Monday, December 28, 2015

බිසිනොස් කතා, පොටෝ කතා සහ තවත් කතා






ඉතා කලබල බසු සිහින ගැන පසුවදනක් සටහන් කරන්න හිතාගෙන හිටියත් වැඩේ දවසින් දවස කල් ගියා. අන්තිමේ මටත් කලින් ෆේස්බුකේ, බ්ලොග් අවකාශයේ සහ පුවත්පත්වල ඉතා කෙටි කලබල සිහින ගැන පසුවදන් තුඩින් තුඩ විසිරෙන්න අරගෙන තිබුනා.


උත්සවය අවසන් වෙනවාත් එක්කම හැමෝම අහපු ප්‍රශ්නයක් තමයි පොත මිලදී ගන්න තියෙන්නෙ කොහෙන්ද කියන එක. ඔන්න, ඉතා කෙටි කලබල සිහින දැන් දිවයින පුරා සරසවි පොත් හල් වලින් මිලදී ගන්න පුළුවනි. ඔබේ නගරයේ සරසවි පොත් හලට ඉතා කෙටි කලබල සිහින තවමත් ඇවිත් නැත්නම්, නුගේගොඩ සරසවි ප්‍රධාන කාර්යාලයෙන් පොත ගෙන්වා දෙන්නැයි අදාල ශාඛාවේ කලමනාකාරතුමාගෙන් ඉල්ලන්න.




පොත් සාප්පු ගානේ රස්තියාදු වෙන්න කාලය හිඟ උදවිය වෙනුවෙනුයි මේ සේවාව. ඔබට පුළුවනි 1010 5323 4403 දරණ සම්පත් බැංකු ගිණුම් අංකයට රුපියල් තුන්සියයක් තැන්පත් කරලා අදාල රෙෆරන්ස් නම්බර් එක sammani.premaratne@gmail.com යන ඊමේල් ලිපිනයට හෝ බස්සිගේ ෆේස්බුක් ඉන්බොක්සුවට එවන්න. බස්සිට පුළුවනි ඔබට පොත තැපැල් කරන්න.


එහෙම එවද්දී

1. මුදල් තැන්පත් කිරීමේ කුවිතාන්සියට අදාල අංකය 
(reference number)

2. කුවිතාන්සියේ ඡායාරූපයක් (හැකිනම්)

3. ඔබේ ලිපිනය

4. බසු සමරු සටහනක් අවැසිනම්, ඔබේ මුල් නම.

සටහන් කර එවන්න අමතක කරන්න එපා.


postage ගෙවලා අත්සන් සහිතව කෙටි කලබලයක් ලබාගන්න කැමැති, සයුරෙන් එතෙර රටවල මිතුරෝ වෙත්නම්, sammani.premaratne@gmail.com යන ඊමේල් ලිපිනයට හෝ බස්සිගේ ෆේස්බුක් ඉන්බොක්සුවට මැසේජයක් තියන්න. පොත එවන ක්‍රමයක් බලමු.


(පෝස්ටුව ශෙයාර් කරන්න. නොදන්නා අයටත් දැනගන්න.)



ඉතා කෙටි කලබල දෙසුම්


උත්සවයේදී පැවැත්වුන ඉතා කෙටි කලබල දෙසුම් තුන අන්තර්ජාලයට මුදාහැරියේ එය ඔබට ප්‍රයෝජනවත් වේවියැයි හිතුන නිසයි.


හෂිත අබේවර්ධනගේ දෙසුම - මෙතැනින්





අනුරසිරි හෙට්ටිගේගේ දෙසුම - මෙතැනින්




සෞම්‍ය සඳරුවන් ලියනගේගේ දෙසුම -  මෙතැනින්







ඉතා කෙටි කලබල ෆොටෝ කෑලි




මේපල් පත්, බසු වෙස්මුහුණු සමග කලබල කතා


පොත් වෙළෙන්දෝ බසු නංගි සහ බසු මල්ලි


සභාවට ලුණු ඇඹුල් ඇතුව දෙසන ලව්පූසා


වමේ සිට; බණ්ඩිරිප්පුවේ විනීත තිස්ස හාමුදුරුවෝ, බස්සි, හෂිත අයියා,
සුනිල් මාධව ප්‍රේමතිලක සහ අනුරසිරි හෙට්ටිගේ


