Thursday, May 29, 2014

ලස්සන වීමේ රහස් මංජුසාව






කෑම පාලනය ගැන අපූරු බ්ලොග් පෝස්ට් දෙකක්ම මම කියවල තිවුන. එකක් දිනේෂ් අයිය ලියාපු උපදේශාත්මක පෝස්ට් එකක්. අනික ඩූඩ් අංකල් ලියාපු විනෝදාත්මක ලිපියක්.


සාමාන්‍යෙන් කටු කනකොට වෙන්න ඕනෙ කෙට්ටු වෙන එක නෙව. ඒත් ජොබ් කට්ට කන්න පටන් ගත්තු දා ඉඳන් බස්සි ඉතා සීග්‍රයෙන් මහත් වෙන්න පටන් ගත්ත.

පිම්බුනා පිම්බුනා පිම්බුනා.


ඉස්සර කියවාපු මනමැවි කතන්දර වල වගේ අන්තිමේදි පිම්බිලා පිම්බිලා පිපිරුනොත්!! බස්සිට බය හිතුනා.

ඉතින් බස්සිට උවමනා උනා කෙට්ටු වෙන්න.


ඒත් කාලයක් යනකොට මට තේරුනා මම මේ අනුගමනය කරන්නෙ ඩූඩ් අංකල්ගෙ පෝස්ට් එකේ දීල තියන උපදෙස් ටික නේද කියල.


තෙල් කෑම, පැණි රහ කන්නෙ නෑ නෑ නෑමයි කියල හිතාන සතියක් ඉන්නව. සතියක්ම හිටියනේ කියල හිත හදාගෙන චොකලට් දුසිමකට විතර එක දවසින් වැඩේ දෙනව.

උදේට බර ආහාර නොගෙන යෝගට් කනව සතියක් විතර. ඒත් කඩේට එවෙලෙ ගෙනාපු පේස්ට්‍රි දුම් දදා තියෙනව දැක්ක ගමන් ප්ලෑන චකබ්ලාස් වෙනව.

මගින් බැහැල ඔෆිස් එකට ඇවිදන් යන්න හිතනව. පරක්කු වෙලා බව දැක්කම ටුක්ටුක් එකකට නගිනව, වෙනද පයිං යන ටිකවත් යන්න බැරි වෙනව.


මේක මහ අපලයක්. මගෙ හිත කිවුව.


ඒ ගමන මම හිතුව ඉස්සර අලි පැටියෙක් වගේ ඉඳල කෙට්ටු උනාය කියන කුමාරිකාවකගෙන් උපදෙසක් ගන්න. එයා ජීවත් වෙන්නෙ කලු සහසුදු මිටියාවතේ කියල අපේ පහල ඇළේ ඉන්න කිඹුලියෙක්ගෙන් මට ඔත්තුවක් ලැබුන. ආරංචියේ හැටියට එයා ගාව තියෙනවා ලස්සන වීමේ රහස් මංජුසාවක්.


අනේ ඉතින් බස්සියා සෙනසුරාදා උදේ රැයින් පිටත් උනා ඒ කුමාරිකාව මුණගැහෙන්න. රහස් මංජුසාව ඉල්ල ගන්න පුලුවන් උනොත් කොයිතරම් දෙයක්ද! දම් පාට වයිබර් යානාවක නැගල තමයි ගමනට පිටත් උනේ.


ඔන්න ඉතින් උදේ අට වෙනකොට කලු සහ සුදු මිටියාවතට ලෑන්ඩ් කලා කියමුකෝ.


කුමාරිකාව ඇවිල්ලා "හලෝ මචී" කියල බොහොම ආදරෙන් මාව පිළිගත්ත. මං අහන්නත් කලින් රහස් මංජුසාවත් අරගෙන ආව.






"මේකෙ තියෙන්නෙ මම ම හදාගත්තු බෙහෙතක්." කුමාරිකාව කිවුවා.


ඉන් පස්සෙ සීරුවට  මංජුසාවෙ පියන ඇරිය. ඒත් එක්කම ආපු සුදුම සුදුපාට මීදුම් වළාකුලක් නිසා මගෙ ඇස් දෙකත් වැහුන. ඇස් අරිනකොට දැක්කෙ එයා මංජුසාවෙන් ගත්තු ඉන්ඩිගෝ පාට දිලිහෙන පවුඩර් කුඩක් සුදු කඩදාසියකින් ඔතනව.






