Wednesday, March 30, 2016

දෙපියන්-බෙල්ලා





සිඟිති දෙපියන්-බෙල්ලන්ගේ විසිතුරු කවච අලවා හැඩගන්වන ලද මුහුදු නිල් පැහැ ජැකට්ටුව කාමරය හරහා ඉගිල ගොස් 'තඩ්' හඬින් තේ මේසය මත පතිත විය.


"සිප්පිකටු? හත්වලාමේ සිප්පිකටු? ඩේව් ඔහේ ඇඳ විට්ටමේ ඔළුව හප්පාගත්තද?"


නිදිවැරීමෙන් සුදුමැලි වූ නළල රැළි කරන පීට්ගේ හඬේ කෝපයත් ආයාසයෙන් ඒ මතට නැංවූ සෝපාහාසයත් කැටිව තිබිණි. ගී ලෝලීන් අමන්දානන්දයට පත්කළ ඇම්බර් පැහැ සිවිකාච ගලවා දමා ඇති හෙයින් ඔහුගේ දෙඇස නුහුරු කොළ පැහැයකින් දිස්වේ. ඒ වූ කලී කේශාලේපන තට්ටු තවරා කෙළින් කල මලකඩ පැහැ කෙස්සට කොහෙත්ම ගලපාගත නොහැකි වර්ණ සංයෝජනයකි.


"නාවුක ඉංජිනේරුවන්ගේ සම්මේලනයේ වාර්ෂික සාදය! සිප්පිකටු නැතිව මේ ජැකට් එකට අලවන්ඩ කියන්නේ සමනල්තටුද?" කළමනාකාර තැන නුරුස්නා හඬින් මුමුණන්නට වී.


"මූදු පතුලේ මැරිච්ච බෙල්ලන්ගේ සොහොන් කවච එල්ලාපු ජැකට් එකක් ඇඳගෙන හෙනගහච්ච දිය කිඳුරෙක් වගේ ස්ටේජ් නගින්න පුළුවන්ද මනුස්සයෝ මට? පුළුවන්නම් ඔය උලව් සංදර්ශනේට සිංදු කියන්න මං වගේ තව කෙනෙක් හොයාගන්නවා."


ලොව වටා පවත්වන ලද සංගීත සංදර්ශන මාලාවකට සහභාගි වීමෙන් වෙහෙසපත් පීට් තරමක් කෘෂව, නිදිබරින් පීඩාවට පත්ව,නොරිස්සුම් සහගතව සිටියේය. ඩේව් සිතිවිල්ලේ නිග්මනවය. සාමාන්‍ය මිනිසෙකුට දරන්නට අපහසු තරමට පීට් කාර්යබහුලව සිටින බව සැබැවි. හඬ අභ්‍යාස සහ නර්තන පුහුණුවීම්වල නිරත වීම මුළුමුනින්ම මගහැරෙන දින ගණනද එන්න එන්නම වැඩිය.ඊටත් වඩා මේ නොරිස්සුම සහ හදිසි කෝපය පැහැදිලිවම අධික ආතතියේ ප්‍රතිඵලයි.


සෝෆාවෙහි වැතිරගත් පීට්ගෙන් වරින්වර සිහින් ගෙරවිල්ලක් නැගෙයි. ඩේව්ගේ හිස තුළ එක්වරම කහ එළියක් දැල්වෙන්නට වූයේ පීට් හඬ බරකර අවසානයට බිණූ වදන් කිහිපය සිහිපත් වීමෙනි.


"ඔය උලව් සංදර්ශනේට සිංදු කියන්න මං වගේ තව කෙනෙක් හොයාගන්නවා. පුළුවන්නම් මං වගේ තව කෙනෙක් හොයාගන්නවා!!!"



****************************


පීටර්සන් ප්‍රාසාංගික කටයුතුවලින් මාස කිහිපයක විශ්‍රාමයකට එළැඹීම රසිකයන්ගේ මහත් කනස්සල්ලට හේතු වී තිබිණි. දින කිහිපයක් තුළ යූ ටියුබ් අඩවිය හරහා පීට්ගේ ගීත නැරඹුම් වාර්තාගත ලෙස ඉහළ යන්නට විය. ඩේව් සිය ව්‍යාපාරික ඥානය ගැන තවතවත් උද්දාමයට පත්වෙමින් උන්නේ, බැබළෙන නෙතින් යුතුව නිරතුරුව මෙසේ පවසන්නට විය.


"ව්‍යාපාර කියන දේ එකතැන පල්වෙන්න අරින්ඩ නරකයි. හැමවෙලේම පාවිච්චි කරන්ඩ ඕනෑ තියෙන ඉහළම තාක්ෂණේ.තාක්ෂණේ නොදන්නා හණමිටිකාරයින්ට පවතින්ඩ බෑ මේ ලෝකෙ. ඒකට ඕනෑ මොලයක්. මේ ඩේව්ට දේවාශිර්වාදයෙන්ලැබිල තියෙන්නැහේ මොලයක්!"


