම් ගණන් – ඉලක්කම් නම් ඉලක්කම් – ඔය කොයිකත් මට ටොයිස්’ කියලාවත් දැයි මට හිතුනා.

මගේ රේටින්ග් එක තරු පහෙන් පහයි!


පොතේ නම – මකර තොරණ
කතෲ – ප්‍රභාත් ජයසිංහ
ප්‍රවර්ගය – කෙටිකතා
ප්‍රකාශකයෝ - සරසවි


ප.ලි.

2016 වසරේ හොඳම නවක නිර්මාණකරණය වෙනුවෙන් ගොඩගේ සාහිත්‍ය සම්මානය දිනූ මගේ ඉතා කෙටි කලබලය, කවිපොත් සල්පිලෙන්, සම පොත් කුටියෙන්, සයුර කුටියෙන්, ප්‍රභා කුටියෙන් සහ ගොඩගේ කුටියෙන් ලබාගන්නට පුළුවනි.




Friday, September 16, 2016

පම්පෝරි සහ කයිවාරු




ඇත්තටම නම් මේක ස්තූතියක්, දැනුවත් කිරීමක් සහ සතුට බෙදාහදාගැනීමක්. හැබැයි ඒ වගේ අරමුණකින් ලියැවෙන ලිපියක් වුනත් සිරිලංකන් ස්ටැයිල් එක ඇතුලේ “පම්පෝරි සහ කයිවාරු” විදියට හඳුනා ගන්න ඇති ඉඩකඩ වැඩියි.


පසුගිය අගෝස්තු නමවැනිදා 2016 වසරේ ගොඩගේ සාහිත්‍ය සම්මාන උළෙලේ අවසාන වටයට නිර්දේශිත ග්‍රන්ථ නාම ප්‍රකාශයට පත් කලා. එහි කාව්‍ය කැටගරිය යටතේ මගේ පළමු කෘතිය දක්නට ලැබීමම මට මහත් සතුට දනවන කාරණයක් වුනා.




ගොඩගේ සාහිත්‍ය සම්මාන උළෙල පසුගිය නමවැනිදා, ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වුනා. එහිදී මගේ ප්‍රහර්ෂය දෙගුණ කරවමින්, “වසරේ නිර්මාණශීලීම නවක දායකත්වය – කාව්‍ය” සම්මානය හිමිකරගන්නට ‘ඉතා කෙටි කලබල සිහින’ සමත්වී තිබුනා.




“ඉතා කෙටි කලබල සිහින” එලිදැක්වූයේ පහුගිය දෙසැම්බරයේ. කුඩා කාලයේ ඉඳන් ලිවීමට ඇල්මක් දැක්වුවත්, ඒ නිර්මාණ ජනතාව අතරට ගෙනයාම මට මගහැරී තිබුනා. කලා ක්ෂේත්‍රයට සම්පූර්ණයෙන්ම පරිබාහිර අංශයකින් උසස් අධ්‍යාපනය ලැබීම එයට හේතු වෙන්නට ඇති.


එහෙව් නිර්මාණ ජනතාව අතරට ගෙනයන්නට මට උදව් වුනේ මේ බ්ලොග් අඩවිය. තව තවත් ලියන්නට දිරි දුන්නෙත්, බ්ලොග් අවකාශයේ සිට අන්තර්ජාලයේ තව තවත් වේදිකාවන් වෙත මා මෙහෙයවූයේත්, ෆේස්බුක්, ඉන්ස්ටා, ට්විටර අතර සිරවෙනට යන මාව කන්කෙටියෙන් අල්ලාගෙන නැවතත් බ්ලොග් අඩවිය මතට දක්කාගෙන එන්නෙත්, ආදරණීය ඔබ.


ඉතින්, මේ මල් මිට, ඔබට!


‘ඉතා කෙටි කලබල සිහින’ මරදාන ගොඩගේ පොත්මැදුරෙනුත්, නුගේගොඩ සරසවි පොත් හලෙනුත් ලබාගන්නට පුළුවනි.


දුර පලාත්වල වෙසෙන ඔබට, www.bookurbook.lk වෙබ් අඩවිය හරහා පොත ඇනවුම් කර ගෙදරටම ගෙන්වාගන්නටත් පුළුවනි. මීට අමතරව, යුරෝපීය රටවල්වල වාසය කරන ඔබට ‘සත්පොත්’ හරහා පොත ඇනවුම් කර ගෙන්වාගන්නට හැකිවේවි.


