Thursday, October 31, 2013

හිතේ දුකට එතකොට කවි කියවෙනවා............


බස්සි එක වතාවක් කැම්පස් කොකු ගැන ලියැවුන කුරුටු ගී එකතුවක් පළ කලා මතක ඇතිනෙ. මතක නැත්නම් ඉතින් මෙන්න ලින්ක් එක. අද ලියන්නෙත් කුරුටු ගෑ ගී ගැනම තමයි.

සරසවි ජීවිතේ අමතක කරන්න බැරි අංගයක් තමයි සරසවි කුරුටු ගී. බස්සි සරසවි කුරුටු ගී වලට ආදරේ කරන්න පටන් ගන්නකොට අවුරුදු දහයක් විතර පොඩි කුරුලු පැට්ටෙක්. ඒ දවස්වල පළමු වතාවට කුරුටු ගී රසවින්දෙ බස්සිගෙ අයියා කෙනෙක් ගෙනත් දුන්නු පේරා කැම්පස් එකේ සමරු කලාපයක මුද්‍රිත කවි එකතුවකින්. බස්සි සරසවියට ආදරේ කරන්න පටන් ගත්තු කාලෙදි මුලින්ම ලියන්න ඕනෙ විභාගෙ ඕ/ලෙවල් ද නැත්තම් ඒ/ලෙවල් ද කියලාවත් දැනගෙන හිටියේ නැහැ.




පුංචි කාලෙ අයියා කියාපු කුරුටු ගී අහගෙන හිටියෙ විනෝදෙට. පස්සෙන් පහු තේරුනා පිටත සමාජෙට කෑ ගහලා කියන්න බැරි මොන තරම් වේදනාවල් ගොන්නක් ඒ පද පේලි අතරෙ හැංගිලා තිවුනාද කියල.


සරසවියේ මගෙ අම්මෝ සරසවියේ
කියනා දෙයක් ඔලුවට යන්නෙම නැතියේ
තාත්ත ලෙඩ ඇඳේ මහපොළ තව නැතියේ
අම්මේ අනේ ඉවසන්නට මට බැරියේ

ඇත්ත, මේක තමයි බහුතරයක් සරසවි ශිෂ්‍යයන් මූණ දෙන යතාර්තය. ඔය අතරෙ ඉතින් පැජරෝ එකෙන් බැහැලා මහපොළ අරන් යන උදවියත් නැතුවාම නොවෙයි. මහපොළත් නැතුව ගිය බස්සියි බස්සයි වාගෙ රජයේ සේවකයන්ගේ දරුවොත් බොහොමයක් ඉන්නවා සරසවිවල.

මහපොළත් නැතිව, අතේ සල්ලිත් නැතිව ඉන්නා මොහොතක ගත පෙළන කුසගින්න ගැන ලියැවුන සරසවි කුරුටු ගී කිහිපයක්;



කුසගින්න කුසගින්න
කාට මම කියන්නද
එවූ මුදල ඉවරයි
අම්මේ......




 
බඩගිනි වෙලා මා ගිය කළ ජිම් එකට
ගල් වුන වඩේ විතරක් තිබුනි කෑමට
කූල් ප්ලේන්ටිය උගුරෙන් යන කලට
තුක් නොදකින් සිතුනි මේ විඳිනා දුකට

 

ජිම් එක කියන්නේ බස්සිලාගෙ කැම්පස් එකේ කාය වර්ධන මධ්‍යස්ථානයට යාබදව පිහිටුවලා තියන කැන්ටිම.

 
උඩින් ලියා තියෙන කුරුටු ගී මෑතකදි බිහිවුන ඒවා. මේ තියෙන්නෙ පේරා කැම්පස් එකේ අතීතයේ පටන් පැවත එන කුරුටු ගීයක්.


පානුයි පරිප්පුයි දවසක බුදු වේවා
ගෝවයි අලයි සැරියුත් මුගලන් වේවා
කැන්ටින් හොද්ද නේරංජන ගඟ වේවා
සුප්පයියා මුදලාලි කන්ථක අසු වේවා


 

මේ කවියත් අර බස්සි පුංචි බබා කාලෙ අයියා ගෙනත් දුන්නු සරසවි සමරු කලාපයේ තිවුනු කවියක්. දැන් කැම්පස් වල කැන්ටින් කෑම දැක්කම හිතෙනවා ඒ ළමයි කොයිතරම් වාසනාවන්තද කියලා.

 
සිහිනෙන් පවා මගෙ සුඛවිහරණේ පැතූ
අම්මා දනීනම් මේ සරසවියෙ තතූ
වර බොල කොලුවො යයි දෙනෙතින් කඳුලු යුතූ
ගෙනගොස් බොහෝ කල් මේ දුක් විඳින පුතූ


 
මේ සරසවි කාලසටහන කියලා මාතෘකාවක් යටතේ බස්සිගේ හොස්ටල් එකේ ඇඳ ගාව ලියා තිවුන කවියක්

දහවල විප්ලවය
සැඳෑවේ ප්‍රේමය
රාත්‍රිය අද්‍යාපනය
උදෑසන නින්ද


 
මේ කවිය  නම් වත්මන් කුරුටු ගීයක්. අද කාලෙ වෙනකොට ස්ටුඩන්ට් යූනියන් වල නියම තත්වය මේ කවියෙන් අපූරුවට කියා දෙනවා.

ලටෙක් වුන්ට තෝතැන්නකි යූනියන්
පට්ට යක්කු අරක් ගත්තු යූනියන්
කැට සල්ලිත් පිල්ලි ගහන යූනියන්
ගමේ එවුන් කඩේ යවන යූනියන්



කෝස් එකට යට වීලා මෙහි සිටියත්
එක අතකට මරු ආතල් මේ දිවියත්
කෑල්ලකින් ඇණ වීලා චොර වුවත්
සතුටින් හිදිමි ස්බ්ජෙට් ඇණ වී සිටියත්


 
කතාවක් තියෙනවානෙ "ඇණයක් නැති සරසවි ජීවිතය පලක් නැත." කියල. සබ්ජෙක්ට් එකක් ඇණ වීමත්, කස්ටිය එක්ක ඇණ ගොඩ දාන්න වලි කෑමත් කියන සුන්දර අත්දැකීම බස්සිත් සරසවි ජීවිතේ එකම එක වතාවක් අත්විඳලා තියෙනව. කොල්ලො ඇණේ ගොඩ දාන්න ඉඳ ගන්නෙම ඇණ දීපු ලෙක්චරර්ට කටපුරා මෛත්‍රී කරලා හෙම තමයි.




කස ගස්වල කොළ හැලිලා මැලවීයන්
තෙල් බැම්මේ බැමි ලිහිලා ගැලවීයන්
සයිබාවේ නයි පොළොඟුන් බිහිවීයන්
මට ඇණ දුන් එකී කණවැද්දුම් වීයන්


 

මේ කියන්නෙ වෙනස් විදියක ඇණයක් ගැන. සබ්ජෙක්ට් ඇණ සහ බූට් හෙවත් කොකු ඇණ කියලා ඇණ වර්ග දෙකක් තියෙනව නෙව.


කෑවද බීවාද අසමින් නිති සෑමා
යන එන මඟදි එන සෙවනැල්ලක් සේමා
මිතුදම් එකට බැඳි විලසට රන් දාමා
මතු සසරෙදිත් හමු වේවා මගෙ රූමා

 

මේ වාගෙ හිත හොඳ රූමෙක් සෙට් වුනොත් ඉතින් පූරුවේ වාසනාව. ඒත් අද කාලෙ නම් ගොඩක් උදවියට සෙට් වෙන්නෙ මෙන්න මේ වාගෙ රූමලා ;


 
ගුණයේ ගුණය අගුණය එනමුත් ගුණය
ගුණයේ ගුණය දුටු මිනිසා අසරණය
මම ගුණමකුය ඒ මගෙ පූරුවේ පිනය
මට දුක උඹට ඒ පින නැති එක ගැනය


 

මෙහෙම කියන රූමලා තමයි අද කාලෙ බහුතරයක් ඉන්නෙ. අද්‍යාපනයට තියෙන බෙලි කපන තරඟයත් එක්ක එහෙම උදවිය කැම්පස් වලට වැඩි වැඩියෙන් ඇතුලු වෙන එක පුදුමයක් නෙමෙයි.


අම්මේ තාත්තේ නුඹ මට සමාවෙයන්
ආවේ හදේ මහ පැතුමක් තුරුලු කරන්
නැහැ මම දන්නෙ කඩු හරඹය කොහොම කරන්
පුලුවන් වුනොත් එන්නම් ඩිග්‍රියක් අරන්





හෝඩියෙ ඉඳන් දහතුන තෙක් කට පාඩම්
ටියුෂන් ගිහින් නිඩි වැරුවෙමි හොඳ පාඩම්
කඩු හරඹෙන් දෙන විට සරසවි පැවරුම්
සිහිවෙනවා මට දෙවියන් හතරවරම්

 

කඩු හරඹ බැරි කම නිසා අසරණ වෙන දක්ෂ සහෝදර සහෝදරියො කැම්පස් වල ඕනැතරම්. කඩ්ඩ බාල්දු කරලා කඩු හරඹ බැරිම එවුන් ටික පුම්බන්න ට්‍රයි කරන ස්ටුඩන්ට් යූනියන් වලටත් මේ ප්‍රශ්නෙදි ඇඟිල්ල දිගු කරන්න වෙනවාමයි. කඩ්ඩ පාවිච්චි කල යුතු තැනදි කඩු හරඹ පෙන්වන්න නම් කඩු හරඹය පුහුනු වෙන්නත් අවස්ථාවක් දෙන්න ඕනෙ. යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද?


