Monday, December 26, 2016

වීදුරු බුජම




සුදු පැහැ නෙට් පියාපත් පැළැඳගත් දේවදූතයෝ, වෛවර්ණ සරුව පිත්තල සැරසිලි, දිලිසෙන කුඩු තැවරූ කුඩා බෝල, වියළි දොඩම් පෙති සහ රතු ඇපල් ස්ටෙෆනිගේ තුරුණු අතැඟිලි අතරින් මිදී පයිනස් රිකිලි මත සීරුවට ලැගුම් ගනිමින් සිටියහ. උඳුනෙන් බට ඉඟුරු පාන් සුවඳ සාලය නහවමින් ඔබමොබ හමා යන්නට විය. ජනෙල් තිර මෑත් වූ හිදැසක් අතරින් කවුළුවෙන් පිටත හිම පියලි පතිත වනු දිසෙයි. කවුළු පඩිය මත දැල්වෙන රතු මහත ඉටිපහන් යුග්මයේ මන්දාලෝකය වැදීමෙන්, හිම පියලි මොහොතකට රන් පියලි වෙස් ගෙන ඇස් රවටයි.


ස්ටෙෆනි අවසන් දොඩම් පෙත්ත ආයාසයෙන් සොයාගත් නිදහස් රිකිල්ලක් අග රඳවා දෑත් පිස දැමීය. ඈ අසල වැතිරගත් රන් පැහැ වල්ගාතරුවකි. තැනින් තැන දුර්වර්ණව ගිය ඒ රන් තරුව ස්ටෙෆනිට තෑගි ලැබුණේ අත්තම්මාගෙනි.


"ඇටිකිති කෙල්ල, විස්වාස කරන අයට වඩා ප්‍රස්ණ කරන්නයි, අවිස්වාස කරන්නයි ඉපදිච්ච එව්වො එන්න එන්නම වැඩිවෙන බව ඇත්ත. ඒත් නත්තලට කලින් දවසේ රාත්‍රිය කියන්නේ ඉන්ද්‍රජාලික රාත්‍රියක්." අත්තම්මා එහෙම කීවේ මීට අවුරුදු දහයකට ඉහතදීය. එකල කෝටු කකුල් සහ කෙටි කෙස්සකින් යුත් කුඩා කෙල්ලක් වුවද ස්ටෙෆනිට අත්තම්මාගේ වචන කිකලකවත් මතකයෙන් බැහැරලන්නට හැකිවූවේ නැති. සමහරවිට ඉන්ද්‍රජාල කියන්නේ එහෙම දේවල් වෙන්නටත් පුළුවන.


"මේ තරුව එල්ලන්න ඕනේ නත්තල් ගහේ මුදුන් රිකිල්ලේ. නත්තලේ මායා බලයට අතවනන්න පුලුවන් තරුවක් ඒක. පේනවද මේ රිදී මූණත උඩ දුවන රන් තාරකා රාශිය?" ඇගේ වයස්ගත දෑස දිදුලන්නට විය. "ඒක තමයි ජනාවාසේ. මායා මිතුරන්ගේ ජනාවාසේ." ඉනික්බිති ඈ නත්තල් ගම්මානයේ කුරුමිටි මිනිසුන්ගේ සෙල්ලම්බඩු ෆැක්ටේරි ගැනත්, තෑගි රැගෙන දුම් කවුළුවෙන් පහල බසින නත්තල් සීයා ගැනත් කතන්දරය ස්ටෙෆනිට කියා දුන්නාය. 


දැන් ඈ අත තියෙන්නේ, ගිය මාසයේ ආත්තම්මාගේ කුරුමිණි අඬු අත් අකුරෙන් ලියූ ලිපිනය ඔස්සේ පාර්සල් තැපෑලෙන් ලද ඒ ඒ ඉපැරණි වල්ගා තරුවයි.


