Thursday, August 27, 2015

කවි කියවමුද?






සයිබර් කවියට ආදරේ අයට පුංචි ඔත්තුවක්!

 
අගෝස්තු විසි අටවන සිකුරාදා සවස 3.30ට කවි කියවීමේ වැඩසටහනක් පැවැත්වෙනවා. අගෝස්තු විසි අට කියන්නේ හෙට. බස්සී මේ සතියෙ ටිකක් බිසී වුන නිසයි මේ ඔත්තුව දෙන්න තරමක් පමා වුනේ.

 
මේක මසකට වරක් පැවැත්වෙන වැඩසටහනක්. මේ මාසයේ තියෙන්නේ ඒකේ පළමු දිගහැරුම. මෙවර තේමාව "සයිබර් කවිය".

 
සංවාද ප්‍රවේශය මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් විසින් සිදුකරන්නේ. සංවාදය මෙහෙයවන්නේ නවෝද්‍යා පවනි ජයවික්‍රම. තිරය පිටුපස ඉඳන් මේ වැඩේ වැඩි බරක් ඇද්දේ සෞම්‍ය සඳරුවන් ලියනගේ කිවියා (අපේ මග්දලේනා).

 
සංවාදයට සහභාගි වෙන්නේ සයිබර් කවියන් තිදෙනෙක්. රසික ජයකොඩි (දවසක් දා හැන්දෑවක තීරු ලිපිය කියනකොටම මතක් වෙන්නේ ඔහුව!), වින්ද්‍යා ආරියරත්න (කැමීලියා ආරියරත්න කියන පෙන් නේම් එක යටතේ වත්පොතට කවි ඉහින්නේ ඇය!) ඒත් එක්කම ගලිවර්ලා දෙන්නෙක් මැද්දේ ලිලිපුට්ටෙක් වගේ බට කොස්සි හෙවත් යශෝධා සම්මානි.


ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ තමයි වැඩේ සිද්ධවෙන්නෙ. (බොරැල්ල කාසල් රෝහල ඉදිරිපිට.)

 
සයිබර් අවකාශයේ බිහිවෙන නිර්මාණ, පොළවට බහින්නේ, කතිකාවට ලක්වෙන්නේ කලාතුරකින්. මේ, එවැනි දුලබ අවස්ථාවක්. ඉතින්,සයිබර් නිර්මාණ අවකාශයට ආදරය කරන හැමෝටම ආරාධනා කරන්නේ, හැකිනම් එන්න. අපි කවි කියවමු.


Thursday, August 20, 2015

ලොල්ලන් සහ ගණිකාවන් පෙරටු කරගෙන ඇඟිල්ලේ ඇදය සෙවීම





හඳ පෙන්නුවාම ඇඟිල්ලේ ඇද හොයන මිනිස්සුය. නියපොතු කපා ඇත්දැයි හොයන මිනිස්සුය. මැනිකිව් කලේ මොන සැලුනයෙන්දැයි අහන මිනිස්සුය. දැන් මේ පෝස්ටුව කියවීම නවතා "ඉතිං මොකද්ද ඒකෙ ඇති වැරැද්ද?" යැයි විමසා, ඇස් ගෙඩි ඩොගිත්තාගෙන බලා ඉන්නා මිනිස්සුය.


මේ කියන්නේ අන්න ඒ ආකාරයේ මිනිස්සු ගැනයි.


ලංකාවේ මිනිස්සු අති දක්ෂ කුරුමාණම්කරුවෝය. විශිෂ්ඨ ප්‍රහාරකයෝය. ඒත් කරුමය නම්, ඉහත කී ගණයේ, ප්‍රමාණාත්මකව අල්ප නොවූ මිනිස්සු කුරුමාණම් අල්ලන්නේම හිසට නොව වල්ගා කෙලවරට වීමය. ප්‍රහාර එල්ල කරන්නේම නියපොත්තකට, කන් පෙත්තකට හෝ හූනු වලිගයකට වීමය.


පසුගිය දිනවල වයිරල් වීඩියෝවක් බවට පත්වූ "මාලබේ බී.එම්.ඩබලිව්. අක්කා" ගැන බලමු. වීඩියෝවේදී ඈ ඉතා මුඛරිව පොලිස් නිළධාරීන් දෙපලකට බැනවදිනවාය. එමතුද නොව ඔවුන්ගේ හෙල්මටයද පැහැරගෙන යනවාය. වැරද්දකි. ඔව්, පැහැදිලිවම වැරැද්දකි.


නමුත් අපේ සුචරිතවාදී අයියලා (සහ අක්කලා) එරෙහි වන්නේ මොනවාටද? ඇගේ සිහින් පටි සහිත සැහැල්ලු දිගු ගවොමටය. බී.එම්.ඩබලිව්. රථයටය. එතකිනුදු නොනවතින ඔවුහු වීඩියෝවේ කොතැනකවත් සටහන් නොවූ "රිය ඇතුලේ ඉන්නා ඇගේ හොර මිනිහා" ගැනත්, "ඌ අහවල් ඇමතිගේ පුතා" බවත් දිවැසින් දැක, සකල සිරි ලංකාවාසීන්ගේ පහන් සංවේගය පිණිස ජාලගත කරති.


ගප්පියාගේ පොසොන් කාටුනය ගනිමු. දැනට එහි වූ සරල හාස්‍යය අමතක කරමු. (තෝ බුදු දහමට අපහාස කරන්නේ, කතෝලික ආගමත් විහිලුවට ගනින්කෝ යැයි අසන උන්ගෙන් ඉල්ලා සිටින්නේ ගප්පියාගේ  The joy of christmas වීඩියෝව නරඹන ලෙසයි.)




උපහාසය වටහා ගැනීමේ නොහැකියාව අමතක කලත්, "සුද්දියන්ට කෙලින පර කලු සුද්දෙක්" සහ "තමන්ගේ බළලාටත් පරජාතික නමක් (ජින්ජි බෝයි.) තැබූ අසමජ්ජාතියෙක්" ලෙස අපහාස කිරීම ඉට්ස් ඕකේ බේබි කීමෙන් පමණක්ම අමතක කරන්නට පුලුවන්ද?


"ගාල්ලෙන් වේසියක් පාර්ලිමේන්තු යවලා." මේ දිනවල අධිකතර ලෙස අහන්නට, දකින්නට ලැබෙන කතාවකි. වේසියක් යනු ගණිකාවක් හෙවත් මුදලට ලිංගික ශ්‍රමය සපයන්නියක් හඳුන්වන අතිශය ග්‍රාම්‍ය වචනයකි. හොඳයි ගීතා වේසියක්මයි කියමු. ගෞතම බුදුන් දවස නගර සෝභිනියක වූ අම්බපාලිට, බුදුන් ප්‍රමුඛ මහා සංඝයා විෂයෙහි දන්පැන් පිරිනමන්නත්, ඉන් මතු නිවන් මගට පිවිසෙන්නත් පුලුවනිනම්, ගීතාට පාර්ලිමේන්තු යන්න බැරි ඇයි?