දේශන මොටද මතකයෙ රඳවන්න බැරි
සටහන් මොටද කියවා නිමවන්න බැරි
බුද්ධිය මොටද සිතනා දේ කරනු බැරි
ඩිග්රිය මොටද රැකියාවක් ගන්න බැරි


නරියා හූ කියයි ඩිග්රිය ඌට නැත
එළුවට රැවුල ඇත campus ආවේ නැත
මේ දෙක අපට ඇත එනමුදු දැනුම නැත
සහතික පමණි ඩිග්රිය නම් පලක් නැත

 

දැනුම නම් ලැබෙනවා. ඒත් ඒ දැනුම මොන තරම් දුරට ප්‍රායෝගිකද කියන ප්‍රශ්නයෙදි අපි අසරණ වෙනව. අපේ බැච් එක අවුට් වෙලා දැන් මාස හයක් විතර. උපාධිය නිසා පමණක්ම, මම කියන්නෙ ඒ සහතිකේ නිසා පමණක්ම රැකියාවක් ලැබුනු අය අතේ ඇඟිලි වලින් ගනින්න පුලුවනි. ඒත් පොළවෙ පය ගහලා, කොන්ද කෙලින් තියාගෙන, කෙලින් කතා කරන්න පුලුවන් පන්නරයක් ලබා දුන්නෙ සරසවි ජීවිතය. අඩුම තරමේ ඒ පන්නරය ලබා ගත්තු කෙනෙක්ට පුලුවනි බය නැතුව ජීවිතේට මූණ දෙන්න. උපාධි සහතිකේ බලාගෙන බෙලි කපාගෙන, යටි උගුල් ඇදගෙන මේ අවුරුදු හතර ගත කල උදවියගේ තත්වය නම් හරිම ශෝචනීයයි.


සෙමෙස්ටරේ කාපිය නුඹ
මගේ මුලු සිරුරම
බීපිය
මගේ රීරි මාංශයම....



මේ තරම් කළකිරීමෙන් අද්‍යාපනය ලබන අයත් නැතුවා නොවෙයි. ඒ ගැන නම් බස්සිට කියන්න දෙයක් නෑ.

 
මේක පහුගිය කාලෙ අද්‍යාපනය පෞද්ගලීකරණයට විරුද්ධව මොරටුව සරසවියෙන් කළඑලි බැහැපු කවියක්

ඔබද ලක්ෂපති -  මමද ලක්ෂපති
එහෙමනං ඉතිං
ෂුවර් ඩිග්රියක් ඇති

 
පහුගිය අවුරුද්දෙ පවත්වපු මහා ආචාර්ය වැඩ වර්ජනය වෙනුවෙන් ලියාපු කුරුටු ගීයක් මේ.


ඩිග්රිය ගන්න කැන්දා
තවත් කල් යයිද මන්දා
අනේ ඒ හින්දා
ඔන්න මම නම් ඊයේ බැන්දා



හ්ම්ම්.... මෙහෙම ගියොත් මේ ලැයිස්තුවට අවසානයක් නැති වෙයිද මන්දා.... ඒ නිසා අඩුපාඩු ඇත්නම් සහ තවත් එකතු වි යුතු කුරුටු ගී තියේනම් පහළින් කොමෙන්ටු විදියට එකතු කරන්නකෝ.....


Tuesday, October 29, 2013

දුකාගේ දුක





බස්සි ඉක්කෝලෙ යන කාලෙ බස්සිට හිටියා අපූරු යාලුවො අටදෙනෙක්.


කිරිහාමි
රඟ සොබා
නෝ ලිමිට්
බැටිස්ටා
ඩිලූ
මලියා
දුකා
හංසි


 
ඔය යාලුවො සෙට් එක අතරෙ තමයි බස්සි කොට හාමිනේ, එහෙමත් නැත්නම් රේ මිස්ටීරියෝ වුනේ.


ඔතන ඉන්න එවුන්ගෙන් දුකා කියන්නෙ අමුතුම තාලෙක ඩයල් එකක්.  පොර බොහෝම කැමතියි අනුන්ගෙ දුක් තමන්ගෙ කරගෙන දුකින් බරව කාලෙ ගතකරන්න. පංතියෙ ඉන්න යාලුවන්ට කිසිම දුකක් නැත්නම් මූ යනවා අල්ලපු පංතියෙ එකෙක්ගෙ දුකකට කර ගහන්න. මුලු සයන්ස් සෙක්ශන් එකේම කිසිම එකෙකුට දුකක් නැත්නම් මූ දුකකට කර ගහන්න පීරියඩ් කට් කරගෙන ආර්ට් සෙක්ශන් එකට හරි රිංගනවා.






ඒ කාලෙ අපි දොළහ වසරෙ. අපේ පංතිය තිවුනෙ එකොළහ වසරෙ පංතියකට එහා පැත්තෙ.


ඕන් ඔය කියන එකොළහ වසරෙ පංතියේ හිටිය බොහොම මැර ඩයල් එකක්. පොඩි එකා උනාට කට විතරක් නෙමෙයි අතපයත් බොහොම සැරයි. බලාගෙන ගියාම පොඩි මැර ඩයල් එකට ඉන්නවාලු වෙන්නප්පුවේ වැල්ල පැත්තෙ චන්ඩි විදියට නම් දරාපු සහෝදරයො දෙපලක්. මූ කෙල්ලෙක් උනාට ඒ පවර් එක පෙන්නලා පංතිය හොල්ලගෙනලු ඉන්නෙ.


ඔන්න දවසක් උදේම කිරිහාමියා එනවා මූණ හතරැස් කොරගෙන, නිකම් සතපහ වගේ.


"මොකෝ බන් සීන් එක?" අපි පුදුම උනේ කිරිහාමියා ඌත් හිනාවෙලා අපිවත් නිතරම හිනා නහර පුපුරන මට්ටමට ගේන පොරක් නිසයි.


"අරකි බැන්නා බං."

"කෝ කවුද?"

"අර අල්ලපු පංතියෙ ඉන්න මැර බඩ්ඩ."
මූ හොටේ උල් කරගෙන කියනවා.


අල්ලපු පංතිය කිවුවාම අපි හිතුවෙ වෙන සයන්ස් ක්ලාස් එකක් කියලයි. මූ මේ කන පිරෙන්න අහගෙන ඇවිත් තියෙන්නෙ අර පොඩි එකීගෙන් කියලා මීටර් වෙන්නම විනාඩි විස්සක් වත් යන්න ඇති.


"චී උඹ නම්. පොඩි එකෙක් නෙ යකෝ. ලැජ්ජාවයි අපිටත් එක්ක."

"ඉතින් බං මම ආවෙ අපි කට්ටියම යමු කියලා කියන්න. ගිහින් දෙකක් කියලා එමු. යමුකො...."
මෙන්න හොට දික් කොරන් හිටපු කිරිහාමියාටත් ගට ඇවිල්ලා.

 
ඉතින් ඔන්න අපි නවදෙනාම කල්යල් බලා එකොළහ වසරෙ පංතියේ ටීචර් කෙනෙක් නැති අවස්ථාවක් එනකම් පස් මහ බැලුම් බලලා ගැන්සිය බැස්සුවා එකොළහට.


පෙරමුණ ගත්තේ මලියා.


"You" ඌ නිකම් ඩයල් එක වගේ ඇඟිල්ලක් දික් කරා අර පොඩි එකා දිහාට. "හ්ම්ම්... come." ආංගික අභිනයෙන් තමයි වැඩි හරිය යන්නෙ.


මොනවා කරන්නද අක්කලාම නවදෙනෙක්නෙ. අර නංගිත් කිරිහාමියා දිහාවට දවා හළු කරන බැල්මක් හෙළමින් හෙමින් හෙමින් නැගිට්ටා.


එතන ඉඳන් ඌට උන දේවල් කියන්න ඕනෙ නෑනෙ. අපි සද්දෙ දාලා අරූව අඬන්න ඔන්න මෙන්න තත්වෙට පත් කරලා බැස්සා පංතියෙන් එලියට.


ඔන්න ඉතින් ගැන්සිය පිටින්ම පොරවල් නවය වගේ කෙලින්ම ගියා කැන්ටිමට.


එකයි. දෙකයි. තුනයි. හතරයි. පහයි. හයයි. හතයි. අටයි.


"කෝ බං දුකා?"

"සද්දෙ දානකොට හිටියෙ මට එහාපැත්තෙ."

"ඉතින් උඹත් එක්ක නෙමෙයිද එළියට බැස්සෙ?"


"නෑ මචං. මට මල පැනල හිටියෙ ඌ පිටිපස්සට වෙලා ඉඳන් කෙඳිරිම ගානවා අරකි පව්.... අනේ පව්... කියකියා. බැරිම තැන මම ඇන්නා එකක් වැලමිටෙන්."


"උඹේ පාරට ඌ තාම එතන වැටිලද දන්නෙ නෑ."


අපි කඩා බිඳගෙන පංතිය පැත්තට ආවෙ දුකා කොහෙ ගියාද කියන බයට.


අහෝ ඛේදයකි. ඉරකි. තිතකි. මෙන්න මූ අර මැර බඩ්ඩගෙ කරේ අතක් දාගෙන ඒකිගෙ දුක අහනවා....!!!



