Friday, July 3, 2015

නිලා කූරකින් ප්‍රේමය දල්වන්න පුලුවන් ද? (ෆැන්ටසි)


කුඩා ස්පර්ශයක් පවා සිදුවුනේ ඉතාම මෘදුව



ඒක අහඹු කඩාවැදීමක්. කඩාවැදීමක් වුනත් ඒක ඒහෙමයි කියල හිතාගන්න බැරිවෙන තරමටම ඒ සිදුවීම පුරාවටම ආචාරශීලීබව පිරිලා ඉතිරිලා තිබුනා. මටසිලිටි වචන, හරිම අරපරිස්සම් සහගත හැඟීම් ප්‍රකාශන, ඇත්තටම කුඩා ස්පර්ශයක් පවා සිදුවුනේ ඉතාම මෘදුව.


ඒත්, ඒක කඩාවැදීමක්. හරියටම නිශ්චල දියතලයකට අත ඇරපු අනපේක්ෂිත තිරිවාන කැටයක් වගේ. මුලදි ඉතාම අලංකාර දියරැලි රවුමට විසිරිලා ගිය එක ඇත්ත. ඒත් ඒ දිය රැලිති නිසාම අනාගතය අපැහැදිලි වුන බවත් ඇත්තම ඇත්ත. බාගදා ඒකටම වෙන්නැති ‘ආදරේ අන්ධයි’ කියලා කියන්නෙත්.


ඒ හැඟීම, ඇඟපුරා විදුලි රේඛා දාස් ගානක් දිවයනවා වාගේ දැනෙන ඒ හැඟීම ආදරේද කියලා මට සහසුද්දෙන්ම කියන්න බෑ. කොහොම වෙතත්, ආදරේ කියන්නේ ඒකනම්, ආදරේ අන්ධයි. අන්ධයි විතරක් නෙමෙයි මනුස්සයෝ, ආදරේ ගොළුයි, බිහිරියි, මෝඩයි. මත්කුඩුවලටත් වඩා ඇබ්බැහි කරවන සුලුයි.


ජීවිතේ හැදිලා තියෙන්නේ නොසිදුවිය යුතු සිදුවීම් ගොන්නක එකතුවෙන්. ජීවිතේ මහා මෝඩ දෙයක් කියලා මට නිතරම හිතිලා තියෙනව. ඒත් එහෙම හිතෙන්නෙ අපි ජීවිතේ කියන මූලික රාමුවට පිටින් ඉඳන් බලනකොට. සිරුරට අහිතකර බව දැන දැනම නිකොටින් උරා බොන මිනිස්සු වගේ අපි කරන්නෙ ඒ නොසිදුවිය යුතු සිදුවීම් මහා කෑදරකමකින් වැළඳගැනීම.


මම ඔහේ කියවාගෙන යනව වගේ හිතෙනවද? එකිනෙකට නොගැලපෙන වචන අටෝරාසියක්, කිසිම විචිකිච්ඡාවක් නැතුවම? ජීවිතෙත් එහෙමයි සහෝදරයා! ජීවිතෙත් එහෙමමයි. 


හොඳයි, කඩාවැදීම සිදුවුනේ කාගේ පැත්තෙන්ද කියන එක මටත් හිතාගන්න අමාරුයි. කොයිහැටි වෙතත්, ඒ සීතල නොවැම්බරයේ නෘත්‍ය ශාලාවට කඩා වැදුනේ ඔහු නෙමෙයි මම. කොහෙත්ම සැලසුම් සහගතව ගිය ගමනකුත් නොවෙයි. යන්න තැනක් නැතිකමට. ඇරත් නොවැම්බරයේ හැන්දෑ කාලය ඇස් පිහාටු පවා මිදෙන තරමට සීතලයි වගේම ඉතාම අකාරුණික විදියට දීර්ඝයි.


