Wednesday, January 8, 2014

කොමාගේ Com



ඉක්කෝලෙ කාලෙ කතා ලියන්ඩ ගත්තට බස්සිට ලියන්න ලැබුනෙ දුකාගෙ කතාව විතරයි නෙව. ඉතිං ඕං බස්සි අද කියන්න යන්නෙ අපේ ඉක්කෝලෙ හිටපු කොමා ගැන.




කොමා යනු කවරහු ද? කොමා තමයි අපිට දහය, එකොළහ වසරවලදි කොමස් ඉගැන්නුව සෑර් තුමා. තරමක් උසින් අඩු, කැරලි කොණ්ඩයක් තියෙන, පාං බාගෙයක් වාගෙ වෑන් එකක එන අපේ කොමාව ශානු අක්කා එහෙමනම් සජීවීව දැකලා ඇති.


ඔය කොමස් කියන සබ්ජෙට්ටුව අපිට සැට් වෙන්නෙ දහය වසරෙ අතිරේක තාක්ශන විශයයන් තෝරා ගන්නකොට. අපේ සූටි හුරතල් නගා
ලා එහෙම දැං සැපට තොරතුරු තාස්සනේ කොලාට ඒ කාලෙ අපිට තෝරගන්න තිවුනෙ කොමස් සහ ගෘහ විජ්ජාව කියන සබ්ජෙට්ටු දෙකෙන් එකක්.

 
මගේ ගෘහ විජ්ජා පෙන්නලා ඉක්කෝලෙ ගෘහ විජ්ජා ලැබ් එක ගිනි තියන්නෙ මොකටදෑ කියල මං ගියාලු කොමස් කොරන්න. තනියෙං නෙවෙයි, මගෙ ලෝකෙ කාලා වතුර බීපු යාලුවො සැට් එකත් එක්කම.







 

කොන්වන්ට් වල කොල්ලන්ගේ අඩුව පුරවන්නෙත් කෙල්ලො නෙව (මම කිවුවෙ දඟකාරකම් වලින් හරිද?) ඉතිං අපිට කොමා පංතියට ආපු මුල් දවසෙම ඉව වැටුනා මුන්දෑ නම් අපිට හොඳහැටි හිනාවෙන්න දේවල් ඉතිරි කරලා යන සෑර් තුමෙක් විත්තිය.

 
සික්, මටත් බෝවෙලාද මන්දා අර පඳුර වටේ තැලිල්ල. එවුවා කොහෙද? බහිමු ඉට්ටෝරියට.

 
අපේ කොමා කැමතිම වැඩේ තමයි එයැයිගෙ පතරංග ජාතකයක් වාගෙ තඩි C.R. පොතක් බලාගෙන අපිට ලියන්න සටහන් කියවන එක. කියවන විට ලිවීම දෙක වසරෙ ඉඳන් පුරුදු වෙලා තිවුන නිසා අපි යාලුවො සැට් එක ඒ වෙලාවට කරන්න පුරුදු වෙලා හිටියෙ කොමා කියන එක අපි කැමති භාශාවට පරිවර්තනය කරන එක. (ඉංග්‍රීසියෙන් විතරක් නෙමෙයි අපේ එකෙක් හිටියා කොමාගෙ පාඩම හින්දියෙන් ලියාගෙන යන)





 

කොයිහැටි වෙතත් කොමාගෙ මේ සටහන් කියවිල්ල නිසා අපිට ඒ කාලෙ මොනා නැතත් ලියන්නෙක් හරි භාශා පරිවර්තකයෙක් හරි වෙන්ට තිවුනා ලේසියෙන්ම.

 
ඉගැන්වීමේ කාලයෙන් සීයට අනූ නමයක්ම සටහන් කියවිල්ලට වැය කරන අපේ කොමා ඉතිරි සීයට එක වියදම් කරන්නෙ එයැයි අකමැතිම වැඩේට. ඒ අවස්තාව උදා වෙනකොට කොමාගෙ මූණ දුක්ඛිත භාවයේ උච්චතම අවස්තාවට එළඹීම හේතුවෙන් කලු වෙලා ඇඹරිලා යනව. ඉතාම මන්දගාමී ස්වරූපයෙන් තමන්ගෙ පශ්චාත් භාගය පුටුවෙන් ඉහලට උස්සන කොමා වයිට් බෝඩ් එක දිහාට දෙපා අද්දනවා.


මොකටද? අපිට ගිණුමක් ගහලා පෙන්නන්න.






 

ඔය ගහන ගිණුම් වලින් සීයට අනූ අටක්ම හර බැර තුලනය කරගන්න බැරුව අපේ කොමාව ඉමහත් භීතියට පත්කරනවා. ඒ වෙලාවටනම් කොමා තුංමුනින් දාඩිය දාගෙන, අර කැරලි කොණ්ඩෙ ඇද ඇද හර පැත්තෙ එවුවා බැර පැත්තෙ ලියලා. ගානෙ දීල තියෙන අගයන් එහා මෙහා කරලා ගිණුම තුලනය කරගන්න සිරාම ෆයිට් එකක් දෙනවා.

