Sunday, January 24, 2016

අනුකම්පා විරහිත විහිළුකාරයෙක් (කෙටිකතා)





දකුණතේ මැණික් කටුවට පහළින් සැරින් සැරේ කොනිති ගහන රිදුමක්. ඔහුගේ අත් ඔරලෝසු මූණත මගේ අතේ රවුම් සලකුණක් අඳිමින් ඉහල පහල යනවා. ඔහු පළඳින්නේ සමාගම ලවා මද වෙනස්කම් කිහිපයක් කරවාගත්, මිල අධික, සන්නාමගත අත් ඔරලෝසුවක්. මේ රවුම් අඳින්නේ එහි මුහුණත වටා ඇති සියුම් කැටයම් සහිත රන් රාමුව. රත්රන් වුවත් සමහරක් වෙලාවට වේදනා ඇතිකරවන සුළුයි.


මේ මම ඉහල බලා ඉන්නා වෙලාව. අතරින් පතර පෙණහළු පුම්බා හුස්ම අරන් තෘප්තිමත් ගැහැණු හඬවල්  මුදා හැරීම හැරෙන්නට මේ වෙලාවට මට කරන්නට වෙනත් දෙයක් නැති තරම්. ජිම්නාස්ටික් ක්‍රීඩිකාවකගේ තරමටම නම්‍යශීලී මගේ සිරුර මේ වගේ පිහාටු මෙට්ටයක් උඩ අලසව කිඳාබැහැලා තිබීමම එක්තරා විදියක අපහාසයක්. ඔන්න ඔහු මගේ වම් පියොවුර වැරෙන් විකනවා. මේ ශක්තිය එක්තැන් කරගැනීමේ විරාමයක්. නමුත් ඔහු අකැමතියි විවේකගන්නා බව පෙන්වන්න. ඔහු කැමති අසාමාන්‍ය බලය මුදාහැරීමකට. මේ වෙලාවට ගැලපෙන්නෙ වේදනාත්මක කෙඳිරිල්ලක උච්ච ස්වර. එයින් උද්‍යෝගිමත් වෙන ඔහු ආයෙ ආයෙමත් වැර යොදා විකනවා. මා එයින් පීඩා විඳින බව නොපෙන්වා ඉඳීම පමණක් ප්‍රමාණවත්. 


ඔහුගේ විශාල, එල්ලාවැටෙන උදරය මා මත වැතිර ඉහල පහල ඇතිල්ලෙමින් පවතිනවා. නගරාධිපතිවරයෙක් වෙන්න මූලිකම සුදුසුකම එල්ලා වැටෙන උදරයත්, රැලි සහිත කෙටි බෙල්ලත් වෙන්නට පුළුවනි. මැදිවියේ අවසන්භාගයට එළඹෙමින් සිටින ඔහුගේ හුස්මෙන් නැගෙන්නේ නාකි ගඳක්. ඔහුගේ ආශ්වාස ප්‍රාශ්වාස රිද්මයටම අනුගත වීමෙන් ඒ අපුල දනවන ප්‍රාශ්වාස වාතය නැහැපුඩු ඇතුලට ඇදී ඒමේ සම්භාවිතාවය අඩුකරගන්නයි මගේ වෑයම. කොයි හැටි වෙතත් අනිත් හැම නගරවාසියෙක්ම දන්නා පරිදි නගරාධිපතිවරයාගෙ හුස්මට පවා අනුගතව, යටහත්ව සිටීමෙන් ජීවිතය පවත්වාගැනීම පහසු කරනවා.


දැන් ඔහු කබල් මොටෝරිය ඇංජිමක් වගේ හුස්ම ඉහල අදිමින් දෝලන වේගය වැඩිකරනවා. ක්ෂණික ගැස්සීම් කිහිපයක්. ඉන්පසුව ඔහුගෙ මේද බහුල තල්මස් සිරුර මා මතට කඩාහැලෙනවා. ලිංගික එක්වීමක ජෛවවිද්‍යාත්මක අරමුණු තුට්ටුවකට මායිම් නොකරන නිෂ්ඵල ව්‍යායාමය අවසානයේ ඔහු මගේ වම් කන ගාව හතිහලනවා.


ඔව්. මම 'ලිංගික එක්වීමක ජෛවවිද්‍යාත්මක අරමුණු' ගැන ඉගෙන ගත්තේ ජීවවිද්‍යා පන්තියේදි. ඒ අපේ පාසැලේ උසස්පෙළ විද්‍යා පන්ති පටන්ගත් අළුත. පාසැල් විද්‍යාගාරය විවෘත කිරීමේ උළෙලේදි වඩා තරුණව හා ප්‍රසන්නව, සුදෝසුදු ඇඳුමකින් බැබලෙමින් ඔහු පැමිණ සිටි දවස මට හොඳට මතකයි. ජවසම්පන්න ආරක්ෂකයන් අට දෙනෙක් ඔහුව වටකරගෙන ඉන්නා අතරම ඉඳහිට වැඩුණු සිරුරැති පාසැල් කෙල්ලන් දිහා කෑදර බැලුම් හෙලමින් උන්නා.


'මේ ඉන්නේ අපේ රටේ අනාගතය දරා ඉන්නා දොස්තරවරු!' ඔහු කීවේ එහෙම.



****************************



"ශකිලා උඹ දොස්තරෙක් වෙන්න ඉගෙනගන්න කෙල්ලක්. උඹට ගැලපෙන්නෙ කොහොමද  හිමකිරම විකුණන කැහැටු කොල්ලෙක්?"

"අඃ?"

"උගේ අක්බඹරු හිසකේ අමතක කරපන්. උඹ හැමදාමත් ගෙනාවෙ දෙපයින් හිටවන්න බැරි මෝඩ තර්ක."


ඒ කාලෙ අපි හැමෝම හිතුවෙ අනාගතය කියන්නෙ රතු පලසක් දිගේ නහයට කෙලින් බලාගෙන කිරිගරුඬ මන්දිරයකට යන බොහොම පහසු ගමනක් විදියට. නෑදෑයෝ, අසල්වැසියෝ විතරක් නොවෙයි, ගුරු මණ්ඩලයත් කියා හිටියේ එහෙම. නගරාධිපතිවරයා විසින් විවෘත කරපු විද්‍යාගාරයේ අළුත් තීන්ත පුසුඹට ඉව අල්ලමින් ගෙම්බන් ව්‍යච්ඡේදනය කිරීමත්, උන්ගේ ආහාර ජීරණ පද්ධතිය දිහා බලාගෙන වෛද්‍ය විද්‍යාලය ගැන සිහින දැකීමත් විතරයි අපිට ඉතිරි වෙලා තිබුනෙ.


"මතීෂ, අපි මේ සම්බන්ධය නවත්තමු." උසස්පෙළ පන්ති පටන් අරන් මාස දෙකක් ගතවුන තැන මතීෂගේ හිමකිරම හල ඇතුලෙදි මම හිස කෙලින් තියාගෙන උදාරම් ලීලාවෙන් ඔහුව ප්‍රතික්ෂේප කලා. මතීෂ බලන් උන්නේ දියවෙමින් පැවතුන ස්ටෝබෙරි අයිස්ක්‍රීම් ගුලිය ඇතුලට කිඳාබහින චෙරි ගෙඩියක් දිහා.


"ඇයි?"


"මම ඉගෙනගනිමින් ඉන්නේ වෛද්‍යවිද්‍යාලෙට යන්න. දැන්ම වෙන්වෙන එක පහසුයි. නැද්ද?"


ඔහු වීදුරුව මත බැඳුන ජලවාෂ්ප තට්ටුව හරහට දබරැඟිල්ලෙන් ඉරක් ඇන්දා. පුරුදු විදියටම චෙරි ගෙඩිය නටුවෙන් අරගෙන මගේ පීරිසිය උඩින් තිබ්බා.


"මම උසස් විදුහලේ ශිෂ්‍යාවක්. චෙරි ගෙඩියකට රැවටෙන කෙනෙක් නෙමෙයි."