සැප්තැම්බර් 16 සිට 22 දක්වා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශණයේත් ‘ඉතා කෙටි කලබල සිහින’ ගැවසෙනවා. සන්ථව ප්‍රකාශකයන් විසින් පවත්වන ‘කවිපොත් සල්පිල’ කුටියෙනුත්, ‘සම’ ප්‍රකාෂකයන් (කුටි අංක: K308), ප්‍රභා ප්‍රකාශකයන් (කුටි අංක: D179), සයුර ප්‍රකාශකයන් (කුටි අංක: L407)  සහ ගොඩගේ කුටි වෙතිනුත් ‘ඉතා කෙටි කලබල සිහින’ මිලදී ගන්නට පුළුවනි.




පොත ගැන ඔබේ අදහස් දැනගන්න ගොඩක් කැමැත්තෙන් ඉන්නේ. පාඨක සම්මානයට අලගු තබන්නට හැකි වෙනත් සම්මානයක් ගැන මම දන්නේ නැහැ.



Wednesday, September 14, 2016

ඇඳට නගින්නට පෙර - 2 කොටස



ඇඳට නගින්නට කලින්, නින්ද වෙනුවෙන් ඔබේ මනස සූදානම් කරවන්නට ගත්හැකි පියවර පහක් ගැන මම කලින් පෝස්ටුවේදී කතා කලා. ඒ වගේම, තවත් පොයින්ට්ස් පහක් ගැන පැය හතලිස් අටක් ඇතුලත පල කරන බවට පොරොන්දුවකුත් වුනා.


අපේ පොරොන්දු ඡන්ද පොරොන්දු වගේ නෙමෙයිනෙ. ඉතින් මම පොරොන්දුව ඉටු කරන්නයි හදන්නේ.


පළවෙනි කොටස නොකියවපු ළමයි ඉන්නවද? යන්න යන්න. මෙතනට ගිහින් කලින් දවසෙ පාඩම කියවගෙන එන්න.


6. පාද සත්කාර




පාද සත්කාර, එහෙමත් නැත්නම් පෙඩිකියු කියන්නේ පුංචි පුංචි ටූල්ස් කිහිපයක් භාවිතයෙන් ඔබට ගෙදරදීම කරගන්නට පුළුවන් දෙයක්. 


මම බැලුවේ ගෙදරදි පෙඩිකියු එකක් කරගන්න විදිය කියලා තව පෝස්ටුවක් තලාගන්න මේක හොඳ චාන්ස් එකක් නේද කියලා. නියම අදහස! පියවරෙන් පියවර පාද සත්කාරයක් කරගන්නා විදිය ඉදිරියේදී ලියන්නම්.



7. අඳුරට ඇස් හුරුකරන්න




නින්දර පෙර තීව්‍රතාවයෙන් වැඩි ආලෝකයන්ට ඇස් නිරාවරණය කිරීම ඒට් හරම් හොඳ පුරුද්දක් නෙමෙයි. අඳුරු නිදන කාමරයේ ඉඳන් ෆෝන් එකේ, ටැබ් එකේ ආලෝකය දිහා එක එල්ලේ බලාගෙන ඉන්න එකෙන් වෙන්නේ ඔබේ නින්ද ප්‍රමාද වෙන එකයි.


ඒ නිසා නිදි මුඩ් එක ගන්න, ඇඳට යන්න මද වෙලාවකට කලින් විදුලි පහන්වල ආලෝකය අඩු කරන්න. 


8. ඉටිපහන්




ඉටිපහන් ආලෝක සත්කාරයටත්, සුවඳ සත්කාරයටත්, එක සේ අදාල කරගන්නට පුළුවනි.


ඉටිපහන් එලිය නිසා මනස ඉහිල් වෙනවා. ඒ වගේම ඉටිපහන් එලියෙන් ඔබේ මනස නින්දට සූදානම් කරවීමකුත් සිදුවෙනවා.


ලැවැන්ඩර් සුවඳ, කුරුඳු සුවඳ, කෝපි සුවඳ ඉටිපන්දම් මිලදී ගතහැකියි. මේවා ගෙදරදී හදාගන්නත් පුළුවනි.


9. සුවඳ සත්කාර




ලැවැන්ඩර් සුවඳ ආතතිය දුරු කරන්නට ඉවහල් වෙන බව විද්‍යාත්මක පර්යේෂණ මගින් අනාවරණය වෙලා තියෙනවා.