න්න ඔය වෙලාවට තමයි අපි පෑල දොරින් අන්තරස්ධාන වෙන්නෙ.


කොමා එක පාරට සද්දයක් ඇහිලා පිටිපස්ස බලනවා. ඇස් දෙක පුංචි කරන් අපි උන්නු පේළිය ගාවට එනවා.


"කොයි දැං මෙතන හිටපු එකා?" කොමා තද උනාම අහන්නෙ එහෙමයි.





"මෙතන?" අපි අහිංසක තාලෙන් ඇස් ගෙඩි තඩි කරගෙන අහනවා.


කොමා ඉන් එහාට මුකුත් කියන්නෙ නෑ. කටුකුටු ගගා හෙමිහෙමින් බැන බැනා යනවා ගුරු මේසෙ ගාවට.

 
ඒ යන ටිකට තවත් එකෙක් දොරෙන් එලියට දුවනවා.

 
කොමා පස්ස හැරුනට ඉන්නෙ කන් දෙක දික් කරගෙන. "අන්න පැන්නා! අන්න පැන්නා!!" කොමා අත් දෙකෙන් කලිසම උස්ස උස්ස පස්සෙන් දුවගෙන එනවා කොරිඩෝ එක ගාවට යනකම්.


ඒත් ඒ වෙනකොට කොරිඩෝව හිස්.


"මෙතන. මේං මෙතන හිටපු එකී පැන්නා. ආදෙන්කො." කොමා සද්දයක් දානව.


"කවුද සර්?" කස්ටියම යලිත් වරක් අහන්නෙ බොහොම ලයාන්විතව.


කොමා එලෙවුවෙ කාගෙ පස්සෙන්ද කියල මමනම් කියන්නෙ නෑ ඕං!


එහෙම පනින්න වෙන්නෙ කොමා අපිට පස්ස හරවන දාට ඉතරයි. කොමා ලේසියෙන් අපිට පස්ස හරවන කෙනෙක් නෙමෙයි.


කොමාගෙ පස්ස නිසා වෙන වෙන දේවල් නම් සෑහෙන්න පීඩා විඳලා තියෙනවා.

 
අපේ ක්ලාස් රූම් එකේ ඉස්සරහ දකුණු පැත්තට වෙන්න තියෙනවා සුවිච් පේලියක්. මොනාහරි ප්ලග් කරන්න ඕනෙ වුනොත් කියලයි තියෙන්නෙ. කොමා අපිට සටහන් කියවන ගමන් ඒ සුවිච් පේලිය උඩ පශ්චාත් භාගය විවේක ගන්වනවා.

 
කොමා සටහන කියවලා පුටුවට එද්දි සුවිච් පේලියම ඕන් වෙලා තියෙනවා දකින අපිට මාර ජොලි. මම හිතන්නෙ අපේ ඉක්කෝලෙන් මෙතුවක් කාලෙකට බිහිවුන, පස්සෙන් සුවිච් දැමීමේ හැකියාව ඇති එකම පුද්ගලයා අපේ කොමා තුමා වෙන්ට ඕනෙ.








 
එක්කො පස්ස තියනවා ගුරු මේසෙ තියෙන මල් පෝච්චියක් උඩ. පෝච්චිය කෑලි දහ අටයි.






 
කලු ලෑලි තියෙන ක්ලාස් රූම් එකකට ගියොත් අනිවාර්යෙන් පස්ස තියනවාමයි හුණු කොට්ටෙට.

 
එක්කො වාඩි වෙනවා පුටුඇන්දෙ. පුටුවෙ පැත්තක් උඩ ගිහින් අනූ නමයෙන් වැටෙන්නැතුව බේරෙනවා.

 
අපිට හොඳටම කම්මැලි උනාම අපි ඩීසන්ට් පිටම එලියට යන තවත් ක්‍රමයක් තියෙනවා.


ඒ තමයි,  "අපිව එලියට ගනිල්ලා" කියලා ලියලා යටින් අපේ නම් ලියාපු කොලගුලි අල්ලපු පංතියට වීසි කරන එක. අපිට කොමස් වෙලාවට අල්ලපු ක්ලාස් එකේ උන් මොනාට හරි (subject එක මතක නැත) එලියට යනවා. ඒක කට් කරලා පංතියෙ ඉන්න පින්වත්තු තමයි අපිව ඒ වෙලාවට එලියට ගන්න උදවු වෙන්නෙ.






"සර්, මෙයාට මේ club එකේ මේ වැඩේට එන්න කිවුවා. සර් අරයට අර event එකේ practice එන්න කිවුවා" කියලා එන උන්ව අපිට පේන්නෙ අපේ ගැලවීමේ සුරදූතයො වගේ.


