Wednesday, July 31, 2013

එක්ස්-ඒලියන් (ex-alien)


ජාලයේ හෝ ෆේස්බුකියේ සැරිසරන බස්සීට කාලයෙන් කාලයට අපූරු ගීත ශෙයාර් වී තිබෙන ආකාරය දක්නට ලැබෙන්නේය. බස්සිත් ලින්කුවට කොටා ගීතය බාගෙන අසන්නේය. කොලවෙරි, ගන්නම් ස්ටැයිල්, හනීබනී වැනි බස්සිගේ ප්‍රියතම ගීත බොහොමයක් එසේ බාගත් ඒවාය.



ළඟදී දවසක බස්සිට කවදාවත් නොඇසූ ආකාරයේ අපූරු ගීතයක් රසවිඳීමට සිදුවුනේ එසේ ලින්ක් වලට කෙටීමේ ප්‍රතිඵලයක් විදියටය. ගීතයේ නම එක්ස් ඒලියන්ය. දැන් ඉතින් නම කියවූ වහාම කුරුල්ලෝ සැට් එක බස්සිගේ පෝස්ට් එකද ඩිස්ලයික් කොරන්නට හදනවාද වෙන්නට පුලුවන්ය. ඒ තරමට ගීතය දැන් ජාලයේ ප්‍රසිද්ධය. ඒ ගැන ලියා පලක් නැත.

බස්සිගේ හිතට වැදුනේ නම් ඒ ගීතය නෙමේය. එයට පහළින් වූ අපූරු කොමෙන්ටු වැලය. 

ගීතය ගයන්නේ අවුරුදු දාහතරක පොඩි කෙල්ලෙක්ය. දැන් ඒකිට අවුරුදු පහළොවය. ඒකිගේ ඇඩ් එක වයසට වඩා වැඩි බව නම් ඇත්තය. ඒත් අවුරුදු පහළොවක් කියන්නේ හරි වැරැද්ද ටිකක් අඩුවෙන් තේරෙන වයසක් බව ඔය කවුරුත් දන්නවා ඇතිය.

සින්දුව අහපු ගමන් ගෙදර මදුරුවෝ එහා ගෙදරට දුවපු බව, පූසා බත් කෑම නවත්තපු බව, හේනේ වල් අලි එලවාගත් බව කියැවෙන කොමෙන්ටු දකින විට මේධානිටත් සමහරවිට හිනා යන්නට ඇත. බස්සිනම් ඒවාට ඇස් දෙකෙන් කඳුලු පනින තුරු හිනා වුනේය.

ආදරෙන් ඒකිට හරි වැරැද්ද තේරුම් කරන්නට හදාපු අයියලා අක්කලා කීපදෙනෙක්ද සිටියේය. සංයමයෙන් අපූරුවට වදන් ගැලපූ ඒ කොමෙන්ටු කියවන්නට ආසා හිතෙන්නේය. ඒවා කියවා කෙල්ල සමහරවිට දෙපාරක් ඒ ගැන කල්පනා කොරන්ටද ඇතිය.

නමුත් කොමෙන්ටු වැලේ සීයට අසූවක්ම තිවුනේ ලංකාවේ අසහන කාරයෝ කොච්චර සිටීදැයි පෙන්වාදෙන කොමෙන්ටුය. ටිකක් වැඩිපුර ඇඩ් එක දමමින් සින්දුවක් කීවාට, සින්දුව අතරමගදී කන හිරිවැටුනට ඒකට කුනුහරුප ලියා කොමෙන්ටු දැමීම කොපමන සාදාරණද කියා බස්සි කුරුලු යාලුවන්ගෙන් අහනවාය. ගීතය කියන්නේ අවුරුදු පහළොවක පොඩි කෙල්ලක්ය. ඒ සින්දුව ඇසූ පමණින් ඒකිත් එක්ක නිදිවදින්න හදන්නේ අවුරුදු තිහ හතලිහේ අංකල්ලාය. අසහනය ඇත්තේ කෙල්ලටද? කුනුහරුප කොමෙන්ටු දමන අංකල්ලාටදැයි බස්සිට ගැටලුවක්ය.

සෝෂල් නෙට්වර්ක් බුලිං (social network bullying) කියන එකට විරුද්ධව මෑත අතීතයේ ලෝකය කැළඹූ සීන් එක දැන් ලංකාවේ අංකල්ලාටත් සමහර අයියලාටත් අමතක වෙලාය. කැනඩාවේ අමන්දා ටොඩ් සියදිවි හානි කරගත් වෙලාවේ "මේ නංගි මගෙ යාලුවෙක් වුනානම් ඔහොම මැරෙන්න දෙන්නෙ නෑ" යනුවෙන් කොමෙන්ටු දැමූ අයද මේ අතර සිටින්නට ඉඩ තියෙනවාය. ලංකාවෙන් අමන්දා ටොඩ්ලා සෝෂල් නෙට්වර්ක් බුලිං ගැන ලෝකයට කියනවා අහන්නට තරම් අපි අවාසනාවන්ත නොවේවා කියන එක බස්සිගේ පැතුමය.



තව පොඩ්ඩෙන් මේ ටික කියන්න අමතක වෙනවාය.