කඩදාසිය පරෙස්සමට ඔතල මට දුන්නු කුමාරිකාව මෙහෙම කිවුව.



"දැන් පරෙස්සමට ගෙදර යන්න. ඕක බොහොම වටින බේතක්.
මේකෙ රසායනය හරිම අමුතුයි.
බෙදන්න බෙදන්න වැඩිවෙනවා.
එකතු කරන්න එකතු කරන්න අඩු වෙනවා."




මමත් ඉතින් ස්තූතියි කියල ආචාර කරල ගෙදර එන්න පිටත් උනා.


පහල ඇල ගාව වංගුවෙන් හැරෙනකොටම මට ඇහුනෙ ගෙම්බෙක්ගේ බක බකය.







"අන්න බලපං කිඹුලි, උඹට දුන්නෙ නැති බෙත අර අලි  කුමාරි බස්සිට දීල. දැක්කද? ඕකුන් පාප මිත්‍රයො කිඹුලි. උඹ දුක්වෙන්න එපා මම ඉන්නව උඹත් එක්ක. අපි හොඳ පාඩමක් උගන්නමු."


අනේ! මාව දැක්ක විතරයි බයවෙච්ච ගෙම්බා "ජබෝස්!" ගාලා ළඟම තිබුන මඩ වලකට පැන්න. හැබැයි කිඹුලි ගේම අතෑරියෙ නෑ.


"දීපන් මටත් බේත! දීපන්!" කිය කියා වතුරෙ පාවෙනව මෙන්න මේම.





ඒ උනාට එහෙම ඉල්ලපු ගමන් දෙනවද මෙහෙම වටින කියන දේවල්. මම කොහොමහරි කිඹුලිගෙන් බේරිලා ගොඩවුනා බස්සිගේ නවාතැනට. හෙමිහෙමින් කඩදාසිය දිග ඇරල බැලුව.


අනේ!!


අර ඉන්ඩිගෝ පාට කුඩු ටික අතුරුදහන් වෙලා!

ඒ වෙනුවට කඩදාසිය පුරා ඉන්ඩිගෝ පාට වැල් අකුරෙන් මෙහෙම ලියැවිලා තිබුනා.



අවශ්‍ය ද්‍රව්‍ය



ආදරේ කිලෝ 100 යි

කරුනාව කිලෝ 67 යි

හිනාව කිලෝ 703.5 යි

කඳුලු බිංදු 51 යි

උම්මා 1,000,000,000,000 යි




මේවා සේරම එකට කලත්තලා
උදේට 
දවල්ට 
රෑට 
බොන්න.

බත් ගිලින එක අඩු කරල,

එළවලු චුට්ටක් රෑට තම්බන් කාල,

සින්දුවක් අහල,

චුට්ටක් නටල,

හොඳ.....ට දොයියගන්න.




හිතේ කරදර සේරම අමතක කරල දාන්න.

කවුරු මොනව කිවුවත්, කලත්

හිතේ තරහක් නම් තියා ගන්න එපා.

තරහ ඇති උනොත් බෙහෙතෙ බලේ නැතුව යනව.




සතුටින් ඉන්න.

හදවත ලස්සනයි නම්

අපිට මුලු ලෝකෙම ලස්සනට පෙනේවි.





ඔන්න ඕක තමයි ඒ රහස් මංජුසාවෙන් ගෙනාපු බෙහෙත. 


ඉතින් ඕක ගෙනාපු දා ඉඳන් අර ගෙම්බයි කිඹුලියි දෙන්න ඉඳගෙන මට වද දෙනව මංජුසාවෙ තියන රහස් බේත කියන්න කිය කියා.






බැරිම තැන මම සද්දයක් දාල අඩි හැප්පුව.

"මේ සතිය අග කියන්නම්! ඉවසල හිටපියව්!!"

බයවුන පාර ගෙම්බ උඩීන් ගිහින් වැටුනෙ ත්‍රිකුණාමලේ තල් රා මුට්ටියකට. කිඹුලි සුරුස් ගාල ගං ඉවුරෙ තිවුනු බිලයකට රිංග ගත්තා.