අර බයිට් වලට දස්ස කිරිහාමියා එහෙම ඔය පින්කමට ඉත සිතින් දායක වෙච්චි එකෙක්.


ඔහොම ඉන්න ගමන් දවසක් මම කොමා ගැන සිංදුවකුත් ලිවුවා. (මේක කියන්නෙ "මා ආදරෙයි නංගියෙ-මා ආදරෙයි" සිංදුවෙ තාලෙට)



මා ආදරෙයි කොමා - මා ආදරෙයි
මගේ ආදරේ - ගිණුමක් සේ ලෙජරයේ
හරවී, බැරවී, නැවතත් හරවී
නවතී හදෙහී ශේෂ වී


කොමස් වෙලේ ලාස්ට් රෝ එකේ ඉන්නට ආසයි
ඉන්න ගමන් පොඩි නැප් එකකුත් දාන්න ආසයි
ගණුදෙණු ඇනිලා - ගිණුමක එරිලා
පිණිජම්බු වගේ ඔබේ මූණ රතු වෙනවට ආසයි

 
ඔබ කියනා බිසිනොස් සටහන් ලියන්න ආසයි
පස්ස හැරුණු ගමන් අතුරුදහන් වෙන්න ආසයි
බී.එස්. කරලා - එකවුන්ට්ස් ගහලා
කවදාහරි මැනෙජ්මන්ට් පොරක් වෙන්නට ආසයි


 




ඔය සිංදුව ඒ කාලෙ අපේ ඕ.ලෙවල් යාලුවො කස්ටිය අතරෙ බොහොම ප්‍රචලිත උනා.

 
කොහොමින් කොහොම හරි අපි ඕ.ලෙවල් ලියලා, ප්‍රතිඵලත් අරන්, බුලත් අතකුත් අරන් ගියා කොමාව හම්බවෙන්න.

 
"කොහොමද තමුසෙ?"

 
"ඒ සර්."


"අනිත්ව?"

 
"බ්ලහ් බ්ලහ් නමයයි බ්ලහ් එකයි සර්"

කොමා කණ්නාඩියට යටින් මා දිහා බැලුව හොඳට.



"ඒ.ලෙවල් වලට මොනාද කරන්නෙ?"

 
"බයෝ"

 
"ලොකු දෙයක්. ලොකූ.... දෙයක්. තමුසෙල සේරම සයන්ස් ද?"

 
"ඔව් සර්."

 
"පැත්ත පලාතෙ එන්න එපා. සයන්ස් කරපල්ල. මම හරිම කල්පනාවෙන් හිටියෙ තමුසෙලා මට තව අවුරුදු දෙකක් පව් දෙන්න එයි කියල." කොමා අපිට සමුදුන්නෙ එහෙම.









 
ඒත් මට කොමාව ඊට මාස දෙකකට විතර පස්සෙ අපිට ඒ ලෙවල් පංති පටන් ගත්තු අලුතම හමු වුනා, ප්‍රින්සිපල්ගෙ ඔෆිස් එක ගාවදි.

 
"ගුඩ් මෝර්නිං සර්!" මම කිවුවා.

 
"ආ... මෝනිං!" කොමා අපිත් එක්ක වැඩියෙ හිනා වෙන්නෙ නෑ.

 
"තමුසෙ බයෝ කරන්න ගියාට මම හිතන්නෙ තමුසෙට මැනේජ්මන්ට් යන්න තිබුනනම් ඊට හොඳයි." කොමා කියාපි. "කමක් නෑ, තමුසෙල ඔක්කොම අන්තිමේ යන්නෙ සයන්ස් වලටනෙ. නොගියත් ගුරුවරුයි, දෙමවුපියොයි තල්ලු කරනවානෙ."

 
මගෙන් ප්‍රතිචාරයක් ලැබෙන්නත් කලින් කොමා ඔලුව වනවනා යන්න ගියා.

 
කොමා ගැන කියන්න තව රස කතා ගොඩක් තිවුනත් පෝස්ටුව දිග වැඩි උනාද මන්ද. අපි ඒ කාලෙ වයසින් අඩුයි. හරි වැරැද්ද ගැන දැනීමක් නැහැ. හරිම දඟයි. ඒ නිසයි ඒ වගේ හැසිරුනේ. ඒ හැසිරීම අද මම අනුමත කරන්නෙ නැහැ කොහෙත්ම.

 

හර බැර තුනය නොකලාට, කොමා සර් ගුරුවරයෙක් විදියට මාව හොඳින් තේරුම් අරන් තිබුනා. බයෝ කරලා, සයන්ස් ඩිග්‍රියකට කැම්පසුත් ගිහින් අන්තිමේ මම අද ඉන්නෙ කොමා සර් කියාපු තැනමයි. මම අද ඉන්නෙ එතන. මගේ විද්‍යා අධ්‍යාපනයෙන් ළඟා වෙන්න බැරි තැනක.  කොමා සර්ට අද මාව මතක නැතුව ඇති. සර් අදත් අපි වගේ පිස්සු නටන ළමයි රංචුවක් එක්ක හර බැර තුලනය කරනවා ඇති.