ඔහු බොහොම හෙමින් චෙරි ගෙඩිය දෙතොලට තියා තදකරගෙන වරක් මා දිහා බැලුවා. ඉන් පස්සෙ ඒක හක්කට තදකරලා හඬ නැගෙන්න 'චරස්' ගාලා හැපුවා. ඇතුලට ගිලාබැහැපු කම්මුල්වලින් ඔහුගේ හනු කිටිකිටියේ තදවෙනහැටි බලන් ඉඳලා මං ආපහු ආවා. එච්චරයි.


නගරාධිපතිවරයාගෙ සීතල උරබාහුව මගේ කම්මුලක් තදකරගෙන පැත්ත වැටිලා තියෙනවා. එය මෘදුයි. එල්ලාවැටෙන සුළුයි. මම වැඩිපුරම කැමති වුනේ වගීසගෙ ශක්තිමත් උරබාහුවලට. ලා දුඹුරු පැහැ සමට යටින් සුනම්‍යව ඒ මේ අත ගමන් කරන දැඩි මස්පිඬුවලට පුළුවනි මාව ඕනෙ අතකට වැනෙන ජෙලි පුඩිමක් බවට පත්කරන්න.


වගීස විද්‍යා පන්තියේ පළමුවැනියා. දක්ෂයා. පුළුල් නළල්තලයක් හිමි බුද්ධිමතා. ඒ මගේ හොඳම තෝරාගැනීම බව හැමෝම හිස වනා අනුමත කලා. ඔහුට පුළුවනි හීනෙනුත් අස්ථි හා පේශි පද්ධතිය අකුරක් නෑර නම් කරන්න. අමතර පංතියක් මගහැරලා ලැගුම්හලක පුස්ගඳැති ඇඳක තුරුළුවෙලා ඉන්න අතරෙත් ඔහුට පුළුවනි මට D - ගොනුවේ මූලද්‍රව්‍ය ගැන උගන්වන්න. වගීස පළමු වතාවෙම වෛද්‍යවිද්‍යාලයට තේරුණ එක අවිවාදිතයි. ඒත්,


"මම ඉගෙනගනිමින් ඉන්නෙ වෛද්‍යවරයෙක් වෙන්න. තේරුම්ගන්න ශකිලා. දැන්ම වෙන්වෙන එක පහසුයි, අපි දෙන්නාටම. නැද්ද?"



****************************



ආණ්ඩුවේ ඉස්පිරිතාලෙ වාට්ටු ගඳත්, ලෙඩ්ඩුන්ගේ කෙඳිරියත් උහුලන්න තමන් කරන කැපකිරීමේ තරමට රජයෙන් ලැබෙන වේතනය නොසෑහෙන නිසා වගීස දැන් "මතීෂ් මෙඩිකෙයා" පෞද්ගලික රෝහලේ මාසෙ පඩියට වැඩ කරනවා. හිමකිරම හලට එහායින් 'ෆාස්ට් ෆුඩ්' අවන්හලකුත්, ඉන් පස්සෙ අවන්හල් සංකීර්ණයකුත් පටන් ගත්ත මතීෂගේ අළුත්ම ආයෝජනය වුනේ මේ පෞද්ගලික රෝහල.


ඒක දෛවයේ සරදමක් කියලා සමහරු හිතන්නත් පුළුවන්. හැබැයි මම අවසාන නිගමනවලට එළැඹෙන්න ඉක්මන් වෙන්නෙ නැහැ.


නගරාධිපතිවරයා තමන්ගේ තල්මස් ශරීරය උඩුබැලි අතට පෙරලනවා. ඔහු කැමති උඩුබැලි අතට අතපය විහිදුවාගෙන නිදාගන්න. බූවල්ලෙක් වගේ හැමතැනම අඬු විහිදුවන්න. නගරයේ හැම අස්සක් මුල්ලක් නෑරම අධිකාරීත්වය පතුරවන්න. වැඩකරන ජනතාවගේ හැම කුඩා දහදිය බිංදුවකින්ම කොටසක සාරය තමන්ගේ බැංකු ගිණුමට උරාගන්න. ඒ නිසාමයි ඔහු අළුත් පෞද්ගලික රෝහලේ ප්‍රධාන කොටස් හිමියා වුනේ.


මම වම් ඇලයට හැරිලා නගරාධිපතිවරයාගෙ උදරය මතින් කකුලක් දමාගන්නවා. ඔහු තමන්ගේ බිරිඳට අප්‍රමාණ භයයි. ඒ නිසාම, කුඩා සුළිකුණාටුවක් වගේ ඕනෑම මොහොතක ඔහුගේ කුටුම්භය මතට පතිත විය හැකි මා ගැන ඔහු බොහොම සැලකිලිමත්.


"ශකිලා මගෙ ආදර කෙල්ල, කියපන්. උඹට ඕනෑ මොනවද?" 


දෛවය කියන්නේ අනුකම්පා විරහිත විහිළුකාරයෙක්. අවසන් නිගමන කියා දෙයක් නැහැ. දැන් උසස් විද්‍යාලයේ ඉගෙනගන්නා ළමයිනුත්, කාලෙකට පස්සෙ ඒ ගැන අවබෝධ කරගනීවි. සමහරවිට අනවරත දිවිල්ලකින් හති වැටිලා රතු පලස මත ඇදවැටෙන්න මොහොතකට කලින්.


නගරාධිපතිවරයාගෙ ගෙරවිල්ලෙ සද්දෙ තමයි උහුලාගෙන ඉන්න අමාරු එකම දේ. 




Thursday, January 21, 2016

මල් පත්තරකාරයෙක්වත් නැතුව (කෙටිකතා)






දිගු ඇඟිලි සහිත දෙ අත්ල බළල් කොට්ටා අත් බවට රූපාන්තරණය වීම ඇරඹුනේ නොසිතූ මොහොතක. ලෝහමය අත්වාරුවේ  නිය ගැටීමෙන් ඇතිවුන සිහින් සීරුම් හඬ දෙසවන් හිරිවට්ටන සුළුයි. තවදුරටත් බළල් කොට්ටා අත්වලින් අත්වාරුවේ එල්ලී සිටීමේ අවදානම අත් හැරලා මම ඉහලම තරප්පුව උඩ උක්කුටියෙන් වාඩි වෙලා නිනව්වක් නැතිව ඉදිරිය බලාගෙන උන්නා.


තාරතාවයෙන් ඉහල ඇගේ කටහඬ පහල සාලයේ ඉඳන් ඉහලට විෂ කැවූ ඊතල විදිනවා. ඒ හඬ ඉතා සුනම්‍යයි, දිය ඇල්ලක් වගෙයි කෙලිලොල් අකුරු සාලය පුරා විසුරුවමින් ගලා හැලෙන්නේ. ගිලී මියැදෙන්න හිතෙන තරම් පොළඹවන සුළුයි. මම තව තවත් බළල් ආත්මය තුලට කිඳා බැස්සා. දැන් දිය ඇල්ලේ හඬ ගෙනෙන්නේ පිළිකුලක්. වතුර බිංදුවක් පවා හිස කරකැවිල්ල ඇතිකරවන සුළුයි. ඒත්, ඒ වතුර යට රන්මාළු පීනනවා වෙන්නත් පුළුවනි. 


මම අත් දෙකෙන්ම පියගැටපෙලේ අත්වාරුව බදාගෙන දෙපයට බර දීලා කෙලින් වුනා. 

වතුර! වතුර!! වතුර!!! අප්‍රසන්න වතුර!


ඈ ආවේ අනවසර සුළඟක් වගේ. අනවසර සුළඟක් වඩාගෙන ආ හිම කැරැල්ලක් වගෙයි මම ගල් ගැහුනේ. පාරින්ද්‍යා, මගේ බිරිඳ තවමත් ඈ සමග මුහුණට මුහුණ ලා ඉඳගෙන කතාලතාවේ. වසර හතකට පසුව මුණගැහෙන පාසැල් මිතුරියන් දෙදෙනෙකුට කතා කරන්න දේවල් කොයිතරම්නම් තියෙනවද? දිය ඇල්ලක් වගේ තමයි. 


තරප්පුවෙන් තරප්පුවට පනිමින් ඉහලට එන සැහැල්ලු දෙපයක්. තොරොම්බල් පාදසළඹක සීනු හඬක් අතරින් පතර ඇහෙනවා. මම ඇස් පිහාටු හැකිතරම් තදින් පියාගන්නවා.