ජපන් වෛද්‍ය විශේෂඥවරුන් සහ පර්යේෂකයන් කණ්ඩායමකගේ ආගමනය සහ පීටර්සන්ගේ ස්වරාලය ආශ්‍රිත සැත්කමක් පිළිබඳව ඕපාදූප වෙබ් අඩවි හරහා වරින් වර දෙබරයට ගල් ගසන්නට, රසික ප්‍රජාව අවුස්සාලන්නට විය. පීට්ගේ නිවාස පරිශ්‍රය (සුවිසල් ගෘහෝද්‍යානයද ඇතුළුව) පැපරාසීනට තහනම් කලාපයක් බවට පත් කෙරිණි.


"ඔහුට විවේකය අවශ්‍යයි." තියුණු එරවුමක් සමග කෙටි වදන් කිහිපයක් දමාගැසීමෙන් ඩේව් විසින් ඕපාදූප පුවත් පිටතට කාන්දුවිය හැකි හැම කුඩා සිදුරක්ම වසා දමනු ලැබීය. "පීට්ව ඝාතනය කල ඩේවිස් මිනිය හංගා මාධ්‍යවේදීන්ට කඩාපනී." සිරස්තලය යටතේ පළවූ සයිබර් මඩ ව්‍යාපාරය ගැන සොයා බලන්නටවත් ඔහුට ඉස්පාසුවක් නොතිබුණ තරමි.


විරාමයෙන් පසු යළි කරළියට පැමිණෙන පීටර්සන්ගේ ජනප්‍රියත්වය අඩුවෙමින් පැවති බව නොරහසකි. එකම වීඩියෝව තුන්හාරසිය වතාවක් ප්‍රතිවාදනය කිරීමෙන් පසු පීට්ගේ අඩවන් තෘණමනි දෙනෙතග රැඳි සරාගී බැල්ම නව යෞවනියන් තුළ පවා උද්‍යෝගයක් දල්වන්නට සමත් වූයේ නැත. පීටර්සන්ගේ පුනරාගමනය කෙරෙහි වූ ඇල්මැරුණු ආකල්පය අකාමකා දමන සුවිසල් පෙරළියක අවශ්‍යතාවය වඩවඩාත් බලවත්ව දැනෙන්නට වූයේ එබැවිනි.


"රොමැන්තික දෝලන" හෙවත් පීටර්සන්ගේ පුනරාගමන ප්‍රසංග මාලාව සමන්විත වූයේ ලොව වටා රටවල් ගණනාවක් ආවරණය කෙරෙන දිවා සහ රාත්‍රී ප්‍රසංග මාලාවකිනි.


"ඔහු ඉන්ද්‍රජාලිකයෙක් වගෙයි." ඔස්කාර් සම්මානලාභී ගායිකා කැරොලින් බර්නාඩ් පැවසුවේ එහෙමය. "පුරා පෑ හතරක් දිවා ප්‍රසංගයක එක දිගට වෙහෙස වෙලා, ඉන් පස්සේ රටේ අනිත් කෙළවරේදි රාත්‍රී ප්‍රසංගය අරඹන්න වේදිකාවට නඟින ඔහුගේ මූණේ තෙහෙට්ටුවක සෙවනැල්ලක්වත් නැහැ."


දිනකට පුරා පැය හතරක සංදර්ශන වාර දෙකක් දහවලේ සහ රාත්‍රියේ පවත්වන්නට යෙදුනද පීට්ගේ මුහුණේ වෙහෙසක සේයාවකුදු දක්නට නොලැබිණි. දිනපතාම අළුත් නර්තනාංග අත්හදාබැලුණු අතර අවසන් හෝරා කිහිපයේදී පවා කුඩා හඬ බිඳීමකුදු රහිතව ගලායන ගැයුමෙන් විස්මපත් රසිකයෝ යළිත් පීට් වටා රැස්කන්නට වූවේ සීනි කැටක් වටා රොද බඳින කුහුඹුරලක් මෙනි.



****************************


"මොළේ පුස්කාච්ච රෙගුලාසිකාරයන්ව ආරක්ෂක තනතුරුවලට බඳවගන්නවද මනුස්සයෝ!" පීට් සිය අත් ඔරලෝසුවට ඔරවමින් දත්මිටි කන්නට විය. දිවා සංදර්ශනය අරඹන්නට දැනටමත් පුරා පෑ දෙකක් ප්‍රමාදය. ගේට්ටුව අසල පොදිකන රසිකයන්ගේ ඝෝෂාව විවර කල කවුළුව හරහා නේපත්‍යාගාරය තුළටද ඇදී එයි.

"නරක දවසක් මිත්‍රයා. ඕක ඉවරවුණු වහාම ඔතැනින් පිටත්වෙන්ඩ වගබලාගන්නවා. රාත්‍රී ප්‍රසංගය ප්‍රමාද කරන්න මට කිසිම පැහැදිලි හේතුවක් ගොතාගන්න අමාරුයි. මේ යක්ෂයාට පමාවක් කියපු ගමන් වලිගෙ පාගගන්නවා."