66 comments:

  1. ආපහු ලබන්න කැමති උනත් ආපහු ලබන්න බැරි අත්දැකීමක්.....interesting.....

    ReplyDelete
    Replies
    1. ආයෙත් එනවානම් මගෙ දිවියට ආසයි ඒ ලස්සන කාලේ..... :D

      Delete
  2. // පැත්ත පලාතෙ එන්න එපා. සයන්ස් කරපල්ල. මම හරිම කල්පනාවෙන් හිටියෙ තමුසෙලා මට තව අවුරුදු දෙකක් පව් දෙන්න එයි කියල.//

    අපිත් ඔය ටික අනන්තවත් අහන් ඇති.. අපිටනම් හැබැයි කොමා හිටියේ හරි ලස්සන මිස් කෙනෙක්.. ඒ හන්දා අපිනම් හොද ළමයි වගේ හිටියේ ඒ දවස් වල..

    ReplyDelete
    Replies
    1. අපිටත් හිටියෙ මිස් කෙනෙක් බන් හැබැයි පොඩි නෑ. වයසෙන් මුහුකුරා ගිය ආච්චි මිස් කෙනෙක්. සංසාරේ… සංසාරේ… :'(

      Delete
    2. හපුයි මේ කොල්ලෝ.... මිස්ලා උගන්නන සබ්ජෙක්ට් වලට සුපිරියට රිසාල්ට්ස් ඇති දිනේශ් අයියට. මට මතකයි කලිනුත් කමෙන්ට් එකක ඕම කතාවක් කියලා තිවුනා. :D

      Delete
    3. අහෝ දුකකි. ඉරකි. තිතකි. ප්‍රියෝ....

      Delete
  3. අදමයි අවේ මේ පැත්තේ හිට් වෙච්ච ටිකකුත් කියව්වේ පට්ට ඈ

    මේක ගැන කියනකොට නම් මට මතක් උනේ ඔය උගන්නන හැම ගුරුවරයම කියන පොදු කතාවක්

    මේක තමයි මට හම්බවෙච්ච ජරාම පන්තිය

    ReplyDelete
    Replies
    1. අපිත් ඔය කතාව අනන්තවත් අහලා ඇති බොරලු මහත්තයෝ.... සාදරයෙන් පිලිගන්නවා බස්සිගේ නවාතැනට!!!

      Delete
  4. මේ වගේ හිනා වෙච්ච ගුරුවරු නම් ඕන තරම් ඉන්නවා. ඒත් දැන් නම් මතක් වෙද්දී පව් කියලා හිතෙනවා

    ReplyDelete
    Replies
    1. ඔවු බන්. පොඩි වරදකාරී හැඟීමක් එනවා මටත්.

      Delete
  5. මම නම් හිතන්නෙ බස්සි, ඉගැන්වීම වගේම වැදගත් ලමයව තේරුම් ගැනීමේ හැකියාවත් ගුරුවරයෙකුට.
    ඒ කාලෙ කරපුවට දුක් වෙන්න එපා. ඕවා අඩු වැඩි වශයෙන් හැමෝම කරනවා. නොකරනවානම් එක්කො අති පණ්ඩිත ලමා වියේම පිය හෝ මවු මානසිකත්වයකින් ලෝකය දිහා බලන එකෙක් හෝ එකියක්. එක්කො රොබෝවෙක්.

    ReplyDelete
    Replies
    1. එහෙම අති පණ්ඩිත මහාචාර්යවරුත් අපේ පන්තිවලනම් මදි නොකියන්න හිටියා..... එච්චරත් පිස්සු කෙලලා අද මෙහෙම ඉන්න එක ගැන නම් ගොඩක් සතුටුයි මට. මොකද එක්සෑම් වලට යන්න කලින්ම ගොඩක් ගුරුවරු මට එෆ් දීලා ඉවරයි ඒ කාලෙ.

      Delete
  6. හැක් හැක්.. ඔය වගේ කොයි තරං අත්දැකීම් තියෙනවද අමතක කරන්න බැරි ඒ කාලේ..

    ReplyDelete
    Replies
    1. අමතක කොරන්නත් බෑ. සමහර එවුවා ලැජ්ජාව නිසා ලියන්නත් බෑ....

      Delete
  7. ඔන්න උඹලගෙ ජාතියෙ එවුන් නිසා ගුරු කමක් කරන්න ලැබුනු චාන්ස් එකකටත් පයින් ගැහුව මංතුමා!

    ReplyDelete
    Replies
    1. ජාතියේ වාසනාවට සිද්ධ වෙච්ච දෙයක් ඒ...

      Delete
    2. හික්ස්.... මටත් යාලුවො ගුරු කමට ගියා කියල ඇහෙනකොට මගේ ජාතියේ උන් ඉස්කෝලවල තවත් ඇති නේද කියලා හිතිලා ඇඟ කිලිපොලා යනවා.....