**********************************************


 
 
අපි දොළහ වසරෙ කණ්ඩායම් ව්‍යාපෘතියට කලේ Chemistry Lab එක අලුත්වැඩියා කරන එක. තීන්ත ගෙනල්ලා ගාලා, තීන්ත නාලා මාර ෆන් එකක් ගත්තා ඒ දවස්වල. ඔන්න ඔය කාලෙ දවසක් අපේ දුකාට බාර දුන්නා කබඩ් වගේක තීන්ත ගාන්න.





ටිකකින් බලනකොට මූ කෝටුවකින් තීන්ත එක කුරුටු ගගා ඉන්නව කම්මුලේ අත ගහගෙන.


"මොකද බං උඹට වෙලා තියෙන්නෙ?"


නෑ නෑ. අපි කවදාවත් දුකාගෙන් එහෙම අහන්නෙ නෑ. අපි හැමදාමත් උගෙන් අහන්නෙ;

"මොකද්ද බං උඹට  ආපු දුක?" කියලයි.


"තීන්ත." දුකා කියපි.

"ඉතිං?"

"පවු බං. අපි ගානවා. මූ බිත්තියෙ ඇලෙනවා."








**********************************************



 
දුකා අනිත් හැමෝටම වගේම අපේ ෆිසික්ස් ටීචර්ගෙත් දුකට පිහිට වෙන්න ඉදිරිපත් වුනා එක දවසක්. අපිට ෆිසික්ස් උගන්නන්න හිටපු ටීචර්ට තිබුනා විශාල සබකෝලය වගේ මෙවුවා එකක්. අපි පංතියේදි ප්‍රශ්නයක් හෙම ඇහුවොත් ටීචර් අවුල් යනවා ආයෙ දවසටම යථා තත්වෙට පත් වෙන්නෙ නෑ. මුල් දවස් වල ටීචර්ගෙන් ප්‍රශ්න අහලා ටීචර් නිරුත්තර වෙනවා දැකීම විනෝදෙට කලත් පහු වෙනකොට අපි නව දෙනා සාමුහිකව පසු පෙලට ගිහින් පාඩුවේ අපේ වැඩක් බලාගෙන ඉන්න පුරුදු උනා. ඒ කිවුවේ ටීචර් ටීචර්ගෙ වැඩ. අපි අපේ වැඩ.

 
මේ සීන් එක වෙන දවසෙ අපේ ෆිසික්ස් ටීචර් මාර ප්‍රස්නෙකට මුහුණ දීලා. අලුතෙන් පටන් ගන්නෙ "තාපය ද?" නැත්නම් "විද්‍යුතය ද?". දැන් ටීචර් පොදුවේ කස්ටියගෙන්ම අහනවා වැඩියෙ කැමති කොයි එකටද කියලා.


මොන එකෙක්වත් කට හොල්ලන්නෙ නෑ ලු. වෙනදට ඉස්සහරම ඉඳගෙන
ටීචර් අහන අහන එකට පැනලා උත්තර දෙන සැට් එකෙත් කටවල් අගුලු දාලා යතුරු වලදාලද කොහෙද!


දුකා බලි කුරුට්ටක් ඇඳ ඇඳ ඉඳලා එකපාරටම ඔලුව උස්සලා බැලුවා.


"අනේ බන් අර
ටීචර් මොකද්ද අහනවා. පවු බන් දැන් හෙන වෙලාවක් තිස්සෙ. පොඩ්ඩක් බලලා උත්තරයක් දීපල්ලාකො." දුකා ටීචර්ගේ දුක කරට ගන්න ලෑස්ති උනා.


"කොටර්. බලලා කියපන්කො."

"මට බෑ. උඹට ඕනෙනම් අහගනින්."


"බැටියෝ.... පොඩ්ඩක් බලපන්. උඹ නේද මොනිටර්."

"නටපං දුකා. මට බෑ."


 
ටික වෙලාවක් බලා ඉඳපු ෆිසික්ස් මිස් හිතට දහිරිය අරන් ආපහු ප්‍රස්නෙ ඇහුවා.

 
"කියන්නකො ළමයි. වැඩියෙ වැදගත් වෙයි කියලා හිතෙන්නෙ මුලින් තාපය කරන එකද? විද්‍යුතය කරන එකද?"
 
දුකා කඳ කෙලින් කරන් ඉස්සරහ බැලුවා.

"මිස් අපි මුලින්ම තාප්පෙ කඩමු."




Sunday, October 27, 2013

දළඹු මතකයෙ සදා සිරවුණ - ළදරු සමනලයෙකුගේ වැලපුම

 
ගගන සරන්නට කියා
බිඳුණු අත්තටු හඬයි
දිරාපත් කොළ තිබේ
විඩාපත් මං වගේ

කදෝ කිණි රුපු වගේ
රැයට ඉඩ දී යමි
කල් කුසුම් ගෙනෙනා
සුවඳ සුළඟක් වී එමී
ඒ වුණත් සුහදේ
විඩාපත් මං වගේ

සමනලුන් එන මගේ
සිහින විසිරී තිබේ
බිඳුණු සිත් ගෙනෙනා
මිහිරි ගීයක් වී එමී
ඒ වුණත් සුහදේ
විඩාපත් මං වගේ
 
 
වාදිශ දේවම්න්ද වික්‍රමනායක ඒකපාර්ශ්වික ආදරයක තවත් එක් අවාසනාවන්ත උරුමක්කාරයෙකු ලෙස හැඳින්විය හැකිය. ඒ උරුමය වාදීශට ආශිර්වාදයක් වන්නේ වේදනාව පදවැලක සඟවන්නටත්, ගී තනුවක දවටන්නටත් අසහාය හැකියාවක් ඔහු උපතින්ම ලද බැවිනි.


ආදරයේ උරුමක්කාරිය වන පුණ්‍යා වාදීශගේ ඒක පාර්ශ්වික ආදරය ගැන හාංකවිසියක් නොදැන තමාගේ ලොවක දිවි ගෙවන්නීය. පුණ්‍යා වාදීශගේ ආදරය දැනගත්තද ඔවුනට එක්වීමට නොහැකි වනු ඇත.  එහෙයින්ම මේ අප්‍රකාශිත හුදකලා ආදරය විශ්වයම ආමන්ත්‍රණය කරන්නාවූ මියුරු පද වැලින්ද, සොඳුරු ගී තනු රටා වලින්ද ඔපවත්ව රස ගුලාවක් මවයි.
 
 
 
 
නව යොවුන් වියේ ඇතිවන තවත් අප්‍රකාශිත ආදර කතා බොහෝවක් ඇති බවද, ඒ ආදර කතා සමහරක් හදවතේ ගැඹුරුම තැනක නිදන්ව ජීවිතය පුරාවට හිත කොනිති ගසන බවද සමනළ සංධ්වනිය නරඹන කල්හි පසක් වෙයි.

 
සමනළ සංධ්වනිය අප්‍රකාශිත ආදරයක සිරකාරයෙක් වූ වාදීශගේ කතාව පමණක් නොවේ. එය හුදු ශෘංගාරයෙන් එහා ගිය සදාතනික ආත්මීය බැඳීමක ජීවමාන සාක්ෂිකාරියක් වන පුණ්‍යා දිසානායකගේ කතාවයි. සිය හදවතේ ඇති ආදරය, අන්තිම බිංදුව දක්වාම පුණ්‍යා වෙනුවෙන් කැප කල වාදීශගෙන් වේදනාත්මක සමුගැනීමක් පමණක්ම ලද ඔහුගේ පාසැල් මිතුරියගේ කතාවයි. වාදීශ සිය කුටුම්භය තුල දිරාගිය කොළයක් බවට පත්වනු දැක දැකම ඔහුට ඒක පාර්ශ්විකව තම කොන්දේසි විරහිත ආදරය පතුරවන සෞන්දර්යාගේ කතාවයි.

 
එය ඔබේත්, මගේත් කතාවක් වන්නේ එබැවිනි.

 
කුඩාකල තාත්තාගේ ඇකයේ හිඳ "අකාල සන්ධ්‍යා" නරඹද්දී තාත්තා කියා දුන්නේ ජයන්ත චන්ද්‍රසිරි තුන් කල් දක්නා සිනමා කරුවෙක් බවයි. ඔහුගේ නිර්මාණ බොහෝවක් ඉතා දීර්ඝ කාල පරාසයක විහිදෙන අතරම එම කාල රාමු අතර ඇති විෂමතා මොනවට විදහා දැක්වීම අතින් ජයන්ත චන්ද්‍රසිරි අති දක්ෂයෙකු වූ බැව් කිවමනාය.


වාදීශගේ අප්‍රකාශිත ආදරයේත්, පුණ්‍යාගේ සදාකල් නොමියෙන ආදරයේත් කේන්ද්‍රස්ථානය වන්නේ කුමාරි උද්‍යානයයි. උද්‍යානයේ පසුතල නිර්මාණය වසර විසි එකක කාල පරාසය තුල වෙනස් වී ඇති ආකාරය ඉදිරිපත් කර ඇති අපූරුව ප්‍රශංසනීය ය.
 
 
 


වෙනකක් තබා චරිතවල භාෂා භාවිතයද විසි වසරක ඇවෑමෙන් වෙනස් වී ඇති අයුරු සිනමාකරුවා සියුම් ලෙස ඉදිරිපත් කරයි. මේ විපර්යාසය මනාව දැකගත හැකි වන්නේ සිංහලයටත් වඩා ඉංගිරිසියෙහිය.


