Saturday, July 23, 2016

ආදර උද්‍යානය




“ලස්සන ලෝකයේ – මට හිමි ආදරේ
සොයමී ජීවිතේ – පාළු මකා.........”


ලුමිනස් කහ පාට වයර් දෙකක් දිගේ ඉහළ ඇදෙන නාද තරංග කන් බෙරයට හෙමිහෙමින් තට්ටු කරනවා. මියුසික් කියන්නේ යටි ගිරියෙන් කෑ ගහගෙන පාර පුරා දුවන විදුලි ටැක්සිවල කරච්චලෙන් කන් දෙක බේරගන්න හොඳ ආවරණයක්. හවස පහමාරයි; මිනිස්සු කඩිමුඩියේ ගෙවල් හොයාගෙන දුවන වෙලාව. ඇත්ත, කකුල් අද්ද අද්දා නිස්කාංසුවෙ ඉදිරියට ඇදෙන මේ ගමන් විලාසය බ්‍රහස්පතින්දා හවස්වරුවකට කොහෙත්ම ගලපාගන්න අමාරුයි.


නගර උද්‍යානය පාළුයි. තවමත් ව්‍යායාම ඇඳුම් ඇඟලා ගත්තු බඩ තඩි ගෑණු මිනිස්සු එකා දෙන්නා මෙතැන පහලවීම නතර වෙලා නැහැ. සමහරවිට ඔවුන්ට මේද-හරණ සත්කාර ගැන ඒ හැටි විශ්වාසයක් නැතුවා වෙන්න පුලුවනි. කොහොමත් වයසක පරම්පරාව අළුත් සොයාගැනීම් දකින්නේ දම්පාට බූවල්ලෙක් වගේ. අදහාගන්න අමාරු දෙයක් විදියට, සැකෙන් වගේම අවිශ්වාසයෙන්.


මම හුරුපුරුදු අළුපාට සිමෙන්ති බංකුවට බරවුනා. ටයි ගැටය බුරුල් කරලා කමිස අත් ඉහලට නවාගෙන පෙණහළු පිරෙන්න කොලපාට හුස්මක් ගත්තා. නොමිලේ කොලපාට හුස්ම ඉහල අදින්න ඉතිරිවෙලා තිබුන එකම තැන කුඩා නගර උද්‍යාන විතරමයි. ඉස්සරෝම කාලේ මෙතැන උස ගස්, ඝනට වැඩුණු යටිරෝපණයක් අතර හැබෑ වන සත්තු ජීවත්වුන වන රක්ෂිතයක් තිබුන බවයි කියන්නේ. 


දැන් වන සත්තු වෙනුවට ත්‍රිමාණ සජීවීකරණය කරපු සත්තු පඳුරු අතරේ මුළුගන්වලා තියෙනවා. කුරුළු කූජන තැටි වාදනය වෙන නිසා ඔළුවටත් සැහැල්ලුයි.  විසි එක්වෙනි ශතවර්ෂයේ මුල් කාලේ වගේ මදුරුවන්ගෙන් බෝවෙන වසංගත, හිටි අඩියේ මිනිස්සු මරා දාන වල් සත්තු හිටියොත් කොහොම තියේවිද? මේ තමයි හොඳම විදිහ. නිස්කාංසුවේ ඈ හමුවෙන්න හොඳම විදිහ.


මෙතැනට අන්තර්ජාල සංඥා නොමිලේ ලැබෙනවා. ඔව් ඉතින් ඇතුල්වීමේ ටිකට්ටුවේ මිල එක්ක සසඳනකොට ඒක මහලොකු දේකුත් නෙමෙයි. වැදගත්ම දේ අනවශ්‍ය බාධා නැතිකම.


මම අත්-පරිඝනකය දිගඇරලා සුපුරුදු ක්‍රීඩා කේතය ඇතුලත් කලා. පහයි – හතරයි – තුනයි – දෙකයි – එකයි. මම එතැන. තද දුඹුරු පාට අක්බඹරු කොණ්ඩය අත්ලෙන් හැඩ කරමින්. ලා නිල් ඩෙනිමකුත්, සැහැල්ලු දම් පැහැ ටී කමිසයකුත් ඇඟලාන, වර්චුවල් ආදර උද්‍යානයේ මේ බංකුව මතම.


