Wednesday, October 21, 2015

නොපිරවෙන හිස්තැන්!





“මට ඔයාව අමතක කරන්න බෑ.” 

එයා දාහත්වෙනි වතාවටත් එවලා තිබුනා. මේ වතාවෙ ඒ මැසේජය ආවෙ  ෆේස්බුක් සල්ලාප පෙට්ටියට. එදා නත්තලට පස්සෙ දවස නිසාද, නැත්නම් දාහත කියන්නෙ වාසනාවන්ත අංකයක් නිසාද කියන එක හරියටම පැහැදිලි නැතත්, මං මැසේජය කියවලා මිනිත්තුවක් ඇතුලත එයාගෙ ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කරලා තිබුනා.


එදා විය යුතු පරිද්දෙන්ම තෙතබරිත දවසක්. කවුළුවෙන් එපිට හොඳටෝම වැස්ස. මම ඇඳන් උන්නේ නිල් ඉරි වැටුන අත් දිග කමිසයක්. එක්සෙල් ලිපිගොනු කිහිපයක් මැද්දෙන් හිත සන්සුන් කරවන සුළු අහස් නිල් පාට ෆේස්බුක් පිටුවක් පිපුනේ අහම්බෙන්. දීප්තිමත් කහ පැහැ මවුස් පොයින්ටරය නිල් අහසෙන් වැටෙන ඉර එළිය කැටිත්තක් වගේ දැන් ඇක්සෙප්ට් කල ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එක හොයාගෙන ගියා.


හැම ඇල්බමයක්ම, හැම පින්තූරයක්ම තිබුනේ හිමෙන් වැහිලා. මම තව ටිකක් කමිස අත් ඇතුලට ගුලි වුනේ ඒ ලේ මිදෙන සීතල ලැප්ටොප් තිර‍යෙන් එලියටත් කාන්දු වෙන්නා වගේ දැනුන නිසා.


කුඩා කවියක් පැන නැංගේ නොහිතපු මොහොතක.

මදක් දියවූ හිම මල් ය
අලුත් තණපත් නිකැලැල් ය
අඳුරු තුරු සිරස මත - රන් ඔටුනු පලඳවන
වසත් හිරු රැස් කෙඳිති කෙලිලොල් ය.


එහෙනම් ඈ තවමත් ලියනවා. ඒ කියන්නේ තවමත් ඉල් වැස්ස නතර වීමේ සම්භාවිතාවක් තියෙන බවද?


කල්පෙකට විතර පස්සෙ ආයෙමත් පුරුදු විදියට ඔරලෝසු කටු කරකැවෙමින් තිබුණා. දුරුතු සීතල එක්ක තිබුන අරියාදුකම් හිතෙන් අකා මකා දමලා මමත් පරණ පුරුදු විදියට අකුරු ඇතුලෙන් නැගෙන උණුහුම උරා බොන්නට උගනිමින් උන්නා.


සමහර ඇස් වලට ඒක විසාල වරදක් විදියට පෙනෙන්න පුළුවනි. ඒත් මම රාමු කරපු ඇස් වලින් එල්ල වෙන විවේචනාත්මක ගිනි පුළිඟු පයිසෙකටවත් මායිම් නොකරන්න තීරණය කලා.


හැබැයි, මම ජංගම දුරකථනයේ පසුතලයට හිමෙන් වැහිච්ච ෆූජියාමා කන්දේ පින්තූරයක් දමාගත්තා. අකුරුවලට පණ එන වාරයක් පාසා මම මුලින්ම දැක්කේ ෆූජි කන්ද වසාගෙන පිපුණු හිම පියලි. කවදාදැයි නිශ්චිතව කියන්නට නොහැකි වුනත්, අනිවාර්යයෙන්ම යම් දවසක ඒ හිම පියලි අඟුරු වෙලා යන්නට නියමිත බව මතක්වීමෙන් මගේ අසීමාන්තික උද්දාමය යම්තාක් දුරට සමනය වුනා.


මම හිතන්නේ එයත් ඒක මම තරමටම තේරුම් අරන් උන්නා.


ඒ ගැන පූර්ණ විශ්වාසයක් තියන්න අමාරුයි. එයාට තිබුනෙ ඉතාම ඉක්මනින් වෙනස්වෙන සුළු හදවතක්. ඒත්, හිත තවදුරටත් ඉහිල් කරන්න හිතාගෙන මම ඕනෑම පිදුරු ගහක එල්ලෙන්න කැමැත්තෙනුයි හිටියේ.


වැහිකෝඩ ගෙනෙන බැව් සැක නැතී
කිරිකෝඩු කිව නොහැකි ස්නේහෙකී
මුකවාඩමින් වැසුන සෙව්වන්දියක තොල් පෙතී
යුනිකෝඩ මත සුසුවඳක් තවරා ඇතී


කොයිතරම් ආරක්ෂක උපක්‍රම පාවිච්චි කරලා තිබුනත් යුනිකෝඩ මත පිපෙන සමහර මල් නිසා පිනි වැටීම උත්තේජනය උනේ නිරායාසයෙන්මයි.


කවිවලට එපිටින් හිටියේ ලාබ පෑනක් අතින් ගත්ත කෙසඟ, සුදුමැලි කෙල්ලෙක්.
දෙවටොරෙහි හැපෙන තරමට දිග, තුනී කොණ්ඩා කරල් දෙකක්.
මද සිනාවක ඡායාවක් එක්ක තදින් පියාගත් දෙතොළක්.
‘උඹට මැච් වෙන්නෙ නෑ බං, ඒකි මෙලෝ රහක් නැති කෙල්ලෙක්.’


ඒත්. . .

ඒ නිදිබර, සුදුමැලි පින්තූරය අතරින් මතුවෙන්නේ, අමතක කරන්න බැරි දැල්වෙන ඇස් දෙකක්.


මම තවමත් නැවතිලා ඉන්නෙ එතැන.


පියවි ලෝකයට පය තැබීම පහසු කරගන්න හිතාගෙන මම වැරෙන් පිටි අත්ල නිකට මත ඇතිල්ලුවා. වායුසමීකරණයේ සීතලෙන් වියැලී තිබුන සම මත රැවුල් කොට වලින් සුදු පැහැ සිහින් ඉරි ජාලාකාරව පැතිරුනා. ලැප්ටොප් තිරය මත අඩක් නිම වුන ව්‍යාපෘති වාර්තාවක් මා දිහාට ඔරවගෙන උන්නා.


තවමත් අර ඇස් දෙකේ දිලිසීම අඩුවෙලා තිබුනෙ නෑ...

එතැනින් එහා මෙහා වෙන්න ඕනෑය කියන හැඟීම නැවත වරක් මගේ පපුව මැදට තඩිබාන්න  ගත්තා.


"තවමත් එහෙමමද?”
වචන දාස් ගාණක ප්‍රශ්ණයක් නියපොත්තක් තරමට හකුළුවලා මම සල්ලාප පෙට්ටියට අතෑරියා.


“නැහැ.”