තවත් විස්කි වඩියක් උගුරට හලා ගත් පීට්, ස්කයිප් තිරයට හිස වනා පරිගණකය වසා දැමීය.


ප්‍රසංගය අවසන්වන විට ප්‍රමාදය ගැන වගේ වගක් නැති, පීට්ගේ රැඟුමින් අමන්දානන්දයට පත් රසිකරසිකාවියන් විසින් ඔහු හා වාහනය අතරමැද මහ මිනිස් පවුරක් ගොඩනැගීමට ගතවූයේ මිනිත්තු කිහිපයකි. සමරු පොත් පන්සියයක අත්සන් තැබීම පහසු කාරියක් නොවන මුත් විස්කි මත හා අධික දාහය නිසා පීට්ගේ රුධිරය උණුහුම්ව, ජවයෙන් බුබුළු දමමින් පැවතුණි.


නගර කිහිපයකට එහායින් රාත්‍රී ප්‍රසංගය ඇරඹුණේ පීට් සොළොස් වියැති යුවතියකගේ කලවය මත සමරු අත්සනක් යොදා වාහනයට ගොඩවෙනවාත් සමගය. 


දිවා ප්‍රසංගයත්, රාත්‍රී ප්‍රසංගයත් එකිනෙකට සමගාමීව රූපවාහිනිය ඔස්සේ විකාශය වෙමින් පැවතුනි. ප්‍රේක්ෂකයන් නොසන්සුන්ව චැනල මාරු කරන්නට වූහ. පැපරාසීන් දඩබල්ලන් මෙන් පීට් හඹා ආහ. ඩේව්ගේ ජංගමය ක්‍රියා විරහිත කර තිබුණි.


"ලෑල්ලටම පාගපං මිනිහෝ. රාත්‍රී සංදර්ශනය තියෙන ටවුමට, පුළුවන් තරං ප්‍රධාන පාරවල් මගඅරින්න බලමු." පීටර්සන්ගේ නළල දෙපැත්තේ නහර ඉල්පී රත් පැහැ ගෙන තිබිණි.


වේදිකාව සරාගී මන්දාලෝකයකින් නැහැවෙමින් ය. දීප්තිමත් කහ ආලෝක ලපයක් මැද 'අනිත්' පීටර්සන්ද, මේ දැන් තිරය පිටුපස සිට වේදිකාව මතට පිනූ ඩේවිස්ද ඇස් ඩොගිත්තාගෙන උන්නේ ජන ගඟ දෙබෑ කරගෙන වේදිකාව පාමුලට ඇදෙන තමාගේ ජීවමාන අනුරුව; 'පීටර්සන්' සහ පැපරාසි සමූහය දෙසටයි.


"මට මේ හැංගිමුත්තම දැන් තිත්තයි ඩේව්, මට දීපං මයික් එක. දවසට සංදර්ශන දෙකක් කරන්න මට තාම හයිය තියනව මනුස්සයෝ!" විස්කි මතින් එඩිගන්වන ලද 'පීටර්සන්' වේදිකාව මතට අසමබර පිම්මක් පැන්නේය.


"මූ කවුද? කොහේ ඉඳන්ද ආවෙ? ඩේව්, උඹ දන්නවද මූව?" ආලෝක ලපය මැද හුන් 'අනිත්' පීටර්සන් කෝපයෙන් වෙව්ලමිනි. හිස් කෝලා බෝතලයක් වේදිකාවේ හැපී පසෙකට පෙරළී යන අතර ශාලාවෙන් 'හූ' හඬක් නැගුණි.


"නෑ. මම මූව දැක්කෙත් අද!" ඩේව් සිවල් බැල්මක් හෙළමින් පියවර දෙකක් පසුපසට තැබීය.


"මං අද උඹව ඉවරයක් කරනවා!" අඳුන් දියකරගෙන ගලන ඩා දිය සහිතව තමාගේම අනුරුව තම ගෙලට කඩා පනින'යුරු තත්පරෙන් පංගුවකදී 'පීටර්සන්'ගේ දෙනෙත් අබියස දිස්විය. දිවි ගලවා ගැනීමේ සහජාසාවෙන් මඬනා ලද හෙතෙම ඊළඟ තත්පරයේ සාක්කු පිස්තෝලය සොයා වියරුවෙන් සිය දකුණත දිවවන්නට විය. 




Monday, March 28, 2016

සම්මාන එපා කියන්නෙ කවුද ඩෝව්?




නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල ගැන මුහුනු පොතේ පිරිස දැනුවත් කරන්න හිතාගෙන උත්සව සංවිධායක මඬුල්ලේ එක සහෝදරයෙක් එෆ්.බී. ගෲප් චැට් එකක මේ ගැන කියනවා.


“හැමෝම එන්න.” එයා කිව්වේ නෙළුම් යාය ආරාධනා පත්‍රයක් චැට් පෙට්ටියට දාන ගමන්.


