Wednesday, July 29, 2015

හතරරියන්ගේ කින්ඩි හිනාව





සිද්ධිය ඇරඹෙන්නේ මීට වසරකුත් මාස තුනකට පෙරය. ආයතනික පුහුණු සැසියකදීය. ඉතා කාර්යබහුල මොහොතක ය.


පෙරදින රාත්‍රී අට වන තුරු පුහුණුවය. උදෑසන හතට යළි පුහුණු සැසිය ඇරඹෙයි. උයන්නට වේලාවක් නැත. පිරිමින්ට ගෙදර බත්පත ලැබෙති. ගැහැණුන් කන්නේ කඩයෙනි.


"කඩෙන් කන්න ඇවිදින්නෙ මොකටද? හවස ටෙස්ට් එකක් නේද? මං නොදන්නවද ඔයා ගැන. කන්න නොගිහින් ලන්ච් බ්‍රේක් එකේ පාඩම් කරාවි."

"මම උදේට එන්නම් කෑම එකක් අරගෙන!"


තමන් ආදරය කරන පිරිමියා එහෙම පැවසීම සාමාන්‍ය මනසක් ඇති සාමාන්‍ය කෙල්ලක වූ මට නම් රොමෑන්තිකය. ගොටුකොල සිහින්ව ලියා නොතිබුනු බව ඇත්තය. කැරට් කැබලි විවිධ හැඩයෙන් යුත් බවත් ඒ තරමටම ඇත්තය. නමුත් එහි ආදරය ගැබ්ව තිබුනේය.


පෙම්වතා අතින් පිසූ බත්පතේ කතාව එක්තරා අක්කියෙක් දැක්කාය. පෙරකී රොමෑන්තික භාවය හැර හැම දෙයක්ම ඈ දැක්කාය. බත්පතේ මහ කළුගල්ද, ඒ කළුගල් මත වූ නොඑක් පිපිරුම් ලකුණුද දැක්කාය.


"කොල්ල තමා උයන්නෙ. 
කෑම උයලා බැඳලා ගෙනත් දෙන්නෙ. පව්." 

ඉතින් ඈ කියකියා යනවාය. හැමෝමත් හූමිටිත් දෙනවාය. ඇස් ඇතැයි - කන් ඇතැයි හිතා ඉන් මිතුරන්ද ඈ එක්ක කොස්සන් හිනා දෙනවාය.


රියැදුරු බලපත්‍රයක් හිමි වීම ගැහැණියකට ආඩම්බරයක් වන්නේ යම් සේද, බතක් උයන්නට හැකි වීම පිරිමියාටත් ආඩම්බරයට කරුණක් විය යුතු. තමන්ගේ රෙදි පෙරෙදි තමන් සෝදාගන්න ලැජ්ජා නොවිය යුතු. ගැහැණිය සෝදා, උයා, පිහා, කවා, පොවා, නහවා, ඇඳුම් අන්දවන තුරු සැටි පුටුවක වාඩි වී සිටින කශේරුව බිඳුනු අබ්බගාතයෙක් නොවිය යුතු. පිරිමිය මෙන්ම ගැහැණියද තම දෙපයින් සිටගත යුතු.


සිනාවට කරුණ නම්, උයන්නට උදව් වෙන පිරිමියෙක් හිමි ගැහැණුන්ට ඇඟිලි දිගුකර හිනාවෙන්නෙත් ගැහැණුන්ම වීමය. එළැඹිය හැකි ආසන්නතම උපකල්පනය නම්, ඔවුන් කොස්සන් ලා හිනාවෙන්නේ තමන්ගේම නොලැබීමට බවය. උදේ සිට හවස් වන තුරු කොම්පැණිවලට කඹුරා, ගෙදර ගියාට පසු, දෙපා සෝපාව උඩ වඩා හිඳුවාගෙන රූපවාහිනිය තුල කිමිදෙන සැමියන්ගේ අල්පමාත්‍ර වූ සහයක් හෝ නොමැතිව සෝදන-උයන-පිහන, තනි ඇහැට ඇඬෙන ඉරණමට බවය.


"ඇයි වේලාසන ගෙදර යන්නේ? 
හස්බන්ඩ් නෙ උයන්නේ පිහන්නේ?"

ඕ අසයි. බොහෝ දෙනා හැරී බලයි. යල් පිනූ මොළයකට රොමෑන්තිකභාවය උගැන්වීමට වඩා බළලෙකුට අවකලනය උගැන්වීම පහසුය. එබැවින් මම මුවින් නොබැණ සිටිමි.


ඔව්. අද රාත්‍රී ආහාරය පිසින්නේ මම, ඔහු සමගය. ඔහු ෆ්‍රීලාන්ස් වැඩක් හෝ ආයතනික වැඩක් ගෙදර ගෙනාවොත්, උයන්නේ මමය. මම ලෙඩින් වැටුනොත් උයන්නේ ඔහුය. කවන්නෙත් ඔහුය. රෙදි සෝදන්නේ මමය. බරැති ඩෙනිම් කලිසම් පිරුණු රෙදි බාල්දිය බැල්කනියට ඔසවාගෙන යන්නේ ඔහුය. රෙදි වනන්නේ ඔහුය. රෙදි ගෙට ගන්නේ මමය.


දෙරියන් සමග හවුලේ කිරි එලදෙනක් ගත් හතරරියන්, මේ වෙනකොට පශ්චත්තාප වෙනවාත් ඇත. සමහරවිට දෙරියන්ගේ ගුණ ගයමින්, සාර්ථක හවුල් ව්‍යාපාරවලට කින්ඩි හිනාවක් දමා සැනසෙනවා ඇත.


ඉතින්, මිනිස්සු එහෙමය. පොල් පරාල ඇසැතිව, අනුන්ගේ ඇහේ පොල් කෙන්දට බණිනවාය. කුණු පිරි අතැතිව, විශබීජ නාශක දියරට දත නියවනවාය. වෙන කරන්නට දෙයක් නැතියෙන්, අපි "අනේ පව්!" යැයි කියනවාය.





Friday, July 24, 2015

උත්තරධ්‍රැවයේ බස් එක සමහ හදවත් පෙති (බස්සිගේ විස්මලන්තයෙන්)





ඒ පාර තමයි පාර. කළුම කළුපාටට මාගලක් වගේ ඒ පාර ඈතට ඈතට, තව තවත් ඈතට ඇදෙනවා. සිහින් දූවිළි අංශු මුහුවෙච්ච හුළඟක් මගේ ඉසකේ  එක දෙක ගලවගෙන ටවුන් එක පැත්තට  පාවෙලා යනවා. අන්න ඒ වෙලාවෙයි සුදුපාට දිග නැවක් වගේ ඉන්ටර්සිටි බස් එකක් කරාස් සද්දෙකින් මගෙ ඉස්සරහ බ්‍රේක් පාරක් ගැහැව්වෙ.


“නගින්න, නගින්න”

කොන්දොස්තරා මහා හදිස්සියකින් කෑ ගැහැව්වා. 
මම දඩිබිඩියේ හෑන්ඩ් බෑග් එක බදාගෙන බස් එකට ගොඩ වුනා..


‘මේක නිකම් උත්තරධ්‍රැවයට ගියා වගෙයිනෙ.’ 


