Saturday, January 28, 2017

සුදු පසුබිමේ හඬලන උදාරම් නිල් කුකුළා - GLF2017



සුදු පසුබිමක උදාරම් ලීලාවෙන් නැගී සිටින්නේ නිල් පැහැ කුකුළෙක්. ඒ තමයි අපි ගාලු කොටුවට ඇතුල් වූ තැන. කුකුළත් අතෙන් අරගෙන හතටත් කලින් අපි පාදුර්භූත වී තිබුනේ ගාලු සාහිත්‍ය උළෙලට.


පාර දෙපැත්තේ ඉහළ නැගුණු විසිතුරු කොඩි. ඒ අතරේ ගුම් නගන්නේ නිල් පැහැ ටී ෂර්ට්වලින් සැරසී උදැහැනැක්කේම වැඩ ඇල්ලූ, ගැටවර පොදි. ගාලු සාහිත්‍ය උළෙලට ඇදෙන රසවතුන් එන්න එන්නම ගණනින් වැඩි. ඒ නොදැක්කා වගේ මනාල යුවල් කැමරාවලට හිනාවෙන්නේ හිතට ගෙන එඩි.


අපි ඇදෙන්නේ කොටු පවුර පැත්තට. උදා  හිරු කිරණින් නැහැවුණු පඩි එකින් එක තරණය කරමින් ඉහළටම නැඟ පහල ඇත්තේ මොනවාදැයි බලන්නයි අදිටන. ඔන්න, එක්වරම එතන පහලව ඇත්තේ සුරපුරය!


ලා නිලෙන් දිදුලන සුපැහැදිලි මුහුදු දිය. ඒ මැදින් තැනින් තැන සුපුෂ්පිත කොරල් මල් ය. නො එක් පැහැ මාළු ඒ අතර ලලිත ගමනින් සක්මනක. සුරපුරට හිස පොවන්නට කැමැත්තෝ, ස්නෝර්ක්ලින් ආම්පන්න ඇඳ පැළැඳ විසල් ආඳා මාළුවන් මෙන් පිහිනුම් රස්තියාදුවක.


ඒ සෙනසුරාදාවක්. ගාලු සාහිත්‍ය උළෙලට අළුතෙන්ම එක්වුණු ‘සිංහල සාහිත්‍ය වැඩසටහන්’ යෙදී තිබුණේ එදාට. ඉතින් අපි දැන් චර්ච් ස්ට්‍රීට් පසු කර ‘හෝල් ඩි ගෝල්’ වෙත එලැඹෙන්නේ රෙජිස්තර වෙන්න. ඒ ඉදිරිපිට සිනා පපා මග බලා උන්නේ ‘අමිලානිය’. 



මිල ගෙවා ඇතුල් විය හැකි වැඩසටහන් ද, නොමිලේම සහභාගි විය හැකි රස කැටිතිද, සමෝසමේ ලැයිස්තුගත කල පොත් පිංච අතට ලැබෙන්නේ ‘ඒ චීස් කනවද – මේ චීස් කනවද’ හිත හිත තාවර වෙන තැනට අපිව ඇද දමමින්. සිහිල් තුරු හෙවන යට, වෛවර්ණ බීන් බෑග මත වැතිරගත් රසවතුන්ගේ සාහිත්‍ය සංවාද මණ්ඩප පහු කරගෙන අපි ඇදෙන්නේ ‘මැරිටයිම් මියුසියම’ වෙත.


ජස්ට් ඉන් ටයිම් – ‘නූතන කවියේ හරස්කඩක්’ සංවාදයට.

සුනන්ද කරුණාරත්, කල්පනා ඇම්බ්‍රෝස්, ඉසුරු චාමර සෝමවීර, ලියනගේ අමරකීර්තිගේ සංවාද මෙහෙයවීම මැද තම තමන්ගේ කවි රෙසිටේෂන් ඉදිරිපත් කරමින්, ප්‍රශ්ණවලට අව්‍යාජ පිළිතුරු ලබාදෙමින්, අසන්නන්ගේ පැනවලට හයේ හතරේ පහර එල්ල කරමින්.