“අපි නං බ්ලොක්, සොරි වැරදුනා බ්ලොග් ගැන දන්නෙ නෑ.”


“මං ලියන කාලෙක එන්නම්”


ඔය වගේ ප්‍රතිචාර ගොඩක් මැද්දේ මමත් ගොනා සේ එතනට පැනලා විස්තර කරන්න ගත්තා බ්ලොග් ගැන. (ඇත්තම කිව්වොත් එතන බ්ලොග් ගැන නොදන්නවා වගේ හැසිරුන සමහරුන්ව අගය කරලා අපේ ප්‍රවීණ බ්ලොග් රචකයො වෙනමම පෝස්ටු පවා ලියල තියෙනවා.)


එතැනදි මම කිව්වා කාලයක් තිස්සේ බ්ලොග් ලියන, ප්‍රවීණ බ්ලොග්කරුවො බොහොමයක් සම්මාන ප්‍රතික්ෂේප කල බව.


“මම නම් දන්නෙ නෑ එහෙම එකක්!” මල හත්තිලව්වට ගහපු කලාබරේ කියන්නැහේ අර සංවිධායක කමිටු සාමාජිකයත් ඒ කතාව අහල පුදුම උනා.


“සම්මාන එපා කියන්න පිස්සුද?”


“අනේ එපා නම් ඒ සම්මානෙ මට දෙන්නකෝ.”


“අච්චර ලස්සන සම්මානයක්! එපා කිව්වේ මොකද දන්නෙ නෑ.”


ඔය වගේ ප්‍රතිචාර ගොඩකින් ඒ චැට් පෙට්ටිය පිරවෙද්දි, මම තීරණය කලා ඉතිරි ටික බ්ලොග් පෝස්ටුවකින්ම කියල දාන්න.


ඔව්. ප්‍රවීණ බ්ලොග්කරුවන් කිහිපදෙනෙක් සම්මාන ප්‍රතික්ෂේප කලා.

විශේෂයෙන්ම කියන්න ඕනෙ, ගිය අවුරුද්දේ වසරේ හොඳම බ්ලොග් අඩවියට හිමි සම්මානය දිනාගත්තු ‘මාතලන්’, ඊගාව සම්මාන උළෙලට තමාව නිර්දේශ නොකර වෙනත් කෙනෙක්ට ඇගයීමට පාත්‍ර වෙන්න අවස්ථාවක් දෙන්නැයි ඉල්ලා හිටියේ සම්මාන උළෙල අවසාන වුන දවස්වලමයි.


මූලික වටයේ සම්මානවලට නිර්දේශිත බ්ලොග් රචකයන්ගෙන් විනිශ්චය  මඬුල්ල විමසනවා තමන්ගේ නම නිර්දේශිත බ්ලොග් අඩවි අතර තිබීම ගැන අමනාපයක් නැතිද කියල. ඒ අවස්ථාවෙදි පෞද්ගලික හේතූන් මත (අනන්‍යතාවය හෙලි කිරීමට අකැමති වීම යනාදී) සහ වෙනත් කෙනෙක්ට අවස්ථාවක් දෙන්නැයි ඉල්ලමින් තමන්ගේ නම් ඉවත් කරගත්ත බ්ලොග් රචකයන් පිරිසකුත් ඉන්නවා.


කල්‍යාණ මිත්‍ර – කලාහිත බ්ලොග් අඩවිය

අජිත් ධර්මකීර්ති – කොළඹ ගමයා බ්ලොග් අඩවිය


මේ දෙපල විනිසුරු මඩුල්ලත් එක්ක කටයුතු කරන නිසා තමන්ගේ බ්ලොග් අඩවි මුලදීම ඉවත් කරගත්තා. ඊට අමතරව තමන්ගේ බ්ලොග් අඩවි ඉවත් කරන්නැයි ඉල්ලා හිටපු බ්ලොග් රචකයන්ගේ ලැයිස්තුවක් තමයි මේ.












 
ඔව්. බ්ලොග් අවකාශයේ ඉන්නේ ඒ වගේ සුන්දර මිනිස්සු. මේ අය නිර්දේශිත නාමවලින් තමන්ව ඉවත් කරන්නැයි ඉල්ලා නොසිටියානම් අනිවාර්යයෙන්ම සම්මානයට පාත්‍ර වෙන්නෙ ඉඩ තිබුනා.


ඔබ සමහරවිට අහලා නැතුවත් ඇති. නෙළුම් යාය බ්ලොග් සංසදය මගින් මසකට වරක් තෝරාගන්නා එක් බ්ලොග් අඩවියක් වෙනුවෙන් පොත් වවුචර හෝ මුදල් ත්‍යාගයක් පිරිනමනවා. ඒ සඳහා තේරීපත් වුන සමහරෙක් ඒ මුදල්/ පොත් වවුචර දුෂ්කර පාසැල්වල ඉගෙනගන්නා දරුවන් වෙනුවෙන්, නෙළුම් යායේ සමාජ සත්කාර වෙනුවෙන් ප්‍රදානය කලා.