ඉස්සර වචන දෙකක උත්තරයක් උනත් මාගලක් තරමට ප්‍රසාරණය කරන එයා, තවමත් එතැන එහෙමම නොවන බව තේරුම් ගන්න මට ඒ තනි වචනය හොඳටම ප්‍රමාණවත් වුනා.


“ඒ කියන්නේ. . . .  ?”

“මෙහෙට ශරතය. නොගිනිය හැකි තරම් සුළු දේවල් කිහිපයක් ඇරෙන්න, මෙහේ හැම තුරුපතක්ම පොළවට වැටෙන්න අරන්. හැමදේම වෙනස්. නොහිතනම විදියට.”


“මට බලන්න ආසයි.”


"සොබාදහම මැරෙන්න පණ අදින හැටිද?"


"නෑ. 
තුරුපතක් ගානේ ගිනි රත් පැහැයෙන් ඇවිලෙන හැටි."


“දැන්ම ඉක්මන් වැඩි නැද්ද?” එයා ඇහුවා.


“ෆූජි කන්ද පිපිරෙන්නේ කොයි වෙලාවෙද කියන එක අපිට අනුමාන කරන්න බැහැ. ඉක්මන් වෙන තරමට හිතට හොඳයි.”


“ඒත්, හිතේ තියෙන සමහර රාමු කැඩිලා බිඳිලා යන එක දරාගන්න අමාරුවේවි. පියවිය කියන්නේ මහ භයානක දෙයක් වෙලාවකට.”


“තිරයක් ඇතුලෙන් දකින්නේ පියවියයි කියලා සහතික වෙන්න අමාරුයි. ඒක හිතට සහනයක් නෙමෙයිද?”


සල්ලාප පෙට්ටියෙන් දිලිසෙන ඇස් දෙකක් මා දිහා බලන් උන්නා. වායුසමීකරණ යන්ත්‍රය ගැන වගේ වගක් නැතිවයි අත්ල මත දහදිය බින්දු නැගුනේ.


ඈ මොනවා කිව්වත් වැහිකෝඩ නතර වෙන බව දැන් නම් සහතිකයි.


දම්පාට අහසට යටින්, ගිනිපෙට්ටි වාහන අතුරාපු කළබල වීදි දිගේ මම එදා හවස සුක්කානම කැරකෙව්වේ පුදුම තරමේ සැහැල්ලුවකින්. සන්ෂයින් එෆ්.එම් එකේ ආදරණීය හැන්දෑවේ වැයෙන සින්දුවලට මම හිතපුරා අත්වැල් ගායනාවලින් සහය වුනා. කබල් බස්වලින් පිටවෙන අළුපාට දුම් කැරලි පවා පෙනුනෙ කුඩා වළා කැටිති වගේ.


ඒ වළාකුළු අතරේ අර දිලිසෙන ඇස් දෙක තරු වගේ පායලා තිබුනා.


 
මම ඉහල ඇදෙන එලවේටරයේ වීදුරු බිත්තියට මූණ තදකරගෙන බලන් උන්නේ කලින් අසා නුපුරුදු ජෑස් සංගීතයක් හිස තුල වාදනය වන අතරේ. ඊගාවට මම ඒ තාලයට උස් හඬින් සිවුරුහන් කරමින් ටයි ගැටය ලිහිල් කරන ගමන් කොරිඩෝවට පැන්නා. එලවේටරයට ඇතුල්වෙන්න බලාගෙන උන් කෙටි කොණ්ඩාකාරිය, ම්හ්, ජීවන සහකාරිය, බස්සියෙක් වගේ ඇස් තඩි කරන් බෙල්ල ඇල කරලා බැලුවා.


“අද වේලාසනින්.” 
ඈ අහන්න කලින්ම මම වචන එලියට දැම්මා.


“මම එන්න පාන්දර වෙයි, නයිට් ශිෆ්ට්.” ඈ වැහෙන්නට ගිය එලවේටරයේ බොත්තම ලුමිනස් කොල පැහැ නියපොත්තකින් තදකරමින් අඩියක් ඉදිරියට තිබ්බා.


“අද මූඩ් එක වෙ-න-ස්!” 

වැහෙන එලවේටර් දොරට කලින් ඈ දකුණු ඇහැ පුංචි කරමින් ලතාවකට කිව්වා.


පිළිතුරක් දෙන්න පමා වෙන්නේ නැතුවම මම සිවුරුහන් කරමින් අංක දාහත සටහන්ව තිබුනු දොරට පා පහරක් දුන්නා. සෝෆාව මතට කඩන් වැටිලා කමිසයේ බොත්තම් විවර කරන්නට වුනා.


සපත්තු දෙක ටීපෝව යටට තල්ලු වෙලා නැවතුනා. එක මේස් එකක් ටීපෝව උඩත්, අනිත් මේස් එක සෝෆාව අයිනේ බිමත් වැතිරිලා මහන්සි අරින්නට වුනා.


නාන කාමරය තුලින් හමා ආවේ සිහින් ලැවැන්දර සුවඳක්.


රැවුල සේරම කැපුවොත් ඉස්සර වගේ ලාමක පෙනුමක් ඒවි. මම සබන් දියර තැවරූ හිසකේ තලමින් කල්පනා කලා. නිකට මුල නැගුනු එකම එක කුරුලෑවක් කඩන්න කණ්නාඩියට එබුනෙ ලොවි රතුපාට ඇස් දෙකක්.


උරහිස් මත පිපුනු කුඩා දිය බිංදු පිහදාන්න කරදර නොවී මම සෝෆාවේ වැතිරුනා. අංක දාහත චැනලයේ ජපන් භාෂාවෙන් ෆූජි කන්ද ගැන වාර්තා වැඩසටහනක් විකාශය වෙමින් පැවතුනා.


“ගුඩ් මෝර්නින්!”

මේ මොහොතේ ඉඳන් දුනු මිදි පාට වයිබර් සල්ලාපයන්ට මම මුළු හදවතින්ම ආදරේ කරන්න පටන් ගන්නවා.


“අපිට දැන් හැන්දෑව. නගරය පුරාම කළාමැදිරි එළි වගේ නියොන් එලි තිත් විසිරෙන්නට අරන්.”


“ඒ වුනාට මට මෝනින්.” එයා ඩිජිටල් වෙලාව දක්වනයක පින්තූරයක් එව්වා. උදෑසන හතයි දාහතයි.


මම ටැබ් තිරයේ ඉහළ කෙලවරට ඇස් දිවෙව්වා, හවස හයයි දාහතයි.


“එකම වෙලාවක ලෝකයේ දැතැනකදි, එකම දවස ඉපදෙන්නත්, මැරෙන්නත් පුලුවනි.” මම ස්කයිප් කවුළුවෙන් එබෙමින් කිව්වා.


මුලින් තිරය පුරා දිස්වුනේ බොඳව ගිය දුඹුරු පැහැයක්. ඉන් පස්සෙ පොරෝණා ප්‍රාවරණයක් තුලින් රත් පැහැ හිසකේ ඇති කෙල්ලෙක් ස්කයිප කවුළුවෙන් හිස පෙව්වා.


