Monday, January 4, 2016

හඬ වෙනස්වෙන ඇම්බියුලන්ස් නළාවේ රහස


රාවය 
20 - දෙසැම්බර් - 2015





"ඔබ කලබල වීදියක් කෙළවර, බස් නැවතුමක, එහෙමත් නැත්නම් සාප්පුවක දොරකඩ රැඳී සිටිනවා. ඒ මොහොතේ ඈත සිට පැමිණෙන ගිලන් රථයක් (Ambulance) සයිරන් හඬ නගමින් ඔබව පසුකර වේගයෙන් ඇදී යනවා."


මීට සමාන අත්දැකීමකට මුහුණ නොදුන් අයෙක් දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ යුද ගැටුම් පැවති ශ්‍රී ලංකාවෙන් නම් සොයාගැනීම ඉතා දුලබයි. අද අපි කතාකරන්න යන්නේ ගිලන්රථය ගැනවත්, එය තුළ සිටින රෝගීන් ගැනවත් නොවෙයි. ගිලන් රථයෙන් නැගෙන සයිරන් නළා හඬ පිළිබඳවයි.


ගිලන් රථයේ සයිරන් නළා හඬ, ඔබ දෙසට පැමිණෙන විට නගන හඬට වඩා, ඔබව පසුකර යන විට නගන හඬෙහි යම් වෙනසක් සිදුවී ඇතිබව ඔබටත් දැනුණාද? තවත් සැලකිල්ලෙන් සවන් යොමා බැලුවොත්, සයිරන් නළාව ඔබ වෙතට පැමිණෙන අවස්ථාවේ නැගෙන හඬත්,එය ඔබව පසුකරන මොහොතේ නැගෙන හඬත්, රථය ඔබෙන් ඉවතට ඇදී යන විට ඇසෙන හඬත් එකිනෙකට වෙනස් බව නිරීක්ෂණය කරන්නට හැකිවේවි. මෙතැනදී ඔබට දැනෙන්නේ අදාළ ශබ්දයේ තාරතාවයේ (pitch) වෙනසක්.


මේ සංසිද්ධිය පිටුපස සැඟවුණු අපූරු රහස භෞතික විද්‍යාවෙන් පහදාගත හැකියි. එය හඳුන්වන්නේ 'ඩොප්ලර් ආචරණය' (Doppler effect) නමින්.


ශබ්දය ඔබ වෙතට ගමන් කරන්නේ තරංග (waves) වශයෙන්. මුලින්ම, ශබ්ද තරංග නිකුත් කරන සයිරන් නළාව, නිසලව සිටින ඔබ දෙසට චලනය වෙනවා. සයිරන් නළාව ඔබ දෙසට ලං වෙනවාත් එක්කම, ශබ්ද තරංගයේ 'තරංග පෙරමුණු'වලට (wave crests) ඔබ වෙතට ලංගාවෙන්න ගෙවා දැමිය යුතු දුර මදින් මද අඩුවෙනවා. අනුයාත තරංග පෙරමුණු දෙකක් සැලකුවොත්, පළවෙනි තරංග පෙරමුණ ඔබ වෙතට ළඟා වෙන්නට ගතකළ කාලයට වඩා අඩු කාලයකිනුයි දෙවැනි තරංග පෙරමුණ ඔබ වෙත ලඟාවෙන්නේ. මේ හේතුව නිසා ඔබ වෙතට පැමිණෙන සයිරන් නලාවේ ශබ්ද තරංගයේ තරංග පෙරමුණු, එකිනෙක 'කැටිවීමක්' සිදුවෙනවා.


