Friday, July 26, 2013

තිස්දෙවැනි කොටස : කෝච්චියේ ගමනක්


කැම්පස් පටන් ගත්තත් බස්සගෙ එක යාලු කුරුල්ලෙක්ට තුන වසරෙ පළවෙනි වාරෙ කැම්පස් එන්න වුනේ නෑ. ඒ කුරුල්ලා දඬුමොණරෙක නැගලා ඉගිල්ලෙන්න ගිහින් තටුවක් කඩාගෙන රාගම හොස්පිට්ල් එකේ ඇඳක වහලා කාලෙ ගෙවන්න සිද්ධ වෙලා තිවුනා. ඒ ගැන බස්සා හිටියෙ හරිම දුකෙන්.

යාලු කුරුල්ලා බලන්න බස්සා කලින් දවස් කීපයකදිම ගිහින් තිබුනත් බස්සිට එක එක හේතු නිසා ඒ ගමන් වලට එන්න බැරි වුනා. ඊළඟ වතාවෙදි නම් බස්සිව එක්කන් යන්නම ඕනෙ කියලා බස්සා ගාවට වෙලා නිතරම ඥරු ඥුරු ගෑවෙ ඒ නිසයි. කැම්පස් එකේ ඉඳන් රාගමට යන්න පහසුම විදිහ කෝච්චියේ යන එක කියලා බස්සා බස්සිට කිවුවා.

ඒ වෙනකොට බස්සි කවදාවත් කෝච්චියක ගිහින් තිවුනෙ නෑ.

ඔව් අනේ.... ඉස්කෝලෙ යාලුවො එක්කවත් ගිහින් තිවුනෙ නෑ නෙවෙන්නම්.

ඔන්න ඉතින් බස්සි බස්සත් එක්ක නමෝ විත්තියෙන් කෝච්චියේ ගමනාරම්භයට සූදානම් වුනා. කොහොමින් කොහොම හරි ටිකටුත් අරගෙන, බස්සිගේ ප්‍රියතම මඤ්ඤොක්කා පෙති පැකට් දෙකකුත් අරන් දෙන්නා එක්ක ගිහින් ෆ්ලැට්ෆෝම් එකේ බංකුවක වැහුවා.

"කෝ බලන්න ටිකට්." බස්සි බස්සගෙන් ටිකට් දෙක ඉල්ලගත්තා. "ආනේ..... ලාබයි නේ...!" බස්සිපුදුමෙන් බස්සගෙ මූණ දිහා බැලුවා.

බස්සා වටපිට බලනවා, කවුරුත් අහගෙන හිටියොත් වස ලැජ්ජාවයි නෙව.

"මම මේ ටිකට් දෙක තියාගන්නම්, මගෙ මුල්ම කෝච්චි චාරිකාව මතක හිටින්න." බස්සි ටිකට් දෙක සාක්කුවෙ ඔබාගන්න ගමන් කිවුවා.

බස්සා අමාරුවෙන් හිනාව තද කරගෙන බස්සිගෙ ඔළුව අතගෑවා. "ඔය ටිකට් ආපහු එකතු කරනව නංගියො."

"අනේ නිකම් ඉන්න. ඔයාට හිනා යන්නත් එනවා.... මම ඔය බොරු වලට අහුවෙන්නෙ නෑ. මං දන්නව කෝච්චියෙ කොන්දොස්තරල නෑ කියල."

"රාගමින් ටිකට් කලෙක්ටර් කෙනෙක් මේව අපෙන් ඉල්ලගන්නව බබා. විහිලු නෙමේ, ඇත්තමයි. කෝ මට ඕක දෙන්න. ටිකට් නැතිවුනොත් දඩ ගහනව."

"හ්ම්ම්ම්...." ඒක ඇහුවමනම් බස්සිට ටිකක් දුක හිතුනා. මඤ්ඤොක්කා පෙති තුන හතරක්ම කෑවට පස්සෙ තමයි ආපහු මූණට හිනාවක් ආවෙ.

කෝච්චි යනවා කන ගාවින් වගේ. එක්ස්ප්‍රස් ඒව යද්දි හුළං පාරට බස්සිවත් ඇදිල යනව වගේ දැනෙනව. එතකොට නම් බස්සිට බයත් හිතුන. ඒත් බස්ස පුරුදු කාරයෙක් වගේ ගානක්වත් නැතුව ඉන්නව.