“පේනවනේ, මිනිස්සු වෙනස් වෙනවා.”

ඈ සමනල් පියාපත් ටැටූවක් කෙටූ අත්ල මිටි කරගෙන, දබරැඟිල්ල තිරය දෙසට ලෙලවමින් කිව්වා.


“ඒත්, සමහර තාරකා එහෙම ලේසියෙන් මිය ඇදෙන්නේ නැහැ.” 

මම ඇගේ නිදිමතෙන් කුඩා වුන ඇස් දිහා බලාගෙනයි උන්නේ, බොහොම සුළු දේවල් කිහිපයක් තවමත් නොවෙනස්ව පවතිනබව මට ඒ වෙලාවේ පසක් වුනා. අකුරු සහ දිලිසීම. ඊට අමතරව හිස් මුදුනට කඩාපනින ප්‍රහර්ෂයේ අකුණු සැර!


පැය එකහමාරකට පස්සෙ ඈ ස්කයිප කවුළුව වහල දැම්මා.


මම ගැඹුරු ආශ්වාස ප්‍රාශ්වාසයන් තුල කිමිදෙමින්, ‘සී’ අකුරක හැඩයට වකුටු වෙලා ඇස් පියාගත්තා.


කෙටි නින්දකට වැටුන පරක්කුවෙන් හිම පියළිවලට යටින් ලාවා බුබුළු දාන හැටි හීනෙන් දැකලා මං ඇහැරුනා.


තත්පරේකින් පංගුවකදී
සෙවණැළිය කියන්නේ
සෙවණැළිම පමණෙකැයි
හොඳටෝම අමතකව යයි....

 
මම සීතල දුරකථන තිරයට හාද්දක් දුන්නා. තවත් බියකරු සිහින උහුලන්න අමාරුයි. ඒ නිසා මම කුඩා තැඹිලි පැහැ පෙත්තක් උගුරට හලාගෙන සීතල වතුරෙන් සෝදා හැරියා.


බිත්තියේ ඇලවූ වර්ණ කරදාසි දීප්තිමත්ව දැල්වුනා. නීරස භූමි දර්ශන සහිත පින්තූර රාමුවලින් පවා ආදරේ හිතෙන උණුසුම් වර්ණ පැනනැංගා. දොර, ජනෙල් තිර පවා වැළැඳ ගන්නට තරම් ආනන්දයකින් හදවත වේගයෙන් ගැහෙන්නට වුනා.


පයේ හැපුනු වතුර වීදුරුව “සලාං” හඬක් නගමින් පෙරැලුනා. මම වීදිරුව ටයිල් පොළව මත පෙරලෙන තාලයට රවුමක් කරකැවෙමින් දණහිස් නැටෙව්වා.


ඉන් පස්සෙ වළාකුළු පොළවට පාත්වෙලා මාව වැළඳගත්තා.


එයා වළාකුළු මිරිකලා රෝස පාට තීන්තක් බෝතල්වලට පිරෙව්වා. වළාකුළු මිරිකන ගානේ සිහින් අකුණු සැරක් වැදිලා මාව වෙව්ලුම්කෑවා. ගණන් ගත යුතු තරම් දේකුත් නෙමෙයි. ඒත් කකුල් පණ නැතුව යනවා සුළු මොහොතකට.


රෝස පාට තීන්තට හුස්ම පිඹලා එයා හිස් අවකාශයේ අකුරු අඳින්නට වුනා. ඒ අකුරු තද නිල් පාට පසුතලය මැද්දේ ෆ්ලොරොසන්ට් ආලෝක කණිකා නිකුත් කරමින් කරකැවෙනවා.


කඳු හිසකින් දිය ඇල්ලක් කඩාහැලෙන තරම් සැහැල්ලුවකින් එයා තීන්ත බෝතලය මගේ ගෙල දෙපසට වැක්කෙරුවා. ඉන් පස්සෙ දබරැඟිල්ල තීන්තේ ඔබමින් මගේ පිට දිගේ අකුරු අඳින්න ගත්තා. ඒ අකුරු කවි වෙලා සම් මස් නහර විනිවිදගෙන පපුව ඇතුලට කාන්දු වුනා. හෘත් පේශි ඇතුලෙ කවි කුඩා කැටිති විදියට තැන්පත් වුනා.


ඔන්න දැන් ලබ් ඩබ් හඬත් එක්ක කවි ගැහෙනවා.

ගැහෙනවා - ගැහෙනවා - ගැහෙනවා.


ඉන් පස්සෙ ඈ සේද ඇතිරිල්ලක් වගේ මගේ පපුව මත වැතිරිලා වචන අපැහැදිලි ගීයක් කන් පෙත්තට මුමුණන්න ගත්තා. හුස්මවල උණුහුම වැදිලා කන් පෙත්ත රත්වුනා. මම අසිහියෙන් අත දිගුකරලා පැති මේසය උඩ තිබුණු වීදුරු ඩිකැන්ටරය උගුරට ඇල කලා. පපුව දිගේ වතුර බේරෙනකොට එයා දියවෙලා ගියා.


ඊට පස්සෙ මම කොට්ටෙ බදාගෙන හදවතක රූපයක් ඇන්දා.


හදවත් රූපයේ වටකුරු සුමට මුහුණත් දෙකේ ඉඳගෙන අපි රෑ එළිවෙනකම් සී-සෝ පැද්දා. මුලින් බොහොම හෙමිහිට. ටිකෙන් ටික සීසෝව පැද්දෙන වේගෙ වැඩි වෙලා එක්වරම මාව පහළට රූටාගෙන ගිහින් ඇඳ උඩට වැටුනා.


එයා හදවත් රූපය අත් දෙකෙන්ම උස්සලා ඒකෙ උල් කෙලවරෙන් මගෙ පපුවට ඇනගෙන ඇනගෙන ගියා. සිදුරු වුනු පපුවෙන් ලේ රතුපාට කවි විද්දා!

*******


 
“හනී-බී, නැගිටින්නකෝ අනේ.”

ජීවන සහකාරියගේ ඇඟිලිතුඩු හිසකේ අතරින් සීරුවට එහාමෙහා යනවා.

 
යාන්ත්‍රිකව දෙතොල් එහාමෙහා වෙන හාද්දක්.

මිනිත්තු කිහිපයක් ඇතුලත කොරිඩෝවට පැනගත්තේ ටයිපටිය අතේ ගුලි කරගෙන, සැනසුම් සුසුමක් හෙලමින්.


හෙඩ්ෆෝනය හරහා ඇහෙන්නේ ඈ හුස්ම ගන්නා හඬ. තමන් හුස්ම ගන්නා බව දැනෙන්න ඒ වගේ පසුබිම් සංගීතයක් නැතුවම බැහැ.


"මේ කතාවේ අවසානය මොකක්ද?"
එයා ඇහුවේ නොහිතපු වෙලාවක.