වසරේ හොඳම බ්ලොග්කරු බ්ලොග් මහාචාර්ය මාතලන්


 වසරේ ජනප්‍රියම බ්ලොග් අඩවිය 'හිතනලන්තය' ලියන කාංචනා අමිලානි


 කෙලවරේම ගයාන් ඉන්දුල, 
ඊට එහායින් වසරේ කොමෙන්ට්කරු ප්‍රා ජේ


දිලාගේ ලෝකය ලියන දිලිනි නිමන්තිකා
ඊට පසුපසින් ඉන්නේ shimmering thoughts ලියන ලිෂාන් පුවක්ඕවිට



ඩොමිනික් චන්ද්‍රසාලි, මාලතී කල්පනා ඇම්බ්‍රෝස් සහ බසුදෙපල


 සජානි සහ බස්සි


මේපල් පත් ගෙනා රන්සිරි අංකල්


 ඉන්දික ගුණවර්ධන (හිතේ කෙටූ ටැටූ) සහ අමායා මැණික්


කැමීලියා මලක් - බස්සියෙක් - පූසෙක්





Tuesday, December 22, 2015

The බසු corner!







හැන්දෑවෙ අහස දම්පාට වේගෙන එනකොට තමයි බස්සන්ගෙ දවස පටන් ගන්නෙ. දවසට kick start එක දෙන්නෙ පාන්දරද, හැන්දෑවෙද කියල වෙනසක් නෑ බස්සන්ටත් problems එමට!


හවස tution එකට යනවද, නැත්නම් කට් පාර දාලා සෙටාර් එකත් එක්ක shopping රස්තියාදුවක් දානවද? News බලනවද නැත්නම් අලුතෙන් බාගත්තු TV series එක අදිනවද? බෝඩිමට ආව ගමන් අම්මට කෝල් කරනවද, නැත්නම් කොල්ලට කෝල් කරනවද?


දවසින් දවස choices පැටව් ගහනවා. ඉතින් අපේ ඔළුගෙඩි තම්බපු නූඩ්ල්ස් ගොඩක් වගේ complex වෙනවා.


ක්‍රිස්මස් පාටියට අඳින්නේ frock එකක්ද, glamorous කුර්තා එකක්ද, විච්චූරණ cocktail dress එකක්ද කියන එක වගේ සිම්පල් දේකදිත්, A Level ඉවරවෙලා කෙලින්ම ජොබකට යනවද, results එනකම් ගෙදරට වෙලා මාලු බානවද, ආණ්ඩුවෙ campus එකකට හොම්බ දා ගන්නවද, ප්‍රයිවෙට් කැම්පස් යනවද, එහෙමත් නැත්නම් short term course එකක් පටන් ගන්නවද කියන ජීවිතේ කඩඉම් ප්‍රශ්ණෙකට එනකම් අපිට ගෝනි ගනන් choices ලැබෙනවා.


දෙමං හන්දියකදි නම් යන්න ඕනෙ පාර කාසියක් උඩ දාල decide කරන්න පුළුවනි. ඒත් මචංලා, කඩඉම් හන්දියෙදි පාර අතු දහයකට, පහළවකට බෙදෙනකොට තමයි තනි ඇහැට ඇඬෙන්නෙ.


අන්න ඒ වගේ තැනකදි හරි track එක තෝරගත්තෙ නැත්නම් life එකම totally මස්තබාල්දු වෙලා යන්නත් පුළුවන්.


මෙහෙමයි. ඒ වෙලාවට බලන්න ඕනෙ පොඩි අංජනමක්. අවුරුදු දහයක්, විස්සක්, තිහක් එහාට. කොයි පාරෙ ගියොත්ද අපිට වැඩියෙන්ම සතුටෙන් ඉන්න ලැබෙන්නෙ කියන එකනෙ අන්තිමේදි වැදගත් වෙන්නෙ. සුනාමි, ටෝනාඩෝ එන එක නවත්තන්න බෑ තමයි මචං. ඒ වුනාට අපිටත් කාලගුණේ ගැන පොඩි ඉවක් තියෙනවනෙ. නැද්ද මං අහන්නෙ?


CHOICE එක හැමවෙලාවෙම map වෙන්න ඕනෙ HAPPINESS එකත් එක්ක, ඒත් එක්කම අපේ personal values එක්ක.


අන්න එතකොට දෙමං හන්දියකදි උනත් කාසි උඩදාන්න, දාදු කැට කරකවන්න වෙන්නෙ නෑ. 