බස් එක ඇතුලෙ තිබුනෙ ලේ මිදෙන තරමේ සීතලක්. කොන්දොස්තරා  මාව පැත්තකට තල්ලු කරලා සවලක් අරන් මී මැස්සෙක් වගේ කඩිමුඩියේ හිම ඉවත් කරන්න පටන් ගත්තා. කහපාට නළල මුදුනෙන් පටන් ගත්තු හීන් දාඩිය බිංදුවක් කම්මුල දිගේ අනවරත ගමනකින් පහළට ගලාගෙන යනවා. ඒ එක්කම නහය මුදුනෙන් පටන් ගත්තු දාඩිය බිංදුවක් එල්ලය බලලා එකපාරටම කම්මුල උඩට පැන්නා. ඒ ඝට්ටනයත් එක්ක දහදිය බින්දු දෙක කුඩා මුතු ඇට එකොළහක්බවට විච්ඡේදනය වෙලා හිම මිදුන පොළවට වැටුනා. අන්න ඒ වෙලාවෙයි සීට් මැද්දෑවෙන් කළුපාට රබර් පාපිස්න පැලවෙන්න පටන් ගත්තෙ.


මම බෑග් එක බදාගෙනම ඉස්සරහට යන්න පටන් ගත්තා. දකුණු පැත්තෙ ඉස්සරහම සීට් එකේ හිටියේ හිමවළස් පවුලක්. අම්මයි, තාත්තයි, ඇට්ටර පාට වළස් කොලුවෙකුයි. අම්මා ක්‍රීම් ක්‍රැකර් එකක් කෑලි කඩ කඩා කොලුවගෙ කටේ ඔබනවා. ඌ හැපිකව් චීස් නැතුව ක්‍රීම් ක්‍රැකර් කන්න බැරියැයි කියමින් මුළු බස් එකටම ඇහෙන්න බෑඟිරි තියනවා.  


දෙවැනි සීට් එකේ ඉඳන් උන්නු ජේත්තුකාර පෙන්ගුයින් ළමිස්සි මූණ හපුටු කරගෙන අයිපොඩ් එකේ ඉයර් ෆෝන් දෙක තව ටිකක් කන ඇතුලට ඔබා ගත්තා. ඉන් පස්සෙ බීට් එක වරද්ද වරද්දා උල් සපත්තුවෙන් පාපිස්නට තඩිබාන්න වුනා.


බස් එක එකපාරටම සැර බ්‍රේක් පාරක් ගැහැව්වා. මාව විසිවෙලා ගිහින් පිටිපස්සෙ සීට් එකේ වෙල්වට් කුෂන් කොට්ටෙක පස්ස ඇනිලා නතර වුනා.


කවුළුව අයිනෙ ඉඳගෙන උන්නු කොල්ලා මා දිහා බෙල්ල කරකවල බැලුව. මුලින්ම කණ්නාඩි කුට්ටම ඇතුලෙන්. මම දත් තිස්දෙකම පෙන්නල හිනා වුනා. ඒ ගමන එයා කණ්නාඩි කුට්ටම නහයට දාගෙන ඊට උඩින් බැලුවා. ආයෙමත් කණ්නාඩි කුට්ටම නළලට දාගෙන ඊට යටිනුත් බැලුවා.


ඉන් පස්සෙ, එයා දණිස් දෙකට හිරකරගෙන ආපු ට්‍රන්ක පෙට්ටියක් අරන් උකුලෙ තියාගත්තා. 


“ඕයි ගෑණු ළමයෝ!”


එයා ඒ කතා කලේ මට. මම ඒක අනුමාන කලේ එයාගෙ බැල්මෙන්. හරියටම නාකි කිකිළියෙක් පොළව හාරනකොට මතුවෙච්ච, එක කටකටවත් නොසෑහෙන පණු පැටියෙක් දිහා බලනව වගෙයි. 


“මොකද?”

මම කඩාපනින ස්වරයකින් ඇහැව්වෙ. කොහොමත් ඒ මනුස්සයගෙ බැල්ම මට ඇල්ලුවෙ නෑ. අනික ඒ කටහඬත් මහ ගොරහැඩියි. තානය වලහැඩියි. ඉතින් මම කඩාපැන්න. මට පුලුවන් උපරිම අසංවර ස්වරයෙන්.

“මොකද??”


“මම යන්නෙ උත්තරධ්‍රැවයට.” 


ඒක ඒ අවස්ථාවට කොහෙත්ම නොගැලපෙන ප්‍රතිචාරයක්නෙ. නැද්ද මං අහන්නෙ? ඉතින් විය යුතු පරිද්දෙන්ම මගෙ කට ටයර් එහෙකට අහුවෙච්ච කෙහෙල් ලෙල්ලක් වගේ ලා චෝරු වුනා. එයා කිසි ගානක් නැතුව අර විසාල ට්‍රන්ක පෙට්ටියේ පියන ඇරගෙන මොනවදෝ හොයනවා.


සෙල්ලං ගිගිරියක්, බාගෙට අලවපු අටපට්ටමක්, ඇකෝඩියන් එකක තත් කීපයක් ට්‍රන්ක පෙට්ටිය ඇතුලෙ එහෙ මෙහෙ වෙනව මට ඇහැ කොනට අහුවුනා.


ඊට පස්සෙ එයා එලියට ඇදල ගත්තෙ සීක්වීන්ස් වලින් වැඩදාපු තද දම්පාට වූල් ස්වෙටරයක්. අන්න ඒ වෙලාවෙ මට තදින්ම සීතල දැනුනා.  මම අත් දෙක පෙරවගෙන අත්ලෙන් වැලමිටි  දෙක මිරිකා ගන්නත්, බාහු යුගල තදින් පිරිමදින්නත් පටන් ගත්තා.


“සීතලද?”


නෑ එයා එහෙම ඇහුවෙ නෑ. එයා ස්වෙටරය අතට අරන් ඒකෙ උස් කර වටේට අල්ලලා තිබිච්ච තාරුකා හැඩේ සීක්වීන්ස් දෙකක් ගලවලා අරන් අහසට විසිකලා.අහසට කිව්වේ අහසටමත් නෙමෙයි, මං කියන්න ඕනෙ වහළෙට කියලා. බස් එකේ වහළට. එතකොටම බස් එකේ වහළෙන් ඇබිත්තං හිම පියළි වැටෙන්න පටන් ගත්තා.





මම තවතවත් තදින් බාහු පිරිමදින්න වුනා. හීන් කෙඳිරියකුත් පිටවුනා. එතකොටයි මම එයාගෙ ඔලිව් පාට මූණයි, ඝන සැරේට වැවුනු ඇහිබැමයි පැහැදිලිව දැක්කෙ. අර පීඩාකාරී සීතල පොඩ්ඩක්වත් අඩු නොවුනත්, මගේ ඇතුලතින් ඇවිලීමක් හටගත්තා. ඇතුලත ඇවිලීම වැඩිවෙන තරමටම පිටත සීතලත් දැඩි වෙන්න වුනා. අන්තිමේ මාව මැලේරියා රෝගියෙක් වගේ සට සට ගාලා වෙව්ලන්නත් පටන් ගත්තා. 


අන්න ඒ වෙලාවෙනම් එයා දැක්ක මට සීතල බව. ස්වෙටරය දිගෑරලා මට අන්දවනකොට මම ප්‍රතික්ෂේප කලේ නැහැ. නිකම් රිතික් රෝෂන් වගේ. ඇත්තෙන්ම, රිතික් රෝෂන් කෙට්ටුවට හිටියනම් ඒ වගේ වෙන්න ඇති. නැත්නම් ශාරුක් ඛාන් වගේ?


වැදගත්ම දේ තමයි මට අර ස්වෙටරය අයිති වුන එක. තියාගන්නම ගන්න කියල කිව්වෙනම් නැහැ තමයි. ඒත් එයා දුන්න විදියෙන් මට ඒක දැනුනා.