"ඇයි?" මම මෝඩ තාලෙට හිස කසමින් ඇහුවා.


"මම අහන්නේ, ඔයා අනුමාන කරන විදිය."


"එක්කෝ සුඛාන්තයක්, එහෙමත් නැත්නම් ඛේදාන්තයක්." මම සුසුමක් හෙලමින් කිව්වා. "මොක වුනත් මොකද? එකම කාසියක දෙපැත්ත වගෙයි."


"සුඛාන්තයකුත් නොවෙන - ඛේදාන්තයකුත් නොවෙන අවසානයන් තියෙන්නම බැරිද?" 
ඈ ඉස්සරත් ඔහොමමයි. අහන්නෙම නුවුමනා දේවල්.


"ම්හ්!"


"කාසියක් උඩ දැම්මාම පැත්ත වැටෙන්නේ නැතුව කෙලින් හිටගන්න අවස්ථාවනුත් තියෙන්න පුලුවනි."


"වෙන්න පුලුවනි. ඒත් මම කැමති, කාසිය බිමට වැටෙන්න කලින් මේ මොහොත ඇතුලෙ ජීවත් වෙන්න."


"ඉස්සර කලා විද්‍යාලයේදි මම ලියන දේවල් වලට ගුරුවරුන්ගෙන් කිසිම පිළිගැනීමක් නොලැබුන තරම්. ඔවුන්ට ඛේදාන්තයක් හෝ සුඛාන්තයක් නැති කතා විශ්වාස කරන්න බැරි වුනා. කුඩා පැන්සයකට වුනත් කෙලින් හිටගන්න වාරයක් එන බව හැමෝම බොහොම කැමැත්තෙන් අමතක කලා."


"මට තේරෙන්නෙ නෑ." 
මං ආයෙමත් පුරුදු පොදු-පිරිමි පිලිතුර දුන්නා.


"ඔව්. ඔයාට තේරෙන්නෙ නැහැ නේන්නම්."
ආයෙමත් සිහින් හුස්ම හඬ.



ඉන් පස්සෙ මමයි, ෆූජි කන්දයි අතරේ අහස තරම් උසට තාප්පයක් බැඳලා තිබුනා. ගිනි කන්දක් එක්ක තියෙන ඇඟෑලුම්කම ශෝකාන්තයකින් කෙලවර නොවෙන්නේ කොහොමද කියන එක කොච්චර හිතුවත් මට තේරුම්ගන්න බැරි වුනා. මං බය වුනා.


පහුවදා හවස වැඩ ඇරිලා ගෙදර එන ගමන් මම පෙට්ශොප් එකට ගිහින් සුදුපාට ලොම් උඩින් තැඹිලිපාට පුල්ලි වැටුන හැම්ස්ටර් මීයෙක් මිලදීගත්තා. ඌට තිබුනෙත් දිළිසෙන චූටි ඇස්.


අඩුම තරමේ ඌව අතට අහුවෙනවා. පපුවට තුරුල් කරගන්නත් පුලුවනි.


තවම හදවතේ නොවැහුනු සිදුරු තියෙනවානම් ඉඳලා හිටලා කවියක් දෙකක් ඔබාගෙන හිස්තැන් පුරවගන්න බැරියෑ!




-  ඉ ව ර යි  -



74 comments:

  1. මේක ඇත්තටම ලස්සනයි බස්සි අක්කේ...මට මේක කියවනකොට මේකෙ කියවෙන දෙවැනි චරිතෙන් ගොඩ නැගෙන කතාවකුත් ඔළුවට ආවා <3

    ReplyDelete
    Replies
    1. මේක ඇත්තටම ලස්සනයි නම් කලින් එව්වා ලස්සනයි කිව්වෙ බොරුවට වෙන්ටැ. :P

      ගොඩක් ස්තූතියි අමා!

      ඉතින් ඔයා ලියන්නකො ඒ කතාව. මම ගොඩක් කැමතියි ඔයාගෙ කෙටිකතාවලට!

      Delete
  2. අපි ලියන්නෙ මොනාද කියල හිතෙනව අක්කෙ. විශිෂ්ටයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලි.

      ඔන්න මම ආයෙමත් කියන්නෙ, ඔයාගෙන් හොඳ සයන්ස් ෆික්ෂන් ටිකක් බලාපොරොත්තු වෙනවා අපි.

      Delete
  3. Replies
    1. ස්තූතියි නම-නොදන්නා-යාලුවා!

      Delete
  4. අනේ මන්දා අක්කේ.. මේ ටිකේ කියවන්න තියෙන්නෙම මේ වගේ සීන්.... නැත්නම් මං ඔක්කොම ඒ වගේ සීන් කරගන්නවද... එහෙමත් නැත්නම් මායා බලයකින් මං ඒවා කියවන්න එද්දී මේ විදිහට වෙනස් වෙනවද... මට හිතා ගන්න බෑ..

    ReplyDelete
    Replies
    1. ඒ කිව්වේ...? මේ ටිකේ මුහුණදෙන්න වෙන්නෙ මේ වගේ සීන්වලට නිසා කාලීනයි කියන එකද? නැත්නම්, කියවන්නෙම මේ වගේ කතා නිසා බෝරිං කියන එකද?
      පැහැදිලි මදි අයියෝ. :)

      Delete
    2. විශ්ව ගම්මානය කියන්නේ මිනිස්සුන්ව චූටි ස්පේස් එකක කූඩු කරපු සත්තු වත්තක්ද කියලා මට නිතරම හිතෙනවා.

      Delete
  5. අයිඩියා එක නං මරු... ඒත් පළවෙනි පාර භාගයක් කියවගෙන යනකොට කියවන්න කම්මැලි හිතුණා.. එකම තැන කැරකෙනව වගේ.... දැන් යනව, අනිව ආයෙත් ඇවිත් කියවනව....

    ReplyDelete
    Replies
    1. බෝරින් නොවී තියෙයි යෑ තරිඳු. මේක මට හීනෙන් පෙනුන කතාවක් නෙ.

      තැන්කූ ඔයාට!! :)

      Delete
  6. වෙන කියන්න දෙයක් හිතාගන්න බෑ බස්සි අක්කේ........... සුපිරියි.........

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ආර්යන් මල්ලී!!

      Delete
  7. කවදත් වගේ සුපිරිම සුපිරි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ප්‍රොෆා මලේ!

      Delete
  8. raising the bar eh?
    great skill

    ReplyDelete
  9. ලෝකේ දෙකෙලවරේ ඉඳගෙන වෙලාවේ ලොකු වෙනසක් තියෙද්දී ,එයාට උදේ වෙද්දී අපිට රෑ වෙලා , රෑට කනකොට අපි දවල්ට කනවා , එහෙම උනාම අර මිදී පාට තිරේ හරහා කරන ආදරේ මාර ගතියක් තියෙනවා .... :D

    බට කොස්සි මචං... මේ කතාවේ දෙවැනි භාගයට තව ටිකක් පන පොවන්න තිබ්බා . දෙවැනි භාගය මුල් කොටසට වඩා හෙමින් දුවන්න් ගත්ත එක මටනං එච්චරම හරි ගියේ නෑ. එක්කෝ උඹ හදිසියට වැඩේ කෙටියෙන් ඉවර කලා .