මම මේ කල්පනා කරන්නෙ, පිහාටු tint කරගන්නෙ දම් පාටින්ද, dark brown වලින්ද, නැත්නම් hot pink වලින්ද කියලා. ඒකට නම් කාසියක් උඩදාන්න වෙයි වගේ. 


Choices තුනෙන් එකක් select කරගන්න පැති තුනක් තියන කාසියක් හොයාගන්න එකනෙ මචං මොලේ  මැල්ලුං වෙන problem එක!




Monday, December 14, 2015

මේ හිටියා මේ නෑ







මට තියෙන අසහාය හැකියාවන් කීපයක්ම ගැන මම ඔයාලට පහුගිය පෝස්ට් වලින් කියල ඇතිනේ. 


අද කියන්න යන්නෙත් ඒ වගේම තවත් එක් අනුපමේය, අසහාය, සහ සියොළඟ කිළිපොලා යන සුවිශේෂී හැකියාවක් ගැන. ඒ තමයි; "මේ හිටියා මේ නෑ!"


ඔය හැකියාවට සීයට අනූපහක්ම දායක වෙන්නෙ ඕනෑම වැදගත් අවස්ථාවක සිහින කල්පනා අතරේ අතරමං වීමේ හැකියාවක් ඇති මගේ අතිවිශිෂ්ඨ චිත්ත ඒකාග්‍රතාවය. ඒ හින්දාම ඉන්නෙ කොහෙද, කරන්නෙ මොනවද කියලා මෙලෝ අදහසක් නැතුව ජීවිතේ ගෙවන සුන්දර අවස්ථා බහුලයි.


ඉස්සර ක්ලාස් යනකොට තනියම යන සිරිතක් නෑනෙ. ඕනෙම ක්ලාස් එකකට සම්පූර්ණ බැටෑලියන් එක පිටින්ම බස්සනව. හැබැයි අවාසනාවකට ඒ පොදු සමීකරණයෙන් අපගමනය වුන කෙමෙස්ට්‍රි ක්ලාස් එකකට මට තනියම යන්න සිද්ද වෙලා තිබුනා.


අවාසනාවක මහත කියන්න පින්වතුනි, ඒ වෙලාවටම අපේ සැට් එකේ අනිත් උන් අට දෙනෙක් විතරම මීගමුව ටවුන් එකේ අනිත් කෙලවරේ තිබුන ක්ලාස් එකට යනවා.


නමුත්. වාසනාවක මහත කියලත් කටපුරා කියන්න පුලුවන් වෙන්නම අරඅරයා හෙවත් මගේ ඒ කාලයේ ක්‍රස් එක (මගේ ක්‍රෂ් නිකම් ඔරේන්ජ් ක්‍රෂ් වගේ කාලෙන් කාලෙට අළුත් වෙන ජාතියක්!) ඒ ක්ලාස් එකටම එනවා.


එදත් සුපුරුදු පරිදි අපි සියල්ලෝම මීගමුව බලා ධාවනය වෙන මලකඩ කාපු ටකරං බස් එකකට අප්ලෝඩ් වුනා. දෙවියනි ඔබ මැව් ලොව පුදුමයි කියන්නැහෙ ඊගාව හෝල්ටෙකේ පිරිමි ඉස්කෝලෙ ගාවින් අරඅරයා සඳක් වගේ බස්සෙකට පෑව්වා කියහල්ලකො.


අරඅරයා සුදෝ සුදුයි. මූණ නිකම් හඳක් වගේ. තොල් රෝස පාටයි. අක්බඹරු හිසකේ. ලැජ්ජාශීලී, කුලෑටි, අනියමාර්ථයේ අසම්භාව්‍ය බැල්ම. . . . එක්ස්කියුස්මී පින්වතුනි මේ කියන්නේ ඉන්තේරුවෙන්ම පිරිමි ළමයෙක් ගැන. හැබැයි ඉස්කෝලෙ යන කාලෙ මං කොච්චර අවිහිංසකද කියනවානම් අපේ උන් බලන් හිටියේ මම අරඅරයාගෙ වටේ රවුමක් කැරකිලා, දැලි පිහියකින් බෙල්ල කසන ගමන්, “ඇයි නංකී අපි කළුද?” කියලා අහන ආදරණීය, සිනමාත්මක අත්දැකීමක් ඇස් පනාපිට දැක බලාගැනීමේ භාග්‍යය උදාවෙනකම්.