"බස්සෝ.... අපි කොහොමද නගින්නෙ කෝච්චියට?"

"මොකක්?" බස්ස පුදුමෙන් ඇහුව.

ඒත් එක්කම රාගම කෝච්චිය ඇවිත් අපි ඉස්සරහින් නැවැත්තුවා. එතකොට බස්සිගෙ ප්‍රශ්නෙට කෝච්චියම උත්තරේ දුන්න. කෝච්චි පෙට්ටිවල දොර ගාව පඩි තුනක් හයි කරල තියන බව බස්සි දැක්කෙ එදා. චූටි කාලෙ කෝච්චි වලට බය නිසා ඕව ළඟට ගිහින් නිරීක්ෂණය කලේ නැහැ නෙව.



කෝච්චියෙ ගමන නම් සුපිරි. මල් හතයි කොළ පහයි. කෝච්චිය යන්නෙ ටවුන් මැද්දෙ දූවිලි කාගෙන එහෙම නෙමෙයි. වෙල්යායවල්, පුංචි පුංචි කැලෑවල්, හෙමින් හෙමින් ගලා බහින දොළ පාරවල් අතරින් කෝච්චිය යන ගමන හරිම චමත්කාරජනකයි.

පෙලක් තැන් වලදි කෝච්චි පාර අයිනෙ පොල් අතු ගෙවල් පේලියක් හමුවෙනවා. බටු ඇට වගේ පොඩි කොලු කුරුට්ටො ගෙවල් වලින් එලියට පැනල සෙල්ලම් කරනව. අක්ක කෙනෙක්ගෙ අතේ ඉන්න පුංචි මල්ලි බබෙක් කෝච්චියට අත වනනව.

ඉස්ටේෂමෙන් එහා පැත්තෙ ගෙදරක පිරිමි ළමයෙක් එයාගෙ බලු පැටියව නාවනව. කෝච්චිය අද්දන සද්දෙට බලු පැටිය කළබල වෙලා දුවන්න හදනව. පිරිමි ළමයව වතුරෙන් නෑවෙනව.

බඩවැටිවල සුදු, කහ, රතු මල් පේලි කෝච්චිය හුළං කපාගෙන එද්දි පාරෙන් එහාට නැවෙනව. ලස්සන මූණු පොඩිති අපිරිසිදු වෙයි කියල බයෙන් වගේ. සමනල්ලු ඒ අතරෙ කළබලෙන් එහෙ මෙහෙ පියාඹනව.

නංගි බබෙක් මොන්ටිසෝරි ඇරිල අම්මගෙ අතේ එල්ලිලා ගෙදර යනව. අනිත් අතේ ජම්බො ජොලි අයිස් පලමක්. රෝස පාට ප්ලාස්ටික් බෝනික්කෙක්   නංගි බබාගෙ බෑග් එකෙන් එලියට ඔළුව දාගෙන ඉන්නව.

රටකජු, සූකිරි, පොප්කෝන් වෙලෙන්දො කෝච්චි පෙට්ටි අතරෙ එහාමෙහා යනවා. "සූකිරි අරන් දෙන්නද?" බස්සා බස්සිගෙ කනට කොඳුරලා අහනවා. බස්සි ඔළුව වනනව. බස්සිට මේ විනාඩි කීපය සූකිරි වලට වඩා රසවත්.

දොරෙන් ඇතුලට එන හුළඟ නැවුම්, ජීවයෙන් පිරිල. බස් එකේ කවුලුවෙන් එන දූවිලි කැලතුන හුළඟ නෙමෙයි මේ. ගහකොළවල හරිත වියමන් වලින් පෙරිලා, පිරිසිදු වෙලා එන හුළඟට කුරුලු පැටවුන්ගෙ, සමනලයන්ගෙ රහස් මුහු වෙලා. ඒ හුළඟ දඟකාරයි. බස්සිගෙ කෙහෙරැලි මූණට ඇදලා දානව. බස්සගෙ ආදරණීය ඇඟිලි තුඩු වලින් ඒ කෙහෙරැලි ආයෙත් බස්සිගෙ කන පිටුපස්සෙ හැංගෙනව.

