සුදු පැහැ නෙට් පියාපත් පැළැඳගත් දේවදූතයෝ, වෛවර්ණ සරුව පිත්තල සැරසිලි, දිලිසෙන කුඩු තැවරූ කුඩා බෝල, වියළි දොඩම් පෙති සහ රතු ඇපල් ස්ටෙෆනිගේ තුරුණු අතැඟිලි අතරින් මිදී පයිනස් රිකිලි මත සීරුවට ලැගුම් ගනිමින් සිටියහ. උඳුනෙන් බට ඉඟුරු පාන් සුවඳ සාලය නහවමින් ඔබමොබ හමා යන්නට විය. ජනෙල් තිර මෑත් වූ හිදැසක් අතරින් කවුළුවෙන් පිටත හිම පියලි පතිත වනු දිසෙයි. කවුළු පඩිය මත දැල්වෙන රතු මහත ඉටිපහන් යුග්මයේ මන්දාලෝකය වැදීමෙන්, හිම පියලි මොහොතකට රන් පියලි වෙස් ගෙන ඇස් රවටයි.
ස්ටෙෆනි අවසන් දොඩම් පෙත්ත ආයාසයෙන් සොයාගත් නිදහස් රිකිල්ලක් අග රඳවා දෑත් පිස දැමීය. ඈ අසල වැතිරගත් රන් පැහැ වල්ගාතරුවකි. තැනින් තැන දුර්වර්ණව ගිය ඒ රන් තරුව ස්ටෙෆනිට තෑගි ලැබුණේ අත්තම්මාගෙනි.
"ඇටිකිති කෙල්ල, විස්වාස කරන අයට වඩා ප්‍රස්ණ කරන්නයි, අවිස්වාස කරන්නයි ඉපදිච්ච එව්වො එන්න එන්නම වැඩිවෙන බව ඇත්ත. ඒත් නත්තලට කලින් දවසේ රාත්‍රිය කියන්නේ ඉන්ද්‍රජාලික රාත්‍රියක්." අත්තම්මා එහෙම කීවේ මීට අවුරුදු දහයකට ඉහතදීය. එකල කෝටු කකුල් සහ කෙටි කෙස්සකින් යුත් කුඩා කෙල්ලක් වුවද ස්ටෙෆනිට අත්තම්මාගේ වචන කිකලකවත් මතකයෙන් බැහැරලන්නට හැකිවූවේ නැති. සමහරවිට ඉන්ද්‍රජාල කියන්නේ එහෙම දේවල් වෙන්නටත් පුළුවන.
"මේ තරුව එල්ලන්න ඕනේ නත්තල් ගහේ මුදුන් රිකිල්ලේ. නත්තලේ මායා බලයට අතවනන්න පුලුවන් තරුවක් ඒක. පේනවද මේ රිදී මූණත උඩ දුවන රන් තාරකා රාශිය?" ඇගේ වයස්ගත දෑස දිදුලන්නට විය. "ඒක තමයි ජනාවාසේ. මායා මිතුරන්ගේ ජනාවාසේ." ඉනික්බිති ඈ නත්තල් ගම්මානයේ කුරුමිටි මිනිසුන්ගේ සෙල්ලම්බඩු ෆැක්ටේරි ගැනත්, තෑගි රැගෙන දුම් කවුළුවෙන් පහල බසින නත්තල් සීයා ගැනත් කතන්දරය ස්ටෙෆනිට කියා දුන්නාය.
දැන් ඈ අත තියෙන්නේ, ගිය මාසයේ ආත්තම්මාගේ කුරුමිණි අඬු අත් අකුරෙන් ලියූ ලිපිනය ඔස්සේ පාර්සල් තැපෑලෙන් ලද ඒ ඒ ඉපැරණි වල්ගා තරුවයි.
ස්ටෙෆනි ඉතා අරපරෙස්සමට රන් වල්ගා තරුව නත්තල් ගහේ මුදුන් රිකිල්ල මත නැංවූවාය. දැන් එහි වූයේ පරිගණක තාක්ෂණය හදාරන තරුණියක මිස ඉන්ද්‍රජාල විශ්වාස කරන අටහැවිරිදි දැරිය නොවෙයි. ඇරත් ඈ නිරාගමිකය. නත්තල් ගසත්, ගවලෙනත් තවදුරටත් ගෙනාවේ උණුසුම පිරුණු රාත්‍රීන් පිළිබඳ මතක මාත්‍රයන් පමණකි.