      සිරා කතාව දේශා අයියේ... අපේ ළමා පරපුරේ වාසානාව!!!

      Delete
  8. අනේ අපිට හිටියේ ලොකේ ඉන්න හොදම මිස්ද කොහෙද.. අම්මපා ඒ වේලාවට හැම ඒකාම පන්තියේ. මිස් නම් මාර ගති.. උගැන්විල්ල ඊට වඩා පට්ට... කරුමේක මහත මිස් ඉගැන්නුවේ ඔලේවල් විතරයි ඒ නිසා අපි එලෙවල් වලට කොම් තොරගත්තේ නැ. හැක් ^_^

    ReplyDelete
    Replies
    1. අනේ අපිට පින තිවුනෙ නෑ අක්කෝ ඉක්කෝලෙන් එම ගුරුවරු ලබන්න. අපිට ඒ ලෙවල් කාලෙ හිටපු කෙමෙස්ට්‍රි මිස් ඇරෙන්න අනිත් ගොඩක් අය අයිස් පරුවත....

      Delete
    2. mata hina yanawa ban ekale wagema thamath!!! pattaiiiii!!!!!!!!!!!!!!

      Delete
  9. මරු සින්දුව මොනා වුණත්. හිනාවෙන් හිනාවෙන් කියෙව්වට ඔහොම ගුරුවරු තමන් ගන්න පඩියට ණය යි. ගුරුවරු විතරක් නෙමේ ඔහොම අයිස් ගහන හැමෝම.

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාව දිලිනියෝ.... අයිස් ගහන එකටම ළමයි ගැන ඉරිසියාවත් කලවම් වුනාම පට්ටයි. එක එකාගෙ කේලාම් අහලා තමන්ගෙම පන්තියෙ ලමයින්ට වල කපන ගුරුවරියො තවත් මාරයි. අන්න එහෙම අය එක්ක බලද්දි කොමා රටක් වටී....

      Delete
  10. නියම කතාව ,අපේ නම් අපේ ගුරුවරු තමා මේ තත්ත්වයට ගෙනා වේ ,මම නම් එකට අදටත් දෙපාරක් හිතන්නෙ නැතුව කියන දෙයක් (හැබැයි ඔක්කෝම ගුරුවරු නම් නෙවෙයි ගුරු හොරුත් ඉන්නවාඅ )

    ReplyDelete
    Replies
    1. මාවත් මේ තැනට ගෙනාවෙ මාව පන්තියෙ නැගිට්ටවල, "ඔය ලමයා නම් සබ්ජෙක්ට් තුනම එෆ් F වෙනවා කියලා අනාවැකි කියලා. මම නිසා මගෙ යාලුවො නොමග යනවා කියල තැන තැන කියාපු ආදරණීය ගුරුතුමියක් තමයි.

      ඒ ගුරුතුමිය නිසා මට මෙහෙම අයිස් ගහන ගුරුවරුත් දෙවිවරු වගේ පේන්නෙ.

      Delete
  11. අපිට කොමස් ඉගැන්නුවේ "ගුණේ සර්"ගුණේ කිවේ "ගුණවර්ධන" කොට කරලා.සර් ස්කොලේ ආවේ තැපැල් 90 බයික් එකේ.එක නිසා "තැපැල් ගුණේ"කියලාත් කිවා.නමුත් බොහොම හොද ගුරුවරයෙක් ඔහුනම්.

    ReplyDelete
    Replies
    1. ගිනුම් ඉගැන්නුවෙ නැතුවාට අපේ කොමාත් හරිම අහිංසක මනුස්සයා මනෝ.... :)

      Delete
  12. මම කොමස් රිසල්ට් කියන්න ගියාම සර් අහපු වචන තාමත් මතකයි "තමුසේ කොමස් ද කලේ කොයි පන්තියේද,මාගේන්මද ඉගෙන ගත්තේ මම කවදාවත් තමුසෙව දැකල නැ නෙහ්....ඊළගට ඇහුව ක්ලාස් ගියදා කියලා./...එකටත් උතරේ නැ නෙහ්...ඊළගට කියුව පුතා උබට පන්තියේ නොඉද A එකක් ගන්න පුලුවන් නම් A/L පන්තියේ හිටියොත් අනිවා ඇතුලට යතහැකි වරෙන් කොමස් කරන්න කියුව...මගුල් මැතක් නොකර සර් කිඋව එක එහුව් නම් අද මම පාස්

    ReplyDelete
    Replies
    1. මෙන්න මට බය හිතෙනෝ

      Delete
    2. //"තමුසේ කොමස් ද කලේ කොයි පන්තියේද,මාගේන්මද ඉගෙන ගත්තේ මම කවදාවත් තමුසෙව දැකල නැ නෙහ්....// අපේ සෞඛ්‍ය මිස් සහ ආගම මිස් මගෙනුත් ඔය ප්‍රස්න ටික ඇහුව....