පෞද්ගලිකව මට ගීතා කුමාරසිංහ ගැන ඇත්තේ නොපහන් හැඟීමකි. නමුත් ඒ ඇගේ කටකමසෙයියාවක් නැති වාචාල කියවිල්ලත්, මැතිවරණ වේදිකාවල ඇදබාන අගමුල නැති, තැම්බූ නූඩ්ල්ස් ගොඩක් බඳු කථා පැවැත්වීමත් නිසයි. හිරුණිකාට  ටැටූ කොටා ඇත්තේ කුමන ශරීරාංගයේද යන්නත්, ඇයට විවාහයට පෙර පෙම්වතුන් කී දෙනෙක් හිටියාද යන්නත් මට කොහෙත්ම වැදගත් නොවෙයි.


අනික, ගීතා මෙන්ම (හෝ ඊටත් වඩා) හැකර කටක් ඇති, අම්මෙක් නැතිව ජාතක වූ ඕපපාතිකයෙක් මෙන් කාන්තාවන්ට අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කරන කුමාර වෙල්ගමට ගීතාට තරම් විරෝධයක් නැත්තේ ඇයි? පිරිමියෙක්ගේ වාචාල කම වීරකමක් ලෙස සලකා ඔහුට මල් පිදීමත්, ගැහැණියකගේ වාචාලකම ඇයට ගල් ගසා මරා දැමීමට නිමිත්තක් කරගැනීමත්ද සිරිලාංකීය අනන්‍යතාවය?


රනිල්, දේශපාලනික අයිකන් එකක් ලෙස ගත්කල අපි ඔහුට එරෙහිව නැගී සිටිය යුත්තේ මහ බැංකු බැඳුම්කර වංචාව ගැන මිසක රනිල් කොලුකාරයෙකැයි කියමින් නොවෙයි. හොඳයි, රනිල් කොලුකාරයෙක්මයි කියමු. එහෙනම් ඔබේ අකමැත්තෙන් රනිල් බලහත්කාරකමක් කරන්නට හදනවානම් ඔබ ඔහුට විරුද්ධ විය යුතුයි, අනිවාර්යයෙන්ම! ඒ අනුව බලන කල, කිසිදු සාධාරණ තර්කයක් මතු නොකර, රනිල් සමලිංගිකයෙකැයි කියා අපහාස කරන උදවිය හැමෝම, රනිල්ගෙන් වේදනාත්මක ලිංගික අත්දැකීමක් ලබාගත්තවුන් බවයි නිගමනය කල හැක්කේ.




මොනවා? අකිල විරාජ් රනිල්ගේ පෙම්වතා? මට නොතේරෙන්නේ, ඒක එහෙමම වුනත් අපි කලබල විය යුත්තේ ඇයිද කියන එකයි. අකිල විරාජ් කෙරෙහි ලිංගික ඇල්මක් ඇත්තෙකු මිස වෙනත් කෙනෙක් අකිලගේත් රනිල්ගේත් පෙම් සබඳතාවක් ගැන කලබල වෙන්නේ මොකටද?


විමල් වීරවංශ අවංක ජනතා සේවකයෙක් නම්, (ඔහු එසේ නොවීම වෙනමම කතාවක්!) ඇයි අපි විමල්ගේ හෑන්ඩ් ෆෝන් එකත් එක්ක ගුස්ති අල්ලන්නේ? ඇයි අපි ශෂී වීරවංශගේ මේක්-අප් එක ගැනත්, සාරි හැට්ටයේ කර කැපී ඇති ගැඹුර ගැනත් වදවෙන්නේ?


අපිට හොරුන්, දූෂිතයන් හෝ වංචාකරුවන්ට එරෙහිව එකාවන්ව නැගී සිටින්නට තියෙන ලොකුම බාධාවකි, හඳ පෙන්නූ විට ඇඟිල්ල දිහා බැලීම. ඉතින්, විය යුතු පරිද්දෙන්ම, 'අතන අසූචි කන්දක්, අපි ඒක ඉවත් කර දමමු'දැයි ඇසූ විට "උඹ අතේ නියපොතු හපනව නේද?" අසමින් ඇඟිල්ලේ වැරදි ලැයිස්තුගත කරන උදවිය අන්තිමේ අසූචි කන්දෙහි හැපී, මුනින් අතට වැටී, අසූචි වලින් නැහැවී යනු නො අනුමානය!


වැඩියත්ම දුකට කරුණ එයත් නොවෙයි. හිසේ සිට දෙපතුල තෙක්ම අසූචිවලින් නැහැවීගත් ඒ මිනිස්සු, "අහා! ඒ ඇඟිල්ලේ දෙවැනි ඇඟිලි පුරුකේ තද දුඹුරු පාට උපන් ලපයක් තිබුනා" යැයි හඬතැලීමයි.






ප. ලි.


මේ ලිපිය ලියන්නට හිතුනේ මාතලන් ලියූ ගීතාගේ යෝනියේ දිග පළල සෙවීම, හඳුන්නෙත්ති හා මුතුගෙට්ටිගම - Geetha's Virginity, Muthuhetti & Handunneththi බ්ලොග් පෝස්ටුව කියැවීමෙන් පසුවයි




Wednesday, August 19, 2015

වීරයා මැරුනේ පෑන හිරවීමෙන්ද?



කාලෙකින් මොකුත් නොලියවෙනකොට (දැන් මට වෙලා තියෙනව වගේ) අදාල පුද්ගලයට වැළඳිලා ඇති කියල සැක කරන්න පුලුවන් ප්‍රධාන රෝග දෙකක් තියෙනව මුලින්ම මතකෙට එන.


1. රයිටර්ස්  බ්ලොක්

2. බිසීවීමේනියාව


ඔය කියන බිසීවීමේනියාවෙන් පෙලෙන දවස් වලත් මම අඩුම තරමේ දවසකට කවි දෙක තුනක්වත් ලියනව ඔෆිස් යන එන අතරෙ පාරට රස්තියාදු වෙන කාලය ඇතුලතදි. ඒත්, පහුගිය ටිකේ එහෙමවත් නොලියවුනු නිසා මම හොයා බැලුව මොකක්ද මේ රයිටර්ස් බ්ලොක් කියන්නෙ කියලා.





රයිටර්ස් බ්ලොක් කියන්නේ තනි සාධකයක් නෙමෙයි. එක් එක් රචකයන්ට අනන්‍ය වූ පොබ්ලම් කිහිපයක් පත අට එකට සිඳුවලා එක ගෝනියකට දාලා කට මහලා ඒකට “රයිටර්ස් බ්ලොක්” කියන ලේබලය ඇලවීමයි සිදුවෙලා තියෙන්නෙ.



1. පටන්ගැන්මට කලින්ම නතර වීම


මේ තත්වය ‘හිස් පිටු සින්ඩ්‍රෝමය” (Blank page syndrome) නමිනුත් හඳුන්වනවා. රචකයා  හිරවෙන්නේ ලියන්න පටන් ගන්නත් කලින්. හිස් පිටුවක් දිහා ඔරවාගෙන ඉන්නවා මිසක අලුත් අදහස් එකක්වත් ඔලුවට එන්නේ නැහැ. 


වෘත්තීය රචකයෙක් නම් මෙතැනදී ලිවීම් අභ්‍යාස කිහිපයක් කරලා පරණ පුරුදු තත්වයට පත් වෙන්න පුලුවනි. කෙටිකතා සඳහා සුදුසු ආරම්භක, ‘නොගැලපෙන වචන තුනක් දීලා ඒව එකතු කරල ප්ලොට් එකක් ලියන්න’ වගේ අභ්‍යාස අන්තර්ජාලයේ ඕනෑ තරම්.