දුම් කවුළුවෙන් සිහිනි සරසර හඬක් නැගෙන මොහොතේ ස්ටෙෆනි උන්නේ සෝෆාව මත ගුලිවී පොරෝණා ප්‍රාවරණය තුල සැඟව නින්දත් නොනින්දත් අතරය. රත්දුඹුරු කලාලය මත වැතිරගත් ජංගම දුරකතනයේ නෙට්ෆ්ලික්ස් සිනමාපටයක් නිහඬවම වාදනය වෙමින් පැවතිණි. දුරකතනයට මදක් ඔබ්බෙන් වූ හෙඩ්ෆෝනයෙන් ඉඳහිට සිහින් ගුරුගුරුවක් ඇසී නෑසී යන්නට විය.
මෙවර සරසරය ඇසුනේ වඩාත් පහතින්, වඩවඩාත් පැහැදිලිවය. ඉනික්බිති කොල පැහැ කෙසඟයෙක් ගිනි උඳුනෙන් මෙපිටට නුහුරු පිම්මක් පැන්නේය.
"හෝ හෝ හෝ! අන්තිමේදී නත්තල් තරුවක්! අංගසම්පූර්ණ ගවලෙනකුත් එක්ක!!" ඔහු සිය හීන්දෑරි අත් පා විසුළු තාලයකට පද්දමින් නත්තල් ගස වටා රවුම් කරකැවෙන්නට විය. සරසරය නැඟෙන්නේ ඔහු කර එල්ලාගෙන සිටි ඔලොගුවෙනි.
ස්ටෙෆනි ඇහැ ඇරියේ හරියටම අන්න ඒ වෙලාවේදීය.
ඉනික්බිති ඈ, එවැනි අවස්තාවක ඕනෑම තරුණියක කරන්නට ඉඩ ඇති දැය ක්‍රියාවට නැංවූවාය. 999 අමතා පොලීසිය ගෙන්වීම වෙනුවට, සිය ජංගම දුරකතනයෙන් හැකි වැර යොදා කෙසඟයාට දමා ගැසුවාය.
"හෝ හෝ හෝ! නත්තල් තෑගි ගෙනාවාට සලකන්නෙ මෙහෙමද?"
"කවුද තමුසේ?" ස්ටෙෆනි කඩිමුඩියේ සෝෆාවෙන් බිමට බසින්නට තනන්නී, පොරෝණාවේ පැටලී අලගෙඩියක් මෙන් කළාලය මත පෙරැලුනාය.
"කෝ මස් පස්තෑල? අඩුම තරමේ කුකී එකක්, කිරි වීදුරුවක්? ඒ මදිවාට දමා ගහන්නේ වයර් එල්ලෙන කතා පෙට්ටියකින්." කෙසඟයා ඉනට අත තියාගෙන දබරැඟිල්ල ලෙලවන්නට විය. ඔහුගේ නහය ජම්බුවක රත් පැහැයට හැරෙමින් තිබිණි.
"කවුද තමුසේ?" ස්ටෙෆනි පුනරුච්චාරණය කලේ වඩා දුබල, වෙවුලනසුළු හඬකිනි.
"මම තමයි නිකුලස්. සෙන්ට් නිකුලස්. සැන්ටා ක්ලෝස්." කෙසඟයා කළාලය මත බට්ටා පනිමින් කීය.
"නත්තල් සීයා කියන්නේ අන්න අරයට" දුරකතන තිරයේ වාදනය වෙමින් තිබූ කැරොල් වීඩියෝවක නත්තල් සීයා ළමා ලපටින් පිරිවරාගෙන, සිය රත් පැහැ ලෝගුවද, සුවිසල් උදරයද, පුළුන් රැවුලද නටවමින් උන්නේය.