      Delete
    3. චාමික මල්ලි, බොරුවට බය නොවී හිටින් ඔය රමාල් අයිය විහිලුවට කියන කතා.....

      …පවු බන් පොඩි දරුව හොඳටෝම බයවෙලා.... :P

      Delete
    4. අපේ අම්මත් කොමා මිස් කෙනෙක් බස්සි අක්කේ..o/l කොම ගොඩ ගියේ එයාගේ විබාගෙට කලින් දාවසේ කියලා දුන්න ටිකෙන්

      Delete
  13. ekenma pissu lokayak o/l kale....guruwarunta dapu card goda,,,,,,,, dan nam matak weddith hina.....

    ReplyDelete
  14. මෙහෙමත් කෙල්ලෙක්. පාසල් සමයේ මතක දේවල් තවම තියෙනවා. කොහොමත් ලංකාවේ වැඩි කළමනාකරණ ජොබ් නේ. ඉංජිනේරුකරත් අන්තිමේ කළමනාකරුවෙක් වීම විතරයි බොහෝවිට වෙන්නේ. මොන අංශෙන් ගියත් කළමනාකරණය සහ ගිණුම් දැනගෙන ඉන්න තරමට වටිනවා.

    //"ලොකු දෙයක්. ලොකූ.... දෙයක්. තමුසෙල සේරම සයන්ස් ද?"// කිවුවට සර්ගේ අදහස තිබිලා තියෙන්නේ ඔබ මැනේජ්මන්ට් යන්න තිබුනනම් ඊට හොඳයි කියන අදහස. දක්ෂ ළමයි විද්‍යා සහ ගණිත අංශවලට දුවන විට ඔය වගේ ගුරුවරුන්ට දුකත් ඇති.

    වැරදිකරු ගුරුවරයාද? යන්න දැන ගන්න මගේ බ්ලොග් එකටත් එන්න.

    ReplyDelete
    Replies
    1. ඔවු යාලු. අපේ ඉක්කොලෙ දක්ෂ ලමයි සේරම බලෙන්ම විද්‍යා ගනිත අංශ වලට තල්ලු කරන එක ට්‍රෙන්ඩ් එකක් වෙලා. අනිත් චාටර්ම සීන් එක තමයි කොහොම හරි මෙඩ්ඩො/ ඉන්ජො වෙන්න හිතාගෙන ඒ ඔක්කොම උන් තුන් පාරම ඒ.ලෙවල් ලිය ලියා ඉන්න එක.

      //මොන අංශෙන් ගියත් කළමනාකරණය සහ ගිණුම් දැනගෙන ඉන්න තරමට වටිනවා.// සහතික ඇත්ත. තවමත් අපේ වයසේ යාලුවො බොහෝ දෙනෙක් වටහා නොගත් ඇත්ත.

      Delete
  15. අවංකව මෙවැනි මැරැටි කෙල්ලන් හමුවීම සර් ලද අබාග්‍යකි.
    ප . ලි
    ඇදෙ අපේ ඉස්කෝලේ කොල්ලෝ ඉදලත් මෙහෙම වැඩ කරන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. පික්සු හැදෙයි. ඒ කාලේ ලමයින් මෙලෙස මැරෑටි වැඩ නොකලොත් එය ඔවුන්ගේ අභාග්‍යකි.

      Delete
  16. බත්ති නංගියේ මන් දන්නවා සර්ව අපිට උගන්වලා නම් නෑ අපිට හිටියේ නම් කිරි මිස් ....අපිටත් ඔය සීන් කෝන් එකම තමා .....බී.එස්. ලියාගෙන ලියාගෙන මැලෙව්වට මොකද///එකවුන්ට් නම් ලියාගෙන ලියාගෙන ගිහින් එක තැන ලොප් වෙනවා ඕං.....අපේ කාලේ ප්‍රධාන ශාලාවේ කළුලෑලි තුක්....විතරක් ලිව්වට හරියට පෙන්නේ නෑ ඉතින් කිරියා එහෙට්ට හර මෙහෙට්ට බැර කියලා ගිණුම සෙට්ටල් කොරනවා.අපිත් හරිය කියලා පේන ලෙසට ලියනවා අම්මපා මතක් වෙනකොටත් ඇග කිලිපොලා යනවා.... සන්තෝසේ බැරුවා....

    ReplyDelete
    Replies
    1. ඔවු. අක්කෝ.... කස්ටියම ආස බී.එස්. උගන්නන්න. මොකද කියවන විට ලිවීම නේ. අපේ කාලෙ ආවා වයිට් බෝඩ්. අර හුණු නාහෙට ගිහින් ලෙඩ වෙනෝ කියලා මහ පෙරලියක් කොලේ.. අපි සමහර වෙලාවට ඒකෙ බලි ඇඳලා මිස්ලා ලියන්න යද්දි මාකර් එහෙකවත් තීන්ත නෑ. බැනුං කෝටියයි.