“ඔයා නිදිද?”

“හ්ම්.”

“තේ නිමෙනවා.”

“තේ කියන්නේ එහෙම තමයි. නිමෙනවා.”


උඩඟු ලීලාවෙන් ඇහැ කන පියාගෙන වකුටු වීමයි බළල් ගතිය. ඈ පිටත්වෙන හඬ ඇහෙද්දී බළල් ලොම් පොරෝණාවට යටින් වූ මිනිස් හදවත ගිඩි ගා ගැහුණා. එය එතරම් ගණන් ගත යුතු දෙයක් නොවෙයි. ඈ යන්න ගියාම හැම දෙයක්ම යලිත් සාමාන්‍ය තත්වයට පත්වෙන බව ඒකාන්තයි. නමුත් එකම එක වතාවක් ඇගේ මුහුණ හොඳින් දැක බලාගන්න හිතාගෙන ජනේලයෙන් එබෙන එක තරමක වරදක්. ඒ වෙලාවේ ඇගේ පළල් නළලයි, නිල් ඇස් දෙකයි පැහැදිලිව දැකගන්න බැරිවීමේ සාංකාව නොවන්නට මම ඇයව හඹා නොයන්නට තිබුනා.


"මම කැමති නිල් පාට වීදුරු ඇස්වලට"


මම නම සඳහන් නොකල පණිවුඩයක් හත්වැනි වතාවටත් ඈ වෙත යොමු කලේ බළල් ලොම් පොරෝණාව ඉරාගෙන මතුවෙන සිවල් නිය පහුරු ගැන තැකීමක් නොකර. පාරින්ද්‍යා ඒ වෙද්දි වම් ඇලයට හැරිලා ගැඹුරු නින්දක හිටි වග නොකියා බැහැ. ඈ තදින් හුස්ම ගන්නවා. මම වෙස්මාරුවෙන් හති වැටිලා පරිඝණක තිරයට එබෙමින්, වරින් වර බියෙන් තැතිගනිමින් පිළිතුරක් එනතුරු මග බලනවා.



**********************


"එයා මගෙ ඇස්වල පාටත් දන්නවා!"


කෝපි බිංදු අළුත් සුදු මේස රෙද්ද මත කහට පැල්ලම් ඇතිකිරීම නෙමෙයි මේ වෙලාවේ තියෙන බරපතලම ප්‍රශ්ණය. හිවල් දත් සඟවාගෙන ඈ දෙසට රාගික බැලුම් නොහෙලා ඉන්න එක. අන්න ඒකයි නියම ප්‍රශ්ණය. එකිනෙකට වෙනස් තාරතාවයෙන් යුත් සිනා හඬ දෙකක්. මම කැමති උස් සිහින් හඬට. ඒත් මේ බළල් ලොම් පොරෝණාව කැමති නැහැ ඒක එහෙමයි කියලා පිලිගන්න.


"නිම්, දන්නවද? ඔයා එයාව මුණගැහෙන්නම ඕනෙ!"

"ඔයාට පිස්සුද?"

"ම්හ්?"

"අපි දැන් 'බැඳපු ගෑණු' පාරින්ද්‍යා."

"බැඳපු ගෑණුද? බැදපු ගෑණුද?"


අන්න ඒකයි හේතුව. මම කවදාවත් මගේ බිරිඳගේ වචනයට පිටින් ගිය කෙනෙක් නෙමෙයි. ඈ රෙදි බෝනික්කියක් වගේ දැනෙන්න ගත් දා පටන්වත් මම ඒ ප්‍රතිපත්තිය වෙනස් කලේ නැහැ. අන්තිමේදි ඈ ව්‍යාපාර සම්මේලනයකට නගරයෙන් පිටවෙනකම් මම අපහසුවෙන් වුනත් බළලෙක් වගේ ඇගේ දෙපා මුල දැවටෙමින් උන්නා. නිම්සරා කඩාවදින හැම අවස්ථාවකදිම වතුර දැක්කා වගේ ලොම් පුම්බාගෙන ගුලි ගැහුනා.


'මා' තුල බිඳක්වත් නැති,
'අප' අතර පිරී ඉතිරී ඇති
ඉන්ද්‍රජාලයකි මේ ජීවිතය
හිරු තරම් උණුහුමයි ජීවිතය


මම අහුවුනේ එතැනින්. නිම්සරා හිරු කැරැල්ලක් වෙලා පෑව්වා. විය යුතු පරිදිම, හිරු කැරැල්ලක් එන්නේ ඉස්සරහ දොරෙන්ම නෙමෙයි. ජනේලෙකින්, අවන්හල් බැල්කනියක බට පැළැලි හිරු මුවාවක් අතරින්, අනපේක්ෂිත හැන්දෑවක නගර වීදියට ඉහලින් පාවෙන වළාකුලකින්, රන්පාට හිරු කිරණ කාන්දු වෙන්න පටන් ගත්තා.


පැය ගානක් ඇතුලත හිරු කැරැල්ලත් මමත් දෙන්නාම චර්ම පිලිකාවකට ගොදුරු වුනා. 


පිළිකාව හිතූ මොහොතක සැත්කමකින් කපාදමන්න හැකිවෙයි කියා හිතමින් මම දිගින් දිගටම හිරු රැසින් නැහැවෙන්න තීරණය කලා. සම්මේලනය අහවර වෙලා පාරින්ද්‍යා ගෙදර ආවේ තරමක් විසාල, වැහි වළාකුලක් අත්බෑගයේ ඔබාගෙන. ඉන්ද්‍රජාලයක්මයි ජීවිතය. ඒ නිසයි පාරින්ද්‍යා වැහි වළාකුලක් පොරවාගෙන යුගල ඇඳ උඩ වැතිරෙනකොට මම ආයෙමත් වැහි බිඳුවලට අකැමති බළලෙක් බවට රූපාන්තරණය වෙන්න ඇත්තේ.


අන්තිමේ හිරු කැරැල්ලත් මමත් වටහා ගත්තා පිළිකාවක් කියන්නේ හදවතේ කෙලවරක හටගත්ත රෝසමල් හැඩේ පොඩි ගැටිත්තක් විතරක්ම නොවන වග. හෘද ස්පන්දනයත් එක්ක සෛලයක් සෛලයක් ගානෙ පැතිරිච්ච, ඔඩු දුවපු පිළිලයක් වග.


ඉතින් අපි විසඳුමක් හොයාගෙන ගින්දරට පැන්නා. 


නෑදෑයෝ, අසල්වැසියෝ, යාළුවෝ විතරක් නෙමෙයි, මල් පත්තර කාරයෝ, ගොසිප් සයිට් කාරයෝ පවා පැට්ට්‍රල් කෑන් කර තියාන ගින්දර බලන්න ආවා.  පිච්චි පිච්චි ඉන්න අතරෙ එයා එකපාරටම පිළිකාව ගලවලා දාල ගිනි ගොඩෙන් මෑත් වුනා.


"මම ගෙදර යනවා."

"මම බැඳපු ගෑණියෙක්."


කාලයත් එක්ක ගින්දර අඩු වුනා. බළල් ලොම් පොරෝණාව අඟුරු වෙලා ගිහින් තිබුනා. ඒත් සෛල ඇතුලේ ශේෂ වෙච්ච පිළිකා කැබැලිති තවමත් හෙමිහෙමින් පිච්චෙනවා. මම ගින්දර නිවෙනකම් නොහෙල්ලී බලා ඉන්නවා.


අඩුම තරමේ මල් පත්තරකාරයෙක්වත් නැතුවම!






'ගහනවාද?' - 'දුවනවාද?'


රාවය 
29 - නොවැම්බර් - 2015






'ගහනවාද? නැත්නම් දුවනවාද?' මේ උභතෝකෝටිකයට කවදාක හෝ ඔබටත් මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවාද? පාසැල් පෙම්වතියගේලොකු අයියා ඔබට තර්ජනය කරන්න එනකොට, ඉක්මනින් කේන්තිගන්නා අසල්වැසියෙක්ට අතේ පැළවෙන බේගලයක් ඇදබාන අතරතුර, එහෙමත් නැත්නම් පළමු වතාවට සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දෙන්නට යනවිට, ඔබත් වැඩිදුර සිතාබැලීමෙන් තොරවම ප්‍රතිචාර දැක්වූ අවස්ථා නොතිබෙන්නට නොහැකියි. 