    ReplyDelete
    Replies
    1. උඹ කෑම කන කතාව කියද්දි මට මතක් උනේ TBBT එකේ ලෙනඩ්ගෙයි ප්‍රියාගෙයි ලව් එක. උන් දෙන්නත් Breakfast + dinner = dinefast dates තියනවා. :)

      උඹ කිව්වෙ අවුල තනිකරම මගෙ ලිවීමේ අවුලක් මචෝ. මේක අසාර්ථකයි වගේ.

      Delete
    2. //ලෝකේ දෙකෙලවරේ ඉඳගෙන වෙලාවේ ලොකු වෙනසක් තියෙද්දී ,එයාට උදේ වෙද්දී අපිට රෑ වෙලා , රෑට කනකොට අපි දවල්ට කනවා , එහෙම උනාම අර මිදී පාට තිරේ හරහා කරන ආදරේ මාර ගතියක් තියෙනවා .... :D//

      ඉවානයො.. ඔය ෆෝන් එක දීපං ළමයෙකුට :D

      Delete
  10. මට නම් මේක බෝරුන් හිම බස්සියේ... ඒත් උඹ නියමයි හින්දි ෆිල්ම් ඉස්කිරිප්ට් ලියන්න.. කවි ටික නම් උපරිමයි.. මේවා කියවන්න පුරුදු කලෙත් උඹ නිසා දිගටම කියෙව්වා... ඔක්කෝම හින්දි සෝසුත් "කුච් කුච් හොතා හේ වගේ ලස්සන නෑ නේ". ඒ වගේම සමහර ෂෝ තියෙනවා නැගලා යන්නේ නැති ඒත් සින්දු ලස්සන. මට සෝ එකේ නම හරියටම මතක නෑ චිට්ටිද කොහෙද.. සෝ අක අජපල් ඒත් ලස්සන සින්දු දෙකක් තිබුනා..

    රූකාන්තගෙ සුවඳ ඩ්ජැනී
    සුනිල් පෙරේරාගේ ලොරෙන්සෝද අල්මේදා

    ReplyDelete
    Replies
    1. හෑපොයි! හින්දි සෝ එකක් වගේ?

      මගේ ආත්ම අභිමානය කුඩු පට්ටම් විය. අම්මෝ තැන්කූ වෙරිවෙරිමච් මාතලන් ඔයාගේ අවංක කමෙන්ටුවට. මම මේ වගේ කෙලින් අදහස් ප්‍රකාශ කරනවට කැමතිත් ඒකනෙ. ආයෙනම් මේ ස්ටැයිල් එකේ කතා නොලියමි. මොකද මට හින්දි සෝ අප්පිරියයි.

      Delete
    2. රුකාන්තගේ සින්දුව : 'සුවඳ දැනී' තියෙන්නේ සප්ත කන්‍යා එකේ. චිට්ටි එකේ තියෙන්නේ වෙන එකක්. දැන් මට මතක් වෙන්නේ නැහැ. සබීතා බයිසිකලේ පැදගෙන යන එකක් පෙන්නන්නේ.

      Delete
    3. මතක් උනා...

      "සියුමැලි..
      සියුමැලි රෝස මලේ..
      මල්සමය නිමවේවිදෝ
      මල් සාමය කොයි වේලේ
      නිමවෙවිදෝ "

      යුග ගායනය අන්ජලින්ගේ

      Delete
    4. අනේ මටත් මතක් උනා මචෝ...

      උඹ හරියටම හරි...

      සියුමැලි රෝස මලේ.... රූකාගේ මම කැමතිම සින්දුවක්...

      Delete
  11. //මුකවාඩමින් වැසුන සෙව්වන්දියක තොල් පෙතී
    යුනිකෝඩ මත සුසුවඳක් තවරා ඇතී//

    සුපිරියි බස්සි..................

    ReplyDelete
  12. චැහ් . මේක දැක්ක හිනයක්ද?? යකෝ ලියන බාසාවෙන් ඩයලොග් කියවන්නේ හීනෙන් වෙන්ටැති එහෙනං.. නැහැ මේකේ සංකල්පය හොදයි... උමට තියෙන්නේ සතියකින් විතර මේක ආයි කියවන්න..

    ReplyDelete
    Replies
    1. හිහී! නොහැකියාව දේශෝ, ලියන්නාගේ නොහැකියාව.
      චරිතවල වැරැද්දක් නෙමෙයි.

      Delete
  13. මම මේ ජාතියේ මෙන්ටල් එව්වට ආසයි. ඒ උනාට අනිත් උන් ලිව්වම කියවන්න ආස නැහැ.

    ලියවිල්ලේ හිත ගිය තැන් නම් තිබ්බ. ආයේ මොකට ඇදල නාගන්නවද?

    වෙන එකක් ලියපන් බස්සි.

    ReplyDelete
    Replies
    1. වෙන මුකුත් ලියන්න වෙලාවක් නෑ බං.

      බ්ලොගේ පාළු මකන්න මේවගෙ කුජීත පෝස්ට් දානවට වඩා නොලියා ඉඳීම හොඳ බවට සත්‍යාවබෝධය ලදිමි. :3

      Delete
    2. ඔය කිව්වේ.. ඔය කිව්වේ.. ඕන්න කිව්වා... මැටි අලේ !

      එහෙම එකක් නෙවෙයි කිව්වේ. සැලකිල්ලෙන් අකුරු ගලපලා අදහස් ඇතුලට හැඟීම් කවල තියෙන ඒවා කියවන්න මම මාරම බයයි. කුජිත? හික්... අනේ මේ... මගෙන් මෙව්වා අහන්නේ නැතුව ලියහන් තව....

      Delete
    3. හිහී!

      ඔව්වා ඉතින් බීපු වෙලාවට කියන එව්වනෙ. ගණන් ගන්ඩ එපා මචෝ!

      නෑ, සිරාවටම බ්ලොග් එකට වැටුනු කමෙන්ට් නිසාම මේ කතාව ගොඩක් අයට පෙන්නලා අදහස් ගත්තා. ඒ නිසා දැන් වැඩේ ගොඩ.

      Delete
  14. බස්සියෙ අර ලමා කතාව්ක්හරි, විද්‍යා ප්‍රබන්දයක්හරි ලියන්නකො.

    ReplyDelete
    Replies
    1. වෙලා නෑ ඩියර්. ඔයා ලියන්නකො. මම කමෙන්ට් කරන්නම්. :D

      Delete
    2. අනේ කසුන් මේ නිකන් හිටහන් ලෙඩ දාන්නෙ නැතුව මෙකි දැන් ලියන ඒවා තේරැම් ගන්නත් බැරව ඉද්දි වෙඩිමක් කතා කරනවා..