එදා, සම්මාන උළෙල අතරතුරේ සිදුවුන තවත් සිදුවීමක් තියෙනවා කතා නොකරම බැරි. ඒ ගැන මම මුකුත් නොකියා පින්තූරයක් විතරක් පල කරන්නම්.




මේ එක් අංශයකින් ප්‍රථම ස්ථානය හිමි කරගත් බ්ලොග් රචකයෙක්/ රචිකාවියක්.

සම්මානයක් කියන්නේ ඇගැයීමක්. ඒ ඇගැයුම තමන්ගේ කාලය, ශ්‍රමය සහ ධනය වැයකරගෙන ස්වේච්ඡාවෙන් බ්ලොග්කරණයේ නියැලෙන අපේ බ්ලොග්කරුවන්ට ගොඩක් වටිනවා. නමුත් ඒ බොහොමයක් දෙනා ලියන්නේ භෞතික සම්මාන හෝ වෙනත් පෞද්ගලික ලාභ අරමුණු කරගෙන නොවෙයි.


ඉතින්, මමත් බොහොම ආදරයෙන් නෙළුම් යාය සංවිධායක මඬුල්ලෙන් ඉල්ලා සිටින්නේ ලබන වතාවේ මගේ බ්ලොග් අඩවිය best blogger of the year කැටගරිය වෙනුවෙන් ඉදිරිපත් කරන්න එපා. මේ අවුරුද්දේ අළුතෙන් හිතන, අළුතෙන් ලියන, වෙනස් එවුන්ව මෙතනට ගේන්න මට හැකි උපරිමය මම කරනවා. ලබන අවුරුද්දේ ඒ පරම්පරාවේ උන් සම්මාන ගන්නවා බලන්න මමත් එනවා. ඒ වගේම, නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල වෙනුවෙන් මට දෙන්න පුළුවන් උපරිම සහයෝගය ලබා දෙනවා.


සාමාන්‍යයෙන් ලංකාවේ සම්මාන උළෙලක් අවසානයට අපිට අහන්න දකින්න ලැබෙන්නේ “මට හම්බෙන්න තිබ්බ එක අරයට දුන්නා” වගේ තරඟකරුවන්ගේ අඬෝවැඩියාවල්. නමුත් නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල ආරම්භයේ සිටම අහන්න ලැබුනේ “අපි පොදුවේ බ්ලොග් අවකාශය නගා සිටුවන්න යමක් කරමු.” කියන අදහසයි. 


අන්න ඒකයි බ්ලොග් කලාවේ අභිමානය.




Thursday, March 24, 2016

රන් මාළු




රන් මාළු පීනන්න පටන් ගත්තෙ කොයි වෙලාවෙද කියන එක ගැන මට පැහැදිලි ගනිච්චියක් තිබුනෙ නැහැ. කොහොමත් මම ඒ කාලෙ ඇහැ කන පියාගෙන පාඩුවේ ජීවත් වුන, කුසීත ළමේක්. ඉස්කෝලෙදි, සටහන් පිටපත් කිරිල්ලයි, ද්‍රව්‍ය බලා ඇඳීමයි, අසා ලිවීමයි ඇරෙන්න කිසිම ප්‍රබෝධයක් දැනෙන දෙයක් කෙරුනේ නැහැ.  ඒකෙන් වෙන්නේ ඕනෙම ළමේක් අනුන් තමන්ගෙ කර උඩ බලෙන් පටවන රාමුවකට හිරවෙච්ච බිත්ති සැරසිල්ලක්, එහෙමත් නැතිනම් මැටි මල් පෝච්චියක් වෙන එක.


පෞද්ගලිකව මගේ වැඩි කැමැත්ත තිබුනේ බිත්ති සැරසිල්ලක් වෙන්න. එකම ඇණයක එල්ලිලා, තනි පාට බිත්තියක් උඩ වැතිරිලා ඉන්න එක හිතට වගේම ගතටත් සැනසිල්ලාවයි. මල් පෝච්චියක් වුනාම එහෙම බෑ. බර උහුලන්න පුරුදු වෙන්න ඕනෙ. බූව තියෙන මල් නටු, නහය හකුළුවන තණකොළ, මාරු කරන්න අමතක වෙච්ච පල් වතුර වගේ කාරණාවලින් හිත නොරිද්දාගෙන සීරුවට, විනීතව, තනි කෙලින් හිටගෙන ඉන්න ඕනෙ. සේරටමත් වඩා අමාරු දරාගන්නට බැරි තරම් බරක් පැටවුනාම, එහෙමත් නැත්නම් දැනුවත්ව හෝ නොදැනුවත්ව පා පහරක් වැදුනම ඇතිවෙන ඉරිතැලුම්. සමහර ඉරිතැලුම් කවදාවත් පිටට පේන්නෙත් නෑ. ඒවා මල්කම් ලියකම් කැටයමක කොටසක් වගේ පෙනිලා ඇහැ රවටන සුළුයි. ඒ ගැන හිතද්දිත් කොන්ද දිගේ සීතලක් ඇදීගෙන එනවා වගේ හැඟීමක් දැනෙන්න ගන්නවා.