නින්දට පෙර ඇඳ ඇතිරිලිවලට අදාල සුවඳ විලවුන් (pillow mist) ස්වල්පයක් යෙදීම හෝ වාෂ්ප ලෙස ‘essential oils’ වාතයට මුදාහැරෙන ‘oil diffuser' එකක් භාවිතා කිරීමෙන් මානසික ආතති තත්වයන් සමහන් කරගත හැකියි.


10. සංගීත සත්කාර




ඉහිල්වීමේ සංගීත ප්‍රතිකාර බොහොම ජනප්‍රිය මාතෘකාවක්. වෙහෙසපත් මනසට සහනයක් ලබාදෙන ඉහිල්වීමේ සංගීත ඛණ්ඩ අන්තර්ජාලයෙන් ඔබට නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්නටත් හැකියි.


ටෙම්පෝ එක අඩු සංගීත ඛණ්ඩවලින් අපේ හදගැස්මේ වේගය අඩු කෙරෙන බවත්, ක්‍රමක්‍රමයෙන් නින්දට ගැලපෙන වේගයක් දක්වා හදගැස්ම සුසර කිරීමක් සිදුවෙන බවත් විද්‍යාත්මක පර්යේෂණයන් මගින් අනාවරණය කරගෙන තියෙනවා.



ඕවා තමයි බසු නින්දට ඉවහල් වෙන tips සහ tricks.

ඔයාල ළඟත් මේ වගේ නින්දට උදව් වෙන රහස් වට්ටෝරු තියෙනවද? බෙදාගන්න ළමයෝ බෙදාගන්න! නින්ද කියන්නේ මේ ලෝකෙ තියෙන වටිනාම දේවල්වලින් එකක් නෙව!




Monday, September 12, 2016

ඇඳට නගින්නට පෙර – 1 කොටස



වැදි බණ කියල තියෙනවද? නැත්නම් වැදි බණ අහල තියෙනවද? අද මම කියන්න යන්නෙ බණක් වුනත් වැදි බණක්නම් නෙමෙයි, මමත් පිලිපැදලා, යහපත් ප්‍රතිඵල ලැබෙන බවට ප්‍රත්‍යක්ෂ කරගත් බණක්. නින්දට කලින් ඔළුව ඉහිල් වෙන්න කරන්න පුළුවන් දේවල් කිහිපයක්.


මගේ sleeping habits කියන එව්වා ගැන කතා කරල වැඩක් නැහැ. ඒ තරමටම කුජීතයි. ගොඩක් දවස්වලට ෆෝන් එක උඩ, ෆේස්බුක් යන අතරෙදිත්, ලැප් එක උඩ, ෆිල්ම් එකක් බලන අතරෙදිත් මට නින්ද ගිහින් බව දන්නේ බෙල්ලේ, කොන්දේ අමාරු එක්ක පහුවදා උදේට ඇහැරෙනකොට.


පහුගිය කාර්තුවේ දිගින් දිගටම අබලන් වේගෙන වේගෙන ආපු සෞඛ්‍ය තත්වයත් එක්ක, මටත් නිකමට හිතුනා මේ රටාවෙ වෙනසක් කරන්න. මේ තියෙන්නේ මම අත්හදා බලපු වෙනස්කම් ලැයිස්තුවක්.


1.හෙට දවසට සූදානම




පහුවදාට ඔෆිස් අඳින ඇඳුම් මැදලා, උදේට උයන්න උවමනා අඩුම කුඩුම ලෑස්ති කරලා, වාහනේ ඔයිල්, වතුර චෙක් කරලා අහවර කරලාම බලන්න ඕනෙ එතකොට ඔළුවට දැනෙන සහනය. ඔළුවෙ තියෙන ලොකු බටක් අයින් උනා වගේ හැඟීමක් දැනේවි.


2.ඇඳ අස් කරන්න.




ඔයාගෙ ඇඳ උඩත් ගෙදර තියෙන සබ්බ සකලමනාවම ගබඩා කරලා තියෙනවද? රෑ දෙගොඩහරි ජාමෙ phone/laptop charger බෙල්ල වටේ එතිලා හුස්ම හිරවෙන්න යද්දි ඇහැරිලා තියෙනවද? 


එහෙනම් කරන්න තියෙන හොඳම විසඳුම තමයි මේක. ඇඳ උඩ තියෙන අනිත් ලට්ට ලොට්ට සේරම අස් කරන්න. ඇතිරිලි, පොරෝණා, කොට්ට මෙට්ට ගසලා, රැලි ඇරලා පිලිවෙලක් කරන්න. එතකොට පැනපු ගමන් නිදාගන්න ආසාවක් හරි එනවනෙ.