ඉන් පස්සෙ එයා ට්‍රන්ක පෙට්ටියෙන් එලියට ගත්තේ හදවත් හැඩේ බෙහෙත් පෙති වගයක්. 


“මොනවටද?”

කට පියාගෙන ඉන්න බැරිකමට මම ඇහැව්වා.


“පපුවෙ අමාරුවට.”


“ම්හ්?”


“සීතලේ වෙව්ලන අතරේ ඇතුලෙන් ගිනිගන්නව කියන්නේම හෘදයාබාධ හැදීමේ අවධානම බොහොම ඉහළයි කියන එකයි.”


එයා පෙති දෙකක් උගුරට හලා ගත්තා. කබා කර උඩට වැටිල තිබුන කැටි හිම ටිකක් එකතු කරගෙන නිල්පාට ප්ලාස්ටික් කෝප්පෙකට දාගත්තා. ඓන් පස්සෙ ඒ කෝප්පෙ පපුවෙ වම් පැත්තට කිට්ටු කලා. හිම ටික දියවෙලා වතුර වුනා.


ඉන් පස්සෙ එයා ගුඩු ගුඩු ගාලා ලොකු වතුර උගුරු බීගෙන බීගෙන ගියා. හදවත් හැඩේ පෙති දෙක දැන් පහළට ගහගෙන යනව ඇති.


පිටිපස්සෙ සීට් එකේ කෙලවරේ උන්නු තරුණ පෙන්ගුවින් ජෝඩුව චොකලට් පෙත්තක් හුවමාරු කරගනිමින් ප්‍රංශ හාදුවක. ඇත්තටුවල හිම වැටුනු තැන් සුදු පුල්ලි වගේ දිලිසෙනවා. 


“දෙන්නද?” 

එයා තව පෙති දෙකක් අතේ තියාගෙන ඇහැව්වා.


මං ටක් ගාලා කෝප්පෙට කැටි හිම ටිකක් එකතු කරගෙන පපුවට තුරුළුකරගත්තා. ටිකක් වම් පැත්තට වෙන්න.




~ මොළේ cRaCk උන පිස්සු බස්සියෙක් ~













Wednesday, July 22, 2015

මම යනවා. ඔබත් එනවද?





කුඩා කළු පැහැ අකුරු පොකුරුය
හිස පුරා චලන සිත්තම් අඳින
තැනින් තැන දාස්පෙතියා මල් ය
"අනේ අයියේ මාව කන්නැ'යි" කොඳුරන
දාස්පෙති දකින ගානේ හිත තිගැස්සෙන


ශ්‍යාමලී ගෝමස්ගෙ නැට්ට ගැන,
කතාවක් නැතිකොට අපේ විමළාවට නිදිමත නො'එන,
රුක්මනී වගේ ඉස්ටැයිල් ඕනෑමයි අඬන,
හීනෙනුත් කම්මුලට බළල් කොට්ටා පහරක් වැදෙන.


හිතනලන්තය හොයහොයා සිතියමක් ඔරවන,
GPS විකල්ලෙනි - GoogLe Maps අනේ මට තව බෑ කියන
CraZy FaNsලාය - සිතියම උඩ ඉඳගෙන බ්ලූබෙරි මෆින් බුදින
FiReෆොක්ස් ChRomE ඇතුලෙන් සාවාරියාගේ පියාව අමතන
'මිස්ටර්. FigaRoගේ සුවදුක් කොහොමදැ'යි" නිකමට අහන


"හිතනලන්තය ඇත්තෙ මෙතැනය"
අමිලානි සිය හිසට දෙවක් තඩිබාන,
කළු අකුරු එළියට අදින, සුදෝසුදු පිටු පුරවන,
හිතනලන්තෙන් කුඩා කොටහක රැපින් පේපර් එතෙන
අනේ අපි හෙට වෙනකල්ම මග බලන - කෙල හලන.







"හිතනලන්තය" කියන්නේ ඉතාම ජනප්‍රිය බ්ලොග් අඩවියක්. එහි හිට් කවුන්ටරය කරකැවෙන වේගයෙන්ම බ්ලොග් අඩවියට ඇදෙන රසික රසිකාවියන් ප්‍රමාණය ගැන දල අදහසක් ලබා ගත හැකියි. පසුගියදා පැවැත්වුන පුරවැසි මාධ්‍යකරණය පිළිබඳව වූ සම්මාන උළෙලේදී ජනප්‍රියම බ්ලොග් අඩවියට හිමි සම්මානය දිනාගත්තේත් හිතනලන්තයයි.


හිතනලන්තය, අරුමැසි මනමැවි දිවයිනක් වගෙයි. කවි, කෙටිකතා, සිනමා විචාර ආදී කැටගරි බොහොමයක් යටතේ මේ බ්ලොග් අඩවිය දිනක් පාසා යාවත්කාලීන වෙනවා. ලියන්නේ "කාංචනා අමිලානි කරුණාමුණි" අක්කා. 


කාංචනා අක්කාගේ ලියැවිලි රටාව ඇයටම ආවේණිකයි. ඈ මම හඳුනාගත් "සුවඳ හමන කවි" ලියන්නට සමත්කම් දක්වන අතළොස්සෙන් කෙනෙක්. ඇගේ කවි වලින් කවියට ආවේණික ඉඟුරු තේ සුවඳ, මින්ට් සුවඳ, කුරුඳු සුවඳ, අළුත කැපූ තණකොලවල සුවඳ හමනවා. 





ඒත් මම ආසාම ඇගේ කෙටිකතා වලට. ඈ නම් පෘථිවිවාසියෙක් වෙන්නට බැරියැයි, ඒ කෙටිකතා අතරේ සරන මට නිතරම හිතෙනවා. ඒ තරමටම ඇගේ පරිකල්පනයන් නැවුම්, ඇබ්බැහිකරවන සුළුයි, උණුහුමයි.


ඉතින්, හෙට, ජූලි විසිතුන්වැනිදා තමයි ඒ දවස. ඇගේ බ්ලොග් අඩවියේ පළවූ කවි එකතුවකුත්, කෙටිකතා සහ ඩූඩ්ල් එකතුවකුත් හෙට හවස තුනට, මහවැලි කේන්ද්‍ර ශවණාගාරයේදී එළිදැක්වෙනවා. කෙටිකතා පොත "ගම්මිරිස් කුරුල්ලා". කාව්‍ය සංග්‍රහය ප්‍රේමයේ කාර්තු.


කපිල කුමාර කාලිංග සහ මාලින්ද සෙනෙවිරත්න මෙහිදී දේශන දෙකක් පවත්වනවා.


හතු පිපෙනවා වගේ පොත් පැලවෙන කාලෙක, පැහැදුල් මදාරා පිපෙන්නේ අහම්බෙන්. මේ ඒවගේ අහම්බයක්. මම යනවා ඈ බලන්න. ඔබත් එනවද?




Friday, July 17, 2015

උගත් මැවිසුරු බළලුන්






අඹ ගහේ කොළ ගණින
හඳේ මුහුණත මනින
බරැති හිස පහත් කර
උපැස උඩහින් බලන



සමනළෙක් තටු ගහණ
වේගයත් කෝණයත්
බළල් නැටි අගිස්සෙන්
සමීකරණෙක ලියන



ක්ලියෝපැට්රාවගෙත්
දිගු නහය හකුලුවන
මේ උගත් බළල්ලුන්
මාලිගාවට එපාමයි කියන



අති වියත් හිසැති බළලුන්
රූපවාහිනි අසල නිදි කිරන
පාපිස්න උඩ ගොරව ගොරවා නිදන



පිරමීඩ තනන්නත්
උමං සැලසුම් අඳින්නත්
මිසරයට හෝ වෙන ඈතකට 
නැවක පටවා යැවිය යුතු වන



නිදන කාමරයෙන්
“චිප්” කියා එලවීම සුදුසු වන
මුස්න පහරක් දෙකක්
වැදුන මුත් කිසි දුකක් නොදැනෙන





Tuesday, July 14, 2015

ත්‍රාසජනක ෆිසික්ස් පංතිය






බස්සිගේ ඉක්කෝලෙ කාලෙ කතා මාලාවට ලිපියක් එක්කාසු කරන්න කාලාන්තරේකින් බැරිවුන නිසා ඔන්න අද බස්සි ඉස්කෝලෙ කාලෙ සිදුවීමක් ගැන යාං හෑල්ලක් කියවන්න තීරණය කලා.