ඉන් පස්සේ සිංහල දිනයේ යෂ්ඨිය බාර ගන්නේ අනෝමා රාජකරුණා. ‘සිංහල නවකතාව සහ කාන්තාව’ ගැන කතාකරන්න ඈ එක්ක එකතු වෙන්නේ සුනේත්‍රා රාජකරුණානායක සහ සේපාලි මායාදුන්නේ.

සුනේත්‍රා ඇගේ ‘කෘත්‍රිම දූපත්’ නවකතාවේ කොටස් කදිමට හඬ නඟා කියවනවා. මට මතක් වෙන්නේ ගුවන්විදුලි හඬ නළුවක්. “ගෑණු කියලා තමන් ඇතුලෙම හිරවෙන්න එපා. ලියන්න – ලියන්න – නිදහසේ ලියන්න. ඔය හිරවෙලා ඉන්න තැනින් එළියට එන්න.” කියන සුනේත්‍රාට මම පාවෙන හාද්දක් යවනවා.




ඒත් එක්කම ඇරඹෙන්නේ ෆෙයාවේ සාහිත්‍ය සම්මානයට නිර්දේශිත නවකතාවල කතුවරුන් සමඟ කෙරෙන සංවාදය. අධික කුසගින්න නිසා අපි මැරිටයිම් මියුසියමෙන් එළියට බැහින්නේ කෑම සුවඳට නාසා සුසර කරගෙන. මෙන්න! කොළඹ ඉඳන් ගාල්ලට ඇවිත් ‘ගුඩ් මාරකැට්ටුව’! 


“හැමදාම කන ජාති නැතුව අද වෙනස්ම වෙනස් දෙයක් කමුද?” පුංචිම පුංචි කූඹිත්තෙක් සයිස් වුනාට කල්පනා ඇම්බ්‍රෝස්ට තියෙන්නේ ලොකූම ලොකු බඩගින්නක්. පේලියට හිටගෙන අපි දිහාට විරිත්තන වෙස් මූණු එක්ක වුනත් හිනාවෙන්නේ ඉසුරු. ‘ටින්ටස් ඇණ සමග බෝල සබන්’ වර්ගයේ කෑමක් හොයාගෙන ගියත් අන්තිමට අපිට කන්න වෙන්නේ පොල් සම්බෝල එක්ක චීස් පුරවපු රෝස්ට් පාන් සැන්ඩ්විච්. රොමෑන්ටික් පාට ස්ට්‍රෝබෙරි-දෙහි කැලතුමකින් රෝස්ට් පාන් ගලනාලය දිගේ පහලට තල්ලු වෙලා යනවා.





අර ඉන්නේ ‘දමිත්’. ‘තෙමි තෙමිම මම’ ලියපු දමිත් උදයංග දහනායක! ඉන් පස්සේ හැමෝම කලාතුරකින් අල්ලාගන්න ලැබෙන මේ කවියා එක්ක සල්ලාපයක. ලියනගේ අමරකීර්ති, අනුරසිරි හෙට්ටිගේ, ටෙනිසන් පෙරේරා, එරික් ඉලෙයප්පාරච්චි, කමල් පෙරේරා, දේ.වි. ගාල්ලගේ, භූපති, සුනේත්‍රා, පියසීලි විජේමාන්න, ප්‍රභාත් ජයසිංහ, දිලීප අබේසේකර, ශෙහාන්, පියල් කාරියවසම් ආදී මෙකී නොකී ලේඛක ලේඛිකාවන් වටා රොද බැඳගත් සාහිත්‍යලෝලීන්.


කාංචනාව දකින දකින වාරයක් ගානේ සැලියුට් ගහන්නේ ශ්‍යාම් සෙල්වදොරෙයි! ඒ කියන්නේ අර හැමෝම එක්ක හිනාවෙමින්, පිටට තට්ටු කරමින් සැහැල්ලුවක් කරේ ලාගෙන ඇවිදින කෙට්ටු මනුස්සයා ශ්‍යාම්ද!


