Saturday, July 20, 2013

විසිහයවෙනි කොටස : දොර වැසීම


කලින් එපිසෝඩ් එක කියවපු කුරුල්ලන්ට කිරිල්ලියන්ට බස්සිත් එක්ක තරහ ගියාද දන්නෙත් නෑ නේද? ඇයි ඉතින් ආදර කතාව මගදි බකට් කතාවකට හැරුන නෙව. බකට් ගැන අහල දැකල නැති කුරුලු යාලුවො වෙනුවෙන් තමයි ඒ තරම් විස්තර ලිවුවෙ.

අනේ ඉතින් එදා දවල් වෙනකම්ම බස්සටයි බස්සිටයි නිදහසේ කතාබහ කරගන්න අවස්ථාවක්නම් ලැබුනෙ නෑ. බස්සට එදා හරියට වැඩ. බේස් කැන්ටිමට ගිහින් විනාඩි දහයක් ගියෙ නෑ බස්ස දිවුව විෂන් ක්ලබ් එකේ මීටින් එකක් තියෙනව කියලා. ඒක ඉවර වුන ගමන් කෝල් කරල කිවුව හොස්ටල් එකේ අයිඩෙන්ටි එක හදාගන්න ඇඩ්මින් එකට යනවා කියලා. 

අනේ ඉතින් බස්සි එයාගෙ හොස්ටල් ඉන්න යාලු කුරුලු කිරිල්ලියො ටිකකට සෙට් වෙලා කැම්පස් එක වටේ රවුම් ගගහා හිටියා උදේ වරුවෙම. දවල් වෙනකොට බස්සියි බස්සිගෙ යාලුවොයි කට්ටියම ගියා මිල්ක් බාර් එක පැත්තට. මිල්ක් බාර් එකට යනකොටයි දැක්කෙ ආර්ට් එකේ කුරුල්ලො (මෙයාලට සයන්ස් කුරුල්ලො කියන්නෙ 'පොද්දො' කියල.) තුන් හාරසීයක් සෙට් වෙලා ඉන්නවා පිකට් එකකට.

ඒ දිහා කට්ටියම එක්ක කටවල් ඇරගෙන බලාන හිටියෙ සයන්ස් එකේ අපි 'අලයො' වීම නිසා අපි සිරිතක් විදිහට පිකට් වලට සහභාගි නොවෙන නිසයි. මොකද 'අලයො' කරන්නෙ 'ශිෂ්‍ය දේශපාලනේ' විතරයි නෙව.

පිකට් එක දිහා බලන් ඉඳලා බඩගිනිත් හැදුන නිසා කට්ටියම ආපහු සයන්ස් එක ඇතුලට යන්නෙ ගෙවල් වලින් ගෙනාපු බත්මුල් ටිකට වැඩේ දෙන්නයි.

බස්සත් තවම කාපු නැති නිසා බස්සි වහාම බස්සට කෝල් කලේ ඉන්න තැනකින් ඉක්මනට බත් එක ළඟට වාර්තා කරන්න කියලයි. පරක්කු වුනොත් බත් මුල් වලට අත් වෙන ඉරණම ඉස්කෝලෙ හරි කැම්පස් එකේ හරි යාලුවො සෙට් එකක් එක්ක බත් කාල පලපුරුද්ද තියෙන ඔයාලට අමුතුවෙන් කියාදෙන්න ඕනෙ නෑ නෙ.

අයියෝ ඒ වුනාට අපේ බස්සට බයි කන්න එන්න ලජ්ජා හිතිලානෙ. නංගිල ටික බස්සාට බයි දෙන එකක් නෑ කියල හිතුනද මන්ද. නැත්තම් එතන ඉන්නෙ කිරිල්ලියො විතරයි කියල හිතුවද දන්නෙත් නෑ. ඒත් ඒ දවස්වල බයි එක දිග ඇරපු ගමන් කුරුල්ලොත් සෑහෙන ප්‍රමානයක් ඇවිත් බයි එකේ වහනව කියන ඒක සර්ව සාධාරණ සත්‍ය තියරියක්නෙ. කොහොමින් කොහොම හරි ඒකෙන් වුනේ බස්සට බස්සිගෙ අම්ම උයල දෙන රසම රස බයි එකක් මිස් වෙච්ච එකයි.

හවස දෙකට විතර බස්සා බස්සි යාලුවොත් එක්ක කයියක් දාගෙන ඉන්න තැනට එන්ටර් වුනා. 'කතා කරකර ඉමුද ටිකක් ජිම් එකට ගිහින්?' කියල ඇහුවම අනේ ඉතින් බස්සිත් යාලු කුරුල්ලන්ගේ ගොං-ජෝක් වරුසා මැද ජිම් එකට පියමැන්නා බස්සත් එක්ක.