පද මාලා අතින්ද, නාද රටා අතින්ද මෙතෙක් බිහිවූ පොහොසත්ම සිනමා පටය මෙය විය හැක. දර්ශණ රුවන් දිසානායකයන්ගේ ස්වර මාධූර්යය ප්‍රේක්ශක සිත් සතන් රසාලිප්ත කරවමින් රූපයෙන්, දෙබසින් නොකී වාදීශගේ හදවතේ සියුම් තැන් හෙමි හෙමින් දිගහරී. අමිල තේනුවරගේ පද ගැලපුම සමනළ සංධ්වනිය නම්වූ මුතුහරේ තවත් අනගි මුතු ඇටයකි. සිනමා පටය "රූපමය ඔපෙරාවක්" ලෙස හැඳින්වූවත් මා වැරදි නැතැයි හැඟෙන්නේ එබැවිනි.


සිනමා පටයේ ගීත අතරින් බොහෝ දෙනා වැළඳ ගත් ගීතය වූයේ අමරසිරි පීරිස් ගයන "මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා" ගීතයයි. එසේ වතුදු, සිනමාහලෙන් එලියට පය තබන විට මගේ දෙසවනේ දෝන්කාර දුන්නේ වෙනත් ගීතයකි.
 
 


මගේ සිහින මැදුරේ
විසල් සිහින අතරේ
ඔබේ සිහින වේ නම්
රැගෙන යන්න ඒවා

දොසක් ආයේ නොතබනා
අන්ධ අහස සේ...
අන්ධ අහස සේ...

පමා වී ඇවිත් උයනේ
පිපෙන මල් නෙළා ගනු බෑ
සිහින් ‍පොද වැටී සැලෙනා
සුමුදු පෙති සිඹිනු බෑ
සුමුදු පෙති සිඹිනු බෑ

දයාවක් වගේ දැනෙනා
හැඟීමක් තියේ නම්
ඉකිගසා හඬනු බැරි
දොම්නසක් පිරේ නම්
දොම්නසක් පිරේ නම්

ගීතය නිමැවෙන්නේ වාදීෂ අතින් ඔහුට පාසල් වියේදී ඒක පාර්ශ්විකව ආදරය කරන ගැහැණු ළමයාට සමුගැනීමේ තිළිණයක් වශයෙනි. ඇය ගයන වචනයක් පාසා දෙනෙතින් කඳුලු ගලන අයුරුත්, වාදීෂ ඒ නොදුටුවා සේ වාද්‍ය වෘන්දය මෙහෙයවන අයුරුත් හද සසල කරවන සුලුය. භාව ප්‍රකාශනය අති විශිෂ්ඨය.
 
 
 


 
වාදීශගේ සොයුරාගේ චරිතය නිකම් ජෝකරයෙක් යැයි සමහර විචාර වල සඳහන්ව ඇති අයුරු දුටිමි. නමුත් මගේ අදහස නම් පුබුදු චතුරංග එම චරිතයට උපරිම සාධාරණය ඉටු කර ඇති බවයි. ඔහුගේ සෑම වචනයකින්ම ගොඩනැගෙන්නේ මවා ගත් රලු ප්‍රාවරනයක් තුල සැඟවී සිටින සංවේදී සිතැති ආදරණීය වැඩිමහල් සොයුරාය. ආයාසයකින් තොරව ප්‍රේක්ශක මුවගට සිනහවක් නංවන පුබුදු සිය චරිතයට උපරිම සාධාරණයක් ඉටු කර අතැයි මම සිතමි.
 
 


කෙසේ වතුදු, සිනමා පටයේ දුර්වල තැන් කිහිපයක්ම වූ බවද අකැමැත්තෙන් වුව කිවමනාය.


තාත්විකත්වයෙන් ඔබ්බට ගිය පලමු පියවර වන්නේ පුණ්‍යාගේ ලියමන වාදීශ අත පත් වන අවස්ථාවයි. සිනමා කරුවෙකුගේ පරිකල්පනා
ට සීමා මායිම් නොමැති බැව් සැබෑය. නමුදු එම අවස්ථාව මදක් තාත්වික වීනම් යෙහෙකැයි හැඟේ.


තාත්විකත්වය නැසූ දෙවන අවස්ථාව වනුයේ විවිධ ප්‍රසංගය හමාර වීමෙන් පසු කාරයේ නැගී යන වාදීශගේ යෙහෙළියන් දෙදෙනා අතර හුවමාරු වන වදන් පෙලයි. 1990 කාලයේ උසස්යැයි සම්මත පවුලක ගැහැණු ළමුනට නොහොබිනා ලෙස දෙමලිච්චියක් ලෙස ඔහේ දොඩවන දැරිය, එම අවස්ථාවට කොපමන දුරට ඔබින්නේදැයි ඇතිවන්නේ සැකයකි. එම වදන් වැල වාදීශට පෙම් කරන දැරිය එතෙක් දුර ගොඩනැගූ චරිතයටද යම් තරමක හානියක් කලාදෝ යන හැඟීමක් සිතෙහි මෝදු වෙයි.


ජයන්ත චන්ද්‍රසිරි නම් ප්‍රවීන සිනමාකරුවාට තරම් නොවේයැයි හැඟෙන අනෙක් අවස්ථාවනම් 1993/මාර්තු/7 වැනිදා උද්‍යානයට යන පුණ්‍යාට මුනගැසෙන ජෝකර්ලා දෙපලයි. හාස්‍ය රසය නොඅඩුව තිබුන බැව් සැබැවි. නමුදු එයින් සිනමා පටයට එක්වූ කියැවීම කුමක්දැයි මටනම් වැටහුනේ නැත.
 
 


 
තවද, බොහෝවිට අධි රංගනයේ යෙදෙන දමිතා අබේරත්න මෙම සිනමා පටයේදී තරමක් දුරට හෝ සංයමයකින් රංගනයේ යෙදුනත්, ඇය නේවාසිකාගාර හිමිකරුගේ කාමරයේ ඇති සොරකම් කල යට ඇඳුම් තොගය දුටු මතින් සිහිසුන් වීමත් "මෝඩ ජෝක්ස්" ගණයට වැටෙනවා නේදැයි සිතුනි.


සූර්යා ගයාරුවන්, උද්දික ප්‍රේමරත්න, යශෝධා විමලධර්ම මෙන්ම පුබුදු චතුරංගද, බුද්ධිනී පූර්ණිමා ද භාව ප්‍රකාශනයේ අති දක්ෂයන් බව සිනමා පටය අවසන මම පසක් කලෙමි. චරිතය ගොඩනැගීමට අදාලව නලු නිලියන්ගෙන් ගත යුතු උපරිමය උකහා ගැනීම අධ්‍යක්ෂක තුමා සතු අපූරු හැකියාවක් බවද කිවමනාය.

 
පුබුදු චතුරංග (වාදීශගේ සොහොයුරා.) ඔහුගේ ලියමන උදුරා ගත් පසුව වාදීශට පවසන දෙබස් ඛණ්ඩය ප්‍රේක්ශකාගාරයේ හුන් බොහෝදෙනාගේ මුවගට සිනා නැංවීය. නමුදු සිනා හඬ දෙසවන දෝන්කාර දෙද්දී මා කම්පිත වී බලා උන්නේ වේදනාව සිරකරගත් වාදීශගේ ගැහෙන දෙකොපුලත් සැලෙන දෙතොලත් දෙසය. සූර්යා දුර ගමනක් යන්නට විභවයක් සහිත අංකුර ශිල්පියෙක් බව ඔහුගේ රංගනයෙන් මොනවට පැහැදිලි වේ.

 
කියන්නට බොහෝ දේ ඇත. නමුදු මෙතැනින් නවතිමි. ඔබත් යන්න. අපේ කතාව, ඔබේ කතාව දකින්න.

 
සමනළ සංධ්වනිය ගැන මා කියැවූ අපූරුම "හයිකු විචාරය" මේ ලිපියට සුදුසුම අවසානය යැයි මම හඟිමි. හයිකු විචාරය පබැඳුනේ "ගිහාන් රුද්‍රිගු" අතිනි. උපුටා ගැනුම www.Lankadaily.lk වෙබ් අඩවියෙනි.


පමාවී හරි
උයනෙ සුපිපුණ
ළපටි කුසුමක
යැදුම අතහැර


පරණ මලකට-තරව ලොබකොට
ලියුම් කරදහියකට යට වුණ
දළඹු මතකයෙ සදා සිරවුණ
ළදරු සමනලයෙකුගේ වැලපුම
 
සමනළ සංධ්වනිය
 
 
 

Saturday, October 26, 2013

සංධ්වනියට පෙර

ඉකි ගසා හඩන අතීතයක
කදුළු එක්ක ගනුදෙනු කරනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුනා

හීනෙන් හීනැහී තුන්යම මා රවටා
මැදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා
නින්දෙන් ඇහැරි කලුවරේම යලි සොයනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුනා
මගේම ආදරයක් තිබුනා

රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා
සුසුමින් විතරක් නිරතුරුම පිරි මදිනා
උහුලනු බැරිතැන උනු කදුළුම වගුරුවනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුනා
මගේම ආදරයක් තිබුනා






කාලෙකට කලින් මේ පදවැල සවනත වැටෙන මොහොතෙ මටත් හොරා මගේ හිත දුවගෙන ගියෙ අවුරුදු දහයකටත් වඩා ඈත අතීතයට. මට හිමි මගේ නොවන මගේම ආදරයක මතකයට. 


ඊට අවුරුද්දකට විතර පස්සෙ ආවා සමනල සංධ්වනිය ෆිල්ම් ට්‍රේලර් එක. එතකොටයි මම දැන ගත්තෙ වාදීෂටත් එයාගෙ නොවන එයාගෙ ආදරේ අත්විඳින්න ලැබෙන්නෙ මම ඒ අත්දැකීම විඳපු වයසෙදිමයි කියලා. එකකෙන් මාව තවත් සංවේදී වුනා මේ ගීතයට.