ජෛවීය විද්‍යාවේදී මෙය 'පහරදීමේ හෝ පලායාමේ ප්‍රතිචාරය' (Fight or Flight Response) ලෙසින් හැඳින්වෙනවා. එය අන්තරායකර අවස්ථාවකට ක්ෂණිකව ප්‍රතිචාරදැක්වීමට සලස්වා ඔබේ ආරක්ෂාව තහවුරු කෙරෙන, තරමක් සංකීර්ණ ක්‍රියාදාමයක්.


'පහරදීමේ හෝ පලායාමේ ප්‍රතිචාරය' මානවයාට පමණක් සීමා වූවක් නොවෙයි. විශාල බල්ලෙක් බුරාගෙන පනිනවිට, ලෝම පුම්බාගෙන,පසු පාද දෙකට වාරුගෙන කෙළින් වී, ඉදිරි පාදවලින් උගේ ඇස්වලට පහරදෙන බළලුන් ඔබත් දැක තියෙනවාද? එමෙන්ම, එවැනි අවස්ථාවකදීම, ඊට හාත්පසින්ම වෙනස් ප්‍රතිචාරයක් දක්වමින්, ලොම් පුම්බා උඩපැන පලායන බළලුන්වත් ඔබ දැක ඇති. එය සත්ව ලෝකය තුළ 'පහරදීමේ හෝ පලායාමේ ප්‍රතිචාරය' නිරූපණය වෙන කදිම නිදසුනක්.


'පහරදීමේ හෝ පලායාමේ ප්‍රතිචාරය' ඇතිවෙන්නේ හදිසි ආක්‍රමණයකට, සාමාන්‍ය පැවැත්ම කෙරෙහි ඇතිවෙන අනපේක්ෂිත තර්ජනයකට හෝ වෙනයම් අන්තරායකර සිදුවීමකට ප්‍රතිචාර වශයෙන්. වැඩිදුර සිතා බැලීමෙන් තොරව, අනිච්චානුගව ඇතිවෙන 'පහරදීමේ හෝ පලායාමේ ප්‍රතිචාරය' පාලනය කෙරෙන්නේ මිනිසාගේ පර්යන්ත ස්නායු පද්ධතියේ (peripheral nervous system) කොටසක් වන ස්වයංසාධක ස්නායු පද්ධතිය (Autonomic nervous system)  මගින්.


ස්වයංසාධක ස්නායු පද්ධතියේ 'අනුවේගී ස්නායු පද්ධතිය' (Sympathetic nervous system) විසින් දේහය හදිසි අවස්ථාවකට සූදානම් කිරීම සිදුවෙනවා. පසුව එහිම වෙනත් කොටසක් වන 'ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතිය' (Parasympathetic nervous system) මගින් සිරුර නැවතත් යථා තත්වයට පත්වෙනවා.


සියල්ලම ඇරඹෙන්නේ බාහිර පරිසරයෙන් තර්ජනයක් පැනනැගීම සමගින්. එය කුළු හරකෙක් හිස නමාගෙන ඔබ පසුපසින් එලවන්නට වීම වියහැකියි, නැතිනම් සැර පරුෂ විදුහල්පතිතුමා වේවැල අතින් ගෙන උඩුරැවුල කරකවමින් ඔබේ පංතිකාමරය දෙසට ඇවිදඒම වෙන්නත් පුළුවනි. එවැනි හදිසි අවස්ථාවකදී අපේ මස්තිෂ්කයේ ඇමිග්ඩලාව (Amygdala) සහ හයිපොතැලමසය (Hypothalamus) අතර ස්නායුක සන්නිවේදනයක් සිදුවෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස හයිපොතැලමසයේ සිට පිටියුටරි ග්‍රන්ථිය (pituitary gland) වෙත රසායනික පණිවුඩයක් සම්ප්‍රේෂණය කෙරෙනවා.


පිටියුටරි ග්‍රන්ථිය මේ පණිවුඩයට පිළිතුරු සපයන්නේ අධිවෘක්ක බාහික හරණ හෝමෝනය (Adrenocorticotropic hormone) හෙවත් ACTH රුධිරයට මුදාහැරීමෙන්. එම හෝමෝනය වකුගඩුවලට ඉහළින් පිහිටා ඇති අධිවෘක්ක ග්‍රන්ථිය (adrenal gland) වෙත ගමන් කරනවා. මේ අතරතුරේ හයිපොතැලමසය විසින් ස්වයංසාධක ස්නායු පද්ධතිය ඔස්සේ ස්නායු ආවේගයක්ද අධිවෘක්ක ග්‍රන්ථිය වෙත සම්ප්‍රේෂණය කරනු ලබනවා.


එහි ප්‍රතිඵලයක් ලෙස අධිවෘක්ක ග්‍රන්ථියෙන් ඇඩ්‍රිනලින් (Adrenalin), කෝටිසෝල් (Cortisol) සහ තවත් ආතති හෝර්මෝන වර්ග ගණනාවක් රුධිරයට මුදා හැරෙනවා. ඉන් අනතුරුව ඇඩ්‍රිනලින් හෝමෝනය විවිධ සෛල වර්ග ගණනාවක් කරා ගමන් ගනිමින් ආතති ලක්ෂණ විද්‍යාමාන කිරීමට දායක වෙනවා.


ඇඩ්‍රිනලින් හෝමෝනයේ බලපෑම යටතේ අක්මා සෛල ඇතුළතදී ශක්තිය සංචිත කර ඇති ග්ලයිකොජන් (Glycogen), සරල ග්ලූකෝස් (Glucose) අණු බවට බිඳහෙළීම සිදුවෙනවා. මේ ග්ලූකෝස් අණු ක්ෂණික ශක්ති ප්‍රභවයක් ලෙස ක්‍රියාකරනවා. ඊට සමගාමීව කෝටිසෝල් හෝමෝනය මගින් මේද අම්ල (Fatty acids) බිඳහෙලීමෙන් ශක්තිය සම්පාදනය කරනවා. දැන් ඔබට පහර දෙන්නට එන්නේ අල්ලපු පන්තියේ කොලුවෙක් නම් ප්‍රති ප්‍රහාර එල්ල කරන්නත්, කුළුහරකෙක් නම් ඌට පිටුපා වේගයෙන් දිව යන්නත් අවැසි ශක්තිය ඔබ සතුයි.


ඇඩ්‍රිනලින් හෝමෝනයේ ක්‍රියාකාරිත්වය නිසා ඔබේ හදගැස්මත්, ආශ්වාස ප්‍රශ්වාසයත් වේගවත් වෙනවා. එමගින් ඔක්සිජන් සැපයුම ඉහළ මට්ටමක පවත්වා ගනිමින් මාංශ පේශි විඩාවට පත්වීම අවම කෙරෙනවා. ඉතින් ඔබට අනතුර වෙතින් පලායන තුරු විඩාවක් දැනෙන්නේ නැහැ. ඇසේ කනිණිකාව (Cornea) විස්තාරණය වෙන්නේ ඉහළ ආලෝක ප්‍රමාණයක් ඇස තුළට ඇතුළු කරගැනීමටයි.


සමේ ස්වේද ග්‍රන්ථි (sweat glands) මත ඇති ප්‍රතිග්‍රාහකයක් හා බැඳෙන ඇඩ්‍රිනලින් මගින් සම මතට දහදිය ස්‍රාවය වීම උත්තේජනය කෙරෙනවා. බොහෝ හදිසි අන්තරායයන්වලදී සිරුර දහදියෙන් පෙඟී යන්නේ ඒ නිසයි. රෝම කූප හා බැඳුණු කුඩා පේශීන් සංකෝචනය වීම නිසා රෝමෝද්ගමය සිදුවෙනවා. බියෙන් තැතිගැනුණ තරම කොතෙක්දැයි හැඟවීමට "හීගඩුත් පිපුණා" යනුවෙන් අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී විස්තර කරන්නේ මේ රෝමෝද්ගමය ගැනයි. ඇතැම් අවස්ථාවලදී රෝමෝද්ගමයෙන් නොනැවතී සිරුර වෙව්ලන්නටද පුළුවන්. එහි අරමුණ, ඉක්මනින් මාංශපේශි ක්‍රියාකරවීමට පහසුවන ලෙස සිරුර උණුසුම්ව තබා ගැනීමයි.