‘නූතන සිංහල කෙටිකතාවේ තේමා ප්‍රවේශයන්’ ගැන කතාකරන්නේ ප්‍රභාත් ජයසිංහ සමඟ පියසීලි විජේමාන්න. සාකච්ඡාව මෙහෙයවීම පියල් කාරියවසම්. “මකර තොරණ කෙටිකතා එකතුව මා විස්මපත් කලා.” මම ප්‍රභාත් හොයාගෙන යන්නේ ඒ ගැන කියන්නයි. “මේ බස්සිද?” තමන්ගේ ප්‍රියතම ලේඛ්හකයෙක් බොහොම සාමාන්‍ය විදියට එහෙම අහනකොට අමන්දානන්දයට පත් නොවී ඉන්නට පුළුවන් අයත් ඇතිද?




සිංහල දිනය හමාර වෙන්නේ ‘චයිනමන් නවකතාව සහ එහි පරිවර්තනය’ මැයෙන් හර්ෂණ රඹුක්වැල්ල මෙහෙයවන සංවාදයෙන්. ශෙහාන් කරුණාතිලක සමග දිලීප අබේසේකර පන්දුවෙන් පන්දුවට නොබිඳෙන සබඳතාවයක් පවත්වා ගනිමින් ප්‍රේක්ෂකාගාරය රස ගුලාවක ගිල්වමින්. ඒ හැර යන්නට සිත් නොදෙයි. තව ඇබින්දක්, ඇබිති විනාඩි පහක්, අනේ තව තත්පර දෙකක් ශෙහාන්ගේ කතා අහගෙන මැරිටයිම් මියුසියම් පොළොවේ මුල් අදින්නම හිතෙයි.




ලිප්ටන් තේ කාමරය එන්න එන්නැයි අතවනයි. තේ පුසුඹ දාහය තවාලයි. ලා කොළ පැහැ උණු උණු තේ ය. වීදුරු තේ බඳුන් තුළ ගිලී දියවී මැරෙන්නට හිත හදාගත් අයිස් කැබැලි ය. අඹ, අන්නාසි, දොඩම් රසයෙන් රසකල සීත තේ ය. එහෙව් තේ බඳුන් මැද පාට පැන්සල්වලින් සහන් කසීරගේ ආලේඛ්ය සිතුවමක් අඳින මයන්ත පෙරේරා ය. චිත්‍රයකට වුනත් හැඩට ඉන්නට ඕනෑ බව කියමින් කොලරය සකසා විලවුන් තවරන සහන් කසීර ය.


ඔය සේරෝම කලබල අතරේ තේ කාමරයෙන් පැනනගින්නේ උමාරියා සිංහවංශ. අත්පොළසන්ද, ඔල්වරසන්ද මැදින් තේ සුවඳ හා කැලතී ගලන්නේ ගිටාරෙක තත් පිරිමැදෙන මුදු සුමුදු හඬ. උමාරියාගේ මනබඳින රන්ස්වර. යලියලිත් ගිගුම් දෙන ඔල්වර හඬ.




ඉතින් ඒ තමා ‘ගාලු සාහිත්‍ය උළෙල’. කොළඹ කේන්ද්‍රීයයි කියා බැණුම් අහන සිංහල සාහිත්‍ය ගාල්ලට ගිය දුලබ අවස්ථාව. සාහිත්‍යයට නියම ‘මිලක්’ ඇති බව දැනගන්නත්, ඒ ‘මිල’ ගෙවන්නට තරම් උනන්දු රසවතුන් පොදි පිටින් කොළඹින් පමණක් නොවෙයි ඉන්දියාවෙනුත්, ලෝකයේ තවත් බොහෝ අහුමුළුවලිනුත් ගාල්ලට එක් රැස් වූ හැටි දැකගත් දවස. ලබන වසරෙදිත් එලැඹෙන තුරා, පුල පුලා බලා ඉන්නා දවස!



(සේයාරූ සඳහා සාදර අනුග්‍රහය, කාංචනා අමිලානි කරුණාමුනි මෙනෙවිය විසිනි.)