සමනල සංධ්වනියේ මුහුරත් උළෙල තිවුන දවසෙ නගා පොඩ්ඩ එක්ක ඒක ටී.වී එකෙන් බලලා පහක් දැම්මෙ "ආපු ගමන් බලන්න යමු හොඳේ!" කියලයි. මොකද අපේ නගා ඒ වෙනකොට එයාට බලන්න අවසර නොතිබුන කර්ම සහ නිකිණි වැස්ස චිත්‍රපට දෙකම මම තනියම බලපු එක ගැන ටිකක් උරුම්පූට්ටු වෙවී හිටියෙ.





ඒත් අනේ යාලුවෝ ගියා ෆිල්ම් එක බලන්න. මම වැඩ.


ගෙදර කට්ටියම ගියා සිනෙමැක්ස්. මම සහතිකයක් ගන්න කැම්පස් එකේ කට්ට කනවා ඒ වෙලාවෙ.


"මේ සතියේ වේලාසනින් වැඩ ඇරිලා යමු." බස්සා කිවුව. මොන? දෙන්නාම ආවෙ හැමදාමත් හත පහුවෙලා.


මම අහලා තියෙනවා සමනල සංධ්වනිය බලන්න සාධාරණ හේතු හයක්.


1. "මගේ නොවෙන දේකට, මගේම දෙයක් " වගේ සලකන අය චිත්‍රපටියකින් හරි දකින එක හොද නිසා.


2. බොළද දෙබස්, මෝඩ fights, ගස් වටේ නටන සිංදු නැතුව පැය 2ක් දිග ලස්සන කතාවක් ගොතන්න හැමෝටම බැරි නිසා.


3. අඩ නිරුවත් / අසභ්‍ය දර්ශන නැති නිසා සහ ඒවා නැතුව හොද චිත්‍රපටි හදන්න පුළුවන් බව ඔප්පු කරන චිත්‍රපටියක් නිසා.


4. ප්‍රබල චරිත කිහිපයකටම ඇත්තේ දෙබස් 0 ක් හෝ දෙක තුනක් පමණක් නිසා (හැගීම් ප්‍රකාශනය අති විශිෂ්ටයි!)


5. චිත්‍රපටියේ ගීත සියල්ලටම තේරුමක් ඇති නිසා.


6. කතාව හිතට දැනෙන්නෙ නැතිනම්, සංගීත ඛන්ඩ ටික අහල ආවත් ටිකට් එකේ ගානට(ත් වඩා) වටින නිසා.


අනේ මන්දා අපේ දිලිනියා මෙහෙම ලියනකොට තනිතරුව නම් බ්ලොගේ සංධ්වනිය ගැන කියාල තිවුනෙ මෙන්න මෙහෙම. ඒක කියෙවුවාම හිතුනා බලන්න ඕනෙ ඉක්මනටම කියල.

ඔය අතරෙම මම දැක්කා මේ චිත්‍රපටියේ තේමා ගීතය ගොඩක් අය තමන්ගෙ සමාජ වෙබ් අඩවි වල Tag line එක කොරගෙන ඉන්න හැටි.





ඒ අස්සෙ මෙන්න මේ වගේ හිනා යන නිර්මාණත් තිවුනා. මමනම් මේ පහළින් තියෙන ෆොටෝ එකට බනින්න හිතෙන්නෙ නෑ. මොකද ඒකෙ උපහාසය බොක්කටම වදිනවා. ඒ ඕක් ගෙඩිය කවදාවත් උගේ නොවෙන නිසා.





කොහොමින් කොහොම හරි අද උදේම බස්සා අන්තර්ජංජාලෙට ගොඩවැදිලා ටිකට් බුක් කලා සංධ්වනිය බලන්න. බස්සා lectures ඉවරවෙලා ආපු ගමන් අපි දෙන්නා පටාර් ගාලා ලිබර්ටි යනෝ..... දැන් ලෑස්ති වෙන්න යන්න ඕනෙ. බස්සිට ගමනක් යන්න ලෑස්ති වෙන්න යනවා අඩුම තරමෙ පැය දෙකක්වත්.....!!


බලලා ඇවිත් ඉරිදා උදේම දෙන්නම් මගේ සිනමා විචාරය!

Friday, October 25, 2013

කන ඇතුලේ වංගු වංගු





බස්සි සති අන්තෙ නිවාඩුවට ගෙදර යනවා නෙව. සති දෙක තුනකට කලියෙන් ගෙදර ගිය වෙලේ බස්සිට අම්මා ගෙනත් දුන්නා ලියමනක්. කඩලා බැලුවාම මේක මේ ඉන්ටවිව් ලියමනක්. දැන් ඔන්න බස්සියි, අම්මයි කතාවෙනවා ඉන්ටවිව් එක ගැන.

 
රජයේ බැංකුවක මැනේජ්මන්ට් ට්‍රේනී සීන් එකක් නිසා අම්මා කතාවෙන් කතාවෙන් ෆුල් ට්‍රයි එක දෙනවා බස්සිව ඉන්ටවිව් එකට දක්කන්ට. බස්සි අහුවෙයි ඕවාට. පූරුවෙ කරුමෙකට බස්සිට හිත දෙන්නේම නෑ නෙව අට - හතර ජොබකට ගිහින් සැනසිල්ලෙ ඉන්න. බස්සිත් ඉතින් දැනට තියෙන ජොබ් කටුවේ ගුණ ගැන කෙස් පැලෙන තර්ක ගේනවා.

 
ඔය අතරේ අපේ නගා පොඩ්ඩ සුපුරුදු පරිදි කාමරේ ඉඳන් අපේ කතාවට ඇන්ටනාව හරෝගෙන ඉඳලා.


"ඔයා ඔතන හොඳ කිවුවට ඔෆිස් එකෙන් එලියට බහිද්දි රෑ හතහමාරයි, අටයි නෙ ළමයෝ. මෝර්ගේජ් බෑන්ක් (mortgage bank) එක කොයිතරම් හොඳද. අනේ මන්දා ඔයාලත්." අම්මා කියනවා.


නගා පොඩ්ඩ හෙමීට මගේ කාමරේට ඔලුව දැම්මා.

"මොකද්ද අම්මා මෝර් ගේන් එක්සෑම් (more gain exam) කියන්නෙ?" මූ අහපි.


"මොකක්?" මමයි අම්මයි දෙන්නාම ඇහුවෙ එකට.

"ඇයි අක්කට යන්න කිවුවෙ මෝර්ගේන් එක්සෑම් එකකට ලියුමක් ආවා කියලා."


එතනින් එහාට පැය කිහිපයක් යනකම් අපේ නගාගේ තත්වය අතිශය ශෝචනීය වුන බවට කවර කතාද?




අපේ පොරගෙ කන ඇතුලේ වංගු පිහිටලා තිවුනෙ චූටි කාලෙ ඉඳන්මයි. දවසක් මුන්දෑ කණ්නාඩිය දිහා බලාගෙන තනියම ඇක්ට් කරනවා ඒ කාලෙ ටී.වී. එකේ ගිය ඇඩ්වර්ටීස්මන්ට් එකක.


"කෝ බොල පුහුණුව?"

"විශිෂ්ඨයි සර්!"

"ඉඳුං හිතුං?"

"විශිෂ්ඨයි සර්!"

"කෝ බොල කෑම?"

"අති විශිෂ්ඨයි සර්!"


 
කස්ටියට දැන් මතක ඇතිනෙ ඇඩ්වර්ටීස්මන්ට් එක.





තවත් දවසක ඔන්න බස්සියි නංගියි ඉක්කෝලෙ යන්න ලෑස්ති වෙනවා. නගා පොඩ්ඩගෙ කොණ්ඩෙ උඩට කරලා පොල්ගහක් වාගෙ ගැටගහලා තමයි යවන්නෙ. අම්මා ඕක පීරනකම් පොර උස පියානෝ ස්ටූල් එකක් උඩ ඉඳගෙන කකුල් දෙකත් පද්ද පද්දා සිංදුවක් කියනවා.





"කැකිරි පලං ටිකිරි හිනාවෙයි
ඇගෙ එකෙන් දෙකෙන් දිනං හිනාවෙයි
ටිකිරි ටිකිරි ටිකිරි ටිකිරි ඉකිරි හිනාවෙයි

ඇගෙ මාමණ්ඩී මාමණ්ඩී පාර කපනවා
ඇගෙ මාමණ්ඩී මාමණ්ඩී පාර කපනවා"

 
ඕක අහලා අන්තිමේ බස්සිගෙ හිනාව නැවතුනේ පොඩි එකාට ඔච්චම් කරනවා කියලා අම්ම පනාවෙන්ම ප්‍රහාරයක් එල්ල කලාටත් පස්සෙයි.


මේ පෝස්ටුව පල කිරීමෙන් පසු බස්සිගේ දීර්ඝ නිහැඬියාවක් පැවතුනොත් මල් සහ පළතුරු රැගෙන මා බලන්නට ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට එන්න!!!

Tuesday, October 22, 2013

හතලිස් හත්වැනි කොටස : බස්සා Vs බොරළුගොඩ


බස්සට මේ ලඟදි දවසක ඔපීසියේ අයියා කෙනෙක් කියනවා ලු මේන් මෙහෙම;


"මල්ලි උඹේ කෙල්ලද බං අර බස්සිගේ කතන්දරේ ලියන්නෙ? අපේ වයිෆ් ඕක කියවලා ගෙදර ගිය වෙලේ ඉඳන් මට විස්තර විචාරය දෙන්න පටන් අරං දැන්."