3.උණු තේ කෝප්පයක්/ පළතුරු බීමක්




නින්දට යන්න සූදානම් වීමේ මුල් පියවරක් විදියට කරන්න පුළුවන් තවත් දෙයක් විදියට, උෂ්ණ දවසකදී නම් පළතුරු බීමක්, සීතල දවසකට උණු තේ කෝප්පයක් පානය කරන එක ශරීරයට ඉහිල් වෙන්න පහසුවක් වේවි.

(මුල් පියවරක් කියන්නේ, නින්දට පැයකට දෙකකට කලින් කල හැකි දෙයක්.)


4. කියවන්න




මුලින්ම කියන්න ඕනෙ, මේ ක්‍රමය ‘පොත් කාවුන්ට’ නම් සුදුසු නැහැ. 

විශේෂයෙන්ම මීට කලින් නොකියවාපු අලුත් පොතක් කියවන්න ගන්නකොට. ඒත්, සාමාන්‍ය කියවන්නන්ටනම් පොතක් එක්ක විනාඩි කීපයක් ගත කරන එක මනස සන්සුන් කරගන්න හොඳ ක්‍රමයක්.


5. උණු වතුරෙන් ඇඟ සෝදාගන්න




නිදිමත දැනෙන්නේ සිරුරේ උෂ්ණත්වය පහළ බැහැලා පරිවෘත්තීය ක්‍රියාවල වේගය අඩු වීමත් සමගයි. නින්දට කලින් මද වෙලාවක් උණු වතුරෙන් ඇඟ සෝදා ගැනීම මේ උෂ්ණත්ව වෙනස ඇතිකරන්න ඉවහල්වෙනවා.


උණුසුම් ජලය මගින් රුධිර නාල විස්තාරණය කිරීමක් සිදුවෙනවා. එහි ප්‍රතිඵලයක් විදියට, දවසේ රාජකාරිවලින් වෙහෙසපත් මාංශපේශි වෙත රුධිර ගලනය වඩා හොඳින් සිදුවෙනවා. එවිට ඔක්සිජන් සැපයුම වේගවත් වෙලා මස්පිඬුවලට සහනයක් දැනෙන්නට ගන්නවා. එයත්, නින්දට වැටීම පහසු කරන්න උපකාර වෙනවා.



ලැයිස්තුව දිගයි. pointsම දහයක් තියෙනවා. දිගට කියවගෙන යන එක කම්මැලි වෙයි කියල හිතුන නිසා මම හිතුවා පෝස්ට් එක මෙතනින් දෙකට කඩන්න.


දෙවැනි කොටස පැය හතලිස් අටක් ඇතුලත පල කරන්නම්.



ප.ලි.

තවත් පොයින්ට්ස් පහක් ගැන පැය හතලිස් අටක් ඇතුලත පල කරන බවට මම පොරොන්දුවක් වුනා. මතකනෙ.


අපේ පොරොන්දු ඡන්ද පොරොන්දු වගේ නෙමෙයි. මෙන්න දෙවෙනි කොටස!



Thursday, September 8, 2016

ඉන්දික සහ බාර්-පූසෝ





ඉන්දික ගුණවර්ධන ගැන නොදන්නා කෙනෙක් මේ සයිබර් අවකාශයේ නැතිව ඇති.


ඔහු, මා දුටු නිර්මාණශීලීම මිනිසුන් කිහිපදෙනා අතරින් කෙනෙක්. අන්තර්ජාලයේ කවිය විශේෂයෙන්ම ෆේස්බුක් කවිය අද දක්වා පැමිණි දිගු ගමන් මගේ පළමු පියවර සලකුණු අතර ඉන්දිකගේ බර අඩි සටහන්වලට ලැබෙන්නේ සුවිශේෂී ස්ථානයක්.


මීට වසර කිහිපයකට ප්‍රථම, කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී වෙනස්ම ආරක අපූරු පිටකවරයක් ඇති පොතක් මගේ නෙත ගැටෙනවා.  ඇති වූ කුහුල නිසා, රැස්කකා තෙරපෙන සෙනඟ පොදි නොතකාම මම එකතැන හිටගෙන ඒ පොත පිටුවෙන් පිටුව පෙරළා බලනවා.