එහෙමත් නැත්නම්, “ලියන්න දෙයක් නෑ, මොලේ හිස් වෙලා මචං.” කිවුවාම ටොන් ගණන් අයිඩියා දෙන යාලුවෝ ඉන්නවනම් ඒකත් ලොකුම වාසනාවක්.



2. ලියන්නට දේවල් බොහොමයක් තිබුනත් ලියන්නට හිතක් නැතිවීම


හිතේ අයිඩියා ටොන් ගානක් තියෙන්නත්, ඡේද කිහිපයක් ලියා සියල්ලම එක කී බෝර්ඩ් ෂෝර්ට්කට් එකකින් ඩිලීට් කර දමන්නත් සිදුවීමයි මේ තත්වය. එක් මාතෘකාවකින් තවත් මාතෘකාවකට පැන පැන යනවා මිසක අන්තිමේදි කිසිවක් ලියවෙලා නැහැ.





ඒ ලියන දේවල් එක්වරම මකා දමන්න තරම් අකීකරු වෙන්න එපා. ඩ්‍රාෆ්ට් විදියට සේව් කර තියෙන කුඩා ඡේද කැබලි දවසක ඔබේ හොඳම ලියැවිල්ල බවට පත්වන කුඩා නිධාන වෙන්නටත් පුලුවන්.



3. ඒ සීන් එක පන්නා ගන්නට නොහැකි වීම


ප්ලොට් එකත් සුපිරිය. දැන් කතාවේ හතරෙන් එකක් ලියා අහවරය. නමුත් වීරයා මියයන අවස්ථාව/ කෙල්ල ඇමතියාගේ කනට ගහන සීන් එක/ පොලීසියෙන් පිකට් එකට කඳුළු ගෑස් ගහන කොටස වැනි එක කොටසක් ලියා ගන්නට බැරුව හිරවෙලාය. කිසිම කික් එකක් නැත. කතාවම එතැන හිරවෙලාය.


මෙහෙම වෙන්න හේතු දෙකක් තිබෙන්නට පුලුවනි.


එක්කෝ ඔබ පට්ට සුපිරියට ලියාගෙන ආවායැයි හිතන කතාවේ චරිත ගොඩනැගීම ඉතා දුර්වල වෙන්නට පුලුවන්නි. පට්ට සිරා ප්ලොට් එකේ ඔබට නොපෙනී මගහැරුන ලොකු හිලක් ඇති නිසා අර ‘වැදගත් සීන් එක’ ඒ සිදුරෙන් පහලට වැටී කුඩු වී යනවා වෙන්නටත් පුලුවනි.


එහෙමත් නැත්නම්, ඔබ හිතනවා වැඩි ඇති. ඕනෑවට වඩා වෙහෙසී ක්‍රෑම දාන සමහරු එක්සෑම් අනාගන්නේ සබ්ජෙක්ට් එක එපා වී වහකදුරු මෙන් තිත්ත වීම නිසයි. ඒ නිසා අදාල කොටස ලිවීම ගැන ඔබ ඔබවම පීඩාවට පත්කර ගැනීමෙන් වලකින්න.



4. ඊට පස්සෙ මොකද ඕයි වෙන්නෙ?


මෙහෙම වෙන්නේ මම වගේ සැකිල්ලක් නැතිව ලියන උදවියටයි. බොහෝවිට ලිවීම තුලින් මම ෆැන්ටසිමය තත්වයකට පත්වෙනවා. ඉන් පස්සේ කතාවක චරිත හැසිරෙන්නේ උන්ට ඕනෑ විදියට මිසක් මට වුවමනා විදියට නොවෙයි. 


ඔන්න හිටිගමන් ඔබ පෙරකී මත් ගතියෙන් යුත් ෆැන්ටසියෙන් අවදි වෙනවා. ලැප්ටොප් එක වහලා උයන්න/ කන්න/ රෙදි සෝදන්න/ ආයතනික රැස්වීමකට සහභාගි වෙන්න දුවනවා. ඉන් පස්සෙ ආයෙමත් අර ෆැන්ටසියට ඇතුලු වෙන්න අමාරු බව දකිනවා.


සිහින තුලට, ෆැන්ටසි තුලට බලෙන් කඩාවදින්න බැරි නිසා ඒක අමතක කරලා දාන්න. දවසකින් දෙකකින් ඔබ ආපහු සුපුරුදු ගංජා මූඩ් එකට නිරායාසයෙන්ම පත් වේවි.



5. වීරයෝ ඔක්කොම මලා





මේකත් අර මම කලින් කියපු ගංජා මූඩ් එකේම ප්‍රතිඵලයක් වෙන්න පුලුවනි. ඔබේ මුරණ්ඩු චරිත අර සිහිනමය තත්වයේදී පිස්සු කෙලීම නිසා ඔබ හීනෙන්වත් නොහිතූ දෙයක් ලියැවී තියෙන්න පුලුවනි.


මම නම් කියන්නේ කලබල වෙන්න එපා. උන්ට උන් ඉල්ලන නිදහස දෙන්න. මම “හුදෙකලා මියැසිය” ලියන්න ගන්නේ මෙලෝ රහක් නැති නපුරු කොල්ලෙක් සහ ඒ කොල්ලගෙ පස්සෙන් යන පිස්සු කෙල්ලෙක් ගැන. අන්තිමේදි මම ‘ඇහැරෙනකොට’ මෙන්න මේ බූරුවො දෙන්න අත අල්ලගෙන හාදු දෙනවා! ඉතින් ඔබ ලියන්නේ ඒ සිහිනමය තත්වයේදි දැනෙන සැහැල්ලුව විඳින්න නම්, කලබල නොවී ඒ හාදුව රසවිඳීම තමයි නුවණට හුරු.



6. කුසීත චරිත


ඔබේ චරිත කරන්නේ කොණ්ඩෙ ගොතන එකයි, බල්ලො නාවන එකයි, රස්සාවට යන එකයි විතරයිද? පිටු පහළොවකට පසුවත්? 


බොහෝවිට ඔවුන් ඔබේ කියවන්නනුත් අකැමති කුසීතයෝ වෙන්න පුලුවන්. නරකද අලුතෙන්ම පටන්ගත්තොත්?



7. කතාවේ අතරමැදදී හොල්මන් කරන විචාරකයෝ


මුද්‍රිත මාධ්‍යකදිනම් විචාරකයෝ, සයිබර් අවකාශයේදීනම් ඇනෝලා හෝ අතිපණ්ඩිත කුණු අහුලන්නෝ ඔබේ ලියැවිලි අපමණ පීඩාවට පත් කරනවා වෙන්නට පුලුවන්.





නමුත් ඔවුන්ට බැහැනේ ඔබව නවත්වන්න. සමහරවිට ඒ අසීමිත ඉරිසියාවක් වෙන්නත් පුලුවනි. ඒ නිසා අර විචාරකයන්ගේ සහ අතිපණ්ඩිත කුණු අහුලන්නන්ගේ සමාජමට්ටමේ, අධ්‍යාපන මට්ටමේ ඉන්න වෙනත් රසිකයෝ ඔබට යහපත් ප්‍රතිචාර ලබාදෙනවාදැයි විමසා බලන්න. එහෙමනම්, අරුන්ට කුද ගහගන්නැයි කියා, ඔබ ඔබේ කතාව ලියන්න.