      Delete
    3. කසුනා මේ ලමා කතාවක් ලියන්න කියන්නේ පුංචි එකා වගේ..
      ගිය මාසේ නේද උඹේ හැත්තෑවේ උපන්දිනේ..

      Delete
  15. ඇත්තම කිව්වොත් මම අඩුවෙන්ම කියවන්නේ කතා.මට ටිකක් කම්මැලි හිතෙනවා ඒ වැඩේට.ඒ වගේම මම කම්මැලිම කතා ලියන්න.අඩුම තරමේ මගේ පොත් එකතුවේ එකම එක කතා පොතක්වත් නැ.ඒ වුනාට කෙටිකතාවක් ලියලා සමස්ථ ලංකා තේරුනත් එක්ක.හිතට අල්ලලා යන කතා පොතක් තිබුනොත් පුස්තකාලයෙන් අරගෙන ඇවිත් කියවනවා.දැන්නම් බිලොග් ලියවිල්ල පටන්ගත්තට පස්සේ කතා ටිකක් කියවනවා.

    දැන් මේ කතාව ගැන මොකක්ද මට කියන්න තියෙන්නේ..
    බස්සි කතා ලියන්න ගොඩක් දක්ෂයි වගේම හොදට අදහස් ගලපලා තියනවා..හැබැයි මට හිතෙනවා බස්සි මීට වඩා මේ වැඩේට දක්ෂයි කියලා..පෝස්ට් එකක් දාන්න ඕන නිසා කම්මැලි කමට ලියලා වගේ කියලත් හිතෙනවා

    ReplyDelete
    Replies
    1. ඇත්තටම පෝස්ට් එකක් දාන්න ඕනෙ නිසා ලිව්වා උනාට කම්මැලිකමට ලිව්ව එකක් නෙමෙයි. :)

      හැබැයි පහුගිය ටිකේ වටහාගත්තා මේ වගේ කතා බ්ලොගර්ලාට එකට එනර්ජටික් මදි කියලා.

      බලමු! වෙනස් විදියෙ යමක් ලියන්න.

      Delete
    2. බස්සි: ඔබ වගේ කෙනෙක් තේරුම්ගතයුතු දෙයක් තිබෙනවා. ඉල්ලුමට සැපයුම දෙන්න එපා. එය ඔබ වගේ කෙනෙක් කරන අපරාධයක්. මම වගේ ලොන්ත කතා ලියන්න එපා. ඔබට ඊට වඩා යමක් කරන්න පුළුවන්. ලයික් ගාන අඩු උනත්, ගල් ගැහුවත් ඔබේ ඒ ෆ්ලෙවර් එක තියාගන්න. ඉල්ලුම අධික දේවල් හොඳම කියල කියන්නේ කවුද? එය පල් බොරුවක්.

      බ්ලොග් වල ලියන්නේ බෙදාගන්න කැමති දේවල්. අපි බෙදන ගුණ, රස මදි කියා කියන දේවල් වල තියෙන සාරය උරන්න හැම කෙනාටම බැහැ. කොමෙන්ටු වලින් අධෛර්ය වෙන්න හෝ කික් එක ගන්න එපා ( ඔබ එහෙම නොවෙන බව මම දන්නවා)

      ඔබේ බුෆේ එක ඔබ හදන්න. බෙදාගෙන කන එකා තෝරලා ගනීවි. එයින් ඔබේ සුපවේදිකමට වෙන අගරුවක් නොමැත. ඉල්ලන්නේ ෆ්‍රයිඩ් රයිස් නිසා ඔබේ සූපවේදී දක්ෂතාවය මොට කරගන්න එපා.

      Delete
    3. උපයා :

      බොහොම ස්තූතියි මුලින්ම ඔයාගේ සැලකිල්ලට. කොහොමත් ඔබ සහ මනෝමන්දිර දෙන්නාම අනිත් මනුස්සයා ගැන හිතලා සැලකිල්ලෙන් කමෙන්ට් කරන අය. බ්ලොග් අවකාශයේ එහෙම අය විරලයි.

      බයවෙන්න එපා මම කිව්වේ ඒ වගේ කතා 'බ්ලොග් එකේ' දාන්නෙ නැති බව. ඒක ඔයාගෙ උදාහරණෙන්ම කිව්වොත්, මිරිස් සැර උහුලන්න බැරි මිනිස්සුන්ට මිරිස් යෙදූ ඩිෂස් දීලා තේරුමක් නෑ වගේ. මිරිස් කාල දිව නිර්වින්දනය වුන මිනිස්සුන්ට අනිත් සියුම් රස දෙන කුළුබඩු යෙදූ ඩිශස් දුන්නට වැඩක් නෑ වගේ.

      ඒ ඒ අවකාශයට ගැලපෙන රෙසිපි රාමු තෝරගන්න ටිකක් අමාරුයි. එතැනදි මේ වගේ බරපතල වැරදීම් වෙනවා.

      මේ කතාව තවත් දිගඇරලා කෙටි-නවකතාවක් කරමින් ඉන්නෙ. ඒක සයිබර් අවකාශයේ දාන්න හිතල නැහැ තවම. බලමු. :)

      Delete
    4. උපෙක්ෂා මගෙත් එක්ක අප්සට් එකට කොමන්ටුව දාලාද කියලත් හිතෙනවා...

      බස්සි
      මම වැඩිපුරම කතා කියවන්න පුරුදු වුනේ බිලොග් අවකාශයත් එක්ක..ඉවාන්ගේ,වර්ණගේ,උපේක්ෂාගේ,ඔබේ කතා මම දවසක් දෙකක් පරක්කු වුනත් කියවනවා.ඒකට හේතුවක් තියෙනවා..

      හැම කෙනෙකුටම මේ විදියට ලියන්න බැ.මම කතාවක රසයට වඩා බලන තව දේවල් තියනවා.ඒ දේවල ඔබලගේ ලිපිවල තියනවා.කොටින්ම කිව්වොත් කෙනෙකුට කුනුහරුපත් ලියන්න පුලුවන්නේ හොදට රසකරලා.එන පිරිස වැඩි.ඉල්ලුම තියනවා.හිට් වැඩිවෙයි.මම දකින රසය එහෙම රසයක් නෙවෙයි.බලන්න ඉවාන්ගේ මේ වතාවේ පෝසට් එක.ඒ ලියවිල්ල දැක්කම ඉවාන් ලග හිටියනම් බදාගන්න හිතෙන තරමට මම ඒ ලියවිල්ලට කැමතියි.ඇත්තටම ඔහු ඉතාම දක්ෂයි..අමුතුම හැකියාවක් එතැන තියනවා..ඒ ලිපි බලනකොට මට ලොකු සතුටක් දැනෙනවා මේ වගේ මිතුරෙක් මට හදුනගන්න ලැබුනනේ කියලා..වර්ණත් අලුත් පෝසට් එකක දානකම් මම බලාගෙන ඉන්නේ ඒක කියවන්න..ඇත්තටම උපෙක්ෂාගේ පොස්ට් කියෙව්වත් කොමන්ටු දාන්න බැරි වෙලා තිබෙනවා..

