හිනා මූණෙන් පටන් ගත්ත චැට් එක හැමදාමත් රෑ 9.00ට පටන් ගන්න චාරිත්‍රයක් බවට පත්වෙන්න වැඩි කාලයක් ගියේ නෑ. ඇයි එහෙම උනේ කියන්නනම් බස්සි දැනගෙන හිටියෙ නෑ. ඒ ගැන ඇහුවම බස්සා උනත් දෙන්නෙ එකකට එකක් නොගැලපෙන උත්තර.
“මම කාලෙක ඉඳලා ඔයා එක්ක කතා කරන්න බලාගෙනමයි හිටියෙ.” කියලා එක දවසක කියනවා.
“ජොලියටනෙ අනේ. කෙල්ලොත් එක්ක චැට් කරන්නෙ වෙන මොකටද?” තවත් දවසක අහනවා.
එකම එක දවසක් කිව්ව මෙන්න මෙහෙමත්.
“මම හිතාගෙන හිටියෙ බොරුවට ඔයාගෙන් යාලුවෙන්න අහන්න. ඔයා හා කිව්වොත්, මම කියන්න හිටියෙ ඒත් මම දැන් කැමති නෑ කියල.”
එදානම් බස්සිට හිතුන ඔලුව හිල්වෙන්න දෙකක් කොටලා කොහේටහරි ඉගිල්ලිලා යන්න. හොඳටම ඇඬුනත් එක්ක.
කොහොමින් කොහොම හරි මේ චැට් වල ප්‍රතිඵලයක් විදිහට තමයි camera කුරුල්ලා “බස්සා” කියන නම්බු නාමය ලැබුවෙ.
බස්සා වැඩ පටන් ගන්නෙ රෑට. මගේ බස්සත් නිශාචරයි. ලැප් එක අටවගෙන වැඩට බහින්නෙ රෑ 8.00ට විතර. ඩියුටි ඉවර වෙනකොට පාන්දර 3.30 – 4.00 විතර වෙනව.
බස්සො ගොදුරු හොයාගන්න යන්නෙ තනියම. මගේ බස්සත් ඒ කාලෙ වැඩ කලේ තනියම. ඒ කිවුවෙ බස්සා ඒ දවස්වල freelancer කෙනෙක්.
අනිත් කාරණාව තමයි, බස්සො වෙන කුරුල්ලො වගේ තොරක් නැතුව කිචිබිචි කිචිබිචි කියකියා කියවන්නෙ නෑනෙ. එහා පැත්තෙ ඉන්න කෙනා කියන ගොඩාක් දේවල්වලට ලැබෙන උත්තරේ “හ්ම්ම්ම්ම්… හ්ම්ම්ම්ම්ම්…. හ්ම්ම්ම්ම්ම්ම්….” කියන එක විතරමයි. බස්සෙක්ගෙන් ඊට වඩා වචනයක් ගන්න ගොඩාක් අමාරුයි.
ඔයාල දන්නවද බස්සන්ගෙ තියන තවත් ලක්ෂනයක්. බස්සන්ට ගොඩාක් දුර පේනව. එයාලගෙ පෙනීම හරිම තියුනුයි. ඒත් අනේ ඒ හින්දම එයාලට ලඟ පේන්නෙ ගොඩාක් අපැහැදිලිව. (ඈපා සර් කියාපු එකක් නිසා ඇත්තම වෙන්න ඇති.) බස්සන්ට හොටේට සෙන්ටිමීටර කීපයක් එහායින් තියන දෙයක් පේන්න සෑහෙන්න වෙලාවක් යනවා. බස්සට මේක කියෙව්වම නම් තරහ යයිද දන්නෙත් නෑ.
අනිත් බස්සන්ටනම් කොහොමද මන්දා, මගේ බස්සට තරහ යන්නෙ කොයි වෙලාවෙද කියල හොයාගන්නත් බැහැ නෙව.
එතකොට බස්සි කොහොමද බස්සියෙක් උනේ?
ඕක ඔච්චර කල්පනා කරන්න දෙයක්ද? බස්සගෙ ගෑණු සතා බස්සිනෙ. මේ වෙනකොටත් බස්සි බස්සියෙක් වෙලා තිවුනෙ නෑ!!
This comment has been removed by a blog administrator.
ReplyDelete