Saturday, October 31, 2015

ඉසේරුදාවට මඩුවල්ගෙන් තැලීම





ලංකාවේ පොලීසිය දවසෙන් දවස, වැඩිවැඩියෙන් ජනතා ප්‍රසාදය දිනාගනිමින් ඉන්නවාය. වෙන මොන සම්මානයක් ගත්තත් ඔය කියන ජනතා සම්මානෙ දිනාගන්නවායැයි කියන එක සුළුපටු කෙලියක් නෙමේය. ඒකට අනවරත ලෙස එක්සෙප්ෂනල් පර්ෆෝමන්ස් පෙන්වීම අනිවාර්යය. ශ්‍රී ලංකා පොලීසිය මේ දිනවල කරමින් ඉන්නේ ඒ අසීරු රාජකාරිය ය.


එච්.එන්.ඩී.ඒ එකට උපාධි මට්ටමේ පිලිගැනීමක් ඉල්ලාගන්න කොල්ලො කෙල්ලෝ පාරට බැස්සේ කන්තෝරු ඇරෙන වෙලාවට කිට්ටුව වෙච්චි එක හුදු අහම්බයක් පමණක්ම බව අපි හොඳටෝම දන්නවාය. උන් විඳින දුක ගැන බොක්ක උණුවී ගිය සමහරක් මාමලා බාප්පලා උපදෙස් දෙන පරිදි කොහේ හෝ පාළු පිට්ටනියකට ගිහුන් උද්ඝෝෂණේ කලානම් තප්පර කීපෙක සුනංගුවෙන් ඔය ප්‍රස්නවලට විසඳුම් බන්දේසියක තබා පිට්ටනියට වැඩමවන්නට අපේ රටේ විෂයභාර මැතිඇමැත්තෝ මැලිවන්නේද නැතිය. ඒ හින්දා කලම්බු සිටි එක මැද්දෑවේ පාරවල් බොක් කිරීම  අම්බ මරිමෝඩ ක්‍රියාවක්‍ ය.


එහෙම කරනකොට කාකිසූට් එක ඇතුලේ තියන පොලිස් පපුකැවුතු හුදී ජන පහන් සංවේගය පතා චටපට ගාලා උණුවෙන්න ගන්නවාය. ඒ උණුවීමේ ප්‍රතිඵල විදියට කඳුළු ගෑස් වැදෙන මානේ තියෙන හැම ඇහැකින්ම සටසට ගාලා කඳුළු කැට වැටෙනවාය. උදේ හිට බැරියර් අයිනේ හිටගෙන බකන්නිලාගෙන සිටීමෙන් හිරිවැටුන ඇඟපතේ හිරි ඇරගන්නට බැටන්පොලු කරකවා ඇක්සයිස් පාරක් දානවාය. ඇක්සයිස් අස්සේ බැලේ නැටුං නටන්ඩ යන ගෑල්ලමයින්ගේ ඔළු පැලුනාට පොලීසියට සෝලි තියා පලක් නැතිය. මොකද, අබ්බඩා 'රිලාහාමි වඩිග පටුන නටා පෙන්නාපන්' කියන පරක්කුවෙන් කෝටුව කරට ගන්න රිලවාගේ ඇක්ෂන් එකට එහා යමක් එතන සිද්ද උනේ නැතිබව තේරුංගන්න තරමට අපි දැන් අත්දැකීම් අතින් පරිණතය.


'හාං පුතා දැන් කදමළු බැඳගෙන මාමා නැන්ද බලන්ඩ යන හැටි පෙන්නාපං' කියන පරක්කුවෙන් සමහරක් රිලව් පෝස්ටර් කරේ තියාගෙන නැන්දම්මා බලන්න යන බවත්, පරල වෙන නැන්දම්මා එලව එලවා පිට හරහා කෙලිනකොට කදමළු පාර මැද හැරපියා ගුටිකකා දුවන බවත් දැක්කාට, නොදැක්කා සේ ඉන්නට ඕනෑය. නෑගම් යන්න නියෝග දුන් එකා එලෝ සංසාරයක් නැතිව ප්‍රවෘත්ති සාකච්ඡා කැඳවන එකත්, ඔලු පැලුන, ලේ හැලුන පොටෝ, වීඩියෝ හතර අතේ බෙදාහරින එකත් අමතකම කර දැමීම වඩා සුදුසුය.


හැබැයි, කල්පනාකරගෙන යනකොට උන් එහෙම ප්‍රවෘත්ති සාකච්ඡා තියාගෙන, පොටෝ, වීඩියෝ පෙන්නාගෙන, දිව විකාගෙන, පස්ස රත්කරගෙන දැඟලීමත් අම්බ සාධාරණය. ඇයි හත්වලාමෙ, තොරතුරු දැනගැනීමේ අයිතිය එක සේසයකින්වත් මර්ධනය නොකරන යහපාලන රජයේ ජනාධිපතිතුමා ඔය තොරතුරු දැනගන්නේ පහුවදා පත්තරෙන් ය. නැත්තං රේඩියෝ එකේ පැයෙන් පැය පුවත්වලින්‍ ය. ඒ අතින් බලනකොට, මීඩියා කඩකාරයෝත්, අන්තරේට නියෝගදෙන යකඩ කටවල් ටිකත් කරන්නේ සුලුපටු සේවයක් නෙමේය.


බලාගෙන යනකොට මුං කාගෙවත් අතේ වැරැද්දක් නැත!


වැරදිකාරයෝ අපිය. 

සාමකාමී උද්ඝෝෂණයක් කඩාකප්පල් කිරීමේ අරමුණෙන් හරියට හවස හතරහමාරට කන්තෝරු ඇරී ගෙදර යන්නට පාරට බැස්ස අපිය. පිම්මේ දුවගෙන ගිහුන් වෝඩ් ප්ලේස් හරහා යන බස්වල එල්ලුන කාලකණ්ණි අපිය.


මං කියන්නේ, අපිට මඩුවල්ගෙන් තලලත් මදිය!




Thursday, October 29, 2015

බැටළුවෝ






“ආලෝක, ඔන්න ඔයාගෙ වොලට් එක ගන්න හරිද! නැත්නම් මෙයා පාර්ටි දීලා අන්තිමේ අපිට ගෙවන්න වෙයි.” 

සමහර ගෑනුන්ගේ කටහඬවල් හිසේඇම්ම ඇතිකරවන තරම් ඉහළ තානයකින් ඇහෙන්නේ. ඒ මදිවට හිකිහිකි ගෑවිල්ල. උන්ට තියෙන්නෙ බටනලා වගේ හීන්වෙච්ච උගුරුදඬු වෙන්න ඕනෙ.


රාජ්‍ය ආයතනයක ප්‍රධානියෙක් උනානම්, එහෙම නැතත් සාම්ප්‍රදායික ප්‍රධානියෙක් උනානම් මටත් තිබුණා මේසෙට මිටිගුලි පහරවල් දෙකක් ගහලා මුන් සේරෝම නිස්සද්ද කරන්න. එහෙම උනානම් මේ රිපෝර්ට්ස් ටික නිවීහැනහිල්ලේ බලලා ඉවරයක් කරන්නත් තිබුණා.ඇත්තම කියනවනම් ලෝකෙ මීට වඩා සැනසිලිදායකව දැනෙන්න තිබුණා.


ඒත් කෑකෝගැහිල්ල හෙමින් අඩුවෙලා ගියා. කියුබිකල් එකේ දොර යන්තම් ඇරිලා බව මම දැක්කෙ ඒ වෙලාවෙ. හත්වලාමෙ, මේ වටේටම තියෙන්නෙ හඬ-වරන වීදුරු බව මට අමතකවුණේ කොහොමද! මනුස්සයෙකුට ඒ තරම් ලේසියෙන් දේවල් අමතක වෙන්න පුළුවන්ද?


බෙල් එකක් ගහලා දොර වහන්න කෙනෙක් ගෙන්වා ගන්නෙ සාම්ප්‍රදායික බොස්ලා. අපේ කම්පනි එකේ තේමාවම “සාම්ප්‍රදායෙන් ඔබ්බට” කියන එක. මමම අනුමත කරපු තේමාවක් නිසා මට මේ පුටුවෙන් බැහැලා දොර ගාවට ඇවිදින්න වෙලා.