හැප්පුනොත් පිටගැස්ම හැදිලා මැරෙන මලකඩ බස්සෙකේ මං හිටගෙන උන්නු තැන ආසන්නයේම තඩි හිලක්. ඉක්කෝලෙ කාලෙ සෙටාර් එකේ කුඩාම ජීවියා වෙච්ච මං මීගමුවට යන්න කලින් ඔය හිලෙන් වැටිලා අතුරුදහන් වේවියැයි කැට තියමින් අනිත් උන් අර අරයාගේ හඳ මුහුන ඉස්සරහ තියාගෙනම අසරණ මාව සිත්පිත් නැති ලෙසින් බයිට් එකට ගන්නවා. 


අනේ ඉතින් අපේ කලාස් එකට යන්ට සෝට්කට් පාරක් සහ දිග පාරක් තියෙනවා. වෙනදා අපි යන්නේ සෝට් කට් පාරෙන් උනත් මෙන්න අර අරයා දිග පාර පටන් ගන්න තැනින් බහිනවා. පොරගෙ අතේ මම සෙනසුරාදා ක්ලාස් එකේ දාල ආපු කුඩේ තියනවා මම දැක්කෙ ඒ වෙලාවෙයි.


ඇත්තටම මම ඒ චංචලා ස්ටැයිල් කුඩේට හිත පුරෝල ආදරෙයි. ඔව් ඒක අනාදිමත් කාලයක සිට පවතින සාංසාරික, ආත්මීය බැඳීමක්. අන්න ඒ එකම එක හේතුව නිසා මම අනිත් එකෙක්වත් දකින්ඩ කලින් වහවහා බස්සෙකෙන් ඩවුන්ලෝඩ් උනා.

(හා! දැන් තොපි බලන් ඉන්නේ කුඩේ ඉල්ලගත්තු කතාව අහන්ටනේ. එව්වා හඳේ හරිද පින්වතුනි!)





ඉතින් මම අර අරයාට අතිශය රොමෑන්තික, බඩවැල් ඇඹරිලායන මරණ තර්ජන කරමින්, යලියලිත් කුඩේ ඉල්ලා පිංසෙණ්ඩු වෙමින් සහ හිත යටින් හිටිපිණුම් ගහමින් ක්ලාස් එකට සම්ප්‍රාප්ත වුන අතරේ. . . .මගේ අතිජාත සමාන සුඛ දුක්ඛ මිත්තරයෝ බස් එක පීරමින් මාව සෙවීමේ මෙහෙයුමක් අඹරලා.


අන්තිමේදී සවස හතර දක්වා මීගමුව නගරය පීර පීරා මාව සොයනා අතර අතිසාර්ථක ලෙස තමන්ගේ කෙමෙස්ට්‍රි ක්ලාස් එකද කට් කරපු සෙටාර් එකට අන්තිමේදී අපේ ටියුෂන් ක්ලාස් එකෙ ඇතුලේ මම බැරිවෙලාවත් ඉන්නවාදැයි සෙවීමට තරම් ප්‍රඥාවක් හදිසියේම පහලවෙලා. 


"ඔයාගෙ යාලුවො පහල බලන් ඉන්නවා. මොනවද කියනවා අපිට තේරෙන්නෙ නෑ."


ඒ පණිවුඩය එන්නේ අතින් ඉරපු, පොඩිවෙච්ච තනිරූල් කොලයක කැතම කැත අකුරුවලින්. ඉබ්බා දියේ දැම්මට ඇන්නෑවේ කියන්නැහේ මම දණිපණි ගාලා බෑග් එක කරට අරන් වහවහා පල්ලම් බැස්සා.


එතැන් සිට මීගමුව බස්ටෑන්ඩ් එක ගාවට යනකං තියපු අඩියක් අඩියක් පාසා කන් දෙක පිරෙන්න ටකරමකට වැහි වැටෙන්නැහේ බැනුං අතරෙ සෑම වචන දහයකට වරක්ම මලියා අතිශය උදාර ලීලාවෙන් “ආයෙ තෝ යාපනේ ගිහින් අතුරුදහන් උනත්, අපි ඇහැක් ඇරලා බලන්නෑ” කියන්න අමතක කලේ නෑ. 



