නහය කාරවන ඉස්පිරිතාල ගඳ. හැමතැනම එල්ලෙන මූණු. වේදනාවෙන් රැලි වැටුනු, තෙහෙට්ටුවෙන් දිග ඇදුනු මූණු. හැබැයි බලන්ටෙපායැ, ඒ ඇස් තමා ඇස්! බලාපොරොත්තුවේ ආලෝක පුංජයන් හංගාගත්තු, මරකත මැණික් වගේ දිලිහෙන ඇස්. තැනින් තැන අළුත පායපු චූටි තරු ඇස්!
ලුම්බිණී සල් උයන. සල් අතු එකකට එකක් කිටිකිටියේ බදාගෙන, වෙලාගෙන. හුලං පොදකට එන්න ඉඩක් නෑ.
“කොන්ක්‍රීට් තාප්පයක් බැඳලා වගෙයිනෙ.” මහාමායා කීවේ රැලි ගැන්වුන නළල අගිස්සෙන් කඩාවැටෙන ඩා දිය බිංදුවක් පිහදාන ගමන්. නළල රැලි වැටුනෙ රස්නෙත් එක්ක හිතේ බුබුළු දාන්න ගත්ත නොරිස්සුමෙන්.
තටු කැරකෙන්නැති අංගවිකල විදුලිපංකාවක් සීලිමේ එල්ලිලා මහමායා දිහා බලාගෙන උන්නේ කම්පාවෙන්. ඉතින් මේක ඉස්පිරිතාලයක්. අංගවිකල විදුලිපංකාවකට ගැලපෙනම තැන ඉස්පිරිතාලෙ. ඇරත් සල් මල් සුවඳ තිබුනෙ පුංචි කාලේ ආත්තම්ම කියාදීපු කතන්දරවල. පස්සෙන්පහු සුනන්දගෙ උරබාහු උඩ නින්දට වැටුනම හීනෙනුත් සල්මල් සුවඳ දැනුනා තමයි. ඒත් උදේ පාන්දර බත් හට්ටියෙ හුමාලෙ මූණට වදිනකොට බඩ පෙරලවාගෙන එන ඔක්කාරෙත් එක්ක සල්මල් සුවඳ සැනෙන් අතුරුදහන් වුනා.
ගලගල ගගා වතුර වැටෙන සද්දෙ. අනෝතප්ත විලේ වතුර කම්මුල්වල වදිනකොට හීතලයි. දාඩිය දියවෙච්ච පළවෙනි වතුර දෝත තොල්වල වැදුනෙ යාන්තම් ලුණු රහකුත් එක්ක. මහාමායට හිතුනෙ වතුරට පැනලා නාන්න. ඒත් වතුර ගැලුවේ බොහොම හෙමින්. මහාමායා බෙල්ල වටේ වතුර අතක් තවරගත්තා. සිමෙන්ති ගැට්ටේ වැලමිට වැදුනම ඇස් ඇරුනා.
එහා පැත්තේ සින්ක් එකට බරවුනු ගෑණු ළමේක් අඬනවා. කම්මුල් ඉදිමිලා, නහය රතුවෙලා, සුරුස් සද්දෙන් සැරෙන් සැරේ හොටුත් ඉහල අදිනවා.
මායා හෙමින් සැරේ අඬන ළමයගෙ වම් උරිස්ස මිරිකුවා. ඇයි අඬන්නේ කියල අහන්නැහේ ඔළුව ගැස්සුවා.
“ඒගොල්ලො සුදු නෙළුම් පිපෙන්නෙ නෑ කියල හොයාගෙන” ගෑණු ළමයා ඇඬුමක් අතරෙන් කිව්වා. “මේ බලන්න අක්කා, මේ විලේ වතුර ලුණුම ලුණු රහයි. එක නෙළුමක්වත් පේන්න තියනවද? ආසාවට බලන්න එකම එක සුදු නෙළුමක්?”
මහාමායා බෙල්ල දික්කරගෙන අනෝතප්ත විලට එබුනේ සුදු නෙළුමක් හොයාගත්තොත් ගෑණු ළමයගෙ ඇඬිල්ල නවතින බව සහසුද්දෙන්ම තේරුම් ගිය හින්දයි. විල පතුලේ ඇලිච්ච දත් බෙහෙත් කලිලයක් නෙළුමක හැඩේ අරන් මොහොතකට ඇහැ රැවැට්ටුවා.