දොර පියන අදින්න අත දිගුකරනකොටමයි මම ඒක දැක්කෙ.

ලුමිනස් රෝස පාට අඩි උස සපත්තු දෙකක්!

තත්පරයක් ගතවෙන්නත් කලින් මම බිමට නැමිලා ඒ සපත්තු ජෝඩුව දෝතින්ම බදාගෙන හිටියා. 


මද තිගැස්මකින් ඔළුව උස්සලා හතරවටේ බැලුවේ එකෙක් හරි, වැරදිලාවත් බලාගෙන ඉන්නවද කියලා සැකයක් හිත ඇතුළෙ දෙමෝලෙ පිටිකොටන්න පටන්ගත්තු නිසා. දකුණු කෙළවරේ වීදුරු බිත්තිය ඇතුළේ උන්න රන්මාළු  උන්ගේ පාඩුවේ බිත්තිය පුරා ඉහළපහළ පීනනවා. මාළු කියන්නේ හිත ඒකාත්මික කරවන ආරම්මණයක් කියලා කිව්වෙ ගොඩනැගිල්ල සැලසුම් කරපු එළු රැවුලා. එළු රැවුලා නොදන්නව උණාට ගෑනු සපත්තු ජෝඩුවක් කියන්නේ මාළු ටැංකියකට වඩා විජ්ජා බලයක් තියෙන ආරම්මණයක්.


මම කියුබිකල් එකේ දොර වහන්න කලින් ආයෙමත් හැරිලා බැලුවා. විවේක කාමරයේ දොර ළඟ එල්ලා තිබුණ හැමොක් තොටිල්ල උඩ ඉඳගෙන බටර් පාට ටෙඩි වලහෙක් මා දිහා ඇස් ඩොගිත්තාගෙන බලන් උන්නා.


මම සපත්තු දෙක නැහැයට ලං කළා. සිහින් කෝමාරිකා කුයිලක් නැහැපුඩු අතරේ සක්මනක. ගුප්ත සුවඳක්. පෙරදිග සුවඳක්.අත්දෙක සපත්තු ඇතුළට ඔබාගෙන බෙල්ල වටේ යන්තම් මසාජ් කරගන්න ආශා හිතෙන විදියේ සුවඳක් ඒක. දැනටමත් මම ඇතුළතින් දැල්වෙන්න පටන් අරන්. ඒත්, දැල්වීම සම්පූර්ණ වෙන්න කලින් මම සපත්තු ජෝඩුව කබඩ් එකක් ඇතුළට එබුවා.


“ඊයියා අමෝදි අර පුඩින් එකේ තිබිච්ච ස්ට්‍රෝබෙරි කෑලි අහුල අහුල බෙදාගත්තා. ඉතියෝපියාවෙන් ඇවිත් කියල හිතන්න ඇති!” 


කෙල්ලන්ට මේ ඇඟ හිරිවැටෙන උච්ච ස්වර නැතුව හිත නිවන මන්ද්‍ර ස්වරයෙන් කතා කරන්නම බැරිද? වයි ජෙනරේෂන් එක කියන්නේ නාහෙට නාහන බැටළු රැළක්. හැබැයි කලට වෙලාවට ලොම් කපාගන්නනම් පුළුවනි. 


“තොපි හින්දා තමයි මට අර ඉරානියන් කෙල්ලගෙන් මොබයිල් නම්බර් එක ඉල්ලගන්න බැරි වුණේ.” 

ඒත් එක්කම ඇහෙන කොස්සන් හිනාවක ඉරානියන් කෙල්ල ගිලිලා ගියා. බටර්පාට ටෙඩි වලහා පියාඹලා ගිහින් මේසයක් උඩට ‘තඩ්’ හඬින්පතිත වෙන හැටි විනිවිද පෙනෙන සිහින් වීදුරු තීරුව අතරෙන් පෙනුනේ යන්තමට. ආයෙමත් කොස්සන් හිනා හඬ.


“කවුද මගේ ෂූස් දෙක ඉස්සුවේ. වගීස! ඔයා තමයි ඔහොම වැඩක් කළොත්. !!"

"ආලෝක ඔයා මොකද හිනාවෙන්නෙ? කියනවා. ඔයා නේද හැංගුවේ?”



එතකොට මම නමයේ පන්තියේ. එයා කිරි සුදුපාට උල් සපත්තුවෙන් පෑගුවේ මගෙ සෙරෙප්පු කකුල. ඕනෑම සාමාන්‍ය කොලු ගැටයෙක් වේදනාවෙන් බෑඟිරි තියමින් දෙකට නැමිලා කකුල බදාගන්න අවස්ථාවක මම ඇස් පියාගෙන ආයෙමත් ආයෙමත් ඈට පෑගුණා. ගෑනු සපත්තුවලට පෑගෙන්න තියෙන ආශාව පිළිකාවක් වගේ මගේ සෛලයක්, සෛලයක් ගානේ පැතිරෙන්න වුණා. නහරයක්, නහරයක් ගානේ වැතිරෙන්න වුණා.


මම නීරස කළු පිරිමි සපත්තු ජෝඩුව ගලවලා ඇඳ යටට තල්ලු කළා. ටයිගැටය ලිහිල් කරමින් මෙට්ටය මතට කඩා වැටුණා. ලුමිනස් රෝසපාට සපත්තු දෙක ගෙදර ගේන්න අමතකවුණ එක හැබෑ අපරාධයක්! සාප්පුවලින් එන සපත්තු ජෝඩුවලින් හමන හම් සුවඳ වගේ නෙමෙයි ගෑනු පතුල්දෙකකින් ගැබ්බර වෙලා උන්නු සපත්තු ජෝඩුවකින් එන කෝමාරිකා කුයිල!


කොක්ටේල් පාටියකින් පස්සෙ ගෙදර ආපු දිලිසෙන දම්පාට තනි සපත්තුවක් මගේ වම් කලව දිගේ ඉහළපහළ යන්න ගත්තා. රත්තරන් පාට මනාලී සපත්තු ජෝඩුවක් පපුව උඩ වැතිරිලා රෝම කූප ඇද ඇද ඒ ගැන නෝක්කාඩු කියනවා. ඇලපත දිගේ ඉහළ නගින්න හදන්නේ අලුත් සැම්පළේ සුදු බාලිකා සපත්තු ජෝඩුවක්.


ඉන් පස්සෙ මං ගැස්සිලා ඇහැරුණා.


සීතල කාමරය ඇතුළෙ හුවමාරු උණේ උණුසුම් අදහස්. බැටළුවො වුණත්, වයි ජෙනරේෂන් එක බොහොම උද්‍යෝගිමත්. වැදගත්ම දේ උන් තවම සපත්තු දානවා. 


“ඔයා ඔහොම කිව්වට ට්‍රෙන්ඩ් ලයින්ස් දිහා නොබල අපිට එකපාර උපකල්පන වලට පනින්න බැහැ.”


“ඒක හරි. ඒ විස්තර ටික ඇති කබඩ් ලාච්චුවේ.” මම සර්ප ආකෘතියක් සිර කල වීදුරු බරුව දකුණතේ පිටි අත්ලෙන් මේසය මත ඒ මේ අතටපෙරළන අතරේ වමතින් සීනුව නාද කළා.


'ටිව්හෝයි! ටකස් ටක්ටකස් ට්ලන්ක්' 


හඬ ඇහුණ අතට ඔළුගෙඩි දහනමයක් හැරවුණා. විසිවැනියා; මම උන්නේ කලබගෑනියට හරි කෙළින් මුහුණලා ඇති ආසනයක.


කැඩුණ ස්පීකර් හිසක්, ඩීවීඩී රාක්කයක් සහ ලුමිනස් රෝස පැහැ සපත්තු ජෝඩුවක් වැටුණ වැටුණ තැන්වල ඔහේ දිගාවෙලා හිටියා.


“කාගෙද මේ සපත්තු ජෝඩුව?”