හැන්දෑ කාලයන් වැඩිහරියක් ගතවුනේ හාදු වංගුවේ උද්‍යාන බංකුවක් උඩ. වියයුතු පරිද්දෙන්ම තනිවම සහ යාබද අසුන්වල එකිනෙකාගේ උරහිස් අතර වෙලී සැඟැවී ඉන්න පෙම්වතුන් ගැන ඊර්ෂ්‍යාභරිතව. බරසාර නිර්දේශ ග්‍රන්ථවල පුස් ගඳ ඇතුලේ සියලුම භව්‍ය ප්‍රේමණීය හමුවීම් දියකර හරින පෙම්බරා ගැන තරහවෙන් දැවෙමින්.   නෘත්‍යශාලාවට ගොඩවැදීමෙන් බලාපොරොත්තු වුනේ කුඩා වෙනසක්. නමුත්, එක් කුඩා වෙනසකට පුලුවනි නීරස ඒකාකාරීත්වය කුඩුපට්ටම් කරලා දාන්න.


ඒවනවිටත්  සංගීත සන්ධ්‍යාව ආරම්භ වී තිබුනත් ශාලාවේ හිස් ආසන බොහොමයක් ‘එන්න ඉඳගන්නැ’යි කියමින් අඩක් විවර දොර පලුව දෙස බලා උන්නා. ඉතින් මම ඒ පරණ සටහන් පොත් ගොන්නට එහායින් වූ හිස් අසුනේ වාඩිවුනා, අහම්බයෙන්. ඇත්තටම අහම්බයෙන්.


මද වේලාවකින් බැගී ඩෙනිම් කමිසයක් සටහන් පොත් ගොන්න අතට ගත්තා. වැරෙන් හඬදෙන ගිටාරයත්, රළු ගායනයත් අතරමැද යම් ලක්ෂයකදී අපි කිසිවෙකුත් නොතකමින් පහත් හඬින් තනුවත්, ගැයුමත්, පදමාලාවත් ගැන අදහස් හුවමාරු කරගනිමින් උන්නා. 


ඇත්තටම මම ඒ ගැයුම් බොහොමයකට කැමති වුනේ නෑ. සාමාන්‍ය දිනක, සාමාන්‍ය සැඳෑවක, සාමාන්‍ය මම එතැනින් නැගිට ගොස් බොහෝ වේලාවක් ගතවෙන්න තිබුනා. ඒත්, ඒක අතිවිශේෂ දවසක්. විශේෂ සැන්දෑවක්.


“මම අද වේලාසනින් යනවා.” පෙම්බරාට කෙටි පණිවුඩයකින් දැනුම් දුන්නේ හාදු වංගුවේ කෙලවරේ බංකුවක වාඩිවෙලා හිමකිරම රසවිඳින අතරේ. 


ඒ කියන්නේ හීගඩු පිපෙන සීතල හැන්දෑවක හිම කිරමක් තුලින් ප්‍රේමය මතුවෙන්නට පුලුවන් බවද? වියළි මුද්‍රික ඵල කැබැල්ලක් දත් අතරේ සීරුමාරු කරන ගමන් මම කල්පනා කලා. බාගවිට එහෙම නොවෙන්නත් පුලුවන් ඇති. කාටද සහතික වෙන්න පුලුවන් ප්‍රේමය කියන්නේ මේකටයි කියල!


ඒ කියන්නේ නිලා කූරකින් වුනත් ප්‍රේමය දල්වන්න පුලුවන් බවද?"




අපි තවමත් උද්‍යාන බංකුව උඩ. ඉතා සුලු ස්පර්ශයක්වත් නැතුව. ඔහු අකුණු පහරවල් වගේ හිටිවනම ගීත කොටස් ගායනා කරනවා. එක්වනම ගැයුම නවත්වනවා. ආයෙමත් ගයනවා වෙනත් ඌරුවක, වෙනස් ගීතයක්.