දවසක් බස්සයි බස්සියි ඩිනර් අනුභවය සඳහා ගිහින් ඉන්න වෙලාවක බස්සගෙ ෆෝන් එකට message එකක් එනවා මෙන්න මෙහෙම.


"අඩේ අර බස්සගෙයි බස්සිගෙයි කතාව ලියන්නෙ උඹේ කෙල්ලද බං. එතකොට උඹ බස්සද? හෙ හෙ... හොඳා හොඳා... අදයි සේරම කියෙවුවෙ. ඔෆිස් එකේදි meet වෙමුකො."


තවත් දවසක් බස්සයි බස්සියි කැම්පස් එක පැත්තෙ යද්දි;

"ආ මේ ඉන්නෙ බස්සො කපල් එක. අඩේ නංගිගෙ කතන්දරේ නිසා මට අපේ එකීගෙන් කනක් ඇහිලා ඉන්න නෑ බං. නංගි මොනාද අනේ මූට ටිකක් බැනලත් ලියන්න ඕකෙ ඉඳලා හිටලා."


ඉතින් ඔය ප්‍රතිචාර ඇහෙද්දි මට මතක් වෙන්නෙ "ගිරිපුර ඇත්තෝ (The flintstones) එකේ බොරලුගොඩ (Fred Flintstone)ට උන සිද්දියක්.






බොරලුගොඩ දවසක් ගෙදර එනකොට ඔලුවට වැටෙනවා තඩි කලුගලක්. (ගල් යුගේ නෙව, ගල් හැමතැනම.) ඉතින් ඒකෙන් බොරලුගෙ මොලේ සර්කිට් සේරම අවුල් යනවා.


ඉස්සර විමලාට (Wilma Fintstone) කියල අතට පයට සේරම වැඩ ටික කරවගත්තු බොරලුගොඩ දැන් විමලාට රෙදි සෝදලා දෙනවා, උයන්න උදව් වෙනවා, එක වැඩයි. විමලාටත් හෙන පුදුමයි මේ වැඩේ ගැන.





කොහොමින් කොහොමහරි බොරලු දැන් වෙනදා වගේ ගල් බෝල ගහන්න ක්ලබ් එකට යන්නෙත් නෑ. බොරලුගෙ ගුණ වරුණාව ගිරිපුර හැම ගෙදරකටම පැතිරෙනවා.


ගිරිපුර ගෙවල් වල පිරිමින්ට එයින් පස්සෙ අත් වෙන්නෙ මහ නරක දසාවක්. "ඇයි බොරලුට පුලුවන්නම් ඔයාටත් බැරි මට රෙදි සෝදලා දෙන්න?" වාගෙ ප්‍රශ්න නැගෙනවා වයිපර්ලාගෙන්.


අන්තිමට ගිරිපුර ගමේ පිරිමි ටික ඉවසන්නම බැරිතැන බොරලුව මරන්න හොයනවා. බොරලුගෙ හොඳම යාලුවා ගලපාත (Barney Rubble) තමයි එයාව බේරගෙන ගෙදර අරන් එන්නෙ.





කස්ටිය බොරලුව මරන්න හොයන බව දැනගත්තු විමලා කරන්නම දෙයක් නැති තැන බොරලුගෙ ඔලුවට ආපහු කලුගලක් පෙරලනවා. ඒකෙන් පොරගෙ මොලේ සර්කිට් ආපහු යථා තත්වයට පත් වෙනවා.



ඕන් ඕකයි සිද්දිය.


අපේ බස්සාගෙනම් ඔලුවට කලුගලක් වැටිලා නැහැ. ඒත් කල්තියා මේ ටිකත් කියලා දාන එක හොඳයි නෙව.





ජීවිතේ කියන්නෙ රෝස මල් යහනාවක්. මල් විතරක් නෙමෙයි, උල් කටුත් එමටයි. ඒත් අපි ඒ කටු වල තියුණු කම ගැන විතරක් හිතුවොත් අපිට ජීවිතේ රසවිඳින්න අමාරුයි.



බස්සයි බස්සියි රණ්ඩු අල්ලන, තරහ වෙන, කතා නොකර පැය ගනන් ඉන්න වෙලාවල් පවා තියෙනවා. ඒත් ඒව අමතක කරලා අපි නිතරම බලන්නෙ ඊට වඩා දහස් වාරයකින් හිතට සැනසුමක් ගේන සුන්දර මතකයන් දිහාව විතරයි.



කටු ගැන හිතන්න එපා. මල් වල සුවඳ විඳින්න. අපි ජීවත් වෙන්නෙ ටික කාලයයි. සතුටින් ඉන්න.



Sunday, October 20, 2013

මේ සතියේ ජයග්‍රාහකයා වන්නේ.....




බස්සි ඊයෙ පෝස්ටුවත් එක්ක පොඩි පහේ ප්‍රශ්න විචාරාත්මක තරඟයක් පැවැත්වුවා නෙ කුරුලු යාලුවො කස්ටිය වෙනුවෙන්. මේ තියෙන්නෙ බස්සි අහපු ප්‍රශ්නෙ;

බස්සිට පට්ටම නම වැටෙන්නෙ ඒ ලෙවල් ඉවර වෙලා ඩ්‍රයිවින් ඉගෙන ගන්ට ලර්නර්ස් යන කාලෙ. ඒ තමයි "නයිට් රයිඩර්"

බලමු කවුද මේ නමට හේතුව නිවැරදිව අනුමාන කරන්නෙ කියලා. නිවාඩු දවස නිසා නිවැරදි පිළිතුර මුලින්ම කොමෙන්ට් කරන කෙනාට බස්සි දෙනවා පොඩි තෑග්ගක්.


ඕං ඉතින් බස්සිගේ නවාතැනට ගොඩවදින කුරුලු යාලුවො සෙට් එකත් මේක ගැන එක එක ජාතියේ නා නාප්‍රකාර උත්තර කොටලා ගිහින් තිබුනාලු.


රෑ වෙන්න කිට්ටුව ට්‍රේන් වෙන්න යන නිසා කියලා චාමික මලයා කියාපි.
අක්කා රෝද 2න් වත් යන්න ට්‍රයි කොරලද දන්නේ නැ නේද ? කියලා රසික මල්ලි අහපි.
කොහේ හරි Turbo boost පාරක් දාන්න ඇති කියලා නාඩි තුමා guess කරද්දි,
high speed යන හින්දා කියලා දිලිනි කියාපි.
වාහනේ සයිඩ් මිරර්, හෝන් එහෙම ලස්සනට තියාගෙන යන හින්දා කියලා ඩොකා කියාපි,
වාහනේ පාරට දාන්නෙ රෑ ජාමෙ නිසාලු ඩී.ජේ. කියන විදියට.
ඔමා කියන්නෙම අනිවා ඩෙෆා ටර්බෝ බූස්ට් සීන් ඒකක්මයි කියලා,
වාහනේ පුරුදු වෙන්න කලින් වාහනේට කතා කරනවා නේද?? කියල ප්‍රියා අහනවා,
හිරූ අක්කා අහනව වාහනේට නැග්ග වෙලාවේ ඉඳලා බස්සි තනියෙන් කියෝනවා ඇති නේද කියාල,
නුවාටයි බස්සටයි තරඟෙට සහභාගි වෙන්ට බෑ නෙව කොන්දේසි වල හැටියට.
අරූ, ඩූඩ්, දමිත්, මැලේ එහෙම බස්සිට තෑගි එවන්ට කරදර වෙයි කියලා දුකෙන් උත්තර දුන්නෙ නෑලු ඕං..... 
 

හ්ම්ම්... ජයග්‍රාහකයාගෙ නම කියන්ට කලින් මම උත්තරේ කියල ඉන්නම්කො.


ඉඟියක් තිවුනා නෙ පෝස්ට් එක පුරාම. බස්සි ඒ කාලෙ හරීම උසයි. ;) නමත් "කොටර්" නැත්නම් "කොට හාමිනේ". හා දැන්වත් හිතාගන්ට බැරිද උත්තරේ?


කොට නිසා හරියට පාර පේන්නෙත් නෑ. පුරුදු වෙන්නෙ උස වෑන් වල නෙ. ඉතින් බස්සි ඩ්‍රයිවින් සීට් එකේ ඉඳගන්නෙ කුශන් කොට්ට දෙකක් විතර තියලා උස හරියන්ට.


දැන්වත් හිතාගන්ට බැරිද උත්තරේ? ඔය නයිට් රයිඩර් කාර් එකේ පින්තූරෙ බලලාවත් කියන්නකෝ.




ලර්නර්ස් එකේ අයියලා අක්කලා කියන්නෙ උස වැඩි කමට එලියෙ ඉන්න මිනිස්සුන්ට බස්සිව පේන්නෙ නෑ කියලා. නයිට් රයිඩර්ගෙ කාර් එක වාගෙ බස්සි යන වාහනෙත් ඔටෝ යනවා කියලා බයවෙලා පාරෙ ඉන්න මිනිස්සු ආපහු ගෙදර දුවනවාලු.


ඔන්න ඕකයි සිද්ධිය.

ඉතින් මේ සතියේ ජයග්‍රාහකයා වන්නේ.....

පපර පප් පපා.....න්.....!!!

මං තුමීම තමයි නේද?

මොකද අන්තිමේ මම ම නෙව හරි උත්තරේ කිවුවෙ!!!