ගිලන් රථය ඔබෙන් ඉවතර ඇදී යද්දී සිදුවන්නේ මෙහිම විලෝමය. සයිරන් නළාව මදින් මද ඔබෙන් ඉවතට යන නිසා පළමු තරංග පෙරමුණ ඔබ වෙත ළඟා වෙන්නට ගතකරන කාලයට වඩා වැඩි කාලයක්, දෙවන තරංග පෙරමුණට ගතවෙනවා. ඉතින්, ඔබෙන් ඉවතට ඇදී යන සයිරන් නලාවේ ශබ්ද තරංගයේ, තරංග පෙරමුණු අතර පරතරය වැඩි වී, තරංගය 'විහිදීමක්' සිදුවෙනවා.


ඔබට සයිරන් නළා හඬේ නියම තාරතාවය අසන්නට ලැබෙන්නේ ගිලන් රථය ඔබව පසුකර යන ඇසිල්ලේදී පමණයි.





ඉහත කී ආචරණය ගැන මුල්වරට ලිඛිතව සඳහන් කළේ 1842 දී ඔස්ට්‍රේලියානු ජාතික භෞතික විද්‍යාඥයෙක් වන ක්‍රිස්ටියන් ඩොප්ලර් (Christian Doppler) විසින්.


ඩොප්ලර් ආචරණය සයිරන් නළා හඬට හෝ ශබ්ද තරංගවලට සීමා වූවක් නොවෙයි. චලනය වෙන වස්තූන්ගෙන් නිකුත් කෙරෙන තරංග සම්බන්ධව ඩොප්ලර් ආචරණයේ ප්‍රායෝගික යෙදීම් ගණනාවක් හඳුනාගන්නට පුළුවනි.


වැඩි දුර යන්නට වුවමනා නැහැ. ගෙමිදුලට බැස තරු පිරුණු රෑ අහස දෙස බලා හිඳීමෙන්ම ඔබට ඩොප්ලර් ආචරණයේ යෙදීම් නිරීක්ෂණය අරඹන්නට හැකියි.


රාත්‍රී අහසේ සමහරක් තරු රත් පැහැයෙනුත්, තවත් සමහර තරු නිල් පැහැයෙනුත් දර්ශනය වෙනවා. නිල් ආලෝකයේ සංඛ්‍යාතය, රතු ආලෝකයේ සංඛ්‍යාතයට වඩා ඉහළයි. පෘථිවිය වෙතට ළඟා වෙන තාරකාවකින් නිකුත් වෙන තරංග පෙරමුණුවල හැසිරීමත්, කලින් සඳහන්කල සයිරන් නලාවේ ශබ්ද තරංගයේ හැසිරීමට සමානයි. ඉතින් එහි දෘශ්‍ය සංඛ්‍යාතය ඉහළ අගයක් ගන්නවා. ඒ නිසයි පෘථිවියවෙතට ළඟාවෙන තාරකා නිල් පැහැයෙන් දිස්වෙන්නේ. 


පෘථිවියෙන් ඈතට ගමන් ගන්නා තාරකාවලදී සිදුවන්නේ ඉහත පැහැදිලිකිරීමේ විලෝමය. රත් පැහැයෙන් එම තාරකා දර්ශනය වෙන්නේ ඒවායේ ආලෝක තරංගවල දෘශ්‍ය සංඛ්‍යාතය සාපේක්ෂව පහළ අගයක් ගන්නා නිසයි. 


සමහර විට ඔබ ඩොප්ලර් ආචරණය අත්වින්දේ ඉහත කී තරම් සුන්දර අත්දැකීමක් හරහා නොව, අධික වේගයෙන් රිය පැදවීම හේතුවෙන් වරදකරුවෙක් වූ අවස්ථාවක වෙන්නට පුළුවනි. 


රථවාහන පොලීසියේ මහතුන් ඩොප්ලර් ආචරණයෙන් බොහොම හොඳින් වැඩ ගන්නා පිරිසක්. වේග සීමා ඉක්මවූ මෝටර් රථ හඳුනාගැනීමේ උපකරනවලදී භාවිතා වෙන්නේත් ඩොප්ලර් ආචරණයමයි. මෙහිදී සිදුවෙන්නේ, පොලිස් නිලධාරියාගේ අත රැඳි උපකරණයෙන්රේඩාර් (radar) තරංගයක් අදාළ රථය වෙත යොමු කර, රථයෙහි ගැටී පරාවර්තනය වෙන රේඩාර් තරංගයේ හැසිරීම ආධාරයෙන් වේගය නිර්ණය කිරීමයි. 