ඉහත ක්‍රියාදාමයට අවශ්‍ය ශක්තිය ආරක්ෂා කරගැනුම පිණිස ඒ හා සමගාමීව සිරුරේ සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වන ආහාර ජීරණය, බහිස්ස්‍රාවය වැනි ක්‍රියාවලීන්ට අදාළ සිනිඳු පේශි පටක (Smooth muscle tissue) විවේක ගැන්වෙනවා. එය යාමනය කෙරෙන්නේ ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතිය මගින්.


අවසානයේ, අනතුර පහවයාමෙන් පසුව, අනුවේගී ස්නායු පද්ධතියෙන් ආකූල කල සිරුර යථා තත්වයට එළැඹවීම පිණිස ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතිය රාජකාරියට වාර්තා කරනවා. ඉනික්බිති, පෙර අසාමාන්‍ය ලෙස වේගවත් වූ ක්‍රියාවලීන් ක්‍රමක්‍රමයෙන් සාමාන්‍ය තත්වයට පත්කරනවා. සිනිඳු පේශි පටකය ඉහිල් වීම යටතේ විස්තාරණය වූ මුත්‍රාශය යළිත් යථා තත්වයට පත්වීම නිසා ඇතැම්විට මුත්‍ර පහ කිරීමට උවමනා වීම ආදිය නිරීක්ෂණය කළහැකියි. 


පුරුෂයන් හදිසි ආක්‍රමණයකදී පහරදීමෙන් ප්‍රතිචාර දැක්වීමට වැඩි නැඹුරුවක් දැක්වුවත්, ස්ත්‍රීන් බහුලව දක්වන්නේ පලායාමේ ප්‍රතිචාරයයි. මීට අමතරව, සමහරක් සත්වයන් ආක්‍රමණිකයා කෙරෙහි 'නැඹුරුවීමේ සහ මිතුරුවීමේ ප්‍රතිචාරය'ක් (Tend and Befriend) දක්වන අවස්ථාවන්ද දැකගත හැකියි.


'පහරදීමේ හෝ පලායාමේ ප්‍රතිචාරය' සත්ව පරිණාමයේදී ඉතා වැදගත් කාර්යභාරයක් ඉටුකරන ලද්දේ සිතාමතා (ඉච්ඡානුගව) ප්‍රතිචාර දැක්වීමට ගතවන කාලය ඇතුළත සත්වයා අදාළ අනතුරට ගොදුරුවීමට ඉහළ සම්භාවිතාවයක් ඇති බැවින්. එය හදිසි ආපදා තත්වයකදී මානවයා ඇතුළු සත්ව සන්තතියෙහි ආරක්ෂාව තහවුරු කෙරෙන අපූරු නිර්මාණයක්. 





Wednesday, January 13, 2016

ඉටි (කෙටිකතාව)





රෑ දහය කියන්නේ කලබල නගර වීදියක් පවා එකලස්ව නිදිමත බේරෙන ඇස් පිහද පිහදා ඈනුම් අරින වෙලාවක්. ඒ නිසාම විදුලිපංකාවේ සරසරය පවා බොහොම පැහැදිලිව කන ඇතුලේ කැරකෙනවා. සර සරස් - සර සරස් - සර සරස්! හරියටම පොත් සුවඳ මුහුවෙච්ච දූවිල්ල කලඹවාගෙන ඉස්පාසුවක් නැතිව කරකැවෙන පුස්තකාල පංකාවේ හඬ වගේමයි. එයා ඇහිපිල්ලම් ගහන්නෙත් ඒ තාලෙට. කෙටි විරාමයක් එක්ක වේගවත් ඇහිපිය සැලීම් දෙකක්. ආයෙමත් කෙටි විරාමයක්.


හෙට, හෙටින් පස්සේ දීර්ඝ අධ්‍යයන නිවාඩුව. ඉන් පස්සේ කැඩපතක් ඉස්සරහදි තමන්ගේ පිළිබිඹුවවත් නොපෙනෙන තරම් මනස මංමුලා කරවන සුළු විභාගය. එයින් පස්සෙ ඉවරයි හැමදේම. එහෙමත් නැත්නම් එතැනද පටන් ගැන්ම? 


මම හිරවෙලා. මේ මේසය උඩ තියෙන වීදුරු ඉටි පහන ඇතුලේ තියෙන පිම්බුන රතු පාට හදවත වගේ මම හිරවෙලා.


ඒක තෑග්ගක්. ලැබුනේ අවුරුදු හතරකට කලින්, උපන්දිනයට.


"රතු කොණ්ඩාකාරියට, දහනමවැනි අවුරුද්ද පුරාම රතු පැහැයෙන් දැල්වෙන්න" කියලා කැත, දිගැටි, කුරුමිණි අකුරෙන් ලියපු කාඩ්පතක් ඒ එක්ක අමුණලා තිබුනා. මම අමාරුවෙන් ඒ අකුරු කියවනකම් එයා බෙල්ල පැත්තකට ඇල කරගෙන, කට කොණකින් හිනාවෙමින් බලා උන්නා.


ඒක රතු පාට වීදුරු ඉටි පහනක්. උස් වීදුරු පාදය වටේට ලාබ පළිඟු හදවත් සහ රතු රිබන් පටි ඔතලා තිබුනා. පාදම දෙපැත්තෙන් තොල් ආලේපන වැගිරෙන මුහුණු දික්කරගෙන බලා උන්නේ කරදාසි රෝස මල් දෙකක්. ඊට ඉහළින් ඇති වීදුරු කුටීරය ඇතුලේ පිපිරෙන්න තරම් මහත රතු හදවතක්, සුදු පාට තිරිවාණ කැට ඇතිරිල්ලක් උඩ තැන්පත් කරලා, රතුම රතු ඉටි දියරයක ගිල්වලා තිබුනා.


මට වුවමනා උනේ අන්න ඒ හදවත.


මෙතැන මේ පාඩම් මේසය උඩ නිදිවරන හැම රාත්‍රියකම මම පුළුවන් තරම් උත්සාහ කලා ඒ ඉටි පහන දල්වන්න. ඉටි ස්තරය දියවෙන්නට ඉඩ ඇරලා ඒ දිලිසෙන රතු මහත හදවත එලියට ගන්න. ඒකෙන් ගන්න ප්‍රයෝජනයක් නම් මට පැහැදිලිව හිතාගන්න බැරි වුනා. එක්කෝ යතුරු කැරැල්ලට අමුණලා දබරැඟිල්ලේ දාගෙන කරකවන්න, නැතිනම් හිලක් විදලා එළිමහන් සාදයකදි මාල පෙත්තක් විදියට පාවිච්චි කරන්න. එහෙමත් නැත්නම් පසුම්බියේ මුල්ලක තියාගෙන පරෙස්සම් කරන්න. ඇත්තටම ඉටි ස්තරය දිය කරන එකයි වැදගත්ම.


"ඉටි උණු වෙද්දි රතු හදවතත් පිච්චිලා යාවිද?" දැනමුතුකමක් ගන්න එක කොයිකටත් හොඳයි කියලයි මම හිතුවේ.


"ඔයා බයගුල්ලියෙක්!" එයා දතක් නියවලා නළල රැළි ගැන්වුවා. ඉතින් විය යුතු පරිද්දෙන්ම මම තවත් බය වුනා. 


තව එක දවසයි. නැත්නම් දෙකයි. වැඩිම උනොත් සතියයි. මම ඉටි පහන සටහන් පොත උඩ ඒ මේ අත පෙරළමින් පිලිතුරක් හෙව්වා. 


අන්තිමේ මම තීරණය කලා අවදානමක් ගන්න. කොයිහැටි වෙතත්, පිච්චිලා මැරෙනවට වඩා ඉටි ස්තරයක් ඇතුලේ හැංගිලා ඉන්න එක වේදනාකාරීයි. මට ඒක තේරුම් ගන්න අවුරුදු හතරක් ගතවුන එක අවාසනාවක්. මම හෙට උදේට ඉටි පහන දල්වනවා. නෑ! දැන්. මේ දැන් මම ඒක කරනවා.