ඉස්ටෝරුවේ හදවත් හැඩේ බැලුම් බෝලත්, රෝස මල් පෙතිත් තිබෙන බව කියමින් උඩපනින ඉන්බොක්සු මැසේජයක්. වෙලාව පහයි පනහයි. කතිකා කරගත් වෙලාව අනුව ඈ එන්න තව විනාඩි දහයක් තියෙනවා.


රතු, තැඹිලි සහ රන් පැහැ හදවත් හැඩේ බැලුම් බෝලවලින් උද්‍යාන බංකුව අවට සැරසීමක් කියන්නේ ලකුණු එකසිය පණහක්. වියදම සැර වුනත් රෝස මල්පෙති ඇතිරුමකට ලකුණු හත්සියයක් ලැබෙනවා. සැරසිලි හමාර කරනවාත් සමගම මම ආදර උද්‍යානයේ අවසන් අදියරට තල්ලු කරන ලදුව, ත්‍රිමාණව සහ තවතවත් ජීවමානව බැබලෙමින් උන්නා.


“ඔහෝ! මාලන් මාලන් මාලන්. . .  ඒවා ඉතාම අලංකාරයි. උත්කෘෂ්ඨ පිලිගැනීමක්! හරිම උත්කෘෂ්ඨ පිලිගැනීමක්!!” 

ඔන්න ඈ තරු දෙනෙත් දිදුලවමින් එතැන. රන් පැහැ කෙහෙ කැරලි මගේ නළලේ වැදෙමින්, රඟදෙමින්. ඇගේ මුහුණ විචිත්‍රයි, හැඟුම්බරයි. ආශා දනවන සුළුයි. 


ලකුණු? ලකුණුවලින් තවදුරටත් පලක් නැති බව මට හැඟුනා. වැදගත් වෙන්නේ මේ මොහොතයි. පාපැදි මංතීරුවේ ඉදිරියට ඇදෙන පාපැදියක කිරිකිරි හඬ නිසාවත්, හිටි අඩියේ උයන සිසාරා දිවෙන වර්ණවත් නියොන් ආලෝක ධාරා නිසාවත් මගේ දැහැනට බාධා වුනේ නැහැ.


"මාලන්?" ඈ ප්‍රශ්ණාර්ථයක් රැඳි කුඩා මුහුණ වම් පසට ඇල කරමින් දෙබැම රැලි ගැන්වුවා.


"ම්හ්?"


"අකර්මන්‍යව ගෙවන සෑම තත්පරයක් පාසාම ඔබේ ලකුණු රැස් කිරීමේ හැකියාව දුර්වල වෙනවා මාලන්." ඈ දබරැඟිල්ල ලෙලවමින් මට තරවටු කරනවා. කෙහෙල්මල් ලකුණු. කෙහෙල්මල් ක්‍රීඩා. මට ඕනේ මේ මොහොත. මේ මොහොතේ ජීවත්වෙන්න.


“අපි විලෝ ආරුක්කුව මැදින් ඇති පෙත්මඟ හරහා ඇවිදින්න යමුද?” මම නොඉවසිලිමත් ඇඟිලිතුඩු තිරය හරහා දිවෙව්වා. “එතැන හාදු මල් පිපෙන ආන්ද්‍රෝ වෘක්ෂයක් තියෙනවා. මං හිතන්නේ ඔයා ඒකට බොහොම කැමතිවේවි.”


ඈ වදනකුදු නොබැන, සිය අත්දඬුව මා වෙතට පෑවා. එය බටර් පැහැතියි, සිලිටියි. මම ඇගේ අත ගෙන හැකිතාක් කෙටි පියවර තබමින්  පෙත්මඟට පිවිසුනා. පියවර ගණන වැඩි වෙනවාත් සමඟම මාවත දෙපසින් දිදුලන කුඩා හදවත් මතුව එන්නට වුනා.


ඒ තවදුරටත් ඩිජිටල් තිරයකින් වෙන් වූ සීතල ත්‍රිමාණ සජීවීකරණයක් නොවෙයි. මට ඇගේ අත්ලේ උණුසුම දැනෙනවා, ඇගේ දිගු සැඳෑ ගවොමෙන් හමන්නේ මුදු ලැවැන්දර සුවඳක්. කුස හරහා සමනල්ලු අහිනක් පියාසලන්නාක් මෙන් දැනෙන්නට ගත්තේ මන්දැයි මා දන්නේ නැහැ. මට අසනීප ගතියක් දැනෙන්නට වුනා.