"මේකෙ රසායනය හරිම අමුතුයි.
බෙදන්න බෙදන්න වැඩිවෙනවා."


දැන් බලා ගන්න පුලුවන් ඒ කතාවේ ඇත්ත නැත්ත.




Monday, May 26, 2014

කමාන්ඩෝ පිහියක සුරතාන්තය


 



සිපගතිමි පළමුව ඇගේ ගෙල
කිතියටද මන්දා,
මගෙන් මිදිලා දුවන්නේ ඇය
කොලුකමට පස්සෙන් ගිහිල්ලා,
පපු පෙදෙස සිප ගතිමි දෙවරක්


දරන්නට බැරි තැන සෙනෙහෙ බර,
එතැන  එහෙමම වැතිරුනා ඇය,
ඇගෙ බරට මගෙ
මුවද ඇදවිය


ආදරේ උතුරනා හින්දයි
ඇදවෙලා ගිය මුව කෙලින්  කර
පිටට දුන්නේ හාදු වැස්සක්
ආදරෙන් සියොළඟම වෙවුලා
සෙමෙන් අඩවන් කලා ඈ නෙත්


උච්චවස්ථා ශිථිලභාවෙන්
නිසලවම වැදහුන්නීය ඇය
එයින් ආනන්දයට පත්වී
සුරතාන්තෙක මිහිර ලැබුවෙමි


මොහොතකින් මා ඇගෙන්  මුදවා
නාකන්ද  ඇළ පතුලෙ දැම්මේ
කොහෙන් ආ පරයෙක්ද ඕකා?
ඇවිලුනි හදිසි කෝපය


එල්ලපල්ලා ඕකව!!!




ප.ලි.

තේරුනේ නැති කෙනෙක් ඇත්නම් මෙතනින් ගිහින්  බලන්න.





Friday, May 23, 2014

නා කපනා වැහි වැටෙන වෙලේ - මට ඉන්නට බෑ නිසංසලේ




ෆෝන් එකේ එලාර්ම් එක  අතපත ගාල ඕෆ් කලේ කේන්තියෙන්. ඊයෙ රෑ ඉඳන් වැටෙන චුරු චුරු වැස්ස  තාමත් ඉවරයක් නෑ. ඇස් දෙකට මහන්සියි. පැය හතරක් එක දිගට නිදාගත්තත්, තවමත් ඇස් දෙකට කාන්දු වෙන්නෙ හිතේ මහන්සිය වෙන්න ඕනෙ.


"මට අද නිවාඩුවක් දාන්න හිතෙනව බන්."

"එකපාරටම."

"මගෙ හිතට මහන්සියි බන්"

"හෙහ්! හිතට? උඹට පිස්සු යකෝව්! උයන්නැද්ද අද?"



මගේ අලුත් රූමා. ඒකාකාර ජීවිතෙන් කොහෙත්ම විඩාවට පත් නොවෙන, ඇඳුම්, සපත්තු, පාට පාට ගමන්මලු, අමුතු හෙයාර් කට්, මේක් අප් වගේ දේවල් වලින් සැනසෙන මගේ සරල සුන්දර යෙහෙළිය. පාන්දර එක දෙක වෙනකම් මම හිත අකුරු කරද්දි, ලයිට් එක ඕෆ් කරපං කියන්නෙවත් නැතුව බියුටි ස්ලීප් එක ගන්න මගේ අලුත් මිතුරිය. මගේ පොත් කියවිල්ල, කුරුටු ගෑවිල්ල, හීන කල්පනා මටම ආවේණික මේනියාවක් විදියට දකින සරල කෙල්ල.



ඇයි මට එහෙම වෙන්න බැරි?  
හැම තත්පරේකම හිත ඇතුලට කිමිදි කිමිදි මම මොනවද මේ හොයන්නෙ?



එළියට බහිනකොට වැස්ස පායලා තිවුනත්, වරුසාවෙන් පස්සෙ කෝච්චි සිග්නල් වලට අත්වෙන ඉරණම ගැනත්, ආයෙත් අකුරට වැඩ කරන්න ගත්තු කෝච්චි රියැදුරන් ගැනත් මතක් වුන නිසා මම බස් එහෙකට නැග්ගා.