“ඒක නිකම්ම නිකම් ෆයිබ්‍රොයිඩ් එකක්.” ගෑණු ළමයා බර හුස්මක් හෙළුවා. “සුදු ඇත්තු කැරකේවි. නෙළුම් නොපිපෙන නිසා ඇති පදම් කැරකේවි. ඒත් ඉතින් හැමදාම එච්චරයි. එච්චරෝම එච්චරයි.”
“නංගිගෙ නම මොකක්ද?” මහාමායා ඇහැව්වෙ වෙන කතාකරන්න දෙයක් මතක් කරගන්න බැරි වෙච්ච තැන.
“ගෝතමී.” ඈ හිස් බැල්මෙන් අනෝතප්ත විල දිහා බලාගෙන උන්නා. කිලිටි වතුර සුලි කැරකෙමින් දිය ඇලිය දිගේ පහළට බැහැගෙන බැහැගෙන ගියා.
මහාමායා ඔළුව බරකරගෙන ආපහු යන්න හැරුනා. කොරිඩෝවේ කොට බිත්තියට උඩින් බේත් සැර හුළඟක් ඇඟේ හැපුනා. සල් අතු සිලි සිලි ගෑවා. යටිබඩේ ඉඳන් පා පතුල් වෙනකල් එක සීරුවට අකුණක් ඇදීගෙන යනකොට මහාමායා වේදනාවෙන් ඇඹරෙමින් සල් අත්තක් අල්ලා ගත්තා.
සේවිකාවො මීමැස්සියො වගේ. නිතරෝම ගුමුගුමු ගගා බැන්නට කඩිමුඩියේ දුවගෙන ඇවිත් මහාමායව ට්‍රොලියක දාලා තල්ලු කරගෙන ගියා. ඇඳට දාලා වටතිර ඇද්දා. සල් අත්ත වෙනුවට ඇඳ විට්ටම අල්ලගත්තු මායා යටි උගුරෙන් විලාප දුන්නා.
“මේ මොන මල සමයමක්ද? අපිද කිව්වෙ ළමයි හදාගන්න කියල?” සේවිකාවකගෙ වචන විස දළ පාරක් මහාමායගෙ කන්පෙත්තේ ඇනුනා. ශ්‍රවණ නාලය දිගේ හදවතට විස කාන්දු වෙන අතරේ කම්මුල් දිගේ කඳුළු බේරුනා. වේදනාව ඉවසගන්න බැරිව ඈ තවත් හරියෙන් කෑගැහැව්වා.
“ගාය වැඩිවෙලා අහවල් වැඩේ කරනකොට මේවා මතක නෑ. දැන් එනවා බබා වෙන්න. බොරුවට බෙරිහන් දෙන්නෙ නැතුව කටපියාගන්නවා” ඒ පාරනම් විස දලේ ඇනුනෙ පපුව මැද්දෑවට. එතන කඳුළු කැටයක හැඩෙ ලේ කැටියක් හිරවුනා. ලේ නහර ඉදිමුනා. සල් මල් මැලවෙන්න ගත්තා.
ඇඳ කෙලවරේ “Peripartum cardiomyopathy” කියලා ලියපු චිකිත්සක සටහනක් ඒ අතට මේ අතට පැද්දුනා. ලා දුඹුරු පාට ගැහිච්ච, ඇකිලිච්ච, සල්මල් පෙති එකින් එක සේලයින් බෝතලයක් දිගේ පහලට වැටුනා.
*******************
ස්කෑන් කාමරේ ඇඳ උඩ යශෝධරාවක් වෙවුලමින් හිටියා. අවුරුදු හතහමාරක් තිස්සේ බෝධියට වක්කරපු පැන් කල ගාන හිතෙන් ගණන් හද හදා, දේවාලවලට දහනමයකට පොරොන්දු වුන බාරහාර වෙන වෙනම මතක් කරගනිමින් ඈ දෙවියන්ට තොල් මතුර මතුරා අඬ ගැහුවා.
“අල්ට්‍රා සවුන්ඩ් එක පැහැදිලි නෑ. බබාගෙ හාර්ට් එක නැවතිලා වගේ.” ජීවක ඇඟට පතට නොදැනි කියලා දැම්මෙ තිරය දිහා බලාගෙන. ඇස් මුණ නොගැහෙන්න පරෙස්සම් වෙමින්. කුසල් මදිව එලවා දැමුනු ගන්ධබ්බයා යශෝධරාගෙ කුස දිහා හොරහොරෙන් බලමින් ඉහලට ඉහලට පාවෙලා ගියා.