බස්සි ඇතුලු මිතුරු පිරිසගේ ඕ ලෙවල් කාලෙ ප්‍රියතම ගුරුවරයෙක් වුන “කොමා” ගැන මම මීට කලින් ලිපියකදි කිවුවා කස්ටියට මතක ඇති.


ඉතින් ඔය සුන්දර සහ සමනළ පියාපතක් මෙන් සැහැල්ලු ඕ.ලෙවල් ජීවිතයට සමු දීලා අපි ඝෝර කටුක ඒ.ලෙවල් ජීවිතයට පා තබනවා පින්වතුනි. ඔය ඒ ලෙවල් ජීවිතයේ ආරම්භයත් එක්කම අපේ අම්මත්, මගේ හොඳම යාලුවො රොත්තකගෙම මව් දෙමව්පියනුත් ඉතාම අකාරුණික අයුරින් තීරණය කරනවා අපිව ප්‍රදේශයේ සිටින දරුණුම භෞතික විද්‍යා ගුරුතුමියට බාර දෙන්න.


අපේ අවාසනාව තවත් තීව්‍ර වෙන්නෙ ඒ ගුරුතුමිය හෙවත් ‘ඩේසි ටීචර්’ එක බැච් එකක් වෙනුවෙන් කරන්නේ ළමයි විසිපස්දෙනා බැගින් වූ කණ්ඩායම් පන්ති තුනක් පමණක් වීම නිසයි. ඒ නිසාම ඒ කුරුස බර අදින්න අපිව තෝරාගත්තෙ මූලික ගණිත දැනුම ඉතා ගැඹුරෙන් පරීක්ෂා කොරපු, දකිනකොට කෙඳිරි ගෑවෙන ප්‍රශ්ණ පත්තරයක් තරණය කරවීමෙන් අනතුරුවයි.





ඇත්තටම මගේ වාසනාවට හෝ අවාසනාවට මුල් අවධියේ මම යන පංතියේ මගෙ ඉස්කෝලෙ යාලුවො සැට් එකේ පිස්සු කෙලින උන් එකෙක්වත් හිටියෙ නෑ. ඒ වෙනුවට මගේ ගමන් සගයා වුනේ ඕ.ලෙවල් විභාගෙදි දිස්ත්‍රික්කෙන් දෙවෙනියා වෙලා ඒ වෙනකොටත් තරුවක් බවට පත්වෙලා උන්නු ජුඩියා. (අනිත් උන් බොහොමයක් උන්දැට ගෞරව පුරස්තරව කතා කරද්දිත් මගේ සහ කිරිහාමියාගේ නැහැදිච්ච කටවල් උන්දැව ආමන්ත්‍රණය කලේ “ජුඩියා” කියන ආරූඪ නාමයෙන්මයි.)


ඔන්න දවසක් අපි පිචිස් ක්ලාස් යන්න ලෑස්ති වෙලා ජුඩියගෙ ගෙදර ඉස්තෝප්පුවෙ වාඩි වෙලා ඉන්නව. මේ වෙනකොට අර දුර්භික්ෂ සමය පහවෙලා ජෙස්මියා සහ කිරිහාමියා ඩබලත් අපේ පන්තියටම එන්න පටන් අරන් තිබුනෙ. ඉස්කෝලෙ ඇරුනු ගමන් අපි තුන්දෙනා පෝලිම් කුඩු කරන් ඩුවගෙන ආවට ඩිපියුටි හෙඩ් ප්‍රිෆෙක්ට් වෙච්චි ජුඩියට එහෙම ලේසියෙන් එන්න බෑ.


ඔන්න ටික වෙලාවකින් ජුඩියා අත් දෙක පද්ද පද්දා බොහොම සැහැල්ලුවෙන් එනව. ජුඩියගෙ තාත්ත එලියට බැහැලා පුදුමෙන් වගේ බලන් ඉන්නව දැකපු අපිටත් මූ එන විදියෙ මොකක්දෝ අමුත්තක් පේන්න ගත්තා. 


“කෝ ළමයෝ ගෙදරින් යනකොට ගෙනිච්ච බෑග් එකයි වතුර බෝතලෙයි.”

ජුඩියගෙ තාත්තා මහ සද්දෙට අහද්දි වට දෙකක් කැරකිලා ඇංජිම ඉස්ටාර්ට් කරගත්තු ජුඩියා පිස්සුවෙන් වගේ ආපහු ඉක්කෝලෙ පැත්තට දුවන්න වුනා.


************************





ඩේසි ටීචර්ගේ ගේ ඉස්සරහ තියෙනවා බොහොම සරුසාර ඉද්ද පඳුරු කීපයක්. දවසක් මමයි ජෙස්මියි ඩබල කතාවක් දාගෙන ඉන්න අතරේ ජෙස්මියා ඔය ගහෙන් ඉද්ද මල් කඩ කඩා මගෙ කොණ්ඩෙට ගහනවා. මේ අවස්ථාවේ අර පරණ ක්‍රස් එකක් පැත්තකින් ඉඳන් හොරෙන් බලාගෙන හිටපු නිසා ඔන්න මමත් ෆුල් කැටයම් පාර දාමින් ඉන්නව.


හදිස්සියේම ඩේසි ටීචර් පංතියට එනවත් එක්කම අපි කඩාගෙන ගිහින් ඉඳගත්තා. වෙනදා වගේ නෙමෙයි, අද ක්ලාස් එකේ කොල්ලො මිස් අහකට යනකම් ඉඳලා කියන්නෙ එකම සින්දුව. 


“කාගෙ වත්තෙ මල් කඩන්නෙ 
ල් කඩන්නෙ මල් කඩන්නෙ
කාගෙ වත්තෙ මල් කඩන්නෙ 
ටනනනානනා"


මමත් ඉතින් අර ගප්පියගෙ සුද්දි කියන්නැහේ ‘පික්ශූඩ?’ කියලා හිත හිතා පැය තුනම කොහොමින් කොහොමහරි ගෙවා දැම්ම. ක්ලාස් ඉවරවෙලා නැගිටලා යනකොට පොඩි ඇඩ් එකක් දාලා කොණ්ඩ කෑල්ලක් ඉස්සරහට පද්දලා ගත්තා විතරයි.


මල හත්තිලව්වට ඉද්ද මල් වැස්සයි කියහල්ලා අර අති භයංකාර ඩේසි ටීචර්ගෙ මේසෙ උඩට!


ඔබතුමන්ලාට කිවුවට මොකද පින්වතුනි, ඒ අවස්තාවේ “හැක හැක හැක” යනුවෙන් රැලි පෙරැලි නංවාපු නොසන්ඩාල කොලු රැලගේ සිනා සයුරේ ගිලෙද්දි මගේ හුස්ම හිරවෙලා එතන මලානම් හොඳයි කියලාමයි මට හිතුනෙ.