කෙල්ල වී ලීක්ස් වලට කියන කතා ටිකත් චාටර් බව ඇත්තය. සිංහල පුරස්න වලට කඩු හරඹයෙන් උත්තර බැඳීම වැරදිය. ඒත් අපේ සමහර එෆ්.එම්. වල නිවේදක අයියලා අක්කලා කොරන්නේත් ඒ ටිකම නේද කියා අහන්නේ තරහකට නෙමේය.

මොනවා වුනත් බස්සිටනම් ඒ කෙල්ල හතරැස් සිදුරකට බහින්නට යන රවුම් ඇණයකි (a round peg in a square hole). එහෙම උදවියට මුලදී ගොඩක් තැන්වල වරදිනවාය. චාටර් කන්නටත් වෙනවාය. ඒ කිසිවකින් නොසැලී කෙල්ල වෙනස් වැඩක් කිරීම අගේ කල යුතුය. අත්දැකීම් සහ පුහුණුවත්, අංකල්ලාගේ කොමෙන්ටු කාගෙන ලබන පන්නරයත් නිසා කෙල්ලට චාටර් නොවෙන වෙනස් වැඩක් කිරීමට හැකිවේවායි තවද පතන්නෙමිය.


Tuesday, July 30, 2013

තිස් හතරවෙනි කොටස : බලු පූස් යාලුවෝ


කැම්පස් ජීවිතේ වැඩිම කාලයක් බස්සයි බස්සියි ගත කරල තියෙන්නෙ ජිම් එකේ. නෑ නෑ මේ ජිම් එක කායවර්ධන මධ්‍යස්ථානයක් නෙමෙයි අනේ. අපි ජිම් එක කියන්නෙ  කායවර්ධන මධ්‍යස්ථානයට යාබදව තියන කැන්ටිමට.

බස්සි කොහොමත් ලෙක්චර්ස් යන්න කම්මැලි නිසා එයාව ලෙක්චර් හෝල් එකේදි දකිනවට වඩා ජිම් එකේදි දැකගැනීමේ සම්භාවිතාව වැඩියි. නිතරම ගැවසෙන තැනකදි හමුවෙන  හැම කෙනෙක්ටම, හැම දේකටම නමක් දෙන එක බස්සිට පුංචි කාලෙ ඉඳන් තිවුන පුරුද්දක්. කාලෙ ගෙවෙනකොට හෙමින් සැරේ බස්සටත් මේ පුරුද්ද බෝ කරගන්න බස්සිට පුළුවන් වුනා.

ජිම් එකේ බස්සිට හිටපු හොඳම යාලුවො තමයි පූසො. සුදු මහත සහ අලු පාට පුල්ලි වැටුන පූසිගෙ නම ටීගෝ. මෙයා ටිකක් විතර වසයි. පේස්ට්‍රි සහ අනෙක් බේකරි නිෂ්පාදන කන්නෙ නෑ. බස්සි ආවම ළඟට වෙලා බලන් ඉන්නවා. බත් කනව කියල දැනුනොත් කකුල් දෙකෙන් හිටගෙන හාල්මැස්සෙක් ඉල්ලගන්න ට්‍රයි එකක් දෙනවා.



සුදුයි තැඹිලියි ලස්සන පූස්ගෙ නම ටෙඩී. මෙයා මුලින්ම ගැවසුනේ ආර්ට් ෆැකල්ටි එක ඇතුලෙ. බස්සිගෙ ළඟ ඉඳලාම ටෙඩී අන්තිමේදි අල වුනා. දවසක් දා හවසක බස්සිත් එක්ක ජිම් එකේ ඉඳන් සයන්ස් ෆැකල්ටි එකට ආපු ටෙඩී දිගටම එතන නතර වුනා. ළඟට ඇවිත් හලෝ ටෙඩී කීවම කෙලින් වෙලා බස්සිට අත් දෙක දෙන තරමටම මෙයා ලෙන්ගතුයි.


ටෙඩීගෙ පුතා තමයි වන්ෂොට්. පොඩි වුනාට හරි දඟයා. ලොකු බව්වන්ට උඩ පැනලා කරාටෙ ෂොට් දෙනව ඇස් දෙක මැද්දටම. බව්වො පණ එපා කියල දුවනව.

ජිම්නාස්ටික් ක්‍රීඩකයෙක්ගෙ වාගෙ හරිම නම්‍යශීලී අතපය තියෙන, කලු පූස්ගෙ තියෙන්නෙ හරිම ගුප්ත පෙනුමක්. හරියටම පුරාණ ඊජිප්තු කතාවල එන පූස්ලා වගේ. ඒ නිසයි බස්සි එයාට 'පාරාවෝ' කියලා නම තිබ්බෙ.

හුරුබුහුටි, කෙට්ටු, තැඹිලි පාට පූස්ගෙ රාජකාරිය තමයි සින්ක් පේලිය මුර කිරීම. ඒ වගේම වහලා තියන කුණු කූඩෙ පියන උඩට වෙලා නිදාගන්නත් මෙයා හරි රුසියා. ඒ හින්දයි බස්සි එයාට 'කුණු ලොක්කා' කියල නමක් දැම්මෙ.

පූස් යාලුවො වගේම බස්සිගෙ ආදරය දිනාගත්තු බලු යාලුවො සෙට් එකකුත් කැම්පස් එකේ හිටියා.