ස්ටෙෆනි ඉතා අරපරෙස්සමට රන් වල්ගා තරුව නත්තල් ගහේ මුදුන් රිකිල්ල මත නැංවූවාය. දැන් එහි වූයේ පරිගණක තාක්ෂණය හදාරන තරුණියක මිස ඉන්ද්‍රජාල විශ්වාස කරන අටහැවිරිදි දැරිය නොවෙයි. ඇරත් ඈ නිරාගමිකය. නත්තල් ගසත්, ගවලෙනත් තවදුරටත් ගෙනාවේ උණුසුම පිරුණු රාත්‍රීන් පිළිබඳ මතක මාත්‍රයන් පමණකි.


දුම් කවුළුවෙන් සිහිනි සරසර හඬක් නැගෙන මොහොතේ ස්ටෙෆනි උන්නේ සෝෆාව මත ගුලිවී පොරෝණා ප්‍රාවරණය තුල සැඟව නින්දත් නොනින්දත් අතරය. රත්දුඹුරු කලාලය මත වැතිරගත් ජංගම දුරකතනයේ නෙට්ෆ්ලික්ස් සිනමාපටයක් නිහඬවම වාදනය වෙමින් පැවතිණි. දුරකතනයට මදක් ඔබ්බෙන් වූ හෙඩ්ෆෝනයෙන් ඉඳහිට සිහින් ගුරුගුරුවක් ඇසී නෑසී යන්නට විය. 


මෙවර සරසරය ඇසුනේ වඩාත් පහතින්, වඩවඩාත් පැහැදිලිවය. ඉනික්බිති කොල පැහැ කෙසඟයෙක් ගිනි උඳුනෙන් මෙපිටට නුහුරු පිම්මක් පැන්නේය.


"හෝ හෝ හෝ! අන්තිමේදී නත්තල් තරුවක්! අංගසම්පූර්ණ ගවලෙනකුත් එක්ක!!" ඔහු සිය හීන්දෑරි අත් පා විසුළු තාලයකට පද්දමින් නත්තල් ගස වටා රවුම් කරකැවෙන්නට විය. සරසරය නැඟෙන්නේ ඔහු කර එල්ලාගෙන සිටි ඔලොගුවෙනි.


ස්ටෙෆනි ඇහැ ඇරියේ හරියටම අන්න ඒ වෙලාවේදීය.

ඉනික්බිති ඈ, එවැනි අවස්තාවක ඕනෑම තරුණියක කරන්නට ඉඩ ඇති දැය ක්‍රියාවට නැංවූවාය. 999 අමතා පොලීසිය ගෙන්වීම වෙනුවට, සිය ජංගම දුරකතනයෙන් හැකි වැර යොදා කෙසඟයාට දමා ගැසුවාය.


"හෝ හෝ හෝ! නත්තල් තෑගි ගෙනාවාට සලකන්නෙ මෙහෙමද?" 


"කවුද තමුසේ?" ස්ටෙෆනි කඩිමුඩියේ සෝෆාවෙන් බිමට බසින්නට තනන්නී, පොරෝණාවේ පැටලී අලගෙඩියක් මෙන් කළාලය මත පෙරැලුනාය.


"කෝ මස් පස්තෑල? අඩුම තරමේ කුකී එකක්, කිරි වීදුරුවක්? ඒ මදිවාට දමා ගහන්නේ වයර් එල්ලෙන කතා පෙට්ටියකින්." කෙසඟයා ඉනට අත තියාගෙන දබරැඟිල්ල ලෙලවන්නට විය. ඔහුගේ නහය ජම්බුවක රත් පැහැයට හැරෙමින් තිබිණි. 


"කවුද තමුසේ?" ස්ටෙෆනි පුනරුච්චාරණය කලේ වඩා දුබල, වෙවුලනසුළු හඬකිනි.


"මම තමයි නිකුලස්. සෙන්ට් නිකුලස්. සැන්ටා ක්ලෝස්." කෙසඟයා කළාලය මත බට්ටා පනිමින් කීය.


