ඉන්දික ගුණවර්ධන ගැන නොදන්නා කෙනෙක් මේ සයිබර් අවකාශයේ නැතිව ඇති.
ඔහු, මා දුටු නිර්මාණශීලීම මිනිසුන් කිහිපදෙනා අතරින් කෙනෙක්. අන්තර්ජාලයේ කවිය විශේෂයෙන්ම ෆේස්බුක් කවිය අද දක්වා පැමිණි දිගු ගමන් මගේ පළමු පියවර සලකුණු අතර ඉන්දිකගේ බර අඩි සටහන්වලට ලැබෙන්නේ සුවිශේෂී ස්ථානයක්.
මීට වසර කිහිපයකට ප්‍රථම, කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී වෙනස්ම ආරක අපූරු පිටකවරයක් ඇති පොතක් මගේ නෙත ගැටෙනවා. ඇති වූ කුහුල නිසා, රැස්කකා තෙරපෙන සෙනඟ පොදි නොතකාම මම එකතැන හිටගෙන ඒ පොත පිටුවෙන් පිටුව පෙරළා බලනවා.
"දියකිඳුරියක්
ආදරේ කරන්න පටන් අරං
පීනන්නවත් බැරි මට"
"පෙට්ටි කීයක් නං
විකුණුවද ඒ ජාමෙ
වහකාල මැරෙන්නයි
වෙන්නෙ මාමෙ
මට නං පෙන්නන්න බෑ
මේ සාමෙ"
පොත මිලදී ගත යුතුම බවට ඒ කවිය දෙක ප්‍රමාණවත්! ඒ ඉන්දිකගේ පළමු කවි පොත; 'හිතේ කෙටූ ටැටූ'. එතකුදු නොවෙයි, ඒ ෆේස්බුක් අවකාශයේ කාව්‍යකරණයේ යෙදෙන්නෙකු විසින් පල කල පළමු කවිපොත. ෆේස්බුක් කියන්නේ "කවි ලියන්නත් පුළුවන් තැනක්" බව මම දැනගත්තේ ඉන්දිකගේ ටැටූ පොතෙන්.
ටැටූවෙන් පසු මද ඉසිඹුවක් ලබාගන්නා ඉන්දික, ඒ අතරේ පරිවර්තන කාරියට අතගහනවා. 'දකුණු මායිමේ', 'පීඩිතයෝ', 'නිදි කුමරියන්ගේ නිවහන' සහ 'නිර්ණාමික ඝාතකයෝ' එසේ ඔහු අතින් සිංහලයට පරිවර්තනය වූ කෘති.
අවුරුදු හයකට පමණ පසුව ඉන්දිකගේ කවි අස්වැන්නෙන් කොටසක්, පොත් දෙකක් විදියට පාඨකයන් සමඟ බෙදාහදාගන්නයි ඔහු සූදානම් වෙන්නේ. හෙට, සැප්තැම්බර් නම වෙනි සිකුරාදා, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී මේ පොත් එළිදැක්වීම උත්සවාකාරයෙන් සැමරෙනවා. පොත් දෙකම, සහෘද ප්‍රකාශන.
'සිසිරයේ හෝ දිගු රැයක' පොතට නම තියන්නට ඇත්තේ මේ කවිය ඇසුරෙන් බවයි මට හිතෙන්නේ.
දැනුනාද ඔබට නිකමට, සිසිරයේ හෝ දිගු රැයක...
------------------------------------------------------
ප්‍රේමය පැමිණ
සයනයේ කොණක හිඳගෙන
ඔබේ හිස පිරිමදින බව
දැනුනාද ඔබට නිකමට
සිසිරයේ හෝ දිගු රැයක...
උණුසුම් සිහින පොරෝනාවක
ගුලිවෙන්න ඉඩ දී
හ්ම් හ්ම් නගන මදනළ
සිරුවෙන් එකතු කරගෙන
නැළවිලි ගීයක් නොකලේද එය
සතපවන්නට ඔබව සුවබරව...