මහාමායා එල්ලිලා උන්නු සල් අත්ත ‘ජරස්’ ගාලා කඩා වැටුනා. ඊට මිලිතත්පර කාලකට පස්සේ ඈ නෙළුම් මලින් කල ඔටුන්නක් ඉහේ පැළඳගෙන අනෝතප්ත විලට පැනලා කිමිදුනා. ඒත් එක්කම හිරවුනා. අතංගුවකට අහුවුනා වගේ ඈ එක්වරම හිරවුනා.
ජීවක ආයෙම වතාවක් තිරය දිහා බැලුවා. යශෝධරා හුස්ම තදකරගෙන දිගටම තුන්සූත්තරේ මැතිරුවා.
"අහා බයවෙන්න දෙයක් නෑ. බබාගෙ හාර්ට් සවුන්ඩ්ස් තියෙනවා." ජීවක සුපුරුදු ඒකාකාරී ස්වරයෙන්ම කිව්වා. ඒක හැඟීම් වේලිච්ච කටහඬක්. ඒත් යශෝධරාගෙ හිතේ හොල්මන් කරපු දත්කූරු හපන නැන්දම්මගෙ මූණ ඒ වචන ටිකත් එක්ක වාෂ්ප වෙලා ගියා.
මහාමායා අළුත් කළල රූපයක හැඩ ඇතිව ඉහල පහල පීනමින් උන්නා. ලබ්ඩබ් සද්දෙට ගැබ ඇතුලේ කුඩා හදවතක් ආයෙමත් ගැහෙන්නට පටන් අරගෙන. යශෝධරා කුස අතගගා සල් උයනෙන් පාරට බැස්සා.
"ඔබේ රාහුලයා ඔබට මැණිකකි"
සල් උයනට ඇතුල්වෙන තැන එල්ලාපු ලෝහ අකුරු පොදිය ඉර එළිය වැදිලා දිලිහෙනවා. තව තවත් මහාමායලා, ගෝතමීලා, යශෝධරාලා සල් උයනට ඇතුලට එනවා. එනවා - යනවා, යනවා - එනවා. එනවා - යනවා - එනවා.
හරිම අපූරුයි බස්සි නංගි ජීවිතේ තියන තිත්ත ඇත්තක් බොහොම මිහිරි වචන වලින් ගැලපුව විදිය...ඉස්තරම්...
ReplyDeleteබොහොම ස්තූතියි පොකුරු වැහි!! :)
Deleteලස්සන නිර්මාණයක්. ඔබ ලඟකදී ඉස්පිරිතාලය සිටි බව ෆේස්බුක් හරහා දැක්කා. දැන් සුව වී ඇතැයි පතමි.
ReplyDeleteස්තූතියි ඉයන්!
Deleteඔව් දැන් සුවයි.
අපූරුයි බං. දවසගානෙ උදේ හවා සල් උයනට ගිය මතකය ආයෙ ඇදුනා. ඒකෙ ඛේත් ගද දැනුන.
ReplyDeleteස්තූතියි චමිල් :)
Deleteහරිම රහයි. අපූරුයි.
ReplyDeleteජයවේවා!!!
ස්තූතියි :)
Deleteහරිම රසවත් කතාවක්... නියමයි අක්කෙ.. :)
ReplyDeleteතැන්කූ සිතූ නංගා :)
Deleteඑනවා යනවා හඬනවා - හිනැහෙන කෙනෙකු නැතේ …
ReplyDeletehmm hmm
Deleteඑන යන හැටි අපූරුවට සිත්තම් වෙලා බස්සි
ReplyDeleteස්තූතියි MPP :)
Deleteකියන්න දෙයක් නෑ ඉතින්... බස්සි ඉස්පැසොල්...
ReplyDeleteතැන්කූ මාතේ!
Deleteඔය හිතක් පපුවක් නැතුව කැ ගහන, වචන පිට කරන අයට අමතකද දන්නේ නැ එයාලත් සල් මල් උයන අස්සේ තමා හිටියේ කියන එක..
ReplyDeleteඔයා වෙනස්ම කෝණෙකින් ඇත්ත ලස්සනට ලියල බස්සි..
එහෙම අයට හරි ඉක්මනට ඒක අමතක වෙනව මං හිතන්නෙ. ඕනෙම ඉස්පිරිතාලෙක එහෙමයි නේද? සල්මල් උයනෙ විතරක් නෙමෙයි.