*****************





එදායින් පස්සෙ මම මොන තූත්තුකුඩියක ගියත් අරුන් මාව හොයන්නෙ නෑ කියන ස්ථාවරයේ තදින් ඇලිලා ගැලිලා හිටියෙ සීනි සිරප් එක්ක ඇඹරිච්ච ඇඹලයො වගේ. 


දැන් ඒ ලෙවල් විභාගය කිට්ටුයි. ක්‍රෂ් එකක් පවා තදබල හිත් රිදවීම් ඇති කරන්න හැකි තරමට සමීපයි. නරක වයස කියන්නේ කට කහනවටම නෙමෙයි.


(හා! දැන් තොපි ආයෙම බලන් ඉන්නේ රොමැන්ටික් නොම්මරයක් ඩයල් වෙනකම් නෙ. එව්වා හඳේ බව මතක තියාගෙන හයියෙන් සාදු කියන්න පින්වතුනි!)


අපේ කෙමෙස්ට්‍රි ක්ලාස් එක ඇරෙන්නේ මගේ බැටෑලියන් එක යන ක්ලාස් එක ඇරුනට පැය එකහමාරකට පස්සේ. මගේ සිලිටි මල් සිත (සහන්ගෙන් ඉස්සූ වචනයකි.) තැලී පොඩිවී ගිය දවසක අපේ එවුන් ටික ආයෙම මම ක්ලාස් ඇරිලා එනකම් ඉන්න පොරොන්දු වෙනවා.


ඔන්න හවස හයට හයහමාරට ක්ලාස් ඇරෙනවාත් එක්කම මම අත් දෙක සතර අතේ වීසි කරමින් තනියෙන් බස්ටෑන්ඩ් එකට යන්න පිටත් වෙනවා. අරඅරයා මයෙ පස්සෙන් එන්නේ මිහිකත නළවාලා තාලෙට සුලලිත ගමනින්. මම ශෙල් ගෑස් සිලින්ඩරයක් බවට රූපාන්තරණය වෙමින් පසු නොබලා ගමන් ගන්නවා.


පාර පනින්න හදනකොටම මට පේනවා බස් එකක්. ඒක ඇතුලේ අපේ සැටාර් එක ඉඳගෙන ඉන්නවා. මම වාහන ගංගාව තරණය කරමින් වහ වහා දුවගෙන ගිහින් බස්සෙකේ ඉස්සරහ දොරේ එල්ලෙනව. ඉන් පස්සෙ ජන සන්නිපාතය අතරෙන් ගැඩවිල් පණුවෙක් වගේ ඇඹරෙමින් බස් එක මැද්දෑව බලා යාත්‍රා කරනවා.


මලකෙලියයි. අපේ උන් එකෙක්වත් ඒ බස්සෙකේ නෑ.


මම බහින්න හිතාගෙන දොර ගාවට දුවනවා. බස් එක හුලං කපාගෙන අද්දනවා. බස් එක දෙදරවන දමිත් අසංකගේ විරහ ගීයක් හින්දා ඕං මගෙ හිත බරවෙනවා. ඒත් එක්කම ළඟ සීට් එහෙක ඉඳන් උන්න අංකල් කෙනෙක් නැගිටිනවා.


"මේ ලෝකෙ හැමදේම දෘෂ්ඨි මායාවල් විතරයි සහෝදරයා. දෘෂ්ඨි මායාවල් විතරයි." මං හිතිවිල්ලේ පස්ස සීට්ටෙකට බර කරනවා. මනෝ පාරක් ගහගෙන ගෙදර යනවා.


රෑ නමයට විතර, සිංදුවක් කනේ ගහගෙන ශෝකභරිත මනෝ පාරක කිමිදෙන්න මම තඩි ෆිසික්ස් පොතක් ඉස්සරහ වාඩි වෙනවා. ඔව් ඉතින්, නිකම්ම මේසෙට ඉඳගත්තහම පිළිකුල් භාවනාව වඩන්න බැහැ නෙව, ඒකට නිමිත්තක් එපැයි.


ඔන්න සන්ටෙල් සී.ඩී.එම්.ඒ. තෙලබනුව නාද වෙනවා.


"හෙලෝ!"

"#$%@ %^#@ &^#!!"

"මොකද යකෝ?"

"#$%@ %^#@ &^#!! 7#$%@ %^#@ &^#!!"


මල හත්තිලව්වට ගහපු කලාබරේ කියන්නැහේ මට එතකොට මතක් වෙනවා මුන් මට උන් එනකම් ක්ලාස් එක ගාව බලන් ඉන්න කියපු බව.