ඒ වගේම ඩොප්ලර් ආචරණයට පින්සිදුවන්නට ජීවිතය බේරාගත් අයවලුන් අප අතරෙන් සොයාගැනීම අපහසු කාරණයක් නොවෙයි.වෛද්‍ය විද්‍යාවේදී, රුධිර ගලනයේ අසමානතා, රුධිර නාලවල අවහිරවීම් සහ කපාට හරහා රුධිරය කාන්දුවීම් යනාදිය හඳුනාගැනීමටත්, මව් කුස තුළ සිටින දරුවෙක්ගේ හදගැස්ම මැන බැලීමටත් ඩොප්ලර් ආචරණය උපයෝගී කරගැනෙනවා. මේ සඳහා උපයෝගී කරගන්නේ අතිධ්වනි තරංගවල (Ultrasound waves) චලිතයයි.


ඩොප්ලර් ආචරණයෙන් වැඩ ගන්නා සතුන්ද සිටිනවා. වවුලා ඉන් එකෙක්. වවුලන් පියාසැරියේදී අතිධ්වනි තරංග නිකුත් කරනවා. එම තරංගවල හැසිරීම අනුව, පියඹායන මාර්ගයේ ඇති බාධක හඳුනා ගැනීමටත්, ගොදුරු කරගත හැකි කෘමි සත්තුන්ගේ ගමන් මාර්ගය නිර්ණයකිරීමටත් උන්ට පුළුවනි. පරාවර්තිත ශබ්දයෙන් පිහිටීම නිර්ණය කිරීමේ මෙම උපක්‍රමය හඳුන්වන්නේ echolocation නමින්.


ආලෝක වර්ෂ ගණනාවකට එපිටින් නිවෙන දැල්වෙන තාරකාවකින් නිකුත් වෙන ආලෝකයේත්, ඇඟේ ගැටී නොගැටී වේගයෙන් ධාවනය වෙන ගිලන් රථයක සයිරන් නාදයේත්, අන්ධ වවුලෙක් අතරමං නොවී කැදැල්ල වෙත පියාසැලීමේත්, අධික වේගයෙන් රිය පදවනයුරු පොලිස් නිලධරයාට 'අතේ මාට්ටු' වීමේත් පසුපස ඇත්තේ එකම රහසක් බව දැන් ඔබට වැටහෙනවා ඇති. සමහර වෙලාවකට, ඉතා සංකීර්ණයැයි අපි හිතන ඇතැම් දේ මොනතරම් සරලයිද?




69 comments:

  1. ඩෝප් ආවරණය.. සොරි ඩොප්ලර් ආවරණය ගැන නියමෙට විස්තර කරල තියනව.

    ReplyDelete
    Replies
    1. අපිත් ඒ/ලෙවල් ක්ලාස් යන කාලෙ කිව්වෙ ඩෝප් ආචරණේ කියල.
      තැන්කූ ප්‍රසන්න අයියෙ!

      Delete
  2. හොඳ ලිපියක්., යමක් ඉගෙනගත්තා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඉයන්!

      Delete
  3. Replies
    1. හප්පටසිරි!
      මෙහෙ පාරක ගියොත් අනිවා අහයි "තාත්තා සයිරන් එකක්ද?" කියල.

      Delete
  4. වටිනා ලිවිල්ලක්.. ඒ වගේම භාෂා භාවිතාවත් ඉහලයි.. ජය වේවා බස්සි..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දේශා!! :)

      Delete
  5. යමක් ඉගනගත්තා … විශිෂ්ටයි බස්සි මචං..
    රෙෂ්පට් හොඳම එකෙන් !!!!