ඉතින්, මාව පෙලන්නේ හිස් පිටු සින්ඩ්‍රෝමය. මම ආයෙමත් කියන්නේ, “ලියන්න දෙයක් නෑ, මොලේ හිස් වෙලා මචං.” කිවුවාම ටොන් ගණන් අයිඩියා දෙන යාලුවෝ ඉන්නවනම් ඒක ලොකුම වාසනාවක්. 

එහෙම නේද මචං?





Monday, August 10, 2015

මේතරම් සෙක්සි ද ඉලෙක්ෂන් ?



1. මං ආදරේ දුෂ්ඨ, සුදු කොල්ලන්ට!





මනාප තුනක් හොඳටෝම මදි මට
මං ආදරේ දුෂ්ඨ, සුදු කොල්ලන්ට!
හොරුන්ට, කුඩ්ඩන්ට, හංදියේ චණ්ඩින්ට
පිස්තෝලෙකින් වතුර බෝතල් මවන අරුම විජ්ජාකරුවන්ට
වෙඩිබෙහෙත් දුමට පිඹිනකොට, පිහියකින් බෙල්ල පිටුපස කසනකොට
අත්ල සීතල වුනත් මොනතරම් සෙක්සිද!


ඇයි අපිට බැරි පක්ෂ දෙකතුනකටම ඡන්දය දෙන්න.
ඡන්දයක් කියන්නේ කැමැත්තට
මං කැමති මනමැවි කතා කියවන්ට
සී එස් ලෙවිස්ට – ජේ කේ රෝලින්ග්ට – එච්.සී. ඇන්ඩර්සන්ට
එක සමානව ආදරේ කරන්න තහනම්ද?


රතු සහෝදරවරු කියන දේ ඇත්තම ඇත්ත
මේ ඡන්ද ක්‍රමයයි ලොකුම වැරැද්ද
සෙනෙහෙලිපි ලියන ලොකු ඩයරියක් – සුවඳ පෑනක් එක්ක මට දෙන්න
ආදරේ ලිවිය යුතු කවියෙන් ය
කුඩා හදවත් ලකුණු ඇඳිය යුතු හැමතැනම
ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් බලලාම නැද්ද ඔබ? නැත්නම් ඩූම්- 2?
වීරයෝ කියන්නෙම හොරුන්ට, කළු ඇඳපු චණ්ඩිණ්ට
මං ආදරේ දුෂ්ඨ, සුදු කොල්ලන්ට!



2. ඒකයි ළමයො ත්‍රිල් එක





මෝඩ ළමයෝ!
ඒකම තමයි ත්‍රිල් එක,
ඊළඟට වෙන දේ නොදන්නා එක.
සුදු වෑන් එකක් ඇතුලෙදි
කළු තිරේකින් දෑස බඳින එක


බෙල්ල පිටිපස්සෙ මද සීතලක් දැනෙනකොට
පිස්තෝල කටක් යැයි ටක්කෙටම කියන්නේ – උඹට ඇත්තට පිස්සුද?
ඒ රොමැන්තික හාදුවක් වෙන්නට බැරිද?
දොඩම් රස හිම කිරමක්?
මධු ඔඩමකින් ගත් අයිස් කැටයක්?


ඒකයි ළමයො ත්‍රිල් එක,
ඊළඟට වෙන දේ නොදන්නා එක,
තැම්බිලා ගියත් දිය හැලිය රත්වෙනකම් නටන එක,
බලපංකො කකුළු ජීවිතේ තියෙන ලල් එක!



3. අපිට ඕනෑ පෝස්ටර්





තියෙන්නම ඕනෑය පෝස්ටර්
තාප්ප, ගේට්ටු, ලයිට් කණුවල
ශේන්‍යා වුනත් ඇවිද්දේ
බැනර්-කටවුට්-පෝස්ටර් බලබල
පාන් වළලුත් අමතකම කර.


මැකෝටත් ඔල්මොරොන්දම!
පෝස්ටර් නැතුව පාලුයි මහපාර,
පාස්ටර් කෙනෙක් නැති පල්ලියක් වගේමය.


අපිට ඕනෑ පෝස්ටර් කියව කියවා ඇවිදින්න.
පාන් වළලුත් අමතකයි - බල්ලන්ට හැකිය ඩැහැගෙන යන්න.
හත්පෙති මල් පොරොන්දුවකින් සැනසෙන්න.
දැං අපිට අඩු හත්පෙති මලක් විතරයි ඔන්න!




ප. ලි.

දවස ගානේ අප්ඩෙට් වෙන බස්සිගේ කවි පිටුවට මේ පාරෙන් එන්න.






Wednesday, August 5, 2015

ඒ 'ලෙවල්' කුඩු කර ඔබ ඔබම වෙන්න!






මේ කතාව මම හොඳින්ම දන්නා කෙසඟ, සුදු පිරිමි ළමයෙක් ගැනයි.


ඒ එක්දාස් නමසිය අනූ ගණන්වල අග භාගයයි. අපි හඬකැවූ ටෙලි කතා මාලාවන්ට වහ වැටී උන් පොඩි එවුන්ව සිටි කාලයයි. ඔය කාලයේ ටීවී එකේ ‘පරිඝණක දඟයෝ’ (Crash Zone) නමින් කතා මාලාවක් විකාශය වෙයි. ඒ වීඩියෝ ගේම් නිෂ්පාදනය කරන සමාගමක රැකියාව කරන teenagersලා පස් දෙනෙක් ගැනයි.


කෙට්ටු, සුදු පිරිමි ළමයාගේ ගෙදර පිහිටියේ කතා පොත්වල ලියැවෙන හැඩයේ ගමකය. ඒ කාලේ ගෙදරට ලයිටුත් නැත. පිරිමි ළමයා ටී.වී. බලන්නේ සීයලාගේ ගෙදරින් ආරෝපණය කරගෙන එන කාර් බැටරියකිනි. එහෙම ටී.වී. බලන අතරේ පිරිමි ළමයාටත් පරිඝණක දඟයෙක් වෙන්නම හිතෙනවාය.





ඕ/ලෙවල් පංතියේදී පරිඝණක පාඨමාලාවකට ශිෂ්‍යත්වයක් ලැබෙද්දිත් පිරිමි ළමයාගේ ගෙදර කම්පියුටරයක් නැත. පිරිමි ළමයාගේ අයියා ඉංජෙකු වෙන්නට මොරටුවට යද්දිත් ගෙදරට කම්පියුටරයක් නැත. ගෙදරට කම්පියුටරයක් වඩින්නේ ඊටත් පසුවය. 


ඉතින් පිරිමි ළමයා තනියම කම්පියුටරේ අතපත ගාමින් ඉගෙන ගන්නවාය. අයියා ගෙදර එන නිවාඩුවට පිරිමි ළමයා බොහොම බිසී වෙන්නේ අයියාගේ සටහන් කියවා ඒ අත්හදා බලන්න ය.


පිරිමි ළමයා ඒ ලෙවල් ලියනවාය. මොරටු යන්න ලකුණු මදිය. ඕනෙ දෙයක් වෙච්චාවයි කියා තේරුණු කැම්පස් එකට එනවාය. 


අයියාගේ උදව්වෙන් මෘදුකාංග සමාගමක පාර්ට් ටයිම් ජොබකට යනවාය. අමාරුවෙන් ලැපක් ගන්නවාය. එදා ඉඳන්ම රෑ තිස්සේ video tutorial බලනවාය. Freelance වැඩ කරනවාය.