ඊට කලින් කරන්න තව එක දෙයක් ඉතිරි වෙලා තියනවා.


"මම ඔයාට ආදරෙයි." මම කඩිමුඩියේ 'send' බොත්තම එබුවා. ඒක ප්‍රශ්ණාර්ථයක් නැති, දැඩි ප්‍රකාශයක්. යන්තම් වෙව්ලීමක්වත් නැති. අඩුම තරමේ විචිකිච්ඡාවක සේයාවක්වත් නැති.


දැන් මම ඉටි පහන දල්වනවා.






තුන් ලක්ෂයේ ජයමල්ල!





සති දෙකක අසනීප නිවාඩුවක් ලැබුනම හිතට ආපු පලවෙනි සිතුවිල්ල තමයි දවසට එක ගානෙ බ්ලොග් පෝස්ට් දාන්න, ආටිකල් ලියන්න, කෙටිකතා, කවි ලියන්න ස්වීප් එකක් ඇදුනා වගේ කියන එක. ඉතින් ඇඳේ දිගාවෙලා බොහොම කැමැත්තෙන් 'ටු-ඩූ ලිස්ට්' එකක් හද හදා ඉන්න අතරෙ තමයි ටිකෙන් ටික ඔළුව උඩ ගිනිමැලයක් ගැහැව්වා වගේ තත්වයක් උද්ගත වුනේ.


මක්කා කොරන්නද? මගේ අසරණ සිහින අම්බ්‍රෙල්ලා පවුඩර් කර දමමින් ලැප දෙස බලන්නටවත් නොහැකි තත්වයක් උද්ගත වුනා. කොයිහැටි වෙතත්, මේ අවස්ථාවේ පොළවට සමාන්තරව වැතිරගෙන, යන්තම් ඔළුව කෙලින් කොරගෙන කොටන්නේ බස්සිගේ නවාතැනට ආපු කුරුල්ලෝ ගණන 300 000ක් වෙච්චි එකේ සතුට බෙදා හදා ගන්නයි.


ඔය අල්ල පනල්ලේ අපේ මෛත්‍රී මාමා නැවත වරක් ජනතාවට පට්ට ආතල් එකක් සැපයූ රජ වීඩියෝවක් ටෙලිකාස්ට් කල බව අහන්නට ලැබුනා. ඒක බලන්න උනෙත් පොලවට සමාන්තරව ඉඳන් හින්දා මගේ ඇහේ දෝසෙකටද මන්දා පුලතිසි රජ දවස සුදු වෑන්, ත්‍රී වීලර්, ටැලිපෝන් කම්බි සහ තැනින් තැන කඩතොළු වුන තාරපාරවල් වගේ විලම්භීත කීපෙකුත් විෂුවල් එක අස්සෙන් දැක්කා.


මොනවා වුනත්, ජනතාවගේ සෝපහාස සහ කිණ්ඩි හේතුවෙන් වහ වහා ඒ ගීතය අහක් කරගත්තු බවත්, ගීතය නිර්මාණය කරපු අරෝෂ මහත්තයාට වැලේ වැල් නැතිවුන බවත් අහලා පොඩි ආඩම්බරයක් දැනුනා. මොකද, ඒකෙන් තේරෙන්නේ යම් තරමකට හෝ ඉහල පුටුවලට බලපෑමක් කරන්න හැකි ජනතාවක් බිහිවෙමින් ඉන්නා බවයි. 


අන්න ඒ විදියේ ශක්තිමත් ජනමතයක් ගොඩනගන්නත්, මෙන්න බලපල්ලා මිනිස්සුන්ගේ අදහස් කියලා පාලකයන්ට දැනෙන පෙනෙන විදියට සන්නිවේදනය කරන්නත් සමාජ මාධ්‍ය විසින් කරන්නේ වචනයෙන් කියා අහවර කරන්නට බැරි තරම් අමිල මෙහෙවරක්. ඉතින්, බ්ලොග් අඩවියේ 300 000 කඩ ඉම පහු කරන මේ වෙලාව තරම්, ඒ ගැන සතුටු වෙන්න වෙන සුදුසු වෙලාවක් කොයින්ද?



Wednesday, January 6, 2016

නරි චූ vs සිංහ ලේ





සිංහයා කියන්නේ ශක්තියේ සහ ප්‍රෞඩත්වයේ සංකේතයක් ය. සිරිලාංකීය ජාතික කොඩියේ ඉන්න සිංහයා එක කකුලකින් කඩුවක් උස්සාගෙන නිසා හිටගෙන ඉන්නේ කකුල් තුනකින්ය. ඔය කියන සිංහයා ඉන්නේ සිංහල ජාතිය වෙනුවෙන් වූ රතුපාට කොටුව ඇතුලේය. අපි ජාතික කොඩිය පවා කොටු ගසා වෙන් කරගත් පට්ට අභිමානවත් රටක් නිසා 'එක මවකගෙ දරු කැල බැවිනා' කියන්නෙත් අර කොටුවේ පරිමිතිය දිහා බලාගෙන ය. කොටු එහා මෙහා වීම පට්ට කිරිමෙල් කේස් එකක් ය. අන්න එතකොට ජාතික ගීයක් තියෙනවාද කියලත් අමතක වෙලා යනවාය.


ඔය සිංහයා ගැන ජෛවීය විද්‍යාත්මකව බලන්න ගියොත් අබ සරණ පතන්න වෙනවා ය. මොකද සිංහයා කියන්නේ පට්ට කම්මැලි සතෙක් ය. ඌ දවසට පැය විස්සක්ම කරන්නේ කොස්ගෙඩියක් වගේ දපා නිදියන එකය. පැය දෙකක් පමණ කෑම හොයා ඇවිදලා, තව පැයක් පමණ කනවා ය. ආයෙත් පැය විස්සක් නිදියනවාය.


සිංහයාගේ ආහාර අවශ්‍යතාවෙන් 50%ක්ම සපිරෙන්නේ මලකුණු, ඒ කියන්නේ කලින් මක්කා හෝ අබග්ගයක් වී මැරී වැටී උන්නු සතුන්ගෙන්  ය. Scavenging කියන්නේ මේකටය. හැබැයි ඒ මලකුණු සුපර් මාර්කට්වල ෆ්‍රීසර්වල මාස ගණන් බහා තියා සුපර් මිලගණන්වලට අලෙවි කරන එව්වා නෙමේ ය.


සිංහ පවුලට කෑම සෙවීමේ වැඩි බරක් අදින්නේ සිංහ ධේනුවෝ හෙවත් 'සිංහ-ගෑණු'ය. උන් ප්‍රමාණයෙන් කුඩාය. වේගවත් හා නම්‍යශීලී ය. එබැවින්ම දක්ෂ දඩයම්කරුවෝය. ඉතින් උන් පවුලට කෑම හොයන්න මැද පෙරදිග ගිහින් පෙට්ටි වලින් ගෙදර එනවාය. සොරි සොරි! උන් කැලේ පීරා දඩයමේ යනවාය. සිංහයා බජාර් එකේ ලොකු අයියා වගේ ගර්ජනා කරගෙන ඒරියා එක රන් කරගෙන පාඩුවේ ඉන්නවාය.


සිංහයාගේ අන්තේවාසිකකම් කරන්නේ නරියාය. නරියා ටික කාලයක් යනකොට ඌටත් සිංහ ලේ කලවං වෙලා තියනවායැයි හිතනවාය. ඒ හිතිවිල්ලෙන් ඔටෝචූන් හෙවත් ස්වයංවින්දනයක් ගන්න හිතාගෙන 'අඩෝ මමත් සිංහ ලේ' කිය කියා කැලෑවේ හක්කලං කරනවාය.


එතකොට දමිත් කේතකලා වගේ බුවාලා 'අනේ තොපිලෑ සිංහ ලේ' වගේ කවි පන්ති ලියලා නරියාගේ ආතල් එක අම්බ්‍රෙල්ලා පවුඩර් කර දානවාය. ඉතිං නරියාට පුෂ්පය විකසිත වෙනවාය. වෙන කරන්නම දෙයක් නැති තැන තාප්ප, ගේට්ටු, ලයිට් කණු ගානේ ඇවිද ඇවිද කකුලක් උස්සා 'සිංහ ලේ' කියලා චූ කරනවාය. ගඳට පලාතේ වසන්නට බැරිය.