හාදු මල් පිපෙන ආන්ද්‍රෝ වෘක්ෂය යටදී මට එය එක්වරම පසක් වුනා.

මම ඇයට ප්‍රේම කරනවා. 


වෙව්ලන දෙඅත්ලෙන් මම ඈව මවෙතට ඇදගත්තා. ඇගේ සුස්ම පහරවල් වැදි වැදී මගේ ගෙල දෙපස උණුසුම්ව යන්නේ, උරබාහු සිට දෙකන්පෙති දක්වාම ලා රත් පැහැ ගැන්වී ප්‍රාණය උතුරනවා. ඉතා කෙටි මිනිත්තුවකට පසු අපි අනායාසයෙන්ම දීර්ඝ හාදුවක් ඇතුලත ගිලෙමින්, අතින් අත ගෙන පිහිනමින්, ගැඹුරු අහුමුළු සොයා කිමිදෙමින් උන්නා.




“ආදර උද්‍යානයේ අවසන් පියවර ඔබ සාර්ථකව හමාර කලා. සුභපැතුම් මාලන්!” කුඩා සීනු දහසක් සැලෙන්නාක් වැනි ඇගේ කටහඬ. උද්‍යානය හාත්පස උස් පහන් කණුවලින් වෑස්සෙන මන්දාලෝකයෙන් නැහැවෙමින් තිබුනා.


“ඉතින් ඊට පස්සෙ?” මම මෝඩයෙක් වගේ හිස කසමින් ඇහැව්වා.


“ඒක ඔබේ තීරණය මාලන්. මේ ආලය බව ඔබට සම්පූර්ණයෙන්ම විශ්වාස නම් අපිට ඊළඟ පියවරට පිවිසෙන්නට හැකියි.”


තිරය සිසාරා රන්සුණු පිරවූ සබන් පෙණ බුබුළු පාවෙනවා. ඈ සෙල්ලක්කාර මන්දස්මිතයකින් යුතුව, යටි තොල යන්තම් සපාගෙන හැඩැති රත් පැහැ නිය තුඩුවලින් සබන් බුබුළු පුපුරවාහරින්නට පටන් ගත්තා. 'ක්ලන්ක් - ක්ලන්ක්" හඬින් සබන් පෙණ පුපුරා යන අතරේ රන් සුණු අසරණ ලෙසින් බිම ඇදහැලුනා. 


"මාලන්?" ආයෙමත් ඒ සිහින් සීනු හඬ. මට වෙන තේරීමක් තිබුනේ නැහැ. විශාලනය වුන අත්-පරිඝණක තිරය සමග ඒකාත්මික වීම හිතූ තරම් අපහසු වුනෙත් නැහැ.


*******************


සිව් වසරක ආලයෙන් පසුව මම ආයෙමත් ආදර උද්‍යානයේ. පරිඝණක ක්‍රීඩාවට ඇබ්බැහි වුන පෙම්බරිය, ටාන්යා දේශණ අහවර වී එනතුරු මගබලමින්. ටාන්‍යා කොලපාට හුස්මවලට කැමතියි. ඒ නිසාම මමත් ඈට කැමතියි. මට හිතෙන විදිහට ඈ ඉක්මනින්ම පූර්ණකාලීනව ඩිජිටල්කරණය වේවි.




ඒත්, ඒත්, ඇයි මා දිහා ඔහොම බලන්නෙ?

මනුස්සයෝ! පියවි ලෝකේ නැති ස්ථිර ආලයක් වර්චුවල් ලෝකෙ තියේවිද???



තවත් Sci-fi





Sunday, July 3, 2016

සල්




නහය කාරවන ඉස්පිරිතාල ගඳ. හැමතැනම එල්ලෙන මූණු. වේදනාවෙන් රැලි වැටුනු, තෙහෙට්ටුවෙන් දිග ඇදුනු මූණු. හැබැයි බලන්ටෙපායැ, ඒ ඇස් තමා ඇස්! බලාපොරොත්තුවේ ආලෝක පුංජයන් හංගාගත්තු, මරකත මැණික් වගේ දිලිහෙන ඇස්. තැනින් තැන අළුත පායපු චූටි තරු ඇස්!