තුරුණු හෝ වියපත් ද නොතකා
අවුල් වූ හිස කේ අතරින්
ස්නේහයේ දිව්‍යමය ඇගිලි තුඩු
යව යවා සෙමින් පිරිමදිමින්
සුවපත් නොකලේ ද එය
සෝ තැවුල් එකින් එක නිහඩව...
ඉතින් ඔබ නිදියන්න කලියෙන්
පොඩි ඉඩක් හෝ තැබුවොත්
සයනයෙහි ඔබ නිදන හරියෙන්...
ප්‍රේමය පැමිණ
සයනයේ කොණක හිඳගෙන
ඔබේ හිස පිරිමදින බව
හොඳටෝම දැනේවි ඔබට
සිසිරයේ හෝ දිගු රැයක.
අනිත් පොත 'අවන්හල් බළල්ලූ'. බාර් ඇතුලේ රස්තියාදුවෙන බළලුන්ව ප්‍රස්තුත කරගත් කවියක් මම මීට පෙර කියවලා නැහැ.
අවන්හල් බළල්ලූ
----------------------
වේලාව නියමිතව දැනගෙන
සීත පොළොවේ සුවය විඳගෙන
තැනින් තැන වැටී ඔහෙ නිදියන
අවන්හල් බළල්ලූ
මේසයක් බෙදා වෙන් කරගෙන
වේටර් වරුන් මෙන් ම හැසිරෙණ
මහා මැදියමේ වත් නොනිදන
අවන්හල් බළල්ලූ
දිගැටි සුදු රැවුල් කෙඳි නටවන
නහය හකුළමින් හිස උස්සන
බයිට් එක ඇස් පියා පවසන
අවන්හල් බළල්ලූ
කඩල හෝ අල පෙති ම වළඳන
මේස ගැන ඉවෙන් මෙන් දැනගෙන
අරෝවක් නැතිව මග හැර යන
අවන්හල් බළල්ලූ
කටක් ඇරියොතිං ගුටි බව දැන
ඥාව් හඩ බලෙන් හංගාගෙන
කොල පාට ඇස් වලින් හිනැහෙන
අවන්හල් බළල්ලූ
සෙනග වැඩිපුරම නිති ගැවසෙන
සති අන්ත රැයට පෙම් බඳිමින
කාගෙ කාගෙත් කතා අහුලන
අවන්හල් බළල්ලූ
බයිට් එක තප්පරෙන් වළඳන
හොරට බොන උන් තිතට හඳුනන
ඩේලී කස්ටමර්ස් ලා සළකන
අවන්හල් බළල්ලූ
විටෙක මස් කට්ටකට පොරකන
ඉඳ හිටක පා පහර ඉවසන
දුක සතුට සම සිතින් වළඳන
අවන්හල් බළල්ලූ
හෙට හවස තුනට,
ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයට,
එන්න.
අවන්හල් බළල්ලු බයිට් එක ඇස් පියාගෙන කියන්නා වගේ, මේ කවිපොත් දෙක සුපිරියටම ඇති කියන එක මට ඇස් පියාගෙන වුනත් කැට තියා කියන්නට පුළුවනි.
ස්තූතියි ඔත්තුවට.. උත්සාහයක් ගන්නම් එන්න.
ReplyDeleteකොහොමහරි එන්න ට්‍රයි එකක් දෙන්න කළණේ!
Deleteස්තූතියි ඔත්තුවට නංගා.ඒත් අපි දුර හංද හවසට ආවම ගෙදර යන්ඩ අමාරුයි නොවැ.ඔයාගෙ පොත ඇතුළු හැම පොතක් එලි දැක්වීමකටම මං නේන කාරනේ ඕක
ReplyDeleteඔයාගේ සුද්දට කන්කෙඳිරි ගාල කියන්නකො එක්කන් යන්න කියලා. දුක හිතෙන විදියට කීවොත් එයා සලකාබලයි.
Deleteමේ වෙනතැනක දාපු කමෙන්ටුවක්, කපල ගෙනත් ආයි මෙතන අලවනව.