ගෙදරදි වුනත් මට කරන්න එහෙමකට වැඩක් තිබුනෙ නෑ. ඒ නිසා මුළු වෙලාවෙම මම කලේ කෝඩීලියා ආර්යාවගේ දිග කොණ්ඩෙ මාරුවෙන් මාරුවට, තනි කරලට සහ කරල් දෙකට ගොතන එකයි, ලිහන එකයි. කෝඩිලියා ආර්යාවගෙ අතපය රෙදි. කොණ්ඩෙ තද කළුපාට කැටිනූල්. ඇස් දෙක අහස් නිල් පාට බොත්තම් දෙකක්. රතු ප්ලැනල් රෙදි කෑල්ලකින් චූටි කටක් මහල තිබුනා. කොයිවෙලාවෙත් හිනාවෙන චූටි කටක්.


කෝඩිලියා ආර්යාව ඇස් ඇරියේ පුදුම තරම් සාමාන්ය දවසක. එයා බොත්තම් ඇස් දෙක ඉහලට උස්සනකොට ෆ්ලැනල් රෙදි නළලේ හරස් අතට ඉරි හතරක් ඇඳුනා. ඉන් පස්සේ එයා අර චූටි කට පොඩිත්ත පළල් කරලා අපූරුවට හිනා වුනා.


ලස්සන වසිලිස්සා බෝනික්කාගෙන් උදව් ගත්තේ පාන් කවලා, වතුර බොන්න දීලා බව මට මතක් වුනේ ඒ වෙලාවෙ. බෝනික්කෙක් වුනත් නිකම් උදව් කරන්න කැමති නැහැ. නිකම් උදව් කරනවා කියල හැමතැනම කියකියා යන අය තමයි භයානක. එයාලට ඕනෙ අතපත ගෑමක්, හාද්දක්, අඩුම තරමේ තුරුල් වෙලා කම්මුලට කම්මුල තියාපු සෙල්ෆියක්. ඉතින් මම තීරණය කලා කෝඩිලියා ආර්යාවට ඉස්ඉස්සෙල්ලාම කේක් කෑල්ලක් දෙන්න. පස්සෙ ඕනෙමයි කිව්වොත් සෙල්ෆියක් ගන්න උනත් බැරිකමක් නෑ.


ඉස්කෝලෙ නොයන නිසා බෝනික්කන්ගේ ආහාර පුරුදු ගැන එයාලට චෝදනා කරන එක නරකයි. චොකලට් කේක් කුඩු මූණ පුරාම තැවරිලා බටර් පාට ෆ්ලැනල් රෙදි ලා දුඹුරු පාටක් ගහලා තිබුනා.


“රඩ්මාළු පීඩඩ්ඩයි යඩ්ඩෙ”

කෝඩිලියා හකු අතරේ එහාමෙහාවෙන විසාල කේක් කෑල්ලක් අතරෙන් කිව්වා. මට මුකුත් කියන්ට එපා. මෙහෙම හැසිරෙනවද ආර්යාවො? කට පියාගෙන ඉන්නකම් කෝඩිලියා කියන්නෙත් ආර්යාවක් තමයි. ඒත් දැන් ඈ කතා කරන්න පටන් අරගෙන!


ඊළඟ සතියේ සඳුදා ඉස්කෝලෙ පරණ ළිඳ ගාවදි මට රන් මාළු මුණගැහුනා. ජ්‍යෙෂ්ඨ පංතියේ ඇලෙක්ස් විකාර විදියට වම් ඇහැ පුංචි කරලා මගේ උරහිසෙන් ඇද්දා. හරියටම ඒ මොහොතේ රන්මාළු අහිනක් මගේ බඩ ඇතුලේ එහාට මෙහාට දඟලන්න වුනා. ඔක්කාරෙට ආවත් ඒක දරාගන්න සිද්ධවුනේ පරණ ළිඳක් කියන්නේ ප්‍රේමණීය තැනක් නිසයි. ඇරත් මම හිටගෙන උන්නේ විනිවිද පේන කිරිකවඩි වගාව උඩ!


එදායින් පස්සේ චිත්‍ර පාඩමේ ද්‍රව්‍ය බලා ඇඳීමට හැමදාම තිබුනේ රෝස මල්. ඉඳහිට තේ පෝච්චි තරම් විසාල සූරියකාන්ත මලුත් නොතිබුනා නෙමෙයි. රතු පෑනෙං හරි දාලා ලකුණු දුන්නේ ඇලෙක්ස්. මුලදි මුලදි මම ලකුණු එකතුකරලා ගණන් තියාගන්න පුරුදු වෙලා උන්නත් කාලයක් යද්දි මට ගණන් වැරදෙන්න පටන් ගත්තා.