ලුම්බිණී සල් උයන. සල් අතු එකකට එකක් කිටිකිටියේ බදාගෙන, වෙලාගෙන. හුලං පොදකට එන්න ඉඩක් නෑ. 


“කොන්ක්‍රීට් තාප්පයක් බැඳලා වගෙයිනෙ.” මහාමායා කීවේ රැලි ගැන්වුන නළල අගිස්සෙන් කඩාවැටෙන ඩා දිය බිංදුවක් පිහදාන ගමන්. නළල රැලි වැටුනෙ රස්නෙත් එක්ක හිතේ බුබුළු දාන්න ගත්ත නොරිස්සුමෙන්. 


තටු කැරකෙන්නැති අංගවිකල විදුලිපංකාවක් සීලිමේ එල්ලිලා මහමායා දිහා බලාගෙන උන්නේ කම්පාවෙන්. ඉතින් මේක ඉස්පිරිතාලයක්. අංගවිකල විදුලිපංකාවකට ගැලපෙනම තැන ඉස්පිරිතාලෙ. ඇරත් සල් මල් සුවඳ තිබුනෙ පුංචි කාලේ ආත්තම්ම කියාදීපු කතන්දරවල. පස්සෙන්පහු සුනන්දගෙ උරබාහු උඩ නින්දට වැටුනම හීනෙනුත් සල්මල් සුවඳ දැනුනා තමයි. ඒත් උදේ පාන්දර බත් හට්ටියෙ හුමාලෙ මූණට වදිනකොට බඩ පෙරලවාගෙන එන ඔක්කාරෙත් එක්ක සල්මල් සුවඳ සැනෙන් අතුරුදහන් වුනා. 


ගලගල ගගා වතුර වැටෙන සද්දෙ. අනෝතප්ත විලේ වතුර කම්මුල්වල වදිනකොට හීතලයි. දාඩිය දියවෙච්ච පළවෙනි වතුර දෝත තොල්වල වැදුනෙ යාන්තම් ලුණු රහකුත් එක්ක. මහාමායට හිතුනෙ වතුරට පැනලා නාන්න. ඒත් වතුර ගැලුවේ බොහොම හෙමින්. මහාමායා බෙල්ල වටේ වතුර අතක් තවරගත්තා. සිමෙන්ති ගැට්ටේ වැලමිට වැදුනම ඇස් ඇරුනා.


එහා පැත්තේ සින්ක් එකට බරවුනු ගෑණු ළමේක් අඬනවා. කම්මුල් ඉදිමිලා, නහය රතුවෙලා, සුරුස් සද්දෙන් සැරෙන් සැරේ හොටුත් ඉහල අදිනවා. 


මායා හෙමින් සැරේ අඬන ළමයගෙ වම් උරිස්ස මිරිකුවා. ඇයි අඬන්නේ කියල අහන්නැහේ ඔළුව ගැස්සුවා.


“ඒගොල්ලො සුදු නෙළුම් පිපෙන්නෙ නෑ කියල හොයාගෙන” ගෑණු ළමයා ඇඬුමක් අතරෙන් කිව්වා. “මේ බලන්න අක්කා, මේ විලේ වතුර ලුණුම ලුණු රහයි. එක නෙළුමක්වත් පේන්න තියනවද? ආසාවට බලන්න එකම එක සුදු නෙළුමක්?”


මහාමායා බෙල්ල දික්කරගෙන අනෝතප්ත විලට එබුනේ සුදු නෙළුමක් හොයාගත්තොත් ගෑණු ළමයගෙ ඇඬිල්ල නවතින බව සහසුද්දෙන්ම තේරුම් ගිය හින්දයි. විල පතුලේ ඇලිච්ච දත් බෙහෙත් කලිලයක් නෙළුමක හැඩේ අරන් මොහොතකට ඇහැ රැවැට්ටුවා.


“ඒක නිකම්ම නිකම් ෆයිබ්‍රොයිඩ් එකක්.” ගෑණු ළමයා බර හුස්මක් හෙළුවා. “සුදු ඇත්තු කැරකේවි. නෙළුම් නොපිපෙන නිසා ඇති පදම් කැරකේවි. ඒත් ඉතින් හැමදාම එච්චරයි. එච්චරෝම එච්චරයි.”