"අපි බස් එකේ එනකොට දැක්කා තෝ අස්පයා මැරිච්ච කව්බෝයි වගේ ඔලුව බාගෙන අතපය විසික් කොරගෙන ඇවිදං එනවා. අපි ටක් ගාලා පිටිපස්සෙ දොරෙන් බැස්සා."


"ඉත්තින්!"


"බැහැලා අරූගෙන් ඇහැව්වා උඹ කොයි කියලා. ඌ කිව්වා එකපාරට සෙනග අතරෙ අතුරුදහන් උනා කියලා. ඊගාවට අපි මීගමුව පීරලා තෝව හෙව්වා. රෑ අට වෙනකම් හෙව්වා."


"මලකෙලියයි ඉත්තින්!"


"ඊට පස්සේ අපිට ගෙදර යන්ඩ බස් නෑ. උඹලගෙ ගෙදරට කෝල් කරන්නත් බයයි. හොඳ වෙලාවට අරයගෙ යාලුවො කට්ටියත් ආව උඹව හොයන මිෂන් එකට. අන්තිමේ කොල්ලො ටික මාරවිලට යන බස් එකකට වැඳලා වගේ මාදම්පෙට යන්න කතා කරව ගත්තා. මේ දැන් ගෙදර ඇවිත් පණ බයේ උඹලගෙ ගෙදරට ගත්තේ!"


"???"


"මට හොඳටම සුවර් උඹව තමයි අපි ඒ බස් එකේ ඉන්නකොට දැක්කෙ! අපි හිතුවෙ උඹව මොකෙක් හරි පැහැරගෙන ගිහින් කියලා. සිරාවටම උඹට මොකද උනේ?"


"තොපි කියන්නෙ අර කහපාට තොරොම්බල් බස්සෙකද?"


"ඔව් යකෝ ඔව්."


"අඩේ! එහෙනම් ඒක දෘෂ්ඨි මායාවක් නෙමෙයි!"


"මොකක්ද?"


"මම දැක්කා උඹලා බස් එකේ ඉන්නව. ඉතින් මම ටක් ගාල පාර පැනල ඉස්සරහ දොරෙන් නැග්ගා. නැගල බලද්දි උඹල නෑ."


"ඉතින් ඇයි තෝ බැස්සෙ නැත්තෙ හිවලො?"


"මං ඉතින් හිතුවා ඒක දෘෂ්ඨි මායාවක් වෙන්න ඇති කියල බං. මේ ලෝකෙ හැමදේම දෘෂ්ඨි මායාවල් නෙව. මම එහෙම හිතලා එන්න ආව."


"#$%@ %^#@ &^#!!" 





Monday, December 7, 2015

පුලුවන්ද මතකයෙන් පහරන්න???


බූන්දියේ සබැඳිය : කවි කරන්ට්ස් - පුලුවන්ද ඔබට?


Saudi Arabia sentences Sri Lankan maid to death by stoning for adultery - but the man she slept with will escape with 100 lashes.




වැරහැලිවු අත්තටුය,
පලින් පල ඉරී ගිය සිහින ය,
මුහුදු තීරෙන් එපිට,
හිතේ ගින්දර එන්.ආර්.එෆ්.සී. කර,
අවුළුවන ගෙයි ලිපේ ගින්දර,
අළු බැඳුනු සමනලියන් ය.


හෙට අනිද්දට,
අණ්ඩ ලූ අත්තටු මත,
ගල් බොරළු වැස්සක් වසින'තර,
පුළුවන්ද ඔබට,
අගනුවර මල් වැස්සක සිහිල විඳගන්න?
සෝෆාව මත ගුලිව,
තුරුණු ආදර කතා කියවන්න?


හිස තැලී - ලය පැලී,
ඈ සුස්ම අදිනතර,
පුලුවන්ද ඔබට,
හින්දි තනුවක් සිවුරුහන් කරකර,
ටයි ගැටය සකසන්න?
කර පාන් පෙති උඩින්,
ඉඳි ජෑම් තවරන්න?


පුළුවන්ද ගැහැණියක් - අම්මෙක්,
බිඳුණු මැසි තටුවකට,
වේලිච්ච කොළයකට,
පිළුණු බත් සුඹුලකට සමවෙන්න?
නිය පිටින් පහරක් ගසා,
වීසිකර මතකයෙන් පහරන්න?