"නත්තල් සීයා කියන්නේ අන්න අරයට" දුරකතන තිරයේ වාදනය වෙමින් තිබූ කැරොල් වීඩියෝවක නත්තල් සීයා ළමා ලපටින් පිරිවරාගෙන, සිය රත් පැහැ ලෝගුවද, සුවිසල් උදරයද, පුළුන් රැවුලද නටවමින් උන්නේය.


"ඈ බොල මෝඩ ඇටගෙම්බියේ!" කොල කෙසඟයා අපුල දනවන හඬක් නැංවීය. "අර නාකි බඩතඩියා දුම් කවුළුව අස්සෙන් රිංගනවා කියන එක උඹත් විස්සාස කරනවද? පිණිමුවෝ බැඳපු කරත්තෙයි, උන්දෑ තප්පරේට ගෙවල් දාහකට තෑගි බෙදන කතන්දරෙයි සේරෝම?"


"නත්තල් සීයා කියන්නෙ මිත්‍යා විස්වාසයක්." ස්ටෙෆනි නහයෙන් පිඹිමින් කීවාය. "මම නිරාගමිකයෙක්. මම කියන්නේ, නත්තල් සීයා නමින් හඳුන්වන කෙනාගේ හැඩරුව ඔහේට වඩා ඉන්තේරුවෙන්ම වෙනස් කියන එකයි."


"හෝ හෝ හෝ! ආං කියවනවා ඉටිගෙඩියක්!" එවර කෙසඟයා සන්සුන්ව කලාලය මත එරමිණිය ගොතා වාඩිගත්තේය. "නත්තල් සීයා ඉස්සර, මං මේ කියන්නේ ඉස්සරෝම ඉස්සර, දුම් කවුළු දිගේ බඩගෑවේ කොල පාට ඇඳුමක් ඇඳගෙන. සැන්ටා ක්ලෝස් මිටියි, කෙසඟයි, මීමැස්සෙක් වගේ කඩිසරයි."




"හැබැයි වැදගත්ම දේ!" කෙසඟයා උගුරේ රුල් බුරුල් හැර මදක් එකෙල මෙකෙල වූවේය. "සැන්ටා ක්ලෝස් කියන්නේ තනි මනුස්සයෙක් නෙමෙයි. සැන්ටා ක්ලෝස්ලා ඉන්නවා සියක්දහස් ගානක්!"


ස්ටෙෆනි ආයාසයෙන් කෙල ගුලියක් ගිල්ලාය. තොල කට වියලී ඇති බැව් හැඟුනෙන්, ඈ අඩක් හමාර කර ටීපෝව මත දමා ගිය කෝලා බෝතලයේ පියන හැර, ග්ලග්ග්ලග් හඬින් කෝලා දියර උගුරට වත්කර ගත්තේ කෙසඟයා දෙස යටැසින් බලමිනි.


"ඔන්න ඔය සෝඩා බුබුළු වතුර තමයි මිනිස්සුන්ගේ ඔළු කුරුවල් කලේ. කොල පාට නත්තල රතු පාට කලේ" කෙසඟයා කීවේ බැරෑරුම් හඬිනි.


"ඒ කාලේ හැම ගෙදරකම තිබුනා නත්තල් තරුව. ඒකෙන් නිකුත්වෙන සංඥා කිරණ දිගේ අපිට පහසු වුනා නත්තල් ගෙවල් හඳුනාගන්න. පෘතුවිවාසීන් අපිව බලාපොරොත්තුවෙන් මග බලාගෙන හිටියා. මස් පස්තෑල, කුකීස්, කිරි විතරක් නෙමෙයි, කැරට් අලත් උඳුන් පඩිය උඩ පෙළගස්සලා තිබුණා අපූරුවට. මොකද, ඒ අය දැනගෙන හිටියා මේක වෙහෙසකර ගමක් විත්තිය."


කෙසඟයා නත්තල් ගහේ රිකිල්ලක එල්ලී උඩ පිම්මක් පැන්නේය. ස්ටෙෆනිට අත්තම්මාගෙන් තෑගි ලැබුණු රන් තරුව දකුණතින් නෙලාගත් ඔහු වට දෙකක් කැරකී බිම පතිත විය.
 