"ඈ බොල මෝඩ ඇටගෙම්බියේ!" කොල කෙසඟයා අපුල දනවන හඬක් නැංවීය. "අර නාකි බඩතඩියා දුම් කවුළුව අස්සෙන් රිංගනවා කියන එක උඹත් විස්සාස කරනවද? පිණිමුවෝ බැඳපු කරත්තෙයි, උන්දෑ තප්පරේට ගෙවල් දාහකට තෑගි බෙදන කතන්දරෙයි සේරෝම?"
"නත්තල් සීයා කියන්නෙ මිත්‍යා විස්වාසයක්." ස්ටෙෆනි නහයෙන් පිඹිමින් කීවාය. "මම නිරාගමිකයෙක්. මම කියන්නේ, නත්තල් සීයා නමින් හඳුන්වන කෙනාගේ හැඩරුව ඔහේට වඩා ඉන්තේරුවෙන්ම වෙනස් කියන එකයි."
"හෝ හෝ හෝ! ආං කියවනවා ඉටිගෙඩියක්!" එවර කෙසඟයා සන්සුන්ව කලාලය මත එරමිණිය ගොතා වාඩිගත්තේය. "නත්තල් සීයා ඉස්සර, මං මේ කියන්නේ ඉස්සරෝම ඉස්සර, දුම් කවුළු දිගේ බඩගෑවේ කොල පාට ඇඳුමක් ඇඳගෙන. සැන්ටා ක්ලෝස් මිටියි, කෙසඟයි, මීමැස්සෙක් වගේ කඩිසරයි."
"හැබැයි වැදගත්ම දේ!" කෙසඟයා උගුරේ රුල් බුරුල් හැර මදක් එකෙල මෙකෙල වූවේය. "සැන්ටා ක්ලෝස් කියන්නේ තනි මනුස්සයෙක් නෙමෙයි. සැන්ටා ක්ලෝස්ලා ඉන්නවා සියක්දහස් ගානක්!"
ස්ටෙෆනි ආයාසයෙන් කෙල ගුලියක් ගිල්ලාය. තොල කට වියලී ඇති බැව් හැඟුනෙන්, ඈ අඩක් හමාර කර ටීපෝව මත දමා ගිය කෝලා බෝතලයේ පියන හැර, ග්ලග්ග්ලග් හඬින් කෝලා දියර උගුරට වත්කර ගත්තේ කෙසඟයා දෙස යටැසින් බලමිනි.
"ඔන්න ඔය සෝඩා බුබුළු වතුර තමයි මිනිස්සුන්ගේ ඔළු කුරුවල් කලේ. කොල පාට නත්තල රතු පාට කලේ" කෙසඟයා කීවේ බැරෑරුම් හඬිනි.
"ඒ කාලේ හැම ගෙදරකම තිබුනා නත්තල් තරුව. ඒකෙන් නිකුත්වෙන සංඥා කිරණ දිගේ අපිට පහසු වුනා නත්තල් ගෙවල් හඳුනාගන්න. පෘතුවිවාසීන් අපිව බලාපොරොත්තුවෙන් මග බලාගෙන හිටියා. මස් පස්තෑල, කුකීස්, කිරි විතරක් නෙමෙයි, කැරට් අලත් උඳුන් පඩිය උඩ පෙළගස්සලා තිබුණා අපූරුවට. මොකද, ඒ අය දැනගෙන හිටියා මේක වෙහෙසකර ගමනක් විත්තිය."
කෙසඟයා නත්තල් ගහේ රිකිල්ලක එල්ලී උඩ පිම්මක් පැන්නේය. ස්ටෙෆනිට අත්තම්මාගෙන් තෑගි ලැබුණු රන් තරුව දකුණතින් නෙලාගත් ඔහු වට දෙකක් කැරකී බිම පතිත විය.
"මේ බලන්න මෝඩ කෙල්ල. මේ තියෙන්නේ අපේ ජනාවාසය. ඔහු රන් තරුවේ රිදී මූණත උඩ දුවන රන් තාරකා රාශිය සෙමින් වමතින් වරක් පිරිමැද්දේය. තාරකා, එල්.ඊ.ඩී. බල්බ රැසක් මෙන් නිවි නිවී දැල්වෙන්නට විය.
දැන් බලන්න කවුළුවෙන් එපිට පේන්නේ මොනවාද කියලා.