මම ශ්‍රෙක්ගේ පූසා වගේ බලන් හිටපු හැටි දැකපු ඩේසි ටීචර්ගෙ ගල්හිත පළමු වතාවට උණු උනා මම හිතන්නෙ. ඒ නිසාම මගෙ දිහාවට පොළව පලාගෙන යන උපහාසාත්මක බැල්මක් දාල කීවෙ;

“අහා මෙයාද එතකොට ඉද්ද හොරා?” කියල විතරමයි.





ඔය කලාස් එක ඒ කාලෙ අපේ ජීවිත වලට කොයිතරම් තදින් බලපෑවද කිවුවොත්, මම අපේ කොමා ගැන ලිවුව විදියෙන සිංදුවක් ඩේසි ටීචර්ටත් හදලා තිබුනා. අන්න එහෙමයි අපේ ගුරු බක්කිය.


නින්දෙන් ඇහැරී ඇස් ඇරියේ
ඩේසී, නෑ පුටුවේ හිටියේ
ගල් කැට ප්‍රක්ෂේපිතයක් දුටුවේ
ඩේසී කිකිලී හා පොර පිටියේ


දිවියේ ආශා – ක්ෂය වූ දවසේ
කන මත අම්මා තෙරපුම් බල යෙදු මොහොතේ
ලක්ශ්මනයගෙ පොත් ටික කරපින්නා
අපි දුම්මලදෙණියට පියමැන්නා


ඉර හඳ සේ මා භ්‍රමණය වූවා
ඝර්ෂන නැති දෛශිකවල උත්තර ලීවා
නිවුටන්ගේ ආච්චි සිහි කරලා
MCQ ටෙස්ට් පේපර් හැදුවා


(නිම් හිම් සෙව්වා මා සසරේ සිංදුවේ තාලෙට ගායනා කරන්න ඈ!)





මගේ ඒ.ලෙවල් ඉතිහාසයටම, සයන්ස් වලට ඇල්ම ඇති සත්තු වැඩිම ගානක් දැක්කෙ ඩේසි ටීචර්ගෙ පන්තියෙදි. ඩෙස් වල යට ලෑල්ලේ ඉඳන් කට බලියාගෙන ඉන්නා හූනෝ, කණු දිගේ බඩගාමින් ඕනෑම මොහොතක හිස මතට කඩා පාත් වීමේ නොතිත් ආශාවෙන් පෙලෙන කටුස්සෝ, හිටි අඩියේම කෙකර ගාමින් පන්තිය මැදට කඩා වැදී ටීචර්ට අත්තාපල්-මුත්තාපල් තියන්නට හඬගාන නාඹර කිකිළියෙක්, සෑම දුස්ස්‍රාවිතා ගණනක් අවසානයේදීම නැගිට මෙරිගෝ රවුමක් මෙන් වට පහළොව හමාරක් කැරකී ආපහු මොකුත් නූනා වාගේ බිම ඇදවැටී නිදන ලොම් හැලුනු බල්ලෙක්, ඇත්තටම උඹලට පීක්ශුදැ’යි අහන්නාක් වැනි විමසුම් බැල්මක් ඇතිව වයිට් බෝඩ් එක පාමුල තැන්පත් වුන සුදෝසුදු බළල් තඩියෙක් විතරක් නෙමෙයි වතාවක් දෙකක් ඉතාම අනපේක්ෂිත ලෙස පංතියට කඩා වැදුනු ගැරඬියෙකුත් ඒ කාලේ අපේ පන්ති සගයන් වුනා.


මායි කිරිහාමියයි ජෙස්මියයි දවසක් වේලාසනින්ම පන්තියට කඩාපාත් වුනේ බරපතල ඕපාදූප සාකච්ඡාවක් දිග අරින්න තිබුන නිසයි. අහෝ දුකකි, ඉරකි තිතකි කියන්නැහෙ මෙන්න බොලේ ඩේසි ටීචර් එදා අක්කලා අයියලා සෙටාර් එහෙකට රිවිශන් ක්ලාස් එකක් කරනවා.


අපි තුන්දෙනත් ඉතින් නැව ගිලිච්ච කැප්ටන්ලා වගේ බෑග් මලු  කරේ එල්ලගෙන යනවා. කියව කියවා යනවා. කියව කියවා කියව කියවා යනවා. කියව කියවා යනවා යනවා යනවා.


හොඳ වෙලාවට, ඇත්තටම හොඳ වෙලාවට ලුණුවිල හන්දිය පහුවෙනකොට මේ ඉන්නේ කොහේද කියන එක යාන්තම් ජෙස්මියාගෙ මොළේට වැටිලා තිබුනා. වෙලාව බලනකොට අපි පැය එකහමාරක් විතර තිස්සේ, කියව කියවා පැද්දි පැද්දි දුම්මලදෙණියේ ඉඳන් ඇවිත් වෙන්නප්පුවත් පහුකරලා.


ඔව් ඉතින් ආයෙ ඉතාම ආඩම්බරයෙන් යුක්තව බස් එහෙකට නැගලා ක්ලාස් එකට ආවා. හුහ්! කට් කරන්න? එහෙමත් කට් කරනවද අර සුකුමාර ක්‍රස් එක එන පංති?





ඇවිත් සුපුරුදු පරිදි පිටිපස්සෙම පේළියට වාර්තා කරනකොට මිස් හෝම්වර්ක් බලලා ඉවරවෙලා අහනවා;


“ළමයි. තරංග චලිතයෙන් මොනව හරි ප්‍රශ්ණ තියෙනවනම් අහන්න. අපි අලුත් යුනිට් එකක් පටන් ගන්නයි හදන්නෙ.”


එතකොටම පැනොරාමා එකක් ගන්නවා වගේ කවදාවත් නැති උනන්දුවකින් කිරිහාමියා බෙල්ල කරකවලා වටපිට බලා අහපි;

“ඒ බං තරංග කියන්නෙ JVC එකෙන් අලුතෙන් ආපු එකාද?”






Thursday, July 9, 2015

ලොඩියෝ!






"ලොඩියාගේ කාය සැකැස්ම,
ලොඩියා මෙන්න මෙහෙමය
ලොඩියා අරහෙමය
ලොඩියා ලොඩියා ලොඩියා"
බයෝ ටීචර් කෑගහන හඬ
ඇහුනෙ ගල් පවුරෙන් එපිට හුන්
විසල් රළගෙඩි වලටය.

'අහා ලොඩියෝ ඉතිං කොහොමද?'
කුඩා ජෙලිෆිෂ් දිහා බලබල
කට කොනක් ඇද කරන් ඇහුවේ
දඟකාර රළ පොඩිති ය.

හඬා වැටෙමින් කුඩා ජෙලියන්
අම්මා ගාවට දුවන අතරේ
'හලෝ ලොඩියා! හුහූ ලොඩියා'
ගැයුවෙ පසැඟිලි කොල්ලොය.

ලා පැහැති ජෙලි වතේ 
කඳුළු කැට පිපුනෙ මුතුඇට වගේ
අම්මා ජෙල්ලී - පාද සෙල්ලී
කවුද ඇඬවූයේ එරන්වන් දරු මගේ?

කුඩා කසුකුසු කතා අතරේ
බයෝ පන්තිය ගැනත් මැතිරේ
ජෙලිමාළු වෙරළතේ අඳුරේ
රොද බැඳන් විෂ කවත් වතුරේ

"වැදුනොතින් ජෙලියන්ව පපුවේ
එතැන එහෙමම මැරෙනවා
අතපයක ලුමිනස් පැහැති විස
තැවරුනෝතින් කසනවා
පීරියඩ් කට් කරන් වෙරළට
පැන්නොතින් හම ගහනවා"
උපැස් යුවලට උඩින් බලබල
බයෝ ටීචර් කියනවා.....!