කැම්පස් කන්ද නගින තැනදිම බස්සිට මුණගැහෙන කෝපි කුඩු පාට බූල් පිරිච්ච බලු යාලුවා තමයි 'නීරෝ'. ගෙදරක හැදුන බලු යාලුවෙක් නිසා එයාට තවත් නමක් නම් තියෙන්න ඇති. බස්සා නම් කියන්නෙ බස්සි "නීරෝ..." කියල කතාකරද්දි එයා බලන්නෙ "ආන් අදත් මගෙ නම දන්නැති පිස්සි එනවා" කියනව වගෙයිලු.

අනිත් බලු යාලුව තමයි බේස් එකෙත්, ජිම් එකෙත් සමානව කාලය ගතකරන 'ටොමී'. මෙයා කලු පාටයි, දුඹුරු පාටයි. හරිම අහිංසක ඇස් දෙකක් තියෙන්නෙ.

නොකියාම බැරි අනිත් යාලුව තමයි 'ජිම්නාස්ටික්'. මෙයා අසමමිතිකයි. එක කනක් ඉස්සිලා, අනෙක පාත්වෙලා. එක ඇහැක් දිගටියි, අනෙක රවුම්. මෙයාගෙ හැකියාව තමයි ජිම්නාස්ටික් පෙන්වීම. ඔයාල දැකල තියනවද බව්වෙක් දණිස් දෙක නමලා දණ ගහනවා? මෙයා ආන්න ඒ සුවිශේෂී හැකියාව පෙන්වනව බලාගන්න පුලුවනි කැම්පස් එකේ පෝස්ට් ඔෆිස් එක ඉස්සරහට ගියොත්.

'ජිම්නාස්ටික්' ගෙ ප්‍රධාන හතුරා තමයි 'දියෝනිස්'. දිගටියි, සැරයි, නපුරුයි. ඒ හින්දමයි බස්සි එයාට 'නපුරු දියෝනිස්' කියලා නමක් දැම්මෙ.

කැම්පස් එකේ ගොඩක් අය ඒකමතිකව පිළිගන්න නමක් තියන බලු යාලුව තමයි 'එස්.බී.'. මහතයි, කොටයි. දුඹුරු පාටයි. මෙයාට ඒ නම පටබැඳුනෙ දකින ඕනෑම කෙනෙක්ව හපාකන්න පනින නිසා සහ කුණු බාල්දි ඇවිස්සීමට තියන දැඩි ආශාව නිසාමයි. කාලයක් මෙයාගෙ පිටේ "Sඹ්" කියලා කවුදෝ තීන්තෙන් පින්තාරු කරල තිවුන බවත් බස්සිට මතකයි.


Monday, July 29, 2013

බස්සි බිසී වෙයි



බස්සිගේ බ්ලොග් නවාතැන ආරම්භ වී තවම මාසයක්වත් ගතවී නැත්තේය. නමුත් නවාතැනට ගොඩවැදුනු කුරුල්ලන්ගේත් කිරිල්ලියන්ගේත් අඩි සළකුනු කියාපාන්නේ බස්සිගේ නවාතැනට ආදරේ කරන්නන් බොහොමයක් සිටිනා බවය.

බස්සී බ්ලොග් ලිවීම පටන් ගන්නේ අමාරුවෙන් ඇදගෙන ආ ජොබ් කට්ටට තිත තැබූ නිසාවෙන්ය. ජොබක් සෙට් වෙන තුරු බස්සිගේ පාලුව මැකුනේ මේ බ්ලොග් නවාතැනින්ය. ජොබ් කට්ටට තිත තැබීමේ කතන්දරයත් දවසක කියන්නම්ය. ඒ බස්සිගේ ආදර කතාව ලියා අහවර වූ දිනකදීය.

කෙසේ හෝ බස්සිට නැවතත් ජොබක් සෙට් වී ඇත්තේය.අද සිට බස්සී නව ජොබ් කට්ටේ වැඩ ඇරඹුවේය. ඒ නිසා 
අනාගතයේදී බස්සීට තරමක් දුරට බිසී වෙන්නට සිදුවනු නොඅනුමානය.

අපොයි දෙයියනේ ඉතින් මට බනින්නට නම් එපාය. බ්ලොගය වසා දමන්නේ නැත්තේය. හෙටත්, අනිද්දාත්, ඉන් අනිද්දාත් ලියන්නම්ය. පුලුවන් හැම මොහොතකම ලියනවාය. වෙනදා පුරුදු ටයිම් එකට පබ්ලිස් කිරීම නම් සුවර් නැත. මන්ද යත් වැඩ අහවර වෙන්නේ හතහමාරටය. ඒ නිසා සිදුවන්නට නියමිත ප්‍රමාද දෝසයට සමාව භාජනේකට දමන්නය.

හැමදාමත් ලියන්නට පුලුවන් උපරිම උත්සාහය යොදනවාය. අතරින් පතර දිනක බස්සිට ඇවිත් යන්න එන්නට බැරි වුනොත් ඒ ගැන තැවෙන්නට එපාය. නැට්ට පිටින් අලි මැරෙන රටේ ඕවත් ප්‍රස්නද කියා හිත හදා ගන්නය.