කවුළු තිරය සරස් හඬ නංවමින් මෑත් විය. ස්ටෙෆනි, කෙසඟයා අනුව යමින් තද දම්පැහැ ආකාශය වෙත නෙත් යොමු කලාය. රන් තරුවේ සටහන්ව තිබූ තාරුකා රාශිය ආකාශය මත පොබයමින් තිබිණි.
"තෑගි හදන්නෙත්, තෑගි බෙදන්නෙත් අපිමයි." කෙසඟයා කවුළුවෙන් පිටත ගෙමිදුල වසාගත් හිම කැටිවලට මිමිණීය. "අපි එන්නේ දුම් කවුළු දිගේ, මැදියමේ. එන්න එන්නම රන් තාරුකා අත ඇති මිනිස්සු අඩුවෙන එකයි හිතට අමාරු. අන්තිමේ අපි අපේ ජනාවාසයට වෙලා බලාගත් අත බලාගෙන ගෙවාදාන නත්තලක් උදාවේවි. හීතලේ, තනිපංගලේ!"
"සැන්ටා ක්ලෝස්!" ස්ටෙෆනි කෙසඟයාව තමා වෙතට ඇදගෙන, හැකි වැරෙන් තුරුළු කරගත්තීය.
"කොල පාට පිටසක්වල ජීවියෝ එන්නේ පෘතුවිය ආක්‍රමණය කරන්න නෙමෙයි දරුවෝ. එයාල එන්නෙ ආදරයත්, උණුසුමත් බෙදාහදාගන්න." කෙසඟයා ස්ටෙෆනිගේ හිස මෘදුව පිරිමදිමින් කීය. "සුභ නත්තලක්!" ඊළඟ මොහොතේ ඔහු දුම් කවුළුව තුළින් අතුරුදන් විය.
නත්තල් ගස පාමුළ රිදී පැහැ කරදාසියකින් එතූ තෑගි පෙට්ටියක් එක්වනම ස්ටෙෆනිගේ නෙත ගැටුණි. ඈ තෑගි පෙට්ටිය විවර කලේ වෙව්ලන අතැඟිලිවලිනි.
එතුල වූයේ උස් වීදුරු බුජමකි. එහි මුවවිට දක්වා පිරී තිබුණේ අලුත් රන් පැහැ වල්ගාතරුවලිනි.
"සාමයේ පණිවුඩය බෙදාගන්නට ඔබටත් පුළුවනි." වීදුරු බුජම මත ඇල අකුරෙන් ලියැවී තිබුණි.
බස්සිගේ වියමනක් දුටුවෙ බොහොම කාලෙකින් සාමයේ පණිවුඩය හැම දෙනා අතර හැබෑවටම බෙදී යන්න අපි හැමොමත් ප්‍රාර්ථනා කරත්වා
ReplyDeleteමම අවුරුදු 1.5 ක විතර ඉදලා ඔයාගේ සටහන් කියවනවා.සමා වෙන්න මම කමෙන්ට් එකක් නොදාපු එක ගැන ඒ කාලේ.මම හිතන් හිටියේ බ්ලොග් කරන අය සැබෑ ලෝකෙදිත් අදුරන අය කියලා.මම ඉතින් කාත් කවුරුත් නොදන්න නිසා නිහඩව උන්නා :) ඒත් කියන්න ම ඕනි ඔයාගෙ සටහන් හරිම රසවත් කියලා.මම කියවන හොද ම බ්ලොග් අතර ඉහලින් ම ඉන්නවා ඔයාගෙ බ්ලොග් එක බස්සි අක්ක්කියේ :)
ReplyDeleteනත්තල සේම කතාවත් වින්දෙමි. ස්තූතියි ඔබට.
ReplyDeleteස්තූතියි අක්කේ...
ReplyDeleteහරිම ලස්සනයි මම ගොඩාක් ආසාවෙන් තමයි ඔයාගෙ පෝස්ට් කියවන්නෙ. මේවසරෙත් ඔයාට මෙවැනිි රසවත් පෝස්ට් ලියන්න ලැබේවා. සුබ නව වසරක් වේවා.
ReplyDeleteසාමයේ පණිවුඩය...අපූරුයි බස්සි
ReplyDeleteMaru kathawa... Jayawewa!!
ReplyDelete