ආමර් වීදිය පහු කරද්දි ආයෙමත් මොර සූරන වැස්ස. කොටුවෙන් බැහැලා ටුක් ටුක් එකක නැගල ඔෆිස් එකේ දොරකඩින් බහින හැටි මට තත්පර කීපයක් ඇතුලත මැවිලා පෙනුන.

ඒත්...

වෙනදා බහින තැනට හෝල්ට් හතර පහක් තියෙද්දි මම දඩි බිඩියේ බස් එකෙන් බැහැ ගත්තා.



අලුතෙන් සිමෙන්ති කැට අල්ලාපු පදික වේදිකාව දිගේ වේගෙන් ගලාගෙන යන වතුර පාර. පාර දෙපැත්තෙ කඩවල් අස්සට ගුලිවෙලා වැස්ස පායනකම් බලාන ඉන්න ගෑණු,මිනිස්සු. පාර ලිස්සනවා ඇති කියල හිතුනත් එහෙම නෑ. බස් එකෙන් බහිද්දි බාගෙට දිග ඇරගත්තු කුඩේ සම්පූර්ණයෙන් ඉහළගත්තෙ හිත වහල දාල මොළෙන් දුන්නු අණ පිළිපැදීමක් විදියට.



මගේ පොඩි කුඩේ අහසින් වැටෙන බර වතුර බිංදු වලට ඔරොත්තු දෙන්නෙ නැති බව දැනෙනකොට හිතට ආවෙ ලොකු සතුටක්. හුළඟත් එක්ක ඇඟේ වැදෙන වැහි පිණිති වලට තෙමෙන්නෙ විඩාබර හිත. පාර අයිනෙ වතුර බොර පාටයි. ඒත් පදික වේදිකාව උඩින් ගලාගෙන යන වතුර පාර පැහැදිලියි, වේගවත්. රබර් සෙරෙප්පු දෙකක් දාගෙන එන්න තිබුනානම් වතුර පාර කකුල්වල වැදීගෙන ඉදිරියට ගලාගෙන යන අපූරුව විඳගන්න තිබුනා.





තෙමිච්ච පූස් රාළ කෙනෙක් පාර අයිනෙ ටකරමක් ඇතුලට ගුලි වෙලා වැස්ස දිහා බලාගෙන ඉන්නවා. සීතලට උන්දැගේ මවිල් පිම්බිලා.



බස් වලින් පනින ගෑනු මිනිස්සු දුවගෙන යන්නෙ කඩපිලක හෙවනට. කුඩේකට මුවාවෙලා ඔලුව බේරගන්න අමාරුයි. ඇසිඩ් මුහුවෙච්ච වැස්ස. කොළඹ වැස්සට තෙමෙන්න එපා කියලයි තාත්ත කියන්නෙ.



කහඉර ගාවට ආවම ඇස් දෙකේ සතුටු අකුණක් ගැහුවෙ එතැනින් ගලා යන වතුර පාරට සපත්තු තෙමෙන බව දැක්කමයි. වේගෙන් ගලාගෙන යන වතුර පාර මැද්දෙ පරෙස්සමින් උස අඩි සීරුමාරු කලේ ආසාවෙන්.



වටරවුමෙ බෝගන්විලා පඳුරු හිනාවෙනව. හෙවනක් හොයන්නෙ නැති මල් පැලයක් වගේ මටත් කුඩේ වීසි කරල දාල මේ වැහිපොද වලින් හිත හෝදල අරින්න ඇත්නම්.....



අකුරට වැඩ උනාට පහළින් කෝච්චියක් මරදාන ඉස්ටේසම දිහාවට ඇදෙනව පේනව. මං වැස්සෙ පාලම උඩ හිටගෙන කෝච්චිය යන දිහා බලන් ඉන්නව. දූවිල්ලෙන් වැහිල තිවුන රේල් පීලි වැස්සට හේදිලා දිලිසෙනව. වැහි වතුරට පෙඟුන කෝච්චි පාර දිගේ අනන්තය වෙනකම් ඇවිදන් යන්න ආසාවෙන් මගෙ හිත දඟකරනව.



ඈත අහසෙ ඉඳන් පාලමේ වැටේ වැදෙන වැහි බිංදු කෑලි කැඩෙනව. හීන් වතුර බිඳිති ඇඟේ වදිද්දි සියුම් වේදනාවක් එක්ක අමුතුම මිහිරක් දැනෙනව. මම පාලමේ වැටට තවත් කිට්ටු වෙලා ගමන් වේගය බාල කරනව.