    ReplyDelete
    Replies
    1. තැන්කිව් වේවා පත්තරේ!

      Delete
  6. ඩොල්පීන් පාවිච්චි කොරන්නෙත් මේකමද? මේක ප්‍රින්ට් කරලා පංතියේ බෙදුව නම් ටියුශන් සර්ලා ධ්වනිය ගොඩ දානවා එකෙන්ම..
    (පත්තරේ ලිපිය දැක්කම පොඩි කික් එකක් ආවා සිරාවටම.. සංතෝසයි හොඳේ..)
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. තැන්කූ පැපෝ!

      පත්තරේනම් ලිපි කිහිපයක් ගියා ඒත් ඒවා බ්ලොගේ දැම්මම එව්වා මෙව්වා අහගන්ට වෙනවනෙ "දැන් බ්ලොග අමතක කරලා", "අපිට දෙන්නෙ පත්තරේ දාපු, කල්පැනපු ලිපි" වගේ චෝදනා. ඒ නිසා ඉඳහිට බ්ලොගේ දාන්නෙ ඒවා.

      Delete
    2. ඔන්න ඕක තමා බසිසියෝ හදාගන්න ඕන එක. නොසැලීම.. අරව මේවා කිව්ව කියල නොතැවෙන්. උඹට හරි යන වැඩේ කරහං.. කොයි තරං හැකියාව තිබුනත් තිරිහං වෙන්න නං අවලාද, විවේවන, අපහාස අත්‍යාවශ්‍යයි.. ඒවායින් ව්‍යුත්පන්න ලෝකයක් නෙමෙයි නේ මේක.. තේරුං ගනිං.. අනේ මන්දා මේ බෙට්ට් නං.. හැක්

      Delete
    3. //තිරිහං වෙන්න නං අවලාද, විවේවන, අපහාස අත්‍යාවශ්‍යයි..//

      එහෙම තිරිහන් වෙනවද මිස්ටර් ලෙක්චරර්? මාතලන් දැන් කිරි සප්පයෙක් වෙලා ඇති නේ?

      Delete
    4. ඔතන "හ" යි "ස" යි ටැපලිලාද දන්නේ නැහැ, නේද...

      Delete
    5. මේකනේ මිස්ටර් ප්ප්ප්රා.. මාතලංට වෙන්නේ වෙනම කේස් එකක්.. තිරිහන් වෙනවා වයසට යනවා. ඇයි වදේ ලැබෙන බැනීමෙන් උපයාගන්න දේ, අනිත් පැත්තට අම්ම මෝ නැතිව කියල ඒකා විනාශ කරගන්නවා.. හැක්.. මෙන්න මේ වගේ සීන් එකක්.. රසකතා හැක් හැක්..

      Delete
    6. හිහී! තැන්කිව් දේශා... එහෙමනම් ඔන්න මේ එක්කම නත්තල් සීයා ලිපිය දානව. මොකෝ මට මේ ටිකේ ලියන්න ටිකක් අමාරුයි

      Delete
  7. අගෙයි බස්සි..........

    ReplyDelete
  8. දැනුමට යමක්
    ජයවේ බස්සි!

    ReplyDelete
    Replies
    1. තැන්කිව් වර්ණ මල්ලි!

      Delete
  9. බස්සියෝ මේ විද්‍යා පැත්තට බර ලිපි තව ටිකක් දාපියෝ.

    ReplyDelete
    Replies
    1. තව ඩ්‍රාෆ්ට්වල තියනව මදුවෝ. හෙමීට දාන්නම්.