"ගඬන් වරඩ්ඩඬ එක ගෑඬුළමයෙකුට ජීවිත අවදාඩමක්!" කෝඩිලියා කට දෙපැත්තෙන් බටර් විස්කෝත්තු කුඩු විසුරුවමින් කිව්වා.


අසා ලිවීමේ තිබුනෙම සමනල්ලු ගැන. පිටපත් ලියද්දි අකුරු වෙනුවට සංඥා භාෂාවල් පාවිච්චි වුනා නිතරම. හැම පිටුවක්ම පටන් ගත්තේ ‘සදාකල් ආදරෙනි’ කියන හෙඩිමත් එක්ක. කලාකාමී ගතියක් පේන්න මම අමාරුවෙන් වැල් අකුරු ලියන්නත් පුරුදු උනා. කප්පරක් වැඩ රාජකාරි මැද්දෑවෙ කෝඩිලියාගෙ කොණ්ඩෙ පීරන එක අමතකම වෙලා ගියා. හැඩපළු ගෙතුන කොණ්ඩෙකුත් එක්ක ඈ දවසින් දවස මහත් වෙන්න පටන් ගත්තා. මම 'මාළු සහ සලාද කොල සමග පළතුරු යුෂ' ඩයට් එකට මාරු වුනා. ඉක්මනින්ම ග්‍රීවාස්ථි ඉල්පිලා බෙල්ල දෙපැත්තෙ නොගැඹුරු පොකුණු දෙකක් හැදුනා. දිලිසෙන රන් මාළු කීපදෙනෙක් පොකුණුවල පදිංචි වෙන්න කැමැත්ත පලකලා, කුලී ගෙවීමේ පදනමට.


දැන් හඳ පායන්නෙ රෝස පාටට. ඒක නියමයක්. නියමයක් බිඳෙනව කියන්නෙ බය වෙන්න ඕනෙ දෙයක්. ඒ නිසා මම බය වෙනවා. අත්ල සීතල කරගෙන ටිකක් ගොතගහනවා. රන්මාළු පීනන්න ගත්තට පස්සේ හැමතිස්සේම ජීවත් වෙන්න වෙලා තියෙන්නෙ අවදානමක් අතේ දරාගෙන.


මාළු මැරෙන්නත් බෑ, ටැංකිය බිඳෙන්නත් බෑ, පොකුණු ගොඩවෙන්නත් බෑ. අඩුම තරමෙ වතුර බිංදුවක් හැලෙන්නවත් බෑ. අලි කෙලියක්නෙ යකෝ මේක!


Thursday, March 17, 2016

විඩාපත් සිරුරු ගලවාගන්න




මෙගා ටෙලි පිපාසාවෙන් පෙලෙන
සෝෆාවෙ ලෙදර උණුවී ඇලෙන
සල්ලාප පෙට්ටියක එම්බාම් වී හොවන
විඩාපත් සිරුරු ගලවාගන්න


ඉටිපහන් එළිය මැද 
සුප් බඳුනකට කැරට් හදවත් කපන
අහඹු චුම්භන කොපුලතක අලවන
පෙම්භරිත සැඳෑවක් 
පෑල දොර විවරකර ගෙට ගන්න


බැල්කනියෙ කෙලවරක තුරුලුව
තරුවලින් වෑස්සෙන ඇත්තටම ඇත්ත එළි
තරු දෙනෙතකින් උර උරා බොන්න
තුංග මැදුරක හිසක – ඇස්බැස්ටෝස් කෙසක
දැවටි දැවටී පැමිණි හුළඟක් සිපගන්න


කණමැදිරි රෑ බදුළු එළියෙන්
අතීතෙක ශේෂ පැල්ලම් සුඹුළු දැකගන්න
ස්මාර්ට් එළි සැණෙලි මගහැර
මාවුලාවක හිස ඔබා නෙත් පියවන්න
මා ඔබේ උරබාහු මැද්දේ සඟවන්න


වෙහෙස වන්නා වූද,
බර උසුලනා වූද
සියල්ලන්ටම සහනයක් දෙන්න
අප කෙරෙහි අනුකම්පාව වගුරුවා
අදත් තෙකලාව අත්හිටුවන්න




Saturday, March 12, 2016

නෙළුම් පිපෙන්නලු යන්නෙ!






නෙළුම් මල් පිපෙන්නලු යන්නෙ! එහෙමයි හැමතැනම කතාව පැතිරුනේ.


“නෙළුම් පිපෙන්නේ මඩේ නේද? ඉයැහ්!” තඩි හිමවළහෙක් මූණ හපුටු කරන් ඇහැව්වා. “ඇරත් මේ අයිස් කඳු දියවෙන අව්අස්සේ ඔය ජෝගි නටන්ඩ පුළුවන්යැ අපිට”


නාකි පෙන්ගුයිනයෙක් හැරමිටියෙන් හිම වළහගෙ ඇලපතට දෙපාරක් ඇන්නා. තුං පාරක් අහක තිබුනු හිම කුට්ටියකටත් ඇන්නා. ඉන් පස්සේ ටිකක් සැරට උගුර පෑදුවා.