Wednesday, July 8, 2015

කොලිටියට ආතල් දීම - FunKy DiRt





ආතල් ගැනීමට වයස් භේදයක් නැතුවම අපි කවුරුත් කැමතිය. එහෙම අකමැතියි කියනවානම් ඒ එක්කෝ “ආතල්” යන වචනයේ තේරුම නොදන්නා කෙනෙක්ය. නැත්නම් මොනවාම හරි තදබල මානසික ගැටලුවක් තියෙන කෙනෙක් ය.


“ආතල් කැටගරි” රැසකි. එය වයස, ස්ත්‍රී පුරුෂ භාවය, වත්කම වගේම සංස්කෘතිය මතත් වෙනස් වෙනවාය. උදාහරණයකට කිවුවොත් පැටි වියේදී සුමනාවතී බෝනික්කන් නැලවීමෙන් ආතල් ගත් අතර සිරිපාල ආතල් ගත්තේ සෙල්ලම් කාර් පැදීමෙනි. වයසින් වැඩෙත්ම විවිධාකාරයේ හෙයාර් ඉස්ටැයිල් අත්හදා බැලීම සුමනාවතීගේ ආතල් එක වූ අතර, ගම වටා රස්තියාදු ගැසීම සිරිපාලගේ ආතල් එක බවට පත් වෙනවාය. 


ආතල් නොගන්නා මිනිස්සු කියලා ජාතියක් මේ ලෝකේ නැතිය. හැමෝම, තම තමන්ට අනන්‍ය ආකාරයට ආතල් ගන්නවාය. ඔය අතරින් ඉතා සුළු පිරිසක් අනිත් අයට ආතල් දෙනවාය.


“ආතල්” කියන්නේ සන්තෝසයම නොවේය. ඒක සාමාන්‍ය සන්තුෂ්ඨියට එහා ගිය, හිත ඇතුලෙන් පුබුදුවාලන හැඟීමකි. ඊට අදාළ හරබර සිංහල වචනයක් මම නොදනිමි. හැබැයි මම දන්නා එක දෙයක් ඇත. ඒ, “බස්සිගේ නවාතැන” බ්ලොග් කටුව ලිවීමෙන්ද, ෆේස්බුකියේ කවි ලිවීමෙන් ද මමත් කරන්නේ ආතල් සැපයීමක් බවය.


සමහරු ආතල් දෙන්නට ගොස් පීචං වෙනවාය. හත්පොලේ ගා ගන්නවාය. ලාබ ආතල් දෙන්නට යන සමහරු හිරේ විලංගුවේ පවා වැටෙනවාය. 


ගා ගන්නේවත්, නාගන්නේවත්, අනාගන්නේවත් නැතුව ආතල් දීම අසීරුය. මෙතෙක් කාලයකට එහෙම නා ගන්නේ නැතුව ආතල් දුන්නු උදවිය අතරේ අලුතින් පායපු ආතල් ස්ටාර්ලා තුන්දෙනෙක් ඉන්නවාය. ඒ “Funky Dirt” බෑන්ඩ් එකය.





බස්සිගේ රසවින්දන පරාසය ටිකක් පුළුල් ය. ඉකි ගහන්නේ හෝ කන් ගොඩ වෙන්නේ නැත්නම් බස් සින්දු සහ මල් සින්දු වුනත් ලොකු අවුලක් නැතිය. ඒත් බස්සිව ආශක්ත කරගැනීමට සමත් නිර්මාණකරුවෙක් වෙත්නම් ඒ හැබෑ වැඩ්ඩෙක් ය. ඒ කියන්නේ බසු නිර්ණායක වලට අනුව “Funky Dirt”ලා වැඩ්ඩන්ය.


හැමදේම හැමෝටම දිරවන්නේ නැත. 
බස්සිට දූරියන් සුවඳ අප්පිරියා වන අතර, බස්සා දූරියන් මාරයෙකි.
බස්සාට ඩෝනට් අප්‍රසන්න වන අතර බස්සි ඩෝනට් ලෝලියෙකි.
එව්වායේ හැටි එහෙම නිසා ඕනෑම කෙනෙකුට මෙතනින් එහාට කියවා ලේ පුච්චාගන්නේ නැතුව සමාදානයෙන් ජීවත් වෙන්නට පුලුවන් ය.


“Funky Dirt” ලාගේ සිංදු සරලය. 
එදිනෙදා කතා කරන වචනය. 
‘අලුත් සිංහල’ ය. 






හෝන් සද්දෙ
ඇසේ සංගීතයක් සේ
ට්‍රැෆික් එකේ මෙ රස්නෙ
දැනේවි පෙම් සිසිලෙ
ඈ ළඟ හිඳින වේලෙ – හෘදෙ සාදයක් සෙ
ම’ ලෝකෙ පාරදීසෙ – මැවේවි හයිලෙවල් පාරෙ

යළිත් මෙසේ -  මෙ බස් එකේ – මෙ රූට් එකේ – මුණගැසේ
කියා සිතා – හිතා මතා – ඈ එන වෙලාවටම එන්නෙ


ඔෆීසියෙන් හයිලෙවල් පාරට බහින හද්දා වෙහෙසකර හවසකට සෙට් වෙන්නේ එහෙම සිංදුය. වෙහෙසකර මනස තවත් මහන්සි නොකරන සුගම වචන ය. වෙහෙසකර ගත ඉබේ නැටවෙන ‘ආතල්’ බීට් එකක්ය.


සිංදුවට වඩා නැගලා යන්නේ මියුසික් වීඩියෝවය. දැන් බිහිවෙන බොහොමයක් මියුසික් වීඩියෝවල කපල් එක යන්නේ ලිමොසි එකේය. හැබැයි රිඩ්සි කෙල්ලත් එක්ක යන්නේ බස් එකේය. අනිත් මියුසික් වීඩියෝවල කෙල්ලගේ දුෂ්ට තාත්තා හමර් එකෙන් ඇවිත් කෙල්ලව කුණු මාලු කෑල්ලක් සේ ඇදගෙන යයි. ඒත් ‘අයියෝ ඩාන්ස්’ එකේදී කොල්ලාගේ තාත්තා පුටු පුටුවෙන් ඇවිත් බාල්දිය දමයි. පෙම්වතා හොටු පෙරාගෙන අඬන වීඩියෝ මේනියාව “Funky Dirt” ලාට තවත් ආතල් පොයින්ට් එකකි. 





“අපේ තාලේ බූට් සිංදුවක්” හෙවත් “ඒක තමයි මේක” “Funky Dirt”ලාගේ අලුත්ම මියුසික් වීඩියෝවයි. බූට් එක ආතල් එකට හරවා ගන්නා සිංදු පහුගිය කාලේ තොග පිටින් බිහිවූ බව ඇත්තය. හැබැයි බසු කන්වලට නම් ඒවා බොහොමයක් ඇල්වතුර හෝ ගොං ආතල් විය. බූට් එකෙන්  දැනෙන ආතල් එකක් දුන්නේ “ඒක තමයි මේක” විතරය.


මම බ්‍රේක් නැතිව කිලෝ ගණන් හීන මවද්දී..
එයා බ්‍රේකප් වෙන්න දාලා යන්න හේතු හොයද්දී..
ඊයේ ගැලපුණු හඳහන් අද අවුල් කියද්දී..
තේරුණේ මට පෙරලෙන බව ප්‍රේමේ බාල්දි. . . .!