      Delete
  10. අක්කේ එම්බියුලන්ස් එකේ සද්දේ මුලික තිවුරතා මට්ටම් 2කකට නේද හදල තියෙනේ සුර සිටින කෙනාට වගේම ලග සිටින කෙනාටත් හොදින් ඇහෙන්න...කොච්චි වල නලා 2කක් එකට හයි කරන්නේ..කෙටි මොකක්ද එක සහ දිග මොකක්ද එක සහිත නලා..පිසික්ස් මෙලෝ දානයක් මතක නෑ කියන්නකෝ

    ReplyDelete
    Replies
    1. ඇම්බියුලන්ස් නලාවේ සම්පූර්ණ විස්තරේ මටත් හරියට මතක නෑ මල්ලි. හොයා බලලා ලියන්නම්කො

      Delete
  11. ඒ ලෙවෙල් ෆිසික්ස් පාඩමක් මතක් කරාට ස්තුතියි! ඩොප්ලර් ආචරණය තමා මම මුලින්ම ඉගෙනගත්ත ෆිසික්ස් පාඩම් වලින් එකක්. ඒ ලෙවල් එන්නත් කලින්. 8 වසරේදී. ඕක මම ඉගෙනගත්තේ තාරකා විද්‍යාව සම්බන්ධ කටයුතු වලදී. ඒ කියන්නේ, මේ විශ්වය ප්‍රසාරණය වෙනවා නේ. ඉතිං, විශ්වයේ තියන මන්දාකිනි එහෙම සමහරක් අපෙන් ඈතට යනවා. ඒවායින් අපිට ලැබෙන ආලෝකය රතු පැත්තට බර වෙනවා. ඒ කියන්නේ Red shift එකක්. ඒ වගේම, අපි දිහාට එන ඒවගෙන් එන ආලෝකය නිල් පැත්තට බර වෙනවා. ඒ කියන්නේ Blue Shift. ඔය අගය මැනලා, තව නියමයන් දෙකක් (මම වැඩි දුර විස්තර කරන්න යන්නේ නෑ. බස්සි දන්නවා ඇති මේ ගැන මට වඩා) යොදාගෙන, ඒ වස්තුන් අපෙන් කොච්චර ඈතින් තියනවද, කොච්චර වේගෙකින් අපෙන් ඉවතට යනවද (නැත්තම් අපි දිහාට එනවද) කියන එක ගණනය කරන්න පුළුවන්. අපිට අල්ලපු මන්දාකිනිය වන Andromeda මන්දාකිනිය, අපේ Milky Way මන්දාකිනිය දිහාට එමින් තියන්නේ. තව අවුරුදු බිලියන 12ක විතර කාලයකට පස්සේ මේ දෙක එකට එකතු වෙලා විශාල තනි මන්දාකිණියක් හදනවා..! මේ වගේ දේවල් ඔය ඩොප්ලර් ආචරණය පාවිච්චි කරලා කියන්න පුළුවන්..

    ReplyDelete
    Replies
    1. පුෂ්ප කසාඳයයි මම ඇම්බියුලන්ස් පාට් එක කියවල ඇවිල්ල ටාර් ගාලා කමෙන්ට් එකක් දැම්මා. බස්සි ඒ ටික යටින් කියල නේ.. මම පෝස්ට් එක බාගෙට ලෝඩ් වෙද්දී කමෙන්ට් එක ටයිප් කරේ.

      Delete
    2. අගහරුවා අදුරගැනීම සතුටක් ඔයත් මo වගේ

      Delete
    3. ඕමා- මම නම් මීට කලින් අක්කගේ බ්ලොග් එක පැත්තෙත් ඇවිල්ල තියනවා. 2013 විතර. ඊට පස්සේ එක පාරට මට ඒකට ඇක්සස් නැතුව ගියා..

      Delete
    4. තැන්කිව් අඟහරු මල්ලී!

      Delete
    5. ඔමා ඔයත් මං වගේ කිව්වෙ මේ බාගෙට කියෝල කලබලේ කොමෙන්ට් කරන එකටද? :P

      Delete
    6. නැහැ බස්සි මo අදහස් කලේ ඉස්කෝලේ 8,9 කාලේදී මන් ගොඩක් ආස කලා තාරකා විද්‍යාවට. කලබලේ කමෙන්ට් කරන පිස්සුවක් මට නෑ

      Delete
    7. ":P"
      විහිලුවක් කලේ. :)

      Delete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. බස්සි ඔයා හොදට විස්තර කරලා තියෙනවා. මේ ගැන මාත් අගහරුවා වගේ ඉස්කෝලේ 8,9 කාලේ කියෝලා දැනගෙන හිටියා.