කහ ඉරක් නැතුවම මම පාර පනිනව. වේලිලා තිවුන කකුල් ආයෙමත් වැහි වතුරට තෙමෙනව. මෙතන පාර පහලට ගලන වතුර පාර අවර්ණයි. පෙණ බුබුලු දාස් ගානක් වතුර පාර එක්ක පහලට ඇදෙනව. වතුරෙ ලස්සන බලන්න ගිහින් තව පොඩ්ඩෙන් බස් එකක හැප්පෙනව. බස් එකට කලින් අඩියට දෙකට පාර එහාපැත්තට පැනගන්නව.



මං අපිරිසිදු ඩාලි රෝඩ් එකට හැරෙනව. පදික වේදිකාවෙ තැන තැන රැඳුනු වතුර කලු දුඹුරු පාටයි. පාර අයිනෙ ලොකු වතුර වලවල්.

වාහනයක් වතුර වලක් උඩින් යනව. මගෙ ඉන ගාවට එනකම් වතුරෙන් නෑ වෙනව.

බලන් ඉන්න මිනිස්සුන්ට සාධාරණයක් ඉෂ්ඨ කරන්න මම මූණ චුට්ටක් හපුටු කරගෙන "චික්" කියනව. මගෙ හිත පෙරළි පෙරළි හිනා වෙනව.



සෙන්ට් ජෝසප් එක ඉස්සරහ විලෝ ගස්වල ඉන්න කාක්කො හෙවනක් හොයාගෙන යන්න ඇති කියල හිතෙනව. උඩ බලද්දි උන් තටු පොරවාගෙන පුරුදු ගස් මුදුන් වලටම වෙලා ඔහේ බලන් ඉන්න බව පේනව. මටත් එක තත්පරේකට කාක්කෙක් වෙන්න හිතෙනව. එහෙම උනොත් මම ඉස්කෝලෙ පිට්ටනිය උඩ රවුමට ඉගිල්ලි ඉගිල්ලි වැහි වතුර රහ බලන පිස්සු කාක්කෙක් වෙයි කියලත් හිතෙනව.



"කාක්කගෙ පාට ඔයාට මැච් වුනත් අක්කේ කාක්කෙක් වෙන්නනම් ඔය බතල ගතිය අඩු කරගන්න වෙයි." මගෙ රූපය ගැන ෆේස්බුක් එකේ නිතර දෙවේලෙ මට මතක් කරල දෙන 'යාලුවා' මේක දැනගත්තොත් එහෙම කියාවි කියල මට හිතෙනව. කාක්කව මට ලස්සනට පේනව.



ඔෆිස් එකට යන පුංචි අතුරු පාරට හැරෙනකොට හිතට මොකද්දෝ දුකක් දැනෙනව. කුඩේ හුලඟට අහුවුන බව අඟවලා මම අත කරකවලා කුඩේ ඇල කරනව. වැහි වතුරෙන් නළල, ඇස්, කම්මුල් තෙමෙන හැටි තත්පර ගානකට විඳගන්නව.



මම කිටිකිටියේ වෙවුලමින් සීත කාමරේ ඇතුලට එනව.



උණුම උණු තේ කෝප්පයක් ඇතුලෙ හිතේ අන්තිම වේදනා බිංදුවත් දිය කරල අරිනවා. තේ සුවඳ නිසා හීතලට ඇකිලුන පෙණහලු උණුහුම් වෙනව. උණුහුම හදවතේ ඉඳන් නිල් පාට වෙච්ච ඇඟිලි තුඩු වෙනකම් ඇදිල යන හැටි මට පේනව.





හවසට උණ ගැනෙයිද? හෙම්බිරිස්සාව හැදෙයිද? අපිරිසිදු වතුරට යටිපතුලෙ ආසාදන එයිද කියල තත්පර කාලකට මට හිතෙනව. ඒත් එක්කම හෙටත් වැස්සෙ තෙමෙන්න පුදුමාකාර ආසාවක් යටිහිතේ දඟකරන සද්දෙ මට යන්තමට ඇහෙනව.



හදවත ඕෆ් කරල මම පරිඝනකය ඔන් කරනව.