“ඕයි. නෙළුම් කියන්නේ මඩේ මුල් ඇදලා හීන් දිග නැට්ටකින් උඩ ඇවිල්ලා වතුරකවත් නොගෑවි පිපිලා හුළඟෙ නටන මහ විස්වකර්ම මල් ජාතියක්.”


බ්ලොගර්, වර්ඩ්ප්‍රෙස් ජනතාව කලබලෙන්! පීසීවල, ලැප්ටොප්වල විතරක් නෙමෙයි ටැබ්වල, ස්මර්ට් ෆෝන්වල පවා නෙළුම් පිපෙන්ඩ අරං.


“මේ මොන මල උලව්වක්ද?!” උකුසු හොට කැබුසුවෙක් මූණ නොරොක් කරගෙන කියනවා. “ඔෆිස් ලැප් එකේ නෙළුං පිපුනොත් හෙම මගේ බ්ලොක්ගල් කරුමාන්තේ මුළු ඔපීසියටම නෝණ්ඩි වෙයි.”


ඒ අස්සෙ නාට්ටි. සංවාද, කොමඩි, ස්පීච් වගේ සුකුරුත්තං ගොඩක් ගැන තැන තැන කතා බතා ඇහෙනවා. බ්ලොක්ගල් කරුමාන්තේ කරන එව්වන්ගේ පොත් සල්පිලකුත් තියෙනවලු. බ්ලොගාලට තමන් ලිව්ව පොත් එතන විකුණන්න තියන්ඩත් කිසි තහංචියක් නැහැලු.


නිවේදක තැන ගෙන්නුවේ රුසියාවෙන්. ඌට කවුරුත් කිව්වේ ලව් පූසා කියල. වැඩේ වැඩි බර ඇද්දේ අජිත් ධර්මා. තව විසාල බැටෑලියන් එකක් උන්නා උන්දැගෙ පිටිපස්සෙන්. එයින් සියේට අනූවක්ම බ්ලොගාල.


නෙළුම් පූජාව මාර්තු විසිහයවෙනිදට දමාගත්තේ එදා සෙනසුරාදාවක් නිසා. මීඩියා මිනිස්ට්‍රියේලු වැඩේ සිද්ධ වෙන්නේ. දවල් දෙක වෙද්දි එතනට එන අයට බුල්ටෝ එක ගානේ දෙනව කියලත් කියනව. දෙකහමාරෙන් පස්සේ බුල්ටෝ බෙදන්නෙ නැති නිසා මමත් හිතන් ඉන්නෙ හරියට වෙලාවට එතෙන්ට යන්න.


ලැප්ටොප්වල මල් පිපෙන එක අවුල්ද? ඒ වුනාට මල් පිපුනම බ්ලොක් ගල් පැක්ටේරියම සුවඳයි. ඒ හින්දා අපිත් යං. ගිහිං බුල්ටෝ කාල ප්ලේන්ටි බීල එමු. වැඩි විස්තර මෙතනින් බලාගන්ට.


පින්තූරෙ උඩ කෙටුවොත් ෆේස්බුක් ඉවෙන්ටුවට යතෑකි.




Tuesday, March 1, 2016

රපුන්සල්ගේ කටුස්සිව ඉඹගන්න!




ගේට්ටු සේරම වහන්න, ඉබි යතුරු දාන්න
අත්තටු තියෙන්නේ ඉගිල්ලෙන්න
තාප්ප හදන්නේ තරණය කරන්න


බැල්කනි කෙලවරක එල්ලෙන්න
රපුන්සල් ඉපදුනේ කොණ්ඩෙ පහලට දාන්න
හාදු දියරක් පොවන මොහොතට
හුස්ම තදකරගෙන ඉන්න


මෙරු කැමති පහන් දැල්ලට බිලිවෙන්න
අන්තිම තත්පරෙත් දැල්වෙන්න
ආලෝකමත් මරණයක් පතන්න
මෙරුවෙක් වගේ වෙන්න


ඇඹලයො කැමති සීනි කන්දක කිමිදෙන්න
පැණි දියර පුරෝගෙන, 'පටස්' ගා පෙණහළු පුපුරවාගන්න
ඒ තරම් 'රහ' මරණයක් තව තියෙනවද?
පුළුවන්නම් ඇඹලයෙක් වෙන්න


අඩුම තරමෙ රෝමියෝ වෙන්න
හයවෙනි තට්ටුවේ, වම් කෙළවරේ ගෙදර
ලයිට් නිමුවාම 'ආදර පියාපත්'වලට පණදෙන්න
බෝගන්විලා වවපු බැල්කනියෙ එල්ලිලා
රපුන්සල්ගේ කටුස්සිව ඉඹගන්න!