Saturday, October 19, 2013

නම්

 

අපි හැමෝටම තියෙනවා නමක්. බොහෝවිට නම් දෙකක්, නම සහ වාසගම. අද වෙනකොට ගොඩාක් අයට වාසගමට අමතරව නම් දෙකක් තියනවා, කැමති නමක් භාවිතා කරන්න. තවත් සමහරු දරුවන්ට ආදරේ වැඩිකමට නම් තුනක්, හතරක් නෙමේ හයක් විතර දාන දෙමවුපියොත් ඉන්නවා. කැම්පස් එකේ බස්සගෙ යාලු කුරුල්ලෙකුත් ඉන්නවා එහෙම නම් ගොඩාක් තියන. එයාගෙ නම ලියන්නනම් පේලි තුනක්වත් යනවා.


බස්සි අද කියන්න යන්නෙ ඒ නම් ගැන නෙමෙයි. ආදරේට කියන තවත් නම් වර්ගයක් ගැන. ඒවට අපි කියන්නෙ නික් නේම්ස් නැත්තම් කාඩ් කියලා.


බස්සිට බබා කාලෙ තාත්තා ආදරේට කිවුවෙ "දූප්පුරා" කියලා. ඉතින් බස්සි තාත්තාට කියන්නෙ ඒකට ගැලපෙන්ට "තාත්තුරා" කියලයි. 




ඔය තාත්තුරා කියන එක වෙනස් කර ගන්න බස්සිට පුලුවන් වුනේ කැම්පස් යන කාලෙදියි. ඇයි ඔය නමින් අපේ තාත්තාව හඳුන්වපු ගමන් සේරම උන් බඩ අල්ලන් හිනා වෙනවා නෙව.


කොහොමින් කොහොම හරි ගෙදෙට්ට නංගි බබෙක් ගෙනාවට පස්සෙ බස්සිට තිවුන "දූප්පුරා" කියන නම "අක්කිරියා" කියල වෙනස් වුනා. ඒ නම දාන්ට නම් පුරෝගාමී වුනේ අපේ අම්මා. ඒකට හරියන්ට නගාට කියනව "චූටික්කා" කියල.



"අක්කිරි" කියන නම කොයි තරම් දුරට රෙජිස්ටර් උනාද කිවුවොත් අපේ අම්මයි තාත්තයි අදටත්, කවුරු එක්ක කතා කලත් මාව හඳුන්වන්නෙ "අක්කිරියා" කියලයි. "කිරියා" කියද්දි දන්නෙ නැති උන් හිතනවා ඇති ගෙදර හුරතලේට ඇති කරන පූසා කියල.


ඔය නමෙන් ඇරෙන්න මගේ සැබෑ නමින් කැඳවීමක් ලැබුනොත් ඉතින් අනිවාර්යෙන් මොකාක් හරි බාල්දියක් තමයි. අම්මා ඉස්සර "යශෝධා සම්මානී.... මෙහාට එනවා..." කියාපු ගමන් කකුල් කෙටි දෙක මැන්ඩලින් ගහන්ට ගන්නවා අපූරුවට.


ඔතනින් පස්සෙ තමයි ඉක්කෝලෙ කාලෙ නම් පටබැඳීම පටන් ගන්නෙ.


බස්සිට මුලින්ම නමක් වැටුනෙ කොන්වන්ට් එකේ ප්‍රයිමරි කෑල්ලෙදි. ඒ කාලෙ බස්සි ගොඩක් මහතයි. පෙරලි පෙරලි තමයි යන්නෙ. ඒ ගමනට ගැලපෙන විදියට තුනේ පංතියෙ යාලුවො තියාපු නම තමයි "ඩෝලෙ".


හයේ, හතේ, අටේ, නමයේ පංතිවලදි කියාපු නම් නං ඇත්තටම මටවත් මතක නෑ.


ආපහු නම්බු නාම රාශියක්ම ලැබුනෙ දහයෙ පංතියෙ යාලුවො සෙට් එකට වැටුනාම. ඒ කාලෙ බස්සිගෙ මහත නම් අඩුවෙලා හොඳටම. ඒ වුනත් යාලුවො හැමෝම බස්සිට වඩා උස නිසා අහන්න ලැබුන මුල්ම නම තමයි "කොටර්". ඕක එකොලහට යද්දි මොඩිෆයි උනා "කොට හාමිනේ" කියලා.






ඒ වගේම "පුටු කකුලා", "ඩේවිඩ් පීරිස්", "පීටර්" වාගෙ නමුත් කාලෙන් කාලෙට ආවා. ගියා.

 
කට්ටියට රෙස්ලින් පිස්සුව තිවුන කාලෙ හැමෝටම රෙස්ලර්ලාගෙ නම් දාන එක ට්‍රෙන්ඩ් එකක් වුනා. ඒ කාලෙ බස්සිට වැටුන නම තමයි "රේ මිස්ටීරියෝ"! ඒකෙත් හැටි. ඌ තමයි ඒ කාලෙ හිටපු රෙස්ලර්ලාගෙන් කොටම එකා.




ඒ වාගෙම කොල්ලෙක් කතාකලාම ඇඹරෙන්න අසහාය හැකියාවක් තිවුන යාලුවන් අතරෙන් දෙවැනි ස්ථානය හිමි කරගත් හින්දා බස්සිට "රඟ සොබා අංක දෙක" කියන ගෞරව නාමයත් ලැබුනා.


ඒ ලෙවල් කාලෙ කස්ටියට පාඩම් වැඩ ගැන එහෙම පොඩි පොඩි උපදෙස් දෙන්න පුලුවන් තත්වෙකට ආවට පස්සෙ බස්සි නිකංම "බොස්" උනා.





 
ඊළඟට පට්ටම නම වැටෙන්නෙ ඒ ලෙවල් ඉව වෙලා ඩ්‍රයිවින් ඉගෙන ගන්ට ලර්නර්ස් යන කාලෙ. (ෆේල් උනානම් අඩු ගානෙ ඩයි නෝනා කෙනෙක් වෙන්න හිතාන. ;) ) ඒ තමයි "නයිට් රයිඩර්" 

බලමු කවුද මේ නමට හේතුව නිවැරදිව අනුමාන කරන්නෙ කියලා. නිවාඩු දවස නිසා නිවැරදි පිළිතුර මුලින්ම කොමෙන්ට් කරන කෙනාට බස්සි දෙනවා පොඩි තෑග්ගක්.


කැම්පස් කාලෙ බස්සිට ඉතින් නම් වැ
ටිම අනිවාර්යයි නෙව ඉක්කෝලෙ තිවුන නම් කන්දරාවෙ හැටියට. ගිය ගමන් බස්සිගේ වැඩ හොඳහැටි තේරුම් ගත්තු දෙක වසරෙ අයියලා දාපු නම තමයි "අන්ද මන්ද". ඔය නම දිග වැඩි නිසා කස්ටියම කතා කලේ "ඒ.එම්." කියලයි. පස්සෙ කාලෙකදි බස්සිගෙ බැචාල බැචීල එකතු වෙලා මේ චාටර් නම "ඒම්" (Aim - ඉලක්කය / අරමුණ) විදියට එඩිට් කලා.



බස්සා නම් තැබීමේ කරළියට එන්නෙ ඊට පස්සෙ. බස්සාත් නම් තැබීමේ එක්ස්පර්ට් කෙනෙක් ඔහොම හිටියාට. "මැටි හාවි", "චූටි නිපී", "ටුට්ටු", "බායියා" වාගෙ නම් ලිස්ට් එකක්ම තියෙනවා බස්සා දමාපු. මේ දවස්වලනම් වැඩියෙන්ම භාවිතාවෙන නම "තඩියා". මොකද ජොබ් කරන්න ගත්තාට පස්සෙ බස්සි ටික ටික මහත් වෙන්න අරන්.


හොඳා අර මුලින් අහපු ප්‍රස්නෙටත් උත්තරේ අනුමාන කරලාම යමුකො. බස්සිගේ පවුලේ සමීප මිතුරන්ට සහ බස්සාට තරඟයට ඇතුල් වීම තහනම් හොඳේ. 


Friday, October 18, 2013

මාරක බස් ගමන (සංවේදී හදවත් ඇත්තන් කියවන්නට එපා හොඳේ!)


කස්ටිය දවස් පහේ ලෝන්ග් වීක්එන්ඩ් නිවාඩුව රසවින්ඳාට පෞද්ගලික අංශයේ රැකියා කරන අපි වාගේ අසරණයන්ට ඒ චෑන්ස් එක ලැබුනේ නැත. ඒ වෙනුවට බස්සිට ටිකක් වැඩිපුර මහන්සි වෙන්නට සිද්ද වුනේ දවස් පහේ වැඩ ලෝඩ් එක දවස් හතරකින් ඇද හමාර කිරීමටය. වැඩට අකමැත්තක් නැති නිසා අවුලක් නැතත්, ගෙදර බලා පියාඹන්නට වුනේ අද උදේමය.



බස්සානම් ඊයේ රාත්තිරියේම ගෙවල් බලා ඉගිල්ලී තිවුන නිසා බස්සි බෑග් මලු දෙකත්, ලැප් කෙටියත් උස්සාගෙන වැනි වැනි තනියම ගෙදර කොටන්නට වුනේය. බැරිමරගාතේ අලුත් පාලමෙන් බසයෙන් බැස කටුනායක බස් එකක එල්ලුනේ ඉක්මනට ගෙදර යන්නට තිවුනු දැඩි උවමනාව නිසාය. (දැන් අහපල්ලා ඉගිල්ලෙන්ට පුලුවන්කම තියෙද්දි ඇයි බස් වල ගියෙ කියලා. බෑග් මලු තුනක් එල්ලන් තටු ගහන්ට බස්සි දුවන්නේ පැට්ට්‍රෝල් වලින් යැ?)