ජොබ නිසා බ්ලොග ලිවීම නැවැත්තුවොත් බලාගන්නට පුලුවන් යැයි පෙරේදා ෆාති අක්කා මට මරණීය තර්ජනයක්ද එල්ල කලාය. එය මම භාර ගත්තේ හද පිරි සතුටින්ය. දැන්ම මැරෙන්නට මගේ හිතේ කිසිම බලාපොරොත්තුවක් නැත්තේය. මලත් ෆාති අක්කා අතින් නම් ඒ ටිකට් එක එපාමය. ඒ නිසා රෑ දෙගොඩහරියේ හරි ලියන එකත් ලියනවාමය.

කාලෙකට පසු නැවතත් කොළොම්පුරේ එන්නට හැකිවීම නිසාත් බස්සාගේ මූනු පොඩිය දැකගත් නිසාත් හිත සතුටින් පිරී ඉතිරී ගිහින්ය. ඒ නිසා අද කතා මතක් වෙන්නේ නැතිය. හෙට රෑට අලුත් එපිසෝඩ් එක ලියන්නම්ය.

එතෙක් කුරුලු යාලුවෝ සියල්ලන්ටම ටටා බායි වේවාය.

Saturday, July 27, 2013

තිස්තුන්වෙනි කොටස : ලෙඩ බැලීම

ඊයෙ බස්සිගේ කෝච්චි ගමන ගැන කිවුවට හොස්පිට්ල් එකේ ඉන්න කුරුල්ල ගැන කිවුවෙ නැහැ නෙව. ඒ නිසා ඕන් බස්සි අද එතැන් සිට ඉදිරියට කතන්දරේ කියාගෙන යනවා.

බස්සා බස්සිගෙ අතින් අල්ලගෙන ස්ටේෂන් එකෙන් එලියට ආවා. රාගම කියන්නෙ බස්සිට හුරු පුරුදු ටවුන් එකක් නෙමෙයි. බස්සගෙ අතේ එල්ලිලා බස්සා යන පැත්තට තටු ගහන එක තමයි බස්සි ඒ වගේ වෙලාවට කරන්නෙ. ගොඩක් වෙලාවට කිචිබිචි ගගා කියෝකියෝ ඔහේ ඇදිල යනව මිසක් පාරක් තොටක් බලාගන්නනම් කිසිම කල්පනාවක් නෑ.


බස්සා යනවා යනවා යනවා..... ඉවරයක් නෑ. එදා පොළ දවසක්. සෙනග ගොඩේ චප්ප වෙවී යන එක නම් එපා වෙනවා. හැබැයි එක තැනක ලස්සන ටෙඩියො ගොඩාක් වටකරගෙන හිටපු ආච්චි කෙනෙක්ව නම් බස්සිගෙ හිතට ඇල්ලුවා. ඇහැ එතන නතරවෙද්දි බස්සිට ඉබේම බ්‍රේක් පෑගුනා.

"ඉක්මනට යමු නංගියෝ, ලෙඩ්ඩු බලන වෙලාව ඉවරවෙන්නත් ළඟයි." බස්සා කළබලෙන් කිව්වා. "අපි ටෙඩියෙක් ගනිමුකො පස්සෙ වෙලාවක."

රාගම හොස්පිට්ල් එක තියෙන්නෙ කඳුගැටයක් මුදුනෙ. අපෙ අප්පෝ ස්ටේෂන් එකේ ඉඳන් ඇවිදගෙන ඇවිත් ඒ කන්දත් නගින්න වෙන එක සුලුපටු කට්ටක් නෙමෙයි. කන්ද මුදුනෙ හොස්පිට්ල් එක තිබුනෙ හොඳ වෙලාවට නේද කියලා බස්සිට හිතුනා.

ඔන්න ඉතින් බස්සා පඩිපෙලවල් නැගගෙන, දිග කොරිඩෝ පහුකරගෙන, ඇඳන් පේලි පේලි මැදින් බස්සිව එක්කරගෙන ගියා යාලු කුරුල්ලා වහලා හිටපු ඇඳ ගාවට.

වෙනදා කැම්පස් එක පුරා පෙරලි පෙරලි ඉන්න කුරුලු යාලුවා ඇඳට වෙලා කැඩුන තටුව වෙලාගෙන දොයි. බස්සිට පවූ කියල හිතුන. කුරුලු යාලුවගෙ අම්මයි පුංචි අම්මයිත් ඇඳ ගාවට වෙලා බලාන හිටියෙ හරිම දුකෙන්. බස්සිලා ඇවිත් ටික වෙලාවකින් එයාලා කෝච්චියට පරක්කු වෙනවා කියලා ගියා.

බස්සියි බස්සයි කුරුලු යාලුවා එක්ක සෑහෙන වෙලාවක් කියෝ කියෝ හිටිය. කුරුලු යාලුවාගෙ ඇඳ වටේ තිවුන අනෙක් හැම ඇඳකම හිටියෙ යුද්ධෙට ගිහින් අත් කකුල් අහිමි වෙච්ච සොල්දාදුවො. බස්සිත් ඉතින් ඕපාදූප නොබලන කිරිල්ලි නෙව. ඔය වගේ වෙලාවට බස්සිගෙ ඇස් දෙකට හරියට වැඩ.