මම අරමුණක් නැතිව පරණ  සටහන් පොතක් පෙරලන්නට වුනා. "කාර්මික රසායනය" යනුවෙන් මුල් පිටේ ලියා තිබුනත් එහි පිටු පිරී තිබුනේ කුරුටු රූප සහ කවි කැබැලි වලින්. නිකට කෙලවරට සුලං පිඹිමින් පෙරැලෙන්නට වූ පිටු එක්වනම නැවතුනා. ඔහු මගේ උරහිසට ඉහළින් පොතට එබෙමින් උන්නා.


අළුවන් කුසුම් පෙති දිගහැරේ දුම්වැටියෙන්
පඬුවන් වතෙහි මරකත මැණික් මෙනි දිලෙන්නේ ගැඹුරු දෙනුවන්
ඈත පෙරදිග රටකින් පැමිණි මැවුම්කරුවෙක්ද ඒ
මග දෙපස තුත්තිරිද හිස නමන්නේ ගරු සරුවෙනි


හැන්දෑව ලා දම් පැහැ කසී සළුවකි
ලදැරියක් විලස ඇවිටිලි කරමි – නිලා පොකුරක් අතැතිව
සැලෙයි රත් ල'දල්ලක්, ලයිටර හිසක් ඇවිලී
ඔබේ නෙත් තුල රඟන්නේ එක වගේ කෙල්ලන් දෙදෙනෙකි.


ඉසියුම් පුළුන් කැටියක්ව – වළාකුළු වෙත එසවෙමි
නිලා පොකුරෙහි ගිනි මල් ය වළා කෙහෙරැලි අතර තැන තැන
ඉසිලුම් නැතිව ඉපිලෙමි – මද පවනකින් සසැලෙමි
පීරි ගාමින් හද තත් – රෑසියන් සැඟවගෙන වයත් වෙණ


ඉඟුරු තේ තරම් උණුහුමයි ඒ උරහිස
ස්ටෙප්ස් බිමක් තරමට පුළුල් – හොඳටෝම වැඩියි එහි ඉඩකඩ
සදාකාලයටම ලැගුම් ගන්නට නොතරම්ය
නවාතැන්පොලක් නොව – ගිමන්හලකිය ආවොතින් යන්නම වෙන


සුහදාන සිහින් ස්වරයෙන් සිවුරුහන් ලන්න
අවසාන දුම් වළල්ලෙත් මල් පුබුදන්න
පිටවාන කඩාගෙන යන සුසුමක් තුල කිමිදෙන්න
නොදොඩාම කිසිත් හිස සැලීමෙන් පමණක්ම සමුදෙන්න



ඔන්න ඔහු අර තියුණු දෙනෙතින් මගේ සිතුවිලි පරිලෝකනය කරනවා. හිස්වැසුමට පහළින් මට පෙනෙන්නේ කන් පෙත්තෙන් කොටසයි. ඒ ලා රෝස පාටයි. ඇඹුල් ලොවි ගෙඩියක් වගේ දිලිහෙන්නේ.


"ඒ කියන්නේ නිලා කූරකින් වුනත් ප්‍රේමය දල්වන්න පුලුවන් බවද?"


"ප්‍රේමය නෙමෙයි."


"එහෙනම්?"


"මම දන්නෙ නෑ හරියටම. අපි ඒකට ප්‍රීතිය කියලා කියමුද?"


ඊට පසුවයි පළමු ස්පර්ශය සිදුවුනේ. සකසුරුවමට උර බාහු මතට පතිත වුන මිටිගුලි පහරක්. රොමෑන්තික නැහැ. කොහෙත්ම නැහැ. නමුත් ඉතාම අරපරෙස්සම් සහගතයි. 


"හෙට වෙනකල්ම මෙතන ඉන්නද හිතන්නේ?"

"එහෙමත් හිතෙනවා." මම දෙවුර හකුලමින් කිවුවා.

"මරු!" 