ජිම් එක ඉස්සරහ තියෙන බෙන්ච් එකේ ඉඳන් ඔන්න ඉතින් බස්සයි බස්සියි කියෝ කියෝ ඉන්නව. ලෙකාල ගැනයි, පොද්දන්ගෙ පිකට් එක ගැනයි, බයි එක නොකාපු එක ගැනයි ඔව්ව මෙව්ව කියෝ කියෝ ඉන්න අතරෙ බස්සි දැක්කජිම් එකේ ප්‍රධාන ගේට්ටුව වහනව.

"අද ගේට්ටුව වහනව වගේ ඉක්මනටම." බස්සි කිවුවා.

ටික වෙලාවකින් පොද්දි අක්කියෙක් එයාලගෙ හොස්ටල් තියන පැත්තෙ ඉඳන් ජිම් එක ඇතුලෙ පාරෙන් ආව. ඒ අක්කිය කෙලින්ම ගියෙ ගේට්ටුව ළඟට. ගේට්ටුව වහල බව කියන්න හැදුවත් එයා අපි දිහා බැලුවෙවත් නැහැනෙ. ඉතින් බස්සයි බස්සියි හිනා වෙවී බලන් ඉන්නව එයා ආපහු හැරිලා එන හැටි.

ඊට පස්සෙ තව එකෙක්..... ඊට පස්සෙ තවත් එකෙක් විදිහට දහ දොළොස් දෙනෙක්ම ඔය විදිහට ගේට්ටුව ගාවට ඇවිත් හැරිලා යන හැටි බස්සයි බස්සියි හිනා වෙවී බලන් හිටිය.

"පුතා ඔයාල ගෙදර යන්නෙ නැද්ද?" සෙකියුරිටි අංකල් කෙනෙක් බස්සයි බස්සියි ඉන්න තැනට ඇවිත් ඇහුවෙ එකපාරටමයි.

"ඇයි අංකල්?"

"කැම්පස් වැහුවනෙ පුතා. සයන්ස් ෆැකල්ටි එක විතරයි ඇරලා තියෙන්නෙ. ඒකත් එක වසරටයි, තුන වසරටයි විතරයි." සෙකියුරිටි අංකල් කිවුවා.

"හ්ම්ම්ම්.... මාර වැඩේ..!!"

"පුතාල කොහෙද හිටියෙ. කට්ටිය යනව දැක්කෙ නැද්ද?"

සෙකියුරිටි අංකල්ට මොනවා කියන්නද ඉතින්. කැම්පස් වහපු හැටි පෙනි පෙනි ඒක තේරුම් ගන්නෙ නැතුව වහපු ගේට්ටු වලින් යන්න හදන උන්ට හිනා වුනා කියන්නද!



1 comment:

  1. කරන්න වැඩකුත් නැතුව නිවාඩු පාඩුවේ ගෙදර ඉන්න මේ දවස් වල මූණු පොතේ එහාට මෙහාට යන අතරේ සින්හල පිටුවක් ලඟ ඇහැ නතර වුනා. ඒ තමයි බස්සිගෙ නවාතැන. නිකමට වගේ එබිලා බැලුවා කියවන්න හොඳ දෙයක් තියේද බලන්න. ෂා.. හරිම ලස්සන පිටුවක්. හරිම ආකර්ෂනීයයි. ලස්සන රූප ගොඩාක් එක්ක සින්හල අකුරු. ම්ම්.. මුලින්ම කියවන්න පටන් ගන්නෙ කොතනින්ද කියලා හිතනකොට තමයි දැක්කෙ බස්සිගෙ ආදර අන්දරය. ඔන්න ඉතින් පටන් ගත්තා කියවන්න. මන් හරි පෙරේතයි කියවන්න. හරිම ලස්සන කතාව. කිසිම කම්මැලිකමක් නැතුව එක දිගට කියවගෙන යන්න පුලුවන්. කියවන් යන අතරේ හිතුනා කොමෙන්ට් එකකුත් දැම්මා නම් හොදයි කියලා. ඒත් ආපහු හිතුනා ආදර අන්දරයම ඉවර වෙලා දානවා කියලා. ඔන්න ඔහෙ කමක් නෑ කියලා දැන් දානවා. මේ වගේ හොඳ නිර්මාණ කරන්න, ලස්සනට ලියන්න, වෙනස් විදියට හිතන්න ශක්තිය හා වාසනාව වැඩි වැඩියෙන් ලැබෙන්න කියලා මන් ප්‍රාර්තනා කරනවා.. ඔබට ජය :)

    ReplyDelete