කුරුලු යාලුවාගෙ ඇඳට එහාපැත්තෙ ඇඳේ හිටිය සොල්දාදු අයියගෙ වම් කකුල දණහිස ගාවින් වෙන් කරලා. එයාට එයාගෙ කිරිල්ලි පුංචි පුංචි බත් ගුලි හදහද කවනවා. කිරිල්ලිගෙ ඇස් වල කඳුලු. සොල්දාදු අයිය කිරිල්ලිගෙ කඳුලු පිහදාල ඔලුව අතගානවා.

"මේවද අපිට එවාපු යුනිෆෝම්?" මෙහාපැත්තෙ ඇඳේ ඉන්න සොල්දාදු අයිය කෑ ගහල අහනව. එයාගෙ අතේ බාල පිජාමා රෙද්දකින් මහපු කමිසයක්. "අපිට මෙතනට එන්න වුනේ මුන් හැමෝම වෙනුවෙන් ඉස්සරහට ගිය නිසයි. පත්තරවල, ටීවී වල කෑගහනව විතරයි. අපිට කුඩම්මගෙ සැලකිලි."

ටික වෙලාවකට මුලු වාට්ටුවම නිශ්ශබ්ද වෙනව.

"එයා කියන කතාව ඇත්ත. ඒත් දෙයියනේ අපි මොනව කරන්නද?" හෙද සොයුරියක් එහෙම කියාගෙන කුරුලු යාලුවාගෙ ඇඳ පහුකරන් යනව.

සොල්දාදු අයියට බත් කවපු කිරිල්ලි යන්න සූදානම් වෙලා. එයා සොල්දාදු අයියගෙ බෙල්ල බදාගෙන අඬනව. මෙච්චර වෙලා කළබලෙන් එහෙ මෙහෙ දුවපු බස්සිගෙ ඇස් දෙක තෙත් වෙනව. ආපහු ඒ ඇස් කුරුලු යාලුව ළඟ නතර වෙනව.

බස්සයි බස්සියි කුරුලු යාලුවයි පැය එකහමාරක් විතර කියෝ කියෝ  ඉන්න ඇති. එක පාරටම ඇටෙන්ඩන්ට්ලා වගයක් ඇවිත් වාට්ටුව හෝදන්න පටන් ගත්තෙ එතකොටයි. නර්ස් කෙනෙක් ඇවිත් එහා පැත්තෙ ඇඳේ ඉන්න සොල්දාදුවෙක්ගෙ කකුලෙ තුවාලයක බැමි ලෙහෙන්න පටන් ගත්තෙ ඒ වෙලාවෙමයි.

වාට්ටුව මදින්න අර සැර 'ඉස්පිරිතාල සුවඳ' එන ක්ලීනින් ලික්විඩ් එකක් ඉහිනකම් බස්සි ගාම්භීර ලෙස කෙලින් හිටියා. නරක වෙලාවට එතකොටම අර නර්ස් බෙහෙත් බෝතලයක් ඇරියෙ වෙලුම්පටි ලෙහෙපු තුවාලෙට බෙහෙත් දාන්නයි.

බස්සිට වාට්ටුවෙ ඇඳන් දොළහ වෙනුවට කැරකෙන ඇඳන් හතළිස් අටක් පේන්න පටන් ගත්තා.

වහාම ක්‍රියාත්මක වුන බස්සි පුටු මේස පෙරලගෙන බැල්කනි එකේ පුලුවන් තරම් ඈතට දුවගෙන ගියා. එක පාරටම ලෝකෙ මහා අමුතු දම්-නිල් පාටකට හැරෙනකොට බස්සි ළඟ තිවුන බංකුවකට වාරු උනා.

"නංගියෝ..... කතා කරන්නකො බබෝ..... ඔයාට මොකද වුනේ?" බස්සගෙ කටහඬ ඇහුනෙ ආලෝක වර්ෂ ගනනාවකට එහා ඉඳන් ඇහෙන හඬක් වගේ.

බස්සිගෙ මූණට වතුර බිංදු අහුරක් වැටෙනකොට බස්සි හෙමින් හෙමින් ඇස් ඇරියා.

"මට කැරකිල්ලක් වගේ ආවා...."

"මම හොඳටම බය වුනා. ඔයා එලියට දිවුවෙ හොඳ වෙලාවට එහෙනම්." බස්සා බස්සිගෙ ඔලුව අතගෑවා.

"මට ඒ ක්ලීනර් එකේ සුවඳටයි, තුවාල බේත්වල සුවඳටයි කොහොමත් කලන්තෙ හැදෙනව." බස්සි මෙතෙක් කල් බස්සට නොකියපු දෙයක් ඒක.

"මරු!! දැන්ද කියන්නෙ"

"කිවුවනම් මාව යාලුවව බලන්න එක්කගෙන එන්නෙ නෑනෙ...." බස්සි ඉතා සාධාරණ ලෙස නිදහසට හේතු දැක්වුව.

"ඔයා ඔහොමම ඉන්න. මම යාලුවට කියල එන්නම්. අපි දැන්මම යමු." බස්සා ආපහු වාට්ටුව ඇතුලට ගියා.

එදායින් පස්සෙ ආපහු ලෙඩෙක් බලන්න හොස්පිට්ල් යන්න බස්සගෙන් අවසර ගන්න බස්සිට සෑහෙන කාලයක් ගියා. එහෙම යන වෙලාවටත් විනාඩි දහයකට, පහළොවකට වතාවක් 'ඔයාට අවුලක් නෑ නේද?' කියකියා අහන්න බස්සා අමතක කලේ නෑ.