සාමාන්‍ය බොස් කෙනෙක්ගේ සාම්ප්‍රදායික ගිගුරුම් හඬක් එක්ක මම වගේ කෙනෙක් කැරකෙන පුටුව පිටුපසට තල්ලු කරලා නැගිට්ටා.



*******************



ඊළඟට වුණ දේ බොහොම සරලයි. ශීත කාමරයේ මමත්, රෝස සපත්තුකාරියත් මුහුණට මුහුණලා වාඩිවී උන්නා. සපත්තු හොරකම් කළේ කවුද කියලා තමන් නොදන්නා බව කඳ සෘජුව තබා ගනිමින් බොහොම විශ්වාසයෙන් යුතුව ඈ කියා හිටියා.


“දරුවෝ, මේක කළේ විහිළුවට විතරක් වෙන්න බෑ!” මම නිවුනු ස්වරයෙන් කිව්වා.


“මේක කළේ කවුරු වුණත්, මෙක නිකම්ම නිකම් විහිළුවක් කියලා අමතක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.” 

දොරට එපිටින් ඇහෙන්නේ බොහොම සැනසිලිදායක මන්ද්‍ර තානයක කටහඬක්. කෝමාරිකා කුයිල අහිමිවීම සෑහෙන පාඩුවක් තමයි. ඒ වුණාට, බැටළු හමක් පොරවගත්තු වෘකයෙක් ගැන හිතමින් බයෙන් බිරන්තට්ටු වෙලා ඉන්න බැටළු රැළක් පාලනය කරන එක බොහොම පහසුයි.




~ ඉ ව ර යි ~


Wednesday, October 21, 2015

නොපිරවෙන හිස්තැන්!





“මට ඔයාව අමතක කරන්න බෑ.” 

එයා දාහත්වෙනි වතාවටත් එවලා තිබුනා. මේ වතාවෙ ඒ මැසේජය ආවෙ  ෆේස්බුක් සල්ලාප පෙට්ටියට. එදා නත්තලට පස්සෙ දවස නිසාද, නැත්නම් දාහත කියන්නෙ වාසනාවන්ත අංකයක් නිසාද කියන එක හරියටම පැහැදිලි නැතත්, මං මැසේජය කියවලා මිනිත්තුවක් ඇතුලත එයාගෙ ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කරලා තිබුනා.


එදා විය යුතු පරිද්දෙන්ම තෙතබරිත දවසක්. කවුළුවෙන් එපිට හොඳටෝම වැස්ස. මම ඇඳන් උන්නේ නිල් ඉරි වැටුන අත් දිග කමිසයක්. එක්සෙල් ලිපිගොනු කිහිපයක් මැද්දෙන් හිත සන්සුන් කරවන සුළු අහස් නිල් පාට ෆේස්බුක් පිටුවක් පිපුනේ අහම්බෙන්. දීප්තිමත් කහ පැහැ මවුස් පොයින්ටරය නිල් අහසෙන් වැටෙන ඉර එළිය කැටිත්තක් වගේ දැන් ඇක්සෙප්ට් කල ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එක හොයාගෙන ගියා.


හැම ඇල්බමයක්ම, හැම පින්තූරයක්ම තිබුනේ හිමෙන් වැහිලා. මම තව ටිකක් කමිස අත් ඇතුලට ගුලි වුනේ ඒ ලේ මිදෙන සීතල ලැප්ටොප් තිර‍යෙන් එලියටත් කාන්දු වෙන්නා වගේ දැනුන නිසා.


කුඩා කවියක් පැන නැංගේ නොහිතපු මොහොතක.

මදක් දියවූ හිම මල් ය
අලුත් තණපත් නිකැලැල් ය
අඳුරු තුරු සිරස මත - රන් ඔටුනු පලඳවන
වසත් හිරු රැස් කෙඳිති කෙලිලොල් ය.


එහෙනම් ඈ තවමත් ලියනවා. ඒ කියන්නේ තවමත් ඉල් වැස්ස නතර වීමේ සම්භාවිතාවක් තියෙන බවද?


කල්පෙකට විතර පස්සෙ ආයෙමත් පුරුදු විදියට ඔරලෝසු කටු කරකැවෙමින් තිබුණා. දුරුතු සීතල එක්ක තිබුන අරියාදුකම් හිතෙන් අකා මකා දමලා මමත් පරණ පුරුදු විදියට අකුරු ඇතුලෙන් නැගෙන උණුහුම උරා බොන්නට උගනිමින් උන්නා.


සමහර ඇස් වලට ඒක විසාල වරදක් විදියට පෙනෙන්න පුළුවනි. ඒත් මම රාමු කරපු ඇස් වලින් එල්ල වෙන විවේචනාත්මක ගිනි පුළිඟු පයිසෙකටවත් මායිම් නොකරන්න තීරණය කලා.


හැබැයි, මම ජංගම දුරකථනයේ පසුතලයට හිමෙන් වැහිච්ච ෆූජියාමා කන්දේ පින්තූරයක් දමාගත්තා. අකුරුවලට පණ එන වාරයක් පාසා මම මුලින්ම දැක්කේ ෆූජි කන්ද වසාගෙන පිපුණු හිම පියලි. කවදාදැයි නිශ්චිතව කියන්නට නොහැකි වුනත්, අනිවාර්යයෙන්ම යම් දවසක ඒ හිම පියලි අඟුරු වෙලා යන්නට නියමිත බව මතක්වීමෙන් මගේ අසීමාන්තික උද්දාමය යම්තාක් දුරට සමනය වුනා.


මම හිතන්නේ එයත් ඒක මම තරමටම තේරුම් අරන් උන්නා.


ඒ ගැන පූර්ණ විශ්වාසයක් තියන්න අමාරුයි. එයාට තිබුනෙ ඉතාම ඉක්මනින් වෙනස්වෙන සුළු හදවතක්. ඒත්, හිත තවදුරටත් ඉහිල් කරන්න හිතාගෙන මම ඕනෑම පිදුරු ගහක එල්ලෙන්න කැමැත්තෙනුයි හිටියේ.


වැහිකෝඩ ගෙනෙන බැව් සැක නැතී
කිරිකෝඩු කිව නොහැකි ස්නේහෙකී
මුකවාඩමින් වැසුන සෙව්වන්දියක තොල් පෙතී
යුනිකෝඩ මත සුසුවඳක් තවරා ඇතී


කොයිතරම් ආරක්ෂක උපක්‍රම පාවිච්චි කරලා තිබුනත් යුනිකෝඩ මත පිපෙන සමහර මල් නිසා පිනි වැටීම උත්තේජනය උනේ නිරායාසයෙන්මයි.


කවිවලට එපිටින් හිටියේ ලාබ පෑනක් අතින් ගත්ත කෙසඟ, සුදුමැලි කෙල්ලෙක්.
දෙවටොරෙහි හැපෙන තරමට දිග, තුනී කොණ්ඩා කරල් දෙකක්.
මද සිනාවක ඡායාවක් එක්ක තදින් පියාගත් දෙතොළක්.
‘උඹට මැච් වෙන්නෙ නෑ බං, ඒකි මෙලෝ රහක් නැති කෙල්ලෙක්.’


ඒත්. . .

ඒ නිදිබර, සුදුමැලි පින්තූරය අතරින් මතුවෙන්නේ, අමතක කරන්න බැරි දැල්වෙන ඇස් දෙකක්.


මම තවමත් නැවතිලා ඉන්නෙ එතැන.


පියවි ලෝකයට පය තැබීම පහසු කරගන්න හිතාගෙන මම වැරෙන් පිටි අත්ල නිකට මත ඇතිල්ලුවා. වායුසමීකරණයේ සීතලෙන් වියැලී තිබුන සම මත රැවුල් කොට වලින් සුදු පැහැ සිහින් ඉරි ජාලාකාරව පැතිරුනා. ලැප්ටොප් තිරය මත අඩක් නිම වුන ව්‍යාපෘති වාර්තාවක් මා දිහාට ඔරවගෙන උන්නා.


තවමත් අර ඇස් දෙකේ දිලිසීම අඩුවෙලා තිබුනෙ නෑ...

එතැනින් එහා මෙහා වෙන්න ඕනෑය කියන හැඟීම නැවත වරක් මගේ පපුව මැදට තඩිබාන්න  ගත්තා.