"දියකිඳුරියක්
ආදරේ කරන්න පටන් අරං
පීනන්නවත් බැරි මට"


"පෙට්ටි කීයක් නං
විකුණුවද ඒ ජාමෙ
වහකාල මැරෙන්නයි 
වෙන්නෙ මාමෙ
මට නං පෙන්නන්න බෑ
මේ සාමෙ"


පොත මිලදී ගත යුතුම බවට ඒ කවිය දෙක ප්‍රමාණවත්! ඒ ඉන්දිකගේ පළමු කවි පොත; 'හිතේ කෙටූ ටැටූ'. එතකුදු නොවෙයි, ඒ ෆේස්බුක් අවකාශයේ කාව්‍යකරණයේ යෙදෙන්නෙකු විසින් පල කල පළමු කවිපොත. ෆේස්බුක් කියන්නේ "කවි ලියන්නත් පුළුවන් තැනක්" බව මම දැනගත්තේ ඉන්දිකගේ ටැටූ පොතෙන්.


ටැටූවෙන් පසු මද ඉසිඹුවක් ලබාගන්නා ඉන්දික, ඒ අතරේ පරිවර්තන කාරියට අතගහනවා. 'දකුණු මායිමේ', 'පීඩිතයෝ', 'නිදි කුමරියන්ගේ නිවහන' සහ 'නිර්ණාමික ඝාතකයෝ' එසේ ඔහු අතින් සිංහලයට පරිවර්තනය වූ කෘති.


අවුරුදු හයකට පමණ පසුව ඉන්දිකගේ කවි අස්වැන්නෙන් කොටසක්, පොත් දෙකක් විදියට පාඨකයන් සමඟ බෙදාහදාගන්නයි ඔහු සූදානම් වෙන්නේ. හෙට, සැප්තැම්බර් නම වෙනි සිකුරාදා, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී මේ පොත් එළිදැක්වීම උත්සවාකාරයෙන් සැමරෙනවා. පොත් දෙකම, සහෘද ප්‍රකාශන.


'සිසිරයේ හෝ දිගු රැයක' පොතට නම තියන්නට ඇත්තේ මේ කවිය ඇසුරෙන් බවයි මට හිතෙන්නේ.




දැනුනාද ඔබට නිකමට, සිසිරයේ හෝ දිගු රැයක...
------------------------------------------------------

ප්‍රේමය පැමිණ 
සයනයේ කොණක හිඳගෙන
ඔබේ හිස පිරිමදින බව
දැනුනාද ඔබට නිකමට
සිසිරයේ හෝ දිගු රැයක...

උණුසුම් සිහින පොරෝනාවක
ගුලිවෙන්න ඉඩ දී
හ්ම් හ්ම් නගන මදනළ  
සිරුවෙන් එකතු කරගෙන
නැළවිලි ගීයක් නොකලේද එය
සතපවන්නට ඔබව සුවබරව...

තුරුණු හෝ වියපත් ද නොතකා
අවුල් වූ හිස කේ අතරින්
ස්නේහයේ දිව්‍යමය ඇගිලි තුඩු 
යව යවා සෙමින් පිරිමදිමින්
සුවපත් නොකලේ ද එය
සෝ තැවුල් එකින් එක නිහඩව...

ඉතින් ඔබ නිදියන්න කලියෙන්
පොඩි ඉඩක් හෝ තැබුවොත්
සයනයෙහි ඔබ නිදන හරියෙන්...

ප්‍රේමය පැමිණ 
සයනයේ කොණක හිඳගෙන
ඔබේ හිස පිරිමදින බව
හොඳටෝම දැනේවි ඔබට
සිසිරයේ හෝ දිගු රැයක.



අනිත් පොත 'අවන්හල් බළල්ලූ'. බාර් ඇතුලේ රස්තියාදුවෙන බළලුන්ව ප්‍රස්තුත කරගත් කවියක් මම මීට පෙර කියවලා නැහැ.