ඔය අව්අස්සේ මේ ලමයා යාලුවොත් එක්ක රොබෝලා වගයක් හදලා ප්‍රදර්ශනයක් තියනවාය. එතනදී බාගෙට අහවර කල ව්‍යාපෘති හතරක් එක්ක ලැප්ටොප් එක රහත් වෙනවාය. 


තර්ඩ් ඉයර් එකේදී මේ පිරිමි ළමයා ජොබ් ඉන්ටර්විව් එකකට යනවාය. ඒ යන්නේ අත් දෙක වනවනාය. සැටිපිකට් කෝ කියා ඉන්ටව් බෝඩ් එකෙන් අහනකොට, ‘මගේ පෝට්ෆෝලියෝ එක ඊ මේල් කලා. ඕනෙනම් පෙන් එකෙත් තියෙනවා.’ යැයි පිරිමි ළමයා කියනවාය. සැටිපිකේට් ඔතාගෙන නො ආවේ ඇයි කියා අහනකොට, “සොරි, මං ආවේ වැරදි තැනට” කියමින් එතනින් පිටවෙනවාය.


ඔය අතරේ ක්ලාස් එකක් එක්ක අවුට් වෙන ලමයා කැම්පස් එකේම demonstrator කෙනෙක් විදියට වැඩ පටන් ගන්නවාය. ඒ අතරේ මේ පිරිමි ළමයා මෘදුකාංග ඉංජිනේරුවෙක් විදියට ජොබකුත් කරන්න පටන් ගන්නවාය. පස්සෙන් පහු පූර්ණකාලීන මෘදුකාංග ඉන්ජෙක් වෙනවාය.


ආයතනයෙන් දෙන සැටිපිකේට් එක මත මේ ළමයා මෘදුකාංග සම්බන්ධව MSc එකක් කරන්න පටන් ගන්නවාය. ඒ අතරේ මොරටුවේ විසිටින් ලෙක්චර්ස් වගේකුත් කරනවාය. ළමයාගේ මොරටු කැම්පස් යාමේ සිහිනය හැබෑ වෙන්නේ එහෙමය.


ඒ පිරිමි ළමයාගේ ඔපීසිය ‘පරිඝණක දඟයන්ගේ” ඔපීසිය වගේමය. හැබැයි දැන් ඒ කෙට්ටු, සුදු පිරිමි ළමයා ටිකක් මහතය.





මම මේ කතාව කිවුවේ ඒ/ලෙවල් පාස් වී කැම්පස් යන එක ඔබේ අනාගත හීනයට දොර විවරකර ගන්න තියෙන එක ටිකැට් එකක් විතරක්ම බව කියන්නය. ඒ ටිකට් එකෙන් හරි පාරේ ගිය උනුත්, පල්ලම්වල ගිහින් අතපය ලෙලි ඇරගත් උනුත් සමෝසමේ ඉන්න නිසා ඒ ටිකට් එක ගැන සියේට සීයක් විශ්වාසය තියන්නත් බැරිය.


ඔබේ සිහිනය ටයි පොල්ලක් පැළඳ, අට-පහ රස්සාවක් කරන මහත්තයෙක් වෙන එක නොවුනාට අවුලක් නැත. මොකද අර පිරිමි ළමයා සිහින මැව්වේ ඩෙනිම් – ටී ෂර්ට් ඇඳ, කැමති වෙලාවක කඩාපාත් වී ජොබ කරන්නට හැකි, හිතුන වෙලාවට ගෙදර දුවන්නට හැකි, ෆ්ලෙක්සිබල් රස්සාවක් ගැනයි.


මම  කියන්නේ, ඔබේ සිහින අයිති ඔබටය. අම්මාටවත්, තාත්තාටවත්, කොළඹ ඉස්කෝලෙක හිටපු විදුහල්පති කෙනෙක් වුන ලොකු මාමාටවත්, කැනඩාවේ ඉන්න චූටි නැන්දාටවත් නෙමෙයි, ඔබටම පමණක්ය. ඔබට විශ්වාසය සහ ශක්‍යතාව ඇත්නම්, ගැහැණු ළමයෙක් වීම පයිලට් කෙනෙක් හෝ නාවුක ඉංජිනේරුවරියක් වීමේ සිහිනයට බලපාන්නේ නැත. 


පොඩ්ඩක් ඉන්න, ගල් පහරවල් වැදීමට නියමිත නිසා මම හෙල්මටයකට හිස ඔබා ගන්නකම්! මම දැන් කියන්නේ, ඔබට සිහිනයක් ඇත්නම්, ආත්ම විශ්වාසයක් ඇත්නම්, ඔබ ලෝකයේ හොඳම Nude model වුනා කියලා කාගේවත් මූණුවල දැලි ගෑවෙන්නේ නැත. මොකද, තමන්ගේ සිහින අයිති තමන්ටය.





වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනගන්නා මිතුරෙක් දවසක් මට මෙහෙම කියනවා; 

“එපා වෙලා ඉන්නෙ ඕයි. ඒ අස්සෙ මේ ගෑණු, ළමයි හම්බවෙන්න අමාරුවෙලා යටිගිරියෙන් මරහඬ තලනව. මල පනිනව කියන්නෙ කුණුහරුපෙන් බනින්න හිතෙනව වෙලාවකට.”


අම්මාගේ කන්කරච්චලයෙන් ගැලවෙන්නට බැරිව වෛද්‍යවරයෙක් වෙන්න යනකොට එහෙමය. කුඩා කල සිටම රැට් රේස් එකක් දුවන නිසා හිතේ යන්තම්වත් තෙතමනයක් ඉතුරු වෙන්නේත් නැත. එහෙම තිබුනානම් තමන්ගේ අම්මාත්, අර අම්මලාත් අතර වෙනසක් නැති බව පසක් කර ගන්නට ඔහු අපොහොසත් වෙන්නේද නැත. එහෙව් දොස්තරෙක් වෙනවාට වඩා රෙදි වෙලෙන්දෙක් හෝ රටකජු වෙලෙන්දෙක් වෙන එක බොහොම වැදගත්ය, වටිනවාය.


මගේ බැචියකට නිළි පිස්සුව තදින්ම වැළඳී තිබුනේය. තුන්වන වසරේ සිට ඌ ගෙදරින් අරන් එන ලොකු බත්මුල්වලට පවා කඩා පනින එක නවත්තනවාය.  ඩයට් ප්ලෑන් එකක් අනුගමනය කරනවාය. ඒ මොඩ්ල් කෙනෙක් වෙන්නටය. (කැම්පස් හිටපු එවුන්, මේ ගෙදර බත් මුල්වල වටිනාකමත්, ඒවාට කඩා නොපැන සිත හික්මවා ගැනීම කොයිතරම් දුෂ්කරද කියන එකත් දන්නවාය) ඈ කැම්පස් එකේ ‘Stylish Marketer’ කියන හොඳම නිරූපකයා සහ නිරූපිකාව තෝරන ඉවෙන්ට් එකට සහභාගි වෙනවාය. එතනින් පටන් අරගෙන, අවුරුදු දෙකක් යන්නත් කලින් ඈ නිළි සිහිනය හැබෑ කරගන්නවාය. මේ අවුරුද්දේ ජනප්‍රියම ටෙලිය වූ “උතුම්-පැතුම්” ටෙලිය බැලුවොත් ඈව දැකගන්න පුලුවන්ය.