"තවමත් එහෙමමද?”
වචන දාස් ගාණක ප්‍රශ්ණයක් නියපොත්තක් තරමට හකුළුවලා මම සල්ලාප පෙට්ටියට අතෑරියා.


“නැහැ.”

ඉස්සර වචන දෙකක උත්තරයක් උනත් මාගලක් තරමට ප්‍රසාරණය කරන එයා, තවමත් එතැන එහෙමම නොවන බව තේරුම් ගන්න මට ඒ තනි වචනය හොඳටම ප්‍රමාණවත් වුනා.


“ඒ කියන්නේ. . . .  ?”

“මෙහෙට ශරතය. නොගිනිය හැකි තරම් සුළු දේවල් කිහිපයක් ඇරෙන්න, මෙහේ හැම තුරුපතක්ම පොළවට වැටෙන්න අරන්. හැමදේම වෙනස්. නොහිතනම විදියට.”


“මට බලන්න ආසයි.”


"සොබාදහම මැරෙන්න පණ අදින හැටිද?"


"නෑ. 
තුරුපතක් ගානේ ගිනි රත් පැහැයෙන් ඇවිලෙන හැටි."


“දැන්ම ඉක්මන් වැඩි නැද්ද?” එයා ඇහුවා.


“ෆූජි කන්ද පිපිරෙන්නේ කොයි වෙලාවෙද කියන එක අපිට අනුමාන කරන්න බැහැ. ඉක්මන් වෙන තරමට හිතට හොඳයි.”


“ඒත්, හිතේ තියෙන සමහර රාමු කැඩිලා බිඳිලා යන එක දරාගන්න අමාරුවේවි. පියවිය කියන්නේ මහ භයානක දෙයක් වෙලාවකට.”


“තිරයක් ඇතුලෙන් දකින්නේ පියවියයි කියලා සහතික වෙන්න අමාරුයි. ඒක හිතට සහනයක් නෙමෙයිද?”


සල්ලාප පෙට්ටියෙන් දිලිසෙන ඇස් දෙකක් මා දිහා බලන් උන්නා. වායුසමීකරණ යන්ත්‍රය ගැන වගේ වගක් නැතිවයි අත්ල මත දහදිය බින්දු නැගුනේ.


ඈ මොනවා කිව්වත් වැහිකෝඩ නතර වෙන බව දැන් නම් සහතිකයි.


දම්පාට අහසට යටින්, ගිනිපෙට්ටි වාහන අතුරාපු කළබල වීදි දිගේ මම එදා හවස සුක්කානම කැරකෙව්වේ පුදුම තරමේ සැහැල්ලුවකින්. සන්ෂයින් එෆ්.එම් එකේ ආදරණීය හැන්දෑවේ වැයෙන සින්දුවලට මම හිතපුරා අත්වැල් ගායනාවලින් සහය වුනා. කබල් බස්වලින් පිටවෙන අළුපාට දුම් කැරලි පවා පෙනුනෙ කුඩා වළා කැටිති වගේ.


ඒ වළාකුළු අතරේ අර දිලිසෙන ඇස් දෙක තරු වගේ පායලා තිබුනා.


 
මම ඉහල ඇදෙන එලවේටරයේ වීදුරු බිත්තියට මූණ තදකරගෙන බලන් උන්නේ කලින් අසා නුපුරුදු ජෑස් සංගීතයක් හිස තුල වාදනය වන අතරේ. ඊගාවට මම ඒ තාලයට උස් හඬින් සිවුරුහන් කරමින් ටයි ගැටය ලිහිල් කරන ගමන් කොරිඩෝවට පැන්නා. එලවේටරයට ඇතුල්වෙන්න බලාගෙන උන් කෙටි කොණ්ඩාකාරිය, ම්හ්, ජීවන සහකාරිය, බස්සියෙක් වගේ ඇස් තඩි කරන් බෙල්ල ඇල කරලා බැලුවා.


“අද වේලාසනින්.” 
ඈ අහන්න කලින්ම මම වචන එලියට දැම්මා.


“මම එන්න පාන්දර වෙයි, නයිට් ශිෆ්ට්.” ඈ වැහෙන්නට ගිය එලවේටරයේ බොත්තම ලුමිනස් කොල පැහැ නියපොත්තකින් තදකරමින් අඩියක් ඉදිරියට තිබ්බා.


“අද මූඩ් එක වෙ-න-ස්!” 

වැහෙන එලවේටර් දොරට කලින් ඈ දකුණු ඇහැ පුංචි කරමින් ලතාවකට කිව්වා.


පිළිතුරක් දෙන්න පමා වෙන්නේ නැතුවම මම සිවුරුහන් කරමින් අංක දාහත සටහන්ව තිබුනු දොරට පා පහරක් දුන්නා. සෝෆාව මතට කඩන් වැටිලා කමිසයේ බොත්තම් විවර කරන්නට වුනා.


සපත්තු දෙක ටීපෝව යටට තල්ලු වෙලා නැවතුනා. එක මේස් එකක් ටීපෝව උඩත්, අනිත් මේස් එක සෝෆාව අයිනේ බිමත් වැතිරිලා මහන්සි අරින්නට වුනා.


නාන කාමරය තුලින් හමා ආවේ සිහින් ලැවැන්දර සුවඳක්.


රැවුල සේරම කැපුවොත් ඉස්සර වගේ ලාමක පෙනුමක් ඒවි. මම සබන් දියර තැවරූ හිසකේ තලමින් කල්පනා කලා. නිකට මුල නැගුනු එකම එක කුරුලෑවක් කඩන්න කණ්නාඩියට එබුනෙ ලොවි රතුපාට ඇස් දෙකක්.


උරහිස් මත පිපුනු කුඩා දිය බිංදු පිහදාන්න කරදර නොවී මම සෝෆාවේ වැතිරුනා. අංක දාහත චැනලයේ ජපන් භාෂාවෙන් ෆූජි කන්ද ගැන වාර්තා වැඩසටහනක් විකාශය වෙමින් පැවතුනා.


“ගුඩ් මෝර්නින්!”

මේ මොහොතේ ඉඳන් දුනු මිදි පාට වයිබර් සල්ලාපයන්ට මම මුළු හදවතින්ම ආදරේ කරන්න පටන් ගන්නවා.


“අපිට දැන් හැන්දෑව. නගරය පුරාම කළාමැදිරි එළි වගේ නියොන් එලි තිත් විසිරෙන්නට අරන්.”


“ඒ වුනාට මට මෝනින්.” එයා ඩිජිටල් වෙලාව දක්වනයක පින්තූරයක් එව්වා. උදෑසන හතයි දාහතයි.


මම ටැබ් තිරයේ ඉහළ කෙලවරට ඇස් දිවෙව්වා, හවස හයයි දාහතයි.


“එකම වෙලාවක ලෝකයේ දැතැනකදි, එකම දවස ඉපදෙන්නත්, මැරෙන්නත් පුලුවනි.” මම ස්කයිප් කවුළුවෙන් එබෙමින් කිව්වා.


මුලින් තිරය පුරා දිස්වුනේ බොඳව ගිය දුඹුරු පැහැයක්. ඉන් පස්සෙ පොරෝණා ප්‍රාවරණයක් තුලින් රත් පැහැ හිසකේ ඇති කෙල්ලෙක් ස්කයිප කවුළුවෙන් හිස පෙව්වා.


“පේනවනේ, මිනිස්සු වෙනස් වෙනවා.”

ඈ සමනල් පියාපත් ටැටූවක් කෙටූ අත්ල මිටි කරගෙන, දබරැඟිල්ල තිරය දෙසට ලෙලවමින් කිව්වා.


“ඒත්, සමහර තාරකා එහෙම ලේසියෙන් මිය ඇදෙන්නේ නැහැ.” 

මම ඇගේ නිදිමතෙන් කුඩා වුන ඇස් දිහා බලාගෙනයි උන්නේ, බොහොම සුළු දේවල් කිහිපයක් තවමත් නොවෙනස්ව පවතිනබව මට ඒ වෙලාවේ පසක් වුනා. අකුරු සහ දිලිසීම. ඊට අමතරව හිස් මුදුනට කඩාපනින ප්‍රහර්ෂයේ අකුණු සැර!