ඕනෑම සිංදුවක් එක්ක ‘පිස්සු කොර වෙන’ මඥ්ඥං බීට් එකකට පොඩි ඩාන්ස් කෑල්ලක්ද එකතු වෙයි. ඒ ඉතා සරල ස්ටෙප්ස් වලින්ය. ඕනෑම රසවතෙක්ට ඩී.ජේ එකකදී හෝ ප්‍රසංගයකදී පහසුවෙන් නැටුමට එකතු විය හැකි තරම් පහසු වන අතරම,  ඒ ඩාන්ස් එක බලමින් බඩ අල්ලාගෙන හිනාවෙන්නටත් පුලුවන්ය. 





සිංදු හිට් කරන්න සල්ලි ගෙවන්නේ නැති නිසාදෝ ඉකි ගහන බස් සින්දු, මල් සින්දු හෝ වට්ටෝරු සින්දු මෙන් මේවා ලංකාවේ මාධ්‍යවල ප්‍රචාරය වෙන්නේ නැත. විකාශය වුනත් යලට මහටය. හැබැයි කෙටි කාලයක් තුල “Funky Dirt” ලා ලොකු පිම්මක් පැන්න බව මේ සම්මාන වලින් පැහැදිලිය.


2012 Best new artist of the year – Derana music vedio awards


2012 Hot and spicy upcoming star  – Derana music vedio awards



2013 Best online music vedio of the year – Derana music vedio awards











වැඩි කලබල නැතිව, අනවරත ගමනක යෙදෙන්නාට සෑහෙන දුරක් යන්නට පුලුවන්ය. ඉතින් ‘අවුරුද්දට එකායි – ආතල් ගොඩායි’ අරගෙන තව සෑහෙන්න කාලයක් අපිට ආතල් දෙන්නට “Funky Dirt”ලාට හැකි වේවායැයි හදවතින්ම සුභපතනවාය.




Friday, July 3, 2015

නිලා කූරකින් ප්‍රේමය දල්වන්න පුලුවන් ද? (ෆැන්ටසි)


කුඩා ස්පර්ශයක් පවා සිදුවුනේ ඉතාම මෘදුව



ඒක අහඹු කඩාවැදීමක්. කඩාවැදීමක් වුනත් ඒක ඒහෙමයි කියල හිතාගන්න බැරිවෙන තරමටම ඒ සිදුවීම පුරාවටම ආචාරශීලීබව පිරිලා ඉතිරිලා තිබුනා. මටසිලිටි වචන, හරිම අරපරිස්සම් සහගත හැඟීම් ප්‍රකාශන, ඇත්තටම කුඩා ස්පර්ශයක් පවා සිදුවුනේ ඉතාම මෘදුව.


ඒත්, ඒක කඩාවැදීමක්. හරියටම නිශ්චල දියතලයකට අත ඇරපු අනපේක්ෂිත තිරිවාන කැටයක් වගේ. මුලදි ඉතාම අලංකාර දියරැලි රවුමට විසිරිලා ගිය එක ඇත්ත. ඒත් ඒ දිය රැලිති නිසාම අනාගතය අපැහැදිලි වුන බවත් ඇත්තම ඇත්ත. බාගදා ඒකටම වෙන්නැති ‘ආදරේ අන්ධයි’ කියලා කියන්නෙත්.


ඒ හැඟීම, ඇඟපුරා විදුලි රේඛා දාස් ගානක් දිවයනවා වාගේ දැනෙන ඒ හැඟීම ආදරේද කියලා මට සහසුද්දෙන්ම කියන්න බෑ. කොහොම වෙතත්, ආදරේ කියන්නේ ඒකනම්, ආදරේ අන්ධයි. අන්ධයි විතරක් නෙමෙයි මනුස්සයෝ, ආදරේ ගොළුයි, බිහිරියි, මෝඩයි. මත්කුඩුවලටත් වඩා ඇබ්බැහි කරවන සුලුයි.


ජීවිතේ හැදිලා තියෙන්නේ නොසිදුවිය යුතු සිදුවීම් ගොන්නක එකතුවෙන්. ජීවිතේ මහා මෝඩ දෙයක් කියලා මට නිතරම හිතිලා තියෙනව. ඒත් එහෙම හිතෙන්නෙ අපි ජීවිතේ කියන මූලික රාමුවට පිටින් ඉඳන් බලනකොට. සිරුරට අහිතකර බව දැන දැනම නිකොටින් උරා බොන මිනිස්සු වගේ අපි කරන්නෙ ඒ නොසිදුවිය යුතු සිදුවීම් මහා කෑදරකමකින් වැළඳගැනීම.


මම ඔහේ කියවාගෙන යනව වගේ හිතෙනවද? එකිනෙකට නොගැලපෙන වචන අටෝරාසියක්, කිසිම විචිකිච්ඡාවක් නැතුවම? ජීවිතෙත් එහෙමයි සහෝදරයා! ජීවිතෙත් එහෙමමයි. 


හොඳයි, කඩාවැදීම සිදුවුනේ කාගේ පැත්තෙන්ද කියන එක මටත් හිතාගන්න අමාරුයි. කොයිහැටි වෙතත්, ඒ සීතල නොවැම්බරයේ නෘත්‍ය ශාලාවට කඩා වැදුනේ ඔහු නෙමෙයි මම. කොහෙත්ම සැලසුම් සහගතව ගිය ගමනකුත් නොවෙයි. යන්න තැනක් නැතිකමට. ඇරත් නොවැම්බරයේ හැන්දෑ කාලය ඇස් පිහාටු පවා මිදෙන තරමට සීතලයි වගේම ඉතාම අකාරුණික විදියට දීර්ඝයි.


හැන්දෑ කාලයන් වැඩිහරියක් ගතවුනේ හාදු වංගුවේ උද්‍යාන බංකුවක් උඩ. වියයුතු පරිද්දෙන්ම තනිවම සහ යාබද අසුන්වල එකිනෙකාගේ උරහිස් අතර වෙලී සැඟැවී ඉන්න පෙම්වතුන් ගැන ඊර්ෂ්‍යාභරිතව. බරසාර නිර්දේශ ග්‍රන්ථවල පුස් ගඳ ඇතුලේ සියලුම භව්‍ය ප්‍රේමණීය හමුවීම් දියකර හරින පෙම්බරා ගැන තරහවෙන් දැවෙමින්.   නෘත්‍යශාලාවට ගොඩවැදීමෙන් බලාපොරොත්තු වුනේ කුඩා වෙනසක්. නමුත්, එක් කුඩා වෙනසකට පුලුවනි නීරස ඒකාකාරීත්වය කුඩුපට්ටම් කරලා දාන්න.


ඒවනවිටත්  සංගීත සන්ධ්‍යාව ආරම්භ වී තිබුනත් ශාලාවේ හිස් ආසන බොහොමයක් ‘එන්න ඉඳගන්නැ’යි කියමින් අඩක් විවර දොර පලුව දෙස බලා උන්නා. ඉතින් මම ඒ පරණ සටහන් පොත් ගොන්නට එහායින් වූ හිස් අසුනේ වාඩිවුනා, අහම්බයෙන්. ඇත්තටම අහම්බයෙන්.


මද වේලාවකින් බැගී ඩෙනිම් කමිසයක් සටහන් පොත් ගොන්න අතට ගත්තා. වැරෙන් හඬදෙන ගිටාරයත්, රළු ගායනයත් අතරමැද යම් ලක්ෂයකදී අපි කිසිවෙකුත් නොතකමින් පහත් හඬින් තනුවත්, ගැයුමත්, පදමාලාවත් ගැන අදහස් හුවමාරු කරගනිමින් උන්නා. 