“නංගිගෙ නම මොකක්ද?” මහාමායා ඇහැව්වෙ වෙන කතාකරන්න දෙයක් මතක් කරගන්න බැරි වෙච්ච තැන.


“ගෝතමී.” ඈ හිස් බැල්මෙන් අනෝතප්ත විල දිහා බලාගෙන උන්නා. කිලිටි වතුර සුලි කැරකෙමින් දිය ඇලිය දිගේ පහළට බැහැගෙන බැහැගෙන ගියා.


මහාමායා ඔළුව බරකරගෙන ආපහු යන්න හැරුනා. කොරිඩෝවේ කොට බිත්තියට උඩින් බේත් සැර හුළඟක් ඇඟේ හැපුනා. සල් අතු සිලි සිලි ගෑවා. යටිබඩේ ඉඳන් පා පතුල් වෙනකල් එක සීරුවට අකුණක් ඇදීගෙන යනකොට මහාමායා වේදනාවෙන් ඇඹරෙමින් සල් අත්තක් අල්ලා ගත්තා. 


සේවිකාවො මීමැස්සියො වගේ. නිතරෝම ගුමුගුමු ගගා බැන්නට කඩිමුඩියේ දුවගෙන ඇවිත් මහාමායව ට්‍රොලියක දාලා තල්ලු කරගෙන ගියා. ඇඳට දාලා වටතිර ඇද්දා. සල් අත්ත වෙනුවට ඇඳ විට්ටම අල්ලගත්තු මායා යටි උගුරෙන් විලාප දුන්නා.


“මේ මොන මල සමයමක්ද? අපිද කිව්වෙ ළමයි හදාගන්න කියල?” සේවිකාවකගෙ වචන විස දළ පාරක් මහාමායගෙ කන්පෙත්තේ ඇනුනා. ශ්‍රවණ නාලය දිගේ හදවතට විස කාන්දු වෙන අතරේ කම්මුල් දිගේ කඳුළු බේරුනා. වේදනාව ඉවසගන්න බැරිව ඈ තවත් හරියෙන් කෑගැහැව්වා.


“ගාය වැඩිවෙලා අහවල් වැඩේ කරනකොට මේවා මතක නෑ. දැන් එනවා බබා වෙන්න. බොරුවට බෙරිහන් දෙන්නෙ නැතුව කටපියාගන්නවා” ඒ පාරනම් විස දලේ ඇනුනෙ පපුව මැද්දෑවට. එතන කඳුළු කැටයක හැඩෙ ලේ කැටියක් හිරවුනා. ලේ නහර ඉදිමුනා. සල් මල් මැලවෙන්න ගත්තා.


ඇඳ කෙලවරේ “Peripartum cardiomyopathy” කියලා ලියපු චිකිත්සක සටහනක් ඒ අතට මේ අතට පැද්දුනා. ලා දුඹුරු පාට ගැහිච්ච, ඇකිලිච්ච, සල්මල් පෙති එකින් එක සේලයින් බෝතලයක් දිගේ පහලට වැටුනා.


*******************


ස්කෑන් කාමරේ ඇඳ උඩ යශෝධරාවක් වෙවුලමින් හිටියා. අවුරුදු හතහමාරක් තිස්සේ බෝධියට වක්කරපු පැන් කල ගාන හිතෙන් ගණන් හද හදා, දේවාලවලට දහනමයකට පොරොන්දු වුන බාරහාර වෙන වෙනම මතක් කරගනිමින් ඈ දෙවියන්ට තොල් මතුර මතුරා අඬ ගැහුවා.


“අල්ට්‍රා සවුන්ඩ් එක පැහැදිලි නෑ. බබාගෙ හාර්ට් එක නැවතිලා වගේ.” ජීවක ඇඟට පතට නොදැනි කියලා දැම්මෙ තිරය දිහා බලාගෙන. ඇස් මුණ නොගැහෙන්න පරෙස්සම් වෙමින්. කුසල් මදිව එලවා දැමුනු ගන්ධබ්බයා යශෝධරාගෙ කුස දිහා හොරහොරෙන් බලමින් ඉහලට ඉහලට පාවෙලා ගියා.