පැය එකහමාරකට පස්සෙ ඈ ස්කයිප කවුළුව වහල දැම්මා.


මම ගැඹුරු ආශ්වාස ප්‍රාශ්වාසයන් තුල කිමිදෙමින්, ‘සී’ අකුරක හැඩයට වකුටු වෙලා ඇස් පියාගත්තා.


කෙටි නින්දකට වැටුන පරක්කුවෙන් හිම පියළිවලට යටින් ලාවා බුබුළු දාන හැටි හීනෙන් දැකලා මං ඇහැරුනා.


තත්පරේකින් පංගුවකදී
සෙවණැළිය කියන්නේ
සෙවණැළිම පමණෙකැයි
හොඳටෝම අමතකව යයි....

 
මම සීතල දුරකථන තිරයට හාද්දක් දුන්නා. තවත් බියකරු සිහින උහුලන්න අමාරුයි. ඒ නිසා මම කුඩා තැඹිලි පැහැ පෙත්තක් උගුරට හලාගෙන සීතල වතුරෙන් සෝදා හැරියා.


බිත්තියේ ඇලවූ වර්ණ කරදාසි දීප්තිමත්ව දැල්වුනා. නීරස භූමි දර්ශන සහිත පින්තූර රාමුවලින් පවා ආදරේ හිතෙන උණුසුම් වර්ණ පැනනැංගා. දොර, ජනෙල් තිර පවා වැළැඳ ගන්නට තරම් ආනන්දයකින් හදවත වේගයෙන් ගැහෙන්නට වුනා.


පයේ හැපුනු වතුර වීදුරුව “සලාං” හඬක් නගමින් පෙරැලුනා. මම වීදිරුව ටයිල් පොළව මත පෙරලෙන තාලයට රවුමක් කරකැවෙමින් දණහිස් නැටෙව්වා.


ඉන් පස්සෙ වළාකුළු පොළවට පාත්වෙලා මාව වැළඳගත්තා.


එයා වළාකුළු මිරිකලා රෝස පාට තීන්තක් බෝතල්වලට පිරෙව්වා. වළාකුළු මිරිකන ගානේ සිහින් අකුණු සැරක් වැදිලා මාව වෙව්ලුම්කෑවා. ගණන් ගත යුතු තරම් දේකුත් නෙමෙයි. ඒත් කකුල් පණ නැතුව යනවා සුළු මොහොතකට.


රෝස පාට තීන්තට හුස්ම පිඹලා එයා හිස් අවකාශයේ අකුරු අඳින්නට වුනා. ඒ අකුරු තද නිල් පාට පසුතලය මැද්දේ ෆ්ලොරොසන්ට් ආලෝක කණිකා නිකුත් කරමින් කරකැවෙනවා.


කඳු හිසකින් දිය ඇල්ලක් කඩාහැලෙන තරම් සැහැල්ලුවකින් එයා තීන්ත බෝතලය මගේ ගෙල දෙපසට වැක්කෙරුවා. ඉන් පස්සෙ දබරැඟිල්ල තීන්තේ ඔබමින් මගේ පිට දිගේ අකුරු අඳින්න ගත්තා. ඒ අකුරු කවි වෙලා සම් මස් නහර විනිවිදගෙන පපුව ඇතුලට කාන්දු වුනා. හෘත් පේශි ඇතුලෙ කවි කුඩා කැටිති විදියට තැන්පත් වුනා.


ඔන්න දැන් ලබ් ඩබ් හඬත් එක්ක කවි ගැහෙනවා.

ගැහෙනවා - ගැහෙනවා - ගැහෙනවා.


ඉන් පස්සෙ ඈ සේද ඇතිරිල්ලක් වගේ මගේ පපුව මත වැතිරිලා වචන අපැහැදිලි ගීයක් කන් පෙත්තට මුමුණන්න ගත්තා. හුස්මවල උණුහුම වැදිලා කන් පෙත්ත රත්වුනා. මම අසිහියෙන් අත දිගුකරලා පැති මේසය උඩ තිබුණු වීදුරු ඩිකැන්ටරය උගුරට ඇල කලා. පපුව දිගේ වතුර බේරෙනකොට එයා දියවෙලා ගියා.


ඊට පස්සෙ මම කොට්ටෙ බදාගෙන හදවතක රූපයක් ඇන්දා.


හදවත් රූපයේ වටකුරු සුමට මුහුණත් දෙකේ ඉඳගෙන අපි රෑ එළිවෙනකම් සී-සෝ පැද්දා. මුලින් බොහොම හෙමිහිට. ටිකෙන් ටික සීසෝව පැද්දෙන වේගෙ වැඩි වෙලා එක්වරම මාව පහළට රූටාගෙන ගිහින් ඇඳ උඩට වැටුනා.


එයා හදවත් රූපය අත් දෙකෙන්ම උස්සලා ඒකෙ උල් කෙලවරෙන් මගෙ පපුවට ඇනගෙන ඇනගෙන ගියා. සිදුරු වුනු පපුවෙන් ලේ රතුපාට කවි විද්දා!

*******


 
“හනී-බී, නැගිටින්නකෝ අනේ.”

ජීවන සහකාරියගේ ඇඟිලිතුඩු හිසකේ අතරින් සීරුවට එහාමෙහා යනවා.

 
යාන්ත්‍රිකව දෙතොල් එහාමෙහා වෙන හාද්දක්.

මිනිත්තු කිහිපයක් ඇතුලත කොරිඩෝවට පැනගත්තේ ටයිපටිය අතේ ගුලි කරගෙන, සැනසුම් සුසුමක් හෙලමින්.


හෙඩ්ෆෝනය හරහා ඇහෙන්නේ ඈ හුස්ම ගන්නා හඬ. තමන් හුස්ම ගන්නා බව දැනෙන්න ඒ වගේ පසුබිම් සංගීතයක් නැතුවම බැහැ.


"මේ කතාවේ අවසානය මොකක්ද?"
එයා ඇහුවේ නොහිතපු වෙලාවක.


"ඇයි?" මම මෝඩ තාලෙට හිස කසමින් ඇහුවා.


"මම අහන්නේ, ඔයා අනුමාන කරන විදිය."


"එක්කෝ සුඛාන්තයක්, එහෙමත් නැත්නම් ඛේදාන්තයක්." මම සුසුමක් හෙලමින් කිව්වා. "මොක වුනත් මොකද? එකම කාසියක දෙපැත්ත වගෙයි."


"සුඛාන්තයකුත් නොවෙන - ඛේදාන්තයකුත් නොවෙන අවසානයන් තියෙන්නම බැරිද?" 
ඈ ඉස්සරත් ඔහොමමයි. අහන්නෙම නුවුමනා දේවල්.


"ම්හ්!"


"කාසියක් උඩ දැම්මාම පැත්ත වැටෙන්නේ නැතුව කෙලින් හිටගන්න අවස්ථාවනුත් තියෙන්න පුලුවනි."


"වෙන්න පුලුවනි. ඒත් මම කැමති, කාසිය බිමට වැටෙන්න කලින් මේ මොහොත ඇතුලෙ ජීවත් වෙන්න."


"ඉස්සර කලා විද්‍යාලයේදි මම ලියන දේවල් වලට ගුරුවරුන්ගෙන් කිසිම පිළිගැනීමක් නොලැබුන තරම්. ඔවුන්ට ඛේදාන්තයක් හෝ සුඛාන්තයක් නැති කතා විශ්වාස කරන්න බැරි වුනා. කුඩා පැන්සයකට වුනත් කෙලින් හිටගන්න වාරයක් එන බව හැමෝම බොහොම කැමැත්තෙන් අමතක කලා."


"මට තේරෙන්නෙ නෑ." 
මං ආයෙමත් පුරුදු පොදු-පිරිමි පිලිතුර දුන්නා.


"ඔව්. ඔයාට තේරෙන්නෙ නැහැ නේන්නම්."
ආයෙමත් සිහින් හුස්ම හඬ.



