Thursday, July 25, 2013

තිස් එක්වෙනි කොටස : ක්වොන්ටම් කෙමෙස්ට්‍රි සහ ගෙම්බෝ


"මට නම් බෑ තවත් මේක කරන්න. මට දැන් ඇති වෙලා" බස්සි ඔරවගෙන පොත් ටික පැත්තකට විසි කරලා, ඔළුව මේසෙ ඔබාගත්තා.

බස්සිට පාඩම් කරන එක තිත්තම වෙලා. දෙක වසරෙ පළවෙනි සෙමෙස්ටර් එක්සෑම් එක. අවකලනයත් යාන්තමට ගැටගහගන්න විතරක් දැනගෙන හිටපු බස්සිට ආංශික අවකලනයත් ඉගෙනගන්න වෙලා. අලි මදිවට හරක් වාගෙ ක්වොන්ටම් කෙමෙස්ට්‍රිවල තියන විභව ළිඳ ගැන බස්සිට එලෝ මෙලෝ අදහසක් නෑ.

"අනේ බස්සියෝ, මේ මොකද මේ?" බස්සා ඇහුවෙ බස්සිව ආපහු කෙලින් කරලා මූණට එබීගෙන.

"මාව මෙදා පාර කෙමෙස්ට්‍රි ෆේල් වෙන එක වෙනවමයි බස්සෝ. මේ විදිහට පාඩම් කරන එක තේරුමක් නෑ. පාඩම් කලත් මේකනම් ගොඩ දාන්න වෙන එකක් නෑ."

"මෝඩියේ ඔයා කොහොමද පේන කියන්නෙ? මම කිවුවනෙ ඔයාට ඩබා උගන්නන්නම් කියලා. (බස්සි ආංශික අවකලනයට කීවෙ ඩබා කියල. අර නම දිග වැඩීනෙ අප්පා... *ඩබා කියන්නෙ ආංශික අවකලනයේදි යොදන ග්‍රීක අකුරක් හොඳේ.)

"ඔයත් නිකම් අර කිරි පීප්පෙට වැටුන ගෙම්බා වගේ බස්සියෝ."

"මොකා?"

"කෝ ඉතින් නැගිටලා අහගන්නකො කතාව." බස්සා හරිබරි ගැහිලා කතාව කියන්න සූදානම් වුනා.

දවසක් තඩි මහත ගෙම්බෙකුයි, පොඩි කෙට්ටු ගෙම්බෙකුයි කෑම හොයාගෙන පැනපැන යනවා ෆැක්ටරියක් මැද්දෙන්. ඔහොම යනකොට යනකොට  මෙයාලා දැක්කා කළයක්. ඇතුලෙන් හොඳ සුවඳකුත් ආපු නිසා ඩබල වහාම පැන්න කළේ ඇතුළට.

අනේ ඒක කිරි කළයක්. ගෙම්බො දෙන්නව ගිලෙන්න ගත්තා.

"බීගෙන බීගෙන ගියානම් හරිනෙ කිරි ටික!" බස්සි මැද්දට පැන්නා.

"අහගන්නවා ගෙම්බියේ පනින්නෙ නැතුව."

කරවටක් ගිලීගෙන යද්දි ගෙම්බො දෙන්නම අතපය විසිකරකර පීනන්න පටන් ගත්තා. පැය කීපයක් ගෙවුනා. ඕන් මහත ගෙම්බා කෙට්ටු ගෙම්බට කියනවලු;

'මලේ මේ වැඩේ හරියන්නෙ නෑ බන්. දැන් පැය කීයක් ගියාද. අපි පීනලා පීනලා හතිවැටුනම ගිලෙන්න තමයි වෙන්නෙ.'

කෙට්ටු ගෙම්බා කිවුවෙ; 'එහෙම හිතන්න එපා අයියෙ. පුලුවන් වීරිය දාල පීනපං. කවුරුහරි අපිව දැකලා ගොඩට ගනීවි."

තවත් පැය ගානක් ගත වුනාට පස්සෙ මහත ගෙම්බා එක පාරටම කෑ ගහනව මෙහෙම;
'මට දැනුයි බන් මීටර් වුනේ අද ඉරිදා කියල. ෆැක්ටරියෙ මිනිස්සු නිවාඩු. අපි කොහොමත් ගිලෙනව මලේ. නිකම් පීනලා චාටර් නොවී මෙහෙමම යට යමු බන්.'

'කට පියාගෙන පීනපං මම කියනවට. ට්‍රයි කලොත් මොකක් හරි පොටක් පෑදේවි.' කෙට්ටු ගෙම්බා කිව්වා.

මහත ගෙම්බා තවත් ටිකක් වෙලා හෙමින් හෙමින් අත පය ගැහුවා. එකපාරටම 'මම යනවා මලේ. මට තවත් උඹේ බණ වලින් වැඩක් නෑ' කියල පීනන එක නවත්තලා යට ගියා.

කෙට්ටු ගෙම්බා තවත් විනාඩි පහළොවක් විතර පීනුව. එක පාරටම කකුල් දෙක තද මතුපිටක වදින බව ඌට දැනුන.

දවස පුරා කැලතුන කිරි ටික අන්තිමේදි බටර් වෙලා. බටර් එක උඩ හිටගත්ත කෙට්ටු ගෙම්බා කළෙන් එලියට පැන්න.


"ඒ වාගෙ තමයි බස්සියෝ ට්‍රයි කරන්න ඕනෙ. උත්සාහ කරන එක වැඩක් නෑ කියල අතඇරිය දාට අපි පරාදයි නංගියො. තේරුණාද ඔයාට?" බස්සා මගෙ ඇස් දෙකට එබිල ඇහුව.

ඩබා වල මලපොතේ අකුරක් නොදැන හිටපු බස්සිට ක්වොන්ටම් කෙමෙස්ට්‍රි වලට B+ අරන් දුන්නෙ බස්සගෙ කතන්දරේ තමයි.



7 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. හනේ මෙතනට වෙනකල් එක හුස්මට කියෙව්වා මුල ඉඳන්.. සුප්පා!! දැන් නම් දොයිමතයි අෆ්ෆා!! හෙට උදේට ඇවිත් කියවන්න බුක්මාක් එකක් දාගන්න ඕනෙ. දිගටම ලියන්න බස්සි අක්කේ!!

    ReplyDelete
    Replies
    1. හිහි... තැන්කූ හොඳේ. අනිවා, දිගටම ලියනවා. :)

      Delete
  3. බස්සටත් බස්සිට වගේ තැනට සුදුසු කතා මාලාවක්ම තියනවා

    ReplyDelete
  4. බස්සටත් බස්සිට වගේ තැනට සුදුසු කතා මාලාවක්ම තියනවා

    ReplyDelete