දැන් ඉතින් සිංහයා කලයුත්තේ මේ නරියාගේ බොටුව හපා කහලගොඩට විසි කර දැමීමය. නිකං අහක යන අලි, කොටි, වලස්සු කුප්පවාගෙන වලියට බහින එක අමුම අමු ගොං කමක් වෙන්නේ නරියෙක්ගේ ස්වයංවින්දනයක් නිසා සිංහයා චාටර් කෑම එලොවටත් නැති මෙලොවටත් නැති වැඩක් නිසාය. මේ නරියාගේ ඇජෙන්ඩාවලට අහුවී සිංහයා ලොම් ඉරාගත් පළවෙනි වතාව නොවේය. රෑ වැටුන වලේ දවල් වැටෙන්න තරමට සිංහයා කුජීත වුනොත්, ඌට ආපහු ප්‍රෞඩත්වය ගැන රෙද්දක් ඇඳන් කතා කරන්නත් බැරිවෙනවාය.



Monday, January 4, 2016

හඬ වෙනස්වෙන ඇම්බියුලන්ස් නළාවේ රහස


රාවය 
20 - දෙසැම්බර් - 2015





"ඔබ කලබල වීදියක් කෙළවර, බස් නැවතුමක, එහෙමත් නැත්නම් සාප්පුවක දොරකඩ රැඳී සිටිනවා. ඒ මොහොතේ ඈත සිට පැමිණෙන ගිලන් රථයක් (Ambulance) සයිරන් හඬ නගමින් ඔබව පසුකර වේගයෙන් ඇදී යනවා."


මීට සමාන අත්දැකීමකට මුහුණ නොදුන් අයෙක් දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ යුද ගැටුම් පැවති ශ්‍රී ලංකාවෙන් නම් සොයාගැනීම ඉතා දුලබයි. අද අපි කතාකරන්න යන්නේ ගිලන්රථය ගැනවත්, එය තුළ සිටින රෝගීන් ගැනවත් නොවෙයි. ගිලන් රථයෙන් නැගෙන සයිරන් නළා හඬ පිළිබඳවයි.


ගිලන් රථයේ සයිරන් නළා හඬ, ඔබ දෙසට පැමිණෙන විට නගන හඬට වඩා, ඔබව පසුකර යන විට නගන හඬෙහි යම් වෙනසක් සිදුවී ඇතිබව ඔබටත් දැනුණාද? තවත් සැලකිල්ලෙන් සවන් යොමා බැලුවොත්, සයිරන් නළාව ඔබ වෙතට පැමිණෙන අවස්ථාවේ නැගෙන හඬත්,එය ඔබව පසුකරන මොහොතේ නැගෙන හඬත්, රථය ඔබෙන් ඉවතට ඇදී යන විට ඇසෙන හඬත් එකිනෙකට වෙනස් බව නිරීක්ෂණය කරන්නට හැකිවේවි. මෙතැනදී ඔබට දැනෙන්නේ අදාළ ශබ්දයේ තාරතාවයේ (pitch) වෙනසක්.


මේ සංසිද්ධිය පිටුපස සැඟවුණු අපූරු රහස භෞතික විද්‍යාවෙන් පහදාගත හැකියි. එය හඳුන්වන්නේ 'ඩොප්ලර් ආචරණය' (Doppler effect) නමින්.


ශබ්දය ඔබ වෙතට ගමන් කරන්නේ තරංග (waves) වශයෙන්. මුලින්ම, ශබ්ද තරංග නිකුත් කරන සයිරන් නළාව, නිසලව සිටින ඔබ දෙසට චලනය වෙනවා. සයිරන් නළාව ඔබ දෙසට ලං වෙනවාත් එක්කම, ශබ්ද තරංගයේ 'තරංග පෙරමුණු'වලට (wave crests) ඔබ වෙතට ලංගාවෙන්න ගෙවා දැමිය යුතු දුර මදින් මද අඩුවෙනවා. අනුයාත තරංග පෙරමුණු දෙකක් සැලකුවොත්, පළවෙනි තරංග පෙරමුණ ඔබ වෙතට ළඟා වෙන්නට ගතකළ කාලයට වඩා අඩු කාලයකිනුයි දෙවැනි තරංග පෙරමුණ ඔබ වෙත ලඟාවෙන්නේ. මේ හේතුව නිසා ඔබ වෙතට පැමිණෙන සයිරන් නලාවේ ශබ්ද තරංගයේ තරංග පෙරමුණු, එකිනෙක 'කැටිවීමක්' සිදුවෙනවා.


ගිලන් රථය ඔබෙන් ඉවතර ඇදී යද්දී සිදුවන්නේ මෙහිම විලෝමය. සයිරන් නළාව මදින් මද ඔබෙන් ඉවතට යන නිසා පළමු තරංග පෙරමුණ ඔබ වෙත ළඟා වෙන්නට ගතකරන කාලයට වඩා වැඩි කාලයක්, දෙවන තරංග පෙරමුණට ගතවෙනවා. ඉතින්, ඔබෙන් ඉවතට ඇදී යන සයිරන් නලාවේ ශබ්ද තරංගයේ, තරංග පෙරමුණු අතර පරතරය වැඩි වී, තරංගය 'විහිදීමක්' සිදුවෙනවා.


ඔබට සයිරන් නළා හඬේ නියම තාරතාවය අසන්නට ලැබෙන්නේ ගිලන් රථය ඔබව පසුකර යන ඇසිල්ලේදී පමණයි.





ඉහත කී ආචරණය ගැන මුල්වරට ලිඛිතව සඳහන් කළේ 1842 දී ඔස්ට්‍රේලියානු ජාතික භෞතික විද්‍යාඥයෙක් වන ක්‍රිස්ටියන් ඩොප්ලර් (Christian Doppler) විසින්.


ඩොප්ලර් ආචරණය සයිරන් නළා හඬට හෝ ශබ්ද තරංගවලට සීමා වූවක් නොවෙයි. චලනය වෙන වස්තූන්ගෙන් නිකුත් කෙරෙන තරංග සම්බන්ධව ඩොප්ලර් ආචරණයේ ප්‍රායෝගික යෙදීම් ගණනාවක් හඳුනාගන්නට පුළුවනි.


වැඩි දුර යන්නට වුවමනා නැහැ. ගෙමිදුලට බැස තරු පිරුණු රෑ අහස දෙස බලා හිඳීමෙන්ම ඔබට ඩොප්ලර් ආචරණයේ යෙදීම් නිරීක්ෂණය අරඹන්නට හැකියි.


රාත්‍රී අහසේ සමහරක් තරු රත් පැහැයෙනුත්, තවත් සමහර තරු නිල් පැහැයෙනුත් දර්ශනය වෙනවා. නිල් ආලෝකයේ සංඛ්‍යාතය, රතු ආලෝකයේ සංඛ්‍යාතයට වඩා ඉහළයි. පෘථිවිය වෙතට ළඟා වෙන තාරකාවකින් නිකුත් වෙන තරංග පෙරමුණුවල හැසිරීමත්, කලින් සඳහන්කල සයිරන් නලාවේ ශබ්ද තරංගයේ හැසිරීමට සමානයි. ඉතින් එහි දෘශ්‍ය සංඛ්‍යාතය ඉහළ අගයක් ගන්නවා. ඒ නිසයි පෘථිවියවෙතට ළඟාවෙන තාරකා නිල් පැහැයෙන් දිස්වෙන්නේ. 


පෘථිවියෙන් ඈතට ගමන් ගන්නා තාරකාවලදී සිදුවන්නේ ඉහත පැහැදිලිකිරීමේ විලෝමය. රත් පැහැයෙන් එම තාරකා දර්ශනය වෙන්නේ ඒවායේ ආලෝක තරංගවල දෘශ්‍ය සංඛ්‍යාතය සාපේක්ෂව පහළ අගයක් ගන්නා නිසයි. 