ඉන් පස්සෙ මමයි, ෆූජි කන්දයි අතරේ අහස තරම් උසට තාප්පයක් බැඳලා තිබුනා. ගිනි කන්දක් එක්ක තියෙන ඇඟෑලුම්කම ශෝකාන්තයකින් කෙලවර නොවෙන්නේ කොහොමද කියන එක කොච්චර හිතුවත් මට තේරුම්ගන්න බැරි වුනා. මං බය වුනා.


පහුවදා හවස වැඩ ඇරිලා ගෙදර එන ගමන් මම පෙට්ශොප් එකට ගිහින් සුදුපාට ලොම් උඩින් තැඹිලිපාට පුල්ලි වැටුන හැම්ස්ටර් මීයෙක් මිලදීගත්තා. ඌට තිබුනෙත් දිළිසෙන චූටි ඇස්.


අඩුම තරමේ ඌව අතට අහුවෙනවා. පපුවට තුරුල් කරගන්නත් පුලුවනි.


තවම හදවතේ නොවැහුනු සිදුරු තියෙනවානම් ඉඳලා හිටලා කවියක් දෙකක් ඔබාගෙන හිස්තැන් පුරවගන්න බැරියෑ!




-  ඉ ව ර යි  -



Friday, October 16, 2015

රිවි රැසත් ගිරි හිසත් ඔබමයි - ඔබම පමණයි






බස්සිගේ පහ වසරේ ක්ලාස් මේට් කෙනෙක් ළඟදි චැට් එකක් දාලා අහනවා පිය ගුණ ගීයක් ලියල දෙන්න කියලා.


ඒ යාලුවා චූටි කාලෙ ඉඳන් හැදුනෙ තාත්තත් එක්ක. ඉතින් එයාගෙ තාත්තගේ උපන්දිනේ දවසේ තෑග්ගක් විදියට සිංදුවක් කරන්නයි එයාට උවමනා වෙලා තිබුනෙ.


ඉතින් මම කලබලෙන් සිංදුවක් ඩ්‍රාෆ්ට් කරලා යැව්වා. පුදුමයකට වගේ, එයා කිසිම වෙනස්කමක් නොකර ඒ සින්දුව ඒ විදියටම බාර ගත්තා.

මේ තියෙන්නේ ඒ සිංදුව.





දිවි නැවට මහ රුවල ඔබමයි
සවි ගෙනෙන දෙවි රුවද ඔබමයි
රිවි රැසත් ගිරි හිසත් ඔබමයි
ඔබම පමණයි
පියාණනි මගෙ ලොවම ඔබමයි


බිළිඳු මට කිරි පබළු ඇන්දූ
මුව පුරා හසරැලි පැළැන්දූ
මව් සෙනේ දුන් පිය නිරින්දූ
ඔබම පමණයි
පියාණනි මගෙ ලොවම ඔබමයි


රැකවරණ උඩු වියන් ඇතිරූ
මවු ගුණත් – පිය ගුණත් මහරූ
හදේ ගැඹුරේ රැඳුනු පිළිරූ
ඔබම පමණයි
පියාණනි මගෙ ලොවම ඔබමයි


ගායනය : මරීනා තමෙල්
ගේය පද : යශෝධා සම්මානි
සංගීතය : තරිඳු දිසානායක




Tuesday, October 13, 2015

ඇවිලෙන තාරකා | බලාපොරොත්තුව






එහෙමමත් දවසකට
හිටිවනම නතර වෙයි
තත්පර


සැලෝලයිඩ් සිතුවමක
ඉපැරණි රස්තියාදුවක
විස්තර


අක්බඹරු කෙහෙ කැරලි
පෙලයි යලි යලි පෙලයි
හද සත්සර


කුඩා තාරුකාවක්
ගිනි අරන් පොලවට වැටෙයි
ඇස් තෙත්කර



අහසෙන් වැටෙන තාරුකාවක් දිහා බලාගෙන ප්‍රාර්ථනාවක් කලොත් ඒ පැතුම ඉටු වෙන බව කුඩා දැරියක්ව උන් එකල මම තදින්ම විශ්වාස කලා. කාලගුණ අනාවැකියේ උල්කා වර්ෂාවන් ගැන කියැවුනු දවසට කල් ඇතුවම ප්‍රාර්ථනා කරන්න ඕනෙ දේවල් හිතේ ලියාගෙන මග බලන් උන්නු කාලයක් තිබුනා. ඒ අවුරුදු ගණනාවකට ඉස්සර.


කළුම කළු රාත්‍රිය සූරගෙන, එළිය රේඛාවක් අඳින උල්කාවක් කියන්නේම ක්ෂණිකව ප්‍රහර්ෂය දනවන්නක්. බලාපොරොත්තුව කියන්නෙම සහන් එලියක්, අළුත් හුස්මක්.


සන්තානයම වසාගත්තු අන්ධකාර සන්තාපයේ කරවටක් ගැඹුරට ගිලී ඉන්නකොට හදවතේ අත්හැර දැමූ අඳුරු කුටීර ඇතුලතින් සැණෙළි නංවන කුඩා මතකයනුත් ඒ වගෙයි. දැල්වීම අතරතුර අන්ධකාරය කැපී යන ලෙස ප්‍රහර්ෂයේ ආලෝක රේඛා ඇඳෙනවා. අහස හරහා පිළිස්සුම් රේඛාවක නොපෙනෙන කැළැල් ඇඳෙනවත් ඇති.. නමුත් ඒ ආලෝක පුංජයන් නිසා පොළවේ ඉන්න අය ගිනිකන වැටෙනවා.


වයසින් වැඩෙනවා කියන්නෙම, ළමා ෆැන්ටසිවලට වැදෙන යකුළු පහරක්. අන්තිමේ මම ඉගෙනගන්නවා උල්කාපාත කියන්නේ පොළව බලා රාත්‍රී සංචාරයන්හි යෙදෙන තාරුකා නොවෙන බව. 


අවේලාවේ රස්තියාදුවේ යන, පාෂාණ කැබැලිති සහ දූවිලි අංශු, අහම්බෙන්, ඉතාමත් අහම්බෙන් පෘතුවි වායුගෝලයට ඇතුල්වෙනවා. පෘතුවි ගුරුත්වාකර්ෂණය යටතේ වේගවත් ගමනක යෙදීමෙන් උණුසුම්ව ගිනිගන්නවා. ගින්නෙන් දැවෙන, නොසැලකිය යුතු තරමේ ගල් කැබැල්ලකට, දුහුවිලි කැටිත්තකට වුනත් තමන්ගේම කියා බලාපොරොත්තුවක් තියෙන්නට පුලුවන්ද? ඒ සිතුවිලි මාත්‍රය පවා හද රිදවනසුළුයි.


සිතුවිලි රස්තියාදුවක් අතරමැද, අහඹු ලෙස ඉල්පෙමින් ඇවිලෙන මතක අංශුත් එහෙමමයි. ඒ ගැන නොහිතා ඉන්න තිබුනානම් වඩාත් හොඳයි. අතීතයෙන් ගැලැවී ගිය, මකුළු දැල් බැඳුනු, දුහුවිලි තැවරුනු මතක ගිනි පුපුරු නංවමින් ඇවිලෙද්දී මිනිත්තුවක සිරවුනු කුඩා සතුටක් දැනෙනවා. 


සමහරවිට, ඒ ඇවිලෙන මිනිත්තුව ඇතුලේ මුළු ජීවිත කාලයක්ම සැඟව ඉන්න හිතෙනවා.


නමුත්, ඒ ඇවිලෙන්නේ නිකම්ම නිකම් දුහුවිලි කැටිති බව අවබෝධ කරගත්තාට පස්සෙ දුහුවිලි බැඳුනු අතීතය පුළුස්සා දාල පියවි ලෝකයේ එළඹි සිහියෙන් යුතුව ඉදිරියට ඇවිදගෙන යන්න වුවමනා ජවය නිරායාසයෙන්ම ලැබෙනවා.


වඩා හොඳ අතීතයේ ඇවිලෙන මිනිත්තුවක් තුල ජීවිතය සැඟවීමද? නැතිනම් මේ පියවි මොහොතේ අලුතෙන් හුස්ම ගැනීමද? මම දන්නෙ නැහැ. හැමෝටම ඕනෙ, ජීවිතය වියාගන්න බලාපොරොත්තුවක්.