ඔබට අයිස්ක්‍රීම් වෙලෙන්දෙක් වෙන්න සිහිනයක් තිබේනම්, හිත සසල කරගන්න එපා. ඒ සිහිනය දකින්න. වැඩිම ෆ්ලේවර්ස් ගණනක් ඇති, ආසියාවේ ලොකුම අයිස්ක්‍රීම් කඩය හොයාගෙන අපේ රටට විදෙස් සංචාරකයන් එනකොට කාටද ආඩම්බර?


ඔබ ඔබම වෙන්න. ලංකාවට අවශ්‍ය දොස්තරලා, ඉංජිනේරුවරු සහ නීතිඥවරු පමණක් නොවෙයි. ඒ දොස්තරවරුන්ට අලුත් ස්ටෙතස්කෝපයක් නිර්මාණය කරන්න. ඒ නීතීඥ මහතුන්ට අලුත් මාදිලියේ සපත්තු ඩිසයින් කරන්න, බඩගිනි වුන ඉංජිනේරුවන්ට කෑම කන්න නව පන්නයේ ආපනශාලා දාමයක් ආරම්භ කරන්න. සිත්තරෙක් වෙන්න. කවියෙක් වෙන්න. ක්‍රීඩකයෙක් වෙන්න.


ඔබ ඔබම වෙන්න!





ප.ලි.


මේ ලිපිය ලියන්නට හිතුනේ "තිලක සිත" බ්ලොගයේ 'කණෙන් ඇදලා ගොඩ දැමීම' ලිපිය කියවූ පසුවයි.






Monday, August 3, 2015

කළු කූඹි (කෙටිකතාව)




ඇබිත්තං කළු කූඹියෙක් කම්පියුටර් ස්ක්‍රීන් එක දිගේ ඉබාගාතේ ඇවිදිනවා. කූඹියා වගේ තුන් හතර ගුණයක් විශාල අකුරු ටයිප් කිරීම එහෙමම නවත්තල මම උගේ අමන රස්තියාදුව දිහා බලන් ඉන්නව. ඉන්නෙ කොහෙද, යන්නෙ කොහෙද කියල තඹේකට මායිම් නොකරන නිදහස්, හිතුවක්කාර ප්‍රාණියෙක්, කම්පියුටර් ස්ක්‍රීන් එකෙන් ලක්ෂෙන් පංගුවක් තරම්වත් විශාල නොවෙන ක්ෂුද්‍රප්‍රාණියෙක් නිසා මගේ රාජකාරිය ලත් තැනම ලොප් වෙලා.
 

ඔන්න මට මේ කුඩා අමනයා ගැන කේන්තියක් මතුවෙනවා. දබරැඟිල්ලයි මහපටැඟිල්ලයි කූඹියා පිටිපස්සෙ පන්නනවා. ඌ පිටිපස්ස හැරෙන්නෙවත් නැතුව දුවනවා. දිවිල්ලෙන්ම අතුරුදහන් වෙනවා.
 

ඌ අතුරුදහන් උනේ කොහොමද? මම ඇඟිලි දෙක ඇහැට ලං කරල බලනවා. නියතුඩුවල කළුපාටට හිරවෙලා තියෙන්නෙ කළුකූඹියාගෙ අඬු කෑලිවත් ද? සමහරවිට මට නොදැනිම ඌ මහපටැඟිල්ල යට ඇඹරෙන්න ඇති. තලපයක් වගේ!
 

එහෙමත් නැත්නම් දබරැඟිල්ලෙ හැප්පිලා කම්පියුටරෙන් පහලට පෙරළුනා වෙන්නත් පුලුවනි. කම්පියුටර් ටේබල් එකෙනුත් බිමට වැටුනනම් ඌ දැන් අළු පාට කාපට් එක උඩ මුණින් අතට වැටිලා අඬු පඬු හතර අතේ විසිකරකර ලතෝනි දෙනව ඇති.  එහෙමත් නැත්නම්. . . .
 

“සර්ගෙ කොෆී එක.”
 

සිරිපාලගෙ කටහඬට මම ගැස්සිලා පිටිපස්ස බැලුවා. කළු කූඹියව සිරිපාලගේ සෙරෙප්පුවලට අහුවෙලා තැලිලා ගියාවත්ද?!
 

“ඔහු බූවල්ලෙක් වැන්න. එක් පාදයකින් සහෝදර පුවත්පත් කලාවේදී වගීෂ තිලකරත්නගේ ලයට ගිනිබිඳින මේ කෲර පාලකයා තවත් අඬු යුගලකින් ගමේ පන්සලේ නව ධාතු මන්දිරයට මුල්ගල තියයි, සිල් ඇත්තන්ට තම උඩුකය සේයාරුව මුද්‍රිත බිත්ති ඔරලෝසු බෙදයි.”
 

අකුරු පේළිය ඇකිලිලා කුඩා කූඹි පේලියක්බවට රූපන්තරණය වුනා. ඉන් පස්සෙ ස්ක්‍රීන් එක පුරාම වමට, දකුණට, ඉහළට, පහළට, කෙලින් සහ ඇදේට ඉබාගාතේ ඇවිදින්න වුනා.
 

මම ඇස් දෙක තදින් පියාගෙන කෝපි උගුරක් උගුරෙන් පහලට තල්ලු කලා. උණු කෝපි දියරය උගුර පුච්චාගෙන පහලට ගලාගෙන යනවා.
 

“මචං, මට උඹ ගැන බයයි.”
 
වයිබර් චැට් බුබුලක් මොබයිල් ෆෝන් එක දෙදරවාගෙන පොප්-අප් වුනා.   


“ලන්ච් ගත්තද?”
ඒක නොගැලපෙන ප්‍රතිචාරයක් තමයි. ඔළුව පුරා කළුකූඹි දුවන වෙලාවක ඒ අස්සට පත්තෑයෙක් වගේ නලියනලියා දෂ්ඨ කරන්න සම්භාවිතාවක් ඇති සංවාදයක් ඔබ්බවාගන්න මට කොහෙත්ම වුවමනාවක් තිබුනෙ නැහැ.
 

“මට උඹ ගැන බයයි. මං මහ නරක හීනයක් දැක්කා.”
 

ආයෙමත් මොබයිල් ෆෝන් එක දෙදරන්නේ මේසයත්, කීබෝඩ් එකත්, ඒ උඩ එහෙමෙහේ දුවන අත්දෙකත් කම්පනය කරවගෙන. මොබයිල් එකේ දෙදරිල්ලට කී බෝඩ් එක සහකම්පනය වෙනවා. එතකොට වගීෂගේ මරණය ගැන? සෙනෙවිගෙත්, තාරිගෙත් අතුරුදහන්වීම් ගැන?
 

මම අහක බලාගෙනම වයිබ්‍රේශන් ඕෆ් කලා. ඒ කියන්නෙ කම්පනය අවසන් කලා.
 

“නිදා සිටින්නන් ඇහැරවීම අපහසුය, එහෙත් ඒ නොකල හැක්කක් නොවේ. වඩා දුෂ්කර කාර්යය වන්නේ නිදා සිටින්නාක් මෙන් රඟපාන උදවිය ඇහැරවීමයි. මිනී කන ව්‍යාඝ්‍රයෙක්, සුරතලයට ඇතිකරන බළල් පැටවෙක් ලෙස කරන මාධ්‍ය සංදර්ශනය නිද්‍රාවෙන්ම අනුමත කරන ජනතාවක් යනු. . . . .”
 