මහාමායා එල්ලිලා උන්නු සල් අත්ත ‘ජරස්’ ගාලා කඩා වැටුනා. ඊට මිලිතත්පර කාලකට පස්සේ ඈ නෙළුම් මලින් කල ඔටුන්නක් ඉහේ පැළඳගෙන අනෝතප්ත විලට පැනලා කිමිදුනා. ඒත් එක්කම හිරවුනා. අතංගුවකට අහුවුනා වගේ ඈ එක්වරම හිරවුනා.


ජීවක ආයෙම වතාවක් තිරය දිහා බැලුවා. යශෝධරා හුස්ම තදකරගෙන දිගටම තුන්සූත්තරේ මැතිරුවා.


"අහා බයවෙන්න දෙයක් නෑ. බබාගෙ හාර්ට් සවුන්ඩ්ස් තියෙනවා." ජීවක සුපුරුදු ඒකාකාරී ස්වරයෙන්ම කිව්වා. ඒක හැඟීම් වේලිච්ච කටහඬක්. ඒත් යශෝධරාගෙ හිතේ හොල්මන් කරපු දත්කූරු හපන නැන්දම්මගෙ මූණ ඒ වචන ටිකත් එක්ක වාෂ්ප වෙලා ගියා.


මහාමායා අළුත් කළල රූපයක හැඩ ඇතිව ඉහල පහල පීනමින් උන්නා. ලබ්ඩබ් සද්දෙට ගැබ ඇතුලේ කුඩා හදවතක් ආයෙමත් ගැහෙන්නට පටන් අරගෙන. යශෝධරා කුස අතගගා සල් උයනෙන් පාරට බැස්සා.


"ඔබේ රාහුලයා ඔබට මැණිකකි" 

සල් උයනට ඇතුල්වෙන තැන එල්ලාපු ලෝහ අකුරු පොදිය ඉර එළිය වැදිලා දිලිහෙනවා. තව තවත් මහාමායලා, ගෝතමීලා, යශෝධරාලා සල් උයනට ඇතුලට එනවා. එනවා - යනවා, යනවා - එනවා. එනවා - යනවා - එනවා.





Friday, July 1, 2016

අහස් රහස්




සිලිටි අතැඟිලි විහිද විහිදා
කඩනකොට කඩුපුලක් නිදිගැට 
තව අලුත් 'දහවලක්' ඇරඹෙයි
වළාකුළු ගිම් නිවන නිම්නෙට


උදුල මිණියෙන් බැබලි බැබලී
තරු ගැටව් එළියට බහිනකොට 
ගැටිස්සියො සාදෙට අඳින්නේ
නිවෙන දිලිහෙන මිනි-ගවොම් කොට




කාර් බස් පාරවල් නැතියෙන් 
ඕනෙ කෙනෙකුට - ගමන බිමනට
පොරකකා නැගගන්න වෙනවා
'රෑ බදුලු' යන රේල්ලුවකට


වීදි පහනකටත් තමන්ගෙම
නිදහසක් ඕනෑම හන්දා
කුඩා අත්තටු දෙකක් අලවා
'කදෝකිමි' යැයි නමක් බැන්දා





දවස් විසි අටකට වතාවක්
මෙගා මේලා සතුටු සාදෙට
මහා පැණි පුඩිමකි ඉදෙන්නේ
'හඳ' කියන්නේ අන්න ඒකට


එහෙම දවසක - එන්න මිදුලට
සැර විදුලි එලි නිවා විගහට
'හඳෙන්' පොලවට - පෙරෙන පැණි බිඳු
දිව ගගා අම රස විඳින්නට




ප.ලි.

අද බස්සිගේ නවාතැනට අවුරුදු තුනක් පිරෙනවා. දවසින් දවස කාර්යබහුල වීමත් එක්ක බ්ලොග් එකෙන් ඉඳහිට ඈත් වෙන්න සිදුවුනත්, මේ වෙනකම් ආ ගමන ගැන හිතට දැනෙන්නෙ ලොකු සතුටක්.


ආසාව තියෙන්නෙ තරුවක් වෙන්න. තරුවක් වගේ පේන, ඇහැ රවටන අහස්කූරක් වෙන්න නෙමෙයි. ඒක තේරුම් ගත්ත, "බස්සි"ට සහ "බස්සි" ලියන දේට ආදරේ කරන, අඩුපාඩු පෙන්වන හැමදෙනාටම බොහොම ස්තූතියි! එහෙනම්, අපි හැමෝම එකට, එකම අහසක පායමු!