      ඔබ දැකලා ඇති මම අගය කල යුතු තැන ඉහලින්ම අගය කරනවා..නමුත් මට යන්තමින් හෝ වැටහුනොත් මේ වගේ දක්ෂයෙක් අද ටිකක් ඒ දක්ෂතාවය අමතක කරලා ලියලා කියලා මමනම් ඒක ඔහුට කියනවා.හේතුව තමයි මට ඕන ඒ දක්ෂයා තවත් ඉහලට යනවා බලන්නයි.ඔහුගේ දක්ෂතාවයන් තවත් මතුවෙන්නේ හැමදේම හොදයි කීවම නෙවෙයි.මට නම් ඔබතුලින් දකින්න අවශය වෙන්නේ වෙනදා මම දැක්ක ඉතා දක්ෂ බස්සි.මේ ලිපියේ කිසිම අඩුවක් නැ.ඒත් මම කියන්නේ ඔබට මීටත් වඩා දක්ෂව ලියන්න පුලුවන්.

      Delete
    5. මනෝ මිත්‍රයා: අවුලක් හින්ද දැම්ම කිව්වේ? හි හි... මට ඔබත් එක්ක කිසිම අවුලක් ඇත්තේ නැහැ. අවුලක් තියෙනවා නම්... ආයේ එකෙන්ම වලියට එන්නේ. මම කිව්වේ මට දැනුන දේ විතරයි.

      උදාහරණයක් විදියට හිතමු A කවි කියවන්න ආසා නැති එකෙක් කියල. වැඩිපුර කැමති බ්ලොග් වල තියෙන ජොලි කතා කියවන්න. හිතමු මගේ බ්ලොග් එකේ මම ලියන්නේ ජොලි කතා නම්, A එන්නේ ඒවා කියවන්න 'විතරක්' ය කියල. ඔන්න මම කවි ලියනකොට හිට්ස් අඩුයි සහ කොමෙන්ටු අඩුයි. ඒකෙන් මගේ කවි ලියන එක වැළකෙන්න ඕනේ නැහැ කියලයි මම හිතන්නේ.

      එකම ආරක, විදියක දේවල් විතරක් දෙනකොට අපේ හැකියාව ඒ සිමාවේ විතරයි පවතින්නේ. මම අදහස් කලේ ඒකයි. මම වගේ දෙකයි පනහේ පෝස්ටු ලියන කෙනෙක් නෙවෙයි බස්සි. ඊට උඩින් ඉන්නේ සහ ඉන්න ඕනේ. එයාව දිරිගන්වන එක මගේ යුතුකමක්.

      ඒ හැමදේටම වඩා , හැම නිර්මාණයක්ම සාර්ථක නොවෙන බව මම හිතන දෙයක්. අනිත්එක බොරුවට මාරයි කියන එක ඇත්තටම 'මාරක' වැඩක්. අසාර්ථක මොකද කියල කියන්න පුළුවන් නම් එය තමයි වටින්නේ. නැද්ද?

      පෝස්ටුව අසාර්ථක බව ඔබ කිව්වේ නැති බව දන්නවා. මම කිව්වේ සාමාන්‍ය අදහසින්, මේ පෝස්ටු ගැන විතරක් නෙවෙයි. අනිත් එක ඔබේ තර්කය යම් පමණක ඇත්තක් තියෙනවා. ඒ කියන්නේ හැකියාව තිබෙද්දී නොකර ඉඳිල්ල. නමුත් එකම විදියට හැමදාම පාන්පෙති කැපෙනවද?

      Delete
    6. ....//එකම ආරක, විදියක දේවල් විතරක් දෙනකොට අපේ හැකියාව ඒ සිමාවේ විතරයි පවතින්නේ. මම අදහස් කලේ ඒකයි//....

      සහතික ඇත්ත.එහෙම උනාම තියන නිර්මානශිලි හැකියාවන් සැගවිලා යනවා.හැංගිලා තිබෙන දක්ෂතා මතුකරගන්න තිබෙන අවස්ථා අහිමි වෙනවා.අර පාන්පෙති කතාවනම් හරි තමයි.මම ලමයින්ට උගන්වන සමහර දවස්වලට මටත් ආස හිතෙනවා මම පාඩම උගන්වපු විදියට.ඒ පාඩම තවත් දවසක වෙන පංතියක උගන්වන කොට අර තරම් සාර්ථක නොවි මටම ඒක එපා වුන වෙලාවලුත් තියනවා.

      ....//මම වගේ දෙකයි පනහේ පෝස්ටු ලියන කෙනෙක් නෙවෙයි බස්සි//...
      ඇත්තෙන්ම මටනම් එහෙම පෙනිලා නැ.ඔයා දක්ෂයි උපේක්ෂා,ඔයාගේ කතා විලාශයෙත් ඔයාටම ආවේනික ලක්ෂණ ගොඩක් මම දැක්කා.. .අනික අර ඉදලා හිටලා පදපේලි හතරකින් කවියක පෝසට් දාලා අපිව කරකවලා අතඅරිනවා.මට ඒ වෙලාවට පුදුම හිතිලා තියනවා ඔයාගේ නිර්මාණශිලි හැකියාව ගැන.හැමෝටම ඒක නැ....

      ....//ආයේ එකෙන්ම වලියට එන්නේ//...
      ඔන්න මතක් වුනා ඉස්කොලේකාලේ..
      9 වසරෙදි විතර මම එච්චර උස නැ.අපේ පංතියේ හිටියා ගොඩක් මහත,උස කෙල්ලක්.මම දවසක් එයාට පොඩ් අලකලංච්යක් කරලා ටිකක් තද වෙලා බට්ටා වරෙන් ගහගන්න මගෙත් එක්ක තිව්වා.මම ටිකක් අහිංසක විදියට කිව්වා මම තව ජිවත් වෙන්න ආසයි අලියෙක් ගහලා මැරෙනවට මම කැමති නැ.උඹ උඹේ තරමට එකෙක් හොයාගනින් බං කියලා...අලියට හිනා...වලිය එතැනම ඉවරයි..

      Delete
  16. මේක ජපානේ සිදු වෙච්චි කතාවක් නෙවේය කියල මට හිතෙන්නේ ඇයි .

    ReplyDelete
    Replies
    1. මටත් එසේමැයි

      Delete
    2. මේක මේ ලංකාවෙ සිදුවෙච්ච එකක්. ;)

      Delete
    3. මේ බලන්න ප්‍රා...ලස්සනම කොටස..
      මේක මේ ලංකාවෙ සිදුවෙච්ච එකක්ලු

      Delete
  17. මොකද්දෝ දෙයක් අඩුයි වගේ . ප්‍රාණවත් ගතිය කියලයි මට හිතෙන්නේ..

    ReplyDelete
    Replies
    1. හැමෝම කියනවා අෆ්ෆා.