ඇත්තටම මම ඒ ගැයුම් බොහොමයකට කැමති වුනේ නෑ. සාමාන්‍ය දිනක, සාමාන්‍ය සැඳෑවක, සාමාන්‍ය මම එතැනින් නැගිට ගොස් බොහෝ වේලාවක් ගතවෙන්න තිබුනා. ඒත්, ඒක අතිවිශේෂ දවසක්. විශේෂ සැන්දෑවක්.


“මම අද වේලාසනින් යනවා.” පෙම්බරාට කෙටි පණිවුඩයකින් දැනුම් දුන්නේ හාදු වංගුවේ කෙලවරේ බංකුවක වාඩිවෙලා හිමකිරම රසවිඳින අතරේ. 


ඒ කියන්නේ හීගඩු පිපෙන සීතල හැන්දෑවක හිම කිරමක් තුලින් ප්‍රේමය මතුවෙන්නට පුලුවන් බවද? වියළි මුද්‍රික ඵල කැබැල්ලක් දත් අතරේ සීරුමාරු කරන ගමන් මම කල්පනා කලා. බාගවිට එහෙම නොවෙන්නත් පුලුවන් ඇති. කාටද සහතික වෙන්න පුලුවන් ප්‍රේමය කියන්නේ මේකටයි කියල!


ඒ කියන්නේ නිලා කූරකින් වුනත් ප්‍රේමය දල්වන්න පුලුවන් බවද?"




අපි තවමත් උද්‍යාන බංකුව උඩ. ඉතා සුලු ස්පර්ශයක්වත් නැතුව. ඔහු අකුණු පහරවල් වගේ හිටිවනම ගීත කොටස් ගායනා කරනවා. එක්වනම ගැයුම නවත්වනවා. ආයෙමත් ගයනවා වෙනත් ඌරුවක, වෙනස් ගීතයක්.


මම අරමුණක් නැතිව පරණ  සටහන් පොතක් පෙරලන්නට වුනා. "කාර්මික රසායනය" යනුවෙන් මුල් පිටේ ලියා තිබුනත් එහි පිටු පිරී තිබුනේ කුරුටු රූප සහ කවි කැබැලි වලින්. නිකට කෙලවරට සුලං පිඹිමින් පෙරැලෙන්නට වූ පිටු එක්වනම නැවතුනා. ඔහු මගේ උරහිසට ඉහළින් පොතට එබෙමින් උන්නා.


අළුවන් කුසුම් පෙති දිගහැරේ දුම්වැටියෙන්
පඬුවන් වතෙහි මරකත මැණික් මෙනි දිලෙන්නේ ගැඹුරු දෙනුවන්
ඈත පෙරදිග රටකින් පැමිණි මැවුම්කරුවෙක්ද ඒ
මග දෙපස තුත්තිරිද හිස නමන්නේ ගරු සරුවෙනි


හැන්දෑව ලා දම් පැහැ කසී සළුවකි
ලදැරියක් විලස ඇවිටිලි කරමි – නිලා පොකුරක් අතැතිව
සැලෙයි රත් ල'දල්ලක්, ලයිටර හිසක් ඇවිලී
ඔබේ නෙත් තුල රඟන්නේ එක වගේ කෙල්ලන් දෙදෙනෙකි.


ඉසියුම් පුළුන් කැටියක්ව – වළාකුළු වෙත එසවෙමි
නිලා පොකුරෙහි ගිනි මල් ය වළා කෙහෙරැලි අතර තැන තැන
ඉසිලුම් නැතිව ඉපිලෙමි – මද පවනකින් සසැලෙමි
පීරි ගාමින් හද තත් – රෑසියන් සැඟවගෙන වයත් වෙණ


ඉඟුරු තේ තරම් උණුහුමයි ඒ උරහිස
ස්ටෙප්ස් බිමක් තරමට පුළුල් – හොඳටෝම වැඩියි එහි ඉඩකඩ
සදාකාලයටම ලැගුම් ගන්නට නොතරම්ය
නවාතැන්පොලක් නොව – ගිමන්හලකිය ආවොතින් යන්නම වෙන


සුහදාන සිහින් ස්වරයෙන් සිවුරුහන් ලන්න
අවසාන දුම් වළල්ලෙත් මල් පුබුදන්න
පිටවාන කඩාගෙන යන සුසුමක් තුල කිමිදෙන්න
නොදොඩාම කිසිත් හිස සැලීමෙන් පමණක්ම සමුදෙන්න



ඔන්න ඔහු අර තියුණු දෙනෙතින් මගේ සිතුවිලි පරිලෝකනය කරනවා. හිස්වැසුමට පහළින් මට පෙනෙන්නේ කන් පෙත්තෙන් කොටසයි. ඒ ලා රෝස පාටයි. ඇඹුල් ලොවි ගෙඩියක් වගේ දිලිහෙන්නේ.


"ඒ කියන්නේ නිලා කූරකින් වුනත් ප්‍රේමය දල්වන්න පුලුවන් බවද?"


"ප්‍රේමය නෙමෙයි."


"එහෙනම්?"


"මම දන්නෙ නෑ හරියටම. අපි ඒකට ප්‍රීතිය කියලා කියමුද?"


ඊට පසුවයි පළමු ස්පර්ශය සිදුවුනේ. සකසුරුවමට උර බාහු මතට පතිත වුන මිටිගුලි පහරක්. රොමෑන්තික නැහැ. කොහෙත්ම නැහැ. නමුත් ඉතාම අරපරෙස්සම් සහගතයි. 


"හෙට වෙනකල්ම මෙතන ඉන්නද හිතන්නේ?"

"එහෙමත් හිතෙනවා." මම දෙවුර හකුලමින් කිවුවා.

"මරු!" 

ඔහු බංකුව උඩ එරමිණිය ගොතා ගත්තා. ඊට පස්සේ අපි කතා කලා මහ ගොඩක් දේවල්. ආකේන්ලන්තය ගැන, සන්තියාගෝ ගැන, ලොයිකො සෝබර්ගේ ආලය ගැන, පනාගෝලිස්ගේ කැරපොත්තා ගැන. . . . අපිට කතා කරන්න අටෝරාසියක් දේවල් තිබුනා.


ඉන් පස්සේ හැම පත්‍රයක්ම ලා රත් පැහැ වෙන්න ගත්තා. නොවැම්බර හැන්දෑවරුවල හයයි තිහ වෙනකොට ඉඳිකටු වගේ හිරු කිරණ පතිත වෙන්න පටන් ගත්තා. හාදු වංගුවේ ඕවලාකාර මල් පඳුරු ඇතුලෙන් රොමෑන්තික කුරුලු ගී ඇහෙන්නට වුනා.


පෙම්බරා දිගින් දිගටම පුස්තකාලයේ අඳුරු මුල්ලක පරණ පොත්වලින් හදාගත්තු කොටු පවුරක් ඇතුලේ බොහොම සැපපහසුවෙන් උන්නා.


ස්ටෙප්ස් බිමක් තරමට පුළුල්! ඉඟුරු තේ මෙන් උණුහුමයි ඒ උරහිස




ඒත් මම කැළඹිල්ලෙන්.  නිශ්චල දියතලයක උඩ පනින දණ්ඩියෙක් වගෙයි ප්‍රේමය. මුලදි ඉතාම අලංකාර දියරැලි රවුමට විසිරිලා යන එක ඇත්ත. ඒත් ඒ දිය රැලිති නිසාම අනාගතය අපැහැදිලි වුන බවත් ඇත්තම ඇත්ත. ඒක වෙන්නැති ‘ආදරේ අන්ධයි’ කියලා කියන්නෙත්.


බාගදා මේ ප්‍රේමයම වෙන්නැති ප්‍රීතිය කියලා කියන්නෙත්!