ReplyDeleteමට ඒ ඉන්දික හම්බුනේ දහම් පාසැලේදි ( ඔව් අපි ගියා ). එකම නමට අමතරව අපි දෙන්නගෙ සමාන හා අසමාන කම් කීපයක් තිබ්බ.
ඒ ඉන්දික මහතයි, තළ එළලුයි, මේ ඉන්දික කෙට්ටුයි කළුයි. ඒ ඉන්දික රත්මලාන පුරාන රජමහා විහාරය පහුකරගෙන චකින්දාරමයට එනකොට මේ ඉන්දික පරමධම්මචේතිය පිරිවෙණ පහුකරගෙන චක්කින්දාරමෙට ආව. අපි දෙන්නම අන්තිම පේලියෙ නොහොත් පුලුවන් උනාට උනන්දුවක් නැති උන්ගෙ ගොඩේ හිටියෙ පන්තියෙ. ඊට අමතරව මාලුන්ට කුරුල්ලොන්ට වගේ අපි කැමති තව පොදු දේවල් කිහිපයකුත් තිබ්බ.
ඔයවගේ හේතු නිසා ඒ ඉන්දිකයි මේ ඉන්දිකයි මිත්‍රයො උනා විතරක් නෙමේ මේ ඉන්දික ඒ ඉන්දිකලගෙ ගෙදරත් ගියා. ඌ හිටියෙ රත්මලානෙ ධර්මාරාම පාරෙ අගම තිබ්බ පොඩි කඳු ගැටයෙ මැද වගේ. ඉන්දිකලගෙ දෙමහල් නිවස ඉස්සරහ තිබ්බෙ වළව් වත්ත. වළව්වතයි ගෙදරයි අතරින් දිව්ව ලයිට් වයර් උඩ වහන සිය ගානක් සංචාරක කුරුල්ලො එලවන්න හරි අල්ලන්න, හිස්ම හිස් විසාල වළව්වත්තෙ සරුංගල් අරින්න, වැලි හාර පාලු මූදුවෙරලෙ අද්දර ඉඳන් මූද දිහා බලා ඉන්න වගේ ගොඩක් ක්‍රියාකාරකම් ඒ ඉන්දිකලගෙ ගෙදර ගියාම තිබුන.
කොටින්ම මට දහම් පාසැල් ගිහින් ඒ ඉන්දිකලගෙ ගෙදර යන එක නිවාඩුවකට ගමේ යනව වගේ සුන්දර අත්දැකීමක්.
ඒත් අද ඒ වළව්වත්ත පුංචි ගෙවල් සිය ගානකින් වැහිල. පාළු වෙරළ මඩු වගේ ගෙවල් පෙට්ටි හින්ද පේන්නෙම නෑ.
අවුරුදු තිහක් කියන්නෙ සෑහෙන දේවල් වෙනස් වෙන ලොකු කාලයක්. ඒ මිත්‍රකම් කාලයෙ වැල්ලෙන් යටවෙලා ඒ උඩ වෙනත් මිත්‍රයො ගෙවල් හදල. ඒ හින්ද පුදුම වෙන්න දේකුත් නෑ. නමුත් ඒ ඉන්දික ගැන ආයි මතක් උනේ පච්ච කොටාපු සමනළයෙක් ගැන කවි ලියාපු, එදා ඒ ඉන්දික හිටපු ධර්මාරාම පාරෙම ඉන්න තවත් ඓන්ඩික කෙනෙක් හින්ද.
ඉන්දිකගෙ මම තාම කියෙව්වෙ හිතේ කෙටූ ටැටූ විතරයි. ඒ පොතේ මම කැමතිම කොටස කවියක් නොවුන දුක්බරම අදහස තිබ්බ පෙරවදන. ඒකෙ තිබ්බ අල ගෙඩියක් වගේ ලැපට මූණ ඔබාන ඉන්න කොට දුකින් තනිවෙන දූ සිඟිත්තත්, නිස්සද්දව සියල්ල ලඟට දෙන බිරිඳත් ගැන.