"මේ බලන්න මෝඩ කෙල්ල. මේ තියෙන්නේ අපේ ජනාවාසය. ඔහු රන් තරුවේ රිදී මූණත උඩ දුවන රන් තාරකා රාශිය සෙමින් වමතින් වරක් පිරිමැද්දේය. තාරකා, එල්.ඊ.ඩී. බල්බ රැසක් මෙන් නිවි නිවී දැල්වෙන්නට විය.


දැන් බලන්න කවුළුවෙන් එපිට පේන්නේ මොනවාද කියලා.


කවුළු තිරය සරස් හඬ නංවමින් මෑත් විය. ස්ටෙෆනි, කෙසඟයා අනුව යමින් තද දම්පැහැ ආකාශය වෙත නෙත් යොමු කලාය. රන් තරුවේ සටහන්ව තිබූ තාරුකා රාශිය ආකාශය මත පොබයමින් තිබිණි.


"තෑගි හදන්නෙත්, තෑගි බෙදන්නෙත් අපිමයි." කෙසඟයා කවුළුවෙන් පිටත ගෙමිදුල වසාගත් හිම කැටිවලට මිමිණීය. "අපි එන්නේ දුම් කවුළු දිගේ, මැදියමේ. එන්න එන්නම රන් තාරුකා අත ඇති මිනිස්සු අඩුවෙන එකයි හිතට අමාරු. අන්තිමේ අපි අපේ ජනාවාසයට වෙලා බලාගත් අත බලාගෙන ගෙවාදාන නත්තලක් උදාවේවි. හීතලේ, තනිපංගලේ!"


"සැන්ටා ක්ලෝස්!" ස්ටෙෆනි කෙසඟයාව තමා වෙතට ඇදගෙන, හැකි වැරෙන් තුරුළු කරගත්තීය.


"කොල පාට පිටසක්වල ජීවියෝ එන්නේ පෘතුවිය ආක්‍රමණය කරන්න නෙමෙයි දරුවෝ. එයාල එන්නෙ ආදරයත්, උණුසුමත් බෙදාහදාගන්න." කෙසඟයා ස්ටෙෆනිගේ හිස මෘදුව පිරිමදිමින් කීය. "සුභ නත්තලක්!" ඊළඟ මොහොතේ ඔහු දුම් කවුළුව තුළින් අතුරුදන් විය.


නත්තල් ගස පාමුළ රිදී පැහැ කරදාසියකින් එතූ තෑගි පෙට්ටියක් එක්වනම ස්ටෙෆනිගේ නෙත ගැටුණි. ඈ තෑගි පෙට්ටිය විවර කලේ වෙව්ලන අතැඟිලිවලිනි.


එතුල වූයේ උස් වීදුරු බුජමකි. එහි මුවවිට දක්වා පිරී තිබුණේ අලුත් රන් පැහැ වල්ගාතරුවලිනි.


"සාමයේ පණිවුඩය බෙදාගන්නට ඔබටත් පුළුවනි." වීදුරු බුජම මත ඇල අකුරෙන් ලියැවී තිබුණි.


Monday, December 19, 2016

නත්තල් තොප්පි!




“දෙසැම්බර් මාසය පුරා 70% දක්වා වට්ටම්!” කියලා රතුපාට ලොකු අකුරෙන් ලියපු කොලයක් මගෙ අතේ හැප්පිලා නවතිනවා. දිවිල්ලේම කොලය අත්මිටට ගුලි කරන ගමන් මම බෙල්ල පිටිපස්සට කරකවලා බලනවා. දූවිලි තැවරුනු විසාල කළු බූට් සපත්තු දෙකක් ළඟ ඉඳලා ඉහලට දුවන ඇස් දෙක රතුපාට නත්තල් තොප්පියක් ගාවින් නතර වෙනවා. නත්තල් තොප්පියෙන් බාගෙට මුවාවුන රැළි වැටුන පළල් නළලක් ඇස් දෙක අහකට ඇදගන්න තත්පරේදි මට යන්තමට පෙනිල නොපෙනිලා යනව.