      Delete
  17. අම්මප සින්දුව කිව්වට හැදුවේ කව්ද දැන ගත්තේ අදනේ ... මතක් වෙනකොට දුකයි සර්ට අපි දීපු කරදර ....

    ReplyDelete
    Replies
    1. ෆිසික්ස් ක්ලාස් කොරාපු ඩේසි මිස්ට හදාපු සින්දුවත් බස්සිගේ නිර්මාණයක් හරිය ප්‍රභෝ.... :D

      Delete
  18. //"බ්ලහ් බ්ලහ් නමයයි බ්ලහ් එකයි සර්"// නියම රිසාල්ට් එක :3

    අපිටත් හිටිය කොමස් වලට ඔයවගේ සර් කෙනෙක්. අපිනම් අවුරුදු දෙකටම පීරියඩ් 10කට විතර ඉඳල ඇති.

    ReplyDelete
    Replies
    1. බ්ලහ් එක මොකටද කියලා දැනගත්තානම් ඔයා සන්තෝසෙට මැරෙයි අනි.....

      මෙහෙම කොමාලා කොතෙකුත් සිටී.....

      Delete
  19. ආපහු ඉස්කෝලේ ගියා වගේ. ඉස්කෝලෙ කාලේ කොච්චර නම් සුන්දරද ... පෝස්‍ටුව දිග වුනත් හරිම අපූරුවට ලියලා තියෙනවා... එක හුස්මෙට කියවගෙන ගියා ...

    ReplyDelete
    Replies
    1. තැන්කූ නංගා.... සාදරයෙන් පිලිගන්නවා බස්සිගේ නවාතැනට!

      Delete
  20. බස්සි අක්කා මගේ to do blog list එකට එක දිගට ඒවා එකතු කරනවා. ලියන්න ඕනේ අපේ දයාබර ගුරුවරු සෙට් එක ගැනත්.

    ReplyDelete
    Replies
    1. අපේ එලොකියුෂන් ටිචරුයි එයැයිගෙ බලු පැටවු සෙට් එකයි ගැනත් ලියමු නේද?'

      Delete
  21. කෙල්ලන්ට ඔය කුස්සි පාලන විද්‍යව හරි තිබ්බා. අපිට ඉතින් ඔය වානිජ රෙද්ද විතරයි

    ReplyDelete
    Replies
    1. කුස්සි පාලනේ සුට්ටක් ඉගෙන ගන්න එක කොල්ලන්ටත් වටිනවා අටං අයියේ....

      Delete
  22. අම්මපා ඔව්.. ඔය කොමා ගේ පීරියඩ් එකේ මං තරම් පන්තියෙන් බිම දිගේ එලියට බඩ ගාගෙන ගිය එකෙක් තවත් නැතිව ඇති// අවුරුදු දෙකටම මට කොමර්ස් පොතකට තිබ්බෙත් පිටු 40 Cr පොතක්.. :v එකෙත් එක්කෝ අපේ පන්තියේ එකෙක්ගෙන් හරි අල්ලපු පන්තියේ එකෙක් ගෙන් කෝපි කරගත්තු ඒවා තමා තියෙන්නේ.. මාත් සයන්ස් කරන්න යද්දිත් කොමා ඔහොමම කිව්වා.. කොහොම වුනත් ස්කොලේ කාලේ මතක් කරද්දී කොමා කියන්නේ අමතක කරන්න බැරි අපුරු චරිතයක්..

    ReplyDelete
    Replies
    1. අපිට එහෙමවත් පොතක් නොතිබුන නිසා නංගි දියුනුයි. ඉතින් කොමා නංගිට මොනාද කිවුවෙ? මැනේජ්මන්ට් කරන්න කියලද'?

      Delete
    2. සයන්ස් කරලා කාට ද හරි ගියේ කොමර්ස් කරපන් කිව්වා.. :D

      Delete
    3. එහෙනම් ගුරුවරු සෑහෙන වෙනස් වෙලා නෙව නංගි. අපේ කාලෙනම් පොදු මතය උනේ ගොඩ යන්නනම් සයන්ස් කරපල්ලා කියන එකයි. අනේ වාසනාවන්....!!

      Delete
  23. කොල්ලෙක් උනත් අපි ගියෙ මිශ්‍ර පාසලකට උණත් මායි මගෙ අතිජාත ප්‍රෙඩයි කොලෙත් කොමස් තමා. මුල් දවස් වල හොදට ඉදපු අපි පාඩම් ටිකෙන් ටික සංකීර්ණ වෙනකොට අපිට එපාම වුණා පොරවල් වගේ මුල් දවස් වල අපි කොමස් කරන්නෙ මචං කියප් අපි අන්තිම් තූ නෙදකිං ගානටම සැට් උනා.
    අපේ කොමස් ඉගනීමේ විශිෂ්ටත්වය කෝමද කියනව නං 11 වසරෙ වැඩිපුරමක්ලාස් එකෙන් එලියෙ. අපිට කොමස් කලේ මැඩම් කෙනෙක් පට්ට හොදයි. අදත් දැක්ක තැන අපි කතා කරනව වගේම එයත් අපිට හොදට කතා කරනව. මොනවත් පාඩි කරන්නැලුව උනත් කරුමෙට මට කොමස් වලට සී එකක් තිබුන. එදා මැඩම්ගෙ මූණත් තහඩුවෙ හැටි මතක් වෙන කොටත් අදටත් මට පැලෙන්න හිනා.