එච්චරයි.





Tuesday, October 6, 2015

චාරිත්තරෙට වගෙයි පොත් සල්පිලට ආවෙ






සති අන්ත නිවාඩුවෙ
චාරිත්තරෙට වගෙයි පොත් සල්පිලට ආවෙ
නැති හන්ද එයා පොත් කියවන්නෙ
පුරුදු විදියටම තනියෙන්මයි ආවෙ


ප්‍රතිභාප්‍රභා කුටියෙ දොර ගාව
අහම්බෙන් උඹේ වත දුටුවාම
කැති ගාපු වල් පඳුරු සේරෝම
හොස්ස උස්සා පිබිදුනේ කෝම


මහපොලෙන් සොච්චමක් හංගගෙන ඒ කාලෙ
පොත් සුවඳ බලන්නයි උඹව ඇදගෙන ආවෙ
සෙනග තෙරපෙන්නෙ නෑ - නූල්ඩස් කඩත් නෑ
ඒ කාලෙ ඉර අවුව මෙහෙම පිච්චෙන්නෙ නෑ


පොත් කන්දකට උඩින් එදා වාගෙම අදත්
සඳවතකි පෑව්වේ ටිකක් වියපත් උනත්
අත්ලතෙහි තිබුන පොත් අතර හැංගී උන්නෙ
‘භාවනා අත්පොත’යි ‘සසර දිනනා මග’යි


කන්ණාඩි කුට්ටමට උඩින් බිල් පත බලා
ටික් හඬින් බුහුටි අත් පසුම්බිය විවර වෙයි
අකුණු ගහනව වගේ සැණෙළි එළි පිපිරෙද්දි
ක්ලික් ක්ලික් හඬින් සෙල්ෆි වැසි වැටෙයි


සීල් තබනුයි කියා අපි එදා පිකට් ගිය
කූල් සන්නාමගත බීම හල් හැමතැනම
පැණි දියර කෝප්පෙක කිරි හිනාවක් පිපෙයි
‘අම්මියෝ අපි මෙහේ!’ සිඟිති අත් පොඩි වැනෙයි


‘සයිබ සාහිත්යෙ වයිබර් ලකුණ’ 
අතට ගෙන බලමි, ආපහු තබමි
රජ කතා, යුධ කතා, බොළඳ ආදර කතා
නොදැක්කා වගේ ඔහෙ සැරිසරමි


‘හිනාවෙන සාදුගේ’ දේශනා පොත් දෙකක්
ත්‍රිපිටකේ සිංහලෙන් වෙලුම හතරත් අටත්
තුරුළු කරගෙන දාහෙ පටි ගනිමි
‘නිවන් මග’ මගහැරීමෙන් තැවෙමි.



Thursday, October 1, 2015

සමනල්ලු යන්නේ කොහාටද?



සමනල්ලු යන්නේ කොහාටද? ඒ ගැන දැනගන්නටනම් ඔබ ‘මේ රහස් කවුළුවෙන් එබෙන්න’ම ඕනෑය.







මෙවර පොත් ප්‍රදර්ශනයෙන් ඩැහැගෙන ආ විවිධ වර්ගයේ පොත් හැට එකක් අතුරෙන් මගේ සිත පැහැරගත් නවකතාව කෞශල්‍ය කුමාරසිංහගේ ‘මේ රහස් කවුළුවෙන් එබෙන්න’. 



කතාව ගලායන්නේ සිංහල නවකතා කලාවට ආගන්තුක ‘පක්ෂි අක්ෂි’ දෘෂ්ඨි කෝණයකින්. අපි පිටත සිට නරඹන්නන් පමණයි. එයින්ම මේ කතාව සිනමා කෘතියක ආකෘතියක් ගන්නවා. මගේ අදහසනම්, සිනමා කෘතියකටත් වඩා එය හෙලිකොප්ටර් සවාරියකට සමානයි. කෞශල්‍ය අපිව හෙලියක නංවාගෙන ‘අළුත්’ කොළඹට ඉහළින් ඉගිලෙනවා. සිත් ඇද ගන්නා සිදුවීම් මතට අපත් රැගෙන පහත් වෙනවා. විටෙක ඉතාම සමීප රූප වලිනුත්, විටෙක දුර සිට දකින අපැහැදිලි පැනොරාමා රූපවලිනුත් ඔහු කතාව ගොතාගෙන යනවා.


කෞශල්‍යගේ රචනා ශෛලියේ මම ආසා කරන අනිත් දේ තමයි, ඔහු පාඨකයා එක්ක සෙල්ලම් කරන විදිහ. කතා නායකයා පදවන කියා ජීප් රථය ගැන පමණක් නොවෙයි. එය පදවන ‘තිවංක’ගේ ෂර්ට් එක, ටයි ගැටය, එමතුද නොව ඔහුගේ පිළිවෙලට කැපූ රැවුල සහ ඊට හේතුව මිල අධික උකු ආෆ්ටර් ෂේව් දියරයක්දැයි විමසමින් ඉන්න අතරේ ඔහු එක්වනම අපිව අහකට ඇදගෙන කියා ජිප් රථය පසුපසින් එන ලෑන්ඩ් රෝවර් රථය ගැන විස්තර කරනවා.


ඒ විතරක් නොවෙයි, ඔහු දිගින් දිගටම අපේ අදහස් විමසමින් පාථකයාව කතාව ඉදිරියට ඇදගෙන යන්න සක්‍රියව සම්බන්ධ කරගන්නවා. ඔහු පෙනෙන්නට නැතත්, අපිට මදක් නැවතී ඔහුගේ තොරක් නැති ප්‍රශ්නවලට උත්තර දෙන්නම හිතෙනවා. 


‘මේ රහස් කවුළුවෙන් එබෙන්න’ වෛවර්ණ නූල් සමූහයක් ආධාරයෙන් ඉතා සකසුරුවමට වියන ලද ගෙත්තමක් වගෙයි. එහි එකිනෙකට වෙනස් පැහැයෙන් හා හැඩයෙන් යුත් චරිත රාශියක් හමුවෙනවා. මේ හැම චරිතයක්ම, දැන හෝ නොදැන විවිධ අවස්ථාවන්හිදී ඔවුනොවුන් හා ගැටෙනවා. ඒ කියන්නේ අපි ජීවත්වෙන කොළඹ බොහොම කුඩා වපසරියක පැතිරුණ, නවීකරණයකල සත්වෝද්‍යානයක් වගෙයි කියන එකද?


කතාවක් කියද්දි වචනයෙන් කියන්නට අපහසු තැන් ඕනෑතරම්. ඒ හැඟීම් ගම්‍ය කරන්න සංකේත උපයෝගී කරගෙන ඇති ආකාරය අගෙයි. නිදහස් පියාසැරියක නිග්මනව උන් කිරිල්ලියගේ රත්තරන් අත්තටු සොරා ගන්නා පිරිමියෙක්, ඒ නිසා ඔහු සමග දීග කන්නට යන කිරිල්ලිය, ලිපේ ගින්දරෙන් අඟුරු පැහැ වුන කිරිල්ලියට හැමදාම හවස කුරුළු නැටුම නටන්නැයි බල කරන බේබදු සැමියෙක්. අන්තිමේදී කිරිල්ලිය තමන්ගේ රත්තරන් අත්තටු හොයාගෙන විලට ඉහලින් නික්මීම නිසා තනිවුන දූවරු දෙන්නා. . . . දීර්ඝ කතාවක් ඔහු හංස පියාපතක් තරම් සැහැල්ලුවට ගෙනහැර පානවා.


අන්තිමේදී මව් කිරිල්ලිය නැති නිසා පියා ඉදිරියේ කුරුළු නැටුම නටන්නේ ලොකු දූ. පුංචි දූ මුල්ලක ගුලිවී ඒ දිහා බයෙන් බලාගෙන ඉන්නවා. කෞශල්‍ය අර සැහැල්ලු හංස පියාපතේ තියුණු නාරටියෙන් අපේ පපුව මැදට අනිනවා.