ඔහු බංකුව උඩ එරමිණිය ගොතා ගත්තා. ඊට පස්සේ අපි කතා කලා මහ ගොඩක් දේවල්. ආකේන්ලන්තය ගැන, සන්තියාගෝ ගැන, ලොයිකො සෝබර්ගේ ආලය ගැන, පනාගෝලිස්ගේ කැරපොත්තා ගැන. . . . අපිට කතා කරන්න අටෝරාසියක් දේවල් තිබුනා.


ඉන් පස්සේ හැම පත්‍රයක්ම ලා රත් පැහැ වෙන්න ගත්තා. නොවැම්බර හැන්දෑවරුවල හයයි තිහ වෙනකොට ඉඳිකටු වගේ හිරු කිරණ පතිත වෙන්න පටන් ගත්තා. හාදු වංගුවේ ඕවලාකාර මල් පඳුරු ඇතුලෙන් රොමෑන්තික කුරුලු ගී ඇහෙන්නට වුනා.


පෙම්බරා දිගින් දිගටම පුස්තකාලයේ අඳුරු මුල්ලක පරණ පොත්වලින් හදාගත්තු කොටු පවුරක් ඇතුලේ බොහොම සැපපහසුවෙන් උන්නා.


ස්ටෙප්ස් බිමක් තරමට පුළුල්! ඉඟුරු තේ මෙන් උණුහුමයි ඒ උරහිස




ඒත් මම කැළඹිල්ලෙන්.  නිශ්චල දියතලයක උඩ පනින දණ්ඩියෙක් වගෙයි ප්‍රේමය. මුලදි ඉතාම අලංකාර දියරැලි රවුමට විසිරිලා යන එක ඇත්ත. ඒත් ඒ දිය රැලිති නිසාම අනාගතය අපැහැදිලි වුන බවත් ඇත්තම ඇත්ත. ඒක වෙන්නැති ‘ආදරේ අන්ධයි’ කියලා කියන්නෙත්.


බාගදා මේ ප්‍රේමයම වෙන්නැති ප්‍රීතිය කියලා කියන්නෙත්!





35 comments:

  1. මේක වහ වැටෙන කතාවක්නේ....

    තව එකක් ලියමු මේ ජාතියෙන්!

    ReplyDelete
    Replies
    1. ඔන්න බලහන්කෝ බ්ලොග පාලුවට යන හින්දා ලන්ච් ගන්න තිබ්බ වෙලාව උගසට තියලා යාන්තං කතාවක් ඇටෙව්වා. ඒකෙ රස්නෙ පිටම තව එකක් ඉල්ලනවා. මේකද යකූ යහපාලනේ?!

      Delete
  2. ක්ලැසික් ෆැන්ටසි - කියවන්නාට තේරීම හා නොතේරීම අතර හොඳ සංකලනයක්.
    ඔක්කොම තේරිලා ෆැන්ටසි නෙමෙයි කියන්නත් බෑ. නොතේරෙන නිසා නොකියවා ඉන්නෙත් නෑ

    ReplyDelete
    Replies
    1. අන්න එහෙමයි අත්දැකීම් එක්ක පරිණත වෙන්නේ,
      එහෙම තමයි ප්‍රා-ජේට නොතේරෙන කවි නොදැනීම කියවන්නට සලසවන්නේ.

      Delete
  3. නිලා කූරෙ කම්බියෙන් දමල ඇන්න වගේ බස්සියො

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කිචි අයියේ...

      Delete
  4. බස්සි ...... ආදරේ අකුරු කරනවා....... ලබපු අත්දැකීමෙන්...... හරියට අකුණු ගහනවා වගේ ..... නහර වැල් දිගේ ....

    ReplyDelete
    Replies
    1. ලබපු අත්දැකීමෙන්???
      බොහොම ස්තූතියි අක්කා...