කෝච්චිය රාගම ස්ටේෂන් එකේ නවත්තනව. බස්සා බස්සිගෙ අතින් අල්ලගෙන කෝච්චියෙන් බිමට බස්සගන්නව. කෝච්චියෙ ගමන තත්පරයක් අඩු නැතුව අදටත් බස්සිගෙ හිතේ තැන්පත් වෙලා තියෙනව.


16 comments:

  1. ඔය කතාවේ මම නැද්ද බස්සියේ..

    ReplyDelete
    Replies
    1. ඔයාව කතාවට එකතු කරන්න වෙන්නෙ කුප්පියක් දාපු සීන් එකක් ගැන ලීවොත් තමයි. :P
      කුප්පි වලට බස්සා සම්බන්ධ නැති නිසයි ඒ ගැන නොලිවුවෙ.

      Delete
  2. woo.. so nc.. eka husmata kiyewwa

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ අමෝ. හෙටත් බස්සිගේ නවාතැනට ඇවිත් යන්න එන්න හොඳේ....

      Delete
  3. Oyaage bassath ekka, mamath issara hamadaama koochchiyee gihin thiyenawa, namuth eee hama gamanak ma godaaaaak senaga hitapu eewa... oya tharam rasawath neee bassiyo...

    ReplyDelete
    Replies
    1. ඔයාලා දෙන්නා කෝච්චියෙ යන වෙලාවට බස්සිත් දවසක් දෙකක් ආවනෙ CIMA එක්සෑම් වලට යන්න. පළමු කෝච්චි ගමන එහෙම එකක් වුනා නම් බස්සි කවදාවත් කෝච්චි ගමනෙ මේ වගේ රහක් නොදකින්න තිවුනා. වාසනාවට පළමු කෝච්චි ගමන ගියේ කැළණියෙ ඉඳන් රාගමට, උදේ එකොළහට විතර. සෙනඟ අඩුම වෙලාවක් නෙ ඒක.

      Delete
  4. ශෝයි මෙක නම්!මගේ පලවෙනි ගමන උනෙ කොලඹ ඉදන් නුවරට ,මමයි හිමාල්යි.ඒක මතක් උනා මේක කියවද්දි!

    ReplyDelete
    Replies
    1. එහෙනම් ෆාති අක්කිගෙ කෝච්චි ගමන බස්සිගෙ ගමනටත් වඩා රසවත් ඇති. බස්සි නුවර ගිය කතාවත් ළඟදීම දවසක කියන්නම්කෝ....

      Delete
  5. Lassanata liyala ♥_♥ gamane rasawath bawa kiyawana ayatath danenawa...Keep it up Bassi akke :)

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ නුවංගෝ..... දිගටම බස්සිගෙ නවාතැනට ගොඩවදින්න එන්න....

      Delete
  6. niyamai nangiyo ethakota dadu monare giye mama hi hi niyamai niyami

    ReplyDelete
    Replies
    1. දඬුමොණරෙන් ගිහින් කකුල කඩාගත්තු හින්දනෙ ගෝඨා අයියට බස්සිගෙ කතාවෙ ලොකු චරිතයක් ලැබුනේ...

      Delete
  7. බස්ස මුලින්ම හම්බ වෙච්චි දවසෙත් අර චිත්තරපටියට යනකොට කෝච්චියක ගිය කිව්ව නේද? මම මේ මුල ඉඳන් කියවගෙන එන නිස මතක තිබ්බේ.. එතකොට මේක 'දෙවෙනි ගමන' වෙන්ඩ ඕනි :D

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න මේක ඇත්ත කතාවක්. ප්‍රබන්ධයක් නෙමෙයි. ඒ නිසා සිදුවීම් අතර නොගැලපීමක් නැහැ.

      චිත්‍රපටය රූගත කලේ කෝච්චි පාරෙ. කෝච්චියක් ඇතුලෙ නෙමෙයි. එතනට අපි ගියෙ බස් එකේ. ඔබ පළමු කොටස තේරුම් අරන් නැහැ, එක්කෝ අමතක වෙලා.

      බස්සිගේ ආදර අන්දරය මෙතරම් සැලකිල්ලෙන් රසවිඳ, නොගැලපේයැයි හිතුන තැන් පෙන්වා දීම ගැන ස්තූතියි.

      Delete