    ReplyDelete
    Replies
    1. ලිපි ලියන්නේ බහුතරයක් වුන නොදන්නා අය දැනුවත් කිරීම වෙනුවෙන් නෙ ඔමා. ඔයා ආයෙම තාරකා විද්‍යා ලිපි මාලාවකින්වත් 2016 අවුරුද්දේ ලිවීම පටන් ගන්නකම් මම මග බලන් ඉන්නවා හොඳේ...

      Delete
    2. ඔයා මගබලන් හිටියට වැඩක් වෙන්නේ නෑ බස්සි.මo ඒ ගැන ලිපි ලියන්නේ නෑ.ලියලත් නෑ මන් කිවුවේ මේ කරුණු මo කලින් ඉගෙනගෙන තිබ්බා සහ දැනගෙන හිටියා කියලා විතරයි.මටත් විකාර කියෝලා නිකන් ඉන්නේ නැතුව කමෙන්ට් දානවට.

      Delete
  14. සරලව විස්තර කර ඇති හොඳ ලිපියක් බස්සි.

    ReplyDelete
  15. තේරුණාද මංදා බං.

    ReplyDelete
  16. ඒකත් ඒමද බස්සි අක්කෙ?

    ReplyDelete
  17. එල ඈ.. හොද පැහැදිලි කිරීමක්... මෙන්න මේ වගේ අපිටත් ඔය ඉක්කෝල කාලෙ කියල දෙන්න උං හිටිය නං සෑන්ස් ඇලජික් නොවෙන්න තිබ්බ
    ජයවේවා

    ReplyDelete
  18. AL ෆිසික්ස් පංතිය මතක් උනා. ෆිසික්ස් වල මම කැමතිම කොටසක් ඕක.

    ReplyDelete
    Replies
    1. මාත් ෆිසික්ස්වල කැමති කොටසක් මේක. :)

      Delete
  19. ඔන්න ඕවා අත ඇරලා දාල පිසික්ස් පන්තියක් දා ගනින් බං අක්කේ

    ReplyDelete
    Replies
    1. පව් බන් විභාගෙට යන ළමයි. :D

      Delete
  20. හප්පේ මෙහම උගන්නනවනම් කාටද ඉගන ගන්න බැරි...ඒකට අපේ ස්ර් කාරයා...

    ReplyDelete
  21. ///රථවාහන පොලීසියේ මහතුන් ඩොප්ලර් ආචරණයෙන් බොහොම හොඳින් වැඩ ගන්නා පිරිසක්. වේග සීමා ඉක්මවූ මෝටර් රථ හඳුනාගැනීමේ උපකරනවලදී භාවිතා වෙන්නේත් ඩොප්ලර් ආචරණයමයි.///

    මේවට නම් විසඳුම් තියෙනවා, ඌ එවන සිග්නල් එක විකෘති කරලා ආපහු ඌට යවනවා, එහෙම නැත්නම් ඌව බ්ලයින්ඩ් කරලා දානවා වගේ චා කරන දේවල්...
    වැඩේ කියන්නේ එව්වා ටිකක් ගණන්...
    තව තියෙනවා පොලෝසිය අපේ වාහනේට ඕක අල්ලන්න ගොඩක් කලින් එහෙම මැසිමක් අල්ලනවා කියල ඩිටෙක්ට් කරගෙන අපිට ස්ලෝ කරන්න කියල විධාන දෙන පොඩි උපකරණ එහෙමත්...
    ලාභ එව්වා ඩොලර් 20 ට වගෙත්, හොඳ සහ නිවැරදිම එව්වා ඩොලර් දහස ඉක්මවා පවා මිලදී ගන්න ඇහැකි...