      Delete
  5. සටහනට වඩා කවියට කැමති වුණා.
    ඒකෙන් කියවෙන්නෙ නෑ සටහනට අකමැතියි කියල. දෙකටම කැමතියි වඩා කවියට කැමතියි.ලස්සනයි කියනවා ඇරෙන්නට කියන්න දෙයක් නැතිවට කණගාටුයි
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. තැන්කූ මහියා...! මහියා දැන් සුපිරියටම කවි ලියනවා. ඒ නිසාම වෙන්නැති කවි වලට වැඩිපුර කැමැත්තක් ඇතිවෙන්නෙත්.

      Delete
  6. ශා මේක හරිම ලස්සනයි බස්සියෝ.. තව එකාක් දාන්න මේ වගේම ^_^

    ReplyDelete
    Replies
    1. හිහී... තැන්කූ මොණරියේ...!

      Delete
  7. මේකත් හරියට අර බැන්දට පස්සේ අපේ ක්‍රිකට් ටිම් එකේ උන්ගේ ඇවරේජ් එක නගිනවා වගේ වැඩක්.....
    දීග ගියාට පස්සේ ලියන්නේම මහ බයානක ඒවා....
    හැම එකක්ම එන්ඩ එන්ඩ ම වංකගිරියක කොටස් වගේ...දිස්නේ ගහන්නේ ඉවරයක් නැතුව...

    ReplyDelete
    Replies
    1. ඈ යකූ රූපේ, දිස්නෙ ගහන වංකගිරි ගැන ඇහුවමයි මම!
      තැන්කූ වේවා හොඳේ!

      Delete
  8. ලන්ච් අවර් එකේදි යන්තම් අටවපු කතාව මෙච්චර බරසාර නම්, උපමා උපමේය වලින් පිරුනු එකක් වුනා නම්...

    ReplyDelete
    Replies
    1. ඇටෙව්වා කීවෙ මෙහෙමයි.

      ඔය කවිය, කඳු අක්කා ලීව "සකි ඔබ මතක මුහුදකි - ඉවුරු නැත එහි කිසි" කවියට මම ලීව පිලිතුරක්. ඒක ලිවුවෙ පෝස්ට් එක දාන්න කලින් දවසෙ.

      //මම ඔහේ කියවාගෙන යනව වගේ හිතෙනවද? එකිනෙකට නොගැලපෙන වචන අටෝරාසියක්, කිසිම විචිකිච්ඡාවක් නැතුවම? ජීවිතෙත් එහෙමයි සහෝදරයා! ජීවිතෙත් එහෙමමයි.//
      මේ ඡේදයට වෙනකම් තියෙන්නෙ මම මාස තුන හතරකට කලින් මූණු පොතේ ඔහේ ලියාගෙන ගිය ස්ටේටස් අප්ඩේට් එකක්. (කාලයක් ඔහොම අගමුල නැති කතා එෆ්.බී. දාන පිස්සුවක් තිබුන නෙව මට.)

      ඒ කෑලි දෙක කතාවකින් මූට්ටු කරපු එක තමයි ලන්ච් අවර් එකේදි සිද්ද වුනේ.

      Delete
  9. උඹ ඹ්ලොග් වලට හොඳ වැඩියි බං.... එක්සොන්ට් හෙවත් වල්ලා පට්ට.... සම්බහිය රොමෑන්ටික් කථාවක්..

    ReplyDelete
    Replies
    1. බොහොම තැන්කූ වේවා මාතලන්.

      මම ලියලා යවන එවුවා පත්තර වලින්, බූන්දියෙන් එහෙම රිජෙක්ට් වෙන්නෙත් හොඳ වැඩි නිසාද දල්ලෑ අෆ්ෆා. :D

      Delete
  10. අත්දැකීම් අකුරු වෙනකොට හරි රහයි කියනවනේ... හරිම රහයි! හරිම රහයි!

    ReplyDelete
    Replies
    1. අත්දැකීම්??
      තැන්කූ ඈ!

      Delete
  11. මට නම් මේවා බර වැඩියි හෆ්ෆා..!