අවන්හල් බළල්ලූ 
----------------------


වේලාව නියමිතව දැනගෙන 
සීත පොළොවේ සුවය විඳගෙන  
තැනින් තැන වැටී ඔහෙ නිදියන 
අවන්හල් බළල්ලූ

මේසයක් බෙදා වෙන් කරගෙන  
වේටර් වරුන් මෙන් ම හැසිරෙණ 
මහා මැදියමේ වත් නොනිදන 
අවන්හල් බළල්ලූ

දිගැටි සුදු රැවුල් කෙඳි නටවන 
නහය හකුළමින් හිස උස්සන
බයිට් එක ඇස් පියා පවසන 
අවන්හල් බළල්ලූ

කඩල හෝ අල පෙති ම වළඳන 
මේස ගැන ඉවෙන් මෙන් දැනගෙන 
අරෝවක් නැතිව මග හැර යන
අවන්හල් බළල්ලූ

කටක් ඇරියොතිං ගුටි බව දැන
ඥාව් හඩ බලෙන් හංගාගෙන
කොල පාට ඇස් වලින් හිනැහෙන
අවන්හල් බළල්ලූ

සෙනග වැඩිපුරම නිති ගැවසෙන
සති අන්ත රැයට පෙම් බඳිමින
කාගෙ කාගෙත් කතා අහුලන  
අවන්හල් බළල්ලූ

බයිට් එක තප්පරෙන් වළඳන 
හොරට බොන උන් තිතට හඳුනන  
ඩේලී කස්ටමර්ස් ලා සළකන 
අවන්හල් බළල්ලූ

විටෙක මස් කට්ටකට පොරකන
ඉඳ හිටක පා පහර ඉවසන 
දුක සතුට සම සිතින් වළඳන 
අවන්හල් බළල්ලූ 



හෙට හවස තුනට,
ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයට, 
එන්න.

අවන්හල් බළල්ලු බයිට් එක ඇස් පියාගෙන කියන්නා වගේ, මේ කවිපොත් දෙක සුපිරියටම ඇති කියන එක මට ඇස් පියාගෙන වුනත් කැට තියා කියන්නට පුළුවනි.




Sunday, September 4, 2016

උලලේනාගේ පරපුරේ අපි - බකමූණාගේ පරපුරේ අපි




බ්‍රහස්පතින්දා හවස්වරුව වෙන් කරගෙන තිබුනේ ෆිල්ම් එකකට. ඒත් අනපේක්ෂිත රාජකාරියක් හරියටම හවස පහට විනාඩි හයක් තියෙනකොට හිස මතට කඩාපාත්කරවීම නිසා ඒක මිස් උනා. සිකුරාදාත් හවස්වරුව ඒ විදියටම විසඳෙන්න ඔන්න මෙන්න තියෙනකොට ලැප් එකත් අකුලගෙන පහමාර වෙද්දි එලියට පැනගන්න තරමට ලක් එකක් වැඩකරපු නිසාත්, හයිලෙවල් එකේ මහරගම පැත්තට පහලවෙන කුජීත ට්‍රැෆික් එක අස්සෙන් රිංග රිංගා යාත්‍රා කරන්න බස්සට පුලුවන් වීම නිසාත්, හවස හත වෙනකොට අපි පොඩි වඩේ කවරෙකුත්, බීම කෝප්ප දෙකකුත් එක්ක මහරගම ඇමිටි ලයිට් එකේ ඉඳගෙන හිටියා.


වැඩේ පටන් ගත්තෙ සින්දුවකින්. රොක් අජිත්ගෙ සින්දුවකින්. නිල්ල නිලන කඳු යායක්, පේන තෙක්මානෙ වෙනකම් නො එක් පාට මල්වලින් වැහිච්ච උද්‍යානයක්, අඩුම තරමේ 'ගලගල' සද්දෙන් බැහැගෙන යන දියපාරක්, එක්කො ඇස් හීන් කරලා හිනාවෙන කෙල්ලෙක්. එහෙම නෙමෙයිද චිත්‍රපටියක් උනාම පටන් ගන්න ඕනා? ෆිල්ම් හෝල් එකට එනකම් අපි පහුකරගෙන ආපු කර්කශ ටවුන් එකේ අපූරු කැප්චර්ස් ටිකක් එක දිගටම තිරය මත්තේ දිගහැරෙන්න ගත්තා. 'යකෝ! මාත් මෙතන ඉන්නවද දන්නෑ' වගේ හැඟීමක් එක්ක උනන්දුවෙන් ඇස් පුංචි කරලා තිරය දිහා බලන් ඉන්න හිතවන විෂුවල් එකක් ඒක. ඒ කැමරාවිජ්ජාකාරයා විශ්වජිත් කරුණාරත්න.