එදා ගමනෙන් වුන එකම නරක ප්‍රතිඵලය වුනේ බස්සගෙ යාලුවා බස්සිව දැක්කම;
"තව ටිකෙන් මට කකුල කරේ තියන් ඇඳෙන් බැහැලා බස්සිව ඇඩ්මිට් කරවන්න වෙනවා" කියලා හිනාවෙන එකයි

බස්සා යාලුවත් එක්ක ඒ වෙලාවට;
"බේත් සුවඳ ආපු ගමන් නොකවුට් වෙන මේ කෙල්ල දෙතුන් පාරක් ඒ ලෙවල් ලියල හරි මෙඩිකල් ෆැකල්ටි ගියානම් මාර සීන් ටිකක් බලාගන්න තිවුන නෙව.... අපරාදෙ!!" කියලා හිනාවෙන එකයි විතරමයි.

Friday, July 26, 2013

තිස්දෙවැනි කොටස : කෝච්චියේ ගමනක්


කැම්පස් පටන් ගත්තත් බස්සගෙ එක යාලු කුරුල්ලෙක්ට තුන වසරෙ පළවෙනි වාරෙ කැම්පස් එන්න වුනේ නෑ. ඒ කුරුල්ලා දඬුමොණරෙක නැගලා ඉගිල්ලෙන්න ගිහින් තටුවක් කඩාගෙන රාගම හොස්පිට්ල් එකේ ඇඳක වහලා කාලෙ ගෙවන්න සිද්ධ වෙලා තිවුනා. ඒ ගැන බස්සා හිටියෙ හරිම දුකෙන්.

යාලු කුරුල්ලා බලන්න බස්සා කලින් දවස් කීපයකදිම ගිහින් තිබුනත් බස්සිට එක එක හේතු නිසා ඒ ගමන් වලට එන්න බැරි වුනා. ඊළඟ වතාවෙදි නම් බස්සිව එක්කන් යන්නම ඕනෙ කියලා බස්සා ගාවට වෙලා නිතරම ඥරු ඥුරු ගෑවෙ ඒ නිසයි. කැම්පස් එකේ ඉඳන් රාගමට යන්න පහසුම විදිහ කෝච්චියේ යන එක කියලා බස්සා බස්සිට කිවුවා.

ඒ වෙනකොට බස්සි කවදාවත් කෝච්චියක ගිහින් තිවුනෙ නෑ.

ඔව් අනේ.... ඉස්කෝලෙ යාලුවො එක්කවත් ගිහින් තිවුනෙ නෑ නෙවෙන්නම්.

ඔන්න ඉතින් බස්සි බස්සත් එක්ක නමෝ විත්තියෙන් කෝච්චියේ ගමනාරම්භයට සූදානම් වුනා. කොහොමින් කොහොම හරි ටිකටුත් අරගෙන, බස්සිගේ ප්‍රියතම මඤ්ඤොක්කා පෙති පැකට් දෙකකුත් අරන් දෙන්නා එක්ක ගිහින් ෆ්ලැට්ෆෝම් එකේ බංකුවක වැහුවා.

"කෝ බලන්න ටිකට්." බස්සි බස්සගෙන් ටිකට් දෙක ඉල්ලගත්තා. "ආනේ..... ලාබයි නේ...!" බස්සිපුදුමෙන් බස්සගෙ මූණ දිහා බැලුවා.

බස්සා වටපිට බලනවා, කවුරුත් අහගෙන හිටියොත් වස ලැජ්ජාවයි නෙව.

"මම මේ ටිකට් දෙක තියාගන්නම්, මගෙ මුල්ම කෝච්චි චාරිකාව මතක හිටින්න." බස්සි ටිකට් දෙක සාක්කුවෙ ඔබාගන්න ගමන් කිවුවා.

බස්සා අමාරුවෙන් හිනාව තද කරගෙන බස්සිගෙ ඔළුව අතගෑවා. "ඔය ටිකට් ආපහු එකතු කරනව නංගියො."

"අනේ නිකම් ඉන්න. ඔයාට හිනා යන්නත් එනවා.... මම ඔය බොරු වලට අහුවෙන්නෙ නෑ. මං දන්නව කෝච්චියෙ කොන්දොස්තරල නෑ කියල."

"රාගමින් ටිකට් කලෙක්ටර් කෙනෙක් මේව අපෙන් ඉල්ලගන්නව බබා. විහිලු නෙමේ, ඇත්තමයි. කෝ මට ඕක දෙන්න. ටිකට් නැතිවුනොත් දඩ ගහනව."

"හ්ම්ම්ම්...." ඒක ඇහුවමනම් බස්සිට ටිකක් දුක හිතුනා. මඤ්ඤොක්කා පෙති තුන හතරක්ම කෑවට පස්සෙ තමයි ආපහු මූණට හිනාවක් ආවෙ.

කෝච්චි යනවා කන ගාවින් වගේ. එක්ස්ප්‍රස් ඒව යද්දි හුළං පාරට බස්සිවත් ඇදිල යනව වගේ දැනෙනව. එතකොට නම් බස්සිට බයත් හිතුන. ඒත් බස්ස පුරුදු කාරයෙක් වගේ ගානක්වත් නැතුව ඉන්නව.