ඇත්තටම සමනල්ලු යන්නේ කොහාටද? කූඩු කල කොළඹ සමනල්ලු හොයා යන්නේ එක් සිහිවිකල් මැහැල්ලක් පමණයි. විශ්වවිද්‍යාල පෙම්වත්තු පවා එකිනෙකාගෙන් සමනල්ලු යන්නේ කොහාටදැයි අහනවා පමණයි. සමනල්ලු හඹා යන්නට අපිට කොයින්ද වෙලාවක්?


ඉතින් අපි අපේ සමනල්ලු හිර කරනවා යතුරු රඳවනයක, නැත්නම් වීදුරු ගෝලිකාවක. ගමේ ඇත්තටම සමනල්ලු ඉන්නවා. ගමේදි සමනල්ලු අපිව හොයාගෙන එනවා. ඒත් ගමේදි පවා ඒ සමනල්ලු හඹා යන්නෙ සිහිවිකල් තරුණියක් පමණයි. ඒ හැරුණුකොට සමනල්ලු පියාඹන්නේ ජයන්තගේත්, නිර්මලීගේත් කවිවල විතරමද?


කතාවේ අකුරු පේළි ඇතුලෙ නැවත නැවතත්, බෝල්ඩ් අකුරෙන් ලියැවෙන ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා.


1. අපි ජීවත්වෙන මේ කෘත්‍රිම මානව උද්‍යානය එන්න එන්නම පුංචි වෙනවා. අපි හැමෝම, හැමවෙලේම, දැන හෝ නොදැන මුනගැහෙන තරමට ඒ වපසරිය කුඩා වෙලා.


2. ඒ නිසාම අපේ මානව සම්බන්ධතා, තම්බපු නූඩ්ල්ස් ගොඩක් වගේ පැටලිලි සහගත වෙලා. හිතාගන්න බැරි තරම් සංකීර්ණ වෙලා. තවදුරටත් ඒවාට ආදරය, විවාහය, මිත්‍රත්වය වගේ සරල ලේබල් ඇලවීමක් කරලා අත පිහදා ගන්න අමාරුයි.


අන්න ඒ වෙලාවෙ මට මතක් වුනේ මේ චාර්ට් එක.






සෙක්ස් කියන දේ නවකතාව ඇතුලෙ බොහොම විවෘතව සංවාදයට බඳුන් වෙනවා. ඒ නිසාම ‘නෙළුම් මලෙන් උපන් අය’ මේ කතාව කියවීමෙන් මානසික අවපාතයකට ලක්විය හැකි නිසා නොකියවා ඉන්න එක හොඳවෙයි කියලත් හිතෙනවා. ග්‍රවුන්ඩ් හොස්ටෙස් කේෂුගෙන්, ඩාන්සින් ටීචර් උවනිගෙන්, කැම්පස් කෙල්ල පද්මිගෙන්, එච්.ආර්. කන්සල්ටන්ට් තිවංකගෙන්, ගිටාර් ප්ලේයර් අසීගෙන්, කැරොකේ ක්ලබ් එක ඇතුලෙදි, එහෙමත් නැත්නම් හයිලෙවල් පාරෙදි තමන්ට තමන්වම මුණගැහෙන එක ලොකු ශොක් එකක්. නොකිව්වයි කියන්න එපා! මේ රහස් කවුළුවෙන් එබෙනකොට තමන්ට තමන්වම පේන එක දරාගන්න බැරි අයත් මේ පොත කියවිය යුත්තෙ අවදානමක් අරගෙන.


කතුවරයා අපිව කිසිම චරිතයක් ඇතුලේ කොටු කරලා තියාගන්නෙ නැහැ. අපි චරිතයෙන් චරිතයට පැන පැන යනවා. හැම චරිතයකම කවචය නිරීක්ෂණය කරනවා. හැසිරීමත්, වචනත් නිරීක්ෂණය කරනවා. චරිතවලට රහසෙ අපි ඔවුන්ගේ හැම ක්ෂුද්‍ර චලනයක්ම නරඹනවා. හැබැයි එක දෙයක් අඩුයි. ඒ තමයි අපිට නොපෙනෙන, ඔවුන්ගේ සිතිවිලි. වෙනත් නවකතාවල වගේ මෙතනදි කතුවරයා අපිට ඔවුන් හිතන දේ හැන්දකට අරන් කවන්නෙ නෑ. පාඨක අභ්‍යාසය තමයි අර රහසේ නරඹපු දේවල් මත අපි දැකපු කවච වල ඇතුල, අපිට වඩාත්ම සාධාරණයැයි හැඟෙන විදියට පුරවන එක.


අන්න ඒ ක්‍රියාවලිය නිසා අන්තිමේ බාහිර නරඹන්නන් වෙච්ච අපි, චරිත ඇතුලට ගමන් කරනවා. අපිට ඒ චරිත ඇතුලට රිංගලා හුස්මක් දෙකක් අරන් බලන්න හිතෙනවා. අන්න එතැනිනුයි මේ කතාවෙ 'සහකම්පනය' ඉපදෙන්නේ.


කතාව අවසානයේ සුවිශාල පටලැවිල්ලක් ලිහල දාලා තිවංක – කේෂු – අසී – උවනි සෝෆාව මත වැතිරී ඉන්න දසුනෙදි අපි ඉබේම සැනසුම් සුසුමක් හෙලනවා. මේ චරිත හතර ඊගාවට ගන්නා පියවර අපැහැදිලියි. හැබැයි අපි එක දෙයක් දන්නවා.මින් ඉදිරියට ඔවුන් හතරදෙනා නිවෙස් බලා විසිර ගියත්, එතැන ෆෝසම් එකක් සිදු උනත් ඒ රූප රාමු දෙකෙන් කොයි එක වුනත් දරාගන්න පුලුවන් විදියට අපේ මනස සැහැල්ලු වී ඇති බව. ආගම කුමක්දැයි අල්පමාත්‍ර අදහසක් හෝ නොදැන, ඒ වෙලාවේ කවුළුවෙන් පිටත ඇහෙනවායැයි කියන යාතිකාව හිතට ගෙන එන ක්ෂාන්තියට සමාන හැඟීමක් ඒක.


ඒ සැනසිලිදායක අවසානය මට දැනෙන්නේ මහා පිපිරුම් මාලාවක අවසානයේ ඉතුරුවෙන ශූන්‍යත්වය වගේ. එහෙමත් නැත්නම්, මම කලින් කියාපු හෙලිකොප්ටර් රයිඩ් එක අවසානයේ හිස බමන ගතියෙන් යුතුව හෙමිහෙමින් ඉදිරියට ඇවිද යන්නා වගේ. 


හැබැයි මම මේ නවකතාවේ කැමතිම දේ තමයි, කෞශල්‍ය අපිට දෙන්නේ 'ඉනික්බිති සියල්ලෝම සතුටින් විසිර ගියහ' පන්නයේ අවසානයක් නොවෙන එක. මම කලිනුත් කිව්වා වගේ වෛවර්ණ නූල් සමූහයක් ඉතා විශිෂ්ඨ ලෙස මුහු කරපු මේ ගෙත්තම අන්තිමේ නූල් කෙලවරවල් ගැටගහල අපිට 'පිටවීමේ දොර' පෙන්වන්න ඔහුට උවමනාවක් නෑ. ඒ වෙනුවට ඔහු ගොතා අවසන් නොකල නූල් පොටවල් රැසක් අපි අතට දීලා රහසේම නික්ම යනවා.


මම වැඩියෙන්ම කැමති අන්න ඒ නික්මනට!


ඉතින් ඇත්තටම සමනල්ලු යන්නේ කොහාටද? මම හිතන්නේ සමනල්ලු අපි ළඟට එන එකක් නැහැ. අපි සමනල්ලු හඹා යා යුතුයි. ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ඉහලම මහලෙන් පහලට, නැත්නම් නෙළුම් කුළුණ දිගේ ඉහළට, විජේරාම හන්දියේ ඒ අතට - මේ අතට, ක්‍රෙස්කැට් එකේ එස්කැලේටර් දුවන දිශාවට විරුද්ධ අතට, අපි සමනලුන් හඹා යා යුතුයි.