ගීතය අවසාන වෙන්නෙ අපිට කතානායකයාව; රංගනව (දසුන්) හඳුන්වාදීලා. ෆිල්ම් එකේ ගලායෑම හැම අතින්ම ඒකෙ කතානායකයගෙ ජීවිතේට සමානයි. අවිධිමත්. හැබැයි ඒ අවිධිමත්කම ඇතුලෙ තියෙන්නෙත් හැම තත්පරේකදිම අපිව තදින්ම චිත්‍රපටියට බැඳලා තියාගන්න තරම් බුහුටිකමක්.


රංගන කියන්නෙත් අපිට ෆිල්ම්වල මුණහැගෙන ටිපිකල් කතානායකයෙක් නෙමෙයි. ආදරේ වෙනුවෙන් මරාගෙන මැරෙන, කෙල්ලගෙ ගෙදරට පැනලා දුෂ්ඨ තාත්තගෙන් ගේම ඉල්ලන, බුලත්විට තට්ටුවකින් පටන් අරගෙන අන්තිමේ ලොකු ෂොපින් මෝල් එකක අයිතිකාරයෙක් වෙන 'ඩයල්' එකක් නෙමෙයි. අපිට හැමදාම මගතොටේදි මුණගැහෙන, බොහොම සාමාන්‍ය කොල්ලෙක්. අඩුම තරමේ සිංග් කරන්න පුළුවන් උනාට, සුපර්ස්ටාර් හීනයක් තිබුනට, ෆිල්ම් එක ඉවරවෙනකල්ම ඌ ටැලන්ට් ෂෝ එකක පලවෙනි වටෙට යන්නෙවත් නෑ.




කොල්ල වෙනුවෙන් ජීවිතේ දෙන්න ලෑස්ති, ලුණුයි බතුයි කාල ඉන්නම් කියලා බයිසිකල් කටුවෙ නැගලා පැනල යන්න යෝජනා කරන ටිපිකල් පෙම්වතියකුත් මේ කතාවෙ නෑ. පෙම්වතියගේ (සමනලී) එකම අරමුණ එදා දවස ඉවරවෙන්න කලින් තමන්ට මේ සම්බන්ධය නවත්තන්න වෙන බව කොහොමහරි රංගනට කියාගන්න එක.




කොටින්ම කිව්වොත් මේ ෆිල්ම් එකේ කපල් එක 'සෙක්සි' නෑ. අඩුම තරමේ උන් දෙන්නගේ සිපගැනීමේ ජවනිකාවකවත් 'සෙක්සි' ගතියක් නෑ. හැබැයි ඒ ආදරේ පට්ට කියුට්. කියුට්නස් ඕවර්ලෝඩඩ්. ගඳගහන, කළුපාට කුණු වතුර පිරිච්ච කොළඹ පාරවල්වල, තෙමිච්ච බයිසිකල් කට්ටක නැගලා උන් දෙන්න ලව් කරන එක 'කියුට්' ද? ඔව්. එහෙම වෙන්නෙ කොහොමද කියල දැනගන්නනම්, ඔබට ෆිල්ම් එක බලන්නම වෙනවා.




ෆයිට් නෑ. අර අපිට පුරුදු 'බහුවා බහුවා බුකා බුකා' බැක්ග්‍රවුන්ඩ් සද්දෙ එක්ක දුෂ්ඨයා එකපාර පහළොවකට ගහලා කෙල්ලව උස්සගෙන යන ෆයිට් නෑ. සොරි මචං මේකෙ ලේබල් කරපු එක දුෂ්ඨයෙකුත් නෑ. මුළු සමාජයම එකම එක දුෂ්ඨයෙක්. අතින් පයින් ෆයිට් කරලා පරද්දන්න බැරි දුෂ්ඨයෙක්. ඉතුරුවෙලා තියන එකම විසඳුම දුෂ්ඨයා මතුවෙන තැන්වලින් 'අනේ අපි යමු' කියලා ඇඟ බේරගෙන ශේප්වෙන එක.


අන්න ඒ නිසා 'මෝටර් බයිසිකල්' කියන්නේ මම කාලෙකින් බලපු පට්ට ප්‍රායෝගික ෆිල්ම් එකක්.



මෝටර් බයිසිකල් එකේ අපිව නංවගෙන යන මීර රංගන නාඔටුන්න අපිට එදිනෙදා මුණගැහෙන චරිත ගාවදි බයික් එක ස්ලෝ කරලා ඒ චරිතවල අපි නොදැකපු, දැක්කත් නොදැක්කා වගේ හිටපු පැතිකඩවල් හරිම අපූරුවට පෙන්නනවා. පාර අයිනෙ කරන වෙඩින් ෆොටෝ ෂූට් එක, පගාව ඉල්ලන පොලිස්කාරයා, පිහිය පෙන්නලා ගාන කඩාගන්න තැඹිලි වෙළෙන්දා, පේව්මන්ට් එකේ කුකුල්ලු විකුණන මනුස්සයා, වික්ටොරියා පාක් එකේ සික්කා වගේ කර්කශ තැන් බොහොමයක් සමීර අපූරුවට ටච් කරනවා.