"බස්සෝ.... අපි කොහොමද නගින්නෙ කෝච්චියට?"

"මොකක්?" බස්ස පුදුමෙන් ඇහුව.

ඒත් එක්කම රාගම කෝච්චිය ඇවිත් අපි ඉස්සරහින් නැවැත්තුවා. එතකොට බස්සිගෙ ප්‍රශ්නෙට කෝච්චියම උත්තරේ දුන්න. කෝච්චි පෙට්ටිවල දොර ගාව පඩි තුනක් හයි කරල තියන බව බස්සි දැක්කෙ එදා. චූටි කාලෙ කෝච්චි වලට බය නිසා ඕව ළඟට ගිහින් නිරීක්ෂණය කලේ නැහැ නෙව.



කෝච්චියෙ ගමන නම් සුපිරි. මල් හතයි කොළ පහයි. කෝච්චිය යන්නෙ ටවුන් මැද්දෙ දූවිලි කාගෙන එහෙම නෙමෙයි. වෙල්යායවල්, පුංචි පුංචි කැලෑවල්, හෙමින් හෙමින් ගලා බහින දොළ පාරවල් අතරින් කෝච්චිය යන ගමන හරිම චමත්කාරජනකයි.

පෙලක් තැන් වලදි කෝච්චි පාර අයිනෙ පොල් අතු ගෙවල් පේලියක් හමුවෙනවා. බටු ඇට වගේ පොඩි කොලු කුරුට්ටො ගෙවල් වලින් එලියට පැනල සෙල්ලම් කරනව. අක්ක කෙනෙක්ගෙ අතේ ඉන්න පුංචි මල්ලි බබෙක් කෝච්චියට අත වනනව.

ඉස්ටේෂමෙන් එහා පැත්තෙ ගෙදරක පිරිමි ළමයෙක් එයාගෙ බලු පැටියව නාවනව. කෝච්චිය අද්දන සද්දෙට බලු පැටිය කළබල වෙලා දුවන්න හදනව. පිරිමි ළමයව වතුරෙන් නෑවෙනව.

බඩවැටිවල සුදු, කහ, රතු මල් පේලි කෝච්චිය හුළං කපාගෙන එද්දි පාරෙන් එහාට නැවෙනව. ලස්සන මූණු පොඩිති අපිරිසිදු වෙයි කියල බයෙන් වගේ. සමනල්ලු ඒ අතරෙ කළබලෙන් එහෙ මෙහෙ පියාඹනව.

නංගි බබෙක් මොන්ටිසෝරි ඇරිල අම්මගෙ අතේ එල්ලිලා ගෙදර යනව. අනිත් අතේ ජම්බො ජොලි අයිස් පලමක්. රෝස පාට ප්ලාස්ටික් බෝනික්කෙක්   නංගි බබාගෙ බෑග් එකෙන් එලියට ඔළුව දාගෙන ඉන්නව.

රටකජු, සූකිරි, පොප්කෝන් වෙලෙන්දො කෝච්චි පෙට්ටි අතරෙ එහාමෙහා යනවා. "සූකිරි අරන් දෙන්නද?" බස්සා බස්සිගෙ කනට කොඳුරලා අහනවා. බස්සි ඔළුව වනනව. බස්සිට මේ විනාඩි කීපය සූකිරි වලට වඩා රසවත්.

දොරෙන් ඇතුලට එන හුළඟ නැවුම්, ජීවයෙන් පිරිල. බස් එකේ කවුලුවෙන් එන දූවිලි කැලතුන හුළඟ නෙමෙයි මේ. ගහකොළවල හරිත වියමන් වලින් පෙරිලා, පිරිසිදු වෙලා එන හුළඟට කුරුලු පැටවුන්ගෙ, සමනලයන්ගෙ රහස් මුහු වෙලා. ඒ හුළඟ දඟකාරයි. බස්සිගෙ කෙහෙරැලි මූණට ඇදලා දානව. බස්සගෙ ආදරණීය ඇඟිලි තුඩු වලින් ඒ කෙහෙරැලි ආයෙත් බස්සිගෙ කන පිටුපස්සෙ හැංගෙනව.

කෝච්චිය රාගම ස්ටේෂන් එකේ නවත්තනව. බස්සා බස්සිගෙ අතින් අල්ලගෙන කෝච්චියෙන් බිමට බස්සගන්නව. කෝච්චියෙ ගමන තත්පරයක් අඩු නැතුව අදටත් බස්සිගෙ හිතේ තැන්පත් වෙලා තියෙනව.


Thursday, July 25, 2013

තිස් එක්වෙනි කොටස : ක්වොන්ටම් කෙමෙස්ට්‍රි සහ ගෙම්බෝ


"මට නම් බෑ තවත් මේක කරන්න. මට දැන් ඇති වෙලා" බස්සි ඔරවගෙන පොත් ටික පැත්තකට විසි කරලා, ඔළුව මේසෙ ඔබාගත්තා.