ඔෆීසියේ තරප්පු පේළිය දිගට සරුවපිත්තල සැරසිලි ඇලවෙනවා. පඩි දෙකක් උඩ ඉනිමඟක් අඩමානෙට වාරු කරගත්ත නිල් යුනිෆෝම් කමිසයක් සීලිමේ ප්ලාස්ටික් තරු එල්ලනවා. ෆ්ලොරොසන්ට් එළි මැද්දෑවෙ රිදී පාට හිම පියලි හැඩේ සැරසිලි නිනව් නැතුව රවුමට රවුමට කැරකෙනව. හිම පියලි මැද්දෙ අල්පෙනෙත්තකින් අමුණාපු පුංචි නත්තල් තොප්පිය වමට - දකුණට - ඉස්සරහට - පිටිපස්සට පැද්දෙනව. 


නත්තල් නිවාඩුවට ගෙදර ගෙනියන්න නියමිත බඩු ලැයිස්තුව මතක්වෙද්දි සුක්කානම කඩවීදියකට හැරවෙනවා. කහදුඹුරු පාට යුනිෆෝම් ඇඳගත්ත සිකියුරිටිගාඩ් මහත්තුරු දෙන්නෙක්, නත්තල් තොප්පි දාගෙන එහෙ මෙහෙ දුවමින් පර්චස් එකක කොටුවක් ඇතුලෙ පෙට්ටි වාහන සීරුවට අඩුක් කරනවා. පාර්කින් ටිකට්ටුව ලියන සිකියුරිටි මහත්තයාගෙ නත්තල් තොප්පියේ රැළි වාටිය තෙතට, බරට, තදට නළල දිගේ ඇලිලා තියෙනවා මට පේනව. දකුණු කන ගාවින් පහලට දාඩිය බිංදුවක් රූටාගෙන පල්ලම් බහිනව.




සීනි, පරිප්පු, කිරිපිටි, විස්කෝතු එක්ක ට්‍රොලිය තල්ලු කරගෙන මම ජපමාලෙ තරම් දිග බිල් පෝලිමේ කෙලවරට එකතු වෙනවා. හෝරාවකුත් පහු වුනාට පස්සේ බිල් කඩන ගෑණුළමයගෙ නුරුස්නා මුහුණ පේන්න ගන්නවා. රතු යුනිෆෝම් ගවුමක් ඇඳගෙන, පරිඝනක තිරයට ඔරවමින් ඈ බිල ලියනවා. බිල කඩලා කස්ටමර් දිහාවට හැරෙන ඇසිල්ලට ඇගේ දෙතොල් මෑත්වෙලා හිනාවක් ඇඳෙනවා. හීන් හඬින් "තෑන්ක් යූ සර්" කියනවත් ඇහෙනවා. ආයෙමත් තොල් තදින් පියාගෙන ඔරලෝසුව  බලන ඇගේ නළල මැද, හරස් අතට ඉරි දෙකක් ඇඳෙනවා.


"අන්තිම කෝච්චියත් මිස් වෙනවා බං." යාබද කවුන්ටරයේ උන්නු ගෑණු ළමයා මුමුණන හඬ ඇහුන නෑහුන ගානට මම ට්‍රොලිය කවුන්ටරය මතට හිස් කරනවා. නත්තල් තොප්පිය යටින් වෙහෙසයි, නොරිස්සුමයි ඉඳිකටු වගේ හතර අතේ විසිරෙනකොට, ජපමාලෙට වඩා බිල් පෝලිම දිග බව කියමින් මගෙ හිත ඇතුලෙ අකුණක් කොටනවා. 