    ReplyDelete
    Replies
    1. මල්ලි ඔය කියන්නෙ ඒ.ලෙවල් කොමස් ගැන වෙන්ට ඕන. මොන සබ්ජෙක්ට් එක උනත් පටන් ගද්දි පට්ට මොරාල්. අන්තිම වෙද්දි මල්ලි කියන ටික තමයි අපිටත් උනේ....

      Delete
    2. නැත නැත මං 10 හා 11 ශ්‍රේණියේ විතරයි කොමස් කලේ අන්තිමට එපාම වුණා.. උපෙ කලේ කලා විෂයන්

      Delete
  24. පව් ඒ සර් විඳපු දුක මට මැවිලා පෙන්වා මේවගේ මදාවි කෙල්ලෝ සැට් එකක් අතරේ.....

    ReplyDelete
    Replies
    1. ඒක තමයි අලේ.... ඇඬෙනවා නේ පවුලූශෝ......

      Delete
  25. අනේ අපිනං කොරේ *මැටි වැඩ* (දැනුත් එහෙමයි). උගන්නපු මිස්ට කිව්වේ *මැටි මිස්* මිස්ට තයෙන ආදරේ වැඩිකමට අපි *මැට්ටි* කියලත් කිව්වා.

    පාසල් කාලේ සුන්දර මතක සටහනක්..

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. විදානේ ගැලපෙන සබ්ජෙට් එකක් තෝරගෙන තියෙන්නෙ. මැටි වැඩ කිවුවෙ මූර්ති හෙම වෙන්ටැති නේද? අපූරු සබ්ජෙක්ට් එකක් නෙව. අපේ ඉක්කෝලෙ ඒක නෑනෙ....

      Delete
  26. මම 10 වසරට එනකොට ඉලෙක්ට්‍රොනික් හොදට පුළුවන් . එනිසා මම නම් ඉගෙන ගත්තේ යාන්ත්‍රික තාක්ෂනය. අදටත් වාහනේ පොඩි ලෙඩක් අවොත් හදා ගන්නත්, සංකීර්ණ විද්‍යාත්මක මැනුම් උපකරණ වල රොබෝ ක්‍රියා කාරීත්වය පිළිබඳව අවබෝධයක් ගන්න මට අදටත් යාන්ත්‍රික තාක්ෂනය ඉගෙනගත්තු එක උදව් වෙනවා.

    ReplyDelete
    Replies
    1. අපිට ඒ කාලෙ ඉලෙක්ට්‍රොනික්ස් තිවුනෙ නෑ යාලු. පොඩි ඉක්කෝලයක් නෙව. ;)
      අපේ බස්සා නම් ඔය තාස්සනේ කොරල තිවුන. කිවුවට මොකෝ... කැම්පුස් ගියෙ සයන්ස් කොරල නිසා මමත් ඕක සුට්ටක් දන්නව මයෙ හිතේ...

      Delete
  27. ade api e kale karapuwa fattaaaaaaaaaaaaaaiiiiiiii bun!!!!!!!!! maru kathawa ban!!

    ReplyDelete
  28. කුලියපිටියෙ C.C.K අපිටත් කොමෙක් උන්නා.හැබැය් ඔය වගේ නෙවේය.අංශ භාර ගුරුතුමාට අපි කොරිඩෝවේ ඉන්නවා පේන්න බැරිය.තඩි මහත වේවැලෙන් කකුලට ගහන්නේය.එතුමා "කොරිඩෝවේ මාරයා"ය.පහසුවට අපි "කොමා" කිව්වෙ.ඒ බබාට නම් තියන්න මට අති හැකියාව නිසා.

    ReplyDelete
  29. මේ කොමා අපේ කොමාම ද? නැත්නම් වෙන කෙනෙක් ද? අපේ කොමා කතා කළෙත් ඔහොමම තමා.

    ReplyDelete
  30. මරු බං. අපිටත් හිටිය ඔය සැම්පලේ සිංහල සර් කෙනෙක්... අපි පනින්නෙ තාප්පෙන්... මතක් වුනා...
    මම නං කොමස් කලේ නෑ .. කොමස් කරපු වුනුත් සිංදුවක් හදල තිබුන හරියට මතක නෑ ..
    උඩතට්ටුවෙ සදසීලී .. පල්ලෙහා පියරත්නෙ .. දීපු ගනන් ටික හදාන නාවොත් කතහැකි බඩ පිරෙනකං :D

    ReplyDelete