බස්සිට පාඩම් කරන එක තිත්තම වෙලා. දෙක වසරෙ පළවෙනි සෙමෙස්ටර් එක්සෑම් එක. අවකලනයත් යාන්තමට ගැටගහගන්න විතරක් දැනගෙන හිටපු බස්සිට ආංශික අවකලනයත් ඉගෙනගන්න වෙලා. අලි මදිවට හරක් වාගෙ ක්වොන්ටම් කෙමෙස්ට්‍රිවල තියන විභව ළිඳ ගැන බස්සිට එලෝ මෙලෝ අදහසක් නෑ.

"අනේ බස්සියෝ, මේ මොකද මේ?" බස්සා ඇහුවෙ බස්සිව ආපහු කෙලින් කරලා මූණට එබීගෙන.

"මාව මෙදා පාර කෙමෙස්ට්‍රි ෆේල් වෙන එක වෙනවමයි බස්සෝ. මේ විදිහට පාඩම් කරන එක තේරුමක් නෑ. පාඩම් කලත් මේකනම් ගොඩ දාන්න වෙන එකක් නෑ."

"මෝඩියේ ඔයා කොහොමද පේන කියන්නෙ? මම කිවුවනෙ ඔයාට ඩබා උගන්නන්නම් කියලා. (බස්සි ආංශික අවකලනයට කීවෙ ඩබා කියල. අර නම දිග වැඩීනෙ අප්පා... *ඩබා කියන්නෙ ආංශික අවකලනයේදි යොදන ග්‍රීක අකුරක් හොඳේ.)

"ඔයත් නිකම් අර කිරි පීප්පෙට වැටුන ගෙම්බා වගේ බස්සියෝ."

"මොකා?"

"කෝ ඉතින් නැගිටලා අහගන්නකො කතාව." බස්සා හරිබරි ගැහිලා කතාව කියන්න සූදානම් වුනා.

දවසක් තඩි මහත ගෙම්බෙකුයි, පොඩි කෙට්ටු ගෙම්බෙකුයි කෑම හොයාගෙන පැනපැන යනවා ෆැක්ටරියක් මැද්දෙන්. ඔහොම යනකොට යනකොට  මෙයාලා දැක්කා කළයක්. ඇතුලෙන් හොඳ සුවඳකුත් ආපු නිසා ඩබල වහාම පැන්න කළේ ඇතුළට.

අනේ ඒක කිරි කළයක්. ගෙම්බො දෙන්නව ගිලෙන්න ගත්තා.

"බීගෙන බීගෙන ගියානම් හරිනෙ කිරි ටික!" බස්සි මැද්දට පැන්නා.

"අහගන්නවා ගෙම්බියේ පනින්නෙ නැතුව."

කරවටක් ගිලීගෙන යද්දි ගෙම්බො දෙන්නම අතපය විසිකරකර පීනන්න පටන් ගත්තා. පැය කීපයක් ගෙවුනා. ඕන් මහත ගෙම්බා කෙට්ටු ගෙම්බට කියනවලු;

'මලේ මේ වැඩේ හරියන්නෙ නෑ බන්. දැන් පැය කීයක් ගියාද. අපි පීනලා පීනලා හතිවැටුනම ගිලෙන්න තමයි වෙන්නෙ.'

කෙට්ටු ගෙම්බා කිවුවෙ; 'එහෙම හිතන්න එපා අයියෙ. පුලුවන් වීරිය දාල පීනපං. කවුරුහරි අපිව දැකලා ගොඩට ගනීවි."

තවත් පැය ගානක් ගත වුනාට පස්සෙ මහත ගෙම්බා එක පාරටම කෑ ගහනව මෙහෙම;
'මට දැනුයි බන් මීටර් වුනේ අද ඉරිදා කියල. ෆැක්ටරියෙ මිනිස්සු නිවාඩු. අපි කොහොමත් ගිලෙනව මලේ. නිකම් පීනලා චාටර් නොවී මෙහෙමම යට යමු බන්.'

'කට පියාගෙන පීනපං මම කියනවට. ට්‍රයි කලොත් මොකක් හරි පොටක් පෑදේවි.' කෙට්ටු ගෙම්බා කිව්වා.

මහත ගෙම්බා තවත් ටිකක් වෙලා හෙමින් හෙමින් අත පය ගැහුවා. එකපාරටම 'මම යනවා මලේ. මට තවත් උඹේ බණ වලින් වැඩක් නෑ' කියල පීනන එක නවත්තලා යට ගියා.

කෙට්ටු ගෙම්බා තවත් විනාඩි පහළොවක් විතර පීනුව. එක පාරටම කකුල් දෙක තද මතුපිටක වදින බව ඌට දැනුන.

දවස පුරා කැලතුන කිරි ටික අන්තිමේදි බටර් වෙලා. බටර් එක උඩ හිටගත්ත කෙට්ටු ගෙම්බා කළෙන් එලියට පැන්න.


"ඒ වාගෙ තමයි බස්සියෝ ට්‍රයි කරන්න ඕනෙ. උත්සාහ කරන එක වැඩක් නෑ කියල අතඇරිය දාට අපි පරාදයි නංගියො. තේරුණාද ඔයාට?" බස්සා මගෙ ඇස් දෙකට එබිල ඇහුව.

ඩබා වල මලපොතේ අකුරක් නොදැන හිටපු බස්සිට ක්වොන්ටම් කෙමෙස්ට්‍රි වලට B+ අරන් දුන්නෙ බස්සගෙ කතන්දරේ තමයි.