    ReplyDelete
  12. 'අටෝරාසියක්' වචනේ දෙපොළක යෙදීම ගැන මගේ විරුද්ධත්වය.. සැක්. ඒක නොවුනනම් වෙන කියන්න අඩුපාඩුවක් ඇත්තෙම නෑ..

    ReplyDelete
    Replies
    1. ඔවුමයි නේ! ඒක හදන්නම්. ඒ වචනෙ කැපී පේනවා වැඩියි නේන්නම්!

      Delete
  13. සඳයි තරුයි නිසංසලේ අහස ගොළු වෙලා
    ඔබයි මමයි දෙමංසලේ දෙතැන තනි වෙලා //

    මල් යායේ බඹරු නටයි ලොවම ලස්සනයි
    සිත් දෑලේ සිතුම් පෙළයි සිහින ලෝකයයි //
    බිඟු නාදේ මධු වෑහේ එකම ගීතයයි
    මා දන්නේ ඔබ පමණයි එයම සිහිනයයි

    සඳයි තරුයි නිසංසලේ අහස ගොළු වෙලා...

    කඳු යායේ බොඳ මීදුම් සළු රටා දිගේ
    දසුන් මැවේ මායාවකි එයද මට අගේ //
    හමුවූවේ වෙන්වන්නද හද සුසුම් නැගේ
    වෙන්වූවේ හමුවන්නද යළි සසර මගේ

    සඳයි තරුයි නිසංසලේ අහස ගොළු වෙලා
    ඔබයි මමයි දෙමංසලේ දෙතැන තනි වෙලා //


    ගායනය - සෝමසිරි මැදගෙදර
    සංගීතය - සනත් නන්දසිරි
    ගී පද - අරුණ මුදුන්කොටුව

    https://www.youtube.com/watch?v=tmL6c-3a3B8

    ReplyDelete
    Replies
    1. මේ සිංදුව පෝස්ට් එකට ගැලපෙනවද මචෝ?

      Delete
  14. අනේ මන්දා බසු අක්කේ. තේරුනෙත් නෑ... නොතේරුනෙත් නෑ.... මටනම් පිස්සු වගේ.

    ReplyDelete
  15. අනේ මන්දා බසු අක්කේ. තේරුනෙත් නෑ... නොතේරුනෙත් නෑ.... මටනම් පිස්සු වගේ.

    ReplyDelete
  16. අනේ මන්දා බසු අක්කේ. තේරුනෙත් නෑ... නොතේරුනෙත් නෑ.... මටනම් පිස්සු වගේ.

    ReplyDelete
    Replies
    1. හිහී! වැඩියෙ හිතන්න එපා අනේ!

      Delete
  17. කවියට නෙව හිත ගියේ... පට්ටම පට්ට කවිය.. වචන හෙන මටසිලිටියට ගලපලා තියෙනවා...ගම්මිරිස් ඇට දාලා උණුකරපු එළකිරි ටිකට..
    ජයවේවා..!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ගස් ලබ්බෝ!

      Delete
  18. සම්භාව්‍ය පරිවර්ථනයක් කියෙවුවා වගේ.. ගොඩක් ඉහළයි බස්සි,, ඒ වෙනස මට දැනුණා හොඳින් මං මාස දෙකකින් වගේ ආයෙම ඔයාගේ මේ වර්ගයේ කථාවක් කියෝපු නිසා. ඔයා දවස ගානේ දියුණු වෙනවා ... එල

    ReplyDelete
  19. මාරයි. බස්සිගේ හැකියාවට නිසි ඇගයීමක් ලැබෙන්න කාලෙ හරි කියල හිතෙනවා. ඒ කියන්නෙ බුකියෙයි, බ්ලොග් කියවන අයගෙනුයි එපිටින් ඉන්න අයට බස්සිගෙ හැකියාව දකින්න ලැබෙන්න ඕනෙ.
    ජය වේවා!!!

    ReplyDelete