සමහර විට ඔබ ඩොප්ලර් ආචරණය අත්වින්දේ ඉහත කී තරම් සුන්දර අත්දැකීමක් හරහා නොව, අධික වේගයෙන් රිය පැදවීම හේතුවෙන් වරදකරුවෙක් වූ අවස්ථාවක වෙන්නට පුළුවනි. 


රථවාහන පොලීසියේ මහතුන් ඩොප්ලර් ආචරණයෙන් බොහොම හොඳින් වැඩ ගන්නා පිරිසක්. වේග සීමා ඉක්මවූ මෝටර් රථ හඳුනාගැනීමේ උපකරනවලදී භාවිතා වෙන්නේත් ඩොප්ලර් ආචරණයමයි. මෙහිදී සිදුවෙන්නේ, පොලිස් නිලධාරියාගේ අත රැඳි උපකරණයෙන්රේඩාර් (radar) තරංගයක් අදාළ රථය වෙත යොමු කර, රථයෙහි ගැටී පරාවර්තනය වෙන රේඩාර් තරංගයේ හැසිරීම ආධාරයෙන් වේගය නිර්ණය කිරීමයි. 


ඒ වගේම ඩොප්ලර් ආචරණයට පින්සිදුවන්නට ජීවිතය බේරාගත් අයවලුන් අප අතරෙන් සොයාගැනීම අපහසු කාරණයක් නොවෙයි.වෛද්‍ය විද්‍යාවේදී, රුධිර ගලනයේ අසමානතා, රුධිර නාලවල අවහිරවීම් සහ කපාට හරහා රුධිරය කාන්දුවීම් යනාදිය හඳුනාගැනීමටත්, මව් කුස තුළ සිටින දරුවෙක්ගේ හදගැස්ම මැන බැලීමටත් ඩොප්ලර් ආචරණය උපයෝගී කරගැනෙනවා. මේ සඳහා උපයෝගී කරගන්නේ අතිධ්වනි තරංගවල (Ultrasound waves) චලිතයයි.


ඩොප්ලර් ආචරණයෙන් වැඩ ගන්නා සතුන්ද සිටිනවා. වවුලා ඉන් එකෙක්. වවුලන් පියාසැරියේදී අතිධ්වනි තරංග නිකුත් කරනවා. එම තරංගවල හැසිරීම අනුව, පියඹායන මාර්ගයේ ඇති බාධක හඳුනා ගැනීමටත්, ගොදුරු කරගත හැකි කෘමි සත්තුන්ගේ ගමන් මාර්ගය නිර්ණයකිරීමටත් උන්ට පුළුවනි. පරාවර්තිත ශබ්දයෙන් පිහිටීම නිර්ණය කිරීමේ මෙම උපක්‍රමය හඳුන්වන්නේ echolocation නමින්.


ආලෝක වර්ෂ ගණනාවකට එපිටින් නිවෙන දැල්වෙන තාරකාවකින් නිකුත් වෙන ආලෝකයේත්, ඇඟේ ගැටී නොගැටී වේගයෙන් ධාවනය වෙන ගිලන් රථයක සයිරන් නාදයේත්, අන්ධ වවුලෙක් අතරමං නොවී කැදැල්ල වෙත පියාසැලීමේත්, අධික වේගයෙන් රිය පදවනයුරු පොලිස් නිලධරයාට 'අතේ මාට්ටු' වීමේත් පසුපස ඇත්තේ එකම රහසක් බව දැන් ඔබට වැටහෙනවා ඇති. සමහර වෙලාවකට, ඉතා සංකීර්ණයැයි අපි හිතන ඇතැම් දේ මොනතරම් සරලයිද?




Friday, January 1, 2016

එල ද බ්‍රා වසරක්!


මෙන්න මෙව්වයි බ්‍රෝ මාර්කටිං කියන්නෙ!



දෙදාස් පාලොහ ඉවරවේගෙන එන ඉසව්වේ ඉන්දියන් සාගරයේ අමුතු ඇටය සකල සිරි විභූතියෙන් ආඪ්‍යව, කිරියෙන් පැණියෙන් උතුර උතුරා පවතින හෙයින්ද, තල්මහට මදුරුවෙක් ඇන්නහේ දේශීය ආර්ථිකයට, වසර දෙදාස් පන්සීයක පට්ට අභිමානවත් අතීතයට සහ සංස්කුරුතික සළුපාලියට වැලේ වැල් නැතිකරනු පිණිස ඇතිවූ එකම පරසතුරු උවදුර වූ පරදේසක්කාර එන්රිකේ හැල සුද්දා ලංකාවේ සිංදු කියන්නට ගොඩබැසීම අතිගරු ජහපාලනපති සිරිසේන මැතිතුමා ඇඹිලිපිටියේ සිට සිදුකල අභීත මැදිහත්වීම හමුවේ හිරු දුටු පිණි මෙන් වියැකී ගිය හෙයින්ද, දෙදහස් දහසය ලබන්නාහාම අලුත් බදු සංශෝධන තෑගි සමග අපිට රැකියා ස්ථානය ගෙදර වගේ හිතෙන අද්විතීය වාතාවරනයක් නිර්මාණය වූ හෙයින්ද, අපේ ලයිප් පුල් මාවලස් ලෙස ගෙවී යමින් පවතී.


කොමෙන්ටු වලට රිප්ලයි කිරීම අතපසු වූ හෙයින්ද, පමා වූ හෙයින්ද, බ්ලොග් අඩවිය යාවත්කාලීන කිරීම ඉඳහිට මගහැරුණු හෙයින්ද පරල වූ අය වෙනුවෙන් මෙන්න භාජනයක්; ගැත්තා කෙරෙහි අනුකම්පාවෙන් ඔබේ සමාව පිරිනමන්න. හැකි සැනින් පිලිතුරු සපයමි.


මගේ පෙරකී දුර්දාන්ත ක්‍රියාකලාපයන් හමුවේ අකම්පිතව, විල්පත්තුවේ ජනාවාස හදන හැටි තවමත් නොදන්නා හිටන් තුමා මෙන් පුල් පන් එකෙන් ඇලලී, වසර පුරා බ්ලොග් අඩවියට තුඩ තියා ඉවසිල්ලේ මා වටා රොඳ බැඳි රසවතුනි; ඔබ නැතිනම් "බස්සි" කියා කෙනෙක් නැතිවෙන්නටත් තිබුණි. ස්තූතියි!


සිරිලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්කම භාරගන්නට ලැබුනු ඇරයුම අළුයම ලූ කෙල පිඬක් ලෙස ඉවත හෙලූ කුමාර් සංගක්කාර සකල සිරි ලංකාව සිසාරා ඇවිද ඇවිද, නුවරෑළියේ අල ගොවියන්ගේ දරුවෝ, තලවාකැලේ තේ දළු නෙලන්නියෝ, දකුණු මුහුදු තීරයේ අහිංසක ධීවරයෝ, අනුරාධපුරේ ආසනික් කන වී ගොවියෝ සහ කොළඹ කුලී කම්කරුවන්ගේ හය හතර නොතේරෙන නොදරුවෝ ඇදගෙන ඇවිත් බලහත්කාරයෙන් එන්රිකේගේ දෙවොල් මඩුවට ගාල් කරන ලද්දේ යම් සේද, අන්න ඒ වාගේම නොඑක් රසපිරි පෝස්ට් තොග ගනනින් බස්සිගේ නවාතැනේ ගාල් කරන්නටයි, මේ අළුත් අවුරුද්දේ මගේ පොරොන්දුව!


ඒ අකුරු කියවා, උරා බී, කැමැතිනම් වමාරා යලි යලිත් බුදිමින්, 'උඩට අඳින යට ඇඳුම්' පමණක් නොව 'යටට අඳින යට ඇඳුම්' වුව ගලවා රිසිසේ ප්‍රීති වුව මැනැව. හැබැයි පුතෝ! තෑගි පිණිස දෙනවානම්, යට ඇඳුමක් වුවත් අපේ ජනාධිපතිතුමාගේ උදහසට ලක්නොවන පරිදි රැපින් පේපරයක ඔතා වැදගත් විදියට පිලිගැන්වීමයි සුදුසු!





ඔබ සැමට සොම්නසින් පිරි නව වසරක් වේවා!