තව දිගට කියන්න ගිහින්, ප්ලොට් එකේ තියන සංවේදී තැන් හෙලිදරව් කරලා තවම ෆිල්ම් එක නොබලපු අයගේ ආතල් කඩන්න මම සූදානම් නැහැ. ඔබට බලන්න ඕනෑ 'වෙනස්' චිත්‍රපටියක් නම්; මේ චාන්ස් එක මගහැරෙන්න දෙන්න එපා!


Thursday, September 1, 2016

කටු පොකුරු සිප ගනිමි හෙට මලක් වනු පිණිස




ඇයි දැන් ලියන්නේ නැත්තේ? පහුගිය කලෙ හැමෝම අහපු ප්‍රශ්ණයක් ඒක. දෙදාස් දාසය අවුරුද්ද පටන් ගන්නකොටම ජොබ් එකේ ස්වභාවය වෙනස් වීමත් එක්ක (ඔව් ඔව් බොලව් මම බ්ලොග් ලිවිල්ලටයි කවි ලිවිල්ලටයි අමතරව තවත් රස්සාවක් කරනවා) ලියන්න වගේම කියවන්නත් තිබුන කාලය බොහෝම සීමාසහිත වුනා.


Ice breakers මුණගැහුනේ නැතුවා නෙමෙයි. කාලයක් ලියන්නේ නැතුව ඉන්නකොට ලිවීමේ හැකියාව ගල් ගැහෙනවා. ඉයන්ගේ සිංදු දාසයේ අභියෝගේ බ්ලොග් අවකාශයේ සුනාමියක් වගේ, ලැව් ගින්නක් වගේ පැතිරිලා යනකොට මමත් සෑහෙන්න ට්‍රයි කලා පෝස්කට්ටක් තලාගන්න. අන්න ඒ නිසයි මම කියන්නේ සහෝදරවරුනි!, තමන් කැමති සිංදු දාසයක් ගැන විස්තර හොයලා, ඒවා ලස්සනට පෙලගස්වලා, කනට අමාරුවක් නැතුව අහන්න පුලුවන් විදියේ කොලිටි වීඩියෝ හොයාගෙන, ඒවා පෝස්කට්ටට අමුණලා, ඒ රැල්ලට සහභාගි වෙච්චි බ්ලොග් ලියන්නෝ, ලියන්නියෝ කලේ ලේසි පාසු වැඩක් නෙමෙයි. උන්ට මීට වඩා ගරු කරපල්ලා.


එහෙමයි කියලා, සති මස ගෙවිලා ගෙවිලා, සාහිත්‍ය මාසෙත් ආවට පස්සේ මට තවත් ඇස් කන් පියාගෙන ඉන්න බැහැ නෙව. පහුගිය දවස්වල බ්ලොගේ දාපු කෙටිකතා කීපයත් කාංචනා අක්කගේ පත්තර පිටුවලට ලිව්ව ඒවා. ඉතින් අන්තිමේදි ඔන්න මම බ්ලොග් එක වෙනුවෙන්ම ලියන්න වේදිකාගත වුනා, ආයෙමත්.


සාහිත්‍ය මාසෙ වෙනුවෙන් ලංකාවේ කෙරෙන ලොකුම වැඩේ මැගී විකුණන පොත් සල්පිලක් වුන එකේ, අපිවත් අපිට පුළු පුළුවන් තරමින්, මොන මොනවාහරි ලියමු, කියමු, කියවාදෙමු. ඇන්න එතකොට මට මතක් වෙන්නේ රත්න ශ්‍රීගේ ‘වස්සානය’ කවි පන්තියේ කවි දෙපදයක්.


“දුෂ්කරයි කියා හැර යා යුතුද ජීවිතය
කටු පොකුරු සිප ගනිමි හෙට මලක් වනු පිණිස”


සාහිත්‍ය මාසෙට නිකම් යන්න දෙන්නේ නෑ සහෝදර සහෝදරියනි, අපි ලියනවා. 
අනිවා ඩෙෆා ලියනවා!