    මම 1999 ඉඳලා, අද දක්වා බයිසිකල් වල ඉඳලා රෝද හතරේ වාහන දක්වා පාවිච්චි කරලා තියෙනවා...
    එක දඩයක්වත් ගෙවල නැහැ, නමුත් වැරදි තුනක් සඳහා රුපියල් 2,500/- ක් එතනදීම ගෙවල ඇවිත් තියෙනවා...
    ඒ (500/- + 1,000/-, 1,000/-) වශයෙන් පිලිවෙලින්...
    පළමුවැන්න 2012.12.27 මන්නාරම් ගිහින් එද්දී අනුරාධපුර සහ කුරුණෑගල අතර තැනකදී, ඉරි දෙකක් පටන් ගන්න තැනක එක ඉරක් ළාවට රෝදේ ගෑවුනා කියලා (ඒකනම් හරියට අර පොඩි කාලේ බට්ටෝ පනිද්දී ඉරි කැපෙනකොට අවුට් වෙනවා වගේ කේස් එකක්)...
    දෙවැන්න 2013.02.25 යාපනේ යද්දී හලාවත කිට්ටුව, හයි ස්පීඩ්...
    තෙවැන්න 2015.11.23 මාතර නිල්වැල්ලේ ගිහින් එද්දී, දික්වැල්ල කිට්ටුව...

    ඉතින් මේ වියදම් එක්ක බැලුවම අර වගේ මැසිමක් ගන්න එක පාඩුයි...

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට මේ බ්ලොගේ රථවාහන පොලීසියෙ අයනම් කවුරුත් කියවන්නෙ නෑ මයෙ හිතේ. හැබැයි එයාලත් දන්නව ඇති නේද ඔව්වා?

      ජීවිත කාලෙටම දඩ තුනයි කියන්නෙ අනේ අර උපකරණෙ හොඳ ආයෝජනයක්නෙ ලොකූ.

      Delete
    2. මට නම් එක කිසි පාඩුවක් නෑ.2005 ඉදන් මමත් වාහන පදිනවා..2010 තමා ලයිසන් ගත්තේ ඒ වෙනකන් එක දවසක් ආසාවට නවත්තලා නෑ පොලිසියෙන්..එදා ඉදන් අද දක්වා හයි ස්පීඩ් අල්ලලා ගෙවල තියෙන ගාන එකතු කරා නම් ත්‍රිවීල් එකක් ගන්න තිබ්බ..රියදුරු බලපත්‍රයේ නැති පන්ති ඔක්කොමත් එලොනවා ඒවාට අල්ලලා නෑ කවදාවත්..හයිස්පීඩ් මයි අල්ලලා තියෙන්නේ..කරුමේ කියන්නේ හයි වේ එකෙත් හයි ස්පීඩ් අල්ලනවා නෙහ් මාව..ගිය මාසේ ඇල්ලුවා 180 මීටරේ තියෙන වාහනයක 183ට ගියා කියල..කරුමේ නෙහ් කියල වාද කරන්නේ නැතිව කොලේ අරන් 1000ක් ගෙවල ලයිසොම ගත්තේ

      Delete
    3. @ බස්සි
      මම අර අයිටම් එක අරගෙන නැතුවයි අඩුවෙන් දඩ කාල තියෙන්නේ, හොඳ ළමයෙක් වගේ වාහන පදින නිසා වෙන්න ඕනේ දඩ අඩු...
      ලංකාවේ නීතිය අනුව මේ අයිටම් එක තහනම් නැහැ...
      මොකද නීති හදන එව්වෝ මේවා ගැන දැනුවත් නැතුව ඇති මයේ හිතේ, ගොඩක් රටවල තහනම තියෙන්නේ පොලිස් සිග්නල් වලට බාධා කරන උපකරණ මිසක් උන් ඉන්න බව දැනගන්න තියෙන එව්වා නෙමෙයි...
      හැබැයි ඒ රටවල හැංගිලා ඉඳල හයි ස්පීඩ් අල්ලන පොලිස් කාරයොත් නැහැ...