නුවර පාර දිගේ ඉස්සරහට ගලාගෙන යන්න බැරිව හිටි තැනම නතරවුන වාහන ගංගාව මැද්දෑවෙ අතරමංවෙච්ච නෝක්කාඩු ඇස් දෙක පදික වේදිකාව කෙලවරෙන් මතුවුන විසාල කහ මාර ගහ දිගේ ඉහල නගිනවා. නත්තල් තොප්පිය මුදුනෙ ගැටගහපු නූලකින් කහ මාර අතුවල එල්ලිච්ච හුලං පුරවාපු නත්තල් සීයලා දෙසැම්බර් හුළඟේ තාලෙට ඒ මේ අත පැද්දෙනවා. නත්තල් තොප්පියක් දාගත්තු වෙලෙන්දා ලෑලි තට්ටුවට වාරුවෙලා මාරු කාසි ගනිනවා.




"ගවහලේ... පිදුරු මිටිය මට වෙන්නට තිබුනානම්..." රූකාන්ත රේඩියෝ එක ඇතුලෙන් අත දාල කනට තට්ටු කරනවා. මම ගැස්සිලා බ්‍රේක් ගහනවා.

“දෙසැම්බර් මාසය පුරා 70% දක්වා වට්ටම්!” කියලා රතුපාට ලොකු අකුරෙන් ලියපු කොලයක් බාගෙට ඇරුන වීදුරු කවුළුවෙන් ඇතුලට වැටෙනවා.




Tuesday, December 13, 2016

ඇත්ත වුනොත් තිත්ත වෙන නත්තල් බොරුව




නත්තල් සීයා එදාමෙදාතුර කුඩා දරුවනුත්, වැඩිහිටියනුත් සමෝසමේ අදහන්නට කැමැති මිත්‍යා විශ්වාසයක්. නත්තල් උත්සව දිනයේදී එකිනෙකා අතර සිදුකෙරෙන තෑගි හුවමාරු කිරීම් නත්තල් සීයා අතින් සිදුවෙනවායැයි කියන විචිත්‍ර මනංකල්පිතය මහත් ආශ්වාදයක් දනවන්නක් ලෙසිනුයි සැලකෙන්නේ.


නත්තල් සීයා හෙවත් සැන්ටා ක්ලෝස් පිළිබඳ වන ප්‍රවාදය ඇරඹෙන්නේ පුරාණයේ ජීවත්වුන සාන්ත නිකුලස් දේවගැතිතුමා දිළිඳු දරුවන්ට නත්තල් දිනයේදී තෑගි බෙදා දුන් බවට වන පුරාවතක් සමඟයි. නත්තල් සීයාගේ රූපය නිර්මාණය කෙරෙන්නේ ජර්මන්-ඇමරිකානු ජාතික චිත්‍ර ශිල්පී තෝමස් නාස්ට්ගේ තෙලිතුඩින්.


කෙසේ වතුදු, නත්තල් සීයාගේ චරිතයත්, ඔහු නත්තල් සැඳෑවේ තෑගි සමග ලොව වටා සැරිසැරීමත් සැබෑවක් නම්, සිදුවිය හැක්කේ මොනවාද?




ලෝක ජනගහන දත්ත වලට අනුව අවුරුදු දහ අටට අඩු පුරවැසියන් සංඛ්‍යාව ආසන්න වශයෙන් බිලියන දෙකක්. මේ අතරින් නත්තල් සීයාගේ ආගමනය බලාපොරොත්තු වෙන්නේ කතෝලික ළමුන් පමණක් වීම සහනයක්. බෞද්ධ, හින්දු, ඉස්ලාම්, යුදෙව් ආදී අනෙකුත් ආගම් අත්හැරියහොත් මිලියන තුන්සිය හැත්තෑ අටක් පමණ ළමයින් පිරිසක් ඉතිරි වෙනවා. නත්තල් සීයාගේ පහසුව තකා එක් පවුලක ළමයින් 3-4 අතර ප්‍රමාණයක් ඉන්නවායැයි සිතමු. එහෙම වුනොත්, නත්තල් සීයාට හිම යානයෙන් නිවාස මිලියන 108ක් (ආසන්න වශයෙන්) බැහැදකින්නට සිදුවෙනවා.