Deleteබෝංචි වැලදිගේ පිටකොටුවට බැස්ස ජැක් බස්සිගෙ යසෝදරාවත කියෙව්වෙ කලබලේට. How dare you! කිව්ව ජැක් රෝස්ගෙ අතිං අල්ලගෙන එකසිය තුනකට නගින්න හෝල්ට් එක දිහාට ගියා.
ReplyDeleteඒක මරු!
Deleteසිදුහත් කුමක් කරනවා ඇත්ද?
ReplyDelete:D
Deleteකෙටිද මන්දා !! හැබැයි අගේ ඇති ජීවිත කතාව......
ReplyDeleteකතාව දිග වැඩිද?
Deleteස්තූතියි!
පැරා ගෙන් ලස්සන ශෛලියක කථාවක් මෙතනින් කියවන්න
ReplyDeleteස්තූතියි ඉයන්! පැරාගෙ කෙටිකතා බොහොම අපූරුයි. නිතර ලියනවානම් තවත් කැමතියි.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඅතීත කතාවක් අතරින් වර්තමාන තත්වය ලස්සනට කියල තියනව බස්සි.
ReplyDeleteස්තූතියි අමා!
Deleteසාදරයෙන් පිලිගන්නවා බස්සිගෙ නවාතැනට!!
අඩේ එළකිරි... "මහා මායාව" එක්ක කලවං කරලා අපූරුවට ලියල. ඔය සම්බන්ධ ප්‍රශ්ණ සහ ඒ සම්බන්ධ විඳවීම ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. මට ඔව්ව හොඳට දැනිල තියනව.
ReplyDeleteප්‍රශ්ණෙ තියෙන්නෙ මනුස්සයෙක්ව වැඩියෙන්ම සනසන්න ඕනෙ තැනදි තමයි, උපරිමේටම මානසිකව වට්ටන්නෙ. ඔය "මහා මායාව" ගැන කතා කරල වැඩක් නෑ බං.
Deleteහරිම ලස්සනයි බස්සි. කිව්වත් වගේ බස්සි'ස් ස්පෙශල් නෙ..
ReplyDeleteස්තූතියි ඔයාට :)
Deleteහිස්ද පිරිලද කියල හිතාගන්ඩ බැරුවයි ඉන්නේ.. සිද්ධාර්ථ
ReplyDeletehalf full, half empty
Deleteවර්තමානයේ බහුලව වෙන දෙයක් බස්සියෝ..ඒ ඇයි කියලා නම් දන්නෑ
ReplyDeleteලිවිල්ල පට්ට...
ඔව් රෙහානි අක්කේ වර්තමානයේ සෞඛ්‍ය සේවයේ නියුතු ගොඩක් අයගේ අකාරුණිකබව පැහැදිලිවම වැඩිවෙලා. හේතුව අවිවේකය වෙන්නත් පුලුවනි ඉතින්.
Deleteමහමාය නම් "සල්"අත්ත අල්ලපු ගමන් බිලිඳා ප්‍රසුත කෙරුවට ගොඩක් අම්මලාට එහෙම කරන්න බැහැ.
ReplyDeleteයශෝ ලියලා තියෙන්නේ ගොඩක් අම්මලාගේ කතාවක්.
ඔව් මනෝ. තව ගොඩක් අම්මලා ගැන කියන්න තියෙනවා. ඒත් කෙටි කතාව නවකතාවක් වෙනව ඔය සේරම ලිව්වොත්.
Deleteජීවිතේ කියන්නේ මහ අමුතු එකක් නේ බං. කතාවනම් උබේ බොහෝම අපූරුයි. ලස්සනයි..
ReplyDeleteඅනිවා බං.
Deleteතැන්කූ වේවා ඈ!!
කවදත වගේ සුපිරි
ReplyDeleteස්තූතියි අක්කා!
Deleteකාලෙකින් කියවපු,කියෙව්ව කියල දැනුනු වැඩක්.
ReplyDeleteජයවේවා..!!
කතාව හරි අපූරුයි බස්සි අක්කේ. ඔය කියන තැන්වල මන් ගොඩක් ඉඳලා තියනව. එත් එච්චර නපුරු කමක්නම් තිබිලා නෑ...
ReplyDeleteමේකනම් පට්ට... අවංකෙන් ම පට්ට.... නියමයි.... ගොඩක් දේවල් හිතුණ, දැනුන.... ඒ හින්ද වෙන මොකුත් නොකියා නියමයි කියල විතරක් කියන්නම්.....
ReplyDelete