ඇත්තටම මට ඒ කොටස ගැන හිතුනෙ පව් සමා පාපොච්චාරනයක් විදිහට.
ඒ ඉන්දිකත්, මේ ඓන්ඩිකත් එකම ඉන්දිකද කියන්න දන්නෙ නෑ, ඒත් එකක් ෂුවර්. උඹල දෙන්නම එදා ධර්මාරාම පාර තරම්ම සුන්දර මිනිස්සු.
අලුත් පොතට මේ ඉන්දිකගෙන් සුභ පැතුම්..!
++++++++++++
Deleteමේ ඉන්දිකත් ලව්පූස් ඉන්දිකත් මෙයට එකතුව සුභ පතන්නෙමු
Deleteඉන්දිකගේ කමෙන්ට් එක අපෙත් පරණ මතක අවුස්සනවා. චකින්දාරමය,පිරිවෙණ,වලව්වත්ත,ධර්මාරාම පාර ඉස්සර කරක් ගහපු පැතිද?
Deleteඉන්දික, මේ කමෙන්ටුව ඉතාම හෘදයාංගමයි.
Deleteබොහොම ස්තූතියි පරණ මතක මල්ල අවුස්සලා මේ වගේ අපූරු සටහනක් තැබුවාට.
Jayawewa
ReplyDelete..
Thankoo!
Deleteඅපිට කොයින්ද ළමයෝ හැමදාම උණු බත්?
ReplyDeleteමේ දෙසැම්බරෙත් කීපදෙනෙක්ගෙ බුක් ලෝන්ච් තියෙනවලු. :)
Deleteසිකුරාදාවක නොවුණා නම් එන්න හිතන්න තිබුණා. ඉන්දික කියන්නෙ වෙනස්ව හිතන කවියෙක්.
ReplyDeleteබළල්ලු කවිය මනරම්... ස්තුතියි පොත් ගැන ඔත්තුවට.. උඹ දන්නව නේ ඔය වගේ උත්සව මං එකක් වත් අත නෙඅරින බව..
ReplyDeleteඅනිව අපි එනව
ReplyDeleteඉතින් යළි
ReplyDeleteයෝධයෙකු ජිවත් වූ කෙසඟ සිරුර ද
දිගැටි හිසකේ සහ දඩබ්බර රැවුල ද
විස්මයෙන් විසල් වු දෙනෙත ද
නුගේගොඩ බෝ ගහ අස
යළිත් ඇස නොගැටෙනු ඇත
විශ්වයේ සෑම මුල්ලක ඔහෙ ඇවිද
කාටත් හොරෙන් කතන්දර බෝ ඇහිඳ
දිවා රෑ කියවමින් තනිව රස නොවිඳ
බෙදා දුන් පිනම ඇති නිවන් යන්නට සබඳ
ලෝක සිතියමක් කොට අවන්හල් මේසය
සිගරැට් දුමෙන් මවා මහා ආකාසය
විශ්වයේ හැම කොණට නිතර ඔබ ආ ගිය
ඒ දවස් යළි නොඑන එකයි දැඩි ශෝකය
ඉතින් මම ඔබ නැතිව දෙල්කඳ ට ඇවිදිමි
ඔලිම්පික් අවන්හල් ඝණ අඳුරෙ තනිවෙමි
ඔබ දමා ගිය වචන කොහෙන් හෝ අහුලමි
මූර් පූසා සමග ඉකි ගසා වැළපෙමි...
[ඡායාරූපය : නිලන්ත ගමගේ]
ඉන්දික ගුණවර්ධන/////////////////////
පසන් කොඩිකාරගේ වියෝව පිලිබඳ ඉන්දික ලියු කවියක්. උපුටාගත්තේ බූන්දියෙන්.
සාමාන්‍යයෙන් කවි නොදිරවන මගෙත් (ස්වයං විවේචනයකට එකඟයි ) හිතට වැදුනු කවි කීපයක්.............!
ReplyDelete