නත්තල් සීයාගේ ආගමනය සිදුවෙනවායැයි සැලකෙන්නේ දෙසැම්බර් 24 සිට දෙසැම්බර් 25 අළුයම දක්වා කාලයේ. පෘථිවි භ්‍රමණය සහ වේලා කලාප සැලකිල්ලට ගනිමින් නත්තල් සීයාට ඉහත කී නිවාස මිලියන එකසිය අට බැහැදැකීමට ඇති උපරිම කාලය පැය 31ක් ලෙස දැක්විය හැකියි. ඒ අනුව, තත්පරයකදී අවම වශයෙන් නිවාස 967ක් ආවරණය කරමින් තෑගි බෙදාදීම සිදුකරන්නට වෙනවා.


එබැවින්, හිම යානය නිවසක් ඉදිරියේ නවත්වා, චිමිනිය දිගේ පහල බැස, ඇඳ ඉහත්තාවේ එල්වූ මේස් කකුල්වලට තෑගි පුරවා, නත්තල් සීයා වෙනුවෙන් චිමිනිය අසල තබා ඇති මස් පස්තෑල සහ කිරි අනුභව කර, චිමිනිය හරහා නික්මී, ඊළඟ නිවස බලා ගමන් ඇරඹීමට නත්තල් සීයාට ඉතිරි වෙන්නේ තත්පරයකින් දහසෙන් පංගුවක (1/1000) කාලයක්. ඔහෝ! එහෙනම් ඔහු මීමැස්සෙක් තරම් කඩිමුඩිකාරයෙක් විය යුතුයි.


දැන්, ගණනය කිරීමේ පහසුව තකා නිවාස දෙකක් අතර අවම දුර කිලෝමීටර 1.25 ලෙස සලකමු. එසේ වුවහොත් නත්තල් සීයාගේ චාරිකාවේ සම්පූර්ණ දුර කිලෝමීටර මිලියන 121.5ක්. ඒ සඳහා අසරණ පිනිමුවන් හතරදෙනා පැයට කිලෝමීටර මිලියන හතරක වේගයෙන් නොනවත්වා පියෑඹිල්ලේ යෙදෙන්නට වෙනවා. මදක් නැවතිල්ලේ කල්පනා කලොත්, ඒ ශබ්දයේ වේගය මෙන් තුන්දහස් ගුණයක වේගයක්! සාමාන්‍ය පිණිමුවෙකුගේ උපරිම වේගය පැයට කිලෝමීටර විසිහතරක් පමණයි. ඉතින් අපේ නත්තල් සීයාගේ පිනිමුවන් ඉතා විස්මිත ධාවන ශූරයන් වියයුතු බව අවිවාදිතයි.




නත්තල් සීයාගේ අනුභවය පිණිස මස් පස්තෑලයක් සහ කිරි බඳුනක් චිමිනිය අසල තැබීම බටහිර රටවල පැවැතෙන නත්තල් සිරිතක්. හොඳයි, අපි මුලින් පැවසූ පරිදි නත්තල් සීයා සැබෑවක් නම්, ඔහු මේ මස් පස්තෑල සහ කිරි වීදුරුව අනුභව කරන්ටත් ඕනෑ. පෙර ගණනය කිරීම්වලට අනුව ගෙවල් මිලියන 108කින් නත්තල් සීයා අනුභව කරන මස් පස්තෑල ප්‍රමාණය මෙට්‍රික් ටොන් 6 750ක්. එක් කිරි වීදුරුවක ධාරිතාවය මිලිලීටර 200ක් ලෙස සැලකුවොත් නත්තල් සීයා මේ ගමන අතරේ කිරි ලීටර මිලියන 33.75ක් පානය කරනවා. 


නත්තල් තෑගි ඇසිරීම සහ පාට කරදාසිවල එතීම සිදුවන්නේ කුරුමිට්ටන් අතින් යැයි කියැවෙනවා. ළමයින් මිලියන තුන්සිය හැත්තෑ අටක් සඳහා ත්‍යාග අහුරන්නට නත්තල් සීයාට සුවිසල් ගබඩා සංකීර්ණයක් වුවමනායි. තෑගි පෙට්ටි 1000ක් එක් ඩබල් ඩෙකර් බස් රියක ප්‍රමාණයට ආසන්න වශයෙන් සමානයැයි සිතමු. එහෙමනම් නත්තල් සීයාට ඩබල් ඩෙකර් බස් රථ 378 000ක් ගාල් කරන්නට හැකි තරම් විශාලත්වයෙන් යුතු ගබඩා සංකීර්ණයක් තිබිය යුතුයි.