      Delete
  18. අඩ්ඩඩ්ඩා.. කියවන් කියව් කියවන් යද්දි දන්නැතුවම මං ෙම්ක උඩට කඩං වැටිල.. ෙකාටිංම මාත් කතාව උඩටම වැටිල
    අඩා පට්ටයි අෑ... සිරාවටම මට නං නියමටම හිතට අැල්ලුව...
    මාක් ෙකාරගත්ත අායත් හිතුණ ෙවලාවක කියවන්න
    ජය ෙව්වා

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ දන්නවද?
      ඔයා වළාකුළු අතර ගෲප් එකේ එක්කෙනෙක්නෙ.
      අන්න ඒකයි හේතුව. මතකද මම දවසක් වළාකුලෙත් ලිව්වා ඒ ගැන.

      //සමහරක් කවි ඇත
      වළාකුළුවල පමණක්ම ලිවිය යුතු වෙන,
      සිහින අහුලන්නන්ට පමණක්ම රස ගෙන දෙන,
      නැතිනම් ගල්මුල් වැදෙන,

      මෙන්න මම මෙතැන
      හිසකේ අතර රැඳි ගල් බොරලුකැට පිහින// :P

      Delete
  19. කතාව කියෙව්වේ කෝච්චියේ එන ගමන්. ඒ නිසාද මම දන්නේ නෑ, ආසාවෙන් කියෙව්වත් හරියට තේරුනේ නෑ..

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් කියවීමෙන් පසු ඕක තේරුම් ගත්තත් පලක් නෑ කියලා සැනසෙන්න පුලුවන් වේවි මලයෝ. :)

      Delete
  20. පින්තූරෙ සහ කතාව (සහ ඕනවට වඩා තේරුම් ගන්න යාම ) දෙකම ගත්තහම මතක්වුනේ ටෝචර් torture ක්‍රමයක්. අමු හම් පටියක් තදට නලලවටේ ගැටගහල ඒක වේලෙන්න ඇරීම. හිස්කබල පුපුරන්නත් පුලුවන්.

    //Wet rawhide has been used by some earlier cultures as a means of torture or execution, gradually biting into or squeezing the flesh of body parts it encloses as it dries.//https://en.wikipedia.org/wiki/Rawhide_(material)

    ReplyDelete
    Replies
    1. ලාබ හින්දි ෆිල්ම් එකක් ටෝචර් එකක් වෙන්නත් පුලුවන්ද?

      Delete
    2. අපෝ පුලුවන්. ඊටත් වඩා ටෝචර් තමයි ඉන්දියන් හා හුඟක් ශ්‍රී ලන්කන් ටෙලි ඩ්‍රාමා බලන් ඉන්නවුනොත් මොන හේතුවක් නිසාවත්.

      ඒත් ඔයාගේ කතා කවදාවත් එහෙම වෙලා නෑ මට නම්
      ඒ ටෝචර් අනිත් පැත්ත. හුඟ වෙලාවට ගැඹුරු වැඩියි :-D

      Delete
  21. බිලොග කියවන ගමන්, නෝට් පෑඩ් එකක් අරන් මම උබෙ ලියැවිල්ලෙ අමුතු තැන් සටහන් කරන්න ගත්තා.

    වෝල් පේපර් එකට ෆුජියාමා ගිණිකන්ද දැමිල්ල

    කණ්නාඩියට බර වෙලා කුරුලෑව මිරිකීම

    සෝෆාව යටට තල්ලු වුණ සපත්තු ජෝඩුව

    ස්කයිප් එකේ අරකි පෙන්නන ටැටූව

    “සී“ අකුර හැඩේට නිදා ගැනිල්ල


    ප්‍රශ්නය - කෝමද මෙහෙම හැසිරීම් කතාවට ඔබන්නෙ. මලක් ගහලද ලියන්නෙ?

    ReplyDelete
    Replies
    1. සෑහෙන උනන්දුවෙන් කියෝලා. බලාපොරොත්තු කඩවුනාද මන්දා?

      මේ කතාවම තව දෘෂ්ඨි කෝණයකින් ලිව්වා. බුකියේ කොටසක් දමා ඇත. :)

      උඹ දවසක් ඇහුව මගෙන් සිගරට් බොනවද කියලා. දැන් මල්!

      Delete
    2. ඊලගට අහන්නෙ කුඩු ගහනවද කියල !

      Delete
  22. අජිත් තිලකසේනගේ රචනා විලාශයට නවීනත්වය එකතු වුනා වගේ ගතියක් මට දැනුනා මේක කියවද්දී. හුරුබුහුටි වචන පාවිච්චිය අතින් බස්සි ඉස්සරහින්ම ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තිලක අයියේ!

      Delete
  23. මේකේ කියවපු ඒවා ගෙන් බෝරිං ලියලා හිතුණු මුල්ම එක මේක... කොටස් අත් ඇර ඇර කියෙව්වේ...
    දිග වැඩිද මන්දා...

    කලින් එකක තිබුණා වගේ මතකයි
    "පෙරහැරේ අලියා පිටේ නැගලා යන දියවඩන නිළමේ කැමරාව ට මූණ දානවා"
    වගේ දෙයක්...
    ඒ වුණාට ඒ මිනිහා පෙරහැරේ අලියා පිටේ යන්නේ නෑ...
    පයින් යන්නේ...
    වටේට පොලිසියෙ අය ටිකක් පිරි වරා ගෙන යන්නේ... ඒ පොලිස් අය සුදු සරමයි කමිසෙයි ඇඳලා ඉන්නේ...

    ReplyDelete
    Replies
    1. මටනම් ඔයා කියපු විදියේ දීර්ඝ දෙබසක් චුට්ටක්වත් මතක නෑ. වෙන බ්ලොග් එකක කියවපු එකක් වෙන්න ඕනෙ. මොකද දළදා පෙරහැර ගැන බොහොම අඩු දැනුමක් මට තියෙන්නේ. :)

      Delete
  24. - ඉ ව ර යි -

    කතාවේ මම කැමතිම කෑල්ල...

    විහිලුවට බං...ලියවිල්ල එල ද බං

    ReplyDelete
    Replies
    1. වචනයක් හරි ලස්සනට තිබ්බනම් ඒ මදෑ මචෝ! :)
      තැන්කූ ඈ!

      Delete
  25. විශිෂ්ටයි... ලියන්න කමෙන්ට් එකක් ගැන හුඟක් වෙලා හිතුව. එත් ලියන්න හිතෙන්නෙම ලියන්න බැරි දේවල්. එව්වා ලිව්වොත් ලෝකයා මා ගැන මොනවා හිතාවිද... ලියනවට වඩා හොඳයි හිතේම තියාගෙන ඉන්න එක..

    ReplyDelete
    Replies
    1. එහෙනම් ටිකක් මූඩ් එකට බැහැල කියෝලා වගේ. තැන්කූ තැන්කූ!

      Delete
  26. This comment has been removed by the author.

    ReplyDelete
  27. කතාව ලස්සනයි, ඒ්ත් තේරුෙනේ නෑ

    ReplyDelete