      @ ආචාර්ය
      ඔහේ වහාම මෙයින් අයිටම් එකක් ගන්න එක ශරීර සෞඛ්‍යයට හොඳයි වගේ...
      මම දන්න යාළුවො ගොඩ දෙනෙක් ඔව්වා හයි කරගෙන ඉන්නවා උන්ගේ වාහන වලට...

      Delete
  22. නෙල්ලි බස්සි...හැම රසයක්ම
    පලවෙනි පාර ටිකක් තේරුනා මදි ආයි කියවන්නම් බස්සි‍යෝ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සබරේ!

      Delete
  23. නත්තල් කේස් එකත් මරු... ඒක දැම්මේ නැද්ද? මං මේ ඒකට කමෙන්ට් එකක් දාන්න බලාගෙන ඉන්නේ

    ReplyDelete
    Replies
    1. දානවා දානවා. සතියක් විතර පහුවෙලා දාන්න ඉන්නෙ උඩුවා.

      ඒකෙ තව නොලියපු කෑල්ලක් තියනවා. අර හිමයානෙ පොළවට බාන වේගෙත් එක්ක ආපස්සට යොදන බලය නිසා නත්තල් සීයා සීට් එකට තදවෙලා චප්පයක් වෙලා මැරිලා යන්නත් පුළුවනි. ඒ කෑල්ල විස්තර කරන්න ගොඩාක් දිගට ලියන්න වෙන නිසා ඒ ටික අතෑරලා දැම්මා.

      Delete
  24. එපා කරපු පාඩං ආයේ මතක් කොරන්න එපා බොල...

    අගෙයි ඈ...

    ජ ය වේ වා !!!

    ReplyDelete
  25. විත්තරේට ඉත්තුතියි

    ReplyDelete
  26. මුද්‍රිත මාධ්‍ය වල කියවා තිබුනත්, විද්‍යුත් මාධ්‍යයක, සිංහලෙන් ලියන ලද, මෙවැනි ලිපියක්, පළමුවරට දැක්කේ අදයි.

    බොහොම ස්තුතියි ඔබට.

    ReplyDelete
  27. මේවට තමයි නරලොව හොල්මන් කියන්නේ. අනුන්ගේ ලිපියක් අරන් කොපි කරලා දාපු ඒවාට කොමෙන්ට් කරන්න හැටහුටහමාරක් ඉන්නවා. තමන්ම යමක් හොයාගෙන දාන බ්ලොග්වලට මොකෙක්වත් කොමෙන්ට් කරන්නේ නෑ. කොහොමත් බ්ලොග් ලෝකේ තියෙන්නෙ කල්ලිවාදයක්. බ්ලොග් සම්මාන උළෙලත් එහෙම නේ. එකම කට්ටියක් සංවිධානය කරලා ඒ ගොල්ලන්ටම සම්මාන දී ගන්නවා. මේ පෝස්ට් එක දාපු බස්සි, මේවාට කොමෙන්ට් දාන අය, මාතලං, පැරා ආදී සියල්ල මේ එකම ගැන්සියේ. මේවගේ වැඩ හොදයි කොන්ඩේ බැදපු චීන්නුන්ට.

    ReplyDelete
    Replies
    1. //අනුන්ගේ ලිපියක් අරන් කොපි කරලා දාපු ඒවාට කොමෙන්ට් කරන්න හැටහුටහමාරක් ඉන්නවා// මෙතන අනුන්ගේ ලිපියක් යනුවෙන් ඔබ අදහස් කරන්නේ ඉහත දක්වා ඇති රාවය පුවත්පතේ ලිපිය නම්, බස්සි යනු එම ලියුමකාරියම බව ඔබ නොදන්නා හැඩයි.

      Delete