එපමණක් නොවෙයි. කුරුමිටි මිනිසුන්ට මේ තෑගි පාට කරදාසිවල ඔතා සරසන්නට සිදුවෙනවා. එක් ත්‍යාගයක් ඔතන්නට කරදාසි සෙන්ටිමීටර 160ක් අවැසියැයි සිතුවොත්, තෑගි ඔතන කරදාසි කිලෝමීටර 604 800ක් වුවමනා වෙනවා. ඒ ඔතන කරදාසි ප්‍රමාණයෙන් පෘථිවිය පහළොස්වරක් ඔතන්නට පුළුවනි.




කුරුමිටි මිනිසුන් ඉතා කඩිසර වැඩකරුවෝ නිසා, එක් කුරුමිටි මිනිසෙකුට, එක් ත්‍යාගයක් ඔතන්නට ගතවෙන්නේ විනාඩියක්යැයි සිතමු. එහෙමනම්, මේ තෑගි සියල්ලම ඔතා නිම කරන්නට කුරුමිටි මිනිසුන් 2158ක්, දවසට පැය අට බැගින්, නොකඩවා තුන්සිය හැටපස් දවසම සේවයේ නිරත වියයුතු වෙනවා.


මේ සා විශාල තෑගි කන්දරාවක් පටවාගෙන එන හිමයානයේ බර ගැනත් අවධානය යොමු නොකරම බැහැ. එක් කුඩා දරුවෙකුට ලැබෙන ත්‍යාගයක බර රාත්තල් දෙකක් ලෙස සැලකුවොත්, හිමයානය ටොන් පන්සියදහසකට අධික බරකින් යුත් තෑගි පටවාගත යුතු වෙනවා. සාමාන්‍ය පිණිමුවෙකුට අදින්නට හැකි උපරිම බර රාත්තල් තුන්සියයක් පමණ. නත්තල් සීයාගේ හිමයානයට සාමාන්‍ය පිනිමුවන් යෙදුවේනම්, අවම වශයෙන් පිණිමුවන් 360 000ක්වත් යොදන්නට වෙනවා, ඒ කියන්නේ නත්තල් සීයාගේ හිම යානය රැගෙන එන 'පියාඹන පිණිමුවන්' සිවුදෙනා අයෝමය බලයකින් හෙබි විස්ම සත්ත්ව විශේෂයක් බවද?


ඉතින්, නත්තල් සීයාත්, ඔහුගේ හිම යානය ඇදගෙන එන පිණිමුවන් සිවුදෙනාත්, උත්තරධ්‍රැවයේ සැඟවී නත්තල් තෑගි සකසන කුරුමිට්ටනුත් සැබෑ චරිත වුවහොත්, අප විසින් අත්විඳින්නට යෙදෙන නත්තල් අසිරිය විඳින්නට ඔවුන්ට තත්පරයකවත් ඉස්පාසුවක් ලැබෙන එකක් නැහැ. කුරුමිට්ටන් උත්තර ධ්‍රැවයේ කම්කරු අයිතීන් ඉල්ලා සටන් නොවදීවියැයි කාට කියන්නට හැකිද? පියාඹන පිණිමුවන් සිව්දෙනාගේ අයිතීන් වෙනුවෙන් සත්ව අවිහිංසාවාදී සංගම් හඬ නොනගාවිද?


සමහර චරිත, මිත්‍යාවක් විලස පවතින තාක් කල් සුන්දරයි. විද්‍යාත්මක සත්‍යය හැමවිටම මිහිරි වන්නේ නැහැ.





(දත්ත උපුටා ගැනීම The Telegraph වෙබ් අඩවියෙන්.)