ආයෙමත් කළු කූඹි. මම ලියලියා උන්නු ලිපිය එහෙමම නවත්තලා බැල්කනියට ගියා. එතනට බම්බලපිටියේ මුහුද පේනවා. මුහුදෙන් මිලියනේකින් පංගුවකටත් වඩා කුඩා බෝට්ටුවක් විසාල රළගෙඩි අතරේ ඉහල පහල යනවා.
 

අත් ඔරලෝසුවක් බඳින පුරුද්දක් මට කවදාවත් තිබුනෙ නැහැ. මේ වෙලාවෙ අතේ මැණික් කටුව වටේ එතිල තියෙන්නෙ මැදපු පොල්කටු කෑලිවලින් හදාපු බ්‍රේස්ලට් එකකුයි, රොකීගෙ බෙල්ලෙ තියන එකට වඩා පොඩ්ඩක් හීනි ඇලුමිනියම් පාට දම්වැලකුයි. පුරුද්ද මොබයිල් එකේ වෙලාව බලන එක. තුනයි හතලිස්පහයි.
 

මිස්ඩ් කෝල් දෙකක්. උණ සන්නිපාතෙ හැදිලා වගේ දඟලන වයිබර් සහ මැසෙන්ජර් අයිකන්. යූ ගොට් අ නිව් ටෙක්ස්ට් මැසේජ්.
 

“කෝල් කරපියකො. තමුසෙ මැරිලද ඕයි. මට බයයි.”
 

සුලු නොරිස්සුමක් එක්කයි මම ඇමතුම ගත්තෙ. ඒත්, ටකරං වහලෙකට වැහි බිංදු වැටෙන්නා වගේ හෙලෝ කියන්නෙවත් නැතුව ඒකි බනින විදියට මට හිනා ගියා.
 

“ඔලමොට්ටලයෙක් වගේ හිනා වෙන්න එපා ඕයි. තමුසෙට ඇත්තටම තමුසෙගෙ ජීවිතේ වටින්නෙ නැද්ද? අනික, අනික, ඇයි යකෝ අච්චර මැසේජ් එවද්දි කෝල් කරද්දි උන්නද මලාද නොකිය ගල්බීත වෙලා ඉන්නෙ?”
 

“මට ඇහුනෙ නෑ බං.”
 

“ඈ ඕයි, තමුසෙ බීරෙක්ද? හා. හා, එහෙනම් උඹ බීරෙක්මයි කියමු. මැසේජ් නොපෙනෙන්න ඇස් දෙකටත් හෙන ගහලද?”
 

ඒ වෙලාවෙ මට ටිකක් හයියෙන් හිනා ගියා. හිතල කල දෙයක් නෙමෙයි. හැබැයි නොහිතා කල දෙයක් කියන්නමත් බැහැ. කොහොමහරි මට හකහක ගෑවිල්ලේ හිනා ගියා. අන්න ඒ නිසයි එකපාරටම ඉකිබිඳුමක් පුපුරා හැලෙන්න ගත්තේ.
 

"ඒයි, හරකි, අඬන්න එපා බං. මොන මගුලක්ද?"
 

"උඹට, උඹේ ලිපිවලට උන් ඇහැගහගෙන ඉන්නෙ ආදිත්‍ය. ඇයි දෙයියනේ මම කියන දේ තේරෙන්නෙ නැත්තෙ? උඹට උඹේ ජීවිතේ වටින්නෙ නැද්ද ආදි? මං අහන්නෙ, ඇයි අර විශේෂාංග පිටුවට තීරු ලිපියක් දෙකක් ලියාගෙන  පාඩුවෙ ඉන්න බැරි උඹට?"
 

ඒ ඒකි අඬනව මට ඇහුන පළමුවෙනි වතාව. ඒ නිසා මම තරමක් කලබල වුනා. ටිකක් නෙමෙයි, මම සෑහෙන්න කලබල වුනා.
 

"ආදිත්‍ය, මේ අහපන්. උඹට උඹේ ජීවිතේ වටින්නේ නැති වෙන්න පුලුවන්. ඒත් මට, මට උඹව වටිනවා."
 

අන්න ඒ වෙලාවෙ තමයි අකුණක් කෙටුවෙ. හරියටම මුහුද මැදට. මම වමට, දකුණට, මුහුද පේනතෙක්මානෙට ඇස් දිවෙව්වේ අර තනි බෝට්ටුවේ සලකුණක් හොයාගන්න. ඒත් සලකුණක් නොතියාම ඒක අතුරුදහන් වෙලා තිබුනා. සමහරවිට ඒ බෝට්ටුව රළගෙඩිවලට පැරදිලා දියබත් වෙන්න ඇති. එහෙමත් නැත්නම් මගෙ ඇස් මානෙන් එහා, මුහුදෙ කෙනහිලිකම් මැද්දෙ තවමත් යාත්‍රා කරනව ඇති.


"මං හවසට එනවා. දැන් ඔය චුරුචුරුව නවත්තගන්නවා." මම බෝට්ටුවේ ඡායාවක් ඇහැට අහුකරගන්න, මුහුද පුරා දුවන අතරේ කිවුවා.

 

* * * * * * * * * *
 

"මටත් ආසයි නයෙක් අරින්න." ප්‍රාර්ථනා අහස දිහා බලාගෙන කියනවා. මම බලාගෙන හිටියේ මූදු හුලඟ එක්ක ඉහළ යන්න පොරබදින ඒකිගෙ ලා දුඹුරුපාට කොණ්ඩ කැරලි දිහා. කෘතිමව වර්ණ ගන්වලා තිබුනත්, ඒ කොණ්ඩ කැරලිවලින් මට දැනුනෙ ස්වාභාවික සුන්දරත්වයක්.
 

"ඕයි, මටත් ආසයි" ඒ කඩාපැනීම ඉවරවෙන්න කලින් මම අනපේක්ෂිත විදියට ඒකිගෙ තොල් දෙක හරහට දබරැඟිල්ල තියල තද කලා. වෙනදා වගේ කට මිරිකීමක්, නැත්නම් කුඩා කම්මුල් පහරක් නෙමෙයි. ඒ නිසා වෙන්න ඕනෙ ඒකි ඇස් දෙක දොඹ ගෙඩි වගේ ලොකු කරගෙන මගෙ දිහා බලාගෙන හිටියේ.
 

"ඇයි නයෙක්? කොම්බුවෙක්, උකුස්සෙක්, නැත්නම් ප්ලේන් එකක් අරින්න කැමැත්තක් නැද්ද?" මම මෙලෝ රහක් නැති ප්‍රශ්ණයක් ඉතාම රොමෑන්තික විදියට ඒකිගෙ කන ගාවට පහත් වෙලා අතඇරියා.
 

"කෙහෙල්මල"
 

එකි එහෙම කියන්නෙ කියාගන්න දෙයක් නැතිවුනාම කියල මම අත්දැකීමෙන් දැනගෙන හිටියා.
 

"නයෙක් උනත්, හුලං හමන අතට ඔහේ පාවෙන්න ඉඩදෙන්නෙ නැතුව, ඊට ප්‍රතිවිරුද්ධ අතට හුලං කපාගෙන යන්න ඉඩදෙන්න බැරිද?"
 

ප්‍රාර්ථනා ඇස්දෙක හීනි කරල, දෙබැම එකට ගෑවෙන නොගෑවෙන තරමට ලං කරන් මගේ සිතුවිලි පරිලෝකනය කරන්නා වාගෙ බැල්මක් වීසිකලා.
 