ආවු අප්පා!! හිස් ආසන තිවුනේ එකෝම එකක් ය. ඩයිවර්ට පිටිපස්සේ සීට් එකය.




 
බස්සිත් ඉඳගෙන ඇබ දෙක කනේ ගසාගත්තේය. සිංදුවක් අහන්නට ඉස්පාසුවක් ලැබෙන්නේ ගමනේ යෙදෙන අතරතුරේ විතරක් නිසා ය. විනාඩි තුන හතරකින්ම බස්සිට මේ බස් ගමනේ වෙනසක් දැනෙන්නට විය.


ඔලුව උස්සා බැලූ විට බස් කාරයා පත්තෑයෙක් වගේ පාර පුරාම යනවාය. හරියට පාර උගේ වගේය. පෝය දවස නිසා වාහන නම් අඩුය. ඒත් බස්සි දන්නා තරමින් පාරෙ යන උන්ට අඬගසා ලැයිසොං දෙන්නේ නැත.



ඊගාව හෝල්ට් එකේ බස් එක නැවැත්තූ ගමන් ඩැයිවර් මල්ලි (පොර නම් මල්ලියෙක්ම විය යුතුය. අවුරුදු විස්සක, විසි දෙකක විතර පෙනුමක් ඇති එකෙක් ය.) ආසනයෙන් උඩට ඉස්සී ඉහට උඩින් වූ වයර් කෑලි දෙකක් අමුණන්නට උනේය. පොර මහත් උනන්දුවෙන් අමුනා ඇත්තේ ටී.වී. වයර් එකය.


යක්කල මුල්ලේ පැවැත්වූ ***ස්ටාර් (සුපර් ස්ටාර් නොවේ!) සංගීත ප්‍රසංගය කියන අකුරු පේලිය තිරයේ දිස් වුනේය.

බස්සිගේ පෝං එකෙන් ආසාම සිංදුවක් කනේ වදින්නේය.

You can keep me
Up on the phone all night
We say let's hang up on three
But we don't ever do it
Ain't it crazy
How after all this time
We got that you hang up
No, you hang up kinda love
We got that you hang up
No, you hang up kinda love


ටී.වී. තිරය දෙස බලන බස්සිගේ ඇස් උඩ ගියේය.

Volume 38
Volume 39
Volume 40 - 41 - 42


ඩැයිවර් මල්ලියා තවත් වැඩේ අත ඇර තිවුනේ නැත. මිනිස්සු නගින පාටක් නැති නිසා වාසනාවට 45න් වැඩේ හමාර උනේය.

 
දැන් බස්සිට සිංදුව ඇහෙන්නේ මෙහෙමය.


I still get the goosebumps
I felt the first time
That I saw you <<


ඇත්තටම හරිම සතුටුයි. අපි මේ ගමට ආපු පළවෙනි වතාව තමයි මේ.....


Girl, you had me hooked on 
that beautiful view........
 
කෝ සද්දේ....!!!

 
I know that this thing we have
Won't ever change
That's why I have
The confidence

 

දෙන්න මල්ලිලා අත්දෙක උඩට උස්සලා.... කෝ කෝ?? ඔය මදී.... කෝ මට ඇහෙන්නෙ නෑ තවම.... (ඌ නම් පුදුම බීරෙක්ය. හෙඩ් ෆෝන් දෙක පලාගෙන මටත් නරඹන්නන්ගේ හූව ඇහෙනවාය.)


No, you hang up kinda love
We got that you hang up
No, you hang up kinda love


අත්දෙක කට ගාවට අරන්.... තව හයියෙන්!! (මූ මේ කියන්නේ ගෘප් එකට හූ කියන්න කියලා විය යුතුය.)


බැරිම තැන බස්සි ප්ලේයරය ඕෆ් කර දැම්මාය. හෙඩ් ෆෝන්? එවුවා කන් දෙකේම තියෙන්නට ඇරියේය. ඇස් පේන්නෙත් බාගෙට වෙච්චි කොට තවම ලෙඩක් නැතුව වැඩ කොරන කන් දෙක බස්සිට වටිනවාය.




එතකොට බස් එකේ යන අනිත් මිනිස්සුන්ගේ කන්??

බස්සිටත් ඇතිවුන ලොකුම ප්‍රස්නය ආන්න ඒකය.


ඒත් පුදුමය කියන්නේ එකෙක්වත්, එකෝම එකෙක්වත් ඒ සංගීතයට විරුද්ධ වුනේ නැති එකය. බස්සි වාගේම ඒ අයත් ඕකට විරුද්ධ වී පලක් නැති බව අත්දැකීමෙන් දන්නවා ඇතිය. ඒත් අපි ගෙදරදී ටී.වී බලන්නේ වොලියුම් පහළොවට නැත්නම් දහසයට අටවාගෙනය. මේ ආසන්න වශයෙන් ඒ වාගෙ තුන් ගුණයක ශබ්දයකි.


ඉතිං මේ අවනඩු කාට කියන්නද?

ඔව්. ඩැයිවර්ට, කොන්දාට විරුද්ධව නැගී සිටින්නට හැක. ඒ වාගෙ සිද්ධියක් දැනට වසර තුනකට විතර පෙර සිදු වුනේය.

 
ඒත් සිකුරාදාවකි. බස්සි කැම්පොස් ඉඳන් ගෙදර යන්ට බස් එකට නැග්ගේය. බස් එකේ බස්සිගේ ඉක්කෝලෙ යාලුවෙක් හා එයාගේ මවුතුමිය වාඩිවී සිටියේය. යාලුවා අලුත් නැවෙන් කොළඹ කැම්පොස් එකෙ සෞන්දර්‍ය පීඨයට ගොඩබහින්ට යනවා ය. උන්දෑව ඒකේ වෙල්කම් එකකට එක්කාන ගිහින් ආපහු එන ගමනය. දවසම රස්තියාදු වී මවුතුමියට තද ඔලුවෙ කැක්කුමක් හැදිලාය.


බස් එක පිටත් උනේය. සිංදුව නැතුව රෝද කරකැවෙන්නේ නැති නිසා කන පැලෙන්නට බස් කැසට් පටයක් වාදනය වන්නට විය. ස්පීකරය ඇත්තේ අපේ ඔලුවට උඩිනි.


යාලුවාගේ අම්මාට අමාරු බව පෙනුන නිසා කොන්දොස්තරගෙන් ටිකක් ගත් පසු බස්සි පළමු පන්දුව එල්ල කලේය.

"අංකල් කැසට් එකේ වොලියුම් පොඩ්ඩක් අඩු කරන්න පුලුවන් වෙයිද?"

කොන්දා ඇස් දෙක දොට්ට දාගෙන මා දිහා බැලුවේය. "බස් වල යන පළවෙනි දවසද?" කින්ඩි හිනාවක් දැමූ ඒකා මා සිටි පැත්තවත් බැලුවේ නැත.


දෙවන වර කොන්දාට පන්දුව එල්ල කලේ යාලුවාය. "අංකල් කැසට් එකේ වොලියුම් පොඩ්ඩක් අඩු කරන්න පුලුවන් වෙයිද? අපේ අම්මට හොඳටම උණ. සද්දෙ වැඩි නිසා අමාරුයි."

"හා" කොන්දා සෙනග අතරේ අතුරු දහන් වුනේය. සද්දය අඩු වීමක් නම් වුනේ නැත.


යාලුවාගේ අම්මා අමාරුවට ඇස් වල කඳුලු පුරවාගෙනම යලිත් වරක් කොන්දාට පන්දුව එල්ල කලේය. කොන්දා එවරද අති සාර්තකව අඩියක් පසුපසට තබා කඩුල්ල මුවා කර බේරුනේය.

හරි යන පාටක් නැත. යාලුවාගේ අම්මාට ස්පීකරයේ වයරය පෑගුනේ එවිටය.

"හොඳින් බැරිනම් නරකින්. ඇයි දෙයියනේ නැත්නම් බස් වල යන මිනිස්සු ටික කාලෙකින් බීරො වෙලා නෙව නවතින්නෙ." ඇන්ටි ගේමට එන්ටර් වු
නේය.


වත්තල ටවුන් එක පහු වෙනකොට ඇන්ටිගේ මෙහෙයුම සාර්තක විය. කැසට් අඳෝනාව අවසාන විය. මගියෝ ගමනේ ඉතුරු ටික සැනසිල්ලේ ගමන් ගත්තේය.


 

බස් එකේ තවමත් කන පැලෙන්න සිංදුව වාදනය වෙන්නේය. රබර් ආවරණ අස්සෙන් රිංගන කරච්චලයත් බස්සිට ඔලුවේ කැක්කුමක් ඇතිකරේය. ඒ අතරේ ඩැයිවර් මලයා බස් එක එලවන ගමන් ඇස් බෙල්ල කරකවා ටී.වී. එක බලන්නේය. පොර ගමන පුරාම Rear view mirror එක කියා වරද්දාගෙන තිවුනේ ටී.වී. තිරය ය. වරින් වර side mirror එක යැයි වරද්දාගෙන රෝස පාට ජංගම දුරකතනයකටත් එබුනේය.


කොහොමින් කොහොම හරි පණ බේරාගෙන ගෙදර එන්න ලැබුන එක ගැන බස්සිට සතුටුය.