"පණ්ඩිත කතා" ඒකි ඊගාවට කිවුවා. "පැහිච්ච මෝඩ කතා."
 

මිනිස්සු, නානාප්‍රකාර මිනිස්සු මුහුදු වෙරළ පුරාම නිදහසේ එහෙ මෙහෙට ඇවිදිනවා. සරුංගල් අරිනවා. රැල්ල පාගනවා. පැටි වයසේ එවුවො වගේම හිතෙන් පොඩි ළමයි වුන මහ එව්වොත් තරඟෙට වැලි මාලිගා හදනවා. කඩල කනවා. අන්නසි අච්චාරු කනවා. පාට පාට අයිස්පලම් කනවා. හාදු දෙනවා.
 

මම ප්‍රාර්ථනාගෙ පිරුණු කම්මුලකට හාද්දක් දුන්න. හාද්දක් කියනවට වඩා දෙතොල් පහරක් කිව්වොත් තමයි වඩා නිවැරදි. කැළල් නොහිටින පහරක්.
 

ඉන් පස්සෙ ඒකි දෙබැම ඇකිලුවෙ නෑ. ඇස්ගෙඩි දෙක තඩි කරන් කන්න වගේ බලන් උන්නෙත් නෑ. වෙනෙකක් තියා ඇස් හීනි කලෙත් නෑ. ඒ වෙනුවට බෙල්ල පැත්තකට ඇල කරල, මූණ වම් පැත්තට හරවලා, විනිවිදින සුළු බැල්මකින් මාව සිදුරු කරන්න වුනා.
 

අන්න ඒ වෙලාවෙ ආයෙමත් අපි වටේ කළුකූඹි කැරකෙන්න පටන් ගත්තා. සරුංගල් අරින, රැල්ල පාගන, වැලි මාලිගා හදන, කඩල, අන්නාසි අච්චාරු, අයිස්පලම් කන කළු කූඹි. තම තමන්ගේ ලෝකවල ඉබාගාතෙ ඇවිදින කළුකූඹි. තම තමන් තුලටම, වඩවඩාත් ගැඹුරට ඇතුලුවෙන, තම තමන් තුලම සඟැවෙන කලු කූඹි. උන්ගෙන් අබැටක් තරම්වත් අවධානයක් නොලැබෙන නිසාම මට ඒකිගෙ ස්ට්‍රෝබෙරි සුවඳ දෙතොල ආක්‍රමණය කරන්න හිතුවටත් වඩා පහසු වුනා. කළු කූඹි ස්තර ගණනාවක් මැද්දෙන් අපි දීර්ඝ හාදුවක් තුලට කිමිදෙන්න ගත්තා.



* * * * * * * * * *


ප්‍රාර්ථනාගෙ පිරුණු රෝස පාට තොල් අතරින් සිගරැට්ටුව ඇතුලටත් පිටතටත් ගමන් කරන හැටිත්, ඒ වඩවඩාත් දීප්තිමත්ව දැල්වෙන හැටිත්, උණුහුමැති දුම් වළලු ඉහළ නගින හැටිත් සමාධියකට සමවැදෙන්න අපූරු කමටහනක්. ඉතින් මම එරමිණිය ගොතාගෙන සමාධිගත වෙන්න උත්සහ කලා. ඇස් අඩවන් කරගෙන, කුඩා කෙඳිරීමක්වත් නොනගා ඉන්න තතනමින්, වරින් වර බර හුස්ම පහරවල් පමණක්ම පිට කරමින් මම සමාධිගත වුනා. තවදුරටත් ඒකිගෙ දෙතොලින් ස්ට්‍රෝබෙරි සුවඳ නොහමන එකම මට සමාධිගත වෙන්න උපකාරයක් වුනා.

 
ප්‍රාර්ථනා දෙතොල් උල් කරලා මගේ පපුව මැදට විසාල දුම් ගුලියක් පිම්බා. එක්වරම දරුණු ඇවිලීමක් හටගත්තා. උස් ගිනිදළු සිරුර පුරා විහිදෙනකොට, මද ගැස්සීමක් සහිත විදුලි කාන්දුවකින් සමාධිය අවසන් වුනා.
 

ඒකි නිකට දෙ'අත්ල මත තියාගෙන මා දිහා බලන් උන්නා.
 

"මමත් කළු කූඹියෙක් වෙනවා." මං පිරිසිදු සුදු තුවායක් ඉනවටා දවටා ගනිමින් කිවුවා.
 

"ම්හ්?"
 

"මමත් අර විශේෂාංග පිටුවට තීරු ලිපියක් දෙකක් ලියාගෙන  පාඩුවෙ ඉන්න කළු කූඹියෙක් වෙනවා."
 

"ඒ ඇයි?"
 

"මට ජීවත් වෙන්න සිද්ධවෙලා තියෙනව. ප්‍රාර්ථනාවක් තියෙනව. නැද්ද? මම හිතන්නෙ, අද දවල් මගේ කම්පියුටර් ස්ක්‍රීන් එක උඩ අරගල කරපු කළු කූඹියට දැන් මොනව වෙලා ඇතිද? මට හිතෙන්නෙ, ඌ කම්පියුටර් ටේබල් එකෙන් පහල වැටිල සිරිපාලගෙ සපත්තුවට පෑගෙන්න ඇති. මට මේ වෙනකම් ඒක කල්පනා උනේ නෑ."
 

ප්‍රාර්ථනා මගේ උරහිසට උඩින් නැමිලා කනට කිට්ටු වුනා. කන් පෙත්තෙ තොල් ගෑවෙන නොගෑවෙන තරමටම.
 

"මම එහෙම හිතන්නෙ නැහැ."
 

"ම්හ්?"
 

"ඒ කළු කූඹියා මේ වෙද්දිත් උඹේ කම්පියුටර් එක ඇතුලට රිංගගෙන කෑල්ලෙන් කෑල්ල හෙමින් කාල දානව ඇති. සමහරවිට ඌගෙ වම් පැත්තෙන්, ගෑවි නොගෑවි ඉන්න පෙම්වතියකුත්, හරි හරි, අපි කියමු ජීවන සහකාරියක් එහෙමත් නැත්නම් සයිඩ් කික් එකක් කියල. ඒ දෙන්න දෙපැත්තකින් කම්පියුටරේ කාල දානව ඇති. කොහොමද ඒක?"
 

ඈ අඩක් හමාර කල සිගරැට්ටුව මා අතට දුන්නා. මම උස් වීදුරු දොර විවර කරගෙන බැල්කනියට ඇතුල් වෙද්දි මුහුදු හුලං වලට වඩා සියුම් හුස්ම පහරක් ගෙල පිටුපස උණුහුම් කරන්න වුනා. බැහැගෙන යන ඉර වියරු රත් පැහැයෙන් දැල්වෙනවා. කළු කූඹි පිච්චි පිච්චි ක්ෂිතිජය අද්දරින් මුහුදට වැටෙනවා.

 
"තනි කූඹියෙක්ට කරන්න බැරි ගොඩක් දේවල්, හවුල් සමාගමකට කරන්න පුලුවනි."
 

මම ලොකු දුම් ගුලියක් පිම්බා. වියරුවෙන් ගිනි ගනිමින් තිබුණු ඉර, ඒ දුම් ගුලියෙ දියවෙලා මුහුදට වැක්කෙරෙන්න පටන් ගත්තා.